බඳපටිය විලාසිතාවක් කරගන්නා අයටනම්, එය කෙබඳු වර්ණයක, කෙබඳු ප්‍රමාණයක, එකක්ද යන්න එතරම් ගැටළුවක් නොවේ. එහෙත්, එදිනෙදා රාජකාරි සහ කාර්යාලයීය කටයුතු සඳහා යනවිට ඔබ පළඳින බඳපටිය, ඔබගේ අනන්‍යතාවයට සුදුසු එකක් වීම අතිශයින් වැදගත් වෙයි. වර්තමාන සමාජයේ සාමාන්‍යයෙන් සම්මත බඳපටිය වන්නේ සෙන්ටි මීටර් 3 ක් (අඟල් 1 1/4 ක්) පමණ පළල, බොහෝවිට කළු පැහැති, (දුඹුරු පාටට ප්‍රිය කරන සෑහෙන පිරිසක්ද ඇත) එමෙන්ම රිදී පැහැති බකල් එකක් සහිත මෝස්‌තර නැති චාම් බඳ පටියකි. ඒ සඳහා උදාහරණයක් මීළඟ පින්තූරයෙන් දැක්වේ.
සමහරෙකුට බඳපටිය විලාසිතාවක් වුවද බඳ පටියක් පැළඳීම මුලින්ම සිදුවී ඇත්තේ ආරක්ෂාව සඳහාය. තමන් අඳින ඇඳුම බඳ ප්‍රදේශයේදී සිරුරට තද කර තබාගැනීම, බඳපටියේ එල්ලාගතහැකි උපකරණ, කුඩා මලු ආදිය ගෙනයාම සහ වැඩ කිරීමේදී ඒවා පහසුවෙන් පාවිච්චි කල හැකි වීම අනෙකුත් ප්‍රතිලාභ විය. බඳපටිය අනිවාර්ය අංගයක් වුයේ ආරක්ෂක හමුදාවන්ටය. එහෙත් මා එයින් එහාට බඳ පටියේ අතීතයට යාමට අදහස් නොකරමි.
අද වෙළඳපොලේ බඳපටි වර්ග ඕනෑ තරම් මිලදී ගත හැක. මීළඟට මා ඔබේ අවධානය යොමු කරන්නේ බඳ පටි මිලදී ගැනීම පිලිබඳවය. අපි වැඩි දෙනෙක් පොහොසතුන් නොවෙමු. එබැවින් අපට අපේ ආදායමට සරිලන පරිදි එදිනෙදා සියලු වියදම් පාලනය කරගැනීමට සිදුවෙයි. ඒ නිසා බඳ පටියක් සඳහා විශාල මුදලක් යට කිරීම ඵලක් නැති ක්‍රියාවක් බව ඔබ දැනටමත් තීරණය කර ඇති. එහෙත් ඔබ මිලදී ගන්න බඳ පටියක් දිනපතා පාවිච්චි කිරීමේදී, කොපමනකල් පාවිච්චි කලාද යන්න සිතා බලා තිබෙනවාද? සමහරවිට ඔබ බාල බඳපටි තුනක් පාවිච්චි කරන කාලය, එක හොඳ බඳ පටියක් පාවිච්චි කරන කාලයට සමාන වන බව ඔබ දන්නවාද? හොඳ බඳ පටියක් යනු කුමක්ද? කෘත්‍රිම සම් වලින් හෝ රෙක්සින් වැනි කෘත්‍රිම ද්‍රව්‍ය වලින් සෑදූ බඳ පටියක කල් පැවැත්ම ඉතා කෙටිය. එමෙන්ම එහි හැඩය වෙනස්වීම දුර්වර්ණවීම ඉක්මනින් සිදුවීමට බොහෝවිට ඉඩ තිබේ. හොඳ බඳ පටියක් සෑම විටම ස්වභාවික සම් වලින් නිපදවා ඇත. එහි හැඩය වෙනස්වීම හෝ දුර්වර්ණ වීම සිදුවන්නේ යටත්පිරිසෙයින් අවුරුදු 5 ක් වත් පාවිච්චි කිරීමෙන් අනතුරුවය. සමහරවිට එසේ වන්නේ ඔබ පටිය නඩත්තු නොකිරීම නිසාය. (නඩත්තු කරන්න පටිය බිරිඳක් ද? පසුව කියන්නම්) සාමාන්‍යයෙන් පිටකොටුවේ බඳ පටි මිල රු 150 සිට 400 පමණ වෙයි. ලොකු සාප්පු වල ඊට වඩා ඉහල මිල ගණන් වලට ඇත. රු 15000 ක් පමණ වන, වසර කීපයක වගකීමක්ද සහිත බඳ පටිද ලංකාවේ මිලදී ගැනීමට ඇත. එහෙත් අපටනම් ඒවා සිහිනයක් පමණි. සාමාන්‍යයෙන් මිල අධික වුවත් කල් පවතින බඳ පටි දෙකක් පහත දැක්වෙනවා.
අපි දැන් අවධානය යොමු කලයුත්තේ බඳ පටියක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවාද යන්න පිළිබඳවයි.
මා ඉහතින්ද දක්වා ඇති පරිදි විවිධ අමු ද්‍රව්‍ය යොදවා සකසන ලද බඳ පටි අද වෙළඳපොලේ තිබෙනවා. ඔබටත් මටත් අවශ්‍ය ඉතාම අඩු මිලට ඉතාම හොඳ පෙනුමෙන් යුත් බඳ පටියක් මිලදී ගැනීමටයි. නමුත් බොහෝවිට අපි රැවටෙන්නෙත් එතනදීයි. ප්‍රමිතියෙන් අඩු අමු ද්‍රව්‍ය යොදවා පෙනුමෙන් ඉහල බඳ පටි නිපදවිය හැකියි. දැන් මම කියන්නම් බඳ පටියක් තෝරාගන්නා හැටි. මුලින්ම ඔබ කැමති බඳ පටිය ගෙන ඔබේ ඉන වටා තබා බලන්න. (මෙහෙම කරන්න වෙන්නේ පදික වේදිකාවේ සහ ලාබෙට බඩු විකුණන කඩ වලදී පමණයි. හොඳ බඳ පටියකට ඇසුරුමක් ඇති අතර, බඳ පටියේ දිග සහ පළල ඒ ඇසුරුමේ සඳහන් වෙනවා) ඔබ පටිය තේරීමේදී මුලින්ම එහි දිග ගැන සිතිය යුතුයි. එහිදී ඔබ සැලකිලිමත් විය යුත්තේ ඔබේ වම් අතට පහලින් ඉන ප්‍රදේශයේදී අවසන් වන කෙලවරකින් යුත් පටියක් තෝරා ගැනීමටයි. දැන් බොහෝදෙනෙක් අඳින්නේ යන්තම් බකල් එකට අඟල් දෙකක් එහායින් අවසන් වන පටි. එය එතරම් හොඳ පෙනුමක් නෙවෙයි. ඉක්මනින් ඒ ‘නැට්ට කොටස’ ආපස්සට ඇඹරී අවලස්සන පෙනුමක් දෙන්න ඉඩ තියනවා.
ඔබ තෝරාගත් බඳ පටිය ස්වභාවික සම් හෝ කෘත්‍රිම සම් හෝ වෙනත් කෘත්‍රිම අමු ද්‍රව්‍ය වලින් සාදන ලද පටියක් විය හැකියි. ඊළඟට ඔබ කලයුත්තේ පටිය අත් දෙකෙන් අල්ලා දෙපසට ඇද බැලීමයි. එය ඉලාස්ටික් මිශ්‍ර පටියක් නොවන්නේනම් එතරම් ඇදීමක් තිබෙන්නට බැහැ. ඇදීම මිලි මීටර් කීපයක් නම් එතරම් ගණන් ගතයුතු නැහැ. ඉලාස්ටික් ගතියෙන් යුක්තනම් එය දිනපතා පාවිච්චියට සුදුසු නැහැ. ඊළඟට ඔබ බැලිය යුත්තේ ඔබේ කලිසම් වල ඉන වටේ ඇති පටිය හා හැකි තරම් සමාන පළලක් මේ පටියට තිබෙන්නේද යන්නයි. පටිය කලිසමේ පටියට වඩා පළලින් අඩුනම් පෙනුම තරමක් අවලස්සන වෙනවා. ඒ වගේම කලිසමේ ඇති කාදු වලට හුඟක් හිරවී වැටෙන පටියක් නම් එයද අවලස්සනයි. හොඳ හම් පටියක ඇතුළු පැත්තේ රළු හමක් තිබෙන්නට බැහැ. එය ඔප මට්ටම් කර තිබිය යුතුයි. එමෙන්ම හොඳ හම් පටියක දාර දෙක දිගේ මැහුමක් තිබිය යුතුයි. නියම සම් බඳ පටි යනුවෙන් මා මෙහි ඇතුලත් කර ඇති පින්තූරයේ තිබෙන පටි දෙකෙහි ඒ මැස්ම පෙනෙනවා. හොඳින් බලන්න ඔබේ ඇස් වසා දෙන්න හදන්නේ, හම් පටියක් වගේ පෙනෙන කෘත්‍රිම පටියක් විය හැකියි. පටිය ඉතා ඝන එකක් නොවිය යුතුයි. බඩවැල වගේ වැනෙන එකක්ද නොවිය යුතුයි. එදිනෙදා කාර්යාලයීය කටයුතු සඳහා යාමට, සම්මුඛ පරීක්ෂනයකට යාමට, මංගල්‍ය උත්සවයකට යාමට, ආදී සියල්ලටම ගැලපෙන්නේ ඉහත, ‘අද කාලයේ සම්මත බඳ පටිය’ යනුවෙන් දක්වා ඇති ආකාරයේ පටියකුයි. කලුපාට පටි ඕනෑම පාටක කලිසම් වලට ගැලපෙනවා. එහෙත් දුඹුරු පාට පටි එසේ ගැලපෙන්නේ නැති අවස්ථා තිබෙනවා.
ඉතින් අපි දැන් තෝරාගත් පටිය අඳිමු, නැත්නම් පළඳිමු. බහුතරයක් පටිය බඳින්නේ ගාන්චුව වම් අත පැත්තට එන ලෙසයි. ඒ ක්‍රමය තමයි හරි. මොකද කලිසමේ ගොල්ෆිය කියන කොටසේ දාරය තියෙන්නේ වම් පැත්ත උඩටත් දකුණු පැත්ත යටටත් තියන විදිහටයි. එහි විරුද්ධ පැත්ත තියෙන්නේ කාන්තාවන් අඳින කලිසම් වල. හැබැයි ඩෙනිම් කලිසම් වලට ඒ නීතිය අදාළ නැහැ. ඒ නිසා ඔබ දැනට පටිය බඳින්නේ ගාන්චුව දකුණු අත පැත්තට දමා නම් එය වෙනස් කිරීම සුදුසු යයි මා යෝජනා කරනවා. ඔන්න දැන් අපි පටිය කලිසමේ කාදු තුලින් දාලා තද කරන්නයි යන්නේ. කොහොමද ගාන්චුව තුලින් පටිය අදින්නේ? බලන්න මේ පින්තූරය.
- 1. ගාන්චුව වම් අත්ලට හෙත්තුවනසේ වමතේ මහපට ඇඟිල්ල ඔබේ හිස පැත්තටත් මැද ඇඟිල්ල ඔබේ දෙපතුල් පැත්තටත් සිටිනසේ පටිය අල්ලාගන්න.
- 2. දකුණු අතින් පින්තූරයේ රතු ඊතලයෙන් පෙන්වන ආකාරයට පටිය ගාන්චුව තුලින් අදින්න.
- 3. අවශ්‍ය නියමිත සිදුර ළඟාවූ පසු වම් අතේ දබරැගිල්ලෙන් ගාන්චුවේ කටුව ඒ සිදුරට යොමු කරන්න.
- 4. පටිය ගාන්චුවේ අනික් දාරය තුලින් යවා ක්‍රියාව සම්පූර්ණ කරන්න. මෙය මුලදී මහා වදයක් ලෙස දැනුනත් ටික දිනකින් හුරුවෙනවා. පටියේ ආරක්ෂාවටයි එහෙම කරන්නේ. විශේෂයෙන්, දැන් තිබෙන කෘත්‍රිම සම් වලින් නිපදවූ පටි, මේ වැරදි ක්‍රමයට දැමීමෙන්, ඉතා ඉක්මනින් හානියට පත්වෙනවා.
හොඳයි අපි ඊළඟට බලමු පටිය ඇන්දාට පසු එය තිබිය යුතු ආකාරය කුමක්ද කියා. පටිය සෑම විටම කලිසමේ ගොල්ෆියේ දාරය සහ කමිසයේ උඩින් තියන පලුවේ (වම් පළුව) ඔබේ දකුණු අත පැත්තට වෙන්නට පිහිටි දාරය සමග එකම රේඛාවක පිහිටනසේ ඇන්දොත්, අමුතු පිළිවෙලක් සහ ලස්සනක් එනවා. එහෙම නැත්නම් පෙනෙන්නේ මෙහෙමයි.
බොහෝ දෙනෙක් නොසිතන දෙයක් තමයි මම ඔබට පෙන්වා දුන්නේ. මෙලෙස කමිසයේ දාරය, පටියේ ගාන්චුව, කලිසමේ ගොල්ෆියේ දාරය එකම රේඛාවක සිටිනසේ ඇඳීම කරන පිරිසක් තමයි යුද සෙබළු. ඔවුන් නිල ඇඳුමේ පමණක් නොව තමන් එදිනෙදා අඳින සාමාන්‍ය ඇඳුමෙත් මේ ක්‍රමය සුරකිනවා. නිවාඩු යාමට කඳවුරෙන් පිටවන සොල්දාදුවන් පිරිසිදු, චාම්, පෙනුමැති, ලෙස ඇඳ සිටිනවාද යන්න ජ්‍යෙෂ්ඨ නිලයන් පරීක්ෂා කරනවා. අපේ සොල්දාදුවා සාඩම්බරව යනවිට අපට ලොකු ආඩම්බරයක්.
දැන් බලන්න ඒ විදිහට ‘අලයින්මන්ට්’ එක තබා (මේ වචනය වාහන රෝද සමපාත කරන බොහෝ තැන්වල ලියා තිබෙන්නේ ‘එලයිමන්ට්’ යනුවෙන්. එය වැරදියි) ඇන්ද විට කොපමණ උදාර (smart) පෙනුමක් එනවාද කියා. ඉතින් ඔබට හිතෙන්නේ නැද්ද මෙහෙම ඇන්දොත් හොඳයි කියා. උත්සාහ කර වෙනස වටහාගන්න. නොවරදවාම කාන්තා පක්ෂයෙන් හොඳ ප්‍රතිචාර ලැබෙයි. (අත්දැකීමෙන් කියන්නේ)
No comments :
Post a Comment