පින්තුරය ගත්තේ මෙතනින්
කාලෙන් කාලෙට එන විවිධ තේමා පදනම් කරගත් චිත්‍රපට මාලාවන් ඉක්මනින් වැළඳගන්නේ තරුණ පරපුර නොවැ. අපි තරුණ කාලේ කියා එහි වෙනසක් නැහැ. ඒ කාලේ රුපවාහිනිය ලංකාවට ඇවිත් නොතිබීමේ ‘වාසනාව’ නිසාත්, පුවත්පත්වල පළවූ සිනමා තීරු ලිපි සෑහෙන සංඛ්‍යාවක් කියවන්නට තරම් ගුරුවර වැඩිහිටියන්ගේ මග පෙන්වීම ලද නිසාත්, ජරාව සහ හොඳ නිර්මාණය වෙන්කර හඳුනාගැනීමේ ඉවක් අප තුළ පහළ වුනා. ඒ ඉව අදටත් නොනැසී පැවතීම වාසනාවක්. ඒ ඉව අපට ලබාදුන් ගුරුවර, වැඩිහිටි, දෙමවුපිය, උත්තමයෝ උත්තමාවියෝ මතු බුදුවෙත්වා! ඉතින් මේ චුර්නිකාවෙන් පසු ප්‍රස්තුතයට බසිමු. කව්බෝයි චිත්‍රපට සඳහා පදනම වැටුනේ 18 වැනි සියවසේ අග භාගයේදී ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ බටහිර ප්‍රාන්තවල (මෙතන මුලින්ම ලියා තිබුණු ‘ උතුරේ’ යනුවෙන් සඳහන්ව තිබීම වැරදි බව, ඒ ගැන දන්නා අරුණි ශපිරෝ විසින් පෙන්වාදීමෙන් පසු, නිවැරදි කරන ලදී. ඒ පිළිබඳව ඇයට මාගේ ස්තුතිය) විසු ගොපළු ජන කොට්ටාශය පිළිබඳව ඇමරිකානු සමාජය පුරා පැතිරුණු විශේෂ අවධානයේ ප්‍රතිඵලයක් වශයෙන්.
කව්බෝයි චිත්‍රපට වල ඉතිහාසය
කව්බෝයි චිත්‍රපට වල ඉතිහාසය බටහිර සිනමාවේ මුල් අවස්ථාව තරම්ම පැරණියි. 1900 දී පමණ ඇරඹුණු ඒ සිනමාව වෙත කවුබෝයි චිත්‍රපට මුසු වන්නේ 1930 දී පමණ. එහෙත් එහි කුටප්‍රාප්තිය ලෙස සැලකෙන්නේ 1950 – 60 දශක දෙකයි. එමෙන්ම බොහොමයක් කව්බෝයි චිත්‍රපට සඳහා පසුබිම් කරගන්නා කාලසීමාව වී තිබෙන්නේ 1860 ගණන් වල සිට 1900 – 1920 පමණ වන කාලයයි. මේ සෑම කතාවකම පාහේ දකින්නට ලැබෙන මුලික ලක්ෂණය වන්නේ, කළු සුදු චරිත හෙවත්, නරකට විරුද්ධව සටන් කරන හොඳ මිනිහා, හෙවත් වීරයා සංකල්පයයි. කතානාද චිත්‍රපටි බිහිවීමට පෙර යුගයේ තිබුණු ‘නිහඬ සිනමාව Silent Films’ පැවති කාලයේත්, කව්බෝයි මෝස්තරයේ චිත්‍රපටි බිහිවුණා. නමුත්, ප්‍රේක්ෂකයන් විසින් තදින් වැළඳගත් ප්‍රථම කව්බෝයි චිත්රපටිය වන්නේ 1939 දී තිරගතවූ ‘ස්ටේජ්කෝච් Stagecoach’ චිත්‍රපටියයි. එමෙන්ම බටහිට සිනමාවේ යෝධයකු වූ ‘ජෝන් වේන් John Wayne’ නමැති ලෝකප්‍රසිද්ධ නළුවා ප්‍රේක්ෂක හදවතට ඇතුළු වුයේද මේ අවදියේදීය.
කව්බෝයි කෙනෙක් කියන්නේ පරමාදර්ශී චරිතයක්. ඔහුගේ ගුණාංග විස්තර කෙරෙන අචාරධර්ම පද්ධති කීපයක් තිබෙනවා. ඒ සියල්ලේ සංකලනයක් තමයි පහතින් දක්වන්නේ.
- ඔහු කිසිවිටකත් ප්‍රශ්න ඇතිකරගැනීමට උත්සාහ නොකරයි.
- එහෙත් ප්‍රශ්නයක් ආ විට නොබියව එයට මුහුණ දෙයි.
- ඔහු සෑමවිටම හරි පැත්ත ගනියි.
- ඔහු සෑමවිටම හොඳ මිනිසුන් නරක මිනිසුන්ගෙන් බේරාගැනීමට ක්‍රියාකරයි.
- ඔහුගේ ආත්ම විශ්වාසය ඉතා ඉහළය.
- ඔහු හොඳ හික්මුණු ගති වලින් යුක්තය.
- ඔහු අවංකය.
- මිනිසුන් කුමක් සිතුවත්, දේශපාලන අර්ථකථනය කුමක් වුවත්, ඔහු සෑමවිටම සිය සිතට එකඟව ඇත්ත කතාකරයි.
- ඇමරිකානු වනගත ප්‍රාන්තයන්හි ඔහු සමගියේ පහන් ටැඹයි.
- ඔහු සෑමවිටම ගරු බුහුමන් ලබන පුද්ගලයෙකි. එකල සැලෝන් යනුවෙන් හැඳින්වුන අවන්හලකට ඔහු ගොඩවැදුනොත් (ඔහු බොන්නේ සාසපෙරිලා Sarsaparillaනමැති ස්වභාවික පානය පමණි) මුළු අවන්හලම නිශ්ශබ්ද වන අතර එතන සිටින ඒ ප්‍රදේශයේ ගණන්කාරයෝ ඔහුගෙන් ඈත්ව සිටිති.
- තුවක්කු/රිවෝල්වර් හරඹයකදී, තම සතුරා, ඔහුගේ අවිය අතට ගන්නට පෙර, තම අවිය කොපුවෙන් ඇද වෙඩි තැබීමට ඔහු සමත්ය. මුෂ්ටි ප්‍රහාරයකදී වුවද ඔහු සතුරාට වඩා ඉක්මන්ය
- ඔහු සෑමවිටම ජයග්රාහකයෙකි. ඔහු සෑමවිටම තමා තුල සිටින මිනිසා දිනවයි. සටනකින් ජය ලැබූ වහාම ඔහු නිහඬව තම අසු පිට නැගී ඉර බසින දිශාවට මුහුණලා පිටව යයි.
කව්බෝයි කෙනෙකුගේ පෙනුම මොනවගේද? ඔන්න පහලින් තියනවා පින්තුරයක්. ඊට පස්සේ විස්තරේ තියනවා.
පින්තුරය ලබාගත්තේ මෙතනින්
කව්බෝයි සමහරවිට සංචාරකයෙක්. තවත් සමහරවිට රහස් පරීක්ෂකයෙක්. කොහොම වුනත් ඔහු තම අශ්වයා සමග එළියට බහින්නේ, ඕනෑම දෙකට ඔට්ටුයි කියාගෙනයි. මේ පින්තූරය දෙස බැලුවිට ඔබට පැහැදිලි වෙනවා ඇති තුවක්කුව, රිවෝල්වරය, වතුර මල්ල, ඇතිරිල්ල, කඹය, ඔහුගේ ප්‍රධාන උපකරණ බව. ඔහුගේ ඇඳුම රළු පරිසරයට අනුව සකසාගත් එකක් බවත් පෙනෙනවා නේද?
කව්බෝයි චිත්‍රපට සංස්කෘතියේ කැපී පෙනෙන චරිත
ඔබ හොඳින් දන්නවා ඇති, ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය රඟපාන නළුවා කාලීනව වෙනස් වුනත්, එහි ජනප්‍රියත්වය අඩු නොවුන බව. කවුබෝයි චිත්‍රපට බොහෝ දුරට එක හා සමාන තේමාවන් රැගත් කතා මාලාවක් වුවත්, එකම ප්‍රධාන නළුවා, ඊළඟ,ප්‍රධාන නළුවා පහල වනතුරු රඟපෑවේ නැහැ. ඒ වගේම ජනප්‍රියත්වය අඩු වුනෙත් නැහැ. අපි බලමු මුල් යුගයේ සිට ජබන්ප්රිය කව්බෝයි නළුවන කීප දෙනෙක්.
1. ජෝන් වේන් (ඉහත ඡේදයකත් දක්වා ඇත) ඇමරිකානු සිනමා ඉතිහාසයේ පතාක යෝධයකු වු මොහු කව්බෝයි චිත්‍රපට මෙන්ම අනෙකුත් වෘතාන්ත චිත්‍රපට වලින්ද අතිශයින් ජනප්‍රිය විය.
2. ක්ලින්ට් ඊස්ට්වුඩ් :- කව්බෝයි චිත්‍රපට පිළිබඳව කතා කිරීමේදී කිසිදින අමතක නොවන නාමයක් තමයි ක්ලින්ට් ඊස්ට්වුඩ්. විශේෂයෙන් ඔහු සිය අතිශයින් ප්‍රත්භා සම්පන්න රංගන හැකියාව ප්‍රදර්ශනනය කළ චිත්‍රපට තුන හෙවත්, ‘ඩොලර් සීරිස්’ නමින් ප්‍රකට ‘For A Few Dollars More’ , ‘A Fistfull of Dollars’ , ‘The Good, The Bad, And The Ugly’ යන චිත්‍රපට තුන නරඹා නැති කව්බෝයි චිත්‍රපට රසිකයකු ඇත්නම්, ඔහු කව්බෝයි චිත්‍රපටි නරඹා නැතැයි කිව්වාට වරදක් නැත.
මේ පින්තූරය ගත්තේ මෙතනින්
3. රොබට් ඩුවාල්:- මේ ශේෂ්ඨ නළුවාගේ විශේෂත්වය වන්නේ දුෂ්ඨ චරිත රංගනය අතින් ඔහු දැක්වූ අසමසම විශිෂ්ටතත්වයයි. ඇත්ත වශයෙන්ම ඔහු වඩාත් ජනප්‍රිය වුයේද අපරාධ කල්ලි පසුබිම් කරගත් චිත්‍රපටි වල රඟපෑම නිසාය.
4. මෝර්ගන් ෆ්‍රීමන් :- බටහිර සිනමාවේ පතාක යෝධයකු වන මෝර්ගන් ෆ්‍රීමන් චරිතාංග නළුවකු ලෙස අද කාලයේ වුවද උසුලන්නේ අනබිභවනීය ස්ථානයක්.
5. ලී වෑන් ක්ලීෆ්:- කව්බෝයි චිත්‍රපට බොහොමයක චරිතාංග නළුවකු වු ලී වෑන් ක්ලීෆ් වඩාත් ජනප්‍රිය වුයේ ඩොලර් චිත්‍රපටි මාලාව නිසයි.
මෙහි දැක්වුවේ කවුබෝයි චරිතාංග නළුවන අතරින් ප්‍රධාන පෙලේ පස දෙනෙකුගේ විස්තර පමණයි. තවත් 10 ක් පමණ ඉන්නවා මෙවැනි චිත්‍රපට නිසාම ප්‍රසිද්ධවූ අය. එහෙත් ලිපිය දිග වැඩි වන නිසා ඒ සියල්ල ඇතුළත් කරන්නේ නැහැ.
ඉන්නවා ඉන්නවා. හැබැයි කව් ගර්ල්ස්ලා, කව්බෝයිස්ලාගේ ‘ලව් ගර්ල්ස්ලා’ විතරයි. ඉඳහිට පොඩි සටනකට අවතීර්ණ වන අවස්ථාත් තියනවා. කව්බෝයි චිත්‍රපටවල රඟපෑ සහ රඟ නොපෑ, එහෙත් බටහිර සිනමාවේ ගිනිසිළු ලෙස හැඳින්විය හැකි නිලියන් 100 දෙනෙකුගේ විස්තර මෙතනින් බලන්න. කව්බෝයි චිත්‍රපටි වලට සම්බන්ධ කීප දෙනෙකුගේ පින්තුර පෙන්වන්නම්.
ගෙයිල් ඩේවිස්
මේ නිලියන් ගැන විස්තර මෙතනින් බලන්න.
ලිපිය අවසන් කිරීමට පෙර, කව්බෝයි චිත්‍රපට කීපයක දර්ශන පෙළක් ඔබට ලබාදෙන්නට හිතුවා. ඒවා පහත දක්වනවා.
‘අ ෆිස්ට්ෆුල් ඔෆ ඩොලර්ස්’ චිත්‍රපටියේ ත්‍රාසජනක රිවෝල්වර් හරඹයක්. මේ ඉන්නේ ක්ලින්ට් ඊස්ට්වුඩ්
‘ෆෝ අ ෆිව් ඩොලර්ස් මෝ’ චිත්‍රපටියේ සදා නොනැසෙන තේමා වාදනය.
‘ෆෝ අ ෆිව් ඩොලර්ස් මෝ’ චිත්‍රපටියේ ප්‍රචාරක පටිය
ද ගුඩ්, ද බෑඩ්, ඇන්ඩ් ද අග්ලි චිත්‍රපටියේ තේමාව
ද ගුඩ්, ද බෑඩ්, ඇන්ඩ් ද අග්ලි චිත්‍රපටියේ ප්‍රචාරක පටිය
ද ගුඩ්, ද බෑඩ්, ඇන්ඩ් ද අග්ලි චිත්‍රපටියේ ජවනිකාවකදී, හොඳම වැඩ කාරයන් දෙදෙනකු වන, කලින්ට් ඊස්ට්වුඩ් සහ ලී වෑන් ක්ලිෆ් අතර රිවෝල්වර් හරඹයක් මේ. මෙය ඇතුළු කර ලිපිය යලි සැකසීමට මතක් කරදුන් Buratheno වෙත මාගේ විශේෂ ස්තුතිය.
ඇමරිකානු ගොපලු ජීවිතය නිරුපනය කරන මේ චිත්රපට ටොරන්ට් මගින් බාගත කරගෙන නැරඹීමේ පහසුව තිබෙනවා. අතීත ඇමරිකානු සමාජයේ එක පැතිකඩක් පිළිබඳව කෙරෙන විවරණයක් ලෙසද මේ චිත්‍රපට හඳුන්වන්න පුළුවන්.
No comments :
Post a Comment