හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

13 December 2016

හාබර් එකේ වැඩ වැරුමකි මහ සද්දේ......................... නැව් හමුදාපතිඳු හිටගෙන යම යුද්දේ.............................



මේ දිනවල අපේ සමහර මාධ්‍ය, තම එදාවේල සරිකරගන්නේ, හම්බන්තොට වරායේ සේවා වර්ජිත සේවකයන්ට පින් සිදුවන්නට බව, රහසක් නොවේ. අනෙක් අතින්, හක්කෙන් හක්කට මාරු කරමින්, තලු මරමින්, සූප්පු කරමින්, සාරය උරා බොන්නට, නාවික හමුදාපති වරයා සිටින්නේය. 



හම්බන්තොට වරායේ සේවකයන් පිරිසක්, බලහත්කාරයෙන් රඳවාගෙන සිටි විදේශීය නැව් දෙකක් මුදාගැනීමට, නාවික හමුදාව විසින් දියත් කළ ක්‍රියාන්විතයේදී, රූපවාහිනී මාධ්‍යවේදියකුට, නාවික හමුදාපතිවරයා විසින් පහර දුන්නේය යන සිද්ධිය පදනම් කරගනිමින්, විවිධ මාධ්‍ය වාර්තා, විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ තවමත් ප්‍රචාරය වන අතර, මේ සම්බන්ධව, සිංහල බ්ලොග් ලිපි සෑහෙන ගණනක් මේ වනවිට පලවී තිබෙනවා. 



ඒ අතර මෙම සිද්ධිය සාධාරණීකරණය කරන ලිපි ද, නාවික හමුදාපති වෙත දැඩි විරෝධය පලකරන ලිපි ද, ඇතුළත්. ලිපි කියවා දහස් දක්වන අය අතර ද, සිද්ධියට පක්ෂ විපක්ෂ අය සිටිනවා. 



මේ ලිපියත් පදනම් වන්නේ, එම සිද්ධි දාමයටමයි. මා උත්සාහ කරන්නේ, හැකිතරම් කෙටියෙන් මේ ලිපිය අවසන් කර, ඔබේ අදහස් වලට ඉඩ දීමටයි. 




වර්ජනය සාධාරණ ද, අසාධාරණ ද?


සාධාරණ වෙන්නත් පුළුවන් අසාධාරණ වෙන්නත් පුළුවන්. 

ඔබට මතක ඇති පසුගිය දිනවල හමුදා සාමාජිකයන් පිරිසක් තමන්ට විශ්‍රාම වැටුප් ඉල්ලා. උද්ඝෝෂණයක, සත්‍යග්‍රහයක, උපවාසයක යෙදුණා. ඇත්තෙන්ම ඔවුන් ඉල්ලුවේ කිසිසේත් දැනට පවතින නීතිය යටතේ ලබාදිය නොහැකි ඉල්ලීමක්. ඔවුන් සටනේදී ආබාධිත තත්වයට පත්වූ පසු, ඔවුන් විසින්ම තීරණය කළා, වන්දි පමණක් ලබාගෙන හමුදාවෙන් ඉවත්වන බව. මෙහිදී ඔවුන්ට කීපවිටක් පැහැදිළි කර දෙනු ලබනවා, එසේ හමුදාව හැර ගියොත්, ඔවුන්ට ඉන්පසු කිසිදු වරප්‍රසාදයක් අහිමි වන බව. ඒ බව පැහැදිළිව අවබෝධකරගත් බවත්, ඉදිරියේදී තමන් හමුදාවෙන් කිසිවක් බලාපොරොත්තු නොවන බවත්, මෙම තීරණය කිසිවකුගේ බලපෑමකින් තොරව ගන්නා ලද ස්වාධීන තීරණයක් බවත්, ප්‍රකාශ කරන ලිපි පහක්, එක් එක් හමුදා සාමාජිකයාගෙන් ලබාගන්නවා. 

මේ විදිහට හමුදාවෙන් අස්වූ ඔවුන් අර විදිහට උද්ඝෝෂණ කළේ, මේ රටේ රාජ්‍ය මුදල් රෙගුලාසි, හමුදා පනත, කණපිට හරවා, තමන්ට පූර්ණ විශ්‍රාම වැටුප් ලබාදෙන ලෙසයි. පසුගිය රජයට මේ ප්‍රශ්නය පහසුවෙන් විසඳන්න තිබුණා. සර්වබලධාරී මහින්ද රාජපක්ෂ ජනාධිපති උතුමාණන් වහන්සේ, රණවිරුවන් පිරිවරාගෙන ඔවුන්ගේ දුක සැප විමසන, ඔවුන් සමග ආහාරගන්න, දැවැන්ත කටවුට් රටපුරා ගහන අතරේ මේ ප්‍රශ්නයත් විසඳූවා නම්, තවත් කටවුට් එකක් ගහගන්න තිබුණා.

නමුත්, තමන්ගේ වාසියට රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස්කල ඒ රජය, මේ පිරිස අමතක කර දමා, අද පාරාජිකාවී සිටින කුප්පීදු දෙස්පාලුවන්ගේ ප්‍රතිරූප නංවන්න, මේ සෙබළුන් පාවිච්චි කළා. ප්‍රතිඵලය වුණේ, දුරදිග නොබලා ක්‍රියාකළ එක් සෙබළකුගේ (යුද්ධයේදීත් රැකුණු දෙනෙතින්)  ඇසක් අහිමිවීමයි.

මේ හාබර් සෙල්ලමේ පසුපස ඉන්නෙත්, පාරාජිකාවූ දේශපාලුවන්මයි. වර්ජකයන් සියලුදෙනාම පාහේ, කිසිදු වෘත්තීය සුදුසුකමක් නැතිව, හුදු දේශපාලන පාක්ෂික භාවය මත බඳවාගත් අයයි. (ලංකාවේ කොයි පක්ෂයත් බලයේ සිටිනවිට ඒ වැරැද්ද කරනවා) අර රණවිරුවන්ගේ සත්‍යග්‍රහයට අවශ්‍ය ආහාරපාන සැපයූ ආකාරයට, මේ 'හාබර් විරුවන්ට' , අරක්කු, කෑම, උපදෙස් සපයන, වනචර දශකයට අයත් දේශපාලු තාත්තලා පුතාලා සෙට් එකක් ඉන්නවා. 

හාබර් විරුවන් විසින්, අර නැව් දෙක වරායෙන් පිටතට ගැනීම අවහිර කලාට අමතරව, තවත් බරපතළ හානි කර තිබෙනවා. වරායේ කාර්යාලයීය උපකරණ, නිරීක්ෂණ කැමරා, විවිධ විද්‍යුත් උපකරණ, ජල සැපයුම් පද්ධතිය, මෙලෙස බරපතළ හානියට ලක්කළ දේපොළ අතර තිබෙනවා. මා දුටුවා එක් හාබර් විරුවෙක් කියනවා, වරායේ ඇති ඉන්ධන ටැංකි පුපුරා ගියොත් ඔවුන් වග නොකියන බව. 

උද්ඝෝෂණයක් හේතුවෙන් ඉන්ධන ටැංකි පුපුරන්නේ කොහොමද? හාබර් විරුවන් කෑගහන ශබ්ද තරංග වැදී, ටැංකි පුපුරනවද? එහෙම නැත්නම්, ඒ ටැංකි වලට හානිකර, ඉන්ධන පිටතට ගලායාමට සලස්වා, ඒ ඉන්ධන වලට ගිනි තැබීමෙන් පුපුරවා හරිනවාද? එහෙම දෙයක් කරන එකාට කුමක් කලයුතු ද

මේ කියන්නේ කුමක්ද?

 'උඹලා දන්නේ නෑ අපේ තරම, අපිට හිතුනොත් වරාය පුපුරවනවා. අපේ ලොක්කගේ ප්‍රතිපත්තිය තමයි, අපි ගෙනියන්නේ. තමන්ට හැමදාම ඉහගෙන කන්න නැත්නම්, ඔක්කොම සුන්නද්දූලි කරනවා. ආයේ කාටවත් ප්‍රයෝජනයක් ගන්න ඉතුරු කරන්නේ නෑ

ඒ කතාව නේද මේ කියන්නේ? ලොක්කා බලා ඉන්නේ, මේ හාබර් විරුවන් එකෙක් දෙන්නෙක්, හමුදාව හෝ පොලීසිය අතින් මැරෙනතුරුයි. උන්ගේ මිනී උඩින්, ආපහු වලෙන් ගොඩ එන්නයි, ලොක්කා සහ ලොක්කගේ හැත්ත බලා ඉන්නේ. 

පොදු දේපල, රාජ්‍ය දේපල, මෙලෙස හානි කිරීමට කිසිදු වෘත්තීය සමිතියකට, අයිතියක් නැහැ. ඒ නිසා, දැනට සිදුවී තිබෙන හානිය වෙනුවෙන්, මේ ඊනියා හාබර් විරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කලයුතුයි.




වර්ජකයන් කල හානිය කුමක්ද?


හානිය ජාතික මට්ටමෙන් සහ ජාත්‍යන්තර මට්ටමෙන් යන දෙආකාරයෙන්ම සිදුවී තිබෙනවා. රාජ්‍ය දේපොළ හානි කිරීම ජාතික මට්ටමෙන් සිදුවී තිබෙනවා. අර විදේශීය නැව් දෙකට අවහිරයක් ඇති කිරීම, ජාත්‍යන්තර මට්ටමේ අපරාධයක් බව, එදාවේල ක්‍රමයට ජොබ් කරන මේ හාබර් විරුවන් දන්නේ නැහැ. දැනගන්න ඕනෑ කමකුත් නැහැ. එච්චර දෙයක් හිටන්න තරම් මොලයකුත් නැහැ. (ඕනෙම ප්‍රශ්නෙකින් අපිව ගොඩදාන්න අපේ ලොක්කා සහ ලොක්කාගේ සොක්කා ඉන්නවනේ) 

අපි හිතමු මෙලෙස අවහිර කලේ ඇත්තටම විදේශීය යුද්ධ නැව් දෙකකට කියා. එසේනම්, ඒ තත්වය, එම රටවලට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමක් හැටියටයි සැලකෙන්නේ.  ඒ නැව් අයිති රටෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කළොත් නැව් දෙක නිදහස් කරදෙන්න කියා, එ.ජා.ස. කියනවා අපිට, වහාම නැව් නිදහස් කරන්න, නැත්නම් එ.ජා.ස. හමුදාවක් යොදවා නැව් නිදහස් කරන්නට කටයුතු කරන බව. 

අන්න ඒ ටික වෙන්න කලින් තමයි, මේ පියවර ගත්තේ. ඒ සඳහා සෑමවිටම යොදවන්නේ, නාවික හමුදාවයි. මෙය ගුවන් යානා දෙකක් වුනානම්, එසේ නැතහොත් ගොඩබිම් කොටසක් අල්ලාගැනීමක් වුනානම්, පිළිවෙලින්, ගුවන් හමුදාව, යුද්ධ හමුදාව තමයි යොදවන්නේ. 




නාවික හමුදාපති කොට කලිසමකින් සහ ටී ෂර්ට් එකකින් සැරසී ආවේ ඇයි?


බොහෝ මාධ්‍ය වාර්තා කළෙත්, සමහර බ්ලොග් ලිපිවල ලියවී තිබුනෙත්, නාවික හමුදාපති, නිකම් 'බජාර් එකේ අයියා කෙනෙක්' වගේ ආවා කියලයි. ඇත්තටම මේ කොට කලිසම සහ ටී ෂර්ට් එකත්, නිළ ඇඳුමක්. මෙය, 'වැඩ කණ්ඩායම් ඇඳුම' working dress කියා සිංහලෙන් කියන්න පුළුවන්. ත්‍රිවිධ හමුදාවටම මෙලෙස 'වැඩ ඇඳුමක්' තිබෙනවා. ලෝකයේ සෑම නාවික හමුදාවකටම එය පොදුයි. නාවික යාත්‍රාවල දී, මේ ඇඳුම පහසුවක්. 




නාවික හමුදාපතිම මේ සඳහා ආවේ ඇයි


එය සේනාධිනායකයාගේ තීරණයක් වියහැකියි. විදේශීය නැව් දෙකක් හිරකරගෙන ඉන්න අවස්ථාවක, ජාත්‍යන්තර වශයෙන් ඇතිවියහැකි අර්බුදකාරී තත්වයකදී, කරුණු පැහැදිලි කිරීමට, නාවික හමුදාපතිවරයාම යෙදෙව්වා වියහැකියි.




වර්ජකයන්ට හෝ මාධ්‍යවේදීන්ට පහර දීමට බලයක් තිබෙන්නේ කාටද?


කාටවත් නැහැ/තියනවා. මාධ්‍යවේදීන්, පොලිස්/හමුදා ක්‍රියාවන්ට බාධා/අවහිර/විරුද්ධවාදීකම්/ඇතිවන ආකාරයට ක්‍රියාකරන්නේ නම්, පළමුව එතනින් ඉවත්වන ලෙස කාරුණිකව දැනුම් දීමටත්, දෙවනුව තදින් නියෝග කිරීමටත්, තුන්වනුව බලය පාවිච්චිකොට ඉවත් කිරීමටත්, හැකියාව තිබෙනවා. ඉතින් කුමන රජයක් බලයේ හිටියත් එහෙම බලය පාවිච්චි කොට මාධ්‍යවේදීන් ඉවත් කලොත් කියනේ 'අපිට ගැහුවා' කියලනේ. නැත්නම් විකුනන්න ප්‍රවෘත්තියක් නැහැනේ. පාරාජිකා වෙච්චි දේශපාලුවන්ට, උන්ගේ ඇඟේ ඇලී, පතාබරියන් වගේ ඉන්න, කවදාවත් ස්වාධීනව නැගීසිටින්න බැරි දේශපාලන සෝම්බි වරුන්ටත්, මේවා රස කෑම. මේ සිද්ධියේදී කුමක් වූයේද යන්න, එක වීඩියෝ ක්ලිප් එකකින් පමණක් තීරණය කිරීම, ප්‍රඥාගෝචර නොවන බව, සියලුදෙනා අවබෝධ කරගත යුතුයි. 

කෙසේවෙතත් මේ සිද්ධිය සම්බන්ධව නාවික හමුදාපතිවරයා විසින් තම සේනාධිනායකයා වෙත වාචිකව සහ ලිඛිතව කරුනු පැහැදිළි කිරීම වඩාත් හොඳයි. ඉඳුරාම, මාධ්‍ය වෙත, තම නිදහසට කරුණු කියන්නට නාවික හමුදාපතිවරයා බැඳී නැහැ.




මාධ්‍යවේදියා යනු කවරකුද


අපි පාසල් යන කාලයේ හිටියේ 'පත්තරකාරයෝ' විතරයි. මාධ්‍යවේදීන් හිටියේ නැහැ. ඒ පත්තරකාරයෝ, මහා විශ්මයජනක දේවල් කළා.

 ඩී.බී.ධනපාල, ගුණදාස ලියනගේ, බෙනඩික්ට් දොඩම්පෙගම, එඩ්මන්ඩ් රණසිංහ, දෙල්තොට චන්ද්‍රපාල, ධර්මසිරි ගමගේ, පෙරමුණේ තිලක, එඩ්වින් ආරියදාස, වැනි පත්තරකාරයන්ගෙන් අප ලද දැනුම, ඇත්තටම අද ඉන්න සමහර 'මාජ්ජ වේජීන්' කියාගන්නා උන්නැහේලාට හිතන්නවත් බැහැ.   

අපේ රටේ ඊනියා මාධ්‍යවේදීන්  ගැන මට තිබෙන අප්‍රසන්නම අත්දැකීම වන්නේ, යුද්ධයේ අවසාන භාගයේදී, යුද වාර්තාකරණය සඳහා, පැමිණි සමහර විද්‍යුත්/මුද්‍රිත ජඩ මාධ්‍යවේදීන් ගේ හැසිරීමයි. ඔවුන්ව ඉතා පහසුවෙන් අරක්කු වලට, කෑම වලට, නම්මවා ගන්න පුළුවන්කම තිබුණා. සමහර සේනාංකාධිපතිවරුන්, හීන් නූලෙන්, තම ප්‍රතිරූපය නංවාගන්න මේ ජඩමාධ්‍යවේදීන් පාවිච්චි කළා. ඒ කියන්නේ, ඔවුන් ස්වාධීන මාධ්‍යවේදීන් නොවන බවයි. 

එමෙන්ම නිලධාරි නිවස්නයක නවාතැන් ලබාදුන් පමණින්, ඔවුන්ගෙන් සමහරක් අය, තමනුත් ශ්‍රී ලංකා යුද හමුදාවේ අධිකාරී ලත් නිළධාරීන් යයි සිතාගෙන කටයුතු කළා. සමහර ජ්‍යොෂ්ඨ නිලධාරීන්ට මචං කියා අමතන්නට ගොස්, හොඳ හරුප අහගෙන, බලුකුක්කන් තත්වයට වැටුණා. නිලධාරි නිවස්නයේ කාර්‍ය මණ්ඩලයේ සැරයන් මේජර් වරුන්ට, මාණ්ඩලික සැරයන් වරුන්ට, කෝප්‍රල් වරුන්ට, අණදෙන්න උත්සාහ කළා. සුළු සේවකයන්ට, 'ඒයි තමුසේ' බාසාවෙන් කථා කර, කාර්‍ය මණ්ඩලයෙන් බැනුම් අහගත්තා. යුද වාර්තාකරණය ලෙස ඔවුන් කළේ, ඒ ඒ සේනාංකයේ සිටින බුද්ධි නිලධාරීන් විසින් ලබාදෙන තොරතුරු, තමන්ගේ දෑසින් දුටු ආකාරයට පළකිරීමයි. 

මේ මාධ්‍යවේදීන් යුද වාර්තාකරණය ගැන පුහුණුවක් නොලැබූ අය නිසා, ඔවුන්ව ඉතා කලාතුරකින් පමණයි, පෙරමුණට ගෙනගියේ. ත්‍රස්තවාදීන්ගෙන් අල්ලාගත් ප්‍රදේශවල ආරක්‍ෂාව තහවුරු කලාට පසුව පමණයි, ඔවුන්ව ඒ තැන් වලට ගෙනගියේ. කිසිදු මාධ්‍ය ආයතනයක්, යුද වාර්තාකරණය ගැන තම මාධ්‍යවේදීන්ට පුහුණුවක් දෙන්න උත්සාහ කලේ නැහැ. 

සමහර මාධ්‍යවේදීන් එකිනෙකා සමග අසභ්‍ය වචනයෙන් බැනගත්තා, එක් අයකු දන්නා තොරතුරු, අනෙක් අය සමග බෙදාහදාගන්නේ නැතැයි කියා. මෙයින්, කරුණු කීපයක් ගම්‍ය වනවා. එකක්, තමන් මහන්සිවී තොරතුරු සොයන්න තරම්, සමහර මාධ්‍යවෙදීන් වෘත්තීයමය පරිචයක් ලබා නැති බව. අනුන්ගෙන් යැපීමෙන්, සමහරවිට තමන් අතින් ලියවෙන්නේ, සත්‍ය තොරතුරු නොවන බව සිතන්නට තරම්, සදාචාරයක් නැතිවීම. ඇත්ත නැත්ත කොහොම වෙතත්, අනෙක් මාධ්‍ය ආයතන වලට කලින්, උණු උණු (කුණු) පුවත් හැකිතරම් ඉක්මනින් මහජනතාව අතට පත්කිරීම.  

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කියන්නේ කවුද

අනේ මේ අයට නිදහසේ කතාකරන්න දුන්නොත්, උන් තමන්ගේ පාලකයන්ගේ හත්මුතු පරම්පරාවටම සාප කරනවා. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වර්ග දෙකක්වත් ඉන්නවා, අවම වශයෙන්. එක් වර්ගයක් වන්නේ, යම්කිසි රැකියාවක යෙදෙන අතර, වාර්තාකරනයේත් යෙදෙන අය. අනික් වර්ගය වන්නේ පූර්ණකාලීනව මාධ්‍ය වාර්තාකරණයේ යෙදීම. එහෙම පූර්නකාලීනවකටයුතු කරන අය මාධ්‍ය ආයතන කීපයකට තොරතුරු සපයනවා. නැත්නම් හාමතේ මැරෙන්නයි වෙන්නේ. 

මේ අයගෙන් බහුතරය උපරිම වශයෙන් අපොස උසස්පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ අය. නමුත් බොහෝ දෙනෙකුගේ භාෂා හැකියාව කණගාටුදායක ලෙස දුර්වලයි. පුවත්පත් වාර්තා කියවීමේදී මොවුන් අතින් ලියවෙනදෙකොනින් හිනායන වාග්මාලා, යෙදුම්, ග්‍රාම්‍ය වචන, දකින්නට ලැබෙනවා. එමෙන්ම මොවුන් දින දෙකතුනකට වරක්වත් 'නැගලා යන' වර්ගයේ ප්‍රවෘත්තිය නොදුන්නොත් බලු බැණුම් අහන්න වෙනවා, තමන්ගේ මාධ්‍ය ආයතනයෙන්. සමහරවිට රැකියාව අහිමි වෙන්නත් පුළුවන්. 

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පමණක් නොව, මාධ්‍ය ආයතනවල සේවය කරන සමහර මාධ්‍යවේදීන්ගේ පවා සාමාන්‍ය දැනුම ඉතා පහල මට්ටමක පවතින්නේ. ඔවුන්ගෙන් අතිමහත් බහුතරය, තම රැකියාවට අදාළ ඒකාකාරී කාලසටහනක දිනපතා නියැලෙනවා විනා, මාධ්‍යවේදියකු ලෙස තම ඉදිරි දැක්මක් සහ දියුණුවක් ගැන උනන්දුවන්නේ නැහැ.

විශේෂයෙන් අන්තර්ජාතික මට්ටම කුමක්ද යන්න අධ්‍යයනය කරන්නේ නැහැ. එමෙන්ම එවැනි අයට තම වෘත්තීය දැනුම දියුණු කරගැනීමට සහ සාර්ථක වෘත්තීය මාධ්‍යවේදියකු වීමට මගපෙන්වන ආයතන නැතිවීමත් බලවත් අඩුවක්. ජනමාධ්‍යවේදී උපාධිය හෝ ඩිප්ලෝමාව පමණක් තිබීම සියල්ල කරන්නට ලැබුන බලපත්‍රයක් ලෙස සිතන අමනොඥ මාධ්‍යවේදීන් ද සිටිනවා. 

ඔනෑම සිද්ධියක් මැද්දට පැන, ඕනෑම රාජ්‍ය ආයතනයක් අස්සට රිංගා, (පෞද්ගලික ආයතන ඇතුලට රිංගන්න ඉඩ ලැබෙන්නේ නැහැ. එවිට ආඩාපාලි කියමින් පැත්තකට වෙනවා. හේතුව, කොහෙන් හෝ රිංගා, 'වාර්තාකොරණය' නොකිරීම ගැන, තම ලොක්කන්ගෙන් බැණුම් අහන්නට සිදුවීමයි)  හැරුණු හැරුණු අතේ පින්තූරගන්නට, විශේෂ අධිකාරි බලයක් තමන්ට ඇති බොහෝ මාධ්‍යවේදීන් සිතනවා. කොස්ගම පිපිරීම සිදුවෙමින් අවස්ථාවේ දී, මේගොල්ලන්ට ඇතුලට යන්න ඉඩ දෙන්නයි තිබුණේ, හොඳ අත්දැකීමක් ලබාගැනීම සඳහා. 

මාධ්‍යවේදීන් සෑම හමුදා නිලධාරියාවම දැන සිටිය යුතු නැහැ. නමුත් හමුදාපතිවරුන්ගේ නමවත් දැන සිටිය යුතුයි. ඒ ඒ විෂයය භාර ඇමතිවරුන්, රජයේ නිලධාරීන්, ( මහේස්ත්‍රාත්, ප්‍රාදේශීය ලේකම්, වෛද්‍ය අධිකාරි, අඩවි වන නිලධාරි, සුරාබදු නිලධාරි වැනි) පිළිබඳව ද දැනසිටිය යුතුයි. 

නාවික හමුදාපති සම්බන්ධ සිද්ධියේදී ඔහුට තිබුණා, ඒ නිලධාරියා දකිනවිටම, ඒ කවුද කියා නාවික හමුදා සාමාජිකයකුගෙන් අසා දැනගන්න. එහෙම කලානම්, මීටත් වඩා හොඳට නාවික හමුදාපතිවරයා යම් අකටයුත්තක් කලානම්, වාර්තා කරන්න තිබුණා. එකවරම ඔහුට බාධාවන පරිදි සිටීම නිසා, මාධ්‍යවේදියාට හොඳ අවස්ථාවක් මගහැරුණා. 

ගැටුම් වාර්තාකරණය යනුවෙන්, මාධ්‍යවේදයට අදාළ වැදගත් කොටසක් තිබෙනවා. මෙහිදී සාධාරණත්වය සහ අපක්ෂපාතිත්වයට ඉහල සැලකීමක් දියයුතුයි. මේ සිද්ධිය වාර්තා කරන්න හිරු මාධ්‍ය ජාලයේ වාර්තාකරුවකු පමණක් මෙලෙස අස්සට රිංගුවේ ඇයි? එය පෙර සූදානමකින් කල දෙයක්ද

ඊයේ පැවැත්වුණු රූපවාහිනී ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, අර්ජුන රණතුංග ඇමතිවරයා ප්‍රකාශ කළා, තමා මේ සිද්ධියට පෙරදින එම ස්ථානයට ගියවිට, එක්තරා වියුත් මාධ්‍යවේදියකු, පසුදින ද පැමිනෙන මෙන් අමාත්‍යවරයාගෙන් ඉල්ලාසිටි බවත්, ඒ ඇයිදැයි විමසුවිට, එම මාධ්‍යවේදියාට වඩාත් වාසිවන ආකාරයට තොරතුරු වාර්තා කලහැකිවන්නේ, එලෙස පසුදිනත් පැමිණියහොත් බව, එම මාධ්‍යවේදියා ප්‍රකාශ කල බවත්. මෙයින් පෙනෙන්නේ, අපි නොදන්නා විවිධ සෙල්ලම් තිරය පසුපස සිදුවන බවයි. 

මේ ප්‍රශ්නය විසඳන්න කළයුතුව තිබුණේ කුමක්ද

මෙවැනි ගැටුමකදී ක්‍රියා කලයුතු ආකාරය මීට පෙර ද මා, රතුපස්වලසිද්ධිය ඇසුරෙන් ඔබට පැහැදිළි කර දුන්නා. ඇත්තටම මේ ප්‍රශ්නය විසඳන්න මට අවස්ථාවක් ලැබුනානම්, මා එය කරන්නේ, මෙන්න මෙහෙමයි. 

1. හමුදා/පොලිස් ඔත්තුකරුවන් යොදවා, වර්ජකයන්ගේ ප්‍රමාණය, ඔවුන්ගේ චිත්ත ධෛර්යයේ ප්‍රමාණය, හදිසියකදී ඔවුන්ට පිටතින් ආධාර ලැබෙන්නේනම් ඒ කාගෙන්ද කොහොමද කියා සොයා බැලීම. 

2. මේ පිරිස මර්දනය/අකර්මන්‍ය කිරීම සඳහා ජීවිත හානි නොවන ආකාරයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සහ, ප්‍රහාරක උපක්‍රම සලකා බැලීම. 

3. පොලීසිය යොදවා, වර්ජකයන්ගේ අවධානය පොලීසිය වෙත යොමු කරවාගනා අතර, එය දිගින් දිගට ඇදෙන රඟපෑමක් කරමින්, නාවික හමුදා ක්‍රියාන්විතයට අවශ්‍ය වෙලාව ලබාගැනීම. තවත් පොලිස් කණ්ඩායමක් යොදවා, වර්ජකයන්ට පිටතින් ලැබෙන ආධාර වලට ප්‍රහාර එල්ලකොට, පලවා හැරීම. මේ වෙලාවේ, ඒ ප්‍රදේශයේ සියලුම ජංගම දුරකථන සංඥා ක්‍රියාවිරහිත කිරීම.

4. ප්‍රහාරාත්මක තත්වයක් ඇතිවී තිබෙන බැවින්, ජීවිත වලට වගකිව නොහැකිවන නිසා, මාධ්‍යවේදීන්ට වහා එම ස්ථානයෙන් ඉවත්වන ලෙස දැන්වීම. ඉවත් නොවන මාධ්‍යවේදීන්ව ඡායාරූප ගතකර ගැනීම. පළිගන්න නෙවෙයි. වාර්තා තබාගන්න.

5. නාවික හමුදා කිමිදුම් කරුවන් සහ විශේෂ ප්‍රහාරක බෝට්ටු බලගණය Special Boat Squadron = SBS යොදවා, තුවාල සිදු නොවන, එහෙත් කම්පනයට සහ අධික තැති ගැන්මට ලක්වන, බෝම්බ ප්‍රහාරයක් Stun Grenade  එල්ලකොට වර්ජකයන් පලවා හැරීම. (මේ වෙලාවේදී පොලීසියට පුළුවන් පන්න පන්නා පහරදී, (රබර් උණ්ඩ, කඳුළු ගෑස්) තුවාල සිදු නොකොට ඔවුන්ව වරාය පරිශ්‍රයෙන් සම්පූර්ණයෙන් එලවා දමා, යළි පැමිණීමට නොහැකිවන ආකාරයට, පොලිස් ආරක්ෂාවක් යොදන්න) 

6. නාවික හමුදාව, අර නැව් දෙක නිදහස් කරගෙන, වරායෙන් පිටතට රැගෙන යාම. 

මතකතියාගන්න. එක්තරා කියමනක් තිබෙනවා, කේක් එක අතේ තියාගෙන ලස්සන බලන්නත්, කන්නත් දෙකම කරන්න බැහැ. එක්කෝ ලස්සන බැලිය යුතුයි, නැත්නම් අනුභව කලයුතුයි. You can't have the Cake and eat the Cake.

අසභ්‍ය වචන වලින් ඉදිරිපත් කරන කමෙන්ට්ස් කපාහරිනු ලැබේ.

2016
දෙසැම්බර් මස 13 වැනි දින 1148 පැය.

56 comments :

  1. ඇත්ත වශයෙන්ම මගේ අදහස වන්නේද අදාල උද්ගෝෂකයන් සමඟ හොඳින් හෝ නරකින් පොලිසියට පැටලෙන්නට ඉඩ හැර ඒ අතරේ නාවික හමුදාව තම රාජකාරීය ඉටුකලා නම් මේ අමිහිරි තත්වය ඇති නොවෙන්නට ඉඩ තිබූ බවයි...

    ReplyDelete
    Replies
    1. ඔව් මෙතැනදී නාවික හමුදාව ඉක්මන් වුණා වැඩියි කියලා පෙනෙනවා.

      Delete
  2. හොඳ විස්තරයක්.
    මටත් හිතෙන්නෙ නැවු දෙක අපේ රටට අයිති නොවන නිසා ජාත්‍යාන්තර කොක්කක් ඇතිවෙන එක වලක්වන්න නාවික හමුදාපති වරයා මෙතනට මැදිහත්වෙන්න ඇතියි කියලයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න. ඇත්තටම මේ නැව් දෙක තව සතියක් ප්‍රමාද වුනානම් 'මළ කෙලියක්' වෙනවා. ජාත්‍යන්තර වශයෙන් අපිට විශාල බලපෑම්, අපකීර්තිය, සමහර රටවල් අමනාපවීම ආදී ප්‍රශ්න කෝටියක් එනවා. ඒ නිසා ඉක්මනින් නැව් දෙක වරායෙන් පිටමං කරන්න නාවික හමුදාපතිතුමා ම යන්න ඇත්තේ.

      Delete
  3. විචාරක
    සිද්ධියෙන් පසු තමයි වැදගත් ම දේ හෙළි වුනේ.

    නේවි කමාන්ඩර් මෙසේ ප්‍රකාශ කරනවා.

    "මම මාධ්‍යවේදියකුට පහරදුන්නා නම් ඔහු රෝහල් ගතව ඉන්න ඕනෑ. එයා මාධ්‍යවේදියෙක්‌ නම් කියන්න ඕන මම අහවල් ආයතනයේ මාධ්‍යවේදියෙක්‌ කියලා. එයා මාධ්‍ය ආයතන කිහිපයක ඉන්නවයි කියලා කිව්වා. මෙයා කවුද කියලත් කා සමඟද හිටියේ කියලාත් මා කාලයක සිට දැනගෙන හිටියා."

    http://www.divaina.com/2016/12/12/news02.html

    ඒ කියන්නේ මෙය හිතාමතා ම එල්ල කර ප්‍රහාරයක්. මෙය කේක් කෑම හෝ රැවුල්/කැඳ කේස් එකක් නොව හිතා මතා කළ පහර දීමක් නොවේද?

    ReplyDelete
    Replies
    1. නෙවි කමාන්ඩර් එයාටම ගහන්න එන බව ගුටි කෑ (?) හිරු මාධ්‍ය වේදියාත් දැන ඉදලා තියනවාදෝ කොහෙද? එ් නිසා වෙන්නැති එයා නේවි පිරිස අස්සටම රිංගන්නේ.

      Delete
    2. ඒකා මාධ්‍යවේදියකු ලෙස පිළිගන්න අමාරුයි. වගකීමක් සහිත මාධ්‍යවේදියකු නම් දුර සිට සූම් කර සියල්ල කරදරයකින් තොරවවීදියෝ ගතකරගන්න තිබුණා. කැමරාවක ස්විච් එක දාන්න දැනගත් පමණින් මාධ්‍යවේදියකු වන්නේ නැහැ. නාවික හමුදාපතිගේ ප්‍රකාශය සාධාරණයි.

      රටක සිවිල් පරිපාලනය බිඳවැටුණු පසු නැවත එය ගොඩනගන තුරු ත්‍රිවිධ හමුදාව එයට උදව් කරන්නේ කෙසේද යන්න, විශේෂ පාඨමාලාවක් මගින් මා හදාරා තිබෙනවා. එහිදී ඔය 'කැමරා සෙල්ලම්' බොහොමයක් ජාතික රූපවාහිනියේදීම ඉගෙනගත්තා.

      Delete
  4. ලිපියේ මාතෘකාවේ ඊළඟ කොටස අලුත් පේලියකින් පටන් ගැනීමට අවශ්‍ය නම් එතැනින්
    ටැග් එක යොදන්න.

    ReplyDelete
    Replies
    1. අයියෝ මේවා වැදගත් නැත. කියවන්නා මා ලියනදේ තමයි වැදගත්කොට සලකන්නේ.

      Delete
  5. ස්තූතියි විචා, ඔබගේ අපක්ෂපාතී තර්කානුකූල විග්‍රහයට...

    මම දැක්ක බහුතරයක් ලිපිවල එක්කො නාවික හමුදාපතිවරයා මේ කලේ මහා වීර ක්‍රියාවක්ය ඔහු ලීඩිං ෆ්‍රොම් ද ෆ්‍රන්ට් වර්ගයේ මහා වීරයෙක්ය කියල උඩ දමන ලිපි හෝ ඔහු පහත් පෙලේ නගරං කාරයෙක්ය කියල අපහාස කරන ලිපි.

    එක අතකට ඒ අපහාසාත්මක ලිපි ලියන්නට කරුණු සපයා දුන්නේ නාවික හමුදාපති වරයාමයි. ඔබ ඔහුගේ කාර්ය භාරය සාධාරණීකරණය කරන්නට මොන තරම් වෑයම් කලත් මම හිතන්නෙ මේ මෙහෙයුම ඔහු දේශපාලන නායකයින්ට තම වැඩ පෙන්වීමට බලෙන් නායකත්වය දුන් එකක්ය කියලයි. අනික ඔහුම කියනව ඒ මාධ්‍යවේදියා ගැන ඔහු කලින් දන්නවය කියල. ඒ කියන්නෙ වෙඩි කාපු ඌරෙක් වගෙ ඔහු එන විදිහෙන්ම තේරෙනව මේ එන්නෙ බැස්ටිය දෙන්ටය කියල.

    මාධ්‍ය වේදීන්ගැන ඔබ අතීත උදාහරණ අරගෙන කරන අර්ථ කථනය මට පිළිගන්නට අමාරුයි විචා, එහෙම සුදුසුකම් ලත් බහුශ්‍රැත මාධ්‍යවේදීන් හිටපු කාලයකුත් තිබ්බ. ඒත් අද තත්වය වෙනස්. මේ ලෝකෙ හැමදේම වෙනස් වෙනව විචා..අපි කැමති වුනත් අකමැති වුනත්. ඒක අපිට නවත්වන්න බෑ.

    අද පුරවැසි මාධ්‍යකරණය ( Citizen Journalism) කියන සංකල්පය ලෝකෙ පුරා පිලිඅරගෙන තියනව. ඒ හින්ද නාවික හමුදාපති පහර දුන්නෙ මාධ්‍යවේදියෙකුට නෙවෙයි කියන තර්කයෙ වලංගුතාවයක් නෑ.

    නාවික හමුදාව ඉතාම හොඳින් තමන්ට පැවරුනු වගකීම කලා. ඇත්තටම එවන් උද්ඝෝෂණයක් මැඩලීමෙදි යම් අනතුරු වෙන්න පුලුවන්. සරසවි සිසුන් පොලීසිය විසින් විසුරුවා හැරීමේදී මීට වඩා ප්‍රහාර වලට ඔවුන් ලක් වෙනව අපි හැමෝම දකිනව. ඒත් මේ වගෙ ආන්දෝලනයක් ඇතිවුනේ නෑ. මහජනයා දන්නව එහෙම නැතුව බෑ කියල. මෙතන සම්පූර්ණ වරද නාවික හමුදාපතිවරයගෙ. සේවා දිගුව ලබාගන්නට ඔහු කල වළං කඩේ ගොනාගෙ භූමිකාව තමයි අන්තිමට පාරා වළල්ලක් වුනේ.

    ReplyDelete
    Replies
    1. රවී ගේ කතාවට එක් කරුණක් එක් කරන්නම්.

      විශ්ව විද්‍යාල සිසුන් ගේ විරෝධතා විසුරුවා හැරීමේ දී සුවිශේෂී අවස්ථා දෙකක් ගැන සාකච්ඡා වුනා මතකයි.

      මේ එකක්.
      http://rasikalogy.blogspot.com/2014/12/act-of-sadism-by-sri-lankan-policeman.html

      මෙන් අනික.
      https://www.colombotelegraph.com/wp-content/uploads/2015/10/police-attack_1.jpg

      ඒ හැක කඳුළු ගැස්, ජන ප්‍රහාර ගැන කවුරුත් වැඩි විවාදක් නෑ!

      Delete
    2. correction:
      ඒ හැර කඳුළු ගැස්, ජල ප්‍රහාර ගැන කවුරුත් වැඩි විවාදයක් නෑ!

      Delete
    3. රවි සමග මාත් එකඟයි

      Delete
    4. රවී, සාමාන්‍ය මහජනතාවට කවදාවත් විස්තර කරලා අවබෝධ කරලා දෙන්න අමාරු කරුණු තියනවා. ඒ තමයි මේ වගේ අවස්තාවකදී ආරක්‍ෂක හමුදා විසින් ක්‍ෂණික තීරණ ගැනීම සහ එහි අතුරු ප්‍රතිඵල. 10 දෙනෙකුගේ ජීවිත බේරාගැනීම සඳහා වාර්තාකරුවන් ඉදිරියේ එකෙකු මරන්න මා නම් පසුබට වෙන්නේ නැහැ. 1988 - 89 කාලයේදී මා මෙවැනි අවස්ථා රාශියකට මුහුණදී, එක සිවිල් පුරවැසියකු හෝ නොමරා, වාර්තාකරුවන්ට පහර නොදී, කැරලිකරුවන්ට ලේ පෙරෙන්න පහරදී, තත්වය සමථයකට පත්කලා.

      නමුත් මෙතන නාවික හමුදාවට ප්‍රහාරයක් එල්ලවුණේ නැතත් ඔවුන්ව ප්‍රකෝප කරවන දේ කියවුනා. 'අපි තමයි යකෝ යුද්දෙදි තොපිට ලේ දුන්නේ' වැනි කියමන්. නාවික හමුදාවට වරායේ ජාතියට ගොඩබහින්න දුන්නේ නැහැ. බාධාකලා. ඒ කණ්ඩායම අස්සේ කමරාකාරයෙක් රිංගලා හිටියා. පැහැදිළිවම ඔහුට අර පිරිසේ ආවරණය ලැබුණා. තවත් මොනවද කථා.

      ඔබ කියන ඔය පුරවැසි මාධ්‍යකරණය කියන්නේ ඒ විදිහට කැරලිකරුවන්ගේ ආරක්‍ෂාව ලබන්නකු ලෙස වීඩියෝ කිරීමද? පුරවැසි මාධ්‍යකරණය කියන අලුත් වචනයක් අටවාගත්තේ හැම රෙද්ද ඇසෙම රිංගන්න යුතු බලයක් හදාගන්නයි.

      එදා දහනායක මහතා අමුඩයෙන් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ, කාර් එකෙන් බහිනකොටම පින්තූරයක් ගත්තා. (මට මතක හැටියට අපේ මහා නළු ටෝනි රණසිංහගේ සොයුරු රැලෙක්ස් රණසිංහ) එතකොට ඒවා පුරවැසි මාධ්‍යකරණය නෙවෙයිද? පුරවැසියන්ට ජංගම දුරකථන ලැබීමේ ප්‍රතිඵලය තමයි මහා ලොකුවට අපිම සටන් කරන මානව හිමිකම් උල්ලංඝනය කරන ආකාරයට, කෙනෙකුගේ පෞද්ගලික නිදහස විනාශ කරන ආකාරයට ඕනේ එකයි එපා එකයි ඔක්කොම ෆේස් බුක් ඒකෙ, යූ ටියුබ් ඒකෙ පළකරමින් තමන්ගේ කතා පහත නින්දිත ආසාවන් සපුරා ගැනීම. ඩයනා ජංගි ඇඳීම වෙනස් කලේ මේ මහා 'පුරවැසි මාධ්‍යකරණය' නිසා නේද?

      නිදහස වෙනයි වල්බූරු නිදහස වෙනයි. අපේ රටේ ඉන්න මාධ්‍යවේදීන් කියාගන්නා එක්තරා වල් බූරුවන් පිරිසක් සෑම රජයකින්ම බලාපොරොත්තු වෙනවා, ඕනෙම තැනකට රිංගලා ඕනෙම දෙයක් ගැන ලියන්න පින්තූරගන්න, මාධ්‍යවේදී හැඳුනුම්පත් ලයිසන් එකක් කියලා. අන්න ඒ පොර මානසිකත්වය මුලින්ම කඩන්න ඕනේ.

      නාවික හමුදාපතිවරයා, තමන්ගේ ක්‍රියාකලාපය වෙනුවෙන් වගකිව යුතුයි. නමුත් එසේ වගකිවයුත්තේ මේ තුට්ටු දෙකේ මාජ්ජ කාරයන්ට නොව, රටේ සේනාධිනායකයාට පමණයි.

      @ රසික. කඳුළු ගෑස් ගහන්නේ පොලීසිය මේ පොලීසිය නෙවෙයි.

      Delete
  6. මම දන්න තරමින් වරායට පිටස්තරයෙකුට කිසි සේත්ම ඇතුල් වෙන්න බෑ..

    පළමුවෙන් සොයා බැලිය යුත්තේ, මාද්දියවේදීන් කියන බත් බැලයන්ට ඇතුලර එන්න දුන්නේ කව්ද කියන එක..

    මුලින්ම දඬුවම් කළ යුත්තේ ඔවුන්ටයි...

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන්ම මාත් එකඟයි. රටක මෙවැනි මර්මස්ථාන ඉතා ආරක්ෂිතව තිබිය යුතුයි. පිට රටකින් කොක්කක් පටලවා ගන්ඩ නොදී බේරගත්ත එක මදෑ

      Delete
    2. මාතේ මේක ඉතාම සැලසුම් සහගත වැඩක්. ඔය මාජ්ජ වේජියා එතනට යැවීම සැලසුම් සහගතව කල දෙයක්. මේක ලොකු ගේම් එකක් ගහන්න කල උත්සාහයක්. නමුත් අර උඹ කිව්වා වගේ 'කැප්ටන් හැඩොක්' දුන්නා puka නැතිවෙන්න.

      Delete
  7. මුහුණු පොතේ තිබුන පින්තුරයකට අනුව මේ නාවික හමුදාපතිතුමා යෝශිත රාජපක්ෂට සමරු ඵලකයක් නිරාවරනය කරන්න දෙනවා. එමෙන්ම ඔහු කියනවා මෙයා කවුද කියලත් කා සමඟද හිටියේ කියලාත් මා කාලයක සිට දැනගෙන හිටියා කියලා. එහෙනම් යම්කිසි සාධාරන සැකයකුත් එනවා එයාත් එක මල්ලේ ලුනු කාපු අයෙක්ද කියලා. තවත් පැත්තකින් මේ විඩියෝ ක්ලිප් එක බලලා විතරක් කියන්න බෑ ඒ වෙච්චි සිද්දිය ගැන. කවුද දන්නේ මේ මාධ්‍යවේදියා නාවික හමුදාපතිතුමාට මල පනින්න කොචොක් පාරක් දැම්මා කියලා.
    කොහොම නමුත් මට කියන්න තියෙන්නේ මාධ්‍යවේදියාට නිකං ගහන්නේ නෑනේ. ගහන්නත් සාධාරන හේතුවක් තියෙන්නත් ඇති.

    ReplyDelete
    Replies
    1. හමුදා නිලධාරීන් තුළ දේශපාලන මානසිකත්වය වර්ධනය කලේ පසුගිය රජයයි. ත්‍රිවිධ හමුදාවතුලට දේශපාලනය රිංගවා, විවිධ භේදභින්නකම් ඇතිකළේ පසුගිය රජයයි.

      අන්න අර ඊයේ පෙරේදා පොතක් ලියපු ජනරාල් තුමා ඉස්කෝලයක් ලඟදි ළමයෙකුට ගහන්න ගිහින්.

      මාධ්‍යවේදියකුට තියා සාමාන්‍ය මිනිහෙකුටවත් ගැහීම වැරදියි නමුත් මේ මාජ්ජ කාරයා හමුදාවට බාධා කළා. මමනම් ඌව උස්සලා මූදට දාලා ආපහු පණපිටින් බේරාගන්නවා.

      Delete
  8. අඬුව තියාගෙන අත පුච්චා ගැනීම කියන්නේ මේවට. ආණ්ඩුව විතරක් නෙමේ හමුදාවත් අත පුච්ච ගන්න සයිස් එකට වැටීම හාස්‍යයක්. විචා ලියා තිබෙන "මේ ප්‍රශ්නය විසඳන්න කළයුතුව තිබුණේ කුමක්ද? "කොටස කියෙව්වාම මට හිතුනේ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. මේ ඔපරේෂන් එකට ඉක්මන් වුණා වැඩියි කියලා මම හිතන්නේ. යුද්දේ නැති නිසා, දැන් දැන්, යුද උපක්‍රම අපෙන් අමතක වෙලා යනවා වගේ.

      Delete
    2. ඔයාගේ බ්ලොග් එකේ කෙමෙන්ට් දාන්න බැහැනේ ..මම කෙමෙන්ට් 2 ක් දැම්මා ඒවා නැහැ
      අරූ අයියන්ඩිට

      Delete
    3. මෙන්ඩා.....ස්පැම් එකෙත් නැහැ බං. අයි ඩෝන්ට් නෝ වයි.

      Delete
  9. මගේ කෙමෙන්ටුව කපා හැර තිබේ

    ReplyDelete
    Replies
    1. අහුවෙයකෝ මට. කපනවා තොගෙ ව්‍යාඝ්‍රා

      Delete
  10. කතන්දරේ අහපු ගමන් මගේ මතය තිබුනේ සම්පූර්ණයෙන්ම නේවි කමාන්ඩර්ට එරෙහිව, පසුව ෆොටෝ එකක දැක්කේ ගුටි කන ඉරියව්වකට වඩා ඉල්ලගන කන්න යන කෙනෙකුගේ ඉරියව්, ඒ කැමරාමන් එතතින් ඉවත් කළයුතු බවට සැකයක් නෑ, නමුත් අනිත් මාධ්‍යෙවදීන් ඉන්නේ කොහෙද, ඔවුන්ගේ කැමරාවලින් ගැලවෙන්නේ කොහොමද කියා කිසි තැකීමක් කරලා නෑ, ඔහු නේවි එකේ නොසිට ආර්මි එකේ හිටියානම් කොටින්ට බොහොම ලෙසි ඉලක්කයක් වෙන්න තිබ්බා.

    මම එයා වුනා නම් මම කරන්නේ කැමරාමන්ට තව ඇතුලට එන්න දීලා කැමරාවේ චිප් එක අරගෙන මනුස්සයව එළියට දානවා මුවාවූ පැත්තෙන්, පරණ කෙන්තියකුත් තියේ නම් පස්සට පයින් ගහන්නත් පුළුවනි.

    හම්බන්තොට පොලීසිය ගැන දන්නා කිසිවෙක් ඔය මෙහෙයුමට පොලිසිය ගන්නේ නෑ. ඔබ යෝජනා කරන විදිහට විදිහට බෝම්බත් ගහගෙන ආවා නම් ...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ, නේවි කමාන්ඩර්ට එරෙහිවීමේ වැරැද්දක් නැහැ. අපි හැමදාමත් කරන්නේ එකවරම දකින දේ ඇත්ත ලෙස පිළිගැනීමයි. කලබල නොවී හොන්දවිශ්ලේෂණයක් කලාම තමයි ඇත්ත එලියට එන්නේ.

      මේ මාජ්ජ කාරයා මොකටදාර් කැරලි කණ්ඩායමේ ආරක්ශාවයටතේ ඒ අස්සෙම හිටියේ. හොඳ උස තැනක් බලලා එතන ඉඳලා සූම් කරගත්තානම් හොඳ වාර්තාවක් ගන්න තිබුණා. මූට ඕනෙවුනා නේවි ඒකෙ අයගේ මූණු ක්ලෝස් අප් ගන්න. ඒවා නැවත නැවත දමමින් පෙන්වන්න. ඒ වගේම තවත් අය අතට ඒ පින්තූර ලබාදෙන්න, මතු ප්‍රයෝජනය සඳහා.

      අනේ අපේ කොමාන්ඩර් උන්නාන්සේලාවත් දන්නේ නැහැනේ කාමරයක් අක්‍රිය කරන හැටි.

      හෙහ් හෙහ්, මම දන්නේ නැහැනේ හම්බන්තොට පොලීසිය එච්චර වැඩකාරයෝ ඉන්න තැනක් කියලා.

      Delete
  11. විචාරකගේ ඇක්ෂන් ප්ලෑන් එකට A ග්‍රේඩ් එකක් දෙනවා. නමුත් ඔබගේ මේ ලිපියට මම දෙන්නේ B- , හරිය.

    මොකද මේ ලිපියේ නාවික හමුදාපතිට බොහොමයක් සුදු හුණු හා මාජ්ජ වේජීන්ට කළු තෙල් (ටිකක් විතර) එල්ලවේ ඇති බව පේන්ඩ තිබෙන නිසා.
    මුලින්ම මෙතන වර්ජනයක් කරන්ඩ දෙයක් තිබිල නෑ. පොලිසියෙන් ඇවිල්ල පුකට දෙකක් ගහල එලෙවන්ඩ තිබ්බ කේස් එකක්.
    නේවි එකෙන් වැඩේ සෙටල් කරපු එක හොඳයි නමුත් ලොක්කට මෙතන ඇවිත් චාටර් නොවී රිමෝට් කොන්ට්‍රෝල් පාරක් දාන්ඩ තිබුණා (ඔච්චරටම වැඩේට බහින්ඩ ඕන නං).

    පොලිස්පති කසිප්පු අල්ලන්ඩ යනවා අහල තියෙනවද? අඩුම ගානේ මේ SP කෙකෙන් වත්. යස අගේට මුදේ පැනල නාන්ඩ තිබ්බ එකේ අපරාදේ කියන්ඩ බෑ ගොඩ ඉඳලම නා ගත්තා හොඳට සබන් ගාල උලලා හිටං.

    කොච්චර කිව්වත් ලොක්කා ඇඳලා ඉන්නේ වැඩ ඇඳුමක් නෙවෙයි බන්. මේක ෆිසිකල් ට්‍රේනිං වලට අඳින ඇඳුමක්. වැඩ ඇඳුමට දාන මේස් සපත්තු වල පාට පවා පොතේ තියෙනවා. කොලපාට ෂෝයි ජොගින් ෂුස් දාන්නේ නැහැ වැඩ ඇඳුමට. අනික කෝ හිස් ආවරණ?. වැරදිලා හරි ගල් පාරක් හරි ආවනම් ලොක්කගේ ඔලුව යකඩද? ඊට පස්සේ ඉතින් බුදු අම්මෝ... අපේ ලොක්ක නැතෝ... තමයි. ඇරත් අරූට ගහන්ඩ ඕනෙම නං අර වටේ ඉන්න කොල්ලෙක්ට කිව්වනං හරිනේ නිකං මර්වින් සිල්වා වෙන්ඩ යන් නැතුව.

    හැබැයි ලොක්ක නං නියම සිංහල පොරක්. භාෂාවේ තියෙන සේරම උපමා මේ කේස් එකට හරි යනවා. අඬුව තියෙද්දී අත පුච්චගන්නවා වගේ . එහෙම නැත්තන් බල්ලාගේ වැඩේ බුරුවා කරන්ඩ ගියා වගේ කියල. ලොක්කත් දැනගන්ඩ ඕනේ කුඩු කෑවත් කිරිත්තමට කන්ඩ.

    ඕව පැත්තකින් තියමුකෝ, හැම කොල්ලටයි බල්ලටයි වරාය ඇතුලට යන්ඩ නොදෙන්ඩ හේතුවක් තියෙනවනේ. එතකොට කොහෙවත් නැති මාජ්ජ වේජීයෙක් මේකට ගියා කියන්නේ කොහොමට ඇද්ද මේ වරායේ ආරක්ෂාව?. ඕකට කාර් බාන නිසා හොඳයි. නැත්තං පරිප්පු සීනි එහෙම ලාබෙට ගන්ඩ තිබුණා මාගම්පුරෙන්.

    ජයවේවා!, ඕන් අපි ගියා.

    ReplyDelete
    Replies
    1. ඔය බාන වාහනවලත් කෑලි ගලෝන සීන් එකක් පහුගිය කාලෙ තිබුණ වගේ මතකයි.

      Delete
    2. හැට්ටරේ. උඹ නිතර මේ පැත්තේ එන්නැති එක ගැන දුකයි. උඹේ අදහස් මට හරියට වටිනවා. මම නාවික හමුදාපතිට සුදුහුණු ගාන්නේ නැහැ. නමුත් ඔහු ඒ වෙලාවේ යම්කිසි ප්‍රකෝප කරවීමකට ලක්වුනා. එහෙම කියලා ගහන්න බලයක් නැහැ. නමුත් අනික් අතට අපි හමුදාකාරයන් හැටියට මේ වගේ අවස්ථා මහා ගොඩකට මුහුණ දීලා තියනවා. උඹ දන්නවද මේ වගේ ගෝරියක් සයිලන්ස් කරන්න මුලින්ම කරන්න ඕනේ කාපු මකුණා නොකාපු මකුණා නොබලා හත් අට දෙනෙකුට කනේ පාරවල් ටිකක් දෙන්න. ටක් ගාලා ඇම්ම සුවවෙලා අපි කියන දෙ අහන තත්වයට එනවා. ඊට පස්සේ ඒ මිනිස්සු සාධාරනදාසාධාරණද කියන එක අහන්න අපි කැමතියි. හැබැයි අපහාස, ප්‍රකෝප කිරීම් නැතුව.

      ඇත්ත. ලොක්කට මේ වැඩේ රිමෝට් කන්ට්‍රෝල් කරන්න තිබුණා.

      ඒයි මතක තියාගනින්, කපුවට දේවාලේ ඇතුලේ පහරන්න පුළුවන්. කොමාන්ඩර්ට පුළුවන් සම්පූර්ණ නිල ඇඳුමෙන් කෑල්ලක් අඳින්න. එව්වා ගැන ප්‍රශ්න කරන්න බලයතින්නේ සේනාධිනායකයාට විතරයි.

      මාජ්ජ වේජියා රින්ගේව්වේ ඔය කුමන්ත්‍රණය දුරසිට මෙහෙයවන පිරිස විසින්. තොරතුරු මූලාශ්‍රය රහසිගතයි, නමුත් සත්තයි.

      Delete
  12. "ඩී.බී.ධනපාල, ගුණදාස ලියනගේ, බෙනඩික්ට් දොඩම්පෙගම, එඩ්මන්ඩ් රණසිංහ, දෙල්තොට චන්ද්‍රපාල, ධර්මසිරි ගමගේ, පෙරමුණේ තිලක, එඩ්වින් ආරියදාස, වැනි පත්තරකාරයන්ගෙන්" මේ ඉන්නෙ සැබෑ මාධ්‍ය වේදීන් එවැනි අය අතලෙසේසක් තවමත් ඉන්නවා. වැඩි පුර ඉන්නෙ කුණු ගොඩවල් අවුස්සන කාක්කන් වගේ පිරිසක්. මාධ්‍ය හැඳුනුම් පත දීමට කිසියම් නිර්නායක මට්ටමක් සැලකිල්ලට ගන්නෙ නැතිද ?

    ReplyDelete
    Replies
    1. අන්න එක තමයි ගුණසිංහ මහත්තයෝ. එක පිරිසක් ඉන්නවා මාධ්‍යවේදී හැඳුනුම්පතෙන් ජනාධිපතිතුමාගේ නිදන කාමරයටත් රිංගන්න පුළුවන් කියලා හිතන.

      Delete
  13. .
    [ තුන්වනුව බලය පාවිච්චිකොට ඉවත් කිරීමටත්, හැකියාව තිබෙනවා]
    නාවික හමුදාපති අණ දීමේ වැඩේ නොකර බලය පාවිච්චි කිරීමත් තමන්ම කොරන්න ගිය එක ටිකක් අවුල් වගේ.
    ,
    නාවික හමුදාපතිගෙ ආරක්ෂාව ගැන බලන්න එයා කිට්ටුවෙන් කට්ටිය ඉන්නෙ නැද්ද ?
    .
    අර එක පාරක් හිටපු ජනාධිපතිතුමා රැස්වීමකදි කාටදො ගහන්න හදද්දි ආර්ක්ෂකයෝ එතුමාව වළක්වලා පැත්තක අරන් ගියේ. ඒ වගේ දෙයක් මෙතනදිත් වෙන්න ඕනි නැද්ද ?

    ReplyDelete
    Replies
    1. නාවික හමුදාපති ඉක්මන් වුණා වැඩියි. උනුවෙන්ම බොන්න ගියාම දිව පිච්චෙනවා.

      නාවික හමුදාපතිගේ ආරක්ෂකයන් තමයි ළඟ හිටියේ. එයාලා අතදාන්නේ නාවික හමුදාපතිට කෙලින්ම ප්‍රහාරයක් එනවානම් පමණයි.

      මෙතනදීත් ආරක්ෂකයන් විසින් අර මාජ්ජ වෙජියාව ඉවත් කළා තව කන්න කලින්.

      Delete
  14. විචා මාමේ. බ්ලොග් බරගානක මේ ජල්තරස් සීන් එක ගැන කොමෙන්ට් කොලා. දැන් ඉතිං සතියක් විතර මේ ජවනිකාව පල් උන නිසා දැන් කිසිම ආතල් එකක් නැහැ.

    ආදරණිය මාද්‍ය කරුවනේ..
    ඉක්මනට තව නිවුස් එකක් බොලාට හදල හරි ගන්ට බැරි උනොත් බොලාටත් උද්ගෝෂණ කොරල ලේක්හවුස් එකේ ස්ථිර රැකියාවක් තමයි හොයාගන්ට වෙන්නෙ.

    අවුලක් නැහැ. හෙට මහින්ද මාමි බලයට ආවහම මහින්දට කියල මාගම්පුර පැත්තේන් ලේක්හවුස් එකක් හදවගනින්. හැක හැක.. 😂😂😂

    ReplyDelete
    Replies
    1. අම්මපා අපිත් මොකක්හරි අහුවුනාම ලියනවා නිකම් මැල්ලුම් ලියනවා වගේ. මේකයි වැඩේ අපි ඔක්කොටම කියන්න යමක් තියනවා. ඉතින් ඒ ටික කියන්නම වෙනවා.

      මාධ්‍යකරුවෝ ඇයි අල්ලාගන්නේ නැත්තේ ප්ලේන් එක කඩාවැටිලා ජනාධිපති සිරිසේන මැරෙනවා කියලා අර සාත්තර ගොබිලෙක් කියලා තියන එක. අද ජනාධිපතිතුමා මැලේසියාවට යනවා. මැලෙසියාවෙදිනේ අර ගුවන් යානයක් අතුරුදන් වුනෙත්.

      මහින්ද මාමි කියලා තිබුණා එයාගේ රජයක් යටතේ මේ වරාය සේවකයන් වරායට බඳවා ගන්නවා කියලා. ඉතින් මේ වරාය විරුවන්ට කරන්න තියෙන්නේ මහින්ද මාමි එනතුරු වරායේ රස්සාව අතහැරලා දාන එකයි.

      Delete
  15. ගිටාර් එකක් අරගන කෝඩ් දෙක තුනක් ගහගන්න පුළුවන්වුනගමන් සංගීතඥයෙක් වෙන රටක, DSLR කැමරාවක් අරන් බෙල්ලේ එල්ලගත්තු හැටියේ වෘතීමය ඡායාරූප ශිල්පියක් වෙන රටක, පාට ටිකක් උලාගන්න පුලුවන්වුන ගමන් ප්‍රොෆෙශනල් බියුටීශියන්ලා බිහිවෙන රටක, පෑනක් අතටගත්තු ගමන් මාජ්ජවේජියෙක් වෙන්න බැරි ඇයි???  ඊයා විචා මාමේ ඔයත්...

    ReplyDelete
    Replies
    1. අම්මපා කසුට්ටෝ උඹේ කටේ ටොපියක් දාන්න වටිනවා මේ තිත්ත ඇත්ත කියලා දුන්නට.

      Delete
  16. මේ ගැන කතාකර ඇති නිසා දැන් කියන්න විශේෂ දෙයක් නෑ. ලිපියට සම්බන්ධ කරුණු දෙකක් තියනව.
    එකක් වර්ජකයන් පිටුපස රජා ඇතළු පිරිස ඉන්නව කියන එක අර්ධ සත්‍යක්. පිරිසට ජොබ් දුන්නෙ එයාල බව ඇත්ත වගේම මේ මිනිස්සු වරායෙ රැකියා දෙනව කියල කොම්පැනියක අතරමං කල එකත් ඇත්ත. හැබැයි වරාය බදුදීමත් එක්ක රැකියාවල යෙදෙන්නන්ට ඇතිවන අවුලක් තියනව. ඒ අර්ථයෙන් උද්ඝෝෂණයේ සාධාරණත්වයක් තියනව.

    නේවි ලොක්ක ගිය එක සේනාධිනායකයාගේ අනුදැනුමෙන් වෙච්ච වැඩක් වෙන්න බෑ. මොකද මෙහෙම කතාවකුත් තියනව

    ReplyDelete
    Replies
    1. වර්ජකයන් පසුපස ඉන්නේ රජා නෙවෙයි. ඔහුගේ අනුගාමී බලවේග. ඒ ගැන අපි ඔක්කොම දන්නවනේ රාජ්.

      මේ මිනිස්සුන්ට පහසුවෙන් කොළඹ වරායේ රැකියා දෙන්න පුළුවන්. රාජ් දැක්කද මේ අයගේ නියෝජිතයෙක් රූපවාහිනියට කිව්වා කොළඹ වුනත් කමක් නැහැ කියලා. මෙතන ඒ විදිහේ විසඳුමක් තියෙන්නේ, අර්ජුන රණතුංග ඒ ගැන උනන්දු වෙන්නෙත් නෑ. මේ මිනිස්සුන්ට ඒ සඳහා එකඟ වෙන්න ඒ මිනිස්සුන්ව නටවන බලවේග ඉඩ දෙන්නෙත් නැහැ. ඔන්න ඇත්ත.

      සේනාධිනායකයා දන්නේ නැහැ. නේවි ලොක්කා කූඹියෙක් මරන්න මෝල්ගහක් පාවිච්චි කළා.

      Delete
  17. වරායේ නැව්වලට හා උපකරණවලට හානි කිරීමට තර්ජනය කල එවුනුටත්, මාජ්ජකාරයාට එන්න දුන් එවුනුටත්, මාජ්ජ කාරයාටත්, ගහන්න පනින නාවික හමුදාපතිටත් ඔක්කොටම වැරද්දේ ගාණට දඬුවම් දුන්නනම් හරි නේද?

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. සහතික ඇත්ත. ඒකතමයි කරන්න ඕනේ.

      Delete
  18. දෙපැත්ත තුළම සාධාරණ හේතු තියෙනවා

    ReplyDelete
    Replies
    1. නමුත් දෙපැත්තම වැඩේ අනාගත්තා.

      Delete
  19. විචාරකතුමාගේ කලින් ලිපියකටත් මම කමෙන්ට් කළා මෙහෙම...
    “දැන් ඉන්නේ ජනමාධ්‍යවේදීන් නොවේ.. ජඩ මාධ්‍යවේදීන්ය“
    ඒක මේකටත් අදාළයි

    ReplyDelete
    Replies
    1. ජඩ කියන වචනෙත් හොඳ වැඩිද මන්දා. සමහරු ප්‍රවෘත්ති සාකච්ඡා වලදී ප්‍රශ්න අහන්නේ විත්තිකරුවෙකුගෙන් පොලීසිය ප්‍රශ්න කරනවා වගේ.

      Delete
  20. මේ ලිපිය දැක්කේ අද.
    බොහොම ස්තුතියි විචාරක තුමාට, හුදී ජන පහන් සංවේගය උදෙසා මේ සමබර ලිපිය ලියුවාට.
    නොදැන හිටපු බොහෝ තොරතුරු දැනගත්තා. රටක ජාත්‍යන්තර සම්බන්ධතා සෙල්ලමට ගන්නා, නිසි සුදුසුකම් වලින් තොරව බලයට පත් වූවන් විසිර යවන්නට, හමුදා බලය භාවිත කිරීම නම්, මම මේ ලිපිය කියවන්නට කලින් සිටම අනුමත කළා.
    (අකුරු වැරදි ඇති, සමාවෙන්න මට)

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }