අපේ රටේ පැවති පසුගිය යුද සමයේදී නම්, ඔබ කාලතුවක්කු ගැන නිතර තොරතුරු අහන්න/දකින්න/කියවන්න ඇති. ඔබෙන් සමහරු කාලතුවක්කු අතපතගාලත් ඇති, ‘දැයට කිරුළ’ වැනි ප්‍රදර්ශන වලදී. (අනේ බලන්න මහතුනි, කවුද එකෙක් කට කැඩිච්ච කතාවක් කියලා තිබුනා, දැයට කිරුළ නෙවෙයි, නියම නම ‘ජාතියටම තොප්පිය’ කියලා)
කාලතුවක්කු ගැන කියද්දී එකවරම මගේ මතකයට මේ සිද්ධිය ආවා. 1980 දශකයේ මැද භාගයේදී, පොළොන්නරුවේ දිඹුලාගල පන්සලේ, විශාල හමුදා කඳවුරක් තිබුණා. අවුරුදු තුනේ, හතරේ, පහේ, කුඩා සාමනේර හිමිවරුන් මහා රාශියක්ද ඒ පන්සලේ වැඩහිටියා. ඒ පන්සල අසළ තිබුණු කාලතුවක්කු බතරොයිය බලන්න, මේ හිමිවරු නිතර වඩිනවා. වෙලාවකට හරිම කරදරයක්. ඔක්කොම දේවල් අදිනවා. කාලතුවක්කු බටය දිගේ නගිනවා. සිවුර බිම. අඳනේ පිටින් නගින්නේ. බැරිම තැන අපේ සොල්දාදුවෝ හීනි කෝටු කඩාගෙන සැර කරලා තමයි උන්වහන්සේලාව ඉවතට වඩම්මාගන්නේ.

ඒ චූර්නිකාවත් සමග අද මා ඔබව කැඳවාගෙන යන්නේ කාලතුවක්කුව කියන්නේ මොකක්ද කියලා හඳුන්වා දෙන්නටයි.හැබැයි මුලින්ම එක දෙයක් කිව යුතුයි. මා කාලතුවක්කු හමුදාවට අයිති නිලධාරියකු නොවෙයි. ඒ නිසා මා සතුවන්නේ කාලතුවක්කු පිලිබඳ සීමිත දැනුමක්. නමුත් මා විශ්වාස කරනවා, කාලතුවක්කු පිළිබඳව ඔබට ‘සතුටුදායක දැනුමක් ‘දෙන්න තරම්, මගේ දැණුම ප්‍රමාණවත් කියා.
කාලතුවක්කුවට මොකද හැබෑට කාලතුවක්කුව කියන්නේ? ඕං අහපල්ලකෝ කතාවක්? අතට අත කියන්නේ මොකද? කකුලට කකුල කියන්නේ මොකද කියලා අහනවා වගේ වැඩක්නේ යකෝ මේක.
(එදිනෙදා කතාබහේදී මට ‘යකෝ’ කියන වචනය නිතර කියවෙනවා. ඔබටත් එහෙමද? යකෝ කියන්නේ ඉස්සර අපේ රටේ හිටිය යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් පැවතුන අය කියලා දවසක් මගේ යාලුවෙක් කිව්වා. හරි හරි, එයාගේ කතාව හරි. ඉතිං මම යකෙක් නිසානේ, ආමි එකට ගියේ
)
හැබෑටම මොකද මේකට කාලතුවක්කුව කියන්නේ. දැන් ඔය අනික් තුවක්කු තියනවනේ. ඒවාගෙන් වෙඩි තියපුවාම……….
(හයියෝ……… අතුරු කතා හරියට ඔළුවට එනවා මේවා ලියද්දී. කාලතුවක්කු හමුදාවේ හිටියා, ‘තිබ්ස්’ කියන අන්වර්ථ නමෙන්, එයාගේ යාළුවො විසින් අමතනු ලැබූ නිලධාරියෙක්. එයා නැති තැන, එයාට පහලින් හිටිය නිලධාරියෝ, එයාව හැඳින්වූවේ ‘තිබ්බා’ කියලා. එයා ඒක දැනගෙනයි හිටියේ. අල්ලගත්තානම් හම ගහනවා, ඒ විදිහට ‘තිබ්බා’ කියන අයව. හරිම සැරයි එයා. එයාගේ ලොකු අක්කා මම හෝඩිය, පළවෙනිය, දෙක, තුන, පන්තිවල ඉගෙනගන්න කාලේ ඒ ඉස්කෝලේ විදුහල්පතිනිය. අපි ඉස්කෝලේ ගිය කාලේ මුලින්ම හෝඩිය, ඊළඟට පළවෙනිය, ඊළඟට දෙක,තුන,හතර,පහ, විදිහට ’තිබ්බේ’.මේ ‘තිබ්බා’ කියන එකට අරයා වැඩිය කැමති නැහැ. දවසක් එයාගේ සහායකයා (බඩී) ලිපිගොනුවක් ගෙනල්ලා, ‘සර් මම මේ ෆයිල් එක මෙතනින් තිබ්බා’ කිව්වලු. එතකොට අරයා කිව්වලු ‘ළමයා, තිබ්බා නෙවෙයි තැබුවා කියනවා මීටපස්සේ’ කියලා
)
හරි, ආපසු හැරෙන්…..ගමනේ යා….’යා කිව්වම යාකො ඉතිං’ කිව්වලු එක සැරයන් කෙනෙක්. ඔන්න ආපහු ආවා, අර ඉහත නැවැත්තුවේ, ඒවාගෙන් වෙඩි තියපුවාම කියලා. අන්න හරි, තිත් දාලා නැවැත්තුව තැනට.
සාමාන්‍ය තුවක්කු වලින් වෙඩි තියපුවාම ‘ඩීං…’ ගාලා වෙඩිල්ල වදිනවනේ. නමුත් කාලතුවක්කුවෙන් ‘ඩිබුම්..ම්..ම්..’ ගාලා පිටවෙන උණ්ඩය සෑහෙන වෙලාවක් ‘ෂියූ ………’ ගාගෙන (කාලයක් අරගෙන) අහසේ ගමන් කරලයි ඉලක්කය මත ‘දඩ්ඩොං……’ ගාලා පතිත වෙන්නේ.
එහෙම කාලය ගන්න නිසයි මේකට කාලතුවක්කුව කියන්නේ. වෙනත් වචන වලින් කියනවානම් තුවක්කුවෙන් පිටවන උණ්ඩය මුලින්ම අහසට නැග, පරාවලයාකාර (parabolic) ගමන්මගක අහසේ ගමන්කර, ඉලක්කයට පතිත වන්නේ. ඉංග්‍රීසි භාෂාවෙන් කාලතුවක්කුවට කියන්නේ Artillery Gun කියලා ඔබ දන්නවනේ. අතීතයේදී මේ නම යෙදුවේ, ලොකු තුවක්කුව, දිග බටයක් තියන, ලොකු කටක් තියන විශාල තුවක්කුව, ලොකු උණ්ඩ දමා වෙඩි තියන තුවක්කුව යන තේරුම සඳහායි. නමුත් වර්තමානයේදී, යුද ටැංකි වල, නැව් වල, සවිකර තිබෙන විශාල තුවක්කු, භූමියේ සිට ක්‍රියාකරවන, මෝටාර් බෝම්බ විදිනයන්, ගුවන් යානා නාශක විශාල ප්‍රමාණයේ තුවක්කු, ආදී සියල්ලම, කාලතුවක්කු යන වර්ගීකරණය තුළ ගැබ්වෙනවා. (මේවා ඔක්කොම ගැන පස්සේ කතා කරමු)
අපි යුද භූමියේ ඉන්නකොට අපේ හමුදාවට අයිති කාලතුවක්කු තියෙන්නේ අපි ඉන්නවාට වඩා කිලෝමීටර් කීපයක් පසුපසින්. (ඉස්සරහට ගන්න අවශ්‍යතාවක් නැහැ. කාලතුවක්කුවකින් ඉතා ඈතට වෙඩි තියන්න පුළුවන්. ඉස්සරහට ගෙනල්ලා, ඒවා ‘අරුන්ට’ දන් දෙන්නද කියන්නේ?
) ඉතිං අපි ඉදිරි භූමියේ තත්වය අනුව කාලතුවක්කු සහාය ඉල්ලුවම අපේ ඔලුවට උඩින් යන්න තමයි වෙඩි තියන්නේ.
(බයවෙන්න එපා……. ඔය මොනවද කකුල්දෙක දිගේ පහළට වැක්කෙරෙන්නේ?………. ඒවා යන්නේ අපේ ඔලුවට වඩා අඩි සිය ගණනක් උඩින්……..හයියෝ………කාලතුවක්කුව ළඟ හිටියනම්, කාලතුවක්කුවයි ඔයාවයි, හෝදන්න වෙනවා.)
අන්න එහෙම යන උණ්ඩය ගමන් කරන ශබ්දය හොඳට ඇහෙනවා ‘ෂියූ……’ ගාලා. ගොඩක් එකවර ගහනකොට ‘ෂියූ……’ ‘ෂියූ……’ ‘ෂියූ……’
දැන් හරිද? නෑ හරි නෑ. සාමාන්‍ය තුවක්කුවකයි කාලතුවක්කුවකයි අතර වෙනස මේකයි………..
(ඉතිං කවුද ගිහිං බලන්නේ කිලෝමීටර් 27 ඈත තියන ඉලක්කයට වැදුනද කියලා? හුහ්….මම කියන්නේ නෑ යවන්නේ කාවද කියලා…..කිව්වා කියලා හිතාගන්නවා
)
මං අහන්නේ අද මේ කතාව කියනවද නැද්ද?
හෝව් හෝව් …..තරහගන්න එපා……… ඉතිං මේ එක එක දේවල් ඔළුවට එනකොට ඒවා නොකියා කොහොමද? ඔන්න එහෙනම්, ඔයාට ඔයවගේ තද වෙනවනම්, ආයේ කතා මතක් වුනත් කියන්නේ නෑ හොඳද…….?
දැන් පුරස්නේ මේකයි……… අද මේ එක එක කතන්දර අහලා, වැදගත් තොරතුරු කිව්වත් ඔළුවේ හිටින්නේ නැහැ.
මම කියන්නද, අදට මෙහෙම කරමු, සාමාන්‍ය තුවක්කුවක් සහ කාල තුවක්කුවක් අතර වෙනස විතරක් කියලා නවත්තමු අදට. ඊළඟ කොටසෙදි, ඉතුරු ඔක්කොම කතාකරමු. එහෙම හොඳයි නේද?
- සාමාන්‍ය තුවක්කුවක් අපි සෑමවිටම පාහේ පොළොවට සමාන්තරව (තිරස්ව) තියලානේ වෙඩි තියන්නේ. අවස්ථාව අනුව වෙනස් වෙන්න පුළුවන්. නමුත් කාලතුවක්කුවක් ඉතාම කලාතුරකින් තමයි සාමාන්‍ය තුවක්කුවක් මෙන් පොළොවට තිරස්ව තබා වෙඩි තියන්නේ.
- සාමාන්‍යයෙන් මහා විශාල මැෂින් තුවක්කුවකින් වෙඩි තියන්න, උපරිම වශයෙන් හතර දෙනෙක් හිටියම හොඳටම ඇති. නමුත් කාලතුවක්කුවකින් වෙඩි තියන්න 6 – 10 වැනි විශාල කණ්ඩායමක් අවශ්‍ය වෙනවා.
- සාමාන්‍ය තුවක්කුවක් ගැලවීම පිරිසිදු කිරීම, නඩත්තු කිරීම, ප්‍රවාහනය කිරීම පහසුයි. හංගලා තියන්නත් පුළුවන්. නමුත් කාලතුවක්කුවක ඉහත කී කරුණු සියල්ලම බොහොම වෙහෙස මහන්සියෙන් කරන්න ඕනෙ. හංගලා තියන්න පුළුවන්. නමුත් නවීන විශේෂ රේඩාර් පද්ධති තියනවා, කාලතුවක්කුව තියන තැන අල්ලගන්න පුළුවන් වෙඩි තැබීමේදී.
ඊළඟ ලිපිය එනතුරු කරන්න වැඩක් දෙන්නම්. යන්න මෙන්න මෙතනට එතන තියන ගැඹුරු තාක්ෂණික තොරතුරු කියවන්න අවශ්‍ය නැහැ. එතැනදී හම්බවෙනවා, ඔය ඉහත රූපයේ තියන කාලතුවක්කුව. යතුරු පුවරුවේ ඊතල යතුරු වලින් කාලතුවක්කුව උස්සන්න පාත් කරන්න පුළුවන්. FIRE කියන රතු බොත්තම ඔබලා වෙඩි තියන්න පුළුවන්.
අනේ මේ…….වඳිඤ්ඤං………..මේක කාලතුවක්කුවක් ඈ………ඉස්සර කියලා දුන්න තුවක්කු වගේ නෙවෙයි හොඳද…….. අර මොකාටද මොකක්ද එක අහුවුනා වගේ, හතර අතට වනන්න යන්න එපා හොඳේ.
මෙම ලිපියේ ඇති පින්තූර Google Images වෙතින් ලබාගත් ඒවාය.