හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

13 November 2014

කරන්න දෙයක් නෑ මම ප්ලෑන් කරලා වැඩේ දෙනවා (පස්වැනි කොටස) – Battle Appreciation and Plan (Part Five)

4528233
 මේ කතාව බොහොම දීර්ඝව ඇදීගිය නිසා, සමහරුන්ට නම් එපාවෙලා තිබුණා. එහෙත් තවත් අය, මේ ලිපි මාලාවෙන් යම් අවබෝධයක් ලබාගෙන තිබුණා, යුද්ධයක් සැළසුම් කරන්නේ කොහොමද කියන එක ගැන. හොඳයි, තවත් දුරට අදින්නේ නැතුව, අද මෙම ලිපි මාලාවේ අවසාන කොටස මෙලෙස ඔබවෙත ගෙන එනවා. හෑ...................එහෙනම් අද කෙල්ලව උස්සනවද? අනේ මන්දා, ඔන්න ඔහේ වැඩේ අතෑරලා දාමුද? (පින්තූරය ගත්තෙ මෙතනින්මේ කෙල්ලෙක් වෙනුවෙන් මොකටද මෙච්චර ලොකු යුද්දයක් කරන්නේ? මේක රාමා - සීතා කතාව නෙවෙයිනේ. මෙහෙම කියපු ගමන් ඔක්කොමලා මගේ බෙල්ල කන්න හදයිද මන්දා, 'හුහ්.......තමුසේ මෙච්චර දවස් අපිවත් ඇදගෙන යුද්දෙට ගියේ, අන්තිමට මෙහෙම කියන්නද?' කියලා. හරි හරි, එහෙනම් යුද්දෙට යමු. හැබැයි ඊට කලින් කරන්න දේවල් තවත් තියනවා. ඉස්සරවෙලා ඒ ටික අවසන් කරගෙන ඉම්මු. නැත්නම් යුද්දේ පරාදයි.
   හැබැයි ඉතිං මේ කතාවේ පරණ කොටස් මතක නැත්නම් මෙලෝ රහක් නැතිවෙනවා. අතරමං වෙනවා. ඒ නිසා උඩින් පල්ලෙන් හෝ පරණ කොටස් කියවලා මතකය අලුත් කරගන්න.





හතරවැනි කොටස මෙතනින් බලන්න පුළුවන්.


   ඔක්කොම කියවන්න අවශ්‍ය නැහැ. මතකය අලුත් කරගන්නට අවශ්‍ය ප්‍රමාණයට කියවන්න. අද අපිට අවසාන වශයෙන් කරන්න තියෙන්නේ, අපේ ක්‍රියාන්විතය දියත් කරන ආකාරය පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සහ අවසාන සැළැස්ම සැකසීමයි. දැන් ඉතින් ඉවසිල්ලක් නැහැ නේද කෙල්ල උස්සන තුරු. පොඩ්ඩක් හෝව්................ මේ ටිකත් බලන්න. අපි පහුගිය කොටස අවසන් කලේ 26 වැනි කාරණයෙන්. ඒ කියන්නේ සතුරා අපට එරෙහිව කෙබඳු ක්‍රියාමාර්ගයක් ගනු ඇතිද යන තක්සේරු කිරීමයි. එහනදී සතුරාව පොඩ්ඩක්වත් අවතක්සේරු කරන්න හොඳ නැහැ. විශේෂයෙන් මතක තබාගන්න ත්‍රස්තවාදී සංවිධාන විසින් ඉතා සොක්ක්ෂ්ම සහගත ලෙස අපි කොහොමවත් නොසිතන ආකාරයේ ප්‍රහාර එල්ල කරන්න පුළුවන්. මතකනේ පහුගිය යුද්ද කාලේ එල්ටීටීඊ සංවිධානය රටපුරාම විවිධ ආකාරයේ විශ්මය ජනක ප්‍රහාර එල්ලකරපු හැටි.

   මම හොඳ උදාහරණයක් කියන්නම්. ඔබ දන්නවා යුද්ද කාලේ අපි බංකර් ඉදිකරලා ආරක්ෂක තීර හදාගෙන තිබුනා. මේවා හඳුන්වන්නේ ඉදිරි ආරක්ෂක පෙදෙස (තීරය) - Forward Defended Locality = FDL යනුවෙන්. අපි මේවා හදාගෙන බොහොම ආරක්ෂිතයි කියලා හිතාගෙන හිටියට මොකද ත්‍රස්තවාදීන් මේවා අස්සට රිංගලා අපිට ගහපු අවස්ථා තිබුණා. මෙහෙම ඉන්න කාලේදී එක්තරා බලසේනාධිපති වරයෙක් - Brigade Commander අමුතු වැඩක් කෙරුවා. ඔහු දිනක් රාත්‍රී කාලයේ ආරක්ෂක ප්‍රදේශයක් වෙත පැමිණ, එහි සිටි අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් හා ඒ ආරක්ෂක සීමාවේ සේවයේ යෙදී සිටින සෑහෙන භටපිරිසක් සමග බංකර් පේලියේ සිට මීටර් 100ක් පමණ ඉදිරියට ගියා. මෙය බොහොම භයානක දෙයක්. සතුරා දන්නවානම් අපිට හොඳටම ගහනවා.

   එහෙම ඉදිරියට ගිහින්, බලසේනාධිපති වරයා සියලුදෙනාටම කිව්වා, ආපසු හැරී අපේම බංකර් පේළිය දෙස බලන ලෙස. (ඇත්තටම ආරක්ෂාව සඳහා තවත් 100ක් පමණ පිරිසක් තවත් මීටර් 100ක් පමණ සතුරාගේ පැත්තට ගිහින් සූදානමින් හිටියා) ඒ වෙලාවේ තමයි ඔක්කොටම තේරුණේ, සතුරා අපේ ආරක්ෂක වළල්ල දකින්නේ මොනවගේ විදිහකටද කියන එක. ඊට පස්සේ බලසේනාධිපතිවරයා කිව්වා, දැන් තමුන් සියලු දෙනාම හිතන්න, අර පෙනෙන්නේ තමන්ගේ හතුරාගේ බංකර් පේළිය කියලා. ඊට පස්සේ හිතෙන් හදන්න සැලැස්මක්, ඒකට ගහන ක්‍රමය ගැන. ඊළඟට ආපහු හිතන්න, එහෙනම් සතුරා මෙන්න මෙහෙම අපිට ගහයි, ඒක වළක්වාගන්න අපි මොකක්ද කලයුත්තේ කියලා. ඇත්තටම මේ පාඩම ඉතා අගනා ඉතා සතුටුදායක ප්‍රතිඵල සහිත පාඩමක් වුණා. 

27. සතුරා විසින් බොහෝදුරට ගැනීමට ඉඩ ඇති ක්‍රියාමාර්ගය 

             Enemy's Most Probable Course 

   මෙතනදී අපි නැවත සලකා බලනවා, සතුරා බොහෝදුරට අපට කුමන ආකාරයෙන් ප්‍රති ප්‍රහාර එල්ල කරයිද කියන එක. දැන් අපේ ක්‍රියාන්විතයේදී අපි හිතන්නේ, කාමිනීගේ පැත්තේ අය, බොහෝ දුරට මෙන්න මෙහෙම කරයි කියන එක. 

28. අපට විවෘතව තිබෙන ක්‍රියාමාර්ග - Own Courses

   මතකතියාගන්න, සතුරාට වගේම අපටත්, හොඳින් සිතාබලා ගතහැකි හොඳම ක්‍රියාමාර්ගය කුමක්ද යන්න, අවසාන තීරණයකට පැමිණිය යුතුයි. මේ අපි යන්නේ යුද භූමියට. අපේ ජීවිත පරදුවට තබමින් යන්නේ. මම අණදෙන නිලධාරියකු නම්, මම මගේ සොල්දාදුවන්ගේ ජීවිත සමග තමයි මේ සෙල්ලම් කරන්නේ. මගේ එක වැරදි තීරණයකින්, සොල්දාදුවන් ගණනාවකගේ ජීවිත අහිමි වෙන්න පුළුවන්. එහෙම වුන අවස්ථා පහුගිය යුද්දෙදි තිබුණා. ඒ නිසා, අවසාන වශයෙන්, හොඳින් කිරා මැන බලා තීරණය කරනවා, අපට විවෘතව තිබෙන විකල්ප ක්‍රියාමාර්ග වලින්, හොඳම එක මෙන්න මේකයි කියලා. එහෙම තීරණය කරලා නිකම් ඉන්න බැහැ. ඒ ක්‍රියාමාර්ගයේ ඇති වාසි - අවාසි ගැන සටහනක් යොදාගෙන, වැඩි වාසි ඇති බව තහවුරු කරගත යුතුයි. එතැනදී මෙන්න මේ කරුණු ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙනවා.

A. වාසිදායක කරුණු 
  • 1. ඉලක්කය වෙත යාමට ඇති කෙටිම සහ දිගම දුර සහිත මාර්ග.
  • 2. ඉලක්කය වෙත පැමිණි පසු එයට ඇතුළුවීම වඩාත් සුදුසු කුමන දිශාවෙන්ද? 
  • 3. අපි බොහෝවිට පහර නොදෙතැයි කියා සතුරා සිතන්නේ කුමන දිශාවද, අන්න ඒ දිශාව තෝරා ගැනීමට හැකිතරම් උත්සාහ කලයුතුයි.
  • 4. පහසුවෙන් ගමන් කල හැක්කේ කුමන මාර්ගයේද?
  • 5. පැති ප්‍රහාර එල්ල කිරීම කළයුත්තේකෙසේද?
  • 6. අපිට ආවරණය වීමට තැන තිබේද. (මතකද මම කතාවේ පළමුවැනි කොටස්දී කිව්වා කෙල්ලගේ ගේ ළඟ පොඩි පාලු ඉඩමක් තියනවා, එක අපිට ලොකුවාසියක් කියලා. ප්‍රහාරයට වෙලාව එනතුරු මෙවැනි ආවරණයක ඉන්න පුලුවන්නම් බොහොම වාසියි) 
  • 7. ප්‍රහාරයෙන් පසු අපි නැවත හමුවන්නේ කොතනදීද? පහුවෙනිදා මොකද කරන්නේ? 
B. අවාසිදායක කරුණු 
  • 1. අපේ පිරිස බලාපොරොත්තු රහිත ලෙස සතුරාගේ මහා පරිමාණ ප්‍රහාරයකට ලක්වීමට ඇති ඉඩකඩ කෙසේද?
  • 2. ප්‍රහාරය ආරම්භ කිරීම සඳහා භටපිරිස් ඒකරාශී වීමට සුදුසු ප්‍රදේශයක් නැතිවීම 
  • 3. මාර්ගය දුෂ්කර එකක් වීම (කෙල්ල ඉන්නේ මීමුරේ නම් කොහොමද සනීපෙ?)
  • 4. සතුරා දැඩි සූදානමකින් යුක්තව, කෙළින්ම අපේ මුහුණට මුහුණලා හමුවීම. 

29. දෙවැනි විකල්ප ක්‍රියා මාර්ගය 


30. තුන්වැනි විකල්ප ක්‍රියාමාර්ගය 


   අංක 29 සහ 30 ට අදාළව, නැවතත් කියන්න වෙන්නේ, කලින් කියපු ටිකම නිසා, විස්තර ලියන්නේ නැහැ. ප්‍රධාන සැලැස්ම වැරදුනොත් ගන්නා විකල්ප ක්‍රියාමාර්ග තමයි මේ. කෙල්ලගේ ගෙදර අය අපිට අම්බානක නෙලනවානම්, අපිත් හැකි තරමින් නෙලද්දී කෙල්ල පන්නා ගැනීම කොහොම හරි කරගන්නවා. ඔන්න එක ක්‍රමයක්. කෙල්ලගේ ගමම එකතුවෙලා අපිට වට වන්දනාවක් දෙනවා නම්, උන්ගේ කකුල් අස්සෙන් රිංගලා දුවලා මාරුවෙනවා. ඔන්න අනික් ක්‍රමේ.

   හොඳයි. දැන් ඔන්න ඔක්කොම කරුණු සලකා බලා අවසන්. දැන් මොකද කරන්නේ? නෑ.......නෑ........එහෙම එක පාරටම ගිහිල්ලා කෙල්ල පන්නගෙන එන්න බැහැ උන්නැහේ. කෝ තමුන්නැහේ හදපු අවසන් සැළැස්ම? ඒක නැතුව මොන යුද්දද? මතකද මම මේ ලිපි මාලාවේ පළමුවැනි කොටසෙදි ලස්සන කතාවක් කිව්වා ප්‍රේමෝන්මාද අප්පුහාමිලාගේ ප්‍රේමපාල වන මම, උන්මාද චිත්‍රාගේ බාප්පාගේ කාමිනී නමැති තරුණිය සමග පෙමින් වෙලී සිටිමි කියලා. ඔන්න ඒක දැන් මෙතනට ඕනේ. දැන් අපි අවසාන සැළැස්ම හදනවා. මතකතියාගන්න මේක අතිශයින් රහසිගත හමුදා ලේඛනයක්.

   හමුදාවේ සෑම ලේඛනයකටම වර්ගීකරණයක් - category තියනවා. ඒකට කියන්නේ, 'ආරක්‍ෂක විග්‍රහය - Security Classification' කියලා.   ලේඛනයේ සෑම පිටුවකම, හරි මැද ඉහළින්ම සහ හරි මැද පහළින්ම, ඒ වර්ගීකරණය, වචනයෙන්ම සඳහන් වෙනවා. ඒ වගේම ලේඛනයේ පිටු අංක දක්වන්නේ, හමුදාවට ආවේනික ක්‍රමයකට. අපි හිතමු ලිපියේ පිටු පහක් තියනවා කියලා. එහෙනම්, පළමුවැනි පිටුවේ හරි මැද පහළින්, ආරක්ෂක විග්‍රහයට ඉහලින් මෙහෙම තියනවා. 'පිටු පහෙන් එක' ඒ විදිහටම ඉතිරි පිටුවලත්, පිටු අංකය සඳහන් කරනවා. දැන් මෙය බලන කෙනෙක් දන්නවා, මේ ලේඛනයට තිබෙන්නේ පිටු පහක් බව. ඊට වඩා අඩු වැඩි වුනොත්, එතන මොකක් හරි රහසක් තියන නිසා, වහාම ඒ ගැන ක්‍රියා කලයුතුයි.  

   හොඳයි අර ආරක්ෂා විග්‍රහය කොහොමද තියෙන්නේ? ඒ වර්ගීකරණයේ පහළම එක තමයි 'නිවර්ග - Non Classified' කියන්නේ. ඊළඟ ඉහළ එක, 'සීමාන්විතයි - Restricted' එවැනි ලිපි බැලීම, පිළිතුරු ලිවීම, අත්සන් කිරීම කළහැක්කේ ඒ සඳහා බලයලත් අයට පමණයි. ඊළඟ වර්ගීකරණ දෙකක් තියනවා. 'රහස්‍ය - Secret'. මෙවැනි ලිපි සම්බන්ධව කටයුතු කිරීමේ බලය තිබෙන්නේ, මාණ්ඩලික ශ්‍රේණියේ නිළධාරියකුට පමණයි. ඊළඟට තියෙන්නේ ඉහළම වර්ගීකරණය. 'අතිශයින් රහසිගතයි - Top Secret'. මෙවැනි ලිපියක්, ප්‍රධාන මාණ්ඩලික නිළධාරියකුට සහ ඊට ඉහළ (බලසේනාධිපති, සේනාංකාධිපති, වැනි) නිළධාරියකුට පමණයි පරිහරණය කලහැක්කේ. ඉතින් දැන් අපි මේ හදන්න යන්නේ, අතිශයින් රහසිගත ලේඛනයක්. ඒ වගකීම හිතේ දරාගෙන, මෙතනින් ඉදිරියට කටයුතු කළයුතු බව අමතක කරන්න එපා.

   මෙහෙම හිතන්න. හමුදාවේ මේවගේ සැලැස්මක් හදන වෙලාවට, තමන්ගේ පෙම්වතිය ඔබට දෙනවා දුරකථන ඇමතුමක්. ඔයා හරි නරකයි. මාව බලන්න දැන් මාස දෙකකින් ආවේ නැහැ. මොනාද අනේ අනික් අයට නිවාඩු තියනවා, ඔයාට විතරයි නැත්තේ. කියලා අර  තොඳොල් ස්වරයෙන් (premature ejaculation හැදෙන විදිහට) කියනවා. ඉතින් ඔයාත් 'ආචාර්ය රන්ගොජා' වගේ, මෙන්න මෙහෙම උත්තර දෙනවා. අනේ තරහ වෙන්න එපා පැටියෝ. බලන්නකෝ මට මේ මුලතිව් වලට ගහන්න ඔපරේෂන් ප්ලෑන් එකක් හදන්න වෙලානේ. තව සතියකින් විතර අරුන්ට කුඩු යන්න ගහනවා අපි, උන්ගේ මුලතිව් කෑම්ප් එකට. අපි ට්‍රින්කෝ පැත්තෙන් නේවි එකයි, උතුරු පැත්තෙන් ගජබා එකයි. දකුණෙන් එස්.එෆ්. එකයි දාල දෙනවා උන්ට ඇට්ටි හැලෙන්න. ඉස්සර වෙලාම එයාෆෝස් එකෙන් දෙනවා හොඳ බෝම්බ පාරක්.

   'නාගසලං සාලවනේ' කිව්වලු. මුළු ඔපරේෂන් ප්ලෑන් එකේම සාරාංශය කිව්වා නේද? හිතනවද ඔය දුරකථන ජාල වලට කොටියා හොරෙන් ඇහුම්කන් දෙන්නේ නැහැ කියලා? ඒ කාලේ අපි සම්පූර්ණයෙන් තහවුරු කරගත් අවස්ථා තිබුණා, අපේ ඔය ගොන් කතා, කොටියා අහන බව. ඒ වගේම තමයි ඉතින් අර, 'රෝස පැටික්කි' ඔය කතාව, එයාගේ හත්මුතු පරම්පරාවටම මගතොටේදී හමුවුනාම මහා හඬින් කියනවා, මගේ 'මයින පැටියා' තමයි මුලතිව් වලට ගහන ප්ලෑන් එක හදන්නේ. මෙන්න මෙහෙමයි ගහන්නේ කියලා. සනීපයි නේද?


සැළැස්ම - PLAN

1. භූමිය - Ground

   මෙතැනදී, කෙටියෙන් එහෙත් අවශ්‍ය තොරතුරු ආවරණය වන ආකාරයට විස්තර කරනවා, මේ සටන සිදුවන්නට යන්නේ කෙබඳු ආකාරයේ භූමි ප්‍රදේශයකද යනවග. භූමියේ ස්වභාවය, නාගරිකද, ගම්බදද, වනාන්තරයකද, සමතලාද, කඳුකරද, ඈත පෙනෙනවාද නැද්ද, බාධා තිබෙනවාද, වැනි.

2. තත්වය - Situation 

   අප විසින්, සිතියම්, චන්ද්‍රිකා පින්තූර, ගුවන් ඡායාරූප, නිරීක්ෂණ ගුවන් ගමන්, ඔත්තු සේවා, මුර සංචාර, මෙකී නොකී ඔක්කොම ක්‍රම වලින් සොයාගෙන තිබෙන පරිදි, දැනට තිබෙන සංග්‍රාමික තත්වය මේකයි. සතුරා මෙහෙම කරන්නට ඉඩ තිබෙනවා. ඊට පෙර අපි පියවරක් ගතයුතුයි. කියා විස්තර කරනවා. 

3. කළයුත්ත - Mission 

   අහවල් දින, අහවල් වෙලාවට පෙර, මෙන්න මේ දේ කලයුතුයි කියා, ඉතා කෙටියෙන්, ඉතා පැහැදිලිව, සඳහන් කරනවා. වටලා පහරදී විනාශ කිරීම/රැකසිට පහරදී විනාශ කිරීම/සතුරු රථ පෙළක් පහරදී විනාශ කිරීම/සතුරු ආයුධ ගබඩාවකට පහරදී විනාශ කිරීම/සතුරා ඉදිකරමින් තිබෙන කඳවුරක්, වරායක්, ගුවන් පථයක්, විනාශ කිරීම.

4. ක්‍රියාපිළිවෙත Execution 

   පියවර වශයෙන් අංක පිළිවෙලින් සවිස්තරව දක්වනවා, මේ ක්‍රියාන්විතය පියවර කීයකින් සමන්විතද, ඒ එක් එක් පියවරේදී කුමන හමුදා පිරිස කුමක් කළයුතුද, ඒ දේ කලයුත්තේ කුමන සීමාවන් යටතේද, යනවග. ඒ යටතේ තව උප කොටස් විස්තර කෙරෙනවා.

   A. සම්බන්ධිකරණ උපදෙස් - Coordinating Instructions

   මෙය ඉතා දීර්ඝ විස්තරයක්. මෙහිදී එක් එක් පියවරේදී ආරම්භයේ සිට අවසානය දක්වා කාර්ය භාරය, භට පිරිස් ප්‍රමාණයන්, ඇඳුම, අවි සහ පතරොම්, ආධාරක අවි, කාලතුවක්කු, මෝටාර්, යුද ටැංකි, ගුවන්/ නාවික ප්‍රහාර, ආදී සියල්ල පිලිබඳ වගකීම් පැහැදිලිව විස්තර කර පවරනවා.

   B. අනෙකුත් පාලන කටයුතු 

   මෙහිදී අනෙකුත් අවශ්‍යතා සහ සැපයුම්, මෙන්න මේ අයවලුන් විසින්, මෙන්න මේ දේවල්, මෙන්න මේ වෙලාවට, මෙන්න මේ ආකාරයට, මෙන්න මේ ස්ථානයට සැපයීම / සේවය ලබාදීම කලයුතුයි කියා, විස්තර කෙරෙනවා.  වාහන අවශ්‍යතා, පණිවිඩ හුවමාරු යන්ත්‍ර අවශ්‍යතා, වෛද්‍ය සේවා, ආහාර සැපයීමේ සේවා, ආදිය.

හොඳයි

පසුගිය ඔක්තෝබර් මස 8 වැනිදායින් පටන්ගෙන

ඔබ යම්කිසි පාඨමාලාවක් හැදෑරුවා

සංග්‍රාමික තත්ත්ව ඇගයීමක් යනු කුමක්ද? 

එවැනි තත්ත්ව ඇගයීමකින් අනතුරුව

සැළැස්මක් සකසා

ක්‍රියාන්විතයක් කරන්නේ කෙසේද යන්න

ඔබ සෑහෙන තරම් සාර්ථකව

අවබෝධ කරගත්තා.

ප්‍රේමපාල සහ කාමිනී

ඔහේ හිටියාවේ.

මා ඒ දෙදෙනා මේ ලිපි මාලාවට සම්බන්ධ කරගත්තේ

මේ ලිපිමාලාව නීරසවීම වළක්වාගෙන

ඔබේ අවධානය තබාගැනීමටයි.  

මිනීමරාගෙන ආදරය ජයගන්නට සිතීම

මුලාවක්, මුග්ධකමක්.

ආදරය කියන්නේ පරිත්‍යාගයක්. 

ආදරය ජයගත යුත්තේ ආදරයෙන්මයි. 

ඉතින් දැන් ඔබට වැටහෙනවා නේද 

සංග්‍රාමයකදී හමුදාව ක්‍රියාකරන්නේ

මොනතරම් අභියෝගාත්මක තත්වයන් යටතේද කියා?

රටේ පුරවැසියන් ලෙස

ඔබට සම්පූර්ණ නිදහස තිබෙනවා 

හමුදාව විවේචනය කරන්න.

නමුත් 

ඊට පෙර මොහොතක් සිතා බලන්න.

හමුදාවේ සිටින්නේත් 

ලේ මස් ඇට නහර වලින් සැදුණු 

මිනිසුන් බව.

අනෙකුත් සෑම මනුෂ්‍ය කොට්ඨාශයක් මෙන් 

ඔවුන් අතින්ද වැරදි සිදුවෙනවා.

විවේචනය කරන්න.

ඊට පෙර, කුමක්ද සිදුවී ඇත්තේ කියා

හොඳින් සොයාබලා

විවේචනය කරන්න.




සොල්දාදුවා කිසිදිනක නොමියේ. 

ඔහු 

කාලය සමග වියැකී යනු පමණි.



my-signature-for-blog[1]   2014 නොවැම්බර් මස 12 දින 2351 පැය

27 comments :

  1. කරන්න දෙයක් නෑ විචා ප්ලෑන් කරල වැඩේ දෙනවා. මට ඔක්කෝම මිස් වෙනවා.

    ReplyDelete
    Replies
    1. අපේ හාදයාටත් ඔය ලෙඩේ තියෙනවා. හැම දේකම රෙස්ට්‍රික්ටඩ් ගහනවා

      හැබැට අයියේ මේවා දාන්න උඹට අයිතියක් හා හැකියාවක් තියේද?

      Delete
    2. මම ලියන හැම දෙයක්ම ඉංග්‍රීසි භාෂාවෙන් සහ වෙනත් භාෂා වලින් අන්තර්ජාලයේ පලවී තිබෙනවා. නිකං හිතලා බලන්න, ඒ භාෂා දන්නා අය විතරක් මේවාගෙන් ප්‍රයෝජන ගන්නවා. සිංහල විතරක් දන්නා එවුන් හුළං බොනවා. ඒ නිසයි මම මේවා සිංහලෙන් ලියන්නේ.

      Delete
  2. යුක්ලිඩ්ගෙ ජ්‍යාමිතික ප්‍රමේයකට ආදර කතාවක් බද්ධ කලා වගේ!! විහිලුවට කිව්වේ.

    ඇත්තෙන්ම විචාරක තුමනි මේ ලිපි පෙල ඉතාම සාර්ථකයි. ඔබ ඉතා සියුමව, රසවත්ව මේ අවබෝධය අපට ලබා දුන්නා. ලිපියේ අවසානයෙන් ඔබ සියලු දොස්, සැක විවේචන දුරු කරල නිදොස් කලා.

    අර පෙම්වතියට දෙන දුරකතන ඇමතුම ගැන හිත ගොඩක් දුරට ඇදිල ගියා. ඇත්තෙන්ම එවැනි දේ සිදුවිය හැකියි.

    සමස්ථයක් විදියට මට කියන්න පුලුවන් ඔබේ උත්සාහය ඉතාම සාර්ථකයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රමේයය තියා ප්‍රමේහය හැදුනත් ඔය ආදර ලෙඩේ හැදුනම කපෝතියිනේ. :e

      මගේ උත්සාහය යම් තරමකින් හෝ සාර්ථකත්වයකට පත්වුනානම් එය මට මහත් ආත්ම තෘප්තියක්.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  3. මේ ලිපි ටික තව 3 පාරක්වත් කියවනවා...
    එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. ඔව් මෙන්ඩා. මම ලියන සමහර ලිපි වඩාත් උචිත වෙන්නේ බොහොම නිදහස් මනසකින් යුක්තව කියවීමටයි.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  4. බොහෝ දෙනෙක් හිතනවා මේවා මේ යුද්ධ පාඩං.. අපට මොටද මේවා.. අපි කවද්ද යුද්ධ කරන්නෙ කියලා.. ඒ වුනාට හැමෝම අමතක කරන දෙයක් තමා අපේ මුලු ජීවිතේම කියන්නෙ යුද්ධයක් කියන එක.. යුද්ධයක් දිනන්ට මේවා පාවිච්චි කරන්ට පුළුවන් වගේ තමන්නෙ ජීවිතේ දිනන්ටත් මේවා පාවිච්චි කරන්ට පුළුවන් කියන එක‍‍‍.. මේවා military lessons නෙවෙයි ඇත්තටම බැලුවොත් management lessons..

    ස්තූතියි විචාරක මේ ගත්තු මහන්සියට!!

    ReplyDelete
    Replies
    1. මේ ලිපිවල යථාර්ථය 100% තේරුම් ගැනීම ගැන ඔබට මගේ ප්‍රශංසාව හිමිවෙනවා. ඇත්තටම මම උත්සාහ කරන්නේ යුද්ධය උගන්නන්න නෙවෙයි. ජීවිතය උගන්නන්න.

      ඇගයීම ගැන ස්තුතියි.

      Delete
  5. අන්තිමට දාල තියන ටික නම් හොඳට හිතට වැදුනා..
    මම නම් ආදර කතාව අතැරලා තමා කියෙව්වේ.. මට නම් ආදරේ අරහං බව දන්නවා නේ ඉතින් විචාරක තුමා?
    සංග්‍රාමික සැලැස්ම කියෙව්වම තමා තේරුනේ මෙච්චර තාක්ෂණයක් එහෙම නැති ලෝක යුද්ධ කාල වල, මේ කටයුතු කොච්චර අසීරු වෙන්න ඇත්ද කියල..
    හමුදා කටයුතු පිලිබඳ දැනුම මේ විදියට බෙදා දීම ගැන බලවත් ස්තුතිය!!

    ReplyDelete
    Replies
    1. අන්තිමට දාලා තියන ටික කියාගන්න තමයි මෙච්චර දුර අරගෙන ආවේ. ඇත්තටම ආදර කතාව තිත්ත බෙහෙත් පෙත්තේ ගාපු සීනි ටිකක්.

      මොකද අනේ ආදරේට අකමැති. ඉස්සරවෙලාම ඔයා ඔයාට ආදරේ කරන්නකෝ. එතකොට ලෝකයට ආදරේ කරන්න හිතෙනවා.

      අද තියන මෙවැනි සංග්‍රාමික සැලසුම් සකස් කිරීම සඳහා පාදක වුණේ පළමුවැනි සහ දෙවැනි ලෝක යුද්ධ වලදී ලද අත්දැකීම්.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  6. Sir,

    lipiya godak kemathen kiyewuwa lipiya prayogika giwithayata ekathu karaganna try karanawa godak shuthiy lipi walata

    mage kalin samahara comment pulish wela na ne?

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මෙවැනි ලිපි අපේ ප්‍රායෝගික ජීවිතයට සෑහෙන්න ආධාරයක් වෙනවා. ඒ නිසයි ලියන්නේ.

      ඔයා දන්නවා නේද මම එකම නමින් වර්ඩ්ප්‍රෙස් සහ බ්ලොගර් යන ක්‍රම දෙකෙන්ම අඩවි දෙකක් පවත්වාගෙන යනවා. සමහරවිට ඔයා මගේ වර්ඩ්ප්‍රෙස් අඩවියේ කමෙන්ට් කරාද දන්නේ නැහැ. http://jangun.wordpress.com එකට ගිහින් බලන්න.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  7. ඉතින් දැන් ඔබට වැටහෙනවා නේද

    සංග්‍රාමයකදී හමුදාව ක්‍රියාකරන්නේ

    මොනතරම් අභියෝගාත්මක තත්වයන් යටතේද කියා?

    එකගයි.......... උපරිමයෙන් ම එකගයි..... කකුල් නැතුව බොරුකකුල් දාලා ඇවිද ඇවිද අදටත් වැඩකරන කොල්ලෝ දැක්කා ම, අත් වල මැහුම් විස්ස තිහ ගහලා හරියට දිගහැරගන්න බැරි කොල්ලෝ දැක්කා ම (තව දේවල් ඕන තරම්) මේ දේ ගැන අලුතෙන් අහන්න මටනම් ඕනේ නැහැ විචාරකතුමා.................... ලිපි පෙළ වගේ ම අවසන් වචන ටික පපුව ඇතුළට ම බැස්සා...............................

    ReplyDelete
    Replies
    1. මම කියන්නේ නැහැ හමුදාව සියල්ලට ඉහලින් තිබිය යුතුයි කියලා. අපි සැමදෙනාටම හිමි නිසි ස්ථානයක් තිබෙනවා. එතනවත් අපිට ලැබෙන්නේ නැත්නම් ඒ සමාජ ක්‍රමයේ මොකක්හරි ලොකු අඩුවක් තියනවා. ඒ නිසා වෙන්නැති සොල්දාදුවා පේව්මන්ට් එකේ ගල් අල්ලන්න යොදවන්නේ. එහෙම කලාම මිනිස්සු හිතන්න පටන්ගන්නවා සොල්දාදුවා නාටාමි කෙනෙක් වගේ ඕනෙ දේකට යොදවන්න පුළුවන් කියලා. ඒ ක්‍රමය ඉක්මනින් වෙනස්වේවා කියා ප්‍රාර්ථනය කරමු.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  8. විචාරක තුමණි, ඊයේ මේ ලිපිය දුටුවත් නිදහසේ කියවීමට අවකාශයක් නොවූ නිසා මග හැර ගොස් නැවත අද පැමිණ මුල සිට අගටම අවධානයෙන් කියවූවෙමි.. අර බ්‍රිගේඩියර් වරයාගේ ක්‍රියාව අති විශිෂ්ටයි.. මං හොඳින්ම දන්න කරුණක් නම් එම ක්‍රියාවේ ඇති බිහිසුණු බව එනම් සතුරු ප්‍රහාරයකට ලක්වීමේ අවධානම ගැන වෙන කාටත් වඩා දැනගෙන සිටි හා ඒ ගැන කල්පනාකාරී වූ පුද්ගලයා වෙන කිසිවෙකුත් නොව ඔහුමයි. ඒ ගැන දින ගණනාවක් නිදි නොමැතිව කල්පනා කිරීමෙන් හා අධ්‍යයනය කිරීමෙන් පසුව විය යුතුයි ඔහු එම "Calculated Risk" එක අර ගන්නේ.. එසේ එඩිතර තීරණයක් ගැනීමට ඔහුගේ නිර්භීත බවත් එවැනි ක්‍රියාවක ප්‍රථිපල සළකා බැලීමට තරම් ඔහුගේ විචක්ෂණ බුද්ධියත් අගය කල යුතුමයි..

    Top Secret, Secret, Restricted, Non Classified එතකොට Flash, Immediate, Priority, Routine මේව කැඩෙට් කාලේ විභාග වලට පාඩම් කල විදිය මතක් උනා.. :)

    මට මේ පාඩම් මාලාව අතිශයින්ම වැදගත් උනා.. කෙමෙන් කෙමෙන් වියැකෙමින් සිටි මගේ ඇතුලෙ හිටපු හමුදා කාරය නැවත ටික ටික හිස ඔසවන්නත් ඒ ගැන වෙනදාට වඩා ආඩම්බරයකින් බලන්නත් පුලුවන් උනා නොකිව්වොත් මා වැරදියි.. ස්තූතියි නැවතත්.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. කල්‍යාන ඔය තුමනි කෑල්ල කපමුද? ඒක දාපුවාම මට හිතෙන්නේ අපි දෙන්නා too much official වගේ කියලා. අනික් අය වගේ මට විචාරක කියලම කියන්න.

      ඒ බ්‍රිගේඩියර් වරයා මේජර් ජෙනරල් දක්වා උසස් වී හමුදාවෙන් විශ්‍රාම ගියා. අන්න නියම මිනිස්සු. යුද්දේ උගන්නන්න ඕනේ යුද්දේ 'රස්නය' දැනෙන විදිහට. නැත්නම් අර හමුදාවේ බාසාවෙන් කියනවානම් නිකන් බබා හුකුන් තමයි.

      flash, immediate, priority, වැනි යෙදුම් එන්නේ demi official කියන වර්ගයේ ලිපි වලට බවයි මගේ මතකය.

      ඇත්තටම අපේ මතකයෙන් ගිලිහෙන්නට පෙර මේ දැනුම කොහේ හෝ සටහන් කර තැබිය යුතුයැයි මටත් හිතුන නිසා තමයි මෙහෙම ලියන්නේ. ඔයත් ඩෝරා කතාවක්වත් ලිව්වොත් නරකද?

      බොහොම ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  9. බැලුවහාම සැලසුම සාමුහික ක්‍රියාවක්. ප්ලැන් හදලා හරි ගියොත් ගොඩ. වැරදුනාම කව්ද කරගහන්නේ?ක්‍රියාන්විතය බාර ඉහලම නිලධාරියා බෙල්ල දෙනවද? නැත්නම් වැරදීමට මුලික හේතුව සොයා එය භාර නිලධාරිවරයාගේ බෙල්ල ගලවනවාද ?

    ReplyDelete
    Replies
    1. වැරදුනාම කරගහන්නේ හමුදාපති. ඒ තමයි හමුදාවේ ක්‍රමය. කගේවත් බෙල්ල කපන්නේ නැහැ හිතාමතාම හෝ නොසැලකිල්ල නිසා හෝ කල වරදක් නොවේනම්.

      Delete
  10. ඕන් දැන් තමයි මේ කොටස කියවල ඉවර කළේ. අනෙක් කොටස් වලට වඩා තරමක් සංකීර්ණයි වගෙ දැණුනත් ඔබ ලියල තියන විදිහ නිසා තේරුම් ගන්න පුළුවන් වුණා. ස්තුතියි. ඊ ලඟට මොකක් ද ලියන්නෙ ? අර ඔටු දෙන ගෙ කතාව වගෙ එකක් ලියමු කො. :D කාලෙකින් ලිව්වෙත් නෑනෙ එහෙම එකක්.

    උඩ ඉන්න කෙල්ලයි කොල්ලයි කොහෙන් ද හොයා ගත්තෙ. වැදි පැංචෙක් ගමේ කෙල්ලක් උස්සන් යනව ද කොහෙද :D :D

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසියෙන් තියන මේ න්‍යායාත්මක කරුණු සිංහලෙන් ලියන එක හරිම අමාරුයි චන්දන. මම හිතන විදිහට මේ කරුණු සම්බන්ධ පළමුවැනි සිංහල පරිවර්තනය මෙය වන්නට පුළුවන්.

      අර කොල්ලා කොච්චර පරිස්සමෙන්ද බලන්න කෙල්ලව අරන් යන්නේ. නියම කොල්ලෙක් නේද? :e

      ඔටුදෙන වර්ගයේ කතා තියනවා. ලිව්වොත් ඔයා වගේ පොඩි ළමයි නරක් වෙනවා. ටිකක් සැර බාල කරලා ලියන්නම්.

      Delete
    2. හහා අන්න හරි. අඩු කරපු සැර ටික ඔය කොහොම හරි දා ගන්න බැරි යැ :e

      ඒක නෙවෙයි විචාරකතුමා, කෝ අපේ සෙන්නා, ඔය පැත්තෙ නේද ඉන්නෙ. මං මේල් එකකුත් දැම්මා. ප්‍රතිචාරයක් නෑ. සෑහෙන දවසකින් බ්ලොග් වල දැක්කෙත් නෑ.

      Delete
    3. කෙල්ලෝ උස්සන්න නෙවෙසි සැර ඕනේ උන් එක්ක ජීවත් වෙන්නයි. :e

      මොනවා............සෙන්නා අතුරුදහන් වෙලාද? සෙන්නා ඉන්නේ අපේ පැත්තේ නෙවෙයි හරීගේ ගෙවල් ළඟ. හරීගෙන් අහලා බලන්න.

      Delete
  11. අර උඩින් බුරා කියන කමෙන්ට් එක මගේ හිතගත් කමෙන්ට් එකක්. මේ ලිපි ටික කියවගෙන එනකොට මටත් ඔයවගේ අදහසක් හිතට ආවා. අන්න ඒ ගැළපීම කරගන්න පුළුවන් නම් කාට කාටත් වැදගත් වෙයි.

    කොටස් පහකින් ලියූ මේ සටහනේ අවසානය සටහන් තැබූ හැටිනම් ඉතා ඉහළයි. මේ වගේ ලිපි පෙළක් ඒ අයුරින් අවසන් කිරීම නිසා, කියවන කෙනාට නැවත නැවතත් මානුෂික අගයකින් හමුදාව ගැන හිතන්න පොළඹවනවා. ඔබේ මේ මහන්සියට මම ගෞරව කරනවා!!!

    ReplyDelete
    Replies
    1. ඇගයීම ගැන ස්තුතියි අරු. මම හැමවෙලාවෙම මෙවැනි ලිපියක් ලිව්වම හිතන්නේ අනේ මේ ලිපිය දහදෙනෙකුට වැටහුනොත් මට ඒ ඇති කියලයි.

      ඉදිරියේදීත් මෙවැනි ලිපි බලන්න ලැබෙයි. නැවතත් ස්තුතියි ඔබට.

      Delete
  12. විචාරක,

    ඔබේ එක්ක කාලයක් එකට බ්ලොග් වල ආ කෙනෙක් විදිහට මට දැනෙන දේ කිලින්ම කියන්නම්.මගේ මේ වචන ටිකක් රළු වෙන්න පුළුවන්, නමුත් එහි අපහාසයක් නැති බැව් මුලින්ම කිව යුතුයි.

    මේ වගේ අගනා සටහනක්, ඉතාම සංයමයෙන් සහ සිත් කාවදින්න ඉදිරිපත් කිරීමේ ඔබේ ඒ හැකියාව මෙතනදි අනෙක් හැමදේටම වඩා හොඳින් මතු වී තිබෙනව!

    මුලදි අපි දැක්කෙ "විචාරක නම විශ්‍රාමික මහල්ලා" ( අද ඔබ සිටින තැනට හෙට මම පත්වන බවත් අද මා සිටින තැන ඊයෙ ඔබ පසුකර පැමිණි බවත් දැන සිටිමි )! දැන් දැන් අපි දකින්නෙ "විචාරක නම් පරිණත වැඩිහිටියා".

    මේ ලිපි පෙල හමුදා මෙහෙයුමක් ගැන අපි නොහිතන සහ නොදත් දේ කියා දුන්න. අපි හිතනව "යුද්ධ කරන එක දෙයක්ද" කියල. ඒත් ඒකත් "මාර යුද්ධයක්" බව ඔබ පෙන්නල තියෙනව. මේ තොරතුරු සිංහලෙන් බෙද ගත්තාට ස්තූතියි.!

    මම යෝජනා කරනව ඔබ දන්න, ලෝක යුධ ඉතිහාසෙ "හමුදාමය අත්වැරදීම් හෝ දුර්වල සැළසුම්" කිහිපයක් ගැන ලියමු කියල ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. ඉන්දික මා ඔබව අගය කරන්නේ ඔන්න ඔය පොල්ලෙන් ගහනවා වගේ කියන්න තියනදේ කෙලින්ම කියලා දාන ප්‍රතිපත්තියටයි. මීට පෙර අවස්ථා ගණනාවකදීම ඔබ එවැනි කමෙන්ට් මේ අඩවියේ දාලා තියනවා. එතැනදී ඔබ, අනේ මේ මිනිහා නාකියෙක් නේද? මේකා තරහ වෙයිද? වැනි පෞද්ගලිකත්වයට කිසිසේත් ඉඩක් දෙන්නේ නැහැ. ඔබ අනුන්ගෙන් යැපෙන්නෙක් නොවන නිසා. අපහාසයක් නම් මට කවදාවත් දැනිලා නැහැ. නමුත් උපහාසයෙන් දෙන අවවාදයනම් මම බොහොම කැමති දෙයක්.

      මා එකතුකරගෙන තිබෙනවා අන්තර්ජාලයෙන් විශාල ලිපි ගණනක් සහ පොත් ගණනක්. ඒවා කියවමින් තමයි ලිපි ලියන්න නිමිති හොයාගන්නේ. ටිකක් හති ඇරලා ඔබේ රුචියට අල්ලන තවත් දෑ ලියන්නම්.

      නැවතත් ඔබට ස්තුතියි.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }