හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

28 December 2012

තවත් පුංචි කතා දෙකක්


13262232-sexy-chica-morena-en-bikini-azulඕ මයි ගෝඩ්!
හමුදා නිලධාරීන්ගේ සුහද සාදයක් පැවැත්වුනා. සෑම දෙනාම මීවිතකින් දෙකකින් සප්පායම් වෙමින් සල්ලාපයේ යෙදුනා.
එක හමුදා නිලධාරියකු කිව්වා මගේ පුතා පූජක වරයකු වෙන්න සෙමනේරියක ඉගෙන ගන්නවා. ඔහු ඕනෙම තැනකට ගියාම එතන ඉන්න මිනිස්සු එයාට ‘පින්වත් දරුවා’ කියා ගෞරව කරනවා.
තවත් නිලධාරියකු කිව්වා, මගේ පුතා දැනටමත් පූජක වරයෙක්, ඔහු ඕනෑම තැනකට ගියාම මිනිස්සු ‘ආයුබෝවන් පියතුමනි’ කියා ගෞරව දක්වනවා.
ඊළඟ නිලධාරියා කිව්වා මගේ පුතා බිෂොප් කෙනෙක්. එයා ඔනෙම් තැනකට ගියාම මිනිස්සු ‘ආයුබෝවන් උතුමාණනි’ කියනවා.
එතන හිටිය තවත් නිලධාරියකු තමන්ගේ පුතා කාදිනල් වරයකු බවත් ඔහු යන යන තැන සිටින අය ‘ආයුබෝවන් උතුමාණන් වහන්ස’ කියා අමතන බවත් කිව්වා.
ඊළඟ නිලධාරියා අපේ පුතා තමයි පාප් ව….. කියා කියනකොටම ඒ නිලධාරියාගේ බිරිඳ මෙන්න මෙහෙම කිව්වා.
ඔව්වා මොනවද, අපේ දුවගේ වයස 24යි, පපුව 38 යි, ඉන 22 යි, උකුල 36 යි, එයා නාන ඇඳුම ඇඳලා පූල් එකට බහිනකොට එතන ඉන්න මිනිස්සු ඔක්කොම ‘ඕ මයි ගෝඩ්’ කියනවා.
space 2
kiss_my_assකවුද ලොක්කා
මිනිස් සිරුරක තිබෙන අවයව අතර දවසක් විවාදයක් ඇතිවුනා. කවුද වඩාත්ම වැදගත් කියලා.
මොලය කිව්වා ‘ඕක කතා කරන්නත් තරම් දෙයක්ද? මමනේ සිරුරේ ලොක්කා. මමනේ මුළු සිරුරම පාලනය කරන්නේ’ කියලා.
ඊළඟට කට ඇරියේ රුධිර සංසරණ පද්ධතිය.’ හුහ්, මම ඇඟ පුරාම නිවැරදිව ලේ ගමනාගමනය නොකෙරෙව්වොත් කෙරිලා තියෙයි, තමුසෙගෙ මොලේ වැඩ. ලේ නැත්නම් තමුසෙටත් කෙලවෙනවා මතක තියාගන්නවා’ කියලා රුධිර සංසරණ පද්ධතිය කිව්වා.
මේ කතාවට හදවතට කේන්ති ගියා. ‘ඇයි යකෝ මම නේද පොම්පයක් වගේ නොනැවතී මුළු ජීවිතකාලය පුරාම වැඩ කරමින් ජීවිතය රැකගන්නේ’ කියා ගෝරනාඩු කළා.
ඔය විදිහට එක එක අවයවය තමන්ගේ වැදගත්කම වර්ණනා කරා.
අන්තිමට කතාකලේ ගුද මාර්ගයයි. ඇයි මම වැදගත් නැද්ද? ගුද මාර්ගය ඇහුවා.
‘හීහ් හී………….කියාපන් බලන්න උඹේ තියන වැදගත්කම?’ අනික් ඉන්ද්‍රියයන් ඇහුවා. ‘ඇයි මමනේ අනවශ්‍ය ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කරන්නේ’ කියලා ගුද මාර්ගය කිව්වා. ‘අනේ උඹේ රෙද්දේ කළමනාකරණය. නිකං කට වහගෙන හිටපං’ කියලා අනික් ඉන්ද්‍රියයන් කිව්වා.
ගුද මාර්ගය වහාම වැඩ වර්ජනයක් ආරම්භ කළා. ඉක්මනින්ම මොලය ක්‍රියා විරහිත වෙන්න වගේ ඔලුව කැක්කුමක් ඇතිවුනා. ආමාශය ගල් වෙලා වගේ දැනුනා, ලේ සීතල වෙලා වගේ ගියා. හෘදය වස්තුව නවතින්න යනවා වගේ දැනුනා. අන්තිමට ඒ ඔක්කොම කිව්වා ‘හරි හරි උඹ තමයි ලොක්කා ඔය ස්ට්‍රයික් එක නවත්තාපන්’ කියලා.
කතාවේ ආදර්ශය:- කොහේ හරි අයිනක තියන, වැඩක් නෑ කියලා හිතෙන පුංචි හිලකින් වුනත්, ලොකු වැඩ කරගත හැකිය.
My Signature for Blog2012 දෙසැම්බර් මස 28 වැනි දින 0019 පැය

23 December 2012

අනික් ඒවා ආරක්ෂිතව කරනවා මේක විතරක් බැහැ Survival in Adventure Tours


Student_Expedition_China1   පරිසර චාරිකා වල යෙදුන විශාල පිරිසක් පසුගිය දිනවල ඇතිවුන හදිසි මහා වර්ෂාපතනය නිසා තමන් නරඹන්නට ගිය ප්‍රදේශවලම කොටුවී සිට ඉතා අපහසුවෙන් බේරාගත් සිදුවීම් කීපයක් වාර්තාවී තිබුනා. සමහරු අනතුරු වලටද මුහුණදී තිබුනා. මෙහෙම වෙන්නේ ඇයි? මේ ලිපියෙන් මා ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ සාමාන්‍ය වන්දනා ගමනක් නොවන, වනාන්තර, කඳුකර ප්‍රදේශ, අභයභූමි, දුර්ග මාර්ග, ආදියෙහි ගමන් කරමින්, කඳුකර පාපැදි සංචාර (Mountain Bike), කිරි වතුරේ පහුරු පැදීම (White water Rafting), කඳු නැගීම,  (විශේෂයෙන් පයින් ගමන් කරමින්) විඳින ත්‍රාසජනක සතුට ආරක්ෂිතව ලබාගන්නේ කොහොමද කියන එක ගැනයි. රිවස්ටන් ප්‍රදේශයේදීත්, හන්තාන ප්‍රදේශයේදීත්, මෙවැනි සංචාරවල නිරතවූ පිරිස්, දැඩි අපහසුතාවට පත්ව, ආරක්ෂක හමුදාවන්හි පිහිටෙන් බේරාගත් බව, රූපවාහිනී පුවත් වල මෙන්ම, සති අන්ත පුවත්පත්වල ද දකින්නට ලැබුනා. 
(ඉහත පින්තුරය ගත්තේ මෙතනින්)
  ප්‍රථමයෙන්ම අප මතක තබාගතයුතු වැදගත් කාරණයක් තියනවා. අපේ රටේ අනාදිමත් කාලයක සිට කෙරෙන වන්දනා සහ විනෝද චාරිකා තිබෙනවා. එවැනි සාම්ප්‍රදායික චාරිකා අතරින් තරමක් හෝ අපහසු චාරිකාවක් හෙවත් ගමනක් වන්නේ, ශ්‍රීපාදස්ථානය වෙත ගමන් කිරීමයි. විනෝදය සමග ත්‍රාසය සුළුවෙන් ලබන්නේ සීගිරිය නැගීමෙදීයි.  නමුත් ත්‍රාසජනක විනෝද ගමන් Adventure Tours යනු විශේෂයෙන් සැලසුම්කර හොඳින් සංවිධානයවී යායුතු ගමන් විශේෂයක්. ඔබ දන්නවා, පැරණි කියමනක් තියනවා, ‘දඹුලු ගිහින් තලගොයිත් මරාගෙන එනවා’ කියා. එයින් අදහස් කරන්නේ හොඳ වැඩකට ගිහින් (දඹුලු විහාරය වැඳීම) නරක වැඩකුත් කරනවා (තලගොයින් මැරීම) කියන එකයි. (මෙහිදී තලගොයින් කියන්නේ තල වගා කරන ගොවියන්. මා වැරදියට ලියා තිබුණ දේ නිවැරදි කිරීමට මග පෙන්වාදුන් සමී ට සහ කැන්ඩියන් ට මගේ ප්‍රණාමය.) අපි ඒ ඇසුරෙන් මොහොතකට මෙහෙම හිතමු. අප යනවා, වයසක වැඩිහිටියන්, ළදරුවන්, හදිසි රෝග තත්වයන්ට භාජනයවීමේ අවදානමක් ඇති පුද්ගලයන්, මෙන්ම හොඳ තරුණ පිරිසක්ද ඇතුළුව යන චාරිකාවක්. මෙවැනි චාරිකාවකදී රිවස්ටන්/හන්තාන වැනි ත්‍රාසජනක චාරිකාවක යෙදෙන්නේ නම්, ආරක්ෂක පියවර රාශියක් අනුගමනය කිරීමට සිදුවෙනවා. ඒ ගැන නොසිතා අර දුර්වල පිරිසත් බලහත්කාරයෙන්ම වගේ ඇදගෙන ගියොත් ඔබ කරන්නේ ඔවුන් මරණයට පවා පත්වියහැකි බරපතල අනතුරක හෙලීමයි.
  අපි එකින් එක ගෙන සාකච්ඡා කරමු මොනවද මේ ආරක්ෂක පියවර කියා. මෙහිදී තරමක විවාදාත්මක කරුණු ගැනත් කතාකරන්න වෙනවා. ඒ නිසා මා හිතනවා ඔබත් මේ ගැන ඔබේ අදහස් විවෘතවම දක්වනු ඇතැයි කියා. අපි පටන් ගනිමු ගමන සංවිධානය කරන තැනින්. හොඳින් මතක තබාගන්න මා මෙහිදී අදහස් කරන්නේ ලංකාවේ සාම්ප්‍රදයික් පවුලක් මේ ගමන යන ආකාරයටයි ඉන්පසු සලකා බලමු තරුණ පිරිසක් යනවානම් කොහොමද කලයුත්තේ කියා.
  කවුද යන පිරිස? සැමියා (වයස 40 යි) බිරිඳ (වයස 38 යි) ඒ දෙදෙනාගෙන් කාගේ හෝ එක්කෙනෙකුගේ දෙමවුපියෝ. (තාත්තා 78 යි අම්මා 76 යි) තාත්තා හෘද සැත්කමකින් සුවය ලබා සිටින, එහෙත් බරවැඩ කල නොහැකි අයෙක්. අම්මා ආතරයිටිස් රෝගියෙක්.  දරුවෝ තුන්දෙනයි. (වයස 8, 5, 2,) මේ ගමන යන්නේ, රෝද හතරටම බලය නැති, වසර 20 ක් පමණ පරණ ඩීසල් වෑන් එකකින්. වාහනය එලවන්නේ සැමියා. ගමනේ යෙදෙන වෙනත් කිසිවෙකුටවත් වාහන පැදවීමට හැකියාවක් (බලපත්‍රයක් නැතිව හෝ) නැහැ.  ඉතින් මෙවැනි පිරිසක්, මෙවැනි වාහනයකින් රිවස්ටන් වැනි ප්‍රදේශයකට යන්නට උත්සාහ කිරීම මොන තරම් අමනොඥ වැඩක්ද? නමුත් පුදුමය වන්නේ මෙවැනි පිරිස් දුර දිග නොසිතා එවැනි ගමන් යාමයි.
මෙවැනි පිරිසක් යායුත්තේ, උපරිම වශයෙන් පාන්දරින් ගොස් රෑබෝවී  ආපසු නිවසට එන ගමනක් පමණයි. තමන්ට හදිසියකදී අධාරය සඳහා ගෙන්වාගත හැකි අය සිටීනම් තමයි ඔවුන් වඩාත් දුර ගමන් යායුත්තේ. එමෙන්ම වාහනයේ යාන්ත්‍රික තත්වය (roadworthiness) 70% ක් වත් මට්ටමක තිබිය යුතුයි.
   ත්‍රාසජනක අත්දැකීම් සහිත ගමන්යාමෙදී විශේෂයෙන් සැළකිය යුතු කරුණු මොනවාද? 
1. ගමන සංවිධානය:-
පහත දැක්වෙන කරුණු ගැන අවධානය යොමු කරන්න.
  • ඒ ප්‍රදේශයේ භූගෝලීය පිහිටීම කෙබඳුද?
  • ඒ ප්‍රදේශයේ දේශගුණික/කාලගුණික තත්වය කෙබඳුද?
  • ඒ ප්‍රදේශය ගැන සතුටුදායක දැනීමක් තිබෙන එක අයකුවත් ඔබේ පිරිසේ ඉන්නවාද?
  • ඔබේ පිරිසේ සියලුදෙනා එවැනි පරිසරයක ගමන් කිරීම සඳහා සුදුසු සෞඛ්‍ය තත්වයෙන් සිටිනවාද?
  • ඔබට මේ සඳහා සකසාගත් සැලැස්මක් තිබෙනවාද? නැතහොත් ඔහේ යන්නන්වාලේ යන ගමනක්ද?
  • ඔබ මෙම ගමන යාමේ පරමාර්ථය කුමක්ද?
ගමන පිටත්වීමට පෙර ඉහත කරුණු ගැන ඔබ හොඳින් තෘප්තිමත් තත්වයක සිටිය යුතුයි. අද සමහර අය කරන්නේ අද රෑ කතාවී හෙට උදේ පිටත්වීමයි. එය මෙවැනි ගමන් සඳහා කිසිසේත් සුදුසු නැහැ.
2. ගමන් කරන පිරිස:-
ඔබ යන්නේ වන්දනා ගමනක් නොවෙයිනේ. ත්‍රාසය මුසු ගමනක්. ඉතින් එහිදී ප්‍රථම ස්ථානයට එන්නේ ඔබේ ශාරීරික යෝග්‍යතාව. ඇත්තටම කියනවානම් ඔබ මානසික වශයෙන්ද යෝග්‍ය විය යුතුයි. අප නොදන්නා කායික මානසික ව්‍යාධි අප තුළ සැඟවී තිබිය හැකියි. ඒ නිසා මෙවැනි ගමනක් පිටත්වීමට පෙර සරළ වෛද්‍ය පරීක්ෂණයක් වත් කරගැනීම සුදුසුයි. (fitness test) ඔබ නිතර ශාරීරික ව්‍යායාම වල යෙදෙන්නෙක් නම් ගැටළුවක් නැහැ. එමෙන්ම මෙවැනි ගමනක් යාමට පෙර කඹයකින් එල්ලී නැගීම බැසීම, දිය පහරක් හෝ පටු ඉවුරු දෙකක් හරහා දමා ඇති කොටයකින් එගොඩවීම, තුවාල හෝ අබාධයකට ලක්වූ කෙනෙකු කරේ තබාගෙන යාම (fireman’s lift) වැනි දේ දැනසිටීම වැදගත්.
Untitled-1
පින්තුරය ගත්තේ මෙතනින්
  • මත්පැන් පානය කර ත්‍රාසජනක සංචාරවල යෙදෙන්න බැහැ. කිසිවකු හිතනවානම් එහෙම පුලුවන් කියලා, ඔහු ඉන්නේ දැඩි අවදානමක. ගමනේ ත්‍රාස ජනක කොටස අවසන් කර මත්පැන් පානයට සුදුසු ස්ථානයකට පැමිණි පසු මත්පැන් පානය කරන්න. කණ්ඩායමේ සියලුදෙනාම තදින් මත්පැන් පානය කලොත් , වගකීම, විශ්වසනීයත්වය, ආරක්ෂාව, පිළිගැනීම, තීරණ ගැනීම, යන සියල්ල ගිලිහෙනවා. කිසියම් අවාසනාවන්ත සිද්ධියකට ඔබේ පිරිස ලක්වුනොත්, පොලීසිය, මහජනතාව, වෛද්‍යවරු, ඔබව විශ්වාස කරන්නට මැලි වෙනවා.මේ නිසා ගමන සංවිධානයේදීම මත්පැන් පානය නොකරන කීප දෙනෙක්ද පිරිසට ඇතුලත් කරගැනීම අතිශයින්ම වැදගත්.
  • ප්‍රථමාධාර ගැන දැනුම ඇති එක අයකු, ත්‍රාසජනක ගමන්වල යෙදී අත්දැකීම් ඇති එක අයකු, හදිසි අවස්තාවකදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කලබල නොවී තීරණ ගතහැකි අයකු ඔබේ කණ්ඩායමේ සිටීනම් එය ඉතා වටිනවා.
  • කණ්ඩායමට නායකයකු පත්කරගත හැකිනම් බොහොම හොඳයි. නමුත් මෙවැනි ගමන්වල යෙදෙන අය තම පෞද්ගලික නිදහස අගයන නිසා එවැනි නායකත්වයකට ගරු කරන්න කැමති නැහැ. අඩු ගණනේ දෙදෙනෙකුවත් කණ්ඩායමේ මෙහෙයවීම භාර අය වශයෙන් තබාගැනීම වැදගත්. ඔවුන් වගකීම දරන, මග පෙන්වීමේ හැකියාව ඇති, මෙවැනි කටයුතු පිලිබඳ දැනුම ඇති ය විය යුතුයි. හැබැයි ඒ දෙන්න ඔක්කොටම වඩා බීමත් වුනොත් සියල්ල එතනින් ඉවරයි.
  • ඔබේ පිරිසට තරුණයන් තරුණියන් යන දෙපාර්ශ්වයම අයිතිනම් වගකීම තවත් දැඩි වෙනවා. පෙම් යුවළක් හෝ කීපයක් සිටීනම් බොහෝවිට උත්සාහ ගන්නේ කණ්ඩායමේ සිටීමට නොව අදාළ පරිසරයට ගිය වහාම කණ්ඩායමෙන් වෙන්වීමටයි. එයට තහංචි දාන්න බැහැ. නමුත් හදිසියකදී අනික් අයගේ ආධාරය (පෙම් කරන්නට ගොස් ඇතිවන හදිසි තත්වයක් නොවේ :D :D ) ලබාගත හැකි දුරකින් සිටීම වැදගත්.
  • ඇත්තටම ඔබට වැඩ බැරිනම් ගෑනු ළමයින්ට පෙනෙන්න වැඩ පෙන්නන්න යන්න එපා. ඔබ අනතුරකට පත්වුනොත් මුළු ගමනම එතනින් ඉවරයි.
  • ඔබ තරුණියක් නම්,  ගමන යාමට පෙර සිතිය යුතු කරුණු තිබෙනවා. ඔබ සාම්ප්‍රදායික සමාජ තත්වයන් (රළු පරිසරයකදී බයිසිකල් පැදීම, වැටීම, වැනි දේ නිසා කන්‍යාභාවයට හානිවීම වැනිදේ) ගැන තදින් සලකන්නේ නම් මෙවැනි ගමන් නොයන්න. මෙවැනි ගමන් සඳහා ඔබටද තරුණයන්ට සාපේක්ෂව තරඟකාරී ශාරීරික මානසික යෝග්‍යතාවක් තිබිය යුතු බව තදින් මතක තබාගන්න. අනුන්ගෙන් යැපෙන්න යන්න එපා.
3. ආරක්ෂාව:-
  • අපි හිතමු ඔබ හන්තාන නගිනවා වැනි ක්‍රියාවක යෙදෙනවා කියා. මුලින්ම ඔබේ පිරිසේ සියලු දෙනාගේ පහත දැක්වෙන විස්තර සහිත ලේඛනයක් සකස් කර ඔබේ ප්‍රදේශයේ පොලීසියටත්, ඔබ ඒ ත්‍රාසජනක ක්‍රියාවේ යෙදෙන ප්‍රදේශය අයිති පොලීසියටත් දෙන්න. නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය, ජංගම දුරකථන අංකය, ලිපිනය, හදිසි අවස්ථාවකදී දැනුම්දීමක් කළහැකි ළඟම ඥාතියකුගේ නම, ලිපිනය, දුරකථන අංකය. (යන්නේ ගෙවල් වලට හොරෙන් නම්, ඔබේ ප්‍රදේශයේ පොලීසියට නොදී, ඔබ යන ප්‍රදේශයේ පොලීසියටවත් දෙන්න) පිටත් වන වෙලාව සහ ආපසු පැමිණීමට බලාපොරොත්තුවන වෙලාවත් සඳහන් කරන්න. එමෙන්ම ගමන අවසන් කලපසු පොලීසියට කතාකර තමන් පැමිණි බව තහවුරු කරන්න.
  • ඔබේ ගමනට මාර්ග සිතියමක් අවශ්‍ය නම් කල්තබා එය සකස් කරගන්න. ගූගල් මැප් තිබෙන නිසා ටැබ්ලට් පරිගණකයක් රැගෙන යාමෙන් එවනි ප්‍රශ්න විසඳාගත හැකියි. GPS සහිත ජංගම දුරකතනයක් ඇත්නම් එයත් වැදගත්. හැබැයි මතක තබාගන්න. ඔය යන්තර සූත්තර කොයි වෙලාවේ අවුල් වෙනවද කියා කියන්න බැහැ. ඒ නිසා දළ සටහනක්වත් ඇඳ සකස්කර තබාගැනීම වඩාත් ප්‍රඥාගෝචරයි.
  • ඔබ ගමන් කරන ප්‍රදේශයේ අවට පිහිටි නගර, ගම්, මාර්ග සන්ධි ආදිය ගැන අවබෝධයක් ගමන යාමට පෙර ලබාගන්න. ඔබ යාමට අදහස් කරන ස්ථානයේ සිට එකී ගම්, නගර, මාර්ග, වෙත යාහැකි ආකාරයද, ඒවා පිහිටා ඇත්තේ ඔබ යන ස්ථානයේ සිට කුමන දිශාවෙන්, කොපමණ දුරකින්ද යන්න ගැනත්, අවබෝධයක් ලබාගන්න. ඔබට මාලිමා යන්ත්‍රයක් ගෙනයාමට හැකිනම් වඩාත් හොඳයි. හොඳින් මතක තබාගන්න, ශ්‍රීලංකාව කියන්නේ දින ගණන් අතරමංව සිටීමට සිදුවන තරම් විශාල රටක් නොවෙයි. මේ රටේ ඕනෑම කෙනෙකුට, නිශ්චිත දිශාව සොයාගැනීමට හැකිනම්, උපරිම වශයෙන්, පැය තුනකින් හතරකින්, ජනාවාසයක් අසළට පැමිණිය හැකියි.
  • ඔබේ කණ්ඩායමේ ආරක්ෂාව භාරව යටත්පිරිසෙයින් තිදෙනෙකුවත් සිටිය යුතුයි. ඉතා විශාල පිරිසක් නම් 25 දෙනෙකුට දෙදෙනෙක් තරම්වත් සිටිය යුතුයි. ඒ වගේම ඔවුන්ට ආරක්ෂාව ගැන අවබෝධයක්/ අත්දැකීමක්/ පුහුණුවක්/ තිබිය යුතු අතර කණ්ඩායමේ අනික් අය ඔවුන්ගේ උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි.
  • ඔබට හැකිනම් ඔබේ නම, ලිපිනය, ලේ වර්ගය, හදිසියකදී දැනුම් දියයුතු අයගේ නම, ලිපිනය, දුරකථන අංකය, ළඟම පොලීසිය, යන විස්තර කුඩා කාඩ් එකක් ලෙස පරිගණකයකින් සකස්කර, ලැමිනේට් කර, නොකැඩෙන නූලකින් කරේ එල්ලාගෙන යන්න.
  • හදිසි අවස්ථාවකදී කණ්ඩායමේ සියලුම දෙනා තරගයට වගේ තමන්ගේ අතේ තිබෙන ජංගම දුරකථන සියල්ලම එකවර යොදාගනිමින් කතාකර බැටරි බස්සාගන්න එපා. එක දුරකතනයකින් සියල්ල කරන්න. එහි බැටරි බැසගිය පසු ඊළඟ දුරකථනය ක්‍රියාත්මක කරන්න.  
  • අපි හිතමු ඔබ ඇතුළු පිරිස අතරමංවී සිටින ප්‍රදේශයට හෙලිකොප්ටරයක් ගොඩබා ගන්නට අවශ්‍ය වුනා කියා. ඔබට ඒ සඳහා හෙලිකොප්ටර් නියමුවාට උදව් විය හැකියි. හෙලිකොප්ටරයක් තරමක අවදානමක්ද සහිතව ගොඩබෑමට නම්, අවම වශයෙන් මීටර් 60 x 60 ප්‍රමාණයේවත් සමතලා භූමියක් අවශ්‍යයි. එය, තද සුළඟට භාජනය නොවන, විදුලි කම්බි, දුරකථන කම්බි, දුරකථන/රුපවාහිනි ඇන්ටෙනා කුළුණු, උස ගස්, අසළ නැති තැනක් විය යුතුයි. න්‍යායාත්මකව මෙය හඳුන්වන්නේ ‘පතිතවීමේ සහ එසවීමේ ස්ථානය’ (Touchdown and Liftoff Area = TOLF) යනුවෙන්. මෙහිදී ඔබට හැකිනම් හෙලිකොප්ටරය ගොඩබෑමට සුදුසු ස්ථානයක් බව දැක්වෙන ජාත්‍යන්තර සංකේතය සකස් කරන්න. එය සුදු පැහැති විශාල H අකුරක්.  H අකුර තිබෙන ස්ථානය හෙළිපෑඩ් (Helipad) යනුවෙන් නම් කරනවා. ඔබ ළඟ සුදු හෝ ඊට ආසන්න වර්ණයක රෙදි ඇත්නම් ඔබ තෝරාගත් භූමියේ හරි මැද අර H අකුර සුළං හමන දිශාවට මුහුණ ලා සකස් කරන්න. ඇත්තටම නම් සුදු පැහැය තමයි අවශ්‍ය. මෙහිදී ඔබට ඔබේ පිරිසේ අය හැඳ සිටින රෙදි පවා ඉරා, කෝටුකෑලි, යකඩ ඇන මෙන් පොළොවට වදිනසේ ඒ රෙදි වලට ගසා, හෙළිපෑඩ් සලකුණ සෑදීමට පවා සිදුවිය හැකියි. හෙලිකොප්ටරය ගොඩබානවිටම එය අසළට දුවන්න එපා. සමහරවිට හෙලිකොප්ටරයේ බමන තල ඔබේ හිසේ වැදී මරණීය තුවාල සිදුවෙන්නත් පුළුවන්. පළමුව හෙලිකොප්ටරය කරදරයකින් තොරව ගොඩබෑමට නියමුවාට ඉඩදී, ගොඩබාන භූමියෙන් ඈත්වී සිටින්න. හෙලිකොප්ටරය ගොඩබා, එහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු විසින්, එය අසළට එන ලෙස, ඔබට සංඥා කරනතුරු, ඉවසීමෙන් සිටින්න. 
Helipad
4. ඇඳුම:-
  • ත්‍රාසජනක ගමනක යෙදීමේදී ජාතික ඇඳුමෙන් හෝ සාරි/ඔසරි/ගවුම් වලින් සැරසී යන්න බැරි බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඩෙනිම් වැනි කලිසමක් සහ සාක්කු සහිත ටී ෂර්ට් එකකුත් සිප් ෆාස්ට්නර්ස්/වෙල්ක්‍රෝ/බොත්තම්/ වලින් වැසිය හැකි සාක්කු කීපයක් සහිත ඝන සම්/රෙක්සින්/ඩෙනිම්/ ජැකට්ටුවක් ඉතාම යෝග්‍යයි. අවස්ථාවට, දේශගුණයට, පරිසරයට, ගැලපෙන හිස්වැසුම් තෝරාගත යුතුයි. පිටේ එල්ලාගෙන යන මල්ලක් අත්‍යවශ්‍යයි. බෝට්ටු/පහුරු/යාත්‍රා ගමනක් නම් අර ජැකට්ටුව ගලවා තබා යන්න. වඩාත් සුදුසු ජලය නොඅල්ලන කොට කලිසමක් සහ සැහැල්ලු ටී ෂර්ට් එකකුයි. එකක් මතක තබාගන්න. ජීවිතාරක්ෂක කබා නොපැළඳ ජල තරණයේ යෙදීම සියදිවි නසාගනීමක්. ජීවිතාරක්ෂක කබා නොසපයන කිසිදු යාත්‍රාවකට කෙදිනකවත් එවැනි ගමනක් සඳහා ගොඩවන්නට එපා.
  • ත්‍රාසජනක ගමන්වල යෙදීමේදී පිටේ එල්ලාගෙන යන මල්ලක් ඉතා වැදගත් බවත් ඔබ දන්නවා. නමුත් ඔය මල්ලේ බුලත් විට, බීඩි, අරක්කු බාගයක්, බයිට් පැකට් එකක්, ගෙනෙහින් වැඩක් නැහැ. ඊට වඩා හොඳයි ඒ මල්ල නොගෙනියන එක. සමහරුනම් අඩු ගණනේ වේදනා නාශක ආලේප සහ ඇස්ප්‍රින් හෝ පැරසිටමෝල් වැනි පෙතිවත් අරගෙන යනවා. අපි බලමු ඇත්තටම අවශ්‍යවන දේවල් මොනවද කියා.  අමතර ඇඳුමක්, අමතර යට ඇඳුම්, මේස් දෙකක්, තුවායක්,  අවම වශයෙන් පැය 24 ක් හාමත් නොවී සිටින්නට ගැලපෙන කෑම වර්ග, (ක්‍රීම් ක්‍රැකර් බිස්කට්, රටඉඳි, ජුජුබ්ස්, ග්ලුකෝස්,චොක්ලට්) (බොන වතුර ගෙනියන්න ඕනේ කියලා කියන්න අවශ්‍ය නැහැනේ) ප්‍රථමාධාර උපකරණ, වේදනා නාශක, විෂබීජ නාශක, තුවාල වෙළුම් පටි, ක්‍රේප් බැන්ඩේජ් එකක්, තැලීම් සහ උළුක්කු ආදියේදී ගෑමට සුදුසු ආලේපන. වඩාත් නිවැරදි ක්‍රමය වන්නේ සම්පූර්ණ ප්‍රථමාධාර බෑගයක් වෙනමම සකස්කර තබා ගැනීමයි. සර්පයන් දෂ්ඨ කිරීමකදී දෙන ප්‍රථමාධාර විශේෂයෙන් දැන සිටීම වැදගත්, ඒ වගේම තමයි ගෝනුස්සන්, මකුළුවන් සහ බඹර, දෙබර, ප්‍රහාර වලදී ගතයුතු ක්‍රියාමාර්ගත් දැන සිටිය යුතුයි. එක් එක් කරුණට අදාළ සාමාජිකයන් කීප දෙනෙක් කණ්ඩායමේ ඉන්නවානම්, ( මග පෙන්වන්නා, ප්‍රථමාධාරකරුවා, පණිවිඩ හුවමාරුකරුවා, ආරක්ෂක උපදේශකයා,) ඒ කණ්ඩායම ඉතා ශක්තිමත්. නමුත් ආහාර ද්‍රව්‍ය සියලුදෙනා අත තිබිය යුතුයි. පිටේ එල්ලාගෙන යන මල්ල නිවැරදිව පටි වලින් තදවී තිබීම අත්‍යවශ්‍යයි. නැතහොත් ඔබට ගමනේදී අපහසුතාවන් දැනෙනවා. බර බඩු ගෙනයාමෙන් හැකිතරම් වළකින්න.
  • ඔබ වෘත්තීය කමරාශිල්පියකු නොවේනම්, වෙනමම ගෙනයායුතු විශාල ලෙන්ස් සහිත, ලොකු කැමරා ගෙනයන්න එපා. කැමරාව රකින්න ගොස් ඔබ අමාරුවේ වැටෙන්න පුළුවන්.
backpacker 2අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූපයකි
  • ගමනට සුදුසු සපත්තු තෝරාගැනීමද වැදගත්.  බොහෝ දෙනා අද පළඳින්නේ ක්‍රීඩා සපත්තු නිසා පොදුවේ එය සුදුසුයි. නමුත් ඔබට හොඳින් පිහිනන්න බැරිනම් ජල තරණයේදී සපත්තු නැතිව යන්න.  ඔබ පාවිච්චි කරන සපත්තු වලින් ඔබේ කකුලේ ඇස්වටය ප්‍රදේශය ආවරණය වන්නේ නම් (ankle boots) කකුල උළුක්කු වීමට ඇති අවස්ථාව බොහෝ දුරට මග හැරෙන අතර සර්ප දෂ්ඨයකදී ද ආවරණයක් වෙනවා.
Hiking Shoes
අනතර්ජාලයෙන් ලබාගත් ඡායාරූපයකි
5. ප්‍රවාහන කටයුතු:-
  ගමන යාම සඳහා කුලී වාහන යොදාගන්නේ නම්, ඒ වාහන ගමනට සුදුසු යාන්ත්‍රික තත්වයේ තිබෙන විශ්වාසදායක වාහන විය යුතුයි. ඒ වාහන ඊට පෙර එවැනි ගමන් සඳහා පාවිච්චි කල අයගෙන්ද විමසීම සුදුසුයි. ගමය යන අතරතුර හෝ අද දිනපාන්දර සිට රාත්‍රිය වනතුරු ගමන් කර හෙට පාන්දර යළිත් පිටත්වනවානම්, රියදුරාට මත්පැන් පානය කරන්න ඉඩ දෙන්න එපා. වාහනය කුලියට ගැනීමේදී ඔබේ කොන්දේසියක් ලෙස මත්පැන් පානය නොකරන රියදුරෙකු (හැබැයි බලන්න ඒ වෙනුවට එන්නේ කුඩු ගහන එක්කෙනෙක්ද කියලා) ඉල්ලා සිටින්න. සමහර අය බලහත්කාරයෙන් රියදුරාට මත්පැන් පොවනවා. එවැනි අය කණ්ඩායමට කරන්නේ බරපතල හානියක්. ඔහු අනියම් මිනීමරුවෙක්. රියදුරාගේ වෙහෙස අනුව සාධාරණ විවේකයක් ඔහුට ලබාදිය යුතුයි. රියදුරන්ට නින්ද යාමෙන් සිදුවන අනතුරු වැඩියි. රියදුරා සමග කතාකරමින් යාම මෝටර් ප්‍රවාහන නීති අනුවනම් වැරදි වැඩක්. ඔහුගේ අවධානය නොබිඳෙන ලෙස කතාකිරීම නම් එතරම් වරදක් නොවෙයි. මහ හඬින් සින්දු දාගෙන, ජංගම දුරකතනයද පාවිච්චි කරමින් යන රියදුරා, නියම මග මරුවෙක්. වාහනය කුළියට ගෙන තිබෙන්නේ ඔබයි. වාහනය ගමන් කලයුත්තේ ඔබ කියන ආරක්‍ෂිත වේගය අනුවයි. රේඩියෝවේ හඬ ඔබ කැමති මට්ටමේ තිබිය යුතුයි. කොන්දොස්තරත් රථය පදවනවානම් ඔහුට ඇත්තටම ඒ සඳහා බලපත්‍රයක් තිබිය යුතුයි.
6. ගමනේ සම්පූර්ණ වාර්තාවක් තබාගන්න:-
  • ගමන යන අයගෙන් කෙනෙක් ගමන සංවිධානය කරන මොහොතේ සිට ආපසු පැමිණ ගමන අවසන් කිරීම දක්වා සම්පූර්ණ කාලය තුළ සිදුවූ සියල්ලම දිනය, වෙලාව, සිදුවීම, ගන්නා ලද පියවර, වෙනත් කිවයුතු කරුණු, යන මාතෘකා ඔස්සේ ලොග් සටහනක් තබාගන්න. මෙය විහිළුවක් නොවේ. මෙය කිසියම් බරපතල සිදුවීමකදී සාක්ෂියක් ලෙස වැදගත් වෙනවා. එමෙන්ම කවදා හෝ නැවත මෙවැනි ගමනක් සංවිධානය කිරීමේදී පසුගිය වතාවේ සිදුවූ අඩුපාඩු මගහරවා ගැනීමට විශාල ආධාරයක් වෙනවා. ගමන ගැන සංචාරක සටහනක් ලෙස ලිවීමට උපකාරයක් වෙනවා.
  මා ඔබට ඉදිරිපත් කලේ පාඨමාලාවකින් කියාදියයුතු තරමේ දීර්ඝ විස්තරයක් හැකි තරම් කෙටි කිරීමක් ලෙසයි. ඉඩ ලැබුනොත් පසුව මේ ගැන කොටස් වශයෙන් ලියන්නම්.
 මේ ලිපිය ලියන්නට පටන් ගත්තේ රිවස්ටන් ප්‍රදේශයේ සහ හන්තාන ප්‍රදේශයේ අතරමං වූ පිරිස් ගැන දැනගත් මොහොතේයි. මේ දැන් දැනගන්න ලැබුනා තිස්සමහාරාම වැවේ බෝට්ටුවක් පෙරලීමෙන් හත් දෙනෙකු මියගිය බව. ඉතා අවාසනාවන්ත තත්වයක්. හේතු කීපයක් තිබෙනවා. කණ්ඩායම් නායකයකු නැහැ. පිරිසේ බහුතරය බීමත්ව සිට ඇත්තේ. ආරක්ෂාව ගැන කිසිදු හැඟීමක් තිබී නැහැ. බෝට්ටු කාරයා සල්ලි ගැන පමණක් සිතා මුළු පිරිස 22 ක් ? ගෙනගොස් තිබෙනවා. ඔවුන් කිසිවකුටත් ජීවිතාරක්ෂක කබා තිබී නැහැ. එමෙන්ම ඉතා අවාසනාවන්ත කරුණක් තමයි අපේ රටේ ජනතාවගෙන් 25% ක් වත්, පිහිනීම කෙසේ වෙතත්, ගැඹුරු ජලයේ නොගිලී, තමන් බේරාගන්නාතුරු සිටීමට දන්නවාද කියන එක.
  ඔබ දකින්න ඇති, මෑතකදී ,කිමිදුම් කරුවන් හතර දෙනෙක්, ගොඩබිමට කි.මී. 12 ක් ඈතින් මුහුදේ අතරමං වුවත්, පැය 24 කට පසු බේරාගන්නා තුරු ජලයේ නොගිලී සිටීමට සමත්වීම පිලිබඳ රූපවාහිනී පුවත් වාර්තාව. එසේ සිටින්නට ඔවුන්ට හැකිවුනේ ඔවුන් ලබාසිටි පුහුණුව නිසයි. පිහිනුම් පන්තියකට වඩා ටියුෂන් පන්ති ලොකුයිනේ. ඉතින් මොකද කරන්නේ. දරුවකු ඒවාට යොමු කරන්නේ කීයෙන් කී දෙනාද?
මූලාශ්‍ර:- 
  • The Survival Handbook (Essential Skills for Outdoor Adventure) 2009 Edition
  • US Department of Transportation Advisory Circular 150/5390/2B (1994)
My Signature for Blog2012 දෙසැම්බර් මස 23 දින 2303 පැය

21 December 2012

තමන් ඇඳි නිල ඇඳුමත් කෙලෙසන්නෙක්


plagiarism  මගේ බ්ලොග් අඩවියට ලැබුන කමෙන්ට් එකක් ඔස්සේ කරුණු සොයා ගිය මට බ්ලොග් හොරෙක් අතටම අල්ලාගන්න පුළුවන් වුනා. මොහු තමන්ව හඳුන්වා දී තිබෙන්නේ යුද හමුදාවේ සේවය කළා කියලයි. මොහු ඇඳ සිටින නිල ඇඳුම් සහ නිළ ලාංඡන දෙස බැලීමේදී, මොහු ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායට අයත්ව සිටි කපිතන් වරයකු බව පෙනෙනවා. මොහු මගේ බ්ලොග් අඩවියෙන් ලිපි තුනක් හොරකම් කර මොහුගේ නිර්මාණ ලෙස පළ කර ඇති අලජ්ජි පුද්ගලයකු බව ද පෙනෙනවා.  මෙන්න මොහු හොරකම් කර ඇති මගේ ලිපි.
මෙන්න මොහුගේ අලජ්ජි බ්ලොග් අඩවියhttp://srilankaforces.blogspot.com/
මෙන්න මොහු තමන්ව හඳුන්වා දී ඇති පිටුවhttps://plus.google.com/114376227110487436126/posts
  අනේ මුන්දෑ තමන් සේ‌වය කළ හමුදාවටත්, තමන් සිටි නිළයටත්, තමන් සිටි රෙජිමේන්තුවටත්, පෞද්ගලිකව තමන් මෙලොවට බිහිකළ දෙමවුපියන්ටත්, මෙලෙස අපහාස කරන්නේ ඇයි? තමන් දැරූ කපිතන් නිළය දෙකේ කොළයට දමා වැඩ කරන්නේ ඇයි? මේ පුද්ගලයා ඔබ දන්නා හඳුනන කෙනෙක් නම්, ඔහුගේ අලජ්ජි පාහර ක්‍රියාව, ඉතා අශික්‍ෂිත බව පෙන්වා දෙන්න. මින්මතු මෙවැනි පහත් ජන්ම ලක්ෂණ පෙන්වන ක්‍රියා වලින් වළකින ලෙස උන්දෑට කියාදෙන්න. අහෝ අලජ්ජි කමක මහත.
My Signature for Blog2012 දෙසැම්බර් මස 21 දින 1400 පැය

20 December 2012

හමුදාවයි පොලීසියයි මුලින් බෝලෙ දාලා පස්සේ පන්දම අල්ලනවා – Latest Innovations in Warfare Technology


  3ත්‍රස්තවාදය කිසි දිනක ලෝකයෙන් සම්පූර්ණයෙන් තුරන් කළ නොහැකි සමාජ පිළිලයක්.  සමහරුන්ට නම් එය ජීවන මාර්ගයක්. එකක් ඉවර වනවිට තවත් ත්‍රස්තවාදී ක්‍රියාවක් පටන් ගන්න අයට උඩගෙඩි දෙමින්, ඒ කටයුතු සඳහා යම් යම් කණ්ඩායම් උසිගන්වන මෙන්ම, ඔවුන්ව දඩමීමා කරගනිමින්, තම පටු අභිමතාර්ථ ඉෂ්ට කරගන්නටත්, ආයුධ වෙළඳාම වැඩි දියුණු කරගන්නන්ටත් මාන බලන, ජාත්‍යන්තර සංවිධානද, මේ අතර ඉන්නවා. අසීමිත පීඩනයට ලක්වූ පිරිසක් සන්නද්ධ කැරැල්ලක් ආරම්භ කිරීම කිසියම් ආකාරයක සාධාරණ ක්‍රියාවක් බව සිතිය හැකි නමුත්, කපටි සූක්ෂ්ම වැඩ පිළිවෙල මගින්, දේශපාලන අභිමතාර්ථ මුදුන්පත් කරගැනීම සඳහා, ත්‍රස්තවාදය එකම අවිය ලෙස භාවිත කිරීමනම්, කිසිසේත් අනුමත කළ නොහැකියි.  
  යුද තාක්ෂණය දියුණුවීමේ වේගය මේ වනවිට ඉතා විශ්මයජනක තත්වයකට පත්ව තිබෙනවා. ඔබ දන්නවා නේද පැරණි සිංහල කියමනක් තිබෙනවා ‘රාස්සයා කන පරාස්සයා’ කියලා.  ඒ කියන්නේ එක බලවතෙක් යටපත් කරගෙන නැගිටින, තවත් බලවතෙක් ඉන්නවා කියන එකයි. (බවලතෙක් නෙවෙයි ඈ. එහෙම අයත් ඉන්නවා ඉතිං) අපි තුවක්කුව කියන යුද්ධායුධය ගැන පමණක් සිතා බැලුවොත්, රාස්සයා කන පරාස්සයා වගේ, නවීන තුවක්කු නොකඩවාම ලෝකය තුළ බිහිවෙනවා. එහි අවසානයක් නැහැ. අද ප්‍රබල තුවක්කුවක් හෙට නිකම් සෙල්ලම් බඩුවක් බවට පත්වෙනවා. යුද ටැංකි, කාලතුවක්කු, යුද ගුවන්යානා, මිසයිල්, ආදිය ගැන සලකා බැලුවත් ඒ තත්වයම තමයි. එන්න එන්නම මිනිසා තිරිසන්කම අතින් නම් ඉහළටම යනවා. මිනිස්කම අතින් ආගාධයටම යනවා.
  භයානක අවි ගැන ලිපියක් ඉදිරියේදී ඔබ වෙත ගෙන එන්නට සූදානම් කරමින් ඉන්නේ.
  4ත්‍රස්තවාදීන් විසින් නිතර කරන ක්‍රියාවක් තමයි ප්‍රාණ ඇපකරුවන් තබාගැනීම. එමගින් තම අරමුණු ඉටුකරගැනීම සඳහා නීත්‍යානුකූල රාජ්‍යයන් වෙත පවා දැඩි බලපෑම් එල්ල කිරීමට හැකිබව ත්‍රස්තවාදීන් හොඳින් දන්නවා. ප්‍රාණ ඇපකරුවන් ග්‍රහණය කරගැනීම අනාදිමත් කාලයක සිට සිදුවන්නක් බව ඉතිහාස කතා කියවීමේදී පැහැදිළි වෙනවා. ඉතින් කොපමණ ආරක්ෂක සංවිධාන තිබුනත්, අනාගතයේදී ද, ප්‍රාණ ඇපකරුවන් ග්‍රහණය කරගැනීම සිදු නොවෙතැයි කියන්නට බැහැ. (දුවව ප්‍රාණ ඇපයට ගෙන, නැන්දම්මාගෙන්/මාමාගෙන් ඉල්ලීම් දිනාගත හැකි ක්‍රමයක් ගැන දන්නා අය සිටීනම්, වහාම මා අමතන්න :D :D)  අනාගතයේදී සොල්දාදුවා අති නවීන තාක්ෂණික අවි වලින් සන්නද්ධ වෙනවා. අණදෙන නිලධාරියකුට තම එක් එක් සොල්දාදුවා සමග වෙන වෙනම පණිවිඩ හුවමාරු කරගන්නටත්, සොල්දාදුවාගේ හිස්වැස්මේ ඇති කැමරාවෙන් දකින පින්තූර බැලීමටත්, එම හිස් වැස්මේම ඇති විකාශන යන්ත්‍රයෙන්, ඒවා අවශ්‍ය තැන්වලට සජීවීව ලබාදීමටත් හැකි වෙනවා. එපමණක් නොව චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ එක් එක් සොල්දාදුවා යුද බිමේ ඉන්න ස්ථානය පවා පරිගණක තිරයක් මත නිවැරදිව හා සජීවීව දැකගත හැකිවෙනවා. (මෙයින් සමහරක් දැනට පාවිච්චි කරන රටවල් තිබෙනවා. අපේ රටේ නම් තවම නැහැ)
  ඊළඟ යුගයේ දී, සොල්දාදුවා යුද බිමෙන් ඉවත්වී, රෝබෝ වරුන්ට ඒ ස්ථානය ලබා දෙනවා. යුද්ධය දුරස්ථ පාලක මගින්, අති සූක්ෂ්ම පරිගණක තාක්ෂණයෙන් මෙහෙයවන දෙයක් බවට පත්වෙනවා. ප්‍රාණ ඇපකරුවන් සිටින ස්ථානයකට ඇතුළුවීමට යන, පොලිස් හෝ විශේෂ බලකා සෙබළුන්ට, මුහුණදීමට සිදුවන එක ප්‍රධාන ගැටළුවක් වන්නේ, ප්‍රාණ ඇපකරුවන් සිටින ස්ථානය පිළිබඳව, සජීවීව තොරතුරු දැනගැනීමට ක්‍රමයක් නොමැතිවීමයි. ඒ නිසා, එවැනි තැනකින් ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීම සඳහා, කඩාපැන ප්‍රහාර එල්ල කිරීමේදී, ප්‍රාණ ඇපකරුවන්ගේ මෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන්ගේද, ජීවිත හානිවීමට ඇති ඉඩකඩ බොහෝයි. එපමණක් නොවෙයි. හිතන්න ගොඩනැගිල්ලක මහා ගින්නක් ඇතිවී තිබෙනවා කියා. ඒ ගොඩනැගිල්ලේ ඇතුලත සිරවී ඉන්නේ කවුද, ඉන්නේ කොහෙද, ආදී විස්තර බලා ගැනීමට, ගිනි නිවන භටයන්ට, සෑමවිටම එතුළට රිංගන්න ලැබෙන්නේ නැහැ, ගින්න ප්‍රබල නම්. මෙතනදීත් නවීන තාක්ෂණය ආරක්ෂක අංශ වල පිහිටට පැමිණ තිබෙනවා. පහත පින්තුරයෙන් දැක්වෙන්නේ එවැනි නවීන උපකරණයක්.
1
මේ පින්තුරයේ පෙන්වන, ‘බේස් බෝල්’ ක්‍රීඩාවෙදී යොදාගන්නා බෝලයක් වැනි උපකරණය, විශ්මයජනක නිර්මාණයක්. මෙය නිපදවා තිබෙන්නේ, ඇමරිකා එක්සත් ජනපදයේ, පරිගණක විද්‍යාව හදාරන සිසුවකු සහ, ඇමරිකානු ‘රේන්ජර්’ වරයකු ගේ හවුල් ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙසයි. කිසියම් ගොඩනැගිල්ලක් තුළ, ප්‍රාණ ඇපකරුවන් පිරිසක් සිටිනවා නම්, එමෙන්ම බැංකුවක් මංකොල්ලකන ලද හොර කල්ලියක්, බැංකු සේවකයන් හා ගණුදෙනු කරුවන් ප්‍රාණ ඇපයට ගෙන පිටවීයාමට උත්සාහ කරනවානම්, ඒ ස්ථානයේ දැනට ඇති තත්වය පිලිබඳ තොරතුරු, හැකිතරම් ලබාගැනීම මත තමයි, ඔවුන් මුදාගැනීමේ මෙහෙයුමක සාර්ථකත්වය රඳා පවතින්නේ. වලං කඩේට ගොනා පැන්නාක් මෙන්, එතනට පැන දිගට හරහට වෙඩි තැබීමෙන් සිදුවන්නේ, හානිය තවත් වැඩිවීම පමණයි. මෙහි දැක්වෙන බෝලයක් වැනි උපකරණය, පොලොව දිගේ රෝල් කර යවන්න පුළුවන්. මේ උපකරණයේ, අති ප්‍රබල කැමරා හයක්, විවිධ සංවේදන උපකරණ සහ විකාශන යන්ත්‍රයක් සවිකර තිබෙනවා. උපකරණය රෝල්වී ගොස් කොහොම නැවතුනත්, අවම වශයෙන් කැමරා තුනක්, අවට පරිසරයට යොමු වෙනවා. ඒවායින් ලබාගන්න පින්තූර, සජීවීව, පාලක මධ්‍යස්ථානයකට ලබා දෙන්න පුළුවන්. එපමණක් නොව, ඒ ස්ථානයේ ඇති උෂ්ණත්වය, වායු පීඩනය, වායු දූෂණය (මිනිසාට හානිකර වායු වර්ග තිබේද) වැනි තොරතුරු පවා ලබාගන්න පුළුවන්. මේ දත්ත,ජංගම දුරකතනයකට, බහුමාධ්‍ය පණිවිඩයක් ලෙස ලබාදීමටත් හැකියාව තිබෙනවා. මෙය වැඩි දියුණු කර, මීට වඩා ප්‍රතිඵලදායී ලෙස සහ, වෙනත් විවිධ ක්ෂේත්‍රයන් තුළ, භාවිතයට ගැනීමට අදහස් කරනවා.
  ප්‍රාණ ඇපකරුවන් හෝ කිසියම් ස්වභාවික විපතක් නිසා, (සුනාමි, ගංවතුර, නාය යාම්, වාහන අනතුරු, සුළි සුළං) ගොඩනැගිල්ලක් තුළ හෝ වාහනයක් තුල සිරවී සිටින්නන් බේරා ගැනීමට, ඝන ලෝහ තහඩු කපා දැමීමට සිදුවන අවස්ථා එමටයි. එවැනි අවස්ථාවකදී ඒ සඳහා යොදාගතහැකි යන්ත්‍රසූත්‍ර හෝ උපකරණ සෑමවිටම අතළඟ තිබෙන්නේ නැහැ. එවැනි අවස්ථාවකදී පාවිච්චියට ගතහැකි, පහසුවෙන් ගෙනයාහැකි, උපකරණයක් පහත දැක්වෙනවා.
2
මේ උපකරණයත් නුදුරේදී වෙළඳපොළට ඉදිරිපත් කිරීමට නියමිතයි. නිෂ්පාදකයන් විසින් මෙය හඳුන්වා තිබෙන්නේ ‘ලෝහ වාෂ්ප කරන පන්දම’ වැනි තේරුමක් සහිත, Metal Vapour Torch (MVT) යනුවෙන්. ඔවුන් කියන්නේ, මේ පන්දම සතුව, ස්වභාවික විදුලි කෙටීමකදී ඇතිවන, පුලිඟු දහරාවක ඇති බලය වැනි, බලයක් ඇති බවයි. ඉබි යතුරු, අගුල්, සොයිබ, දම්වැල්, ආදිය අධි වේගයෙන් කපා දැමිය හැකි මේ උපකරණයෙන්, මිලිමීටර් 12 ක් ඝනකම ලෝහ දණ්ඩක්, තත්පරයකට අඩු කාලයකින් කැපිය හැකි බවද, සඳහන් වෙනවා. ඝන ඉන්දන   සමග ඔක්සිඩයිසර් සංයෝගයක් ප්‍රතික්‍රියා කරවීමෙන් මෙම උපකරණයට අවශ්‍ය අධික උෂ්ණත්වය උපදවා ගන්නවා. දැනට පාවිච්චි කරන ඔක්සි ඇසිටිලීන් දැල්ලට වඩා මෙහි උෂ්ණත්වය අධික බවද කියවෙනවා.  
මූලාශ්‍රය :- http://www.popularmechanics.com/
My Signature for Blog2012 දෙසැම්බර් මස 18 වැනි දින 2314 පැය

15 December 2012

ඒ ගමන කටුකයි,මිහිරියි,විශ්මයජනකයි – The Anniversary



Banner 2
  ඊලාම් යුද්ධය අවසන් වී ටික කලකින් යුද හමුදාවෙන් විශ්‍රාම ගත් මට, කරන්නට දෙයක් තවත් ඉතිරිවී තිබෙන්නේද යන්න සෑමවිටම සිතේ පැනනගින අදහසක් වුනා. රාජ්‍ය අංශයේ රැකියා කීපයකට ඉල්ලුම් කලත් ඉතා කනගාටුදායක සහ හාස්‍යජනක ලෙස ඒවා ලැබෙන්නේ සුදුස්සන්ට නොව, අටේ පන්තියවත් සමත් නැති, දේශපාලුවන්ට සට්ටඹිකම් කල, හෙන්චයියන්ට බව පැහැදිළිව පෙනීගියා.
  උදාහරණයක් වශයෙන්, එක්තරා රාජ්‍ය සංස්ථාවක, ඉතා දුරබැහැර පිහිටි මහා පරිමාන කම්හල් පරිශ්‍රයක, ආරක්ෂක කළමනාකාර තනතුර සඳහා, ගැසට් මගින් අයදුම්පත් කැඳවා තිබුනා. ඒ ප්‍රදේශය 2009 පමණ වනතුරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ තර්ජනයට ලක්ව තිබුනේ. මා ඒ ප්‍රදේශයේ සේවය කල නිසා, ඒ කම්හල් පරිශ්‍රයට, යුද හමුදාව විසින් සකස් කර තිබුන ආරක්ෂක සැලැස්ම පවා දන්නවා. ඒ කම්හල් පරිශ්‍රයේ අඟලක් නෑර මා දන්නවා. ප්‍රධාන පිවිසුම මගහැර, මුහුදෙන් සහ ගොඩබිමෙන් එතනට අතුලුවියහැකි/පිටවියහැකි ආකාරය මා දන්නවා. ඒ ආශ්‍රිත ගම් වල වෙසෙන ජනතාව සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිලිබඳ බුද්ධි තොරතුරු මා දන්නවා. මේ තොරතුරු ඉල්ලුම් පත්‍රයේ ආවරණ ලිපියේ සඳහන් කල අතර, මෙවැනි රාජකාරි වලට යෝග්‍ය, මා හදාරා ඇති විශේෂ පාඨමාලා වල සහතිකද ඉදිරිපත් කළා. සම්මුඛ පරීක්ෂණයට ගිය දවසේ කිව්වේ, සම්මුඛ පරීක්ෂණ ‘ගරු (බෝ…..රු?) ඇමතිතුමාගේ’ (උන්නැහේගේ පුද්ගලික දෙපලක්ද දන්නේ නැහැනේ) උපදෙස් පරිදි, නැවත දැනුම්දෙන තුරු  අවලංගු කල බවයි. ආපහු ගෙදර ආවාට පසුවයි, ඒ බව දන්වා එවන ලද විදුලි පුවත ලැබුනේ. ‘අපේ දුරකථන අංක, ඊ මේල් ලිපිනය, ඉල්ලුම් පත්‍රයේ ලියා තිබෙන්නේ ආච්චිට හාල් ගරන්නද’ කියා පිළිගැනීමේ නිලධාරිනියට කියා ආවෙමි. ටික දිනකට පසු මට දැනගන්නට ලැබුනේ අර ඇමැත්තයාගේ නිල නොලත් බොඩිගාඩ් කෙනෙකුට (වෘත්තීය සුදුසුකම් අතින් අපේ පයේ දූවිල්ලක්වත් වෙන්නට බැරි හෙන්චයියෙකුට) ඒ රැකියාව ලබාදී ඇති බවයි. ඇයි ඇන්නෑවේ ඔය මගුල අත යටින් කරගන්නේ නැතුව මේ අපිව රස්තියාදු කලේ? තවත් මා වැනි, සමහරවිට මටත් වඩා සුදුසුකම් ඇති, අපේක්ෂකයන් රස්තියාදු කෙරෙව්වේ? අනේ මුන්ගේ/මේ රටේ අනාගතය කොහොම වෙයිද?
  ඉන්පසු හැරුනේ පෞද්ගලික අංශයටයි. එහි තිබෙන්නේ, සාරය උරාබී, හපය විසිකරන ක්‍රමයක් බව පැහැදිළිව පෙනුනා. නිවසේ සිට කිලෝමීටර් 250 ක් පමණ ඈතින් පිහිටි, පෞද්ගලික අංශයේ ව්‍යාපාරික කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මහාපරිමාණ ව්‍යාපාරයක රැකියාවක්, රු 50000 ක පමණ වැටුපක් සහිතව දෙන්නම් කිව්වා. නමුත් පළමුවැනි කොන්දේසිය නිවාඩු දෙන්නේ සෙනසුරාදා වරුවක් සහ ඉරිදා දිනය පමණයි. ඒ කියන්නේ මම සෙනසුරාදා වරුවෙන් ගෙදර එන්නට පිටත්වී, ඉරිදා අළුයම ගෙදර ඇවිත්, (කි.මී. 250 ක්) ඒ ගමන්ම ආපහු හැරෙන්න ඕනේ. වාහනයක් ලැබෙනවා. මම එලවන්න ඕනේ. යුද්ධය තදින් පැවති අවධියේ පවා, මම මාස දෙකකට තුනකටවත් වරක්, දින හතරක්වත් නිවාඩු ලැබුවෙමි. මේ රස්සාව යුද්ධයටත් වඩා බරපතල බව පෙනේ. අනේ මට එපා කියා නැවතුනෙමි. ඒ රැකියාව සඳහා ගිය වෙනත් හමුදා නිලධාරීන් තිදෙනෙක් මාස දෙක තුනකින් එය අතහැර ගෙදර ආවා, එය වහල් රැකියාවක් බව පවසා.
  අවසානයේදී මා තීරණය කලේ ජීවිතයේ ඉතිරි කාලය සැබැවින්ම විශ්‍රාමයෙන් ගෙවන්නටය. අද මම, මගේ විශ්‍රාම වැටුපෙන්, ඉතා අරපිරිමැස්මෙන් යුතුව ජීවිතය ගෙනයමි.
  කොම්පියුටර් පිස්සුව මට හැදුනේ 1994 දි පමණය. ඊට කලින් රූපවාහිනී/ගුවන්විදුලි කාර්මික ශිල්පය, ඡායාරූප/වීඩියෝ කැමරා ශිල්පය, විනෝදාංශයක් ලෙස කල මම, මේ අලුත් පිස්සුව නිසා, පරණ පිස්සු අතහැරියෙමි. කැමරා සෙල්ලම් නම් අදටත් ටිකක් කරමි. මම පරිගණක පිලිබඳ මූලික පුහුණුවක් ලබාගත්තේ වවුනියාවේ පිහිටි පෞද්ගලික ආයතනයකිනි. එසේ ඉගෙනීමට සිදුවූයේ යුද හමුදාවේ පරිගණක භාවිතය වර්ධනය වීම සහ විශේෂයෙන්, වැටුප් සැකසීම පරිගණක ගත කල නිසායි. යුද හමුදාව මගින් පරිගණක පුහුණුවක් ලැබීමට නම් කොළඹ යා යුතුය. නමුත් යුද්දය අතහැර දමා යන්නට වරම් නැත. ඒ නිසයි පෞද්ගලික පන්තියකට ගියේ. එතනට ගියේ සිවිල් ඇඳුමෙන් සැරසී පිස්තෝලය ඉනේ ගසාගෙන, කලිසම් සාක්කුවේ අත් බෝම්බයක් දමාගෙන, පිස්තෝලය සහ කලිසම් සාක්කුව වැසෙන සේ ජැකට් එකක් ඇඳගෙනය. (ඒ පරිගණක ආයතන ප්‍රධානියාව මහා රෑ ඔහුගේ නිවසේදී අල්ලාගෙන, ‘අනේ උන්නැහේ හොඳටම බයවුනා’. හරිම කණගාටුවක්, මම සමාවත් ඉල්ලුවා බය කලානම්, මා කවුදැයි ඒ පාඨමාලාවේ සිටින අනික් අයට නොකියන ලෙස දන්වා තමයි පටන්ගත්තේ) තවත් සොල්දාදුවන් දෙන්නෙක් ඒ ආකාරයටම සැරසී මා පුහුණු පන්තිය අවසන් කරනතුරු ඒ අසල පාරේ සැඟවී සිටිති. ඒ කාලයේ මිනීමරු එල්.ටී.ටී.ඊ. පිස්තෝල කල්ලි, ගොදුරු සොයමින්, වවුනියාව නගරයේ සැරිසරන්නට පටන්ගෙන තිබුණි.
  පරිගණක පාඩම් ඉගැන්වූ, ද්‍රවිඩ ජාතික රූමත් තරුණ නෝනාට, ඉංග්‍රීසි පුළුවන් වීම, මට මහත් සහනයක් විය. (සමහර දේ ඇය පාඨමාලාවේ සිටි අයට කියාදුන්නේ දෙමළෙනි) මා වැරදියට යතුරු පුවරුව හසුරවනවිට හෝ මේ ලෝකයේ නැති Dos Commands ටයිප් කරනවිට,  ’no no mister, this is the correct way’  කියමින්  ඈ මගේ එක උරහිසකට උඩින් ඇගේ අත්දෙක දමා ටයිප් කරයි. ඇගේ විලවුන් සුවඳ මා මත් කරන අතර, ඉඳහිට, ඇගේ සුමුදු ළමැද, මගේ උරහිසේ නොතෙරපෙනවාද නොවේ. මේ නිසා මමද පරිගණක පන්තියට ගියේ, නාලා, පේවී, සුවඳ විලවුන්ද නාලා ය. නැත්නම් ‘හාපෝ…….ආමි කාරයන්ගේ ගඳ’ කියා ඇය හිතන්නට ඉඩ තිබුණි. (වාසනාව දොර ඇරලා බලනවා – සීන ලොවෙන් සිත පිබිදෙනවා………. :D :D :D අපේ උන්දෑ දන්නවානම්, පරිගණක පන්තියේ දොර ඇර බලා, ගෙදරින්ම හොඳ ඇඹුල් පොල්පිත්තක් කපාගෙන ඇවිත්, ඇයටත් මටත් හොඳට සලකා, මා ගෙදර ඇදගෙන යනවා නොඅනුමානය) එමෙන්ම  මා පරිගණක ගැන ඉගෙනගත්තේ, කළුසුදු පරිගණක තිර පමණක් තිබුණු, DOS Commands වලින් පරිගණක ක්‍රියාකළ, අඟල් 5  1/4 Floppy Disk පාවිච්චි කල කාලයේය. දෘඪ තැටිය ගිගාබයිට් එකයි දශම පහකි. එහෙත් ඉක්මනින්ම, පසුකාලීනව පැමිණි, Window 95 සහ මුල්ම MS Office පැකේජය අල්ලාගන්නට මට හැකිවිය. දෙයියන්ගේ පිහිටෙන්, ඒ පාඨමාලාවේ තුන්කාලක් පමණ අවසන් කර තිබියදී ,මට වෙනත් ප්‍රදේශයක රාජකාරි සඳහා යන්නට සිදුවූයෙන් පරිගණක ඉගෙනුම එතනින්ම අවසන් විය.
  මා අන්තර්ජාලය භාවිතය ඇරඹුවේ 1999 දී පමණ බවයි මගේ මතකය. ADSL යන්න ඒ කාලයේ මම අසා නොතිබුනෙමි. පරිගණකයටම සවිකළ 56 k මොඩෙම් එකෙන් ඉබ්බාගේ වේගයටත් අඩුවෙන් ‘මහා විශ්මයජනක අන්තර්ජාලය’ පීරාගෙන ගියහැටි, අද, සුන්දර මතකයක් ලෙස, තනිවම සිනහසෙමින් සමරමි.
  CrazyWordPressබ්ලොග් යන වචනය මුලින්ම දැනගත්තේ අන්තර්ජාලයේ ඉබාගාතේ යන අතරේදීය. ඒ කාලයේ මම අන්තර්ජාලය පාවිච්චි කලේ කාලීන තොරතුරු දැනගැනීම සහ බටහිර චිත්‍රපට බාගත කරගැනීමටත්, පැරණි හින්දි චිත්‍රපට ගීත බාගත කරගැනීමටත්ය. බ්ලොග් එකක් ලියන්නේ කොහොමද යන්නෙහි ’අ’ යන්නවත් මම දැන නොසිටියෙමි. මොකක්දෝ පූර්ව කුසල කර්මයක ඵල විපාකයක් වශයෙන්, මට, බොහෝ දෑ අසාගෙන බලාගෙන සිට, සෑහෙනතරම් දුරට සාර්ථකව කිරීමේ හැකියාවක් තිබෙයි.  එක දිනක්, බ්ලොග් අඩවියක් කියවද්දී, මගේ මොලයේ විදුලි කෙටුවාක් මෙන් අදහසක් පහල වුනේ, මා සතු සාමාන්‍ය දැනුම, ලෝකයට බෙදාදීමට හැකිනම්, ජීවිතයේ පශ්චිම යාමයේ සිටින මට, එය සමාජ සත්කාරයක් ලෙස සලකා කළහැකි නොවේද? යන අදහසයි. ඊළඟට ඔලුවට ආවේ, ‘ඉතින් දෙයියනේ ඕනෙකම තිබුණට කොහොමද බ්ලොග් එකක් ලියන්නේ?’ කියන අදහසයි. මගේ හමුදා පුහුණුව තුලින් ලද ශක්තිය මට පිහිට වුනේ එතනදීයි.
Beg Borrow Steal  හමුදාවේ කියමනක් තිබෙනවා, සොල්දාදුවා, තම යුද අරමුණු ඉටුකරගන්නට, ක්‍රමෝපායයන් තුනක් පාවිච්චි කරන බව. (දැන්නම් යුද නොවන අරමුණු සඳහාත් භාවිත කරණවා වගේ පෙනෙනවා. :D ) ඒ ක්‍රමෝපායයන් තමයි,
1. සිඟා කෑම/යැදීම – Beg.
2. ඉල්ලා ගැනීම(ණයට හෝ) – Borrow
3. සොරකම් කිරීම – Steal
   මම කලේ මේ තුනම ටික ටික යෙදවීමයි. :D :Dසමහර බ්ලොග් සයිට් වලට ගිය මම සිඟා කනවා වගේ ඉල්ලා හිටියා ‘අනේ මටත් කියාදෙන්න’ කියලා (ඒ කාලේ විචාරක කියන නම තිබුනේ නැහැ. මගේ නියම නමෙන් අදහස් දැක්වුවේ) 99% ක් මට උදවු කළා. පරිගණක දැනුම තියන මගේ මිතුරන්ගෙන් පොත් ඉල්ලාගත්තා බ්ලොග් ලිවීම ගැන තොරතුරු තිබෙන. සමහර බ්ලොග් සයිට් වල තිබෙන හැඩතල අනුකරණය කළා (අමු අමුවේ නෙවෙයි. ඒ නිසා ඒක කෙලින්ම හොරකමක් කියන්න අමාරුයි. හොරා………..  :D ) ඒ අනුව නිකම් අත්හදා බැලීමේ බ්ලොග් එකක් ඉංග්‍රීසියෙන් හදලා අන්තර්ජාලයට මුදා හැරියා. (අපරාදේ කියන්න බෑ, බලු බල්ලෙක්වත් අදහස් දක්වලා තිබුනේ නැහැ. මගේ ඉංග්‍රීසි ඔය පොඩි ළමයින්ට තේරෙන්නේ නැහැනේ. ඒ නිසා වෙන්න ඇති.  :D :D ) අත්දැකීම් සහ අවබෝධය වර්ධනය වූ වහාම, ඊළඟ ප්‍රශ්නය වූ සිංහල අකුරෙන් ටයිප් කිරීම ඉගෙන ගත්තා. මුලදී මම කලේ Google Transliteration එකේ ටයිප් කර, cut & paste ක්‍රමයට ඒවා බ්ලොග් පිටුවට ගැනීමයි. Google IME/Google Input Tool ඉගෙනගත්තේ මෑත කාලයේදී. සිංහල යුනිකෝඩ් පරිවර්තන මෘදුකාංග මගින් වැඩකරන්න ගියත්, සඤ්ඤක සහ මහප්‍රාණ ප්‍රශ්න නිසා එය මගෙන් ඈත්වී ගියා. දැන් පාවිච්චි කරන ක්‍රමය (Google Input Tool) මම MS Word ලියකියවිලි සඳහාත් පාවිච්චි කරනවා.
  මම ලියන ලද මුල්ම ලිපිය බ්ලොග් ලිපියක් කියා සලකන්නට බැහැ. එය නිකම් වාක්‍ය තුනක් පමණයි. නමුත්, මට එය දැනුනේ, එදා නීල් ආම්ස්ට්‍රෝංග් හඳ මත සිට කරන ලද ප්‍රකාශය වගෙයි. :D මා සිතුවේ, ඉන්පසු මා ලියන ලිපි වලටද, අර මා කලින් කල අත්හදා බැලීමේ බ්ලොග් එකට වුණ දේම සිදුවෙයි කියායි.  නමුත් මා විශ්මයට පත් කරමින් ප්‍රතිචාර ලැබෙන්නට පටන්ගත්තා. දිගටම ලිවිය යුතුයි යන අදහස සිත තුළ තහවුරු වූයේ ඉන්පසුවයි. අද මා ලියන්නේ මගේ 135 වැනි ලිපියයි. ඒ අනුව මම මසකට ලිපි 11 ක සාමාන්‍ය වේගයක් පවත්වාගෙන තිබෙනවා. මගේ වයසේ හැටියට එය ඉතා විශාල වේගයක් යයි මා හිතනවා.
  ලබන වසරේ දෙවැනි මාසයේදී මා 59 වැනි විය පසු කරනවා. මා දන්නේ නැහැ සිංහල බ්ලොග් ලියන්නන් අතර මටත් වඩා වයස්ගත අය සිටිනවාද කියා. මේ දුර මට එන්නට අත දුන්නේ මේ බ්ලොග් අඩවියට එන ඔබ සියළුදෙනායි. ඔබ සියළුදෙනා විසින් හොඳ නරක, හරි වැරදී, පෙන්වා දෙමින්, මට නිවැරැදි මගෙහි යන්නට මං සලකුණු තබා දුන්නා. ඒ මගපෙන්වීම් මට මහත් ආලෝකයක් වුනා. ඒ ගැන මගේ කෘතවේදීත්වය ඔබට පිරිනමන්නේ හද පත්ලෙන්මයි.
   මුල් කාලයේ සිට නිබඳවම මා හා බැඳුනු කීප දෙනෙක් ඉන්නවා. මුලින්ම මතකයට එන්නේ හීනලන්තයේ හරී. හරීගෙන් මා ලද ගුරුහරුකම් බොහොමයි. ඔහුගේ අදහස් දැක්වීම් සහ තාක්ෂණික උපදෙස් ඉතා වටිනවා. ලිපියකට සබැඳියක් යොදන්නේ කොහොමද කියන එක මම ඉගෙන ගත්තේ හරීගෙන්. මම වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකක් කරන අතර, ජී මේල් මගින් වෙනත් බ්ලොග් වල අදහස් දක්වන නමුත්, එහි මගේ බ්ලොග් එකට සබැඳියාවක් නැහැ. මේ ප්‍රශ්නය මගහරවා ගැනීමට අවශ්‍ය html code එක (අසමි දකිමි සොයමි ලියන විචාරක) සකසා දුන්නේ හරී.  හරී මගේ දරුවකුගේ වයසේ ඉන්න නිසා, ඇත්තටම ඔහු මට මගේ පුතෙක් වගේ. (මට පුතාලා නැතිවීම දුකක්) ඊළඟට මතකයට එන්නේ සෙන්නා. මම මුල් කාලයේ ඉඳලම ආදර්ශයට ගත් බ්ලොග් අඩවියක් තමයි සෙන්නාගේ කුරුන්ද.  ඒ වගේම සෙන්නා නිතර මගේ අඩවිය වෙත පැමිණ දැක්වූ අදහස් වලින්, මට මහත් පිටුවහලක් ලැබුනා දිගටම ලියන්න. ඊයේ පෙරේදා තමයි දන්නේ සෙන්නාටත් අවුරුද්ද සපිරුණ බව. ඒ වගේම අනිවාර්යයෙන්ම සිහි කරන තවත් මිතුරෙක් තමයි හෙන්රි ජයවර්ධන. ඔහු තමයි පළමු වරට මට කියා දුන්නේ, බ්ලොග් අඩවියේ අකුරුවල ප්‍රමාණය වෙනස් කරන ආකාරය.
   මේ හැරෙන්නට නිතර මගේ බ්ලොග් අඩවියට එන ක්සැන්ඩර්, (ක්සැන්ඩර් ගේ ලිපිත් මට ආදර්ශයක් වුනා)  අරුණිලක්මාල්AKM, සහන්, මෑතකදී හඳුනාගත් සරාපොඩි දුව, හිරු, චන්දන, අදහස් දක්වන්න වෙලාවක් නැතත්, කැමතියි (like) මුද්‍රාව තබා යන්නටවත් එන ගෝල්ඩ් ෆිෂ්, වැනි අයටත් හදවතින්ම ප්‍රණාමය පුද කරනවා. මේ හැරසත් සමුදුරෙන් මම විවිධ උපදෙස් ලබාගෙන තිබෙනවා. නමුත් මගේ මතකයේ මේ මොහොතේ තිබෙන ලැයිස්තුව හරි දිගයි. රාමා, කාමරේ සිරා, මඩිස්සලේ නිශාන්, රාජ්, මාරයා, මාතලන්, අංගොඩයා, නලීන් දිල්රුක්ෂ, දීලීප, ඇනෝපිලිස්, දූපත් වැසියා, Tyrone Max, DDT, මා දන්නවා මට මග හැරුන තවත් අය ඉන්න බව. අනේ ඔබව අමතක කළා යයි හිතන්න එපා. ඔබ සියලු දෙනාටම නැවතත් ශීර්ෂප්‍රණාමය පුද කරනවා.

08 December 2012

යුද බිමේදී ඇයි දේවල් පෙනෙන්නේ (දෙවැනි කොටස) Military Field Crft (Why Things are Seen) Part Two


1
 යුද බිමේදී ඇයි දේවල් පෙනෙන්නේ ලිපියේ පළමුවැනි කොටසෙන්, ඔබ මූලික අවබෝධයක් ගන්නට ඇති, අප අවට පරිසරයේ තිබෙන විවිධ වස්තු, අපට දෘශ්‍යමාන වීමට බලපාන හේතු සාධක මොනවාද කියා. අද අපි ඒ මූලික කරුණු තරමක් විස්තරාත්මකව සලකා බලමු. මේ ලිපි මා විශේෂයෙන් ලියන්නේ මූලික හමුදා දැනුමක්වත් නැති අය ඉලක්ක කරගෙනයි. ඒ නිසා හැකි තරම් සරල වචන යොදාගන්නට සෑමවිටම උත්සාහ කරනවා. හොඳයි. එහෙනම් පසුගිය ලිපියෙන් මා ඔබට හඳුන්වාදුන් 5 SM සවිස්තරව දක්වන්නම් මෙතැන්සිට.
white space
  1. හැඩය – SHAPE
  අපේ අවට පරිසරයේ තිබෙන විවිධ දේ, අපි යන්තම් බහ තෝරණ වියේ සිට හඳුනාගැනීමට බලපාන, එක සාධකයක් වන්නේ, එහි හැඩයයි. පුටුවක්, මේසයක්, ගෙයක්, මිනිහෙක්, කාර් එකක්, වැනි විවිධ වස්තු මතක තබාගැනීමට, හැඩය ඉවහල් වෙනවා. ඉතින් යුද බිමේදීත් ඒ හේතුව එලෙසම බලපැවැත්වෙනවා. ඉදිරි භූමිය කල්පනාකාරීව නිරීක්ෂණය කිරීමේදී, යම් යම් වස්තු හඳුනා ගැනීමට, හැඩය නමැති සාධකය බලපාන්නේ එහෙමයි.
shape 1shape 2shape 3මෙවැනි හැඩතල ලක්‍ෂ ගණනක් වුනත් අපේ මතකයේ ඇති. ඒ මතකය යුද බිමේදී අපට මහත් රුකුලක් වෙනවා. අපි ඉන්න යුද භූමිය මහා කැලෑවක් කියා හිතන්න. ඉතින් අපි දන්නවා කැලෑවක දැකිය හැකි හැඩතල මොනවාද කියා. ඉහත රූප වල ඇති හැඩයේ යමකට ආසන්න හැඩයක් කැලෑවක දුටුවොත් අපට සැක කරන්න පුළුවන් එය සතුරාට අයත් යම් අසාමාන්‍ය වස්තුවක් බව ( අර රූපයේ ඉන්න ගෑණු ළමයට නෙවෙයි වස්තුව කිව්වේ) භූමිය නිරීක්ෂණය කිරීම හොඳින් පුහුණු වූ පසුව මෙවැනි හැඩයකින් කොටසක් (උදාහරණය:- කොළ අතු වලින් වසා තිබෙන යුද ටැංකියක, ඉහලට එසවී තිබෙන ප්‍රධාන තුවක්කුවේ බටය) දුටුවත් හඳුනාගන්න පුළුවන්.
white space
2. සෙවනැල්ල – SHADOW 
  අපට කවදාවත් අපේ සෙවනැල්ලෙන් ගැලවෙන්න බැහැනේ. ඒකනේ බුදුහාමුදුරුවොත් දේශනා කලේ ‘ඡායාව අනපායිනී’ (සෙවනැල්ල පුද්ගලයා පසුපස එන්නේය) කියලා. මගේ ඥාති සහෝදරයෙක් එයාගේ දියණියට නම දාලා තියෙන්නේ ‘අනපායිනී’ කියලා (පසුපස එන්නී) ඔය සමහරු කියන්නේ මම ආත්ම සීයක් ගියත් ඔයාගේ හෙවනැල්ල වගේ එනවා කියලා.
  හාපෝයි……සමහර ඒවානම් එහෙම ආවොත් ‘අබ සරණං’ තමයි :D :D  
  යුද බිමේදී අපිව අමාරුවේ දාන එක බලවත් සාධකයක් තමයි අපේ සෙවනැල්ල. ඒ නිසා අපේ සෙවනැල්ල සතුරාට නොපෙනෙන විදිහට සිටීම ඉතා වැදගත්. ඒ විතරක් නෙවෙයි සතුරා යුද බිමේ සඟවා ඇති කාලතුවක්කු, යුද ටැංකි වැනි දේවල හෙවනැල්ල සමහරවිට භූමිය හොඳින් නිරීක්ෂණය කළොත් දැකගන්න පුළුවන්.
shadow 1shadow 2යුද බිමේදී අපි සැලකිලිමත් විය යුතුයි ඒ පරිසරයට නොගැලපෙන සෙවනැලි තිබෙනවාද කියා. අපි දන්නවා කඳු ගැටයක සෙවනැල්ල, ගසක සෙවනැල්ල, වැනි දේවල්. ඒ අස්සේ ඒ සෙවනැල්ලට හේත්තුවී අර සෙවනැල්ලේ ආකාරයට අදාළ නොවන වෙනත් සෙවනැලි ඇත්නම්, එමෙන්ම ඒවා වරින්වර පෙනී නොපෙනී යන්නේ නම්. ඒ සතුරු ඡායාවක් බව අනුමාන කලහැකියි.
nite-tree-shadows-2-big
white space
3. දිලිසීම – SHINE 
  ‘දිලිසෙන සියල්ල රන් නොවේ’ කියන කියමන ඔබ සියලුදෙනාම අසා ඇතිනේ. නමුත් යුද බිමේදි නම් කියන්න වෙන්නේ, ‘දිලිසෙන සියල්ල සැක කලයුතු වේ’ කියලයි. යුද බිමේදී අපි දකින දිලිසෙන වස්තු බොහොමයක් යුද උපකරණ, වාහන, වාහන වල පැති කන්නාඩි, දුරදක්න වල ඉදිරිපස වීදුරුව, සතුරාගේ ඇඳුමේ කොටස්, ආදිය විය හැකියි. දැන් ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ ඇයි සොල්දාදුවන් යුද බිමේදී වෙස්වලාගන්නේ කියලා. දිලිසෙන දේවල් සහිතව යුද බිමේ සිටීම ‘ඒයි හතුරෝ……….මං මෙතන ඉන්නේ’ කියලා කෑ ගහලා කිව්වා හා සමානයි. 
  මතකයි නේද ‘ස්නයිපර්ලා‘ කොයි තරම් වෙස්වලාගනීමක් කරනවද කියලා.
  ලෝකයේ සෑම රටකම පාහේ රයිෆල් රෙජිමේන්තු නමින් හඳුන්වන රෙජිමේන්තුවල සාමාජිකයන් දිලිසෙන කිසිවක් තම නිල ඇඳුමේ අඳින්නේ නැහැ. අපේ රටේ තිබෙන එකම රයිෆල් රෙජිමේන්තුව වන්නේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවයි. සිංහ රෙජිමේන්තු සාමාජිකයන්, තමන්ගේ සියළුම නිළ ලාංඡන, නිළ ඇඳුමේ බොත්තම් පවා අඳින්නේ කළු පාටෙන්. ඉතින් ඔබට පහසුවෙන් හඳුනාගන්න පුළුවන් මීට පස්සේ සිංහ රෙජිමේන්තුව.
shine
white space
4. පරතරය – SPACING
  යම් යම් දේ භූමිය මත නිර්මාණය කිරීමේදී එක සමාන පරතරයක් සහිතව එවැනි නිර්මාණ කරන්නේ මිනිසා පමණයි. ස්වභාව ධර්මය ඉතාම කලාතුරකින් තමයි එවැනි දේ නිර්මාණය කරන්නේ. හිතන්න අපිට ගස් පේලියක් හිටවන්න අවශ්‍ය වුනා කියලා. අපි කවදාවත් යක්කු දත් හිටෙව්වා වගේ :D  එක එක පරතරයකට ඒවා හිටවන්නේ නැහැනේ. නමුත් ස්වභාවිකව පිහිටි ගස් පෙළක පරතරය අසමමිතිකයි. යුද බිමේදී එකම පරතරයක පිහිටි වස්තු කීපයක් දුටුවොත් අපි වහාම සැක කල යුතුයි ඒ සතුරාගේ ඉදි කිරීමක්, සතුරා විසින් වෙස්ගැන්වූ යුද ටැංකි හෝ කාලතුවක්කු සූදානම් කර තැබීමක්, එසේත් නැතිනම් එවැනි වෙනත් සංවිධානාත්මක ඉදිකිරීමක් ලෙස. එමෙන්ම අපිත් යුද බිමේදී අපේ යුද ටැංකි, කාලතුවක්කු, යුද අගල් වැනි දේවල් සෑමවිටම එක සමාන පරතරයකින් නොතැබීමට වග බලාගන්න ඕනේ.
spacing
white space
5.  පසුබිම තුළ/පසුබිම මත කැපී පෙනීම හෙවත් ‘සිලුවට්’ – SILHOUTTE
  සිලුවට් යන්න තනි වචනයකින් කියන්න මම දන්නේ නැහැ. දන්නා කෙනෙක් ඉන්නවානම් ඉතා කාරුණිකව ඉල්ලනවා කියාදෙන ලෙස. ඔබ දන්නවා සුදුපාට බිත්තියක් ඉදිරිපිට සිටින පුද්ගලයෙක්, හරකෙක්, බල්ලෙක්, වැනි සතෙක්, නැත්නම් වාහනයක් ඉතා දුරට කැපී පෙනෙන බව. එයට හේතුව පසුබිමට වඩා වෙනස් (විරුද්ධ) ස්වභාවයෙන් සිටීමයි. ඒ වගේම ක්‍ෂිතිජය තුලින් ඉල්පී පෙනීමද සිලුවට් යන සාධකයට අයත් වෙනවා.
silhoutte picture
silhouette 1
silhouette 2
silhoutte 3
white space
6. චලනය – MOVEMENT
  අප සාකච්ඡා කරන 5SM වල අවසාන සාධකය හෙවත් M අකුරෙන් පටන්ගන්නා සාධකය මෙයයි. චලනය වන සෑම වස්තුවක්ම පාහේ අපේ නෙත්වලට බොහෝදුරට ලක්වෙනවා. ඒකනේ ප්‍රියා සූර්යසේන කියන්නේ, ‘සුදු පරෙවි රෑනසේ පියා සලා - පාසල නිමවී යොවුන් කුමරියන් - පෙළින් පෙළට එයි – ඈ තාම නෑ’ කියලා. ඒ කියන්නේ ඇගේ ගමන් විලාශයෙන් හෙවත් චලනයෙන් වෙන්න ඇති ඔහු ඇයව ඈත තියා හඳුනාගන්නේ. නමත් ‘චලනි’ ද දන්නේ නෑ.  :D   . ඔබ යුද චිත්‍රපටිවල දැක ඇති සොල්දාදුවන් කොළ අතු වලින් වෙස්වලාගෙන බඩගාමින් යුද බිමේ යන හැටි. නමුත් ඒ චලනය බොහෝවිට දුර සිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ නිසා අපේ චලනයන් හැකිතරම් සෙමෙන් සිදු කිරීමත්, (අවස්ථාව සහ අවශ්‍යතාව අනුව) සීමා කරගැනීමත් වැදගත් වෙනවා.
tank movement
  හොඳයි, ඔන්න අපි තවත් හමුදා දැනුම ලිපියක අවසානය දකිනවා. පැහැදිළිව මතක තබාගන්න. මා ඔබට විස්තර කරන්නේ මූළික කරුණු පමණයි. මේ කරුණු ඉතා සවිස්තරව, ගැඹුරින් සහ විවිධ තර්ක ඔස්සේ විස්තර කල හැකි නමුත්, එවිට ලිපියේ ඇති සරල බව නැති වෙනවා. මීට වඩා කොටස් වලට කැඩුවොත්, පාඨක අවධානය ගිලිහෙනවා. මෙවැනි තවත් ලිපි ඉදිරියේදී පල කෙරෙන බව සඳහන් කරමින්, ලිපිය අවසන් කරනවා.
My Signature for Blog2012 දෙසැම්බර් මස 08 දින 2358 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }