අපේ පාසල එදා සිට අද දක්වාම දිවයිනේ බොහොමයක් එවැනි පාසල් මෙන් මහත් ජනප්‍රිය පාසලකි. මේ පාසල ආශ්‍රිතව ඇති රක්ෂිත වනය ඉතා සුන්දර වන අඩවියක් වන අතර ජෛව විවිධත්වය අතින් ඉතා උසස් මට්ටමක පවතී. මා කලින් ලිපිවල සඳහන් කලාක් මෙන් මේ අසලම පිහිටි බාලිකා විද්‍යාලයට සුළු සුළු කරදර ඇති කිරීමට අපෙන් සමහරක් පුරුදුව සිටියහ. එයින් එක් ප්‍රහාරයක් එල්ලවන්නේ බාලිකාවන් ශාරීරික අභ්‍යාස කාල පරිච්ඡේදය සඳහා පන්තියෙන් පිටතට ගිය විටය. කලින් සොයාගත් තොරතුරු අනුව රක්ෂිත කැලය දිගේ නියමිත අක්ෂයකට අනුව බඩගාගෙන ගිය විට බාලිකා විද්‍යාලයේ ආසන්නතම ගොඩනැගිල්ල හමුවෙයි. ඉන්පසු රිලව් මෙන් ගසකට නැග ඔත්තු බලන පිරිස සහ ආක්‍රමණික පිරිස වශයෙන් කොටස් දෙකකට බෙදෙයි. රිලව් ඔත්තු බලද්දී වඳුරෝ පන්ති කාමරයේ කොට බිත්තිය උඩින් පැන බාලිකාවන්ගේ පාසල් බෑග් වල ඇති කෑම පාර්සල් පැහැරගෙන ආපසු පලා එති. පසු කාලයේදී ශක්තිමත් වැටක් ඉදිවීම නිසා වඳුරන්ට බුම්මාගෙන සිටින්නට සිදුවිය.
ඒ කාලයේ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළට අරක්ගත් සංචාරක වෙළෙන්දන් සමහර විට මගීන්ට මහත් හිසරදයක් විය. එනමල් බේසම් වල දමාගත් වෙරළු ගෙඩියේ සිට නොයෙක් විසිතුරු බඩු දක්වා විවිධ දේ රැගෙන බස් වලට ගොඩවෙන මොවුන් නිසා සාමාන්‍ය මගීන්ට බස් වලට නැගීම බැසීම පවා අපහසු වන අවස්ථා එමටය. වරක් අපේ පාසලේ ශිෂ්‍යයකු බසයෙන් බැසීමෙදී මේ වෙළෙන්දෙකුගේ ඇඟේ හැපීමෙන් වෙළෙන්දා විකිණීමට ගෙනා දේවල් සහිත බේසම බිම වැටුණි. දැඩි කෝපයට පත් වෙළෙන්දා ශිෂ්‍යයාට එවෙලේම පහර දුන්නේය. මේ සිද්ධිය විදුහල්පති තුමා දක්වා ඉහලට ගෙනයාමේ ප්‍රතිඵලයක් වශයෙන් බස් ගමන ඉතා කල්පනාකාරීව කලයුතු බවට අවවාද කල විදුහල්පති තුමා, නිවරැද්දේ ගුටි කෑමත් නොසුදුසු බව ප්‍රකාශ කළේය. එදා පාසල ඇරී නගරයට පැමිණි අපේ ලොකු පන්තිවල අයියලා සියලුම වෙළෙන්දන් බස් නැවතුම්පොළ හැරදා හි ලූ ලූ අත දුවන තුරු පහර දුන්නෝය. ඊට විරුද්ධව කිසිදු ක්‍රියාවක් වෙළෙන්දන්ගෙන් ඉන්පසුව හෝ සිදු නොවුණු අතර නගරය පුරා ඔලුව කෙලින් තබාගෙන යන්නට අපේ ශිෂ්‍යයන්ට හැකිවිය. (හැබැයි මෙය 1960 දශකයේ සිදු වූවක් බව අමතක නොකරන්න)
දැන් උනානම් හෙම බලන්න තිබුණා.
ReplyDelete