ස්නයිපර්ගේ යටගියාව
19 වැනි සියවසේ මුල් භාගයේදී රටවල් අතර යුද්ධ වලදී යොදන ලද එක උපක්‍රමයක් තිබුනා. එය අදත් යොදාගන්නවා. එහිදී කරන්නේ යුදබිමට ගමන් කරමින් සිටින සේනාංක වෙත, අතරමග රැඳී සිට පොඩි පොඩි කරදර කිරීමෙන්, ඒ සේනාංකයේ ගමන අඩාළ කිරීම, ගමන් කරන දිශාව වෙනස් කිරීම කෙරෙහි බලපෑම් ඇති කිරීම, එමගින් සටනේ අනවශ්‍ය ප්‍රමාදයක් ඇතිකිරීමෙන්, අනෙක් පාර්ශවයට සටනට සුදානම්වීම සඳහා වාසි සහගත තත්වයක් ඇති කිරීමයි. අතරමග සැඟවී සිට සුළු ප්‍රහාර එල්ල කර පලා යාම, ඉදිරියට ඇදෙන සේනාංකයක එක පැත්තකට ප්‍රහාරක් එල්ල කිරීම, උසස් නිලධාරියකුට ප්‍රහාරයක් එල්ල කිරීම, එවැනි ක්‍රියා වලට උදාහරණයි. මෙවැනි කටයුතු වලට යොදවන්නේ ඉතා කුඩා කණ්ඩායම්. 19 වැනි සියවසේදී එවැනි කණ්ඩායම් හැඳින්වුණේ ‘ස්කර්මිෂර්ස් – Skirmishers’ (කුඩා කණ්ඩායම් සටන් කරුවෝ) (අද කාලේ ව්‍යවහාරයෙන් කියනවානම්, අනවශ්‍ය කචල් දාන්නෝ/වලි කාරයෝ) යන නමින්. ඒ කාලයේදී මේ අය යෙදවීම පිලිබඳ විශේෂඥයින් වුනේ බ්‍රිතාන්‍ය හමුදාවයි.
20 වැනි සියවස වනවිට යුද කටයුතු සඳහා මෙවැනි කඩාකප්පල් කරුවන් යෙදවීම අඩු වුනා. ඒ වෙනුවට සැඟවී සිට වෙඩි තබන්නන් හඳුන්වා දුන්නා. මුලදී ඔවුන් හැඳින්වුණේ තියුණු ඉලක්කකරුවන් යන අර්ථය ඇති ‘ෂාප් ෂූටර්ස් – Sharpshooters’ යන නමින්. ඉන්පසු කාලයේදී ඔවුන්ගේ නම ප්‍රගුණ වෙඩිකරුවන් හෙවත් ‘මාක්ස්මන් - Marksman’ ලෙස වෙනස් වුනා. මාක්ස්මන් කියන්නේ ඉතා දුරින් පිහිටි කුඩා ඉලක්කයකට වුවත් තනි උණ්ඩ යොදන රයිෆලයක් මගින් වෙඩිතැබීමේ විශේෂ ප්‍රාගුන්යය සහිත වෙඩික්කරුවාටයි. මේ තත්වය ඇතිවීමට බලපෑ ප්‍රධාන සාධකයක් වන්නේ 19 වන සියවසේදී මිනිසා සොයාගත් රයිෆලය Rifle නමැති ගිනි අවිය සහ රයිෆල් බටයේ සුවිශේෂී බව හෙවත් රයිෆ්ලින්ග්ස් - Riflings නමැති කානු පිහිටා තිබීමෙන් තනි උණ්ඩයක් (projectile) ඈතට වෙඩි තැබීමේ හැකියාව ලැබීමයි.
හමුදා කටයුතු සඳහා ස්නයිපර් වරුන් යොදවා ගැනීම ගැන මුලින්ම සඳහන් වන්නේ, පළමුවැනි ලෝක යුද සමයේදීයි. යුද අගල්වල සැඟවී සිටින සොල්දාදුවන් හිස ඔසවන විට ඔවුන්ට වෙඩි තැබීම සඳහා ජර්මන් යුද හමුදාව විසින් ස්නයිපර් වරු යොදවනු ලැබුවා. ස්නයිපර් වරු යුද හමුදාවක අනිවාර්ය අංගයක් වුයේ දෙවැනි ලෝක යුද සමයේදීයි. විශේෂයෙන් ඒ සඳහාම විශේෂිත තුවක්කු නිපදවීම, පුහුණුව වැඩි දියුණු කිරීම, උපක්‍රමික ලෙස ස්නයිපර් වරුන් යෙදවීම බහුලව සිදු කෙරුනේ දෙවැනි ලෝක යුද්ධයෙදි
මොකක්ද සාමාන්‍ය සොල්දාදුවකු සහ ස්නයිපර් වරයකු අතර වෙනස?
සාමාන්‍ය සොල්දාදුවාත් හොඳ ඉලක්ක කරුවෙක්. සතුටුදායක ප්‍රගුණ වෙඩි කරුවක්. ඒ වගේම ඔහුට පුළුවන් යුද භුමිය හොඳින් නිරීක්ෂණය කර, සතුරන් සොයාගන්න. එහෙත් ස්නයිපර් වරයකුට පුළුවන්, එක සතුරකු වෙනුවෙන් දවස් ගණනක් කැප කරමින්, ඉතා සාර්ථකව වෙස්වලා ගනිමින්, පරිසරයේ සැඟවෙමින්, ඉලක්කය හරියටම ලැබෙන තුරු දින ගණනක් වුවත් බලාසිට, සතුරාගේ චර්යාවන් හා ක්‍රියාකාරකම් හරිහැටි අවබෝධ කරගෙන, තමන්ව සතුරාගේ නිරීක්ෂණයට අසුවීමට ඉඩ නොතබා, එමෙන්ම සතුරා තමන්ව මරාදැමීමට පෙර, සතුරාව මරා දැමීමට.
ස්නයිපර් කෙනෙක් වෙන්න මොනවද අවශ්‍ය සුදුසුකම්?
ස්නයිපර් වරයකුට දැඩි මානසික ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ස්නයිපර් පුහුණුවට තෝරාගන්නා අය හොඳ මානසික මට්ටමක සිටිය යුතුයි. එහිදී ඔහු සතු බුද්ධිමත් භාවය (intelligence), තැනට සුදුසු නුවණ (common Sense), සිතා බලා කටයුතු කිරීමේ හැකියාව හෙවත් කාර්ය උත්පාදන ශක්තිය (initiative), ඉවසීම (patience), ගැන හොඳින් සොයා බලනවා. පුහුණුවේදී ඔහුට සිදුවෙනවා ඉතා පුළුල් හා එකිනෙකට අසමමිතික දැනුම් සම්භාරයක් සිය මනසෙහි දරාගන්නට. ඒ නිසයි හොඳ මානසික ශක්තියක් අවශ්‍යවන්නේ. සටනේ යෙදීසිටින විට ඉතා නිවැරදිව ක්ෂණිකව සිය දැනුම උපයෝගී කරගනිමින් ක්‍රියා කිරීමට ඔහුට සිදු වෙනවා. අවසාන වශයෙන් ස්නයිපර් සොල්දාදුවා සිය ක්ෂේත්‍රයේ හොඳින් මේරූ, වයසින්ද ඉතා තරුණ නොවන, පුද්ගලයකු විය යුතුයි. (කොල්ලන්ට බෑ
) මේරූ පරිණත පුද්ගලයකුට පමණයි සැලසුම් කර ගණනට මිම්මට බලා, සතුරකු මරාදැමිය හැක්කේ. එසේම ස්නයිපර් සොල්දාදුවා තනිකම, ආදරය, වැනි හැඟීම් වලට වහල්වන පුද්ගලයකු නොවිය යුතුයි. මේ නිසා මම ස්නයිපර් කෙනෙක් වෙනවා කියන ආසාව තිබුන පමණින් යමෙකුට ස්නයිපර් පුහුණුව සඳහා සුදුස්සකු විය නොහැකියි.
පුහුණුවේදී මොනවද උගන්වන්නේ?
ස්නයිපර් පුහුණුව ලෝකයේ සෑම රටකම පාහේ බොහෝ දුරට එක සමාන වන නමුත්, තම තමන්ගේ දේශගුණික තත්වයන්, විශේෂ අවශ්‍යතා, අනුව වෙනස් විෂයයන් පුහුණුවට ඇතුලත් වෙනවා. නමුත් පොදුවේ සලකා බලන විට ස්නයිපර් සොල්දාදුවකු ඉගෙනගත යුතු මූලික විෂයයන් තුනක් තියනවා.
2. යුද භූමිය හඳුනා ගැනීම, එහි ස්වභාවය තේරුම ගැනීම, එහි ජීවත්වන ආකාරය ඉගෙන ගැනීම. (Field Craft – ක්ෂේත්‍ර අධ්‍යයනය)
3. උපක්‍රමිකව යුද බිමේ ස්ථානගතව සිය රාජකාරිය ඉටු කිරීම.
මේ විෂයයන් තුනට අදාලව ඉගෙනගතයුතු කරුණු සම්භාරය විස්තර කරන්නට මා උත්සාහ නොකරන්නේ එය ඔබව අනවශ්‍ය වෙහෙසකට පත් කිරීමක් සහ ලිපිය කියවීම එපා කරවන හේතුවක් වීමට හොඳටම ඉඩ ඇති නිසයි. ඔබට අවශ්‍යනම් ඒ ගැන විස්තරමෙතනින් බලන්න.
ස්නයිපර් තුවක්කු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. පළමුවැනි වර්ගය හමුදාමය කටයුතු සඳහා පාවිච්චි කරන ස්නයිපර් තුවක්කු. දෙවැනි වර්ගය නීතිය රකින පොලීසිය, වෙරළාරක්ෂක හමුදාව, වැනි ආයතන පාවිච්චි කරන ස්නයිපර් තුවක්කු. සාමාන්‍යයෙන් නීතිය රකින නිලධාරීන් පාවිචිචි කරන්නේ මීටර් 250 ක් පමණ දුරකට වෙඩි තැබිය හැකි විශේෂයෙන් නාගරික පරිසරයට සුදුසු තුවක්කු. (අප රටේ පොලීසිය එවැනි තුවක්කු පාවිච්චි කරන්නේ නැහැ) අපි වැඩි පුර අවධානය යොමු කරන්නේ හමුදා ස්නයිපර් තුවක්කු වෙතයි.
හමුදා ස්නයිපර් තුවක්කුවක් විශේෂ ලක්ෂණ කීපයකින් යුක්තයි. එය ශක්තිමත් වියයුතු නමුත් බරෙන් අඩු විය යුතුයි. එයට හේතුව ස්නයිපර්ට එය රැගෙන පහසුවෙන් යුදබිමේ ගමන්කිරීම පිණිසයි. එය ඉක්මනින් ගලවා සවිකළ හැකි විය යුතුයි. නිතර පිරිසිදු කිරීමට අවශ්‍ය නොවිය යුතුයි. එහි ඇති දුරදක්නය කැඩී ගියොත් අතිරේක දුර දක්නයක් සවිකිරීමට අදාළ රාමුවක් සහිතව නිපදවා තිබිය යුතුයි. ඕනෑම කාලගුණ තත්වයක් යටතේ එහි ක්‍රියාකාරිත්වය නොවෙනස්ව පැවතිය යුතුයි. යුද භූමියේදීම අමතර කොටස් යොදවා අලුත්වැඩියා කරගැනීමට හැකි විය යුතුයි. දැන් ඔබට පෙනෙනවා ඇති, ස්නයිපර් තුවක්කුව කොතරම් සුවිශේෂීද කියා.
niyamayi kollo godak de dana gaththa
ReplyDelete