යාලුවෙක් මිත්‍රයෙක් උදව්වක් උපකාරයක් ඉල්ලුවොත් බෙල්ල කඩාගෙන හරි එය ඉෂ්ඨ කර දීම මා සතු හොඳ (හොඳ? ) පුරුද්දක්. පසුගිය මාස දෙක තුළ, එකම යාළුවාට, දෙවරක්, එකම උදව්ව කරන්න සිදුවුනා. හැබැයි ඒ උදව්ව නිසා මගේ තුන්දොස් සෑහෙන්න ඇවිස්සුනා. මෙන්න මේකයි සිද්ධිය.
පළමුවැනි ජවනිකාව
දන්නවා නොවැ අර කොම්බු ලකුණ දරණ නාලිකාව………..අන්න හරි. ඒක තමයි. ඒගොල්ලෝ අර ‘ට්වින්කල් ට්වින්කල්’ කෙළියක් කොරනවානේ හිටු කියලා. අනේ මගේ යාලුවෙක් (උන්නැහේ හොඳ විධායක මට්ටමේ රැකියාවක් කලත්, විචාර බුද්ධිය නම් හොඳ මදි. මක්කා කොරන්ඩද. තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කිව්වලුනේ) උන්නැහේ තමන්ගේ දරුවෙක්ව දාලා ට්වින්කල් ට්වින්කල් කෙළියට. පහුගිය මාසේ උන්නැහේ අපේ ගෙදර ඇවිත් බොහොම කරුණාවෙන් ඉල්ලීමක් කළා, ‘අනේ …..මහත්තයා, මගේ දරුවා ට්වින්කල් ට්වින්කල් කෙළියේ අවසාන දොළොස් දෙනාට තේරිලා ඉන්නවා, ඉතින් මේ කෙළියේ නීති රීති අනුව (සින්දු කියන්න පුළුවන් වුනත් බැරි වුනත්) දහ දෙනෙකුගෙන් යුත් ආරක්ෂක සේනාවක්/බලකායක්/බල ඇණියක්/විශේෂ ක්‍රියාන්විත කණ්ඩායමක්/(ඔබ කැමති එකක් දාගන්න) ගෙනියන්න ඕනෑය, ඉතින් ඔබතුමා වැනි හිත හොඳ මිනිසුන් (හිත හොඳ අම්මණ්ඩි හැමදාම බඩින් ) විතරක් ගෙනයන්නයි කල්පනාව, ඒ නිසා අනුකම්පාවෙන් ඉවසා වදාරා ට්වින්කල් ට්වින්කල් කෙළියට ආරක්ෂක සේනාවට යන්න එන්නය’ කියා.
‘ඉතින් මොකේදැයි දන් වළඳන්නේ’ කිව්වලු. බෑ කියන්න හිතුනත් (අවංකවම මම එවැනි කෙළි, රුපවාහිනියේ කිසිදු නාලිකාවක නොබලමි. ‘රණවීර ලා’ වෙනුවෙන් තියපු එකවත්, එහි ගී ගැයූ මගේ ගෝලයන් ද හිටියත්, නොබැලුවෙමි. මේ මිත්‍රයා වෙනුවෙන් ගිය ඒවාත් නොබලමි) මේ මිත්‍රයාද මට ඉතාම ලෙන්ගතු පුද්ගලයකු නිසා, මේ දුෂ්කර ක්‍රියාවට එකඟ වුනෙමි. සොල්දාදුවන් වූ අපට කියාදී තිබෙන්නේ තැනට සුදුසු විදිහට අඳින්න කියාය. මම අපේ ගෙදර ඇත්තීගෙන් ඇසුවේ අහවල් කෙළිය දන්නවාද කියාය. ලොකු දුවගෙන් අහන්න යන පිළිතුර ලැබුවෙමි. ලොකු දුවගෙන් ඇහුවාම ඇය කිව්වේ ‘අයියෝ තාත්තේ, මේක ඔයාලගේ නිලධාරි නිවස්නය නෙවෙයි, ටයි කෝට් ඕනෙ නෑ, නිකම් කැෂුවල් යන්න’ කියාය. දෙයියෝ මුණ බැලුවා. නමුත්, කවුරුහරි (නාකි)ලමිස්සියක්, තවමත් කඩවසම් පෙණුමෙන් යුත් මා නිසා, වසඟයට පත්වුනොත් යන බිය මා තුළ ඇතිවූ බැවින්, වයිවාරන්න නැති, සාමාන්ය අත් දිග කමිසයක් හා තද පාට කලිසමක් ද සපත්තුද ඇන්දෙමි.
ට්වින්කල් ට්වින්කල් සංවිධායකයන්, විසින් තරගකරුවන්ට, සවස දෙක වනවිට පටිගත කිරීම සිදු කරන තැනට එන්නට දැනුම්දී තිබුණි. ඔන්න ඉතින් අපේ නඩය ආසන පහළොවේ වෑන් රථයකින් නියමිත තැනට ළඟාවුනේ පස්වරු 1.30 ටය. ඒ එන අතරමග, නඩයට තේපැන් සංග්‍රහයක් සඳහා, මගේ මිත්‍රයාට රුපියල් 1500 ක් පමණ වැය විය. වෑන් රථයේ කුළිය රුපියල් 8000 ක් බව දැනගතිමි. ආපසු යන ගමනේදී රාත්‍රී ආහාර සඳහා තවත් රු 3000 කට ආසන්න මුදලක් වැය විය. දවසේ වියදම රු 15000 කට ආසන්න විය. (අනේ අපේ කාලයේ නම්, ’පිබිදෙන ගායක පරපුර’ වැනි හරවත් ගුවන්විදුලි වැඩසටහනකට ආධුනික ගායක ගායිකාවන් ආවේ, ලංගම බසයෙන් බව අපි හොඳින් දනිමු. ඔවුන්ට කිසිදු ප්‍රමාදයක් හෝ මාර්ග තදබදයක් නොතිබුණි. වෙලාවට බස් ධාවනය විය.)
සවස දෙක වනවිට අපි බලාපොරොත්තු දල්වාගෙන සිටියත්, ඊට කලින් පටිගත කිරීම් අරඹා තිබුණු වැඩසටහන, අවසන් නොවීය. නමුත් සවස තුනට තරග කරුවන්/කාරියන් සියලු දෙනා වේශ නිරූපණ හෙවත් හැඩවැඩ දැමීමේ ස්ථානයට කැඳවන ලදී. ඒ කටයුතු නිමවා පැයක් පමණ ගතවුවද (මා දන්නා තරමින් ආලේපන ගැල්වීමෙන් පසු හැකි ඉක්මනින් පටිගත කිරීම් කලයුත්තේ, ඒ ආලේපන වලින් ලබාදුන් පෙණුම වෙනස්විය හැකි බැවිනි. ඒ මදිවාට මේ දිනවල තිබෙන අධික උෂ්ණත්වය නිසා දහදිය දැමීම අධිකය.) කලින් වැඩ සටහන අවසන් වන බවක් පෙනෙන්නට නැත. අපේ පොඩි තරගකරුවා නොසන්සුන්ව සිටී. වයස අවුරුදු 12 න් පහළ දරුවකු මෙපමණ වේලා තබාගැනීම දුෂ්කර කටයුත්තකි. කෙසේ වෙතත්, අපගේ පූර්ව කුසල කර්මයක් පළදීම හේතුවෙන්, සවස පහට විනාඩි 10 ක් තිබියදී පටිගත කිරීමේ මැදිරියට ඇතුළු වීමට වාසනාව ලැබුණි. නිකම්ම යා නොහැකිය. සපත්තු ගැලවිය යුතුය. දූවිල්ලෙන් ආරක්ෂා කරගතයුතු කෝටි ගණන් වටිනා උපකරණ රාශියක්, ඇතුළේ සවිකර ඇතැයි මට සිතුනි. අහෝ, එහි තිබුනේ වෙනත් ඕනෑම ශ්‍රව්‍ය/දෘශ්‍ය පටිගත කිරීම් කරන ස්ථානයක ඇති උපකරණමය. රික්ත ශෝධකයකින් ඒවා පිරිසිදු කළහැකි බව මුන්නැහැලා නොදන්නා සේ ය. ඊටත් වඩා විහිළුව වන්නේ, වාද්‍ය වෘන්දයේ 10 ක් පමණ දෙනාද, කැමරා කරුවන් සහ ඔවුන්ගේ ආවතේව කරුවන්ද, ශබ්ද පරිපාලක, සම්බන්ධිකාරක, සහායක දෙතුන් දෙනා, වෙස් ගන්වන්නා, තේ ගෙනෙන කොළුවා, විනිශ්චය මණ්ඩලයේ තිදෙනා, ආදී සියල්ලන් සපත්තු සෙරෙප්පු පැළඳ සිත්සේ එළියට ඇතුළට ගමන් කිරීමයි.
ප්‍රේක්ෂක ජනතාවට වාඩිවීම සඳහා සකස්කර ඇත්තේ කෘත්‍රිම අට්ටාලයක පැනවූ අසුන් ය. ඒ අට්ටාලය සවි ශක්තිමත් ඇතැයි සිතිය හැකි නමුත්, ඊට ගොඩවිය හැක්කේ හරි මැදින් සකසා ඇති පටු මං තීරුවෙන් පමණි. හදිසි අවස්ථාවක් (ගින්නක් වැනි) ඇති වුවහොත් පිට වෙනවා බොරුය. ඒ මදිවාට පටිගත කිරීමේ සමහර උපකරණද, එක් කැමරාවක්ද, ඇත්තේ ඒ අට්ටාලයේ ඉහලම කොටසේය. ඇතුළුවීමට පිටවීමට ඇත්තේ එකම දොරකි. ගිනි නිවීමේ උපකරණයක් අහල පහළ තිබෙනවා නොදුටිමි. ගොඩනැගිල්ලෙන් පිටත ඇති ජංගම විදුලි ජනක යන්ත්‍රයකින් ගන්නා විදුලි සැපයුම් රැහැන්, ධාරාලෝක සඳහා ඇති බල සැපයුම් රැහැන්, සහ රූපවාහිණී ශ්‍රව්‍ය/දෘශ්‍ය රැහැන් හැම තැනම බිම දිගේ එලා ඇත. ඔන්න ඉතින් වාඩි කරවීමේ අවස්ථාව ආවා කියමුකෝ, අරයාගේ කට්ටිය මෙතනට එන්න, මෙයාගේ කට්ටිය අතනට යන්න, යනුවෙන් මැදිරි සම්බන්ධිකාරකයා අණ දෙයි. (අහෝ, ඔහුට සම්බන්ධිකාරක කටයුතු ගැන දැණුමක් තිබිය හැකිය. නමුත් යමක් හරියට කණට ඇහෙන්නට කිවහැකි පිරිමි කටහඬක් නැත) වාඩි කරවීමේ කටයුතු අවසන් කරන්නට විනාඩි 20 ක් පමණ ගතවිය. (මිනිස්සු 100 ක් පමණ වාඩි කරවීමට) මිනිස්සු 100 ක් වාඩි කරවීමට සුදුසු මැදිරි, තමන් සතු පරිශ්‍රයක නැති නාලිකා.
දෙවතාවක් එහාට මෙහාට මාරු වූ පසු අපි අසුන් ගත්තෙමු. ඒ අල්ල පනල්ලේ වටපිට බැලීමට අමතක නොකළේ මෙතන මොකද වෙන්නේ යන දේ දැනගැනීමටය. ‘තියුණු නිරීක්ෂණය’ මට ඉගැන්වූ යුද හමුදාව දිනේවා! ඔන්න ඒ වෙලාවේ තමයි දැක්කේ, ලාමක සුරතල් පෙණුමෙන් යුත් ගැටිස්සියක්, පිරිමි පෙනුමට වඩා ස්ත්‍රී පෙනුමට ආසන්න එවැනිම ඉලන්දාරියකු සමග දෙඅත් අල්ලාගෙන අල්ලාප සල්ලාපයේ යෙදී ඉන්න හැටි. මැදිරිය ආලෝකවත් කර තිබුනේ අවශ්‍ය අවම ප්‍රමාණයට බැවින් තරමක අඳුරක් ද ඇත. මේ දෙන්නාට මෙවැනි තැනක් හොයාගන්නට අමාරු ඇති, කාර්ය බහුලත්වය නිසා. ඒක තමයි මේ ප්‍රේක්ෂකයන් ගැනද නොසලකා, දෑත් අල්ලාගෙන, අර වර්තමාන නිවේදක භාෂාවෙන් කියන ආකාරයට ‘දොඩමළු වී’ සිටින්නේ. ‘ඒ තමයි නිවේදකයා සහ නිවේදිකාව’ මගේ මිතුරා මගේ කණට කෙඳිරීය. අම්මපා….. මට නිකම්ම කියැවුනි. හරි හරි මීළඟට කියන නිවේදන ගැන පෙර පුහුණුවක් වෙන්න ඇති. හැබැයි තරගය සඳහා පැමිණි පොඩි එවුන්, දෙමවුපියන් සමග සිටින අනෙකුත් දූ දරුවන්, මේ ජවනිකා නැරඹීම නම් සුදුසු නෑ නේද කියා මේ යුවලට නොසිතුනේ, ඔවුන්ගේ ලාමක මනස නිසා බව පැහැදිලි විය.
මහා වේදිකාව මත එකට රැස්වූ කළු කෝට් කාරයන් පිරිසක් සල්ලාපයක යෙදී සිටිති. ‘ඒ තමයි ඔකෙස්ට්‍රා එක’ මගේ මිතුරා මා නැවතත් දැනුවත් කරයි. ඒ පිරිස වරින් වර මහා හඬින් සිනාසෙති. ඒ සිනාවේ ස්වරූපයෙන් හා ඔවුන්ගේ මුහුණුවල ඉරියවු නිරීක්ෂණය කිරීමෙන් පෙනීයන්නේ, ඒ සිනාව, සභ්‍ය නොවන කතාවක් ඇසීමෙන් එලියට පනින සිනාවක් බවය.
ප්‍රේක්ෂක පිරිසක් (සමහර විට ඔවුන්ට වඩා බුද්ධියෙන් මුහුකුරා ගිය හෝ එසේ නැතහොත් ඔවුන්ගේ වැඩිහිටි ඥාතීන්ගේ වයසේ) මෙහි සිටිනවා නේද යන්න ගැන කිසිදු හැඟීමක් ඔවුන් තුළ නැතුවාසේ ය. ඔවුන් මෙහෙයවන උන්නැහේට එවැනි පාලනයක් තම කණ්ඩායම වෙත නැති බවද පැහැදිලිව පෙනේ. මට මතක් වුයේ අසහාය වාද්‍ය ශිල්පී අභාවප්‍රාප්ත විජේරත්න රණතුංග මහතාණන් ය. එතුමන් මෙහෙයවන සංගීත වාදක කණ්ඩායමක් කොතරම් විනයවත්ව හැසිරෙන්නේදැයි මම මෙවැනිම පටිගත කිරීම් වලදී දැක ඇත්තෙමි. වෙහෙස නිවා ගැනීමට විහිළුවක් නැති ජීවිතයෙන් පළක් නැත. නමුත් එය කලයුත්තේ තම තත්වය හෑල්ලුවට ලක්වන පරිදි නොවේ. (හෑල්ලුවට ලක්වීමට තරම් තත්වයක් ඇත්නම්)
කොහොම කොහොම හරි පටිගත කිරීම ආරම්භ විය. මුලින්ම ඇත්තේ අප්පුඩි පටිගත කිරීමය. ඒ කියන්නේ මැදිරි සම්බන්ධිකාරකයාගේ අණ පරිදි ප්‍රේක්ෂකයන් විසින් වාර ගණනාවක් (10 ක් පමණ) අප්පුඩි ගැසිය යුතුය. සංස්කරණයේදී වැඩ සටහනේ ඒ ඒ තැන්වලට එබීමටයි මේ අප්පුඩි කෙළිය. ‘ඇයි වාහේ, කැමරා කෝණ හත අටකින් එකම අප්පුඩිය පටිගත කොරගන්ඩ බැරිද?’ මම මගෙන්ම අසා ගත්තෙමි. වවුලාගේ මගුල්ගෙදර ආ බව තේරෙන්නේ දැන් ය. ඔන්න ඉතින් අර නිවේදක ජෝඩුව වේදිකාව මතට සම්ප්‍රාප්ත විය. දෙන්නාම ආහාර පාලනයෙන් ශරීරය කෘෂ කරගෙන ඇතිසේය. තව ටිකක් කෙට්ටු වුනානම් ඉතියෝපියාවෙන් හෝ සෝමාලියාවෙන් ආවා වගේ පෙනෙනු ඇත.
මේ දෙන්නා සිංහලද, දෙමළද, ප්රංශ ද, ආර්ජෙන්ටිනා ද, යන්න මට තෝරා ගැනීමට අපහසු වුයේ, ඔවුන්ගේම සිංහල ඔවුන්ටම වැරදීම නිසා පටිගත කිරීම නවත්වමින් නැවත ඇරඹීමට සිදුවූ නිසාය. ඇත්තම හේතුව නම් ඔවුන්ගේ වාග් කෝෂයේ ඇත්තේ සීමිත වචන සංඛ්‍යාවක් බවත්, බොරුවට ඉංගිරිසි සෝබන කෑලි දැමීමෙන් නිකං සවුත්තු වන බවත්, මොනවට පසක් විය.
සාමාන්‍යයෙන් ඕනෑම තරගයක් විනිශ්චය කරන විනිසුරු මඬුල්ල මධ්‍යස්ථ අපක්ෂපාත ලීලාවෙන් සිටිය යුතු බව පිළිගත් පොදු සම්ප්‍රදාය නොවේද? නමුත් මේ විනිශ්චය මණ්ඩලයේ තිදෙනාගෙන් දෙදෙනෙකු බොහෝ විටත් එක් අයකු වරින්වරත් තරගකරුවන්ගේ ගීතයෙන් මත්ව හාව භාව ලීලාවන් පෙන්වමින්ද, හස්ත විකාර, මුඛ විකාර පෙන්වමින් ද, තමන් මහත් අමන්දානන්දයට පත්වූ බව ප්‍රසිද්ධියේ පෙන්වති. සෑම තරගකරුවකුටම එසේ නොකරති.
මේ කියන්නේ, ඔවුන්, තම හැඟීම් පාලනය කරගනිමින්, විනිශ්චයේ යෙදෙන්නට තරම් සුදුස්සන් නොවන බව නොවේද? නොඑසේනම් සමහර තරග කරුවන්ට විශේෂ අනුග්‍රහයක්, දිරි ගැන්වීමක්, පක්ෂපාතී බවක් ඇති බව නොවේද? ඉදින් මෙහි ඇති සාධාරණ විනිශ්චය කුමක්ද? විශ්චය මණ්ඩලයේ සිටින ලාබාලයා තමන් අඳබාලයකු බව පෙන්වන අවස්ථා බොහෝය. තමන් ඉන්දියාවේදී ලද සංගීත ඥානයේ බල මහිමය ගැන උජාරුවෙන් නිතර දෙසාබාන මේ පුද්ගලයා තමන්ට මේ රටේ කිසි තැනක් නැතැයි අවලාද කියයි. ‘ඇයි උන්නැහේ හොඳ නිර්මාණ කොරනවකෝ ඔහොම බෑඟිරි ගාන්නේ නැතුව. එතකොට ඒවා නියම ශාස්ත්‍රීය නිර්මාණ නම් ජනතාව පිළිගනියි නොවැ’ යයි කීමට කීප විටක්ම සිතුනත් ඉවසා සිටියේ, මගේ මිත්‍රයාගේ දරුවා වෙනුවෙනි. භාරතයෙන් සංගීත ඥානය ඔපවත් කරගෙන අදද සංගීතාම්බරයේ වැජඹෙන අමරදේවයන්ගේ පටන් දයාරත්න අමරා යුවල, සනත් නන්දසිරි, වැන්නවුන් මේ පුස්සා මෙන් බෑඟිරි නොගෑවේ ආත්ම ගණනාවක් පුරා රැගෙන ආ කුසලතාවද ඔවුන් සතු නිසාය. සංගීත විභාග සමත්වීම සහ නිර්මාණ කුසලතාව අතර වෙනස තේරුම් ගන්නට මොහුට තව ආත්ම ගණනාවක් සංසාරන්යයේ සැරිසරන්නට සිදුවනු ඇත.
මේ අඳබාලයා, එතනින් නොනැවතී, මනප්පු චරිතයද විටින් විට රඟපායි. මොහු අර බාල බොළඳ නිවේදක යුවල සමග සම්ඵප්‍රලාප, මෝඩ විසුළු, වල යෙදෙයි. පටිගත කිරීම නවත්වා වැඩ සටහන එක තැන පල්වෙයි. දුර බැහැර ගෙවා වෙහෙසවී මෙහි පැමිණි අපි, වැඩසටහන වෙනුවට, මේ ගොං පාට් බලා සිටිය යුතුය. ඊළඟ ගීත ගායනය සඳහා පුල පුලා බලා සිටින දරුවන් තවත් වෙහෙසට පත්විය යුතුය.
එක් ගීතයක් ඉතා හොඳින් ගායනය කෙරෙද්දී සංගීතය මෙහෙයවන උන්නැහේ තම කොන්ගෝ බෙරයට නිවාඩු දී සටහන් වගයක් පෙරලා බලයි. අතරමගදී වාදනය අරඹයි. අනේ අර දරුවාට අනෙකෙකුගේ වරදට වන්දි ගෙවමින්, ගීතය නැවතත් මුල සිට කීමට සිදුවෙයි. මේ අවනඩු කියන්නේ කාටද?
එදා අපේ දරුවා තරගයෙන් ගොඩ ගියේය. මම සුසුමක් හෙලා ‘අනේ මෙහෙම ලෝකයක්’ කියා සිතුවෙමි. මැදිරියෙන් එළියට ආ පසු දුටුවේ, හද කම්පා කරන දසුනකි. තරගයෙන් ඉවත් කෙරුණ දරුවන් දෙදෙනෙකු, හද කකියවන ආකාරයෙන් හඬා වැටෙයි. ඔවුන්ගේ දෙමාපිය හිතවතුන් ඔවුන් සනසන්නට අපමණ වෙහෙසක් දැරුවත්, එය අසාර්ථක විය. මේ පුංචි හිත්වල මේ දුක නිසා ඇතිවන්නේ කෙබඳු සිතිවිලිද? ඔවුන්ගේ මනසට, මේ දුක, කොතරම් දරුණු බලපෑම් එල්ල කරයිද? වයිරය, කෝපය, සමාජ විරෝධාකල්ප මේ පුංචි හිත්වල පැන නොනගීයයි සහතික කලහැක්කේ කාටද? ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යාමට තරම් ඔවුන්ගේ මනස සන්සුන්වේද? මේ නම් සැබෑම විප්‍රකාරයකි.
දරුවන් දෙදෙනා ඔසවාගෙන ගොස්, තමන් පැමිණි වාහන වල දමාගෙන, අඳුරු මුහුණෙන් යුතුව පිටවී යන දෙමවුපියන් ගැන, මට ඇතිවුයේ අනුකම්පාවකි.
දෙවැනි ජවනිකාව
මගේ මිත්‍රයා මා සොයා නැවතත් පැමිණියේ, පසුගිය සැප්තැම්බර් මස 30 වැනිදාය. ‘මහත්තයා අපේ ළමයාට ඔක්තොබර් 8 වැනිදා නැවතත් තරගයට යන්න තියනවා. අනේ තරහ නැතුව එනවද එදාටත් යන්න’ යන ඉල්ලීම කළේය. බොරු කීමට අකමැති මම, මේ තරගයේ ඇති නිෂ්ඵල බවත්, මෙයින් ගායක ගායිකාවන් බිහිවීම කෙසේ වෙතත්, වෙළඳ කටයුතු ප්‍රවර්ධනය සාර්ථකව සිදු කෙරෙන බවත්, පහදා දුන්නෙමි. නමුත් ඔහු බැගෑපත්වූ තරම කෙතෙක්ද යත්, යළිදු අර විප්‍රකාරයේ ගැලෙන්නට මා හට සිදුවිය.
හැබැයි මම එක දෙයක් ස්ථිරව ප්‍රකාශ කලෙමි. ‘මහත්තයා, මහත්තයා බොහොම කැමැත්තෙන් තමන්ගේ දරුවා මේ තරගයට යවනවානේ. මම ප්‍රාර්ථනා කරනවා දරුවා මෙවරත් සමත්වෙන්න කියලා. හැබැයි මෙවර තරගයෙන් මහත්තයාගේ දරුවා තේරුනොත් අනේ ආයෙනම් මට එන්න කියන්න එපා’. ඔහු එයට එකඟ විය. එදා ජවනිකාව හැකිතරම් කෙටි කර පහත දක්වමි.
- පැමිණිය යුතු වෙලාව දී තිබුනේ මධ්‍යාහ්න 12.00 ලෙසය. හරියටම 11.50 ට එහි ගියෙමු.
- වේශ නිරූපණය සඳහා ළමයින් ගත්තේ හවස 3.00 ට ය.
- මැදිරියට සියලුදෙනා ඇතුළු කරගත්තේ සවස 4.20 ට ය. හේතුව ඊට කලින් පටන්ගත් වැඩසටහන අවසන් නොවීමය.
- වාඩි කරවීමට සෑහෙන වෙලාවක් ගතවූ අතර සමහර අයට සිටගෙන සිටීමට සිදුවිය (පැය 3 ක්)
- නිවේදක යුවලගේ ගොන් පාට් වඩාත් වැඩිවී තිබුණි. උන් දෙදෙනා එකිනෙකාට අපහාස උපහාස කරගනිමින් ඒ සඳහා අපේ අවධානයද සිනහවද බලාපොරොත්තු වෙති. මේ පෙන්වන්න හදන්නේ අපි හරි ජොලියෙන් ඉන්නවා කියන එකනම්, මොවුන් බම්මන්නන් මිස වෙන කවුරුවත් නොවන බව ඔවුන්ට එක හෙලා කිව යුතුය.
- නිවේදිකාව තමන්ට දරාගන්නට බැරිතරම් අඩි උස සපත්තු පැළඳ සිටීම නිසා වේදිකාවෙන් බැසගත් වහාම එය ගලවා දමන බවත් කැමරාවට අසු නොවන පරිදි වේදිකාවට නගින්නේ සපත්තු දෙක අතේ අරගෙන බවත්, එය පළඳින්නේ නිවේදන කටයුතු කරන සුළු මොහොතට පමණක් බවත් දුටුවෙමි.
- නිවේදකයාද කකුලේ අමාරුවකින් පෙළෙන්නෙකි. ඔහු එක් එක් වාරයේ නිවේදන කටයුතු නිමකර, වේදිකාවෙන් බැස, කොර ගසමින්, ‘අම්මෝ කකුල’ කියා ප්‍රේක්ෂකාගාරයටද ඇසෙන පරිදි කෙඳිරි ගාමින් වාඩි වෙයි.
- අර අඳබාලයා එදා තවත් සිය ගුණයකින් තමා නියම ජෝකරයකු බව පෙන්වීය. මැදිරි සම්බන්ධීකාරකයා එක් එක් අවස්තාවලදී පටිගත කිරීම ආරම්භ කිරීම සඳහා කාල ගණනය කරද්දී මේ ජෝකරයාද එයට බාධා වන අයුරින් ඔහුද කාල ගණනය කරයි. ඇඟමැලි කඩා මහා හඬින් ඈනුම් අරියි. නිවේදක යුවල සමග ගොන්පාට් වාද විවාද වල යෙදෙමින් කාලය කා දමයි. මේ විකාරය ඉවසා සිටිය නොහැකි කැමරා කරුවකු ‘මේ මේ ඇති ඇති දැන් ඕක නවත්තනවා’ කීවේ සැබෑම කෝපයෙනි. අනේ අර අඳබාලයාට ලැජ්ජාවක් නැද්ද? තමන් විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයකු නොවේද? කැමරාකරු පහත් රැකියාවක් කරන්නකු නොවේ. නමුත් වැඩසටහනේදී තමන්ට වඩා පහළ නිලයක් දරන්නකු අතින් දොස් ඇසීම ලැජ්ජාවක් බවවත් නොවැටහෙන්නෙකි මේ අඳබාලයා. තරගයට පැමිණි දැරියක් ආවේ පොතුහැර ප්‍රදේශයෙනි. මේ ජෝකරයා හිතන්නේ පොතුහැර තියෙන්නේ නන්දිකඩාල් කලපුවටත් එහා කියාය. ඔහු පොතුහැර යන වචනය ඇදපැද කිව්වේ ඒ නිසාය.
- එදා අර නිවේදිකාව ව්‍යාත්ස්‍යායනගේ කාම සුත්‍රයේ එන ජවනිකාද පෙන්වූවාය. වැඩ සටහන අතරතුර ඇය, මැදිරි සහායිකාවක් කාමුක ලෙස බදාගෙන සිටියේ මේ ඉන්නේ කොහේදැයි කියා අසිහියෙන්ය. ඊළඟ වතාවේ ඒ මැදිරි සහයිකාව මැදට හිරවනසේ නිවෙදිකාවත් වේශ නිරුපන ශිල්පියාත් බදාගෙන සිටින ජවනිකාව එලි දැක්වුණි.
මගේ මිත්‍රයාගේ දරුවා ගොඩ ගියේය. පොතුහැර දැරිය නොතේරුණත් නොහඬා සිටීමට තරම් ආත්ම ශක්තියකින් යුක්ත වුවාය. අනෙක් පොඩිඑකානම් හඬා වැටුණි. අපි මේ යන්නේ කොහෙද? මේ ස්ටාර් කෙළියේ අවසානය කොහෙද? මේ දෙමවුපියන් තම දරුවන් රේස් අශ්වයන් යයි සිතා, ඔවුන් දක්කන්නේ අගාධයකට නොවේද? අපට නොගැලපෙන මේ විප්‍රකාරවල මීළඟ වැඩ සටහන් මීටත් වඩා දරුණු ලෙස ළමා මනසට බලපෑම එල්ල නොකරනු ඇතිද? ‘කෝ උඹ මහා ලොකුවට සින්දු කියන්න ගිහින් පැරදුනා නේද’ කියා තම පාසල් මිතුරන් අසන විට, මේ ළමුන්ගේ මනසට කුමක් වේද? මේ කරන්නේ, රටේ අනාගතය බාරගැනීමට සිටින අහිංසක දරුවන්, විකුණාගෙන කෑම බවත්, මනස විකෘති වන මේ දරුවන්, කෙබඳු පුද්ගලයන් බවට පත්වේද යන්නත්, මේ දෙමවුපියන්ට නොවැටහෙන්නේ ඇයි? මේ ස්ටාර් කෙළිය වෙනුවෙන් ඇඳුම් පැළඳුම්, ආහාර පාන, ගමන් වියදම්, වශයෙන් මහා ධනයක් වැය කිරීමට දෙමවුපියන්ට සිදුවෙයි. සමහරු ප්‍රකට සංගීතඥයන් ලවා තම දරුවා පුහුණු කරවන අතර, ඒ සඳහා අති විශාල ගෙවීම් කරන්නට සිදුවෙයි.
සමහරවිට මේ සඳහා දෙමවුපියන් ණයට මුදල් ගන්නවාත් ඇති. අනේ මේ මුදල් මේ දරුවාගේ අධ්‍යාපනයට වියදම් කළහැකිනම් කොතරම් විශාල පළක් ප්‍රයෝජනයක් වනු ඇතිද? ඒ දරුවාගේ නමින් බැංකුවක තැන්පත් කලොත් කොපමණ වටිනවාද? ආපසු එන තුරුම මගේ සිතට වද දුන්නේ මේ සිතුවිලි සමුදායයි.
No comments :
Post a Comment