ඇමරිකානු ජාතික ග්රන්ථ කර්තෘ
විලියම් වියර් - William Weir
විසින් රචිත
50 Weapons That Changed Warfare
නමැති කෘතිය ඇසුරෙනි.
ලෝක ඉතිහාසය ගැන කතාකරනකොට 'යුද්ධ' යන වචනය නැතුව කතාකරන්න පුලුවන්ද? බැහැනේ. ඉතින් මම හිතුවා, එක එක අවි වර්ග ගැන, ඔබ සමග බොහෝවිට කරන කතාවලට වඩා වෙනස් අකාරයකින්, යුද අවි පිළිබඳව කතාකරන්න. ඊයේ පෙරේදා මගේ අඩවියේ අදහස් දැක්වීමක් කළ, අපූර්වී ඔමායා කියලා තිබුණා, 'අනේ ඊළඟට වෙඩි තියන එකක් ගැන ලියන්න' කියලා. මම ඇහුවා, හිරමනේට අළු දාලා වෙඩි තියන හැටි ලියන්නද කියලා. 'හිරමනේට අළු දාලා වෙඩි තියනවා' කියන කතාව අහලා තියනවද? අපි කුඩා කාලයෙනම්, ඒ කතාව සමාජයේ නිතර භාවිතයේ තිබුණා. අර, බංකුවක වගේ වාඩිවී පොල්ගාන හිරමණය, අපේ කුස්සියෙන් සමුගැනීමත් සමග..........
(කතා මැද කතා. වෙලාවකට කුස්සියේ තනියම නහින නිසා, මම ඊයේ පෙරේදා අපේ උන්දැගෙන් ඇහුවා, විදුලි හිරමනයක් අරන් දෙන්නද කියලා. 'ඒ සල්ලි ටික මට දෙන්ඩකෝ, මට වෙන අවශ්‍ය දෙයක් ගන්ඩ' කියලා උත්තර දුන්නා. හෙහ් හෙහ්.....ඇත්තම කතාව මේකයි. මේස හිරමනෙන් වුනත් පොල්ගාන එක මට මහා අප්පිරියා වැඩක් අප්පා. මගේ කම්මැලිකමටයි ගන්න හැදුවේ. කොහෙද, පුදනකොටම කාපි යකා :D )
ඉතින් ඔච්චර කෙන්ති ගන්ඩ එපා අනේ. චූර්ණිකා නැතුව කොහොමද මේ වගේ මහා බාරදූර ලිපියක් ලියන්නේ. එතකොට හිරමනේට අළුදාන කතාව එපාද? හරි ඔන්න ඔහොම පොඩ්ඩක් ඉවසන්න පුරුදුවෙන්ඩකෝ. මෙන්න මේකයි ඒ කතාවේ තේරුම. හිරමනේ කියන්නේ තුවක්කුවක් හෝ වෙනත් ගිනි අවියක් නෙවෙයිනේ. අළු කියන්නේ ඉවතලන දෙයක් මිස වෙඩි බෙහෙත් නෙවෙයිනේ. හිරමණේට අළුදාලා වෙඩි තියනවා කියන්නේ කිසිදු ඵලයක් නොලැබෙන උත්සාහයක නිරතවෙනවා කියන එකයි. දැන් තේරුණාද?
බලන්න අපේ හැලප තුමා කොච්චර ලස්සනට චූර්ණිකා ලියනවද කියලා. මමනම් හරිම ආසයි එතුමාගේ චූර්ණිකා වලට. මේ දස්වලනම් එතුමා තවමත් තම මවගේ වියෝව ගැන වේදනාවෙන් ඇති. හොඳයි ඔන්න බහිනවා කතාවට.
අවි 50ක් ගැන එකපාරට ලියන්න බැහැනේ. ඒ නිසා දෙකට තුනට කඩනවා හොඳේ? මොකක්ද කඩන්නේ කියලද අහන්නේ? ඇයි අනේ ලිපිය මිසක් වෙන අහවල් කෙංගෙඩියද?
මගේ හිතට බොහොම තදින් ඇල්ලුවා මේ පොතේ පිළිගැන්වීම. කර්තෘ වරයා ඔහුගේ දියණිය වෙත මේ පොත පිළිගන්වා තිබෙන්නේ මෙහෙමයි.
For Emma.
may she grow up to a
world in which warfare is
only history.
මේ මගේ පරිවර්තනය
එමා වෙත.
සංග්‍රාමය යනු
ඉතිහාසයෙහි තිබුණු දෙයක් පමණක්
වන ලෝකයක් වෙත
හැදී වැඩෙන්නට
ඇයට හැකිවේවා!
මා කලින් කීවාක් මෙන් සංග්‍රාමය රසවත් දෙයක් නොවෙයි. කතුවරයාද ඒ බව මනාව පසක් කරගෙන තිබෙන බව, ඔහුගේ මේ ප්‍රකාශයෙන් මොනවට පැහැදිළි වෙනවා. යුද්ධය නමැති මහා විනාශකාරී ක්‍රියාදාමය නවත්වා ගැනීමට, මිනිසා තවමත් අපොහොසත්ව සිටින්නේ, ප්‍රධාන වශයෙන්, බල තන්හාව නිසා බව අමුතුවෙන් කිවයුතු නැහැ. ප්රාග් ඓතිහාසික යුගයේ සිටි මානවයන් අතර පවා, සටන් තිබුණු බව, ඔවුන් පරිහරණය කළ ඉතා නොදියුණු රළු ආයුධ, පුරාවිද්‍යාත්මක ගවේෂණ තුළින් හමුවීම නිසා පැහැදිළිවනවා. ද්වන්ද්ව සටන්, යුද්ධයේ ආරම්භය ලෙස සලකන්න පුළුවන්. දෙපිලක් අතර සිදුවන සටනකදී, තමා විසින් තෝරාගත් ප්‍රතිමල්ලවයකු සමග, ආයුධ සහිතව හෝ රහිතව සටන් කිරීමයි එහිදී සිදුවුණේ. නමුත්, ඈත සිට තම සතුරාට පහරදෙන්නට හැකිවන්නේ කෙසේද යන්න සිතා බැලූ මිනිසා, ඒ සංකල්පනාව ඔස්සේ විවිධ නිපැයුම් කළා. හොඳයි, දැන් අපි මේ අවි එකින් එක ගැන කරුණු සොයා බලමු.
1. හෙල්ල - Spear
2. දුන්න සහ ඊතලය- Bow and Arrow
3. අසිපත - The Sword
දුනු ශිල්පයෙහි දක්ෂයා 'ධනුර්ධර/ධනුද්ධර' = Archer ලෙස හැඳින්වුණා.
හෙල්ලෙන් සටන් කිරීමෙහි දක්ෂයා හැඳින්වුණේ Spearman වශයෙන්
කෙටේරියක මෙන් තලයක් සහිත, දිග මිටකින් යුත් හෙල්ලක් සහිතව සිටින 'හෙල්ල සටන් කරුවන්' හැඳින්වුණේ හැල්බඩියර් -Halberdier යනුවෙන්
එමෙන්ම, තුවක්කු හරඹයෙදී, විශ්මිත සහ අතිශයින් නිවැරදි ඉලක්ක ගන්නා පුද්ගලයා, හඳුන්වන්නේ 'ප්‍රගුණ වෙඩිකරු - Marksman' යනුවෙන්.
කඩුව තරම්, මිනිස් ඉතිහාසයේ ඇතිවූ සංග්රාම වලදී පාවිච්චි කළ වෙනත් අවියක් නැති තරම්. ජපානය, චීනය, ඉරානය, ඉරාකය, ඉන්දියාව, එංගලන්තය, ජර්මනිය, නොර්වේ, වැනි රටවල් ගණනාවක ඉතිහාසයට මෙන්ම, මුස්ලිම් සහ හින්දු සංස්කෘතීන්ටත්, කඩුව දැඩි ලෙස බැඳී පවතිනවා.
4. ගැලී යාත්‍රාව - The Galley
5. ශාරීරික සන්නාහය - Body Armour
බරින් වැඩි සන්නාහ වෙනුවට, තරමක් බරින් අඩු සන්නාහ නිපදවන්නට පසුකාලීනව හැකියාව ලැබුනා. එකට අමුණා, රෙද්දක් මෙන් වියන ලද ආකාරයට, ලෝහ වළලු රාශියක් ඇමිණීමෙන් සකසන ලද මේ සන්නාහය, හඳුන්වන ලද්දේ, 'චේන්මේල් - Chainmail' යනුවෙන්.
සන්නාහය සටන් බිමේදී සොල්දාදුවන්ගේ ජීවිතය රැක ගැනීමට මහත් රුකුළක් වුණා. එය සංග්රාම කාර්යයේ වැදගත් සන්ධිස්ථානයක් වුණා.
මා හිතනවා මේ ලිපියේ පළමුවැනි කොටස මෙතෙකින් අවසන් කළයුතුයැයි කියා. ඊළඟ කොටස් වලදී මීටවඩා අවි ප්‍රමාණයක් ඔබ වෙත ගෙන එන බව සඳහන් කරන්නට කැමතියි.
ඡායාරූප මූලාශ්‍ර
- http://www.ezakwantu.com/Gallery%20African%20Weapons%20-%20Central%20African%20Weapons.htm
- http://www.livingbohemian.com/2013/12/27/nudity-and-shame-father-junipero-serra/
- http://commons.wikimedia.org/wiki/File:Assyrian_spearman_%C2%B7_HHWI469.svg
- http://www.creativeuncut.com/
- http://fineartamerica.com/featured/american-marksman-granger.html