මගේ පියා හොඳ ගුරුවරයෙක් නිසාම ඔහු සතු දැනුම අපට ලබාදෙන්නට නිතරම කටයුතු කළා. ඒ වගේම එය නිවැරදිව හා සදාකාලික මතකයේ රැඳෙන අයුරින් උගන්වන්නට ඔහුට සහජ දක්ෂතාවයක් තිබුණා.
පාදපරිචාරිකාව
දිනක් අප සියලුදෙනා නිවසේ සිටින අවස්තාවක එවකට මා පාසලේ 7 ශ්‍රේණියේ පමණ ඉගෙනුම ලබන කාලයේ එකවිටම මගේ පියා මගෙන් ඇසුවේමගේ පියා - පාදපරිචාරිකාව කියන්නේ මොකක්ද දන්නවද ?
මම - අනේ මං දන්නෑ......
මගේ පියා - ඇයි ළමයෝ.......... බයිසිකල් රේස් එක කියන්නේ ඒකට තමයි.
මම - අනේ යන්ඩ බොරු නොකියා ( ඔහු කියූ විලාශයෙන් හා ස්වරයෙන් මා දන්නවා එය බොරු කියලා)
බයිසිකල් රේස් ඉතින් හරි
( ඔය අතර මගේ මව දැන් හිනාවෙනවා. ඊට පස්සේ අපේ අම්ම කීව අනේ ඔය ළමයට කෝළන් කරන්නැතුව හරි තේරුම කියන්න කියලා )
මම - අනේ.... තාත්තේ ඇත්තටම මොකක්ද තේරුම කියලා මම ඇහුවා. මොකද ඒ වෙනකන් මම ඒ වචනේ අහලා නොතිබ්බ නිසා
මගේ පියා - හරි එහෙනම් මෙන්න හරි තේරුම හොඳට මතක තියාගන්න .
පාදපරිචාරිකාව කියන්නේ - භාර්යාව කියලා
පාළහ
තවත් දිනයක අපි සියලු දෙනා මාතර ප්‍රදේශයේ චාරිකාවක් ගියෙමු. ඒ මගේ ප්‍රථම මාතර සංචාරයයි. පොල්ගහවෙලින් රැජිණ දුම්රියේ මාතරට ගමන් කළ අතර , දුම්රියෙන් බැස පිටතට පැමිණි වහාම දර්ශනය වූයේ බක්කි කරත්තයි. ජීවිතයේ සියසින් බක්කි කරත්ත දුටුවේ එදිනය. ඊට පෙර රූපවාහිනියේ බක්කි කරත්ත දැක තිබුණි. බක්කි කරත්ත වලින් දුම්රියපොළේ සිට කුළි රථ සේවයක් තිබුණි . එම බක්කි කරත්ත කරුවන් අමුතු වචනයක් කියමින් කෑගසනවා මට ඇසුණි.
කුලී රථ හිමියන් - පාළහයි. පාළහයි . එන්න එන්න මහත්තයා පාළහයි.
මම - ( සිතින් කලපනා කරන්නේ මොකක්ද මේ කියන්නේ කියාය ) තාත්තේ....... මොකක්ද? අර මිනිස්සු කියන්නේ මට තේරෙන්නෑ..........
මගේ පියා - ආ............ දැන් තේරුනාද වෙනස දැන් මේ අපි ඉන්නේ මාතර. මේ පැත්තේ අය කතාකරන විදිහ ටිකක් වෙනස්. ඒකට අපි කියන්නේ ප්‍රාදේශීය ව්‍යවහාර කියලා ...........
දැන් ඔය කියන්නේ
පාළහ - ඒ කියන්නේ පහළව
අර බක්කි කරත්තේ යන්න අය කරන ගාණ තමයි ඒ කියන්නේ ( පුදුම නොවන්න. මං මේ කියන්නේ 1992 සිද්ධියක් පිලිබඳවය. )
සකඳ මලයි - බබළු වැලයි
මෙය නම් මගේ පියා විසින් කියාදෙන ලද්දක් නොවන අතර , මෙය වචනාර්ථයක් නොව උපමාවකි. මා මෙය ඉගෙන ගත්තේ මගේ ගුරුතුමෙකු වූ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙනි. ඔහු විසින් ආදී මානවයා හා ඔවුන්ගේ පැරණි තාක්ෂණය පිලිබඳ දේශනයකදී මෙම උපාමව ගෙන හැර පෑවේය. ඔහු පැවසූ ලෙසට මේ උපාමාව භාවිතා කරන්නේ හොඳ පෑහීමක් පිලිබඳ කියනවිටය. අපේ පැරැන්ණන් මගුල් ගෙවල් වලදී මනාල යුවල විවාහ ජීවිතය ගතකළ යුත්තේ කෙසේදැයි විග්‍රහ කිරීමට මේ උපමාව යොදාගත් බව පැවසෙනවා.