- පිහිය කොමඩු ගෙඩිය උඩට වැටුනත් එකයි. කොමඩු ගෙඩිය පිහිය උඩට වැටුනත් එකයි. (අප්‍රිකානු කියමනක්)
- ඔබේ දිය බඳුන මුවවිට තෙක් පිරෙව්වොත් උතුරා යයි. ඔබේ පිහිය නිතර මුවහත් කලොත් එය ගෙවීයයි. (දාර්ශනික ලාඔත් ට්සු)
- නරක පිහියකින් කැපෙන්නේ කෝටුව නොව කපන්නාගේ ඇඟිල්ලයි. (පෘතුගීසි කියමනක්)
- පිහියට තමන්ගේම මිට කපා දැමීමට නොහැකිය (කොරියානු කියමනක්)
- පුහුල් ගෙඩියක හදවත තුල සිදුවන්නේ කුමක්ද යන්න දන්නේ පිහිය පමණි. (සයිමන් ශ්වාර්ස්)
- සෙමෙන් ඔබේ පිටට තට්ටු කරන්නන්ගෙන් පරෙස්සම් වෙන්න. ඔවුන් ඒ සොයන්නේ පිහියක් සිටවීම සඳහා ඔබේ පිටේ සුදුසු තැනක් විය හැකියි.
මේ වගේ තවත් කියමන් ඔබ දන්නවා ඇති. ඔබේ අදහස් සමග ඒ කියමන් ඉදිරිපත් කරනු ඇතැයි සිතනවා.
අපේ සංස්කෘතියේත් ලෝක සංස්කෘතියේත් විවිධ කාර්යයන් සඳහා විවිධ පිහියා තියනවා. අපිට මතක තියන ඒවා නම් කලොත්,
- මේස පිහිය
- වප්පිහිය (වක්+පිහිය = වප්පිහිය)
- කප්පාදු පිහිය
- දැලි පිහිය
- මාළු පිහිය
- වාං කැත්ත
- දෑකැත්ත
- කිරි පිහිය
- මන්නය (මන්න පිහිය)
- කැත්ත
- කුරුඳු කැත්ත
- පොල් කෙක්ක (පිහිය)
- දැලි පිහිය
- උල් පිහිය (කිරිච්චිය)
- බද්ධ පිහිය
- දුනු පිහිය
මෙහි මට අමතක වූ පිහිය වර්ග ඔබ මතක් කර දෙනු ඇතැයි සිතනවා.
නවීන තාක්ෂණයෙන් අපිට ලබාදී තිබෙන පිහිය රාශියක් ද තිබෙනවා. වර්තමානයේ මුළුතැන්ගෙයක තිබෙන පිහිය වර්ග අප මවිතයට පත කරන තරම්. ඉස්සරනම් කුස්සියේ තිබුනේ මේස පිහිය වප්පිහිය මාන්නය වැනි සීමාසහිත පිහිය කීපයක් පමණයි. මිනිසාගේ ආහාර රටාවන් වෙනස්වීම, ආහාර සැකසීමේ ක්‍රම වෙනස්වීම නිසා කපන කොටන උපකරණ රාශියක් මුළුතැන්ගෙයට එකතු වුනා.
සමහර පිහිය වර්ග අප පාවිච්චි කරන්නේ විශේෂ කාර්යයන් සඳහායි. එම පිහියෙන් ඒ විශේෂ කාර්යය හැර වෙනත් කිසිවක් කරන්නට ගියොත් එක්කෝ පිහියට හානි වෙනවා. නැත්නම් පිහිය පාවිච්චි කරන්නට තුවාල වෙනවා. එහෙමත් නැත්නම් කරන්නට ගිය කාර්යය විකෘති හෝ අවුල් වෙනවා. උදාහරණ කීපයක් සලකා බලමු.
ශල්‍ය පිහිය:- මේ පිහිය තියෙන්නේ ශල්‍යකර්ම සඳහා පමණයි. එයින් එළවලු කැටයම් කරන්න බැහැ.
ඒ පිහිය පාවිච්චි කරන ආකාරය දන්නෙත් ශල්‍ය වෛද්‍ය වරු පමණයි.
කිරි පිහිය:- සමහරු නම් මේ පිහිය දැකලත් නැතුව ඇති. මෙයින් කරන්නේ රබර් ගසෙන් කිරි ගැනීම සඳහා රබර් ගසේ පොත්තේ කැපුම් දැමීමයි. කිරි පිහිය පාවිච්චි කරන්න දන්නෙත් රබර් කිරි කපන අය විතරයි. මේ සමග ඇති පින්තුරයෙන් පෙන්වන්නේ අපේ රටේ පාවිච්චි කරන සාම්ප්‍රදායික කිරි පිහියයි. මීට වඩා වෙනස් හැඩ වල කිරි පිහියා දැන් භාවිත කරනවා.
වාං කැත්ත:- තලය සාමාන්‍ය කැත්තක තලයට වඩා පළලයි. මෙය පාවිච්චි කරන්නේ කැලය කපා එළි පෙහෙළි කිරීමටයි. දිග මිටක් සහ ශක්තිමත් තලයක් තිබෙනවා. මෙහි දැක්වෙන පින්තුරයේ නම් තිබෙන්නේ මිට කොට කැත්තක්.
කුරුඳු කැත්ත:- මෙය විශේෂයෙන් දකින්නට ලැබෙන්නේ අපේ රටේ දකුණු පළාතේ කුරුඳු වගා කරන ප්‍රදේශ වලයි. කුරුඳු කර්මාන්තය ආශ්‍රිතව සකසාකත් පිහියා වර්ග කීපයක් තිබෙනවා. කුරුඳු කැත්තක පින්තුරයක් සොයා ගැනීමත් අපහසුයි. සොයාගත් පින්තුර පහත දක්වනවා.
පොල් කෙක්ක:- කෙක්කෙන් පොල් කැඩීම බහුල වශයෙන් සිදුවන්නේ වයඹ පළාතේ බවයි මම දන්නේ. මා වැරදිනම් නිවැරදි කරන්න. පොල් කෙක්ක පාවිච්චි කරන්නෙත් පොල් කැඩීමට විතරයිනේ. අනික එච්චර උස කෙක්කක් වෙනත් කටයුත්තකට අවශ්යවන්නෙත් නැහැ. පොල් කෙක්කක පින්තුරයක් සෙවීමට උත්සාහ කලත් එය සාර්ථක වුනේ නැහැ.
කප්පාදු පිහිය:- කප්පාදු පිහියත් විශේෂ පිහියක්. අපේ රටේ පාවිච්චිකරන කප්පාදු පිහිය වප්පිහියේම විකාශයක් කිව හැකියි. පොදුවේ පාවිච්චි කළහැකි කප්පාදු පිහියකුයි පහත පින්තුරයේ දැක්වෙන්නේ.
දුනු පිහිය:- අපි කුඩා කාලයේ අපේ වැඩිහිටියන් අත බොහෝවිට දුනු පිහිය දකින්නට ලැබුනා. ඔවුන් දුනු පිහියෙන් ගත් ප්‍රධානම ප්‍රයෝජනය වුනේ බුලත්විට කෑම සඳහා පුවක් කපා ගැනීමයි. දුණු පිහියේ තලය අංශක 90 කෝණයකට නවා, එහි මිට තුලට යැවිය හැකියි. අවශ්‍ය විට, එහි තලයේ ඇති කුඩා කට්ටය, මහපට ඇඟිල්ලේ නියපොත්තෙන් ඇද, දිග හැරිය හැකියි. ලී කැබැල්ලක්, කෝටුවක්, කපා ගැනීමටත් දුනු පිහිය සුදුසුයි. ඒ වගේම දුනු පිහිය මාරාන්තික ආයුධයක්. දුනු පිහි වර්ග දෙකක් තිබෙනවා. අතින් දිග හැරිය යුතු දුනු පිහි සහ බොත්තමක් එබූ විට, පිහිතලය, දුන්නක ආධාරයෙන්, ස්වයංක්‍රීයව එලියට එන දුනු පිහි, ඒ දෙවර්ගයයි.
කිරිච්චිය:- අපේ පැරණි සංස්කෘතිය තුළ නිතර භාවිත වුන ආයුධයක් තමයි කිරිච්චිය හෙවත් උල් පිහිය. කම්මලක හදන සාමාන්‍ය උල් පිහිය සාමාන්‍ය මිනිහාගේ ආයුධයක් වූ අතර, විවිධ අලංකරණය කිරීම් සහිතව සමහර විට රන් රිදී වැනි වටිනා ලෝහ ද එකතුකර සාදනලද කිරිච්චි, රාජකීය සහ රදල පැලැන්තියේ ආයුධයක් ලෙස මෙන්ම, අධිකාරි බලයේ සංකේතයක් ලෙස ද භාවිත වුනා.
දැලි පිහිය:- දලි පිහිය ගැනනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. අදනම් දැලි පිහිය අභාවයට ගිගින්. සමහර බාබර් සාප්පු වල කොණ්ඩය කැපීමේදී පාවිච්චි කරන්නේ නියම දැලි පිහිය නෙවෙයි. රේසර් තලයක් දෙකට කඩා, සවිකළ හැකි පිහියක්. අපි කුඩා කාලේදී බාබර් සාප්පු වල තිබුනා නියම දැලි පිහිය. ඒ වගේම ගෙවල් වල සහ පන්සල් වලත් තිබුණා. ඒ කාලේ මිනිස්සු මෝඩ නිසා, බය නැතුව බාබර් සාප්පුවේදී, එකම දැලි පිහියෙන් කොණ්ඩය රැවුල කැපුවා, හැම දෙනාගේම. ඒ මෝඩ මිනිස්සු සදාචාරවත් මිනිස්සු නිසා, ඒඩ්ස් වගේ රෝග හදාගත්තෙත් නැහැ. දැලි පිහිය නිසා ඒවා පැතිරුනෙත් නැහැ. කාලයක් ගැට කපන්නන්ගේ සහ පාතාලයන්ගේ ආයුධය වුනේ දැලි පිහියයි. අද ඊට වඩා දියුණු ආයුධ තියනවා නොවැ. ඉතින් මොකටද දැලිපිහි.
පිහියක මුලික කොටස් මොනවද? ඔබ කියයි, ‘පිහියක මොන කොටස්ද? තලය සහ මිට තමයි පිහියක කොටස්’ කියලා. නමුත් සමහර පිහියා ටිකක් සංකීර්ණයි. ඒ වගේ පිහියා වල කොටස් රාශියක් තියනවා. අද කාලයේ පාවිච්චි කරන සාමාන්‍ය මුළුතැන්ගෙයි පිහියක් අරගෙන බලමුද කොටස් කොපමණ තිබෙනවාද කියා. සමහරවිට ඔබ පුදුම වෙයි. මෙන්න බලන්න.
ඔබ කිව්වා වගේම මෙහි ප්‍රධාන වශයෙන් තිබෙන්නේ තලය සහ මිට තමයි. නමුත් බලන්න, සමහරවිට අපි මෙතෙක් නොදන්නා කොටස් කීයක්, පිහියක තිබෙනවාද කියා. ඒවා පහත නම් කරනවා.
- A – Point – තුඩ – යමක් සිදුරු කිරීම සඳහා යොදාගන්නා, පිහි තලයේ කෙළවර.
- B – Tip – උල – සාමාන්‍යයෙන් පිහි තලයේ දිගෙන් 1/3 ක් පමණ වන අග කොටස. වක්‍ර හැඩයේ කැපීම් සඳහා භාවිත කෙරෙයි.
- C – Edge – කැපුම් තලය. තුඩෙහි සිට, මෙහි පහත, ‘හීල් Heel’ යනුවෙන් දැක්වෙන කොටස දක්වා ඇති දාරය.
- D – Heel – තලයේ පසුපස කොටස. තලය මත දැඩි බර යොදවා කපන විට, ප්‍රධාන වශයෙන් බලය යෙදවෙන්නේ මේ කොටස මත ය.
- E – Spine – පිහියේ පිට (කොන්ද) තලයේ ඝනකමින් වැඩි දාරය. තලයේ ශක්තිමත් බව රඳවා ගැනීමට ආධාර වන අතර, බර යොදා කපන විට, තලයේ ආරක්ෂාව තහවුරු කරයි.
- F – Bolster – බෝල්ස්ටර් – (ගැලපෙන සිංහල වචනයක් ලැබුනේ නැත) පිහි තලය, පිහි මිටට තදින් ශක්තිමත්ව සවිවීම සඳහා, ඝනකමට සාදා තිබෙන, සම්බන්ධකය.
- G – Finger Guard – ඇඟිලි ආරක්ෂක වක්‍රය. මේ වක්‍රය බාධකයක් ලෙස ක්‍රියා කරන බැවින්, කපන්නාගේ ඇඟිලි පිහි තලය වෙත ලිස්සා යාම වැළකෙයි.
- H – Return – රිටන් – (ගැලපෙන සිංහල වචනයක් ලැබුනේ නැත) හීල් කොටස සහ බෝල්ස්ටර් කොටස එකට සම්බන්ධ වන ස්ථානය.
- J - Tang - ටැංග් – (ගැලපෙන සිංහල වචනයක් ලැබුනේ නැත) පිහියේ මිට තුළට කවා ඇති, පිහි තලයේ පසුපස කෙළවර.
- K – Scales – ස්කේල්ස් – ටැංග් එකට දෙපැත්තෙන් සවිකර ඇති, (ලී, ප්ලාස්ටික්, හෝ එවැනි ද්‍රව්‍යයකින් සාදා ඇති) පිහි මිටේ පළු දෙක.
- L – Rivets – ස්කේල්ස් දෙක, ටැංග් එකට සවි කිරීම සඳහා යොදා ඇති, රිවට් ඇණ.
- M – Handle Guard – වාරුව – පිහිය අල්ලාගෙන සිටිනවිට අතින් ලිස්සායාම වළකින්නේ මිටෙහි පසුපස කොටසේ ඇති මේ වක්‍ර කොටස නිසාය.
- N – Butt – බට් – පිහි මිටෙහි අවසන් කෙළවර.
(මෙම සටහනේ I අකුර යොදා නැත්තේ අයි අකුර පින්තුරය තුළ පැහැදිලිව නොපෙණීමට ඉඩ ඇති නිසාය)
දැන් මොකද හිතෙන්නේ. අපි හිතනවාට වඩා දේවල්, අපි එදිනෙදා පාවිච්චියට ගන්නා පිහියේ තිබෙනවා නේද? පිහියේ කතාව මෙතනින් ඉවර නැහැ. තවත් පිහියා වර්ග සහ ඒවා සම්බන්ධ තාක්ෂණික තොරතුරු රැසක් ඊළඟ කොටසේදී කියන්නම්.
No comments :
Post a Comment