හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ
Showing posts with label කලාව සහ සාහිත්‍යය. Show all posts
Showing posts with label කලාව සහ සාහිත්‍යය. Show all posts

01 May 2020

නීල අම්භරයෙන් මැකී ගිය තරු දෙකක් - පළමු තරුව


මේ දිනවල වෙනදාට වැඩියෙන් ශෝක ජනක පුවත් වාර්ථා වෙනවා. ඒ සඳහා මේ වනවිට ලෝතයේ ඇතිවි තිබෙන තත්වය මෙන්ම  අනෙකුත් කාරණා ද ඇතුළත් වෙනවා. කෙසේ වෙතත් ලාංකිය සිනමා ක්ෂේත්‍ර යේ  තරු රැසක් මේ කාලය තුළ  සමු ගත්තා.  එහෙත්  ඊයේ උදැසන මා හට අසන්නට ලැබුණේ  තවත්  ශ්‍රී ලාංකීය සිනමාවේ යකඩයකු මිය ගිය පුවතයි. 

ඔහු නමින්  ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු නම් විය. 1925 අගෝස්තු 25  කොළඹ කොටහේනේ  උපන් ඔහුට ලාංකීය සිනමාව මෙන්ම දමිළ හා හොලිවුඩ් සිනමාවේ දික්විජය කරන්නට හැකිවිය.  එකල හින්දි සිනමාවේ ආකෘතියට නැගුණු සිනමාවක් තුළ කථා නායිකාවක්, කථා නායකයෙක් මෙන්ම දුෂ්ටයෙක් ද විය.  මෙම දුෂ්ට චරිතය මැනවින් නිරූපනය කිරීමට මොහු සමත්විය. මේ සඳහා සටන් පුහුණුවද අවශ්‍ය විය.  ඒ අනුව මොහු ඉතා විශිෂ්ට සටන් අධ්‍යක්ෂවරයෙකුගේ භූමිකාවද  මනා ලෙස ප්‍රකට කළේය.


මේ සියල්ලටම ඔහු මනා පසුබිමක් සකසා ගෙන සිටියේය.  වයස අවුරුදු 15 දි පමණ මොහු රෙස්ලින්, ජූඩෝ, කරාටේ වැනි ශිල්පයන් හැඳෑරීය.  එමෙන්ම රෙස්ලින්වලින් ඔහු බස්නාහිර පළාත් පාසල් ශූරතාවය  දිනාගන්නා ලදී.  වර්ෂ 1959 දී  ඔහු ලිපිකරුවෙක් ලෙස මුල්ම රැකියාව ශ්‍රී ලංකා වරායෙන් ආරම්භකරන ලදී. 1961 ජාතික රෙස්ලින් තරඟාවලියද 1962 පොදු රාජ්‍යමණ්ඩල කරග නියෝජනය කිරීමටද ඔහුට හැකිවිය. මේ නිසාම 1964 ටොකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට ඔහුට හැකිවිය.  එමෙන්ම 1966 බැංකොක් ආසියානු ක්‍රීඩාවලියද ඔහු නියෝජනය කළේය. පසුකාලයේ ඇතිවූ දනහිසේ ආබාධයක් හේතුකොටගෙන ඔහුට බොහෝ අගනා අවස්ථා මගහැරී ගියේ ය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයට ගිය එකම නළුවා මොහුය.  


ඔහුගේ සිනමා දිවියේ ආරම්භය සඳහන් වන්නේ වර්ෂ 1963 දිය. ඔහුගේ මුල්ම සිනමාපටය වූයේ වෙන ස්වර්ගයක් කුමටද යන්නයි . එය දමිළ සිනමාකරුවෙක් ටී. සෝමසේකරන් මහතාගේ චිත්‍රපටියකි. මුල් කාලීනව ඔහුට වැඩකිරීමට සිදුවන්නේ එවකට දක්ෂ දමිළ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් සමගය.  මේ නිසා එය ඔහුගේ සිනමා දිවියට මහත් ආලෝකයක් විය. ඉහත චිත්‍රපටයේ ඔහුගේ මුල්ම රඟපෑම වූයේ සටන් ජවනිකාවකි. ඒ මහා රංගධර හෙන්රි ජයසේන සමගයි.  එහෙත් එම දර්ශනය චිත්‍රපටයෙන්  හිතාමතාව ඉවත්කර තිබුණි. මේ කාලයේදීම ඔහුගේ හොඳම මිතුරෙකු වූ  එච්. ආර්. ජෝතිපාලගේ සහයෙන් ඔහුට ලෙනින් මොරායස් නම් ප්‍රබල සිනමාකරුවාත්, රොබින් ප්‍රනාන්දු නම් සටන් අධ්‍යක්ෂකවරයාත්  හඳුනාගැනිමේ භාග්‍යය හිමිවිය. වර්ෂ 1964 දී ඔහුගේ ආරාධනයෙන් රුහුණු කුමාරි චිත්‍රපටයට එක්විය.  ඉන්පසු 1968 අටවෙනි පුදුමය 1969  කොහොමද වැඩේ යන සිනමාපටවලට දායක විය.  




රුහුණු  කුමාරි  චිත්‍රපටය තිරගතවීමෙන් පසු මොහු ඉතා ජනප්‍රියතාවයට පත්වන අතර,  ඒ නිසාම 1972 ජෝ අබේවික්‍රමයන් විසින් ඔහුට හාර ලක්ෂයෙහි රඟපාන්නට ආරාධනා කළේය.  හාර ලක්ෂය ඔහුට හැරවුම් ලක්ෂයක් විය. ප්‍රථමවරට ඔහු චරිතාංග නළුවෙකු වන්නේ මෙම සිනමාපටයෙනි.  ප්‍රථමවරට  ඔහු දෙබස් කියන්නේ මෙම චිත්‍රපටයටය.  මෙහි නිර්මාණකරු වන්නේ ටයිටස් තොටවත්ත සූරීන්ය.  එම වසරේ තවත් චිත්‍රපට රැසකට දායකවන්නට අවස්ථාව ලැබුණි. රජගෙදර පරවියෝ, සරදියෙල්ගෙ පුතා, එම සිනමාපටයන්ය.  1973 මාතර ආච්චි,  දැන් මතකද,  සුහද පැතුම , සහයට ඩැනී වැනි සිනමාපට  විවිධ අධ්‍යක්ෂකවරුන් යටතේ රගපෑවේය.  1977 ව්ර්ෂයේ දී ඔහු හෙළයේ මහා සක්විති ගාමිණි ෆොන්සේකා සමග යකඩයා චිත්‍රපටයේ රඟපෑවේය.  ප්‍රධාන සටන් චරිතයක් රඟ දක්වමින් ඔහු මෙම සිනමාපටයට දායකවිය. මෙහිදී එක් දර්ශනයකදි මොහුගේ ප්‍රහාරයකට නතුවන ගාමිණීට දින තුනක් යනකම් ඇස්දෙ ඇරීමට නොහැකි වී ඇත. 


ඉන්පසු වර්ෂ 1982 පමණ වනවිට වේදිකාවට ද සම්බන්ධ විය.  ඒ සඳහා ඔහුට ඇන්තිනි සී පෙරේරා ගේ සහ  නාමෙල් විරමුණිගේ සහය ලැබුණි.   1983 වර්ෂයේ මර්වින්  ජයතුංග හා ආනන්ද හේවගේ අධ්‍යක්ෂණය කළ පසමිතුරෝ  සිනමා පටයට දායක වූ අතර,  එම චිත්‍රපටයේ යථාර්ථවාදි සිනමා රංගනයක් උදෙසා   ඔහුට ජනාධිපති සම්මාන හිමිවිය.


සිනමාවේදී ඔහුගේ  අතගත් පෙම්වතිය වූයේ සෝනියා දිසාය.  ඇය සමඟ ඔහු පෙමිවතාගේ චරිතය  රඟදක්වමින් බොහෝ  සිනමාපට වර්ණවත් කළේය.  ශ්‍රී මධාරා,  ඇගෙ ආදර කථාව,  සහයට ඩැනී,   කවුද රජා,  හරිම බඩු තුනක් එම සිනමාපට වේ.  ඔහු දමිළ සිනමාවද හොලිවුඩ චිත්‍රපටයකට ද දායක වී ඇත.  


අනෝමා  ලුම්බිණි නමැති  කාන්තාව 1978 විවාහකරගත් ඔහු තිදරු පියෙකි.   මිය යනවිට  79 වන වියෙහි වූ අතර , සිංහල සිනමාවේ තවත් මහා පුරුකක් අද දින අපෙන් සමුගන්නා ලදී .


අන්තර්ජාලය ඇසුරිණි

විචාරක දියණිය  පෙ ව 01 00 පැයට 



04 April 2020

දන්නා දෙයක් ගැන නොදන්නා යමක් 2

නැවතුණු තැනින් .....................

අද තමයි ජේතවන සංරක්ෂණය පිළිබඳ කථා කරන්නේ 

මම පසුගිය ලිපියෙන් සංරක්ෂණය කියන්නේ මොකක්ද?  සංරක්ෂණ මුලධර්ම පිළිබඳව විග්‍රහ කළා.  අද මා පවසන්නේ ජේතවනයේ කොත වර්තමාන තත්වයෙන් සංරරක්ෂණය කළ හේතුවයි.

පසුගිය ලිපියෙන් මා මූලික අගයන් 3ක් පිළිබඳව පැවසුවා.  ඒවා නැවත අනු අගයන්වලට ද බෙදී යනවා . එහිදී


  •     ඓතිහාසික  අගය‍
  •     ආශ්චර්යමත් අගය
  •     පුරාවිද්‍යාත්මක අගය‍
  •     ආගමික අගය
  •     සංස්කෘතික අගය
  •     දේශපාලන අගය

මේ අනුව යම් ස්මාරකයක් සංරක්ෂණයේදී  එම ස්මාරකයේ වඩාත් රැකගත යුතු අගයන් පිළිබඳ මැන බැලීමක් සිදුකරනවා.  ඉන්පසුව එම අගයන් රැකෙන පරිදි සංරක්ෂණ කටයුතු සිදුකරනු ලබනවා. එහිදි මෙම ස්මාරකයේ මුල් ස්වරුපය,  එහි ඓතිහාසික බව, පුරාවිද්‍යාත්මක අගය,  ආශ්චර්යමත් බව ආදිය  පිළිබඳව මෙහිදී   සැළකිළිමත් වෙනවා.  එය ස්මාරකයේ ස්වරූපය අනුව වෙනස් වෙනවා.


ඒ අනුව ජේතවන සංරක්ෂණයේදී ද මේ කරුණු පිළිබඳව සැළකිළිමත් වූණා.  මෙය ඉතා සරළ කාර්යයක් ලෙස ඔබට හැඟුනත් මෙය ඉතා  දුෂ්කර කාර්යයක් බව කිව යුතුයි.  මෙම සංරක්ෂණ කටයුතු වෙනුවෙන් අධ්‍යයයන කටයුතුවලටම වසර 10 කට අධික කාලයක් ගතවුණා.  ඊට හේතුව ඔබ දන්නා පරිදි මෙය ගඩොලින් තැනූ ස්මාරකයක්. අභයගිරිය ද ගඩොලින් තැනූ ස්මාරකයක්. නමුත් මේ සඳහා භාවිතා කරන ලද ගඩොල  දිගින් අඩු පළලින් වැඩි හා  පැතලි ගඩොලකි. මෙම ගඩොල නිර්මාණය කළේ කෙසේදැයි යන්න පිළිබඳව අපේ  වර්තමාන ශිල්පීන් නොදැන සිටි නිසා  මෙවැනි පුරාවිද්‍යා ස්මාරක ඇති බංගලාදේශයට  ඔවුන්ව පිටත්කර එම ගඩොල් තාක්ෂණික දැනුම ඔවුන්ට  ලබාදීමට  සැලැස්වීය. ඉන්පසුව  එම දැනුම ලබාගත් ශිල්පින් මෙහි පැම්ණ අනුරාධපුරයේ  යම් ස්ථානයක මෙම ගඩොල් සඳහා යොදා ගත හැකි මැටි වර්ග පිළිබඳව  අධ්‍යයනයක් කර එම මැටි  සුලබ  ප්‍රදේශයක්  ආසන්නයේ  පෝරණුවක් සාදා එම විහේෂ ගඩොල් නිෂ්පාදනය ඇරඹුවා. මෙම ගඩොලෙහි අනිවාර්යයෙන්ම  බුද්ධ වර්ෂය යෙදිම සිදුකළා.  එය අනිවාර්ය නිතියක්.  ඉන්පසුව සංරක්ෂණ කටයුතු  ආරම්භ කළා .


මෙම ගඩොල් බැඳිමට භාවතා කළේ ද වෙනස්ම  බදාමයකි.එනම් උළු කුඩු,මකුල් මැටි,දහයියා කුඩු  ආදී අමුද්‍රව්‍ය එක්කරන ලද්දකි. මෙම  උළු  කුඩුකිරීමටද යම් යන්ත්‍රයක් සකස් කරනු ලැබුවා.එය අභයගිරියේ  ස්ථුපය අසළ  ඉදිකළා .

ජේතවනයේ මුල් ස්වරූපය


ජේතවනයේ හතරැස් කොටුව සංරක්ෂණය 



ගර්භය හරහා ගඩොල් ඉහළට ගෙනයාම 




ගර්භය සංරක්ෂණය




මෙහිදී ප්‍රතිසංස්කරණය මෙන්ම පුනරුත්ථාපනය යන සංරක්ෂණ මූලධර්ම දෙකම උපයෝගී කරගත්තා.මෙහිදි කොත සංරක්ෂණය කිරීම පිළිබඳව  පැන නැගුණ ප්‍රධාන ගැටලුව නම් මෙම කොතෙහි මුල් ස්වරූපය දැක්වෙන කිසිම  සාක්ෂියක්  හමු නොවීමයි. ඡායාරූප,සිතියම් ආදි කිසිවක් මෙහි මුල් ස්වරූපය පිළිබඳ අදහසක් ලබා ගැනිමට  සොයා ගත නොහැකි වි තිබෙනවා.එවන් අවස්ථාවක දි අප හිතුමතේට මෙහි සංරක්ෂණ කටයුතු  සිදුකළහොත්  එහි  තිබෙන සම්පූර්ණ ස්වූපයේ හැඩය වෙනස් වීමටත්   එමෙන්ම අප  ඉහත දක්වන අගයන් හානියට පත්වීමටත් ඉඩ තිබෙනු  දුටු පුරාවිද්‍යා  ක්ෂේත්‍රයේ  ප්‍රබලයින්  දැනට තිබෙන පරිදිම එහි සංරන්ෂණය  නිමා කිරීමට ඉඩ සැළැස්සුවා.


ලිපියේ අවසානය



විචාරක දියණිය
පස්වරු 1500 පැයට

30 March 2020

දන්නා දෙයක් ගැන නොදන්නා යමක් 1

හැමදාම සිතට නැගෙන දේ ලිවුවට මේ ලිපි වලට යම් අර්යක් ඇති කරන්න වගේම මා උගත් විෂය පථයෙන් යමක් කරන්න සිතුව නිසා නව ලිපි පෙළක් අරඹන්න තමයි මේ හදන්නෙ. 


ජේතවනය හා අභයගිරිය පිළිබඳ ඔබතුමන්ලා මේ වනවිටත් බොහො ්කරුණු කාරණා දන්නවා යැයි මට හැගේ. නමුත් ඒ පිළිබඳව  තරමක් විශයානුබද්ධ කරුණු කාරණා බොහෝමයක්  ද තිබෙනවා .


අපි සරලව කථාකළොත් ජේතවනය හා අභයගිරිය පහසුවෙන් හදුනා ගතහැක්කේ කෙසේද? යන්න විමසා බැලුවහොත් සාමාන්‍යෙයන් ලබාදෙන පිළිතුර තමයි,  කොත බාගෙට  නිමවා තියෙන්නෙ ජේතවනයෙ, කොත සම්පූර්ණයෙන් නිමවා තියෙන්නෙ අභයගිරියෙ  කියලා. 

ලංකාවෙ මුලින්ම මේ ජේතවනය හා අභයගිරිය පිළිබඳ පර්යේෂණ පවත්වන්නෙ වර්ෂ 1890 ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පළමු කොමසාරිස්වරයා  වුණු එච්. සි. පී. බෙල් මහත්මයා.  එහෙත් ඔහු විසිනුත්  නැගෙනහිර හා බටහිර  දිශාව පිළිබඳ  වු යම් වරදිමක් නිසා එකළ ජේතවනය හා අභයගිරිය යන්නෙන් මුලින්ම හඳුන්වා දී තිබුණේ  මෙම ස්තූප දෙක මාරුකරගෙනය. එහෙත් පසුකාලීනව ඔහුගෙන් පසුකාලීනව වර්ෂ 1932 පුරාවිද්‍යා කොමසාරිස් ධුරයට පත් සෙනරත් පරණවිතාන සූරින්ගේ පර්යේෂණවල ප්‍රතිළුලයක් ලෙස නිවැරදි  ජේතවනය හා අභයගිරිය  හඳුන්වාදෙන ලදී. 


   පැරණී ජේතවන ස්තූපය                     

                                                


 








1

පැරණි අභයගිරි ස්තූපය



මේ අනුව වර්තමානය වනවිට මේවා සංරක්ෂණය කරමින් අනාගත පරපුරට උරුමකර දිම සඳහා කටයුතු කර තිබෙනවා. එහිදී මෙම සියලු සංරක්ෂණ කටයුතු සිදුකරන්නේ සංරක්ෂණ මූලධර්මයන්ට අනුකූලවයි. 

එහිදී ස්මාරක සංරක්ෂණයේදී පළමුව ස්මාරකයේ අගයන් පිළිබඳ සොයා බලනවා. මෙම අගයන් ප්‍රධාන  කොටස්  3කට වෙන් කරනවා.

                 1.    භාව විෂයක අගය.
                 2.  සංස්කාතික අගය.
                 3.  පරිහරණ අගය

              

මෙම අගයන්වලින් බලාපොරොත්තුවනුයේ සංරක්ෂණයේදි මෙම අගයන්ට හානි නොවන පරිදි කටයුතු කිරීමයි. එහිදි යම් හානියක් සිදුවුවහොත් වඩාත් රැකගත යුත්තේ කුමන අගයන් දැයි මෙහිදී පරීක්ෂාවට ලක්කරනවා.

එහිදී සංරක්ෂණ මූලධර්ම යටතේ ස්මාරකයක් සංරක්ෂණයේදී  ප්‍රධාන වශයෙන් ක්‍රම 7ක් යටතේ සංරක්ෂණය කළ හැකියි. ඉන් වැඩි වශයෙන් ලෝකයේ ස්මාරක සංරක්ෂණයේදී භාවිතා කරන ක්‍රම කිහිපයක් පහත දැක්වෙනවා.  

                                          

                    1.    ප්‍රතිසංස්කරණය  - renovation
                 2.  පුනරුත්ථාපනය - restoration
                 3. නැවත ඉදිකිරීම  - re location
                 4. ප්‍රතිනිර්මාණය - recreation

              

මේවා බැලූ බැල්මට එකම ආකාරයේ වචන වගේ පෙනුනත්, සංරක්ෂණයේදී මෙම ක්‍රමවේද භාවිතා කරන්නේ  එම ස්මාරකයන්ගේ අගයන් මැන බැලිමෙන් පසුව අවම හානි ඇතිවන පරිදියි. 


ප්‍රතිසංස්කරණය


 බොහෝ  ස්මාරකයන් සඳහා බහුලව  සිදුකරනු ලබන සංරක්ෂණ ක්‍රමවේදය ප්‍රතිසංස්කරණයයි. ඒ අනුව  ස්මාරකයේ සංරක්ෂණ කළයුතු කොටස් පරීක්ෂා කරබලා සුදුසු පරිදි ප්‍රතිසංස්කරණය කටයුතු සිදුකරනු ලබනවා. එහිදි එහි මුල් පෙනුම,  එහි ඇති ඓතිහාසික  බව,  උපයෝගිතාව  ආදි සියලු කරනු සැළකිල්ලට ගනු ලබනවා.  එමෙන්ම  මෙහිදී මුල් අමුද්‍රව්‍ වලට වඩා ශක්තියෙන් අඩු අමුදුවය තමයි  භාවිතයට ගනු ලබන්නේ.  එයින්  බලාපොරොත්තු වනුයේ හායනය අවම වීමයි .  හායනය යනු  දිරාපත්වීමයි.  අපි මුල් අමුද්‍රව්‍යයට වඩා ශක්තියෙන් වැඩි අමුද්‍රවය යෙදුවහොත් ඉක්මනින් හායනයට ලක්වන්නේ මුල් අමුද්‍රව්‍යයයි. සංරක්ෂණයේදී මූලික අරමුණ ස්මාරකයේ මුල් ස්වභාවය හැකිකාත් ආරක්ෂා කරගැනීමයි. 

උදා -  ගාලු කොටුව,  ජේතවනය ස්තූපය, අභයගිරිය ස්තූපය


පුනරුත්ථාපනය

මෙය සිදුකරනු ලබන්නේ  ස්මාරකය  තරමක් විනාශ වි ගොස් ඇති විටකයි .  එහිදි  එම හානි වූ කොටස් සඳහා සුදුසු අමුද්‍රවය භාවිතා කරමින්  නැවත ඉදිකිරීමයි.

උදා - සීගිරි චිත්‍ර , ලංකාරාමය,  ඊජිප්තු පිරමිඩ


සීගිරිය සිංහ පාදය













ප්‍රතිනිර්මාණය

මෙහිදි  ස්මාරකය බෙහෙවින් විනාශ වී ඇති විටෙන එහි මුල් ස්වරූපයට සමානවන අයුරින් මුල් ස්මාරකකයේ  ගත හැකි කොටස් සියල්ල එක්කරමින් ඒවා නිවැරදි පිළිවෙළට සකසා  අඩු ස්ථානයන්ට සුදුසු අමුද්‍රවය යොදා මුල් සමාරකය හා ගැළපෙන පරිද්දෙන් එහි අගයන්ට අවම හානිවන පරිද්දෙන්  සැකසීම මෙම ප්‍රතිනිර්මාණය කිරීම ලෙස සැළකෙනවා .

උදා-    පොළොන්නරුවේ  ලංකාතිලක පිළිමගෙය, පොළොන්නරු ශිව  දේවාලය



යළි ගොඩනැගීම

මෙවැනි අවස්තාවක් උදාවෙන්නේ ඉතාමත් විරලවය එනම් යම් ස්මාරකයක්  කිසියම් සංවර්ධන ක්‍රියාවලියක් නිසා හෝ  යම් අවධානම් සහගත තත්වයක් නිසා  විනාශවිම වැළැක්වීම  අවම කිරීම පිණිස  ඊට සුදුසු ස්ථානයක් තෝරා එය තිබූ අයුරින්ම නැවත සැකසීම මෙම යළි ගොඩනැගීම ලෙස  සඳහන් කළ හැකිය. 

උදා - මාතලේ නාලන්දා ගෙඩිගේ,   ඊජිප්තුවේ අබු සිම්බල් දේවස්ථානය 



ඉතාමත් අවධාරණය කළයුතු කරුණ වන්නේ ඇතැම් ස්මාරකයන් සංරක්ෂණයේදී ඇතැම්විට මෙම ක්‍රමවේද දෙක තුනක් එකවර භාවිතා කිරිමට සිදුවීමයි. 


විචාරක දියණිය
පස්වරු 2300 පැයට 

මතු සම්බන්ධයි.

17 February 2019

අසහාය රංගධරයා හා සොඳුරු මිනිසා


 

සෑම රංගන ශිල්පියෙක්ම ශිල්පිණියක්ම  උත්සාහ  කරන්නේ රසික හදවත් ඔවුන් සතු කරගන්නයි. එහෙත් ඒක ලෙහෙසි පහසු කර්තව්‍යක් නොවෙයි. ජීවිතයෙන් සමු ගත්තත් සදා අණුස්මරණීය චරිතයක් විමත් එතරම්ම අපහසු කාර්යයකි. කෙසේ වෙතත් අද මගේ කථාවේ නායකයා  ඔහුයි.


හේ නමින් කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග නම් විය. මහා පෞර්ෂයක්, මනස්කාන්ත මුහුණක්, අපූරු කටහඬක්, මානව දයාවත් පෙරදැරිව පැමිණි ඔහු 1945 ඔක්තොබර් 9 දින රාගම දී උපත ලැබීය.

කොටහේන  ශාන්ත බෙනඩික් විද්‍යාලය හා කඳාන ද මැසනඩ් විද්‍යාලයෙන් සිප්සතර හදාරන ඔහුගේ පාසල් මිතුරා වන්නේ රවින්ද්‍ර රන්දෙනියයි.


තරුණ විජය කුමාරතුංග ඔහුගේ පළමු සිනමා නිර්මාණය වන හන්තානේ කතාවක් චිත්‍රපටයට දායක වන්නේ වර්ෂ 1968  දීය. සිය කුළුඳුල් රංගනයෙන් මනා ප්‍රතිභාවක් පෙන්වන මේ රංගනවේදීයා 1970 සහ 1980 දශකයේ සිනමාව තමන් සන්තක කරගන්නට සමත් වන්නේය . යෞවනියන්ගේ සිහින කුමරා බවට පත්වන මොහුට වාණිජ සිනමාව  මෙන්ම කලාත්මක සිනමාවේද දිග්විජය කරන්නට පාර තනා දෙන්නට මෙරට ප්‍රබල සිනමා අධ්‍යක්ෂකවරුන්ට හැකිවන්නේය.  බිරහස, තුෂාරා, හතර දෙනාම සූරයෝ, එදත් සූරයා අදත් සූරයා,  කෙස්ර සිංහයෝ ,  මේ දැස් කුමටද,  සංගීතා,   දුලීකා ,වාසනා  , මදු සිහින, අනුපමා, දෙව්දුව,  නොම්මර 17, මධුසමය,  මරුවා සමග වාසේ , දියමන්ති, යුක්තියද ශක්තියද, කැඩපතක ඡායා, සූරියකාන්තා, ආදරේ හිතෙනව දැක්කම  වැනි විශාල වාණිජ චිත්‍රපට රැසකත් අහස් ගව්ව,  බඹරු ඇවිත්, පාරදිගේ, එයා දැන් ලොකු ළමයෙක්, කරුමක්කාරයෝ, බැද්දේගම, ගඟ අද්දර,   යස ඉසුරු,  අහසින් පොළොවට, පාරමිතා  වැනි කලාත්මක චිත්‍රපට රැසකත් සිය රංඟන කෞෂල්‍ය මතු කළේය.




 












ඔහු  රගපෑ අවසන් චිත්‍රපයට ක්‍රිස්තු චරිතයයි. එය ඔහුගේ මරණයෙන් වසර 2කට පසු තිරගත විය. ඔහු විසින් රග දක්වන ලද මුළු සිනමා නිර්මාණ ගණන 114 පමණ වේ. 1978 – 1983 දක්වා අඛණ්ඩව පස්වතාවක් සරසවිය සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවා වන්නට සමත්වන මොහු සරසවිය, OCIC , ජනාධිපති ආදි සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. ඔහු විසින් ගයන ලද ගීතයන් බොහෝ ප්‍රමාණයක් ඇත. ඊට ජනප්‍රිය ගීත රැසක්  අඩංගුය.

1.   දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම් අළුගෝසුවනේ එල්ලාපන්...........
2.   ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී..........
3.   රූස්ස ගහ යට ...........
4.   මිණි කිංකිණි හඬ පරදා .............
5.   සැරයටියෙන් අපි යනෙන තුරා .............
6.   පායා සීත රැයේ...........
7.   රැල්ළෙන් රැල්ළට පාවෙන ඔරුවේ...............
8.   වළාකුළක් ගෙන ...........
9.   පාට සරුංගල් වාගේ අපේ ජීවිතේ.....................
10.                   ආදරයක හැඟුමක් .....................                                       


ඔහුගේ  මෙම රංගන කාර්යය තුළ සාර්ථක වන්නට ඔහුට අතහිත දුන් නළු නිළි පිරිසක් ද සිටියෝය. ඔහු සමග කථා නායිකාව වන්නට බොහෝ අය පෙරුම්පිරුවත් ඉන් ජයගත්තේ කිහිප දෙනෙකි. මාලනි ෆොන්සේකා ඒ අතර සුවිහේෂී විය. ස්වර්ණා මල්ලවාරච්චි, ගිතා කුමාරසිංහ,  නීටා ප්‍රනාන්දු,  බියුලා ඩයස්,  වසන්ති චතුරාණි, සබීතා පෙරේරා, නදිකා ගුණසේකර , ශ්‍රියානි අමරසේන, වැනි නිළියන් ද  රවීන්දු රන්දෙනිය , සනත් ගුණතිලක, ෆෙඩී සිල්වා,  විමල් කුමාර ද කොස්තා,  ගාමිණී ෆොන්සේකා,  ජෝ අබේවික්‍රම, ක්ලීටස් මෙන්ඩිස්   වැනි නළුවන් ඔහුගේ සමීපතයන් මෙන්ම සගයෝ වූහ.



ඔහු විසින් සිනමාවට ඔහුගේ ඥාති පුත්‍රයා වූ ජීවන් කුමාරතුංග හඳුන්වා  දුන්නේය. මේ සිනමා කාර්යය තුළ ඔහුගේ පෙද්ගලික ජිවිතය ද ගලාගෙන ගියේය. 70 දශකයේ මැද භාගයේදී ඔහුගේ දිගුකාලීන සහායිකාව වූ මාලනී විවාහ කරගැනිමට විජය සියල්ල සැළසුම් කළේය. කසාදය ලියාපදිංචි කොට පසුව සුළු උත්සවයක් පැවැත්වීමට දෙදෙනා තීරණය කළ අතර, මෙම කාලයේ ද ඔවුන් දෙදෙනා චිත්‍රපටයකට දායක වෙමින් සිටියහ . කතිකා කරගත් පරිදි මාලනි රෙජිස්ටාර් කාර්යාලයට වි බලා සිටියේ විජය එනතුරුය. විවාහය සඳහා යාමට වීමට සුදානම් වන විටදි ඔහුට ආරංචි වුයේ  ඔහුගේ වැඩිමහල් සහෝදරයා එනම් ජීවන් කුමාරතුංගගේ පියා මියගොස් ඇති බවයි. සියල්ල පසෙක දමා මල්ශාලාවට ගිය ඔහු, තම මංගල ඇඳුම සිය සහෝදරයාගේ දේහයට ඇන්දවීය. මාලනියට පණිවිඩයක් යවමින් පවසා සිටියේ සිය සහෝදරයා මිය ගිය බවත් අද මංගල්ලය නොකරන බවත්ය. එදා නොකෙරුණු මංගල්ලය කිසිදා සිදු නොවුණි.


70 දශකය අගභාගයේදි  විජය සම සමාජ පක්ෂයට එකතුවෙමින්  සිය දේශපාලන ගමන්මග ද ආරම්භ කළේය. පසුව ඔහු  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සම්බන්ධ විය. එවකට බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි වී තිබු අතර, ඒ සඳහා දැවැන්ත සටනක් ආරම්භ කර තිබුණි .එම රැස්විම් සංවිධානය කිරිමට ද වෙනත් කටයුතු සඳහා මැතිණිය හමුවීමටද විජය නිතර හොරගොල්ලට යාම සිදුවුණි. මුලින්ම අනුර සමග කුළුපග වු අතර විජයගේ කථිකත්වයට පෙම්බැඳි එවකට යෞවනියක් වු චන්ද්‍රිකා කුමාරතුංග  ද ඔහු සමග රැස්වීම්වලට සහභාගි වූවාය. දෙදෙනාටම හොරා දළු ලෑ ප්‍රේමය වර්ෂ 1978   දි විවාහයකින් කෙළවර විය. මෙම විවාහයෙන් විමුක්ති හා යශෝදරා ඔවුනට දායාද විය.











විජය 1982 දී ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ හෙක්ටර් කොබ්බෑකජුව මහතා වෙනුවෙන් සහය දැක්වීම නිසා  සිරගත කළ  අතර,  හිරෙන් නිදහස් වූ ඔහු මහර අතුරු මැතිවරණයට ඉදිරි පත් වූ අතර ,එහිදි ඔහුව මරණ තර්ජන කොට එයින් ඉවත් කරවිය. එහිදි ඔහුගේ  හිතවාදි අයෙක් මරණයට පත්විය. ඉන්පසු ඔහු සිය මතය ගොඩනැගිම සඳහා ශ්‍රී ලංකා මහජන පක්ෂය ගොඩනැගීය. 1986 වන විට  කිසිම දේශපාලකයෙකුට  යා නොහැකිව තිබූ යාපනයේ සංචාරය කළ ඔහු එල් ටී ටී ඊ සංවිධානය සමඟ  සාකච්ඡාවක් පවත්වා අපේ සිරකරගෙන සිටි සෙබව 4ක් නිදහස් කරන ලදි. යාපනය නගර මධ්‍යයේ සිට කථාවක් ද පවත්වා  දෙමළ ජනතාවගේ සිත්සතන් දිනාගත් ඔහු නල්ලූර් කෝවිලද වැඳ පුදා ගත්තේය. මෙය එවකට පැවති දේශපාලනය උඩුයටිකුරු කිරීමට සමත්විය. දෙමළ - සිංහල ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ සාමය හා සංහිඳියාව තුළින් පමණක් බව ඔහු තරයේ විශ්වාස කළ අතර, ඔහු ඒ සඳහා ක්‍රියා කළේය. එහි අවසන් මහා සටන 1988 ජනවාරි 28 වනදා  ඔහු පවතින ආණ්ඩුවට එරෙහිව සියලු පක්ෂ එකතු කළ අතර,  කැම්බල් පිටියේ  විශාල දේශනයක් ද සිදුකළේය. එ් ඔහුගේ අවසන් දේශපාලන රැළිය විය.




මරුවා ඔහුට පෙර  පිඹුරුපත් සැකසුවේය. 1988 පෙබරවාරි මාසයේ මුල් දිනක ඔහුගේ නිවසට දුරකථන ඇමතුමකින් පවසන්නේ දිවා හෝජනයක් සඳහා ඇරයුමකි. ඒ කාලය එතරම් සුබවාදී නොවූ නිසා චන්ද්‍රිකා ඊට තදින්ම විරුද්ධ විය. එහෙත් විජය ආරාධනාව පිළිගත් අතර, සුපුරුදු දින එනම් 1988 පෙබරවාරි 16 වන දින නිවසින් පිටවීමට සූදානම් වන අතර චන්ද්‍රිකා ඔහුට පිළිගැන්වීමට ගෙනා දොඩම් වීදුරුව අතට ගන්නටත් පෙර වැටී බිඳෙන්නේ ඇගේ හිත කීරි ගැස්සෙමිනි. දැන් යන්න එපා  යැයි ඈ කීවත්, දෛවය ඇයට පෙර ඉස්සර විය ඇයව සැනසූ ඔහු, ඉක්මණට එනවා යැයි පවසා ගේට්ටුව දෙසට ගිය අතර, වාහනය ගේට්ටුවෙන් පිට නවතා තිබුණි. කිසිත් නොදත් කුඩා යශෝදරා තාත්තී මාත් එනවා යයි පවසමින් ඔහු  ලඟට දිව යමින් සිටියාය. එ් අඳුරු නිමේෂයේ දී පාරේ සැගවි සිටි සාහසිකයෝ  සතර දිගින් වෙඩි තබන ලදි. වහා පැන සිය දියණීය දැතට ඔසවා ගත් විජයගේ පිට දෙපැත්තට පළමු වෙඩිපහර දෙක වැදෙන අතර, වැරෙන් සිය දියණිය වත්තට තල්ලු කරන අතර, දුවන්න යයි කෑ ගසන අතර, වෙඩි ශබ්දය ඇසී චන්ද්‍රිකා දුවගෙන එන විටත් ලේ විලක් මැද විජය සියල්ල දමා අවසන් සුසුම් හෙළා තිබුණි . මරණ තර්ජනවලදි පැවසු පරිදිම විජයගේ මුහුණට වෙඩි තබා තිබූ අතර එම නිසා දේහයේ මුහුණ වසා තිබුණි.


එවකට පස් හැවිරිදි වියේ සිටි මට ගුවන් විදුලියේ ප්‍රවාත්ති ඇසූ අපේ අම්මා ළමයෝ විජේ කුමාරතුංග මරලා යනුවෙන් කී හැටි තවම මතකය. එසැණින් රූපවාහිණිය ක්‍රියාත්මක කළ විට සියලු විස්තර සජීවිව පෙන්වමින් තිබුණි. ඊට දින 6 කට පසුව  එනම් 1988 පෙබරවාරි 21 විජයගේ ආදාහන උත්සවය ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ සෝ සුසුම් මැද නිදහස් චතුරස්‍රයේ දි සිදුවිය. විජයගේ පක්ෂය හා ප්‍රතිපත්ථි හා ඉදිරියට ගෙනයාමය වන්ද්‍රිකා මැතිණිය දේහය ඉදිරියේ සපථ කරත් මවක් වශයෙන් ඈ අඩියටම වැටී සිටියේ  විජය මිය ගිය දිනයේ සිට කුඩා යශෝදරා ඉතා තදින් ගිලන් විමත් සමගයි . පැවති තත්ත්වය හමුවේ ඇයට ළමයින්ගේ යහපත වෙනුවෙන් රට අතහැර යෑම හැර විකල්පයක් නොවීය.


විජයගේ අවසන්  වචන වූයේ  මෙයයි.


මරණය කියන අකුරු හතරට මගෙ කිසීම බයක් නෑ. කවුරු මොන විදියෙ චෝදනා කෙරුවත් මගෙ හෘද සාක්ෂිය දන්නව මං නිර්දෝෂයි කියලා. අන්න ඒ හින්දා මට කිසිම කණගාටුවක් නැතුව පෝරකයට නගින්න පුළුවන් .......................


 වසර 32 නික්ම  ගියත් අද ද ඔබ ජිවමානය


                                                                                                                                                                                                                                                                                                                                 

  

විචාරක දියණිය 17.00 පැයට








.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }