හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ
Showing posts with label දේශපාලන. Show all posts
Showing posts with label දේශපාලන. Show all posts

08 October 2015

මේ වැඩේ හරිද වැරදිද?

   යුද හමුදා සෙබළුන් සිව් දෙනෙකු විසින්, දැනට වසර පහකට පමණ පෙර, මුලතිව් ප්‍රදේශයේදී, ද්‍රවිඩ ජාතික කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කළ බවට චෝදනා කොට, දඬුවම් දීමේ සිද්ධියක් වාර්තාවී තිබෙනවා. නඩුව විභාගවී තිබෙන්නේ, යාපනය මහාධිකරණයෙදී. මේ පිළිබඳව, 'ලංකා නිව්ස් වෙබ් ටුඩේ'  අඩවියේ පළවූ වාර්තාවක් කියවීමෙන් පසු, මට ඒ සම්බන්ධව ඔබ සමග සාකච්ඡා කරන්නට හිතුනා. මුලින්ම කියවා බලන්න, අදාළ වෙබ් අඩවියේ වාර්තාව.


Screenshot (75)
Screenshot (76)


   මේ වාර්තාව අනුව පෙන්වා දෙන්නේ, යාපනය මහාධිකරණ විනිසුරුවරයා, මේ රටේ හමුදා සෙබළුන්, ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ, යුද අපරාධකරුවන් බවට පත්කිරීමේ අරමුණෙන්, ක්‍රියාකරන බවයි. මාතෘකාවේම යොදා තිබෙන්නේ 'හමුදා සෙබළුන් යුද අපරාධකරුවන් කිරීමේ සැලැස්ම සාර්ථක' බවයි. මේ වාර්තාව සැකසූ තැනැත්තා, ජාත්‍යන්තර නීතිය ගැන මෙලෝ හසරක් නොදන්නා පුද්ගලයකු බව, ඒ ප්‍රකාශය තුළින්ම, මැනැවින් ගම්‍ය වනවා. යම්කිසි රටක, අභ්‍යන්තර හෝ බාහිර යුද්ධයක් පවතින අවස්ථාවක, සක්‍රිය සේවයේ යෙදීසිටින ආරක්‍ෂක හමුදා අයවලුන් විසින්, සතුරු හමුදාවේ හෝ සාමාන්‍ය ජනතාව වශයෙන් සැළකෙන අයගේ, මානව හිමිකම් උල්ලංඝනය වන අයුරින් කරන සෑම ක්‍රියාවක්ම සැළකෙන්නේ, යුද අපරාධයක් ලෙසයි.


   මේ වාර්තාව සැකසූ තැනැත්තා, යටත්පිරිසෙයින්, පහත දැක්වෙන කරුණු පිළිබඳව, මූලික අවබෝධයක්වත් නැතිව, මෙය ලියා ඇති බවද පැහැදිළි වෙනවා. 


    මේ අධිකරණ ක්‍රියාවලියේදී සිදුවී තිබෙන්නේ, මේ සෙබළුන්, ජාත්‍යන්තර යුද අධිකරණයක් වෙත ගෙනයාමට දරන ලද උත්සාහයක් නොවෙයි. ඔවුන්ට මේ රටේ වලංගු නීතිය යටතේ චෝදනා නගා, සාධාරණ සැකයකින් තොරව එම චෝදනා ඔප්පු කර, මේ රටේ නීතිය අනුව දඬුවම් ලබාදීමයි. එසේනම්, මේ වාර්තාවේ කියන පරිදි (ඉඟි කරන පරිදි), අනාගතයේදී මේ රටේ ඕනෑම අධිකරණයකින්, හමුදා අයවලුන් තම සේවා කාලය තුළ කරන ලද මෙවැනි අපරාධ වලට දඬුවම් දීම වරදක්ද? ඔවුන්ට අපරාධ වලින් ගැලවී සිටීමේ මුක්තියක් දියයුතුද? යාපනය මහාධිකරණ විනිසුරුවරයා ශ්‍රී ලංකාවේ වලංගු නීති පද්ධතියට පිටස්තර යම් ක්‍රියාවක් කර තිබේද? හමුදා අයවලුන්ට එරෙහිව මේ හා සමාන චෝදනා, ඉදිරියේදී විභාග වන්නට නියමිතයි.

   යුද සමයේදී මේ සෙබළුන් දූෂණය කළේ, වවුනියාවේ පදිංචි සිංහල කාන්තාවක් නම්, එම නඩුව වවුනියාවේ මහාධිකරණයේදී විභාග කර, මේ තීන්දුව දුන්නේ, මේ විනිශ්චයකාරවරයා විසින්ම නම්, ලංකා නිව්ස් වෙබ් ටුඩේ හි, ස්ථාවරය කුමක්ද? 

   මට මතක්වනවා එක්තරා සිද්ධි දෙකක්.

   1994 දී පමණ, වවුනියාවේදී, යුද හමුදා ලුතිතන් වරයකු සහ උප පොලිස් පරීක්‍ෂක වරයකු, නිළ ඇඳුමින් මහමගදී ගහගත්තා. අන්තිමේදී උසාවි යන්න වුනා. විත්තිකරු හමුදා නිලධාරියා. ද්‍රවිඩ ජාතික විනිසුරුවරයා දෙදෙනාටම එන්න කිව්වා, විවෘත අධිකරණය ඉදිරියට. විත්ති කූඩුවටවත් පැමිණිලි කූඩුවටවත් නගින්න එපා කිව්වා. ඔවුන්ගෙන් ඇහුවා, ලැජ්ජාව කියල දෙයක් ඔබට තියනවද? මේ රටේ දැන් මහ යුද්ධයක් යනවා, ඒ අතරේ ඔබ දෙදෙනා එනවා, පෞද්ගලික ප්‍රශ්න අරගෙන උසාවියට. ඔබ දෙදෙනාටම මේ රට වෙනුවෙන් කරන්න විශාල කාර්ය භාරයක් තියනවා. එයටයි ප්‍රමුඛත්වය දියයුත්තේ. වහාම අතට අත දී සමාදානවී, මේ උසාවියෙන් පිටවී යන ලෙස මා නියෝග කරනවා කිව්වා.  අර දෙන්නා එහෙම කළා. ඒ විනිසුරුවරයා කළදේ හරිද වැරදිද?

   එවැනිම ඊළඟ සිද්ධිය තමයි, එක්තරා ජ්‍යොෂ්ඨ පොලිස් නිලධාරියකු, සාමාන්‍ය ඇඳුමෙන් සැරසී, තම පවුලේ සාමාජිකයන් ද සමග, හමුදා අධි ආරක්‍ෂක කලාපයක පිහිටි, සුන්දර වෙරළ තීරයකට යාම සඳහා, මාළු බෝට්ටුවකින්, කළපුවක් හරහා පැමිණ, හමුදා පාලනය යටතේ තිබුණු, ජැටියක ගොඩ බැසීමට උත්සාහ කිරීමේදී ඇතිවූ උණුසුම් තත්වයක් මත, අවසානයේදී හමුදා රෙජිමේන්තුවක්ම උසාවියට කැඳවීමේ සිද්ධිය. මෙය සිදුවුණේ 2002 දී පමණ. 

   මෙහිදී උසාවි නියෝගයක් ලැබුණා, නඩුව අවසන් වනතුරු, (කලින් සිද්ධියේදී මෙන්ම මෙයද උසාවියේදී සමථයට පත්වුණා) අදාළ හමුදා බලඇණිය, එම දිස්ත්‍රික්කයෙන් ඉවත් කළයුතුයි කියා. මීටර් 400 ක් කලපුවෙන් මෙගොඩ අයත්වුනේ, වෙනත් දිස්ත්‍රික්කයකට. ඉතින් අර බලඇණිය, තමන්ගේ බඩු කරගහගෙන, මීටර් 400ක් බෝට්ටුවෙන් ගොස්, ස්ථාන මාරුව සිදුකළා. මෙහිදී පොලීසිය උසාවියට නැවතත් වාර්තා කළා, ඈත්වූ දුර මදි බව. නමුත් උසාවිය එය පිළිගත්තේ නැහැ. මේ නඩුව ඇහුවෙත්, ද්‍රවිඩ ජාතික විනිසුරු වරයෙක්. ඉතින් ඔහුගේ ක්‍රියාව හමුදාවට පක්‍ෂපාතී ද?

   ඉහත වාර්තාව ගැන, ලංකා නිව්ස් වෙබ් ටුඩේ අඩවියේදී, ඉඳුරාම අදහස් දැක්වීමේ අයිතියක්, පාඨකයාට නැහැ. ඒ නිසයි, මා මෙය ඔබවෙත ගෙන ආවේ. ඔබ මොකද හිතන්නේ? 

2015 ඔක්තෝබර් මස 08 වැනි දින 1401 පැය 

02 May 2015

අනේ 'කාලය' වනේ වාසේ

   බුදු දහම පදනම් කරගත් කියමනක් තියනවා, 'අනේ කාලේ වනේ වාසේ' කියලා. මෙහි මා දන්නා තේරුම නම්, 'කිසිදු පිළිසරණක් නැතිවූ විට ඉබාගාතේ යමින් ජීවත්වීමට සිදුවේ' යන්නයි. තවත් පැහැදිළි කිරීමක් තියනවා, 'බුදුවරයකු නැති කල මිනිසා අතරමං වීමට ලක්වේ' කියලා. මීට වඩා සුදුසු තේරුමක් තිබේනම්, එය ඔබේ අදහස් වශයෙන් දක්වන ලෙස, කාරුණිකව ඉල්ලනවා. මා මෙම ලිපියේ මාතෘකාවට යොදාගත්තේ, අනේ කාලේ වනේ වාසේ කියලා නෙවෙයි. අනේ 'කාලය' වනේ වාසේ යන්නයි. 'කාලය' යනුවෙන් ලියැවෙන බ්ලොග් අඩවියක් තිබෙන බවත්, එය ලියන්නේ නලින් ද සිල්වා නමැත්තකු විසින් බවත් ඔබ දන්නවා ඇති.

   මේ බ්ලොග් අඩවියේ තිබෙන විශේෂත්වය වන්නේ, කියවන්නාට තම අදහස් දැක්වීමට ඉඩ ලබා නොදීමයි. ඒ කියන්නේ, කියවන්නා අනිවාර්යයෙන් ලියන්නාගේ මතය පිළිගත යුතු බවද? නොඑසේනම් වෙනත් හේතුවක් නිසාද? අන් මත ඉවසීමේ ගුණය නලින් ද සිල්වාට නැද්ද? මේ අර මහාචාර්ය නලින් ද සිල්වාද? (මහාචාර්ය නලින් ද සිල්වාට ඉවසීමේ ගුණය නැති බව මම කීපවිටක් අත්විඳ ඇත්තෙමි) දැන්නම්, නලින්ද සිල්වාගේ ගණිත ඥානය කෙසේ වෙතත්, මූලික සිංහල ඥානයත් කුරුවල් වී ඇති බව, පැහැදිළිව පෙනෙයි. මැයි පළමුවැනිදා, නලින් ද සිල්වා, තම අඩවියේ ලියන ලද ලිපියේ මුල් කොටස, පහත දක්වමි. (රූපය පැහැදිලිව දැකබලා ගැනීම පිණිස එය මත ක්ලික් කරන්න)

Screenshot (1)

   මේ රූපයේ දැක්වෙන ලිපියේ ඇති වැකි දෙකකට යටින්, මා රතු ඉරි ඇඳ ඇති බව, ඔබට පෙනෙනවා ඇති. බලන්න පළමුවැනි වාක්‍යය. එය කියවෙන්නේ මෙසේයි.

//සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර නිදහස් කරනු ලැබිණි//

   කුමක්ද මේ වාක්‍යයෙන් කියවෙන්නේ? අමුම අමු අපභ්‍රංශයක් නොවේද? මේ වාක්‍යය අනුව තරුණිය ජනාධිපති සමාව යටතේ සිරගත කර ඇත. පසුව, සිරගත කරන ලද කාලය කෙටි කර ඇත. මේ කොයි ලෝකේ සිංහලද? නලින් ද සිල්වාට මෙවැනි සරල වාක්‍යයක්වත් නිවැරදිව ලියා ගන්නට බැරි තරම් මොළය කොලොප්පම් වී තිබෙන්නේ ඇයි?
   පසුගිය ජනවාරි 8 වැනිදායින් පසුව ඔහු මහත් ශෝකයකට, කණගාටුවකට, භීතියකට, බලාපොරොත්තු සුන්වීමකට, ලක්වී ඇති නිසයි. ඔහු සිහින දකිමින් සැතපී සිටි වළාකුළු යහන, ජනතා පරමාධිපත්‍යය විසින් පොළොවට ඇද දැමීම නිසයි.

   බලන්න දෙවැනි වාක්‍යය. දෙවැනි වාක්‍යයේදී ඔහුට වත්මන් ජනාධිපති සමග ඇති කෝපය ඉස්මතු වෙයි. ඒ නිසා ඔහු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නොකියා, නිකම්ම මෛත්‍රීපාල සිරිසේන කියයි. තමන්ගේ තරහ පෙන්වයි. නමුත්, විජයදාස රාජපක්ෂට අධිකරණ ඇමති යයි කියයි.

   නලින්ද සිල්වා, මෙලෙස, අශූචි වලේ ලගිමින්, සිංහයන්ට සටනට අභියෝග කරන සූකරයාගේ චරිත රංගනයෙන් මිදී, කියවන්නාට අදහස් පළකිරීමේ නිදහස සහිතව, තම අඩවිය පවත්වාගෙන යන්නේ නම්, ඔහු තවදුරටත් බුද්ධිමතෙකු ලෙස සැලකීමට හැකිය. නොඑසේනම්, තම බියසුළු බව වසාගැනීම සඳහා, මෙලෙස නීචකම් නොකළ යුතුය. ඉදින්, මෙනයින් සළකා බලන කල, 'කාලය' බ්ලොග් අඩවිය, වනේ වාසේ වී ඇති බව පෙනීයයි. එනිසයි මා කියන්නේ, අනේ 'කාලය' වනේ වාසේ කියා. 

   මම නලින් ද සිල්වාගෙන් මෙසේ අසමි. මගේ මේ ලිපියට එරෙහිව සහ ඔබට පක්ෂපාතීව දක්වන අදහස්, මවිසින් වාරණය කරන්නේ නම්, ඔබ ඊට කැමතිද? ඔබ කැමති, එවැනි වාරණ, සීමා, බලහත්කාරකම්, මානව නිදහස පැහැරගැනීම්, කප්පම්, අතුරුදන් කිරීම්, කොමිස් ගැහිලි, කුඩු, එතනෝල්, ක්‍රමයේ සමාජයකට නේද?



2015 මැයි මස 2 වැනි දින 0824 පැය  

17 March 2015

අතින් කාලා හරක් බලන ලෝකයේ ප්‍රථම ෆීල්ඩ් මාර්ෂල්

මතක ඇති නේද අපි මෑතකදී කතාකළා, ලංකාවේ ප්‍රථම වරට පිහිටුවන්න යන ෆීල්ඩ් මාර්ෂල් තනතුර ගැන. ඔන්න දැන් ඒක පිහිටුවන්න තමා යන්නේ. හැබැයි අලුත් ෆීල්ඩ් මාර්ෂල් උන්නැහේට, අතින් කාලා හරක් බලන්න වෙලා. බලන්නකෝ ඔය පහලින් තියන ප්‍රවෘත්තිය.

Screenshot (2)

  පොඃ....................කාටද ආඩම්බර? ෆොන්සේකා උන්නැහෙටමනේ ආඩම්බර. මොකෑ ඔන්න ඉතිං අපි හමුදාවේ ඉන්දැද්දිං නං, සල්ලි වලට ගත්තේ, ඔය ලාග්ගෝ එහෙම තමා. නිළ ලාංඡන දුන්නේ හමුදාවෙන්. පැන්සොන් යනකොට, එව්වා ආපහු බාරදෙන්න ගියාම කිව්වා, 'අනේ එව්වා ඔහෙම තියාගන්න සිහිවටන හැටියට' කියලා. නමුත් දැන් මුන්නැහෙට පුළුවන් බය නැතුව කට ඇරලා කියන්ඩ, 'අඩ්ඩෝව්........ මෙව්වා කවුරුවත් දුන්න එව්වා නෙවෙයි, මමම හදවලා ගහගත්ත එව්වා හරිය? එකෙක් එන්නෑ අත තියන්න එහෙම හරිය? අත තිබ්බොත් උගේ ....................................තමයි නවතින්නේ හරිය? කියලා.

   අනික් වැඩේ නිළ ලාංඡන රත්තරනින් නිම කොරන්න ඕනළු. හුට්ට බටා. ඔන්න ෆොන්සේකා ලොක්කා කරගත්ත ගොන්කම දැන් තමයි තේරෙන්නේ. අර අහිංසක මහින්ද මහත්තයාට මේ පාර වැඩ කරානම්, අර LTTE රත්තරං වලින් හන්ගගත්ත  අල්ලගත්ත එව්වයින් කිලෝ දහයක් උනත් දෙනවනෙ. නිළ ලාංඡන විතරක් නෙවෙයි, අනික් යුනිපොං එව්වා, කඩුකස්තාන, බූස් සපත්තු, තොප්පි තෝට්ටං, අරවා මෙව්වා , ඕන්නං ලාග්ගෙක් වුනත්, සත්තලනෙන්ම හදා ගනිං මගේ සත්තලනේ.............. කියලා.

   දැන් ඉතිං කාලා වරෙන්කො. මොකෑ ආයෙ සිරා මාමා ළඟ රත්තරං තියා, ඇට බෝලයක්වත් තියන එකක්යැ.

   නාකද මේ වියදම දරන්න බැයිද කියලා.......... දුමී, ජොනී, සජී, වගේ කෙනෙක්ගෙන් අහලා බැලුවොත්. ඒ කියන්නේ අනුග්ගරාහකත්වය දීලා ඇඩ් එකක් වුනත් ෆොන්සේකා උන්නැහේගේ නිළ ඇඳුමේ ගහන්න පුළුවන්නේ. ගොයබාතා ලඟත් සමහරවිට තවම ඇති පෙට්ටගමේ ඉතුරු වෙච්චා. හ්ම්...................... 


2015 මාර්තු මස 17 වැනි දින 1331 පැය

02 January 2015

මාමා අපිට අරින්න? හුහ්....හිතුවා මදි මාමේ


Dog
 හෙහ් හෙහ් හෙහ්....මාමා තමයි මාමා කියන්නේ. මේ වයසක පැන්සොන් කාරයන්ට කාරියන්ට, නහින දෙහින කාලේ, පැත්තකට වෙලා ඉන්න දෙන්නේ නැතුව, උන්ටත් අරින්නනේ මාමා තනන්නේ. මම හිතන්නේ මාමට දැන් වෙන අයට අරින්න බෑ. ඒ කාලේ  මාමගේ වසුරු ඇදපු එවුන් පවා, මේ දවස්වල මාමට අරිනවා. ඒ නිසා වෙන්න ඇති මාමා මේ නාකි අපිට අරින්න හිතුවේ. එව්වා කොහෙද මාමේ අපිත් එක්ක. මෙන්න මේකයි කටන්තරේ. මතකැයි මං ලිව්වා, මාමගේ චින්තනයෙන් පැන්සොන් කාරයන්ට දෙන, අලුත් පෝන් පැකේජ් එක ගැන. අන්න හරි ඒ කළගුණ පස්සෙන් එලවන පැකේජ් එක තමා.

Scan_20141211_124056

   ඔන්න ඉතිං අද, අපේ ඇත්තියි මමයි උදෙන්ම පේවෙලා, මාමගේ දෙමවුපියෝ පවා මතක් කොරගෙන, අවශ්‍යය ඔක්කොම ලියුං කරදහිද, එව්වයේ පොටෝ කොපිද ඇන්න, ගියා මොබිටෙල් කන්තෝරුවට.

    අපොච්චිගේ පප්පේ.............එතන අපේ වයසේ කොල්ලෝ කෙල්ලෝ ඊස් මීස් නැතුව පිරිලා. ඔන්න සිකුරිටි උන්නැහේ අපිට අර, මැජික් පෙට්ටියකින් නොම්බරයක් ගහලා දුන්න. මම ඕකත් අරං වාඩිවෙලා ඉන්න ගමන් හොඳට වටපිට බැලුවේ අපේ වයසේ කෑලි දිහා. හප්පා.......................ලැජ්ජාවේ තන්තෝසේ බැරුවා.........................18 යි මාස 8 යි වගේ පෙනෙන, 65 යි මාස 13 යි කෑලි හිටියනේ. මම ඔව්වා දිහා බලන අතරේ, ඔන්න මගේ නොම්බරේ කතා කොරලා. මට ඇහිලත් නෑ අරවා බලන සිහිය නිසා. ඔන්න අපේ උන්දෑ, මට ආදරයෙන් හොම්බට දෙකක් ඇනලා මතක් කළා, ඉක්මනට යන්න ඔයාගේ නොම්බරේ කතා කළා කියලා. ඔන්න අනේ ඉතිං, දෙයියන්නේ පිහිටයි තුණුරුවන්නේ සරණයි කියලා, මමත් ගෙහුං කවුන්ටරේ හිටිය තරුණ මහත්තයාට දුන්නා, මම ගෙනාපු ලියුං කරදහි මිටියම. (නෙද්දකින් අච්චර ලස්සන කෙල්ලෝ ඉන්න කවුන්ටර් තියෙද්දී, මට හම්බවුනේ දිගන්චි ගොබිලෙක් ඉන්න කවුන්ටරයක්)

    හැබැයි උන්නැහේ බොහොම කඩිසර, කරුණාවන්ත, කාර්යක්ෂම නිලධාරියෙක් බව කියන්න ඕනෙ. උන්නැහේ කිව්වා, මහත්මයා මුලින්ම මහත්මයා ගන්න යන මේ පැකේජ් එකේ කොන්දේසි පැහැදිළි කරලා දෙන්නම්. මූලික ගෙවීම වශයෙන් රු 500 ක් අය කරනවා. මාසික ගාස්තුව වශයෙන් රු 253 ක් අය කරනවා. වසර දෙකක් යනතුරු අනිවාර්යයෙන් මේ පැකේජ් එක පාවිච්චි කිරීමෙන් පසුව පමණයි, අවශ්‍යනම් පැකේජ් ඒකෙන් ඉවත් වෙන්න පුළුවන්. නමුත් එහෙම ඉවත් වුනත්, මහත්මයා ජීවත්ව සිටිනාතාක් කල්, මහත්මයාගේ විශ්‍රාම වැටුපෙන් මාසිකව රු 253 ක් කපා ගන්නවා. මෙම පැකේජයේ නොවන, වෙනත් මොබිටෙල් අංක සඳහා විනාඩි 100ක් නොමිලේ ලැබෙන නමුත්, නියමිත සීමාවට පසු, එක ඇමතුම් ඒකකයකට, අමතර රුපියලක ගාස්තුවක් එකතු වෙනවා. වෙනත් ජාල වලට ඇමතීමේදී, ඒකකයක් රු 2 ක් සහ බදු එකතුවෙනවා.

   මෙන්න ඒ මහත්තයා මගේ කොලේ උඩ සටහන් දාලා පෙන්නපු හැටි. 
Scan_20150102_125900

   මම ඇහුවා, මේ දෙන ෆෝන් එක හුඟක් වටින එකක්ද මෙච්චර මුදලක් කපන්නේ කියලා, නැහැ, විවෘත වෙළඳපොලේ රු 2000 ක් විතර වටින ෆෝන් එකක් තමයි ලැබෙන්නේ කියලා, අර මහත්තයා උත්තර දුන්නා. මම ආයෙත් ඇහුවා අර රු 253 අපි මේ පැකේජ් එක අත්හැරියත් කපනවද කියලා. ඔව් මහත්මයා, ස්ථිරවම ඒ මුදල නොකඩවාම කපනවා කියලා, ඒ මහත්තයා උත්තර දුන්නා. ඉතිං, ඔය මහත්තයලගෙන්, පෙර ගෙවුම් පැකේජ් එකක් ගත්තානම්, මෙච්චර කරදරයක් නැහැ නේද? කියලා මම ඇහුවා. නැහැ කිසිම කරදරයක් නැහැ කියලා ඒ මහත්තයා කිව්වා.

   හෙහ් හෙහ් හෙහ්........ කොහොමද කළගුණ පැකේජයේ තරම.  කළගුණ සලකන්න කියලා, ඒ කාලේ අපි මාමට සැළකුවාට ප්‍රති උපාකාර වශයෙන්, මාමා අපිට කෙළින්න යන කෙළවිල්ල කොහොමද? මාමා නාකි අපට මෙහෙම කෙළින්න යන්නේ, උගේ අර වනචර, පජාත, කමකට නැති, පුත්තරයන්ට, හෙලිකොප්ටර් පදින්න, ලැම්බෝගිනි පදින්න, අස්සයෝ පදින්න, කැසිනෝ ගහන්න සල්ලි හොයාගන්න නේද? අනේ මාමේ, මාමා අපිට අරින්න හිතුවා මදි.  ටටා...............! 


2015 ජනවාරි මස 02 වැනි දින 1410 පැය

01 January 2015

තීරණාත්මක නව වසරක් උදාකර ගනිමු

Submitting a Vote
  මතකයි නේද මා ඔබෙන් නිවාඩුවක් ඉල්ලුවා මට අසනීප නිසා. දැන්නම් තරමක සුවයක් ලැබී තිබෙනවා. එහෙත් තවමත් දිගු වෙලාවක් පරිගණක තිරය දිහා බලා ඉන්න අමාරුයි. නමුත් පසුගිය දිනවල ලිපි කීපයක් ලිව්වේ, රටේ වෙන දේවල් දැක දැක, ඇහැ කණ පියාගෙන ඉන්න බැරි නිසයි. සමහරවිට විනාඩි දෙකතුනක් ලියා, විවේක ගනිමින් තමා ලිව්වේ. දැන් මම කරන්නේ, යතුරු පුවරුව දිහා බලාගෙන ලියමින්, වරින් වර පරිගණක තිරය දිහා බලා, යතුරු ලියනය කළ දේ නිවැරදි කිරීමයි.

   පසුගිය දිනවල මා මුලතිව්, කිලිනොච්චි, යාපනය, ඩෙල්ෆ්ට් දූපත, නාගදීපය, වැනි ප්‍රදේශ වල සංචාරයක යෙදුණා. ඒ අත්දැකීම් අළලා ලිපියක් ලියන්නට සූදානම් වෙද්දී තමයි, මට බෝවන ඇස් රෝගයක් වන Conjunctivitis වැළඳුනේ. වෛරස් රෝගයක් නිසා, බෙහෙත් කළත්, වෛරස් ක්‍රියාකාරිත්වය අවසන් වනතුරු, රෝගී ලක්ෂණ තිබෙනවා. සෑහෙන දුකක් වින්දා. කෙසේ වෙතත්, උතුරේ සංචාරය ගැන ලිපිය, ඔබ වෙත ගෙන එන්නට මා සූදානම්. 
   
   පසුගිය වසරේ ජනවාරි පළමුවැනිදා මා ලිව්වේ, හැමදාම සුබ අලුත් අවුරුද්දක් වේවා කියමුද? කර ගනිමුද? යන මාතෘකාවයි. මේ වසරේදී, මුළු රටම ජනාධිපතිවරණ උණුසුමකින් ඇළලී ගොස් තිබෙන නිසා, එයින් පිට යමක් ලියන්න අමාරුයි. ඒ නිසා මා හිතුවා ඔබට කියන්නට, රටේ අනාගතය ගැන අතිශයින් තීරණාත්මක ජනාධිපතිවරණයක් පැවැත්වෙන මේ මොහොතේදී ඉතා ස්වාධීනව, මධ්‍යස්ථව සිතා බලා, ඡන්දය පාවිච්චි කරන්නැයි කියා.

   කාටද ඡන්දය දෙන්නේ කියා කියන්නට/ඉල්ලන්නට තරම් මුග්ධයකු නෙවෙයි මා. ඔබ අවම වශයෙන්, වයස අවුරුදු 18 සපුරා, පළමු වතාවට, සර්වජන ඡන්ද අයිතිය භුක්ති විඳින්නට සූදානම් වනවා වන්නට පුළුවන්. නැතහොත් ඔබ, මා වැනි, 60 වයස් පිනූ කෙනෙකු හෝ සමහරවිට ඊට වඩා වයසින් අඩු වුනත්, අපේ රටේ දේශපාලන ඉතිහාසය, පක්ෂ ක්‍රියාකාරිත්වය, ඡන්ද අපේක්ෂකයන්ගේ පැවැත්ම, ඡන්ද දායකයන් තීරණ ගන්නා ආකාරය, ආදිය පිළිබඳව, පෘථුල අවබෝධයකින් යුක්ත වූවකු වන්නට පුළුවන්.
   
   මට විශේෂයෙන් කියන්නට තිබෙන්නේ, ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ, මගේ ජීවිත කාලය තුළ මුහුණ දෙන, අතිශයින්ම තීරණාත්මක ජනාධිපතිවරණට මෙය බවයි. මා මුලින්ම ඡන්දය ප්‍රකාශ කළේ, 1977 වසරේදී. එතැන් සිට මේ දක්වා පවත්වන ලද, ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ, අතුරු මැතිවරණ, පළාත්සභා මැතිවරණ, ආදී විවිධ මැතිවරණ ඉතා සුළු ප්‍රමානයකදී, මා, මගේ ඡන්දය ප්‍රකාශ කළා. එයින් සමහර අවස්ථා වලදී, මා ඡන්දය දුන් පක්ෂය ජයග්‍රහණය කළා. තවත් අවස්ථා වලදී පරාජය වුණා. අනිවාර්යයෙන් එහෙම වියයුතුම නේ.

   අපේ රටට කිසිසේත් නොගැලපෙන, ඒකාධිපති ස්වරූපයේ සමහර විධායක ජනාධිපති බලතල ඉවත් කිරීම, කප්පාදු කිරීම, අහෝසි කිරීම, අවලංගු කිරීම ගැන, කතා එළියට ආවේ, අද ඊයේ නොවන බව, ඔබ හොඳින්ම දන්නවා. නමුත් එහෙම කියපු අය, පොරොන්දු දුන් අය, ඒවා ක්‍රියාවට නැගුවේ නැහැ. යළිත් ඒ කතාවම කරළියට ඇවිත් තියනවා. අපේ රටේ ඉතිහාසයේ, දේශපාලකයන්, ඔවුන්ගේ ප්‍රතිපත්ති, ඔවුන්ගේ චර්යාව සහ පැවැත්ම පිළිබඳව, මේ තරම් ජනතා අවිශ්වාසය ඇතිවූ යුගයක්, මටනම් හිතාගන්නට බැහැ. 1970 පාර්ලිමේන්තු මැතිවරණයේදී මා දුටු දේශපාලන සංහිඳියාවේ සිද්ධියක් කියන්නම්.

   එවකට අගමැතිව සිටි ඩඩ්ලි සේනානායක මහතා, කෑගල්ල දිස්ත්‍රික්කයේ, දැදිගම ආසනයෙන් තමයි ඡන්දය ඉල්ලුවේ. ඡන්දය පැවති දා රෑ, ඡන්දය ගණන් කරන මධ්‍යස්ථානය වන, කෑගල්ලේ කාර්මික විද්‍යාලයට එතුමා පැමිණියා. කාර් එක එතුමාගේ. නිළ රථ රජයට භාරදීලා වෙන්න ඇති මැතිවරණය අවසන් වනතුරු. ඒ, ඒ කාළේ දේශපාලකයෝ. ඡන්දය ගණිනු බලාසිටි එතුමා, ශාලාවේ ප්‍රධාන දොරටුව වෙත ආවේ, සිය දුම් පයිප්පය පත්තු කරගන්නටයි. පයිප්පයට දුම්කොළ දමා, එය කටේ තියාගන්නවාත් සමගම, එතනට ආවේ, ලංකා සමසමාජ පක්ෂයේ නායක, ආචාර්ය එන්.එම්.පෙරේරා මැතිතුමා.

   ඔහු තම සාක්කුවෙන් ගිනිපෙට්ටියක් ගෙන, ඩඩ්ලිගේ පයිප්පය පත්තු කළා. දෙදෙනා බොහොම සුහදව සාකච්ඡාවක යෙදුනා. ඊට පෙර දිනවල තිබුණු මැතිවරණ වේදිකාවලදී, එකිනෙකාට එරෙහිව කියාගත් දේවල්, දෙදෙනාම අමතක කර ඇති බවක් තමයි පෙනුණේ. (මේ ඔක්කොම බලාගන්න අපිට බාධාවක් නැහැ. ශාලාව ඇතුළට යන්න විතරයි නොදුන්නේ. මේ දෙදෙනාම කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද අපේක්ෂකයන් නිසා තමා මෙතනට ආවේ. සම්පූර්ණ මධ්‍යස්ථානයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 10 ක් විතර ඉන්න ඇති.)

   ඡන්ද ප්‍රතිඵල පිටවුණා. ඩඩ්ලි සේනානායක මහතා පරාදයි. හිස නවාගෙන තම කාරය වෙත ගිය ඔහු, තනිවම එය පදවාගෙන යන්නට ගියා. රැස්ව සිටි කිසිවෙකුත්, ඔහුට කිසිදු අපහාස උපහාසයක් එල්ල කළේ නැහැ. ඩඩ්ලි, එන්.එම්, වැනි දේශපාලකයන් ඊට පසු කාලයේ බිහි නොවුනේ, ව්‍යවස්ථා මගින්ම විෂමාචාරය ස්ථාපිත වීම නිසා කියලයි මටනම් හිතෙන්නේ. ඔවුන්ගේ දේශපාලන දර්ශනයේ සාර්ථක අසාර්ථක, සාධාරණ අසාධාරණ ලක්ෂණ කොපමණ තිබුණත්, ඔවුන් දේශපාලන සංහිඳියාවක සිටියා. මරාගන්න ගියේ නැහැ. ඒ තත්වය, ඔවුන්ගේ දේශපාලන පරිණත භාවයේ ලක්‍ෂණයක් ලෙසයි මා දකින්නේ. 

   පසුගිය දිනවල ඇතිවූ මහා වර්ෂාව නිසා, මේ රටේ ජනතාව අපමණ පීඩාවකට පත්වුණා. පුද්ගලයන් ලක්ෂ දහයකට වැඩි ගණනක් පීඩාවට පත්වුණ බව, ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. සුබසාධක කඳවුරු 350 ක පමණ, අසරණව කල් ගෙවන්නට, පවුල් රාශියකට සිදුවුණා. මියගිය සංඛ්‍යාව 30 කට වැඩියි. නිවාස අහිමිවූ සංඛ්‍යාවත් විශාලයි. මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා එකට එක්ව, මේ සුබසාධක කඳවුරු වලින් කීපයකටවත් ගොස්, අපේ සටන දේශපාලන සටනක් මිස, පෞද්ගලික සටනක් නොවේ කියා, ඒ මිනිස්සුන්ට බිස්කට් පැකට් එකක්වත් ඒ දෙදෙනා අතින් දෙන්නට පුළුවන් වුණානම්, මේ දෙදෙනාම තම ඡන්ද පදනම ඉතා විශාල ලෙස වර්ධනය කරගන්නවා නොඅනුමානයි. නමුත් දැන් තිබෙන්නේ දේශපාලනයක් නොව මරාගැනිල්ලක්. එමෙන්ම, මේ අසරණ ජනතාව වෙත, දේශපාලන පොරොන්දු වැස්සක් වසිනවා, ජනමාධ්‍ය ඔස්සේ මා දුටුවා. ඒවා කවදා ඉටුවෙයිද කියන පැනය මගේ හිතේ තවමත් තියනවා. 

   පොළොන්නරුව පැත්තේ, ගංවතුර සරණාගත කඳවුරු කීපයකට, මෛත්‍රීපාල සිරිසේන මහතා යැවූ කෑම පාර්සල් රැගත් පිරිස, අහසට වෙඩිතබා බියගන්වා පලවා හරිමින්, සිය නිළ ඇඳුමේ අශූචි තවරාගත් පිරිසක් ගැන, මට දැනගන්නට ලැබුණා. 'මහින්ද බත්' පමණක් කන ලෙස, සරණාගතයන්ටද තර්ජනය කර තිබුණා. මේකද අද තිබෙන සංහිඳියාව? මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේම ආධාරකරුවන් විසින් කළ, විවිධ නීතිවිරෝධී ක්‍රියා, ජනමාධ්‍ය මගින් පෙන්වා දුන්නා. අද අපට ඉතිරිව තිබෙන්නේ, හොඳ පුද්ගලයා නොව, නරක අඩු පුද්ගලයා තෝරා, ඡන්දය දීමටයි.
   
   මෙවර ජනාධිපතිවරණයෙන් අපි අපේ ජීවිත මෙන්ම, අපේ බාල පරපුරේ ජීවිත පවා, තීරණාත්මක තත්වයකට පත්කෙරෙන අවස්ථාවකටයි මුහුණ දෙන්නේ. අපේ රට, ඉතිහාසයේ දුක්ඛිතම තත්වයට පත්කිරීම හෝ, යම් තරමක සහනදායි තත්වයකට ගෙන යාම සඳහා, දැඩි තීරණයක් ගනිමින්, පරමාධිපත්‍ය බලය පාවිච්චි කිරීමේ දුර්ලභ අවස්ථාව, ඡන්දදායකයන් ලෙස, ලබන ජනවාරි 8 වැනිදා අපට හිමිවෙනවා. දුර්ලභ අවස්ථාවක් වන්නේ, මෙය එතරම්ම තීරණාත්මක මැතිවරණයක් නිසා බව, යළිත් අවධාරණය කරනවා. ඒ නිසා, මෙවර අපි දෙන තීන්දුව, අපේ ජීවිත කාලයේදී ගන්නා, අතිශයින් බැරෑරුම් තීන්දුවක් බව නම්, නොකියාම බැහැ. ඉතින්, ඒ තීන්දුව ගැනීම ඔබට බාරයි. පසුගිය වසරේ ජනවාරි පළමුවැනි දින, මා ලියන ලද ලිපිය අවසානයේදී එක්කළ ප්‍රාර්ථනය, මඳක් වෙනස් කර මෙවර ඉදිරිපත් කරනවා.


දුර දක්නා නුවණ

අධිෂ්ඨානය

අත්දැකීමෙන් ලත් දේශපාලන  බුද්ධිය

සහ

නොපසුබට චිත්ත ධෛර්යය

තුළින්

සුබ නව වසරක් උදාකරගැනීමට

ඔබට හැකිවේවා!



my-signature-for-blog[1]2015 ජනවාරි මස 01 වැනි දින 0001 පැය

30 December 2014

භයානක කුමන්ත්‍රණයක්

මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඉතා භයානක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මේ තොරතුරු අනාවරණය කරගන්න මට දුරකථන ඇමතුම් ඉතා විශාල ගණනක් සහ වැදගත් පුද්ගලයන්ට නොදැනෙන පරිදි ඔවුන්ගේ අදහස් දැනගැනීමක් කරන්නට සිදුවුනා. මෙය දැලිපිහියෙන් කිරි කනවා වැනි භයානක ක්‍රියාවක් වුණා. ලැජ්ජා නැතිව සමහර ලොක්කෝ කිව්වා, අපි හොඳින් හෝ නරකින් මහින්දට බලය අරන් දෙන බව. මෙය ඉතා භයානක තත්වයක් බව මා දැඩිව අවධාරණය කරනවා. මගේ ජීවිතයට එල්ලවියහැකි තර්ජන නිසා මා දන්නා සියල්ල මෙහි හෙළි කරන්නට බැහැ. නමුත් අපි ජනවාරි 8 වැනිදායින් පසුව ඉතා භයානක තත්වයකට මුහුණ දෙන බව කියන්නට පුළුවන්. ජනාධිපතිවරණය සාධාරණව නොපැවැත්වීමටත්, ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගතහොත්, භයානක කුමන්ත්‍රණයක් මගින් එතුමා ඝාතනය කර හෝ බලය අල්ලාගැනීමටත්, සැළසුම් සකසා තිබෙනවා. බීමත්ව කටමැත දොඩවන පුද්ගලයකු කීවා නම් එය ගණන් නොගෙන ඉන්නට තිබුනා. නමුත් මා මෙම තොරතුරු හොයාගත්තේ ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින්. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග, ඉතා පැහැදිළිව තහවුරු කර තිබෙනවා, ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරදින බව. මේ රටේ යුක්තිය සාධාරණත්වය අගයන ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ මේ ගැන අවදියෙන් සිට, අසාධාරණයට එරෙහිව, අවශ්‍ය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන ලෙසයි. 
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }