හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

27 June 2020

අපි නොදුටු අභයගිරිය - 1 කොටස


කොරෝනා  කාලේ   දීපු    නිවාඩුවට හරියන්න දැන් කාර්යාලයේ වැඩ ඩබල් වෙලා නිසා  පසුගිය සතියේ ලියන්න බැරිවුණා.  ඔන්න අද ඉඳලා අලුත් ලිපි පෙළක් පළවෙනවා.  මේකත් ලිපි කීපයක් ලියන්න වේවි .


හොඳයි එහෙනම් අද  ලිපියේ පිවිසුමට මා විසින් අභගිරියේ ඓතිහාසික තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කරනවා .


අභයගිරියේ  ඓතිහාසික පසුබිම


අභයගිරියේ  ඓතිහාසික තෙරතුරු විමසිමේී දී වංශකථාවලින් පැවසෙන  තොරතුරු මෙහිදී වැදගත් වේ.  දීප වංශයේ සඳහන් තොරතුරුවලට අනුව  ගිරි නම් නිඝන්ඨයාගේ වාස භූමියේ තැනූ හෙයින් අභයගිරි  ලෙස හඳුන්වා තිබේ. මෙය වළගම්බා රජතුමා ( ක්‍රි. පු. 103 - 89 - 77) විසින් තමාගේ නාමය වන අභය හා ගිරි යන නාමය එක්කර  අභයගිරි  විහාරය  තැනූ   බව නිකාය සංග්‍රහයේ සඳහන්  වේ.   අභයගිරිය හැඳින්වීමට උත්තර විහාර, අභය උත්තර විහාර, අභයතුර විහාර, මහා විහාර,  භාගිරි විහාර යන නම් භවිතා කර ඇත. 


මහාවංශයේ සඳහන් තොරතුරුවලට අනුව අනුරාධපුර රාජධානි සමයේ මහාරත්තක නම්  සෙනෙවියා ඛල්ලාටනාග රපුගෙන් රාජ්‍යය පැහැරගත් අතර,  ඔහු මරා වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා රජතුමා රාජ්‍යය ලබා ගත්තේ ය. ( ක්‍රි. පු.  103 ) සිය රාජ්‍යත්වයෙන් 5 වැනි වර්ෂයේ දී නකුල ජනපදයේ ථීය බ්‍රාහ්මණයා විසින් කැරැල්ලක් ඇතිකරන ලදී. ඒ අතරම ඔහුට සොළී ආක්‍රමණයකටත් මුහුණ දීමට සිදුවේ. පාත්‍රා ධාතුවත්, සෝමා දේවියත් රැගෙන පළායන රජතුමා දැක ථීය බ්‍රාහ්මණයා "මහා කළු සිංහලයා පළා යනවා " යැයි  හඬ නැගුවේ ය.  ඒ අවස්ථාවේ ම රජු විසින් නැවත රාජ්‍යය ලබාගත් වහාම මෙහි වෙහෙරක් ඉදිකරන බවට සිතා ගත්තේ ය.  පලා යන රථයේ වේගය වැඩිකිරීමටත්, සොළීන් හනික ලුහු බඳින නිසාත්, සෝමා දේවිය පාත්‍රා ධාතුව ද රැගෙන, රථයෙන් බිමට බැස, රජුගේ ජීවිත ආරක්ෂාව සැළසී ය. සෝමා දේවියත්, පාත්‍රා ධාතුවත් සොළීන් සතුවිය.  ඉන්පසු වසර 13 ක්  වනගත වාසය කරමින් කුපික්කලතිස්ස තෙරුන් ඇසුරේ සිටි ඔහු, ( ක්‍රි. පු. 89  ) දී  අවසන් සොළී පාලකයා වු දාඨිය මරා නැවතත් රජවිය. 



රජ වු වහාම ගිරි නිඝන්ඨාරාමය තිබූ ඉඩමේ විහාරයක්  ඉදිකළේ ය. ගිරි නම් බ්‍රාහ්මණයාගේ ඉඩමේ සෑදූ හෙයින් ගිරි යන්න ද තමාගේ නමේ අභය යන කොටස එක්කර අභයගිරි යයි ඊට නම් තැබී ය. ඉන්පසු සිය කාතගුණවේදීත්වය පුදකරමින් මෙම විහාරය කුපික්කලතිස්ස මහ රහතුන් ප්‍රමුඛ සංඝයාට පූජාකරන ලදී. ලංකා ඉතිහාසයේ පළමු පෞද්ගලික ආරාම පූජාව මෙයයි. අක්කර 5ක පමණ භූමි භාගයක් මේ අභයගිරි විහාරය සතු විය. පසුව ලංකාවේ මහා අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් බවට පත්වී අනුරාධපුර සමයේ විශ්ව විද්‍යාලයක් දක්වා වර්ධනය විය. එහිදී දෙස් විදෙස්, ගිහි පැවිදි දෙපක්ෂයම පාලි, සංස්කෘත හැදෑරිමට පැමිණියහ. එසේ පැමිණි විදේශිකයන් අතර ෆාහියන් හා හි්‍යුං සාන්  යන භික්ෂූන් දෙපළ වැදගත් වේ. 



ෆහියන් හිමිගේ වාර්තා අනුව මහානාම රජුගේ ( ක්‍රි. ව. 410 - 430 )  කාලයේ දී  උන්වහන්සේ මෙරටට පැමිණ තිබේ.  මහානාම රජු විසින් චීන අධිරාජ්‍යයා සමග ඉතා සමිප සබඳතා පවත්වා ඇති අතර, තත්කාලින ලංකාවේ ශාසනික තොරතුරු රැසක් මෙම ෆාහියන් හිමිගේ වාර්ථාවල සඳහන් වේ.  මෙරට අවුරුදු දෙකක් නැවතී උන්වහන්සේ සිය අධ්‍යාපන කටයුතු ද සංචාරක කටයුතු ද සිදුකර ඇත. උන්වහනන්සේ පවසන අන්දමට භික්ෂූන් 5000 ක් පමණ මෙම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇත.  පස්වන සියවසේ මුල් භාගයේ  ශ්‍රි ලංකාවෙ ශාසනික තොරතුරු ෆහියන් වර්තාවලින් ගම්‍යමාන වේ. 





අභගයගිරි ස්තූපය




මහා විහාර වාස්තු විද්‍යා සැළැස්ම 


බුදු සසුනේ ව්‍යාප්තියත් සමග ඇරඹුණු මහා විහාර ඉදිකිරීමේ තාක්ෂණය සුවිශේෂී වේ. මෙම ආරාම සැළැස්ම බිහිවූයේ ස්තූපය කේන්ද්‍ර කරගෙනය.  එහිදි  එය ස්තූපය වටා පරිවෘත්තයක් ලෙස පිහිටන සේ අංග වලට බෙදා ඇත.  එමෙන් ම ස්තූපයට මුහුණ ලා  දිශා හතරෙන් දොරටු ද ,  උස් ප්‍රාකාර ද මෙම සැලැස්මට අයත් ය.  මෙම වාස්තු විද්‍යා නිර්මාණයන්  ප්‍රධාන කොටස් දෙකකින් යුක්තය. 


  •   ස්තූප  අංග 
  •   නේවාසික අංග                         



මේ අනුව සැම ප්‍රධාන මහා විහාරයක ම ස්තූපය වටා විහාර අංග ඇතුළත් නිර්මාණ, මහා විහාරයට අයත්ව තිබුණේ යයි සලකනු ලබයි.  ඒ අනුව   

    

  • ස්තූපය‍
  • බෝධිඝරය‍
  • උපෝසථඝරය‍
  • පිළිමගෙය
  • ධර්මශාලාව
  • සන්නිපාත ශාලාව
  • පංචාවාස
  • ජනතාඝර  



අද ලිපිය මෙතනින් හමාර කරමි.


උපුටා ගැනීම් 


  මහා වංශය පලමු වෙළුම - බටුවන්තුඩාව දේවරක්ෂිත සංස්කරණය 

  කහඳවආරචිචි  චන්ද්‍රදාස - සිංහල  දිප වංශය

  සෙවෙිරත්න අනුරාධ -  පුරාණ අනුරාධපුරය 




විචාරක දියණිය‍

පස්වරු 1500 පැයට


































































































13 June 2020

ස්තූපයේ විකාශනය - 5 කොටස

මේ ලිපි පෙළ වෙනුවෛන් ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාට ස්තූතියි. ඒ නිසා හොඳ සාරවත් ලිපි පෙළක් ඉදිරිපත් කරන්න හැකිවූණා. මේ ලිපි පෙළේ අවසාන ලිපිය අද පළකරනවා. 


ස්තූපයේ තිබෙන අවසාන අංගයන් කිහිපය තමා අද  විග්‍රහ තරන්නේ ...................



  ඡත්‍රය

      

ඡත්‍රය සවිකරන ලද්දේ යෂ්ටිය මතය.  මෙය හැඩයෙන් කුඩයක් හා සමාන කොටසකි.  මෙම ඡත්‍රයන් ලීයෙන් හා ගලින් නිර්මාණය කර තිබී ඇත. ඇතැම් දාගැබක ඡත්‍ර 2ක් හෝ ඊට වැඩි ගණනක් විය. දාගැබක කොත් කැරැල්ලේ විකාශනයේ ආරම්භය මෙයයි.  මෙම ඡත්‍රය පිළිබඳ වැඩිදුරටත් වංශකථාවල විස්තර සඳහන් වේ. 


ආමණ්ඩගාමිණී අභය රජු දවස ( ක්‍රි. ව.  78 - 89 )  රුවන්වැලිසෑයේ ඉදිකළ ඡත්‍රයට ඉහළින් තවත් ඡත්‍රයක් ඉදිකළ බව වංශකථා සඳහන් කරයි. එසේම මෙම රජතුමා විසින් ථූපාරාම දාගැබ සඳහා ද ඡත්‍රයක් සවිකළ බව වැඩිදුරටත් සඳහන් වේ. වෝහාරිකතිස්ස රජු දවස ( ක්‍රි. ව. 269 - 291) අභයගිරි දාගැබේ ඡත්‍රයක් පිහිටුවා තිබේ. ධාතුසේන රජු දවස පැරණි දාගැබ් තුනක ඡත්‍රයන් ප්‍රතිසංස්කරණය කොට රන් ආලේප කරන ලද අතර අලුතින් ඡත්‍රයක් ද පිහිටුවා ඇත. ලංකාවේ ස්තූපවල දක්නට ලබෙන තවත් වැදගත් අංගයක් නම් පළිගු වළල්ලයි. මෙය දස ලක්ෂයක් අගනා මහා මැණිකක් ආරක්ෂා කිරිමට යොදන ලද පළිගු වළල්ලක් ලෙසත් විදුලි කෙටිමෙන් ආරක්ෂා විමටත් යොදන ලද බව මහාවංශටීකාවේ සඳහන් වේ.  මේ අනුව ඡත්‍රාවලිය මස්තකයේ කුඩා චෛත්‍යයක හැඩයට කපන ලද විශාල මැණිකක් තිබි ඇත. පැරණි සිංහල දාගැබක ඡත්‍රය පිහිටවූ ආකාරය දැක ගැනීමට කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ස්තූපයක හැඩයෙන් යුත් තඹ කරඬුවේ  උපරිභාගය ප්‍රයෝජනවත් වේ .

 


ඉන්දියාවේ සාංචි ස්තූපයේ ඡත්‍රය 




7.  දේවතා කොටුව 


                     ලංකාවේ මධ්‍යකාලීන යුගයේදී ස්තූපවල  උපරිභාගයේ  වැදගත් විකාශනයක්  සිදුවිය. එහිදී දාගබ්වල හතරැස් කොටුවේ මැද සිට ගඩොලින් කළ වෘත්තාකාර සිලින්ඩරයක් හැඩැති කොටසක් නිර්මාණය වි තිබේ. එය දේවතා කොටුවයි. මෙවැනි නිර්මාණයක් අභයගිරි දාගැබේ දැකගත හැකිවී තිබේ. පාදමේ සිට අඩඅ 355ක විෂකම්භයකින් පිහිටි මෙම සිලින්ඩාකාර කොටසේ  විශ්කම්භය අඩි 30කි උස අඩි 15කි.  පාදිමේ දී අඩි 68 ක විශ්කම්භයක් පමණක් ඇති පොළොන්නරු කිරි වෙහෙරේ හතරැස් කොටුව මත  පිහිටි සිලින්ඩරය අඩි 9යි අඟල් 6ක විෂ්කම්භයකින් ද අඩි 7යි අඟල් 8 ක උසින් ද යුක්ත වේ. මෙම සිලින්ඩරයේ පාදම බොරදම්වලින් ද මතුපිට බිත්ති කුඩා කුළුණු වලින් ද සමන්විත වේ. මෙම කුළුණු අතර දෙඅතින් නමස්කාර මුද්‍රාව දක්වන දේවතා  රූප වේ. 


එමනිසා මෙය දේවතා කොටුව නමින් හැඳින්වේ.  මේවා ශිල්ප ශාස්ත්‍ර ග්‍රන්ථයන්හි "සුරා කොෂ්ඨ "යන නමින් හදුන්වා ඇත. "සුරා" යනු "දේවතා " යන්නත් "කොෂ්ඨ " යනු  "කොටුව" යන්නත් වේ. මෙම සිලින්ඩාකාර කොටස් විවිධ ගෘහ නිර්මාණ සැරසිලිවලින් සමන්විතය.  කිරිවෙහෙර දේවතා කොටුවේ බහිරව රූප 12ක් දක්නට තිබි ඇත. මේ වන විට බොහෝ සෙයින් ඒවා දිරා පත් වී ඇත.  




දේවතා කොටුව 


8. කොත් කැරැල්ල

              

     දාගැබ්වල මුල්කාලයේ ඉදිකරන ලද  ඡත්‍රාවලිය  පසුව කොත් කැරැල්ලක් දක්වා විකාශනය විය.  මෙය දේවතා කොටුවෙන් ආරම්භ වී ඉහළට යනු ලැබේ. එය කේතුවක හැඩයකින් යුක්තය. එමෙන්ම වටකුරු ලෙස නිර්මාණය වී තිබේ.  මුලින් කේතුවක හැඩයට වටකුරු ලෙස ගොස් අවසාන වේ.  මේවා ගඩොලින්  ඉදිකර තිබී ඇත. කොත් කැරැල්ලේ ද බොරදම් නිර්මාණ තිබි ඇත.  මෙම බොරදම් එකපිට එක තැබු විට කුඩාවන ආකාරයෙන් නිර්මාණය වි තිබේ. එහිදි එය ඡත්‍රාවලියක් ආකාරයෙන් දිස්වේ.



කොත් කැරැල්ල








රුවන්වැලි සෑයේ කෛාත් කැරැල්ල
























9. චූඩා මාණික්‍යය


 චෛත්‍යයේ මුදුනතහිම දක්නට ලැබෙන්නේ චූඩා මාණික්‍යයයි.  මෙය බොහෝ විට ච්‍යෛයට  පළන්දවන ලද්දේ රජවරු විසිනි.  මෙය වටිනා මැණක්වලින් හෝ පළිඟුවලින් නිර්මාණය   කර ඇත. 


රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය





චෛත්‍යයක අංග විස්තර කෙරෙන ලිපි පෙළ මින් නිමාවට පත්වන අතර, තවත් නැවුම් ලිපියකින් අපි හමු වෙමු. 



විචාරක දියණිය
පස්වරු 14 40 පැයට 

04 June 2020

ස්තූපයේ විකාශනය - 4 කොටස


නැවතුනු තැනින් ......................


අද මා මෙම ලිපියෙන් ගෙනහැර දක්වන්නේ ස්තූපයේ උපරිභාගය පිළිබඳවයි.  එනම් ගර්භයෙන් ඉහළ කොටස පිළිබඳවයි. අවුරුදු දාස් ගණනක් නික්ම ගියද පේසාවේ සිට ගර්භය දක්වා කොටස වෙනස්කම්වලට භාජනය වූයේ අල්ප වශයෙනි. එහෙත් උපරිභාගය තවමත් වෙනස්කම්වලට ලක්වෙමින්  පවති.


5. හතරැස් කොටුව 

                      ගර්භයට  ඉහළින් පිහිටා ඇති  චෛත්‍යාංගය හතරැස්  කොටුවයි.  භාරතීය ගන්තයන්හි මෙය "භර්මිකා" යන නමින් හදුන්වා ඇත. එහි අර්ථය "කුඩා මණ්ඩපය " යන්නයි. මහා වංශයෙහි මෙය "සිව් කොන් සෑය" නමින් ද වර්තමාන සිංහලයේ "හතරැස් කොටුව" නමින් ද හැඳින්වේ.  13 වන සියවසට අයත් කෘතිවල "සිව් රැස් කොටුව" යන නම යෙදී ඇත.  මහාවංශයේත්, මහාවංශටිකාවේත් "මුද්ද වේදි" නමින් යුත් චෛත්‍යංගයක් පිළිබඳ සඳහන් වේ.  ඒ මෙම හතරැස්  කොටුවයි.  "මුද්ද" යනු හිස නැත්තම් "මුදුන" යන්නයි. "වේදි " යනු  "ගරාඳි වැටයි" .  "මුද්ද වේදි " යනු  මුදුන් ගරාඳි වැටයි.



මුල්කාලින චෛත්‍යවල හතරැස් කොටුව වටා ගරාඳි වැටක් විය.  සාංචි ස්තූපයේ මෙය දැකිය හැකිය. මෙය මෞර්ය යුගයේ කලා ලක්ෂණය.කි ලක්දිව පැරණි ස්තූපවල මෙවැනි ගරාඳි වැටක් දක්නට නුවුයෙන් මෙය එකළ ලියෙන් සාදා තිබෙන්නට ඇතිබව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. මුල් කාලයේ මෙය වැටක් ස්වරූපයෙන් තිබි ඇත. අභයගිරි දාගැබේ එම වැට සංඛේතවත් කිරීම සඳහා හතරැස් කොටුවේ ගරාඳි වැටක හැඩ මතුකොට තිබේ. ගැමි ව්‍යවහාරයේ මෙය "ඉර හඳ කොටුව" නම් වේ. ඊට හේතුව හතරැස් කොටුවේ ඉර හඳ රූප සිත්තම් කර තිබීමයි.  රුවන්වැලිසෑයේ  වැඩකටයුතු අවසන් කිරීමට මත්තෙන් මරණාසන්න වූ දුටු ගැමුණු රජතුමාගේ චිත්තප්‍රීතිය උදෙසා සිය සොහොයුරු වූ සද්ධාතිස්ස කුමරුන් රුවන්වැලිසෑයේ හතරැස්  කොටුව වස්ත්‍රයෙන් කරවා එහි ඉරඉහඳ රූ සිත්තම් කළ බව මහාවංශයේ සඳහන් වේ .

අභයගිරියේ ගරාඳි වැට නෙලා ඇති හතරැස් කොටුව


සාංචි ස්තූපයේ ගරාදි වැට සහිත හතරැස් කොටුව

                    




රුවන්වැලි සැයේ ඉර හඳ නෙලා ඇති හතරැස් කොටුව 



යූප ගල 

          හතරුස් කොටුවට පසුව වර්තමාන ස්තූපවල දක්නට ඇත්තේ දේවතා කොටුවයි. නමුත් පැරණි ස්තූපවල දේවතා කොටුව හා කොත්කැරැල්ල පිහිටා තිබුණේ නැත. ඒ වෙනුවට යූපය හා ඡත්‍රය නම් අංගයන් දක්නට ලැබුණී.  පැරණි දාගැබ් අසළ  චෛත්‍ය මළුවල විශාල කුළුණු  දක්නට ලැබේ. මේවා අටපට්ටම් හැඩයෙන් යුත්තය. මෙම අටපට්ටම් කණු පිහිටා ඇත්තේ ඇතැම් දාගැබ් ගොඩැලිවල මුදුනට නුදුරෙනි. මේවා පිළිබඳ දැඩි විමර්ශනයක යෙදුණු පුරාවිද්‍යාඥයන් සොයාගනු ලැබූයේ මෙම ගල්කණු උඩට නෙරා සිටින සේ චෛත්‍ය ගර්භයන් මත පිහිටා තිබූ බවත් චෛත්‍යන් නටඹුන් වු කළ මේවා සෑ මළු තුළට ඇදවැටුණු අතර ඇතැම් කණු ගොඩැලි මුදුනට කිට්ටුවෙන් නතර වී තිබි ඇති බවත්ය. එහෙත් එවැනි චෛත්‍යයන් වර්තමානයේ සොයාගැනීමට නැත.  එමනිසා එම පිහිටීම අපට සාක්ෂි සහිතව ඔප්පු කිරීම දුෂ්කර වී ඇත .


එහෙත් බෙල් මහතා විසින්  තෝපා වැව දාගැබ කැණීමේදී එම ධාතු ගර්භයේ පියන ලෙස තබන ලද ගල් මත ඇද වැටී තිබූ කුළුණක් සොයා ගෙන ඇත. ස්මිදර් මහතා විසින් රැවන්වැලි සෑ මළුව  මත කුඩා චෛත්‍ය දෙකක නටඹුන් සොයාගෙන ඇත. එහෙත් ඒ වනවිට ඒවා ගොඩැලි පමණක් වන සේ විනාශ වී තිබි ඇත. එහෙත් ගොඩැල්ල මධ්‍යයේ කෙළින් අතට සිටවන ලද රළු ගල් කණුව බැගින් තිබුණු  බව ඔහු වාර්ථා කර ඇත.  මෙම වාර්ථා අනුව පැවසිය හැක්කේ පුරාණ සිංහලයන් ගර්භ මධ්‍යයේ  ගල් කණුවක් බහාලන ලද බවයි.


ස්තූපයේ ඉදිකිරිම පිළිබඳ සඳහන් දිව්‍යාවදානයේ විස්තරයට අනුව මෙම කුළුණුවල පිහිටීම සහ ඒවායෙන් ඉටු වූ කාර්යයන් මෙසේය.  ස්තූපයේ සතර දෙසින්ය පියගැට පෙළක්ද,  මළුවේ පිහිටි පේසාවළළු තුනක්ද, ගර්භය ද ඉදිකරවා අනතුරුව හතරැස් කොටුව ගොඩනංවා අනතුරව ඡත්‍රය පිණිස යෂ්ටිය හෙවත් යූප ගල පිහිටවූ බවයි.  පැරණි ඉන්දියානු ස්තූපවල ද "යූපය" නමින් ගල් ටැඹක් තිබු බව මින් පැහැදිලි වේ. මෙ ආකාරයේ සවිස්තරව දැක්වෙන ස්තූප දර්ශනයක් අමරාවතී ගල් කැටයමක දැක්වෙන බව පුරාවිද්‍යායින් විසින් සොයාගෙන ඇත. මිට අමතරව දිව්‍යාවදානයේ විස්තරයත් ස්මිදර් මහතා රුවන්වැලි සැ මළුවේ දැක්වූ විස්තරයත් සමාන වේ.  මෙම අමරාවතී කැටයම තුළ හතරැස් කොටුව මැදින් උඩට නෙරා ගිය අටපට්ටම් කුළුණක මුදුනක්  දක්නට ලැබේ . 




යෂ්ටිය  හා ඡත්‍රය දැක්වෙන පැරණි දාගැබක අනුරුව






අමරාවතියේ දක්නට ලැබෙන ස්තූපයක විස්තර දැක්වෙන කැටයම 




මේ ආකාරයෙන් දේවතා කොටුව හා කොත් කැරැල්ල විකාශනය වීමට පෙර යෂ්ටිය හා ඡත්‍රය නම් අංග දෙකක් ස්තූපයට එක්වී තිබුණි. 


අදට හමාර කරමි.


උපුටා ගැනීම

අන්තර්ජාලය

ශ්‍රී ලංකාවේ ස්තූපය - එස්. පරණවිතාන 


විචාරක දියණිය
පස්වරු 1400 පැයට


.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }