ඇමරිකානු ජාතික ග්‍රන්ථ කර්තෘ
විලියම් වියර් - William Weir
විසින් රචිත
50 Weapons That Changed Warfare
නමැති කෘතිය ඇසුරෙනි.
ලෝක ඉතිහාසය ගැන කතාකරනකොට 'යුද්ධ' යන වචනය නැතුව කතාකරන්න පුලුවන්ද? බැහැනේ. ඉතින් මම හිතුවා, එක එක අවි වර්ග ගැන, ඔබ සමග බොහෝවිට කරන කතාවලට වඩා වෙනස් අකාරයකින්, යුද අවි පිළිබඳව කතාකරන්න. ඊයේ පෙරේදා මගේ අඩවියේ අදහස් දැක්වීමක් කළ, අපූර්වී ඔමායා කියලා තිබුණා, 'අනේ ඊළඟට වෙඩි තියන එකක් ගැන ලියන්න' කියලා. මම ඇහුවා, හිරමනේට අළු දාලා වෙඩි තියන හැටි ලියන්නද කියලා. 'හිරමනේට අළු දාලා වෙඩි තියනවා' කියන කතාව අහලා තියනවද? අපි කුඩා කාලයෙනම්, ඒ කතාව සමාජයේ නිතර භාවිතයේ තිබුණා. අර, බංකුවක වගේ වාඩිවී පොල්ගාන හිරමණය, අපේ කුස්සියෙන් සමුගැනීමත් සමග..........
(කතා මැද කතා. වෙලාවකට කුස්සියේ තනියම නහින නිසා, මම ඊයේ පෙරේදා අපේ උන්දැගෙන් ඇහුවා, විදුලි හිරමනයක් අරන් දෙන්නද කියලා. 'ඒ සල්ලි ටික මට දෙන්ඩකෝ, මට වෙන අවශ්‍ය දෙයක් ගන්ඩ' කියලා උත්තර දුන්නා. හෙහ් හෙහ්.....ඇත්තම කතාව මේකයි. මේස හිරමනෙන් වුනත් පොල්ගාන එක මට මහා අප්පිරියා වැඩක් අප්පා. මගේ කම්මැලිකමටයි ගන්න හැදුවේ. කොහෙද, පුදනකොටම කාපි යකා :D )
ඉතින් ඔච්චර කෙන්ති ගන්ඩ එපා අනේ. චූර්ණිකා නැතුව කොහොමද මේ වගේ මහා බාරදූර ලිපියක් ලියන්නේ. එතකොට හිරමනේට අළුදාන කතාව එපාද? හරි ඔන්න ඔහොම පොඩ්ඩක් ඉවසන්න පුරුදුවෙන්ඩකෝ. මෙන්න මේකයි ඒ කතාවේ තේරුම. හිරමනේ කියන්නේ තුවක්කුවක් හෝ වෙනත් ගිනි අවියක් නෙවෙයිනේ. අළු කියන්නේ ඉවතලන දෙයක් මිස වෙඩි බෙහෙත් නෙවෙයිනේ. හිරමණේට අළුදාලා වෙඩි තියනවා කියන්නේ කිසිදු ඵලයක් නොලැබෙන උත්සාහයක නිරතවෙනවා කියන එකයි. දැන් තේරුණාද?
බලන්න අපේ හැලප තුමා කොච්චර ලස්සනට චූර්ණිකා ලියනවද කියලා. මමනම් හරිම ආසයි එතුමාගේ චූර්ණිකා වලට. මේ දස්වලනම් එතුමා තවමත් තම මවගේ වියෝව ගැන වේදනාවෙන් ඇති. හොඳයි ඔන්න බහිනවා කතාවට.
අවි 50ක් ගැන එකපාරට ලියන්න බැහැනේ. ඒ නිසා දෙකට තුනට කඩනවා හොඳේ? මොකක්ද කඩන්නේ කියලද අහන්නේ? ඇයි අනේ ලිපිය මිසක් වෙන අහවල් කෙංගෙඩියද?
මගේ හිතට බොහොම තදින් ඇල්ලුවා මේ පොතේ පිළිගැන්වීම. කර්තෘ වරයා ඔහුගේ දියණිය වෙත මේ පොත පිළිගන්වා තිබෙන්නේ මෙහෙමයි.
For Emma.
may she grow up to a
world in which warfare is
only history.
මේ මගේ පරිවර්තනය
එමා වෙත.
සංග්‍රාමය යනු
ඉතිහාසයෙහි තිබුණු දෙයක් පමණක්
වන ලෝකයක් වෙත
හැදී වැඩෙන්නට
ඇයට හැකිවේවා!
මා කලින් කීවාක් මෙන් සංග්‍රාමය රසවත් දෙයක් නොවෙයි. කතුවරයාද ඒ බව මනාව පසක් කරගෙන තිබෙන බව, ඔහුගේ මේ ප්‍රකාශයෙන් මොනවට පැහැදිළි වෙනවා. යුද්ධය නමැති මහා විනාශකාරී ක්‍රියාදාමය නවත්වා ගැනීමට, මිනිසා තවමත් අපොහොසත්ව සිටින්නේ, ප්‍රධාන වශයෙන්, බල තන්හාව නිසා බව අමුතුවෙන් කිවයුතු නැහැ. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටි මානවයන් අතර පවා, සටන් තිබුණු බව, ඔවුන් පරිහරණය කළ ඉතා නොදියුණු රළු ආයුධ, පුරාවිද්‍යාත්මක ගවේෂණ තුළින් හමුවීම නිසා පැහැදිළිවනවා. ද්වන්ද්ව සටන්, යුද්ධයේ ආරම්භය ලෙස සලකන්න පුළුවන්. දෙපිලක් අතර සිදුවන සටනකදී, තමා විසින් තෝරාගත් ප්‍රතිමල්ලවයකු සමග, ආයුධ සහිතව හෝ රහිතව සටන් කිරීමයි එහිදී සිදුවුණේ. නමුත්, ඈත සිට තම සතුරාට පහරදෙන්නට හැකිවන්නේ කෙසේද යන්න සිතා බැලූ මිනිසා, ඒ සංකල්පනාව ඔස්සේ විවිධ නිපැයුම් කළා. හොඳයි, දැන් අපි මේ අවි එකින් එක ගැන කරුණු සොයා බලමු.
1. හෙල්ල - Spear
2. දුන්න සහ ඊතලය- Bow and Arrow
3. අසිපත - The Sword
දුනු ශිල්පයෙහි දක්ෂයා 'ධනුර්ධර/ධනුද්ධර' = Archer ලෙස හැඳින්වුණා.
හෙල්ලෙන් සටන් කිරීමෙහි දක්ෂයා හැඳින්වුණේ Spearman වශයෙන්
කෙටේරියක මෙන් තලයක් සහිත, දිග මිටකින් යුත් හෙල්ලක් සහිතව සිටින 'හෙල්ල සටන් කරුවන්' හැඳින්වුණේ හැල්බඩියර් -Halberdier යනුවෙන්
එමෙන්ම, තුවක්කු හරඹයෙදී, විශ්මිත සහ අතිශයින් නිවැරදි ඉලක්ක ගන්නා පුද්ගලයා, හඳුන්වන්නේ 'ප්‍රගුණ වෙඩිකරු - Marksman' යනුවෙන්.
කඩුව තරම්, මිනිස් ඉතිහාසයේ ඇතිවූ සංග්‍රාම වලදී පාවිච්චි කළ වෙනත් අවියක් නැති තරම්. ජපානය, චීනය, ඉරානය, ඉරාකය, ඉන්දියාව, එංගලන්තය, ජර්මනිය, නොර්වේ, වැනි රටවල් ගණනාවක ඉතිහාසයට මෙන්ම, මුස්ලිම් සහ හින්දු සංස්කෘතීන්ටත්, කඩුව දැඩි ලෙස බැඳී පවතිනවා.
4. ගැලී යාත්‍රාව - The Galley
5. ශාරීරික සන්නාහය - Body Armour
බරින් වැඩි සන්නාහ වෙනුවට, තරමක් බරින් අඩු සන්නාහ නිපදවන්නට පසුකාලීනව හැකියාව ලැබුනා. එකට අමුණා, රෙද්දක් මෙන් වියන ලද ආකාරයට, ලෝහ වළලු රාශියක් ඇමිණීමෙන් සකසන ලද මේ සන්නාහය, හඳුන්වන ලද්දේ, 'චේන්මේල් - Chainmail' යනුවෙන්.
සන්නාහය සටන් බිමේදී සොල්දාදුවන්ගේ ජීවිතය රැක ගැනීමට මහත් රුකුළක් වුණා. එය සංග්‍රාම කාර්යයේ වැදගත් සන්ධිස්ථානයක් වුණා.
මා හිතනවා මේ ලිපියේ පළමුවැනි කොටස මෙතෙකින් අවසන් කළයුතුයැයි කියා. ඊළඟ කොටස් වලදී මීටවඩා අවි ප්‍රමාණයක් ඔබ වෙත ගෙන එන බව සඳහන් කරන්නට කැමතියි.
ඡායාරූප මූලාශ්‍ර
- http://www.ezakwantu.com/Gallery%20African%20Weapons%20-%20Central%20African%20Weapons.htm
- http://www.livingbohemian.com/2013/12/27/nudity-and-shame-father-junipero-serra/
- http://commons.wikimedia.org/wiki/File:Assyrian_spearman_%C2%B7_HHWI469.svg
- http://www.creativeuncut.com/
- http://fineartamerica.com/featured/american-marksman-granger.html
Age of Empires ගේම් එක මතක් වුනා . අපිනම් යුද්ධ කරන්නේ විඩියෝ ගේම් වල විතරයි
ReplyDeleteඒ ගේම් වලත් තියෙන්නේ අපේ අතීතයම නේද?
ReplyDeleteවිචාරක තුමාගේ ලිපි ගොඩක් කියවන්නෙ නිදහසේ...
ReplyDeleteඑතරම් වටිනවා ඔබ තුමාගේ ලිපි....
හෙට උදේ පාන්දර කියවා අදහස් පලකරමි....
ඔව් කෙන්ජි මේ වගේ ලිපියක් හදිස්සියේ කියවන්න බැහැ. හෙමිහිට කියවලා පස්සේ අදහස් දක්වන්න. කොහොමද දැන් තුවාල සනීපද?
Deleteමොනා වුනත් මම අද තියෙන අවි ආයුධ වලට වැඩිය එදා තිබුන ආයුධ වලට කැමති.. ඈත ඉදන් බොත්තමක් ඔබලා සතුරා නසනවට වැඩිය මූනට මූණ බලාගෙන සටන් වැදීම එක අතකට අභිමානයක්..
ReplyDeleteහිතේ හයිය නැත්නම් අතින් පයින් වුනත් ගහගන්න බැහැ.
Deleteමේකනං මාමේ ඉක්මනට කියවන්න බැරි එකක්. මම හිතෙන හිතෙන වෙලාවට මේ සීරිස් එක හොදට කියවනවා...
ReplyDeleteදඩිබිඩියේ කියවලා වැඩක් නැහැ. මොකුත් තේරුම්ගන්න බැහැ. නිස්කලංකව කියවන්න.
Deleteපොඩ්ඩක් දාලා කියෙව්වම පරණ චිත්තරපටි ඉතිහාසය අරව මේවා හොදට මතක් වෙනවා. නිකං මොලේ හෙල්ලේ දාලා කරකැව්වා වගේ.. අනිත් එක එනකං ඉන්නේ.. ජය වේවා
Deleteවිචා... වර්ඩ්ප්‍රෙස් එකට බ්ලොගර් ලින්කටුවක් දාලා නෑ නේද??
Deleteකලින් දාලා තිබිලා අයින් කළා අයෙත් දාන්නද?
Deleteමේ ආයුධ ටික මරු.
ReplyDeleteලංකාවත් සෑහෙන දක්ෂ දුනු ශිල්පියෝ හිටපු රටක් !
තවම ආයුධ 5 ක් ගැන විතරයි කිව්වේ. තව 45 ක් තියනවා. ඉදිරියේදී කියන්නම්.
Deleteලංකාවේ එදා තිබුණු දුනු වර්ග ගැන පැරණි පොතපතේ සඳහන් වෙනවා.
අප වැඩිය අත පත නොගානා ඉසව්වක් ගැන අගනා විස්තර ගොන්නක්..
ReplyDeleteමේ පොත සිංහලට පරිවර්තනය කරන්න පුලුවන්නම් හරිම වටිනවා. නමුත් මම මෙහෙදී කරන්නේ සංක්ෂිප්තයක් ඉදිරිපත් කිරීම පමණයි.
Deleteවටින ලිපියක් මං නං කියෙව්ව නිවාඩු පාඩුවෙ ඉද්දි විතරයි මේම වැඩක් වත් කරන්න පුලුවං.
ReplyDelete///මේ පොත සිංහලට පරිවර්තනය කරන්න පුලුවන්නම් හරිම වටිනවා. නමුත් මම මෙහෙදී කරන්නේ සංක්ෂිප්තයක් ඉදිරිපත් කිරීම පමණයි./// මේම කීවට විචාරක තුමා මේ කරන දේ අපිට නං වටිනව ඔන්න.
මොනදෙ වුණත් ශිෂ්ටාචාරය ව්‍යාප්ත වන්න වගේම එහි අවසානයත් ගේන උපකරණයක් තමා අවි කියන්නෙ මං හරිද?
මෙවැනි පොතක් සම්පූර්ණයෙන්ම පරිවර්තනය කිරීම සඳහා දීර්ඝ කාලයක්, ශ්‍රමයක්, සහ ධනයක් වැයවෙනවා. මුද්‍රණ වියදමත් ඉහලයි. නමුත් මෙවැනි සංක්ෂිප්තයක් ඉදිරිපත් කිරීමෙන් බොහෝ දෙනෙකුට ප්‍රයෝජනයක් වෙනවා.
Deleteඇත්තටම මිනිස් ශිෂ්ටාචාරය වැනසීයන්නට මිනිසා විසින්ම නිපදවන අවි හේතුවන්නට ඉඩ තියනවා.
හේතුවන්න නෙමේ මං හිතන්නෙ දැනටමත් ඒත පටං අරං වැඩිය ඕන නෑ... සිරියාව පලස්තීනය ඇෆ්ගන්ස්ථානය දියා බලන්නකො.. ඇමරිකාවත් ලෝකෙ අනික් රටවල් වලට එයැයිලගෙ අවි බලේනෙ ඔය පෙන්නන්නෙ
Deleteඅපිට වෙන්නේ පරණ ගල්ගුහාවකටවත් රිංගලා බේරෙන්න තමයි :D
Deleteඉතා අපූරුයි. මා බ්ලොග් කියවන්නේම නැහැ. කියවන්නේ මේ බ්ලොගය විතරයි. ඒ ආයුධ පිලිබඳව දැනගැනීමට ඇති කැමැත්තයි.
ReplyDeleteබොහොම ස්තුතියි දිලීප. නමුත් එක බ්ලොග් අඩවියක් කියවීමට සීමාවෙන්න එපා. තවත් හරවත් බ්ලොග් අඩවි තිබෙනවා.
Deleteඅනේ මෙහෙමත් බ්ලොග් කියවන්නෝ.. හැක්..
Deleteහැබෑටම විචාට විතරයි මෙහෙම අය ඇත්තේ.. ජය වේවා දිලීප..
නියාමයි. මාසෙට එකක්වත් ආයුධ ගැනත් ලියන්න මං ආසයි. මං ගාවත් ගොඩක් තියෙන්නේ කඩු, තුවක්කු ගත්ත නළු නිලයන්ගේ ෆොටෝ හි හි .. ඒ වගේම මේ කාරණා ඉගෙනගන්න කෙනෙක්ටත් හොදයි .
ReplyDeleteහෑ..........ඊශ්‍රායලයේ නළු නිළියොත් තුවක්කු කාරයෝද? මුළු රටම යුද්ධ රටක් නිසා වෙන්න ඇති. පරෙස්සමෙන් ඉන්න.
DeleteRishon Le Zoin, HaMerkaz කියන්නේ ඔයා ඉන්න ප්‍රදේශයද?
DeleteRishon Le Zoin කියන්නේ ඉන්න ඒරියා එක. HaMerkaZ කියන්නේ මධ්‍යම කියන තේරුම දෙන්න
Deleteකලින් අඩවියේ වගේම මේ අඩවියෙත් මේවා පලවෙනවා දැකීම සතුටක්! මම සමහර වෙලාවට බ්ලොග් කියවන්නේ ෆෝන් එකෙන්.
ReplyDeleteඑතකොට කමෙන්ට් නොකරත්, අනිවාර්යෙන් සටහන කියවනවා!
විචාරක තුමාට ජය!
මා දන්නවා නිතර අදහස් පළ නොකලත්, මගේ අඩවිය කියවන සෑහෙන පිරිසක් ඉන්න බව. මේ බ්ලොගර් අඩවිය ජංගම දුරකතනයෙන් කියවීම වඩාත් පහසු ඇතැයි සිතනවා. බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන.
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteඉස්සර කාලේ වුනත් මූනට මූන සටන් කලේ නිර්භීත කමට වඩා ඒ කාලේ අවි,සටන් ක්‍රම නොදියුනු නිසා කියලයි මම නම් හිතන්නේ.අනිත් එක ලැබෙන අණ.කවුරු වුනත් කැමතිනේ තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගෙන සතුරාට පහර දෙන්න...
ReplyDeleteපවතින තත්වයට අනුව හැඩගැසීම තමයි වෙන්නේ නේද? අද අපි නවීනතම අවි කියන ඒවා තව අවුරුදු 100 කට පස්සේ ඉන්න අයට කොහොම පෙනෙයිද? නමුත් 'කාගෙන ඉදිරියට යාම' කියනඑක නම් සංසන්දනාත්මකව එදාට වඩා අද ටිකක් අඩුයි කියලයි මටනම් හිතෙන්නේ.
ReplyDeleteවිචාරක.......මම මේ ලිපිය දවස් තුනකට කියෙව්වේ නිදහසේ කියවන්න ඕන නිසා. බොහෝ කරුණු අඩංගුයි. ස්කොට්ලන්තය වීරයෙක්සේ සලකන විලියම් වොලස්ගේ මොනියුමන්ට් එක බලන්න මම ගියා. මතකද බ්‍රේව්හාට් ෆිල්ම් එක. එතන තියෙනවා අපූරු දේවල්. මේ ලින්ක් එකේ විනාඩි 2-3ක පොඩි වීඩියෝ එකක් තියෙනවා බලන්න හැකිනම්. මට ඔය ඔක්කොම මතක් වුනා මේ පෝස්ට් එක කියවනකොට. http://www.nationalwallacemonument.com/index.php
ReplyDeleteපොතේ පිළිගැන්වීම් පාඨය නම් අපූරුයි.
බොහොම ස්තුතියි අරු. මේ ලිපිය ලියන්නට මේ පොත විතරක් තිබිලා මදි. මට තවත් බාහිර කරුණු රැසක් හොයන්න වුනා සමහර විවාදාත්මක කරුණු නිසා. තරමක් වෙහෙස මහන්සි වී ලියන ලිපියක් මේ. බ්‍රේව් හාට් චිත්‍රපටිය මගේළඟ තියනවා. ඒ වගේම ඔබ නරඹා ඇති සෙන්චූරියන් චිත්‍රපටිය. එවැනි චිත්‍රපටි බොහොමයක් මටත් මතක්වුනා මේ පොත නිසා.
Deleteවිචාරක තුමෝ මමත් සාමයට කැමති කෙනෙක් තමයි.ඒත් මොකද මන්ද පොඩි කාලෙ ඉදන්ම යුද්ධ කතා වලට යුද්ධවීරයන්ට මාර කැමැත්තක් තිබ්බෙ.
ReplyDeleteකොහොමටත් යුද්ධ ඉතිහාසය වෙනස් කළේ යකඩ සොයා ගැනීම නේද?ක්‍රි:පූ 1500 පමන යකඩ සොයා ගත් ජනකොටස් අනෙක් අයට වඩා ඉදිරියෙන් සිටියා නේද?
ඒ වාගෙම අද තිබෙන රෙජිමේන්තු මාදිලියේ ඒකකයක් තිබුනාලු ගල්පටි විදින්නන් ගෙන්.ඒ කාලෙ යුධ තාක්ෂනය ගැන විචිත්‍ර සිතිවිලි පහල වෙනවා මේවා ඇසුවාම.
මම ඔබතුමාගෙන් අසන්නයි සිටියේ.ඔබතුමාගේ දීර්ග සේවා කාලය තුල අත්විදින්නට ලැබුන අද්භූත,අපූර්ව ඓතිහාසික දේවල් ඇති.මේවා අප වැනි සාමාන්‍ය වැසියන්ට කවදාවත් අත්විදින්නට නොලැබෙන දේවල්.අනෙක තමයි සොල්දාදුවෙකු තම රාජකාරි ජීවිතයේ අපූරු අත්දැකීම් ලැබුවත් ලියන්න දන්නේ නැත් නම් වැඩක් නෑ.ලියන හැකියාවත් තිබෙන ඔබතුමා ඒ අතින් සම්පතක්.
මා කියපු දේ තේරුනාද මන්ද.ඇත්තටම පුරාන ඉතිහාසය පවා මුලින් සොයා ගන්නේ සොල්දාදුවායි.විශේෂඥයන් එන්නේ පසුවටයි.මේ වගෙ අපි නොදන්න අත්දැකීම් ඔබතුමාට තිබෙනවානම් ඒවත් ලිපි විදියට දාන්න හොඳේ
වෙනමම ලිපියක් ලියන්න තරම් වැදගත් කරුණු රැසක් ඔබේ අදහස් දැක්වීම තුල තිබෙනවා. ඒ නිසා මුලින්ම ඔබට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා.
Deleteයකඩ සොයාගැනීම මානව ශිෂ්තාචරයල අලුත් මගකට ගැනීමට සමත් වුණා. මුල් කාලයේදී එහි වැඩි අවධානය මෙන්ම ප්‍රවනතාව ලැබුනෙත් සංග්‍රාමික කටයුතු වලටයි. ඉන් පසුව අතමයි අනෙකුත් යන්ත්‍ර සූත්‍ර ගැන අවධානය යොමුවුණේ.
සංවිධානාත්මක යුද හමුදා යන සංකල්පය ක්‍රිස්තු පූර්ව අවධියේත් තිබිලා තියනවා. ඒ ඒ කාර්ය භාරය හෝ පාවිච්චි කරන අවි ආයුධ අනුව සේනාංක බෙදා වෙන්කර තිබුනා. සිවුරඟ සේනා කියලා ඇත් අස් රිය පාබල වශයෙන් බුද්ධ කාලයටත් පෙර සේනා සංවිධානය තිබීමෙන් එය තහවුරු වෙනවා.
ඔබේ අදහස් මා නව මානයකට ගෙනගියා. අවුරුදු 30කටත් වඩා ටිකක් වැඩි කාලයක් අහසින්, මුහුදෙන් හා වැඩිපුරම ගොඩබිමෙන් මේ රටපුරා ඇවිදීමෙන් දැනගත් දේ බොහොමයක් තියනවා. ඒවා පිළිවෙලකට ගොනුකරගෙන ඉන්නම් ඔක්කොටම කලින්.
විචාරක තුමෝ අනාගත යුද බිම කොහොම වෙයිද?මම අහගෙන ඇමරිකාව ඩ්‍රෝන සෙබලුන් නිර්මානය කරන්න යනවාලු.මම හිතනවා අනාගටහ් යුධ බිම මිනිස් සොල්දාදුවන්ගෙන් විර්මුක්ත වූවක් විය හැකියි කියා.ඔබේ මතය?
ReplyDeleteඅනිවාර්යයෙන්ම අනාගත යුද බිමේ වැඩි කොටසක් තියෙන්නේ පොළොවේ නෙවෙයි අහසේ. එය අභ්‍යවකාශය දක්වා විහිදෙනවා. රෝබෝ වරුන් තමයි යුද්ධයට එළඹෙන්නේ. සිතුවිලි මගින් පාලනය වන රෝබෝවක දත්ත සැකසුම් වේගය අපේ මනසේ වේගයට වඩා බොහොම වේගයෙන් සිදුවන බව දන්නවනේ. නමුත් භූමියේ ඉන්න සියලු දෙනාට පොලොව යටටවී හෝ මුහුදු පතුලේ ඉන්න වෙනවා යුද්ධය අවසන් වෙනතුරු.
Deleteවිචාරක.....හොඳ අදහස් හුවමාරුවක් මෙතන වෙනවා කියලා මට හිතෙනවා. මට මහා ලොකු දැණුමක් නැතිවුනාට, තෝරා බේරා ගැනීමේ ශක්තියක් තියෙනවා. ඔබේ ලිපියේ ආරම්භවූ පරිදි මිනිසා මූලිකවී පටන් ගත් සටන් හෝ ආත්මාරක්ශක සටන්වේද සහ ආයුධ වලින් වෙන්වී අපට අනාගතයේ භූගත හෝ මුහුද යට හෝ සැඟවීමට තැන් නිර්මානය වෙන තැනකට තල්ලු වෙමින් පවතිනවා. මිනිසා නම් දියුණු සත්වයා තවත් නොදියුණු සත්ව කොට්ඨාශයක් ලෙස ඉතිහාසයට එකතු වෙනවා..ඒ මිනිසාම සොයා ගත් නිර්මාන තුල. මයීයා බ්ලොගේ තුල http://maiyyagelokaya.blogspot.co.uk/2014/01/singularity.html යමක් සාකාච්ඡා වෙනවා. ගොඩවී බලන්න.
Deleteදැනටමත් ඊශ්‍රායලයේ ඩ්‍රෝන යානා වලින් සෑහෙන දෙයක් කරනවා , බෙන් ගුරියන් ගුවන්තොටුපලේ වෙනම අංගනයක් තියෙනවා ඩ්‍රෝන යාන වෙනුවෙන්.. දවසගානේ අත්හදා බැලීම් කරනවා ,, ගිය මාසේ සෙබළු 3 දෙනෙක් මැරුණා යුධ ටැංකි අත්හදා බැලීම් වලදී ,, ඒත් කිවුවේ ඒක එලිවෙච්ච නිසයි,,, අනාගත ලෝකයේ යුධ තාක්ෂනය ඔය විචාරක තුමා කියපු දේ කරාවි,, දැනට ඔත්තු බලන්න පාවිච්චි කරන යානා අනිවා ඉස්සරහට සෑහෙන විපර්යාසේකට ලක්වෙනවමයි
Delete@ අරු, ඇත්තටම බුද්ධිමත් පාඨකයන් සිටින තැනක බුද්ධිමත් සංවාදයක් ඇතිවෙනවාමයි. ඒ සඳහා ඔබේ දායකත්වය වචනයෙන් කියන්න බැරිතරම් ඉහලයි. අනාගත මිනිසා සෑමවිටම බයෙන් ඉන්න සත්වයකු වෙනවා. පොලොව යට හෝ මුහුදේ හැංගෙනවා වගේම සල්ලි තියන සහ තාක්ෂණයෙන් දියුණු අය වෙනත් ග්‍රහලෝක කරා සංක්‍රමණය වෙයි කියලත් හිතන්න පුළුවන්. හරියට අර ලංකාවේ යුද්දේ තිබුන කාලේ රට හැරගිය පිරිස් වගේ. ස්තුතියි අර දුන්න ලින්ක් එකට.
Delete@ අපූර්වී, මොකද යකෝ කරන්නේ? ඔහාට වෙලා ඊශ්‍රායල් කාරයන්ගේ ඔත්තු බලනවද? පරෙස්සමෙන් ඈ. ඕකුන් මහා වසවර්තියෝ. උඹව අල්ලලා කූඩුවකට දායි මයින පැටියෙක් වගේ.
ඔයා කියලා තියන තොරතුරු ඔක්කොම ඇත්ත. මම ඔය කතාව දැක්කා අල් ජසීරා ප්‍රවෘත්ති වල.