හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ
Showing posts with label සමාජ විද්‍යා ලිපි. Show all posts
Showing posts with label සමාජ විද්‍යා ලිපි. Show all posts

16 November 2015

ගුරුවරුන්ට තහනම්........!

qw
බස්නාහිර මහ ඇමතිතුමා කියනවා ගුරුවරියන්ගේ බුරිය පෙනෙන ලෙස ඇඳුම් ඇඳීම තහනම් කියලා. නැටුම් වලදී සිසුවියන්ගේ බුරිත් එපාලු. ඌව මහ ඇමති කියනවා, ගුරුවරුන්ට පාසල් වෙලාව තුළ, ජංගම දුරකථන පාවිච්චිය තහනම්ලු. පාවිච්චි කළොත් මාරුවීමක් දෙනවලු.

   ඉතුරු පළාත්වල මහා ඇමතිතුමන්ලාත්, දැන්ම තම තමන්ගේ තහනම් නියෝග ටික ගුරුවරුන්ට දුන්නානම් හොඳයි. එතකොට අධ්‍යාපන අමාත්‍යංශයට පුළුවන්, ඔය ඔක්කොම නියෝග එකතු කරලා, සහිඳ ලුණු, සීනක්කාරම්, ගොරෝචන, කුංකුමප්පු, ගල් නහර, අතිවිඩයන්, ආදී මෙකී නොකී දේත් එකතුකොට, පත අට එකට සිඳවා, සියලුම ගුරුවරුන් එක පෙළට සිටුවා, ඔවුන්ගේ කටට එම කසාය වක්කොට, අනුපානය ලෙසින්, ඒ ඒ මහඇමති තුමාගේ සුළුදිය ස්වල්පයක් එකතුකොට, දෙහි ඇඹුල්, සීනි මීපැණි දමා, බොන්නට දෙන්න.

   ඒ වගේම අනික් පළාත්වල මහ ඇමැතිවරුත්, ඉක්මනින්ම තම තමන්ගේ 'ගුරු තහනම් නියෝග' එළිදක්වනවා නම් හොඳයි. එතකොට ගුරුවරුන්ට පුළුවන් තහනම් නියෝග අඩු පළාතකට මාරුවක් ගැනීම සඳහා, අර නියෝග වල සඳහන් වැරදි වැඩ ටිකක් කරන්න. මෙන්න උදාහරණ; උතුරු පළාතට එන ගුරුවරියන්, අනිවාර්යයෙන් නළලේ තිලකය තබා, කොණ්ඩයේ මල් ගවසා පැමිණිය යුතුයි. නැගෙනහිර පළාතේ ගුරුවරියන්, පර්දාව පැළඳිය යුතුයි, දකුණු පළාතේ ගුරුවරුන්, මාතර භාෂාවෙන් කතාකල යුතුයි, සබරගමු පළාතේ ගුරුවරුන් බුලත්විට කෑ යුතුයි. 

   මට හිතෙන්නේ ඔය කොණ්ඩයා වගේ එවුන් හැදෙන්නේ, ඔය ගුරුවරියන්ගේ බුරිය දැකලා. සිසුවියන් නටනකොට බුරිය දැකලා. නැත්තං ඔය වගේ වල් වනචර දේවල්, ආයේ අපේ ටී වී චැනල් වල පෙන්නනවා කියලයැ. ඒවායේ පැය 24 ම පෙන්නන්නේ, ආගමික සහ සදාචාර වර්ධන වැඩසටහන් නේ. කී දෙනෙක් නම් මේ වෙනකොට සෝවාන් ඵලයට ඇවිත් තියනවද, ඔය ටී වී චැනල් බලලා. ඒ උතුම් මෝක්‍ෂ මාර්ගයට යන අපේ මිනිස්සුන්ව කන්ඩ ආපු, තන්හා රතී රඟා වගේ, මාර දූවරු පිරිසක් තමයි, ඔය ගුරුවරියෝ. මහා චිංචිමානවිකාවෝ ජාතියක් උන්. අම්මපා උන්ව බුරියෙන් එල්ලන්න ඕනේ ප්‍රසිද්ධියේ. හොඳම තැන ඉස්කෝලේ පිට්ටනිය. එතනට ගෙනිහින් තමා ඕකුන්ව බුරියෙන් එල්ලන්න ඕනේ.  

Obe Theeraya   දැන් ඔය පාසල්වල ඉන්නවා වැඩිහිටි ගුරුවරියෝ. ඒ ගොල්ලෝ තරුණ කලේ තිබුණේ 'ඔබේ තීරය' විතරයි. ඔබේ තීරය අඟල් 8 ක් තිබුණත්, ඒ කාලේ හිටිය (මහ ඇමති කියන සත්ව කොට්ඨාශය ඒ කාලේ හිටියේ නැහැ) අධ්‍යාපන ඇමතිවරු, පළාත නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඒ ගුරුවරියන්හේ ඔබේ තීරය අතින් පහළට ඇදලා, කොට කරන්න ගියේ නැහැ. ගුරුවරියන් දණගස්සන්න ගියේ නැහැ. ඒ මැති ඇමති වරුන්ට, රට වෙනුවෙන් කරන්න දහසකුත් එකක් වැඩ තිබුණා.

   මට මතක් වෙනවා, අපි කුඩා කාලයේ, කෑගල්ලේ කෑගලු බාලිකා විද්‍යාලයේ, විදුහල්පතිනිය වශයෙන් ක්‍රියාකළ, ඉතාම ආදර්ශවත් විදුහල්පතිනියක් ලෙස හැඳින්විය හැකි, අනුලා උදලාගම මැතිනිය. එතුමිය පාසලට අඳින්නේ නිල් පැහැති ඔසරියක් නම්, (එතුමිය ඇන්දේ ඔසරි) එතුමියගේ තොල් ආලේපන, නියපොතු ආලේපන, අත් බෑගය, මාලය, සෙරෙප්පු, ඔක්කොම නිල් පාටයි. නමුත් ඒ සියල්ල, සරල සහ චාම් විදිහට තිබුණා. විශේෂ කැපී පෙනීමක් නැහැ. නමුත් ඒ විදුහලේම, ඒ කාලයේම සේවය කළ වෙනත් ගුරුවරියන්, එහෙම ඇන්දෙත් නැහැ. එයට තහනමක් තිබුනෙත් නැහැ කියලා, ඒ කාලයේ ඒ පාසලේ ඉගෙනගත්, මගේ අක්කලා තුන්දෙනාත් ඒ පාසලේ සේවය කළ, සමකාලීන ගුරුවරියනුත් (ඒ පාසලේ සේවය නොකලත්, ගුරුවරියක වූ, මගේ මවගේ සමකාලීන ගුරුවරියන්) කියනවා, මම අහලා තියනවා. ඒ කාලයේ ඒ පාසලේ ගුරුවරියක ලෙස සේවය කළ, සුප්‍රසිද්ධ සිනමා නිළි, තලතා ගුණසේකර මහත්මියවත්,  (සිනමා/රූපවාහිණී නිළි, නදීකා ගුණසේකරගේ මව) ඒ ආකාරයට විලාසිතා සහිතව අඳිනු මා දැක නැහැ. (පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙලේදී හෝ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී හැර)

   ඒ කාලෙත් කොල්ලෝ කෙල්ලෝ ලව් කළා, දැන් වගේ SMS, Chat, Skype, Viber, නොතිබුන නිසා, ලියුම් ලිව්වා, පිචෑර්ස් බැලුවා, බලන ගමන් රසපහස වින්දා, පැනලා ගියා, විවාහ වුනා, පන්සලේ මල්වට්ටි වෙන්දේසිය දවසෙත් රස පහස වින්දා. ඒ මොකද කිව්වොත්, එදත් අදත් ඉන්න කොල්ලෝ කෙල්ලෝ කියන්නේ, අනිකුත් මිනිසුන් වගේම, ලේ මස් ඇට නහර සහ හොඳ මනසක් තියන ජීවීන් කොට්ඨාශයක් නේ. උන්ගේ කලවයස එනකොට, චර්යාව වෙනස්වෙනවා. කොයි ජගතාටවත් බැහැ ඒවා සම්පූර්ණයෙන් නවත්තන්න.

   සමහර උන්නැහේලා හිතන්නේ, එක වරදක් දැක්කම ඒකට නීතියක් දානවා, ඒ වරද වෙනත් විදිහකට කලාම, ඒකටත් නීතියක් දානවා කියලා. මෙහෙම නීති දදා ඉන්න ගියොත්, අන්තිමට නීති විතරයි ඉතුරුවෙන්නේ. මිනිස්සු ඉතුරුවෙන්නේ නැහැ කියලා, මේ අමන මරි මෝඩ තකතීරු උන්නැහේලට තේරෙන්නේ නැහැ. අනේ මන්දා මුන්නැහෙලා පුංචි කාලේ, කොස් ගස් යට කොස් ඇට ගණන් කර කර ඉඳලා, ලංකාවේ ලේසිම රස්සාව වන දේශපාලනය තෝරාගෙන තියනවා කියලයි මටනම් හිතෙන්නේ. 

   බුරි ප්‍රශ්නය ගැන වෙනත් අඩවි කීපයකම ලියවුන නිසා මම ඒ ගැන වැඩිදුර කතාකරන්නේ නැහැ. නමුත් මෙන්න මේ ටික කිවයුතුයි. බුරි තහනම දැමූ මහ ඇමතිතුමා හිතනවාද, ගුරු බුරිය නිසා තරුණ සිසුන් නොමග යනවා කියා? ගුරු බුරිය නිසා සභ්‍යත්වයට හානිවූ අවස්ථා, උදාහරණ ලෙස දැක්වීමට එතුමාට හැකිද? අඩි උස සපත්තු දැමීම නිසා හෝ, ස්වභාවයෙන්ම පිහිටි නාරි ලාලිත්‍යය නිසා වැනෙන, ගුරුවරියකගේ නිතඹ නිසා, තරුණ සිසුන් නොමග යන්නේ යයි, මහ ඇමතිවරයා තවම උපකල්පනය කර නැද්ද? එසේ උපකල්පනය කර ඇත්නම්, ඒ සඳහා විසඳුම ලෙස, එවැනි ගුරුවරියන්ගේ නිතඹ වෑයක් මගින් රැහීම කළයුතුයැයි සිතන්නේද?

   ළමයා දවසේ පැය කීයක්ද ගුරුවරිය දකින්නේ. ඉතුරු පැය ගණනේ දී, බාහිර සමාජය තුළ, ළමයා දකින දේවල් ගැන, මහ ඇමෑත්ත තුමාට අවබෝධයක් තිබේද? මට මෙහෙම දේකුත් හිතෙනවා. දැන් ඉන්න වැඩිහිටි ගුරුවරියන් තුළ, යම් සියුම් වේදනාවක්, ඊර්ෂ්‍යාවක්, ඇතිවෙනවාද දන්නේ නැහැ, අද ඉන්න තරුණ ගුරුවරියන් අඳින පළඳින විදිහ දැකලා, 'අනේ අපිට බැරිවුනානේ මෙහෙම අඳින්න' කියලා. ඉතින් ඒ නිසා, මේ නීති ගෙන ඒමට, ඔවුන් විශාල දායකත්වයක් දෙනවාදෝ කියා හිතෙනවා. 

   දැන් බලමු මේ 'ටෙලිෆෝනියාව' ගැන. 

   ඌව මහ ඇමති තර්ජනය කරනවා ගුරුවරුන්ට, පාසල් කාලය තුළ ජංගම දුරකථන පාවිච්චි කරලා අහුවෙන්න එපාලු. මාරුකරනවාලු වෙන කොහාට හරි. ඉතින් ඌව පළාතේ ඉන්න ඔක්කොම ගුරුවරු, පාසල් වෙලාව තුළ, ළමයින්ගේ අධ්‍යාපනයට බාධාවක් නොවන පරිදි, ජංගම දුකථන පාවිච්චි කළොත්, ඒ ඔක්කොම ගුරුවරු මාරුකර යවන්නේ, මහ ඇමෑත්ත තුමාගේ ...........ද?  ජාතික පාසල් මහ ඇමෑත්ත තුමාගේ පාලනයෙන් තොරයි නේද? එතකොට රටේ අධ්‍යාපන ඇමති කිව්වොත්, ජාතික පාසල්වල ගුරුවරුන්ට ජංගම දුරකථන පාවිච්චි කලහැකියි, නමුත්,  ජංගම දුරකථන පාවිච්චි කළහැක්කේ, ගුරු විවේකාගාරය තුළ පමණයි කියලා, ඌව මහ ඇමෑත්ත තුමා මොකෑ කොරන්නේ?

   අපේ රටේ අතීතයේ පටන්, නිතර නිතර වෙනස්වන, විවිධ නීති රීති වලට, පහසුවෙන් යටත් කරගන්නා, අමුතුම සත්ව කොට්ඨාශයක් තමයි, ගුරුවරු කියන්නේ. ඔවුන්ගේ පූරුවේ කරුමය කොතෙක් මහතදැයි කිවහොත්, හෙදියන්ට, වෛද්‍යවරුන්ට, බස් කොන්දොස්තරලාට, ධීවරයන්ට, තිබෙන ආකාරයේ, හොඳ බලසම්පන්න වෘත්තීය සමිති එකක්වත් ඔවුන්ට නැත. එයට එකම හේතුව, මේ සත්ව කොට්ඨාශය තුළ, සමගිය නමැති, උසස් ගති ලක්ෂණය දකින්නට නොමැතිවීමයි. තමන්ගේ උපාධිය, විෂයය, වර්ගය, පන්තිය, වැනි අටෝරාසියක් ප්‍රාථමික ලක්‍ෂණ නිසා, ඔවුහු, භේද භින්න වී සිටීම ම, මේ සත්ව සමූහය, දේශපාලුවන්, අධ්‍යාපන නිලධාරීන්, විසින් ඔවුන්ව පහසුවෙන් දැක්කීමට පිටිවහලක් කරගෙන තිබෙන බව, ඔවුහු තවමත් අවබෝධ කරගෙන නැත්තේය.

   සමහරවිට, මේ බුරි නීති, ටෙලිෆෝන් නීති දාන මහ ඇමෑත්ත වරු, අධ්‍යාපන සංවර්ධනය යනුවෙන් විෂයයක් තම වගකීම යටතේ ඇති බව, වැරදීමකින්වත් අසා ඇද්ද යන්න සැක සහිතය. පහසුම රැකියාව වන දේශපාලනය තුළින්, මහ ඇමැතිකමට එන්නට පෙර, කොස් ඇට අහුලා කා ජීවිතය රැකගත් එකා, 'අත්ලට සිඟාවත් රස නැති කැවිලි කකා' කවිය අසා නැතුවාදෝ යි සිතේ.  නීති පනවා අධ්‍යාපන සංවර්ධනය ඇති කල නොහැකි බවත්, ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනය යනු විශාල බුද්ධිමතුන් පිරිසකගේ සාමූහිහ දායකත්වයකින් මෙන්ම ප්‍රයත්නයකින් සහ, ගුරුවරුන් තුළ පෙළඹවීමක් ඇති කිරීමෙන් කළයුතු, මහා ව්‍යායාමයක්ය යන්න, මුන්නැහේලා නොදන්නා බව, මෙවැනි අමනෝඥ ප්‍රකාශ වලින්ම හෙළිවෙයි.

   දුෂ්කර ප්‍රදේශවල තිබෙන පාසල්වල ඇති අධ්‍යාපන ගැටළු මේ මහ ඇමතිවරුන් දන්නවාද? අධ්‍යාපන බලධාරීන් සමහ ඉහළ පෙළේ සාකච්ඡා පවත්වනවා වෙනුවට,  අහඹු ලෙස තෝරාගන්නා සාමාන්‍ය ගුරුවරුන් සමූහයක්, සාකච්ඡාවකට කැඳවා, ඔවුන්ට විවෘතව අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව දුන්නොත්, මහ ඇමතිවරුන් උඩ විසිවන ආකාරයේ, අධ්‍යාපනය පිළිබඳ, අමු නිරුවත්, කාලකන්ණි, දුක්ඛිත, අවාසනාවන්ත, තොරතුරු දැනගතහැකි බව, මේ 'ඇමති මහයන්' දන්නවාද? නැතහොත් ඒ බව දැන දැනත්, මේ අපිට 'බබා පාට්' දානවාද? 

   ගුරුවරුන් පාලනය කළයුත්තේ නීතිරීති වලින් නොවේ. ගුරු පුහුණුව උසස් මට්ටමකට ගැනීමෙනි. ගුරු වෘත්තියට යොමු කෙරෙන පිරිස, සාමාන්‍ය පෙළ විභාගය වැනි විභාගයකින් තෝරාගෙන, ඉන්පසු ඔවුන්ව හුදෙක් ගුරු වෘත්තීය සඳහාම හැඩගැස්වෙන දීර්ඝකාලීන පාඨමාලාවකට යොමුකොට, උපාධි, පශ්චාත් උපාධි, පරිපාලන උපාධි දක්වා යන, මහා පරිමාණ ආයතනික වැඩපිළිවෙලක් තුළින්, දැනට අවාසනාවන්ත තත්වයක සිටින මේ සත්ව කොට්ඨාශය යහමගට ගැනීම සහ, අනාගතයේදී වෘත්තීයවේදය අතින් අගතැන්පත් ගුරුවරුන් බිහිකරගැනීමට මග පෑදෙනු ඇත. 

2015 නොවැම්බර් මස 15 වැනි දින 1237 පැය 

31 October 2015

වහාම විසඳිය යුතු බරපතළ ප්‍රශ්නයක්

Beef Eating
 ලංකාවේ ගවමස් මිල ඉහල යාම නිසා මහජනතාව බලවත් අර්බුදයකට මුහුණ දී සිටී. තත්වය තවත් දරුණු වුවහොත් මෙය ජාතික ප්‍රශනයක් දක්වා වර්ධනය වියහැකි බව පෙනීයයි.  මීළඟ මැතිවරණයේදී මෙම ප්‍රශ්නය පදනම් කරගනිමින් ජනතාව විසින් වර්තමාන යහපාලන ආණ්ඩුව පරාජය කිරීමටද ඉඩතිබේ.

 අනේ මෙහෙම කියන්නේ මම නෙවෙයි.


   කවුරුවත් අදහස් දක්වලාවත් නැහැ. එක බ්ලොගර් වරයකු 'කැමතියි' කියා, බුදුපිළිම හිසක් සහිත ග්‍රැවටාර් එකක් දාලා තිබුනත්, එය මත ක්ලික් කලාට එම බ්ලොගර් කවුද කියා පෙන්වන්නේ නැත.

මෙන්න ඒ අඩවියේ ලිපිය


Screenshot (2)
Screenshot (3)
Screenshot (4)
Screenshot (5)
Screenshot (6)

   ඉදින් මේ ලිපියේ කියන පරිදි ගවමස් මිල අධික වීම නිසා හාමත්ව මියයන මහා.....................ජනතාව වෙනුවෙන් අපි කුමක් කරමුද?

2015 ඔක්තෝබර් මස 31 වැනි දින

28 October 2015

තවත් කොණ්ඩයන් බිහිනොවන්නට නම්..........


Long Hair
දැන් කොණ්ඩයාව කාලා, හපකරලා, උරාබීලා, චප්ප කරලා, පාගලා, කුරුසියේ ඇණ ගහලා, අපායට යවලා, ඉවරද? දැන්වත් ඒ මිනිහට යන අතක යන්ඩ පුලුවන්වෙයිද දන්නේ නැහැ. හැබෑටම අපි මේ යන්නේ කොහෙද? නීතිය අතට ගන්න තරම්, රටක මිනිස්සු පහත් තත්වයට වැටෙන්නේ, ඒ රටේ නීතියේ ආධිපත්‍යය, අන්තයටම පිරිහීම නිසයි. පහුගිය කාලයේ, අපේ රටේ නීතියේ ආධිපත්‍යය ගැන, වියවුල් රාශියක් තිබුණා. දැනුත්, නීතිපතිගේ ක්‍රියාකලාපය ගැන විවිධ ආන්දෝලන මතුවී තිබෙනවා. ඒ ඔක්කොම පැත්තක තියමු. මම මේ ලිපිය ලියන්නේ, පහුගිය ආණ්ඩුවට දොස් කියන්නවත්, දැන් තියන ආණ්ඩුවට සුදු හුණු ගාන්නවත් නෙවෙයි. මම මේ ලිපිය ලියන්නේ, දේශපාලන කරුණු පමණක් පදනම් කරගෙන නෙවෙයි. ඊට එහා ගිය යමක් ඔබ සමග සාකච්ඡා කරන්නයි.

දුනේෂ් ප්‍රියශාන්ත නමැති පුද්ගලයා සම්බන්ධ, ළමා අපචාර සිද්ධිය, මෑත ඉතිහාසයේ, අපේ රටේ විශාල ආන්දෝලනාත්මක සිද්ධියක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේ සිද්ධිය පදනම් කරගනිමින්, සෑහෙන විශාල මහජන කැළඹීමක් ඇතිවුණා. රටපුරා, විවිධ ආකාරයේ උද්ඝෝෂණ මෙන්ම, ළමා අපචාර පිටුදැකීමේ විවිධ ව්‍යාපාර ද, දියත් කෙරුනා. තවමත් කෙරෙමින් පවතිනවා.

   මේ වගේ කටයුතු එදත් අදත් අපේ රටේ පැවතුණා. මට මතක්වෙනවා, අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතා ඝාතනය කළ සිද්ධිය. ඒ සිද්ධියෙන් පස්සේ, බෞද්ධ භික්ෂූන් වහන්සේලාට, පාරේ බැහැලා යන්න බැරි තත්වයක් තිබුණා, සෑහෙන කාලයක් යනතුරු. අද සමහර භික්ෂූන් වහන්සේලා යයි කියාගන්න අයගේ ක්‍රියාකළාපය, එදාට වඩා හොඳද නරකද? මේ නිසා තමයි, අපි දැනට වඩා පුළුල් විදිහට, මේ සමාජ ව්‍යසනයන් ගැන සාකච්ඡා කලයුත්තේ කියා මා හිතනවා. මා බලාපොරොත්තු වෙනවා කරුණු කීපයක් ඔස්සේ, මේ ගැන ඔබ සමග කතා කරන්නට.


අපේ රටේ අධ්‍යාපනය 


   අපේ රටේ අධ්‍යාපනය ගැන බොහෝ දෙනෙක් සෑහීමකට පත්වන්නේ නැහැ. ඇත්තටම සෑහීමකට පත්වන්නට බැහැ. මක්නිසාදයත්, තවමත්, ඉහළ අධ්‍යාපන වරම් තිබෙන්නේ, වැඩියෙන් මුදල් වියදම් කළහැකි අයට පමණක් වීම නිසා. එය සම්පූර්ණ ඇත්තක්. ඔය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන කතාකරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය පෙළ උසස් පෙළ සිසුන් සඳහා, විශාල මුදලක් අයකරමින් පවත්වන, පෞද්ගලික පන්ති ගැන කියන්න අවශ්‍ය නැහැ. පාසල තුළදීම, පහළ පන්තිවල ඉඳලම, දුප්පත් ළමයි අධ්‍යාපනයෙන් කොන් වෙනවා.

   මම කියන්නම් උදාහරණයක්. අද පවතින අධ්‍යාපන ක්‍රමය යටතේ, දරුවන්ට විවිධ විෂයයන් සඳහා, පැවරුම් රාශියක්, ඒ ඒ විෂයය භාර ගුරුවරුන් විසින් ලබාදෙනවා. මේවා කෙරෙන්නේ, විෂයය නිර්දේශය අනුවයි. නමුත් අපි බොහෝ දෙනෙකු දන්නා පරිදි, මේ පැවරුම් කරන්නේ දරුවා නෙවෙයි, දෙමව්පියෝ. පැවරුම ලබාදීම තුළින් බලාපොරොත්තුවන ප්‍රතිඵලයෙන්, 50% ක් වත් ලැබෙන්නේ නැහැ. මන්ද, දරුවා කරන්නේ වෙනත් අයකු විසින් කළ නිර්මාණයක්, තමන්ගේ එකක් ලෙස ඉදිරිපත් කිරීමයි. මේ සඳහා, සමහර නගරවල, පාසල් අසළම කඩ දාගෙන ඉන්නවා. අන්තර්ජාලය ඔස්සේ තොරතුරු ලබාගෙන, ඒවා සිංහලට පරිවර්තනය කොට, වර්ණ මුද්‍රිත පිටු ලෙස සකසා, මේ කඩ හිමියන් හොඳ ආදායමක් ගන්නවා. 

   හත්වැනි ශේණියේ විද්‍යාව විෂයයට අදාළව ඇති, එක්තරා පැවරුමකට කරුණු සොයාදෙන ලෙස, මගේ අසල්වැසි පවුලකින් ඉල්ලීමක් ලැබුණා. මෙන්න එම මාතෘකා වලින් කීපයක්. බැඔබැබ් ගස, රෙඩ්වුඩ් ගස, රැෆලේසියා මල, අගමුල නැති වැල්, ගල් පැලෑටි,  ඉත්තෑ මැස්සා, රාක්ෂ කුළුණ, සැන් ඇන්ඩ්‍රියාස් විභේදනය, උල්කා ආවාට, උණු දිය ගීසර. තවත් මාතෘකා ගොඩක් තිබුණා. ඒ සියල්ල ගැන තොරතුරු සොයා, A 4 ප්‍රමාණයේ වර්ණ පිටු හතක් සකසන්නට සිදුවුණා. ඒ සඳහා මට පැය තුනක් පමණ ගතවුණා. (මෙවැනි දේ මා කරන්නේ ඉතා කලාතුරකින්. දරුවකුට කරන උදව්වක් නිසා, මා මුදල් අය කරන්නේ නැහැ. හැබැයි, මගේ වර්ණ මුද්‍රණ යන්ත්‍රයේ තීන්ත බෝතල්, සීඝ්‍රයෙන් හිඳෙනවා, මේ වගේ වැඩ නිසා :D ) 'මගේ ඉදිරිපත් කිරීම' පන්තියේ හොඳම ඉදිරිපත් කිරීම වුණා ලු. ටීචර් මාව කැඳවා, තොත්තුවක් වත් දුන්නේ නැති එක ගැන දුකයි. :D මේ කුරුණෑගල නගරයේ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක පන්තියක්. මම ඒ මගේ අසල්වැසි පවුලේ දැරියගෙන් ඇහුවා, 'ඉතින් ඔක්කොටම මෙහෙම කරුණු හොයන්න බැහැනේ, ඈත ඉඳලා එන ළමයි, ඉන්ටර්නෙට් නැති ළමයි මොකද කරන්නේ?'  කියා. මෙන්න ලැබුන උත්තරය. 'ඒ ගොල්ලෝ ඔය මොනවහරි ලියාගෙන එනවා. පන්තියේදී බැනුම් අහනවා'  

   මෙන්න කොණ්ඩයන් බිහිවීමේ ආරම්භය, මෙන්න ලංකාවට නිදහස ලැබුණේ 1964 කියා කීමේ ආරම්භය. මේ විදිහට පන්තියෙන් කොන්වන දරුවා තුළ ඇතිවන්නේ, ඉච්ඡාභංගත්වයයි, වෛරයයි, ක්‍රෝධයයි, පළිගැනීමේ චේතනාවයි, ඉතා දුකසේ ජීවත්වන පවුල්වල දරුවන්, 5 වසර ශිෂ්‍යත්වය සමත්වීම, දෙමව්පියන් විවිධ උප්පරවැට්ටි දමා, ලොකු ඉස්කෝල අසළ පදිංචිය පෙන්වා දරුවන් පාසලට ඇතුළු කරවීම නිසා, මේ පාසල්වලට ආවත්, වසර පුරා, විවිධ කටයුතු සඳහා, පාසල් වලින් එකතු කරන මුදල්, පන්තියට ආහාර සැපයීමේ වියදම් ආදිය දරන්නේ, හරිම අමාරුවෙන්. දරුවා කුඩා කාලයේ සිට පන්තිය තුළදීම අවමානයට, පහත්කොට සැළකීමට ලක්වෙනවා. එවැනි දරුවන් කවදාවත් ඉහළට යයිද? නැත්තේමය. ඔවුන් දිගටම පාසලේ ඉන්නේ දුකෙන්, කණගාටුවෙන්. එය තමයි පසුව වෛරය, ඉච්ඡාභංගත්වය, බවට පත්වන්නේ. ඒ නිසයි ඔවුන් අධ්‍යාපනයෙන් ගිලිහෙන්නේ.


පාසලෙන් ගිලිහෙන දරුවා 


   අපේ රටේ පාසලෙන් ගිලිහෙන දරුවන්, වෘත්තීය අධ්‍යාපනයකට යොමුකිරීමේ සාර්ථක වැඩපිළිවෙලක් නැහැ. පාසල් යනකාලයේදීම, දරුවන් දකින්නේ, මුදලට පමණක් සැලකුම් ලබන වාණිජ ලෝකය, පුහු ආටෝප වලට තැන දෙන සමාජය, බොරු විච්චූරණ, විකාර විලාසිතා, හරසුන් සංගීත, නැටුම් ගැයුම් සංදර්ශන, එකිනෙකාට අපහාස උපහාස කිරීමෙන් ලබන පහත් වින්දනය, ආදියයි. සාමාන්‍ය පෙළ කඩඉම පැනගන්නට දෙතුන් වතාවකදීත් බැරිවන දරුවා, ඊළඟට මුහුණ දෙන්නේ, ජීවත්වීමේ අරගලයටයි. 'ඕ ලෙවල් ෆේල්වීම' නමැති මහා අපරාධය තමන් අතින් සිදුවී තිබීම, එල්ලුම් ගස් යැවීමට තරම් හේතුවන මහා අපරාධයක් ලෙසයි, සමහර දරුවන් තේරුම් ගන්නේ. එවැනි දරුවන්ගෙන් සෑහෙන පිරිසක් අධ්‍යාපනයෙන් ගිලිහෙන්නට හේතුවූ කරුණු හොයන ක්‍රමයක් අපේ රටේ තියනවාද?

   'ඕකා මැට්ටා, ඉස්කෝලෙම හිටිය මැට්ටෙක් ඕකා, හපෝ......මේ ළමයට පැවරුමක් දුන්නම, විකාර කරගෙන එන්නේ. ඔය ළමයට උගන්නන්න මටනම් තේරෙන්නේ නෑ, මේ අනික් ලමයින්ගේත් කාලය ඉවරයි ඔය ළමයා නිසා'

   මේ වගේ කියන ගුරුවරු සැළකියයුතු පිරිසක් නැත්තේම නොවේ. සමහරවිට මීට වඩා හොඳ වචන වලින්ද, මේ අදහසම කියන ගුරුවරුන් ඉන්නවා. සාමාන්‍ය පෙළින් අධ්‍යාපනය හමාර කරන්නට තවත් ප්‍රබල හේතුවක් වන්නේ, ප්‍රාදේශීය පාසල් බොහොමයක ඇති ගුරු හිගය, දුෂ්කර සේවය සඳහා පැමිණි සමහර ගුරුවරුන්, නිසිපරිදි ඉගැන්වීමේ කාර්යයේ නොයෙදීම, අමතර පන්ති වලට යාමට තරම් මුදල් නොමැතිවීම සහ/හෝ එවැනි පන්ති ඒ ප්‍රදේශයේ නොතිබීම, වැනි සාධකයි. මෙසේ නව යෞවනයේදී ම පාසලෙන් ගිලිහී සමාජ ප්‍රවාහයට තල්ලුවන දරුවා යන්නේ කොහේද? කරන්නේ මොනවාද? මේවා හොයාබලන කෙනෙක් ඉන්නවාද? නැත්නම් ඒකා පොලේ එළවලු විකුණනකොට, මාළු විකුණනකොට, ලොරියක ක්ලීනර් වැඩක් කරනකොට, වැලි පටවන තැනක වැඩකරනකොට, ඌ දිහා ඔලොක්කුවෙන් බලනවාද?  මෙන්න මේවා තමයි කොණ්ඩයන් ඇතිවීමේ මූල බීජ.

   මෙලෙස පාසලෙන් පිටවන නව යෞවනයන් සඳහා, විවිධ කාර්මික අධ්‍යාපන පාඨමාලා, වෙනත් වෘත්තීය පාඨමාලා සෑහෙන ගණනක්, රජයේ කාර්මික විද්‍යාලවල, ජාතික තරුණසේවා සභාව වැනි ආයතනවල, වාර්ෂිකව පවත්වනු ලබනවා. නමුත්, එයින් බොහොම ස්වල්පයයි, රැකියා උත්පාදිත පාඨමාලා වන්නේ. රුපියල් 80000 ක් පමණ අවම වශයෙන් ගෙවා, පරිගණක පාඨමාලාවක් හදාරන අය, යන්තම්, ඡායාරූප ශාලාවකවත් රැකියාවක් අල්ලගන්නවා. නමුත් රු 80000 ක් කියන්නේ, අපේ රටේ බහුතරයක් පවුල්වලට, හිතන්න අමාරු විශාල මුදලක්. උසස් පෙළ අසමත්වන පෝසත් පවුල්වල දරුවන් මෙන්ම, තම අතපය හෝ උගස්කර, දරුවන්ගේ අධ්‍යාපනය ගැන බලන දෙමව්පියන්ගේ පවුල්වල දරුවන්, රු 300000 සිට ඉහළට ඇති, පරිගණක හෝ වෙනත් එවැනි රැකියා මුල් කරගත් පාඨමාලා හදාරනවා. නමුත් ඒවා බලා හූල්ලන දරුවන් කොපමණ ඇද්ද? ඔවුන් තුළින් කොණ්ඩයන් බිහිවීම පුදුමයක්ද? 


සමාජයට වැටෙන නව යෞවනයා

   පාසලෙන් ගිලිහී සමාජයට වැටෙන නව යෞවනයා එන්නේ අභියෝග රැසක් ඇති, අවනීතිය, අවකල්ක්‍රියාව, බල්ලෝ මරා හරි සල්ලි හොයන, සමාජය තුළටයි.

   මේ මෑතකදී සිදුවුණ එවැනි සිද්ධියක් මට මතකයි. තරමක් ආර්ථික දුෂ්කරතා ඇති, අපේ අසල්වැසි පවුලක පියා, වාරික මුදල් ගෙවීමේ ක්‍රමයට ත්‍රිරෝද රියක් ගත්තා. නමුත් ඔහු කරන රැකියාව අනුව, ඒ රථයෙන් දිනපතා කුලී දිවීම අපහසුයි. ඒ දිනවල ඔහුගේ පුතා, උසස් පෙළ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ගෙදර හිටියා. අර පියා, තම පුතු යෙදෙව්වා, එම ත්‍රිරෝද රථයේ රියදුරා ලෙස. ඔහු, නගරයේ ත්‍රිරෝද රථ නැවතුමේ සිට, කුලී ගමන් යන්න පටන්ගත්තා. ටික දිනකට පසු, එම රථ නැවතුම්පොලේ ම  සේවය කළ, වැඩිහිටි රියදුරෙක්, අර පියා මුණගැහෙන්නට ආවා. ඔහු කිව්වා, '..........මල්ලී, මම මේ ටික කියන්නේ, මේ දරුවාට තියන ආදරේ හින්දයි. මේ කොල්ලා තව ටික දවසක් මේ රස්සාව කළොත්, රටේ තියන ඔක්කොම ජරා වැඩ ඉගෙනගන්නවා. ඊළඟට හිරේ ගිහින් තමයි නවතින්නේ. මම මේ ටික කියන්නේ, උඹලගේ ත්‍රී වීල් එක එතනට දානවට තරහේ කියලා හිතනවා නම්, දිගටම් කොල්ලව එවපන්. හැබැයි උඹලා බොහොම පරක්කු වැඩිවෙයි, කොල්ලා අමාරුවේ වැටුන දවසට' කියලා. ඇත්තටම අර පියා, ඒ කතාවේ ඇති බැරෑරුම් කම තේරුම්ගත්තා. වහාම ඒ වැඩේ නැවැත්තුවා. අර දරුවා අද, කැළණිය විශ්ව විද්‍යාලයේ, වාණිජවේදී උපාධිය අපේක්‍ෂකයෙක්. අපේ රටේ ත්‍රිරෝද රථ සංස්කෘතිය ගැන, මෙතන කතාකරන්නට මම බලාපොරොත්තුවන්නේ නැහැ.

   ස්වයංරැකියාවලට මෙන්ම, සරලව කරගෙන යාහැකි රැකියා ලෙස පෙනෙන, අද සමාජයේ තිබෙන බොහොමයක් රැකියා වලට එන නව යෞවනයන්, බොහෝදුරට, විවිධ දුරාචාර, අවකල්ක්‍රියා, නීති විරෝධී ක්‍රියා වෙත ඇදගන්නා, විෂම සමාජ බලවේග පිළිබඳව සමීක්‍ෂණයක් කොට, එම බලවේග මැඩපැවැත්වීමට, විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම, අද්‍යතන ශ්‍රීලාංකික සමාජයේ, අතිශයින් ප්‍රමුඛත්ව පියවරක් වන බව පැහැදිළිවම පෙනෙනවා. 


රසවින්දනය සහ ජනමාධ්‍ය 


   මුද්‍රිත මෙන්ම ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය දෙස බැලීමේදී පැහැදිලිවම බහුතරයක් පිළිගන්නවා අද ඒ සියලු මාධ්‍ය දැඩි ලෙස වාණිජකරනය සිදුවී තිබෙන බව. මුදල් ඉපයීම පමණක් පරමාර්ථකොටගත්, ජනමාධ්‍ය බැටළුහම පොරවාගත් වෘකයන් බව කොතෙක් පෙන්වා දුන්නත්, එම මාධ්‍ය සඳහා නිර්ණායකයන් සකසාදීමක් තවමත් සිදුව නැහැ. අද අපේ රටේ මාධ්‍ය බහුතරයක් මාධ්‍ය නිදහස ලෙස සලකන්නේ වල්බූරු නිදහසයි. රජය මගින් නීතිරීති දමා මාධ්‍ය මර්ධනයක් කිරීම, මා කිසිසේත් අනුමත කරන්නේ නැහැ.

   ඒ වෙනුවට කළහැකි හොඳම දේ නියාමනයයි. නියාමනය යනු, ඒ ඒ මාධ්‍ය ආයතනයේ වගකිවයුත්තන්, රජය මගින් පිහිටුවන නියාමන මණ්ඩලයක් වෙත කැඳවා, වඩාත් සාධාරණ, සභ්‍ය, හරවත්, දේ ඉදිරිපත්කරන අකාරය වරින්වර පෙන්වාදීම සහ, සාමාන්‍ය සමාජ සම්මතයට පටහැනි ලෙස, ශෘංගාරය වෙනුවට කාමය, සංගීතය වෙනුවට ඝෝෂාව, ලේඛනය වෙනුවට අපහාසය, යොදාගැනීමේ ඇති වැරැද්ද, කාරුණිකව පෙන්වාදීම සහ එවැනි පෙන්වාදීම් වලින් පසුවත්, එය නිවැරදි කර නොගන්නේ නම්, එවනි මාධ්‍ය ආයතන දැඩි විවේචනයට ලක්කිරීමයි. ඔවුන්ව හිරේ යවන්න නඩු දාන්න අවශ්‍ය නැහැ. ඔවුන්ගේ ඇත්ත තත්වය රටට පෙන්නුවාම ඇති. එවිට එහි ඇති සාධාරණ අසාධාරණ බව ගැන සමාජ කතිකාවක් නිරායාසයෙන්ම ඇතිවනවා. අදහස් හුවමාරු වෙනවා, තර්ක විතර්ක ඇතිවනවා.

   මා කියන්නේ, දිනපතා උදෙන්ම නැගිට පිරිත් අසා, බුදුසරණ පත්තරේ බලා, උණුවතුර බී, රෑට පිරිත් කියා නිදගැනීමේ සමාජයක් ගැන නෙවෙයි. සාහිත්‍යය සිනමාව, රූපවාහිණිය, සංගීතය අත්‍යවශ්‍යයි.  (ළමයි පාඩම් කරන්නේ නැහැ කියා, ගෙදර රූපවාහිණිය ගලවා තබන අමනොඥ දෙමව්පියනුත්, තවම ඉන්නවා)  නමුත් එහි ගුණාත්මක බවේ ප්‍රමිතිය ගැන හොයන්නේ කීයෙන් කීදෙනාද? අද අහන (බලෙන් අහන්නට සලස්වන) සංගීතය කොපමණ ගුණාත්මකද? සෑම ගීතයකම තිබිය යුත්තේ ප්‍රේමය පමණද? පදමාලා කොතෙක් දුරට අර්ථවත් ද? ඇත්තටම එහි සාහිත්‍ය රසවින්දනයක් ගැබ්ව තිබේද? ප්‍රසංග වේදිකා මත පෙන්වන බහුතර විසූක දස්සන මගින් යෞවන මනසට ඇතිවන බලපෑම් කෙබඳුද? 'මහන්සිවෙලා වැඩකරන මිනිස්සු, හවසට දෙකක් දාලා, ඊට පස්සේ ඇඟට වදින සින්දු ටිකක් දාගෙන හරි, පොඩි සංගීතයක් බලන්න ගිහින් හරි, සොමියක් ගැනීම වැරදි නැහැ' කියන ආකල්පය සමාජ සම්මතයක් කරගන්නවාද?

   පාසල් අධ්‍යාපනය තුළ, සදාචාර අධ්‍යාපනයට තැනක් නැතිවී, විෂයය කරුණු පමණක් ඉගැන්වීමේ ප්‍රතිවිපාකය, අද අපි බරපතළ ලෙස අත්විඳිනවා. පාසලේ වාර්ෂික සැලැස්ම යටතේ, වෙසක් පෝය දිනයට සිල් ගන්න යන දරුවන්, එහිදී කෙරෙන ධර්ම දේශනයෙන් යමක් උකහා ගන්නවද? එහෙම උකහාගත් යමක් ඇද්දැයි සොයාබලන දෙමව්පියන් ඉන්නවාද? ඇත්තටම කියන්න ඉන්නවද? නැහැ නේද? ඒ ධර්මශ්‍රවනය තුළින්, ඒ දරුවාගේ චර්යා වෙනසකට මුලපිරීමක්වත් වී ඇද්ද කියා සිතා බලනවාද? නිරීක්ෂණය කරනවාද? නැහැ නේද?  එහෙනම් ඒ වෙසක් සිල්ගැනීම, සිල් නෙවෙයි 'ඩ්‍රිල් එකක්' පමණයි.

   අද අපේ රටේ සැලකියයුතු තරම් විශාල පවුල් ගණනක් දෙමව්පිය දූ දරු සම්බන්ධතාව අන්තිම පහත් අඩියකට වැටී තිබෙනවා. 'ඇයි යකෝ අපි මැරී මැරී ඔක්කොම කරන්නේ උඹලටනේ. ඉතින් මොකවත් අඩුපාඩුවක් නැති එකේ උඹලට තියෙන්නේ ඉගෙනගන විතරනේ' කියන දෙමව්පියන් වර්ගයක් ඉන්නවා. දරුවන්ට ඉල්ලන ඔක්කොම දීලා,' හරිනේද පුතා, ඔයා ඔන්න හොඳට වැඩකරන්න ඕනේ හරිද?' කියන තව වර්ගයක් ඉන්නවා. දරුවන් හිරකාරයන් වගේ ඉස්කෝලෙට, ටියුෂන් පන්තියට, ගෙදර ආවම ඒ දරුවාගේ පාඩම් කරන මේසයට හිරකරලා තියන' තවත් දෙමව්පියන් වර්ගයක් ඉන්නවා. මේ එක ගොං වාහේ කෙනෙක්වත්' අර දරුවන්ගේ හිතේ මොනවද තියෙන්නේ කියලා දන්නේ නැහැ. හොයන්නේ නැහැ. ඒ ගොං වාහෙලා හිතන්නේ, අපි දරුවට ඔක්කොම දේ ඉහළින්ම කරනවා කියලා. ඇත්තටම ඒ ගොං වාහෙලා දරුවට කරන්නේ, අන්තිම නරකක්. එවැනි දරුවන් තුළිනුත් කොණ්ඩයන් බිහිවෙන එක පුදුමයක් නෙවෙයි. 

   ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, අඩු කරන්න මොනවද ජනමාධ්‍ය වලින් කරන්නේ. බොරුවට රටවටේ ළමා අපචාර විරෝධී චාරිකා යන අර අහවල් චැනල් එකේ, පෙන්නන්නෙම කුණු ඉන්දියන් ටෙලි නාට්‍ය. බොහොමයක් චැනල් වල රිලවුන් වගේ ළමයින්ව නටවනවා. උන් නටන්නේ, උන්ට තියා උන්ගේ අම්මලා තාත්තලාටවත් නොතේරෙන, ශෘංගාරය පමණක් ඇති පදමාලා සහිත ගීත වලට. 'ඔබේ බුරියේ මා දෙතොල තබා සිඹිමි' කියන තේරුම ඇති හින්දි ගීතවලට. ඒ නැටුම් බලන තාත්තලාටත්, තමන්ගේ දුව ගැන කාමුක හැඟීම් ඇතිවීමට තරම් පහත් තත්වයක් තිබෙන්නේ. 


නීතිය සහ පොලීසිය


    අද අපේ සමාජයේ තියන වනචර පුරුද්දක් තමා, තමන්ගේ වගකීම, වෙනත් කාගේ හෝ කරපිට පටවා නිදහස්වීම. 'මිනිස්සු වැරදි කරති. පොලීසිය එක පැයෙන් වැරදිකරුවන් ඇල්ලිය යුතු ය. පොලීසිය සෑමවිටම, පාරේ තොටේ, ගමේ, නගරයේ සාම අස්සක් මුල්ලක් නෑරම සිටිමින් නීතිය ක්‍රියාත්මක කළයුතු ය. නැත්නම් පොලීසියෙන් වැඩක් නැත' යන ආකල්පය, අද තිබෙන දුර්මත වලින් බරපතළම දුර්මතයක් වන්නේය.

   පුරවැසි යුතුකම් පැහැර හරින අපි, ඒ අඩුපාඩුව, ඉතා පහසුවෙන්, පොලීසිය මත පටවන්නට සැරසී ඉන්නෙමු. ජනමාධ්‍ය තුලින් පොලීසිය වෙත එල්ල කරන්නේ සුළුපටු බලපෑමක් නොවේ. එම බලපෑම් බොහෝදුරට පොලීසියේ කීර්තිනාමයට හානිකරන, පොලීසිය පිළිබඳව මහජනතාව තුළ ඇති විශ්වාසය පලුදුකර ඒවා බව ඒ ජනමාධ්‍ය පාලකයෝ නොසිතති. පොලීසිය අපහාසයට උපහාසයට පත්කරන පුවත්පත් වාර්තාවක්, කාටූනයක්, රූපවාහිනී/ගුවන්විදුලි ප්‍රවෘත්තියක් අසන්නට දකින්නට නොලැබෙන දිනයක් නැතිතරම් ය. කොත්තු රොටී ගසන වේගයෙන් සූක්ෂ්ම අපරාධකරුවන් ඇල්ලිය හැකියැයි හිතන, අමනොඥ පිරිසක් ද රටේ සිටිති. එක නඩු දිනයකින් සියලු වරදකරුවන් එල්ලුම්ගසට හෝ සිරගෙට යැවිය හැකියැයි සිතන පිරිසක් ද වෙති. නීතිය අතට ගන්නට පෙළඹෙන්නේ මෙවැනි දුරවබෝධ නිසාමය.

   සැකකරුවකුගෙන් ප්‍රශ්නකිරීම සඳහා පහරදීම, වධ බන්ධනයට ලක්කිරීම, කිසිසේත් අනුමත කළහැකි නොවේ. පොලීසිය එවැනි දේ කරන්නට පෙළඹෙන්නේ, මුළු රටම, වහාම ප්‍රතිඵල ඉල්ලා උද්ඝෝෂණ කිරීමේ හේතුව නිසායැයි කීමද, වලංගු තර්කයක් වියහැකිය.

   සැකකරුවකු චුදිතයකු නොවන බව, කොතරම් කිව්වද, එය පිළිනොගන්නා සමාජයක, නීතියේ සාධාරණත්වය ඉටුකිරීම මහත් අභියෝගයක් වෙයි. අවසානයේ දුනේෂ් ප්‍රියශාන්තට ඉතිරිවූයේ, නොමග යාමේ ප්‍රතිඵලයක් ලෙස, ළමා අපචාර සැකකරුවකු බවට පත්වීමත්, කොණ්ඩයා නමැති අපකීර්තිකර නාමයෙන් හංවඩු ගැසීමත්, සිය පෙම්වතිය අහිමිවීමත්, අපේ රටේ ඇති දුර්වල සමාජ ආකල්ප මත, ප්‍රසිද්ධියේ ජීවත් වන්නට අවකාශ නොලැබී යාමත් පමණි.

   මේ සියල්ල, පිළිවෙලකට යළිත් සිතාබලා, එකින් එක නිවැරදි කිරීම වහාම අරඹන්නට, දැන් කාලය එළඹී තිබේ. 

2015 ඔක්තෝබර් මස 28 වැනි දින 0045 පැය 

16 October 2015

බුදු අම්මෝ බුදුහාමුදුරුවනේ.......!

   බුදු අම්මෝ.........................බුදුන් වඳින්න මෙච්චර අමාරුද? අම්මපා මේ අපේ එවුන්, බුදුන් වඳින්න කියලා යන්නේ, වෙන වෙන මගුල්වල. ඒකනේ තද වෙන්නේ. නරකද බුදුන් වැඳීමේ නීති පද්ධතිය කියලා පොතක් ගහලා, වන්දනා නඩ වලට විකුණන්න ලෑස්ති කරගත්තොත්? නෑ මං කියන්නේ, බුදුහාමුදුරුවෝ ළඟට, පටාචාරා, උපන් ඇඳුමෙන් ආවම, බුදුහාමුදුරුවෝ කිව්වේ, 'නැඟණියනි සිහිය එළවාගන්න' කියලා විතරයිනේ. නමුත් දැන් වෙන්නේ, බුදුන් වඳින්න යන එවුන් එළවාගන්න එකනේ.
බලමුකෝ මේ බෝඩ් පොජ්ජ.

1


නෑ නෑ, මං මොකූත් කියන්නෑ. ඔය ඇත්තෝම කියමු බලන්ඩ, මොනවද හිතෙන්නේ කියලා.

මේන් බලන්ඩකෝ තවත් බෝඩ්.

2

   ඇයි යකෝ, එක අතකින් මල් වට්ටියයි, අනික් අතින් පත්තු කරගත්තු සිගරට් එකයි, අරන් එන එවුන් ඉන්නවද? මමනං කවදාවත් දැකලා නෑ. ඔය ඔතන ගාඩ් එකේ ඉන්න සමහර පොලිස් රාළහාමිලා, බෝධිය ළඟම පහළ තියන මුරපොලේ රෑට ඉන්න ගමන්වත්, ෂියැට් එකක් ගහන්නේ නැද්ද? නෑ මං කියන්නේ, සිගරට් එකක් ගහගෙන මෙතෙන්ට එන එකා, අබබ්බයෙක් තමයි. නමුත් ගමේ පන්සලටවත් සිගරට් එකක් පත්තු කරගෙන ඇතුල් වෙන මිනිස්සු දැන් නැහැ නේද? 

3

   හුටා, මගේ කළු කලිසම? අම්මප කළු ඇඳුම් එපා කියන්නේ, බුදුහාමුදුරුවන්ට අපහාසයක් වෙන නිසාද? බුදු හාමුදුරුවෝ කොතනද කියලා තියෙන්නේ, පන්සලට කළු ඇඳුම් එපා කියලා? අපි මෙහෙම හිතමු, අපේ කවුරු හරි කෙනෙක්, අසාධ්‍ය තත්වයෙන්, ඉස්පිරිතාලේ දැඩි සත්කාර ඒකකයේ ඉන්නවා. එයා මරණාසන්නයි. ඒ වගේ වෙලාවට, පිදුරු ගහෙත් එල්ලෙන එක, අහන්න දෙයක් නෙවෙයි නේ? අපි හති දාගෙන දුවනවා පන්සලට, බාරයක් වෙන්න බෝදීන්නාන්සේට. කොහෙද ඉතිං යන්න දෙන්නේ නැහැනේ. අපේ ඇඳුම් කලුපාටයි/කොට වැඩියි කියලා. බුදුහාමුදුරුවෝ පිහිටවුණේ ඇඟ වැහෙන්න ලා පාට ඇඳුම් ඇඳලා හිටිය අයට විතරද?

4

   මේකේ නම් යම් තේරුමක් තියනවා. සංවරව හැසිරෙන්න කියලා, බෝඩ් ගහලා කියලා දෙන්න වෙන්නේ, අපි අසංවර නිසා නේද? යකෝ, මේ වගේ තැනකට ගියාමවත් හිතපල්ලකො, සංවරව ඉන්න. හරි හරි, අපි දැන් කාලේ යන්නේ තනිකරම වන්දනා චාරිකා නෙවෙයි. විනෝද/වන්දනා චාරිකා. හරි එතකොට මෙහෙම කරන්න බැරිද? ගමන යන්න කලින් හදනවනේ සැළැස්මක්. අන්න ඒකෙදි, කල්තියා සැළසුම් කරගන්න පුළුවන්, අහවල් තැනදී මේ විදිහට ගියොත් හොඳයි, මේ විදිහට හැසිරුනොත් හොඳයි කියලා. එතකොට ප්‍රශ්නයක් නැහැ.

   අර චීන කතාවක් තියනවා මතකද, හාමුදුරුනමක්, දිය කඩිත්තකින් එගොඩවෙන්න බැරුව හිටිය ගෑණු ළමයෙකුව, උස්සගෙන ගිහින් එගොඩින් තියපු කතාව? ඒ කතාවේදී කියන දේ තව ටිකක් දික් කරොත්, ඇඳගෙන එන ඇඳුමෙන්, මිනිස්සු මනින්න අමාරුයි. ගැහැණියකගේ ඇඳුමේ දිග පළල මනින්නේ, අපේ ඇසේ/සිතේ/ තියන යම් යම් ප්‍රමිති අනුව සහ, ඇගේ සිරුර, අප විසින්, සිතෙන් නිරුවත් කර බැලීම නමැති, තිරිසන් ආශාව නිසයි.

   පූජා භූමියකට ඇතුළුවන අවස්ථාවේ සිට, පූර්ණ අවධානය, තම වන්දනා කාර්යය වෙත පමණක් තබාගෙන, අවට ඉන්න අය දෙස නොබලා, වන්දනාවට අදාළ වන කාර්යයන්හි පමණක් නිරත වියහැකිනම්, අපි කොච්චර හොඳ මිනිස්සුද? 

2015 ඔක්තෝබර් මස 16 වැනි දින 1135 පැය 

13 October 2015

පැරණි පොතක තිබුණා මෙසේ........

   මේ මෑතකදී, අපේ පන්සලේ පුස්තකාලයට, පැරණි පොත් එකතුවක් තෑගි ලැබුණා. ඒ පොත් තොගය, විශ්‍රාමලත් විදුහල්පති වරයකුට අයත්, පොත් තොගයක්. වැඩිදෙනෙකුගේ දැනුම දියුණු කිරීමේ අරමුණෙන් තමා, ඒ මහතා මේ පොත් පරිත්‍යාග කළේ. එයින් කීපයක් මා ඉල්ලාගෙන ආවා, කියවා බලන්නට. මේ එයින් එක පොතක තිබුණු දේ වලින් සමහරක්.


1


   මේ ග්‍රන්ථය කොපමණ පැරණිද යන්න දැක්කාම මට පුදුම හිතුණා. මේ බලන්න විස්තර.


2


   1949 වර්ෂයේදී, කෑගල්ලේ මුද්‍රණාලයකයි මෙය මුද්‍රණය කර තිබෙන්නේ. නමුත් 1950 දශකයේ කෑගල්ලට නුදුරුව උපන් මා, 1960 දශකයේ සිට 1980 දශකය දක්වා කෑගල්ලේ පදිංචිව සිටියත්, මේ පොත් මුද්‍රණය කළ 'ජාතික මුද්‍රණාලය' ගැන දන්නේ නැහැ. දන්නා කෙනෙකු ඇත්නම්, කියාදෙන ලෙස කාරුණිකව ඉල්ලනවා.

   මේ පොතේ තිබුණු වචනයක්, සහ පැරණි සිංහල යෙදුමක් ගැන, දක්වා තිබුණු නිර්වචන කෙරෙහි, මගේ සිත ඇදීගියා. ඒ නිසා ඔබටත් එය පෙන්වන්න සිතුනා.

වලවෙට්ටුවා කියන්නේ කාටද?

   අපි කුඩා කාලයේ මේ වචනය නිතර ඇහුනා. නොහික්මුණු, දඩබ්බර, තරුණයන් හැඳින්වීමටයි, අපේ වැඩිහිටියන්, 'වලවෙට්ටුවා' යන වචනය යොදාගත්තේ. මේ පොතේ එම වචනය මෙන්න මෙහෙම නිර්වචනය කර තිබෙනවා. 

9



හෙයියම්මාරුව කියන්නේ මොකක්ද?

   හෙයියම්මාරුව කියන යෙදුම, අද සමාජයේ එතරම් අහන්නට දකින්නට නොලැබුනත්, ව්‍යවහාරයෙන් සම්පූර්ණයෙන්ම බැහැරට හිය යෙදුමක් නොවෙයි. තමන්ගේ නොසැලකිල්ල හෝ අණුවන කම නිසා, ඇතිකරගත් බරපතළ වියවුලක් හැඳින්වීමට තමා, 'හෙයියම්මාරුව' යන වචනය පාවිච්චි කරන්නේ. එහි නිරුක්තිය, මේ පොතේ මෙලෙස විස්තර කරනවා. 

7 - Copy


   ඉතා අපූරු තේරවිලි කවිත් මේ පොතේ ඇතුළත් වෙනවා. මේ එයින් කීපයක්.


4


   පිටු 106 කින් යුත් මේ ග්‍රන්ථයේ, විවිධ මාතෘකා ඔස්සේ ලියන ලද, පරිඡේද 25 ක් ඇතුළත් වෙනවා. එකල සමාජ ආකල්ප මෙන්ම, ජනශ‍්‍රැතියේ විවිධ පැතිකඩ නිරූපණය කෙරෙන ලිපිද, තිබෙනවා. අද්‍යතන සමාජ ආකල්ප සමග කෙළින්ම ගැටෙන අදහස්ද, ඇතුළත් වෙනවා. වරින්වර, ඒ ලිපි ඔබවෙත ගෙන එන්නට මා බලාපොරොත්තු වෙනවා. 

2015 ඔක්තෝබර් මස 13 වැනි දින 0005 පැය 

08 October 2015

මේ වැඩේ හරිද වැරදිද?

   යුද හමුදා සෙබළුන් සිව් දෙනෙකු විසින්, දැනට වසර පහකට පමණ පෙර, මුලතිව් ප්‍රදේශයේදී, ද්‍රවිඩ ජාතික කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කළ බවට චෝදනා කොට, දඬුවම් දීමේ සිද්ධියක් වාර්තාවී තිබෙනවා. නඩුව විභාගවී තිබෙන්නේ, යාපනය මහාධිකරණයෙදී. මේ පිළිබඳව, 'ලංකා නිව්ස් වෙබ් ටුඩේ'  අඩවියේ පළවූ වාර්තාවක් කියවීමෙන් පසු, මට ඒ සම්බන්ධව ඔබ සමග සාකච්ඡා කරන්නට හිතුනා. මුලින්ම කියවා බලන්න, අදාළ වෙබ් අඩවියේ වාර්තාව.


Screenshot (75)
Screenshot (76)


   මේ වාර්තාව අනුව පෙන්වා දෙන්නේ, යාපනය මහාධිකරණ විනිසුරුවරයා, මේ රටේ හමුදා සෙබළුන්, ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ, යුද අපරාධකරුවන් බවට පත්කිරීමේ අරමුණෙන්, ක්‍රියාකරන බවයි. මාතෘකාවේම යොදා තිබෙන්නේ 'හමුදා සෙබළුන් යුද අපරාධකරුවන් කිරීමේ සැලැස්ම සාර්ථක' බවයි. මේ වාර්තාව සැකසූ තැනැත්තා, ජාත්‍යන්තර නීතිය ගැන මෙලෝ හසරක් නොදන්නා පුද්ගලයකු බව, ඒ ප්‍රකාශය තුළින්ම, මැනැවින් ගම්‍ය වනවා. යම්කිසි රටක, අභ්‍යන්තර හෝ බාහිර යුද්ධයක් පවතින අවස්ථාවක, සක්‍රිය සේවයේ යෙදීසිටින ආරක්‍ෂක හමුදා අයවලුන් විසින්, සතුරු හමුදාවේ හෝ සාමාන්‍ය ජනතාව වශයෙන් සැළකෙන අයගේ, මානව හිමිකම් උල්ලංඝනය වන අයුරින් කරන සෑම ක්‍රියාවක්ම සැළකෙන්නේ, යුද අපරාධයක් ලෙසයි.


   මේ වාර්තාව සැකසූ තැනැත්තා, යටත්පිරිසෙයින්, පහත දැක්වෙන කරුණු පිළිබඳව, මූලික අවබෝධයක්වත් නැතිව, මෙය ලියා ඇති බවද පැහැදිළි වෙනවා. 


    මේ අධිකරණ ක්‍රියාවලියේදී සිදුවී තිබෙන්නේ, මේ සෙබළුන්, ජාත්‍යන්තර යුද අධිකරණයක් වෙත ගෙනයාමට දරන ලද උත්සාහයක් නොවෙයි. ඔවුන්ට මේ රටේ වලංගු නීතිය යටතේ චෝදනා නගා, සාධාරණ සැකයකින් තොරව එම චෝදනා ඔප්පු කර, මේ රටේ නීතිය අනුව දඬුවම් ලබාදීමයි. එසේනම්, මේ වාර්තාවේ කියන පරිදි (ඉඟි කරන පරිදි), අනාගතයේදී මේ රටේ ඕනෑම අධිකරණයකින්, හමුදා අයවලුන් තම සේවා කාලය තුළ කරන ලද මෙවැනි අපරාධ වලට දඬුවම් දීම වරදක්ද? ඔවුන්ට අපරාධ වලින් ගැලවී සිටීමේ මුක්තියක් දියයුතුද? යාපනය මහාධිකරණ විනිසුරුවරයා ශ්‍රී ලංකාවේ වලංගු නීති පද්ධතියට පිටස්තර යම් ක්‍රියාවක් කර තිබේද? හමුදා අයවලුන්ට එරෙහිව මේ හා සමාන චෝදනා, ඉදිරියේදී විභාග වන්නට නියමිතයි.

   යුද සමයේදී මේ සෙබළුන් දූෂණය කළේ, වවුනියාවේ පදිංචි සිංහල කාන්තාවක් නම්, එම නඩුව වවුනියාවේ මහාධිකරණයේදී විභාග කර, මේ තීන්දුව දුන්නේ, මේ විනිශ්චයකාරවරයා විසින්ම නම්, ලංකා නිව්ස් වෙබ් ටුඩේ හි, ස්ථාවරය කුමක්ද? 

   මට මතක්වනවා එක්තරා සිද්ධි දෙකක්.

   1994 දී පමණ, වවුනියාවේදී, යුද හමුදා ලුතිතන් වරයකු සහ උප පොලිස් පරීක්‍ෂක වරයකු, නිළ ඇඳුමින් මහමගදී ගහගත්තා. අන්තිමේදී උසාවි යන්න වුනා. විත්තිකරු හමුදා නිලධාරියා. ද්‍රවිඩ ජාතික විනිසුරුවරයා දෙදෙනාටම එන්න කිව්වා, විවෘත අධිකරණය ඉදිරියට. විත්ති කූඩුවටවත් පැමිණිලි කූඩුවටවත් නගින්න එපා කිව්වා. ඔවුන්ගෙන් ඇහුවා, ලැජ්ජාව කියල දෙයක් ඔබට තියනවද? මේ රටේ දැන් මහ යුද්ධයක් යනවා, ඒ අතරේ ඔබ දෙදෙනා එනවා, පෞද්ගලික ප්‍රශ්න අරගෙන උසාවියට. ඔබ දෙදෙනාටම මේ රට වෙනුවෙන් කරන්න විශාල කාර්ය භාරයක් තියනවා. එයටයි ප්‍රමුඛත්වය දියයුත්තේ. වහාම අතට අත දී සමාදානවී, මේ උසාවියෙන් පිටවී යන ලෙස මා නියෝග කරනවා කිව්වා.  අර දෙන්නා එහෙම කළා. ඒ විනිසුරුවරයා කළදේ හරිද වැරදිද?

   එවැනිම ඊළඟ සිද්ධිය තමයි, එක්තරා ජ්‍යොෂ්ඨ පොලිස් නිලධාරියකු, සාමාන්‍ය ඇඳුමෙන් සැරසී, තම පවුලේ සාමාජිකයන් ද සමග, හමුදා අධි ආරක්‍ෂක කලාපයක පිහිටි, සුන්දර වෙරළ තීරයකට යාම සඳහා, මාළු බෝට්ටුවකින්, කළපුවක් හරහා පැමිණ, හමුදා පාලනය යටතේ තිබුණු, ජැටියක ගොඩ බැසීමට උත්සාහ කිරීමේදී ඇතිවූ උණුසුම් තත්වයක් මත, අවසානයේදී හමුදා රෙජිමේන්තුවක්ම උසාවියට කැඳවීමේ සිද්ධිය. මෙය සිදුවුණේ 2002 දී පමණ. 

   මෙහිදී උසාවි නියෝගයක් ලැබුණා, නඩුව අවසන් වනතුරු, (කලින් සිද්ධියේදී මෙන්ම මෙයද උසාවියේදී සමථයට පත්වුණා) අදාළ හමුදා බලඇණිය, එම දිස්ත්‍රික්කයෙන් ඉවත් කළයුතුයි කියා. මීටර් 400 ක් කලපුවෙන් මෙගොඩ අයත්වුනේ, වෙනත් දිස්ත්‍රික්කයකට. ඉතින් අර බලඇණිය, තමන්ගේ බඩු කරගහගෙන, මීටර් 400ක් බෝට්ටුවෙන් ගොස්, ස්ථාන මාරුව සිදුකළා. මෙහිදී පොලීසිය උසාවියට නැවතත් වාර්තා කළා, ඈත්වූ දුර මදි බව. නමුත් උසාවිය එය පිළිගත්තේ නැහැ. මේ නඩුව ඇහුවෙත්, ද්‍රවිඩ ජාතික විනිසුරු වරයෙක්. ඉතින් ඔහුගේ ක්‍රියාව හමුදාවට පක්‍ෂපාතී ද?

   ඉහත වාර්තාව ගැන, ලංකා නිව්ස් වෙබ් ටුඩේ අඩවියේදී, ඉඳුරාම අදහස් දැක්වීමේ අයිතියක්, පාඨකයාට නැහැ. ඒ නිසයි, මා මෙය ඔබවෙත ගෙන ආවේ. ඔබ මොකද හිතන්නේ? 

2015 ඔක්තෝබර් මස 08 වැනි දින 1401 පැය 
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }