25 November 2017
18 November 2017
කළුදිය පොකුණේ මාරයාට අත වැනීම
මේ සිද්ධිය සිදුවුණේත් ඉතින් මටම තමයි . විශ්ව විද්‍යාල ජීවිතයේ සුන්දර වගේම අසුන්දර දේවලුත් තියෙනවා. විශේෂයෙන් ඉතින් ගෙදර තියන සැප එහි නෑ කියන්න කවුරුත් දන්නවා. මෙහිදී විශාලම ප්‍රශ්නය තමයි ජල ප්‍රශ්නය. වියළි කලාපයේ පිහිටි මෙම විශ්ව විද්‍යාලයට ජලය සපයා දුන්නේ අනුරාධපුර නුවර වැවෙන් . එහෙත් සමහර කාලවල පවතින ජල ධාරිතාව අනුව නිකුත් කරන්න පුළුවන් ජල ප්‍රමාණය බොහොම සීමිතයි . සමහර වෙලාවට මෝටර් පිච්චෙනවා . සම්ප් කැඩෙනවා. ඉතින් ඔහොම තත්වයන් සුලබ නිසා වැඩිය හිතන්නෙත් නෑ.
මිහිතලේ පැරණි නටබුන් අතර කළු දිය පොකුණද සුවිශේෂී වෙනවා. පැරණි අනුරාධපුර යුගයේ භික්ෂූන් වහන්සේලාට හා රජාකීයන්ට ජල මූලාශ්‍රයක් වූ කළු දිය පොකුණ වර්තමානයේ මිහින්තලේ අවට සාමාන්‍ය ජනතාවගේ හා සංචාරකයන්ගේ තෝතැන්නක්. එහෙත් මෙහි පිටතින් පෙනෙන සුන්දරත්වය අභ්‍යන්තරයේ නොමැති අතර , සෑම වසරකට වරක් බිලි ගන්නා ස්ථානයක් ලෙස ප්‍රසිද්ධ අතර එහි ගැඹුර ස්ථානය අනුව වෙනස්වීම සුවිශේෂී ලක්ෂණයක් .
කළු දිය පොකුණ |
මෙකි නොකී කථා ගැන දැන සිටියත් මෙහි සුන්දරත්වය බලන්න වගේම එහි ජල අසිරිය විදගන්න ගිය අවස්ථා නැතිවාම නොවෙයි. මා නාන්න නොගියත් මේ සිදුවීමට පෙර දිනයක යෙහෙළියන් කිහිප දෙනෙක් සමග ජලස් නානය සදහා මෙහි ගොස් ඇත්තෙමු . මෙහි ඇති වටපිටාවේ පැරණි ස්මාරක විශාල සංඛ්‍යාවක් දැකිය හැකි වන අතර, ඔබට ඉහත රූපයේ දැකිය හැකි පරිදි මෙම පොකුණ මධ්‍යයේ කුඩා වේදිකාවක තනන ලද ස්මාරකයක්ද වෙනවා. විශාල ගල් පර්වතයන් ද ගස් හෙවනක් ද ඇති නිසා මෙහි ජලය අඳුරු පැහැයක් ගන්නවා.
හරි දැන් කථාව පටාන් ගන්නයි යන්නේ.
මා එවකට තෙවැනි වසරේ සිටි ශිෂ්‍යාවකි . ඒ දිනවල ඉතා දැඩි ලෙස ජල ප්‍රශ්නයකට කාන්තා නේවාසිකාගාරවල සිටි ශිෂ්‍යාවන් මුහුණ දී සිටියා. එනම් විශ්ව විද්‍යාල අභ්‍යන්තරයේ පිහිටි කාන්තා නේවාසිකාගාරවලට ප්‍රමාණවත් ජලය නොමැතිවීමයි . එමනිසා සීමිත ලෙස ජලය පරිහරණය කිරීමට සිදුවුණා. වියළි කාලගුණය හමුවේ ජලස්නානය නොමැතිවීම ද ගැටළුවක් වුණා. මේ විදියට දින දෙකක් පමණ ගතවී තිබූ අතර පසුදින දහවල් දේශන නිමවී මා නේවාසිකාගාරයට ආවේ කෙසේ හෝ ස්නානය කර මෙතෙක් සෝදාගත නොහැකි වූ රෙදිද සෝදා ගතයුතුය යන හැඟීමෙනි. එහෙත් මා මගේ කාමරයට යනවිට මගේ කාමරයේ තවත් යෙහෙළියන් දෙදෙනෙක් පැමිණ සිටියා. ඔවුන් කීවේ මා කිසි ලෙසත් බලාපොරොත්තු නොවූ කතාවක්
මම - මං ආවේ නාල රෙදි හෝදගන්න . වතුර තියද බං
රොෂාන්ති - අපිත් ආවේ ඒකට තමයි . ඒ වුනාට වතුර තියෙන්නේ සවර්ණපාලියේ විතරයි .
චන්දිමා - මං ගිහින් බැලුවා. පෝලිම තියනවා කිලෝමීටරයක් විතර .
මම - දැන් මොකද කරන්නේ. අද faculty meet එකේ volley ball match අපේ කොල්ලොත් ඉන්නවා. හවස ඒක බලන්න යන්නත් ඕන. ම් ........... වැඩක් නම් තියනවා ............ හැබැයි කාටවත් කියන්න බෑ.........
රොෂාන්ති - මොකක්ද ?
මම - අපි යන් කළු දිය පොකුණට නාන්න . එතකොට රෙදිත් හෝදගන ආව හැකි .
රොෂාන්ති - වැඩේ නම් නියමයි. අපි කොහොමද යන්නේ ?
මම - අණබෙර ගහන්න බෑ. අපි තුන්දෙනා විතරයි . රෙදි දාගම්මු ටියුලිප් බෑග් එකකට. මේ ඇඳුම් පිටින් යමු . හොඳ ඇදුම් ඇඳගන ඇවිත් මෙහිදී මාරු කරමු .
චන්දිමා - ඒ බං මට පීනන්න බෑනේ. මං කොහොමද නාන්නේ ?
මම - උඹ ගනින් කෝප්පයකුයි, පොඩි බාල්දියයි ඒකත් දාගන්න කවරයකට
රොෂාන්ති - කාංචනයි චතුයි ඉනොයි ආවොත් අපිව හොයයිද ?
මම - ඒ උනාට උන් එනකන් අපිට ඉන්න බෑ. අනිත් එක උන්ගේ lectures ඉවර වෙන්නේ 4.30 ට අපට එතකන් ඉන්න බෑ. උන් කෙලින්ම volley ball match බලන්න එයි.
රොෂාන්ති - හරි එහෙනම් අපි යන්
අප නේවාසිකාගාරයේ පිටුපස ගේට්ටුව අවතීර්ණ වෙන්නේ මිහින්තලේ ගම්මානයටයි .මිහිඳු මාවත ලෙස නම් කල මාවතේ දෙපස නිවාස පිහිටි අතර , නිවාස තිබෙන පෙදෙස පසුවන විට අට සැට ලෙන්වල කොටසක් දැකිය හැකිය. ඉන්පසු නුවර - යාපනය (A9 ) මාර්ගයට අවතීර්ණ වේ . එහිදී පාරේ අනෙක් පසින් කළු දිය පොකුණේ පිවිසීම දැකිය හැකිය.
දැන් ඉතින් ඔන්න කයියකුත් ගහගෙන එතෙන්ට ගියා කියමුකෝ . එදා දවසෙම මගේ ග්‍රහචාරයේ අවුල එතනදිත් හොඳට දකින්න පුළුවන් වුණා. කළු දිය පොකුණේ හැම තැනින්ම නාන්ඩ බහින්ඩ බෑ. නාන තැන් කීපයයි තියෙන්නේ . ඒ වගේම ගැඹුර වැඩි සහ අඩු තැන් තියනවා. අනේ.......... අපි යනකොට නාන්න පහසුම තැන සර් කෙනෙක් ළමයින්ට පීනන්න පුහුණු කරනවා. ( ඉහත රූපයේ පඩිපෙළ වැනි කොටස ළඟ ) එතන බොහොම ලේසියි . වැඩිය ගැඹුරු නෑ. තවත් තැනක කොලු රෑනක් නානවා. ඔය විදියට දැන් නාන්ඩ තැනක් පෙන්න නෑ. හැබැයි වැඩේ අතාරින්නත් බෑ. ඔහොම ඉන්නකොට මන් දැක්ක ගලක් ලඟ ගෑනු කෙනෙක් නානවා. ඒ වගේම ගලක් අපි ඉන්න තැනත් තිබුණා. මං යෝජනා කරා එතන නාමු කියලා. කරන්න දෙයක් නැති නිසා අපි එතෙන්ට ගිහිල්ලා නාන්න ලැස්ති වුණා.
නෑමට යොදාගත් ස්ථානය |
ඇත්තම කියනාවන් මේ වගේ තැන්වල නාලා වැඩිම පුරුද්දක් තිබුණේ රොෂාන්තිට.ඇය මැදිරිගිරියේ වැව්වල, ජලාශවල නාල පුරුදුයි. මට පීනන්න පුළුවන් වැඩියම නාල තියෙන්නේ කැළණි ගඟේ වැව්වල නාල වැඩි අත්දැකීමක් නෑ. චන්දිමා මන්දාරම්නුවර ඒ කියන්නේ නුවරඑළියේ. ඇයට තිබුණේ ගේ පල්ලෙහා ඇළ පාරේ තිබෙන අත්දැකීම විතරයි.
චන්දිමා කිවුව ගල්පොත්ත උඩ වාඩිවෙලා එයා හිමින් සැරේ වතුර අරන් නාන්නම් බහින්න බෑ කියලා. මටත් ඕන වුණා මෙතන ගඹුර ගැන අදහසක් ගන්න . ඒ හින්දා මං රොෂාන්තිට කිවුවා වතුරට පැනලා බලන්න කියලා. ඒ අතර මට ඇහෙනවා නිකන් ලාවට
අක්කේ ................... බහින්න එපා කියලා වගේ
....................... අක්කේ බහින්න එපා
වටේම බැලුවාම නිකන් හිතුණා අර කොලු රෑන ද කොහෙද කියලා ඒ වුනාට ඒවා හිතන්න ගියේ නෑ. අපි හිතුවේ කොහෙන් හරි ආපු එවුන් වගයක් අපිව විහිළුවට අරගෙන කියලා. මගේ යෝජනාව පිළිගත්ත රොෂාන්ති වතුරට පැන්නා කිසි ගින්නක් නෑ එයා හොඳට පීනලා පෙන්නුවා කිසි අප්සට් එකක් නෑ බං මෙතන ගැඹුර අවුලක් නෑ කියලා ඇය කීවා. ඇත්තටම ඇය මට වඩා කෙට්ටු, මගේ උස හා සමාන ඇත්තියක් ඉතින් මාත් මොකද කියලා
පැන්නා කළුදිය පොකුණට............. පැන්නම තමයි. එකපාර යටගියා. කකුල ගහනවා මොන වතුර විතරයි ..... මට දැන් සුදු කොඩි පේනවා. අර ඩබලගේ හිතේ මම නානවා කියලා ............... වතුර පෙවෙනවා එකසිය ගානට. දඟලලා................ දඟලලා.................. ආව වතුරින් උඩට
ඇවිල්ලා කෑ ගැහුවා රොෂාන්ති ............................ කියලා
ඒ වෙලාවේ රොෂාන්ති හිටියේ ගල උඩ රෙදි හෝදමින්. ඒවෙලේ තමයි එයා දැක්කේ මං නානවා නෙවෙයි ගිලෙනවා කියලා ..............
රොෂාන්ති ඒ වෙලාවෙම පැන්නා.............. වතුරට පීනලා ඈවිත් මගේ අතකින් අල්ල ගත්තා. ඒත් ඇයට මාව වතුරත් එක්ක අදින්න අමාරුයි. මගේ මහතත් ඊට බලපෑවා.මගේ අත යටින් එයාගේ අත කොක්කක් වගේ දාලා ඇය මාව ඇඟට හේත්තු කර ගත්තා. දැන් චන්දිමා හොල්මනක් දැකලා වගේ බය වෙලා කෑ ගහනවා. ඒ වුනාට කාටවත් වැඩිය සිද්ධිය නෝට් නෑ.
එකපාරටම රොෂාන්ති චන්දිමාට කෑ ගැහුවා . මම දැන් මේ අතින් මාධවිව අදිනවා. ඔයා මගේ අනෙක් අතින් මාව අදින්න ඕන කියලා. අනේ........... චන්දිමා ගල උඩ ඉඳගෙන දැන් රොෂාන්ති දික්කරපු අනෙක් අතින් එයාව අදිනවා. එතකොට අපි දෙන්නම ඇදෙනවා. රොෂාන්ති කකුල් ගසමින් ගල ලඟට ඇදෙන්න ගත්තා.
සියලු ප්‍රතිඵල සාර්ථක වී අපි සුරක්ෂිතව ගල නැග ගත්තා. එතැන් සිට රොෂාන්ති පමණක් දියට බසිමින් අපේ රෙදිද හොදා දුන් අතර , මටද ගල උඩ සිට ඉතුරු ටික නාන්න වූණා . ඉතා ඉක්මනින් දිය නා අවසන් කළ අප තිදෙනා නේවාසිකාගාරයට ගියා . යන අතරමගදී මා ඔවුන්ට කීවේ මේ සිදුවීම කිසිවෙක් සමග නොපවසන ලෙසයි. කෙසේ වෙතත් එදින නියමිත පරිදි volley ball match බලන්නත් ගියා. මං රොෂාන්තිට පිං දුන්නා මාව බේරගත්තට.
එතැනදී තමයි අපූරු සිද්ධිය වුණේ................
අපේ ජුනියර් බැච් එකේ මල්ලි කෙනෙක් මැච් එක අතරතුර මා ළඟට ඇවිත් අපූරු ප්‍රශ්නයක් ඇහුවා .............
අක්කේ ................... කළු දිය පොකුණේ නෑම මරු නේද ? කියලා............
මට නිකන් පොලොව පාලගන යට ගියානම් හොඳයි කියලා හිතුණා. ඊට පස්සේ ඒ මල්ලි ඔවුන්ගේ සිදුවීම කිවුවා. අක්කේ ඔතෙන්ට නාන්න ඉස්සෙල්ලම ගියේ අපි. එතැන අපේ කොල්ලෝ දෙන්නෙක් ගිලෙන්ඩ ගියා . පස්සෙ තමයි වෙන තැනකට ගියේ . අපි ඔයාලට කෑ ගැහුවා ..... ඔයාලට ඇහුනේ නෑ........ ඔයාලා නාන්න ආවානම් අපි එතන දීල යනවා. අපි එතකොට නාල ඉවර වෙලා හිටියේ .......... අක්කා ගිලෙනවා දැක්කා. අපි එන්න හදනකොට අර අනිත් අක්කා, අක්කව ගන්නවා දැක්කා. අවුලක් වුණේ නැති හින්දා අපි ආවේ නෑ........
මල්ලි, අනේ............. ගොඩක් ස්තූතියි. එත් මේ සිද්ධිය කාටවත් කියන්න එපා ........... කියලා මං ඉල්ලා හිටියා .අයියෝ..............පිස්සුද අක්කේ.............. ඒ සීන් එක එතනින් ඉවරයි . අක්කා මැච් එක බලන්න. මං යනවා කියලා ඌ මාරු වුණා................
එදා හවස ඇතිවෙනකන් අනෙක් රූමියෝ තුන්දෙනාගෙන් බැනුම් ඇහුව මං ඔහේ හිටියේ වැරැද්ද මගේ නිසා. චන්දිමා කියන්නේ ඇත්තටම එක අතක් හරියටම ක්‍රියා කරන්නැති කෙනෙක් . ඇය ඉපදෙන විට අඬුවකින් ඇයව එළියට අරන් තියෙන්නේ. ඒනිසා ඒ අත උස්සන්න පුළුවන් බාගෙට . පොඩි කාලේ ඒ අඬු සලකුණ ඇගේ අතේ දකින්නත් තිබුණාලු. ඉතින්, ඒ වගේ කෙනෙකුත් අමාරුවේ දැම්මේ මං හින්දා එදා කණගාටු වුණා.
එහෙත් මේ සිද්ධිය බොහෝ කල් යනකල්ගෙදරට කීවේ නෑ. මොකද ඒක බැනුමෙන් විතරක් කෙළවර නොවන නිසා ..........
විචාරක දියණිය ප.ව. 1.00 පැයට
11 November 2017
නිවෙස ළඟ පිංකමකි . අතීතය මතක් වුණි.
මා එවකට රජරට විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවකි. තෙවැනි වසර ආරම්භ වූයේ 2007 වසරේ ඔක්තෝබර් මාසයේය.එම අවුරුද්දේ නේවාසික පහසුකම් සපයා දුන්නේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පිහිටි අලුතින් ඉදිකළ නේවාසිකාගාරය වූ අනුලා දේවි නේවාසිකාගාරයේය. අධ්‍යයන කටයුතු ආරම්භවීමට පෙරදින අලුත් නේවාසිකාගාරයට යාමට පිටත් විය.
අනුරාධපුරයේ සිට මාතලේ හන්දිය පසුකරමින් ඉදිරියට බස්රථය ඇදෙනවිට කන්නට්ටිය පසුකරන්නට විය. පසෙකින් තේක්ක කැලයක් තිබෙන තර එය අලංකාර වටපිටාවකි. මෙය සැබෑවටම සුන්දර ගම් පියසකි. එක්වරම දිස්වූයේ පාර අයිනේතිබෙන මළගෙදරකි . කෙසේවෙතත් ඒ පිලිබඳ වැඩි සැලකිල්ලක් නොදැක්වූ මම නේවසිකාගරයට ගියෙමි. මගේ තවත් යෙහෙළියන් දෙදෙනෙක් හමුවුණු අතර , අපට හිමිවූයේ තුන්වන මහලේ කාමරයකි. එක කාමරයක් ශිෂ්‍යන් 6 දෙනෙකුට තට්ටු ඇඳන් තුනකුත්, අල්රිමායකුත් , මේස දෙකක් හා පුටු 3 කුත් කාමරය සතුවිය. මගේ ශරීර සෞඛ්‍ය නිසා මා කවදත් තෝරා ගත්තේ පහළ ඇඳකි. අප තිදෙනා එක්ව සියලු දේ සකස් කර අවසන් වනවිට හවස 7.00 පමණ විය. ඒ වන විට කුසගින්නක් දැනුණු හෙයින් අපි කැලේ කඩේට පියමැන්නෙමු.( නේවාසිකාගාර කැන්ටිම ) එහිදී අපට අපේ බැච් එකේ කොලු සගයෙකු හමුවිය.
මම - ආ................... කොහොමද බං කීයටද ආවේ . කොල්ලෝ ඔක්කොම ඇවිත්ද ?
කොලු සගයා - මම එනකොට 3 විතර වුණා
මම - මේ බං අර මළ ගෙදර උඹලගේ හොස්ටල් එක ළඟ නේද ?
කොලු සගයා - ඔව් බං උඹ දන්නවද ඒ මිනිහා මරලා තියෙන්නේ බෙල්ල කපලා
මම - බෙල්ල කපලා ............
කොලු සගයා - ඔව් තේක්ක කැලේදී , දර කපන්න ගිහින් ඉන්නකොට , පොලිස් ගාඩ් දීලා තියෙන්නේ පොලිසියට සැකයිලු ඒක ටෙරාලගේ වැඩක් කියලා
මම - අනේ පලයන් බං යන්න බොරු නොකියා ...............
කොලු සගයා - බොරු නෙවෙයි යකෝ .........
මම - හරි හරි අපි යනවා හෙට හම්බවෙමු .
ඔහුගෙන් සමුගෙන අප තිදෙනා නේවාසිකාගාරයට පැමිණි අතර , රාත්‍රි 10.00 ට පමණ නින්දට ගියේ පසුදින උදෑසන දේශනවලට සහභාගී වීම සඳහාය.
මධ්‍යම රාත්‍රිය පසුවී හෝරා තුනක් පමණ ගතවෙන්නට ඇත. මා අවදිවූයේ භූ කම්පනයකිනි. ඇඳන් ද , දොරවල්ද ජනෙල් ද , ඒ තියා වහලයද ඉතාවේගයෙන් සෙලවෙන බවක් දැනුණි. මා විසින් මගේ යෙහෙලියන් දෙදෙනා අමතන ලදී
චතූ............ චතූ.................. ඉනෝ............ඉනෝ.................. මගේ කටහඩට ඔවුන් දෙදෙනා අවදි වූහ.
මොකක්ද බං මේ වෙන්නේ ............. භූමි කම්පාවක්ද ?
( එකෙනෙහිම අපේ නේවාසිකාගාර පාලිකා තුමිය විදුලි පන්දම් දල්වමින් ළමයින්ට කථා කළාය. )
ළමයි ......ළමයි .... නැගිටින්න ..............ලයිට් ඕෆ් කරන්න ....... පහළම තට්ටුවට එන්න ............... කොටි ගහනවා .................
ළමයි ප්ලේන් එකක් ඇවිත් ඉක්මණට එන්න. මා මගේ යෙහෙළියන් දෙදෙනාත් සමග අනෙක් අයද අවදි කළෝය. ඒ අතර එක කාමරයක සිටි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන් කිහිප දෙනෙක් අවදි කිරීමට සෑහෙන ප්‍රයත්නයක් දැරීමට සිදුවිය. සිනහ උපදවන කරුණ නම් හොස්ටල් ලීඩර් ද එම කාමරයේ විසීමය.
කොතෙකුත් දොරට ගැහුවද පලක් නැති වූ කළ , මම දොරට තදින් පයින් ගැසුවෙමි. ඉන්පසු යන්තම් දොර අරුණු අතර , ආව කෙනා ආවේ මොකද ........ අනේ ............ වගේ යන මූඩ් එකෙනි.ඒ වනවිට ඉවසීමේ රතු කට්ට පැනතිබූ මා අක්කේ ඉක්මන් කරන්න. පහළට එන්න කොටි ගහනවා කියා පැවසුවාය.
කෙසේ වෙතත් අප සියලු දෙනාම පහළට පැමිණ සියලු හඬවල්වලට සවන් දෙන්නට වූහ. එළිය අහසේ විදුලි එළි සංදර්ශනයකි. ඒ වන විට ඉතා ලඟින් ප්ලේන් එකක ශබ්දය ඇසුණත් එම ශබ්දය එකවර අතුරු දහන් විය. ඒ අතර මැදිරිගිරියේ ජීවත් වූ මගේ යෙහෙළියක් කීවේ අපට පෙර දැනුණු භූ චලන තත්වය දැනුණේ මෝටාර් ප්‍රහාර දියත් කරන විට බවයි. වැලි කන්දට මෝටාර් ප්‍රහාර එල්ල කරනවිට එම තත්වය මැදිරිගිරියට දැනෙන බව ඇය පැවසුවාය.
ඉන්පසු සියලු දෙනා මගෙන් ඉල්ලා සිටියේ මගේ පියාට කථා කොට විස්තර දැනගන්නා ලෙසයි. ඒ වනතුරු මටද එය අමතක වී තිබුණි. ඒ වනවිට වේලාව අලුයම 4 පමණ වන්නට ඇත. ඔහු එවකට වවුනියාවේ සේවය කළේය.
මම - තාත්තේ ..................
මගේ පියා - ................. ඇයි ළමයෝ මොකක්ද ප්‍රශ්නේ?
මම - තාත්තේ .............අපට ලයිට් ඕෆ් කරන්න කීවා .... ප්ලේන් එකක් ඇවිත්ලු . කොහෙට හරි ගහන හඬ ඇහෙනවා . හරි විස්තරයක් දන් නෑ..........
මගේ පියා - හරි මම තව විනාඩි 5 කින් ඔයාට ගන්නම් .............
ඉන්පසු මගේ පියා මා අමතා කීවේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට කොටි ප්ලේන් එකකින් බෝම්බ හෙලා ඇති අතරම කම්බි වැටවල් කපාගෙන කඳවුරට ඇතුල් වී කොටි කඳවුරට පහර දෙන බවයි. මට බිය නොවන ලෙසත් කොටින්ගේ ඉලක්කය විශ්ව විද්‍යාලය නොවන බවත් පැවසීය.
එදින රෑ පුරාවට අප සියලු දෙනා අවදි වී සිටි අතර , පසුදා සියලු දේශන අවලංගු කළ බව විශ්ව විද්‍යාල පාලන අධිකාරිය දැනුම් දෙන ලදී. එමෙන්ම කිසිදු ශිෂ්‍යයෙකුට නේවාසිකාගාරයෙන් බැහැර වීමද තහනම් කරන ලදී. පසුදා උදෑසන ආරංචි වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක යානාවක් මිහින්තලේ දොරමඩලාවට කඩා වැටී ගුවන් නියමුවා මරණයට පත්වී ඇති බවයි.
දහවල් මගේ මව මා අමතා කීවේ එම ගුවන් නියමුවා විවාහ වී සිට ඇත්තේ අපේ නිවසේ සිට නිවෙස් දෙකක් එහා පිහිටි නිවසක ජීවත් වූ .............................. ඇන්ටිලාගේ දියණිය බවත් මළ ගෙදර එම නිවසේ පැවැත්වෙන බවත්ය .
නමුත් ඇතිවූ තත්වය හමුවේ මට මළ ගෙදරට සහභාගී වීමට නොහැකි විය. අපේ බැච් එකේ පිරිමි ළමයි සියලු දෙනා එම වෙඩි හරඹයන් රිසි සේ නරඹා තිබුනේ ඔවුන් සිටියේ නුවර වැවේ එක කෙළවරක් මායිම් වන නේවාසිකාගාරයක සිටි නිසාවෙනි . කොටි තේක්ක කැලයේ දින ගණනක් සිට ඔත්තු සපයා ගත් අතර , දර කපන්නා ඔවුන්ට මුණ ගැසිණි. කොටි විසින්ඇඳ සිටියේ යුධ හමුදාවට සමාන නිල ඇනුම් නිසා ඔවුන්ට රැවටුණ දර කපන්නා ඔවුන් සමග කථාවට ගොස් පිහි ඇණුම් කෑවේය. වෙලාව එනතුරු සිටි ඔවුන් මැදියම් රැයේනුවර වැව තරණය කර කම්බි කපා කඳවුරට ඇතුල් විය . නිල ඇඳුම් සමාන වීම මත ඔවුන්ට අඳුනා ගැනීම අපහසු වී ඇත .
කෙසේ වෙතත් බුද්ධි අංශයෙන් ඊට මාස 2 කට පෙර ඔවුන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් ඇතිබව දන්වා ඊට සූදානම් වන ලෙස අනතුරු අඟවා තිබි ඇතත් ඔවුන් එය නොසලකා තීබී ඇත .
අදට වසර 10 කට පෙර සිදුවූ එම සිදුවීමෙන් මිය ගිය එම ගුවන් නියමුවා වෙනුවෙන් ගිය සතියේ ඔවුන් පිරිතක් කියා දානයක් දුණි. පිරිතට හේවිසි වැයෙද්දී මේ අතීත සිදුවීම මට මතක් විය.
විචාරක දියණිය 16.00 පැයට
03 November 2017
පියෙකුගෙ කඳුළු මුතුකැට වුණි දරුකමට
ශ්‍රී ලංකාවේ පැවති මානුෂීය මෙහෙයුමේ අවසාන භාගයේ සිදුවූ සත්‍ය සිදුවීම් දෙකකි. මෙකල මගේ පියා සේවය කළේ වවුනියාව මැණික් ෆාම් කඳවුරේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරියා ලෙසය .
යුද්ධයේ අවසාන භාගයේදී උතුරේ සිටි දමිළ ජනයා ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදාගෙන ඔවුන්ගේ සුභ සාධන කටයුතු කිරීම සිදුවෙම්න් පැවතිණි. මේ කාලයේ මුලින්ම පැමිණි දමිළ සිවිල් වැසියෝ ඔවුන්ට හැකි සැමදේම රැගෙන පැමිණියහ. උදාහරණ ලෙස ගවයන් , බයිසිකල්, අත් ට්‍රැක්ටර් වැනි දෑ ඒ අතර විය . ඔවුන් පැමිණි පසු මුලින්ම සිදුකරන්නේ ඔවුන්ව ලියාපදිංචිකර ඒ ඒ කඳවුරු වලට බස් රථ වලින් රැගෙන යාමයි. එහි පළමු සිදුවීම වූයේ එවැනි අවස්වථාකය .
දිනක් උදෑසන වන විට ඉකුත් දිනවල පැමිණි දමිළ ජනතාව විශාල ප්‍රමාණයක් සිටියහ. ඊලඟට කළයුතු කාර්යය වශයෙන් තිබුණේ ඔවුන් කඳවුරුවලට රැගෙන යාමයි. මේ අවස්ථාවේදී ඔවුන් හැසිරෙන්නේ ඉතා කලබලයෙනි. ඊට හේතුව ඔවුන්ගේ බිය , සංකාව , අහිමිවීම් සියල්ල එක්තැන් වීම් හේතුකොටගෙනය. කෙසේවෙතත් බස්රථ 5 කින් පමණ ඔවුන්ව කඳවුරුවලට රැගෙන ගියහ. ඉන් මද වෙලාවකට පසු සෙබළෙ පැමිණ පැවසුවේ මෙවන් කථාවකි .
සෙබළා - සර් බ්ලොක් එකේ සිවිලියන්ලා දෙන්නෙක් හොඳටම අඬනවා සර් . ඒ අය කියනවා සර්. ඒ අයගේ ළමයි දෙන්න නැතිවෙලා කියලා. ළමයි දෙන්න නැගලා තියෙන්නේ වෙන බස් එකකට කියලා.
මගේ පියා - හරි, තමුන් යනවා. මම බලන්න එන්නම් මොකක් ද කියලා.
එකෙණහිම තවත් කඳවුරක රාජකාරියේ යෙදෙමින් සිටි සෙබළෙක් දුරකථනයෙන් මගේ පියා අමතන ලදී.
සෙබළා - සර් මෙතන පොඩි ප්‍රශ්නයක්. පිරිමි ළමයි දෙන්නෙක් හොඳටම අඬනවා. ඒ දෙන්න කියනවා අම්මයි තාත්තයි මෙතන නෑලු. හොයලා දෙන්නලු. ඒ දෙන්නා වැරදි බස් එකේලු නැගලා තියෙන්නේ කියලා .
මගේ පියා - හරි මම කියනකන් ළමයි දෙන්න හොඳට බාලාගන්නවා . (මේ සිද්ධිය රහසිගත වියයුතු බවත් ප්‍රකාශ කළේය. )
මගේ පියා විසින් දමිළ දෙමවුපියෝ දෙදෙනා මුණ ගැසුණු අතර, ඔවුන් කියා සිටියේ ළමයි දෙන්න සැමවිටම තමා ළඟ සිටියමුත් බස්රථවලට නගින අවස්ථාවේදී ඔවුන් දුවගොස් නැගතිබෙන්නේ වෙනත් බස්රථයකට බවයි.
ඉන්පසු මගේ පියා විසින් ළමයි දෙදෙනා සිටින කඳවුරටද ගියේය. එහිදී අවුරුදු 12 ක 8 ක් පමණ වයසැති පිරිමි ළමුන් දෙන්නෙක් මුණ ගැසිණි. ඔවුන් ද ප්‍රකාශ කළේ බස්රථවලට නගින අවස්ථාවේ තම දෙමවුපියන්ගෙන් වෙන්වී ඇති බවයි. තම පියා වැනි කෙනෙක් බස්රථයට නගිනවා දුටුව නිසා ඒ බසයට නැගුනත්, ඒ තම පියා නොවන බව දැනගත්තේ කඳවුර තුළට පැමිණි පසු බව වැඩිමහල් පිරිමි දරුවා පැවසීය.
ඉන්පසු මගේ පියා ඔවුන් දෙදෙනා කැටුව ඔවුන්ගේ දෙමවුපියන් සිටින කඳවුරට ගොස් ඔවුන් වාහනයේ රඳවා දරුවන්ගේ දෙමවුපියන් දෙදෙනා කඳවුරෙන් පිටතට ගෙන්වා ළමයින්ට දර්ශනය වීමට සලස්වා ඔවුන්ගෙන් අර සිටින්නේ තම දෙමවුපියන් ද යන්න හඳුනාගන්නා ලෙස පැවසීය . එවිට ඔවුන් පවසා සිටියේ ඒ තම දෙමවුපියන් බවයි. ඉන්පසු වාහනයේ දොර විවෘත කර ඔවුන් දෙදෙනාට ඔවුන් ලඟට යනලෙස මගේ පියා පවසා ඇත.
දරුවන් දෙදෙනා එක පිම්මේ ගොස් ඔවුන් වැළඳ ගත් අයුරුත් දෙමවුපියන් දෙන්නාද ඔවුන් වැළඳ ගත් අයුරුත් සතුරු කඳුළු වගුරවන මගේ පියා සැනසිල්ලේ බලා සිට ඇත. ඒ අවස්ථාවේ සෙබලෙක් පවසා සිටියේ
සර්.......... මාර වැඩේ නේද තව ටිකෙන් වෙන්නේ යනුවෙනි .
( මෙහි ඇති සුවිශේෂිතාවය නම් රජයේ ප්‍රතිපත්තිය වී තිබුණේ කඳවුරු තුළට දැමූ පසු කිසිවෙකුත් මොනම හේතුවකටවත් කඳවුර මාරුකිරීම කළනොහැකි අවස්ථාවක වගකීම තමන් සතුකරගත් මගේ පියා එම කාර්යය සිදු කිරීමයි )
මේ කලාවකවානුවේම තවත් සංවේදී සිද්ධියකට මුහුණ පෑමට මගේ පියාට සිදුවිය . දිනපතා රැයක් එළිවනවිට දමිළ සිවිල් ජනතාව බොහෝ දෙනෙක් හමුදා සීමාවට පැමිණෙමින් සිටියහ . ත්‍රස්තවාදිවිසින් එසේ පලායන දමිළ ජනතාවට ද වෙඩි තැබීමට පසුබට නොවුහ.
දිනක් එදින පැමිණි සිවිල් ජනාතාවගේ අවශ්‍යතා සැපයීම සඳහා කඳවුරු භූමිය පරික්ෂාවක යෙදී සිටියදී මගේ පියා ගේ නෙත ගැටී ඇත්තේ අවුරුදු 4 ක පමණ දැරියක් නොනවත්වා හඩන අයුරු හා ඇය ළඟ සිටින පිරිමි පුද්ගලයා ( ඇයගේ පියා යයි සිතන ) ඉතා දුකින් පසුවන ආකාරයත් දුටුවේය. පසුව ඔවුන් දෙදෙනා තම කාර්යාලයට රැගෙන එන ලෙස උපදෙස් දී මගේ පියා ඉන් පිටත් විය. ඉන්පසු ඔවුන් දෙදෙනා කාර්යාලයට පැමිණ තිබුණි.
ඉන්පසු ඔවුන්ගේ කථාව මගේ පියා පියා අසා තිබුණි. මෙම කුඩා දැරියට මවත් පියාත් සහෝදරයෙකුත් සිට ඇත. ඔවුන් සියලු දෙනා රැයවල් 2 කට ප්‍රථම තම නිවසින් පිටත්වූයේ කොටි ත්‍රස්තයන්ගෙන් මිදී හමුදා පාලන ප්‍රදේශ කරා පැමිණෙන විට ඇයගේ මවත් සහෝදරයාත් කොටි වෙඩි පහරට ලක්ව මරුමුවට පත්ව ඇත . ඔවුන් රාත්‍රියේ කාලයේ කැලෑ ප්‍රදේශයක් මැදින් ගමන් කිරීමේදී කොටි පිරිසකගේ ග්‍රහණයට අසුව ඇති අතර , දියණිය සමග පියා සැඟවුණත් මවට හා පුතුට දිවි බේරා ගත නොහැකි වී ඇත. අවසන් කාලයේ දමිළ වැසියන් හමුදා පාලන ප්‍රදේශවලට යාම ඔවුන්ට වලක්වා ගත නොහැකි වියරුවෙන් ඔවුන් ඒ දේවල් සිදුකරන ලදී.
කෙසේ වෙතත් දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වූ මගේ පියාද ඒ මොහොතේ ඇයව වඩාගෙන සුරතල් කර ඇත. කෙසේ වෙතත් ඉන්පසු එම කඳවුරට යන සාම අවස්ථාවකම අර කුඩා දැරිය
පෙරිය දොරේ ...................... කියා කෑ ගසමින් මගේ පියා අසලට පැමිණෙන අතර එවිට ඇය වඩා ගතයුතු බව මගේ පියා අප සමග පවසන ලදී . ඒ වන විට විශ්‍රාම යාමට ආසන්නයේ සිටි මගේ පියා ඇය පිළිබඳව සැබවින්ම සංවේදී වූ බව ඔහුගේ කථාබහෙන් අපට වැටහී තිබුණි .
කඳවුරු භූමියේ ඇය සිටියදීම 2009 පෙබරවාරි මස 27 වන දින යුධබිමේ සියල්ල අතහැර මතකය පමණක් රැගෙන විශ්‍රාම දිවිය ගතකරන්නට මගේ පියා නිවසට පැමිණියේය .
විචාරක දියණිය උදෑසන 9.00 පැයට
Subscribe to:
Posts
(
Atom
)