හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

07 June 2016

තවත් බෝම්බ පුපුරන්නට පෙර.............

   
ශ්‍රී ලංකා යුද හමුදාවට අයත්, කොස්ගම ප්‍රදේශයේ පිහිටි, පතරොම් සහ වෙඩි ද්‍රව්‍ය මධ්‍යම ගබඩාව, (Central Ammunition & Explosive Dump)  පුපුරායාමේ අනතුර හේතුවෙන්, ඉතා සංකීර්ණ තත්වයක් දැන් මතුවී තිබෙනවා. අපේ 'මාජ්ජ' බොහොමයක, මේ සිද්ධිය වූ අවස්ථාවේ සිට අද දක්වා වාර්තා කරන්නේ, මධ්‍යම අවි ගබඩාව Central Armoury) පුපුරා ගිය බවයි. මධ්‍යම අවි ගබඩාව තියෙන්නේ, වෙනම දිහාවක. (නෑ නෑ, ඒ කොහෙද කියලා ඔහෙලට දැනගන්න අවශ්‍ය නැහැ. ඒක පුපුරන්නේ නැහැ. ඒ නිසා බය නැතුව ඉන්නවා හොඳයි.) 

   අපේ රටට, වරින් වර, මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ දීමට සිදුවන්නේ, දේව සාපයක් නිසා යයි, අපේ පැත්තේ වැඩිහිටියකු කියනු අසා, මා මුවින් නොබැන සිටියේ, ඒ ගැන මගේ අදහස් දැක්වීම, තවත් පිපිරීම් මාලාවකට හේතුවනු ඇතැයි සිතුන නිසයි.  

   මේ සිද්ධියට දේශලනය ගෑවෙන එක වලක්වන්න බැහැනේ. දැනටමත් සමහර මාධ්‍ය වල පශ්චාත් (පශ්චාද්?) මරණ පරීක්ෂණ පැවැත්වෙනවා. කපුටෝ හත් දෙනෙක් වමනේ කළ කතා පළවෙනවා. රජය විසින්ම, සියල්ල, ඇත්ත ඇති හැටියෙන් කියනවා නම්, සාවද්‍ය තොරතුරු සහ කටකතා පැතිරීම වැළකෙනවා. අද උදේම, මාධ්‍යවේදීන් පිරිසක්, ගුවනින් ගෙනගොස් සිද්ධිය වූ තැන පෙන්නන්නයි තිබුනේ. (ගොඩබහින්න බැහැ. තවම පුපුරනවා) ඩ්‍රොන් කැමරා වලින්, රූපවාහිනී නාලිකා හොඳ ප්‍රයෝජනයක් අරන් තිබුණා. 

   මාධ්‍ය සාකච්ඡා නම් සතුටුදායක නැහැ. බස්නාහිර ආරක්‍ෂක සේනා ආඥාපති, මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ, සෑහෙන ආතතියකින්, මාධ්‍යවේදීන්ට මුහුණදුන් බව පෙනුනා. ඇත්තෙන්ම, මෙය හමුදාවේ අභිමානය, කීර්තිය, පිලිබඳ අභියෝගාත්මක තත්වයක්. මාධ්‍ය සාකච්ඡා වලට සහභාගිවූ  දේශපාලනඥයන්ද තම වාසියට, තමන්  නොදන්නා විෂයය කරුණු ඇදබෑවා. රුපියල් සීය හිඟන්නලාගේ ගොම්මන්පිල උන්නාන්සේත්, කැබ් හැප්පෙනගේ මං අමද්‍යප හේරත් උන්නාන්සේත්,  පසුපසට ගාමී එකේ නොපුබුදු උන්නාන්සේත්, කිව්වේ, මෙතන තිබුනේ අවි ගබඩාවක් කියලයි. අගමැති උන්නාන්සේත් එතරම් චිත්ත ධෛර්යයකින් කතාකරපු බවක් පෙනුනේ නැහැ.  ඔය අල්ල පනල්ලේ, වෙබ් අඩවි වලින්, පශ්ම පශ්චාද් මරණ පරීක්‍ෂණ තියලා. මේ බලන්න. 



   (මුණ්ඩ/පුණ්ඩ) ගබඩා කිරීම ගැන දන්නා මේ විසේස අඥයා, පරචිත්ත විජානන ඥානය ඇත්තෙකු විය යුතුය. එහෙම නැත්නම් කොහොමද, මේ සිද්ධිය ගැන පරීක්ෂණයක් නොකොට, වෙනත් රටක සිට මෙහෙම මතවාද පතුරවන්නේ? උන්නැහේට එක්කෝ මෙව්වා දිවැසින් පෙනෙනවා වියයුතුය.

   ලෝකයේ ඕනෑම හමුදා අවි/පතරොම් ගබඩාවක්, සතුරන්ගේ අතට පත්වීම වැලැක්වීම සඳහා, එවැනි සතුරු ආක්‍රමණයකදී, පුපුරවා හරිනවාලු. ඇත්තය. නමුත් එය කරන්නේ, මේ ගබඩාව හදන ගමන් එවැනි ඇටවීමක් සවි කිරීමෙන් නොවෙයි. හොඳ පුහුණුවක් සහිත, යුද හමුදා ඉංජිනේරු රෙජිමේන්තු සාමාජිකයන් කීපදෙනෙකුට, එය සුළු වෙලාවකින් කලහැකිය. කරන්නේ අවසාන මොහොත එළඹෙන බව දැනුනොත් පමණයි. 

  අපොයි අර විසේස අඥයා දන්නා දේවල් හැබෑට. 

මෙන්න ඊළඟ එක.



   මේක දෙවන අවි ගබඩාවලු. මොනවා දෙවන ද? සතුට දෙවන ද, දුක දෙවන ද? එහෙම නැත්නම් දෙවැනි ගබඩාවද? ඒත් ඉතින් මේ වාර්තාවේ කියන්නේ, අවි ගබඩාව කියලනේ. ඒවා යකඩ ගොඩවල්නේ, කොහොමද ඒවා පුපුරන්නේ? 

   මේ කඳවුර භාරව ඉන්නේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉලෙක්ට්‍රොනික හා යාන්ත්‍රික බලකාය කියා, මේ වාර්තාවේ තිබේ. අපේ යුද හමුදාවට, 'ඉලෙක්ට්‍රොනික සහ යාන්ත්‍රික බලකාය' නමින් අලුත් බලකායක් තිබෙන බව, මා දැනගත්තේ, අද මේ වාර්තාව කියවීමෙන් පසුවය. මොකාද දන්නේ නෑ ඔය අලුත් බලකාය පිහිටෙව්වේ? සමහරවිට, ඔතන අල්ලපු වැටේ ඉන්න, අපේ දිනේෂ් ගුණවර්ධන ගරු මන්ත්‍රීතුමා වෙන්ඩෑ. 

   අපි දන්නා විදිහට නම්, යුද හමුදාවට අයත් අවි සහ වෙඩි ද්‍රව්‍ය, නිල ඇඳුම්, සියලුම උපකරණ, කාර්යාල අවශ්‍යතා, ගෙන්වීම, ගබඩා කිරීම, බෙදා හැරීම, භාරව සිටින්නේ, ශ්‍රී ලංකා යුද හමුදා යුද්ධෝපකරණ බලකායයි. කොස්ගම ගබඩාව පාලනය කලෙත්, ඒ බලකායෙනි. එහෙනම් අනුමානයක් නෑ, උන්ව එතනින් එලවලා, තමන්ට අයිති නැති ජොබ් එකක් කරපු, මේ අලුත් බලකාය තමා, කොස්ගම වැඩේ කන්න ඇත්තේ. අනේ අනේ නන්නානේ.

   උණ්ඩ ගබඩාවක් ගිනිගත්විට මිනිසුන් රහිත ප්‍රදේශයක නම්, ඒ මතට ගුවනින් බෝම්බ හෙලා, සියලු පිපිරුම් ඉක්මනින් අවසන් කලහැකිය. කොස්ගම ඒ වැඩේ කරන්නට නොහැකිය. 

මෙන්න තවත් වාර්තා.






  ඇයි දෙයියනේ, හමුදා කඳවුරක පතරොම් ගබඩාව හදිසියේ පුපුරා ගියාම, ඒ වගකීම, අනිවාර්යයෙන්ම එන්නේ, හමුදාවට නෙවෙයි නම්, කොස්ගම ග්‍රාම නිලධාරි තුමාට හෝ, පවුල් සෞඛ්‍ය නිලධාරිනියට නෙවෙයිනේ. දේශපාලන විපරීත භාවයෙන්, මොළ කොලොප්පන් රෝගය උත්සන්න වූ උන්නැහේලා, මේ වගේ විහිලු මෙවැනි අවස්ථා වල කරන එකයි දුක.  ඒ මදිවට කියනවා, LTTE එක කොස්ගමට ගැහුවනම් මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ? දෙගොල්ලෝ ගහගනියි. දක්ෂයා දිනයි. ආයේ වෙන මොකක්ද? 

   පොහ්, මේ අඩවි වල ඉන්න ආරක්‍ෂක විශේෂඥ වාර්තාකාරයෝ ගැන, ඇමරිකාවේ පෙන්ටගනය එහෙම දැනගත්තොත්, උන්ට පෙන්ටගනයේ විශේෂඥ ජොබ් දෙන්න, ඔබාමා මාමා විසින්ම එයාර් බස් A 320 යානයක් පදවාගෙන, මේ රටට එනවා සිකුරුය. බලන්න, යුද්ධයට බයේ, වාලධිය දෙපරැන්ද අස්සේ ගසාගෙන සිටි මේ විශේෂඥ මහත්තුරු, අර යුද්ධය පැවති කාලයේ එලියට බැස්සානම්, අපිට ඒරොප්පෙටත් වැඩක් දෙන්න තිබුනේය. කැනඩාවේ කොටි ඩයස්පෝරාව, පෝර බෑග් වලට දමා, දඹුල්ලේ එළවලු ගොවීන්ට දෙන්න තිබුනේය. ඔහොමය මෙහෙමය. 



  කොස්ගම කඳවුර හමුදාවේ සුවිශේෂ කඳවුරක්ලු. මොකක්ද සුවිශේෂත්වය කියා කියන්නේ නැත. සුවිශේෂත්වය, මෙතන මුලින්ම තිබුණු ශ්‍රී ලංකා යුද හමුදා භටකාර්ය සම්පාදන හා අණදීමේ මූලස්ථානයද? (Logistic Command) ඉන්පසු පිහිටවූ, මධ්‍යම අවි ගබඩාව ද? ඊට සමගාමීව පිහිටවූ, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය ද? ඊටත් පසුව, අවි ගබඩාව ඉවත්කොට පිහිටවූ, වෙඩි ද්‍රව්‍ය ගබඩාවද? මෙතනින් සහමුලින් ඉවත් කරන්නට සැලසුම්කර තිබුනේ, වෙඩි ද්‍රව්‍ය ගබඩාවයි. ඒ බව, අද පැවති මාධ්‍ය හමුවේදී, බස්නාහිර ආඥාපති වරයා ප්‍රකාශ කළා. එතනින් එහාට මේ වාර්තාව දේශලන උපකල්පන මත ලියවී ඇති බැවින් විහිලු සහගතය. එමෙන්ම සිකේ පුංහල වලින් ලියා ඇත. (උදාහරණ:-  අහම්බුව, අවධානම්, විධිවිදාන, ස්රුජු,)

   හොඳයි. මේ විසූක දස්සන දිගේ ගියා දැන් ඇති නේද? දැන් අපි ටිකක් යථාර්ථවාදීව මේ ගැන බලමුද? මේ සිද්ධියට යුද හමුදාව සම්පූර්නයෙන් වගකිව යුතුයි. ඒකෙ දෙකක් නැත. හමුදාවේ බස්නාහිර ආඥාපති වරයා, තම ආඥාපති පත්වීමෙන්, ඉල්ලා අස්විය යුතුය. මේ ගැන යුද හමුදාපති වරයා හැකි ඉක්මනින්, ප්‍රකාශයක් කලයුතු අතර, ආරක්ෂක ලේකම් වරයා මගින්, සේනාධිනායක ජනාධිපතිවරයාට, සවිස්තර වාර්තාවක් සැපයිය යුතුය.  මේ කඳවුරු භූමිය ගැන, සතුටුදායක අවබෝධයක් ඇති පුද්ගලයකු ලෙස, මා නිර්දේශ කරන්නේ, මෙම භූමිය කිසිසේත්, පතරොම්/අවි ආයුධ ගබඩා කිරීමට නුසුදුසු බවයි. 

හේතු:-

1. මෙය ප්‍රධාන මාර්ගයකට යාබදව සහ සීඝ්‍රයෙන් වර්ධනය වන ජනාවාස සංකීර්ණයකට මැදිව පවතී. 

2. අවට උස්බිම් වල සිට පහසුවෙන් කඳවුරු භූමිය නිරීක්‍ෂණය කළහැකිය.

3. පිපිරුමක් ඇතිවුනොත් කොතරම් භයානකද යන්න දැනටමත් ඔප්පුවී තිබේ. 

   එබැවින් මා නිර්දේශ කරන්නේ, හදිසි අවස්වථාකදී යෙදවිය හැකි, යුද හමුදා බලඇණි දෙකක් පමණ, මේ භූමියේ රඳවා තැබීම පමණක් සුදුසු බවයි. එහෙම නැත්නම්, අර උඩවලවේ තියන, වාහන අලුත්වැඩියා කරන හමුදා වැඩපොළ, මෙතනට ගේන්නකෝ.

   මේ ස්ථානයේ තිබුන, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය පමණක් මෙහි තිබුනේ නම්, වඩාත්ම යෝග්‍යය. මේ පිපිරුමෙන්, එම මූලස්නථාය සම්පූර්ණයෙන් වැනසී තිබේ. ජීවිත හානි අවම වුවද, සමස්ත ස්වේච්ඡා බලසේනාවේ අතීතය, වර්තමානය, කැටිකොටගත් සියලු ලිපිලේඛන, සමරු සටහන්, අධි ලේඛන, නැවත සැකසීමට හැකි නොවනු ඇත. ඒ හැමටම වඩා, සියලු ස්වේච්ඡා හමුදා සාමාජිකයන්ගේ, පෞද්ගලික ලිපිගොණු විනාශවී ඇත්නම්, එය ඉතා බරපතල තත්වයකි. සමස්ත ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාව, 1983 වර්ෂයේ සිට, මේ දක්වා නොකඩවා සක්‍රිය සේවයේ යෙදී සිටී. ඊට පෙර සක්‍රිය සේවයේ සිටියේ, ස්වේච්ඡා බලසේනාවේ තෝරාගත් ඒකක පමණි. 

 හොඳයි, මේ පතරොම් ගබඩා සිද්ධියට මේ තරම් විශාල තැනක් ලැබුනේ ඇයි? 

1. කෙලින්ම ජනජීවිතයට බලපෑ නිසා.

2. කිසිසේත් බලාපොරොත්තු නොවූ ව්‍යසනයක් නිසා. 

3. වලක්වාගත හැකිව තිබුණු ව්‍යසනයක් දැන දැනම වෙන්නට ඉඩහැරියා යයි චෝදනා එල්ලවන නිසා. 

මෙච්චර දෙයක් වෙලත් අපේ අය ඒවා නරඹන්න යන මානසිකත්වයෙන් සිටීම ගැන මම පුදුම වෙන්නේ නැහැ. වැලිඔය ප්‍රදේශයේදී, අපි MBRL ප්‍රහාරක රථය, වෙල් යායක් මැදට අරන් ගියා, LTTE ප්‍රදේශයකට ප්‍රහාරයක් එල්ල කරන්න. ගෑණු, නයිටි පිටින් ළමයි ඉනේ ගහගෙන දුවගෙන ආවා, මල්වෙඩි බලන්න එනවා වගේ. අපේ සැරයන් කෙනෙක් හොඳ වචන ටිකක් කිව්වම ඈතට ගිහින් බලාගෙන හිටියා. 









   කොස්ගම තත්වය දැනගැනීම සඳහා, දන්නා කියන සියලු දෙනාට කතාකළා. දැනට තත්වය ගැන මෙන්න මේ ටිකයි කියන්න තිබෙන්නේ. 

1. විශාල ප්‍රදේශයක් පුරා, වී වැපිරුවා වගේ, බෝම්බ පතරොම් වෙඩි ද්‍රව්‍ය විසිරී තිබෙනවා. එයින් විශාල ප්‍රමාණයක්, නැවත පුපුරායාමේ අවදානමක් තිබෙනවා. 

2. කොළඹ - අවිස්සාවේල්ල පාර මත, විශාල බෝම්බ ගොඩක් විසිරී තිබෙනවා. ඒවා නිකම්ම ඉවත් කරන්න බැහැ. එහෙම කරන්න ගියොත් පුපුරන්න ඉඩ තියනවා. ඒවා නිසි පිළිවෙත අනුව නිෂ්ක්‍රිය කළයුතුයි. ඒ සඳහා සැලකියයුතු කාලයක් ගතවෙනවා. දින කීපයක්.

3. නිවාස මත/තුළ, ගෙවතු වල විසිරී තිබෙන බෝම්බ වලින් මහජනතාවට, විශේෂයෙන් නොදන්නාකම නිසා ඒවා අතපතගන්න යන කුඩා ළමුන්ට, තරුණ අයට, ජීවිත හානි සිදුවීමේ අවදානමක් තිබෙනවා. කුඩා වනරොද වල, පාලු ගෙවතු වල, ඇස නොගැටී තිබෙන බෝම්බ, කාලයක් ගියාට පසුව වුනත්, පිපිරීමේ අවදානම තිබෙනවා. ඒ නිසා, නොදන්නා නාඳුනන කිසිවක් අතපතගාන්නට යාම, මරුවාට අත වැනීමක්. 


මේ පිපිරීම අපේ රටේ පළමුවැනි එකද? 

   අපොයි නැහැ. ඔබ අතරින් ඉතා ස්වල්ප දෙනෙකුට පමණයි මතකයක් ඇත්තේ, මීට පෙර, 2010 වසරේදී, වවුනියාව, වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ පතරොම්  සහ වෙඩි ද්‍රව්‍ය ගබඩාව, දින දෙකක් තිස්සේ, මේ ආකාරයෙන්ම ගිනිගෙන පුපුරා විනාශවූ හැටි. ඒ ගැන මාධ්‍ය වාර්තා පළවුනා. එහිදී සිදුවුනෙත්, අධික උෂ්ණත්වය හේතුවෙන්, වෙඩි ද්‍රව්‍ය වලට ගිනි ඇවිලී විනාශවීමයි. වවුනියාව නගරයේ කොටසක ජනතාව ඉවත් කරන්නටත් සිදුවුනා.

   1999 වර්ෂයේදී වවුනියාවට උතුරෙන් පිහිටි තාණ්ඩිකුලම් නමැති ප්‍රදේශයේ පිහිටුවා තිබුණු අපේ හමුදාවේ අවි ගබඩාවකට LTTE කාලතුවක්කු ප්‍රහාරයක් එල්ලවුනා. එම ගබඩාවත් දිනක් දෙකක් තිස්සේ පුපුරා ගියා. 

   ඔය කොස්ගම ගබඩාව වගේ දහ ගුණයකටත් වඩා විශාල, පතරොම් සහ වෙඩි ද්‍රව්‍ය ගබඩාවක්, ඉස්සර කොළඹ තිබුණා. දන්නවද කොහෙද තිබුනේ කියලා? ගාලු මුවදොර පිටිය යට. එය තමයි, ඒ කාලේ යුද හමුදා පතරොම් ගබඩාව. සුද්දගේ කාලයේ එකක්. පැරණි යුද හමුදා මූලස්ථානයෙන් තමයි, ඇතුළුවන දොරටුව තිබුනේ. ඔබෙන් කාටහරි ගාලු මුවදොර පිටියේ අතීතය මතක නම්, ඉස්සර එහි තිබුණා, පොළොවෙන් අඩි කීපයක් ඉහලට එසවුණු වායු කුටීර. එයින් අර ගබඩාවේ වාතාශ්‍රය පවත්වා ගත්තා. මා එකම එක වරක් ඒ ගබඩාවට ගොස් තිබෙනවා. හඃ හඃ, අද එහෙම තිබිලා පිපිරුවානම් කොහොමද වැඩේ? 


මේ විදිහට පතරොම් ගබඩා පිපිරීමේ ලෙඩේ මේ අපේ රටට විතරක් තියන දෙයක්ද? 

   අපොයි නැහැ. මේ ලෙඩේ ලෝකය පුරාම තිබෙනවා. යුද්ධ තිබෙනතාක් කල්, අනාරක්‍ෂිත ගබඩා තිබෙනතාක් කල්, ආරක්ෂිතව තිබෙන ගබඩා නිසිපරිදි කළමනාකරණය සහ නඩත්තු කිරීම නොකරනතාක් කල්, මේ ලෙඩේ තියනවා. 




මේ ගබඩා ආරක්‍ෂිතව හදන්න ක්‍රමයක් නැද්ද? 

   අපොයි තියනවා. මෙව්වා මේ වී ගබඩා හදනවා වගේ හදන්න බැහැ. ඒ සඳහා ජාත්‍යන්තරව පිළිගන්නා ක්‍රමවේදයන් තියනවා. අපේ හමුදාවේ යුද්ධෝපකරණ බලකායේ නිලධාරීන්, පිටරටවල ගිහින්, ඒ ගැන විශේෂඥ පුහුණුවක් ලබනවා, කාලීනව. පුහුණුව ලැබුවට පස්සේ ඒ අයව හඳුන්වන්නේ, Ammunition Technical Officer = ATO කියලා. ඒ අය තමයි යුද බිමේ තියන ගබඩා පාලනය කරන්නේ සහ හමුදා ඒකක වල තියන කුඩා පරිමාන ගබඩා ඉදිකිරීම, පවත්වාගැනීම, නඩත්තුව ගැන උපදෙස් දෙන්නේ. මේවා ඉදිකරන ආකාරය ගැන අන්තර්ජාලයෙන් බලන්නත් පුළුවන්. 


   පතරොම් සහ වෙඩි ද්‍රව්‍ය ගබඩා කිරීමේ සම්මත සැලසුම් තිබෙනවා. ඒවා අනුගමනය කරමින් කටයුතු කිරීම ඉතා වැදගත්. 




   වැඩ අවසන් කලාට පස්සේ පෙනෙන්නේ මෙහෙමයි. බලන්න, මෙය පොලොව යට නෙවෙයි තියෙන්නේ. මෙවැනි ගබඩාවක තබන්නේ, න්‍යෂ්ටික අවි නොවන, මිසයිල් නොවන, පුපුරන ද්‍රව්‍ය. 


මේ තියෙන්නේ එවැනි ගබඩා සංකීර්ණයක් 




මේවා ඇතුලේ කොහොමද බඩු තියලා තියෙන්නේ?

මෙන්න මෙහෙම තමා තියෙන්නේ.ඔය පහළ තියන පින්තූරයෙන් පෙන්නන 'කෙහෙල් මුව' තමා දැන් කොස්ගම පුරාම විසිරිලා තියෙන්නේ. 


ඉතිං අප්පච්චියේ මේ මගුලෙන් ගැලවෙන ක්‍රමයක් නැද්ද? 

තියනවා තියනවා. 

   මේ ගබඩා හැකි ඉක්මනින් ජන ශූන්‍ය ප්‍රදේශ වලට ගෙනයා යුතුයි. අරයකා අර විල්පත්තුවේ බලෙන් අල්ලගත්ත ඉඩම් වල මේ ගබඩා හැදුවනම් ඉවරයි වැඩේ. නැද්ද මං අහන්නේ. 

  අනවශ්‍ය (කල් ඉකුත්වූ/කල් ඉකුත්වන, දැනට අපි පාවිච්චි කරන අවි වලට නොගැලපෙන) වෙඩි ද්‍රව්‍ය විනාශ කළයුතුයි. 

  ත්‍රිවිධ හමුදාවේ වෙඩි ද්‍රව්‍ය ගබඩා ඉදිකිරීම, පාලනය, කළමනාකරණය, හමුදා පොතේ තිබෙන අදාළ නීති රෙගුලාසි, අකුරට පිළිපදිමින්, කලයුතු අතර ඒ ගැන ඉතා දැඩි විනයක් පවත්වාගත යුතුයි. 

   විශේෂ ව්‍යාපෘතියක් සේ සලකා, කඩිනම් සැලැස්මක් යටතේ, ත්‍රිවිධ හමුදාවේ සෑම වෙඩි ද්‍රව්‍ය ගබදාවක්ම දැඩිව පරීක්‍ෂා කොට, කෙටි කාලීන ආරක්‍ෂක පියවර වහාම ගතයුතුයි. 

   ඉතිං...........තවත් බෝම්බ පුපුරන්නට පෙර, කලයුතු දේ බොහොමයි. 

2016 ජූනි මස 06 වැනි දින 2342 පැය 

04 June 2016

Yes Yes, It's weekend

I can't imagine how you all got along without knowing all of these little known facts , but I just had to pass them along.  By the way.  I'm selling my house and moving to Guam. 
    In Lebanon, men are legally allowed to have sex with animals, but the animals must be female. Having sexual relations with a male animal is punishable by death.
(Like THAT makes sense.)





    In Bahrain, a male doctor may legally examine a woman's genitals, but is prohibited from looking directly at them during the examination. He may only see their reflection in a mirror.
 (Do they look different reversed?)


Muslims are banned from looking at the genitals of a corpse. This also applies to undertakers. The sex organs of the deceased must be covered with a brick or piece of wood at all times.
(A brick?)
The penalty for masturbation in Indonesia is decapitation. (Glad I don't live in Indonesia!)
(Much worse than 'going blind!')
    There are men in Guam whose full-time job is to travel the countryside and deflower young virgins, who pay them for the privilege of having sex for the first time.
Reason: Under Guam law, it is expressly forbidden for virgins to marry.
(Let's just think for a minute: Is there any job anywhere else in the world that even comes close to this?)

In Hong Kong, a betrayed wife is legally allowed to kill her adulterous husband, but may only do so with her bare hands.
The husband's illicit lover, on the other hand, may be killed in any manner desired.
(Ah! Justice!)
Topless saleswomen are legal in Liverpool, England - but only in tropical fish stores.
(But of course!)
    In Cali, Colombia, a woman may only have sex with her husband, and the first time this happens, her mother must be in the room to witness the act.
(Makes one shudder at the thought.)

In Santa Cruz, Bolivia, it is illegal for a man to have sex with a woman and her daughter at the same time.
(I presume this was a big enough problem that they had to pass this law?)
In Maryland, it is illegal to sell condoms from vending machines with one exception: Condoms may be dispensed from a vending machine only in places where alcoholic beverages are sold for consumption on the premises.'
(Is this a great country or what?)
Well,...not as great as Guam!

Banging your head against a wall uses 150 calories an hour.
(Who volunteers for these tests?)

The Ant can lift 50 times its own weight, can pull 30 times its own weight and always falls over on its right side when intoxicated.
(From drinking little bottles of???)

(Did our Government pay for this research??)
Butterflies taste with their feet.
(Ah, geez.)
An Ostrich's eye is bigger than its brain.
(I know some people like that.)
 Starfish don't have brains.
 (I know some people like that, too.)

And, the best for last?
Turtles can breathe through their ass.
(And I thought I had bad breath in the morning!)
Thank you all for reading this.

If you need to reach me in the future, I will be

In Guam!!!!!!

31 May 2016

පින්තූර බලා යමක් ලියන්න

අභ්‍යාසය:- එක් එක් පින්තූරය හොඳින් නිරීක්‍ෂණය කරනු. ඉන්පසු ඒ ගැන සිතෙන දේ ලියනු.




























2016 මැයි මස 30 වැනි දින 2311 පැය 

23 May 2016

සේවිං ප්‍රයිවෙට් කොම්පියුටර්, වැස්ස, ගංවතුර, නාය සමග ලටපට

   අවසාන වරට බ්ලොග් ලිපියක් ලිව්වේ මැයි මාසේ 11 වෙනිදා. මට දැනෙන්නේ මාසයක් විතර ගියා වගේ. ඒ වගේමයි, බ්ලොග් ලියන සමහර අයට දැනුනද දන්නේ නැහැ, මගේ කමෙන්ට්ස් වැටෙන්නේ නැති බව. අමාරුවෙන් කමෙන්ට්ස් එකක් දෙකක්  දැම්මා, බොහොම දුක් විඳගෙන. මෙන්න මේකයි වෙච්චි සංගෙදිය. මැයි 15 - 16 වගේ දවසක, මට දැනෙන්ඩ පෙනෙන්ඩ පටන්ගත්තා, කොම්පියුටර් ඇන්ජිම, අසාමාන්‍ය විදිහට මන්දගාමී වෙලා කියලා. ඒ වගේමයි, ජාලයට සම්බන්ධ වෙලා, ටැබවල් දෙකතුනක් විරිත්ත විවුරුත කොරපු ගමන්, ඒ ටැබවල් නිකම්ම නිකං පුහු වෙනවා, මෙන්න මේවගේ.




   ඉන්ටර්නෙට් කොනෙක්සොන් නෑ කියන්නේ කොහොමද යකෝ? රවුටර් උන්නාන්සේ නිවි නිවී පත්තුවෙනවා එකසිය ගාණට. මගේ අති විශිෂ්ඨ, උත්කෘෂ්ඨ, පාපිෂ්ඨ, පාපිස්ස නික්ලිෂ්ඨ, ධර්මිෂ්ඨ, ඥානයට වැටහුණා, මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා, අනුමානයක් නැතුව වෙලා තියෙන්නේ, පිනිබෑම නිසා, කොම්පියුටර් ඇන්ජිමට වෛරස් උණක් වැළඳීලාය, උණ වැඩිවීම හේතුවෙන් වලිප්පුව හැදිලාය, ඒ නිසා එකම බෙහෙත, 'ෆෝමැට් කසාය' පත අට එකට සිඳ ලබාදීමය කියලා. හෙහ් හෙහ්, බෙහෙත් දන්නා නිසා හොඳයි. 

   ඔන්න දුන්නා, ජනෙල් අටකුත් දසම එකක් හිටින්න. හෑ.............ඉන්ස් එක ටෝල් වුනාට රීගෙන ඉස්ටාට් වෙන්නේ නෑ. මොකද්ද බොල ඒ ජංජාලේ කියලා බැලුවා. ම්හු, නෝ ඉස්ටාට්. දන්නා සිල්ප දාලා බැලුවා ම්හු. හරි හරි, ජනෙල් අට සැර මදි වගේ. හිටුකො එහෙනං කියලා දුන්නා, ජනෙල් දහය x 64 එකෙන්ම. මීට ඉස්සර, ජනෙල් දහය හොඳට පත්තියම් වුනා, මේ ඇන්ජිමට. කොහෙද ඒ සැරෙත් ඉස්ටාට් වෙන තැනට ඇවිත් කැරකෙනවා විතරයි. එයින් එහාට යන්නේ නෑ. මොකෑ කරන්නේ. බරපතල පුරස්නයක්. මං සෑහෙන වෙලාවක් කල්පනාව බාජනේකට දාගෙන හිටියා. 





  කොම්පියුටර් කට්ටත් දැන් මම වගේම මහලුයි. දැනට මේ විශ්වයේ කොහෙවත් නිෂ්පාදනය කරන්නේ නැති, මදර් පුවරුවක් හෙවත්, මව් බෝඩ් එකක් හෙවත්, අම්මා ලෑල්ලක් සහ, මජ්ජිම කැසකුම් සැකසුම් ඒකකයක් තමා, මේ කොම්පියුටර් ඇන්ජිමේ තියෙන්නේ. හැබැයි ක්ෂණික මතකය නම් තියනවා, 4 GB DDR 2. 


'අම්මා ලෑල්ල' මෙන්න. 




මජ්ජිම සැකසුම් ඒකකය මෙන්න 


   හරි හරි, ඔන්න මගේ සිඟිති මොලේට වැටහෙනවා දැන්, අම්මා ලෑල්ලේ තමා බූත දෝසය තියෙන්නේ. වෙන ලෑල්ලක් ඇන්න හයිකොරානම්, වැඩේ ගොඩ කියලා. වහාම ඇන්ජිම කාරෙකේ පටවාගෙන, කුරුණෑගල නගරයේ, කොම්පීතර ඇන්ජින් කඩයක් පවත්වාගෙන යන, මගේ මිත්තරයකු සොයා ගියෙමි. අපුච්චේ...........මහත්තයෝ, මේකට අම්මා ලෑල්ලක් හොයන්න අඟහරු ලෝකෙට යන්න වෙනවා. පරණ එකක් දාලා බලමු. මා ළඟ තියනවා වැඩකරන එකක් කියලා, ඔන්න සෑහෙන්න මහන්සියකින් දැම්මා ඒ අලුත් (පරණ) ලෑල්ල. මොන විකාරද, ලෙඩේ ඒ විදිහමයි. ජනෙල් 10 සැර වැඩියි කියලා, දැම්මා seX Pee, අනේ........ලෙඩේ ඒ විදිහමයි.  ඉතිං‍ මොකේදැයි දන් වළඳන්නේ කියලා, අරුන්නැහෙත් කල්පොනා කොළා.

  මං හිතන්නේ මජ්ජිම සැකසුම හුඟක් රත්වෙනවා වගේ, අපි ගලවලා බලමු කියලා, ගැලෙව්වා. බුදු අප්පොච්චියේ................. එතන තියන පංකාවට යටින් තියන, තාපය ගිල්ලවන ඇලුමිනියං පෙති කට්ටලය, වැසිකිළි වලක් වගේ. දූවිලි හත්තට්ටුවක් බැඳිලා ගල්වෙලා. ඔක්කොම සුද්ද කරා සුපිරියටම. (තමුන්නැහේලාත් 'ඩැස්ටොක් කොම්පීතර' පාවිච්චි කොරනවා නම්, අවුරුද්දකට වතාවක් වත්, ඔය වැසිකිළි වල පිරිසිදු කොරනවා හොඳයි) 


   ආපහු හයි කොළා. මොන විකාරද? ලෙඩේ එහෙමමයි. ඒ පාර මම කිව්වා, අර බලන්න පංකාව කැරකෙන වේගය මදි වගේ. අලුත් එකක් ගහලා බලමු කියලා. අලුත් එකක් දැම්මා. මොන විකාරද? ලෙඩේ එහෙමමයි. ඔන්න දැන් තමයි, 'සැටප් පොරෝගිරෑම්' එකේ ගිහින් බලන්න හිතුනේ, මජ්ජිම සැකසුම් ඒකකයේ, ඌ ඌ ඌෂ්ණත්වය කොහොමද කියලා. අපොයි 64 යි. එච්චර තියෙද්දී, කීයටවත් රීස්ටාට් වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම තියෙන්න ඕනේ. 


   ඔන්න ලෙඩේ අහුවුණා. ඉතිං දැන් හොයපන්කෝ අලුත් එකක්.  ඒක හීනයක් විතරයි. කඩෙන්ම හොයාගත්තා පරණ එකක්. core 2 duo 1.8 Ghz එකක්. LGA 775 සොකට් එකට ගැලපෙන මොන මළදානයක් හරි කමක් නෑ. දැන්නං ඇන්ජිම සෑහෙන තරම් සතුටුදායක වේගයකින් තියනවා. නමුත් තවමත් ජාලයෙදී ටැබ් පහක් හයක් විවෘත කළාම, ප්‍රශ්න එනවා. google images වලට ගියාමත්, බොහොම හෙමින් වැඩකරන්නේ. CPU Heat එක අංශක 31 විතර තියෙන්නේ. දැන් ඉතිං අලුත් ඇන්ජිමක් ගන්න කාලය හරි. නමුත් කාටද දෙයියෝ සල්ලි තියෙන්නේ? (Core i3 Processor 16500/-, Motherboard (cheap brand) 8000/-,  4 GB DDR 3 RAM 4000/-) 

අනේ අපේ ආපදා කළමනාකොරණය
   මහා වැස්සක් ආවා, ගංවතුර ගැලුවා, නාය ගියා, මිනිස්සු මැරුණා, මෘත ශරීර හමුවූ ප්‍රමාණය සහ අතුරුදහන් ප්‍රමාණය එකතු කළාම 200 ඉක්මවනවා. අවතැන් වූවන්ගේ ප්‍රමාණය ලක්ෂ තුනහමාරක් පමණ වෙනවා. සරණාගත කඳවුරු 100 කර ආසන්න ගණනක් විවෘතව තිබෙනවා. සැබවින්ම ජාතික ආපදා සහ ව්‍යසන තත්වයක්. මේ තත්වය කලමනාකරණය කෙරෙන ආකාරය ගැන සෑහීමකට පත්වන්නට නොහැකි බව විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ (ඒවායේ වැඩකරන මාධ්‍ය කුක්කන් සහ කික්කියන් කියන ආකාරයට මාධ්‍ය හරහා නෙවෙයි) වාර්තා වෙනවා. රාජ්‍ය ආපදා කළමනාකරණ යාන්ත්‍රනය ශක්තිමත්/කාර්යක්‍ෂම/සැලසුම් සහගත/අවස්ථාවෝචිත/ නොවන බවට චෝදනා නැගෙනවා. මේ ගැන විමසීමක් කරන්න හිතුනේ ඒ නිසයි. 

1. පෙර සූදානම  

   පෙර සූදානම අතිශයින් කණගාටුදායක බව නොකියාම බැරිය. පෙර සූදානම කියන්නේ මොකක්ද කියා දන්නවාදැයි සැක හිතෙනවා. අපි සුනාමි ආරක්‍ෂක හා අනතුරු ඇඟවීම්, වැඩපිළිවෙලකට බැස්සේ, සුනාමි අත්දැකීමෙන් පස්සේ. ඒ ගැන වරදක් කියන්න බැහැ. හේතුව, ඊට පෙර කවදාවත් අපි, සුනාමියකට මුහුණ දී නොතිබීමයි. නමුත්, නාය යෑම්, ගංවතුර, කල් තබා දැනගන්නා සුළි සුළං තත්වය, අනාදිමත් කාලයක සිට අපි අත්විඳින සංසිද්ධි ලෙස හඳුන්වන්න පුළුවන්. මෙවරත්, කල්තබා කෙරෙන අනතුරු ඇඟවීම් තිබුණා. මහජනතාව මෙන්ම ආපදා කළමනාකරණ අංශ වලත් සතුටුදායක පෙර සූදානමක සිටි බවත් පෙනුනේ නැහැ. 

   මහජනතාවගේ ක්‍රියාකාරකම් පැත්තෙන් බැලුවොත්, අන්තිම මොහොත වනතුරු කිසිදු ආරක්ෂක පියවරක් නොගත් පිරිස ඉතා විශාලයි. ඒ වගේමයි, අපේ රටේ ජනාවාස පිහිටුවාගැනීමේ දී, ස්වයං නිර්ණය මත කටයුතු කිරීමෙන්, නොගැලපෙන ස්ථානවල නිවෙස් ඉදිකිරීම සහ, අනවසර ඉදිකිරීම් නිසා සිදුවන පරිසරහානි හේතුවෙන්, ස්වභාවික ජලවහනයට සිදුවන බාධා නිසා පැනනැගුන දුර්විපාක, එවැනි දේ කළ, නොකළ, සියලු දෙනා විඳගත්තා.  

  'ඔය අතනට වතුර ආවට මෙතනට එන එකක් නෑ. ගියපාරත් අතෙන්ට වතුර ඇවිත් පහුවදා බැහැලා ගියා. දවසක් දෙකක් බලමුකෝ' 

   ඔය කන්ද නාය යන්නේ නෑ බං. එහෙනං සිරීපාද කන්දත් නාය යන්න ඕනේ. ඔය පොඩි පොඩි වතුර පාරවල් ආවට නාය යන්නේ නෑ. තව දවසක් දෙකක් බලමුකෝ' 

   සෑහෙන පිරිසක් හිටියේ ඔන්න ඔය ප්‍රතිපත්තියේ. මේ කම්මැලි, අති පණ්ඩිත, අලස, මන්දෝත්සාහී බව, අපේ ජාතික ලක්‍ෂණයක්දැයි කියා සිතෙන අවස්ථා බොහොමයි. 

   සාමාන්‍යයෙන් කිසිදු නිවසක එදිනෙදා ආහාරයට අවශ්‍ය ද්‍රව්‍ය තබාගන්නවා මිස, මාස ගණනකට හෝ සති ගණනකට ආහාර ගබඩා කරගන්නේ නැහැ. ඒ සඳහා වත්කමක් කිසිසේත් නැහැ, අතිමහත් බහුතරයකට. නමුත් සැලකිය යුතු පිරිසකට හැකියාව තිබෙනවා, දින 4 - 5 කට සෑහෙන වියලි සලාක ද්‍රව්‍ය ගබඩා කරගන්න. එහෙම හැකියාව ඇති අයත්, එසේ කර නොතිබුන බව පෙනුණා. වියලි සලාක තිබුනත්, ඒවා උයන්නේ තමුසෙගෙ ඔලුව උඩ තියාගෙනද? කියලා අහන අයට දෙන්න තියන පිළිතුර මේකයි. 

   අ. ඔය බඩු ටිකත් අරගෙන කල්තබා වෙනත් ස්ථානයකට යන්න තිබුණා. ගෙදර ආරක්‍ෂාවට එක්කෙනෙක් තියලා, අනික් අය ඈතට ගිහින්, පාර අයිනේ ඉටිරෙද්දක් ගහගෙන, අහල පහල ගෙදරකින් උදව් ඉල්ලගෙන අර වියලි සලාක උයාගෙන කන්න තිබුණා. ගෙදර බලාගන්න කෙනාට ආධාර ලැබෙන ක්‍රම සලස්වන්නත් පහසුයි එතකොට. අදාළ අංශ වලට කියන්න පුළුවන් ඔබටම, අන්න අහවල් තැන අපේ එක්කෙනෙක් ඉන්නවා, එයාට කන්න දෙයක් දෙන්න කියලා. 

   ආ. තට්ටු දෙකේ හෝ ඊටත් වැඩි නිවාස සෑහෙන ගණනක, පහල තට්ටුව ජලයෙන් යටවුනා. ගෙදර තියන ගෑස් ලිප, ඉහල මාලයට ගෙනයන්න උත්සාහ ගත් පිරිස සීමිතයි. නිවසක ඉහල මාලයේත්, ඉවුම් පිහුම් කළහැකි කුඩා ඉඩකඩක් kitchenette තබාගත යුතු බව, මේ ගංවතුරෙන් පස්සෙවත් හිතලා බලන්න.  

  සොරසතුරු බිය නිසා නිවෙස් අතහැරදා නොගිය අය අපා දුකක් වින්දා/විඳිනවා. ඒ සඳහා පොලීසිය ආරක්‍ෂක අංශ යොදවා, මහජනතාව තුළ 'අපි හිටියේ නැතත්, අපේ ගෙවල්, ආරක්ෂක අංශ විසින් බලාගනියි' කියන විශ්වසනීයත්වය ඇතිවන ආකාරයේ වැඩපිළිවෙලක්, මින් ඉදිරියේදීවත් ඇතිකරන්නට අදාළ වගකිවයුත්තන්ගේ අවධානය යොමුවිය යුතුයි. 

   සුනාමි ආරක්‍ෂාවට පුහුණු කළ ආරක්‍ෂක අංශ, ගංවතුර, නාය යෑම්, ආපදා අවස්ථා සඳහා පුහුණු කර නැද්ද? නැත්නම් දැන්ම ඒ පුහුණු වැඩ පිළිවෙල ආරම්භ කලයුතුයි. මා දුටුවා, අරනායක නාය ගිය ස්ථානයේ, සේවයට යොදවා සිටි සමහර යුදහමුදා සෙබළුන්, තම බූට්ස් ගලවා නිරුවත් දෙපයින් වැඩකරන හැටි. හිස්වැසුම් ගලවා වැස්සේ වැඩ කරන හැටි. කෙනෙකු හිතන්න පුළුවන් බූට්ස් මඩේ එරුනම් මඩ යට ඒවා රැඳෙනවා ඇති, කියලා. නමුත් ඇත්ත තත්වය ඒක නෙවෙයි. ඒ සෙබළුන්ට බොහෝවිට ඇත්තේ ඔය බූට්ස් කුට්ටම සහ තව එකක් විතරක් වෙන්න 99% ක් ඉඩ තියනවා. ඉතිං ඒ බූට්ස්වල මඩ තට්ටුවක් ඇලුනම තමන්ම ඕනේ ඒවා පිරිසිදු කරගන්න. බූට්ස් කුට්ටම් දෙකම මඩට ඇන්දම, ඊළඟට මොකද කරන්නේ? නමුත් නිරුවත් දෙපයින් මඩේ ගමන් කිරීමෙන්, බරපතළ තුවාල සිදුවීම් සහ චර්ම ආසාදන ඇතිවීමෙන්, සේවයට සිටින සෙබළුන් ගණන අඩු වෙනවා. ඒවාට වහාම විසඳුම් දෙන්න. නිල ඇඳුම් අමතරව දෙන්න ඕනේ දිනපතා මාරු කරගන්න. වැහිකබා, ආපදා අවස්ථා සඳහා වෙනත් රටවල ආරක්‍ෂක අංශ අඳින විශේෂ ඇඳුම්, මොකවත් නැති බව පෙනුණා. 



   පෙර සූදානමේ වැදගත්ම කොටසක් තමයි, නිවැරදිව හා කාර්යක්‍ෂමව ක්‍රියාකලහැකි කාර්ය සාධක බලකායක් පුහුණුකොට පවත්වාගෙන යාම. මේ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සහ සිවිල් ආරක්‍ෂක බලකාය තමයි ප්‍රධාන වෙන්නේ. නමුත් මේ පුහුණුවේ වැදගත් කොටස් ක්‍රියාත්මක කරවීම සඳහා, ප්‍රාදේශීය ලේකම් වරුන්, විදුලිබල, වාරිමාර්ග, මහාමාර්ග, සෞඛ්‍ය සේවා, අධ්‍යාපන, ආදී මෙකී නොකී රාජ්‍ය සහ පෞද්ගලික අංශවල වගකිවයුතු තනතුරු දරන්නන්ගෙ සහාය අවශ්‍යයි. එබැවින් ඔවුන්ටද මේ පුහුණුව ලබාදිය යුතුයි. 

   ආපදා කළමනාකරණය දැන් සිදුවන ආකාරය ගැන සෑහීමකට පත්වන්න බැහැ. සමහර වගකිවයුතු තනතුරු දරන නිලධාරිනියන් තමන් ගැහැනියක් කියන, ලාංකික සාම්ප්‍රදායක චින්තනයෙන් මිදී ක්‍රියා කිරීමට, පුහුණු කලයුතුයි. සාරිය ඇඳගෙන ගංවතුරේ, නාය ගිය ස්ථානයේ, කටයුතු කරන්න බැරිනම්, ජීන්ස් එකක් ඇඳ වැඩ කිරීමට ඔවුන් සූදානම් වියයුතුයි. එසේ කිරීමට හරස්වන ගොං දෙපාර්තමේන්තු නීති රීති අවලංගු කලයුතුයි. හෙදියන්ට දුෂ්කර ස්ථානයක ගවුම ඇඳගෙන වැඩ කරන්න බැරිනම්, දිග කලිසම සහිත නිල ඇඳුමක් දෙන්න ඕනේ දුෂ්කර තත්වයන් යටතේ අඳින්න. වාහන පදවන්න, පිහිනන්න, පණිවිඩ හුවමාරු යන්ත්‍ර ක්‍රියාකරවන්න, බෝට්ටුවක්/ඔරුවක් පදින්න, ඔවුන්ටත් පුහුණුවක් දියයුතුයි. 

2. ක්‍රියාකාරී සැළැස්ම 

  මේ තරම් නවීන තාක්‍ෂණය, මේ තරම් ජාත්‍යන්තර සහයෝගය තියාගෙන, ආපදා කළමනාකරණය කියා අපි කරන්නේ, පශ්චාද් භාගයට පෙට්‍රල් වැදුන සුනඛයන් මෙන්, හිස් ලූ ලූ අත දිවීමක් පමණකැයි කියා සිතෙන අවස්ථා තිබෙනවා. පාකිස්ථානයෙන් ක්‍ෂේත්‍ර රෝහල් දෙනතුරු, ඉන්දියාවෙන් කූඩාරම් දෙනතුරු, ජපානයෙන් බෙහෙත් ගෙනත් දෙනතුරු, ඇමරිකාවෙන් බ්ලැන්කට් ගෙනත් දෙනතුරු, අපි ක්‍රියාකාරී සැලැස්මක් හදා නොතිබුනේ ඇයි? 

මෙන්න ආදර්ශ සැළැස්මක්

   දිනපතා යාවත්කාලීන වන දත්ත ගබඩාව සහිත ක්‍රියාකාරී පද්ධතිය :- මෙහි තිබෙන්නේ අති නවීන පරිගණක ජාලයකි. මේ මගින් ආපදා කළමනාකරණ ප්‍රධාන මධ්‍යස්ථානය සමග ත්රිවිධ් හමුදා සහ පොලිස් මූලස්ථාන, ප්‍රාදේශීය ත්‍රිවිධ හමුදා කඳවුරු සහ පොලිස් ස්ථාන, සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල, භූ විද්‍යා, කාලගුණ, වාරිමාර්ග, ආදී පරිසරයට ඉඳුරාම සම්බන්ධවන ආයතන සම්බන්ධිතව පවතී. සෑම තත්පරයකම යාවත්කාලීන වන චන්ද්‍රිකා ඡායාරූප සහ කාලගුණික දත්ත හුවමාරුවක් පවත්වාගැනේ. මේ මධ්‍යස්ථාන පිහිටුවිය යුත්තේ, ආපදාවන්ට ලක්නොවන ආරක්‍ෂිත ස්ථානවල, කාලගුණික විපර්යාසවලින් ඇතිවන ප්‍රහාරයන්ට ඔරොත්තු දෙන, විශේෂ ඉදිකිරීම් සැලැස්මක් අනුව සහ, විදුලිය, ජලය, අඛණ්ඩ සැපයීමක් සමග සේවය කරන්නන්ටද, පිටතින් ආධාර රහිතව, යටත්පිරිසෙයින් සති දෙකක්වත් කල්ගතකිරීමට හැකිවන ආකාරයටයි. සේවය කරන්නන්, දැඩි පුහුණුව සහ විනය යටතේ, අභියෝගාත්මක තත්ත්වයන්හිදී, මානසිකව නොවැටී සිටිය හැකි අයවලුන් විය යුතුය. 

   සම්පත් කළමනාකරණය:- හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගන්න සම්පත් කාණ්ඩ කොට, භාරකාරීත්වය, අණදීම, ක්‍රියාකිරීම, බෙදාහැරීම, නඩත්තුව, වැනි කාණ්ඩ යටතේ සූදානම්ව තැබීම. 

 උදාහරණ:- තම ප්‍රදේශයේ බැකෝ යන්ත්‍ර (රාජ්‍ය/පෞද්ගලික) කීයක් තිබේද? කොපමණ වෙලාවකින් ඒවා තම ස්ථානය වෙත ලබාගත හැකිද? සියලු නීති රීති වලට ඉහලින් අණ දී, එම යන්ත්‍ර ප්‍රමුඛත්වය වැඩි ස්ථාන වෙත යොමු කිරීම. තම ප්‍රදේශයේ ගිලන් රථ කීයක් තිබේද? ගිලන් රථ ලෙස පාවිච්චි කළහැකි වාහන කොපමණ තිබේද? බල මෙවලම් කියත් කීයක් තිබේද? ඒ ආකාරයට දිග ලැයිස්තුවක් ලියන්න පුළුවන්. 

   තොග පවත්වාගැනීම:- කූඩාරම්, (මැති ඇමතිවරු එන සංදර්ශන වලට ගහන, අඩි 200ක් විතර දිග කූඩාරම්, ගංවතුරෙන් අනාථ වූවන් වෙනුවෙන් ඉදිනොවෙන්නේ ඇයි?) භූමියේ වැඩ කරන ආයුධ, රෙදිපිළි, සනීපාරක්ෂක භාණ්ඩ සහ ද්‍රව්‍ය,  වතුර පොම්ප, බවුසර්, ගලී එම්ප්ටියර්, ගිනි නිවන උපකරණ, ප්‍රවාහන කටයුතු සඳහා වාහන පවරා ගැනීම, ( ඒ සඳහා පූර්ණ අධිකාරී බලය සහිතව) 

  පෙර පුහුණුව සහ සම්බන්ධීකරණය:-  ආපදා කළමනාකරණ පුහුණුව හමුදා පුහුණුවක් ලෙස දැඩි විනය සහ කැපවීම මත සිදුකල යුතුය. ඒ සඳහා කිසිවකුටත් කිසිදු අතිරේක ගෙවීමක් නොකලයුතු අතර එය අනිවාර්ය පුහුණුවක් වියයුතුය. යටත්පිරිසෙයින් මාස දෙකකට එක් වරක්, පුහුණුව සිදුකලයුතු අතර, එහිදී නිරීක්ෂණය වන අඩුපාඩු මගහරවාගැනීම සඳහා, නැවත නැවත පුහුණුව, සැළසුම්, අන්තර් සහයෝගය, වැඩිදියුණු කලයුතුය. සාමාන්‍ය රාජ්‍ය දෙපාර්තමේන්තුවක් මෙන් ක්‍රියා නොකරන, රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ, හමුදා නීතිය වැනි නීති පද්ධතියකින් ක්‍රියාත්මක වන, ආපදා කළමනාකරණ අංශයක් පවත්වාගතයුතු ය. 

   මට බලයක් ඇත්නම්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, දැනට නිකම් සවුත්තු වෙන, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්කොට, මේ ආපදා කළමනාකරණ ජාතික බලකායේ ප්‍රධානියා ලෙස, පූර්ණ බලතල සහිතව පත්කරමි. ඔහු මේ කාර්යභාරය නොපිරිහෙලා ඉටුකරන බව මට සහතිකය. එසේ  නැතහොත්,  ත්‍රිවිධ හමුදා ප්‍රධාන මාණ්ඩලික Chief of Defence Staff = CDS මෙම බලකායේ ප්‍රධානියා කරමි. 

   මෙව්වා නිකම් වන වනා කරන්න බැහැ. කරපන් කිවොත් කරන්න ඕනේ. දෙපාර්තමේන්තු නීති මෙහෙමයි, චක්‍රලේඛයේ තියෙන්නේ මෙහෙමයි, අතිකාල දීමනා, බටා, අර දීමනා, මේ දීමනා, කතාකරන්න ගියොත්, අර අහිංසක මිනිස්සුන්ගේ පණ යන්නේය. වළලන්නවත් කෙනෙක් නැතුව මිනී කුණුවෙන්නේය. ඒ නිසා, සියල්ලට පෙර, අහිංසක මහජනතාවට ප්‍රමුඛත්වය ලැබිය යුතුය. ඒ නිසා, මේ ආපදා කළමනාකරණය සඳහා, විශේෂ කාර්ය සාධක බලකායක්, විශේෂ පනතකින් පිහිටුවිය යුතු අතර, එය ඉඳුරාම ජනාධිපතිවරයාගේ අධීක්ෂණය සහ අණදීම යටතේ, පාර්ලිමේන්තුවට පමණක් වගකියන ආයතනයක් ලෙස, පවත්වාගත යුතුය. 

   සමහර ප්‍රාදේශීය ලේකම් වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම් වරුන්ට, ලිපියක අනු අත්සනවත් ගහන්න දෙන්නේ නැති තරමට, විශ්වාසය පිරිහී ඇත. උද්ධච්ච කම ඉහවහා ගොස් ඇත. රජයේ කාර්යාල සම්බන්ධ සමහර ප්‍රතිපත්ති කියවා බැලුවොත්, අපිට වෙන්නේ මානසික ප්‍රතිකාර ලබාගන්නටය. දිස්ත්‍රික් ලේකම්ටවත්, හදිස්සියකට, සුපිරි ඉස්කෝලයක ශාලාවක්, සරණාගතයින් රඳවා තබන්නට ගත නොහැකිය. ඒ ඉස්කෝලවල බලය එතරම්ම සුපිරිය. එහෙත් පුංචිත්තෑවේ ඉස්කෝලේ, එවෙලේ ඉගෙනගනිමින් ඉන්න ළමයි එළියට දමා, ඉඩ ලබාගත හැකිය. ඒ ගැන විරුද්ධ වෙන්න කාටවත් බැරිය. 

අවස්ථාවට සුදුසු දේ කිරීම:-  මෙවර ආපදා කලමනාකරනයෙදී ආරම්භක දින කීපය තුළ, කිසිදු සම්බන්ධීකරණයක් හෝ අවස්ථානුකූලව ක්‍රියාකිරීමක් දකින්නට නොලැබුණි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ජලයට යටවීමෙන් පොලිස් ස්ථාන පවා අසරණ විය. කොලොන්නාව වැනි පෙදෙස්වල, බෝට්ටු යන්නට බැරි බවත්, තාප්පවල වැදී බෝට්ටු හානියට පත්වන බවත්, බෝට්ටු එන්ජින් වල (ප්‍රොපෙලරයෙහි) ජලය යට තිබෙන වැල් සහ එවැනි දෑ පැටලීමෙන්, ගමන අඩාල වන බවත්, දැනගන්නට ලැබුණි. හැප්පීමෙන් සහ  වැල් පැටලීමෙන් වන හානියට ඔරොත්තු දෙන්න, මෙන්න මේ වගේ ඩිංගි බෝට්ටු, දැන්වත් ගෙනත් තියාගත්තොත් හොඳයි.  බලන්න මෙහි එන්ජිමත් උසින් අඩුයි. වතුරේ ගැඹුරට එන්ජිම යන්නේ නැහැ. එවිට පැටලීම් අඩුයි. රබර් බඳ, හැපීම් වලට ඔරොත්තු දෙන සුළුයි.



මෙන්න දැන් පාවිච්චි කරන වැරදි බෝට්ටුව 


මේ බෝට්ටුවත් හොඳට ගැලපෙනවා. 





ලටපට 
   අපේ දේශපාලු බම්මන්නන්ගෙන් බොහොමයක්, උගුරට හොරා බෙහෙත් කෑමේ ප්‍රතිපත්තියක්, මේ ජාතික ව්‍යසනය සිදුවූ මුල් දිනකීපය තුළ ගෙනගිය බව, පැහැදිළිව පෙණුනි.  ඔවුන් 'සීන් එකට ඇන්ටර් වුණේ' වැඩේ කුරුවල් වේගන එනවා කියා, වැටහුනාට පසුවය. ආණ්ඩුව ඇතුලේ ඉන්න කල්ලි, යූ ඇන් පී සහ ශ්‍රී ලංකා කල්ලි, ඇමති අර පක්ෂයේ නියෝජ්‍ය ඇමති මේ පක්ෂයේ නිසා, උඹට ඕනෙනම් කරපන් කියා, කර හැරීම් සිදුවන බවත් පෙනුනි. 

    රජය හරියටම වැඩේට අතගැහුවේ, අරනායක නාය යාමෙන් පසුවය. දැන්නම් හොඳයි කියන්න පුළුවන් මට්ටමෙන් වැඩ කටයුතු සිදුවේ. නමුත් ප්‍රමාදවීම ගැන සමාවක් දිය නොහැකිය. 

   ජඩ මාද්දිය ආයතන තම තමන්ගේ ප්‍රතිරූපය පුම්බාගන්න නිර්ලජ්ජි ලෙස ක්‍රියාකිරීම ගැන උන්ගේ මූණට කෙළගහන්න වටින්නේය. අපි විතරයි මිනිස්සුන්ගේ දුක දැක්කේ, අපි විතරයි උදව් කලේ, අපි විතරයි අතෙන්ට ගියේ, මෙතෙන්ට ගියේ කියමින්ද, අසරණ මිනිස්සුන්ට යමක් දී, ඔවුන්ගෙ අසරණකම දඩමීමා කරගනිමින්, ඔවුන් ලවා, තම නාලිකාව ගැන වර්ණනා කරවාගැනීමට තරම් හිඟන තත්වයට, සෑම නාලිකාවක්වක්ම පාහේ වැටීම, ජාතික අභාග්‍යයකි. 

   මාධ්‍ය කුක්කෝ සහ කික්කියෝ කියන විහිලු සිංහල ඇසීමෙන්, අර අහිංසක මිනිසුන් ගැන කම්පා වෙමින් සිටින අතරම, බඩ අල්ලාගෙන හිනාවුනෙමි. එක කුක්කෙක්, දෙමහල් නිවෙස්වල උඩු මහලේ ඉන්න මිනිසුන් පෙන්වා, 'මේගොල්ලෝ මෙහෙම හිටියට හොඳට ගෙවල් දොරවල් යානවාහන තියන, හොඳට කන්න බොන්න තියන අය' කියා වර්ණනාවක් කළේය.  ගංවතුරේදී, තත්වය නම්බුව කියා අටවන්න බම්බුවක් නැති බව, ඒ වෘෂභයා දන්නේ නැත. තවත් වරක් ඒ වෘෂභයා අද මේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ලැබීමට නියමිතයි කියා කිව්වේය. කාලගුණ අංශයෙන් කියන්නේ ලැබිය හැකිය කියලයි. නමුත් වතුරේ පල්වෙමින් හිටි වතුර පල්විස් නම් මොහු, එය විද්‍යාත්මක නියමයක් ලෙස නොවරදවාම සිදුවන දෙයක්ය යන හැඟීම ඇතිවන ආකාරයට ඉදිරිපත් කළේය. තව කික්කියක් කිව්වේ, 'නාය යාම සිදුවුයේ අලුයම එකට පමණයි' යනුවෙනි. ඒ කියන්නේ හරියටම අලුයම එක සනිටුහන් වන තත්පරයේදී පමණක් විදුලි වේගයෙන් නාය ගියේය. එකට තත්පරයක් කලින් හෝ පසුව කිසිවක් සිදුනොවීය කියන තේරුමයි. ඉංගිරිසියෙන් හිතා සිංහලෙන් කියන්න ගියාම ඔහොම කුණුහරප කියවෙයි. ඒ වගේම කුක්කෙක්, 'අපි දැන් මේ පාලම හරහා එගොඩට යනවා' කිව්වේය. අනේ මේ අපි නම් යන්නේ පාලම දිගේය. පාලම ඉදිකර තිබෙන්නේ ගඟ හරහාය. across the bridge කියා ඉංග්‍රීසියෙන් කිව්වට, සිංහලෙන් කියන්නේ, පාලම දිගේ බව, මහලොකු ජඩ මාද්දිය උපාධි සහතිකධාරී මේ අමන රැළ  තවම නොදන්නාහුය. 

2016 මැයි මස 22 වැනි දින 2258 පැය

11 May 2016

ළඟ ළඟ ගහගැනිලි මෙන්න මෙහෙමයි

   

මේ දවස්වල වැඩිපුරම කතාවෙන්නේ ගහගැනිලි ගැන නේ. කොහොමටත් ඉතින් අපේ රටේ කවද්ද ගහගැනිලි අඩුවුණේ. ගෙදර දොර ගහගැනිලි වල ඉඳලා, උත්තරීතර (විපරීත?) පාර්ලිමේන්තු පොජ්ජ දක්වා, හැම තැනම ගහගැනිලි වලින් අඩුවක් නෑ. කටින් ගහගැනිල්ල නම් ඉතින්, අපේ ජාතික පුරුද්දක් නේද? කටින් ගහගන්න බැරි අයට අපේ රටේ ඉඩක් නෑ. රූපවාහිනී විවාදෙකදිත් ඔය කවුද දේසපාලුවෝ දෙන්නෙක් ගහගත්තා නේද එක පාරක්. ඔය මැති ඇමතිලාට දීලා තියන පිස්තෝල, පාර්ලිමේන්තු සභා ගර්භයට අරන් එන්න දුන්නානම්, ප්‍රශ්න හුඟක් විසඳෙනවා. මෝඩයෝ චුත වෙලා, ටිකක් හරි හොඳ මිනිස්සු ඉතුරු වෙනවා. නැද්ද මං අහන්නේ. මෙව්වා දැකලා අපිටම වෙඩි තියාගන්න හිතිලා නේද තියෙන්නේ? 'අනේ කාලේ වනේ වාසේ' කිව්වලු. 


   හරි හරි, ඒ කතා පැත්තකින් තියලා, අද මාතෘකාවට බහිමුකො. අද මම තමුන්නැහෙලා එක්ක කතාකොරන්න ආවේ, හමුදාව විසින් කරනු ලබන, එක්තරා විශේෂ සටන් ක්‍රමයක් ගැනයි. ඉංග්‍රීසි භාෂාවෙන් නම් මේක හඳුන්වන්නේ Close Quarters Combat = CQC එහෙමත් නැත්නම්, Close Quarters Battle = CQB යනුවෙන්. අපිට කියන්න පුළුවන්, කෙටි දුර සටන්, එහෙම නැත්නම් නාගරික වීදි සටන්, කියලා. ඉංග්‍රීසියෙන් තවත් යෙදුමක් තියනවා Fighting in Built up Area = FIBUA කියලා. එයින් කියවෙන්නෙත් නාගරික ප්‍රදේශවල කෙරෙන සංග්‍රාමික කටයුතු හෙවත්, Urban Warfare කියන එකයි. 

   හම්මෝ...............ඒ කාලේ අපිට මේ FIBUA පුහුණුව දුන්නේ, මාදුරුඔය හමුදා කඳවුරේ. හොඳටම වදින පුහුණුවක්. අපරාදේ කියන්න බෑ, පැය 24 පුරාම වරින්වර විවිධ අභ්‍යාස තියන නිසා, බොහොම සනීපයි. ඒ වගේමයි, ජීව උණ්ඩ සහ ජීව අත් බෝම්බ පාවිච්චි කරමින් ලබන පුහුණුවක් නිසා, අනතුරුදායක බව බොහොම වැඩියි. 

   අපේ බොඩිය පුහුණු කඳවුරේ තියලා, ඇස්ට්‍රල් බොඩියෙන් ගෙදර යන්න වෙයි කියලා හිතෙන වෙලාවල් තියනවා. 

   හොඳයි, මෙතැන් සිට අපි, වෙනදා වගේම, ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන්, කරුණු සාකච්ඡා කරමු. 

මොකක්ද මේ කෙටි දුර සටන් කියන්නේ?

   කෙටි දුර සටන් කියන්නේ, ප්‍රතිවාදී යුද හමුදා (ත්‍රිවිධ හමුදා) කණ්ඩායම් දෙකක් අතර හෝ, ත්‍රිවිධ හමුදා කණ්ඩායමක් සහ ත්‍රස්තවාදී කණ්ඩායමක් අතර හෝ, පොලීසිය (විශේෂ පුහුණු පොලිස් ඒකක) සහ ත්‍රස්තවාදී/අපරාධකාරී කණ්ඩායමක් අතර සාමාන්‍යයෙන් උපරිම වශයෙන් මීටර් 100 ක් පමණ දුර සිට, (බොහෝවිට ඊට අඩු දුරක සිට) සැලසුම් සහගතව සහ උපක්‍රමශීලීව එල්ල කරන ප්‍රහාර මගින්, ප්‍රතිවාදීන් විනාශ කිරීම, අල්ලාගැනීම, ඔවුන් සතු යම් වටිනා දෙයක් අත්පත් කරගැනීම, වාහනයක් අල්ලා ගැනීම, ගොඩනැගිල්ලක් අත්පත් කරගැනීම, ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීම, වැනි අරමුණු සඳහා,  ඇතිවන සටන් වලටයි.  

   මේ සටන් ක්‍රමයට සෑහෙන දිග ඉතිහාසයක් තියනවා. මේ විදිහට විශේෂ පුහුණු කුඩා කණ්ඩායමක් යොදවා, විශ්මයජනක ලෙස පහරදීමෙන්, සතුරු කණ්ඩායම් මෙල්ල කළහැකි බව, මුලින්ම ප්‍රායෝගිකව ඔප්පු කළේ, චීනයේ ෂැංහයි නගරය, බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති (1854 - 1943) අවධියේදී, එහි සහකාර නාගරික කොමසාරිස් වරයා ලෙස කටයුතු කල,   William E. Fairbairn  විසිනුයි. පසු කාලයේදී බ්‍රිතාන්‍යයට ආපසු පැමිණි ඔහු මේ ප්‍රහාරක ක්‍රමය තවත් වැඩිදියුණු කර බ්‍රිතාන්‍ය හමුදාවපුහුණු කළා. 

කොහොමද ඉතින් ඔය සටන් මෙහෙයවන්නේ? 

   මේ වගේ සටනක් සමහරවිට බොහොම සංකීර්ණ වියහැකියි. මක්නිසාද යත්, මෙවැනි සටන් සිදුවන ගෙවල් සහ/හෝ ගොඩනැගිලි බහුල පරිසරයක, සාමාන්‍ය ජනතාවත් ඉන්නවා. අපි සටන් කරන්න යන කණ්ඩායමට පක්ෂපාත සාමාන්‍ය ජනතාවත් ඉන්නවා, මෙවැනි කණ්ඩායම්, බොහෝවිට, කාන්තාවන් සහ දරුවන් ඉදිරියට දමා, අප අතින් ඔවුන්ට හානි පමුණුවා, බේරී පැනගොස්, අපිට දෝෂාරෝපනය පටවන්නට උත්සාහ කරනවා. මේ නිසා, කෙටි දුර සටන් සඳහා සුවිශේෂී උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා. 

   හැබැයි එක දෙයක් කිවයුතුයි. මෙවැනි සටන් වලදී අහිංසක පුද්ගලයන් අපේ ප්‍රහාරවලින් මෙන්ම සතුරු ප්‍රහාරවලින් මැරෙන්නට/තුවාල ලබන්නට ඉඩ තිබෙනවා. ඔබ අතරින් සෑහෙන දෙනෙක් යුදමය තොරතුරු රැගත් බටහිරචිත්රපටි වල නරඹා ඇති කුඩා හමුදා කණ්ඩායම, සතුරුකඳවුරු, වීදි, ගොඩනැගිලි වලට ඇතුළු වී සටන් කරන ආකාරය. ඒ සටන් අයිතිවන්නේත් මේ කෙටි දුරසටන් නමැති වර්ගීකරණයටයි. ඔබ දැක ඇති ඒ සටන් වලදී බොහෝවිට හමුදා කණ්ඩායම් කතා කරන්නේ නැහැ. අණදීම් කරන්නේ සහ අදහස් හුවමාරු කරගන්නේ විශේෂ හස්ත සංඥා ක්‍රමයක් මගින්. මේ බලන්න එවැනි සංඥා කීපයක්. 



   ත්‍රස්තවාදී නායකයකුගේ බිරිඳ, ඔහුව ආවරණය වන සේ, ඉදිරියෙන් හිටගත්තා නම්, අපි දෙවරක් හිතන්නේ නැහැ. පළමුව ඇයට වෙඩි තබා, දෙවනුව ඔහුටත් වෙඩි තබනවා. බින් ලාඩන් ඝාතනය කල අවස්ථාවෙදීත්, ඇමරිකානු හමුදාව ඒ විදිහටයි ක්‍රියා කලේ. මක්නිසාදයත්, එවැනි දරුණු ගණයේ ත්‍රස්තවාදී නායකයකු, යලි කවදාවත් අපිට අහු නොවෙන්න පුළුවන්. නමුත්, එවැනි විශේෂ මෙහෙයුම් සඳහා යොදාගන්නේ, විශේෂ බලකාය, කමාන්ඩෝ බලකාය වැනි ඒකක පමණයි. කෙටිදුර සටන් වලදී බොහෝවිට පාවිච්චි කරන්නේ, කෙටි දුර වෙඩි තැබීමට සුදුසු, තුවක්කු වර්ගයි. මේවා සාමාන්‍යයෙන්, මිලිමීටර් 9 උණ්ඩ යොදන, තුවක්කු සහ පිස්තෝල බව සඳහන් කරන්න පුළුවන්. 








සිදුවන ක්‍රියාදාමය විස්තර කරන්න පුලුවන් ද? 

   ඔව් පුළුවන්.  සෑහෙන කාලයක් තිස්සේ මේ අඩවියේ ලිපි කියවන ඔබ දන්නවා ඇති, ඕනෑම හමුදා ක්‍රියාන්විතයක් සිදුවන්නේ, යම්කිසි සැලැස්මකට අනුව සහ යුද න්‍යාය අනුව බව. ඒ නිසා මේ කෙටිදුර සටන් සිදුවන්නේත් සම්මත මූලධර්ම පහක් පදනම් කරගනිමින්. අපි බලමු මොනවද ඒ මූලධර්ම කියලා. 

1. සවිස්තර සැලසුමක් සකසා ගැනීම:- ප්‍රහාරයට පෙර ඒ ස්ථානය පිළිබඳව ලබාගතහැකි සියලු විස්තර සොයාගත යුතුයි. පිහිටීම, ලඟාවිය හැකි මාර්ග, ආපසු පැමිණිය හැකි විකල්ප මාර්ග, ඉන්න සතුරන් පිරිස කී දෙනෙකුද? ගැහැණු පිරිමි වශයෙන් කීයද. ඔවුන් සතු අවි ආයුධ, මහජනතාවගේ සහාය ඔවුන්ට ලැබෙනවාද, ප්‍රහාරයේදී අහිංසක ජනතාවබෙරා ප්‍රහාරය එල්ල කරන්නේ කොහොමද, සතුරන්ගේ ආධාරයට තවත් පිරිස් ක්ෂණයකින් එන්නට ඉඩ තිබෙනවාද, අපිට තිබෙන ආධාරක කණ්ඩායම් මොනවාද, අපි පාවිච්චි කරන ආයුධ මොනවාද, අපේ පිරිස කී දෙනෙකුද, අපි එතනට යන්නේ සහ ආපසු එන්නේ කොහොමද, ඔන්න ඔය වගේ මහා තොරතුරු ගොඩක් ගැන හිතන්න වෙනවා. 

2. ප්‍රහාරයේ විශ්මයජනක බව:- සතුරා හීනෙන්වත් නොහිතන වෙලාවක, කාලයක, දිනයක, අවස්ථාවක, ප්‍රහාරය එල්ල කළ යුතුයි. එය අපේ වාසියට බෙහෙවින් හේතුවෙනවා. සතුරු කණ්ඩායමේ වැඩි දෙනෙක්, විවේකයෙන් ඉන්න/නිදාගෙන ඉන්න/නාන්න මූණ හෝදන්න යන/ කෑම ගෙනෙන්න යන/ වෙලාවක් තමා හොඳ.

3. ඉලක්කයට ඇතුළුවීමේ ක්‍රමය:- ඉලක්කය කියන්නේ ගොඩනැගිල්ලක් කියා හිතන්න. එහෙනම් එයට ඇතුළුවන්නේ කොතනින්ද, එක තැනකින්ද තැන් කීපයකින්ද, එසේ ඇතුළුවීමේදී සාමාන්‍ය ජනතාවට අවම හානියක් සිදුවන ආකාරයට කරන්නේ කොහොමද, මුරකාරයක් ලෙස සතුරන්ට හිතවත් සාමාන්‍ය ජනතාව යොදවා සිටීනම්, ඔවුන්ගේ බෙල්ලට දෙකක් ඇන/සිහිය නැතිවෙන්න පහරක් දී/ ඔලුවට පිස්තෝලයක් තබා බයකර/ අපේ අරමුණ ඉටුකරගැනීම. ඇතුළුවීමේ මාර්ග වල ඇතිවන විවිධ බාධා ජයගැනීම. 

4. වේගය:- මෙය ඉතා වැදගත් සාධකයක්. ඉලක්කයට කඩා පනින අවස්ථාවේ සිට, නොකඩවාම ප්‍රහාරය එල්ල කලයුතුයි. නැවතීමක් නැහැ, ඉලක්කය අත්පත් කරගන්නා තුරු. නොකඩවාම, වේගයෙන්, ප්‍රහාරය එල්ල කිරීම ඉතා වැදගත්. සමහරවිට සතුරන් තමන්ට ප්‍රහාරයක් එල්ලවන බව දැනුණාම, තමන් යටතේ ඉන්න ප්‍රාණ ඇපකරුවන් මරන්න ඉඩ තිබෙනවා. ඒවා වලක්වන ආකාරය රඳාපවතින්නේ වේගය මතයි. එමෙන්ම අනවශ්‍ය ලෙස වේගයක් ගතහොත් තමන් අතින් තමන්ගේ යටම තුවාල සිදුවිය හැකියි. 

5. ක්‍රියාන්විතයේ සාහසික බව:- සාහසික කියන වචනය ගැන අමනාපයක් ඇතිකර ගන්න එපා. නමුත් අර ඉහතදී කිව්වා වගේ, ඉලක්කය සම්පූර්ණ කරගන්න නම්, දරුණු විදිහට ප්‍රහාරය එල්ල කරන්න වෙනවා. එතනදී, අනුකම්පා විරහිතව කටයුතු කරන්න වෙනවා. දොරවල් ජනෙල් කඩාගෙන, බිත්ති පුපුරුවාගෙන, අත්බෝම්බ ගොඩනැගිල්ල තුලට එල්ල කරමින්, යටත්වන ලෙස මහා හඬින් කෑ ගසා කියමින්, පැනයන්නට හදන, විරුද්ධව නැගීසිටින සියල්ලන්  මරා දැමීම හෝ දැඩිලෙස පහරදී මර්දනය කිරීම තමයි සාහසික කම කියන්නේ. 

    පහත දැක්වෙන වීඩියෝවේ තිබෙනවා, කෙටි දුර සටන් මූලික පුහුණුව ලබන හැටි.





   මේ ලිපිය මීටවඩා දිගට ගෙන යාහැකි වුනත්, 'කෙටි දුර සටන්' කියන එක, ඔබට තේරුම් ගන්නට, ඉහත සඳහන් කරුණු ප්‍රමාණවත් යයි හිතනවා. තවත් ලිපියකින් හමුවෙමු. 

2016 මැයි මස 11 වැනි දින 0043 පැය   

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }