හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

16 October 2012

ඒයි…..වැඩිය කතාවට ආවොත් බස්සනවා අඟල් හයක් – (දෙවැනි කොටස) – One and All The Knife (Part Two)


  අඟල් හයක් බස්සනවා කතාවේපළමුවැනි කොටසෙන් අපි පිහිය ගැන සතුටුදායක දැනුමක් ලැබුවා. මේ එහි දෙවැනි කොටස. මෙහිදී, මා විශේෂයෙන් ඔබේ අවධානය යොමු කරවන්නේ, විශේෂ වර්ග වල පිහියා පිළිබඳවයි. නමුත් මම හිතුවා, මේ ලිපිය ආරම්භයේදී, අපේ වර්තමාන මුළුතැන් ගෙයි තිබෙන පිහියා කට්ටලයේ ඇති පිහියා වර්ග, නැවත හඳුන්වා දෙන්නට, ඒ එක් එක් පිහිය කුමන කාර්යයක් සඳහා යොදාගත යුතුද යන්නත් විස්තර කරමින්. මොකද, සමහර ගෘහිණියන්, හදිස්සියත් නොසැලකිල්ලත්, සමහරවිට නොදැනුවත්කමත් නිසා, එක් එක් කාර්යයට අදාළ නොවන පිහිය භාවිත කිරීම හේතුවෙන්, අනතුරු පවා සිදුකරගත් අවස්ථා තිබෙනවා.
   අද කාලයේ අපේ ඔලුව අවුල් කරන තරම් පිහියා ගණනාවක් ඇති මුළුතැන්ගෙයි පිහි කට්ටල  වෙළඳපොලේ දකින්නට ලැබෙනවා. නමුත් හොඳින් මතක තබාගන්න. අපට අවශ්‍ය වන්නේ අපේ ආහාර රටාවට අදාළ වන පිහියා පමණයි. (පිහියා පමණක් නොවෙයි නිවසට මිලදීගන්නා ඕනෑම ආකාරයක හෝ මාදිලියක උපකරණයක්/ගෘහභාණ්ඩයක්/පවා අපේ ජීවන රටාවට අවශ්‍ය හා ගැලපෙන එකක් විය යුතුයි) වෙළඳපොලේ ඉතා අලංකාරව අපේ ඇස ඇදීයන පරිදි ප්‍රදර්ශනය කර තිබෙන සියල්ල අපට අවශ්‍ය නැහැනේ. ඒ නිසා පිහියා තෝරා ගැනීමේදී අවශ්‍යම පිහියා කීපයක් පමණක් මිලදී ගැනීමයි වඩා සුදුසු. බොහෝ රටවල හරක්/ඌරු/බැටළු/එළු/මස් විශාල ගාත් ලෙස මිලදීගත හැකියි.  කුකුළන්/තාරාවන්/පාත්තයන්/කළුකුම්/ එහෙම පිටින්ම මිලදීගත හැකියි. එමෙන්ම විශාල මාළු, කූරි ලෙසද මිලදී ගත හැකියි. ඒ මස් මාළු නිවසේදී තමන්ට අවශ්‍ය ආකාරයට කපා ශුද්ධ කරගැනීමට විවිධ ආකාරයේ පිහියා අවශ්‍ය වෙනවා. නමුත් අපි වැඩි දෙනා කඩෙන් මාළු ටිකක් ගන්න අය නේද? ඒ මාළුත් එතනදීම කපා ගෙදර ගෙන ඒම නේද සිරිත. හරක් මස් සහ ඌරු මස් අපේ වැඩිදෙනෙක් කන්නේ නැහැ නේද? එමෙන්ම කුකුළු මස් කපා ගැනීම තමයි ටිකක් බරපතල එකම කාර්යය. බොහෝවිට ඒ ක්‍රියාන්විතය භාර දෙන්නේ ගෙදර මහත්තයාට. එයා ඉතින් පොරවෙන් ගහලා හරි කාර්යය ඉටුකර දෙනවා. එහෙම නේද? නමුත් නිවැරදි පිහිය භාවිත කරන්නට දන්නවානම් ඔබට ‘කුකුළු මස් ක්‍රියාන්විතය’ පහසුවෙන් කරගත හැකියි. නිවැරදි පිහිය නැති නිසා, තිබුනත් එය පාවිච්චි කරන නියම පිළිවෙත දන්නේ නැති නිසා තමයි අයිස් පිටින්ම කුකුළු මස් කපන්න යන්නේ, පොරවෙන් ගහලා.
  ඒ අවුල් වියවුල් වලින් මිදී, කුස්සියේ ඇති එක් එක් පිහිය, නිසි පරිදි හඳුනාගෙන වැඩ කරමු. 
  අපේ කුස්සියේ තියන, ගමරාලගේ වංගෙඩිය වගේ, සියලුම කැපිලි කෙටිලි වලට ගන්නා පිහිය තමයි මේ. මේ පිහියට කුස්සියේදී අපි කියන්නේ, පිහිය, මේස පිහිය, කපන පිහිය, එළවලු කපන පිහිය, (හැබැයි ඔක්කොම ජාති කපනවා. බෙල්ල වුනත් :D ) ටිකක් නම්බුකාර නමක් දෙනවානම්, මේ පිහියට කියන්නේ සූපවේදී ගේ පිහිය (Chef’s Knife) හෙවත් කෝකි පිහිය (Cook’s Knife) කියලයි. ඊට මතරව ප්‍රංශ පිහිය (French Knife) කියලාත් සමහර රටවලදී හඳුන්වනවා. අඟල් 6 සිට 10 දක්වා පමණ දිගකින් යුත් එමෙන්ම අඟල් 1  1/2 ක පමණ පළලකින් යුත් තලයක් මේ පිහියට තිබෙනවා. මේ පිහිය පොදුවේ කොයි කටයුත්තටත් ගැලපෙනවා. නමුත් අපේ කුස්සිවල තිබෙන, මේ වර්ගයේ සමහර පිහියාවල, කැපෙන දාරය කියතක් වගේ කඩතොළු වෙලා. එයට හේතුව තමයි, මේ පිහියෙන් තද ආහාර වර්ග (කුකුළු මස් වල අස්ථි කොටස්, කරවල කටු වැනි දේ) වලට කෙටීම. මතක තබාගන්න, මේ පිහිය සාදා තිබෙන්නේ, කපන්නට මිස කොටන්නට නොවෙයි. මෙවැනි වටිනා පිහියක කැපුම් තලයට හානි වුනොත් එය නැවත සකසන්නට බැහැ.
  මහ පිහිය/නවීන මන්න පිහිය:- Cleaver:- මේ පිහිය තමයි ආහාර ද්‍රව්‍ය වලට කොටා කැබලි වෙන් කර ගැනීමට සුදුසු. සාමාන්‍ය පිහියෙන් වගේ කපන්නත් පුළුවන්. හැබැයි ඔබ කුමන පිහිය පාවිච්චි කලත් කැපුම් පුවරුවක් (Cutting Board) පාවිච්චි කලයුතු බව අමතක කරන්න එපා. එහෙම නොකලොත් පිහියට හානි වෙනවා. කපන ද්‍රව්‍ය එහෙමෙහෙ විසිරෙනවා. ඔබේ අතටත් හානි වීමට ඉඩ තියනවා.
  බොහෝ දෙනෙක් අධිශීත කල කුකුළු මස් මේ මහ පිහියෙන් කොටා කැබලි කිරීමට උත්සාහ කරනවා. නමුත් ඒ ක්‍රමය වැරදියි. මේ පිහියෙන් කොටන්නේ ලොකු මස් කැබලි වලටයි. අධිශීත තත්වයෙන් තිබෙන මස් කැපීමට අවශ්‍යනම් ඔබ පාවිච්චි කලයුත්තේ මේ පින්තුරයේ පෙන්වා තිබෙන ඉතා මිල අධික පිහියයි. (Saw Racker) නමුත්, අධිශීත තත්වයේ තිබෙන මස්, මඳ උණුවතුරේ තබා සීතල ඉවත් කලවිට, කටු වලින් මස් ඉවත් කිරීමට පාවිච්චි කරන, මෙහි පහත දැක්වෙන පින්තුරයේ ඇති හැඩයේ පිහියකින්, (Boning Knife) පහසුවෙන් කපාගත හැකියි.
  මුළුතැන්ගෙයි පිහියා ගැන ඉතා දීර්ඝ විස්තර ඇතත්, ඒ සියල්ල මෙහි සඳහන් කරන්නට අදහස් කරන්නේ නැහැ. මුළුතැන්ගෙයට අලුතෙන්ම එක්වී ඇත්තේ පහත දැක්වෙන පිහියයි. සාමාන්‍ය ව්‍යවහාරයේදී සෙරමික් පිහිය යනුවෙන් හැඳින්වෙන මේ පිහිය, ඉතා මිල අධික වන අතර, එය නිපදවා තිබෙන්නේ සර්කෝනියම් ඔක්සයිඩ් (Zirconium Oxide) නමැති මුලද්‍රව්‍යය පදනම් කරගෙනයි. දියමන්ති වලටත් වඩා තද ගතියක් ඇති නිසා, මෙයින් ඉතා සියුම් ලෙස කැපිය හැකියි.
  අපේ රටේ අහාර රටාවන් අනුව පිහියා වර්ග රාශියක් අවශ්‍ය නැති බව මා මීට පෙරත් සඳහන් කළා. ඒ නිසා විවිධ විච්චුරන පිහියා ගැන විස්තර ලියන්නේ නැහැ. ඒවා බොහොමයක් අපට අවශ්‍යත් නැහැ. මේ ලිපියේ පළමුවැනි පින්තුරයේ තිබෙන ආකාරයේ සරල පිහියා කීපයක් තිබුනාම අපට හොඳටම ඇති කියලයි මම නම් හිතන්නේ. සමහර අයට, (විශේෂයෙන් තමන්ගේ මුළුතැන්ගෙයි විශාල පිහියා කට්ටලයක් තිබෙනවා දකින්න කැමති අයට) හිතෙනවා ඇති මුළුතැන්ගෙයි පිහියා ගැන විස්තර කිව්වා මදි කියලා. එහෙම හිතනවා නම්,
  1. මෙතනින්
  2. මෙතනින්
  3. මෙතනින්
  4. මෙතනින්
  තව දුරටත් විස්තර බලන්න.
  මෙතැන්සිට මා ඔබේ අවධානය යොමු කරන්නේ විශේෂ සහ තරුණ පරපුර අතර ජනප්‍රිය පිහියා වර්ග කීපයක් ගැන තොරතුරු පිළිබඳවයි. ඒ අතරින් මුලින්ම මගේ මතකයට එන්නේ මා කුඩා කාලයේ සිට දැක පුරුදු පිහියක් වෙතයි.
ස්විට්සර්ලන්ත යුද හමුදා පිහිය 
Swiss Army Knife
මේ පිහිය ගැන පසුගිය ලිපියේදී, හීනලන්තයේ හරී විස්තර අසා තිබුනා. මේ පිහිය හඳුන්වන්නේ ස්විට්සර්ලන්ත යුද හමුදා පිහිය (Swiss Army Knife) යනුවෙන්.
මේ පිහියට ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. එහි ආරම්භය ක්‍රි.ව. 1890 තරම් ඈතට දිව යනවා. 1880 ගණන් වලදී තමයි ස්විට්සර්ලන්ත රජය (අනේ කවදාවත් ‘ස්විස්ටර්ලන්තය’ කියා ලියන්නවත් කියන්නවත් එපා. එහෙම රටක්‌ ලෝකයේ නැති නිසා) සිතුවේ තම හමුදා සොල්දාදුවන්ට බහුකාර්ය සාක්කු පිහියක් ලබාදිය යුතුයි කියා. (අපිට තමයි වප්පිහියක් වත් නිකුත් කරන්නේ නැත්තේ :D ) රජය එවැනි පිහියක් සොල්දාදුවන්ට ලබාදීමෙන් අදහස් කලේ, ඒ පිහිය ආධාරයෙන්, ටින්කෑම අඩංගු, ටින් භාජන විවෘත කරගැණීමට උදව්වක් වීම සහ එවකට ස්විට්සර්ලන්ත යුද හමුදාවේ පාවිච්චි කල ‘ශ්මිඩ්ට් රුබින් එම් 1889′ (Shmidt Rubin M 1889) තුවක්කුව ගැලවීමට යතුරු කට්ටලයක් ලෙස පාවිච්චි කිරීමයි. ඒ අනුව 1890 දී පළමු වරට නිකුත්කළ පිහියයි මේ.
  ඉතින් හිනා වෙන්න එපා. මේ පින්තුරය දැකලා. කොයි නිෂ්පාදනයත් ආරම්භයේදී ඔහොම තමයි. ස්විස් යුද හමුදා පිහිය කාලීනව ක්‍රමිකව දියුණු වෙන්න පටන් ගත්තේ එතැන් සිටයි. ස්විස් යුද හමුදා පිහිය හදන්නේ ස්විට්සර්ලන්තයේ වික්ටරිනොක්ස්  Victorinox නමැති සමාගමෙන්. මේ පිහිය එදත් අදත් ලෝකයේ අතිශයින්ම ජනප්‍රිය බහුකාර්ය පිහියක් ලෙස හඳුන්වන්න පුළුවන්. අද වනවිට මෙය කොතරම් දියුණු කර තිබේද යන්න විස්තර කරනවාට වඩා, එක පින්තුරයකින් පෙන්වීම වැදගත් කියා මට සිතුනා. මේ තියෙන්නේ වර්තමානයේ මේ පිහිය දියුණු කර ඇති ආකාරයයි.
මම හිතනවා බහුකාර්ය යන වචනයේ පරිසමාප්ත අර්ථය මේ පිහියෙන් විද්‍යමාන වන බව. මේ පිහිය ගැන විස්තර ඇති නේද.
කුක්රි පිහිය – Kukri Knife
යම් යම් අවි ආයුධ වලට හිමිකම් කියන ජාතීන් හෝ සංස්කෘතීන් තිබෙන බව ඔබට අමුතුවෙන් කිවයුතු නැහැනේ. කුක්රි පිහිය එවැනි එක්තරා ජාතියකට හා ඔවුන්ගේ සංස්කෘතියට දැඩිව බැඳී පවතින පිහියක්. ඒ තමයි ගුර්කා වරු. ගුර්කා වරුන්ගේ නිජ බිම වන්නේනේපාලයයි.
  මේ පිහියේ හැඩය දුටු ගමන් ඔබට පෙනෙනවා ඇති මෙය අසාමාන්‍ය ආකාරයේ පිහියක් බව. ඇත්ත වශයෙන්ම මෙය දීර්ඝ ඉතිහාසයක් ඇති, පිහියක්. එපමණක් නොවෙයි, මෙය ඉතා දියුණු තාක්ෂණයක් පදනම් කරගනිමින් නිර්මාණය කරන ලද පිහියක්. මේ බලන්න මේ පිහිය කොතරම් සංකීර්ණ නිමැවුමක්ද කියා.
  මේ පිහිය මුලින්ම නිර්මාණය කර තිබෙන්නේ ක්‍රි.ව. 1550 දී පමණ. මෙය නිපදවා තිබෙන්නේ සටන් කිරීම සඳහාමයි. මෙහි හැඩය කාලීන වෙනස්කම් වලට භාජනයවී තිබෙනවා. මේ පිහිය නේපාලයේ ජාතික සංකේතයක් ලෙසද සැළකෙනවා. සාමාන්‍යයෙන් මෙය කුක්රි කියා හැඳින්වුනත්, ඛුක්රි, සහ ඛුකුරි, යනුවෙන්ද නේපාලයේදී හැඳින්වෙනවා. මෙහි තලය දැලි පිහියක් මෙන් තියුණුයි. ක්ෂණයකින් මිනිසකුගේ හිස කඳෙන් වෙන් කිරීමට මේ පිහියෙන් පුළුවන්. මේ පිහිය පාවිච්චි කරමින් නේපාල ජාතිකයන් ඔවුන්ගේ ජාතික උත්සව වලදී සාම්ප්‍රදායික නැටුම් වල යෙදෙනවා. නේපාලයද ඇතුළුව ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පවතී අවදියේදී ගුර්කා වරුන් බ්‍රිතාන්‍ය යුද හමුදාවට බඳවා ගත්තා. ඔවුන් සැබැවින්ම සටන්කාමී ජාතියක්. අදටත්බ්‍රිතාන්‍ය යුද හමුදාවේ ගුර්කා රෙජිමේන්තු හතරක් තිබෙනවා. ඔවුන් අදටත් තම නිළ අවියක් ලෙස කුක්රි පිහිය පාවිච්චි කරනවා. පහත දැක්වෙන්නේ කුක්රි පිහිය සහිත, බ්‍රිතාන්‍ය යුද හමුදා ගුර්කා සෙබළෙක්.
 කුක්රි පිහිය අනුකරණය කරගනිමින්, නැතහොත් කුක්රි පිහිය මුලාශ්‍රයක් වශයෙන් තබාගනිමින් නිපදවන ලද පිහියා වර්ග රාශියක් වර්තමාන ලෝකයේ දකින්න ලැබෙනවා. ඒ එක් එක් පිහිය වෙන වෙනම විස්තර කරන්නට ගියොත් මේ ලිපිය ඔබට නීරස වෙනවා. ඒ නිසා එවැනි පිහියක රේඛා සටහනක් පමණක් පහත දක්වනවා.
  මා දන්නවා ඔබ අතරින් සෑහෙන පිරිසක් බලාපොරොත්තු වෙනවා එක්තරා විශේෂ පිහියක් ගැන දැනගැනීමට. මේ පිහිය ගැන ලියන්න කියලා කාමරේ සිරාත්මගෙන් ඉල්ලීමක් කර තිබුණා. සාමාන්‍යයෙන් ඒ පිහිය හඳුන්වන ජනප්‍රිය නම තමයි රම්බෝ පිහිය කියන නම. බොහෝ දෙනා සිතා සිටිනවා මේ පිහිය යුද හමුදා සෙබළුන්ගේ අවියක් ලෙස නිකුත් කරන බව. සමහර රටවල එහෙම ඇති. නමුත් ශ්‍රී ලංකා යුද හමුදාවේ නම් එහෙම නිකුත් කිරීමක් නැහැ. තමන්ට නිළ වශයෙන් නිකුත් කර තිබෙන අවි හැර, වෙනත් අවි ආයුධ දරා සිටීම හෝ පාවිච්චි කිරීම, යුද හමුදා නීතිය මෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, ජාත්‍යන්තර මානුෂවාදී නීතිය යටතේ පනවා තිබෙන ප්‍රඥප්තීන්, බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක්. 
  1980 දශකයේ මේ රම්බෝ පිහියා ලෙඩේ අපේ හමුදාවට බෝවුනා. තරුණ නිලධාරීන් සහ සමහර කෝප්‍රල්/සැරයන්/ වරු මේවා බඳ පටියේ එල්ලාගෙන පංචායුධ කුමාරයෝ වගේ (හැබැයි අර පංචායුද ජෝකරයාට වඩා හොඳයි) සටනට බැස්සා. නමුත් හමුදා මුලස්ථානය විසින් ස්ථාවර නියෝග පැනවුවා, එය නීති විරෝධී බවට. එයින් පසු ලෙඩේ සුව වුනා. මහා ඝන වනයේ දින ගණන් රැඳී සිටිමින් ක්‍රියාන්විත වල යෙදෙන කුඩා කණ්ඩායම් ( 8 දෙනාගේ කණ්ඩායම් වැනි) වලට නම් වනයේදී ආහාර සොයාගැනීම හා සකසා ගැනීම සඳහා හොඳින් කැපෙන පිහියක් තිබීම ප්‍රයෝජනවත්. නමුත් ඔවුන්ටත් හමුදා නිකුත්කිරීමක් ලෙස රම්බෝ පිහියා ලබා දෙන්නේ නැහැ.
දිවි රැකගැනීමේ පිහිය – Survival Knife
(රම්බෝ පිහිය – Rambo Knife)
  ගල් යුගයේ සිට මිනිසා සිය දිවි රැකගැනීම සඳහා සියුම් තුඩ සහිත කැපෙන සුළු තල යොදාගත්තා. ඒ තත්වය වඩාත් වර්ධනය වුනේ දඩයම් යුගයේදීයි. පිහියකින්, අප නොසිතන තරම් වැඩ කරගත හැකි බව, මිනිසාට වැටහුන අවදියේ පටන්, මිනිසා වෙහෙසුනේ, පිහිය ආයුධයක් ලෙස වඩාත් කාර්යක්ෂම තත්වයට පත් කිරීමටයි. 18 සහ 19 සියවස් වලදී මේ පිළිබඳව ලෝකය පුරාම දැඩි උනන්දුවක් ඇතිවුනා. ඒ අනුව වර්තමාන රම්බෝ පිහියේ මුලාරම්භය ලෙස සැලකිය හැක්කේ 1902 දී වෙබ්ස්ටර් එල් මාබල් නමැති ඇමෙරිකානු ජාතිකයා විසින් නිපදවන ලද, දිවි රැකගැනීමේ පිහියයි.
  මාබල් ගේ පිහිය පසුකාලීනව විශාල වෙනස්කම් රැසකට භාජනය වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි අද අපි දකින රම්බෝ පිහිය නිපදවුනේ. ඇත්ත වශයෙන්ම මේ පිහියට රම්බෝ පිහිය කියන නම ලැබුනේ, ‘සිල්වෙස්ටර් ස්ටැලෝන්’ Sylvester Stallone නමැති ජනප්‍රිය නළුවා, ‘ජෝන් රම්බෝ’ යන නමින්, ප්‍රධාන චරිතය රඟපෑ, ‘ෆස්ට් බ්ලඩ්’ First Bloodචිත්රපටියේදී මේ පිහිය කැපී පෙනෙන ලෙස යොදාගත් නිසායි. රම්බෝ ගේ පිහියා වැඩ ටිකක් පහත වීඩියෝවෙන් බලන්න.


 මේ පිහිය බහුකාර්ය පිහියක් වශයෙන් අතිශයින් කාර්යක්ෂමයි. මා හිතනවා ඔබ අතරින් සෑහෙන පිරිසක් මේ පිහිය දැක ඇති කියලා ඇත්තටම. (පින්තුර හෝ චිත්‍රපට නෙවෙයි) මේ පිහියේ බාල අනුකරණ තිබෙනවා දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල නිපදවන. ඒවා කිසිම සවිශක්තියක් හෝ කල් පැවතීමක් නැති ඇස් බැන්දුම් පමණයි. ඇමරිකාවේ නිෂ්පාදිත හොඳ පිහියක් අද  රුපියල් 10000 ක් පමණ වනවා බදු රහිත මිළ. නියම රම්බෝ පිහිය සෑහෙන්න බරයි. ඒ බර නැත්නම් එහි ප්‍රයෝජනයක් නැහැ. දමා ගැසීමේදී සමබරතාව රැකෙන්නේ තලය සහ මිට නියමිත බරකින් යුක්ත වන නිසයි. එකක් ගන්න ඕනෙද? එහෙනම් මෙතනින් ගන්න.
   මේ පිහියේ නිර්මාණයද ඉතා සංකීර්ණ එකක්. මා කලින්ද සඳහන් කලාක් මෙන් එහි දීර්ඝ කාලීන විකාශයක් තිබෙනවා. ඒ නිසයි මා එක පිහියක පමණක් රේඛා චිත්‍රයක් ඉහත පෙන්වා තිබෙන්නේ. ඔබට මේ පිහියා පිලිබඳ තාක්ෂණික තොරතුරු රැසක් මෙතනින් බලන්න පුළුවන්. පිහිය බහුකාර්ය බව පෙන්වන පළමුවැනි රුපයයි මේ සමග තිබෙන්නේ. විස්තර කිරීම අනවශ්‍ය බව සිතනවා. පින්තුරය තුලින් ඔබට සියල්ල පෙනෙන නිසා.
   ඔබ සමහරකු දන්නවා ඇති, මේ පිහියේ මිට ඇතුළේ, ජල රෝධක  ප්ලාස්ටික් කන්ටේනරයක, විවිධ උපකරණ කීපයක් දමා තිබෙන බව. එවැනි උපකරණත් ඇතුළත් නිසයි, මෙය දිවි රැකගැනීමේ පිහිය නමින් හැඳින්වෙන්නේ. මේ පින්තුරයෙන් පෙන්වන්නේ, මිට ඇතුළේ මොනවද තියෙන්නේ කියලා.
හැම පිහියකම වගේ මිට ඇතුළේ තියන දේවල් එක සමානයි බොහෝදුරට. එහෙත් වෙනස්කම් ද තිබෙනවා. මේ එවැනි පිහියක්.
  ඉතින් දැන් පිහියා කතන්දරේ දිග හැරුනා ඇති නේද? මීට වඩා දික් වුනොත්, ඔබට මේ ලිපිය එපා වෙලා, පිහියෙන් ඇණගන්න හිතෙයි. ඒ නිසා, කියවූ ඔබට ස්තුතිවන්ත වෙමින්, පිහියේ කතාව අවසන් කරනවා.

12 October 2012

ඒයි…. වැඩිය කතාවට ආවොත් බස්සනවා අඟල් හයක් – (පළමුවැනි කොටස) – One and All, The knife (Part One)


   ‘අඟල් හයක් බස්සනවා’ කියන කියමන අපි තරුණ කාලේදී නම් නිතර අහන්න ලැබුණා. ඒ වචනය නිතර පාවිච්චි කලේ ගමේ මෙන්ම නගරයේද සිටි ගණන්කාරයෝ. එහි තේරුම වුනේ පිහියෙන් අනිනවා කියන එකයි. අදටත් ලොව දියුණු රටවල පවා, තුවක්කු පිස්තෝල වගේම, අපරාධ සඳහා යොදාගන්නා ආයුධයක් වන්නේ පිහියයි. අද කාලයේ, නිවෙස්වල ඇති මුළුතැන්ගෙයි පිහියාද, ඉතා භයානක ලෙස මිනිසෙකුට මරණීය තුවාල කිරීම සඳහා යොදාගත හැකියි. සමහර මුළුතැන්ගෙයි පිහිය, වෙළඳ සලකින් මිලදීගෙන යන අවස්ථාවකදී, එහි ලදුපත, එය ගෙන යන තැනැත්තා අතේ නැත්නම්, දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ අත්අඩංගුවට ගැනීමට පවා, පොලීසියට බලය තිබෙනවා. පිහිය මාරාන්තික අවියක් බවට පත්වුණේ අද ඊයේ නෙවෙයි. පිහිය ආයුධයක් ද උපකරණයක් ද යන්න තීරණය වන්නේ යොදාගන්නා ආකාරය සහ අවස්ථාව අනුවයි. පිහිය විතරක් නෙවෙයි වෙනත් උපකරණ වුනත් ආයුධයක් ලෙස (අත පය වුනත්) යොදා ගන්න පුළුවන්නේ. අද කතා කරන්නේ ඇතුවත් බැරි, නැතුවත් බැරි, පිහිය ගැනයි.
  පිහිය සම්බන්ධ කියමන් ලෝකයේ බොහෝ සංස්කෘතීන්හි අසන්නට ලැබෙනවා. අපේ දේශීය සංස්කෘතියේත් තියනවා නේද? ‘පිහිය රත්තරන් කියලා ඇණගන්නයැ’ කියලා. ඇත්තටම එයින් අදහස් කරන්නේ යම් කිසිවකු, උසස් පුද්ගලයකු යයි පිළිගැනීම මත, ඔහුගේ අකටයුතු ඉවසිය නොහැකි බවයි. ගෙදරදොර එදිනෙදා කටයුතු වලදී හෝ විනෝදය සඳහා ගස්කොලන් වලට කොටන්නට යාමෙන් හෝ පිහියකින් සුළු තුවාලයක් වත් කර නොගත් කෙනෙක් නැති තරම්. ඒ තරමට බහුලව පිහිය සමාජය තුළ භාවිතයේ පවතිනවා. පිහිය සම්බන්ධ තවත් කියමන් කීපයක් පහත දක්වනවා. හැබැයි මේ කියමන් වල යටි පෙළ අරුත සොයාගැනීම ඔබට බාරයි.
  • පිහිය කොමඩු ගෙඩිය උඩට වැටුනත් එකයි. කොමඩු ගෙඩිය පිහිය උඩට වැටුනත් එකයි. (අප්‍රිකානු කියමනක්)
  • ඔබේ දිය බඳුන මුවවිට තෙක් පිරෙව්වොත් උතුරා යයි. ඔබේ පිහිය නිතර මුවහත් කලොත් එය ගෙවීයයි. (දාර්ශනික ලාඔත් ට්සු)
  • නරක පිහියකින් කැපෙන්නේ කෝටුව නොව කපන්නාගේ ඇඟිල්ලයි. (පෘතුගීසි කියමනක්)
  • පිහියට තමන්ගේම මිට කපා දැමීමට නොහැකිය (කොරියානු කියමනක්)
  • පුහුල් ගෙඩියක හදවත තුල සිදුවන්නේ කුමක්ද යන්න දන්නේ පිහිය පමණි. (සයිමන් ශ්වාර්ස්)
  • සෙමෙන් ඔබේ පිටට තට්ටු කරන්නන්ගෙන් පරෙස්සම් වෙන්න. ඔවුන් ඒ සොයන්නේ පිහියක් සිටවීම සඳහා ඔබේ පිටේ සුදුසු තැනක් විය හැකියි.
  මේ වගේ තවත් කියමන් ඔබ දන්නවා ඇති. ඔබේ අදහස් සමග ඒ කියමන් ඉදිරිපත් කරනු ඇතැයි සිතනවා.
  අපේ සංස්කෘතියේත් ලෝක සංස්කෘතියේත් විවිධ කාර්යයන් සඳහා විවිධ පිහියා තියනවා. අපිට මතක තියන ඒවා නම් කලොත්,
  • මේස පිහිය
  • වප්පිහිය (වක්‍+පිහිය = වප්පිහිය)
  • කප්පාදු පිහිය
  • දැලි පිහිය
  • මාළු පිහිය
  • වාං කැත්ත
  • දෑකැත්ත
  • කිරි පිහිය
  • මන්නය (මන්න පිහිය)
  • කැත්ත
  • කුරුඳු කැත්ත
  • පොල් කෙක්ක (පිහිය)
  • දැලි පිහිය
  • උල් පිහිය (කිරිච්චිය)
  • බද්ධ පිහිය
  • දුනු පිහිය
  මෙහි මට අමතක වූ පිහිය වර්ග ඔබ මතක් කර දෙනු ඇතැයි සිතනවා.
  නවීන තාක්ෂණයෙන් අපිට ලබාදී තිබෙන පිහිය රාශියක් ද තිබෙනවා. වර්තමානයේ මුළුතැන්ගෙයක තිබෙන පිහිය වර්ග අප මවිතයට පත කරන තරම්. ඉස්සරනම් කුස්සියේ තිබුනේ මේස පිහිය වප්පිහිය මාන්නය වැනි සීමාසහිත පිහිය කීපයක් පමණයි. මිනිසාගේ ආහාර රටාවන් වෙනස්වීම, ආහාර සැකසීමේ ක්‍රම වෙනස්වීම නිසා කපන කොටන උපකරණ රාශියක් මුළුතැන්ගෙයට එකතු වුනා.
  පාන් කැපීමට ගන්නා පිහිය නවීන තාක්ෂණයෙන් අපට ලබාදුන් පිහියක්. මේ පිහියේ තිබෙන දැති සහිත තලය නිසා තරමක් පරණ පාන් හෝ අලුත්ම පාන් වුනත් නොතැලී, නොකැඩී, කපාගන්නට පුළුවන්. අපේ ගෙදරට 1990 දී මිලදීගත්, ස්වීඩනයේ නිෂ්පාදිත, පාන් කපන පිහිය, අදටත් ඉතා හොඳින් කැපෙනවා. එය මෙතෙක් මුවහත් තබා නැහැ. (එහෙනම් ඒක පාවිච්චි කරන්නේ නැතුව ඇති :P )
  සමහර පිහිය වර්ග අප පාවිච්චි කරන්නේ විශේෂ කාර්යයන් සඳහායි. එම පිහියෙන් ඒ විශේෂ කාර්යය හැර වෙනත් කිසිවක් කරන්නට ගියොත් එක්කෝ පිහියට හානි වෙනවා. නැත්නම් පිහිය පාවිච්චි කරන්නට තුවාල වෙනවා. එහෙමත් නැත්නම් කරන්නට ගිය කාර්යය විකෘති හෝ අවුල් වෙනවා.  උදාහරණ කීපයක් සලකා බලමු.
  ශල්‍ය පිහිය:-  මේ පිහිය තියෙන්නේ ශල්‍යකර්ම සඳහා පමණයි. එයින් එළවලු කැටයම් කරන්න බැහැ. :D  ඒ පිහිය පාවිච්චි කරන ආකාරය දන්නෙත් ශල්‍ය වෛද්‍ය වරු පමණයි.
  කිරි පිහිය:- සමහරු නම් මේ පිහිය දැකලත් නැතුව ඇති. මෙයින් කරන්නේ රබර් ගසෙන් කිරි ගැනීම සඳහා රබර් ගසේ පොත්තේ කැපුම් දැමීමයි.  කිරි පිහිය පාවිච්චි කරන්න දන්නෙත් රබර් කිරි කපන අය විතරයි. මේ සමග ඇති පින්තුරයෙන් පෙන්වන්නේ අපේ රටේ පාවිච්චි කරන සාම්ප්‍රදායික කිරි පිහියයි. මීට වඩා වෙනස් හැඩ වල කිරි පිහියා දැන් භාවිත කරනවා.
  වාං කැත්ත:- තලය සාමාන්‍ය කැත්තක තලයට වඩා පළලයි. මෙය පාවිච්චි කරන්නේ කැලය කපා එළි පෙහෙළි කිරීමටයි. දිග මිටක් සහ ශක්තිමත් තලයක් තිබෙනවා. මෙහි දැක්වෙන පින්තුරයේ නම් තිබෙන්නේ මිට කොට කැත්තක්.
  කුරුඳු කැත්ත:- මෙය විශේෂයෙන් දකින්නට ලැබෙන්නේ අපේ රටේ දකුණු පළාතේ කුරුඳු වගා කරන ප්‍රදේශ වලයි. කුරුඳු කර්මාන්තය ආශ්‍රිතව සකසාකත් පිහියා වර්ග කීපයක් තිබෙනවා. කුරුඳු කැත්තක පින්තුරයක් සොයා ගැනීමත් අපහසුයි. සොයාගත් පින්තුර පහත දක්වනවා.  
 
පොල් කෙක්ක:- කෙක්කෙන් පොල් කැඩීම බහුල වශයෙන් සිදුවන්නේ වයඹ පළාතේ බවයි මම දන්නේ. මා වැරදිනම් නිවැරදි කරන්න. පොල් කෙක්ක පාවිච්චි කරන්නෙත් පොල් කැඩීමට විතරයිනේ. අනික එච්චර උස කෙක්කක් වෙනත් කටයුත්තකට අවශ්යවන්නෙත් නැහැ. පොල් කෙක්කක පින්තුරයක් සෙවීමට උත්සාහ කලත් එය සාර්ථක වුනේ නැහැ.
  කප්පාදු පිහිය:- කප්පාදු පිහියත් විශේෂ පිහියක්. අපේ රටේ පාවිච්චිකරන කප්පාදු පිහිය වප්පිහියේම විකාශයක් කිව හැකියි. පොදුවේ පාවිච්චි කළහැකි කප්පාදු පිහියකුයි පහත පින්තුරයේ දැක්වෙන්නේ.
   බද්ධ පිහිය:- කෘෂිකාර්මික කටයුතු වලදී භාවිත වන පිහියක් තමයි බද්ධ පිහිය. ශාක බද්ධ කටයුතු වලදී අවශ්‍ය කැපුම් සඳහාත්, ශාක වලින් පොතු ගලවා ගැනීම සඳහාත්, බද්ධ පිහිය භාවිත කරනවා. බද්ධ පිහිය විවිධ හැඩ වලින් තිබෙන අතර, මෙහි දැක්වෙන්නේ, පොදු බද්ධ පිහියක පින්තුරයකුයි.
  දුනු පිහිය:- අපි කුඩා කාලයේ අපේ වැඩිහිටියන් අත බොහෝවිට දුනු පිහිය දකින්නට ලැබුනා. ඔවුන් දුනු පිහියෙන් ගත් ප්‍රධානම ප්‍රයෝජනය වුනේ බුලත්විට කෑම සඳහා පුවක් කපා ගැනීමයි. දුණු පිහියේ තලය අංශක 90 කෝණයකට නවා, එහි මිට තුලට යැවිය හැකියි. අවශ්‍ය විට, එහි තලයේ ඇති කුඩා කට්ටය, මහපට ඇඟිල්ලේ නියපොත්තෙන් ඇද, දිග හැරිය හැකියි. ලී කැබැල්ලක්, කෝටුවක්, කපා ගැනීමටත් දුනු පිහිය සුදුසුයි. ඒ වගේම දුනු පිහිය මාරාන්තික ආයුධයක්. දුනු පිහි වර්ග දෙකක් තිබෙනවා. අතින් දිග හැරිය යුතු දුනු පිහි සහ බොත්තමක් එබූ විට, පිහිතලය, දුන්නක ආධාරයෙන්, ස්වයංක්‍රීයව එලියට එන දුනු පිහි, ඒ දෙවර්ගයයි.




  කිරිච්චිය:- අපේ පැරණි සංස්කෘතිය තුළ නිතර භාවිත වුන ආයුධයක් තමයි කිරිච්චිය හෙවත් උල් පිහිය. කම්මලක හදන සාමාන්‍ය උල් පිහිය සාමාන්‍ය මිනිහාගේ ආයුධයක් වූ අතර, විවිධ අලංකරණය කිරීම් සහිතව සමහර විට රන් රිදී වැනි වටිනා ලෝහ ද එකතුකර සාදනලද කිරිච්චි, රාජකීය සහ රදල පැලැන්තියේ ආයුධයක් ලෙස මෙන්ම, අධිකාරි බලයේ සංකේතයක් ලෙස ද භාවිත වුනා.
  දැලි පිහිය:- දලි පිහිය ගැනනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. අදනම් දැලි පිහිය අභාවයට ගිගින්.  සමහර බාබර් සාප්පු වල කොණ්ඩය කැපීමේදී පාවිච්චි කරන්නේ නියම දැලි පිහිය නෙවෙයි. රේසර් තලයක් දෙකට කඩා, සවිකළ හැකි පිහියක්. අපි කුඩා කාලේදී බාබර් සාප්පු වල තිබුනා නියම දැලි පිහිය. ඒ වගේම ගෙවල් වල සහ පන්සල් වලත් තිබුණා. ඒ කාලේ මිනිස්සු මෝඩ නිසා, බය නැතුව බාබර් සාප්පුවේදී, එකම දැලි පිහියෙන් කොණ්ඩය රැවුල කැපුවා, හැම දෙනාගේම. ඒ මෝඩ මිනිස්සු සදාචාරවත් මිනිස්සු නිසා, ඒඩ්ස් වගේ රෝග හදාගත්තෙත් නැහැ. දැලි පිහිය නිසා ඒවා පැතිරුනෙත් නැහැ. කාලයක් ගැට කපන්නන්ගේ සහ පාතාලයන්ගේ ආයුධය වුනේ දැලි පිහියයි. අද ඊට වඩා දියුණු ආයුධ තියනවා නොවැ. ඉතින් මොකටද දැලිපිහි.
  පිහියක මුලික කොටස් මොනවද? ඔබ කියයි, ‘පිහියක මොන කොටස්ද? තලය සහ මිට තමයි පිහියක කොටස්’ කියලා. නමුත් සමහර පිහියා ටිකක් සංකීර්ණයි. ඒ වගේ පිහියා වල කොටස් රාශියක් තියනවා. අද කාලයේ පාවිච්චි කරන සාමාන්‍ය මුළුතැන්ගෙයි පිහියක් අරගෙන බලමුද කොටස් කොපමණ තිබෙනවාද කියා. සමහරවිට ඔබ පුදුම වෙයි. මෙන්න බලන්න.
    ඔබ කිව්වා වගේම මෙහි ප්‍රධාන වශයෙන් තිබෙන්නේ තලය සහ මිට තමයි. නමුත් බලන්න, සමහරවිට අපි මෙතෙක් නොදන්නා කොටස් කීයක්,‌ පිහියක තිබෙනවාද කියා. ඒවා පහත නම් කරනවා.
  • A – Point – තුඩ – යමක් සිදුරු කිරීම සඳහා යොදාගන්නා, පිහි තලයේ කෙළවර.
  • B – Tip – උල – සාමාන්‍යයෙන් පිහි තලයේ දිගෙන් 1/3 ක් පමණ වන අග කොටස. වක්‍ර හැඩයේ කැපීම් සඳහා භාවිත කෙරෙයි.
  • C – Edge – කැපුම් තලය. තුඩෙහි සිට, මෙහි පහත, ‘හීල් Heel’ යනුවෙන් දැක්වෙන කොටස දක්වා ඇති දාරය.
  • D – Heel – තලයේ පසුපස කොටස. තලය මත දැඩි බර යොදවා කපන විට, ප්‍රධාන වශයෙන් බලය යෙදවෙන්නේ මේ කොටස මත ය.
  • E – Spine – පිහියේ පිට (කොන්ද) තලයේ ඝනකමින් වැඩි දාරය. තලයේ ශක්තිමත් බව රඳවා ගැනීමට ආධාර වන අතර, බර යොදා කපන විට, තලයේ ආරක්ෂාව තහවුරු කරයි.
  • F – Bolster – බෝල්ස්ටර් – (ගැලපෙන සිංහල වචනයක් ලැබුනේ නැත) පිහි තලය, පිහි මිටට තදින් ශක්තිමත්ව සවිවීම සඳහා, ඝනකමට සාදා තිබෙන, සම්බන්ධකය.
  • G – Finger Guard – ඇඟිලි ආරක්ෂක වක්‍රය. මේ වක්‍රය බාධකයක් ලෙස ක්‍රියා කරන බැවින්, කපන්නාගේ ඇඟිලි පිහි තලය වෙත ලිස්සා යාම වැළකෙයි.
  • H – Return – රිටන් – (ගැලපෙන සිංහල වචනයක් ලැබුනේ නැත) හීල් කොටස සහ බෝල්ස්ටර් කොටස එකට සම්බන්ධ වන ස්ථානය.
  • J -  Tang - ටැංග් – (ගැලපෙන සිංහල වචනයක් ලැබුනේ නැත) පිහියේ මිට තුළට කවා ඇති, පිහි තලයේ පසුපස කෙළවර.
  • K – Scales – ස්කේල්ස් – ටැංග් එකට දෙපැත්තෙන් සවිකර ඇති, (ලී, ප්ලාස්ටික්, හෝ එවැනි ද්‍රව්‍යයකින් සාදා ඇති) පිහි මිටේ පළු දෙක.
  • L – Rivets – ස්කේල්ස් දෙක, ටැංග් එකට සවි කිරීම සඳහා යොදා ඇති, රිවට් ඇණ.
  • M – Handle Guard – වාරුව – පිහිය අල්ලාගෙන සිටිනවිට අතින් ලිස්සායාම වළකින්නේ මිටෙහි පසුපස කොටසේ ඇති මේ වක්‍ර කොටස නිසාය.
  • N – Butt – බට් – පිහි මිටෙහි අවසන් කෙළවර.
  (මෙම සටහනේ I අකුර යොදා නැත්තේ අයි අකුර පින්තුරය තුළ පැහැදිලිව නොපෙණීමට ඉඩ ඇති නිසාය)
  දැන් මොකද හිතෙන්නේ. අපි හිතනවාට වඩා දේවල්, අපි එදිනෙදා පාවිච්චියට ගන්නා පිහියේ තිබෙනවා නේද? පිහියේ කතාව මෙතනින් ඉවර නැහැ. තවත් පිහියා වර්ග සහ ඒවා සම්බන්ධ තාක්ෂණික තොරතුරු රැසක් ඊළඟ කොටසේදී කියන්නම්.

10 October 2012

අහෝ ‘පොළොව’ ට්වින්කල් ට්වින්කල්


   යාලුවෙක් මිත්‍රයෙක් උදව්වක් උපකාරයක්‌ ඉල්ලුවොත් බෙල්ල කඩාගෙන හරි එය ඉෂ්ඨ කර දීම මා සතු හොඳ (හොඳ? :D ) පුරුද්දක්. පසුගිය මාස දෙක තුළ, එකම යාළුවාට, දෙවරක්, එකම උදව්ව කරන්න සිදුවුනා. හැබැයි ඒ උදව්ව නිසා මගේ තුන්දොස් සෑහෙන්න ඇවිස්සුනා. මෙන්න මේකයි සිද්ධිය.
පළමුවැනි ජවනිකාව
   දන්නවා නොවැ අර කොම්බු ලකුණ දරණ නාලිකාව………..අන්න හරි. ඒක තමයි. ඒගොල්ලෝ අර ‘ට්වින්කල් ට්වින්කල්’ කෙළියක් කොරනවානේ හිටු කියලා. අනේ මගේ යාලුවෙක් (උන්නැහේ හොඳ විධායක මට්ටමේ රැකියාවක් කලත්, විචාර බුද්ධිය නම් හොඳ මදි. මක්කා කොරන්ඩද. තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කිව්වලුනේ) උන්නැහේ තමන්ගේ දරුවෙක්ව දාලා ට්වින්කල් ට්වින්කල් කෙළියට. පහුගිය මාසේ උන්නැහේ අපේ ගෙදර ඇවිත් බොහොම කරුණාවෙන් ඉල්ලීමක් කළා, ‘අනේ …..මහත්තයා, මගේ දරුවා ට්වින්කල් ට්වින්කල් කෙළියේ අවසාන දොළොස් දෙනාට තේරිලා ඉන්නවා, ඉතින් මේ කෙළියේ නීති රීති අනුව (සින්දු කියන්න පුළුවන් වුනත් බැරි වුනත්) දහ දෙනෙකුගෙන් යුත් ආරක්ෂක සේනාවක්/බලකායක්/බල ඇණියක්/විශේෂ ක්‍රියාන්විත කණ්ඩායමක්/(ඔබ කැමති එකක් දාගන්න) ගෙනියන්න ඕනෑය, ඉතින් ඔබතුමා වැනි හිත හොඳ මිනිසුන් (හිත හොඳ අම්මණ්ඩි හැමදාම බඩින් :D) විතරක් ගෙනයන්නයි කල්පනාව, ඒ නිසා අනුකම්පාවෙන් ඉවසා වදාරා ට්වින්කල් ට්වින්කල් කෙළියට ආරක්ෂක සේනාවට යන්න එන්නය’ කියා. 
   ‘ඉතින් මොකේදැයි දන් වළඳන්නේ’ කිව්වලු. බෑ කියන්න හිතුනත් (අවංකවම මම එවැනි කෙළි, රුපවාහිනියේ කිසිදු නාලිකාවක නොබලමි. ‘රණවීර ලා’ වෙනුවෙන් තියපු එකවත්, එහි ගී ගැයූ මගේ ගෝලයන් ද හිටියත්, නොබැලුවෙමි. මේ මිත්‍රයා වෙනුවෙන් ගිය ඒවාත් නොබලමි) මේ මිත්‍රයාද මට ඉතාම ලෙන්ගතු පුද්ගලයකු නිසා, මේ දුෂ්කර ක්‍රියාවට එකඟ වුනෙමි. සොල්දාදුවන් වූ අපට කියාදී තිබෙන්නේ තැනට සුදුසු විදිහට අඳින්න කියාය. මම අපේ ගෙදර ඇත්තීගෙන් ඇසුවේ අහවල් කෙළිය දන්නවාද කියාය. ලොකු දුවගෙන් අහන්න යන පිළිතුර ලැබුවෙමි. ලොකු දුවගෙන් ඇහුවාම ඇය කිව්වේ ‘අයියෝ තාත්තේ, මේක ඔයාලගේ නිලධාරි නිවස්නය නෙවෙයි, ටයි කෝට් ඕනෙ නෑ, නිකම් කැෂුවල් යන්න’ කියාය. දෙයියෝ මුණ බැලුවා. නමුත්, කවුරුහරි (නාකි)ලමිස්සියක්, තවමත් කඩවසම් පෙණුමෙන් යුත් මා නිසා, වසඟයට පත්වුනොත් යන බිය මා තුළ ඇතිවූ බැවින්, වයිවාරන්න නැති, සාමාන්ය අත් දිග කමිසයක් හා  තද පාට කලිසමක් ද සපත්තුද ඇන්දෙමි. :P
  ට්වින්කල් ට්වින්කල් සංවිධායකයන්, විසින් තරගකරුවන්ට, සවස දෙක වනවිට පටිගත කිරීම සිදු කරන තැනට එන්නට දැනුම්දී තිබුණි. ඔන්න ඉතින් අපේ නඩය ආසන පහළොවේ වෑන් රථයකින් නියමිත තැනට ළඟාවුනේ පස්වරු 1.30 ටය.  ඒ එන අතරමග, නඩයට තේපැන් සංග්‍රහයක් සඳහා, මගේ මිත්‍රයාට රුපියල් 1500 ක් පමණ වැය විය. වෑන් රථයේ කුළිය රුපියල් 8000 ක් බව දැනගතිමි. ආපසු යන ගමනේදී රාත්‍රී ආහාර සඳහා තවත් රු 3000 කට ආසන්න මුදලක් වැය විය. දවසේ වියදම රු 15000 කට ආසන්න විය. (අනේ අපේ කාලයේ නම්, ’පිබිදෙන ගායක පරපුර’ වැනි හරවත් ගුවන්විදුලි වැඩසටහනකට ආධුනික ගායක ගායිකාවන් ආවේ, ලංගම බසයෙන් බව අපි හොඳින් දනිමු. ඔවුන්ට කිසිදු ප්‍රමාදයක් හෝ මාර්ග තදබදයක් නොතිබුණි. වෙලාවට බස් ධාවනය විය.)
  සවස දෙක වනවිට අපි බලාපොරොත්තු දල්වාගෙන සිටියත්, ඊට කලින් පටිගත කිරීම් අරඹා තිබුණු වැඩසටහන, අවසන් නොවීය. නමුත් සවස තුනට තරග කරුවන්/කාරියන් සියලු දෙනා වේශ නිරූපණ හෙවත් හැඩවැඩ දැමීමේ ස්ථානයට කැඳවන ලදී. ඒ කටයුතු නිමවා පැයක් පමණ ගතවුවද (මා දන්නා තරමින් ආලේපන ගැල්වීමෙන් පසු හැකි ඉක්මනින් පටිගත කිරීම් කලයුත්තේ, ඒ ආලේපන වලින් ලබාදුන් පෙණුම වෙනස්විය හැකි බැවිනි. ඒ මදිවාට මේ දිනවල තිබෙන අධික උෂ්ණත්වය නිසා දහදිය දැමීම අධිකය.) කලින් වැඩ සටහන අවසන් වන බවක් පෙනෙන්නට නැත. අපේ පොඩි තරගකරුවා නොසන්සුන්ව සිටී. වයස අවුරුදු 12 න් පහළ දරුවකු මෙපමණ වේලා තබාගැනීම දුෂ්කර කටයුත්තකි. කෙසේ වෙතත්, අපගේ පූර්ව කුසල කර්මයක් පළදීම හේතුවෙන්, සවස පහට විනාඩි 10 ක් තිබියදී පටිගත කිරීමේ මැදිරියට ඇතුළු වීමට වාසනාව ලැබුණි. නිකම්ම යා නොහැකිය. සපත්තු ගැලවිය යුතුය. දූවිල්ලෙන් ආරක්ෂා කරගතයුතු කෝටි ගණන් වටිනා උපකරණ රාශියක්, ඇතුළේ සවිකර ඇතැයි මට සිතුනි. අහෝ, එහි තිබුනේ වෙනත් ඕනෑම ශ්‍රව්‍ය/දෘශ්‍ය පටිගත කිරීම් කරන ස්ථානයක ඇති උපකරණමය. රික්ත ශෝධකයකින් ඒවා පිරිසිදු කළහැකි බව මුන්නැහැලා නොදන්නා සේ ය. ඊටත් වඩා විහිළුව වන්නේ, වාද්‍ය වෘන්දයේ 10 ක් පමණ දෙනාද, කැමරා කරුවන් සහ ඔවුන්ගේ ආවතේව කරුවන්ද, ශබ්ද පරිපාලක, සම්බන්ධිකාරක, සහායක දෙතුන් දෙනා, වෙස් ගන්වන්නා, තේ ගෙනෙන කොළුවා, විනිශ්චය මණ්ඩලයේ තිදෙනා, ආදී සියල්ලන් සපත්තු සෙරෙප්පු පැළඳ සිත්සේ එළියට ඇතුළට ගමන් කිරීමයි.
  ප්‍රේක්ෂක ජනතාවට වාඩිවීම සඳහා සකස්කර ඇත්තේ කෘත්‍රිම අට්ටාලයක පැනවූ අසුන් ය. ඒ අට්ටාලය සවි ශක්තිමත් ඇතැයි සිතිය හැකි නමුත්, ඊට ගොඩවිය හැක්කේ හරි මැදින් සකසා ඇති පටු මං තීරුවෙන් පමණි. හදිසි අවස්ථාවක් (ගින්නක් වැනි) ඇති වුවහොත් පිට වෙනවා බොරුය. ඒ මදිවාට පටිගත කිරීමේ සමහර උපකරණද, එක් කැමරාවක්ද, ඇත්තේ ඒ අට්ටාලයේ ඉහලම කොටසේය. ඇතුළුවීමට පිටවීමට ඇත්තේ එකම දොරකි. ගිනි නිවීමේ උපකරණයක් අහල පහළ තිබෙනවා නොදුටිමි. ගොඩනැගිල්ලෙන් පිටත ඇති ජංගම විදුලි ජනක යන්ත්‍රයකින් ගන්නා විදුලි සැපයුම් රැහැන්, ධාරාලෝක සඳහා ඇති බල සැපයුම් රැහැන්, සහ රූපවාහිණී ශ්‍රව්‍ය/දෘශ්‍ය රැහැන් හැම තැනම බිම දිගේ එලා ඇත. ඔන්න ඉතින් වාඩි කරවීමේ අවස්ථාව ආවා කියමුකෝ, අරයාගේ කට්ටිය මෙතනට එන්න, මෙයාගේ කට්ටිය අතනට යන්න, යනුවෙන් මැදිරි සම්බන්ධිකාරකයා අණ දෙයි. (අහෝ, ඔහුට සම්බන්ධිකාරක කටයුතු ගැන දැණුමක් තිබිය හැකිය. නමුත් යමක් හරියට කණට ඇහෙන්නට කිවහැකි පිරිමි කටහඬක් නැත) වාඩි කරවීමේ කටයුතු අවසන් කරන්නට විනාඩි 20 ක් පමණ ගතවිය. (මිනිස්සු 100 ක් පමණ වාඩි කරවීමට) මිනිස්සු 100 ක් වාඩි කරවීමට සුදුසු මැදිරි, තමන් සතු පරිශ්‍රයක නැති නාලිකා. :P  
  දෙවතාවක් එහාට මෙහාට මාරු වූ පසු අපි අසුන් ගත්තෙමු. ඒ අල්ල පනල්ලේ වටපිට බැලීමට අමතක නොකළේ මෙතන මොකද වෙන්නේ යන දේ දැනගැනීමටය. ‘තියුණු නිරීක්ෂණය’ මට ඉගැන්වූ යුද හමුදාව දිනේවා! ඔන්න ඒ වෙලාවේ තමයි දැක්කේ, ලාමක සුරතල් පෙණුමෙන් යුත් ගැටිස්සියක්, පිරිමි පෙනුමට වඩා ස්ත්‍රී පෙනුමට ආසන්න එවැනිම ඉලන්දාරියකු සමග දෙඅත් අල්ලාගෙන අල්ලාප සල්ලාපයේ යෙදී ඉන්න හැටි. මැදිරිය ආලෝකවත් කර තිබුනේ අවශ්‍ය අවම ප්‍රමාණයට බැවින් තරමක අඳුරක් ද ඇත. මේ දෙන්නාට මෙවැනි තැනක් හොයාගන්නට අමාරු ඇති, කාර්ය බහුලත්වය නිසා. ඒක තමයි මේ ප්‍රේක්ෂකයන් ගැනද නොසලකා, දෑත් අල්ලාගෙන, අර වර්තමාන නිවේදක භාෂාවෙන් කියන ආකාරයට ‘දොඩමළු වී’ සිටින්නේ. ‘ඒ තමයි නිවේදකයා සහ නිවේදිකාව’ මගේ මිතුරා මගේ කණට කෙඳිරීය. අම්මපා….. මට නිකම්ම කියැවුනි. හරි හරි මීළඟට කියන නිවේදන ගැන පෙර පුහුණුවක් වෙන්න ඇති. හැබැයි තරගය සඳහා පැමිණි පොඩි එවුන්, දෙමවුපියන් සමග සිටින අනෙකුත් දූ දරුවන්, මේ ජවනිකා නැරඹීම නම් සුදුසු නෑ නේද කියා මේ යුවලට නොසිතුනේ, ඔවුන්ගේ ලාමක මනස නිසා බව පැහැදිලි විය.
  මහා වේදිකාව මත එකට රැස්වූ කළු කෝට් කාරයන් පිරිසක් සල්ලාපයක යෙදී සිටිති. ‘ඒ තමයි ඔකෙස්ට්‍රා එක’ මගේ මිතුරා මා නැවතත් දැනුවත් කරයි. ඒ පිරිස වරින් වර මහා හඬින් සිනාසෙති. ඒ සිනාවේ ස්වරූපයෙන් හා ඔවුන්ගේ මුහුණුවල ඉරියවු නිරීක්ෂණය කිරීමෙන් පෙනීයන්නේ, ඒ සිනාව, සභ්‍ය නොවන කතාවක් ඇසීමෙන් එලියට පනින සිනාවක් බවය. 

ප්‍රේක්ෂක පිරිසක් (සමහර විට ඔවුන්ට වඩා බුද්ධියෙන් මුහුකුරා ගිය හෝ එසේ නැතහොත් ඔවුන්ගේ වැඩිහිටි ඥාතීන්ගේ වයසේ) මෙහි සිටිනවා නේද යන්න ගැන කිසිදු හැඟීමක් ඔවුන් තුළ නැතුවාසේ ය. ඔවුන් මෙහෙයවන උන්නැහේට එවැනි පාලනයක් තම කණ්ඩායම වෙත නැති බවද පැහැදිලිව පෙනේ. මට මතක් වුයේ අසහාය වාද්‍ය ශිල්පී අභාවප්‍රාප්ත විජේරත්න රණතුංග මහතාණන් ය. එතුමන් මෙහෙයවන සංගීත වාදක කණ්ඩායමක් කොතරම් විනයවත්ව හැසිරෙන්නේදැයි මම මෙවැනිම පටිගත කිරීම් වලදී දැක ඇත්තෙමි. වෙහෙස නිවා ගැනීමට විහිළුවක් නැති ජීවිතයෙන් පළක් නැත. නමුත් එය කලයුත්තේ තම තත්වය හෑල්ලුවට ලක්වන පරිදි නොවේ. (හෑල්ලුවට ලක්වීමට තරම් තත්වයක් ඇත්නම්)
  කොහොම කොහොම හරි පටිගත කිරීම ආරම්භ විය. මුලින්ම ඇත්තේ අප්පුඩි පටිගත කිරීමය. ඒ කියන්නේ මැදිරි සම්බන්ධිකාරකයාගේ අණ පරිදි ප්‍රේක්ෂකයන් විසින් වාර ගණනාවක් (10 ක් පමණ) අප්පුඩි ගැසිය යුතුය. සංස්කරණයේදී වැඩ සටහනේ ඒ ඒ තැන්වලට එබීමටයි මේ අප්පුඩි කෙළිය. ‘ඇයි වාහේ, කැමරා කෝණ හත අටකින් එකම අප්පුඩිය පටිගත කොරගන්ඩ බැරිද?’ මම මගෙන්ම අසා ගත්තෙමි. වවුලාගේ මගුල්ගෙදර ආ බව තේරෙන්නේ දැන් ය.  ඔන්න ඉතින් අර නිවේදක ජෝඩුව වේදිකාව මතට සම්ප්‍රාප්ත විය. දෙන්නාම ආහාර පාලනයෙන් ශරීරය කෘෂ කරගෙන ඇතිසේය. තව ටිකක් කෙට්ටු වුනානම් ඉතියෝපියාවෙන් හෝ සෝමාලියාවෙන් ආවා වගේ පෙනෙනු ඇත. 

මේ දෙන්නා සිංහලද, දෙමළද, ප්රංශ ද, ආර්ජෙන්ටිනා ද, යන්න මට තෝරා ගැනීමට අපහසු වුයේ, ඔවුන්ගේම සිංහල ඔවුන්ටම වැරදීම නිසා පටිගත කිරීම නවත්වමින් නැවත ඇරඹීමට සිදුවූ නිසාය. ඇත්තම හේතුව නම් ඔවුන්ගේ වාග් කෝෂයේ ඇත්තේ සීමිත වචන සංඛ්‍යාවක් බවත්, බොරුවට ඉංගිරිසි සෝබන කෑලි දැමීමෙන් නිකං සවුත්තු වන බවත්, මොනවට පසක් විය.
  සාමාන්‍යයෙන් ඕනෑම තරගයක් විනිශ්චය කරන විනිසුරු මඬුල්ල මධ්‍යස්ථ අපක්ෂපාත ලීලාවෙන් සිටිය යුතු බව පිළිගත් පොදු සම්ප්‍රදාය නොවේද? නමුත් මේ විනිශ්චය මණ්ඩලයේ තිදෙනාගෙන් දෙදෙනෙකු බොහෝ විටත් එක් අයකු වරින්වරත් තරගකරුවන්ගේ ගීතයෙන් මත්ව හාව භාව ලීලාවන් පෙන්වමින්ද, හස්ත විකාර, මුඛ විකාර පෙන්වමින් ද, තමන් මහත් අමන්දානන්දයට පත්වූ බව ප්‍රසිද්ධියේ පෙන්වති. සෑම තරගකරුවකුටම එසේ නොකරති. 

මේ කියන්නේ, ඔවුන්, තම හැඟීම් පාලනය කරගනිමින්, විනිශ්චයේ යෙදෙන්නට තරම් සුදුස්සන් නොවන බව නොවේද? නොඑසේනම් සමහර තරග කරුවන්ට විශේෂ අනුග්‍රහයක්, දිරි ගැන්වීමක්, පක්ෂපාතී බවක් ඇති බව නොවේද? ඉදින් මෙහි ඇති සාධාරණ විනිශ්චය කුමක්ද? විශ්චය මණ්ඩලයේ සිටින ලාබාලයා තමන් අඳබාලයකු බව පෙන්වන අවස්ථා බොහෝය. තමන් ඉන්දියාවේදී ලද සංගීත ඥානයේ බල මහිමය ගැන උජාරුවෙන් නිතර දෙසාබාන මේ පුද්ගලයා තමන්ට මේ රටේ කිසි තැනක් නැතැයි අවලාද කියයි. ‘ඇයි උන්නැහේ හොඳ නිර්මාණ කොරනවකෝ ඔහොම බෑඟිරි ගාන්නේ නැතුව. එතකොට ඒවා නියම ශාස්ත්‍රීය නිර්මාණ නම් ජනතාව පිළිගනියි නොවැ’ යයි කීමට කීප විටක්ම සිතුනත් ඉවසා සිටියේ, මගේ මිත්‍රයාගේ දරුවා වෙනුවෙනි. භාරතයෙන් සංගීත ඥානය ඔපවත් කරගෙන අදද සංගීතාම්බරයේ වැජඹෙන අමරදේවයන්ගේ පටන් දයාරත්න අමරා යුවල, සනත් නන්දසිරි, වැන්නවුන් මේ පුස්සා මෙන් බෑඟිරි නොගෑවේ ආත්ම ගණනාවක් පුරා රැගෙන ආ කුසලතාවද ඔවුන් සතු නිසාය. සංගීත විභාග සමත්වීම සහ නිර්මාණ කුසලතාව අතර වෙනස තේරුම් ගන්නට මොහුට තව ආත්ම ගණනාවක් සංසාරන්යයේ සැරිසරන්නට සිදුවනු ඇත. 

මේ අඳබාලයා, එතනින් නොනැවතී, මනප්පු චරිතයද විටින් විට රඟපායි. මොහු අර බාල බොළඳ නිවේදක යුවල සමග සම්ඵප්‍රලාප, මෝඩ විසුළු, වල යෙදෙයි. පටිගත කිරීම නවත්වා වැඩ සටහන එක තැන පල්වෙයි.  දුර බැහැර ගෙවා වෙහෙසවී මෙහි පැමිණි අපි, වැඩසටහන වෙනුවට, මේ ගොං පාට් බලා සිටිය යුතුය. ඊළඟ ගීත ගායනය සඳහා පුල පුලා බලා සිටින දරුවන් තවත් වෙහෙසට පත්විය යුතුය.

  එක් ගීතයක් ඉතා හොඳින් ගායනය කෙරෙද්දී සංගීතය මෙහෙයවන උන්නැහේ තම කොන්ගෝ බෙරයට නිවාඩු දී සටහන් වගයක් පෙරලා බලයි. අතරමගදී වාදනය අරඹයි. අනේ අර දරුවාට අනෙකෙකුගේ වරදට වන්දි ගෙවමින්, ගීතය නැවතත් මුල සිට කීමට සිදුවෙයි. මේ අවනඩු කියන්නේ කාටද?
  එදා අපේ දරුවා තරගයෙන් ගොඩ ගියේය. මම සුසුමක් හෙලා ‘අනේ මෙහෙම ලෝකයක්’ කියා සිතුවෙමි. මැදිරියෙන් එළියට ආ පසු දුටුවේ, හද කම්පා කරන දසුනකි. තරගයෙන් ඉවත් කෙරුණ දරුවන් දෙදෙනෙකු, හද කකියවන ආකාරයෙන් හඬා වැටෙයි. ඔවුන්ගේ දෙමාපිය හිතවතුන් ඔවුන් සනසන්නට අපමණ වෙහෙසක් දැරුවත්, එය අසාර්ථක විය. මේ පුංචි හිත්වල මේ දුක නිසා ඇතිවන්නේ කෙබඳු සිතිවිලිද? ඔවුන්ගේ මනසට, මේ දුක, කොතරම් දරුණු බලපෑම් එල්ල කරයිද? වයිරය, කෝපය, සමාජ විරෝධාකල්ප මේ පුංචි හිත්වල පැන නොනගීයයි සහතික කලහැක්කේ කාටද? ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යාමට තරම් ඔවුන්ගේ මනස සන්සුන්වේද? මේ නම් සැබෑම විප්‍රකාරයකි. 

දරුවන් දෙදෙනා ඔසවාගෙන ගොස්, තමන් පැමිණි වාහන වල දමාගෙන, අඳුරු මුහුණෙන් යුතුව පිටවී යන දෙමවුපියන් ගැන, මට ඇතිවුයේ අනුකම්පාවකි.

දෙවැනි ජවනිකාව
  මගේ මිත්‍රයා මා සොයා නැවතත් පැමිණියේ, පසුගිය සැප්තැම්බර් මස 30 වැනිදාය.  ‘මහත්තයා අපේ ළමයාට ඔක්තොබර් 8 වැනිදා නැවතත් තරගයට යන්න තියනවා. අනේ තරහ නැතුව එනවද එදාටත් යන්න’ යන ඉල්ලීම කළේය. බොරු කීමට අකමැති මම, මේ තරගයේ ඇති නිෂ්ඵල බවත්, මෙයින් ගායක ගායිකාවන් බිහිවීම කෙසේ වෙතත්, වෙළඳ කටයුතු ප්‍රවර්ධනය සාර්ථකව සිදු කෙරෙන බවත්, පහදා දුන්නෙමි. නමුත් ඔහු බැගෑපත්වූ තරම කෙතෙක්ද යත්, යළිදු අර විප්‍රකාරයේ ගැලෙන්නට මා හට සිදුවිය. 

හැබැයි මම එක දෙයක් ස්ථිරව ප්‍රකාශ කලෙමි. ‘මහත්තයා, මහත්තයා බොහොම කැමැත්තෙන් තමන්ගේ දරුවා මේ තරගයට යවනවානේ. මම ප්‍රාර්ථනා කරනවා දරුවා මෙවරත් සමත්වෙන්න කියලා. හැබැයි මෙවර තරගයෙන් මහත්තයාගේ දරුවා තේරුනොත් අනේ ආයෙනම් මට එන්න කියන්න එපා’. ඔහු එයට එකඟ විය. එදා ජවනිකාව හැකිතරම් කෙටි කර පහත දක්වමි.

  • පැමිණිය යුතු වෙලාව දී තිබුනේ මධ්‍යාහ්න 12.00 ලෙසය. හරියටම 11.50 ට එහි ගියෙමු.
  • වේශ නිරූපණය සඳහා ළමයින් ගත්තේ හවස 3.00 ට ය.
  • මැදිරියට සියලුදෙනා ඇතුළු කරගත්තේ සවස 4.20 ට ය. හේතුව ඊට කලින් පටන්ගත් වැඩසටහන අවසන් නොවීමය.
  • වාඩි කරවීමට සෑහෙන වෙලාවක් ගතවූ අතර සමහර අයට සිටගෙන සිටීමට සිදුවිය (පැය 3 ක්)
  • නිවේදක යුවලගේ ගොන් පාට් වඩාත් වැඩිවී තිබුණි. උන් දෙදෙනා එකිනෙකාට අපහාස උපහාස කරගනිමින් ඒ සඳහා අපේ අවධානයද සිනහවද බලාපොරොත්තු වෙති. මේ පෙන්වන්න හදන්නේ අපි හරි ජොලියෙන් ඉන්නවා කියන එකනම්, මොවුන් බම්මන්නන් මිස වෙන කවුරුවත් නොවන බව ඔවුන්ට එක හෙලා කිව යුතුය.
  • නිවේදිකාව තමන්ට දරාගන්නට බැරිතරම් අඩි උස සපත්තු පැළඳ සිටීම නිසා වේදිකාවෙන් බැසගත් වහාම එය ගලවා දමන බවත් කැමරාවට අසු නොවන පරිදි වේදිකාවට නගින්නේ සපත්තු දෙක අතේ අරගෙන බවත්, එය පළඳින්නේ නිවේදන කටයුතු කරන සුළු මොහොතට පමණක් බවත් දුටුවෙමි.
  • නිවේදකයාද කකුලේ අමාරුවකින් පෙළෙන්නෙකි. ඔහු එක් එක් වාරයේ නිවේදන කටයුතු නිමකර, වේදිකාවෙන් බැස, කොර ගසමින්, ‘අම්මෝ කකුල’ කියා ප්‍රේක්ෂකාගාරයටද ඇසෙන පරිදි කෙඳිරි ගාමින් වාඩි වෙයි.
  • අර අඳබාලයා එදා තවත් සිය ගුණයකින් තමා නියම ජෝකරයකු බව පෙන්වීය. මැදිරි සම්බන්ධීකාරකයා එක් එක් අවස්තාවලදී පටිගත කිරීම ආරම්භ කිරීම සඳහා කාල ගණනය කරද්දී මේ ජෝකරයාද එයට බාධා වන අයුරින් ඔහුද කාල ගණනය කරයි.  ඇඟමැලි කඩා මහා හඬින් ඈනුම් අරියි. නිවේදක යුවල සමග ගොන්පාට් වාද විවාද වල යෙදෙමින් කාලය කා දමයි. මේ විකාරය ඉවසා සිටිය නොහැකි කැමරා කරුවකු ‘මේ මේ ඇති ඇති දැන් ඕක නවත්තනවා’ කීවේ සැබෑම කෝපයෙනි. අනේ අර අඳබාලයාට ලැජ්ජාවක් නැද්ද? තමන් විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයකු නොවේද? කැමරාකරු පහත් රැකියාවක් කරන්නකු නොවේ. නමුත් වැඩසටහනේදී තමන්ට වඩා පහළ නිලයක් දරන්නකු අතින් දොස් ඇසීම ලැජ්ජාවක් බවවත් නොවැටහෙන්නෙකි මේ අඳබාලයා. තරගයට පැමිණි දැරියක් ආවේ පොතුහැර ප්‍රදේශයෙනි. මේ ජෝකරයා හිතන්නේ පොතුහැර තියෙන්නේ නන්දිකඩාල් කලපුවටත් එහා කියාය. ඔහු පොතුහැර යන වචනය ඇදපැද කිව්වේ ඒ නිසාය.
  • එදා අර නිවේදිකාව ව්‍යාත්ස්‍යායනගේ කාම සුත්‍රයේ එන ජවනිකාද පෙන්වූවාය. වැඩ සටහන අතරතුර ඇය, මැදිරි සහායිකාවක් කාමුක ලෙස බදාගෙන සිටියේ මේ ඉන්නේ කොහේදැයි කියා අසිහියෙන්ය. ඊළඟ වතාවේ ඒ මැදිරි සහයිකාව මැදට හිරවනසේ නිවෙදිකාවත් වේශ නිරුපන ශිල්පියාත් බදාගෙන සිටින ජවනිකාව එලි දැක්වුණි.
මගේ මිත්‍රයාගේ දරුවා ගොඩ ගියේය. පොතුහැර දැරිය නොතේරුණත් නොහඬා සිටීමට තරම් ආත්ම ශක්තියකින් යුක්ත වුවාය. අනෙක් පොඩිඑකානම් හඬා වැටුණි. අපි මේ යන්නේ කොහෙද? මේ ස්ටාර් කෙළියේ අවසානය කොහෙද? මේ දෙමවුපියන් තම දරුවන් රේස් අශ්වයන් යයි සිතා, ඔවුන් දක්කන්නේ අගාධයකට නොවේද? අපට නොගැලපෙන මේ විප්‍රකාරවල මීළඟ වැඩ සටහන් මීටත් වඩා දරුණු ලෙස ළමා මනසට බලපෑම එල්ල නොකරනු ඇතිද? ‘කෝ උඹ මහා ලොකුවට සින්දු කියන්න ගිහින් පැරදුනා නේද’ කියා තම පාසල් මිතුරන් අසන විට, මේ ළමුන්ගේ මනසට කුමක් වේද? මේ කරන්නේ, රටේ අනාගතය බාරගැනීමට සිටින අහිංසක දරුවන්, විකුණාගෙන කෑම බවත්, මනස විකෘති වන මේ දරුවන්, කෙබඳු පුද්ගලයන් බවට පත්වේද යන්නත්, මේ දෙමවුපියන්ට නොවැටහෙන්නේ ඇයි? මේ ස්ටාර් කෙළිය වෙනුවෙන් ඇඳුම් පැළඳුම්, ආහාර පාන, ගමන් වියදම්, වශයෙන් මහා ධනයක් වැය කිරීමට දෙමවුපියන්ට සිදුවෙයි. සමහරු ප්‍රකට සංගීතඥයන් ලවා තම දරුවා පුහුණු කරවන අතර, ඒ සඳහා අති විශාල ගෙවීම් කරන්නට සිදුවෙයි. 

සමහරවිට මේ සඳහා දෙමවුපියන් ණයට මුදල් ගන්නවාත් ඇති. අනේ මේ මුදල් මේ දරුවාගේ අධ්‍යාපනයට වියදම් කළහැකිනම් කොතරම් විශාල පළක් ප්‍රයෝජනයක් වනු ඇතිද? ඒ දරුවාගේ නමින් බැංකුවක තැන්පත් කලොත් කොපමණ වටිනවාද? ආපසු එන තුරුම මගේ සිතට වද දුන්නේ මේ සිතුවිලි සමුදායයි.
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }