මේ ඔක්කොම දේවල් කිව්වේ මේ දිනවල අපේ ගෙවත්තේ ඉතා සරුවට වැවී තියන තම්පලා ගස් දෙකක් දැකීමෙන් මගේ අතීත මතකය ඇවිස්සීම නිසයි. මෙන්න ගස්දෙකේ පින්තුර.
මේ පින්තුරයේ තිබෙන ගහ හරියටම අඩි 10 ක් උසයි. අද උදේ තමයි මැනලා බලලා පින්තුරත් ගත්තේ.
මේ ගහ තියෙන්නේ අපේ ගෙදරත් අල්ලපු ගෙදරත් වෙන්වෙන තාප්පය අයිනේ. ඒ නිසා පින්තුර ගැනීම ටිකක් අපහසුයි. පින්තුරයේ පසුබිමේ තියෙන්නෙත් අල්ලපු ගෙදර. ඔන්න ඊළඟට පෙන්වන්නම් අඩි 7 ක් උස අනික් තම්පලා ගහ. මේ ගස් දෙකේම වයස මාස 3 යි.
මම හිතන්නේ මේ තම්පලා ගහේ කතාව කතාව මම ඇහුවේ 1959 – 60 විතර කාලයේදී කියලයි. ඒ කාලේ මගේ පන්තිභාර ගුරුවරිය මගේ අම්මා. අම්මාගෙන් ඉගෙනගත් එවැනි කතා බොහොමයක් මතකයේ තවමත් තිබෙන අතර ‘අම්මා බුදුවේවා’ කියා ප්‍රාර්ථනා කරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා.
දැන් ඉතිං කතාවට බහිමු. හැබැයි දන්නවනේ……. කතන්දරයක් කියනකොට හූමිටි තියන්න ඕනෙ හොඳෙයි……
(ප්‍රචාරක අනුග්‍රහය තම්පලා ඇට ගෙන්වන්නෝ සහ බෙදා හරින්නෝ ‘ඇට සහ පුත්‍රයෝ’කියලා කියන්න මොකෙක්වත් හිටියේ නෑ ඒ කාලේ ගමරාලගේ වාසනාවට. නැත්නම් ප්‍රචාරය වෙන්නේ උන්ගේ සමාගමේ නම මිසක් ගමරාලගේ පණිවිඩේ නෙවෙයිනේ
)
ප්‍රචාරය ගියා විතරයි ඒ පළාතේ ඉන්න තරුණයෝ පෝලිමේ එන්න ගත්තා. මොකද ගම දුව එච්චරටම ලස්සනයි.
(ගම දුව පාවිච්චි කරන්නේ අහවල් සබන්, ඔබත් අදම ‘ගම දුව සබන්’ පාවිච්චිකර වෙනස වටහාගන්න
)
තම්පලා ගහක් කපන එක මහා ලොකු වැඩක් නෙවෙයිනේ. ඉතිං අර පෝලිමේ ආව තරුණයන්ව ගමරාල සහ ගම මහගේ නමැති ද්විපුද්ගල සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් සම්මුඛ පරීක්ෂණයට භාජනය කරනවා හේනේදී ම. නම ගම විස්තර අහලා ගමරාල අහනවා ‘ඔය ළමයට අර පෙනෙන තම්පලා ගහ කපන්ඩ පුලුවන්ද’ කියලා. ‘හයියෝ මාමේ ඕකත් වැඩක්ද? කෝ දෙන්ඩ පිහිය, එක පාරෙන් කපන්නම්’ කියන තරුණයන් සම්මුඛ පරීක්ෂණයෙන් අසමත් වෙනවා. ඒ වගේම පිහිය අතට ගත්ත ගමන්, ගහ කපන්ඩ යන්න හදන අයට ගමරාල කියනවා, ‘හරි හරි ළමයෝ, ගහ කපන්ඩ ඕනෙ නෑ, ඔය ළමයා අසමත්’ කියලා. මේ විදිහට දවස් ගණනාවක් පවත්වපු සම්මුඛ පරීක්ෂණයෙන් සමත්වෙන්න කාටවත් බැරිවුනා. ඔන්න එක දවසක් බොහොම කඩවසම්, ශක්තිමත් පෙනුමක් මෙන්ම බොහොම ශාන්තදාන්ත පෙනුමකින් යුත් තරුණයෙක් සම්මුඛ පරීක්ෂණයට ආවා.
(ගම දුව ජනේලෙට මුවා වෙලා මේ තරුණයා දිහා බලා ඉන්න ගමන් හිතුවා, මෙයා බුකියේ ඉන්නවද දන්නේ නැහැ. ඉන්නවානම් චැට් කරන්නත් තිබුනා කියලා. හුටා……… ඒ කාලේ එව්වා තිබුනේ නෑ නේද? නොදෝකිං ………ෆේස් බුක් කියන වචනය බුකිය කරගෙන ඇයි යකෝ ‘බුකිය’ කියන්නේ මොකක්ද? )
ඔන්න ඉතිං අර තරුණයා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඉදිරියට ඇවිල්ලා, සිංහල ක්‍රමයට ආචාර කරලා එකත්පස්ව හිටගත්තා කියමුකෝ. ‘එකත්පස්ව හිටගන්නවා’ කියන එක විස්තර කරන්න ඕනෙ නැහැනේ? ඉතිං සුපුරුදු පරිදි සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය කිව්වා ‘ළමයෝ, අන්න අර තම්පලා ගහ කපන්න තමයි තියෙන්නේ සම්මුඛ පරීක්ෂණයෙන් සමත්වීම සඳහා’ කියලා. තරුණයා කිව්වා මාමණ්ඩි මම ගහ බලලා එන්නම් කියලා. එහෙම කියලා ඔහු තම්පලා ගස සහ ඒ අවට හේන් බිම හොඳින් පරීක්ෂා කළා. ඊළඟට ඔහු ඇහුවා ‘තම්පලා ගස කැපීමට තියන ආයුධය මොකක්ද’ කියලා. ගමරාල ඔහුගේ අතට පිහිය දුන්නා. ඔහු තමන් අඳ සිටි පලු බැනියම ගලවලා, පිහිය මුවත් තියන්න පටන් ගත්ත. පිහිය හොඳින් මුවහත් වුනාම ඔහු සරම කැහැපොට ගහගෙන සූදානම් වුනා තම්පලා ගහ කපන්න. ගමරාල කිව්වා ‘තම්පලා ගහ කපන්න ඕනෙ නෑ පුතේ, උඹ තමයි අපි හොයපු එක්කෙනා’ කියලා.
ඉතිං මේ කතාවේ ආදර්ශය කුමක්ද? නොවැදගත් සහ බොහොම සුළු වැඩක් යයි අපි සිතන වැඩ පවා, එක්තරා පිළිවෙලකට නොකලොත්, එයින් නොසිතු ප්‍රතිඵල ඇතිවෙන්න පුළුවන්. ඇයි අර තරුණයා මුලින්ම තම්පලා ගහ පරීක්ෂා කලේ? පළමුව බලන්න ඕනෙ, එතනට යන්න පුළුවන්ද කියලා. හේන්වල සතා සරුපයා ඉන්නවා. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ. හේනක හැම තැනම විවිධ බෝග වගා කරලා තියනවා. තම්පලා ගහ කපද්දී ඒ බෝගයක් උඩට වැටුනොත් හානි වෙනවා. පිහිය මුවහත් නැත්නම් මෙතරම් දුර්වල කඳක් තියන තම්පලා ගහ කපන්නත්, නිකරුනේ මහන්සිය සහ කාලය වැයවෙනවා.
මේ කතාව අදට වුනත් වලංගුයි කියලා පෙනෙනවා නේද?
No comments :
Post a Comment