හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

20 September 2012

සැඟවුණු මරුවා (තුන්වැනි කොටස) The Sniper (Part Three)


  සැඟවුණු මරුවා ලිපි පෙලේ තුන්වැනි කොටසයි අද ඉදිරිපත් කරන්නේ. පළමුවැනි කොටසසහ දෙවැනි කොටස කෙරෙහි ඔබ දැක්වූ ප්‍රතිචාර මා ධෛර්යවත් කල බව ප්‍රකාශ කරන්නේ ඔබ සියළු දෙනා වෙත කෘතඥතාවද පල කරමින්. ඊළඟ කොටස ඉක්මනින් පලකරන්න කියා ලැබුණු ඉල්ලීම්ද කීපයක්ම තිබුනා. එහෙත් අවශ්‍ය තොරතුරු නිසිපරිදි ගොනුකර, පරිවර්තනය කර, යතුරුලියනය කර, මාධ්‍ය රූප යොදා, සංස්කරණය කර, ඔබවෙත ගෙන ඒම සෑහෙන්න වෙහෙසකර ක්‍රියාවක්. මම දැන් අවුරුදු 60 ට ආසන්න පුද්ගලයකු නිසා මගේ ජවය දැන් අඩුයි. ඒ ගැන සානුකම්පිකව සලකන ලෙස ඔබෙන් කාරුණිකව ඉල්ලනවා.  
  හොඳයි. එහෙනම් පටන් ගන්නවා අද කතාව. ස්නයිපර් වරයකු ඉගෙනගතයුතු විෂයයන් පිළිබඳව මම ඔබට පසුගිය කොටසේදී විස්තර කළා. ස්නයිපර් අවියක ක්‍රියාකාරිත්වය ඉගෙනගෙන ඉන්න එපායැ ඔක්කොටම කලින් එහෙනම් ඔබත් ලෑස්තිද පාඨමාලාව කරන්න.
   පන්තිය සීරුවෙන් සිටින්. පහසුවෙන් සිටින්. අවධානය තියාගන්නවා. වටපිට බලලා, නින්ද ගිහිල්ලා, අහුවෙන්ඩ එපා. දෙනවා ………..යන්ඩ.
  මම හිතන්නේ නැහැ ඒ ක්‍රමයට ඔබ එකඟ වෙයි කියලා. ඒ නිසා වෙනදා ක්‍රමයටම කරන්නම්.  :D
  ස්නයිපර් අවියක් කියන්නේ බරෙන් අඩු අවියක් කියා පසුගිය ලිපියේදී කිව්වා. එහෙත් හැම විටම එය ප්‍රායෝගිකව එහෙම නෙවෙයි. විවිධ අවශ්‍යතා නිසා බරෙන් වැඩි අවි ද තිබෙනවා. නමුත් මා අත්දැකීමෙන් දන්නවා ස්නයිපර් අවියක් තද පොළොවක් මත ඉහල සිට බිමට වැටුනත් හානි සිදුවන අවස්ථා තියනවා. විශේෂයෙන් ඉලක්කය ගැනීම විකෘති වෙනවා. ස්නයිපර් පුහුණුව නැති පුද්ගලයකු ඒ තුවක්කුවකින් වෙඩි තැබුවොත් එහි අභ්‍යන්තර කොටස්වල ක්‍රියාකාරිත්වයට (උදා; බෝල්ට් එකේ ක්‍රියාකාරිත්වය, ට්‍රිගරයේ ක්‍රියාකාරිත්වය, වැනි දේ) හානි සිදුවෙනවා. මේ නිසා ස්නයිපර් වරයෙක් තමන් විසින් සියුම් ලෙස සීරු මාරු කර සාදාගත් තුවක්කුව වෙනත් ස්නයිපර් වරයකුටවත් දෙන්නේ නැහැ.
  මීට පෙර මා ඔබට විවිධ තුවක්කු කීපයක් පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දක්වා තිබෙනවා. නමුත් ස්නයිපර් තුවක්කුවේ කෑල්ලෙන් කෑල්ල විස්තර කරන්න යන්නේ නැහැ. විශේෂතා පමණක් කියන්නම්. අනෙකුත් තුවක්කුවකට වඩා ස්නයිපර් තුවක්කුවක තිබෙන වෙනස්කම් මෙසේයි.
  1. අනෙක් තුවක්කු සම්පුර්ණ ස්වයංක්‍රීය තුවක්කු වුනත්,(Full Automatic) ස්නයිපර් තුවක්කුවක් අනිවාර්යයෙන්ම අර්ධ ස්වයංක්‍රීය (Semi Automatic) හෝ වරකට එක උණ්ඩයක් පමණක් යෙදිය හැකි (Manual Loading) ආකාරයටයි සකසා තිබෙන්නේ. එයට හේතුව ස්නයිපර් අවියකින් කිසිවිටෙකත් පොකුරු වෙඩි (Burst) තැබීමට අවශ්‍ය නොවන නිසයි.
2.  ස්නයිපර් තුවක්කුවකට අනිවාර්යයෙන්ම දුර දක්නයක් (Scope) සවිකර තිබෙනවා. දුර දක්නයක් නැතිව ස්නයිප් කරන්න බැහැ. මෙම දුරදක්න දිවා කාලයට (Day Scope) මෙන්ම රාත්‍රී කාලයටද (Night Scope) ප්‍රයෝජනයට ගතහැකි ලෙස සකසා තියනවා. (දුරදක්නයටම සවිකළ GPS සහ සන්නිවේදන පහසුකම් මගින් තමන් දකින ඉලක්කය තවත් කෙනෙකු වෙත සියලු දත්ත සහිතව සම්ප්‍රේෂණය කළහැකි තත්වයට අද වැඩි දියුණු කර තිබෙනවා) මෙහි දැක්වෙන අද කාලයේ වඩාත් ජනප්‍රිය මෙන්ම දුර ඉලක්ක ගැනීමට සුදුසු ස්නයිපර් අවියක් ලෙස පිළිගැනෙන එම් 107 අවිය ගැන කෙටි විස්තරයක් කරන්නම්.
  පසුගිය ලිපියෙනුත් මා මෙම තුවක්කුවේම විස්තර දැක ගැනීමට ඔබට සබැඳියාවක් ලබාදුන්නා. එහෙත් සිංහලෙන් කියවන පාඨකයන් වෙනුවෙන් ඒ ගැන කෙටි විස්තරයක් සිංහලෙන් කිරීම සුදුසු බව හැඟුණ නිසයි මෙසේ කරන්නේ.
  •   නම : M107 .50 Caliber Long Range Sniper Rifle (LRSR)
  •  නිපදවන රට : ඇමරිකා එක්සත් ජනපදය
  •  මුලින්ම නිපදවූ වර්ෂය : 2002
  • තුවක්කුවේ කැලිබරය : අඟල් 0.50 (12.7 මිලි මීටර්)
  • යොදන පතරොම් වර්ගය : .50 Browning Machine Gun (12.7 x 99 mm)
  • තුවක්කුවේ බර (පතරොම් නැතිව, දුර දක්නය සවිකර) : රාත්තල්  28.5 (12.9 kg)
  • තුවක්කුවේ දිග : සම්පුර්ණයෙන් දිගහැරිය විට අඟල් 57 (1,448 mm) මිට හැකිලූ විට අඟල් 38 (965 mm)
  • තුවක්කු බටයේ දිග : අඟල් 29 (737 mm)
  •  මැගසිනයට වරකට දැමිය හැකි පතරොම් ගණන : 10 යි 
  •  පතරොම් 10 ක් දැමූ මැගසිනයේ බර : රාත්තල් 4යි අවුන්ස 12 යි  (1.87 kg)
  • උණ්ඩයක් පිටවීමේ සාපේක්ෂ ප්‍රවේගය :  තත්පරයකට අඩි 2,800  (853 තත්පරයකට මීටර්)
  • උණ්ඩයක් ගමන්කරන උපරිම දුර : යාර 7,450 (6,812 මීටර්)
  • උපරිම සඵල වෙඩි දුර : යාර 2,000 (1,829 මීටර්)
මේ තුවක්කුව ගැන මීටවඩා තාක්ෂණික තොරතුරු රැසක් ඇතත් ඒ සියල්ල මෙහි ඇතුලත් නොකළේ පහත වෙනම තැනකින් එය ඔබට ඉදිරිපත් කරන නිසයි. මෙම තුවක්කුවට යොදන පතරොම ඉතා විශාල පතරොමක්. මේ බලන්න එහි ප්‍රමාණය.  ගුවන් යානා නාශක තුවක්කු වලට යොදන්නෙත් මේ පතරොම් වර්ගයමයි. ඉහත පින්තුරයේ තුවක්කුව සමග පෙන්වා ඇති පතරොම් වල තුඩ කොලපාට බවත් මේ සමග ඇති රුපයේ පෙන්වන පතරොමේ තුඩ රතුපාට බවත් පෙනෙනවාද? එසේ වීමට හේතුව මීට පෙර මම ඔබට කියාදුන්නාමතකද?
  පතරොම් තියෙන්නේ තුවක්කු වලට දමා වෙඩි තියන්නනේ. ඒත් ඉතින් යුද බිමේ ඉන්න සෙබලාට අවුරුද්දට කැවුම් බදින තාච්චුව වෙන්නේ යකඩ හිස්වැස්ම, කොකිස් අච්චුව වෙන්නේ මෝටාර් උණ්ඩයේ වලිගය කොටස. මේකත් ඒ වගේ වැඩක්. .50 වර්ගයේ හිස් කොපුවක් අහුවුනොත් කරලා බලන්න. රුපය මත ක්ලික් කර බලන්න.මාව හමුවීමට එන පළමුවැනි සියදෙනාට නොමිලේ එවැනි හිස් කොපු දෙනු ලැබේ :D
  මේ ලිපි මාලාවේදී මා ඔබේ වැඩි අවධානයට යොමු කරන්නේ ස්නයිපර් තුවක්කු ගැන නොව ස්නයිපර් වරයකුගේ කාර්යභාරය ගැනයි. එහෙත් මා හොඳින්ම දන්නවා ඔබෙන් සමහර දෙනෙක් කියන්නට ඉඩ තිබෙනවා කෝ අර තුවක්කුව ගැන කිව්වේ නැහැනේ මේ තුවක්කුව ගැන කිව්වේ නැහැනේ කියලා. ඒ නිසා තව එක තුවක්කුවක් ගැන කියන්නම්. කතාව සමබර වෙන්නත් එක්ක ඇමරිකන් කාරයාගේ තුවක්කුවට පස්සේ රුසියන් කාරයාගේ තුවක්කුවක් ගැන කියන්නම්කො. මේ තුවක්කුව අපේ හමුදාවත් පාවිච්චි කරනවා. ඒ වගේම මේ තුවක්කුව ලෝකයේ අතිශයින් ජනප්‍රිය ස්නයිපර් අවියක්.
මෙන්න මේ තුවක්කුවේ තාක්ෂණික තොරතුරු
  • වර්ගීකරණය : ස්නයිපර් රයිෆල්
  • නිෂ්පාදනය කරන රට : සෝවියට් රුසියාව
  • මුලින්ම නිපදවීම : 1958
  • යුද කටයුතු සඳහා භාවිතය : 1963 සිට අද දක්වා
  • සැලසුම්කරු : එව්ජෙනි ඩ්රැගුනොව්
  • අවියේ බර (දුර දක්නය සවිකර පතරොම් නොදමා) : 4.30 කි.ග්රෑ. (9.48 රාත්තල්)
  • අවියේ දිග : 1,225 මි.මී. (48.2 අඟල්)
  • තුවක්කු බටයේ දිග : 610 මි.මී. (24.0 අඟල්)
  • යොදන පතරොම් වර්ගය :  7.62 x 54
  • යාන්ත්‍රණය : වායු පීඩනයෙන් ක්‍රියාකරන වර්තන බෝල්ට් එක
  • උණ්ඩයක් පිටවීමේ සාපේක්ෂ ප්‍රවේගය : 830 තත්පරයකට මීටර්  (2,723 තත්පරයකට අඩි)
  • සඵල වෙඩි දුර : මීටර් 800 යි
  • වෙඩි තැබිය හැකි උපරිම දුර : මීටර් 1200 (දුර දක්නය ආධාරයෙන්)
  • පතරොම් යෙදීම : පතරොම් 10 ක් දැමිය හැකි මැගසිනය
ඔන්න ආයෙනම් තුවක්කු විස්තර ලියන්නේ නැහැ. ඒ වෙනුවට මෙන්න ලෝකයේ හොඳම ස්නයිපර් තුවක්කු ගැන බලන්න පුළුවන් සබැඳියාවන්
ලෝකයේ හොඳම ස්නයිපර් තුවක්කු පිලිබඳ වීඩියෝවක් පහත දක්වනවා.





ස්නයිපර් තුවක්කුවකට සවිකළ දුරදක්නයක් තිබෙන බව මා ඉහත සඳහන් කළා ඔබට මතක ඇති. අපි ඉතා කෙටියෙන් සලකා බලමු, ඒ දුර දක්නය මොන වගේද? කොහොමද ඒ දුරදක්නය පාවිච්චි කරන්නේ? යන කරුණු. සාමාන්‍ය තුවක්කුවකට වුනත් විශේෂ ආධාරකයක් මගින් දුර දක්නයක් සවි කල හැකියි. නමුත් ස්නයිපර් තුවක්කුවක් නිෂ්පාදනය කරන්නේ දුරදක්න ආධාරකය සහිතවයි. ඒ වගේම විවිධ දුරදක්න අවශ්‍යතාව අනුව සවිකිරීමට අදාළ පහසුකම්ද ස්නයිපර් අවියක බොහෝවිට සකස්කර තිබෙනවා.
  මේ දුරක්න දිවා රාත්‍රී දෙකේම පාවිච්චියට සුදුසු ආකාරයටද සකසා තිබෙනවා. එකී සැකැස්ම පිලිබඳ සරල සටහනක් මේ සමග ඉදිරිපත් කරනවා. රාත්රී දුරදක්නය තරමක් සංකීර්ණයි. ඒ නිසා ඒ ගැන විස්තර ලියන්න අදහස් කරන්නේ නැහැ.
  මීළඟට මා ඔබට අවස්ථාවක් දෙනවා ස්නයිපර් තුවක්කුවේ දුරදක්නයට ඇස තබා බලන්න. ඔබ දිවා කාලයේදී එවැනි දුර දක්නයකට ඇස තබා බැලුවොත් පෙනෙන්නේ මෙහෙමයි.
   එසේම රාත්‍රී කාලයේදී ස්නයිපර් තුවක්කු සඳහා පාවිච්චි කරන, බැටරි බලයෙන් ක්‍රියා කරන, අධෝරක්ත කිරණ (Infra Red beam) දුරදක්න තිබෙනවා. එමෙන්ම බැටරි බලයෙන් දර්ශනය ආලෝකවත් කර, පැහැදිලි කර ලබාදෙන දුරදක්නද තිබෙනවා. මේ එවැනි දුරදක්නයකින් රාත්‍රී කාලයේදී ගත ඉලක්කයක් පෙනෙන ආකාරයයි. මේ පින්තුර දෙස බැලීමෙන් ඔබට පැහැදිලි වෙනවා ඇති ස්නයිපර් වරයකු කොතරම් සතුරාට හානිදායකද යන්න.
   ස්නයිපර් වරයකු යම් පුද්ගලයකු නිවැරදිව ඉලක්කයට හසු කරගතහොත්, ඒ පුද්ගලයා මරණයෙන් ගැලවෙන්නේ ඉතා කලාතුරකින්. ස්නයිප් කිරීම එතරම්ම මාරක වන්නේ ඒ නිසයි. මේ හේතුව නිසාමයි අද ලෝකයේ හමුදා හැකි සෑම විටම ස්නයිපර් වරුන් යුදබිමේ යොදවන්නේ. තම හමුදාවෙන් විශාල කොටසක් දැඩි වෙහෙසක් දරා යුද භූමියේ සටනට යොදවනවාට වඩා ස්නයිපර් වරුන් කීපදෙනෙක් සාර්ථකව යෙදවිය හැකිනම් ලබාගතහැකි වාසි පාබල හමුදා අණදෙන්නන් හොඳින් දන්නවා. ඒ නිසා ප්‍රහාරක සැලස්මක ස්නයිපර් වරුන්ට විශේෂ ස්ථානයක් හිමිවෙනවා. ඔත්තු බලන්න එන කුඩා කණ්ඩායම් මර්දනයටත් ස්නයිපර් වරු හොඳ ප්‍රත්‍යක්ෂ බෙහෙතක්.
ඇත්තටම ස්නයිපර් වරයෙක් කරන්නේ හැංගිලා ඉඳලා වෙඩි තියලා සතුරන් මැරීම විතරද?
  ඔන්න අපි හොඳ කාරණයකට ආවා. මතකනේ මම මුලින්ම කිව්වා ස්නයිපර් වරයා විශේෂඥ පුහුණු සොල්දාදුවෙක් කියලා. ඒ වගේම ඔහු විවිධ ඉරියව් වල සිට, (කැලයේ සැඟවී, ගසක අතු අතර සැඟවී, බිම තිබෙන වළකට බැස, ජලයේ සැඟවී, අට්ටාලයක සිට, කඹයක එල්ලී, ගොඩනැගිල්ලක සැඟවී, වාහනයක සැඟවී, තවත් ඉරියව් අපමණයි) නිවැරදිව ඉලක්කය ගැනීමේ විශේෂඥ පුහුණුව තිබෙනවා. එපමණක් නෙවෙයි සැඟවීම සහ වෙස්වලාගැනීම (camouflage and concealment) පිළිබඳව ඔහු සාමාන්‍ය සොල්දාදුවකුට වඩා බොහෝ ඉදිරියෙන් සිටින්නේ. පරිසරයේ ඇති විවිධ දේ පාවිච්චි කරමින් වෙස්වලාගැනීම, කිසිවකු නොසිතන තැනක සැඟවීම ස්නයිපර් වරයකු සතු විශේෂ ප්‍රාගුන්‍යයක්.
  ස්නයිපර් වරයා ඉලක්කක බල බලා වෙඩි තබමින් යන්නකු නොවේ. ඔහුට පැවරෙන අති විශේෂ රාජකාරි කීපයක්ම තිබෙනවා. ඔහුගේ සාර්ථක සැඟවීම සහ වෙස්වලාගැනීම නිසා ඔහුට හැකිවෙනවා ඉතා සාර්ථකව සතුරු භූමියේ ඉදිරියට රිංගා යාමට. එසේ යන අතර ඔහුට හැකි වෙනවා, සතුරු භූමියේ ස්වභාවය සහ සතුරු කඳවුරු වල පිහිටීම, සතුරාගේ ක්‍රියාකාරකම්, සතුරා ඉදිරියේදී ගනු ඇතැයි සිතෙන ආක්‍රමණශීලී පියවර, සතුරාගේ කාලතුවක්කු සහ යුද ටැංකි, එම්.බී.ආර්.එල්.අවි, ගුවන් යානා නාශක අවි ස්ථානගතකර ඇති ආකාරය, රේඩාර් මධ්‍යස්ථාන, අවි ගබඩා, පුහුණු කඳවුරු ආදී සියලු වැදගත් තොරතුරු තම අණදෙන නිලධාරියා වෙත ගුවන් විදුලි මගින් රහසිගතව දන්වන්නට. ඒ අනුව පාබල හමුදා සේනාංක ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර මගින් සතුරා වෙත නිවැරදි ඉලක්කගත ප්‍රහාර එල්ල කරන්නට හැකිවෙනවා.
   විශාල සේනාංකයක් වෙනුවට සමහරවිට එක ස්නයිපර් වරයකු යෙදීමෙන් සතුරාගේ ඉදිරි සැලසුම් අවුල් කර දැමීමට හැකිවෙනවා. එක ස්නයිපර් වරයකු සතුරු ප්‍රදේශයට රිංගා උසස් හමුදා නිලධාරීන් කීප දෙනෙකු, ගුවන් නියමුවන්, බර අවි ක්‍රියා කරවන්නන්, පණිවිඩ හුවමාරු යන්ත්‍ර ක්‍රියාකරවන්නන්, බිම බෝම්බ සවිකරන ඉංජිනේරු සෙබළුන්, කීප දෙනෙකුට ‘වග කියපු ගමන්’ සතුරා අන්දමන්දවී ඔහුගේ ඉදිරි ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටවනවා. ස්නයිපර් හෙමින්ම පසු බැස තමන්ගේ අණදෙන නිලධාරියාට දන්වනවා සතුරා අවුලට පත්වී සිටින බව. එවිට කාලතුවක්කු, එම්.බී.ආර්.එල්, ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් සතුරා එහෙම පිටින් අඩපණ වෙනවා.
 ඇෆ්ඝනිස්තානයේදී ඇමරිකානු ස්නයිපර් වරයකු ප්‍රහාර එල්ල කරන හැටි බලන්න පහල වීඩියෝවෙන්




ලෝකයේ මෙතෙක් වාර්තා වූ දුරින් වැඩිම ඉලක්කයට එල්ල කළ ස්නයිපර් ප්‍රහාරය ගැන වීඩියෝවක් පහලින් බලන්න.



මා හිතනවා මේ විස්තර වලින් අද කොටස අවසන් කරන්නට. බොහෝ දෙනෙක් කර තිබුණු ඉල්ලීම් ඊළඟ ලිපියෙන් (අවසාන කොටස) ඉටු කරනවා.

No comments :

Post a Comment

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }