කාලෙකට පස්සේ ඔන්න ඉතිං පුංචි කතන්දර දෙක තුනක් ලියන්න හිතුනා. හිතේ තිබුනට මෙව්වා ලියන්න සුදුසු වචන තෝරාගන්න එක තමයි අමාරුම වැඩේ. කතන්දර හැටහුටහමාරක් ඔලුවේ තිබුනට, මෙහෙම පොරසිද්දියේ එව්වා කියන්න බැහැ. කොහොම ලියන්න හැදුවත් ලැජ්ජා හිතෙනවා අනේ. ඒ වුනාට මම දන්නවා හුඟ දෙනෙක් මේ කතාවලට කැමතියි කියලා. බ්ලොග් ලියන කියවන ගෑණු ළමයිනුත් ඉන්න නිසා, බොහොම පරිස්සම් වෙන්න ඕනේ. මොකද දන්නවද? එයාලට මේ කතා තේරෙන්නේ නැති වුනාම අහන ප්‍රශ්න වලට උත්තර දීම, බොහොම අමාරුයි. (හරි හරි, ඔයාට එයාලා ගෑණු ළමයි නොවුනට, මටනම් එයාලා තවම ගෑණු ළමයි) කොහෙද එදා බත්තරමුල්ලේ අවුරුදු උත්සවේදී ටිකකට මයික් එකවත් දුන්නානම්, හොඳ කතන්දර ටිකක් කියන්න තිබුණා. එදා අර පොට්ට කොර කොට්ට පොර ගහන එක විනිශ්චය කරන ගමන්, මම කිව්ව කතා, කාටවත් මතක හිටලා නැති එකත් හොඳයි. ඉතින් අද මේ කියන කතා මගේ නිර්මාණ නෙවෙයි. මම ඔය ජාලයේ අහුමුළුවල රිංගනකොට සහ මගේ හමුදා මිතුරන් ඇසුරෙන් හොයාගත් ඒවා. අම්මපා මම වගේ නොවෙන, ඕනෙම තැනක ඕනෙම එකක් කියන හමුදා මිතුරන් ටික දෙනෙක් එක්ක එන්නද දවසක? හරි හරි, එව්වා පස්සේ බලාගම්මුකෝ. ඔන්න මීට පෙර මේ වගේ කතා ලියනකොට වගේම, අදත් ආදරයෙන් කරුණාවෙන් ඉල්ලන්නේ, වාරණය කරන්න සිදු නොවෙන, අසභ්‍ය වචන රහිත, රසවත් කමෙන්ට් පමණක් ඉදිරිපත් කරන්න කියලයි. මේ කතා සමහරු මීට කලින් අහලත් ඇති. සමහරු ලියලත් ඇති. එහෙනම් මෙන්න කතා ටික.
සාස්තරය
මොකක්ද නෝනගේ නම
විවාහක යාළුවො දෙන්නෙක් ජීවිතය ගැන කතා කර කර ඉන්නවා. එක යාලුවෙක් අනික් යාලුවට කියනවා මෙහෙම. 'මට හරිම ආඩම්බරයි කියන්න මම මගේ නෝනව බඳින්න කලින්, කවදාවත් එයත් එක්ක එකට ඉඳලා නැහැ. ඔයා ඉඳලා තියනවද?' එතකොට අර අනික් යාලුවා උත්තර දෙනවා මෙහෙම. 'මට හරියට මතක නැහැ. කී දෙනෙක් කියලා මතක තියා ගන්නද? මොකක්ද ඔයාගේ නෝනගේ නමේ පලවෙනි කොටස?'
ගිරවා
ඔබද ලක්‍ෂපති
ඔන්න ඉතිං, මේ කියන්න යන සිද්ධිය වුණේ මට කියලා, බොරු කතා හදනවා එහෙම නෙවෙයි හරිද? මට විස්වාසම නැති එකා අර අසමජ්ජාති පත්තරයා. ඕකා තමයි ඔක්කොම කතා හදන්නේ. මෙන්න මේකයි කතාව. ඔබද ලක්ෂපති වැඩසටහන නරඹලා, රූපවාහිනිය වසා දැමූ මැදි වයසේ යුවලක්, නිදාගන්න ගියා. නොයෙක් දේ කතාකරමින් හිටිය දෙන්න ගෙන්, නෝනා, අනික් පැත්ත හැරිලා නිදාගන්න හදනකොට, මහත්තයා කිව්වා, 'පොඩ්ඩක් මේ පැත්තට හැරෙන්නකෝ' කියලා. නෝනා කිව්වා, 'අනේ අනේ මේ, අදනම් මගේ ඇඟට හරි මදි. මට නිදාගන්න ඕනේ' කියලා. මහත්තයා ඇහුවා, 'හරි ඒ ඔයාගේ අවසාන පිළිතුරද?' කියලා. නෝනා 'ඔව්' කිව්වා 'තහවුරු කරන්න' කියලා මහත්තයා කිව්වා. නෝනා කිව්වා, 'තහවුරු කරනවා' කියලා. මහත්තයා කියනවා, 'ඔයා විකල්ප පාවිච්චි කළේ නැතුවට මට කරන්න දෙයක් නැහැ. ඔන්න එහෙනම් මම කෝල් අ ෆ්‍රෙන්ඩ් විකල්පය ගන්නවා' කියලා.
කළකිරීම
ඉතාම කලකිරීමට පත්වූ ස්වාමිපුරුෂයෙක් මනෝවෛද්‍ය වරයකු හම්බවෙන්න ආවා. 'දොස්තර මහත්තයා, මට මගේ ජීවිතේ එපා වෙලයි තියෙන්නේ. මගේ නෝනා මාව සතේකට ගණන් ගන්නේ නැහැ. මම හම්බකරන හැම සතේම වියදම් කරමින් ජොලි කරනවා. හැමදාම ක්ලබ් එකට යනවා. එක එක දවසට එක එක මිනිහා එක්ක හෝටල් ගානේ රවුම් ගහනවා. මේ ගෑනි සිනමා නිලියක් වගේ ලස්සනයි කියලා හැමෝම කියන එක තමයි මේ ගෑනි මෙතරම් නරක්වෙන්න හේතුව. බැරිද මගේ නෝනට මොකක් හරි මනෝවෛද්‍ය ප්‍රතිකර්මයක් කරන්න මාව දාලා නොයන විදිහට' කියලා, ඒ ස්වාමිපුරුෂයා මනෝවෛද්‍යවරයාගෙන් ඇහුවා. මනෝවෛද්‍යවරයා මෙහෙම කිව්වා. 'කලබල වෙන්න එපා, මහත්තයා හිත සන්සුන් කරගන්න. ආනාපාන සතිය වඩන්න. මෛත්‍රී භාවනාව නිතර කරන්න. මට දෙන්න නෝනගේ නමයි, අර නෝනා නිතර යන ක්ලබ් එකේ ලිපිනයයි'.
ඇති නේද? තවත් කතා තියනවා, පස්සේ කියමු. ටටා....................!