හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

11 November 2017

නිවෙස ළඟ පිංකමකි . අතීතය මතක් වුණි.



මා එවකට රජරට විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවකි.  තෙවැනි වසර ආරම්භ වූයේ 2007 වසරේ ඔක්තෝබර් මාසයේය.එම අවුරුද්දේ නේවාසික පහසුකම් සපයා දුන්නේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පිහිටි අලුතින් ඉදිකළ  නේවාසිකාගාරය වූ අනුලා දේවි නේවාසිකාගාරයේය. අධ්‍යයන කටයුතු ආරම්භවීමට පෙරදින අලුත් නේවාසිකාගාරයට යාමට පිටත් විය.


අනුරාධපුරයේ සිට මාතලේ හන්දිය පසුකරමින් ඉදිරියට බස්රථය ඇදෙනවිට කන්නට්ටිය පසුකරන්නට විය. පසෙකින් තේක්ක කැලයක් තිබෙන තර එය අලංකාර වටපිටාවකි. මෙය සැබෑවටම සුන්දර ගම් පියසකි. එක්වරම දිස්වූයේ පාර අයිනේතිබෙන මළගෙදරකි . කෙසේවෙතත් ඒ පිලිබඳ වැඩි සැලකිල්ලක් නොදැක්වූ  මම නේවසිකාගරයට ගියෙමි. මගේ තවත් යෙහෙළියන් දෙදෙනෙක් හමුවුණු අතර , අපට හිමිවූයේ තුන්වන මහලේ කාමරයකි. එක කාමරයක් ශිෂ්‍යන් 6 දෙනෙකුට තට්ටු ඇඳන් තුනකුත්, අල්රිමායකුත් , මේස දෙකක් හා පුටු 3 කුත් කාමරය සතුවිය. මගේ ශරීර සෞඛ්‍ය නිසා මා කවදත් තෝරා ගත්තේ පහළ ඇඳකි.  අප තිදෙනා එක්ව සියලු දේ  සකස් කර අවසන් වනවිට හවස 7.00 පමණ විය. ඒ වන විට කුසගින්නක් දැනුණු හෙයින් අපි කැලේ කඩේට පියමැන්නෙමු.( නේවාසිකාගාර  කැන්ටිම ) එහිදී අපට අපේ බැච් එකේ කොලු සගයෙකු හමුවිය.



මම - ආ................... කොහොමද බං කීයටද ආවේ . කොල්ලෝ ඔක්කොම ඇවිත්ද ?

කොලු සගයා - මම එනකොට 3 විතර වුණා 

මම - මේ බං අර මළ ගෙදර  උඹලගේ හොස්ටල් එක ළඟ නේද ?

කොලු සගයා - ඔව් බං උඹ දන්නවද ඒ මිනිහා මරලා තියෙන්නේ බෙල්ල කපලා 

මම -  බෙල්ල කපලා ............

කොලු සගයා - ඔව් තේක්ක කැලේදී , දර කපන්න ගිහින් ඉන්නකොට , පොලිස් ගාඩ් දීලා තියෙන්නේ පොලිසියට සැකයිලු ඒක ටෙරාලගේ වැඩක් කියලා

මම - අනේ පලයන්  බං යන්න බොරු නොකියා ...............

කොලු සගයා - බොරු නෙවෙයි යකෝ ......... 

මම - හරි හරි අපි යනවා හෙට හම්බවෙමු .


ඔහුගෙන් සමුගෙන අප තිදෙනා නේවාසිකාගාරයට පැමිණි අතර , රාත්‍රි 10.00 ට පමණ නින්දට ගියේ පසුදින උදෑසන දේශනවලට සහභාගී වීම සඳහාය. 

මධ්‍යම රාත්‍රිය පසුවී හෝරා තුනක් පමණ ගතවෙන්නට ඇත. මා අවදිවූයේ භූ කම්පනයකිනි. ඇඳන් ද , දොරවල්ද ජනෙල් ද , ඒ තියා වහලයද ඉතාවේගයෙන් සෙලවෙන බවක් දැනුණි. මා විසින්  මගේ යෙහෙලියන් දෙදෙනා අමතන ලදී 

චතූ............ චතූ.................. ඉනෝ............ඉනෝ.................. මගේ කටහඩට ඔවුන් දෙදෙනා අවදි වූහ. 

මොකක්ද  බං මේ වෙන්නේ ............. භූමි කම්පාවක්ද ?


( එකෙනෙහිම අපේ  නේවාසිකාගාර පාලිකා තුමිය විදුලි පන්දම් දල්වමින් ළමයින්ට කථා කළාය. )

ළමයි ......ළමයි .... නැගිටින්න ..............ලයිට් ඕෆ් කරන්න ....... පහළම තට්ටුවට එන්න ............... කොටි ගහනවා .................


ළමයි ප්ලේන් එකක් ඇවිත් ඉක්මණට එන්න. මා මගේ යෙහෙළියන් දෙදෙනාත් සමග අනෙක් අයද අවදි කළෝය. ඒ අතර එක කාමරයක සිටි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන් කිහිප දෙනෙක් අවදි කිරීමට සෑහෙන ප්‍රයත්නයක් දැරීමට සිදුවිය. සිනහ උපදවන කරුණ නම් හොස්ටල් ලීඩර් ද එම කාමරයේ විසීමය. 


කොතෙකුත් දොරට ගැහුවද පලක් නැති වූ කළ , මම දොරට තදින් පයින් ගැසුවෙමි.  ඉන්පසු  යන්තම් දොර අරුණු අතර , ආව කෙනා ආවේ මොකද ........ අනේ ............ වගේ යන මූඩ් එකෙනි.ඒ වනවිට ඉවසීමේ රතු කට්ට පැනතිබූ මා  අක්කේ ඉක්මන් කරන්න. පහළට එන්න කොටි ගහනවා කියා පැවසුවාය. 


කෙසේ වෙතත් අප සියලු දෙනාම පහළට පැමිණ  සියලු හඬවල්වලට සවන් දෙන්නට වූහ.  එළිය  අහසේ  විදුලි එළි සංදර්ශනයකි. ඒ වන විට  ඉතා ලඟින් ප්ලේන් එකක ශබ්දය ඇසුණත් එම ශබ්දය එකවර අතුරු දහන් විය. ඒ අතර මැදිරිගිරියේ ජීවත් වූ මගේ යෙහෙළියක් කීවේ  අපට පෙර දැනුණු භූ චලන තත්වය දැනුණේ මෝටාර් ප්‍රහාර දියත් කරන විට බවයි. වැලි කන්දට මෝටාර් ප්‍රහාර එල්ල කරනවිට එම තත්වය මැදිරිගිරියට දැනෙන බව ඇය පැවසුවාය. 


ඉන්පසු සියලු දෙනා මගෙන් ඉල්ලා සිටියේ මගේ පියාට කථා කොට විස්තර දැනගන්නා ලෙසයි.   ඒ වනතුරු මටද එය අමතක වී තිබුණි. ඒ වනවිට වේලාව අලුයම 4 පමණ වන්නට ඇත. ඔහු එවකට වවුනියාවේ සේවය කළේය. 


මම -  තාත්තේ .................. 

මගේ පියා -  ................. ඇයි ළමයෝ මොකක්ද ප්‍රශ්නේ?


මම - තාත්තේ  .............අපට ලයිට් ඕෆ් කරන්න කීවා .... ප්ලේන් එකක්  ඇවිත්ලු . කොහෙට හරි ගහන හඬ ඇහෙනවා . හරි විස්තරයක් දන් නෑ..........

මගේ පියා -  හරි මම තව විනාඩි 5 කින් ඔයාට ගන්නම් .............


ඉන්පසු මගේ පියා මා අමතා කීවේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට කොටි ප්ලේන් එකකින් බෝම්බ හෙලා ඇති අතරම කම්බි වැටවල් කපාගෙන කඳවුරට ඇතුල් වී කොටි කඳවුරට පහර දෙන බවයි. මට බිය නොවන ලෙසත්  කොටින්ගේ ඉලක්කය විශ්ව විද්‍යාලය නොවන බවත් පැවසීය. 


එදින රෑ පුරාවට අප සියලු දෙනා අවදි වී සිටි අතර , පසුදා සියලු දේශන අවලංගු කළ බව විශ්ව විද්‍යාල පාලන අධිකාරිය දැනුම් දෙන ලදී. එමෙන්ම කිසිදු ශිෂ්‍යයෙකුට නේවාසිකාගාරයෙන්  බැහැර වීමද තහනම් කරන ලදී. පසුදා උදෑසන ආරංචි වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක යානාවක් මිහින්තලේ දොරමඩලාවට කඩා වැටී ගුවන් නියමුවා මරණයට පත්වී ඇති බවයි.


දහවල් මගේ මව මා අමතා කීවේ එම ගුවන් නියමුවා විවාහ වී සිට ඇත්තේ අපේ නිවසේ සිට නිවෙස් දෙකක් එහා පිහිටි නිවසක ජීවත් වූ ..............................  ඇන්ටිලාගේ දියණිය බවත්  මළ ගෙදර එම නිවසේ පැවැත්වෙන බවත්ය . 


නමුත් ඇතිවූ තත්වය හමුවේ මට මළ ගෙදරට සහභාගී වීමට නොහැකි විය. අපේ බැච් එකේ පිරිමි ළමයි සියලු දෙනා එම වෙඩි හරඹයන් රිසි සේ නරඹා තිබුනේ ඔවුන් සිටියේ නුවර වැවේ එක කෙළවරක් මායිම් වන නේවාසිකාගාරයක සිටි  නිසාවෙනි . කොටි තේක්ක කැලයේ දින ගණනක් සිට ඔත්තු සපයා ගත් අතර , දර කපන්නා ඔවුන්ට මුණ ගැසිණි. කොටි විසින්ඇඳ සිටියේ යුධ හමුදාවට සමාන නිල ඇනුම් නිසා ඔවුන්ට රැවටුණ දර කපන්නා ඔවුන් සමග කථාවට ගොස් පිහි ඇණුම් කෑවේය.  වෙලාව එනතුරු සිටි ඔවුන් මැදියම් රැයේනුවර වැව තරණය කර කම්බි කපා කඳවුරට ඇතුල් විය . නිල ඇඳුම් සමාන වීම මත ඔවුන්ට අඳුනා ගැනීම අපහසු වී ඇත . 


කෙසේ වෙතත් බුද්ධි අංශයෙන් ඊට මාස 2 කට පෙර ඔවුන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් ඇතිබව දන්වා ඊට සූදානම් වන ලෙස අනතුරු අඟවා තිබි ඇතත්  ඔවුන් එය නොසලකා තීබී ඇත .


අදට වසර  10 කට පෙර සිදුවූ එම සිදුවීමෙන් මිය ගිය එම ගුවන් නියමුවා  වෙනුවෙන් ගිය සතියේ ඔවුන් පිරිතක් කියා දානයක් දුණි. පිරිතට හේවිසි වැයෙද්දී මේ අතීත සිදුවීම මට මතක් විය. 


විචාරක දියණිය  16.00 පැයට 

24 comments :

  1. මේ කටුක අතීතය යලි නොඒවා

    ReplyDelete
  2. ඔබේ ප්‍රාර්ථනාව එසේම ඉටුවේවා
    විචාරක දියණිය

    ReplyDelete
  3. Replies
    1. බොහොම ස්තූතියි දේශකයාතුමනි ඔබගේ ප්‍රතිචාරයට
      විචාරක දියණිය

      Delete
  4. ඇඟට දැනෙන ලෙස පෝසටුව ලියවෙලා. ඔය අවදියේ මගේ දුව සිටියේ රජරට වි.වි. සහකාර කථිකාචාර්යවරියක් ලෙස එදා මලේ හිතට ඇතිවුන ගැස්ම දැනුත් ඇඟ හිරිවට්ටනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට. මම එවකට සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ ඉගෙනුම ලැබුවෙමි. ඔබේ දියණිය කවුරුන්දැයි දැනගනු කැමැත්තෙමි. මේ සිද්දියේදී මගේ පියා නිසා මගේ මවගේ බිය පහව ගියා. හදිසියක් උනොත් ඔහු සිටිනිසා. නැතිනම් මගේ මවත් ඉතාම බියවී තිබුණා.
      විචාරක දියණිය

      Delete
  5. කටුක අතීතයේ සිදුවූ ඒ සිදුවීම ලස්සනට අකුරු කරල තියෙනව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට ඇත්තටම එය කටුක අත්දැකීමක් තමයි
      විචාරක දියණිය

      Delete
  6. මට පේනව ඔයා ලියන්ඩ තියෙන ගොඩකිං බොහොම පොඩ්ඩක් ලියන බව...

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේ ඇත්ත සමහර වෙලාවට සුදුයි ද කියලා හිතනවා සමහර වෙලාවට එක වගේ සිද්ධීන් බෝරින් වෙයි කියා සිතන නිසා ලියන්න හිතෙන්නේ නෑ
      විචාරක දියණිය

      Delete
  7. ආරක්ෂක අංශයේ නොසිටියත් යුද්ධයත් එක්ක බැදුන සේවා කාලයේ අතීත මතකයන් ඔබගේ ලිපියෙන් යලිත් සිහියට නැගුනා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඹබගේ ප්‍රතිචාරයට අතීතය බැදුණු මතකයන් අමතක කරන්න අමාරුයි.
      විචාරක දියණිය

      Delete
  8. හොඳට ලියල තියනව

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හැමදාමත් වගේ ඔබගේ දිරිගැන්වීමට
      විචාරක දියණිය

      Delete
  9. බ්ලොග් අවකාශයට තාත්තා නැති එක ලොකු අඩුවක්. තාත්තවගේ දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. තාත්තගේ අඩුව මට පිරවිය නොහැකි වුවත් ඹහු වෙනුවෙන් මෙය දිගටම ලියවේවි.
      විචාරක දියණිය

      Delete
  10. රජරට විශ්වවිද්‍යාලයක් ගැන අසා තිබුණත් මේ ලිපිය නිසා තමයි හොයා ගත්තේ මේක තියෙන තැන සහ විස්තර. මිහින්තලේ නේද?

    පසුකාලීනව ඇරඹුණු රුහුණු, රජරට, වයඹ, සඹරගමු වැනි විශ්වවිද්‍යාලවලට නගර නම් නොව පලාත් නම් දී ඇත්තේ දේශපාලන හේතු නිසා විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. මිහින්තලේතමයි තියෙන්නේ 1996 ජනවාරි 31 තමයි ස්වාධින විශ්ව විද්‍යාලයක් වුණේ. 1992 දී සබරගමුව වයඹ හා රජරට අනුබද්ධ විශ්ව විද්‍යාල ලෙස තමයි ආරම්භ වුණේ. මා සිටි කණ්ඩායම එම විශ්ව විද්‍යාලයේ 9 වැනි කණ්ඩායමයි. 10 වැනි උපාධි ප්‍රධානෝත්සවයේදී තමයි උපාධිය පිරිනැමුණේ
      විචාරක දියණිය

      Delete
  11. මේ වගේම සිදුවීමක් සබරෙත් යාන්තමට උනා මතකයි. කට්ටිය බය වෙලා සමනල වැව ඩ්‍ෑම් එකට ගහන්න ඇවිත් කීලා

    ReplyDelete
  12. සමනලවැවට පැන්නනානම් ඉතින් සොරිම තමයි
    විචාරක දියණිය

    ReplyDelete
  13. මේ ඔක්කොමත් හරි...
    අපෙ පොඩි උන් කවද හරි අහයි කවුද ප්‍රභාකරන් කියලා..

    ඒ යුද්ධය ඉවරයි කියල හිතද්දිත් හීනයක් වගෙ !

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තව ටික කාලෙකින්‍ෙ විජේවීර වගේ එයත් විමුක්ති නායකයෙක් ලෙස ඉතිහාසයට එකතු වේවි.
      විචාරක දියණිය

      Delete
  14. පොඩි කරුණු දෙකක්..

    "ඒ මනුස්සය මැරිලා තියෙන්නේ දර කපන්න ගිය වෙලේ බෙල්ල කපල.. පොලිසිය කියන්නේ ටෙරාලගේ වැඩක් කියල.."
    "බුද්ධි අංශයෙන් මාස දෙකකට කලින් ඔවුන්ට දැඩි ප්‍රහාරයක් එල්ලවීමට හැකි නිසා ඊට සුදානම් වෙන්න කියුවලු ඒත් කවුරුත් ගණන් අරන් නෑ.."

    මේ සිදුවීම් දෙක හමුදා භාෂාවෙන් කියනවනම් Fatal Errors.. රටේ ආරක්ෂාවත් ඒ හා සමඟම සිවිල් ජනජීවිතයත් අනතුරට ලක් කරමින් කටයුතු කිරීම හෙවත් නොසලකා හරිම කියන කාරණා නිසා හරිනම් ඔය කඳවුරේ ඉහළ නිලධාරීන් යුධාධිකරණයකින් මරණ දඬුවමට ලක් කරන්න තරම් හේතු ඔය ප්‍රකාශ දෙකේ තියෙනවා..

    ඔබේ ජිවිතයට අනතුරක් නොවීම ගැන දෛවයට ස්තුතිවන්ත වෙන්න..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපේ ජීව්ත බේරැණේ 99 න් කියලා කියන්න ඹ්න. යුද්ධයේ අවසාන කාලෙ තමයි යුධ ගුවන් නාවික හමුදා එක්ව කටයුතු කළේ. ඊට පෙර ඹවුන්ට බැඳිමක් තිබුණේ නෑ
      විචාරක දියණිය

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }