හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ
Showing posts with label පුංචි කතන්දර. Show all posts
Showing posts with label පුංචි කතන්දර. Show all posts

18 September 2015

පින්තූර තුනක්

Old Camera
මා දන්නවා, ඔබ, 'අළු යට ගිණි හෙවත් අතයට සෙල්ලම්' ලිපියේ, ඊළඟ කොටස බලාපොරොත්තුවෙන් සිටින බව. නමුත්, ඒ කොටස සංස්කරණය ඉතා දුෂ්කර සහ, වගකීමෙන් කලයුතු කාර්යයක්. එය නුදුරේදීම එළිදක්වන්නම්. තවමත් මා තරමක් කාර්ය බහුලවයි ඉන්නේ. ඒ නිසා, මෙවැනි සරළ ලිපි ඉදිරිපත් කිරීමට පමණයි, අවකාශ තිබෙන්නේ. 

   මා සමහර බ්ලොග් ලිපිවල, ඔබට කියා ඇති, මට අක්කලා තුන්දෙනෙක් සිටින බව. අද මම ගියා, කෑගල්ල නගරයේ පදිංචි, මගේ දෙවැනි (මද්දුම) අක්කා බලන්න. හෘදයාබාධයකට ලක්වීමෙන් පසු, බයිපාස් සැත්කමකට ලක්ව, හය මාසයක් පමණ ගතවුනත්, ශල්‍යකර්මයට අදාළ යම් යම් සංකූලතා මතුවීම හේතුවෙන්, ඇය දැඩි දුක් විඳිනවා. ඇයව, ශල්‍යකර්මය සඳහා සිහිනැති කළෙත්, දැඩි අවදානමක් සහිතවයි. යළිත් වරක්, කුමන හේතුවක් නිසාවත්, ඇයව සිහිනැති කළ නොහැකි බවයි වෛද්‍ය මතය.

   අක්කා ගැන වෙනම ලිපියක් ලියන්න තරම් කරුණු තිබුණත්, එය පසුවට තබනවා. මට වයස අවුරුදු 7 - 8 කාලයේදී මා නිදාගත්තේ අක්කා ළඟින්. අක්කාගේ ගෙදරදී මට අහම්බෙන් නෙත ගැටුනා, මා කුඩා කාලයේ අපේ ගෙදර තිබුණ පැරණි පින්තූර දෙකක් සහ, මා තරුණ කාලේ පෙනීසිටි එක් පින්තූරයක්. මේ පින්තූර ඇසුරෙන්, යම් යම් අතීත මතකයන් මෙන්ම, පොදුවේ කාටත් කතාකළහැකි කරුණු තිබෙන බව පෙණුන නිසා, ඒ පින්තූර ඔබේ අවධානයට ලක්කරනවා. මෙන්න පළමුවැනි පින්තූරය. 



මේ පින්තූරය 1940 දශකයේදී ගන්න ලද පින්තූරයක් කියා කීමට සහ මේ පින්තූරයේ පසුපස පේළියේ, ඔබේ වම් අත පැත්තේ සිට හතර වැනියා ලෙස සිටින්නේ, මගේ පියා කියා කීමටත්, ඊළඟට ඉන්නේ, කොළඹ යුගයේ සුප්‍රසිද්ධ කවියකු වූ, 'උඳුගොඩ නවරත්න' මහතා කියා කීමටත් පමණයි, මා දන්නේ. මගේ පියා ඉපදී තිබෙන්නේ 1914 ජූනි මස 1 වැනිදා. මගේ මවගේ උපන්දිනය, 1918 අගෝස්තු මස 15 වැනිදා. වසර ගණනාවක ප්‍රේම සම්බන්ධයකින් පසුව තමයි ඔවුන් විවාහවී තිබෙන්නේ. මෙන්න පෙම් කතාව, හැකිතරම් කෙටියෙන්.

   පෙම්වතා සහ පෙම්වතිය දෙන්නම, ගුරු වෘත්තියේ සේවය කළ අය. දෙවැනි ලෝක යුද්ධ කාලේ, ලංකාවේ ක්‍රියාත්මකවී තිබෙනවා 'ආහාර නිෂ්පාදන ව්‍යාපාරය' නමින්, කෘෂිකාර්මික කටයුතු වේගවත් කර, යුද්ධය නිසා, රට තුළ ආහාර හිගයක් ඇතිවීම වැලැක්වීමේ ව්‍යාපාරයක්. මේ දෙන්නම ඒ ව්‍යාපාරයට සම්බන්ධවී සිටින අතර තමයි, ප්‍රේම සම්බන්ධය ඇතිවී තිබෙන්නේ. (මේ දෙන්නා, ඒ කාලේ හුවමාරු කරගත් සෙනෙහෙකොළ, ඒ කාලේ තිබුණු, මැලිබන් ක්‍රීම් ක්‍රැකර් බෙලෙක් පෙට්ටි හතරක පහක පමණ පුරවා තිබුණ බව, මගේ අක්කලා කියනවා. හැබැයි බොහොමයක් ඒවා ලියා තිබෙන්නේ, සුද්දාගේ භාෂාවෙන්ලු. ඉතිං අපේ අක්කලා, බොහොම අමාරුවෙන්, වචන ගැට ගහ ගහ, ඔව්වා කියවන්න උත්සාහ කරනවා දුටු පෙම්වත් මව, එව්වා ගිනිදෙවියාට පූජා කලාලු) ෆුල් ඉංගිරිසි ලව්. පෙම්වතා පෙම්වතියට තෑගි දුන්, හොඳ ඉන්දියන් සාරියක්, රු 3.50 යි ලු. හැබැයි පෙම්වතාගේ මාසික වැටුප, රු 14.50 යි ලු.
  
   පෙම්වතා බෞද්ධ. පෙම්වතිය කතෝලික. පෙම්වතාගේ පියා තේ කම්හල්වල යන්ත්‍ර සූත්‍ර නඩත්තුව භාර ලොකු බාස්උන්නැහේ කෙනෙක්. (ඒ කාලේ සිංහල සමාජය ෆෝමන් කියන වචනය පාවිච්චි කළේ නැහැ) පෙම්වතා අහිංසක ගැමි තරුණයෙක්. පෙම්වතියගේ පියා, සහකාර වතු අධිකාරි කෙනෙක්. ගෙදරදී කතා කරන්නෙත් ඉංග්‍රීසියෙන්. (මම ඔහුව දැක තිබෙන්නේ වාර දෙකතුනක් පමණයි. ඔහු, රාත්‍රී ආහාරය සඳහා, කෑම මේසයට එන්නේ, කලිසම් කමිස සපත්තු සහිතව. ඒ කාලේ අධිරාජ්‍යවාදී ස්වරූපය ඔවුන් තුළ මියයනතුරුම තිබුණා) පෙම්වතා ගමේ ඉස්කෝලෙට ගිය කොල්ලෙක්. පෙම්වතිය, කන්‍යාරාමයක, ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ තරුණියක්. මේ නිසා පෙම්වතියගේ පැත්තෙන්, පෙම්වතාට මහා විරෝධයක් එල්ලවෙලා තියනවා. (බයියෝ සහ ටොයියෝ?) ඔන්න ඉතිං පෙම්වතා සහ පෙම්වතිය, හින්දි චිත්‍රපටියක වගේ, සින්දුවක් එහෙම කියාගෙන ඉන්න කාලේ, දෙවැනි ලෝක යුද්ධයේ බලපෑම ලංකාවටත් ආවා.

   'කාපිරි' නමින් හැඳින්වුණු, අප්‍රිකානු ජාතික සොල්දාදුවන්, සුදු ජාතික පාලකයන් විසින් ලංකාවට ගෙනාවා. එක දවසක්, මෝටර් බයිසිකලයක ගමන්ගත් මේ කාපිරියන් දෙදෙනෙක්, පෙම්වතිය සහ ඇගේ යෙහෙළියන් මහමග යද්දී, මග හරස් කර, අනඟ රැඟුම් පාන්නට සූදානම් වුණාලු. ඒ බව දුටු පෙම්වතා, ඔහුගේ මිතුරන් දෙදෙනෙකුගේද සහාය ඇතිව, අර කාපිරියන් දෙන්නාගේ හොම්බට ඇන, පෙම්වතිය බේරාගත්තාලු.

   ඔන්න ඉතිං මේ 'මහා වීරක්‍රියාව' ගැන පැහැදුණු පෙම්වතියගේ පියා, බාස් උන්නැහේගේ පුතාට, තම වැඩිමහල් දියණිය, (ඇයට බාල නැගණියන් හය දෙනයි. ඒ පවුලේ පිරිමි දරුවන් නැහැ) සරණ පාවා දුන්නා. පුදුමේ කියන්නේ, දෑවැද්දට බෝර් 12 පතරොම් තුවක්කුවකුත් දීලා තියනවා. (1971 කැරැල්ල සමයේදී පොලීසියට බාරදුන් ඒ තුවක්කුව, ආපසු ලැබුණේ නැහැ) මම හිතන්නේ, 'පාලනය අපහසු වුණොත්, තුවක්කුවෙන් පාලනය කරපන්' කියලා, මාමා බෑණට කියන්න ඇති. විවාහයෙන් පසු, මගේ මව, බුද්ධාගම වැළඳගෙන තිබෙනවා. (තාත්තා, අර තුවක්කුව ඔලුවට තියලා, කිව්වද දන්නේ නෑ, බුද්ධාගමට වරෙන් කියලා) ඇය ඉතා ඉහළ බෞද්ධ ධර්ම ඥානයකින් යුක්ත බව මට හොඳට මතකයි.

   ඔන්න ඒ ආදර කතාව එතනින් ඉවරයි. ආපහු පින්තූරෙට යමු. මේ පින්තූරය, මෙපමණ කල් ගියත්, තවමත් හොඳ තත්වයේ තිබෙනවා. පින්තූරය ගත්තේ 1940 කියා සිතුවොත්, අවුරුදු 70 කට වැඩියි. මුල් පින්තූරයේ ඇති ගුණාත්මක බව මේ මේ ස්කෑන් රූපයේ 100% ක් දකින්නට නැහැ. මුල් පින්තූරයේ, නාභිගත කිරීම කොතරම් ඉහළ තත්වයක තිබෙනවාද කියා දුටුවිට, පුදුම හිතෙනවා. අද මෙන් එදා දියුණු කැමරා කාච තිබුනේ නැහැ. මේ පින්තූර සඳහා කිසිදු ආලෝකකාරණයක් කර නැහැ. මේ පින්තූරය මත ක්ලික් කර විශාල කර බලන්න, පින්තූරයේ සිටින සෑමදෙනාගේම කොණ්ඩය ඉතා හොඳින් නාභිගතව තිබෙනවා. විශේෂයෙන් බලන්න, මුහුණේ සියළු විස්තර (details) ඉතා පැහැදිළිව නාභිගතවී තිබෙනවා.

   කෝ මේ අපේ ඉන්නවා නේද, කැමරා කාරයෝ හැට හුටහමාරක් විතර. මේ පින්තූරේ තියන ඡායාරූපමය වටිනාකම් කියලා දීපල්ලකෝ අපිට.

   ඊළඟට මේ පින්තූරය වැදගත් වෙන්නේ, මෙන්න මේ විදිහට. යම් කෙනෙකුට අවශ්‍යනම්, අපේ රටේ ඇඳුම් කාලීනව වෙනස්වී ඇති ආකාරය පිළිබඳව පර්යේෂණයක් කරන්න, මෙන්න මේවගේ පින්තූර, ඒ සඳහා රුකුළක් ලබාදෙනවා. බලන්න, මෙහි විවිධාකාරයේ ඇඳුම් කීපයක් තියනවා. පින්තූරයේ ඉදිරිපස පේළියේ ඉන්න, ප්‍රභූ පෙනුමෙන් යුත් පුද්ගලයා ඇඳ සිටින, 'ට්වීඩ්' නමැති රෙද්දෙන් කළ ඇඳුම, ඒ කාලේ බොහොම ජනප්‍රියයි. ඒ කාලේ සමහරු ඔය ඇඳුමේ, රෙද්දට යටින් දිග කලිසමකුත් අඳිනවා. පසු කාලයේදී, එය හාස්‍යයට ලක්වුනා, 'රෙද්ද අස්සේ මහත්තයා' කියලා.  ඉදිරි පේලියේ දකුණු කෙලවරේ වාඩිවී සිටින කාන්තාව, සම්පූර්ණයෙන් පය වැසෙන ආකාරයේ සපත්තු පැළඳ සිටිනවා. කමිස ඇඳ සිටින අය, සම්පූර්ණයෙන් කර පියවා බොත්තම් දමා තිබෙනවා. ඔබේ නිරීක්‍ෂණත් කියන්න.

   ඊළඟට පෙන්නන පින්තූරය 1960 දශකයේදී ගත් එකක්. පින්තූරයේ ඉන්නේ, මගේ පියා සහ මව. ඔවුන් දෙදෙනා මේ ඉන්නේ, මගේ පියා එවකට සේවය කළ, කෑගල්ලේ, හෙට්ටිමුල්ල (පසුව බණ්ඩාරනායක නමින් නම් කළ) මහා විද්‍යාලයේ, (අද මෙය ජාතික පාසලක්) ජ්‍යොෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර SSC පන්තියේ ළමුන් සමගයි. පන්ති භාර ගුරුවරයා මගේ පියා. බලන්න, මුළු පන්තියේම ඉන්නේ, ළමයි 13 දෙනයි.


   ලස්සනයි නේද? මේ පින්තූරයේ, මගේ පියා ඇඳ සිටින උඩුකය ඇඳුම, ජාතික ඇඳුමේ උඩුකය කොටස නෙවෙයි. මෙය, ඝන රෙද්දකින් මසන ලද, දණහිසෙන් පහළට සිටින තරම් දිග, කොලරයේ සිය පහළට බොත්තම් විශාල ගණනක් තිබෙන ඇඳුමක්. මගේ මතකයේ හැටියට, මෙය හැඳින්වුණේ 'ෂර්වානිය' යන නමින්. මගේ පියා මෙය ඇන්දේ, විශේෂ අවස්ථා වලදී පමණයි. මගේ පියා පැළඳ සිටින සපත්තු දෙක, මට හොඳට මතකයි. එය, එංගලන්තයේ නිෂ්පාදිත, 'ජෝන් වයිට්' වර්ගයේ, දුඹුරු පැහැති සපත්තු කුට්ටමක්.
  
   කොහොමද කොල්ලොටික කියා බලමු. පසුපේළියේ, ඔබේ වම් අත පැත්තේ මුලින්ම ඉන්න එකා, අද මගේ මස්සිනා. මේකා තමයි, මේ කතාවේ මුලින්ම කිව්ව, මගේ අක්කව ඩැහැගත්තේ. මරුමුස් පෙණුමයිනේ? බලන්නකෝ කොල්ලන්ගේ කොණ්ඩ ටික කොහොමද කියලා. අදනම් ඉස්කෝලෙන් එලවනවා. ඒ වගේම කෙල්ලන්ට විතරයි පාසල් නිළ ඇඳුමක් තිබෙන්නේ. කොල්ලන්ට නැහැ. එක එක ජාති ඇඳගෙන ඉන්නවා. ජාතික ඇඳුම ඇඳපු දෙන්නෙක් ඉන්නවා.

   ගෑණු ළමයි දාලා ඉන්නේ එක එක ජාතියේ සපත්තු සෙරෙප්පු. ඒ කාලේ ඔය 'බැලරිනා සපත්තු' බොහොම ජනප්‍රියයි. ඔය ටයි එකට අපි කිව්වේ, 'හරක් දිව' කියලා. ඕක ගැට ගහන්නේ නැහැ. ඔය පෙනෙන කෑල්ල විතරයි තියෙන්නේ. කටුවක් ගහලා එල්ලගන්නවා. අද මේ ළමුන් සියලු දෙනා, ආච්චිලා සීයලා වෙලා ඇති. අපේ අක්කටත් දරුවන්ගේ දරුවෝ ඉන්නවා.  වම් පැත්තේ මුලින්ම ඉන්න ගෑණු ළමයා, පුටුවෙන් වැටෙන්න යන එක වලක්වගන්න වෙන්න ඇති, එක කකුලක් ඈතින් තියාගෙන ඉන්නේ. එතනින් එහා, ඔබේ නිරීක්ෂණ වලට ඉඩ තබනවා.

   අන්තිම පින්තූරේ, 1970 දශකයේ ගත්ත එකක්. මගේ අයියාගේ, හෝම් කමින් හෙවත්, 'ඇට්ෙටා්ං' එකේදී ගත්ත පින්තූරයක් මේ.



පසු පේළියේ, වම් අත පැත්තේ මුලින්ම ඉන්නේ, ගරු මමතුමා. කොහොමද ටයි පොල්ලයි කොණ්ඩෙයි? ඊළඟට ඉන්නේ, අපේ අම්මාගේ නැගණියන් අතරින්, වැඩිමල්ම පුංචි අම්මා සහ බාලම පුංචි අම්මා. ඊළඟට අද ජීවතුන් අතර නැති, මගේ මල්ලිලා දෙන්නා. අන්තිමට ඉන්නේ, මගේ අක්කල තුන්දෙනාගෙන් බාලම අක්කා. පුටුවල වාඩිවී සිටින පේළියේ, මුලින්ම ඉන්නේ මේ කතාවේ මුලින්ම කිව්ව, මගේ දෙවැනි අක්කා සහ එයාව ඩැහැගත්ත ගොබිලා. ඊළඟට අපේ තාත්තා. ඊළඟට නව යුවළ. මනමාලිගේ හැට්ටේ අත්දෙක කොහොමද? කොහොමද අපේ අයියගෙ කොණ්ඩෙ? ඊළඟට අපේ අම්මා, ලොකු අක්කා සහ ඇගේ ස්වාමි පූ......ර්ෂයා.

   බිම වාඩිවෙලා ඉන්න කොල්ලෝ තුන්දෙනාම ලොකු අක්කගේ. කෙල්ලෝ තුන්දෙනාම දෙවැනි අක්කගේ. අද මුන් ඔක්කොම, දරුවෝ දෙන්නා තුන්දෙනා සිටින, අම්මලා තාත්තලා. බලන්න, 1940 දශකයේ ගත් පින්තූරය තවමත් සෑහෙන්න හොඳ තත්වයේ තිබියදී, 1970 දශකයේ ගත් පින්තූරය, සෑහෙන්න අබලන්වී තිබෙනවා. මෙහෙම වෙන්නේ, ඡායාරූප මුද්‍රණයේදී, ගුණාත්මක භාවය අතින් අඩුවීම කියලයි මම හිතන්නේ.

   දැන් ඉතින් ඔබට හිතෙන දේ, මේ පින්තූරවල ඉන්න අයගේ පෞද්ගලිකත්වයටත්, මගේ ආත්ම ගෞරවයටත්, හානි නොවන පරිදි කියන්න.

2015 සැප්තැම්බර් මස 18 වැනි දින 0831 පැය. 

21 August 2015

නෝනාවරුනි මහත්වරුනි එන්න පින්තූර බලන්න

නෝනාවරුනි මහත්වරුනි, මා මෙතනට පැමිණියේ පින්තූර ටිකක් පෙන්වීමටයි. තමුන්නාන්සේලා ඉතා සාවධානව ඒ පින්තූර බලනු ඇතැයි සිතනවා. 






















































නෝනාවරුනි මහත්වරුනි, පින්තූර හොයාගත්තේ මෙතනින් ය.

2015 අගෝස්තු මස 21 වැනි දින 0001 පැය 

09 August 2015

පරණ හඳහන් - Old Memories

මේ දිනවල ලොකු වැඩකට අත ගහලා තියෙන්නේ. හමුදාමය කරුණු ඇතුළත් ලිපියක් සැකසීම පහසු නැහැ කියලා, මා මීට පෙරදීත් කීප වතාවක් කියලා ඇති. එවැනි ලිපියක් සඳහා අවශ්‍ය, අධ්‍යයනයක සහ පරිවර්තන කාර්යයක යෙදී ඉන්න ගමන්, කම්මැලිකම යන්නයි, මේ සරල සටහන ලියන්නේ. පරණ හඳහන් කියන කියමන, දැන් භාවිත වෙන්නේ නැති තරම්. අපි කුඩා කාලයේ මේ කියමන කිව්වේ, 'පරණ කාලේ කතා ආයෙත් මතක් කරනවා' කියන අදහසින්. කවුරුත් දන්නා පරණ සිද්ධියක් කවුරුහරි ආයෙත් කියනකොට තමයි, අනේ මේ, ඔව්වා පරණ හඳහන් නේ' කියලා කිව්වේ.
   මේ ටික මුලින්ම කිව්වේ, මගේ මතකයෙන් කියවෙන මේ පරණ කතා, කලින් මා අතින් කියවෙලා තියනවානම්, මෙය නැවත ප්‍රචාරයක් හැටියට නොසලකන මෙන් ඉල්ලීමටයි. මේ කතාවලින් සමහරක්, මා විසින්, වෙනත් නමකින්, වෙනත් අඩවියකට, වසර කීපයකට උඩදී ලියා තිබෙනවා. 

   ඔන්න ඉතින් මුලින්ම කියන්න තියෙන්නේ, 'හැදිච්ච දෙමව්පියන්ගේ, නැහැදිච්ච ළමයි ඉන්නවානම්, ඔහොමම ඉන්න. නැහැදිච්ච දෙමව්පියන්ගේ, හැදිච්ච ළමයි ඉන්නවානම්, දැන්මම මෙතනින් යන්න'. හරි, එහෙනම් බහිමු කතන්දර වලට.


මැලේරියා තෙල් ගැහිල්ල

මෙය සත්‍ය කතාවක්. මේ කතන්දරේ 1970 දශකයේ අග භාගයේදී මට කිව්වේ, එවකට මගේ මිත්‍රයකු වශයෙන් මා ආශ්‍රය කළ, නමුත් මට වඩා වයසින් වැඩි, මැලේරියා මර්දන ව්‍යාපාරයේ සේවය කළ, අද ජීවතුන් අතර ඉන්නවාදැයි නොදන්නා, පුද්ගලයකු විසින්. ඒ මහතා, නැගෙනහිර පළාතට අයත්, සශ්‍රීක ගොවිබිම් වලට ප්‍රසිද්ධ ප්‍රදේශයක, මැලේරියා මර්දන ව්‍යාපාරයේ ක්ෂේත්‍ර නිලධාරියකු ලෙස සේවයේ යෙදී සිටියදීයි, මේ අත්දැකීම ලබා තිබෙන්නේ. වෙනදා මෙන්ම සුපුරුදු පරිදි, නිවාස වල මැලේරියා මර්දන ක්‍රියාවක් වශයෙන්,  රසායනික දියර ඉසින, තම සේවක පිරිස පිටත් කළ ඔහු, කාර්යාලයේ කටයුතු නිමවා, තම බයිසිකලයෙන් ගියාලු, වැඩ පරීක්ෂා කිරීම සඳහා.

   ඉතාම සතුටුදායක ලෙස, එදිනට අදාළ ගමේ නිවාස වලට, මැලේරියා බෙහෙත් ගැහීම සිදුවෙමින් පවතින බව පෙනී ගියාලු. නමුත්, එක නිවසක් අසළට ගියාම දුටු අමුතුම ආකාරයේ දසුනකින්, අර මහත්තයා, අන්ද මන්ද වී ගියාලු. ඔහු දැක්කේ, මැලේරියා බෙහෙත් ඉසින යන්ත්‍රයක නොසල් එක සහිත බටය, එම නිවසේ අඩවල් වූ පසුපස දොරෙන්, එළියට ඇතුළට, එළියට ඇතුළට, එළියට ඇතුළට, එක්තරා රිද්මයකට චලනය වන ආකාරයලු. වඩාත් හොඳින් පරීක්ෂා කිරීමට, දොර ඇර බැලුවාම, බෙහෙත් ගහන්නට ආ සේවකයා, ටැංකිය පිටේ බැඳගෙනම, අර ගෙදර ඇත්තිව, වී ගෝනි ගොඩකට හේත්තු කරගෙන, බෙහෙත් ගහනවලු. 


පොතේ ගුරා සහ පීල්ලෙන් නෑම 

මේ සිදුවීම් දෙක, මගේ සහෝදරයකුට, එකම දවසේ විඳින්නට සිදුවූ අත්දැකීම් දෙකක්. අත්දැකීම් අමිහිරි වුනත්, හරිම රසවත්. පාසලේ වර්ෂාවසාන විවිධ ප්‍රසංගය වෙනුවෙන් රඟදැක්වුණු, ඓතිහාසික නාට්‍යයේ, පොතේ ගුරු චරිතය තමයි, මගේ සහෝදරයා රඟපෑවේ. ඒ කාලයේ අපි, 'යට වෙයාර්' හෙවත්, 'අන්ඩර් ඇඳුම්' හැටියට ඇන්දේ, ගමේ ටේලර් උන්නැහේට කියා මහගත්ත, (සමහරවිට අම්මත් මහලා දුන්නා) කාටත් තේරෙන භාෂාවෙන් 'වවුල් ජොකා' නමැති වර්ගයේ වෙල්ල වැහුම්. වෙයන්න වෙයන්න. වයන්න කරලා අහුවෙන්න එහෙම එපා. ඉතින් ඔව්වා ඇන්ද උදවිය සහ, ඇන්දේ නැතත්, දැකලා ඇති උදවිය දන්නවා, එය අඳිනවිට පටි දෙකක් ගැට ගැසීමට ඇති බව. කල්යාමේදී, ඔය පටිවල ශක්තිය අඩුවීමෙන්, ඇඳගෙන ඉන්න අවස්ථාවේදී පටි කැඩෙනවා. අනේ........... එතකොට එය ඇඳගෙන ඉන්න තැනැත්තා පත්වන්නේ, හරියටම, යුද්ධ ටැංකියක වටේ තියන සන්නාහ තහඩුව ගැලවුණා වගේ, ඉතාම අසරණ තත්වයකට.

   ඔන්න ඉතින් එදා විවිධ ප්‍රසංගය හෙවත් කොන්සට් එක පවත්වන දිනය.  දවල් වරුවේ දර්ශනය තිබුනේ, පාසලේම දරු දැරියන්ට. බොහොම වෙහෙස වෙලා ඒ දර්ශනය ඉතා හොඳින් අවසන් වුනා. සවස දර්ශනය දෙමව්පියන්ට. ඉතා විශිෂ්ඨ මට්ටමෙන් පුහුණු කර තිබුණු නාට්‍යය බලන්න, ශාලාව පිරී ඉතිරීයන තරම්, ප්‍රේක්ෂක පිරිසක් හිටියා. ඔන්න ඉතින් පොතේ ගුරා, දර්ශනය ආරම්භ කිරීම සඳහා, තමන්ට නියමිත කොටස, කාව්‍යාලංකාර සහිතව කියමින්, වේදිකාව මැදට එන්නට පටන්ගත්තා. නමුත් පියවර දෙක තුනක් ගියපසු, ඔහු ගමන්කළේ, පුහුණුවේදී කියාදුන් ආකාරයට හාත්පසින්ම වෙනස් ආකාරයකට. එමෙන්ම ඔහුගේ මුහුණේ ඉරියව්ද, පුහුණුවේදී කියාදුන් ආකාරයට පැවතුනේ නැහැ.

   යන්තම් තම කොටස කියා නිමකළ ඔහු, අධෝ මාර්ගයේ රැඳුන යමක්, ඉන් පිටතට වැටීම වළක්වාලන විදිහේ ගමන් විලාශයකින්, වේදිකාවෙන් පිටවුණා. ඔහුගේ රංගන සගයන් පමණක් නොවෙයි, නිළියන් කීප දෙනෙක්ද වහාම ඔහුව වටකර ගත්තා. එක නිළියක් ඔහුගේ මූණට කඩාපැන ඇහුවා, 'මොකක්ද ඒ ඔයා කළේ? මොකද වුනේ'? කියලා. පොතේ ගුරා මුවින් නොබැණ, ඔහුගේ අර තාපස විලාසයේ ඇඳුම මඳක් ඔසවා, අර නිළියට පෙන්නුවා, ඒ වනවිටත් ඔහුගේ දෙපා මුලට වැටී තිබුන, වෙල්ලවැහුම. අර නිළියගේ යටිගිරියෙන් කෑ ගැසීම නිසා, දර්ශනය මොහොතකට නවත්වා, ප්‍රේක්‍ෂකාගාරය සන්සුන් කර, නැවත දර්ශනය ආරම්භ කළා. එතැන් සිට පොතේ ගුරා, ඉතා සැහැල්ලුවෙන් නාට්‍යයේ ඉතිරි කොටස් ඉදිරිපත් කළා. නෑ නෑ, ඝන්ඨාරයක් වදින හඬක් ඇහුනේ නැහැ. නිළියන් බයවුනෙත් නැහැ.

   ඊළඟ ජවනිකාව; එදා විවිධ ප්‍රසංගය අවසන් වෙලා, හොඳටම රෑ වෙලා, නළු කොල්ලෝ කට්ටිය ගියා, ඒ පැත්තේ මහා මාර්ගය අයිනේ තියන පීල්ලකින් නාන්න. උඩරට පළාතට දිවෙන මේ මාර්ගයේ, මේ කතාව කියවෙන 1970 දශකයේ, රෑට වාහන එන්නේ කලාතුරකින්. නාන්න ගියාට, යටට ඇඳගන්න එකක් නැති නිසා, පොතේගුරා, කලුවරේම, උපන් ඇඳුමෙන් නාන්න පටන්ගත්තා. යාළුවො ටික කතාවෙලා, හෙමිහිට කලින්ම නාලා, එකවරම පොතේගුරාගේ ඇඳුම් ටිකත් අරන්, බයිසිකල්වල නැගලා පාගලා යන්න පටන්ගත්තා. පොතේගුරා, සංස්කෘත, අපබ්‍රංශ, වාග්මාලාවෙන් යාලුවන්ට අමතමින්, බයිසිකල් පසුපස දුවන්න පටන්ගත්ත, උපන් ඇඳුමෙන් වතුර බේරී බේරී. 

   අනේ..........., ටිකදුරක් පන්නනකොට, පොතේගුරාට පසුපසින් වාහනයක් එනවා. දැන්, පොතේගුරාව, හරියට අර වේදිකා නාට්‍යයකදී, clear spot light එකක් ගැහුවා වගේ, ලස්සනට පෙනෙනවා, ඒ වාහනයේ ලයිට්වල එළියෙන්. එකවරම ඒ වාහනය පොතේගුරා ලඟට ඇවිත්, ගොරෝසු කටහඬකින් කිව්වා, 'ඒයි ඔහොම නැවතියන්' කියලා. පොතේගුරා ගල් ගැහිලා නැවතුනා. ඇවිත් තිබුණේ, ඒ ප්‍රදේශයේ පොලීසියේ ජීප් එක. මුර සංචාරයක් ගිහින් එනගමන්. පොලීසිය ඔක්කොමලව අල්ලගත්තා. අල්ලාගෙන ප්‍රශ්න කළා. කොල්ලො ටික අකුරක් නෑර ඇත්ත කිව්වා. මිනිස්කමෙන් හෙබි ඒ පොලිස්කාරයෝ, කතාව අහලා හොඳටම හිනාවෙලා, ලඟපාත කොල්ලොටික, ජීප් එකෙන්ම ගෙවල් වලට ගිහින් දැම්මා.


රාවණා ඇල්ලේ සුදු ජෝඩු ජෝඩුව 

මේ කතාව,  සවිස්තරව ලියන්නේ, ඊයේ පෙරේදා මා, හතර වටේ බ්ලොග් අඩවියේ දැමූ කමෙන්ට් එකක් පදනම් කරගෙනයි. 1988 - 90 භීෂණ සමයේ, මා, බදුල්ල දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල, සේවයේ යෙදී සිටියා. මේ කාලයේදී නිතරම, රාජ්‍ය විරෝධී ක්‍රියා පිළිබඳව, ආරක්ෂක අංශ සෙවිල්ලෙන් සිටි අතරම, සැක කටයුතු සියලුම ස්ථාන, වාහන, පුද්ගලයන්, ආදිය පරීක්ෂා කිරීම සිදුකෙරුනා. එක දිනක් මා සොල්දාදුවන් හය දෙනෙකු සමග ඇල්ල - වැල්ලවාය පාරේ, අපේ ජීප් එකකින් ගමන් කළේ, රාජ්‍ය විරෝධී කණ්ඩායමක ක්‍රියාකාරකම් පිළිබඳව ලැබුණු, එක්තරා තොරතුරක් ගැන වැඩිදුර විස්තර සෙවීමටයි. ඒ කාලේ, රාවණා ඇල්ල නැරඹීමට, දේශීය සංචාරකයන් තබා, විදේශීය සංචාරකයන්ද ආවේ බොහොම අඩුවෙන්.

   රාවණා ඇල්ලට ආසන්න වනවිටම මා දැක්කා, එතන හුදකලාවේ වාහනයක් නවත්වා තිබෙනවා. එහි රියදුරා පමණයි හිටියේ. ඇල්ල බලන්න ආව අය කවුරුවත්, අහල පහළ පෙනෙන්න හිටියේ නැහැ. මා රියැදුරාව මා අසළට ගෙන්වාගත්තා. ඔහු සිංහල ජාතිකයෙක්. කොළඹ සංචාරක හෝටලයක සිට පැමිණි ඒ වාහනයේ, සුදු ජෝඩු දෙකක් පැමිණි බවත්, ඔවුන් ඇල්ල දිගේ ඉහළට නැග්ග බවත්, ඔහු කිව්වා. වාහනය සම්පූර්ණ පරීක්‍ෂාවකට ලක්කලත්, සැක කටයුතු කිසිවක් තිබුණේ නැහැ. නමුත් එයින් සෑහීමකට පත්වන්නට බැහැ, ඇත්ත දැනගන්නා තුරු.

   මා සමග පැමිණි සෙබළුන් හය දෙනාගෙන් දෙදෙනෙකු එහි නවත්වා, ඒ වාහනයේ යතුර, මගේ සොල්දාදුවන් දෙන්නාගෙන් එක් අයකු අතට දී, මා එම වාහනයේ රියදුරුට කිව්වා, වාහනයට නැග දොරවල් අගුලු දමාගන්න ලෙසත්, වාහනයෙන් එළියට ආවොත් වෙඩි තබන බවත්. අර සොල්දාදුවන් දෙදෙනාට කිව්වා, සැක කටයුතු පුද්ගලයන්, අවට වනයේ ඉන්නවා දැක්කොත්, අහසට වෙඩි තබා ඔවුන් බියකර, පහළට ගෙන්වා ගන්නා ලෙසත්, ඔවුන්ගෙන් ප්‍රති ප්‍රහාර එල්ල වන්නේ නම්, ඔවුන්ට මැරෙන්නට වෙඩි තබන ලෙසත්.

   ඉතිරි සෙබළුන් හතර දෙනා සමග මා, ඇල්ලට දකුණු පසින්, මේ සමග ඇති පින්තූරයේ රතු පැහැති කඩ ඉරෙන් පෙන්වන ආකාරයට, ඇල්ල දිගේ ඉහළට නැග්ගා. ඇල්ලේ ඉහළම කොටසේදී, මා මහත් විශ්මයට/ප්‍රහර්ෂයට/අමන්දානන්දයට/අන්ද මන්ද බවට/තව තව නොයෙකුත් බවට/ පත්වන දසුනක් දැක්කා. තරුණ සුදු ජෝඩු දෙකක්, ඇල්ලේ ඉහළ ඇති, (මීට පෙර මා කවදාවත් එවැනි දෙයක් එතන ඇති බවක් අසා තිබුනේ නැහැ) ස්වභාවික පොකුණක, සම්පූර්ණ නිරුවතින්, සිත්සේ දියකෙළිමින් හිටියා. අවංකව ඇත්ත කියනවානම්, ඒ සුදු කාන්තාවන් දෙදෙනාම රූමත්. මට සැළලිහිණි සංදේශය, පරෙවි සංදේශය, මතක්වුණා. මට එහෙම වුණාට, අර සුදු ජෝඩු දෙක නම්, හෘදයාබාධයකට ලක්වන තරම් කම්පනයකට පත්වුනා. සැබවින්ම, අපි ඔවුන් වෙඩි තබා මරා දමනු ඇතැයි සිතන්නට ඇති. දැන් මා කුමක්ද කලයුත්තේ? ('බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නගෝ' කියලා, මමත් වතුරට පැන්නානම්, හොඳයි නේද?) මෙය ප්‍රසිද්ධ ස්ථානයක් බවත්, මේ ආකාරයට හැසිරීම තහනම් බවත්, කියන්නට හිතුනත්, ඔවුන් ඇහුවොත්, මෙතන කොහොමද ප්‍රසිද්ධ ස්ථානයක් වෙන්නේ? කියලා, මට උත්තර නැතුව යනවා.

   ඔන්න මොළේට විදුලි බලය ලැබුණා. මම කිව්වා, මෙය අධි රක්‍ෂිත ප්‍රදේශයක් බවත්, ශ්‍රී ලංකා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත්, පූර්ව ලිඛිත අවසරයක් නැතිව, මෙහි රැඳී සිටීම සම්පූර්ණයෙන් තහනම් බවත්, ඒ නිසා, ඇඳුම් ඇඳගෙන, ආපසු යන්නට, විනාඩි 15ක් දෙන බවත්, නැත්නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවන්නට මට සිදුවන බවත්. වැඩේ හරිගියා. ජෝඩු දෙක ඇඳුම් අඳින තුරු, මම මගේ සෙබළුන් සමග මඳක් පහළට බැස රැඳී සිටියා. මගේ කොල්ලො ටික හිතන්න ඇති, 'අනේ අපේ සර්ට නම් පිස්සු, මේ වගේ ලයිව් සීන් එකක් කාගත්තනේ' කියලා. මේ සිද්ධියෙන් පස්සේ, මම, ඒ පැත්තේ මා හඳුනන, වතු අධිකාරී සගයන් පිරිසක් සමග, ඒ පොකුණේ නාන්න ගියා. මෙන්න එදා ගත්ත පින්තූර. මත්පැන් පාවිච්චිය සම්පූර්ණයෙන් තහනම් කරලයි නාන්න ගියේ. එකෙක් හරි ඇල්ල පල්ලේ දෙරි ගැහුවනම් කාට කියන්නද? අදනම් මෙතනට ඕනේ කෙනෙකුට යන්න පුළුවන් ඇති. නමුත් යන පිරිස බොහොම අඩුයි. 





හම්මෝ.............ඇති ඇති. තවත් කතා මතක්වුණා, පස්සේ කියන්නම්. දැන්නම් හොඳටම මහන්සියි.

2015 අගෝස්තු මස 09 වැනි දින 0701 පැය 

11 May 2015

ඔන්න කතන්දර මෙන්න කතන්දර

හ්ම්…………හුඟ දවසකින් කතන්දරයක් දෙකක් කියන්න බැරිවුණා. මට මතක හැටියට අන්තිමට කතන්දර කිව්වේ පහුගිය ජනාධිපතිවරණය දවස්වල. මේ දවස්වල මා ජාලය පීරමින් ඉන්නේ, ඔබට හමුදා දැණුම ලබාදෙන ලිපි කීපයක් ඉදිරිපත් කරන්නයි. ඒ අතරතුරේ දැකගන්නට ලැබුන කතන්දර කීපයක් මෙලෙස ඔබවෙත ගෙන එනවා.

සාජන්ලා
11   
හමුදාවේ සාමාන්‍ය සෙබළුන් දෙදෙනෙක්, අහම්බෙන් දක්වන ලද දක්ෂතා නිසා, එකවරම සැරයන් නිළයට උසස් කරනු ලැබුවා. දෙන්නම බුද්ධි මට්ටම අතින් ටිකක් දුර්වලයි. උසස්වීම ලැබූ දා හවස, එක්කෙනක් කිව්වා අනිකාට,
   ‘අපි යමු හමුදා සාමාජිකයන්ගේ ක්ලබ් එකට’ කියලා.
   අනික් එක්කෙනා කිව්වා, ‘අපි සොල්දාදුවො නේද’ කියලා.  
   අරයා ආපහු කියනවා, ‘ඉතින් මොකද? අපි දැන් සාජන්ලා, පණ්ඩිතකම නැතුව වරෙන් යන්න’ කියලා.
  ඔන්න දෙන්නා ගියා ක්ලබ් එකට. ගිහින් සැර බීම වීදුරු දෙකක් ඕඩර් කරලා බලා ඉන්න අතරේදී, ලස්සන ගෑණු කෙනෙක් එතනට ආවා.
   එයා කිව්වා, ‘ඔය දෙන්නා මෙහාට අලුත් අය වගේ. මම ඉස්සර ඉඳලම මෙහාට එන අයව සතුටු කරනවා. නමුත් මේ දිනවල මට ගොනෝරියා හැදිලා නිසා කණගාටුයි. නමුත් ඔයාල කැමතිනම් මමත් කැමතියි’ කියලා.
   පළමුවැනි සාජන්, (ක්ලබ් යමු කියලා යෝජනා කරපු කෙනා) දෙවෙනියාට කිව්වා, ගොනෝරියා කියන්නේ මොකක්ද කියලා කාගෙන් හරි අහලා, නරක දෙයක් නෙවෙයි නම්, OK සිග්නල් එක දෙන්න කියලා.
  දෙවෙනි සාජන්, බාර් එකේ වැඩකරන මිනිහා ලඟට ගිහින්, වචන කීපයක් හුවමාරු කරගත්තා. පළවෙනියා දිහා බලලා ඇහැක් ගහලා, අත මිටමොලවලා, මහපටැඟිල්ල උස්සලා, OK සිග්නල් එක දුන්නා.
   පළමුවැනි සාජන්, අර කාන්තාව සමග ක්ලබ් එක ඇතුළට ගියා. ටික දවසකට පස්සේ, පළමුවැනි සාජන්ට ගොනෝරියාව හැදිලා අමාරු වුණා.
   එයා දෙවැනි සාජන්ට බැන්නා, ‘ඇයි යකෝ උඹ මට එදා OK සිග්නල් එක දුන්නේ’ කියලා.
   දෙවනියා කිව්වා, ‘මම එදා බාර් එකේ වැඩකරන මිනිහගෙන් ඇහුවම කිව්වේ, ඒක සොල්දාදුවන්ට හැදෙන ලෙඩක් කියලා. ඉතින් අපි සොල්දාදුවෝ නෙවෙයි සාජන්ලානේ, ඒකයි මම OK සිග්නල් එක දුන්නේ’ කියලා. 

වෙනස 
හමුදාවේ යාන්ත්‍රික ඉංජිනේරුවා සහ සාමාන්‍ය සිවිල් ඉංජිනේරුවා අතර වෙනස කුමක්ද? 
හමුදා යාන්ත්‍රික ඉංජිනේරුවා ඉලක්ක විනාශ කරන යන්ත්‍ර නිපදවයි.
සාමාන්‍ය සිවිල් ඉංජිනේරුවා ඒ විනාශකාරී යන්ත්‍ර සඳහා ඉලක්ක නිපදවයි. 

කාගේ ජීප් එකද
    මඩ ගොහොරු පාරක, හමුදා ජීප් රථයක් පදවාගෙන යන කපිතන් වරයකු දැක්කා, කර්නල් වරයකු පදවාගෙන ආ ජීප් රථයක් මඩේ එරී ඇති බව.
  කපිතන් ඇහුවා ‘සර්ගේ ජීප් එක එරිලා නේද’ කියලා.
  කර්නල් කිව්වා ‘පොඩ්ඩක් මෙහාට එන්ඩකෝ’ කියලා. කපිතන් ලඟට ගියාම කර්නල් කිව්වා,
  ‘මෙන්න මේ ජීප් එකේ යතුර, කෝ දෙනවා තමුසෙගෙ ජීප් එක මට. ඔන්න දැන් එරිලා තියෙන්නේ තමුසෙගෙ ජීප් එක’ කියලා. 


පැරෂුට් පිම්ම 
 Parachute    පැරෂුට් පුහුණුවට අලුතෙන් පැමිණි සොල්දාදුවකුගේ සගයකු දැක්කා, ඒ සොල්දාදුවා අමාරුවෙන් ඇවිදිනවා.
  ‘මොකද තමුසෙට වෙලා තියෙන්නේ’ කියලා, සගයා අර සොල්දාදුවාගෙන් ඇහුවා.
  ‘අද අපිව එක්ක ගියා පැරෂුට් එකෙන් පනින අභ්‍යාසයට’ සොල්දාදුවා කිව්වා.
  ‘ඉතින්’ සගයා ඇහුවා.
  ‘ඔන්න අපි එක එක්කෙනා ප්ලේන් එකෙන් පනින අවස්ථාව ආවා. බුදු අම්මෝ….. උඩ ඉඳලා බිම බලපු ගමන් මගේ ඇස් නිලංකාර වුණා, ඇඟ හීතල වුණා’.
  ‘ඉතින්’ සගයා ඇහුවා.
  සොල්දාදුවා කියනවා, ‘මම එහෙම ඉන්නකොට අපේ උපදේශක සාජන් මට කිව්වා, ‘යකෝ තෝ පනින්නේ නැත්නම් මම උඹේ ………..වා කියලා’
  ‘ඉතින්’ සගයා ඇහුවා.
  ‘ඉතින් මම පනින්නේ නැතුව සාජන් කියපු දේට එකඟ වුණා’ සොල්දාදුවා කිව්වා. 

වන්දි ගෙවීම 
33   වියට්නාම් යුද්ධයට ගොස් ආබාධිතවූ හමුදා සාමාජිකයන්ට, වන්දි ගෙවීමේ මණ්ඩලය වෙත, සොල්දාදුවන් තිදෙනෙකු ඉදිරිපත් කරනු ලැබුවා. වන්දි ගෙවීමේ මණ්ඩලය සොල්දාදුවන්ට කිව්වා, තමන්ගේ ශරීරයේ එකිනෙකට ඈතින් පිහිටි ස්ථාන දෙකක් නම් කරන ලෙසත්, ඒ ස්ථාන දෙක අතර ඇති පරතරය මැන, එක් අඟලකට, ඩොලර් 10000 බැගින් ගෙවන බවත්.
   පළමුවැනි සොල්දාදුවා කිව්වා, තමන්ගේ හිසේ සිට දෙපතුළට දුර මැන, වන්දි ගෙවන ලෙස. ඒ අනුව ඔහුට විශාල වන්දියක් ලැබුණා.
  දෙවැනි සොල්දාදුවා කිව්වා, තමන්ගේ අත්දෙක පොළොවට සමාන්තරව දෙපසට විහිදවූවිට, එක් අතක කෙළවර සිට, අනෙක් අතේ කෙළවර දක්වා ඇති දුරට, වන්දි ගෙවන ලෙස. ඔහුටත් විශාල වන්දියක් ලැබුණා. 
   තුන්වැනි සොල්දාදුවා කිව්වා, තම පුරුෂ ලිංගය තිබෙන තැන සිට, වෘෂණ කෝෂ තිබෙන තැන දක්වා ඇති දුර මැන, වන්දි ගෙවන ලෙස.
  අපොයි බොහොම සරල ඉල්ලීමක්නේ කියමින්, පුදුමයට පත්වූ වන්දි ගෙවීමේ මණ්ඩලය, ඔහුගේ ඉල්ලීම ඉටු කරන්නට සූදානම් වුණා.
   වන්දි ගෙවීමේ මණ්ඩලය අදාළ ස්ථාන අතර පරතරය මනින්නට බලනවිට, පුරුෂ ලිංගය තිබුණත්, වෘෂණ කෝෂ තිබුණේ නැහැ.
   ‘කෝ ඔබේ වෘෂණ කෝෂ’ කියා මණ්ඩලය ඇසුවා.
   ‘ඒවා වියට්නාමේ’ අර සොල්දාදුවා උත්තර දුන්නා. 

කිඹුහුම
Missile   අවි ආයුධ තොගයක් පටවාගෙන ගුවන්ගතවූ හමුදා ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක්වුණා. යානය බේරා ගන්නට නම් එහි පටවා තිබුණු බඩු ඉවත් කරන්නට වෙනවා.
  නියමුවා කිව්වා, වහාම බඩු බිමට හෙලන ලෙස. බිම තිබුණු කැලෑ ප්‍රදේශ වලට බඩු එකින් එක හලමින් ආවා, අන්තිමට නාගරික ප්‍රදේශයකට ආවා.
  නියමුවා කෑගනනවා, ‘ඔක්කොම බඩු බිමට දාපල්ලා’ කියලා.
   අන්තිමට යානයේ තිබුන අත් බෝම්බත් බිමට දැම්මා, තුවක්කුත් බිමට දැම්මා, බොහොම බයෙන් මිසයිලයකුත් බිමට දැම්මා.
   බර අඩුවීම නිසා යානය කඩා නොවැටී බේරගන්න පුළුවන් වුණා.
   ගොඩ බැස්ස වහාම, නියමුවා සහ පිරිස, වාහනයක් අරං ආපහු ගියා, බිම දාපු දේවල් හොයන්න.
   පොඩි කොල්ලෙක් පාර අයිනේ අඬ අඬා, ඉන්නවා. ‘ඇයි පුතා’ කියලා ඇහුවම කිව්වා, කවුදෝ මට උඩින් එව්වා ගලක් වගේ එකක්, ඒක මගේ පිටේ වැදුනා කියලා. හොඳ වෙලාවට ඒ අත් බෝම්බේ පුපුරලා නැහැ.
   තව ටිකක් දුර යනකොට මිනිහෙක් කොන්ද අතගගා කුණුහරප කියමින් ඉන්නවා. මොකද කියලා ඇහුවම, කවුද එකෙක් මට තුවක්කුවකින් දමලා ගැහුවා කිව්වා.
  තවත් ඉස්සරහට යනකොට, කොල්ලෙක් හිනාවෙවී පාරේ දුවගෙන එනවා. ‘මොකද පුතා’ කියලා ඇහුවම කොල්ලා කියනවා,
   ‘මට එකපාරටම කිඹුහුමක් ගියා, එතකොටම මාත් එක්ක තරහ කොල්ලෙක් ඉන්න, අපේ ගෙවල් ළඟ ගෙදර, ගිනි ගුලියක් වෙලා නැතිවෙලා ගියා’ කියලා.

කාන්තාවන්ට සැලකීම 
   බොහොම කාලයකට පස්සේ, ඇෆ්ඝනිස්ථානයට පැමිණි සමාජ සේවිකාවක් දැක්කා, මහා පුදුමයක්. ඉස්සර ඇෆ්ඝනිස්ථානයේ විවාහක කාන්තාවන්, පාරේ ගමන් කරද්දී, තම සැමියාට වඩා අඩි පහක් විතර පසුපසින් තමයි ගමන් කරන්නේ. දැන් ඇෆ්ඝනිස්ථානු සැමියන්, තම බිරිඳට වඩා අඩි 20ක් විතර පසුපසින් යන්නේ.
   අර කාන්තාව පුදුමයට පත්වෙලා, ඇෆ්ඝනිස්ථානයේ දැනට සේවය කරන සමාජ සේවිකාවකගෙන් ඇහුවා, ‘කවුද මේ මහා විප්ලවය කළේ? පුදුමාකාර විදිහට දැන් කාන්තාවන්ට ප්‍රමුඛස්ථානයක් ලැබිලා තියනවා නේද? අපි මේ විප්ලවය කළ කෙනාට උපහාර දැක්විය යුතුයි, ඇත්තටම කවුද මේක කළේ’ කියලා.
   අර සමාජ සේවිකාව උත්තර දුන්නා ‘බිම් බෝම්බ’ කියලා. 
අදට ඔය මදෑ. තව ගොඩාක් තියනවා. පස්සේ බලමුකෝ.

2015 මැයි මස 1 දින 0024 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }