හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

26 January 2015

මහනුවරට අලුත් මහපාරක් ඕනෙද?.................... How to resolve vehicle congestion in Kandy

Wicharaka Photography
 අංක A 26, මහනුවර - මහියංගණය ප්‍රධාන මාර්ගයේ, මහනුවර නගරයේ, ශ්‍රී දළදා මාලිගාව අසළින් වැටී තිබෙන කොටස, 1998 වර්ෂයේ සිට මේ දක්වා වසා දමා තිබෙනවා. මෙයට හේතුව වූයේ 1998 ජනවාරි මස 25 වැනි දින LTTE සංවිධානය විසින් ශ්‍රී දළදා මාළිගාව වෙත එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයයි. මෙම සිද්ධියෙන් පසු ආරක්ෂක පියවරක් වශයෙන්, මෙම මාර්ගය වසා දමන ලද අතර, අතිශයින් වැදගත් පුද්ගලයන්ට VVIP පමණක්, එම මාර්ගයෙන් දළදා මාලිගාවට පිවිසීමට අවසර ලැබුණා. සාමාන්‍ය ජනතාවට, අදටත් මේ කොටසේ, පයින් ගමන් කිරීමටවත් අවසර නැහැ.

මෙම මාර්ගය වසා දැමීමෙන් පසු, මහනුවර නගරයේ එදා සිට අද දක්වා තිබෙන වාහන තදබදය ගැන, මහනුවර නගරය හරහා, එක වරක් හෝ වාහනයකින් ගමන් කළ අය දන්නවා ඇති. නමුත්, මහනුවර ප්‍රදේශවාසීන්, දිනපතා මේ වාහන තදබදය නිසා විඳින කරදර දුක් කම්කටොළු, මෙපමණයි කියා කියන්නට බැරිතරම්.


   මේ ඊයේ පෙරේදා, රූපවාහිණී ප්‍රවෘත්ති ප්‍රකාශයක සඳහන් වුණා, මෙම මාර්ගය නැවත විවෘත කරන්නට අදහසක් පහළවී තිබෙන බව. මෙහිදී, අස්ගිරි පාර්ශ්වයේ මහානායක, අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේ, මේ ගැන සිය විරෝධය පලකරනු, රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයක මා දුටුවා. උන්වහන්සේ ප්‍රකාශ කළේ, මෙම මාර්ගය යළි විවෘත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට, රාජ්‍ය නිළධාරීන් පිරිසක්, තමන් වහන්සේ හමුවීමට පැමිණි බවත්, නමුත් තමන් වහන්සේ ඒ ගැන විරුද්ධත්වය ප්‍රකාශ කළ බවත්, පාර විවෘත කරගන්නට දැඩිව උත්සාහ ගන්නේ, සාමාන්‍ය ජනතාව නොව, වාහන හිමියන් බවත්, උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරන්නට යෙදුණා.


   මල්වතු මහ නාහිමියන්, මේ පාර යළි විවෘත කිරීම පිළිබඳව, විරුද්ධත්වයක් ප්‍රකාශ කර ඇති බවක් දැනගන්නට නැහැ.


   මේ පිළිබඳව මගේ හැඟීම් සහ, මා ඉදිරිපත් කරන විකල්ප යෝජනාව, පහත දක්වන අතර, ඒ පිළිබඳව ඔබගේ පුළුල් දායකත්වය බලාපොරොත්තු වෙනවා. මා ඉදිරිපත්කර තිබෙන්නේ, ඉතා දුර්වල යෝජනාවක් වන්නට පුළුවන්. මට වඩා මහනුවර නගරය ගැන දන්න, මා කොහොමවත් නොදන්නා, ඉංජිනේරු තාක්ෂණය ගැන දන්න අය, ඔබ අතර ඉන්න බව මා දන්නවා. ඉතින් මා ඔබෙන් කාරුණිකව ඉල්ලනවා, මේ පිළිබඳව මේ අඩවියේදී සංවාදයක යෙදෙන්නට. වඩාත් පුළුල් සහ ඵලදායී යෝජනා ඉදිරිපත් කරන්නට.


   එක කාරුණික ඉල්ලීමක් කරනවා. ඔබට අයිතිය තියනවා අස්ගිරි මහ නාහිමිගේ අදහසට විරුද්ධව අදහස් ඉදිරිපත් කරන්නට. නමුත්, අපහාසාත්මක අදහස් ඉදිරිපත් නොකරන ලෙස කාරුණිකව ඉල්ලනවා.


මෙන්න මගේ හැඟීම් 
  •    පුද්ගලයකු වාහනයක් ගන්නේ, කාර්ය බහුල ජීවිතයට සහනයක් ලබාගන්නයි. තමන්ගේ ගමන් බිමන්, ඉක්මනින් හා පහසුවෙන් කරගන්නයි. ඉතා අල්ප දෙනෙකෙකු පමණයි, මහන්තත්තකම පෙන්නන්න වාහනයක් ගන්නේ. ඒ නිසා, අස්ගිරි මහනායක හිමියන්ගේ ප්‍රකාශය සමග එකඟ වන්නට අපහසුයි.
 
  • මටත් මගේ බිරිඳටත් දැන් ඉස්සර වගේ දිගු දුරක් පයින් ගමන් කරන්නට බැහැ. වන්දනාවක ගියත් ඒ පූජනීය ස්ථානයට හැකිතරම් ආසන්නය දක්වා වාහනයකින් යන්නට ඇත්නම් හොඳයි. ශ්‍රීපාදස්ථානය වැනි තැනකට නැවත කවදාවත් අප දෙදෙනාටම යන්නට බැරි බව, අප දෙදෙනාම දන්නවා. එවැනි මහළු, දුබල, ආබාධිත, අය සඳහා පූජනීය ස්ථාන වලට ඇතුළුවීමේ විශේෂ ක්‍රමවේද (එස්කැලේටර්, ඒ ස්ථානයෙන් ලබාගත හැකි විශේෂ වාහන, යටත්පිරිසෙයින් රෝදපුටු) සැකසීම ඉතා වැදගත්. මේ ගැන ආගමික කටයුතු අමාත්‍යංශයෙන්ම වැඩපිළිවෙලක් බලාපොරොත්තු වෙනවා.
 
  • ශ්‍රී දළදා මාලිගාව වන්දනා කරන්නට, දිනකට කොපමණ බැතිමතුන් පිරිසක්, කුළියට ගත් වාහන වලින් එනවාද යන්න, අමුතුවෙන් කිවයුතු නැහැ. එසේ එන පිරිස් අතර, වැඩිහිටි, මහළු, දුබල, රෝගී, විශාල පිරිසක් ඉන්නවා. ළදරුවන් වඩාගත් මව්වරුන් මෙන්ම, ගර්භනී මාතාවන්ද ඉන්නවා. ඒ අය, තමන් පැමිණි වාහන ඈතින් නවතා, පයින් දළදා හාමුදුවන් වඳින්නට එන්නේ, වෙනත් කළහැකි දෙයක් නොමැතිකම නිසා විනා, කැමැත්තෙන් නොවෙයි. ඔවුන්ගෙන් විමසා බැලුවොත්, බහුතරයකගේ මතය වන්නේ මේ පාර විවෘත කර දෙන්නේ නම් කෘතඥ වන බවයි. සමහරවිට දළදා මාලිගා මළුව ගිනිගන්නවා වගේ දැඩි හිරු රශ්මියක් පතිත වෙනවා. නමුත් බොහෝ දෙනෙක්, ආගමික භක්තිය නිසා, තුවා කෑල්ලක්වත් ඔලුවේ දාගන්නේ නැතුව, පාවහන්ද නැතුව මළුවේ ගමන් කරනවා. මාලිගාව අසළට ත්‍රිරෝද රියකින්වත් යන්න පුලුවන්නම් හොඳයි. දළදා වහන්සේට එයින් අගෞරවයක් සිදුවේයැයි මා සිතන්නේ නැහැ. 
 
  • දිනපතා උදේ හවස, පාසල් දරුවන්, රැකියා සඳහා යන අයවලුන්, දහසකුත් එකක් අවශ්‍යතා සඳහා මහනුවර නගරයට යන එන්නන්, රෝහලට යන එන අය, මේ වාහන තදබදය නිසා විඳින කරදර, මෙහි ලියන්නට ගියොත්, ලිපි කීපයක් ලියන්නට වෙනවා. වාහන තදබදය නිසා, ජාතියක දියුණුව වෙනුවෙන් වැයකිරීමට ඇති කාලය අපතේ යාම, අනවශ්‍ය ඉන්ධන දහනය, (මහනුවර නගරයේ වායුව අතිශයින් දූෂිත බවට විශේෂඥ වාර්තාවක්, කලකට ඉහතදී පළවී තිබුණා) විකල්ප මාර්ග නොදන්නාකමින්, මහනුවර නගරය මගහැර යනු වෙනුවට, නගරය හරහාම යන්නට එන වාහන, අර වාහන තදබදයටම එක්වීම, අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවා ප්‍රමාදවීම, ආදී වශයෙන් ඇති කරුණු අපමණය. මෙයට තවත් කරුණු ගණනාවක් එකතු කරන්නට ඔබට හැකි බව මා දන්නවා.
 
මෙන්න මගේ යෝජනාව

   ඉංග්‍රීසි භාෂාවේ කියමනක් තියනවා 'you can't have the Cake and eat the Cake' කියලා. ඒ කියන්නේ යම්කිසි දෙයක් ඉතා වටිනවා, හරිම අගෙයි කියමින්, හැඩරුව බලමින්, වර්ණනා කරමින්, ඉන්නට සහ, ජීවිතයේ ඉදිරි පැවැත්ම සඳහා, අවශ්‍යයෙන්ම පරිභෝජනය කළයුතු ඒ දේ, පරිභෝජනය නොකර, බල බලා ඉන්නටත් බැහැ, කියන එකයි. පැරණි පාර අරින්නට ඉඩ දෙන්නෙත් නැත්නම්, මහනුවර නගරයේ වාහන තදබදය, දිනපතා වර්ධනය වන්නක් විනා, අඩු වන්නක් නොවන නිසාත්, මහනුවර මහියංගණය මාර්ගය නැවත සම්බන්ධ කිරීමේ විකල්ප පියවරක්, නොපමාව ගන්නවා හැර, වෙනත් කුමක් කරන්නද?


   මටනම් හිතෙන්නේ කොන්ක්‍රීට් කණු මත දිවෙන පාරක්, බෝගම්බර වැවේ ඉදිකර, එමගින් මහනුවර මහියංගණය පාර යළි සම්බන්ධ කිරීම විනා වෙනත් විකල්පයක් නොමැති බවයි. ඔන්න මම සිතියමක් දක්වනවා පහළින්. සමහර අයට දැඩි කෝපයක් ඇතිවෙයි මෙය දැකලා. ඒ කියන්නේ, කේක් එක කන්නයි තියාගන්නයි දෙකම ඕනෙ කියන එකද කියලා, මා දන්නේ නැහැ. වාද කිරීමෙන් හෝ අපහාස කිරීමෙන් පළක් නැහැ. අපි සංවාද කරමු. මේ සිතියම මත ක්ලික් කර, විශාල කර බලන්න.


My Proposal


දැන් මේක දැකපු ගමන් එන විවේචන බොහොමයක් තිබෙන්න පුළුවන්.
වැව ඉවරයි.

නගරයේ ලස්සනම තැන ඉවරයි.

දළදා හාමුදුරුවෝ ඉදිරිපිට වැවේ මාළු මරමින් මේ වැඩේ කරන්න වෙනවා.

වැවේ ඓතිහාසික වටිනාකම දන්නේ නැතුවද මේ ඔලමොට්ටල යෝජනාව ගෙනාවේ.

ආදී වශයෙන්. ඉතිං ඔන්න මම ආයෙත් කියනවා මට තේරෙන විදිහට. 'you can't have the Cake and eat the Cake' ඔන්න මම නවතිනවා. 

   ඔබේ අදහස් දැක්වීම් සඳහා පින්තූර, සිතියම්, වීඩියෝ, එකතු කළහැකි පරිදි මේ අඩවිය සකසා ඇති බව මතක් කරනවා. 



2015 ජනවාරි මස 26 වැනිදින 0037 පැය

91 comments :

  1. භූගත මාර්ගයක් ඉදිකලොත් මොකද? ලස්සනත් රැකෙනවා, වැඩෙත් කෙරෙනවා..

    ReplyDelete
    Replies
    1. ඇයි චුටි මහත්තයා දන්නේ නැතිද නාමල් කුමාරයා සහ බැරිසිල් ලොක්කා එකතු වෙලා නුවර වැව යටින් මාර්ගයක් හදන්න පටන් ගත්තු විත්තිය. පාරේ වැඩ කෙසේවෙතත් ඔකේ යට නිදන් කරලා තිබුන දේවල් වලට නං විද්දා කියලනේ කියන්නේ.

      Delete
    2. හොඳ අදහසක් බූරා. ඇනෝ කියලා තියනවා වගේ එහෙම අදහසක් තිබුනා. මා දන්නා තරමින් පස් පිලිබඳ විශේෂඥයන් කිව්වා එය එතරම් ප්‍රඥාගෝචර නොවන බව.

      Delete
  2. උඩ මලුවේ මගෙ ස්වාමිනි අවසර කරුණා කරන්ඩ
    හතර පේරුවේ අපටම මේ දොරඟුළු ඇයි කියන්ඩ

    හේන් කුඹුරු පාළු වුණා වැහි කඳුලක් නෑ දකින්ඩ
    දරු පැටවුන් ගොදුරු වුණා මැලේරියා මදුරුවන්ට
    එහෙව් දුකින් සරි කරගත් කිරි ආහර ටික පුදන්ඩ
    උඩ මලුවේ මගෙ සාමිනිරන් වැට දොරඟුළු අරින්ඩ…

    ඉරි තැලිච්ච වැව උතුරා සුදු නෙළුමක් මෝදු වෙන්ඩ
    හැමදාමත් ගිනි උහුලන අපට පිරිත් පැන් ඉහින්ඩ
    වැලි මලුවේ පෙරලි පෙරලි ඔය හෙවනේ නිවන් යන්ඩ
    උඩ මලුවේ මගෙ සාමිනි රන් වැට දොරඟුළු අරින්ඩ…

    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. ගායනය - සුනිල් එදිරිසිංහ
      ගී පද - කේ.එම්.අයි.ස්වර්ණසිංහ
      සංගීතය - සමන්ත පෙරේරා

      ස්තුතියි
      බ්‍රෑන්ඩ් එක ගල් ....

      Delete
    2. තැංකිව් බොක්කෝ !!!

      Delete
    3. @ පත්තරේ. හරිම සංවේදී ගීතයක්. ආගම සහ සමාජ තත්වය පටලවා ගැනීම අදටත් අපේ රටේ තියන ගර්හා කටයුතු මානසික රෝගී තත්වයක්.

      Delete
    4. පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න
      දළදා හාමුදුරුවනේ පාත මාළයට වඩින්න

      වික්ටර් රත්නායක.

      Delete
    5. පාත ඉඳන් අපි ආවේ
      නාමල් පූජා කරන්න
      දළදා හාමුදුරුවනේ
      පාත මාලයට වඩින්න

      හීල් හෙවනෙ ඉඳගෙන බෑ
      හේන් කුඹුරු වැඩ කරන්න
      ඇඟ පත කළු උනත් අපේ
      කිලි කුණු නැති හිත බලන්න
      දළදා හාමුදුරුවනේ
      පාත මාලයට වඩින්න

      මූදු ගියා ලෙලි තැලුවා
      පිලී ගඳින් බෑ මිදෙන්න
      ඒත් අපේ මල් සුවඳයි
      එපා බාර නොගෙන ඉන්න
      දළදා හාමුදුරුවනේ
      පාත මාලයට වඩින්න


      සංගීතය හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
      ගී පද - රත්න ශ්‍රී විජේසිංහ

      Delete
    6. @ සුදීක.
      ඔය ජරා භේද දළදා හාමුදුරුවන්ටත් ගාවගන්න එවුන්ට සාප වෙනවා.

      @ සින්දු ඇනෝ
      ස්තුතියි සින්දු. මම හරිම ආසා ගීතයක්.

      Delete
  3. ආය ඉතිං බනින්නෙ මොකටයි.එල යෝඡනාවක් නොවැ..

    ReplyDelete
  4. ඊට පස්සේ දළදා මාලිගාව ලඟ වාහන පිරිලා තදබද ඇතිවෙයිද?

    ReplyDelete
    Replies
    1. නෑනෙ. එහෙම වෙන්න විදිහක් නෑනෙ. මාළිගාව ළඟට වාහන යැවෙන්නෙ නෑනෙ මේ ක්‍රමයට.

      Delete
    2. ඔව් පොඩ්ඩි. ඇනෝ කියලා තිනවා වගේ, වාහන පාක් කරන්න දෙන්නේ නැහැ. මගීන් බස්සවනවා නග්ගවනවා විතරයි.

      Delete
  5. මමනං‘ එක පයින් කැමතියි. සල්ලි තමයි ප්‍රශ්නෙ.
    -ශණි

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඔය දැන් අහුවෙන හොරකං කරපු සල්ලි මෙව්වට දාන්න කියලා මයිත්‍රීට කියමු.

      Delete
  6. මමනං කියන්නෙ ලංකාවෙ බොහෝ පූජනීය ස්ථානවල තියෙන අවශ්‍ය නොවන පරිදි මිනිස්සුන්ට කරන සීමාකිරීම් නැවැත්විය යුතුයි. හැබැයි මිනිස්සුත් ඒ තැන්වලට ගිහිල්ල හැසිරිය යුත්තෙ කොහොමද කියල වටහා ගන්න ඕන.

    ඔය පාර ඇරියයි කියල සිද්ධවෙන හානියක් නොවෙන්න පුලුවන්. ඒ වගේම මාර්ගය ඇරියට පස්සෙ මාලිගාව අවට රථවාහන තදබදයක් ඇති නොවන ආකාරයට සුදුසු රථවාහන ගාල් සහ ක්‍රමවත් රථවාහන සැලැස්මක් ඇතිකරන්නත් ඕන.

    අනික යුද්ධයක් නැති රටේ පා ගමනින්වත් මිනිහෙකුට පාරක යන්න දෙන්නෙ නැතිවෙන්න හේතුව මොකක්ද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඉතා වැදගත් අදහස් කීපයක් ඔබ ඉදිරිපත් කර තිබෙන්නේ.

      මේ මෑතකදී මා ගියා යාපනයේ නාග විහාරයට. එය පන්සලක්ද නාවික හමුදා කඳවුරක්ද යන්න වෙන්කර දකින්නට අමාරුයි. පන්සලේ පින්තූර ගැනීම තහනම්. පන්සල පුරා අඩි 10 x 6 විතර විශාල කටවුට් ගහලා තියනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ, ගෝටාභය රාජපක්‍ෂ ආරක්ෂක ලේකම් වරයාගේ සහ වෙනත් එවැනි යුද ජයග්‍රහණ කටවුට්. මට පුදුම හිතුනා මේ පන්සලක්ද කියලා.

      විහාරාධිපති හමුවීම ඇමති කෙනෙක් හමුවීම වගේ. පන්සල ඇතුලේ බිත්ති පිරෙන්න ගහලා තියෙන්නේ යුද ජයග්‍රහණ පින්තූර සහ සිහිවටන. අල්ලපු වැටේ ඉඩමේ නාවික හමුදා කඳවුරක් හදන්න පටන් අරං. පන්සලට මීටර් 400 ක් ඈතින් තියන කෝවිල ලස්සනට තියනවා නිදහස්ව. ඕනෙ කෙනෙකුට යන්න පුළුවන්. පින්තූර එන්නත් පුළුවන්.

      මහනුවර මුළුමනින්ම යලි සැලසුම් කලයුතුයි.

      Delete
    2. //මේ මෑතකදී මා ගියා යාපනයේ නාග විහාරයට. //
      ඔබ මේ කියන්නේ නාගදීපෙ විහාරෙ ගැන ද?

      මමත් ආරක්ෂක අමාත්‍යාශයේ සේවය කළ කාලයේ භාණ්ඩ සමීක්ෂණ කටයුත්තකට යාපනේ ගිය වෙලාවක නාගදීපෙට ගියා.. ඔබ කියන මහින්දගේ ගෝටාගේ කටවුට් හැර අනික් දේ එහෙමමයි. හැබැයි ඡායාරූප ගැනීමේ තහනමක් නම් තිබුන බවක් මතක නෑ. අපිත් එක්ක ගිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු නිසා හාමුදුරුවෝ ඇවිත් එයා එක්ක විතරක් කතාබහ කළා. ඒත් එයාගෙ පුරාජේරුවම විතරයි.

      Delete
    3. ඔව් ඔව් නාගදීපය යනුවෙන් නිවැරදි වියයුතුයි. ඡායාරූප තහනම් බෝඩ් වලට විතරද මන්දා. මම කැමරාව බෑග් එකේ දාගත්තා ඒ බෝඩ් එක දැක්කට පස්සේ. මා සමග ගිය අපේ පන්සලේ හාමුදුරුවන්ව වත් ගණන් ගත්තෙ නැහැ ඒ පන්සලේදී. එවෙලේ මිනිස්සු 25 ක් වත් හිටියේ නැහැ. ඒ හාමුදුරුවන්ගේ අලුත්ම ප්‍රාඩෝ එක නවත්තලා තිබුනා මිදුලේ. ඒ පුංචි දූපතේ ඒ ප්‍රාඩෝ ඒකෙන් කොහේ යනවද කියා මා පුදුමයට පත්වුනා.

      Delete
  7. බෝම්බ ලොරිය ආවේ වෙන පාරකින්. වැහැව්වේ වෙන පාරක්. කොහොමත් ඔය සංඝ පරම්පරාව අත් හරිවට වඩා එකතු කරගන්න තමයි කැමති. පාසල් දරුවෝ විතරක් මොන තරම් දුකක් විඳිනවද? මෙයාල නිවන් යන්න ඉන්න සිල්වත්තු නෙමෙයි. ගෙවල පෙරේතයෝ. ඕන් දළදා මාලිගාවෙන් කෑල්ලක් යනවා නම් කමක් නෑ. මේ රජ කාළේ හිටන් තිබුන පාර. තව ටික දවසකින් ක්වීන්ස් හෝටලේ ඉල්ලයිද දන්නේ නෑ පිරිවෙනක් කරන්න. බාර් වහන්නත් ඕන කිව්වා නේ. උන්ට රජවරුන්ට බොන්න බඩු ගහන්න හොඳයි. සමාන්‍ය මිනිස්සු කන බොන එක තමයි වරද..

    ReplyDelete
    Replies
    1. 100% ක් එකඟයි .

      Delete
    2. බෝම්බ ලොරිය ආවේ තිරිකුණාමල වීදියෙන්. කල්තබා දුරදිග බලා යුද හමුදාව මාලිගාවේ ආරක්ෂාවට නොයොදා තිබීමේ ප්‍රතිඵලය තමා අත්වුණේ. 1988 දි යුද හමුදාව ඉඳිද්දීත් ජේවීපී එක දළදා මාලිගාවට ගහපු වෙලාවේ මම රජවීදියේ හමුදා කඳවුරේ සිට කොල්ලෝ 20 - 25ක් එක්ක පයින් දිව්වේ මාලිගාවට. ගිහින් දෙන්නෙක්ව මරාගන්නත් එකෙක් අල්ලගන්නත් පුළුවන් වුණා.

      මාතෙට මතකද මන්දා මාලිගාවට ගැහුවට පස්සේ එතන හිටිය පොලිස් රාලහාමිනේ කෙනෙක් සාක්කි දුන්න. එයා කියනවා මම දැක්කා ලොරියක් එනවා, මම මාත් එක්ක හිටිය රාලහාමිට කිව්වා, අනේ අයියේ අර ලොරිය මොකද්ද දන්නෑ හයියෙන් එනවා කියලා. අයියා ගියා කෝල් එකක් ගන්න ගේට්ටුවට. එතකොටත් ලොරිය ඇවිත් හැප්පුවා. ඔන්න ඔය තත්වයේ තමයි ආරක්ෂාව තිබුණේ. සක කටයුතු වාහනය නවත්තන්න වෙඩි තියනවා වෙනුවට කෝල් ගන්න යාමේ ප්‍රතිඵලය තමයි ඒ.

      මුළු මහනුවරම නැවත සැලසුම් කලයුතුයි.

      Delete
  8. මහනුවර නගරයේ තදබදයට එකම මෙන්ම ප්‍රධාන හේතුව ඔය මාර්ග කොටස වසා දැමීම නොවේ. නගරයේ සුළු ප්‍රදේශයක් තුල නගරයේ ඇති බොහෝ කාර්යන් කේන්ද්‍රගත වීම. මහනුවර යනු ඉතිහාසික වැදගත් කමක් සහිත නගරයක් මෙන්ම එහි වැදහත් කමත් එය නිසා සිදු කල යුත්තේ සංචාරක සහ ආගමික වැදගත් කමක් සහිත කාරයන්ට පමණක් නගරය වෙන් කර වාණිජ වැදගත් කමක් සහිත ආයතන සහ පරිපාලන ආයතන මහනුවරට ආසන්න වෙනත් තැනක පිහිටුවීම. එහෙම නැතිව නගර අලංකරණය බදාවෙන පරිදි වාහන තදබදයට විසදුම් හොයන්න ගියොත් වන්නේ සංචාරක වැදගත්කම නැතිව යාමයි. (නමුත් නගරය අලංකාර වන පරිදි පාලමක් හදන්න පුළුවන් නමුත් එය මගින් පමණක් විසදුමක් හොයන්න බැහැ.) ලෝකයේ බොහෝ ඉතිහාසික වැදගත් කමක් සහිත නගර වල අනුගමනය කරන්නේ මා කියන ලද ක්‍රමය වේ.

    දැනට දළදා මාලිගය වෙත යාමට මහලු සහ ආබාදිත අය වෙන්නුවෙන් විශේෂ රථ යොදා ඇත.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මහනුවර නගරය නැවත සැලසුම් කලයුතුයි. එහි ප්‍රමුඛත්ව පියවරක් වියයුත්තේ ක්වීන්ස් හෝටලය මධ්‍ය ලක්ෂ්‍යය ලෙස ගෙන පෙරාදිනිය, කටුගස්තොට, පල්ලේ කැළේ යන මාර්ග තුන කිසිදු බාධාවකින් තොරව වාහන ගමනාගමනයට ඉඩකඩ සලසාදීමයි.

      වසා දැමුණු බෝගම්බර බන්ධනාගාරේ භූමිය මහලේකම් කාර්යාල සංකීර්ණයකට ඉතා සුදුසුයි. එවිට සියලු රාජ්‍ය ආයතන එහි ගෙනයන්නට පුළුවන්. මිනිස්සුන්ට බස් ඒකෙන් බැහැලා පයින් යන දුරට සියලුම ආයතන එනවා එතකොට. නමුත් ඒ පියවරෙන් පමණක් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. අපි කමතිවුනත් නැතත් වැව රරුමේ පාර දැනට වඩා පුළුල් කරන්න වෙනවා. පාසල් දැනට තිබෙන තැන්වලින් වෙනස් කරන්න බැරි නිසා පාසල් බස්රථ/වෑන්/කාර්/ සඳහා ඉඩ ලබාදෙන්න සිදුවෙනවා.

      මම යෝජනා කරන්නේ නිකම් කොන්ක්‍රීට් කණු උඩ පාලමක් නොවේ. එය ජාත්‍යන්තර ප්‍රමිතියට අලංකරණය කරන්න පුළුවන්.

      මහනුවරට සංචාරකයන් එන්නේ නගරය ආශ්‍රිතව නවතින්න නිසාත්, දැන් එන සංචාරකයන් අති මහත් බහුතරය, pavement shopping කරන නිසාත්, junk food stalls වලින් කෑම කන නිසාත්, rough-out logging කරන නිසාත්, එවැනි ආයතන ඉතා ඈතට ගෙනයාමත් එතරම් ප්‍රඥාගෝචර නොවනු ඇති.

      Delete
  9. හාමුදුරුවන් විරුද්ධවෙන හේතුව මට පැහැදිලි නෑ.

    ආයිත් යුද්ධයක් ඇවිත් මාලිගාවට ගහයි කියලද? (එහෙමනම් යුද්දෙ මාලිගාවට ගහලම පටන් ගන්න එකක් වෙන්න ඕනැ මොකද එහෙම නැත්නම් යුද්දයක් ආවොත් පාර වහන්න පුලුවන්නෙ වහාම )

    මාලිගාවෙ ගෞරවය සඳහාද? ( යුද්දෙ නැතිව කාලෙ =අවු සීයකට වඩා කාලයක් - මාලිගාවෙ ගෞරවයට හානියක් නැතුව ඒ පාරෙ වාහන ගියානෙ )

    තුන්වන හේතුවක් තියනවද?

    ReplyDelete
    Replies
    1. මටත් පැහැදිලි නැහැ ඇයි මහනායක හාමුදුරුවෝ මේ තරම් විරුද්ධ කියන එක. උන්වහන්සේ එක හේතුවයි කියන්නේ. වාහන හිමියන්ට කරන චෝදනාව.

      ඔබ කියන සාධක සමග මමත් එකඟ වෙනවා.

      කවුරුහරි මහානායක හිමියන්ට සාධාරනත්වය පැහැදිලි කරදිය යුතුයි.

      Delete
    2. තුන්වන හේතුව තමයි, ඩෙගා නටාගෙන එන අය ගෙන් ෂෙප් වෙන්න. ඔන්න මම වහන්සේනම් ඉංතේරුවෙන්ම විරුද්ධ වුනා. කෝ කිව්වා ඇහුවද?

      Delete
    3. මාතලන් කියන කථාවට මාත් එකගයි (කොහොමත් ඔය සංඝ පරම්පරාව අත් හරිවට වඩා එකතු කරගන්න තමයි කැමති )

      බුද්ධ දර්ශනය එයාලගේ පැවැත්මට පාවිච්චි කරනවා එ්කට විරුද්ධව කතා කරන්න බයයි. (කාර් රේස් නම් පැද්දා)

      Delete
  10. //මෙහිදී, අස්ගිරි පාර්ශ්වයේ මහානායක, අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේ, මේ ගැන සිය විරෝධය පලකරනු, රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයක මා දුටුවා. උන්වහන්සේ ප්‍රකාශ කළේ, මෙම මාර්ගය යළි විවෘත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට, රාජ්‍ය නිළධාරීන් පිරිසක්, තමන් වහන්සේ හමුවීමට පැමිණි බවත්, නමුත් තමන් වහන්සේ ඒ ගැන විරුද්ධත්වය ප්‍රකාශ කළ බවත්, //

    යකෝ අරූ ඕක වටේ රේස් පදිනකොට ඔය කටවහන්සේලාට පන තිබුනෙ නෑ නේද?

    ""පාර විවෘත කරගන්නට දැඩිව උත්සාහ ගන්නේ, සාමාන්‍ය ජනතාව නොව, වාහන හිමියන් බවත්, උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරන්නට යෙදුණා""
    වාහන හිමියන් කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු බව මේ බූරුවහන්සේට තේරුම් කරන්න මෛත්‍රී බුදු හාමුදුරුවො වඩින්න වෙයි. අනේ අනිච්චං!

    ReplyDelete
    Replies
    1. RDA එකේ ලොක්කා උඩුගම බුද්ධරක්ඛිත හාමුදුරුවො කියල අම්මප අදයි දන්නේ !! ඕ යේස් … :D

      Delete
    2. පව් නේ රාජ්, කොහොම වුනත් මහානායක හාමුදුරුවොනේ. ඒකයි මම කිව්වේ තද වචන පාවිච්චි කරන්න එපා කියලා. නමුත් ඔබේ ආවේගය මට පැහැදිලියි.

      රේස් පදින්න ඉස්සර වෙලාම හාමුදුරුවෝ අකමැති වුණා. අස්ගිරියේ හාමුදුරුවොත් අකමැති වුණා. නමුත් පහුගිය රජයේ ලොක්කකු විසින් මල්වතු මහනායක හාමුදුරුවන්ව කැමති කරගත්තා. ඒ වුනාට අස්ගිරි මහනායක හාමුදුරුවෝ තමන්ගේ ස්ථාවරයේම හිටියා. මල්වතු මහනායක හාමුදුරුවන්ව පහසුවෙන් නොමග යවන්න පුලුවන්දෝ කියලා වෙලාවකට හිතෙනවා.

      මයිත්‍රී බුදුහාමුදුරුවෝ කොහොම වෙතත්, අපේ මයිත්‍රී ජනාධිපතිතුමාට බැරිවෙයිද දන්නෑ මල්වතු මහනායක හාමුදුරුවන්ට ඇත්ත පහදලා දෙන්න.

      Delete
    3. @ පත්තරේ

      පව් සිද්ද කරගන්න එපා යකෝ.

      Delete
  11. "දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න".
    * වැවට උඩින් පරිසර හිතකාමීව පාලමක් හදන්න පුළුවන් උනත් ඒක කවදාවත් වෙන එකක් නෙවි. අදහස හොදයි.
    * දළදාව යනු බුදුරජාණන් වහන්සේගේ දාතුවක් උනත්, අතිශෛන්ම කුහක පරිසක් විසින් තබාගෙන ඉන්නා දෙයක් දකින්නේ. ආරක්ෂාවට යයි කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. ධර්ම කරුනු දන්නා තැනැත්තාට ඒ බාරයි.
    * මා මුලු ලංකාවේම සංචාරය කල, කරන කෙනෙක්. මට හමු උන මිල අධිකම බාල වර්ගයේ කාමර හමු උනේ නුවරින්. ඉතින් ඒ වගේ මිනිස්සු කොට්ටාසයක් ඉන්න නගරයක් දියුණු කිරීම ගැන සීතීම ගැනත් සිතන්න වෙනවා.
    * දළදා මාලිගාව ආසන්නයේ පාර විවුර්ත කරන්න පුළුවන් නම් රථ වාහන තද බදය ඉතාම අඩු වෙනවා. දැන් දැන් මිනිස්සු කාලය අගයන්න පටන් අරන් නිසා

    ReplyDelete
    Replies
    1. දළදා හාමුදුරුව ඉහල මලයේදීම වන්දනා කරකන්න පුළුවන්නේ කුටිය විවෘත කරන වෙලාවට.

      මිනිසා විසින් නිර්මිත පරිසරය කවදාවත් 100% ක් පරිසර හිතකාමේ නොවේ. අපි ගෙයක් හැදුවත් පරිසර හානියක් වෙනවනේ. මා යෝජනා කරන්නේ දැවෙන ප්‍රශ්නයකට විසඳුම ලෙස මා දකින දේ. මෙය එකම විසඳුම නොවන බවත් මා පිලිගන්නවා.

      ඇත්තෙන්ම අතිශයින් ප්‍රමුඛත්ව පියවරක් ලෙස මහනුවර නගරය යලි සැලසුම් කලයුතුයි.

      Delete
  12. වලාකුලු බැම්ම කඩන්ඩ මේ මේ ඒ ගැනනං කතා කරන්ඩ එපා

    ReplyDelete
    Replies
    1. වලාකුල් බාමුද? මල් පැකට් එකයි සිගරට් එකයි.

      Delete
  13. සවුදි අරාබියේ මක්කම ගාවින් වාහන යන්න දෙන්නෙ නෑනෙ කොච්චර කෑ ගැහුවත් ! රෝමයේ වතිකානුව ගාවින් වාහන යන්න දෙන්නෙත් නෑනෙ! අපේ එවුන්ට තමයි බෞද්ධයාගේ මුදුන් මල්කඩ අස්සෙන්ම යන්න අමාරැව තියෙන්නෙ. බෝම්බ ගැහුවට කමක් නෑ. මාලිගාවට කෙළඋනත් පහසුවෙන් යන්න තිබුනොත් අැති. පාර වහල තියෙන එක අපහසුවක් තමයි. එ්ත් ඉවසන්න.

    ReplyDelete
    Replies
    1. මම කියන්නේ නැහැ අනිවාර්යයෙන්ම මේ පාර විවෘත කලයුතුයි කියලා. රෝමය සහ මක්කම ඉතා විශාල ඉඩකඩක පිහිටා ඇති නිසා, වාහන වලට කිසි අපහසුවකින් තොරව ඒවා පිහිටි ප්‍රදේශ හරහා ගමන් කරන්නට පුලුවන්. නමුත් මහනුවර නගරය කියන්නේ අතිශයින්ම එකට කැටිවුණු, බේසමක පතුල වගේ පිහිටීමක තිබෙන නගරයක්. එය ව්‍යාප්ත expansion කිරීම අතිශයින්ම අපහසුයි.

      දැනටනම් මාලිගාවට ප්‍රහාරයක් එල්ල කරන්න තරම් ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් ලංකාවේ නැහැ. මා එය කියන්නේ හිටපු හමුදා නිලධාරියකු ලෙස ඉතා වගකීමෙන්.

      මා විකල්ප යෝජනාවක් ගෙනාවේ, මාලිගාවත් බේරාගෙන, ලක්ෂ ගණනක් මහජනතාවටද සහනයක් සැලසීමේ අරමුණෙන්.

      Delete
  14. මගේ නං යෝජනාව මෙයයි.

    අර බෝගම්බර හිර ගෙය පල්ලකැලේට ද කොහෙද ගෙනිච්චා වගේ, පාර්ලිමේන්තුව කොටුවේ සිට බත්තරමුල්ලට ගෙනිච්චා වගේ, ඔය දළදා පන්සලත් හොඳට වාහන ගාල් කිරීමේ පහසුකම් දිය හැකි තැනකට ගෙනි යන්න.

    ඕක කොහොමටත් එක තැන තිබුණු එකක් නොවෙයි නේ.

    ඇත්තටම කියනවා නම් දළදා පන්සල මේ දිනවල තියෙන්න ඕනෑ කොළඹ ආශ්‍රිතවයි. ඉතිහාසයේ හැමදාම තිබුණේ අගනුවර ආසන්නයේ තමයි.

    ReplyDelete
    Replies
    1. ඊට වඩා හොඳයි පොලොන්නරුවට ගෙනිහින් නමත් වෙනස් කලානම්
      "මෙත්සිරි දතේ විහාරය" වගේ

      Delete
    2. @රසිකොලොජිස්ට්
      මිනිස්සු දළදා මාලිගෙට එන්නේ වඳින්න පුදන්න විතරක් නොවේ. එහි ඇති ඉතිහාසික සහ කලාත්මක අගය නිසා බලන්න එන අය ඉන්නවා. දළදාව තියන තැන මාරු කරන්න පුළුවන් නමුත් මහනුවර දළදා මාලිගාවේ තියන ඉතිහාසික අගය වෙන තැනකට දෙන්න බැහැ. මනුස්සයෝ හිර ගෙදර වෙන තැනකට ගෙන ගියත් එහි ගොඩනැගිලි පරිස්සම් කරනවා වටිනා නිසා. දළදා මාලිගාව ඉස්සරහා පාර වාහන යන්නේ නැතව නිදහස්ව තිය එකෙන්. එතන පාක් එකක් වගේ මිනිසුන්ට ඇවිදගෙන යන්න පහසුකම් ලැබෙනවා. ආගමික ස්ථානයක තියෙන්න ඕන නිදහස් බව සඳහා ගෝෂා වන රහිත පරිසරයක් වෙන්න ඕන, ඒ සිද්දස්ථානය පල්ලේ ඔක්කොම අනෙක් ඉදිකිරීම් කරලා තියන එක තමයි වැරැද්ද. උබලා වගේ උපන්බිමට ආදරයක් නැති අම්මා වුනත් විකුණනගෙන කන උන්ට නොතේරුනාට දළදා මාලිගාවේ වැදගත් කම විදේශිකයන්ට පවා තේරෙනවා.

      Delete
    3. මොන අදහසින් කිව්වත් රසිකගෙ මේ කමෙන්ටුව තරමක් අන්තවාදී ගතියයි!

      පරන මාලිගාව කියන්නෙ සංස්කෘතික උරුමයක්. ඒකට ආගමික වටිනාකමක් එකතුවෙලා තීන්නෙ දත තීන නිසා. ඒ නිසා දන්තය ගෙනියන එක අවුලක් නෑ, නමුත් ඒ මාළිගාව එහෙමම තියෙන්න ඕන, මොකද ඒක සුරැකිය යුතු පුරාවිදු වස්තුවක් නිසා ( මටනම් දතත් එමමයි ).

      වඩා සුදුසු ඔය දත මාලිගාව වටේ අහල පහල තීන සේරම පොඩි කඩ අයින් කරල, පීස මඩුව පැත්තෙ ලොකු රථ ගාලක් දාල, මිනිස්සුන්ට නිදහසේ ඒ දේවල් බලන්න සහ වඳින්න ඉඩ දෙන එකයි. වෙලඳ නුවර ටිකක් එතට ගෙනෙහිල්ල.


      මහියන්ගන පාරෙ ප්‍රශ්ණෙට විචාගෙ විසඳුමට වඩා පහසු එකක් තීනව. ඒ තමයි මල්වත්ත පන්සල ඉස්සරහින් වැව හරහ පාළමක් දාල වැව රවුමෙ යන එක කෙටි කරල මහ්යන්ගන පාරට සෙට් කරන එක. එතකොට වැවේ ලස්සන, මාලිගාව අයිනෙ වහපු පාර වගෙම දුර අඩුවීම කියන සේරම රැකෙනව!

      Delete
    4. ඇත්තටම රසික ඔබේ යෝජනාවට එකඟ වෙන්න අමාරුයි. ඔබ මොහොතකට හිතන්න, ඔබ වෙසෙන ඕස්ට්‍රේලියාවේ, සිඩ්නි නගරයේ තිබෙන, ශාන්ත මරියා ආසන දෙව් මැඳුර, තිබෙන තැනින් වෙනස් කලයුතුයි කියා කවරකුවත් කවදාවත් යෝජනා කරයි කියා.

      http://www.aviewoncities.com/img/sydney/kveau0174b.jpg

      මෙහෙම හිතන්න. ශ්‍රීපාද වන්දනාවේ යාම මා වැනි වයසක පුද්ගලයන්ට අමාරු නිසා, දැනට බාගෙට ඉදිවී තිබෙන නෙලුම් කුලුන, කේතු රූපාකාරව සකස්කර, විදුලි පඩිපෙලක් දමා, ශ්‍රීපාද කන්දේ පිහිටි, බුදුහාමුදුරුවන්ගේ පාද ලාංඡනය යයි සැලකෙන ගල් පුවරුව, ගලවාගෙනැවිත් සවිකලාට, නෙලුම් කුලුන ශ්‍රීපාදස්ථානය වන්නේ නැහැ. අපි රෝමය බලන්න රෝමයටම යායුතුයි.

      දළදා මාලිගාවේ ඓතිහාසිකත්වය එලෙසින්ම රැකියා යුතුබව අවිවාදිතයි. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින්ද ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

      ඔබ හොඳ අදහසක් දක්වා තිබෙනවා. බෝගම්බර බන්ධනාගාරය තිබුණ තැන ප්‍රයෝජනවත් වැඩකට යෙදවීම එතන හොඳයි මහනුවරට මහලේකම් කාර්යාලයක් General Secretariat හදන්න. සියලුම රාජ්‍ය ආයත එහි ස්තානගත කිරීමෙන් මහජනතාවට ඉතා විශාල සහනයක් ලැබෙනවා වගේම නගරයේ තදබදයත් සෑහෙන්න අඩුවෙනවා.

      @ ඉන්දික

      මල්වත්ත පන්සල දක්වා යන පාරත් සෑහෙන්න පළල කරන්න වෙනවා එතනින් පාලම දානවානම්.

      වැව රවුමම පළල් කරන්න වෙනවා කවදා හෝ, අපි කැමති වුනත් නැතත්.

      Delete
    5. කමෙන්ට් එකට අදාල පින්තූරය දාන්න අපහසු වුණා

      [im#]http://www.aviewoncities.com/img/sydney/kveau0174b.jpg[/im] iamage to fit to column

      Delete
    6. කකා (රසික සූරියාරච්චි) කියන්නෙත් (එක්තරා විදියක) අන්තවාදියෙක් කියලා හිතුනා එයාගේ මේ කමෙන්ටි එක දැක්කම.

      Delete
    7. මගේ අදහස ගැන යම් කතා බහක් ඇති වී තිබෙනු දැක සතුටක් ඇති වුණා.

      දන්ත සහ හේමමාලා දෙපල ඔය දළදාව ලංකාවට ගෙනා දා සිට රටේ අගනුවර ආශ්‍රිතව ඒ සඳහා පන්සල පිහිටවූවා ය කියායි මා ඉගෙනගෙන තියෙන්නේ. එය අනුරාධපුරයෙන්, පොළෙනානරුවට, යාපහුවට, දඹදෙණියට, ගම්පොලට යනාදී වශයෙන් රට හැම තැන ගොස්, අවසානයේ කෝට්ටෙ තිබී ඉන් පසුවයි මහනුවරට ගොස් තිබෙන්නේ.

      ශ්‍රී වික්‍රම රාජසිංහ ගේ රාජ සමය අවසාන වුණු පසු රජුගේ නියෝජිතයා සිටියේ කොළඹ වුනත් දළදාව මහනුවර ම නතර වුණා.

      දැන් අපේ අගනුවර නැවතත් පිහිටුවා ඇත්තේ කෝට්ටේ ප්‍රදේශයේ ම නිසා දළදාව නැවත කෝට්ටේට ගෙන ඒම කරන යෝජනාවක් මහා විප්ලවකාරී එකක් නොවෙයි.

      පහුගිය අවුරුදු තුන් හාරසීයක කාලය තුල, නුවර අවට වෛන ලාංකිකයින් මේ කෙෘතුක වස්තුව තමන් ගේ සුවිශේෂී අයිතියක් ඇති බවක් හිතාගෙන ඉන්නා බව මට හැඟී තියෙනවා. එය සාධාරණ නෑ.

      දළදාව කෝට්ටේට ගෙන හිය පසු දැන් එය ඇති පන්සල ඓතිහාසික සිද්ධස්ථානයක් ලෙස තවදුරටත් පැවතිය හැකියි.

      (විචාරක ගේ සුවිශේෂී උදාහරණය ගැන යලිත් කියනවා නම්, මා යෝජනා කළේ ගොඩනැගිල්ලක් ඉවත් කිරීම හෝ කඩා දැමීම හෝ නොවෙයි, එහි ඇති වන්දනාමාන කරන කෙෘතුක වස්තුව පමණක් වෙනත් තැනක ස්ථාපනය කිරීමයි.)

      Delete
    8. //දළදාව කෝට්ටේට ගෙන හිය පසු දැන් එය ඇති පන්සල ඓතිහාසික සිද්ධස්ථානයක් ලෙස තවදුරටත් පැවතිය හැකියි.//
      මාලිගයේ දළදාව තිබුනත් නැතත් එය ඓතිහාසික සිද්ධස්ථානයක් ලෙස ගන්නවා නම් එය සංරක්ෂණයට එය අසලින් වාහන යන එක වලක්වන්න ඕන(විශේෂයෙන් බර වාහන) ඒවගේම දළදාව නැතත් එය බලන්න යම් තරමක් මිනිසුන් එනවා . එතකොට දළදාව කොට්ටෙට ගෙන ගියොත් ඒක කොහොමද මහනුවර මාර්ග තදබදයට විසදුමක් වෙන්නේ. ලිපියේ අරමුණ වාහන තදබදය මිසක් දළදාවක් මාරුකිරීම නොවන බව තේරෙන්නේ නැද්ද.

      Delete
    9. දළදාවක් නැතත් දළදා විහාරය කියන විහාර තියනවා. එයින් එක විහාරයක් ළඟ මමත් කාලයක් යුද්දයේ යේදී හිටියා. ඒ තමයි වවුනියාව, මඩුකන්ද, ශ්‍රී දළදා විහාරය. එම විහාරයේ කලක් දළදාව තැන්පත්කොට තිබෙනවා. දළදාව වඩම්මාගෙන ආවේ ඊසාන දිග වෙරළට ගොඩබැසීමෙන් නේ. මඩුකන්දට කි.මී. කීපයක් එහායින් තියනවා මාමඩුව. දළදා වහන්සේ තාවකාලිකව තැන්පත් කර තිබුණ මහ මඩුව හදපු තැන.

      අපි දැන් දළදාව ස්ථිරවම සෑහෙන කාලයක් තැන්පත් කර තිබෙන ස්ථානය තුලින් දළදා වහන්සේ ඉඅවත් කරන්නට කිසිදු බෞද්ධයකු කැමතිවෙයි කියා මා හිතන්නේ නැහැ. නුවර මිනිස්සුන්ට දළදාවේ තනි අයිතියක් තියනවා කියලා ඔන්නොහේ හිතාගත්තාවේ. ඇත්ත ඒක නෙවෙයිනේ.

      මකසිගේ අදහස් සමග මමත් එකඟයි.

      Delete
    10. විචාරක,
      වැරදි ද නොදනිමි, නමුත් මා අසා ඇත්තේ ඔය මාර්ගය වසා දැම්මේ බර වාහන ගොස් පුරාණ ගොඩනැගිල්ලකට හානි වෙන නිසා නොව, සිවිල් ආරක්‍ෂාව සළකා බවයි. එනිසා ඒ මාර්ගය විවෘත කිරීමට දැන් හොඳ කාලයයි.

      Delete
    11. @ රසිකොලොජිස්ට් - RasikologistJanuary 28, 2015 at 6:34 PM

      බර වාහන යාමෙන් විශාල හානියක් වේ යයි මමත් හිතන්නේ නැහැ. එහෙම වෙනවා නම් වෙන්නේ අර උල්පැන් ගෙයටයි. එය පුරාවිද්‍යා සහ භූවිද්‍යා විශේෂඥයින් විසින් තීරණය කලයුතුයි.

      අනේ මේ පාර ඇරියට කිසි වැරද්දක් වෙන්නේ නෑ අප්පා.

      Delete
  15. මිනිස්සුන්ට තියන ප්‍රශ්ණ නේද ?

    මට තේරෙන්නැත්තෙ ඔය රතු පාටින් තියන පාර දැම්මත්, ඔය වහලා තියන පාර ඇරියෙ නැත්නම් ඉතින් ප්‍රතිපලය එකයිනෙ.. ඒ කියන්නේ පයින් යන්න වෙනවනේ මාලිගාව ළඟට...

    ReplyDelete
    Replies
    1. @ S
      ප්‍රශ්නෙ තියෙන්නෙ මාලිගාවට යන අයට නෙමෙයි, මහනුවර හරහා තැන්නෙකුඹුරට යන අයට
      ( දිගන- මහියන්ගනය / රජමාවත- බදුල්ල )

      Delete
    2. මිනිස්සුන්ට තියන ප්‍රශ්න කවදද ඉවර වෙන්නේ? :e

      නෑ නෑ මේ අලුත් පාර දාන්නේ, වාහන ගමනාගමනය ගැන හිතලා මිසක්, පයින් මාලිගාවට යන මිනිස්සු ගැන හිතලා නෙවේ. ඒ සඳහා ප්‍රවාහන සේවයක් මාලිගාවෙන්ම ඉතා සුළු මුදලකට (රු 2 ක් හොඳටම ඇති. යන්න වෙන්නේ මීටර් 200ක් 300ක් විතර නිසා) සැපයීම තමයි හොඳ.

      Delete
    3. ඒක මිසක්.

      මමනම් ඉදලා හිටලා යන නිසා ඔය කෙටි ක්‍රමයට වඩා කැමති සිරි නරඹමින් වැව වටේ යන එකට.

      අපි ඔය වැවේ ජාත්‍යන්තර වරායක් ගහන්න ඉන්න‍ේ ඒක නිසා ඔය පාලං කෑලි අටෝගන බෑ. :-D

      Delete
    4. ඒක මිසක්.

      මමනම් ඉදලා හිටලා යන නිසා ඔය කෙටි ක්‍රමයට වඩා කැමති සිරි නරඹමින් වැව වටේ යන එකට.

      අපි ඔය වැවේ ජාත්‍යන්තර වරායක් ගහන්න ඉන්න‍ේ ඒක නිසා ඔය පාලං කෑලි අටෝගන බෑ. :-D

      Delete
    5. අනේ වැවෙන් බාගයක වරායයි ඉතුරු ටිකේ ගුවන් තොටුපොලකුයි දෙකක්ම හදන්න හොඳේ?

      Delete
  16. ප්‍රශ්ණේ එක්කම ඉතින් ඔය හොද යෝජනාවකුත් කරලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මේක එකම විසඳුම නොවෙන්න පුළුවන්. අපි බලමු තවත් යෝජනා එයිද කියලා. දැනටමත් ඉහත කොමෙන්ට් වල යෝජනා තිබෙනවා.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  17. මේ සටහන කියවගෙන එත්දී මටත් ආවේ මේ අදහසමයි. ගෝඨාභය ලොක්කා ඉන්න කාලේ කිව්වනම් අනිවා කෙරෙනවා මේ වැඩේ අපේ හමුදාව අතින්ම. මේවා තමයි අභියෝග. මෙතනදී ජය ගන්න තියෙන අභියෝග දෙකක්. එකක් වැව උඩ පාරක් තනන එක. දෙක නුවර එතිහාසික පසුබිමට ගැලපෙන ලෙස අලංකාරණය. මේ වගේ වැඩ මැලේසියාවේ මම දැකලා තියෙනවා. විශාල කොන්ක්‍රීට් කණු ගඟ මැද්දේ තියෙන්නේ. බැරි දෙයක් නෑ. කරනවා නම් මෙන්න වැඩ. මේ පාරේ පළල මාලිගාව ළඟදී තුන් ගුණයක් කරන්න ඕනේ. එතනින් සෙනග බස්සවලා ඉදිරියට වාහන යන්න දෙපැත්තේ ඉඩ සකසන්න ඕනේ. ඉන් පස්සේ පදිපෙලකින් බැහැලා මාලිගාවට පයින් යන්න හදන්න පුළුවන්. ඕනෙම නම් එලිවෙටර් සවි කරන්න පුළුවන්. කරන කෙනෙකුට නම් මේවා වැඩ නෙවෙයි.

    ReplyDelete
  18. කරන කෙනෙකුට නම් මේවා වැඩ නෙවෙයි. අන්න ඒකයි මටත් කියන්න තියෙන්නේ. දැනට වහලා තියන පාර ඇරියත් මාලිගාව ළඟදී ගොඩක් පළල් කරන්න වෙනවා. නගරයේ අලංකාරයට බාධාවක් නොවන පරිදි සාමාන්‍ය පාලමක් නොවේ විශේෂ අලංකාරයක් සහිත (සමහරවිට පෞරාණික පෙනුමකින් යුත්) පාලමක් හදන්න පුළුවන්.

    ReplyDelete
  19. දළඳා මාලිගාව කියන්නේ ලෝක ප්‍රසිද්ධ තැනක්. හුඟක් සංචාරකයොත් එනවා විශේෂයෙන්ම. ඒ නිසා අව්වේ ඇවිදින්න අමාරුනම් වහල සහිත පදික වේදිකාවක් හදන්න පුළුවන් මළුව ගාවටම යන්න. පාර සම්පුර්ණයෙන්ම වහල බැතිමතුන්ට ඉඳගෙන ඉන්න හෙම තැන් හෙම හැදුවානම් හරි. වැව ටිකක් කැත වෙන නිසා සයිඩ් එකෙන් පාරක් හදන එක හොඳ මදි. ඒ නිසා එතන යටින් හැරලා උමන් මගක් හදන්න බැරිද වාහන තදබදයට?

    ReplyDelete
    Replies
    1. උමං මාර්ගයක් හදන්න පරීක්ෂණයක් කළා කියනා තිබුනා. නමුත් ඒ මාර්ගය වැව යටින් යන්නයි යෝජනා කරලා තිබුණේ. ඒකෙ ප්‍රතිඵලය දන්නේ නැහැ. දැනට වහලා තියන කොටස යටින් උමඟක් දැම්මත් වාහන වලට විතරයි වාසි. මිනිස්සුන්ට වැඩක් නැහැ.

      Delete
  20. විචාරක තුමා,

    දළදා මාලිගාව අසලින් දිවෙන පාර විවෘත කිරීමට සහ වැව උඩින් පාරක් තැනීමේ අදහසට එරෙහිව මා අදහස් පල කළා. ඒක පලවී නැහැ. එය ඔබට ලැබුනේ නැද්ද? එය නොලැබී ඇත්නම් එය නැවතත් ලියන්න මම කැමතියි. නැත්නම් මේ blog එක ඔබේ නිසා ඔබට කැමති මත පමණක් පල කරනවාද? එහෙම නම් එය සිහියේ තබා කටයුතු කරන්නම්.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ගැටඹේ පණ්සලට පඬුරු දැමූ විට, තමන් ගේ මෝටර් රථයේ ලයිට් නැතිබව පොලීසියට නොපෙනී යන බවත්, පඬුරුවල පිහිටෙන් මාර්ග නීති කඩා පොලීසියේ ඇස්වලට වැලි ගසන්නට හැකි බවත් හැඟවෙන අදහසක් සමරසේකර කලින් පළ කර තිබුණා.

      දළදා පන්සල ලඟින් පාරක් දැම්මොත් එතැනටත් පඬුරු ලේසියෙන්ම දාන්නට හැකි වේවි නේද? එමගින් පොලීසියට කළ හැකි බලපෑම වැඩි ඇති!

      Delete
    2. ක.කා.
      මා මහනුවර නගරයට දිනපතාම වාගේ යන්නේ තිරිකුනාමල විදියෙන්. එතනින් මාලිගාවට ඇතුල්වෙන දොරටුව අසල කාරය නවත්වා ඒ අසල තිබෙන පින් කැටයට මුදලක් දමන්න කිසිදු බාධාවක් නැහැ.ඒක මම ඊයෙත් කළා. සිතෙන් පමණක් ලංකාවේ ජිවත් වන ඔබට එවැනි භාග්‍යක් නොමැතිවීම මටද දුකක්. මගේ යාලුවෙකුගේ පිහිටෙන් ගිය සතියේ දළදා හාමුදුරුවන් වැඩ සිටින ඇතුළු කුටියට පිවිස වැඳීමට භාග්‍යයද ලැබුනා.එම වාසනාව ඔබට නැති එකට මම මොනවා කරන්නද? අවුරුදු 36ක් වයසැති බැංකු විධායක නිලධාරියෙක්වූ මගේ පුතා මෙන්ම සමාගමක විධායක නිලධාරිනියක්වූ මගේ යේලි දිනපතාම රැකියාව සඳහා ගෙදරින් පිටත් වන්නේ මට වැඳලයි.ඔබට එවැනි ලැබීමක් තියෙනවාද?
      මා සිතන්නේ ගමනක් යනවිට මාලිගාවට හෝ ගැටඹේ බෝ ගහට පඬුරක් දැමීම පුරුද්දක් ලෙසින් කරන නිසා එවැනි ලැබීම මට තිබෙන බවයි. රියදුරෙකු ලෙසින් මට පොලිසියෙන් කරදර ඇති නොවන්නේද එනිසායයි මා සිතනවා.

      Delete
    3. @ සමරසේකර මහතා.

      කිසිම ආකාරයකින් අදහස් වාරණයක් නොකරමි. අසභ්‍ය දේ පමණක් වාරණය කරමි. ඔබේ අදහස් දැක්වීම ස්පෑම් ගොඩේද නැත. කිසියම් තාක්ෂණික දෝෂයක් බව පෙනෙයි. කිසියම් සිත්වේදනාවක් ඇතිවූවා නම් මගේ කණගාටුව ප්‍රකාශ කරනවා. මට බලන්න අමතක වුණා ඔබ මගේ වර්ඩ්ප්‍රෙස් අඩවියේ එම කමෙන්ට් එක දැම්මාද කියා. http:jangun.wordpress.com

      රසික සහ සමරසේකර මහත්වරුනි.

      මම පුරුද්දක් වශයෙන් පින්කැට වලට මුදල් නොදමමි. මම කරනදේ කියන්නේ පම්පෝරියක් ලෙස නොවේ. මම සෑම මසකම සැලකියයුතු මුදලක් අපේ ගෙදරට පේරු දානය හිමි දිනයේදී පන්සලට පූජා කරමි. පින්කැට වලට පඬුරු දැමීමට මා අදහස් නොකරන්නේ මගේ හමුදා සේවා කාලය තුළ පින්කැට පිළිබඳව මා ලබා ඇති අමිහිරි අත්දැකීම් නිසාය. පින්කැට වලට සල්ලි දම්මවා ගැනීමට රසික කියා ඇති ආකාරයේ කතා සමහර තැන්වල හදලා ඇති. ඒ ගැන පුදුම වෙන්නේ නැහැ.

      මට රියදුරකු වශයෙන් මාස තුනකට වරක්වත් පොලීසියෙන් දඩ වදිනවා. එහෙත් මා පැහැදිලිවම දන්නවා ඒවා අනිවාර්යයෙන්ම මගේ වැරදි බව. දැනට නම් මාස පහකින් පමණ දඩයක් වැදී නැහැ. මේ මෑතකදී මම යාපනය සහ කිලිනොච්චි අතර පැ.කි.මී 110 වේගයෙන් රිය පැදවුවා. එය හපන්කමක්ද මෝඩකමක්ද කියා හිතන්න මට අවශ්‍ය නැහැ.

      බොදුනුවන්ගේ පිළිවෙත් මා ඉහලින් අගය කරනවා. එයින් යහපත් ප්‍රතිඵල ජීවිතයට ලැබෙන බවත් විශ්වාස කරනවා.

      Delete
    4. මගේ වර්ඩ්ප්‍රෙස් අඩවියේ ලිපිනය විකෘතියක් සහිතව ඇතුළුවී තිබේ. නැවතත් දමනවා. නැවතත් විකෘතිවේදැයි දන්නේ නැහැ.

      http://jangun.wordpress.com

      Delete
    5. සමරසේකර සමග හෝ පන්සල්වලට ආධාර කිරීම ගැන හෝ පින් පෙට්ටවලට සල්ලි දැනීම ගැන හෝ මගේ පුද්ගලික ආරෝවක් නැත.

      මගේ විරුද්ධත්වය ඇත්තේ ගැටඹේට සල්ලි දැමූ ආනිසංසයෙන් මාර්ග නීති කැඩුවත් පොලිසියෙන් බේරී යන්නට හැකි බවට සමරසේකර විසින් දිගින් දිගටම පතුරවන මිථ්‍යා මතය ගැනයි.

      මිථ්‍යාවට අමතරව එය රටේ ගමනාගම පද්ධතියේ ආරක්‍ෂිතබව ගැනද ප්‍රශ්න මතු කරයි.

      විශේෂයෙන්ම පසුගිය වසර දහයක පමණ කාලය තුළ මහින්ද රාජපක්‍ෂ සහ ඔහුගේ ගජමිතුරන ්විසින්, කේන්දර, සාස්තර, වශී බෝල, ගුරුකම්, හුනියං, පුද පුජා, බලි පුජා යනාදී විවිධ මිථ්‍යාවන් රට පුරා පැතිරවූ තත්වයක, ඒ කටයුතුවලින් සමාජ ප්‍රගතියට වූ හානිය තවත් වසර ගණනනාවක් තිස්සේත් පවතින ලකුණු ඇති සමයක, පන්සලට පඬුරු දී මාර්ග නීති කඩා පොලිසියෙන් කට්ටි පැනීමට හැකිය යන මිථ්‍යාව පැතිරවීමට ඉඩ දිය හැකිද?

      Delete
    6. සමරසේකර මහත්තය කැමති පින් කැටේකට පඬුරු දාන එතුමගෙ අයිතිය උනත්, ඒ නිසා ට්‍රැෆික් පොළිසියට අහුනොවී යන්න ලැබෙනව කියන එක ප්‍රසිද්ධියෙ කිය කිය යන එකෙන් එතුම තමන්ටම අපහාසයක් කරගන්නෙ. මොකද ලංකාවෙ පාරවල් වල සහ පොළිසියෙ තත්වෙ අනුව දඩයක් නොකා ගමණක් යන එක දක්ෂ කමක්. ඒ දස්ස කම කරන්න කෙනෙකුට හැකියාව, ඉවසීම වගේම යම් වාසනාවක් ත්යෙන්නත් ඕනෙ. නමුත් ඔය එකක්වත් අනෙකෙන් වියුක්තව වඩා වැදගත් කියන්න බෑ, ඒ තුනම අවශ්‍යයි.

      හැබැයි අර කැටේට දාන පඬුර නිසා යම් වාසනාවක් පෑදෙනවාය කියලත්, ඒ වාසනාව නිසා වැරදි කලත් අහුවෙන්නෙ නෑය කියලත් කෙනෙක් කියන්නෙ, ඒ කෙනා පඬුරු කැටේ ප්‍රමෝට් කරන අදහසින් වෙන්න ඕන!

      Delete
    7. මම කොහෙවත් කිසිම පන්සලකට පල්ලියක සල්ලි දාන්නේ නැහැ. අපේ අම්මා ඉල්ලන වෙලාවට එයාට ගිහිල්ල දාන්න නම් දෙනවා. මම හුඟක් වෙලාවට එතන (පින් කැටේ ) ළඟ ඉන්න යාචකයෙකුට සල්ලි දෙන එකනම් කරනවා. මා උගත් බුදු දහමට අනුව නොපෙනෙන දෙවියන්ට අරුන්ට මුන්ට වඩා යාචකයෙකුට මුදල් දෙන්න මම කැමතියි.
      මම සාමාන්‍යයෙන් වේග සිමාව පැයට සැ 70 වුනාට (පැයට කිමි 110) පැයට කිමි 130 ට තමා (පැයට සැ 80) මෝටර් වේ එකේ යන්නේ. පහුගිය නිවාඩු කලේ මේක 90-100 දක්වා ගියා එලියට යනකොට. (පැයට කිමි 160) ඈත යන්න වෙලා . ලොකු කමකට හෙම කියන දෙයක් නෙමේ. නයාට කියන දේකුත් නොවේ. තවම පොලිසියට අහු වෙලා නැහැ. අර යාචක මහත්තුරුන්ට උදව් කරන නිසා වෙන්න ඇති නේද?
      අනික ලේලියකගෙන වැදුම් පිඳුම් ලැබීම පින්වත් කමක්ද වැඩවසම් චාරිත්‍රයක්ද යන්න මම නම් දන්නේ නැහැ. මගේ සොහොයුරියක් මස්සිනාට දන ගහල වඳින්න ගියා බැන්දට පස්සේ. මන් එයාට කිවේ තාත්ත එයාලට ඉගැන්වුයේ ඕව කරන්න නෙමේ කියල. මස්සිනාටත් කෙලින්ම කිව්වා ඕවට එන්න එපා කියල. හැබැයි මම එයාට කීව මස්සිනාගේ මවට වැන්දට නම් කමක් නැහැ ලේලි වශයෙන් නෙමේ , ඒ මනුස්සය අමාරුවෙන් හොඳ ළමයි හදල ලෝකෙට දුන්න එකට කියල.

      Delete
    8. අපිනම් පඬුරු දාන්නේ පොලිසියේ මහත්හොරුන්ගෙ පොකට් එකට .ඊට පස්සේ කිසිම කරදරයක් නැතිව යන්න පුළුවන් ...

      Delete
    9. @ රසික.

      කේන්දර, සාස්තර, යන්තර මන්තර ගැන ඔබ කියා තිබෙන සියල්ලටම එකඟයි.

      මම අද උදේම පුකෙන් හිනායන ප්‍රවෘත්තියක් දැක්කා රූපවාහිනියේ. කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා රජයෙන් ඉල්ලනවා දේශපාලනඥයකු නොවන කෙනෙක් බස්නායක නිලමේ හැටියට පත්කරන්නලු. ඇයි යකෝ එතකොට කතරගම දෙයියන්ට බලයක් නැද්ද ඒ වගේ වැඩ වලක්වන්න? කතරගම කන්දසාමි අදහන අයට මෛත්‍රීපාල සිරිසේනගේ පිහිටයි.

      @ ඉන්දික.

      ඔව් මමත් විශ්වාස කරන්නේ නැහැ. දානේ දවසට පන්සලට සල්ලි පූජා කරලා එන ගමන් පාරේ හිතුමතේට වාහනේ එලෙව්වොත් පොලීසියට අහුවෙන්නේ නැහැ කියලා.

      @ අජිත්

      සම්පූර්ණයෙන් එකඟයි.

      @ සින්දු ඇනෝ.

      අන්න හරි බං. ඒක තමයි නියම පින් කැටේ. ඒකට සල්ලි දාලා අපි උන්ගේ අම්මල තාත්තලාත් මතක් කරනවනේ :e

      Delete
    10. @ක.කා.
      ප්‍රශ්නයට මුල්වූ හේතුවට නොපැමිණ පඳුරු තලන්නේ මොකද? මුල් හේතුව ඔබ මල්වත්තේ නායක හාමුදුරුවන්ගේ නිලනිවාසය ගැන නරුම අදහස් පල කිරීමට එරෙහිව මා උත්තර ලිවීමයි.මා ඔබට පමණක් නොව භික්ෂුන් වහන්සේලාට අපහාස කරන සියලුම දෙනාට උත්තර ලියල තියෙනවා.අන්වර් මනතුංග මගේ උත්තර පල නොකලාම මම ඒකට blog එකක් පටන් ගත්තා.මා කියන්නේ මහනුවර යුගයේ සිටි ගනින්නාන්සේලා උවත් සාමාන්‍ය මිනිසුන්ට වඩා උසස් බවයි.
      මා සිතුවේ ඔබ බුධිමතෙක් බවයි.නමුත් ඔබ සහතික දරන්නෙක් මිස බුද්ධිමතෙක් නොවන බව මට පසක් වන්නේ ඔබට ඉඟි නොතේරෙන නිසයි.මා ගිය විදේශයන්හිදී ගල් නොවුනේ නිදහස් අධ්‍යාපනය ලැබීමෙන් මා රටටවු නය තවමත් ගෙවා නැතැයි කීමෙන් ඔබට කල ඉඟිය ඔබ නොවටහුනාසේ මට අපහාස කරයි.මගේ 34 හැවිරිදි පුතා රැකියාවට යාමට පෙර දෛනිකව වඳින බවට කීමෙන් මා ඉඟි කලේ මා ඔබ මෙන් මා ගිය රට වලදී ගල් නොවීමෙන් මා ලද යහපත පෙන්වීමටයි.සිංහල කතාවක් තියෙනවා ඉඟි නොතේරෙන එකාට කෙලමෝලෙන් ඇන්නත් තේරෙන්නේ නැහැ.කියල.ඔබ ගල් වීමෙන් ලද ප්‍රතිඵලය වුනේ ඔබට ඔබේ වසර 15ක් වූ දියණිය හසුරුවා ගැනීමට නොහැකිවීම කියා මා කෙලින්ම කියනවා. අනුන් ගැන දොස් දකින්නට පෙර තම ගෙදර දොස් දකින්න සහ ඒවා නිවැරදි කරගන්න පුරුදු වෙන්න. ඔබ මේ ජන කවිය අහලා ඇතැයි මා සිතනවා.
      "එකක් කඩතොළු මකා ගන්නට ගොසින් සිදුවූ කාරියා
      දහක් කඩතොළු හදාගත්තයි කම්මලේ ආචාරියා "
      සමරසේකර

      Delete
    11. @ සමරසේකර,

      හා, හා, හා! සභාවේ සිනා.

      නමුත් මා හිතුවා වැරදියි.

      දැන් කාලයක සිට ඔබ අන්තර්ජාලය තුල ගැටඹේ වැන් පන්සල්වල පින් පෙට්ටිවලට සල්ලි දැමූ විට ගර්හිත තත්වයේ වාහන, මාර්ග නිති ද කඩමින් පොලිසියෙන් බේරී පදවාගෙන යන්නට මැජික් බලයක් ලැබේ යැයි මිත්‍යා මතයක් පතුරවමින් සිටිනු දුටු මා,. (ඔබ මගේ පියා උගත් විශ්ව විද්‍යාලයේ ම උපාධිධාරියෙක් වුනත්), යම් දුරකට අමනයෙක් ය කියායි සිතා සිටියේ.

      එය තවත් තහවුරු වූයේ ඔබ ජාතිවාදියෙක් බවත්, වශී බොල්ලකාර මිත්‍යා දෘශ්ඨික පර්සි මහේන්ද්‍රගේ පරාජයෙන් පසු කුජීතව තුවාල ලෙවකමින් සිටින්නෙකු බව W3Lanka බ්ලොගයේ ඔබ තබා තිබුණු විවිධ ආඩපාලි ප්‍රතිචාරවලින් දුටු නිසයි.

      නමුත් මා වැරදි බව මට වැටනුණා.

      ඔබ අමනයෙක් නොව කපටියෙකි.

      කපටියන් ගේ මූලික උපක්‍රමයක් වෙනුවේ, තර්කයෙන් ජය ගනු නොහැකි වූ විට, වාද කරන්නා ගේ පුද්ගලික දේ, පවුලේ තොරතුරු, බිරිඳ, දරුවන් වැනි දේ ගැන ආඬපාලි කියන්නට පටන් ගැනීමයි.

      ඔබ අද පෙන්වූයේ ඒ නිරුවතයි!

      1. මා හෝ කතන්දරකාරයා හෝ මල්වත්තේ පන්සලට හෝ බුද්ධාගමට හෝ සාදුලාට හෝ අපහාස කර ඇති තැනක් පෙන්වන මෙන් ඔබට මා කීප විටක්ම අභියෝග කර ඇත.

      2. මගේ දියණිය ගේ අනාගතය ගැන තීරණ ගන්නේ ඇය විසිනි. ඇය වසර පහළොවේ දී කලා විෂයන් කිරීමට තීරණය කිරීම සහ ගැටඹේ පන්සලට පඬුරු දමා, මාර්ග නීති කැඩීම අතර ඇති සම්බන්ධය කුමක්ද? ඇගේ මව හා පියා විද්‍යා විෂයන් හැදෑරු පමණින් ඇයත් එය කළ යුතුද? නිසි කලවයස එළැබුණු විට ඇය තම අනාගතය ගැණ ගන්නා අනෙකුත් තීරණද, මගේ බිරිඳ සහ මා අපේ අනාගතය ගැන තීරණ ගත්තාක් සේ, තම දියුණුව පිණිස ගනු ඇත.

      ඔබ කියන්නේ වයස 36 ක් යැයි කියන ඔබේ දරුවන්ව ඔබ තවමත් පාලනය කරනවා කියාද? මට ඔවුන් ගැන දුකක් ඇතිවේ!

      3. මා නිදහස් අධ්‍යාපනය ලැබුවේ ඔබේ මුදලින් පමණක් නොවේ. එයට රටේ ආදායම් බදු, තොග බදු, වෙළඳ බදු, ව්‍යාපාරික බදු යනාදී සියළුම බදු අවසානයේ ගෙවූ පාරිභෝගික ජනතාව සම්මාදම් වූහ. එය ණයක් නම්, ඒ ණය මා ගෙවා අවසන් බව සළකන්න.

      මේ කරුණු කෙසේ වෙතත්, ඔබට මා අනුකම්පා කරමි. කරන බණ භාවනාවක් කරගෙන සතුටෙන් කල් ගෙවීමට ලැබේවා යැයි ඉත සිතින් පතමි.

      ඔබට පර්සි මහේන්ද්‍ර ගේ සරණයි.

      Delete
    12. මට මුලින්ම මෙසේ ද සිතුණා.

      ගැටඹේ වැන් පන්සල්වල පින් පෙට්ටිවලට සල්ලි දැමූ විට ගර්හිත තත්වයේ වාහන, මාර්ග නිති ද කඩමින් පොලිසියෙන් බේරී පදවාගෙන යන්නට මැජික් බලයක් ලැබේ යැයි මිත්‍යා මතයක් ඔබ පතුරවමින් සිටින්නේ ඔබ ඒ පිං පෙට්ටිවලට අරක් ගත්, ඒ මුදලෙන් කොමිස් ලබන බහිරවයෙක් ද?

      කෙසේ වෙතත් ඔබ එතරම් පහත් පුද්ගලයෙක් නොවේ යැයි පසුව මට සිතුණා.

      මෙහිදී මා නිවැරදිය යයි සිතමි.

      Delete
    13. ක.කා.
      ඇත්ත හරිම තිත්තයි යි නේද? මුලින්ම කාණුවට බැස්ස ඔබට මා ඉතා අකමැත්තෙන් උත්තර දුන්නත් මේක මගේ blog එක නොවන නිසා එයතවත් ඉදිරියට ගෙන යාමට මා අකමැතියි. . මා ඔබ වැනි බුදු දහම සහ සඟරුවනට අපහාස කරන නරුමයන්ට උත්තර දිමට තමයි මා අන්වර් මනතුඟට පිළිතුරු කියල blog එකක් පටන් ගත්තේ.ඔබේ වසුරු මේකෙ විසි කරන්නේ නැතිව ඒකට ඇවිත් කටමැත දොඩවන්න.
      සමරසේකර

      Delete
    14. කකා / සමරසේකර

      මහත්වරුනි,
      සභ්‍ය භාෂාවෙන් අදහස් දක්වනතුරු මේ සංවාදය හෝ විවාදය ඔබ දෙදෙනා මෙහි ගෙනගියාට මාගේ විරුද්ධත්වයක් නැත.

      Delete
  21. වැව උඩින් පාලමක් දැමීම හොඳ බවයි මටත් පේන්නේ.
    ඔය සංඝරාජ මාවතත් පළල මදි. අනතරුදායකයි.

    ReplyDelete
    Replies
    1. පාලමක් දානවානම් නගරයේ ඓතිහාසික වැදගත්කම සහ අලංකාරය ගැනද තදින් සිතා බැලිය යුතුයි. ඒ නිසයි මම කියන්නේ මගේ යෝජනාව එකම විසඳුම නෙවෙයි කියා.

      Delete
  22. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15531-2015-01-27-18-43-09
    රට කරවන අය‍ට පෙනෙයි කියා හිතනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත් මේ ගැන මාව දැනුවත් කලාට. මා හිතනවා මගේ ලිපියේ යම් හරයක් ඇති නිසා ලංකා නිව්ස් වෙබ් අඩවිය විසින් මෙය තෝරාගන්නට ඇතැයි කියා.

      Delete
  23. විචාරක මහත්මයා, මේ ලින්ක් එක ඔබලාගේ බ්ලොගයට දැම්මේ ඒ ගැන විරුද්ධත්වයක් තිබේද කියා දැන ගන්න. අපි කෙනෙක් ගෙන් නොඅහ මුකුත් අරන් පල කරන්න කැමති නැහැ වගේම, ඒ ගත් ලිපියේ මුලාශ්‍රයත් සඳහන් කරනවා. ඔබේ filed marshal ල ගැන ලිපියටත් ලින්ක් එක දුන්නා එතන. ඒකට මුකුත් කිව්වේ නැති නිසා මේක දැම්මේ.
    දැන් මාතලන්, මාධවී, ඉවාන් වැනි අයගේ බ්ලොග් වලට ලින්ක් දාන්නේ නැහැ. ඔවුන් LNW එකේ පල කිරීමට විරුද්ධ නැති නිසා. අලුතෙන් දාන හැම එකකටම ලින්ක් එක දෙනවා ඒ පිලිබඳ අදහස පල කරන්න .
    ස්තුතියි.
    නෙලුම් යාය සංස්කාරක

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ. උපුටාගත්තේ කොතනින්ද කියා සඳහන් කර පලකරනවාට මාගේ විරුද්ධත්වයක් නැහැ.

      Delete
  24. හොහෝ.. පුද්ගලික වැඩ අධික උන නිසා දවස් දෙක තුනකින් එන්න බැරි උනා මේ පැත්තේ. නිවාඩු දවසෙන් බාගයක් ගියා ලිපියයි කොමෙන්ට් ටිකයි කියවන්න... හැක් හැක්..

    විචාරක තුමා මගේ පෞද්ගලික අදහසනම් මහනුවර වෙළඳ නගරය හා පූජා නගරය වෙන් කල යුතු බවයි.. හොඳ සංවර්ධන සැලැස්මකින් පරිපාලන කේන්ද්‍රස්ථාන හා වෙළඳ කටයුතු යම්තාක් දුරට පූජා නගරයෙන් ඈත් කල හැකිනම්, බොහෝ දුරකට නොවෙයි, එය පහසුවක්. තව ගැටළුවක් තමයි මහනුවර අවට තිබෙන ප්‍රධාන පාසැල්. මං හිතන්නෙ නෑ මේවා ලෙහෙසියෙන් වෙනස් කල හැකියි කියා. ඒ නිසා පෞරාණික හා සංස්කෘතික වටිනාකම් ඇති ස්ථාන එලෙසෙම රැකෙන් පරිදි වානිජ වටිනාකම් සහිත ස්ථාන වෙනස් කිරීමත්, හොඳ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමත් ඉතාමත් වටිනවා.. බදුල්ල හා මහියංගනය දක්වා යන වාහන වලට පමණක් මහනුවර නගරයේ සිට තැන්නේකුඹුර පාළම ආසන්නයට වෙනත් අතරමැදි පිවිසුම් නැති මාර්ගයක් හදල දෙන්න පුළුවන්නම් වටිනව. ඒ වගේම තැන්නේකුඹුර දෙස සිට පැමිණ මාතලේ පාරට යන වාහන ලේවැල්ල පාරෙන් කටුගස්තොට දෙසට යොමුකල හැකියි නේද? ඒ මාර්ගයත් සංවර්ධනය කල යුතුයි එසේ වනවා නම්.

    අවසාන වශයෙන් කීමට ඇත්තේ මහනුවර ට්‍රැෆික් එකටනම් ඉක්මණින්ම මොකක් හෝ කල යුතු බවයි.

    ReplyDelete
  25. කලින් ආවත් ප්‍රමාදවී ආවත් මට වටින්නෙ ඔබේ අදහස්. ඒ සඳහා ඔබ පැමිණෙන කොයි වෙලාවත් මට එකයි.

    ඇත්තෙන්ම ඔබේ අදහස් ඉතා අගය කරනවා.

    1. මහනුවර නගරය ආසන්නයෙන් හා අවටින් යන මාර්ග පුළුල් කොට, නගරය මගහැර යා හැකි සීඝ්‍රගාමී මාවත් Express way නොපමාව සැකසීමෙන්, නගරයේ තදබදයට විශාල සහනයක් ලැබෙනවා.

    2. නගරය වාණිජ නගරය සහ පූජා නගරය වශයෙන් වෙන් කිරීමෙන් පූජා නගරයේ ගෞරවය සහ අභිමානය මෙන්ම අලංකාරය හා නිස්කලංක බවත් රැකෙනවා.

    3. බෝගම්බර බන්ධනාගාරය තිබුණු ඉඩමේ ඉතා පරිස්සමෙන් සිතා බලා මහලේකම් කාර්යාලයක් හැදීම සුදුසු බව පෙනෙනවා. එවිට රාජ්‍ය ආයතන සහ බංකු ආදිය එහි ගෙනගොස් පූජා නගරය නිදහස් කලහැකියි.

    4. පාසල් වෙනස් කරන්නට නොහැකියි. ඒවා වෙත යන මාර්ග, බාධාවකින් තොරව යාමට හැකිවන පරිදි සැකසිය යුතුයි.

    5. මහනුවර වාහන තදබදය මගහැරවීම, ඇත්තටම ඕනෑකමක් තිබෙනවානම්, අමාරු දෙයක් නොවේ.

    ReplyDelete
  26. ඔය විදිහට මාර්ගයක් ඉදිකිරිමට හැකිනම් එය හොද අදහසක්...

    ReplyDelete
    Replies
    1. මා කියන්නේ නැහැ, කලයුතු එකම දේ, මා යෝජනා කරන විසඳුම කියා. මේගැන යෝජනා ගෙනෙන්න මට වඩා සුදුසු අය දහස් ගණනක් ඇති. ඒ නිසා, රජයේ වගකීමක් තිබෙනවා, විද්වත් කතිකාවක් ඇතිකොට, විසඳුමක් සොයන්න.

      Delete
  27. හරිම වටින ලිපියක්.
    ගොවිපොලවල්වලට නම් කිසිම කරදරයක් නැතිව ශ්‍රමය සොයාගන්න පුළුවන් නිසා ඉතාම සාර්ථක ඇති. දැන් තියන ලොකුම ප්‍රශ්නයක්නෙ ශ්‍රමය.
    යුද්ධය කියන්නෙ විද්‍යාවක් බව මේව කියවනකොට පැහැදිලි වෙනව.වඩා විද්‍යාත්මක වන පාර්ශ්වය දිනනවා.
    රහස් භාෂා නම් හරිම රසවත්.

    ReplyDelete
    Replies
    1. මේ අදහස් දැක්වීම මේ ලිපියට අදාළ නැහැ නේද? මා හිතන්නේ යම් වැරදීමක් වෙලා තියනවා. ඉතා කාරුණිකව ඉල්ලනවා මගේ අදාළ ලිපිය වෙත ගොස් මේ අදහස් දක්වන ලෙස.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }