මා දන්නවා, ඔබ, 'අළු යට ගිණි හෙවත් අතයට සෙල්ලම්' ලිපියේ, ඊළඟ කොටස බලාපොරොත්තුවෙන් සිටින බව. නමුත්, ඒ කොටස සංස්කරණය ඉතා දුෂ්කර සහ, වගකීමෙන් කලයුතු කාර්යයක්. එය නුදුරේදීම එළිදක්වන්නම්. තවමත් මා තරමක් කාර්ය බහුලවයි ඉන්නේ. ඒ නිසා, මෙවැනි සරළ ලිපි ඉදිරිපත් කිරීමට පමණයි, අවකාශ තිබෙන්නේ.
මා සමහර බ්ලොග් ලිපිවල, ඔබට කියා ඇති, මට අක්කලා තුන්දෙනෙක් සිටින බව. අද මම ගියා, කෑගල්ල නගරයේ පදිංචි, මගේ දෙවැනි (මද්දුම) අක්කා බලන්න. හෘදයාබාධයකට ලක්වීමෙන් පසු, බයිපාස් සැත්කමකට ලක්ව, හය මාසයක් පමණ ගතවුනත්, ශල්‍යකර්මයට අදාළ යම් යම් සංකූලතා මතුවීම හේතුවෙන්, ඇය දැඩි දුක් විඳිනවා. ඇයව, ශල්‍යකර්මය සඳහා සිහිනැති කළෙත්, දැඩි අවදානමක් සහිතවයි. යළිත් වරක්, කුමන හේතුවක් නිසාවත්, ඇයව සිහිනැති කළ නොහැකි බවයි වෛද්‍ය මතය.
අක්කා ගැන වෙනම ලිපියක් ලියන්න තරම් කරුණු තිබුණත්, එය පසුවට තබනවා. මට වයස අවුරුදු 7 - 8 කාලයේදී මා නිදාගත්තේ අක්කා ළඟින්. අක්කාගේ ගෙදරදී මට අහම්බෙන් නෙත ගැටුනා, මා කුඩා කාලයේ අපේ ගෙදර තිබුණ පැරණි පින්තූර දෙකක් සහ, මා තරුණ කාලේ පෙනීසිටි එක් පින්තූරයක්. මේ පින්තූර ඇසුරෙන්, යම් යම් අතීත මතකයන් මෙන්ම, පොදුවේ කාටත් කතාකළහැකි කරුණු තිබෙන බව පෙණුන නිසා, ඒ පින්තූර ඔබේ අවධානයට ලක්කරනවා. මෙන්න පළමුවැනි පින්තූරය.
මේ පින්තූරය 1940 දශකයේදී ගන්න ලද පින්තූරයක් කියා කීමට සහ මේ පින්තූරයේ පසුපස පේළියේ, ඔබේ වම් අත පැත්තේ සිට හතර වැනියා ලෙස සිටින්නේ, මගේ පියා කියා කීමටත්, ඊළඟට ඉන්නේ, කොළඹ යුගයේ සුප්‍රසිද්ධ කවියකු වූ, 'උඳුගොඩ නවරත්න' මහතා කියා කීමටත් පමණයි, මා දන්නේ. මගේ පියා ඉපදී තිබෙන්නේ 1914 ජූනි මස 1 වැනිදා. මගේ මවගේ උපන්දිනය, 1918 අගෝස්තු මස 15 වැනිදා. වසර ගණනාවක ප්‍රේම සම්බන්ධයකින් පසුව තමයි ඔවුන් විවාහවී තිබෙන්නේ. මෙන්න පෙම් කතාව, හැකිතරම් කෙටියෙන්.
පෙම්වතා සහ පෙම්වතිය දෙන්නම, ගුරු වෘත්තියේ සේවය කළ අය. දෙවැනි ලෝක යුද්ධ කාලේ, ලංකාවේ ක්‍රියාත්මකවී තිබෙනවා 'ආහාර නිෂ්පාදන ව්‍යාපාරය' නමින්, කෘෂිකාර්මික කටයුතු වේගවත් කර, යුද්ධය නිසා, රට තුළ ආහාර හිගයක් ඇතිවීම වැලැක්වීමේ ව්‍යාපාරයක්. මේ දෙන්නම ඒ ව්‍යාපාරයට සම්බන්ධවී සිටින අතර තමයි, ප්‍රේම සම්බන්ධය ඇතිවී තිබෙන්නේ. (මේ දෙන්නා, ඒ කාලේ හුවමාරු කරගත් සෙනෙහෙකොළ, ඒ කාලේ තිබුණු, මැලිබන් ක්‍රීම් ක්‍රැකර් බෙලෙක් පෙට්ටි හතරක පහක පමණ පුරවා තිබුණ බව, මගේ අක්කලා කියනවා. හැබැයි බොහොමයක් ඒවා ලියා තිබෙන්නේ, සුද්දාගේ භාෂාවෙන්ලු. ඉතිං අපේ අක්කලා, බොහොම අමාරුවෙන්, වචන ගැට ගහ ගහ, ඔව්වා කියවන්න උත්සාහ කරනවා දුටු පෙම්වත් මව, එව්වා ගිනිදෙවියාට පූජා කලාලු) ෆුල් ඉංගිරිසි ලව්. පෙම්වතා පෙම්වතියට තෑගි දුන්, හොඳ ඉන්දියන් සාරියක්, රු 3.50 යි ලු. හැබැයි පෙම්වතාගේ මාසික වැටුප, රු 14.50 යි ලු.
පෙම්වතා බෞද්ධ. පෙම්වතිය කතෝලික. පෙම්වතාගේ පියා තේ කම්හල්වල යන්ත්‍ර සූත්‍ර නඩත්තුව භාර ලොකු බාස්උන්නැහේ කෙනෙක්. (ඒ කාලේ සිංහල සමාජය ෆෝමන් කියන වචනය පාවිච්චි කළේ නැහැ) පෙම්වතා අහිංසක ගැමි තරුණයෙක්. පෙම්වතියගේ පියා, සහකාර වතු අධිකාරි කෙනෙක්. ගෙදරදී කතා කරන්නෙත් ඉංග්‍රීසියෙන්. (මම ඔහුව දැක තිබෙන්නේ වාර දෙකතුනක් පමණයි. ඔහු, රාත්‍රී ආහාරය සඳහා, කෑම මේසයට එන්නේ, කලිසම් කමිස සපත්තු සහිතව. ඒ කාලේ අධිරාජ්‍යවාදී ස්වරූපය ඔවුන් තුළ මියයනතුරුම තිබුණා) පෙම්වතා ගමේ ඉස්කෝලෙට ගිය කොල්ලෙක්. පෙම්වතිය, කන්‍යාරාමයක, ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ තරුණියක්. මේ නිසා පෙම්වතියගේ පැත්තෙන්, පෙම්වතාට මහා විරෝධයක් එල්ලවෙලා තියනවා. (බයියෝ සහ ටොයියෝ?) ඔන්න ඉතිං පෙම්වතා සහ පෙම්වතිය, හින්දි චිත්‍රපටියක වගේ, සින්දුවක් එහෙම කියාගෙන ඉන්න කාලේ, දෙවැනි ලෝක යුද්ධයේ බලපෑම ලංකාවටත් ආවා.
'කාපිරි' නමින් හැඳින්වුණු, අප්‍රිකානු ජාතික සොල්දාදුවන්, සුදු ජාතික පාලකයන් විසින් ලංකාවට ගෙනාවා. එක දවසක්, මෝටර් බයිසිකලයක ගමන්ගත් මේ කාපිරියන් දෙදෙනෙක්, පෙම්වතිය සහ ඇගේ යෙහෙළියන් මහමග යද්දී, මග හරස් කර, අනඟ රැඟුම් පාන්නට සූදානම් වුණාලු. ඒ බව දුටු පෙම්වතා, ඔහුගේ මිතුරන් දෙදෙනෙකුගේද සහාය ඇතිව, අර කාපිරියන් දෙන්නාගේ හොම්බට ඇන, පෙම්වතිය බේරාගත්තාලු.
ඔන්න ඉතිං මේ 'මහා වීරක්‍රියාව' ගැන පැහැදුණු පෙම්වතියගේ පියා, බාස් උන්නැහේගේ පුතාට, තම වැඩිමහල් දියණිය, (ඇයට බාල නැගණියන් හය දෙනයි. ඒ පවුලේ පිරිමි දරුවන් නැහැ) සරණ පාවා දුන්නා. පුදුමේ කියන්නේ, දෑවැද්දට බෝර් 12 පතරොම් තුවක්කුවකුත් දීලා තියනවා. (1971 කැරැල්ල සමයේදී පොලීසියට බාරදුන් ඒ තුවක්කුව, ආපසු ලැබුණේ නැහැ) මම හිතන්නේ, 'පාලනය අපහසු වුණොත්, තුවක්කුවෙන් පාලනය කරපන්' කියලා, මාමා බෑණට කියන්න ඇති. විවාහයෙන් පසු, මගේ මව, බුද්ධාගම වැළඳගෙන තිබෙනවා. (තාත්තා, අර තුවක්කුව ඔලුවට තියලා, කිව්වද දන්නේ නෑ, බුද්ධාගමට වරෙන් කියලා) ඇය ඉතා ඉහළ බෞද්ධ ධර්ම ඥානයකින් යුක්ත බව මට හොඳට මතකයි.
ඔන්න ඒ ආදර කතාව එතනින් ඉවරයි. ආපහු පින්තූරෙට යමු. මේ පින්තූරය, මෙපමණ කල් ගියත්, තවමත් හොඳ තත්වයේ තිබෙනවා. පින්තූරය ගත්තේ 1940 කියා සිතුවොත්, අවුරුදු 70 කට වැඩියි. මුල් පින්තූරයේ ඇති ගුණාත්මක බව මේ මේ ස්කෑන් රූපයේ 100% ක් දකින්නට නැහැ. මුල් පින්තූරයේ, නාභිගත කිරීම කොතරම් ඉහළ තත්වයක තිබෙනවාද කියා දුටුවිට, පුදුම හිතෙනවා. අද මෙන් එදා දියුණු කැමරා කාච තිබුනේ නැහැ. මේ පින්තූර සඳහා කිසිදු ආලෝකකාරණයක් කර නැහැ. මේ පින්තූරය මත ක්ලික් කර විශාල කර බලන්න, පින්තූරයේ සිටින සෑමදෙනාගේම කොණ්ඩය ඉතා හොඳින් නාභිගතව තිබෙනවා. විශේෂයෙන් බලන්න, මුහුණේ සියළු විස්තර (details) ඉතා පැහැදිළිව නාභිගතවී තිබෙනවා.
කෝ මේ අපේ ඉන්නවා නේද, කැමරා කාරයෝ හැට හුටහමාරක් විතර. මේ පින්තූරේ තියන ඡායාරූපමය වටිනාකම් කියලා දීපල්ලකෝ අපිට.
ඊළඟට මේ පින්තූරය වැදගත් වෙන්නේ, මෙන්න මේ විදිහට. යම් කෙනෙකුට අවශ්‍යනම්, අපේ රටේ ඇඳුම් කාලීනව වෙනස්වී ඇති ආකාරය පිළිබඳව පර්යේෂණයක් කරන්න, මෙන්න මේවගේ පින්තූර, ඒ සඳහා රුකුළක් ලබාදෙනවා. බලන්න, මෙහි විවිධාකාරයේ ඇඳුම් කීපයක් තියනවා. පින්තූරයේ ඉදිරිපස පේළියේ ඉන්න, ප්‍රභූ පෙනුමෙන් යුත් පුද්ගලයා ඇඳ සිටින, 'ට්වීඩ්' නමැති රෙද්දෙන් කළ ඇඳුම, ඒ කාලේ බොහොම ජනප්‍රියයි. ඒ කාලේ සමහරු ඔය ඇඳුමේ, රෙද්දට යටින් දිග කලිසමකුත් අඳිනවා. පසු කාලයේදී, එය හාස්‍යයට ලක්වුනා, 'රෙද්ද අස්සේ මහත්තයා' කියලා. ඉදිරි පේලියේ දකුණු කෙලවරේ වාඩිවී සිටින කාන්තාව, සම්පූර්ණයෙන් පය වැසෙන ආකාරයේ සපත්තු පැළඳ සිටිනවා. කමිස ඇඳ සිටින අය, සම්පූර්ණයෙන් කර පියවා බොත්තම් දමා තිබෙනවා. ඔබේ නිරීක්‍ෂණත් කියන්න.
ඊළඟට පෙන්නන පින්තූරය 1960 දශකයේදී ගත් එකක්. පින්තූරයේ ඉන්නේ, මගේ පියා සහ මව. ඔවුන් දෙදෙනා මේ ඉන්නේ, මගේ පියා එවකට සේවය කළ, කෑගල්ලේ, හෙට්ටිමුල්ල (පසුව බණ්ඩාරනායක නමින් නම් කළ) මහා විද්‍යාලයේ, (අද මෙය ජාතික පාසලක්) ජ්‍යොෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර SSC පන්තියේ ළමුන් සමගයි. පන්ති භාර ගුරුවරයා මගේ පියා. බලන්න, මුළු පන්තියේම ඉන්නේ, ළමයි 13 දෙනයි.
ලස්සනයි නේද? මේ පින්තූරයේ, මගේ පියා ඇඳ සිටින උඩුකය ඇඳුම, ජාතික ඇඳුමේ උඩුකය කොටස නෙවෙයි. මෙය, ඝන රෙද්දකින් මසන ලද, දණහිසෙන් පහළට සිටින තරම් දිග, කොලරයේ සිය පහළට බොත්තම් විශාල ගණනක් තිබෙන ඇඳුමක්. මගේ මතකයේ හැටියට, මෙය හැඳින්වුණේ 'ෂර්වානිය' යන නමින්. මගේ පියා මෙය ඇන්දේ, විශේෂ අවස්ථා වලදී පමණයි. මගේ පියා පැළඳ සිටින සපත්තු දෙක, මට හොඳට මතකයි. එය, එංගලන්තයේ නිෂ්පාදිත, 'ජෝන් වයිට්' වර්ගයේ, දුඹුරු පැහැති සපත්තු කුට්ටමක්.
කොහොමද කොල්ලොටික කියා බලමු. පසුපේළියේ, ඔබේ වම් අත පැත්තේ මුලින්ම ඉන්න එකා, අද මගේ මස්සිනා. මේකා තමයි, මේ කතාවේ මුලින්ම කිව්ව, මගේ අක්කව ඩැහැගත්තේ. මරුමුස් පෙණුමයිනේ? බලන්නකෝ කොල්ලන්ගේ කොණ්ඩ ටික කොහොමද කියලා. අදනම් ඉස්කෝලෙන් එලවනවා. ඒ වගේම කෙල්ලන්ට විතරයි පාසල් නිළ ඇඳුමක් තිබෙන්නේ. කොල්ලන්ට නැහැ. එක එක ජාති ඇඳගෙන ඉන්නවා. ජාතික ඇඳුම ඇඳපු දෙන්නෙක් ඉන්නවා.
ගෑණු ළමයි දාලා ඉන්නේ එක එක ජාතියේ සපත්තු සෙරෙප්පු. ඒ කාලේ ඔය 'බැලරිනා සපත්තු' බොහොම ජනප්‍රියයි. ඔය ටයි එකට අපි කිව්වේ, 'හරක් දිව' කියලා. ඕක ගැට ගහන්නේ නැහැ. ඔය පෙනෙන කෑල්ල විතරයි තියෙන්නේ. කටුවක් ගහලා එල්ලගන්නවා. අද මේ ළමුන් සියලු දෙනා, ආච්චිලා සීයලා වෙලා ඇති. අපේ අක්කටත් දරුවන්ගේ දරුවෝ ඉන්නවා. වම් පැත්තේ මුලින්ම ඉන්න ගෑණු ළමයා, පුටුවෙන් වැටෙන්න යන එක වලක්වගන්න වෙන්න ඇති, එක කකුලක් ඈතින් තියාගෙන ඉන්නේ. එතනින් එහා, ඔබේ නිරීක්ෂණ වලට ඉඩ තබනවා.
අන්තිම පින්තූරේ, 1970 දශකයේ ගත්ත එකක්. මගේ අයියාගේ, හෝම් කමින් හෙවත්, 'ඇට්ෙටා්ං' එකේදී ගත්ත පින්තූරයක් මේ.
පසු පේළියේ, වම් අත පැත්තේ මුලින්ම ඉන්නේ, ගරු මමතුමා. කොහොමද ටයි පොල්ලයි කොණ්ඩෙයි? ඊළඟට ඉන්නේ, අපේ අම්මාගේ නැගණියන් අතරින්, වැඩිමල්ම පුංචි අම්මා සහ බාලම පුංචි අම්මා. ඊළඟට අද ජීවතුන් අතර නැති, මගේ මල්ලිලා දෙන්නා. අන්තිමට ඉන්නේ, මගේ අක්කල තුන්දෙනාගෙන් බාලම අක්කා. පුටුවල වාඩිවී සිටින පේළියේ, මුලින්ම ඉන්නේ මේ කතාවේ මුලින්ම කිව්ව, මගේ දෙවැනි අක්කා සහ එයාව ඩැහැගත්ත ගොබිලා. ඊළඟට අපේ තාත්තා. ඊළඟට නව යුවළ. මනමාලිගේ හැට්ටේ අත්දෙක කොහොමද? කොහොමද අපේ අයියගෙ කොණ්ඩෙ? ඊළඟට අපේ අම්මා, ලොකු අක්කා සහ ඇගේ ස්වාමි පූ......ර්ෂයා.
බිම වාඩිවෙලා ඉන්න කොල්ලෝ තුන්දෙනාම ලොකු අක්කගේ. කෙල්ලෝ තුන්දෙනාම දෙවැනි අක්කගේ. අද මුන් ඔක්කොම, දරුවෝ දෙන්නා තුන්දෙනා සිටින, අම්මලා තාත්තලා. බලන්න, 1940 දශකයේ ගත් පින්තූරය තවමත් සෑහෙන්න හොඳ තත්වයේ තිබියදී, 1970 දශකයේ ගත් පින්තූරය, සෑහෙන්න අබලන්වී තිබෙනවා. මෙහෙම වෙන්නේ, ඡායාරූප මුද්‍රණයේදී, ගුණාත්මක භාවය අතින් අඩුවීම කියලයි මම හිතන්නේ.
දැන් ඉතින් ඔබට හිතෙන දේ, මේ පින්තූරවල ඉන්න අයගේ පෞද්ගලිකත්වයටත්, මගේ ආත්ම ගෞරවයටත්, හානි නොවන පරිදි කියන්න.
2015 සැප්තැම්බර් මස 18 වැනි දින 0831 පැය.
අපේ තාත්තගේ පොටෝ එකතුවක තිබුනා තාත්තා 1950 ගනන්වල රිකිල්ලගස්කඩ මැටිබැඹිය ඉස්කෝල උගන්නන කාලෙ ගත්ත සරඹ් පන්තියක්.ඒකෙ සමහර පිරිමි ලමයි සරම අමුඩෙ ගහගෙන සරඹ කරනවා.
ReplyDeleteහරිම වටිනා පින්තූරයක්නේ. අපේ රටේ අධ්‍යාපන ඉතිහාසය පෙන්වනවා ඒ වගේ පින්තූර වලින්. මේ අඩවියේ කමෙන්ට් වලට පින්තූර දාන්න පුළුවන්. ඔබේ පින්තූරය ස්කෑන් කරලා, අප්ලෝඩ් කරලා, ඒ url එක ඔබේ කමෙන්ට් එකට copy, paste කරන්න.
Deleteඒක නම් හරිම වටින පින්තූරයක් තමයි. අමුඩ ඇදන් සරඹ කරන එක බුකියට දැම්මොත් උණු කැවුම් වගෙ ශෙයා වෙයි.
Deleteඇයි අර ජේවීපී එකෙන් අමුඩ ගහං කරපු විරෝධතා ව්‍යාපාරවල ෆොටෝ තියෙන්නේ!
DeleteThis comment has been removed by the author.
Deleteගමේ ගියහම හොයල බලන්න ඕනෑය.
Deleteමධ්‍යස්ථ
ඒ ලමයි සරඹ කරන්නේ ඇඳගෙන එන සරම අමුඩ ගහගෙන නැතුව අමුඩයක් විතරක් ගහගෙන නෙමෙයි
හරිම ලස්සනයි විචාරක. ඉතිහාස පාඩමක් වගේ. මේ වගේ අත් දැන් ආපහු මෝස්තරයක් වෙලා නේද? (හැට්ටවල අත් දිගට අඳින එක )
ReplyDeleteඉස්සරහා පෙලේ මැද ඉන්නේ ස්වීට් කෙලි පොඩ්ඩෙක්. (වමේ ඉඳලා තුන්වෙනියා ) විචාරක මාර හැන්ඩි පොර නේ ඒ කාලෙත්... :-)
ඇත්තටම අලුත් මෝස්‌තර කියලා එන්නේ පරණ මොස්තරම පොඩ්ඩක් වෙනස්කිරීම නේද?
Deleteඅපි ඉතිං කොයි කාලෙත් හැන්ඩියෝ (නොන්ඩියෝ?) තමා.
අර කෙලි පොඩ්ඩි දැන් බැංකු මැනේජර් කෙනෙක්. සෙලාන් බැංකුවේ.
සුන්දර පින්තූර ටිකක් විචාරක. අපේ ගෙදර තිබ්බ පරණ පින්තූර ටික සුනාමියෙන් විනාස වෙලා ගියා. මට මතකයි ඒ එක පින්තූරෙක අපේ තාත්තා දිගට සයිඩි බර්න්ස් වවලා, බෙල් බොටම් කලිසමක් කාරිය ගහලා ඉන්නවා...
ReplyDeleteහැමදාමත් වගේ වටින පෝස්ට් එකක්. නිතර කමෙන්ට් නොකළත් මේ ලිපි නිතර කියවනවා. ජයවේවා..
අපරාදයක් වෙලා තියෙන්නේ. ඒ වගේ පින්තූර නැතිවීම හරිම වේදනාවක්.
Deleteඅපි ඒකාලේ බෙල්බොටම් ඇන්දා. එලිෆන්ට් බෙල් කියලා ලොකු කකුලක් තිබුණා. අම්මලා බනිනවා උඹලගේ කකුල් වලට බරවා හැදිලද කියලා.
ටයි කොටයි විචාරක මහත්තයෝ...
ReplyDeleteකළබල වෙන්න කාරි නෑ... දැන් පොටෝ සොප් වලින් ඕන පින්තූරයක් පොස් විදියට හදාගන්න පුළුවන්... මම මේ ළඟකදි එහෙම පොටෝ එකක් ඉස්ටූඩියෝ එකකදි දැක්කා... මගුල් පොටෝ එකක්.. ඔරිජිනල් එකේ මනමාලයා ඉන්නේ පිජාමා සරමක් ගහලා, අත් දිග කමිසෙ ඇඳලා, ඒකට කලවෙන් භාගයක් හරියට ඉතර එල්ලෙන ටයි පොල්ලක් දාලා.. හැබයි හදපු එකේ ඒ මහත්තයම් ටයි කෝට් දාලා නියම ජැන්ටල්මන්.. දරුවොන්ට ලැජ්ජා ඇති උන්ගේ අම්මගෙයි තාත්තගෙයි මගුල් පොටෝ එක අර විදියට තිබුනම...
මතායියා දිග කමෙන්ටුවක් කොටලා...පොඩි විවෙකයක් ලැබිලා වගේ
Deleteඔය පරණ ස්ටුඩියෝ වල ප්‍රින්ට් කරල තියෙන ෆොටෝ වල පැන්සලෙන් අඩුපාඩු හදන එක දැනුත් කරනව.
Delete@ මාතලන්
Deleteඅ...ඩ්....ඩො...ව්...., ඔව්වා 'පවුමේ ටයි' හරිය?
මමනම් කියන්නේ පාන පින්තූර ෆොටෝෂොප් වලින් හැදුවට කමක් නෑ නමුත් මොකටද මිනිස්සුන්ගේ ඇඳුම් වෙනස් කරන්නේ. බොරු පුරාජේරුව නේ.
@ ප්‍රසන්න
ඉතාම සියුම්ව කළයුතු වැඩක් ඒක. නැත්නම් වැඩේ සවුත්තු වෙනවා.
ඔය පරණ පින්තූර වගේ කාලාන්තරයක් තියාගන්න අද කාලෙ තියෙන පින්තූර නම් බැහැ. හුඟක් වෙලාවට යොදාගන්න අමුද්‍රව්‍ය සහ රසායනික සංයෝග වල වෙනස්කම් වෙන්න ඇති. කොහොමත් Colour ෆොටෝස් වලට වැඩිය Monochrome (කලු සුදු හෝ ගුරු පාට වගේ තනි පාට ඒවා) ෆොටෝස් කල්පවතිනවා වැඩී. අඩු රසායනික ද්‍රව්‍ය මිශ්‍රණයක් යොදාගන්න නිසා වෙන්නත් පුලුවන්. (හරියටම කියන්න නම් දන්නෙ නෑ)
ReplyDeleteමුළු ඡායාරූපය පුරාම නාභිගත වීම ඉහල අගයක් අරන් තියෙන්නෙ ක්ෂේත්‍ර ගැඹුර ඉහල අගයක් ගන්න නිසා. ඒකට ගොඩක්ම හේතු වෙනවා ඇත්තේ ඉස්සර තිබුණු කැමරා වල ලොකු කාච පද්ධතියක් නොමැති වීමත්, Obscura වර්ගයට ආසන්නව නිපදවීමෙන් ඉතා කුඩා කාච විවරයක් තිබීමත් වෙන්න ඕනෙ.
අනික ස්වාභාවික ආලෝකයෙන් ගන්න නිසා දිගු නිරාවරණ අගයක් තියෙන එකෙනුත් ආලෝකය උපරිමයෙන් ලැබෙනවා.
ඒත් එක්කම දැන් තියෙන ඩිජිටල් කැමරා වල තියෙන්නෙ යම්කිසි විභේදන අගයක් තියෙන සීමෝස් සෙන්සර් එකක්. ඉතින් ඒකෙ තියෙන පික්සල් ගාන අනුව, කාච පද්ධතියේ නිරවද්‍යතාව හා කැමරාවෙ මෘදුකාංග අනුව ඡායාරූපයේ තියුණු බව තීරණය වෙන්නෙ. ඒත් ඉස්සර තිබුණෙ කෙලින්ම දල සේයා පටයට ලැබෙන ආලෝකය එලෙසින්ම ලබාදීමක්. තියුණු බව උපරිමයි. ඒ වගේම වැඩිදියුණු කරපු පටලයෙන් ඡායාරූපය මුද්‍රණය කලෙත් ආලෝකය උපයෝගී කරගෙන. නමුත් දැන් තියෙන යන්ත්‍ර වල භාවිතා වෙන්නෙ ඩිජිටල් ප්‍රක්ෂේපකයක් හරහා එන ආලෝකයෙන් මුද්‍රණය කිරිමක්. ඒ ප්‍රක්ෂේපකයේ විභේදනයත් ඡායාරූපයේ තියුණු භාවයට බලපානවා.
අප්පේ ඔය තියෙන්නේ ඉතිහාස පාඩම එක්කම කැමරා පාඩමකුත්........ කෙසේ වෙතත් දෙකම එලයැ......
Deleteදෙන්ඩ හිතෙනවා කැමාගේ හොම්බට යකෝ උඹ හිතුවද අපිත් උඹ වගේ කැමරා හෝම්බෝ කියලා , තේරෙන බාසාවෙන් කියපියකෝ ,නැත්තං මධුවට කියලා ලියවනවා කවියක් උඹට
Delete@ යශ්
Deleteබොහොම ස්තුතියි මේ තාක්ෂණික කරුණු පැහැදිලි කිරීම ගැන. මම හිතන්නේ මෙහෙමයි. ඉස්සර තිබුනේ නැහැ දැන්වගේ ඩිජිටල් ක්‍රමයට (හාඩ් ඩිස්ක් එකක/DVDඑකක/පෙන් ඩ්‍රයිව් එකක) පින්තූර මුද්‍රණය නොකර සංරක්ෂණය කිරීමේ ක්‍රම. ඒ නිසා ඉතාම ඉහළ තත්වයේ රසායනික ද්‍රව්‍ය යොදා, ඉතාම හොඳ කඩදාසි වල පින්තූර මුද්‍රණය කර, සමහර පින්තූර මතුපිට දිරායාම වලක්වන රසායනික ද්‍රව්‍ය පවා ආලේප කළා. ඒ නිසයි මේවා කල්පවතින්නේ. දැන් සංරක්ෂණ ක්‍රම හොඳ නිසා නැවත නැවතත් අලුත් පිටපත් ගන්න පුළුවන්. ඒ නිසා කෙටි කාලයක් පවතින මුද්‍රණ ක්‍රම තමයි භාවිත කරන්නේ.
@ ඉවාන්
යකෝ, බුලත් අතක් එහෙම අරන් ගිහින්, කැමාට දීලා දනගහලා වැඳලා, ඔය සාස්තරේ ටිකක් ඉගෙනගනින්.
අප නොදුටු අතීතයක් දැසින් දැකගන්නට ලැබෙන පැරණි සේයා එකතුවක්.... හරිම වටිනවා මේ සේටා රු ගැන මෙසේ සටහනක් තබපු එකෙන්. තවත් අනාදිමත් කාලයකට මේවා රැකිලා තියේවිනේ.
ReplyDeleteඇත්තටම නලීන් මගෙත් එක අරමුණක් වුණේ මේවා අන්තර්ජාලයේ සංරක්ෂණය කර තැබීමයි. බොහොම ස්තුතියි අදහස් වලට.
Deleteමගේ නිරීක්ෂණය පලවෙනි ෆොටෝ එකට අදාලව- ඔබේ පියා 1914 උපන් බව හැබෑ නම් මේ ෆොටෝ එක 1940 වෙන්න බෑ.. උපරිම 1930 මුල් අවුරුදු දෙක තුනේ.. එතන ඉන්නේ 16-17 කොල්ලෙක් මිසක් 26-27 පොරක් නෙවෙයි.. පොඩ්ඩක් හොයල බලන්න.
ReplyDeleteදෙවෙනි ෆොටෝ එකට අදාලව- ඔබේ පියතුමා බොහොම ගම්භිර පුද්ගලයෙක්.. ක්ලියර් කට් වැඩ.. අම්මා හරිම සුන්දරයි..ආදරනියයි ටිකක් ලජ්ජාශිලියි. 1960 වගේ කලේ අදට වඩා තරුණ සිසු දරු දැරියන්ට නිදහසක් තිබුනා වගේම වැඩිහිටි සිසු සිසුවියන් හා ගුරුවරු අතර ලොකු බැඳීමක්ද තිබී ඇතැයි හිතෙනවා..
3 වෙනි එක පවුලේ පින්තුරයක් ලෙස වටිනාකමින් ඉතා ඉහලයි.
පොදුවේ.. මේ බැස්ම 1930 ගණන්වල සිටම ඇවිත් දැන් අගාධයටම වටි අහවරයි හිතෙනවා.. (එහෙම හිතෙනකොට ඇඩෙනවා!..)
/මේ ෆොටෝ එක 1940 වෙන්න බෑ/ 40 දශකයේ. එ කියන්නේ 30 ත් 40 ත් අතර. එතකොට හරි නේද.
Deleteහරි නේන්නං.. ඔය 'දශකයේ' කියන කෑල්ල මට මීටර් වෙලා නෑනේ හිටං.. සමවෙන්ඩෝනේ.. බාගෙට කියවලා පණ්ඩිත කොමෙන්ට් දානවට.. :)
Delete@ කල්‍යාණ
Deleteඔබ කියන එක නිවැරදි වෙන්න පුළුවන්. මගේ මතකය විතරයිනේ තියෙන්නේ 1940 දශකය කියලා. මේ පින්තූරේ අපේ තාත්තගේ මූණ හරියටම අපේ පොඩි මල්ලිගේ වගේ. ඒ නිසා 1930 දශකයේ මැද හෝ අග භාගයේ වෙන්න පුළුවන්.
අපොයි අපේ තාත්ත වෙලාවකට හිට්ලර් වගේ. කිව්වොත් කිව්වමයි. අපේ තාත්තා අහ අපි අතර ඉන්න දුක්ගන්නාරාල තමයි අපේ අම්මා.
ඡායාරූප මුද්‍රණය අද බොහොම සරලයි. ඩිජිටල් පිටපත් ඕනෑ තරම් ගන්න පුළුවන් නිසා ඒවා පරිගණක වැල රඳවා තබාගන්නවා. නමුත් ඉස්සර එහෙම බැරි නිසා උපරිම තාක්ෂනය යොදා කල්පවතින විදිහට හදල තියෙන්නේ.
@ ඇනෝ.
නැහැ නැහැ. දශකය ගණන් ගන්නේ මෙහෙමයි.
1930 සිට 1939 දක්වා 30 දශකය.
1940 සිට 1949 දක්වා 40 දශකය.
දැන් අපි ඉන්නේ 2010 දශකයේ ඒ කියන්නේ 2010 සිට 2019 දක්වා කාලය
මේ බලන්න. https://en.wikipedia.org/wiki/1940s
මගේ වැරදි වැටහීම නිවැරදි කලාට ස්තුතියි !
Deleteමගේ වැරදි වැටහීම නිවැරදි කලාට ස්තුතියි ! x 2 .. සියවස් යන්නේ වෙනස් විදියට නේද? මං හිතුවෙත් (ඇත්තටම ඇනෝ කියුවට පස්සේ) දශක ගනින්නේත් ශතවර්ෂ විදියට කියලයි.. කොහොමත් 'දශකය' කියන එක මං මුලින් කියවද්දී මට මීටර් උනේ නෑ..
Deleteහරිනේ.. අපි 70 දශකයේ 'කොල්ලෝ'නේ.. ඇනෝ කියන විදියට කියුවොත් අපි 80 දශකයේ වෙනවා.. හෆොයි :(
ඔය දශක කේස් එක මම හිතන්නෙ මෙහෙමයි වෙන්න ඕන.දැන් 1901 - 2000 දක්වා ගතවුනේ විසිවන සියවසනෙ. ඒ වගේ විසිවන සියවසේ හතරවන දශකය කිව්වොත් වෙන්නෙ 1931-1940 දක්වා කාලය. ඒත් ඉන්ගිරිසියෙන් නයින්ටීන් ෆෝටීස් කිව්වොත් අදහස් වෙන්නෙ 1941-1950 දක්වා කාලය. සින්හලෙන් හතලිස්වන දශකය කිව්වැහැකි.
Deleteඉංග්‍රීසි ක්‍රමේ හදලා තෙයෙන්නෙ ව්‍යවහාරය අනුව නේද රවී? ෆෝර්ටි කියන වචනය කියවෙන අවුරුදු ටික ෆෝර්ටීස්. ඒ කියන්නේ 40 ඉඳලා 49 වෙනකල්. තර්ටීස් = 30 ඉඳලා 39 වෙනකල්. කොහොමටත් සුද්දා ගනින ක්‍රම සහ අපේ ගනින ක්‍රම අතර වෙනසක් තියනවා.
Deleteවිචාරක,
ReplyDeleteඅපූරු සටහනක් විචාරක තුමා..ඉතාම අපූරුයි...ඡායාරූප තුනේ වටිනාකම වගේමයි ඔබේ විස්තර කථනය...
/ දෙවැනි ලෝක යුද්ධයේ බලපෑම ලංකාවටත් ආවා. 'කාපිරි' නමින් හැඳින්වුණු, අප්‍රිකානු ජාතික සොල්දාදුවන්, සුදු ජාතික පාලකයන් විසින් ලංකාවට ගෙනාවා. /
ඒ දවස්වල රටපුරා පැතිරුනු කටකථාවක් තමයි කාපිරින් කාන්තාවන්ට අතවර කරන බව. මගේ බිරිඳගේ මවගේ පාසල් ගමන නැවතුනේ ඒ හින්දයි කියල ඇය වරක් මා සමඟ පැවසුවා ඔය පරණ කතන්දර කිය කිය ඉද්දි. ඇගේ මහ ගෙදර තිබ්බෙ උඩ පේරාදෙණියෙ. ඒ කාලෙ පේරාදෙණිය මල්වත්තෙ පිහිටවල තියෙන්නෙ බ්‍රිතාන්‍ය අග්නිදිග ආසියා යුද මූලස්ථානය. මවුන්ට්බැටන් සාමිවරයා ප්‍රධාන ආඥාපති. ඉතින් ඔය කඳවුරේ සේවයට ගෙනල්ල තියනව කාපිරින් සිය ගණනක්. මවගේ පාසලට යන්ට සිදුවෙලා තිබෙන්නෙ ඔය කඳවුර පහුකරල. ඒ හින්දම ඇගේ පාසල් ගමන අත්හිටවුනාලු. දෙවෙනි ලෝක යුද්දෙ ඉවර වුනත් අර පාසල් ගමන යලි ඇරඹිලා නැහැ. :(
/ මගේ මතකයේ හැටියට, මෙය හැඳින්වුණේ 'ෂර්වානිය' යන නමින්. /
ෂර්වානිය කියන්නෙ බ්‍රිතාන්‍ය ඉන්දියාවෙ ප්‍රභූ පවුල්වල පිරිමින්ගෙ ඇඳුමක්.පකිස්තානෙ නිර්මාතෘ මොහොමඩ් අලි ජින්නා මහත්මයාගෙ සුපුරුදු ඇඳුම ෂර්වානිය. ඔහු එය පකිස්තානෙ ජාතික ඇඳුම බවටද පත් කලා. මෙහෙ මට හමුවන පකිස්තානුවන් බහුතරයක් එදිනෙදා අඳින්නෙ ඔය ෂර්වානිය.
/ ඒ කාලේ ඔය 'බැලරිනා සපත්තු' බොහොම ජනප්‍රියයි. /
අපි පොඩි කාලෙ රේඩියෝ ජින්ගල් එකක් මට මතකයි. " ඩී.එස්.අයි. බැලරීනා..මටත් ඕනෙ….."
/ මගේ අයියාගේ, හෝම් කමින් හෙවත්, 'ඇට්ෙටා්ං' එකේදී ගත්ත පින්තූරයක් මේ. /
ඇස්ටෝං ගෙදර, ඇට්ටෝං එක නැත්තං ඇට්ටෝං මඟුල = ගෙදර පවත්වන මංගල්‍යය නොහොත් At Home
මගේ පියා තිස්වන දශකයේ බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් විද්‍යාලයෙ අධ්‍යාපනය ලබද්දි සහ මගේ මව පණස්වන දශකයේ මහනුවර හෙදි පුහුණු විදුහලේ පුහුණුව ලබද්දී ගත් අපූරු ඡායාරූප ගොන්නක් අපෙ මහ ගෙදර තිබුනා. ගෙදර ගිය වෙලාවක ඒ ගැන හොයල බලන්ට ඕන කියල හිතුනා විචාරක තුමා ඔබේ මේ චිත්තාකර්ෂනීය සටහනින් පස්සෙ...:)
බොහොම ස්තුතියි රවී මේ දීර්ඝ අදහස් දැක්වීම ගැන.
Deleteඅර කාපිරි සමහරක් මිනීමස් කෑව බවත්, ඔවුන්ගේ තොල් දෙක විද, ඉබ්බන් දමා තිබුණ බවත්, අපේ අම්මාගේ අම්මා එවැනි කාපිරින්ව දුටු බවත්, මම අසා තිබෙනවා. ඒ කාලේ ඔවුන් කාන්තාවන්ව පැහැරගෙන ගොස් දූෂණය කළ බවට ප්‍රවෘත්ති තිබුණත්, ඒවා අධිරාජ්‍ය බලයෙන් යටපත් කර තිබෙනවා. සමහරවිට ඔබේ මවත් නූලෙන් බේරුනා වෙන්න පුළුවන්.
හරියට හරි. ඔන්න ෂර්වානිය සම්පූර්ණයෙන් පැහැදිලි වුණා. බොහොම ස්තුතියි.
බැලරිනා දාපු අපේ රටේ කිසිම කාන්තාවක් 'බැලරිනා' කෙනෙක් බවට පත්වුණේ නම් නැහැ නේද?
පොඩි කොල්ලා කාලේ තාත්තා මාව ඔය ඇට්ටෝං ගෙවල්වල යවනවා තාත්තට යන්න බැරිවුණාම. රුපියල් දෙකක් ලියුම් කවරෙක දාලා තාත්තගේ නම ලියලා. ලියුම් කවරේ මගේ කමිස සාක්කුවට දාලා හැට්ට කටුවක් ගහනවා වැටෙනවට. බඩ පැලෙන්න කාලා අර රුපියල් දෙක දීලා එනවා. හැබැයි ඒ කෑම වේල හදන්නත් බොහොම සුළු වියදමක් යන්න ඇත්තේ.
ඔබේ පවුලේ පැරණි ඡායාරූප එකතුව පදනම් කරගනිමින් බ්ලොග් ලිපි රාශියක් ලියන්න පුළුවන් වෙයි.
මමත් අහල තියනව ඔය කාපිරින්ගෙ කටට ඉබ්බො දාල ගෙනාපු කතාව. ඒත් මම හිතන්නෙ ඒ අතිශයෝක්තියක් පස්සෙ මිනිස්සු ඇත්තක්ය කියල විශ්වාස කරල සිද්ද වෙච්චි දෙයක්ය කියල. මොකද තර්කානුකූලව හිතුවොත් ලන්කාවට ඒ වගෙ ලොකු අවදානමක් අරගෙන කාපිරි ගේන්ට මම හිතන්නෙ නෑ සුද්දන්ට හේතුවක් තිබුනයි කියල.මොකද ඔය ගෙනාපු එකෙක් හරි බැරිවෙලාවත් මිනිහෙක් මරල කාල අහුවුනොත් ඒ හින්ද ලන්කාවෙ මිනිස්සුන්ගෙ හිත්වල සුද්දො එක්ක ලොකු තරහක් ඇතිවෙන්ට හේතුවක් වෙනව.ජපන්නු ලඟටම ඇවිල්ල හිටිය වෙලාවක එහෙම දෙයක් සුද්දො කරයි කියල මටනම් විස්වාස කරන්ට අමාරුයි.
Deleteඔය කටට ඉබ්බො දාල තියෙන කතාවත් කවුරුහරි එක දෙක කරල කියපු එකක් අන්තිමට ඇත්ත වෙලා වෙන්න ඕන. වෙන මොකවත් ඕන නෑ මම ඒ කාලෙ හිටියනම් මම කියන්නෙ කාපිරි රන්චුවක් මා පාරෙ පන්නගෙන ඇවිල්ල මාව අල්ලගත්තය, ඊට පස්සෙ මාව කන්ට හදනකොටයි උන්ට මතක් වුනේ කටේ ඉබ්බන්ගෙ යතුරු දාලයි ඇවිල්ල තියෙන්නෙ කියල. ඊට පස්සෙ අපි යතුරු අරන් එනකල් උඹ මෙතනම හිටපන් කියල උන් ගියාය. ඒ අස්සෙ මම පැනල ආවය කියල. හෙහ්,හෙහ්,
ඔව් මේවා දැක්කලු, ඇහුවලු, හිටියලු, වගේ 'ලු' තොරතුරු නේ.
Deleteඔය ඉබ්බෝ දානවා කිව්වම මට මතක් වුණේ ට්වෙල් ඉයර්ස් ඉන් ස්ලෙව් චිත්‍රපටිය. එකේ නම් කටට දම්වැල් දාල තියන දර්ශනයක් තියනවා. ඉබ්බෙක් නම් නෙවෙයි. සමහර විට දඬුවමක් විදිහට එහෙම කලාද දන්නෙත් නෑ නේද ? විචාරක මහත්මයා ඒක බලලා ඇති මං හිතන්නේ ?
Deleteවහලුන් වශයෙන් අප්‍රිකා මහද්වීපයෙන් අල්ලාගෙන ගිය මිනිසුන්ට ඇමරිකා එක්සත් ජනපදයේදී නොදුන් වදයක් නැතිතරම්. ඒ වහල් ජීවිතයක ස්වභාවය ඒ චිත්‍රපටියෙන් මනාව පිළිබිඹු කර තිබෙනවා. දෙවැනි ලෝක යුද සමයේදී අපිරිකාවෙන් බඳවාගත් සෙබළුන්ටත් සමහරවිට බ්‍රිතාන්‍ය හමුදාවෙන් අකාරුණික ලෙස සලකන්න ඇති.
Deleteවිචා මහත්තයො,
ReplyDeleteඔය කැමරා කාරයො දෙන්න දන්න මගුලක් බැරියැයි. ඊට වඩා අපි කියන්නම් මේ කැමරා ගැනයි ෆොටෝ ගැනයි.
මේ පෝස්ට් එකෙන් පරන දේවල් ටිකක් දැනගන්නත් පුලුවන් වුනා. අර ලවු ඉට්ටෝරිය පරන පික්චර් එකක් වගේ නේද? හැක්
හෙහ් හෙහ්............ඔන්න මම දන්නෑ කැමාලා දෙන්න මග රැකලා හිටියොත්.
Deleteඅම්මපා මේ නවීන තාක්ෂනය නැති කාලේ ලව් කතන්දර හරිම රසවත්. මම හිතන්නේ අපේ පරපුර වෙන්න ඇති පෙම්පත් ලිව්ව අවසාන පරපුර.
ඇත්තටම සුන්දර මතකයන් ටිකක්..
ReplyDeleteඑල ද බ්‍රා
ස්තුතියි මෙන්ඩෝ.
Deleteබණ්ඩාගේ කතා......
ReplyDeleteහිනා කලා ඉල ඇදිලා මැරෙන පොස්ට් එකක් ලියලා..
බලන්නම්
Deleteනියම පිංතූර තුනක් නෙ.
ReplyDeleteඇත්තටම ඔය කළු සුදු පින්තූර දැන් තියෙන වර්ණ පින්තූර වලට වඩා සාමාන්‍ය පරිස්සමකින් උවත් හොඳ තත්වයෙන් දීර්ඝ කාලයක් තියාගෙන ඉන්න පුලුවන්.
අර පරණ චිත්‍රපටි වලත් තියෙන විදියට ඒ කාලෙ ඉස්කෝල වල පිරිමි ළමයි වැඩි හරියක් ඉන්නෙ සරමයි ෂර්ට් එකයි ඇඳගෙන නෙ.
ඇත්තෙන්ම මේ වගේ පින්තූර වලින් රටක ඉතිහාසය ගැන තොරතුරු අධ්‍යයනය කරන්න පුළුවන්. මම ඉස්කෝලේ 4-5 පන්තිවල ඉන්නකොට සරම ඇඳන් ආව ළමයි හිටියා.
Deleteකතා නම් කතා අන්න කතා...
ReplyDeleteදෙපාරක් පණ දීලත් පුතේ කියන්න බැරි උනා කියලා ගස් ලබ්බා අඩනවා..
ගිහින් බලාලා එන්න..
බැලුවා බැලුවා. ඌ කියන්නේ නම් ප්‍රබන්ධයක් කියලා. ඕකා සත පහකට විශ්වාස කරන්න බෑ.
Deleteඒ කලු සුදු පින්තූර (ඇත්තෙන්ම සමහරවෙලාවට කලු දුඹුරු) වල කල් පැවැත්ම ඉන් පස්සේ ආ වර්ණ ඡායාරූපවල කොහෙත්ම නෑ. මගෙ අතීතය එහෙන් පිටින්ම බොඳවෙලා ගියේ ඇල්බම් එකයි, දල සේයා පටයි ලී අල්මාරියක පරිස්සමට තියලා තිබ්බ නිසා. ආයේ ඉතින් අලුතින් ගන්න කියලයැ.
ReplyDeleteඒ ඒ ඡායාරූපයෙන් යුගය, මතිමතාන්තර, විලාසිතා නිරූපනය වෙන හැටි ඇත්තෙන්ම හරිම අගෙයි.
ඒ විදිහට පින්තූරයක් දුඹුරු පාට කරන එකට කිව්වේ ටෝන් කරනවා කියලා. ඒ ටෝන් කරපු පින්තූර කල් පවතිනවා වැඩියි.
Deleteපැරණි පින්තූර විනාශවීම නම් ලොකු දුකක්. ඇද ගන්න පින්තූර CD එකකටවත් දාලා තියාගන්නේ නැද්ද?
පැරණි පින්තූර ඉතිහාස පොත් වගේ.
ඉතාම වටිනව. පැරණි ඡායාරූප , පැරණි පත්තර දැක්කම ඇතිවන්නෙ මාරම හැඟීමක්. මම නම් පට්ට ආසයි ඒකට. දැන් මේ පින්තූර දැක්කම මේකෙන් ඒ යුගය ගැන ලොකු කතාවක් කියවෙනව. අදට සංසන්දනය කරපුවම පුදුමාකාර ඓතිහාසික වින්දනයක් ලබන්න පුළුවන්.
ReplyDeleteඒ යුගයේ මතකයන් සංරක්ෂනය කරන්න තිබුන එකම ක්‍රමය ඡායාරූප. ඉතින් මේව ගෙ වටිනාකම කියල නිම කරන්න බැරි ඒකයි.නමුත් අද තත්වයනම් වෙනස්.
ඒක නෙමේ අම්මට දෑවැද්දටත් දීල තියෙන්නෙ තුවක්කුවක් .සීය අනාගත මුණුබුරා ගැන ඉවෙන් වගෙ දැනගෙනද දන්නෙ නෑ.
මේ එක පින්තූරයක් ගැන කොච්චර දේවල් කියන්න පුලුවන්ද? ඇත්තටම පැරණි පොත්පත්, සඟරා කියන්නේ මමත් බොහොම කැමති දෙයක්.
Deleteඅම්මපා අපේ සීයා එහෙම හිතුවද කියලා මට හිතුනේ මේ කමෙන්ට් එක දැක්කමයි.
ඔහේට මක්කවත් නොකිය මුකුත් කියන්න බැරි නිසා පින්ත්රු තුන බලල මං නිකා හිටියා..
ReplyDeleteමක්කැයි ඉතිං ඔහෙට දොඩන්න තියෙන්නේ. ඇහැක් විදිහට දොඩන්න.
Deleteඉස්සර කාලේ (w.r.t. 1940 photO) ෆොටෝෂොප් නැති වුණාට ෆොටෝ ටච්-අප් කරනවා ලු පැන්සල්, පින්සල් වලින්!
ReplyDeleteහැබැයි අපි යුනිවසිටියේ දී ගත්තු අවසන් වසරේ ෆොටෝ එක ගත්තේ මොනොක්‍රොම් (කලු-සුදු) වලින් කල් පවතින්න. ඒ කාලේ ගත්තු වර්ණ ඡායාරූප දැන් අබලන්. කලු සුදු එක හොඳින් තිබේ!
ඔය ෆොටෝ ටච් කරනවා කියන එක මම දැකලා තියනවා. එංගලන්තයෙන් ගෙන්වන ලද, Reevs (අර අපි පොඩිකාලේ තිබුණ පාට පෙට්ටිවල වෙළඳ නාමය) තීන්ත, ඉන්දියන් තීන්ත (Indian Ink) සහ ඉතා සියුම් පින්සල් සහ ජර්මනියේ නිෂ්පාදිත විවිධ පැන්සල් යොදාගත්තා. ඉතා දක්ෂ ලෙස ඇඳීමක් තමයි කෙරෙන්නේ.
Deleteමගේ මංගල්‍යයේ වර්ණ ඡායාරූපත් අබලන් වෙමින් තියනවා. නමුත් කලුසුදු මංගල ඡායාරූපය තවම හොඳින් තිබෙනවා.
විචාරක ගේ මේ පොස්ටුවනම් මරු. මට ඇත්තටම ඒ කාලයේ කොණ්ඩා මෝස්තර සහ ඇඳුම් ගැන මතක් වෙන්නේ දැන් ඒවා දකින්න ලැබෙන්නේ මෝස්තර නිරුපන සංදර්ශන වල විතරයි කියලා . හැබැයි ඒ කාලේ ෆිල්ම් වල හැටියට නම් කොල්ලෝ ඇඳුම් වලට යහමින් රෙදි දාලා මහලා, කෙල්ලොන්ට රෙදි කෑල්ලක් ගන්නවත් අතේ සතේ තිබිලා නෑ.
ReplyDeleteඅලුතෙන් එනවා කියල පෙන්නන මෝස්‌තර බොහොමයක් පරණ එව්වම තමයි. පරණ ඒවා මතකයේ තියෙන්නේ අපේ වයසේ ඉන්න අයට. ඇත්තටම ඒ කාලේ මෝස්‌තර සංදර්ශනයක පින්තූර හොයාගන්න පුලුවන්නම් හොරේ එළිවෙනවා.
Deleteකවදත් ඉතිං කෙල්ලෝ කැමති 'එන්න බලන්න' විලාසිතා වලටනේ.
ඔබේ පවුලේ පැරණි ඡායාරූප තවමත් හොඳ තත්ත්වයෙන් තිබෙනු දැකීම සතුටට කරුණක්. කාලයක් තරුණයන් කොන්ඩේ 'බම්පර්' තිබ්බලු නේද? දෙවන ඡායාරූපය ඉහළ පෙළ වමේ දෙවැනි, තුන්වැනි තරුණයින්ගේ කොණ්ඩ විලාසිතාව මේ බම්පර්ද? ඔය කාපිරි භටයින්ගේ මෙවැනි හැසිරීම් ගැන මාත් අසා තිබෙනවා. අපේ ගෙදර තිබුණු තුවක්කුව එහි කැටයම් තිබුණු එක් කොටසක් රහිතව වුවත් 71දී නම් පොලීසියෙන් ආපසු ලැබුණා. ඒත් 88දී මගේ පියා පණ්ඩිත කමට මෙය පොලීසියට නොදී විශේෂ අවසරයක් මත ළඟ තබා ගෙන සිට අවසානයේදී එය ජවිපෙ සතු වූ නිසා එය නැවත ලබා ගැනීමේ අවස්ථාව ගිලිහුණා.
ReplyDeleteස්තුතියි අදහස් දැක්වීම ගැන. ඔය කොන්දේ බම්ප් එක තැබීම ගෑණු අයත් කළා බොහොම පොඩි බම්ප් එකක්. මේ ලිපියේ දෙවැනි පින්තූරේ හරි මැද ඉන්න තරුණයාගේ කොණ්ඩ මෝස්තරයට ඒ කාලේ විහිලු කළේ 'සීගිරිය' කියලා. කාන්තාවන් විශාල කොණ්ඩයක් බැන්දම ඒකට 'ගස් මුට්ටිය' (රා එකතුවෙන්න කිතුල් ගහේ රඳවන මුට්ටිය) කිව්වා.
Deleteකාපිරි භටයන් ගැන කතා මිනිසුන්ව බිය ගැන්වීමට සමත්වුණා.
අපරාදේ අරවගේ තුවක්කුවක් අද තිබුනානම් මිලකරන්න බැහැ.
1) ඔය බැලරීනා පාවහන් වල Ad එක මෙහෙමයි තිබ්බේ } ඩී.එස්.අයි. බැලරීනා පාවහන් .. මට ඕනේ, ඩී.එස්.අයි. බැලරීනා...මටත් ඕනෙ... ඩී.එස්.අයි බැලරීනා....
ReplyDelete2) ඔබගේ පියා කඩවසම් උස පුද්ගලයෙක් ඒ කාලේ
3) ඔබගේ හමුදාවේ සිටි සොහොයුරා මට එකවරක් හමු වී තිබෙනවා.යුද හමුදා රෝහලේදී. ඔහු උස පුද්ගලයෙක් ( එවකට කර්නල් කෙනෙක්) අවාසනාවකට වගේ ඔහු සුනාමියේදී මිය ගියා. අද හිටියා නම් ජෙනරල් කෙනෙක්.
හඃ හඃ......වෙළඳ දැන්වීම් පවා මතකයේ තියනවානේ?
Deleteඅපේ තාත්තා මාර හැන්ඩික් කියලා අපේ අම්මා බොහොම වර්ණනා කරනවා.
මගේසහොදරයා පිලිබඳ හද කම්පා කරවන මතකය කවදාවත් සිතෙන් ඉවත්වන්නේ නැහැ.
මේ පින්තූර ආයෙම අළුතින් හදලා දෙනවනේ.. මම අපේ තාත්තගේ කොල්ලා කාලේ ෆොටෝ එකක් නම් එහෙම හැදුවා..
ReplyDeleteමම මේවා ගෙනාවෙත් එහෙම හදවන්න බලාගෙන. තාත්තා සතුටුවෙන්න ඇති ආයෙත් පින්තූරයකින් කොල්ලා වීම ගැන.
Deleteමධ්‍යම පාංතිකයන් පිලිබඳ සැබෑ කතාවක් විචාරක. එමෙන්ම ඔබගේ මව හා පියා ගේ බලපෑම නොතිබුණා නම්, ඔබ අතින් මෙවැන්නක් නොලියවේවි.
ReplyDeleteමේ වගේ පින්තූර වලින් කාලීන සමාජ විපර්යාසයන් පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරන්න පුළුවන්. මගේ පියාගේ පුරුද්දක් තිබුණා හැකි සෑම විටකම සමරු ඡායාරූප ගන්න. ඒ නිසයි මෙවැනි පින්තූර අද දකින්න ලැබෙන්නේ.
Deleteඇත්තෙන්ම මෙය ලිවීමේ චේතනාව මගේ දෙමව්පියන් මට එදා ලියන්න කියන්න ඉගැන්වීමේ ප්‍රතිඵලයක් තමා.
ඒ කාලේ ජීවිතත් මේ වගේ කළු සුදු ඇති. අවශ්‍යතා සීමිතයි. හිතත් නිදහස් ඇති.
ReplyDeleteඇත්තෙන්ම ඔව්. සරළ ජීවිත. අදවගේ විවිධ විද්‍යුත් මෙවලම් වලින් ගේ පිරිලා තිබුනේ නැහැ. කුස්සියේ විදුලි උපකරණ මොකුත්ම තිබුනේ නැහැ. ලිඳෙන් නෑවා. වල කක්කුස්සියට ගියා. අතින් රෙදි හේදුවා. පොල්කටු අඟුරු ස්ත්‍රික්කයෙන් රෙදි මැද්දා. පයින් ඉස්කෝලේ ගියා. හැන්දෑවට යාළුවො එක්ක සෙල්ලම් කළා. රෑට කන්න කලින් නොවරදවාම බුදුන් වැඳ දෙමව්පියන්ටත් වැන්දා.
Deleteකාලෙන් කාලෙට උන වෙනස... ගස්ලබු මව්පිය වෙඩිමෙත් ඉන්න සැට් එක ටයි එක දාල ඉන්නෙ හෙන කොටට..හරි අමුතුයි.
ReplyDeleteජයවේවා..!!
'කාලය මැව් වෙනසක අරුමේ' නේද?
Deleteස්තුතියි.
පහසු වෙලාවක
ReplyDeleteමේක කියවල බලන්න. You will not regret reading this.
හොඳයි බලන්නම්.
Deleteදුඹුරුපාට පසුබිමේ සුදු පාට අකුරු කියවීම ඉතාම අපහසුයි
Deleteඔව් මමත් එකඟයි. කළු පසුබිමේ සුදු අකුරු වුනත් සමහරවිට ඇහැට අමාරුයි.
Deleteවිචෝ...නියමයි...
ReplyDeleteමේ වගේ දේවල් ලියන නිසා තමයි අපි හැමදාමත් විචා හොයාගෙන එන්නේ...
------
ෆොටෝ වලින් ලොකු ඉතිහාසයක් එළිදරව් වෙනවා.
කළු සුදු නොවුනාට මගෙත් තියෙනවා ඔය ජාතියේ පින්තූරු එකතුවක්
--------
මම වැඩිය ෆොටෝග්‍රෆි ගැන දන්නේ නැති නිසා ටෙක්නිකල් එක්ස්ප්ලනේෂන් දෙන්න නම් අමාරුයි..
පැරණි පින්තූර අපිව කවදත් කුතුහලයට පත්කරනවා, විමතියට පත්කරනවා. උනන්දුවක් ඇති කරනවා. ඒ නිසා තමයි ඒවාගේ වටිනාකමක් තියෙන්නේ.
Deleteඇගයීම ගැන ස්තුතියි.