හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ
Showing posts with label සංචාරක සටහන්. Show all posts
Showing posts with label සංචාරක සටහන්. Show all posts

23 February 2015

උතුරේ සංචාරයක් (දෙවැනි කොටස)

  මතකයි නේද මා ඔබ සමග බෙදා හදාගත් අද්දැකීම, මගේ උතුරේ සංචාරය ගැන? අද එහි දෙවැනි කොටසයි ඉදිරිපත් කරන්නේ. මේ සංචාරයේදී, සාමාන්‍යයෙන් යාපනයේ සංචාරයක යන අය බහුතරයක් නොයන තැනක් වන, ඩෙල්ෆ්ට් දූපතට යන්න මට අවස්ථාවක් ලැබුණා. ඔබ යාපනයේ සංචාරයක යෙදෙන්නට සිතා සිටිනවා නම්, ඩෙල්ෆ්ට් දූපතටත් ගොස් එහි සුන්දරත්වය රස විඳින්න කියා මා ඉල්ලා සිටිනවා. නාගදීපය වඳින්න යන්න බෝට්ටුවට ගොඩවෙන තැනින්මයි, ඩෙල්ෆ්ට් දූපතට යන බෝට්ටු සේවයත් පටන්ගන්නේ. බෝට්ටු ගාස්තුව රුපියල් 60 යි. මේ තියෙන්නේ බෝට්ටුවේ ටිකට් එක. ජැටියේ සිට ඩෙල්ෆ්ට් දූපත වෙත දුර, කි.මී. 17.4 ක් පමණ වෙනවා. නමුත් මේ දුර යන්න, බෝට්ටුව පැයක් පමණ වෙලාවක් ගතකරනවා. මුහුද රළු නම්, කාලය ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. 

ticket

   මතකනේ පසුගිය කොටසේදී මම කිව්වා, අපි යාපනයේ නිවසක නවාතැන් ගත්තා කියලා. ඔන්න ඉතිං අපි උදෙන්ම පිටත්වෙලා, යාපනයේ හෝටලයකින් උදේ ආහාරය ගත්තා. මේ හෝටලයේ තිබුණ විශේෂත්වයක් වන්නේ, කාන්තාවන්ට ආහාර ගැනීම සඳහා වෙනම කොටසක් සකස්කර තිබීමයි. කාලය ගත නොකර, හැකි ඉක්මණින් කීරිකඩ්ඩුවාන් ජැටිය වෙත හැකි උපරිම වේගයෙන් අපි ගියා. යාපනය නගරයේ වාහන තදබදයක් නැහැ. ඒ නිසා කරදරයකින් තොරව යන්න පුළුවන්.

DSC01479

DSC01484

නමට විතරක් ගල්ගමුව. හැබැයි සිංහල නැහැ.

DSC01482

පහත ඇති සිතියම මත ක්ලික් කර, ලොකුකර බලන්න.

Delft

  යාපනයේ සිට එන බස්රථ, ජැටියේ කෙළවරටම ඇවිත්, මගීන් බස්සවා, ආපසු යාපනය වෙත යන මගීන් රැගෙන යනවා. ඩෙල්ෆ්ට් සහ නාගදීපය යන දූපත්වල වැසියන්ටද, යාපනයට යන්න තිබෙන්නේ, මේ බස්රථ සේවයයි. නාගදීපය සහ ඩෙල්ෆ්ට් බලා යන සංචාරකයන්, තමන් පැමිණි වාහනයෙන් ජැටිය වෙත පැමිණ, වාහනයෙන් බැස, එම වාහන ජැටිය වෙත එන මාර්ගයේ කෙළවර වෙත ආපසු යවා, එහි නවතා තැබිය යුතුයි.

DSC01494

   මේ තියෙන්නේ ජැටියේ තිබෙන මගී පර්යන්තය. පොලීසිය විසින් මෙතනදී සාමාන්‍ය පරීක්‍ෂාවක් කරනවා. 

DSC01505

DSC01499

   නාගදීපයට යන සංචාරකයන් සහ එහි පදිංචිකරුවන්, බෝට්ටුවට ගොඩවෙන ආකාරයයි, පහත දැක්වෙන්නේ. භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙනම බෝට්ටු තිබෙනවා.

DSC01498

   ජැටියේ සිට නාගදීපයට ඇති දුර කිලෝමීටර් 1.5 ක් පමණ වෙනවා. ඒ නිසා ඉක්මනින් බෝට්ටු යනවා එනවා. නමුත් පැය බාගයක පමණ වෙලාවක් ගන්නවා. අපි හිතුවේ, ඩෙල්ෆ්ට් වෙත යන්නත්, පට් පට් ගාලා බෝට්ටු ලැබෙයි කියලා. පසුව තමයි දැනගන්නට ලැබුණේ, ඩෙල්ෆ්ට් වෙත බෝට්ටුවක් පිටත් වෙන්නේ, පැය තුනකට පමණ වරක් බව. ඔන්න ටිකක් වෙලා ඉන්නකොට, ඩෙල්ෆ්ට් පැත්තේ ඉඳලා ආවා බෝට්ටුවක්. අප්පොච්චියේ......... ඒක දැක්ක ගමන් මට හිතුණා, සියලු දෙවි දේවතාවුන් මතක් කරලා, අර ජැටියේ කණුවක පඬුරක් ගැටගහන්න. ඒ තරම් 'ඉස්තරම්' බෝට්ටුවක්. මේ බෝට්ටුවේ පෙනෙන කවුළු වලට පහළ කොටසේ, මගීන් 30 කට පමණ ඉඩ තිබෙනවා. දිග ලෑලි බංකු තමා තියෙන්නේ. ඒ වගේම මේ බෝට්ටු තට්ටුව මත වාඩිවී යන්නත් පුළුවන්. අපිත් ගියේ එහෙමයි. ජීවිතාරක්ෂක කබා තිබුණත්, ඒවා අඳින්න කියලා කියන්නේ නැහැ. කැමති අය අඳිනවා. මේ ප්‍රදේශයේ මුහුදේ ගැඹුර, මීටර් 7 - 15 අතර බව නාවික හමුදාවෙන් දැනගත්තා. 

DSC01504

   මේ බෝට්ටුවේ ප්‍රමුඛත්වය බඩු පැටවීමටයි ලැබුණේ. මෙන්න මෙහෙමයි බඩු පැටෙව්වේ. ඉඩ තියන තැන්වල මගීන්ටත් යන්න පුළුවන්. 

DSC01532

   මෙන්න මෙහෙමයි අපේ පිරිස බෝට්ටුවේ ගියේ. බෝට්ටුවේ වැඩිපුරම පටවා තිබුණේ, බිස්කට් හා නොයෙක් රසකැවිලි, ක්ෂණික ආහාර වර්ග සහ විවිධ වර්ගවල සිසිල් බීම බෝතල්. මේවා වැඩිපුරම පරිභෝජනය කරන්නේ ඩෙල්ෆ්ට් වාසීන් බවත්, සංචාරකයන් ඒවා පරිභෝජනය කරන්නේ ඉතා අඩුවෙන් බවත්, දැනගන්න ලැබුණා. දියවැඩියාව හදාගනියි හොඳට. නැද්ද මං අහන්නේ? 

DSC01513

  ඔන්න ඉතින් මගීන් සහ බඩු පටවාගෙන බෝට්ටුව පිටත් වුණා. බොහොම හෙමින් තමයි යන්නේ. මේ බෝට්ටුවේදී මට අහම්බෙන් හමුවුණා, ඩෙල්ෆ්ට් දූපතේ තියන නාවික හමුදා කඳවුරේ සේවය සඳහා යන, නාවික සෙබළුන් දෙදෙනෙක්. ඔවුන් කිව්වා, මෝසම වෙනස් වී මුහුද රළු වන කාලයේදී, මේ ගමන තරමක් අවදානම් බවත්, සමහරවිට ගමන් කිරීම නවතා දමන බවත්. අපි ආපහු එන ගමනේදී, මුහුද තරමක් රළු වී තිබුණා. බෝට්ටුව උඩ විසිකර මුහුදට අතාරිනවා මෙන් දැනෙන්නට පටන්ගත්තා. අපේ පොඩි හාමුදුරු දෙනම, ටිකක් බයවුණ බව පෙනුනා. ඩෙල්ෆ්ට් බලන්න ගිහින් එන වෙනත් කණ්ඩායමක සිටි දෙදෙනෙකු වමනය කළා, ඒ කැලැත්තීම දරාගන්න බැරුව.

   මේ බෝට්ටුවේ තිබෙන්නේ බර වාහනයක තිබෙන ආකාරයේ ඩීසල් එන්ජිමක්. ගියර් පද්ධතිය වෙනස්කම් වලට භාජනය කරලා සකසා තිබෙන්නේ. එන්ජිම නගන හඬත් මහා කන් කරච්චලයක්. බෝට්ටු තට්ටුව මත තමයි, ඇක්සලරේටරය සහ ගියර් සීරුමාරුව සවිකර තිබෙන්නේ. 

DSC01518

   ජැටියෙන් පිටත්වීම සඳහා බෝට්ටුව හරවා ගැනීම සඳහා පමණයි ගියර් මාරු කරන්න වෙන්නේ. ඊට පස්සේ එක ගියරයකට දමා ඇක්සලරේටරය එකම වේගයක තබනවා. බෝට්ටුව ඉදිරියට ඇදීයනවිට, අවශ්‍ය දිශාවට බෝට්ටුව යොමුකිරීමට, සුක්කානමක් මෙන්, හබල් පතක් centre board පාවිච්චි කරනවා. බෝට්ටුවේ ටිකට් කඩන්නෙත් මෙයා. අර පිටේ එල්ලගෙන ඉන්නේ සල්ලි සහ ටිකට් සහිත මල්ල. 

DSC01521

   දැන් තියෙන්නේ ඔටෝ පයිලට් දාලා. :D අර දැරිවි ඩෙල්ෆ්ට් වල ස්ථිර පදිංචිකාරියක්. වගේ වගක් නැතුව, ඩෙල්ෆ්ට් වලට යනකල් හොඳ නින්දක් ගැහුවා.

   මෙන්න මෙයා තමයි බෝට්ටුවේ හබල් පත බාරව ඉන්නේ. කොහොමද වැඩේ? මේ පොල්ල වමට දකුණට හරවනකොට, බෝට්ටුව ගමන් කරන දිශාව වෙනස් වෙනවා. මෙයා මරු වැඩක් කළා. ටිකක් දුර ගිහින්, මෙයත් ඉඳගත්තා අර අපේ පොඩි හාමුදුරුවන්ට මෙහායින්. ඉඳගෙන අර පොල්ල අග්ගිස්සේ තියන ලණුව, එයාගේ කකුලේ බැඳගත්තා. ඊට පස්සේ බෝට්ටුව full foot control නියමයි නේද? :D

DSC01520

අපි ටිකෙන් ටික අර මගී පර්යන්තයෙන් ඈත්වෙන්න පටන් ගත්තා.

DSC01519

DSC01507

ඈතින් ඩෙල්ෆ්ට් දූපත පෙනෙන්න ගත්තම, හිතට සතුටක් දැනුණා. අර ඊතලයෙන් පෙන්වන්නේ ඩෙල්ෆ්ට් දූපත.
DSC01531

දෙයියන්නේ පිහිටයි තුණුරුවන්නේ සරණයි කියලා, මෙන්න අපි ඩෙල්ෆ්ට් දූපතට ළඟාවූ මොහොත.

DSC01535

   දැන් ඉතින් අදම දූපතේ ඇවිදින්න ගියොත් වෙහෙසයි නේද? ඒ නිසා ඊළඟ කොටසේදී දූපතේ ඇවිදිමු. තව ලස්සන පින්තූර ගොඩක් තියනවා. ඒ ඔක්කොම දැම්මොත්, ලිපිය දික්ගැහීමෙන් නීරස වෙනවා. 

   දන්නවද වැඩක්? ඩෙල්ෆ්ට් දූපතේදී, මම මහා ගස් බෙනයකට රිංගුවා. ඒ වගේම, කඩාවැටෙන්න ගිය පරණ ලන්දේසි බලකොටුවක්, වැටෙන්න නොදී කර ගහලා ඇල්ලුවා. ඒ ඔක්කොම ඊළඟ කොටසෙදි කියන්නම්. 


2015 පෙබරවාරි මස 22 දින 2226 පැය

13 February 2015

උතුරේ සංචාරයක් (පළමුවැනි කොටස)


Jaffna
 යුද්දෙන් පස්සේ වවුනියාව සහ වැලිඔය පැත්තේ ගිහින් ආවත්, උතුරට යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් පසුගිය දෙසැම්බර් 17 - 18 දෙදින තුළ, උතුරේ සංචාරයක යෙදෙන්න මට අවස්ථාව ලැබුණා. මේ කළින් සැළසුම් කළ සංචාරයක් නොවේ. හිතුනා ගියා. නමුත් සංචාරය සාර්ථකව කරන්න හැකිවුනා. යුද හමුදාවේ දැනට සේවයේ යේදී ඉන්න යාලු මිත්තරයන්ගෙන්, විශාල උපකාරයක් ලැබුණා. අපේ සම්පූර්ණ පිරිස පස් දෙනයි. අපේ පන්සලේ නායක හාමුදුරුවෝ, සාමනේර හිමිවරුන් දෙනම, මගේ මිත්‍රයෙක් සහ මම. ඒ මිත්‍රයා සහ මා තමයි රියැදුරු රාජකාරිය කළේ. හැබැයි ඉතිං දවස පුරා රිය පැදෙව්වත්, හවසට ඇඟපත රත්කරගන්න ලැබුණේ නැහැ. හාමුදුරුවෝ ඉන්නවනේ. ඒ නිසා එව්වා අමතක කරලා දැම්මා.

   මෙන්න මෙහෙමයි අපි ගිය ගමන් මාර්ගය. ගෙදර ඉඳලම පාර පෙන්නන්න අවශ්‍ය නැහැනේ. අවශ්‍ය කොටස තමා මේ පෙන්නන්නේ. වවුනියාව පහුකලාට පස්සේ, පුලියන්කුලමෙන් දකුණු අත පැත්තට හැරිලා, (භූමියේ නැගෙනහිරට)  ඔය රතුපාට ඊතල වලින් පෙන්නන පාරෙන් ගිහින් කහපාට ඊතල වලින් පෙන්නන පාරෙන් ආපහු ආවා. 

1

  මා කවදාවත් මගේ සේවා කාලය තුළ, පුලියන්කුලමේ සිට මුලතිව් දක්වා ගොඩබිමෙන් ගමන් කර නැහැ. මේ තමයි ගිය පළමුවැනි වතාව. ඊලාම් යුද්ධය පැවති කාලයේ, ගුවනින් ගොස්, මුලතිව් ඝන වනාන්තරය දැක තිබුණත්, ඒ වනය මැදින් අද තිබෙන කාපට් පාරේ යනවිට ඇතිවෙන්නේ, අමුතුම හැඟීමක්. මට නොකඩවාම මතක්වුනේ, මේ භූමිය, LTTE ත්‍රස්තවාදීන්ගෙන් ජයගන්න, තම රුධිරයෙන් මේ බිම තෙත්කළ, අපේ රණවිරුවන්. ඔන්න ඉතිං අපි මුලතිව් වෙත ළඟාවුණා. හරිම ලස්සන වෙරළ තීරයක්.

DSC01412a

   අපේ හාමුදුරුවෝ වෙරළ තීරයේ සුන්දරත්වය නැරඹුවේ මෙහෙමයි. පොඩි දෙනම නම් රැල්ල පාගන්නත් ගියා.

DSC01410

DSC01409

ඊට පසේ අපි ගියේ පුදුකුඩිඉරුප්පු යුධ කෞතුකාගාරය බලන්නයි.

DSC01418

   පේ ආරක්ෂක හමුදා විසින් අල්ලාගන්නා ලද, LTTE සංවිධානය විසින් මුහුදු සටන් සඳහා භාවිත කළ යාත්‍රා, ඔවුන් විසින් වැඩිදියුණු කිරීමට උත්සාහ කල සබ්මැරීන්, සහ වෙනත් යුද්ධායුධ මේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරනවා. එමෙන්ම, මානුෂික මෙහෙයුමේදී, සාමාන්‍ය ද්‍රවිඩ ජනතාව, ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදා ගැනීම සඳහා, අපේ හමුදාව කළ මෙහෙය පිලිබඳව, ඡායාරූප විශාල ගණනක් ප්‍රදර්ශනයට තබා තිබෙනවා. 

DSC01436

DSC01440

DSC01444

DSC01448

මානුෂික මෙහෙයුම අවසන් කොට, යුද ජයග්‍රණය අත්පත් කරගැනීම වෙනුවෙන් ඉදිකර ඇති ස්මාරකයයි මේ පහතින් දැක්වෙන්නේ.

DSC01454

 මුලතිව් හමුදා කඳවුරකින් දිවා ආහාරය ලබාගත් අපි ඊළඟට කිලිනොච්චිය බලා පිටත්වුණා. සවස තේ පානය සඳහා අපි නැවතුනේ කිලිනොච්චියේ. අපේ අරමුණ වුණේ එදිනම කෙසේ හෝ ඩෙල්ෆ්ට් දූපත දක්වා යාමයි. ඒ සඳහා බෝට්ටුවට නගින්න තිබෙන ස්ථානයට, දුර කිලෝමීටර් 90 ක් පමණ වෙනවා. නමුත් කිලිනොච්චියට නුදුරු පූනරින් ප්‍රදේශයට එනවිට, වර්ෂාව අධික වීමත්, මාර්ගය අබලන් වීමත් නිසා, ගමනේ වේගය හොඳටම අඩාළ වුණා. අපේ පුංචි කාර් එකට, මේ රළු මාර්ගයේ ගමන් කිරීම, විශාල අභියෝගයක් වුණා. (Toyota Stralet Reflet) වාහනය පදවන ගමන් මා ගත්ත පින්තූරයක් පහත දක්වන්නේ, මාර්ගයේ ස්වභාවය සහ වැසි ගතිය පෙන්වන්නටයි. 

DSC01467

   මෙන්න මේ සිතියමෙන් පෙන්වන්නේ ඒ මාර්ගයේ කොටසක්. පූනරින් - සංගුපිඩ්ඩි මාර්ගය, ඒ කාලේ මහා යුද්ධ පැවති ප්‍රදේශයක්. මෙහි ගමනාගමනය මුළුමනින්ම නැවතිලා තිබුණේ. අද මේ තරමින් හෝ යන්නට ලැබීම වාසනාවක්. 

Screenshot (79)

   අපි හිතුවේ කෙසේ හෝ ඩෙල්ෆ්ට් දූපත දක්වා ගොස්, රාත්‍රිය එහි ගතකරන්නයි. නමුත් ඩෙල්ෆ්ට් සහ නාගදීපය දක්වා බෝට්ටු සේවය පටන් ගන්නා කිරිකඩ්ඩුවාන් ජැටිය වෙත ළඟාවනවිට, හවස 6 විතර වුණා. එයට හේතුව වුණේ, යාපනයේ සිට පුන්කුඩුතීව් දක්වා දිවෙන මාර්ගයත්, තවම අලුත්වැඩියා කරමින් පවතින නිසා, පාර හදන අය විසින්, වරින්වර, එක දිශාවකට පමණක් වාහන ධාවනය කරන්න ඉඩ ලබාදෙන පරිදි, යන්නට සිදුවීම නිසයි. අපි ජැටියට එනවිට, ඩෙල්ෆ්ට් දක්වා යන අවසාන බෝට්ටුවත් ගිහින් තිබුණා. එහි සිටි නාවික හමුදා නිළධාරීන් සහ පොලිස් නිළධාරීන්, වෙනත් බෝට්ටුවක් හොයාගන්නට දරන ලද උත්සාහයත් සාර්ථක වුණේ නැහැ. අපි එක්තරා ආකාරයක අතරමං වීමකට ලක්වුණා. නමුත්, යාපනයේ සිටින, අප දන්නා හඳුනන හමුදා නිළධාරීන්ට දුරකථනයෙන් කතාකර, නවාතැනක් හොයාගන්න පුළුවන් වුණා. එහෙත්, නවාතැන් ගන්න, ආපසු යාපනය දක්වා කිලෝමීටර් 31ක්, අර අබලන් මාර්ගයේ පැය දෙකක් තිස්සේ යන්න වුණා.

Screenshot (78)

   අපිට නවාතැන් ගන්න ලැබුණේ යාපනය නගරයේ ද්‍රවිඩ නිවසක. සැමියා ද්‍රවිඩ බිරිඳ සිංහල. සැමියාට සිංහල හෝ ඉංගිරිසි දෙකම බැහැ. නමුත් කොහොම හරි වැඩේ පිරිමහගත්තා. සැමියාගේ ගම හැටන් පැත්තේ. බිරිඳගේ ගම දැරණියගල. අපි යනවිට බිරිඳ යම්කිසි අවශ්‍යතාවකට ඉන්දියාවට ගොස් තිබුණා. මෑතකදී පත්වීමක් ලබා, මේ නිවසේ නවාතැන්ගෙන, යාපනය ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයේ සේවය කරන, ගම්පහ පැත්තේ සිංහල තරුණයකු, අපට හමුවුණා. ඔහු අපට කිව්වේ, යාපනයේ මිනිසුන් ඉතා සුහදශීලී බවයි. නමුත්, කවදාවත් යාපනයෙන් පිටතට නොගිය, එක්තරා අන්තවාදී පිරිසක්, තවමත්, යාපනය ද්‍රවිඩයන්ටම පමණක් වෙන්ව තිබිය යුතු භූමියක් ලෙස සළකා කටයුතු කරන බවත්, ඔහු කිව්වා.

   අපිට නිදහසේ මුළු නිවසෙන් වැඩි කොටසක් පාවිච්චි කරන්න ලැබුණා. එළියේ සවිකර තිබුණ ෂවර් එකකින්, මමත් මගේ මිතුරාත් හොඳින් නාගත්තා. හාමුදුරුවන්ට ඇතුළේ නාන කාමරය දුන්නා. හොඳ ලොකු ඇඳන්, අලුත් ඇතිරිලි සහ කොට්ට දමා සකසා තිබුණා. ෆෑන් තිබුණ නිසා මදුරු දැල් අවශ්‍ය වුණේ නැහැ. හාමුදුරුවරුන්ට ගිලන්පස සකසාදී, මමත් මිතුරාත් නගරයට ගොස් රාත්‍රී ආහාර ගත්තා. මම ගියේ ආප්ප කන්නම් කියලා හිතාගෙන. දන්නවද වැඩක්? යාපනේ ආප්ප නැහැ. හදන්නේවත් කන්නේවත් නැහැලු. දකුණේ ඉඳලා යාපනයට යනකොට, අන්තිමට ආප්ප තියෙන්නේ වවුනියාවෙලු. ඒ  සිංහල අය ඉන්න නිසා වෙන්න ඇති. මොකක්ද දන්නෑ හේතුව යාපනේ ආප්ප නොහදන. යාලුවා ඇහුවා මොකුත් කරනවද කියලා. නමුත් මම කිව්වා හොඳ නෑනේ, බැරිවෙලාවත් හාමුදුරුවන්ට දැණුනොත් කියලා. (මම ලොකු හාමුදුරුවන්ට හොරෙන් පොඩි දෙනමට රෝස් පාන් දෙකක් ගිල්ලෙව්වා. දුකයි අප්පා, මගේ දරුවෝ වගේ. අනේ රහ කර කර  කෑවා. හුටා... වැළඳුවා)

   අදට මේ ඇති නේද? ඊළඟ කොටසෙදී ඩෙල්ෆ්ට් යමු.

2015 පෙබරවාරි මස 12 වැනි දින 2328 පැය 

06 September 2014

තන්තිරිමලේ යමු

1
 ඔබ අතරින් සෑහෙන දෙනෙක්, තන්තිරිමලේ පුදබිම ගැන අහලා ඇති. ඒ වගේම ඔබ අතරින් සෑහෙන දෙනෙක්, තන්තිරිමලේ පුදබිම වන්දනාමාන කරගෙනත් ඇති. දැනට මාස දෙකතුනකට පෙර, මට අවස්ථාවක් ලැබුණා, බොහොම නිදහසේ, නිස්කලංකව, තන්තිරිමලේ පුදබිම වන්දනාමාන කරගන්න. මා මෙසේ සාමාන්‍ය ඇඳුමෙන් සැරසී, සාමාන්‍ය මිනිසකු ලෙස, තන්තිරිමලේ පුදබිමට ගිය පළමුවැනි අවස්ථාවයි මේ. මීට පෙර මා, මේ පුදබිමට කීප වතාවක් ගොස් ඇතත්, ඒ සෑම අවස්ථාවකම, හමුදා රාජකාරි වලට අදාලව ගිය අතර, මෙසේ නිදහසේ ඇවිදින්නට ඉඩක් ලැබුණේ නැහැ. එදා, මේ ප්‍රදේශය හමුදා ආරක්ෂාව යටතේ පැවති අතර, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ දැඩි තර්ජනයට ලක්වූ ප්‍රදේශයක්ව පැවතුණා. යුද්ධයෙන් පසු, ඉතා සාමකාමී නිදහස් පරිසරයක් මෙහි දකින්නට ලැබීම මහත් සතුටක්. අවට ජනාවාසද වේගයෙන් සංවර්ධනය වන බව පෙනුණා. (මේ ලිපියේ ඇති සමහර පින්තූර මත ක්ලික් කර විශාල කර බැලිය හැකියි) මා හිතනවා ඔබට මුලින්ම, තන්තිරිමලේ පිහිටීම විස්තර කරදීමට. ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ පිහිටි තන්තිරිමලේ ප්‍රදේශය, අනුරාධපුර නගරයේ සිට, කිලෝමීටර් 40 ක් පමණ දුරින් පිහිටා තිබෙනවා.  



2


   තන්තිරිමලේ ඉතිහාසය, ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවස තරම් ඈත අතීතයකට උරුමකම් කියනවා. මේ පුදබිම, ඉතා විශාල ගල් තලාවන් කීපයක් අතර විහිදී තිබෙන අතර, එම ගල් තලාවන්හි විශාලත්වය, අක්කර 225 ක් පමණ වන බව දැනගන්නට ලැබුණා.


3


   බොහෝ දෙනා තන්තිරිමලේ රජමහා විහාරය වන්දනාමාන කරගන්නට යන්නේ, එහි ඇති, පිහිටි ගලේ නෙලූ ප්‍රතිමා වන්දනාමාන කරගන්නටයි. එයින් වඩාත් ප්‍රසිද්ධ වන්නේ, එකිනෙකට තරමක් දුරින් පිහිටි, සැතපෙන පිළිම වහන්සේ සහ සමාධි පිළිම වහන්සේයි.


4


15


   මේ පිළිම වහන්සේලා දකිනවිට, ඔබට නිතැතින්ම මතක් වන්නේ, පොළොන්නරුවේ ගල් විහාරය බව අමුතුවෙන් කීම අනවශ්‍යයි. නමුත්, පොළොන්නරුවේ පිළිමවල ඇති සියුම් සහ සවිස්තර බව, මේ පිළිමවල දකින්නට නැහැ. මේ පුදබිමේ පිළිම නෙලීමේ වැඩකටයුතු අවසන් කිරීමට මත්තෙන්, විදේශීය (දකුණු ඉන්දියානු) සතුරු ආක්‍රමණ ලංකාවට එල්ලවූ බවත්, එබැවින් සෙල් පිළිම නිසිපරිදි නිමවීමට නොහැකිවූ බවත්, ඉතිහාසයේ සඳහන්. ඒ බවට සාක්‍ෂි, පහත දැක්වෙන පින්තූරයේ ඇති, වැඩ අවසන් නොකළ පිළිම වලින් තහවුරු වෙනවා.


photo0271


මේ පුදබිම, අතීතයේදී මහා සංඝාවාසයක්ව පැවති බව තහවුරුවෙන ලක්ෂණ, මෙහි දකින්නට ලැබෙනවා.


11


12


9


මේ පුවරුවේ සඳහන් පොත්ගුලේ පින්තූර, පහත දක්වනවා.


8


10


  මීට පෙර මා ඔබට කියා ඇති, අපේ ගමේ පන්සලේ සෙල් පිළිමයක් නෙළන බව. ඉතින්, මේ තන්තිරිමලේ ගමනට තවත් හේතුවක් වුණේ, අපේ පන්සලේ පිළිමය නෙලන ශිල්පියාට, මෙහි ඇති පිළිම නරඹා, කිසියම් අවබෝධයක් ලබාගැනීම සහ, අපේ ලොකු හාමුදුරුවන් සමග ඒ ගැන සාකච්ඡා කරමින්, අපේ පන්සලේ පිළිමය, නිසි පිළිවෙලට/පිළිවෙතට/පිරිවිතරයට/ අනුව සකසා ගැනීමයි. මේ පහත පින්තූරයේ, ඔබේ වම් අත පැත්තේ කෙලවර ඉන්නේ, අපේ ශිල්පියා වන, පතිරණ මහතා. (පිළිම නෙලීම පිළිබඳව, ඔහු ඉන්දියාවේ විශ්ව විද්‍යාලයක උපාධිධරයකු වන අතර, දැනට ඔහු කර තිබෙන නිර්මාණ විශ්මයජනකයි) ඊළඟට ඉන්නේ අපේ ලොකු හාමුදුරුවෝ. ඊළඟට අපේ පන්සලේ වැඩ වෙසෙන සාමනේර හිමිනමක් සහ අපේ දායක සභාවේ සභාපති ඉන්නවා. (මම තමයි රථාචාර්ය සහ කැමරාකරු)


16


   ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ මානවයන් සිටි ගල් ලෙන් සහ, ඔවුන් විසින් අඳින ලද ගුහා චිත්‍ර, තන්තිරිමලේ විහාරාරාම සංකීර්ණ පරිශ්‍රයේ, තරමක් දුරින් පිහිටි පර්වතයක පාමුල, දකින්නට ලැබෙනවා. එතනට යන්නේ, වනගත අඩිපාරක් දිගේ. එය සුන්දර අත්දැකීමක්. පහුගිය යුද්ද කාලේ නම්, මේ හරිය තනිකරම හමුදා කඳවුරක්. මෙම විහාරස්ථානය සහ අවට ප්‍රදේශයේ ආරක්ෂාවට, බලසේනාවක් Brigade යොදවා තිබුණා, මීට නුදුරින් පිහිටි චෙඩ්ඩිකුලම් ප්‍රදේශයේ. 


7


17


20


   මේ ලිපිය කියවන ඔබ, සමහරවිට බෞද්ධයකු නොවුනත්, පරිසර චාරිකාවක් ලෙස, තන්තිරිමලය ප්‍රදේශය නැරඹීම, ඉතා වැදගත් බව, මතක් කරන්නට කැමතියි. ඒ සුන්දර පරිසරයේ පින්තූර කීපයක් පෙන්වමින්, මේ ලිපිය අවසාන කරනවා.


6


13


14


18


19


my-signature-for-blog[1]   2014 සැප්තැම්බර් මස 05 වැනි දින 2338 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }