මතකයි නේද මීට කලින් මම ලිව්වා, මොබිටෙල් එකෙන් කියලා මට ලැබුණු SMS පණිවිඩයක් ගැන. ඒකට මම අහුවුනේ නැහැනේ. මෙන්න බොලේ ඒ ජාතියේම තවත් සෙල්ලමක්. මේ පාර ඊ මේල් එකක්. කියවලා බලන්නකො ඊ මේල් එක. රූපය උඩ ක්ලික් කරලා විශාල කරලා බලන්න පුළුවන්.
බලන්න මේ ඊමේල් පණිවිඩයේ තිබෙන භාෂා විලාශය. කොහේදෝ යන මළහෝන්තුවක් නේද? මේ ලියන්නේ ගැහැණියක් කියා විශ්වාස කරන්න තරම් අපි මෝඩ වියයුතුද? මෙය ඉතා සැළසුම් සහගතව කරගෙන යන කපටි ව්‍යාපාරයක් බව පැහැදිළිවම පෙනීයනවා. මේවාට බැනලා හෝ පිළිතුරක් යැවීමෙනුත්, විවිධ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා, මේ වගේ ඊ මේල් ගණන් නොගෙන, ස්පෑම් ගොඩට දැමීම තමා බුද්ධිමත්ම ක්‍රියාව.
අප්‍රිකානු රටවල සිට කෙරෙන විවිධාකාර වංචනික කටයුතු මගින්, විවිධ පුද්ගලයන්ගෙන් බැකු ගිණුම් තොරතුරු ලබාගෙන, ඒ ගිණුම් වල ඇති මුදල් සියල්ල ගිලගන්නා කපටි සූත්තර කාරයන් ගැන, මා කොතෙකුත් විස්තර කියවා තිබෙනවා. මේ ඊ මේල් පණිවිඩයේ තිබෙන පරිදි, අයිවරි කෝස්ට් රාජ්‍යය කියන්නේ, මහා දේශපාලන වියවුල් වලින් ගහන, විවිධ කඩාවැටීම් වලට ලක්වූ ආර්ථිකයක් සහිත රටක්. ඔබටත්, සමහරවිට ඔබ දන්නා කියන අයටත්, මෙවැනි පණිවිඩ ලැබී ඇති. මෙවැනි වංචා වලට අසුනොවන මෙන් ඔබ සියලුදෙනා දැනුවත් කරන්නයි මේ කෙටි ලිපිය ඉදිරිපත් කරන්නේ.
2015 ජනවාරි මස 21 වැනි දින 2341 පැය