හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

29 May 2012

සපත්තුවේ ඉතුරු ටික


 සපත්තු පොලිෂ් කිරීම පිළිබඳව මා ලියනලද ලිපිය 1100 කට වැඩි පිරිසක් කියවා තිබුණා. සපත්තු ගැන මෙන්ම සපත්තු පොලිෂ් කිරීම පිළිබඳව මීට පෙර නොදත් කරුණු ඒ ලිපියෙන් දැනගත් බව සමහරු කියා තිබුනා. එලෙස දැනුම බෙදා දෙන්නට හැකිවීම සතුටට කරුණක්. අද මා සපත්තු පිළිබඳව තවත් වැදගත් කරුණු ටිකක් කියන්නයි යන්නේ.
සපත්තු දැමීම එක්තරා කලාවක්. හැබැයි සපත්තු තෝරා ගැනීමත්, අවස්ථාවට සුදුසු පරිදි පැළඳීමත් කලාවක්. වර්තමාන පරපුර මට එරෙහිව අවි අමොරාගන්නේ ඔවුන් පළඳින සපත්තු වලින් බොහොමයක් තැනට සුදුසු නොවන බව මා මෙයින් ප්‍රකාශ කල විටයි. අද තරුණ පරපුරේ බොහෝ දෙනා සිතන්නේ ක්‍රීඩා සපත්තු සෑම තැනටම සුදුසු බවයි. ඒ පිළිබඳව මාගේ නිරීක්ෂණ වලින් ලබාගත් තොරතුරුයි මේ. මිනිසාගේ ස්වභාවයක් තමයි අනුකරණය කිරීම. අප සියලුදෙනාම ජීවිත කාලය පුරාම අනුකරණයේ යෙදෙනවා. ළදරු වයසේ සිට අපි දෙමවුපියන්ව අනුකරණය කරනවාසේ. නමුත් අද වාණිජ ලෝකය ඉතා පහත් නින්දිත ආකාරයට තරුණ පරපුර ගොදුරු කරගෙන සිටිනවා. අද ජනමාධ්‍ය මගින් ජනමතය වෙනස් කිරීමට පවා පුළුවන් බව අප දන්නවා. වෙළඳ ප්‍රචාරණ උපක්‍රම මගින් ඉලක්කගත පිරිස් ග්‍රහණය කරගැනීමෙන් බහු ජාතික සමාගම් ගසාකන්නේ කෝටි ප්‍රකෝටි ගණනින්. විලාසිතා සඳහා තරුණ පරපුරෙහි ඇති කැමැත්ත (එය වරදක් නොවේ) දඩමීමා කරගනිමින් කරන ගසාකෑම් බොහෝයි. අපි සපත්තු වලින් කරන ගසාකෑම් බලමු. ඕනෑම කුණු ගොඩක් විකුනාගන්නට වෙළෙඳුන් යොදාගන්නේ ජනප්‍රිය පුද්ගලයන්, නළු නිලියන්, ගායක ගායිකාවන්, නොවැ. ඔවුන් යොදවා එක රූපවාහිනී වෙළඳ දැන්වීමක් කරගතහොත් හොඳටම ඇති. ඒ දැන්වීමේ පෙනීසිටින කෙනා ඒ ජාතියේ සපත්තු ජීවිතේටම ඇන්දේ ඒ වෙළඳ දැන්වීමට පෙනී සිටීමට පමණක් වීමට 80% කට වඩා ඉඩක් තිබෙනවා. අහවල් සබන්, අහවල් ක්‍රීම්, අහවල් ෂැම්පු, ඔය ඔක්කොම එහෙම තමයි. අනික ඔබම සොයා බලන්න, සංගීත ප්‍රසංගයකදී ඔබ දුටු ඔබේ ප්‍රියතම ගායකයා, වේදිකාවේ පිනුම් ගසමින් ගායනා කරනවිට ඇඳ සිටි ක්‍රීඩා සපත්තු, ඔහු අවමංගල්‍ය උත්සවයකට යනවිට අඳින්නේ නැහැ. (අනෙකුත් ඇඳුම් පවා එහෙමයි) නමුත් ඔබ (සමහරවිට තවම රැකියාවක් නොකලත්) රු 3000 කට වැඩි මුදලක් වැය කර මිලදීගන්නා ක්‍රීඩා සපත්තු දෙක, ඕනෑම ස්ථානයකට පැළඳගෙන ගියහොත්, ඔබ ප්‍රදර්ශනය කරන්නේ ඔබට ඇත්තේ නොමේරු මොලයක් බව මිසක්, වෙන කිසිවක් නොවේ.  මේ අකාරයටම ‘සැන්ඩ්ල්ස්’ නමින් හඳුන්වන පටි රැසක් සහිත සපත්තු/සෙරෙප්පු, නාන කාමරයට පමණක් පළඳින රබර් සෙරෙප්පු, නුසුදුසු අවස්ථාවලට පළඳින අය මම නිතර දකිමි. (දුප්පත් කමට, තියන එකම සෙරෙප්පු දෙක, රජ ගෙදර සිට මලගෙදර දක්වා පළඳින පුද්ගලයා සහ සල්ලි තිබියදීත්, මෝඩකමට නොගැලපෙන පාවහන් පළඳින පුද්ගලයා අතර වෙනස මම හඳුනමි)
 මීට කලින් ලිපියේදී මා සඳහන් කල ආකාරයටම මා ඔබට කියන්නේ ඔබට මුදල් තිබේනම් ඒ ඒ අවස්ථාවට සුදුසු ලෙස පැළඳීම සඳහා සපත්තු කුට්ටම් කීපයක් තබාගන්න. අද පවතින ආර්ථික අර්බුදය හමුවේ ජීවිත සටන ගෙනයන කෙනෙක්නම් වඩාත් සුදුසු වන්නේ පොදුවේ කොතනටත් පැළඳිය හැකි ආකාරයේ සරල සපත්තු දෙකකුයි. එහෙත් එවැනි සරල සපත්තු දෙකක් වුවද අවම වශයෙන් රු 2500 ඉක්මවන බව නොරහසක්. මේ සඳහා විකල්ප ක්‍රමත් තිබෙනවා. ඔබේ කාර්යාලයේ/ආයතනයේ පිරිමින් සපත්තු පැළඳීම අනිවාර්ය නොවේනම් පටි සහිත සපත්තු (sandals) දැමීම අඩු වියදමකින් කල හැකියි.
එහෙත් එවැනි සපත්තු දෙකක්වත් මිලදීගත නොහැකි සාමාන්‍ය හම් සෙරෙප්පු දෙකකින් සෑහීමට පත්වීමට සිදුවන පිරිසක්ද සිටිති. මේ ටික කියන්නේ ඔවුන්ටයි. විලුඹ ආවරණය නොවන සෙරෙප්පු පැළඳීමෙන්, හදිසියකදී දුවන්නට අපහසු බව ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. එය ඔබ ප්‍රායෝගිකවම දන්නවා.
  එමෙන්ම රියදුරු වෘත්තියේ යෙදෙන සෑහෙන පිරිසක් මෙවැනි සෙරෙප්පු පැළඳ රිය පදවනවා මා බොහෝවිට දකිනවා. එය ඉතා භයානක ක්‍රියාවක්. මෙවැනි සෙරෙප්පුවකින් කකුල ලිස්සා යාමට ඇති ඉඩකඩ ඉතා වැඩියි. විශේෂයෙන් ඔබ හදිසියේ වාහනයේ තිරිංග තද කරනවිට කකුල සෙරෙප්පුවෙන් ලිස්සා ගියොත්, ඔබෙත් වාහනයේ ගමන් කරන අනෙක් අයගෙත්, ජීවිත අනතුරට පත්වෙනවා. සෙරෙප්පුව ගලවා වාහනයේ පෙඩ්ල් අසලින් තැබීමත් භයානකයි. සෙරෙප්පුවක් බ්රේක් පෙඩලය යටට ගියොත්, ඔබ බ්රේක් පෑගුවත්, බ්රේක් පෙඩලය සෙරෙප්පුවට තදවීම නිසා, නිසි ප්‍රමාණයට බ්රේක් නැතිවීමෙන්, භයානක අනතුරු සිදුවීමට හොඳටම ඉඩකඩ තිබෙනවා. තමන් පදවාගෙන ගිය මෝටර් රථයේ බ්රේක් මේ ආකාරයට තම අඩි උස සපත්තුවට හිරවීම නිසා, අනතුරක් වලක්වාගත නොහැකිවූ ශ්‍රී ලාංකික කතක්, අනතුරට පත්ව මියගියා. ඔබ මෙවැනි සෙරෙප්පු පැළඳ, සෙමෙන් ධාවනය වන බස් රථයක හෝ දුම්රියක හදිසියේ එල්ලීමට ගියොත්, ලිස්සා වැටීමට ඇති ඉඩකඩ බොහොමයි. එය මරණීය වැටීමක් විය හැකියි. එබැවින් මෙවැනි සෙරෙප්පු, පයින්ම යන කෙටි ගමන් බිමන් වලට පමණක් පාවිච්චි කරන්න.
  ඔබේ ආදායම් මට්ටමේ හැටියට වඩා හොඳ සෙරෙප්පු දෙකක් මිලදීගත නොහැකිනම්, යටත්පිරිසෙයින් මේ පින්තූරයේ දක්වා ඇති ආකාරයේ එක පටියක්වත් විලුඹ හරහා යන සෙරෙප්පු යුවලක් පාවිච්චි කරන්න. ඔබ රියදුරකුනම් මේ ගැන සිතන්න. එවැනි වෘත්තීන්හි නියැළුන බහුතරය අන්තර්ජාලය පරිහරණය නොකරන බව මා හොඳාකාරවම දන්නවා. බ්ලොග් කියවන අයගෙන් මා කාරුණිකව ඉල්ලන්නේ අදාලවන අයව දැනුවත් කරන ලෙසයි.
 සමහර රැකියා වලදී සපත්තු පැළඳීම අනිවාර්ය වෙනවා. එහෙත් මේ මෝස්තරය කියා විශේෂයක් නැහැ. එවැනි අවස්ථා වලදී අද බොහෝ දෙනා කැමති, ලේස් නොදමන සපත්තු වලටයි. ඉක්මනින් දැමීමේ / ගැලවීමේ පහසුව සඳහා එවැනි සපත්තු තෝරාගන්නේ කලබලකාරී ජීවිත ගත කරන නිසයි.
සමහරු එලෙස පාවිච්චි කරන සපත්තු බොහෝවිට පොලිෂ් කරන්නේම නැති තරම්. එවිට ඇතිවන අවලස්සන පෙනුම ගැන ඔවුන් නොදන්නවා නොවේ. යටත්පිරිසෙයින් ක්ෂණික පොලිෂ් වර්ගයක්වත් නොගෑවොත් ඔබේ සපත්තු දෙක කරවල කූරියන් වගේ පෙනෙන බව අමතක කරන්න එපා.
 ඉක්මනින් පැළඳීමට / ගැලවීමට හැකි තවත් සපත්තු මෝස්‌තර තිබෙනවා. සිප් ෆාස්ටනර්ස් (Zip Fasteners) වලින් ඇරෙන වැසෙන සපත්තුත් සෑහෙන්න ජනප්‍රියයි. පෙනුමත් ලස්සනයි. මේ මෝස්තරයේ සපත්තු බොහොමයක් නියම සම් වලින් නිපදවා තිබෙන්නේ. එහෙත් එවැනි සපත්තු අර ජනප්‍රිය මෝස්තරයේ සපත්තු වලට වඩා මිලෙන් වැඩියි.
 සිප් ෆාස්ටනර්ස් යොදා සකසන සපත්තු බොහොමයක් ඇන්කල් බූට් (Ankle Boots) නමැති වර්ගීකරණයට අදාලවයි සකස් කරන්නේ. ඒ කියන්නේ එවැනි සපත්තු ඔබේ ඇස්වටය ප්‍රදේශයද ආවරණය කරන තරම් උසයි. මෙයින් අත්වන ප්‍රයෝජනය කුමක්ද? 1. ඇස්වටයට පහලින් ටොප්ලයින් එක හෙවත් සපත්තුවේ කට පිහිටන සපත්තුවක් දමා ඇවිදින විට, කකුල පෙරලුනොත්, සමහර විට කකුල කෙවෙන්නට හෝ උලුක් වන්නට ඉඩ තිබෙනවා. 2. ඇන්කල් බූට් එකකින් ඔබේ කකුලේ ඇස්වටයටත් ඉහලින් සිටිනසේ ආවරණය කරන බැවින්, එය පැළඳ සිටියදී වැටුනත් කකුල කෙවීමට හෝ උලුක්වීමට ඇති ඉඩකඩ ඉතාම සීමිතයි. 3. රළු භුමි ප්‍රදේශ වලදී එවැනි වැටීම් ආදිය සිදුවීමට ඉඩ ඇති බැවින්, දුෂ්කර පරිසරවල ඇවිදීම සඳහා ඇන්කල් බූට් ඉතා හොඳින් ගැලපෙනවා. 4. කකුලේ ඇස්වටය දක්වා ප්‍රදේශය ආවරනයවී ඇති බැවින්, කාර්මික වැඩබිම් වලදී, පාදයේ පහල කොටසට සිදුවියහැකි අනතුරු අවම කර ගැනීමේ හැකියාක් තිබෙනවා. 5. සර්ප දෂ්ඨයකදී, ඇස්වටය දක්වා පාදය ආවරනයවී තිබීම වාසියක් වනවා.
 කුමන ආකාරයක සපත්තු සෙරෙප්පු දැම්මත් ඒවා අනිවාර්යයෙන් පොලිෂ් කිරීම හෝ පිරිසිදු කිරීම කල යුතුයි. නැත්නම් ඒවා කුණු මාළු වගෙයි. පුද්ගලයකුගේ පෙනුම අප්‍රසන්න කරවන එක දෙයක් තමයි අපිරිසිදු පාවහන්, ඉරුණු මේස්. සපත්තු සෙරෙප්පු පමණක් නොව ඔබ දිනපතා ගෙනයන බ්‍රීෆ් කේස්, හම් වලින් නිමවූ කාර්යාලයීය බෑග්, ඉතා ලස්සනට පොලිෂ් කරන්න පුළුවන්. දැන් කාලයේ සමහරු දිනපතා පළඳින බේස් බෝල් තොප්පි ඉතා කිළුටු තත්වයෙන් පළඳින බවත් පෙනෙනවා.
 කොහොම කිව්වත් දිනපතා සපත්තු පොලිෂ් කිරීමට අකමැති පිරිස තමයි වැඩිපුර ඉන්නේ. ඒ නිසා ඔවුන්ටත් විසඳුමක් දිය යුතුයි. මම එවැනි අයට යෝජනා කරන්නේ සුඑඩ් සපත්තු පළඳින්න කියයි. සුඑඩ් සපත්තුත් හම් සපත්තු වර්ගයක්. ඒවා නිපදවා තිබෙන්නේ බැටළුවන්ගේ හෝ එළුවන්ගේ හෝ ගෝන/මුව වර්ග වල සතුන්ගේ හෝ ඌරන්ගේ බඩ ප්‍රදේශයේ සිනිඳු සම් වලින්. එම සම් විශේෂ ක්‍රමයකට පදම් කර, දිලිසීම නැති, උඩට ඉල්පුනු, වෙල්වට් වැනි මතුපිටක් නිර්මාණය කර තිබෙනවා. සුඑඩ් සපත්තු දෙකක් සාමාන්‍යයෙන් රු 3000 ත් 5000 ත් අතර වනු ඇති. සුඑඩ් සපත්තු පිරිසිදු කිරීම සඳහා තරමක් තද කෙඳි සහිත බුරුසුවක් අවශ්‍යයි. අලුත් දත් බුරුසුවක් වුනත් සෑහෙනවා. හැබැයි මතක තබාගන්න වතුර, මඩ, තෙල්, වැනි දේවල් සුඑඩ් සපත්තුවේ හතුරෝ. ඒ නිසා, ඒවාගෙන් හැකි තරම් ඈත්වී තමයි සුඑඩ් සපත්තු පැළඳිය යුතු වන්නේ. තෙල් කුණු පල්ලම් ඇති වුනොත් සබන් හෝ පිරිසිදු කිරීමේ දියරයක් ජලය සමග මිශ්‍ර කර බුරුසුවෙන් පිස දැමිය යුතුයි. සුඑඩ් සපත්තු කිසි විටකත් අව්වේ වේලන්න එපා. හැඩය වෙනස් වෙනවා. ඒවා වේලන්නේ පවනේ පමණයි.
  සපත්තු කියන වර්ගීකරණයට වැටෙන තවත් වර්ගයක් තමයි ‘පම්ප්ස්’ Pumps යනුවෙන් හැඳින්වෙන සපත්තු. මේවා මිල වැඩි අඩු වර්ග කීපයක් තිබෙනවා. කල් පවතින, ශක්තිමත් පම්ප්ස් සපත්තු දෙකක් රු 2500 සීමාවේ තමයි තිබෙන්නේ. සමහර පම්ප්ස් සපත්තු පොදුවේ කොතනටත් ගැලපෙනවා. මේ තිබෙන්නේ එවැනි පම්ප්ස් සපත්තුවක්.
මෙවැනි සපත්තු සැහැල්ලුයි, සාමාන්‍යයෙන් සෑහෙන කාලයක් පාවිච්චි කල හැකියි. හැබැයි වතුරට ඔරොත්තු දීම එතරම් සතුටුදායක නැහැ. නමුත් හොඳින් පොලිෂ් කල හැකියි. දිනපතා පාවිච්චියට නිර්දේශ කල හැකියි. අනෙකුත් හම් සපත්තුවල මෙන් මෙහි සම එතරම් ඝනකම නැහැ.
මිල අඩු පම්ප්ස් සපත්තුද තිබෙනවා. හැබැයි ඒවා දිනපතා පාවිච්චියට එකම සපත්තු කුට්ටමක් යොදා ගැනීම ණුවනට හුරු නැහැ. මාරු කරමින් පළඳින්නට කුට්ටම් තුනක්වත් තිබෙනවානම් හොඳයි.
තවත් සපත්තු වර්ගයක් තිබෙනවා බෝට් ෂූස් Boat Shoes යනුවෙන් හැඳින්වෙන. මේවාත් වැඩි දියුණු කල කැන්වස් සපත්තු විශේෂයක්. බෝට් ෂූස් කියන්නේ මේවා විශේෂයෙන් බෝට්ටු වැනි ජාල යාත්‍රා වල ගමන් කිරීමේදී පැළඳීමට සුදුසු යන අර්ථයෙන්. සාමාන්‍ය හම් සපත්තු දෙකක් තරමක් බරයි. එවැනි සපත්තු සමග වතුරේ පිහිනීම පහසු නැහැ. නමුත් බෝට් ෂූස් කකුලේ තිබියදී ඔබ වතුරට වැටුනොත් පිහිනීම එතරම් අපහසු නැහැ. එහෙත් බෝට් ෂූස් සෑම අවස්ථාවකටම පැළඳීමට සුදුසු නැහැ. විනෝද චාරිකා, සැහැල්ලු ගමන් බිමන්, වෙළඳපොළට යාම වැනිදේට සුදුසුයි. පිරිසිදු කිරීම සේදීමෙන් කල හැකියි. එහෙත් තදින් වතුරට පෙඟීම සුදුසු නැහැ. මිල රු 2500 සීමාවේ තිබෙනවා.
සපත්තු යන වර්ගීකරණය යටතේ අඩුම මිලට ලබාගතහැක්කේ කැන්වස් සපත්තු පමණයි. එහෙත් කැන්වස් සපත්තු දිනපතා පාවිච්චිය සඳහා ගන්නේනම් කුට්ටම් කීපයක් තිබිය යුතුයි. එයට හේතුව මේවා ඉක්මනින් ගෙවීයන worn out නිසයි. එමෙන්ම දැඩි උණුසුම සහිත දිනවල සහ දැඩි හිරුරැස් සපත්තු මතට පතිතවන පරිසරයක මේවා පාවිච්චි කල නොහැක්කේ ඉක්මනින් ඇතුලත උණුසුම් වන නිසයි. එවිට ඔබේ පය තැම්බෙනවා මෙන් දැනෙනවා. කැන්වස් සපත්තු වඩාත් සුදුසු සිසිල් වියලි දේශගුනයටයි. එසේම වතුරට ඔරොත්තුදීම අතින්ද කැන්වස් සපත්තු ඉතා පහල මට්ටමකයි පවතින්නේ. රසායනික ද්‍රව්‍ය, ගින්දර, සඳහාද කැන්වස් සපත්තු ඔරොත්තු දෙන්නේ නැහැ.
  සමහරුන්ට සම්පූර්ණයෙන් ආවරණය කල සපත්තු පැළඳිය නොහැකියි. කකුල පිච්චේනවාක් මෙන් දැනෙනවා. burning sensation එවැනි අයට වඩාත් සුදුසු ඇතුලට හොඳින් වාතාශ්‍රය ලැබෙන සේ සකසන ලද සපත්තුයි. නමුත් මිල අතින් බලනවිට ඒ වර්ගයේ හොඳ සපත්තු යුවලක මිල හොඳ හම් සපත්තු යුවලක මිලට ආසන්නයි. නමුත් මේ සපත්තු සාමාන්‍යයෙන් පොදුවේ කොතනටත් පාවිච්චි කල හැකියි. මේ සපත්තු  සැන්ඩ්ල්ස් යනුවෙන් හඳුන්වනවා. මේ සපත්තු මිලදී ගැනීමේදී විලුඹ සම්පූර්ණයෙන් ආවරණය වන සපත්තු දෙකක මිලදිගනීමෙන් එය සාමාන්‍ය සපත්තු පළඳින ආකාරයට පැළඳිය හැකි වෙනවා.
 අවස්ථාවට සුදුසු වන ආකාරයට සපත්තු පැළඳීම ඉතා කල්පනාකාරීව කලයුතු දෙයක්. එය තරමක් දීර්ඝව සාකච්ඡා කලයුතු කරුණක් බැවින්, මූලික කරුණු කීපයක් පමණයි මා කියන්නට අදහස් කරන්නේ. සන්නද්ධ හමුදා සහ පොලීසිය හෝ කිසියම් ආයතනයක ප්‍රධාන ආරක්ෂක නිලධාරි වැනි තනතුරකට අදාලව සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වන්නේනම්, වඩාත් සුදුසු, ලේස් සහිත, කළු, හම් සපත්තු යුවලක්. අනෙකුත් සම්මුඛ පරීක්ෂණයකදී වුවද, සුදු පාට, හෝ ලා පාට සපත්තු පළඳින්න එපා. සැන්ඩ්ල්ස් පලන්දින්නත් එපා. සෑමවිටම ඔබ අඳින කලිසමේ පාටට හැකි තරම් ආසන්න පාටක මේස් පළඳින්න.  සුදු පාට, අළු පාට, කලිසම් වලට වඩාත් ගැලපෙන්නේ කලුපාට සපත්තු. දුඹුරු පාට සපත්තු සම්මුඛ පරීක්ෂණ වලට පැළඳීම වැරද්දක් නැතත් ඒ සඳහා ගැලපෙන කලිසමක් තෝරාගන්න. (ක්‍රීම් පාට, ලා දුඹුරු පාට වැනි)   ඔබ සපත්තු මිලදිගතයුත්තේ උදය කාලයේදී. එයට හේතුව සවස්වනවිට අපේ පාදය ස්වභාවික ප්‍රමාණයට වඩා මඳක් ප්‍රසාරණය වන බැවින්. සපත්තුවක ලේස් ගැට ගැසීමත් කලාවක්. පහත ඇති වීඩියෝවෙන් එය බලා ඉගෙනගන්න.
http://www.videojug.com/player?id=a31884aa-c019-31ba-cb2e-ff0008c8e919

No comments :

Post a Comment

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }