හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

13 February 2015

උතුරේ සංචාරයක් (පළමුවැනි කොටස)


Jaffna
 යුද්දෙන් පස්සේ වවුනියාව සහ වැලිඔය පැත්තේ ගිහින් ආවත්, උතුරට යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් පසුගිය දෙසැම්බර් 17 - 18 දෙදින තුළ, උතුරේ සංචාරයක යෙදෙන්න මට අවස්ථාව ලැබුණා. මේ කළින් සැළසුම් කළ සංචාරයක් නොවේ. හිතුනා ගියා. නමුත් සංචාරය සාර්ථකව කරන්න හැකිවුනා. යුද හමුදාවේ දැනට සේවයේ යේදී ඉන්න යාලු මිත්තරයන්ගෙන්, විශාල උපකාරයක් ලැබුණා. අපේ සම්පූර්ණ පිරිස පස් දෙනයි. අපේ පන්සලේ නායක හාමුදුරුවෝ, සාමනේර හිමිවරුන් දෙනම, මගේ මිත්‍රයෙක් සහ මම. ඒ මිත්‍රයා සහ මා තමයි රියැදුරු රාජකාරිය කළේ. හැබැයි ඉතිං දවස පුරා රිය පැදෙව්වත්, හවසට ඇඟපත රත්කරගන්න ලැබුණේ නැහැ. හාමුදුරුවෝ ඉන්නවනේ. ඒ නිසා එව්වා අමතක කරලා දැම්මා.

   මෙන්න මෙහෙමයි අපි ගිය ගමන් මාර්ගය. ගෙදර ඉඳලම පාර පෙන්නන්න අවශ්‍ය නැහැනේ. අවශ්‍ය කොටස තමා මේ පෙන්නන්නේ. වවුනියාව පහුකලාට පස්සේ, පුලියන්කුලමෙන් දකුණු අත පැත්තට හැරිලා, (භූමියේ නැගෙනහිරට)  ඔය රතුපාට ඊතල වලින් පෙන්නන පාරෙන් ගිහින් කහපාට ඊතල වලින් පෙන්නන පාරෙන් ආපහු ආවා. 

1

  මා කවදාවත් මගේ සේවා කාලය තුළ, පුලියන්කුලමේ සිට මුලතිව් දක්වා ගොඩබිමෙන් ගමන් කර නැහැ. මේ තමයි ගිය පළමුවැනි වතාව. ඊලාම් යුද්ධය පැවති කාලයේ, ගුවනින් ගොස්, මුලතිව් ඝන වනාන්තරය දැක තිබුණත්, ඒ වනය මැදින් අද තිබෙන කාපට් පාරේ යනවිට ඇතිවෙන්නේ, අමුතුම හැඟීමක්. මට නොකඩවාම මතක්වුනේ, මේ භූමිය, LTTE ත්‍රස්තවාදීන්ගෙන් ජයගන්න, තම රුධිරයෙන් මේ බිම තෙත්කළ, අපේ රණවිරුවන්. ඔන්න ඉතිං අපි මුලතිව් වෙත ළඟාවුණා. හරිම ලස්සන වෙරළ තීරයක්.

DSC01412a

   අපේ හාමුදුරුවෝ වෙරළ තීරයේ සුන්දරත්වය නැරඹුවේ මෙහෙමයි. පොඩි දෙනම නම් රැල්ල පාගන්නත් ගියා.

DSC01410

DSC01409

ඊට පසේ අපි ගියේ පුදුකුඩිඉරුප්පු යුධ කෞතුකාගාරය බලන්නයි.

DSC01418

   පේ ආරක්ෂක හමුදා විසින් අල්ලාගන්නා ලද, LTTE සංවිධානය විසින් මුහුදු සටන් සඳහා භාවිත කළ යාත්‍රා, ඔවුන් විසින් වැඩිදියුණු කිරීමට උත්සාහ කල සබ්මැරීන්, සහ වෙනත් යුද්ධායුධ මේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරනවා. එමෙන්ම, මානුෂික මෙහෙයුමේදී, සාමාන්‍ය ද්‍රවිඩ ජනතාව, ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදා ගැනීම සඳහා, අපේ හමුදාව කළ මෙහෙය පිලිබඳව, ඡායාරූප විශාල ගණනක් ප්‍රදර්ශනයට තබා තිබෙනවා. 

DSC01436

DSC01440

DSC01444

DSC01448

මානුෂික මෙහෙයුම අවසන් කොට, යුද ජයග්‍රණය අත්පත් කරගැනීම වෙනුවෙන් ඉදිකර ඇති ස්මාරකයයි මේ පහතින් දැක්වෙන්නේ.

DSC01454

 මුලතිව් හමුදා කඳවුරකින් දිවා ආහාරය ලබාගත් අපි ඊළඟට කිලිනොච්චිය බලා පිටත්වුණා. සවස තේ පානය සඳහා අපි නැවතුනේ කිලිනොච්චියේ. අපේ අරමුණ වුණේ එදිනම කෙසේ හෝ ඩෙල්ෆ්ට් දූපත දක්වා යාමයි. ඒ සඳහා බෝට්ටුවට නගින්න තිබෙන ස්ථානයට, දුර කිලෝමීටර් 90 ක් පමණ වෙනවා. නමුත් කිලිනොච්චියට නුදුරු පූනරින් ප්‍රදේශයට එනවිට, වර්ෂාව අධික වීමත්, මාර්ගය අබලන් වීමත් නිසා, ගමනේ වේගය හොඳටම අඩාළ වුණා. අපේ පුංචි කාර් එකට, මේ රළු මාර්ගයේ ගමන් කිරීම, විශාල අභියෝගයක් වුණා. (Toyota Stralet Reflet) වාහනය පදවන ගමන් මා ගත්ත පින්තූරයක් පහත දක්වන්නේ, මාර්ගයේ ස්වභාවය සහ වැසි ගතිය පෙන්වන්නටයි. 

DSC01467

   මෙන්න මේ සිතියමෙන් පෙන්වන්නේ ඒ මාර්ගයේ කොටසක්. පූනරින් - සංගුපිඩ්ඩි මාර්ගය, ඒ කාලේ මහා යුද්ධ පැවති ප්‍රදේශයක්. මෙහි ගමනාගමනය මුළුමනින්ම නැවතිලා තිබුණේ. අද මේ තරමින් හෝ යන්නට ලැබීම වාසනාවක්. 

Screenshot (79)

   අපි හිතුවේ කෙසේ හෝ ඩෙල්ෆ්ට් දූපත දක්වා ගොස්, රාත්‍රිය එහි ගතකරන්නයි. නමුත් ඩෙල්ෆ්ට් සහ නාගදීපය දක්වා බෝට්ටු සේවය පටන් ගන්නා කිරිකඩ්ඩුවාන් ජැටිය වෙත ළඟාවනවිට, හවස 6 විතර වුණා. එයට හේතුව වුණේ, යාපනයේ සිට පුන්කුඩුතීව් දක්වා දිවෙන මාර්ගයත්, තවම අලුත්වැඩියා කරමින් පවතින නිසා, පාර හදන අය විසින්, වරින්වර, එක දිශාවකට පමණක් වාහන ධාවනය කරන්න ඉඩ ලබාදෙන පරිදි, යන්නට සිදුවීම නිසයි. අපි ජැටියට එනවිට, ඩෙල්ෆ්ට් දක්වා යන අවසාන බෝට්ටුවත් ගිහින් තිබුණා. එහි සිටි නාවික හමුදා නිළධාරීන් සහ පොලිස් නිළධාරීන්, වෙනත් බෝට්ටුවක් හොයාගන්නට දරන ලද උත්සාහයත් සාර්ථක වුණේ නැහැ. අපි එක්තරා ආකාරයක අතරමං වීමකට ලක්වුණා. නමුත්, යාපනයේ සිටින, අප දන්නා හඳුනන හමුදා නිළධාරීන්ට දුරකථනයෙන් කතාකර, නවාතැනක් හොයාගන්න පුළුවන් වුණා. එහෙත්, නවාතැන් ගන්න, ආපසු යාපනය දක්වා කිලෝමීටර් 31ක්, අර අබලන් මාර්ගයේ පැය දෙකක් තිස්සේ යන්න වුණා.

Screenshot (78)

   අපිට නවාතැන් ගන්න ලැබුණේ යාපනය නගරයේ ද්‍රවිඩ නිවසක. සැමියා ද්‍රවිඩ බිරිඳ සිංහල. සැමියාට සිංහල හෝ ඉංගිරිසි දෙකම බැහැ. නමුත් කොහොම හරි වැඩේ පිරිමහගත්තා. සැමියාගේ ගම හැටන් පැත්තේ. බිරිඳගේ ගම දැරණියගල. අපි යනවිට බිරිඳ යම්කිසි අවශ්‍යතාවකට ඉන්දියාවට ගොස් තිබුණා. මෑතකදී පත්වීමක් ලබා, මේ නිවසේ නවාතැන්ගෙන, යාපනය ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයේ සේවය කරන, ගම්පහ පැත්තේ සිංහල තරුණයකු, අපට හමුවුණා. ඔහු අපට කිව්වේ, යාපනයේ මිනිසුන් ඉතා සුහදශීලී බවයි. නමුත්, කවදාවත් යාපනයෙන් පිටතට නොගිය, එක්තරා අන්තවාදී පිරිසක්, තවමත්, යාපනය ද්‍රවිඩයන්ටම පමණක් වෙන්ව තිබිය යුතු භූමියක් ලෙස සළකා කටයුතු කරන බවත්, ඔහු කිව්වා.

   අපිට නිදහසේ මුළු නිවසෙන් වැඩි කොටසක් පාවිච්චි කරන්න ලැබුණා. එළියේ සවිකර තිබුණ ෂවර් එකකින්, මමත් මගේ මිතුරාත් හොඳින් නාගත්තා. හාමුදුරුවන්ට ඇතුළේ නාන කාමරය දුන්නා. හොඳ ලොකු ඇඳන්, අලුත් ඇතිරිලි සහ කොට්ට දමා සකසා තිබුණා. ෆෑන් තිබුණ නිසා මදුරු දැල් අවශ්‍ය වුණේ නැහැ. හාමුදුරුවරුන්ට ගිලන්පස සකසාදී, මමත් මිතුරාත් නගරයට ගොස් රාත්‍රී ආහාර ගත්තා. මම ගියේ ආප්ප කන්නම් කියලා හිතාගෙන. දන්නවද වැඩක්? යාපනේ ආප්ප නැහැ. හදන්නේවත් කන්නේවත් නැහැලු. දකුණේ ඉඳලා යාපනයට යනකොට, අන්තිමට ආප්ප තියෙන්නේ වවුනියාවෙලු. ඒ  සිංහල අය ඉන්න නිසා වෙන්න ඇති. මොකක්ද දන්නෑ හේතුව යාපනේ ආප්ප නොහදන. යාලුවා ඇහුවා මොකුත් කරනවද කියලා. නමුත් මම කිව්වා හොඳ නෑනේ, බැරිවෙලාවත් හාමුදුරුවන්ට දැණුනොත් කියලා. (මම ලොකු හාමුදුරුවන්ට හොරෙන් පොඩි දෙනමට රෝස් පාන් දෙකක් ගිල්ලෙව්වා. දුකයි අප්පා, මගේ දරුවෝ වගේ. අනේ රහ කර කර  කෑවා. හුටා... වැළඳුවා)

   අදට මේ ඇති නේද? ඊළඟ කොටසෙදී ඩෙල්ෆ්ට් යමු.

2015 පෙබරවාරි මස 12 වැනි දින 2328 පැය 

07 February 2015

චිකේ............ මටමනේ වෙන්නේ........................ Is this Murphy's Law

Screenshot (208)   පින්තූරේ දැක්කගමන් හිතාගන්න පුළුවන් නේද? ඔව් ඔව්, එව්වා කතාවක් තමා. ඇයි අර, අරයට හොඳනම්, එතකොට අර, මෙයා, ඔව් ඔව්, අන්න එයාට හොඳනම්, අර.....මේ මේ, අනික් එක්කෙනාට හොඳනම්, මමත් එකක් ලිව්වම මොකද එව්වා ගැන? ඔව්වට කොහෙද අනේ වයස බලපාන්නේ. මොකද මේ සිද්ධිය වුණේ වයස නිසාම නෙවෙයිනේ. මගේ තියන කම්මැලිකමයි නොසැළකිල්ලයි නිසා. බලන්ඩකො මේ පින්තූරේ ඉන්න හැන්ඩියා, මම වගේම කොල්ලෙක් නෙවෙයිද කියලා.

   මේ සිද්ධිය සම්පූර්ණ ඇත්තක් බව ලැජ්ජාවේ තන්තෝසේ බැරුව දිවුරා පොරකාස කොරමි. සිද්ධියේදී කියවෙන අසල්වාසීන්ගේ නම් ද, ඇත්ත එව්වාය.

මෙහෙමයි කටන්තරේ. අපේ උන්දෑ ආවා, මම බොගක් කොට කොටා ඉන්නකොට, ගොම්පීටර් එක ළඟට.

   'මේ අනේ ඔය මගුල වහලා ලැස්ති වෙන්ඩකො පොළට යන්ඩ. මම උදේ කීයටද කිව්වේ පොළට යං කියලා. බලන්ඩකො ඔයා ඕකේ ඉඳගත්තම මෙලෝ සිහියක් නෑ නේ. මේ බලන්ඩ තේ එක. දැන් ඇල්වතුර වෙලා'

මම:-  'හෝව් හෝව්.......... පොඩ්ඩක් ඉන්ඩකෝ බෙලිකටු මල්ල පොළොවේ ගහන්නැතුව, ඔයා ලෑස්තිනම් මම තත්පර දහයෙන් ලෑස්තියි'. (හුටා, මෙතන තේ එකක් තියලා ගිහින් තියනවා මම දැක්කේ නැහැනේ)

එයා:- 'ලැස්ති තමයි. දැන් බලන්ඩ, පොළට හැතැම්මක් දුරින් තමා කාර් එක නවත්තන්ඩ වෙන්නේ, බඩුත් උස්සගෙන ත්‍රී වීල් එකකින් තමා කාර් එක ළඟට යන්ඩ වෙන්නේ' 

(අම්මපා කුරුණෑගල පොළ තියන දවසට කාර් එකක් නවත්තන්න තැනක් හෙවීම, නියම ගාණට එළවළු කිරන වෙළෙන්දෙක් හොයනවාටත් වඩා අමාරුය. පොළේ කාර් පාක් එකට රිංගන්න ගියාම, ආපහු කාර් එක එළියට ගන්න ගියාම, සංසාරේ එපා වෙනවාය) 

මම:- 'හරි හරි, මම මේ ඇඳගෙන ඉන්න ටී ෂර්ට් එක හොඳයි. කලිසමයි සෙරෙප්පු දෙකයි දාගන්න විතරයි තියෙන්නේ'

(හුහ්, මම ආමි කාරයෙක් කියලා අපේ උන්දැට අමතක වෙලා වගේ. ඒකාලේ පුහුණු උපදේශකලා, සීනියර්ස්ලා 'කිට් චේන්ජිංග්' දුන්නම, මේ පුතයා පට් පට් ගාලා ඇඳුම් මාරු කරලා පෙන්නන්නේ. පුහ්....... අනේ අනේ.... එව්වා කොරපු මට, මෙව්වත් වැඩද. තප්පර දෙකෙන් ඇඳගන්නංකො කලිසම ඔලුවෙන්) 

   හරි, දැන් ඇඳගෙන ඉන්න ෂෝර්ට් එක බොහොම පුංචි එකක් නිසා, ඒකට උඩින් කලිසම අඳිනවා. ඒක පහසුයි. 

   'කවුරු දකින්නද කවුරු බලන්නද - දැන් මොකවත් නැත්තේ, ඒ... ඒ..., දැන් මොකවත් නැත්තේ' (තිබුණත් වැඩක් නැතේ) 

   ඔන්න ඉතිං පොළට ගියා කියමුකො. අම්මපා මගේ ග්‍රහචාරේ කියන්නේ...... පොළ ළඟට යනකොටම, එතන නවත්තලා තිබුණ කාර් එකක් අහකට ගත්තා. 'බුග්' ගාලා මම එතනට කාර් එක ඔබාගත්තා. හප්පොච්චියෙ, සියලු දෙවි දේවතාවුන්නේ පිහිටයි. 

   හරි, 'යමුකො බබී යමුකො බබී එළවළු ගන්ටා - අර දකුණු කකුල පෙරට තියා පං පං ගාලා' 

   හපොයි, අපේ උන්දෑ බණ්ඩක්කා 250 ක් ගන්ඩත්, විසිපස් පොළකටවත් යනවා. අනේ අම්මේ.......... ඒ වෙලාවට මගේ ඉවසීමේ කටුව ගැහෙනවා. මොනවා කොරන්ඩද. 

   ඔන්න පොළේ ටිකක් දුර ඇවිදිනකොට, මට අමුත්තක් දැනෙන්ඩ පටන්ගත්තා. මට දැනෙන්නේ, යටට ඇඳගෙන ඉන්න ෂෝට් එකේ, සාක්කුවක තියන රෙදිකෑල්ලක්, (නිකම් ලේන්සුවක් වගේ එකක්) සාකුව හිල්වෙලා ද කොහෙද එලියට ඇවිත්, කකුල් දෙක අතරේ, (හරියටම දෙපරැන්ද මැද්දේ) එහාට මෙහාට ඇඹරෙනවා වගේ. මොකද්ද බොල මේ හුටප්පරේ?..........ම්හු..හිතාගන්ඩ බැහැ. හරි හරි ලේන්සුව වෙන්ඩ ඇති. කලිසමේ කකුල දිගේ පහළටම ගිහින් බිමට වැටෙන්නේ නැතෑ. එතකොට ඇහිඳගන්නවා. කියලා හිතාගත්තා. 

   තව ටිකක් පොලේ ඇවිදිනකොට මට දැනෙනවා අර රෙදි කෑල්ල හිතුවට වඩා ටිකක් ලොකුයි කියලා. ඒ වගේම දැන් කලිසම් කකුල දිගේ පහළට බැහීම ආරම්බ කොරලා කියලා. දණිස්ස දිහාට කිට්ටුයි. මම කලිසම් කකුලේ පිට පැත්තෙන් අතගාලා බැලුවා.

   හී............හ්, යකෝ, මේ මං අඳින ලාග්ගෙක් නේද? මේ #%^*@ මෙතනට ආවේ කොහොමද? ඇයි හත්දෙයියනේ දැන් මං මොකෑ කරන්නේ? මගේ නහය උඩට දාඩිය බින්දු හතක් දාලා. ඇඟ සීතල වෙලා. ඇයි යකෝ, පොළේ ඇවිදිද්දි මේක කලිසම් කකුලෙන් එළියට ආවනම්? කොයි දෙයිහාමුදුරුවන්ට කියන්නද? මුළු පොළම මාව වටකරගන්නවනේ, 'මෙන්නෝ... මැජික් කාරයෙක් ඇවිල්ලා, මෙන්න බලපල්ලා, කලිසම අස්සෙන් ලාග්ගෝ අල්ලලා පෙන්නනවා' කියලා.

   අපේ උන්දැ මේ ගැන හාන්කවිසියක් දන්නේ නැතුව ඉස්සරහට ඇවිදගෙන යනවා. මම එක අතකින්, කලිසම් කකුලේ, අර ලාග්ගා රැඳිලා තියන තැනින් අල්ලගෙන, (පොලීසියෙන් දැක්කනම් කුඩු විකුණන එකෙක් කියලා අල්ලගන්නවා) අමුතුම ආකාරයේ ගමනකින්, යන්තම් අපේ උන්දැ ළඟට කිට්ටු වෙලා කිව්වා, 'මේ, පොඩ්ඩක් ඉන්ඩ. මට පොඩි ප්‍රශ්නයක්' කියලා. 'ඇයි ඊයේ රෑ බීපුවා තවම දැනෙනවද? අන්න අර පැත්තේ තැඹිලි තියනවා' කිව්වේ නැතෑ. 

   'ඒ මගුලක් නෙවෙයි.. මම කණට කරලා කිව්වා, වෙලා තියන අබග්ගේ. අනේ...........ඒ වෙලාවේ උන්දැගේ මූණේ ස්වරූපය, වචන වලින් කියන්න බැහැ. ඇඳලා පෙන්නන්න වටිනවා. 

   'දෙයියනේ..........කොහොම හරි යන්ඩ. ඉක්මනට කාරෙකට ගිහින් ගලවලා දාලා එන්ඩ' උන්දැ කියපි.

   'හරි හරි, මමත් හිතුවේ ඒක තමයි. නමුත් මේක අතින් ලිස්සුවොත් තමා වැඩේ. කාර් එකට දුර මීටර් 250 ක් විතර තියනවා'

   ඔහොම කියාගෙන මම මොකද්ද වෙච්ච මොකෙක්ද එකා වගේ, කාර් එක බලා පිටත්වුණා. හුටා.................දේවිකා, මගේ මූණටම එනවා. දේවිකා කියන්නේ අපේ අසල්වැසි කාන්තාවක්. තිදරු මවක්, පෞද්ගලික අංශයේ බැංකුවක, විධායක ශ්‍රේණියේ නිළධාරිණියක්. මට එයාගේ පියාට වගේ සළකන්නේ. 

   'අංකල්, ඇයි මොකද අංකල්ට සනීප නැද්ද? මොකද වුනේ? කෝ ආන්ටි? 'අම්මෝ....... ප්‍රශ්න කෝටියයි. හෙහ්, අපි වගේ යුද්ධෝපක්‍රම, මූලෝපාය න්‍යාය, 'බැටල් ටැට්ටිස්' ද මොකද්ද එව්වා දන්න එව්වො, එහෙම ලේසියෙන් ඔය පුරස්න වලට අහුවෙන්නේ නෑ. 

   'නෑ නෑ දේවිකා, මේ මගේ කකුලේ දණහිස හරියේ දාලා තිබුණ, ක්‍රේප් බැන්ඩේජ් එක ගැලවෙලා. මම මේ ඒක වැටෙන්න නොදී අල්ලගෙන, කාර් එක ළඟට යනවා, කාර් එකේදි ගලවලා දාන්න'

   'ඉන්න අංකල්, මමත් එන්නම් එහෙනම්' (අයියෝ සාලවනේ......මේ මොකද වෙන්ඩ යන්නේ? කාර් එක ලඟට ගිහිං, දේවිකා දැක්කනම්, මගේ XXXXXXXL සයිස් ක්‍රේප් බැන්ඩේජ් එක, එයා කලන්තේ දාලා වැටෙනවා)  ' නෑ නෑ දේවිකා, මට පුළුවන් ළමයෝ, ඔයා යන්න එළවළු ගන්න' 

   'හරි අංකල් මම දිනේෂ්ට (දේවිකාගේ මහත්තයා) කියන්නම්, එයා අපේ කාරෙක ළඟ ඉන්නවා' 

  'අනේ බොරුවට එයාට කරදර කරන්න එපා ළමයෝ' කියාගෙන මම කාරෙක ළඟට කියා. කාලා වරෙන්කො. දිනේෂ් ඉන්නවා අපේ කාරෙක ළඟ. දේවිකා කෝල් එකක් දාලා කියන්න ඇති.

   'අංකල් දේවිකා කිව්වා අංකල්ට මොකක්ද ප්‍රශ්නයක් කියලා, මම මේ ඒකයි බලන්න අවේ' දැන් ඉතිං ගැලවීමක් නැහැ. මේකා කීයටවත් මාව දාලා යන්නේ නැහැ. ක්‍රේප් බැන්ඩේජ් කතාව කිව්ව ගමන්, 'ඉන්න මං උදව් කරන්නම්' කිව්වා. කලිසම් කකුලේ, අල්ලාගෙන ඉන්න තැනින් අතහැරුනොත්, ලාග්ගා එලියට එනවා. හරි වෙන කොරන්ඩ දෙයක් නැහැ. දුන්නා කාරෙකේ යතුර දිනේෂ්ට. 'ඇරපන්කො කාරෙක' කිව්වා. මම නැග්ගා කාරෙකට. දිනේෂ් මම කියන්නත් කලින්, පටස් ගාලා කාරෙකට නැග්ගා. දැන් මට උදව් කරන්නයි හදන්නේ. 'ඔහොම බලාගෙන හිටපන්' මම කිව්වා. ඇදලා ගත්තා ලාග්ගා එලියට.

   අරූ මුළු කුරුණෑගලටම ඇහෙන්න හූ කියා කියා හිනාවෙනවා. 'තෝ මෙතන ඇති තරම් හිනාවෙය. කාටහරි කියලා තිබුණොත්, තෝ මරනවා' මම කිව්වා. අනේ හවස් වෙනකොට ජගත්, අමිත්, අමරකෝන්, ධර්මසිරි, වගේ අපේ අසල්වාසී භවතුන්ගෙන්, පෝලිමේ කෝල් එනවා. 'සර්, අංකල්, මහත්තයා, අර ජාතියේ ක්‍රේප් බැන්ඩේජ් තියන තැනක් අපිටත් කියන්ඩකො' කියලා. ඉවරයි නේද සායම? නෑ නෑ, ඔව්වා දවසෙන් දෙකෙන් අමතක වෙනවා. හැබැයි පොඩි සාදයක් පැවැත්වෙන වෙලාවක ආයෙත් එළියට එනවා. 

   මෙන්න මේකයි වෙලා තියෙන්නේ. මම කොට කලිසමට උඩින් ඇන්ද දිග කලිසමේ, දෙපරැන්ද තියන තැන, කලින් ඇඳපු ලාග්ගෙක් තිබිලා. හොයන්නේ බලන්නේ නැතුව, මම ඒ කලිසම ඇඳගෙන ගියා. ඒකෙ ප්‍රතිඵලය තමයි ලැබුණේ. මදෑ ඔයින් ගියා, අතක් පයක් නොකැඩී.



2015 පෙබරවාරි මස 07 වැනි දින 1400 පැය

05 February 2015

අහෝ...! නිහඬවම නික්මුණිය ඔහු

sisira_senatarhne
 අසහාය ගායක සිසිර සේනාරත්න මහතාණන්ගේ අභාවය සැලවූ වහාම, තදින් වේදනාවට පත් මා හදවත, මතක මංපෙත දිගේ ආපසු ඇදීගියේ, මගේ බාල කාලයටයි. අම්මා ගැයූ නැළවිලි ගීත රසවිඳීමෙන් පසු ලාබාල කාලයේදීම සිත්ගත් කට හඬවල් අතරින් එදත් අදත් මගේ සිතට තදින්ම කා වැදී ඇති හඬක් වන්නේ සිසිර සේනාරත්න මහතාගේ සුමධුර කටහඬයි. ඔහුගේ ගායනයේ ඇති ශික්ෂණය, සුමධුර බව, ලයාන්විත බව, වචන උච්ඡාරණයේ ඇති පැහැදිළි බව, නිරුත්සාහයෙන් ගලායන තානය, ඉතා දුර්ලභ, පූර්වාත්ම පුණ්‍ය කර්ම මහිමයෙන්ම ලද, නියත විවරණයකැයි හඟිමි.

   මා ඔහුගේ මධුර ස්වරයට ඇලීගියේ, හඳපාන චිත්‍රපටියේ ගීත ඇසීමෙන් පසුව බවයි මගේ මතකය. අපේ බොහොමයක් පැරණි ගායක ගායිකාවන් මෙන්, ඔහුද, චිත්‍රපටි පසුබිම් ගීත ගායනයෙන්, ගායන ලෝකයට පිවිසි අතර, මුල් කාලයේදී, හින්දි චිත්‍රපටි තනු අනුකරණය කොට නිමැවූ ගීතද, ගායනා කරන්නට යෙදුනි. එහෙත් ක්‍රම ක්‍රමයෙන් පරිණත භාවයට පත්ව එද්දී, ස්වතන්ත්‍ර නිර්මාණ බිහිකරන්නටත්, එම නිර්මාණ සිංහල ගීත ක්ෂේත්‍රයේ අග්‍රගන්‍ය මට්ටමේ රඳවන්නටත්, ඔහුට හැකිවිය.

   ඔහුගේ ගායන දිවිය තුළ, ඔහුට අභියෝග කිසිවක් නොවීය. ඔහුට අභියෝගයක් වුයේ ඔහුගේම ස්වර්ණමය හඬ පමණි. සිසිර සේනාරත්න මහතා වැනි ගායකයන්, සිංහල ගීත ක්‍ෂේත්‍රයටම සිසිල සෙවන සපයන, මහා වස්පතීන් හා සමාන වන්නේ ඇයි. පළමුවැන්න, මුදල් සහ කීර්තිය පසුපස හඹා නොයමින්, අල්පේච්ඡතාවයෙහි රැඳී සිටිමින්, 100% ක් දේශීය නිර්මාණ බිහිකිරීමටත්, එකී නිර්මාණ, හරවත්, අර්ථවත්, සදානුස්මරණීය වටිනාකමක් ඇති නිර්මාණ ලෙස බිහිකිරීමට දිවිහිමියෙන් කළ කැපවීමත් බවයි.

   මටනම් පෙනීයන්නේ, ඔහුගේ කටහඬ, පහසුවෙන් අනුකරණය කළ නොහැකි, ගැඹුරු, සුශික්ෂිත, ලයාන්විත වීම නිසා, 'අනුන් ගහන් කත්වා' වර්ගයේ ගායක පුස්සන්ට, ඔහුව ගසාකෑමට ඉඩක් නොලැබුණු බවයි. එමෙන්ම, ඔහු තම ගීත පිලිබඳ අයිතිය සම්බන්ධයෙන්, කල්තබාම අවශ්‍ය නෛතික පියවර ගෙන තිබුණු බවත්, මට මතකය.  සිනමා නළුවකු වීමට තරම් කඩවසම් පුරුෂයකු වූ ඔහු, කිසිවිටකත් 'කොරන්ට බැරි මගුල් නොකර සිටීම' නිසා, සිනමා නළුවකු නොවීය. අදනම් ඉන්නේ බහුකාර්ය කලාකරුවෝ නොවැ.

   ප්‍රේමය නමැති අති සුන්දර හැඟීම, අප හදවත් තුළ මෝදුවන කාලයේදී, මේ ප්‍රේම කුමාරයා, අපේ හදවත් වලට කෙඳිරූ පෙම්ගීත සමුච්ඡය, අප ගෙනගියේ පෙම්ලොවේ ඉහලම තලයක ඇති, ආත්මික සුවයක් කරා යයි කීමට නොපසුබට වෙමි. ඔහුගේ ගීත ලැයිස්තුවක් මෙතනට ඇතුළත් කිරීමට අදහස් නොකරමි. මේ රටේ බහුතරයක් ගීත ලෝලීන්ට මතක තිබෙන්නේ ඔහු ගැයූ, 'මාගෙ පුතුට මල් යහන සදන්නේ' නමැති ගීතයයි. නමුත් මෙය 'පුංචි බබා' නමැති සිංහල චිත්‍රපටියේ, පසුබිම් ගායනයක් බවත්, එම චිත්‍රපටියේ පසුබිම් සංගීතය නිර්මාණය කළේ ද, සිසිර සේනාරත්න මහතා බව දන්නේ, ටිකදෙනෙකි. (දර්ශනයේ පෙනීසිටියේ ජෝ අබේවික්‍රම මහතායි)  සිසිර සේනාරත්න මහතා වෙනුවෙන් ඒ ගීතය මේ වනවිට මාධ්‍ය ඔස්සේ බහුලව ප්‍රචාරය වන බැවින්, සැබෑ ප්‍රේමය කුළුගැන්වෙන, පෙම් සුවඳ සැබැවින්ම විහිදෙන, ඔහුගේ වෙනත් පෙම් ගීයක් මෙහි ඇතුළත් කරමි.

   අපේ කාලයේ පෙම් සිහින මවාදුන් පෙම් කුමරාණෙනි, සැබෑ ගායකයකු යයි හදවතින්ම කිවහැකි, උතුම් පුරුෂයාණනි, ඔබට නිර්වාණ සම්පත්තිය අත්වේවා!




 

2015 පෙබරවාරි මස 05 වැනි දින 1011 පැය

02 February 2015

තිත්ත ඇත්ත - The Bitter Truth

777
 ඇත්ත කියන එක, පෙන්වා දෙන එක, බොහෝවිට එහෙම ඇත්ත කියන කරන කෙනාට, එච්චර හොඳ ප්‍රතිඵල දෙන්නේ නැති බව අපි දන්නවනේ. අද මට එහෙම දෙයක් වුණා. මෙන්න විස්තරේ. වයර්සිලෝන් නමැති වෙබ් අඩවිය මා කීප වරක් ගොස් තිබෙන තැනක්. අද අහම්බෙන් ඒ වෙබ් අඩවියට ගිය මට දකින්නට ලැබුණේ, සාවද්‍ය තොරතුරු ඇතුළත් ලිපියක්. මේ තියෙන්නේ ඒ ලිපියයි. මා මෙහිදී පෙන්වා දෙන්නේ අදාළ ලිපියේ තිබුණු වැරදි වලින් කීපයක් පමණයි. 


Screenshot (191)

 
   මේ ලිපිය ලියා තිබෙන්නේ අන්තර්ජාලයෙන් ගත් තොරතුරු වලින්. එසේ කිරීමේ කිසිදු වැරැද්දක් නැහැ. නමුත් ඒ තොරතුරු සිංහලට පරිවර්තනය කිරීමේදී, නිරවද්‍යතාව ගැන 100% ක් සළකා බැලිය යුතු අතර, ප්‍රකාශයට පත්කරන්නා, එම නිරවද්‍යතාව පිලිබඳ වගකීමද දැරිය යුතුයි. මා ද මෙලෙස අන්තර්ජාලය තුළින් තොරතුරු ලබාගෙන ලිපි ලියන අතර, පාඨකයන් විසින් මගේ ලිපිවල සදොස් තැන් නොදොස් කළ අවස්ථා බොහොමයි. ඒ සෑම අවස්ථාවකම, මා නිවැරදි කළ අයට ස්තුති කරන්නත්, මගේ වරද පිළිගන්නත් මා පසුබට වුයේ නැහැ. මක්නිසාද යත්, සත්‍යය සියල්ලට ඉහළින් පිහිටිය යුතු නිසා.

   ප්‍රස්තුතයට අදාළ වෙබ් අඩවියේ ඇතුළත් මෙම ලිපියේ, සාවද්‍ය තොරතුරු කීපයක් පෙන්වා දෙන්නට මා කැමතියි. පහත රූපයේ ඇති ඡේදය කියවා බලන්න.

Screenshot (194) 

   මෙය කියවන පාඨකයකු තුළ ඇතිවන අදහස වන්නේ, ඇමරිකා එක්සත් ජනපදය විසින්, සඳ වුවද විනාශ කළහැකි න්‍යෂ්ටික බෝම්බයක් නිපදවන්නට උත්සාහ කළ බවයි. නමුත් මේ පුවතට අදාළ මුල් පුවත පහත දක්වනවා එයද කියවා බලන්න. මෙම රූපය මත ක්ලික් කර විශාල කර බැලිය හැකියි. 

Screenshot (200)

   ඉහත ඡේදයේ ඇති විස්තර, හරිහැටි කරුණු සොයාබැලීමකින් තොරව ඉදිරිපත් කර ඇති බව පෙනෙනවා. නමුත් මේ කතාව මෙතනින් අවසන් වන්නේ නැහැ. මේ බලන්න මෙම විෂයය සඳහාම සෝවියට් දේශය ක්‍රියාත්මක වී ඇති ආකාරය. ක්ලික් කර විශාල කර බලන්න. 

Screenshot (205)

   ඊළඟට මා ඔබට පෙන්වන්නේ මේ ලිපියටම අදාළව කර තිබුණු බරපතළ මෙන්ම හාස්‍යජනක වරදක්. ලිපියේ ඊළඟ මාතෘකාව යටතේ මැක්ඩොනල් ඩග්ලස් McDonnell Douglas සහ ජෙනරල් ඩයිනමික්ස් General dynamics යන සමාගම් දෙක, පුද්ගලයන් දෙදෙනෙකු වශයෙන් පෙන්වන අතර, ඩයිනමික්ස් යන්න සඳහන් කරන්නේ 'ඩයිනමිස්' යනුවෙන් වැරදියටයි.  

Screenshot (195)

    මෙම අඩවියට මා මීට පෙර කීප වතාවක් ගොස් ඇති අතර, පාඨක අදහස් දැක්වීම් දකින්නට ලැබුණේ නැහැ. කරුණු සොයා බැලීමේදී වැටහුනේ, මෙම අඩවියේ අදහස් දැක්වීම සඳහා, පාඨකයන් ලියාපදිංචි වියයුතු බවයි. පාඨකයන්ට අවශ්‍ය, ක්‍ෂණිකව තම අදහස් දැක්වීමට පහසුව විනා, ලියාපදිංචිවීම නොවන බැවින්, ඔවුන් අදහස් දැක්වීමෙන් වලකින බවයි, මට නම් වැටහුනේ. කෙසේ වෙතත් මා මෙම අඩවියේ ලියාපදිංචි වී අදහස් දැක්වීමක් කළා. මේ තියෙන්නේ එම අදහස් දැක්වීම. 

Screenshot (193)

    මෙම අදහස් දැක්වීම අවසන් කළ පසු ක්ෂණිකව මගේ හිතට වැදුන අදහසක් වුයේ, මේ අදහස වාරණය කරයිදෝ යන සිතුවිල්ලයි. ඒ නිසා මා වහාම තිර රූපයක් ලබාගත්තා. ඒ රූපයයි ඉහතින් දැක්වෙන්නේ. මෙහි දැක්වෙන කැකි යන වචනය හැකි යනුවෙන්ද, අහිත යන වචනය සහිත යනුවෙන් නිවැරදි වියයුතුයි. 

   මා සිතූ ආකාරයටම එම අඩවිය විසින් මගේ අදහස් දැක්වීම කපා දමා තිබුනා.
  1. මට වෙබ් අඩවි පොලිස්කාරයකු වන්නට අවශ්‍ය නැත. මා ද අන් සාමාජිකයකු පරිදි අදහස් දැක්වීමක් කළා පමණයි.
  2. මගේ අදහස අනිවාර්යයෙන් පලකිරීමට එම අඩවිය බැඳී නැත. නමුත් ඔවුන් තුළ සදාචාරය ඇත්නම්, ඔවුන්ට ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග තිබුණි.
  3. එක්කෝ මගේ අදහස පලකොට, කණගාටුව ප්‍රකාශ කොට, වරද නිවැරදි කිරීම. නැතහොත් මගේ අදහස් දැක්වීම කපා දමා, වරද නිවැරදි කිරීම. එසේත් නැත්නම් ලිපිය එම අඩවියෙන් ඉවත් කිරීම.
   ඉහත සඳහන් එකදු පියවරක් ඔවුන් ගෙන නැත. සාවද්‍ය කරුණු සහිත ලිපිය පමණක් එම අඩවියේ ඇත. මෙය පාඨකයා නොමග යැවීමක් නොවන්නේද? වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම නීත්‍යානුකූල නොවන, සදාචාරානුකූල නොවන, ක්‍රියාවක් නොවන්නේද? වරද පෙන්වා දුන් පසු එම පාඨක අදහස කපා දැමීම කෙතරම් පහත් ක්‍රියාවක්ද?



2015 පෙබරවාරි මස 02 වැනි දින 0026 පැය.

26 January 2015

මහනුවරට අලුත් මහපාරක් ඕනෙද?.................... How to resolve vehicle congestion in Kandy

Wicharaka Photography
 අංක A 26, මහනුවර - මහියංගණය ප්‍රධාන මාර්ගයේ, මහනුවර නගරයේ, ශ්‍රී දළදා මාලිගාව අසළින් වැටී තිබෙන කොටස, 1998 වර්ෂයේ සිට මේ දක්වා වසා දමා තිබෙනවා. මෙයට හේතුව වූයේ 1998 ජනවාරි මස 25 වැනි දින LTTE සංවිධානය විසින් ශ්‍රී දළදා මාළිගාව වෙත එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයයි. මෙම සිද්ධියෙන් පසු ආරක්ෂක පියවරක් වශයෙන්, මෙම මාර්ගය වසා දමන ලද අතර, අතිශයින් වැදගත් පුද්ගලයන්ට VVIP පමණක්, එම මාර්ගයෙන් දළදා මාලිගාවට පිවිසීමට අවසර ලැබුණා. සාමාන්‍ය ජනතාවට, අදටත් මේ කොටසේ, පයින් ගමන් කිරීමටවත් අවසර නැහැ.

මෙම මාර්ගය වසා දැමීමෙන් පසු, මහනුවර නගරයේ එදා සිට අද දක්වා තිබෙන වාහන තදබදය ගැන, මහනුවර නගරය හරහා, එක වරක් හෝ වාහනයකින් ගමන් කළ අය දන්නවා ඇති. නමුත්, මහනුවර ප්‍රදේශවාසීන්, දිනපතා මේ වාහන තදබදය නිසා විඳින කරදර දුක් කම්කටොළු, මෙපමණයි කියා කියන්නට බැරිතරම්.


   මේ ඊයේ පෙරේදා, රූපවාහිණී ප්‍රවෘත්ති ප්‍රකාශයක සඳහන් වුණා, මෙම මාර්ගය නැවත විවෘත කරන්නට අදහසක් පහළවී තිබෙන බව. මෙහිදී, අස්ගිරි පාර්ශ්වයේ මහානායක, අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේ, මේ ගැන සිය විරෝධය පලකරනු, රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයක මා දුටුවා. උන්වහන්සේ ප්‍රකාශ කළේ, මෙම මාර්ගය යළි විවෘත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට, රාජ්‍ය නිළධාරීන් පිරිසක්, තමන් වහන්සේ හමුවීමට පැමිණි බවත්, නමුත් තමන් වහන්සේ ඒ ගැන විරුද්ධත්වය ප්‍රකාශ කළ බවත්, පාර විවෘත කරගන්නට දැඩිව උත්සාහ ගන්නේ, සාමාන්‍ය ජනතාව නොව, වාහන හිමියන් බවත්, උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරන්නට යෙදුණා.


   මල්වතු මහ නාහිමියන්, මේ පාර යළි විවෘත කිරීම පිළිබඳව, විරුද්ධත්වයක් ප්‍රකාශ කර ඇති බවක් දැනගන්නට නැහැ.


   මේ පිළිබඳව මගේ හැඟීම් සහ, මා ඉදිරිපත් කරන විකල්ප යෝජනාව, පහත දක්වන අතර, ඒ පිළිබඳව ඔබගේ පුළුල් දායකත්වය බලාපොරොත්තු වෙනවා. මා ඉදිරිපත්කර තිබෙන්නේ, ඉතා දුර්වල යෝජනාවක් වන්නට පුළුවන්. මට වඩා මහනුවර නගරය ගැන දන්න, මා කොහොමවත් නොදන්නා, ඉංජිනේරු තාක්ෂණය ගැන දන්න අය, ඔබ අතර ඉන්න බව මා දන්නවා. ඉතින් මා ඔබෙන් කාරුණිකව ඉල්ලනවා, මේ පිළිබඳව මේ අඩවියේදී සංවාදයක යෙදෙන්නට. වඩාත් පුළුල් සහ ඵලදායී යෝජනා ඉදිරිපත් කරන්නට.


   එක කාරුණික ඉල්ලීමක් කරනවා. ඔබට අයිතිය තියනවා අස්ගිරි මහ නාහිමිගේ අදහසට විරුද්ධව අදහස් ඉදිරිපත් කරන්නට. නමුත්, අපහාසාත්මක අදහස් ඉදිරිපත් නොකරන ලෙස කාරුණිකව ඉල්ලනවා.


මෙන්න මගේ හැඟීම් 
  •    පුද්ගලයකු වාහනයක් ගන්නේ, කාර්ය බහුල ජීවිතයට සහනයක් ලබාගන්නයි. තමන්ගේ ගමන් බිමන්, ඉක්මනින් හා පහසුවෙන් කරගන්නයි. ඉතා අල්ප දෙනෙකෙකු පමණයි, මහන්තත්තකම පෙන්නන්න වාහනයක් ගන්නේ. ඒ නිසා, අස්ගිරි මහනායක හිමියන්ගේ ප්‍රකාශය සමග එකඟ වන්නට අපහසුයි.
 
  • මටත් මගේ බිරිඳටත් දැන් ඉස්සර වගේ දිගු දුරක් පයින් ගමන් කරන්නට බැහැ. වන්දනාවක ගියත් ඒ පූජනීය ස්ථානයට හැකිතරම් ආසන්නය දක්වා වාහනයකින් යන්නට ඇත්නම් හොඳයි. ශ්‍රීපාදස්ථානය වැනි තැනකට නැවත කවදාවත් අප දෙදෙනාටම යන්නට බැරි බව, අප දෙදෙනාම දන්නවා. එවැනි මහළු, දුබල, ආබාධිත, අය සඳහා පූජනීය ස්ථාන වලට ඇතුළුවීමේ විශේෂ ක්‍රමවේද (එස්කැලේටර්, ඒ ස්ථානයෙන් ලබාගත හැකි විශේෂ වාහන, යටත්පිරිසෙයින් රෝදපුටු) සැකසීම ඉතා වැදගත්. මේ ගැන ආගමික කටයුතු අමාත්‍යංශයෙන්ම වැඩපිළිවෙලක් බලාපොරොත්තු වෙනවා.
 
  • ශ්‍රී දළදා මාලිගාව වන්දනා කරන්නට, දිනකට කොපමණ බැතිමතුන් පිරිසක්, කුළියට ගත් වාහන වලින් එනවාද යන්න, අමුතුවෙන් කිවයුතු නැහැ. එසේ එන පිරිස් අතර, වැඩිහිටි, මහළු, දුබල, රෝගී, විශාල පිරිසක් ඉන්නවා. ළදරුවන් වඩාගත් මව්වරුන් මෙන්ම, ගර්භනී මාතාවන්ද ඉන්නවා. ඒ අය, තමන් පැමිණි වාහන ඈතින් නවතා, පයින් දළදා හාමුදුවන් වඳින්නට එන්නේ, වෙනත් කළහැකි දෙයක් නොමැතිකම නිසා විනා, කැමැත්තෙන් නොවෙයි. ඔවුන්ගෙන් විමසා බැලුවොත්, බහුතරයකගේ මතය වන්නේ මේ පාර විවෘත කර දෙන්නේ නම් කෘතඥ වන බවයි. සමහරවිට දළදා මාලිගා මළුව ගිනිගන්නවා වගේ දැඩි හිරු රශ්මියක් පතිත වෙනවා. නමුත් බොහෝ දෙනෙක්, ආගමික භක්තිය නිසා, තුවා කෑල්ලක්වත් ඔලුවේ දාගන්නේ නැතුව, පාවහන්ද නැතුව මළුවේ ගමන් කරනවා. මාලිගාව අසළට ත්‍රිරෝද රියකින්වත් යන්න පුලුවන්නම් හොඳයි. දළදා වහන්සේට එයින් අගෞරවයක් සිදුවේයැයි මා සිතන්නේ නැහැ. 
 
  • දිනපතා උදේ හවස, පාසල් දරුවන්, රැකියා සඳහා යන අයවලුන්, දහසකුත් එකක් අවශ්‍යතා සඳහා මහනුවර නගරයට යන එන්නන්, රෝහලට යන එන අය, මේ වාහන තදබදය නිසා විඳින කරදර, මෙහි ලියන්නට ගියොත්, ලිපි කීපයක් ලියන්නට වෙනවා. වාහන තදබදය නිසා, ජාතියක දියුණුව වෙනුවෙන් වැයකිරීමට ඇති කාලය අපතේ යාම, අනවශ්‍ය ඉන්ධන දහනය, (මහනුවර නගරයේ වායුව අතිශයින් දූෂිත බවට විශේෂඥ වාර්තාවක්, කලකට ඉහතදී පළවී තිබුණා) විකල්ප මාර්ග නොදන්නාකමින්, මහනුවර නගරය මගහැර යනු වෙනුවට, නගරය හරහාම යන්නට එන වාහන, අර වාහන තදබදයටම එක්වීම, අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවා ප්‍රමාදවීම, ආදී වශයෙන් ඇති කරුණු අපමණය. මෙයට තවත් කරුණු ගණනාවක් එකතු කරන්නට ඔබට හැකි බව මා දන්නවා.
 
මෙන්න මගේ යෝජනාව

   ඉංග්‍රීසි භාෂාවේ කියමනක් තියනවා 'you can't have the Cake and eat the Cake' කියලා. ඒ කියන්නේ යම්කිසි දෙයක් ඉතා වටිනවා, හරිම අගෙයි කියමින්, හැඩරුව බලමින්, වර්ණනා කරමින්, ඉන්නට සහ, ජීවිතයේ ඉදිරි පැවැත්ම සඳහා, අවශ්‍යයෙන්ම පරිභෝජනය කළයුතු ඒ දේ, පරිභෝජනය නොකර, බල බලා ඉන්නටත් බැහැ, කියන එකයි. පැරණි පාර අරින්නට ඉඩ දෙන්නෙත් නැත්නම්, මහනුවර නගරයේ වාහන තදබදය, දිනපතා වර්ධනය වන්නක් විනා, අඩු වන්නක් නොවන නිසාත්, මහනුවර මහියංගණය මාර්ගය නැවත සම්බන්ධ කිරීමේ විකල්ප පියවරක්, නොපමාව ගන්නවා හැර, වෙනත් කුමක් කරන්නද?


   මටනම් හිතෙන්නේ කොන්ක්‍රීට් කණු මත දිවෙන පාරක්, බෝගම්බර වැවේ ඉදිකර, එමගින් මහනුවර මහියංගණය පාර යළි සම්බන්ධ කිරීම විනා වෙනත් විකල්පයක් නොමැති බවයි. ඔන්න මම සිතියමක් දක්වනවා පහළින්. සමහර අයට දැඩි කෝපයක් ඇතිවෙයි මෙය දැකලා. ඒ කියන්නේ, කේක් එක කන්නයි තියාගන්නයි දෙකම ඕනෙ කියන එකද කියලා, මා දන්නේ නැහැ. වාද කිරීමෙන් හෝ අපහාස කිරීමෙන් පළක් නැහැ. අපි සංවාද කරමු. මේ සිතියම මත ක්ලික් කර, විශාල කර බලන්න.


My Proposal


දැන් මේක දැකපු ගමන් එන විවේචන බොහොමයක් තිබෙන්න පුළුවන්.
වැව ඉවරයි.

නගරයේ ලස්සනම තැන ඉවරයි.

දළදා හාමුදුරුවෝ ඉදිරිපිට වැවේ මාළු මරමින් මේ වැඩේ කරන්න වෙනවා.

වැවේ ඓතිහාසික වටිනාකම දන්නේ නැතුවද මේ ඔලමොට්ටල යෝජනාව ගෙනාවේ.

ආදී වශයෙන්. ඉතිං ඔන්න මම ආයෙත් කියනවා මට තේරෙන විදිහට. 'you can't have the Cake and eat the Cake' ඔන්න මම නවතිනවා. 

   ඔබේ අදහස් දැක්වීම් සඳහා පින්තූර, සිතියම්, වීඩියෝ, එකතු කළහැකි පරිදි මේ අඩවිය සකසා ඇති බව මතක් කරනවා. 



2015 ජනවාරි මස 26 වැනිදින 0037 පැය

24 January 2015

සෝ ෆා සෝ ගුඩ්? සෝෆා නෝ ගුඩ්........................ So far so good? Sofa no good!

Sofa
 ඉංග්‍රීසි භාෂාවේදී so far so good කියන්නේ, මෙච්චර වෙලා කියපු කරපු දේවල් තේරුණා නේද? එහෙමත් නැත්නම්, යම්කිසි කාර්ය භාරයක, ව්‍යාපෘතියක, 'මෙතෙක් අවසන් කළ දේ ගැන ගැටළුවක් නැහැ නේද' කියන තේරුමෙන් නේද? මට අද කියන්න තියෙන්නේ, sofa no good කියලා. ඒ කියමන කළින් කිව්ව එකට වඩා වෙනස් බව පෙනෙනවානේ. මෙන්න මේකයි කතන්දරේ.

 අපේ ලොකු දෝනියැන්දා ඊයේ පෙරේදා දවසක මට කිව්වා, 'තාත්තේ, මම සෝෆා සෙට් එකකට සල්ලි බැන්දා මාසිකව ගෙවන්න. අපේ ඔෆිස් එකටම ඒ සමාගමෙන් ආවා ප්‍රොමෝෂන් එකක්, ගෙවන්න ගන්න පුළුවන් නිසා මම ගත්තා', කියලා. අම්මෝ.............. සැට් එකේ වටිනාකම ගෙඩි රුපියල් වලින්ම 57000 ක්. කජු ඇටද කොස් ඇටද කිව්වලු. මම කිව්වා, 'ළමයෝ, ඔය සෝෆා වර්ග කීපයක් මමත් දැකලා තියනවා. අපේ කෑම්ප් වලත් තියනවා. සමහර ඒවගේ ඉඳගත්තම කුෂන් එක ඉරෙනවා. කුණු ගෑවුණාම පිරිසිදු කරන්නත් අමාරුයි, ඒ වගේම මටනම් පෙනෙන්නේ ඒවා සුදුසු, එක්කෝ වායු සමීකරණය කරපු ගොඩනැගිලි වලට, එහෙමත් නැත්නම් සීතල රටවලට. ඔව්වා මෙහාට එච්චර ගැලපෙන්නේ නැහැ කියලා. කොහෙද ඉතිං අපි කියන ඒවා අහන්නේ නැහැනේ. 

   සල්ලි බැඳලා මාසයකටත් වැඩි කාලයක් ගියත් ගෙදරටම ගෙනත් දෙනවා කිව්ව ඒ අහවල් සැට් එක ලැබුණේ නැහැ. මම ලොකුදුවට කිව්වා, මට දෙන්නකෝ ඒ සමාගමේ නොම්මරේ මම කතාකරලා බලන්න කියලා. නමුත් අපේ ලොකුදුව දන්නවා, මම කතාකලානම් ඒ සමාගමට, කතාකරන්නේ තද්ධිත, කෘදන්ත, නිපාත, සන්ධි, විභක්ති, වර නැගීම්, ඔක්කොම සංකලනය කොරලා තමයි කියලා. 'අනේ මේ ඔයා ඉන්ඩකෝ, මම ඒක ගෙන්නගන්නම්' කියලා මගේ ඇඟට පැන්නා.

   ඔන්න ඉතිං එක දවසක් දවල් 2 ට විතර, අපේ ගෙදරට දුරකථන ඇමතුමක් ලැබුණා, අහවල් එක ගෙනත් දෙන්න පාර අහලා. අනේ ඉතිං අපේ උන්දෑ පාර විස්තර කළා, පාරේ තියන වැලිකැට දක්වාම සවිස්තරව. ඒ වුණාට හවස 5.30 ටත් නෝ බඩු හෑව්. ඒ පාර මම ජාලයෙන් නොම්මරේ හොයාගෙන, ඒ සමාගමේ 'පෙදර්සෙනාගාරයට' ඇමතුමක් ගත්තා. 'හරි හරි සෑර් මේ දැන් එනවා' කියලා කිව්වා. හප්පොච්චියෙ ඔන්න ලොරි පතයක් ආවා. අනූනවයෙන් අපේ ගේට්ටු කණු නොකඩා, මිදුලට රිවස් කොරලා ඇන්න, බෑවේ නැතැයි ඒ අහවල් එක. ලොකු එකයි පොඩි (පොඩි කිව්වට එව්වත් තඩි) දෙකයි.

   මං ඇහුවා ඒ ආපු එක ගොබිලෙක් ගෙන්, 'මේ...........අර..... මේක මැද්දෑවේ තියන අර......අර......අපි......අර......අඩියක් පුඩියක් ගහන කළමනා ටික තියාගන්න, පොඩි මේස පොජ්ජ නැද්ද ළමයෝ' කියලා. 'නෑ නෑ සර්, මේ සෙට් එකට ඒක ලැබෙන්නේ නැහැ. ඒක වෙනම ගන්න ඕනෙ' කිව්වේ නැතෑ. 'අම්මපා......ඒකත් එහෙමද, කීයක් විතර වෙනවද ඒක' කියලා මම ඇහැව්වා. 'රුපියල් දහ දාහේ ඉඳලා ඉහළට තියනවා' කිව්වේ නැතෑ. අම්මපා මට හිතුනා පාන් කපන පිහිය උගේ කොළ බොක්කට බස්සන්ඩ. අර සුට්ටි මේස කෑල්ලට දීපියකෝ තව දහ දාහක්. ප්ලාස්ටික් කකුල් හතරක් උඩ ගහපු වීදුරු කෑල්ලට. ඊට හොඳයි පරණ පකිස් පෙට්ටියක් තියලා, අපේ උන්දැගේ වොයිල් සාරියක් ඊට උඩින් එලලා පාවිච්චි කොරන එක. නැද්ද මං අහන්නේ.

   ඔන්න ඉතිං රන්දෝලි වඩම්මනවා වගේ, මේ කෑලි තුන අපේ සාලේ මැද්දෑවට වඩම්මලා තියලා, ලොරිය ගියා. හප්පොච්චියෙ අර පොලිතින් කවර ගලවලා බැලුවම, මහා මහේසාක්කිය පෙණුමක් තමා තියෙන්නේ. පස්ස පැත්ත තියන්නත් දුකේ බැරුවා. ඔන්න නමෝ විත්තියෙන් මං පොඩ්ඩක් පස්ස පැත්ත තියලා බලන්න හැදුවා විතරයි............පැන්නේ නැතෑ අපේ උන්දෑ 'හා....හා....ඔය උදේ ඉඳලා ඇඳගෙන, දවස පුරාම හඩු ගැහිච්ච ෂෝට් එක නේද ඇඳගෙන ඉන්නේ' කියලා. අනේ.......... හෙමීට පාත්වෙච්චි මගේ නාකි පිඩිය, විදුලි වේගෙන් ඉස්සුනා ආපහු.

   හ්ම්..........මොනවා කොරන්ඩද බලමුකෝ නාලා කියලා 'අර කළමනා' ටිකත් ලං කොරගෙනම වාඩිවෙලා, අලුත් සෝෆා සැට් එක සමරන්න. අම්මපා මෙහෙම හිතනකොටම අපේ උන්දැට දිවැස් තියනවද මන්දා, කිව්වේ නැතෑ, 'මේ, ඔන්න මේ සෙට් එක එහෙම ඩ්‍රින්ක්ස් ගන්න පාවිච්චි කරන්න එපා හොඳද' කියලා. තියාගනිල්ලා උඹලගේ උලව්ව. වෙනදා වගේ එළියේ ගහක් යට පොඩි ප්ලාස්ටික් පුටුවයි පොඩි ස්ටූල් එකයි මට සැපයි. 

   මේ සැට් එකත් එක්ක ලැබුනා උපදෙස් පත්‍රිකාවක් මෙන්න මෙහෙමයි ඒකෙ තියෙන්නේ.

Scan_20150124_110546 - Copy (2)                                                                                     
Scan_20150124_110546 - Copy (3)
 Scan_20150124_110546 - Copy (4)
Scan_20150124_110546 - Copy (5)
    Scan_20150124_110546 - Copy (6)
Scan_20150124_110546 - Copy (7)
Scan_20150124_110546 - Copy (8) Scan_20150124_110546 - Copy (9)
   මේ කියන එව්වා එකක්වත් වරද්දාගෙන තිබුනොත්, ඔන්න අපි වග කියන්නේ නැත කියලා, ඒ පත්තිරිකාවේ සුද්ද හිංගලෙන්ම කියලා තියනවා. ඉතිං මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු.

   මේකේ පැල්ලමක් වැදුනොත්, ඒක මකන්න හෝ කුණු ගෑවුනොත් පිහදාන්න හෝ 'අහිතකොර' මොනවද කියලා කියන්නේ නැතුව, නිකම්ම කියනවා අහිතකර එව්වයෙන් පිස නොදමනු කියලා. මොකද උන්දලා හිතුවද අපි රෙදි කෑල්ලකට ..... කොරලා මේක පිහදානවා කියලා. 

   ඇයි හත්වලාමේ ගෙදරට මනුස්සයෙක් ආවම, මේ උලව්වේ වාඩිවෙන්න කලින්, 'ඔයා දාඩිය දාගෙනද ඉන්නේ? ඇඟේ මොකවත් තෙල් ජාති එහෙම ගාගෙනද ඉන්නේ'? කියලා අහන්නද කියන්නේ? එහෙම ඇහුවොත් ඒ මිනිහා ආයේ කවදාවත් අපේ ගෙදරට ගොඩවදියි ද?

   අපි පැය 24 ම වෙන වැඩක් නොකර බලා ඉන්න වෙනවා, ගෙදර පූසා හෝ බල්ලා, මේ හත්වලාම උඩට නගියිද කියලා. එක්කෝ මුරකාරයෙක් දාන්න වෙනවා.

   හදිස්සියේ පොටෝ එකක් කෙළින්න වත් මේකේ අමතර මගීන් අසුන් ගන්න බැහැ. එහෙම උනොත් කුසන් ද මොනවද එව්වා ගැලවෙනවා. ඒ කියන්නේ කෑලි අලවලා තියෙන්නේ ගම් ගාලද කොහෙද.

   එහාට මෙහාට තල්ලු කොරන්න ඕනෙ වුනොත්, අල්ලලා තල්ලු කිරීම තහනම් නිසා, අර 'පෙලට් ට්‍රක්' එකක් හෝ 'පෝක් ලිෆ්ට්' එකක් ඕනෑ වෙනවා.

   ගේ ඇතුළට අව්ව වැටෙන එක කොච්චර සම්පතක්ද. ඔය දොස්තර මහත්තුරුත් කියන්නේ, 'ආලෝකය සහ වාතාශ්‍රය හොඳින් ලැබෙන්න දොර ජනෙල් ඇරලා තියන්න' කියලා. නමුත් මෙව්වා තියන ගෙවල් වලට, ඒ වැඩේ තහනං. කාලා වරෙන්කො කිව්වලු.

   ඇත්තෙන්ම මෙවැනි නිෂ්පාදන වඩාත් සුදුසු වන්නේ අපේ රට වැනි ඝර්ම කලාපීය රටවලට නොවෙයි. සෞම්ය දේශගුණයක් සහිත රටවලටයි. උෂ්ණ දවසක මේ සෝෆාවක වාඩි වුනොත්, අපේ ශරීරයේ නිරාවරණය වී ඇති තැන්, මෙහි කුෂන් එකක් හේත්තුවී තිබේනම්, එතන දාඩිය දමන්නට පටන් ගන්නවා. ඉන්පසු පැල්ලමක් හැදෙනවා. මෙහි කුෂන් එකේ, විවිධ නැමුම් රාශියක් ඇති නිසා, ඒ නැමුම් අතරට දූවිලි යාමට ඇති ඉඩකඩ බොහෝ වැඩියි. පිරිසිදු කරන්නට, රික්ත ශෝධකයක් අවශ්‍ය වෙනවා. අනේ මන්දා මටනම් හිතෙන්නේ මේ සෝෆා අපිට ගැලපෙන්නේ නැහැ කියලයි. ඔබ මොකද හිතන්නේ?

DAMROGUE


2015 ජනවාරි මස 24 වැනි දින 1332 පැය 
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }