හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

16 January 2012

නිළ ඇඳුමෙන් සිටි කාලේ 5


මේ දිනවල නුවරඑළිය ප්‍රදේශය පිළිබඳව විශේෂ කතාබහ ඇතිවී තිබෙනවා. ඒ මේ දිනවල එහි ඇති අධික ශීත දේශගුණය නිසයි. කොළඹ සිට හැටන්, තලවාකැලේ, නානුඔය හරහා සැහැල්ලු වාහනයකින් (නීති ගරුක දක්ෂ රියැදුරෙකුට) පැය 3 ක් හෝ ඊට මඳක් වැඩි වෙලාවකින් නුවරඑළියට ලඟා විය හැකිය. (කොළඹ – මහනුවර මාර්ගයේ යාම රිය පැදවීම එපා වෙන ගමනකි. ගම්පොල දක්වාම වාහන තදබදය වැඩිය. හැටන් මාර්ගයේ උපරිම තදබදය ඇත්තේ අවිස්සාවේල්ල පසු කරනතුරු පමණි. ගිනිගත්හේන පසුවූවිට ‘ඇරලා යන්න’ පුළුවන. හැබැයි කඳුකර මාර්ගවල රිය පදවා අත්දැකීම් ඇත්නම් පමණයි.) කොළඹ ගිනි රස්නය විඳිමින් සිට පැය කීපයකින් සීතල දේශගුණයකට යාහැකි අපේ රට සැබැවින්ම දෙව්ලොවක් නොවේද?
නුවරඑළියේ අපේ යුද හමුදා කඳවුර නිල වශයෙන් ආරම්භ කර ඇත්තේ 1969 දී ය. අද ද නුවරඑලියට ඇති එකම යුද හමුදා කඳවුර මෙයයි. මේ කඳවුර අතීතයේදී මුළු නුවරඑලිය දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි රාජකාරි කටයුතු කල අතර කොත්මලේ ජලාශය ඉදිවීමෙන් පසු ඒ ආශ්‍රිතව තවත් යුද හමුදා කඳවුරු බිහිවිය. ලක්ෂපාන විදුලිබලාගාරය ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ මුල්ම විදුලිබලාගාර ආරක්ෂා කල යුද හමුදා භට පිරිස් යොදවනු ලැබුවේද නුවරඑලිය කඳවුර මගිනි. නුවරඑලිය ප්‍රදේශය දැක්වෙන, බ්‍රිතාන්‍ය පාලන සමයට අයත් සිතියමක්, මේ කඳවුරේ ඇත. එම සිතියම අනුව බැලූවිට, අද නුවරඑළියේ ග්‍රෙගරි වැව වටා, විශාල භූමි ප්‍රදේශයක්, අනවසර ඉදිකිරීම් සහ ගොඩ කිරීම් වලින් වැසීගොස් ඇති බව, ඉතා පැහැදිලිව පෙනෙයි. කඳවුර පිහිට වූ මුල් කාලයේ, මෙහි සේවය කල නිලධාරීන් හා සෙබළුන් කීප දෙනෙකු සමග කතා කිරීමට, මට අවස්ථා කීපයකදී හැකි වූ අතර ඔවුන් පවසන්නේ, මුල් කාලයේදී කඳවුර ඉදිරිපිට පාරෙන් එහාපැත්තේ තිබුන වැවෙන්, බාල්දියට වතුර ගත් බවයි. එහෙත් අද වැව තිබෙන්නේ කඳවුරට මීටර් 100 ක් පමණ දුරිනි. ග්‍රෙගරි වැව ස්වභාවික ජලාශයක් නොව කෘත්‍රිම ජලාශයක් බව අද බොහෝ දෙනා නොදන්නා කරුණකි.
මම මේ කඳවුරේ සේවය සඳහා මුලින්ම පැමිණියේ 1985 වර්ෂයේය. එය ඉතා රසවත් ගමනක් විය. මා සමග මේ කඳවුරේම රාජකාරී සඳහා මගේම නිලධාරි පුහුණු පාඨමාලා සගයකුද පත් කර තිබුණි. ඔහුට නුවරඑලිය ප්‍රදේශය ගැන හොඳ අවබෝධයක් තිබුනේ ඒ ප්‍රදේශයේ ඔහුගේ ඥාතීන්ද සිටි බැවිනි. අප දෙදෙනා කොළඹ එක්තරා කඳවුරක සිට කොටුව දුම්රිය ස්ථානයට, අපේ බර ගමන් මළුද සමග, හමුදා වාහනයකින් පැමිණියෙමු. අපව හැරදමා වාහනය ගියේය. 1983 කළු ජූලියෙන් පසු උතුරේ කලබලකාරී තත්වයක් තිබුනද, යුද සෙබළුන්ට තනිවම වුවද පොදු වාහන වල යාමට නොහැකි තත්වයක් 1985 දී නොතිබුණි. (1970 දශකයේදී යුද සෙබළුන් මෙන්ම විවිධ රාජකාරි සඳහා යාපනය, මන්නාරම, වැනි ප්‍රදේශ වලට යන හමුදා නිලධාරීන් තනිව හෝ දෙතුන් දෙනා හෝ නිල ඇඳුමෙන් සැරසී කිසිදු අවියක් රහිතව රාත්‍රී තැපැල් දුම්රියෙන් ගමන් කල බව ඔබ දන්නවාද?) ඉතින් දැන් අපි රාත්‍රී තැපැල් දුම්රියෙන් නානුඔය දක්වා ගොස් එතැන්සිට නුවරඑලිය හමුදා කඳවුරෙන් ලැබෙන ප්‍රවාහන පහසුකම් මගින් කඳවුර වෙත යා යුතුය. අප දෙදෙනාට දෙවැනි පන්තියේ නිදන මැදිරි පහසුකම් ලැබී තිබුණි. ‘මචං අපි කඩේකින් රෑට කන්න යමක් අරගෙන යමු’ යයි මගේ මිත්‍රයා යෝජනා කළේය. ‘ඇයි බං කෑම්ප් එකෙන් දුන්න කෑම පාර්සල් තියනවනේ’ මම පිළිතුරු දුනිමි. ‘එව්වා මදි බං, නානුඔයට යනකොට පාන්දර හතර විතර වෙනවා, දෙපාරක් කාලත් මදි එහෙ තියන සීතලට’. පලපුරුදුකාරයාට අවනත වූ මම ඔහු සමග කොටුව දුම්රියපොළ ඉදිරිපිට හෝටලයකට ගියෙමි. ‘උඹ ඔහොම හිටපන් මම ටක් ගාලා එනවා කෝ රුපියල් 50 ක් දියන්’ කියූ ඔහු මුදල් ද සමග අතුරුදන් විය. විනාඩි 15 කින් පමණ පසු ඔහු අවේ ලොකු සාප්පු මල්ලක් ද සමගය. ‘මොනවද බං ඔච්චර’ මම ඇසුවෙමි. ‘යමන් යමන්’ කියා ඔහු මාවත් ඇදගෙන දුම්රියපොළට ඇතුළුවිය. දුම්රියේ අපට කිසිදු බාධාවකින් තොරව යාමට ඉඩකඩ ලැබුනේ, රාජකාරි දුම්රිය බලපත් මගින්, පළමුවැනි පන්තියේ නිදන මැදිරියක් වෙන්කර තිබුන නිසාය. ‘කෑම කමුද’ කියා මා විමසූ විට ‘පොඩ්ඩක් හිටපන්කෝ’ කියා ඔහු අර මැජික් මල්ලෙන් මධු පානයකට අවශ්‍ය සියල්ල පමණක් නොව බුරියානි පාර්සල් දෙකක්ද එලියට ගත්තේය. ‘ඒයි උඹනම් මාර යකෙක්. මගෙන් රු 50 යි නේ ගත්තේ මදි මදි තව 50 ක් ඉඳා’ මම මුදල් දුනිමි. ‘නෑ නෑ මචං කෑමට විතරයි උඹෙන් සල්ලි, බීම මගෙන්, හරි පටන්ගම්මු’ කිව්වේය. කතාවෙන් බතාවෙන් පේරාදෙණිය පසුවනවිට මධුවිත අවසන් විය. කෑමද අවසන් විය. ගම්පොල දුම්රියපොලෙන් ඔහු බැස්සේ ‘සිගරට් මදිවෙයි, අරන් එන්නම්’ කියමිනි. ඒ කාලයේදී මම තදින් දුම්පානය නොකලද, සිගරට්ටුවක් ලැබුනොත් හොඳයි යන සිතුවිල්ලෙන් බලා සිටියෙමි. මේකා ආපහු ආවේ, තවත් ‘බාගයක්’ ද සහිතවය. ‘කොහෙන්ද යකෝ මේ’ මම විමසුවෙමි. ‘එව්වයින් උඹට වැඩක් නෑනේ. වැඩේ කරපංකෝ’ ඔහුගේ පිළිතුර විය. (1994 දී මම දුම්පානය සම්පූර්ණයෙන් අත් හළෙමි. ඒ වනවිට මා දිනකට දුම්වැටි 40 ක් පමණ බිව්වෙමි. දිගටම කලානම් මේ කතාව ලියන්නට ඉඩ නොලබෙන්නටද තිබුණි. අද මම මත්පැන් පාවිච්චි කරන්නේ ළඟම හිතවතකුගේ ඇරයුමකදී කලාතුරකින් සහ කිසියම් හමුදා කඳවුරක පැවැත්වෙන සාදයකදී පැරණි මිතුරන් හමු වූවොත් පමණි. කොහොම කිව්වත් මත්පැන් සහ දුම්වැටි නරකමය. අද හමුදාවේ සිටින තරුණ නිලධාරීන් බොහොමයක් මතට තිත තබා තිබීම දැඩි සතුටකි. ඒ කාලයේ අපේ පඩියෙන් බාගයක් පමණ ගියේ මතට බව ලැජ්ජාවෙන් වුවද කියමි.)
පාන්දර 3.40 ට දුම්රිය නානුඔයට ලඟාවිය. නානුඔය පිහිටා ඇත්තේ මහා සුළං කපොල්ලකය. දුම්රියෙන් බැස්ස වහාම හූ කියාගෙන ඇවිත් වැදුන සුළඟින් මා දෙකට නැවී ගියාක් මෙන් දැනුන අතර, (අද 2010/01/16 පුවත්පත්වල සහ රූපවාහිනී ප්‍රවෘත්ති වල නුවරඑළියේ සීතල ගැන කියන විට මට මතක් වූයේ මේ සිද්ධියයි) ‘මොන කරුමයක් පල දීලා මෙහාට එන්න වුනාද දන්නේ නැහැ’ යන සිතුවිල්ල ඇති විය. ‘ඔහොම ඉන්න බෑ බං වරෙන් මේ බිත්තියේ එහා පැත්තට’ කියූ මගේ සගයා මාද ඇදගෙන දුම්රියපොළේ බිත්තියක් සුළං මුවාවක් ලෙස තබාගෙන ගමන් මලු බිම තබා එහි වාඩි වූයේය. ‘වරෙන් ඉඳගනින්, දැන් මේ පාන්දර කෑම්ප් එකේ වාහන එන්නේ නෑ අපිව ගෙනියන්න, අපි ඉතින් ගහෙන් වැටිච්ච කණාමැදිරියෝ වගේ ඉම්මු එලිය වැටෙනකල්, තව එක සිගරට් එකයි තියෙන්නේ, මෙතන කැන්ටිමත් වහලා, ඒ සිගරට් එක බෙදාගෙන ගහලා ඉම්මු’. ඔහු කීවේය. මම කිසිදු කතාවක් නැතිව ගමන් මල්ල මත වාඩිවී ඔහේ බලා සිටියෙමි. දුම්රියපොළේ ඈත කෙළවරක සිට සොල්දාදුවකු අප සිටින දෙසට එන බව මම දුටුවෙමි. ‘ඒයි අර බලපන් කොල්ලෙක් එනවා මේ පැත්තට’ මම කිව්වෙමි. (කොල්ලා යන්න අපහාසයට කියන්නක් නොවේ. අපේ සොල්දාදුවෝ, කවදත් අපේ කොල්ලෝය.) ‘ඒකා මෙතන ගාඩ් එකේ ඉන්න සෙන්ට්‍රි (මුර සෙබලෙක්) කෙනෙක් වෙන්න ඇති. අපි කියමු නුවර එළියේ ඇවිදින්ඩ යනවා කියලා. වස ලැජ්ජාවනෙ බං නිළධාරියෝ දෙන්නෙක් බෑග් උඩ සීතලේ ගැහි ගැහි ඉන්නවා කිව්වම’. මේ කියමන අවසන් කරන විටම සොල්දාදුවා අපවෙත පැමිණියේය. සිය රයිෆලය නිසි පිළිවෙලට සිරුරේ වම්පසට ගෙන අපට ආචාර කළේය. ‘ගුඩ් මෝනිං සර්, සර්ලව එක්ක යන්ඩ ලෙෆ්ටිනන්ට් . . . . .බණ්ඩාර සර් ඇවිල්ල ඉන්නවා. එළියේ වාහනේ තියනවා. මට කිව්වා සර්ලව එක්ක එන්ඩ කියලා’. හුස්මක් නොගෙන කියාගෙන ගියේය. දෙයියෝ මූණ බැලුවා. මට සිතුනි. අපි අතින් කටින් එල්ලගෙන වාහනය වෙත ගියෙමු. ‘යකෝ අපි නිලධාරීන් නේද අපේ බඩු ගෙනියන්ඩ එකෙක් නැත්තේ මොකද? මම සිතුවෙමි. ඇත්ත දැනගත්තේ වාහනය ලඟට ගිය විටය. ලෙෆ්ටිනන්ට් බණ්ඩාර කිව්වම හමුදාවේ ලෙෆ්ටිනන්ට් බණ්ඩාරලා ‘කිලෝ 5000 ක්’ සිටින්නට පුළුවන. ආවේ කුමන බණ්ඩාර දැයි අපි දැනගත්තේ ‘අඩෝ’ කියාගෙන ඔහු වාහනයෙන් එළියට පැන්න විටය. ඔහු අපට වඩා ජ්‍යෙෂ්ඨයකු වුවද ‘මචං ලෙවල් එකේ’ ආශ්‍රය කරන්නෙකි. ‘උඹලට පොඩි රැගක් හරි දෙන්ඩ ඕනේ නිසයි මෙහෙම කරේ. නැගපල්ලා නැගපල්ලා’ කියා අපව වාහනයට ගත් වහාම වාහනය නුවරඑලිය බලා ධාවනය වන්නට විය. කඳවුරට පැමිණි වහාම ඔහු අපේ කනට මීපැණි වත්කලේය. ‘අද ඉරිදනේ සී. ඕ. (අණදෙන නිලධාරි වරයා) ටූ. අයි. සී. (දෙවැනි අණදෙන නිලධාරිවරයා) දෙන්නම ඔෆිස් එන්නේ නැහැ. අද උදේ ඉඳලා මම ‘ඩියුටි ඔෆිසර්’ (දවසේ කාර්ය භාර නිලධාරි) මම ඇජුටන්ට් ට (විධායක අධිකාරි = විනය සහ පරිපාලනය භාර නිලධාරි) කියන්නම් උඹලා අවා, හරි මහන්සියෙන් ඉන්නේ කියලා. උඹලා නානවානම් නාපල්ලා, උණුවතුර තියනවා. අද දවසම කපලා බුදියගනිල්ලා’ කිව්වේය. ‘උඹනම් දෙයියෙක්’ කියා අපි වහාම ඇඳට පැන්නෙමු. නැවත නැගිට්ටේ දවල් ආහාරය සඳහාය. තවත් කොටසක් පසුව . . . . . . . . . .

13 January 2012

ඉස්කෝලේ යන කාලේ 5

 අපේ පාසල පිහිටි නගරය අදටත් අලංකාර කරන අංගයක් ලෙස, ඉපැරණි ඔරලෝසු කනුව හැඳින්විය හැකිය. ඒ කාලයේදී නම්, අද මෙන් බහුලව ඔරලෝසු හෝ ජංගම දුරකථන නොතිබුන නිසා, මහජනතාවට ඔරලෝසු කණුවෙන් විශාල සේවයක් ඉටුවිය. සෑම පැය භාගයකට වරක් නාදවන ඔරලෝසුව, පසුකාලයේදී දිවයින පුරා පිහිටවූ කණුවල ඔරලෝසු මෙන් නොව, අදටත් හොඳින් ක්‍රියාත්මකය. ප්‍රධාන බස් නැවතුම්පොළ වෙත එන මගීන්ට මෙය මහත් ප්‍රයෝජනයක් විය. හෙට අනිද්දා ප්‍රධාන මාර්ගය තවත් පලල් වනු නොඅනුමානය. එවිට මේ ඔරලෝසු කනුව බිමට සමතලා නොකොට, කොටස් වශයෙන් ගලවා නැවත සුදුසු ස්ථානයක පිහිටුවීමට නගර සභාවට මොලය පෑදේවායි පතමි. මන්ද මෙය නගරයේ පෞරානිකත්වයේ සංකේතයක් බැවිනි.
  මේ ඔර්ලෝසුකනුව ඒ කාලයේ බොහෝ දෙනා එකිනෙකා හමුවීම පිණිස යොදාගන්නා ස්ථානයක්ද විය. දුර බැහැර සිටින ඥාතියකු අප බැලීමට එන බව ලිපියකින් දැන්වූවොත් (1960 දශකයේ මොන දුරකතනද?) අපි පිළිතුරු යවන්නේ බස් එකෙන් බැස ඔරලෝසු කනුව ලඟට එන ලෙසටය. එමෙන්ම බොහෝ පෙම්වතුන්ද මෙය හමුවීමේ (අමුණාගෙන ඇදගෙන යාම පටන් ගන්න) ස්ථානයක් ලෙස භාවිත කළහ. පාසල ඇරී ගෙදර යනවිට මේ ඔරලෝසු කනුව යටට නොවරදවාම යන්නට අපි පුරුදුවී සිටියෙමු. එයට හේතුව වූයේ ඔරලෝසු කනුව යට තිබුණු ජංගම පොත් වෙළඳ සලයි. ඒ පොත් වෙළෙන්දා, කාඩ්බෝඩ් පෙට්ටිවල දමාගෙන එන පොත්, ඔරලෝසු කණුවේ හතර පැත්තේම ඇති පඩි වල මතුපිට තබා ප්‍රදර්ශනය කරයි. අපිට එය විශ්මලන්තයකි. බටහිර ‘කොමික්’ පොත්, (මේවායේ ඇත්තේ පහත් ඉංග්‍රීසි යයි කියූ අපේ ඉංග්‍රීසි ගුරුතුමා මේවා ළඟ තබා ගන්නන්ට දඬුවම් කල බැවින් හංගාගෙන හොරෙන් කියවීමු.) එකල ඉතා ජනප්‍රිය ‘ලිහිණි’ පොත්, අපිට ඒ කාලේ පිස්සුවක් ලෙස වැළඳී තිබුණු රේඩියෝ අලුත්වැඩියාව පිලිබඳ පොත්, සමග අපේ සිත් පැහැර ගත්තේ, ඩීමන් ආනන්ද නමැති සුප්‍රසිද්ධ ලේඛකයා, බටහිර රහස් පරීක්ෂක කතා ඇසුරෙන් ලියන ලද, ත්‍රාසජනක නවකතාය. මේ සෑම පොතකම උපරිම මිල සත හැත්තෑ පහකි. රේඩියෝ පොත් ඉංග්‍රීසි භාෂාවෙන් ඉන්දියාවේ මුද්‍රණය කල ඒවා බැවින් රුපියලක් හෝ එකයි පනහක් විය. එහෙත් සත හැත්තෑපහක් යනු එකල විශාල මුදලකි. මාළුපිණි හතරක් පහක් සමග බත් බාගයේ කෑම එකක් (දැන් අපි ලොක්කෝ වගේ කඩ්ඩෙන් කියන්නේ හාෆ් පෝෂන් එකක් කියලා) සත 55 කි.
  අපේ නගරයේ සිට කොළඹට බස් ගාස්තුව එකයි දහයකි. මහනුවරට සත විසි පහකි. සිනමාහලක දෙවැනි පන්තියේ ටිකට් එකක් එකයි දහයකි. ගැලරි ටිකට් එකක් සත 55 කි (අපි යන්නෙම ඒකටනේ) ඔය අතරේ අපේ ලොකු අයියලා හෙමීට කටු කුටු ගාමින් බලන තවත් ඉංග්‍රීසි පොත් වගයක් තිබුන නමුත් අපි ලොකු අයියලා වෙනකොට පොත් වෙළෙන්දා එතන හිටියේ නැත. ඩීමන් ආනන්දගේ පොතක් ගෙදරට හෝ ගුරුවරුන්ට අසුවුවහොත් දැන් කාලේ නිල චිත්‍රපටියක් ළඟ තිබී අසුවූවා හා සමානය. ඒ පොත්වල 90% තිබුනේ ත්‍රාසය වුවද, තිබුණු ශ්රුන්ගාරාත්මක සිද්ධි, වැඩිහිටියන් ‘භීතියට’ පත්කරවන ඒවා විය. ලිහිණි පොත් වලට තහනමක් නොතිබුණි ඒ නිසා ලොකු අයියලා ලොකු අක්කලා අතර ‘සෙනෙහෙකොල’ හුවමාරු වූයේ ලිහිනිපොත් අස්සේ දමාලාය. ලිහිණි පොත් මහා සාහිත්‍ය කෘති නොවුනද, එයින් අප සාහිත්‍යය කෙරෙහි නැඹුරුවීමට යම් පෙළඹීමක් ලැබුවෙමු. අදටත් ජරාවෙන් හොඳ සාහිත්‍යය වෙන්කර ගන්නට අපට හැකිවී තිබෙන්නේ විෂයයක් ලෙස සාහිත්‍යය ගැඹුරෙන් හැදෑරීම හේතුවෙනි. අපගේ දෙනෙත් පෑදූ ගුරුවරු මතු බුදුවේවා. ඩීමන් ආනන්දගේ පොත් කියවීමේ ප්‍රතිඵලය වූයේ බටහිර නවකතා කියවීමට සහ ජේම්ස් බොන්ඩ්, ඩ්රැකියුලා, කව් බෝයි, බයි නයිට්, වැනි චිත්‍රපට මෙන්ම, පසුකාලීනව ඊට වඩා සම්භාව්‍ය නිර්මාණ කෙරෙහි යොමුවීමයි. අද චන්ද්‍රිකා රූපවාහිනී නාලිකාවක හැර දේශීය රූපවාහිනී නාලිකාවක විකාශනය වන කතාවක් මා සිත් ගන්නේ ඉතා කලාතුරකිනි.
  සමහර වැඩිහිටියන් දරු මුනුබුරන්ද පිරිවරාගෙන බලන කුණු ඉන්දියානු ඕපදූප කතා සහ ඒ ඇසුරෙන් දේශීයව නිපදවන අගමුල නැති වැල් කතා දකිනවිට රූපවාහිනී මධ්‍යස්ථානයම බිමට සමතලා කිරීමට සිතේ. තවත් කොටසක් පසුවට. . . . .

12 January 2012

ඩිජිටල් ඔරලෝසුවක් ඕනෙද?

ඔබේ පරිගණක තිරය මත අලංකාර ඩිජිටල් ඔරලෝසුවක් තබා ගැනීමට කැමතිද? මෙය හඳුන්වන්නේ ඩී එස් ක්ලොක් කියායි. මේ ඔරලෝසුව විශේෂාංග රැසකින් යුක්තයි. දිනය දවස වෙලාව පෙන්වීමට අමතරව අපට අවශ්‍ය පරිදි සිහි කැඳවීමේ එලාම් සහ මෙයටම යාකර ඇති කැලන්ඩර් ස්කෝප් නමැති කොටසෙන් දිනපොතක මෙන් අපට අවශ්‍ය සටහන් තබා ඒ සඳහා සිහි කැඳවීමේ එලාම් ද තැබිය හැකියි. එමෙන්ම අප කැමති වර්ණයකින් ඔරලෝසුවේ ඉලක්කම් වර්ණ ගැන්විය හැකියි. ඉලක්කම් වල හැඩය සහ විශාලත්වයද අපට අවශ්‍ය පරිදි වෙනස් කල හැකියි. ඒ කිසිවකට ඔබ අකමැතිනම් රූපවාහිනී නාලිකා වල සුදු පැහැයෙන් වෙලාව දක්වන ආකාරයෙන්ම මෙය තිරයේ අප කැමති තැනක පිහිටුවාගත හැකියි. 32 bit / 64 bit යන දෙඅකාරයෙන්ම මෙය බාගත කරගත හැකියි. මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන මෘදුකාංගයක්. ඔබත් බාගත කරගෙන හොඳ නරක කියන්න මෙන්න පුරුක.

ඉස්කෝලේ යනකාලේ 4


අපේ පාසල එදා සිට අද දක්වාම දිවයිනේ බොහොමයක් එවැනි පාසල් මෙන් මහත් ජනප්‍රිය පාසලකි. මේ පාසල ආශ්‍රිතව ඇති රක්ෂිත වනය ඉතා සුන්දර වන අඩවියක් වන අතර ජෛව විවිධත්වය අතින් ඉතා උසස් මට්ටමක පවතී. මා කලින් ලිපිවල සඳහන් කලාක් මෙන් මේ අසලම පිහිටි බාලිකා විද්‍යාලයට සුළු සුළු කරදර ඇති කිරීමට අපෙන් සමහරක් පුරුදුව සිටියහ. එයින් එක් ප්‍රහාරයක් එල්ලවන්නේ බාලිකාවන් ශාරීරික අභ්‍යාස කාල පරිච්ඡේදය සඳහා පන්තියෙන් පිටතට ගිය විටය. කලින් සොයාගත් තොරතුරු අනුව රක්ෂිත කැලය දිගේ නියමිත අක්ෂයකට අනුව බඩගාගෙන ගිය විට බාලිකා විද්‍යාලයේ ආසන්නතම ගොඩනැගිල්ල හමුවෙයි. ඉන්පසු රිලව් මෙන් ගසකට නැග ඔත්තු බලන පිරිස සහ ආක්‍රමණික පිරිස වශයෙන් කොටස් දෙකකට බෙදෙයි. රිලව් ඔත්තු බලද්දී වඳුරෝ පන්ති කාමරයේ කොට බිත්තිය උඩින් පැන බාලිකාවන්ගේ පාසල් බෑග් වල ඇති කෑම පාර්සල් පැහැරගෙන ආපසු පලා එති. පසු කාලයේදී ශක්තිමත් වැටක් ඉදිවීම නිසා වඳුරන්ට බුම්මාගෙන සිටින්නට සිදුවිය.

ඒ කාලයේ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළට අරක්ගත් සංචාරක වෙළෙන්දන් සමහර විට මගීන්ට මහත් හිසරදයක් විය. එනමල් බේසම් වල දමාගත් වෙරළු ගෙඩියේ සිට නොයෙක් විසිතුරු බඩු දක්වා විවිධ දේ රැගෙන බස් වලට ගොඩවෙන මොවුන් නිසා සාමාන්‍ය මගීන්ට බස් වලට නැගීම බැසීම පවා අපහසු වන අවස්ථා එමටය. වරක් අපේ පාසලේ ශිෂ්‍යයකු බසයෙන් බැසීමෙදී මේ වෙළෙන්දෙකුගේ ඇඟේ හැපීමෙන් වෙළෙන්දා විකිණීමට ගෙනා දේවල් සහිත බේසම බිම වැටුණි. දැඩි කෝපයට පත් වෙළෙන්දා ශිෂ්‍යයාට එවෙලේම පහර දුන්නේය. මේ සිද්ධිය විදුහල්පති තුමා දක්වා ඉහලට ගෙනයාමේ ප්‍රතිඵලයක් වශයෙන් බස් ගමන ඉතා කල්පනාකාරීව කලයුතු බවට අවවාද කල විදුහල්පති තුමා, නිවරැද්දේ ගුටි කෑමත් නොසුදුසු බව ප්‍රකාශ කළේය. එදා පාසල ඇරී නගරයට පැමිණි අපේ ලොකු පන්තිවල අයියලා සියලුම වෙළෙන්දන් බස් නැවතුම්පොළ හැරදා හි ලූ ලූ අත දුවන තුරු පහර දුන්නෝය. ඊට විරුද්ධව කිසිදු ක්‍රියාවක් වෙළෙන්දන්ගෙන් ඉන්පසුව හෝ සිදු නොවුණු අතර නගරය පුරා ඔලුව කෙලින් තබාගෙන යන්නට අපේ ශිෂ්‍යයන්ට හැකිවිය. (හැබැයි මෙය 1960 දශකයේ සිදු වූවක් බව අමතක නොකරන්න)

11 January 2012

නිළ ඇඳුමෙන් සිටි කාලේ 4


 දෙවැනි ලුතිතන් වරයකු වශයෙන්, 1980 දශකයේදී, මුලින්ම මගේ මව් ඒකකයට (මව් ඒකකය යනු තමන් අයත් යුද හමුදා බලඇණියයි) පැමිණි පසු, මට ලැබුණු වැදගත්ම රාජකාරියක් වූයේ, මූලික පුහුණුව ලබා ඒකකයට ඇතුලත්ව සිටින සෙබළුන් ගේ පශ්චාත් පුහුණු කිරීමේ කටයුතු භාරව ක්‍රියා කිරීමයි. ඛණ්ඩ භාර නිලධාරියකු වශයෙන් ක්‍රියා කිරීමේදී, පුහුණුවන සොල්දාදුවන් සමගම සිටිමින් වෙහෙසී කටයුතු කිරීමට සිදුවෙයි. සාමාන්‍යයෙන් සොල්දාදුවා තම ජීවිතයේදී දකින මුල්ම ඉහල නිලය වන්නේ කෝප්‍රල් නිලයි. පුහුණු කටයුතු වලදී ඔවුන් සමග ලඟින්ම සිටින උපදේශකයා වන්නේ කෝප්‍රල් ය. සෑම විටම කොප්‍රල්ගේ අණට කීකරු වෙමින් පුහුණුවේ යෙදෙන ඔවුන් ‘ඔව් කෝප්‍රල්’ ‘නෑ කෝප්‍රල්’ ‘හොඳයි කෝප්‍රල්’ යනුවෙන් දවසකට සිය වරක් පමණ කියති. මේ පුරුද්ද නිසා, අප වැනි අධිකාරිලත් නිලධාරියකු වෙත පැමිණි විට, ඔවුන් යුද හමුදා පිළිවෙත අනුව ආචාර කරන නමුත්, අප විසින් යමක් විමසූවොත් බොහෝවිට ‘ඔව් සර්’ වෙනුවට කියවෙන්නේ ‘ඔව් කෝප්‍රල්’ කියාය. මෙය දඬුවම් ලැබිය හැකි වරදක් වුවත් මා නම් කිසි විටක එම වැරැද්දට දඬුවම් කර නැත. මුල් මාස හය පමණ යනතුරු සමහර සොල්දාදුවන්ට සොල්දාදු ජීවිතයේදී තිබියයුතු උපක්‍රමශීලී භාවය උපදවාගන්නට අපහසු වෙයි. එවැනි අවස්ථා වලදී මතුවන රසවත් ජවනිකා බොහෝය.
වරක් එක සොල්දාදු කණ්ඩායමක් පුහුණුකර අවසානයේ දින 5 ක නිවාඩුවක් දීමට අණදෙන නිලධාරීතුමා තීරණය කළේය. නිවාඩු යාම සඳහා ඔවුන් සූදානම් වෙමින් සිටියදී එක සොල්දාදුවකු මහා හඬින් හඬනු මට ඇසුනි. මම වහාම එම සෙබලා මාවෙත රැගෙන එනමෙන් කෝප්‍රල් වරයෙකුට නියම කලෙමි. මා වෙත එද්දීද ඔහු හඬමින් සිටියේය. මම හැඬීමට හේතු විමසුවෙමි. ඔහු මෙලෙස පිළිතුරු දුන්නේය. ‘අනේ සර් මම ආමි එකට බැඳෙන්න කොළඹ ගිහින් ඉන්ටවීව් කරලා තේරුනා. ඊට පස්සේ අපිව බස් එකෙන් මහා විසාල ඉස්ටේසමකට ගෙනිහින් කෝච්චියට පටවලා දියතලාවට යැව්වා. එහෙ පුහුණුව ඉවර වුනාම බස් එකක පටවලා මෙහෙ එව්වා. අපේ ගෙවල් තියෙන්නේ බ. . . . දැන් මම ගෙදර යන විදිහ දන්නේ නැහැ’ කියමින් නැවතත් හඬන්නට විය. එක අතකට මෙය සිනහා පහල වන දෙයක් වුවද ‘පාර හොයාගෙන යනවා, තමුසේ සොල්දාදුවෙක් නේද’? කියා ඔහු එලවා දැමීම සුදුසු නොවන බව මට වැටහුණි. මම මේ තත්වය පාඨමාලා භාර නිලධාරී තුමාට දැන්වූ විට එක්වරම සිනහවූ ඔහු, ‘අපි ඒ ගමේ ඉන්න අපේ බල ඇණියේ පරණ මිනිහෙක් එක්ක මෙයා ගෙදර යවමු කියා තීරණය කළේය. අපේ සොල්දාදුවා කෝප්‍රල් කෙනෙකුගේ පිහිටෙන් යහතින් නිවාඩුගොස් ආවේය.

06 January 2012

‘ගල් පිට්’ හැදුනේ කොහොමද?


වර්තමාන සමාජයේ තරුණ පරපුර අතර බහුලව යෙදෙන උප සංස්කෘතික වචනයක් ලෙස ‘ගල් පිට්’ යන්න හඳුන්වා දිය හැකිය. මේ වචනයේ නිරුක්තිය එය භාවිත කරන අයගෙන් කීයෙන් කී දෙනෙකු දන්නවාදැයි සිතුන වාර අනන්තය. මේ වචනය අද භාවිත කරන්නේ දැඩි මිත්‍රත්වය යන්න අර්ථවත් කිරීමටය. ‘අපි ගල් පිට් කොල්ලෝ දෙන්නෙක් හරිද?’ යන්නෙන් ප්‍රකාශ කෙරෙන්නේ ‘අපි දෙදෙනා අඹ යාළුවො’ යනුවෙන් අතීතයේදී ප්‍රකාශ කල අදහසම අද භාවිත කරන මොඩ් (මෝඩ?) සිංහලෙන් කීමය. ගල් පිට් යන්න සාමාන්‍ය සමාජයට ආවේ ආරක්ෂක හමුදා ඔස්සේය. (ගුවන්විදුලි/රූපවාහිනී ගොන් නිවේදක නිවේදිකාවන් කියන පරිදි ආරක්ෂක හමුදා ‘හරහා’ නොවේ) අලුතෙන් හමුදාවට බැඳුන නිලධාරීන්ට, අධිකාරියට (commission) පත්වීමෙන් පසු තමන් අයත්වන මව් ඒකකයට පැමිණි විට, නම්‍යකරණ කාර්යයක් වශයෙන්, පුංචි නවක වදයකට හෝ ලක්වීමට සිදුවේ. මෙහිදී සැර මත්පැන් ටිකක් පානය කිරීමට දීම බොහෝවිට සිදුවෙයි. මේ සඳහා මත්පැන් වර්ග කීපයක් මිශ්‍ර කර ‘කොක්ටේල්’ එකක් සාදනු ලැබේ. එය සාදන්නේ ඒ පිලිබඳ පූර්ව අත්දැකීම් ඇති නිලධාරීන් විසිනි. එයින් මිලි ලීටර් 75 ක් 100 ක් පමණ පානය කලපසු දිව්‍යලෝකය මෙන්ම අපායද එකවර පෙනෙන බව, එම නවක වදයට ලක්වූ මම හොඳින්ම දනිමි.
සාමාන්‍යයෙන් නිලධාරී නිවස්නයක, තරුණ නිලධාරීන්, සෑම විටම ඉංග්‍රීසි භාෂාවෙන් කතා කලයුතු බවට නියෝග පැනවේ. මෙසේ කරන්නේ ඔවුන්ගේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීම පිණිසය. ඉතින් නවක නිලධාරීන්ට දෙන අර කොක්ටේල් එක රස කර කර බොන්නට හැකි පානයක් නොවේ. සාමාන්‍ය මත්පැන් පානයේදී එහි සැර අඩු කරගැනීමට සෝඩා, වැනි පානයක් හෝ අයිස් කැට හෝ මිශ්‍ර කරන බැවින් එය රස විඳිමින් ටික ටික පානය කල හැකිය. එහෙත් කොක්ටේල් එකට එවැනි කිසිදු අනුපානයක් මිශ්‍ර කිරීමට ඉඩදෙනු නොලැබේ. එය, එක වරම, තම කට උඩට හරවා, ‘ගුඩුස්’ ගා ගිල දැමිය යුතුය. මෙසේ ගුඩුස් ගා ගිල දමනවා යන තේරුම ඇති ඉංග්‍රීසි වචනය වන්නේ ගල්ප් ‘gulp’ යන්නය. ඉතින් නවක නිලධාරීන්ට ජ්‍යෙෂ්ට නිලධාරීන් අණ කරන්නේ ‘එකපාරටම ගුඩුස් ගාලා ඒක බීලා දාපන්’ කියාය. එය කියන්නේ ‘gulp it’ යනුවෙනි. මෙය සමහරවිට එක වරක් නොව නොකඩවා දිගටම කියාගෙන යාම සිරිතයි. ‘ගල්ප් ඉට්’ යන්න ඔබත් නොකඩවා දිගටම කියාගෙන යන්න. එවිට කියවෙන්නේ ගල්පිට් කියාය. (අපි ඉස්කෝලේ යන කාලේ ‘කේක්ගෙඩි අප්පු’ කියා නොකඩවා කියන්නයි යාලුවන්ට කියමු. එවිට කියවෙනදේ දන්නේ නැත්නම්, කාටවත් නොඇසෙන තැනකට ගොස් කියා බලන්න) කොක්ටේල් පානය කරන බොහෝ දෙනා වැඩි වෙලාවක් නොගොස් සංගීතයට අනුව යක්ෂ නැටුම් පෙන්වීම, හොඳ හරුප දෙසාබෑම, නැතහොත් වමනය දැමීම සිදුකරයි. එහෙත් ඒ කිසිවක් නිලධාරී නිවස්නයෙන් පිටතදී, ඉන්පසු කිසිදු දිනකදී, ඔහුට අපහාස වන අයුරින්, සඳහන් කරන්නේවත් නැති අතර, සියලු නිලධාරීන් පසුදින සිට ඔහුව සහෝදරත්වයෙන් පිළිගන්නේ, ජීවිතකාලයටම නොබිඳෙන බැම්මක් ඇති කරමිනි.
1980 දශකයෙන් පමණ පසු යුද හමුදාවට බැඳුන නිලධාරීන් බහුතරයකගේ ඉංග්‍රීසි දැනුම ප්‍රශස්ත මට්ටමක නොපැවතුනි. යුද පුහුණුවට මුල්තැන දීමට සිදුවූ බැවින් ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම ප්‍රශස්ත මට්ටමකට ගෙනඒමට අවකාශ නොවීය. ඉංග්‍රීසි භාෂාව හොඳින් නොදත් නිලධාරීන් සිතන්නේ ගල්පිට් යනු ගල් මෙන් තද එකිනෙකාට බැඳුනු (fit යන ඉංග්‍රීසි වචනය පිට් යනුවෙන් ආදේශ කරගෙන) මිත්‍රත්වයක් ඇති කිරීමට කොක්ටේල් පොවනවා යනුවෙනි. ඔවුන් එයට කියන්නේද ‘ගල්පිට් කරනවා’ යනුවෙනි. කොතරම් කරුණු පැහැදිලි කර දුන්නත් මේ යෙදුම අතහරින්නේ නැති නිලධාරීහු අදටත් සිටිති. තම නෑදෑ හිතවතුන් සමග මේ විස්තර කතා කිරීම තුලින් මේ යෙදුම සාමාන්‍ය සමාජයටද පැමිණියේය. ඔබත් ඔබේ ගල්පිට් මිතුරන් ඇති කරගත්තේ ‘ගල්ප් ඉට්’ කරලාද?

05 January 2012

නිළ ඇඳුමෙන් සිටි කාලේ 3


පිදුරුතලාගල පිළිබඳව මීට පෙර මා කල විස්තරය ඔබට මතක ඇති. නොකියවූවානම් නිළ ඇඳුමෙන් සිටි කාලේ 2 කියවන්න. මුල් කාලයේදී පිදුරුතලාගලට ආරක්ෂක මුරය ගියේ පා ගමනින් බව මා කීවා ඔබට මතක ඇති. මෙය ඉතා දුෂ්කර එහෙත් රසවත් අත්දැකීම් බහුල ගමනකි. පිදුරුතලාගල මුරයේ එකල සිටි සෙබළුන්ට දුන් ආහාර සලාකය හැඳින්වූයේ ‘වෙරළබඩ සලාකය’ යනුවෙනි. මෙය මුලින්ම ඇසූ දවසේ මට බකස් ගා හිනා ගියේ ලංකාවේ උසම තැනට දෙන්නේ වෙරළබඩට දෙන සලාකයදැයි සිතුන බැවිනි. මෙසේ වීමට හේතුව වන්නේ, මෙම සලාක ක්‍රමය මුලින්ම දී තිබෙන්නේ, විශේෂයෙන් 1960 දශකයේදී, අපේ රටට බලවත් ප්‍රශ්නයක්ව පැවති, හොර වැසියන් හෙවත් ‘කල්ලතෝනි’ මර්දනය සඳහා, කල්පිටිය ප්‍රදේශයේ සිට යාපනය දක්වා යොදවා තිබුණු, වෙරළාරක්ෂක භට පිරිස් වෙත වීමය. (කවුද ඒ කාලේ හිතුවේ 1980 දශකය වනවිට ජපනා ගෙනත් ලංකාවේ උසම තැන හිටවන ඇන්ටෙනා කණුවක් මර හීතලේ ගැහෙමින් මුර කරන්ඩ වෙයි කියලා) මෙම සලාකයට, සාමාන්‍ය සලාකයට නොලැබෙන බිත්තර ටින්මාළු ආදිය ඇතුලත්ව තිබුණි. ඒ කාලයේ අපි බොහෝවිට උදේට කෑවේ රොටී ය. ‘පිදුරුතලාගල රොටිය’ කියා මා එයට නමක් දැම්මේ, ඒ රොටී එකකට වඩා කන්නට බැරි නිසාය. හේතුව එක රොටියක විෂ්කම්භය අඩියක් පමණ වන නිසාය.
හොඳින් ඉරපයා ඇති දවසකනම් පිදුරුතලාගල නැගීම විනෝදජනකය. එහෙත් වැසි දිනයක පිදුරුතලාගල නැගීම පණපිටින් අපායේ යාමකි. වැහිකබා කිසිවක් ඒ සුළඟට සහ වැස්සට ඔරොත්තු නොදේ. මර හීතලේ ගැහෙනවා මදිවාට, අඩි 10 ක් වත් දුර නොපෙනෙන තරමට මීදුම අධික වන අවස්ථා එමටය. ඒ මීදුම තුල මාරයා සැඟවී සිටිය හැකිය. 1984 ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු නැවතත් එවැනි ප්‍රහාර සඳහා ත්‍රස්තවාදීන් අර අඳින බවට හමුදා බුද්ධි අංශයෙන් නිරතුරුව අනතුරු ඇඟවීම් ලැබී තිබුණි. මුළු කණ්ඩායමම තුන්දෙනා බැගින් කොටස් වලට කඩා, දුර තබාගෙන යාම හැර, වෙනත් විකල්පයක් නැත. කඳු මුදුනට යනවිට ඇඟ අයිස් බවට පත්වෙයි. මටනම් උණු වතුර ටිකකින් ඇඟ සොදාගන්නාතුරු ඉවසිල්ලක් නැත . එහෙත් සියලුම සොල්දාදුවන්ට ඒ පහසුකම නැත. ඔවුන්ගෙන් සමහරක් නුවරඑලිය දිස්තික්කයේ උපන්නෝය. මටමෙන් සීතලක් ඔවුන්ට නැත. ජාතික රූපවාහිනියේ සම්ප්‍රේෂණ ඉංජිනේරු වරුන් ඇතුළු සියලු දෙනා මෙලෙස පයින්ම කඳු මුදුනට ආවෝය. රූපවාහිනියේ අභිවෘද්ධිය සඳහා මහඟු මෙහෙයක් ඉටුකළ ‘බුවෙල්’ නම් ඉංජිනේරු මහතා, කන්ද නගිමින් සිටියදී ඇති වූ හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත විය. එතුමා සිහි කිරීම සඳහා, එතුමන් හෘදයාබාධයට ලක්වූ ස්ථානයේ, රූපවාහිනී කාර්ය මණ්ඩලය විසින් කුඩා සිහිවටන ඵලකයක් ඉදිකර තිබුණි.
අපට මුලින්ම T 56 අවි ලැබුනේ 1985 – 86 කාලයේදීය. එතෙක් සොල්දාදුවන් විසින් .303 රයිෆල් හෝ SLR (Self Loading Rifle) නමැති අර්ධ ස්වයංක්‍රීය තුවක්කු පාවිච්චි කළහ. හැබැයි එම තුවක්කු වෙඩි තැබීමේ වේගය අතින් බාල වුවද එහි උණ්ඩයක් ගස් ගල් පලාගෙන යන තරම් ප්‍රබලය. නිලධාරීන් වූ අපට ලැබුනේ SMG (Sub Machine Gun) වර්ගයේ ස්වයංක්‍රීය යාන්ත්‍රික තුවක්කුවකි. එය බාර දුන්නේ කාලතුවක්කුවක් බාරදෙනවා වැනි නීති රීති දහසකට යටත්වය. (මෙම තුවක්කු තුන් වර්ගයම 1980 දශකයෙන් පසු අපේ යුද හමුදාවේ භාවිතයට නොගනී) T 56 ලැබුන අවධියේ මුළු එල් ටී ටී ඊ හමුදාව සමග තනියෙන් සටන් කරන්නට තරම් ‘ගට්’ එකක් ලැබුණි. පුහුණු කාලයේදී වෙඩිතැබීමෙන් පසු T 56 පාවිච්චි කර නොතිබූ බැවින්, එක වෙඩිල්ලක් හෝ තබන්නට තිබුනේ පුදුම ආසාවකි. එදා මාගේ පිදුරුතලාගල මුර වාරයයි. සාමාන්‍යයෙන් පිදුරුතලාගල යන්නේ හරිම අකමැත්තෙනි. හේතුව නිලධාරී නිවස්නයේ සිටිනවිට හැන්දෑවට සහෝදර නිලධාරීන් සමග ලබන ‘විනෝදය’ (විනෝදය කියන්නේ විනෝදය) පිදුරුතලාගලදී නොලැබීමයි. (එව්වා එහේ සම්පූර්ණයෙන් තහනම්ය. දැන් වගේ ජංගම දුරකථන නැති නිසා වෙන මාර්ග වලින් පණිවිඩ යැවීමට බැරිය. රූපවාහිනී කාර්ය මණ්ඩලයේ අය බොහෝවිට අපට විනෝදයක් සඳහා ඇරයුම් කරති. එතකොට පිළිතුරු විනෝදයක් නොදුන්නොත් අපේ තත්වයට මදිය. නමුත් අපි ප්‍රධාන කඳවුරට ගුවන්විදුලි පණිවිඩයකින් දැනුම් දෙන්නේ මීළඟට සලාක ද්‍රව්‍ය එවන විට ‘සිද්ධාලේප’ එකක් එවන ලෙසය. කිව්ව විදිහටම සිද්ධාලේප එක නොවරදවාම ලැබෙයි. ඉතින් අපි ‘ගොඩ’ ය. කිසිදු දිනයක මුරයේ කිසිදු සොල්දාදුවකු ‘සිද්ධාලේප’ නොගත් බව දිවුරා කිව හැකිය) ඉතින් එදා T 56 ත් රැගෙන පිදුරුතලාගල යන්නට පිටත් වුනේ ‘අදනම් ත්‍රස්තවාදියෝ 100 ක් ආවත් එකාපිට එකා බාවනවා’ යන හැගීමෙනි.
මුරය මාරු වන විට අපි කරන පුංචි සම්‍යක් ප්‍රයෝගයක් තිබේ. එනම් කඳු මුදුනේ සිටින නිලධාරියා තම පිරිසෙන් හත් අට දෙනෙක් සමග කන්දේ බාගයක් දුර බැසීමයි. එහි තැනිතලා භූමියක් ඇත ‘නිළ ඇඳුමෙන් සිටි කාලේ 2′ චායාරූපයේ ඇත්තේ ඒ තැන්නයි. එවිට කන්ද නගින නිලධාරියා තැන්නේදී හමුවී රාජකාරි තොරතුරු හුවමාරු කරගෙන දෙදෙනා දෙපසට යාම සිරිතයි. මේ සඳහාද අපි හදාගත් රහස් වචන ගුවන්විදුලි පණිවිඩ මගින් හුවමාරු කරගත්තෙමු. එදා තැන්නට මීටර් 50 ක් පමණ තිබියදී ලස්සන වලිකුකුළන් රංචුවක් මාගේ නෙත ගැටුණි. (එවකට ඌ ජාතික පක්ෂියාද?) මම වහාම උන් වෙත ටී 56 උණ්ඩ දෙක තුනක් මුදා හැලෙමි. අනේ උන් හිටියාටත් වඩා හොඳින් ඉගිල ගියෝය. අපොයි පතරොම් ටික කියා සිතමින් තැන්නට ගිය නමුත් ඉහල සිට පහලට එන නිලධාරියා (එවකට මම ලුතිතන් නිලයේ සිටි අතර ඔහු ජ්‍යෙෂ්ට කපිතන් වරයෙකි) පැමිණ සිටියේ නැත. ඔහු හමුවේය යන සිතින් කන්ද මුදුනටම ගියත් ඔහු එහි නොසිටියේය. එහි සිටි සෙබල පිරිසගෙන් “කෝ සර්? ” කියා විමසූ විට ඔවුන් කිව්වේ ” ඇයි සර්, අපේ සර් පහලට බැස්සනේ තැන්නේදී සර්ව හම්බවෙන්ඩ” කියාය. මට දැන් මෙය මහා ප්‍රහේලිකාවක් විය. මා අත තිබුන පණිවිඩ හුවමාරු යන්ත්‍රයෙන් ඔහු ඇමතුවද පිළිතුරක් නොලදිමි. කලබලයට පත මම වහාම ගුවන්විදුලි මගින් මේ බව ප්‍රධාන කඳවුරට දන්වා ආපසු තැන්න වෙත ඒමට පිටත් වුනෙමි. වැඩි දුරක් යාමට කලින් ඔහු ප්‍රධාන කඳවුරේ සිට ගුවන්විදුලියෙන් මා ඇමතීය. “ඔබ ඉහලට යද්දී වෙඩි තැබුවාද?” ඔහු මගෙන් විමසීය. මම මා කල දෙය කිව්වෙමි. ඔහු, තොපගේ මෑණියන්දාට ආදී වශයෙන්, මුළු ගුවන්විදුලි ජාලයේ ඒ වෙලාවේ සිටි සියලු දෙනාට ඇසෙන පරිදි, මට උපහාර පුද කළේය.
සිදුවී ඇත්තේ මෙයයි. මා වළි කුකුළන්ට වෙඩි තබන විට ඔහු සිට ඇත්තේ ඊට මීටර් 100 ක් පමණ දුරිනි. ඔහු සිතුවේ මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් කියාය. ඔහු සමග සිට ඇත්තේ සෙබළුන් තුන් දෙනෙක් පමණි. එබැවින් සතුරා වෙත යාම නුවනට හුරු නොවන බැවින්, කන්ද නගින අඩි පාර මග හැර, ඝන කැලය දිගේ පහලට පැමිණ ඇත. එහෙත් වෙඩිල්ල වැරදීමෙන් පසු මාගේ සිනා හඬ ඇසුණු ඔහුගේ මුරයේ අය, “සර් ලෙෆ්ටිනන්ට් . . . . .ගේ කටහඬ ඇහෙනවා කෑගහලා කතාකරමුද?” කියා ඇසුවත්, ඔහු එය වලක්වා ඇත්තේ කැලයේ කොතන සතුරන් සිටිනවාදැයි නොදත් නිසාය. කැලේ කඩාගෙන පල්ලම් බහිද්දී ඔහුගේ මුළු ඇඟම කටු වලට සීරී තුවාලවී තිබුණි. ළඟ හිටියානම් ඔහු මාගේ කණ පලනු සිකුරුය. තවත් කතා පසුවට . . . . . . . .

04 January 2012

සයිබර් අවකාශය සහ සිංහල යුනිකෝඩ්

සයිබර් අවකාශය තුල සිංහල භාෂාවට තැනක් ලැබී එතරම් දීර්ඝ කාලයක් ගතවී නැත. එහෙත් වර්තමානයේදී සයිබර් අවකාශය තුල සිංහල භාවිතය සීඝ්‍රයෙන් වැඩි දියුණු වෙමින් පැවතීම, සිංහල භාෂාව පාවිච්චි කරන අප කාගේත් සතුටට හේතුවනු නොඅනුමානය. හෙළ බස සයිබර් අවකාශය වෙත රැගෙන ඒමට මුල් පියවර තැබූ සියල්ලන්ට මෙම ලිපිය ආරම්භයේදීම මාගේ ශීර්ෂ ප්‍රණාමය පුද කරනු කැමැත්තෙමි. ඔවුන් ඒ සඳහා විවිධ පර්යේෂණ, තැත් වැරදි, කොපමණ කරන්නට ඇතිද, යන්න සිතා බැලීමේදී ඔවුන් විශේෂ ගෞරවයකට සාකල්‍යයෙන්ම සුදුසු වන බව පැහැදිලි වෙයි. .
කෙසේ වෙතත් සයිබර් අවකාශය තුල සිංහල යතුරු කරණයේදී තවමත් නොවිසඳුණු ප්‍රශ්න නැතුවාම නොවේ. මා මෑතක් වනතුරු පාවිච්චි කළේ, කොළඹ විශ්ව විද්‍යාලය මගින් සකසා ඇති සිංහල යුනිකෝඩ් ක්‍රමයයි. එහිදී සමහර අකුරු යුනිකෝඩ් පරිවර්තනයෙන් පසු තරමක් විකෘතිවී පෙනෙන බව මා හට නිරීක්ෂණය විය. ම් මි මී, ව් වි වී, බ් බි බී, ඩ් ඩි ඩී, වැනි අකුරු, ඒවාට අදාළ නිවැරදි ඉස්පිල්ල නොපෙන්වීම මුලින්ම මා අපහසුතාවයට පත කල ප්‍රශ්නය විය. එය දැනට සාර්ථකව විසඳී ඇත. එහෙත් තවමත් ප්‍රශ්නයක්ව තිබෙන්නේ යංශය සහ රකාරාංශය නිවැරදිව නොපෙන්වීමයි. උදාහරණයක් වශයෙන් මාධ්‍යය යන වචනය යතුරු කරණයේදී මා යන්න, මහප්‍රාණ ධ යන්නට යංශය, ය යන්න ලෙස යතුරු කරණය කලද, එය පෙන්වන්නේ මා යන්න, මහප්‍රාණ ධ යන්නට හල් කිරීම, ය යන්න ලෙසය. එමෙන්ම මහාප්‍රාණ යන වචනයේ ප යන්නට යෙදු රකාරාංශය වෙනුවට පෙන්වන්නේ හල් ප යන්න සහ රා යන්නය. මෙය යතුරු කරණය පිලිබඳ මාගේ නොදන්නා කමද නැතහොත් වෙනත් ප්‍රශ්නයක්ද යන්න නොදනිමි. දැනුමැත්තෝ මා දැනුවත් කරත්වා. දැනට මා පාවිච්චි කරන්නේ ගූගල් ට්‍රාන්ස්ලිටරේෂන් මෘදුකාංගයයි.

02 January 2012

ඉස්කෝලේ යනකාලේ 3



  අපේ පාසලත්, එයට අහස් දුරින් නම්, මීටර් 200 ක් සහ නියමිත ගමන් මාර්ගයෙන් මීටර් 400 ක් පමණ දුරින් පිහිටි, බාලිකා විද්‍යාලයත් අතර, විවිධාකාර සබඳතා තිබුණි. (විවිධාකාර කියන්නේ විවිධාකාර) එහෙත් වාර්ෂික මහා ක්‍රිකට් යුද්ධය වන ‘බිග් මැච්’ එකේදී අපේ කට්ටිය සුහද ආරාධනා කරමින්, තාප්ප ආරාධනා පත්‍ර ලියන්නේ කිලෝ මීටර් එකහමාරක් පමණ දුරින් පිහිටි කන්‍යාරාමයේ තාප්පයේය. කන්‍යාරාමය කෙලින්ම පාරේ අනික් පැත්තේ පිහිටි කතෝලික බාලක පාසලේ අපේ ප්‍රතිවාදියෝද පැමිණ, බාලිකා විද්‍යාලයේ තාප්පය එලෙසම ආරාධනා වලින් පුරවති. බිග් මැච් දවසට අපි ගොන් කරත්තයක් කුලියට ගන්නේ, ඉතා අමාරුවෙන් එකතු කරගත් රුපියල් පහකිනි. අපේ රටේ කොහෙත් සිදුවන ආකාරයට, විකාර ඇඳුම් ඇඳගෙන, බෙර ගසමින් නලා පිඹිමින් නගරය පුරා ‘හැට් කලෙක්ෂන්’ සොයමින් ගිය කාලය අද සිහිනයකි. (ඒ නගරයේ අද මම මගේ කාරය එලවාගෙන යන්නේ පටු වීදි නිසා ඇති තදබදයට සාප කරමිනි.) හැබැයි එක දෙයක් නම් දිවුරා ප්‍රකාශ කල හැකිය. අපි කිසි දිනක පාසල් වියේදී මත්පැන් පානය කර නැත්තෙමු. එක වරක් හෝ දෙවරක් සිගරට් උගුරක් ඇද ඇත්තෙමි. හැට් කලෙක්ෂන් වලින් සොයාගත් මුදල් වලින් කලේ එකල ඉහල පෙලේ නමක් තිබුණු හෝටලයකින් බඩ පුරා කෑමය.
  අපේ පාසලේ ප්‍රේක්ෂකාගාරය උස් බිමක පිහිටා ඇත. එයට ඉතා අලංකාර සඳළුතලයක්ද ඇත. ඒ දවස්වල අපේ අයියලාගේ පන්තිවල සිටි සමහර ලොකු අයියලා පාසල් විවේක කාලයේදී මේ සඳළුතලයේ සිට මහා හඬින් කතා පවත්වති. එවැනි එක අයියා කෙනෙක් හැඳින්වූයේ එවකට අප්‍රිකානු රටක ජන නායකයකුව සිටි ‘ෂොම්බේ’ යන නමිනි. මේ කතාවල පදනම, 1971 කාලයේදී ඇතිවූ කැරැල්ලේ මූල බීජ අවස්ථාව බව මට අවබෝධ වූයේ, ඊට සෑහෙන කලකට පසුවය. අපේ පාසලේ ශිෂ්‍යභට ඛණ්ඩය, එවකට දිවයිනේ සුප්‍රසිද්ධ ඛණ්ඩයක් විය. ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ඉතා ඉහල නිලයන් හොබවන විරුවන් රැසක් බිහිකළ, අදටත් බිහිකරන පාසලක් බව නොකියාම බැරිය. ශිෂ්‍යභට පුහුණුව තුලින් අප ලද විනය හා කාර්යක්ෂම භාවය වචනයෙන් කිව නොහැකි තරමේ වටිනා ධනයකි.
  මගේ අක්කලා තිදෙනාම ගියේ පෙර කී බාලිකා විද්‍යාලයටය. හැබැයි අපේ විද්‍යාලයේ (මම මීට පෙර පළකර ඇති කොටසේ සඳහන්) පාලම යටින් යනවිටනම්, පොඩි පොඩි කියමන් වලට ලක්වීමට සිදුවෙයි. ‘අප්පා කොයි කඩේ හාල්ද කන්නේ’ ‘බත් කන පිඟාන අපට දෙන්ඩ බැරිද’ වැනි කියමන් වලට අක්කලා ලක්වන්නේ තිදෙනාම ‘ පිටි මුට්ට මෙන් කෙට්ටු’ නිසාය. මේ කරදරය අක්කලා විසින් තාත්තාට පැමිණිලි කිරීම නිසා මට අලුත් රාජකාරියක් තාත්තාගේ ස්ථාවර නියෝග යටතේ පැනවුනි. (තාත්තාද විදුහල්පති වරයෙකි) එනම් අක්කලාට ‘ගාඩ්’ එකක් දීගෙන හෙවත් ‘එස්කොට්’ කරගෙන යාමය. මල වාතයකි. මට මගේ ‘බජාර් එකේ’ කට්ටිය සමග විඳින්නට තිබෙන උදෑසන සොමිය ඉවරය. මොනවා කරන්ඩද. හැබැයි අක්කලාට විවිධ දේ කියන කොල්ලන්ට අපේ අයියා, අයියාගේ ‘බජාර් එකේ අයියලා’ මගින් පොඩි තර්ජනයක් දී තිබුණි. අක්කලා පාලම අසලට එනවිටම, ‘ඒයි . . . . .ගේ නංගිලා එන්නේ මොකවත් කියන්ඩ එපා’ යන අවවාදය අයියලාගෙන් ලැබෙයි. මේ නිසා මට එස්කොට් ඩියුටියෙන් ගැලවීමට හැකිවීම ගැන දෙවියන්ට පින් දුනිමි. හැබැයි කරුමය පල දුන්නේ ඉන් පසුවය. බාලිකා විද්‍යාලයත් අපේ පාසලත් ඇරී දෙවර්ගයාම එකට පාරේ යනවිට විවිධ දේ සිදුවෙයි. ඉඟි බිඟි , ඇතුලේ සෙනෙහෙ කොළ සහිත පොත්පත් හුවමාරු, ටොෆී, ලොසින්ජර, වෙරළු, හුවමාරු සිදුවෙයි. (දැන් වගේ එස් එම් එස් ලව් නොතිබීම කොච්චර හොඳද?) තවත් ජරාම කොල්ලන් පිරිසක් බාලිකාවන් පිලිබඳ තමන්ගේ නිරීක්ෂණ ඔවුන්ට ඇහෙන්ඩම කියති. (කොටයි, මහතයි, කලුයි, වගේ) අපේ අක්කලාගේ පසුපසින් පැමිණි කොල්ලන් පිරිසක් ‘හා බයවෙන්ඩ එපා අයියා පිටුපසින් එනවා’ යන අදහස දෙපිට කැපෙන කුණුහරුපයකින් කියා තිබුණි. එහි තේරුම නොදත් අක්කලා එදා රෑ එම වචන වලින්ම එය අම්මාට කියනු තාත්තාටත් අයියාටත් ඇසුනි. එය මටද හොඳින් තේරෙන බව අයියා දනී. ඔහු රහසින් මට සංඥා කලේ ගෙදරින් එලියට එන ලෙසය. එළියේදී මගේ කන අතගෑ ඔහු, ‘මීටපස්සේ යනකල් එනකල් උඹේ කොල්ලොත් එක්කම අක්කලා ලඟින්ම පලයන්’ කියා නියෝග කළේය. හැබැයි එවැනි ප්‍රශ්න එයින්ම නැතිවී ගියේය.
  මගේ අක්කලා තිදෙනාගෙන් බාලම අක්කාගේ පන්තිභාර ගුරුවරිය ලෙස කටයුතු කලේ එවකට සිංහල සිනමාවේ සිටි ජනප්‍රිය සුරූපී නිලියකි. (ඇයගේ දියණියන් දෙදෙනාගෙන් එක් අයකු සිනමාවේ හා රූපවාහිනියේ ඉතා ජනප්‍රිය නිළියකව සිටි අතර අනෙක් දියණියද ටෙලි නාට්‍යයක රඟපෑ බව මතකය.) හැබැයි මේ නිළිය කිසි දිනක ගුරු වෘත්තීය හා සිනමාව පටලවාගත් බවක් නම් මම අසා නැත. කෙසේ වෙතත් ඇය පසු කලකදී ගුරු වෘත්තියෙන් සමු ගත්තාය. සමහර දිනවලදී ඇය හමුවන්නට එවකට අතිශයින් ජනප්‍රිය, හැබැයි බොහොම මහත, සිනමා නළුවකු ෆියට් වර්ගයේ කාරයකින් ආවා මට මතකය. (ඒ කාලයේ චිත්‍රපටියක කොල්ලා සහ කෙල්ල ලෙස රඟන්නේ වයස 35 – 40 පමණ තරුණ තරුණියන්ය) තවත් කොටසක් පසුව.. . . .

නිළ ඇඳුමෙන් සිටි කාලේ 2


  ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටමේ සිට වැඩිම උසින් පිහිටි භූමිය හෙවත් පිදුරුතලාගල ගැනයි මේ. පිදුරුතලාගල යනු ශ්‍රී පාදය මෙන් කඳු මුදුනක් නොවේ. එය කඳු වැටියකි. වැටියේ උසින් වැඩිම ප්‍රදේශය, නුවරඑළිය නගරයට ඉහලින් විරාජමාන වේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් ප්‍රධාන විකාශනාගාරය, එහි පිහිටවීමට පෙර යුගයේ සහ පිහිටවූ මුල් යුගයේ, කඳු වැටියේ උසින්ම පිහිටි භූමි ප්‍රදේශයට නැග, එහි අසිරිය විදින්නට, ඕනෑම කෙනෙකුට අවසර තිබුණි. දේශීය විදේශීය සංචාරකයන් විශාල පිරිසක් මේ සොබාදම් අසිරිය නිබඳ විඳගත් නමුත්, දේශීය සංචාරකයන් සමහරකගේ, අශ්ලීල සහ අවිනීත හැසිරීම් නිසාත්, 1984 වර්ෂයේදී විකාශනාගාරයට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසාත්, මුළු කඳු වැටියම තහනම් අඩවියක් බවට පත්විය. පිදුරුතලාගල සිට ශ්‍රී ලංකාවේ භූමියෙන් අති විශාල ප්‍රදේශයක් දුර දක්න භාවිතයෙන් තොරව නැරඹිය හැකිය.

එක ප්‍රදේශයකට දැඩි හිරුරැස් පතිත වෙද්දී තවත් පෙදෙසකට මහා වැසි වැටෙන හැටිත්, තවත් පෙදෙසක් මිහිදුමෙන් නැහැවී ඇති සැටිත් එකවර නැරඹිය හැකි නිසා, දිව්‍යලෝකයක සිටින්නාක් මෙන් දැනෙයි.

අප සිටගෙන සිටින භූමියට වඩා පහලින් ගුවන් යානා පියාසර කරනු දුටුවිට අප සිටින උසෙහි තරම අවබෝධවෙයි. අධි රක්ෂිත වනාන්තරයක් වන මෙහි දිවියන්, ගෝණුන්, සහ ඇළි වඳුරන් ද ගැවසෙයි. ගෝන්නු රාත්‍රී කාලයේදී අපේ කඳවුර අසලට එන්නේ අප කා අවසන්ව ඉවත දැමූ බත් මිටක් ගිල දමන්නටය. ආරක්ෂක මුරයේ සෙබළුන් සිටි තැන්වල සිට මගේ කාමරය වෙත ලණුවක් ඇද එහි අග හිස් කිරි ටින් එකක් එල්ලා තබන්නේ ගෝණුන් පැමිණි බව මට දැනුම් දීමට ටකයක් වැනි සංඥාවක් වශයෙනි. අංශක 10 ක පමණ මර හීතලේ මම මේ ලස්සන සතුන් නරඹමි. කිසි දිනක කිසිදු සතෙකුට කිසිම හානියක් නොකළ බව මගේ දරුවන්ගේ නමින් වුවද දිවුරා ප්‍රකාශ කල හැකිය.

   මේ වනය පුරා ඇවිද මා ලැබූ ආස්වාදය වචනයෙන් විස්තර කිරීම අතිශයින් දුෂ්කරය. විවධ දුර්ලභ වන ඔසු ශාක, මාරත්මල්, යෝධ මීවන, ආදී ශාක මෙන්ම වනයට අමුතු පෙනුමක් ගෙන දෙන විවිධ ලයිකන වර්ගද, කුරු වනාන්තර ශාක ද මා සිත බැඳගත් බව මතකය. පිදුරුතලාගල මුදුනට මඳක් පහලින් ස්වභාවික ජල මූලාශ්‍රයක් ඇසුරෙන් සාදාගත් කුඩා පීල්ලක් ඇත. එකල අපි සමහර විට එහි ගොස් හිම මෙන් සීතල ජලය හූ කියමින් උඩ පනිමින් නාමු. රාත්‍රී කාලයේ ඇති සීතල වචනයෙන් විස්තර කල නොහැකිතරම්ය. යුද සෙබළකු එක වරකට නොකඩවා පැය දෙකක් මුරයේ යෙදිය යුතුය. සමහර සෙබළු නිළ ඇඳුමට ඇතුලෙන් තවත් ඇඳුම් දෙකක්වත් අඳින්නේ සීතලෙන් බේරීම සඳහාය.
  රූපවාහිනිය අපට ජපන් රටෙන් ලැබුන තෑග්ගක් බව ඔබ දන්නවා ඇත. කඳු පාමුල සිට කඳු මුදුනට බඩු ගෙනයන්නට ජපන්නු කුඩා කේබල් කාර් ක්‍රමයක් යොදවා තිබුණි. විකාශනාගාරයට අවශ්‍ය දේවල්, එහි කාර්ය මණ්ඩලයට අයත් කෑම බීම, ආරක්ෂක මුරයේ බඩුබාහිරාදිය, කෑම බීම ද්‍රව්‍ය, ඉහලට යැව්වේ මේ කේබල් කාර් මගිනි. හුදු විනෝදය සඳහා මමද වරක් හෝ දෙවරක් කේබල් කාර් මගින් ගොස් ඇත්තෙමි. නමුත් එය මිනිසුන් ගෙනයාමට සකසන ලද්දක් නොවන නිසා ගමන භයානකය. පසු කාලයේදී මෙය නිතර ක්‍රියා විරහිතවීම, කේබල් කඩා වැටීමෙන් බඩුබාහිරාදියට බරපතල හානි සිදුවීම වැනි හේතු නිසා අත්හැර දමන ලදී. නමුත් කළයුතුව තිබුනේ වඩාත් හොඳින් සකසා මිනිසුන්ටද යා හැකි පරිදි වැඩි දියුණු කිරීමය. සිදුවූයේ වටිනාකම මිල කල නොහැකි නොඉඳුල් වනාන්තරය කපා කොන්ක්‍රීට් ඇතිරූ මහ පාරක් තැනීමය.
  එකල අපි ආරක්ෂක මුරය වශයෙන් රාජකාරි සඳහා පිදුරුතලාගලට ගියේ පා ගමනිනි. වැටිය මුදුනට යාමට කඳු හතක් නැගිය යුතුය. එය පැය එකහමාරක දෙකක පමණ ගමනකි. දියතලාව කඳවුරේ පුහුණුවන කැඩෙට් නිලධාරීන් අභ්‍යාසයක් වශයෙන් කාල ගණනය කිරීමක් තුළ කන්ද නගින්නේ විනාඩි 55 ක් හෝ 70 ක් වැනි පරාසයක් තුල ය. තවත් කොටස් ඉදිරියට . . . . . 
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }