හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

14 September 2015

මොනවද මේ යුද අපරාධ කියන්නේ.......................? War Crimes......? What's that?


War Crimes
මේ ලිපිය පළවෙන අද එනම් 2015 සැප්තැම්බර් මස 14 වැනිදා, එක්සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් කොමිසම  ජිනීවා නුවරදී රැස්වෙනවා. එහිදී, ශ්‍රී ලංකාවට එරෙහි, යුද අපරාද පිලිබඳ වාර්තාවක් එළිදැක්වෙන බව දැනගන්නට තිබෙනවා. පසුගිය යුද සමයේ, අපේ රටේ හමුදා විසින්, යුද අපරාධ කළ බවට චෝදනා එල්ලවී තිබෙනවා. මේ ලිපියෙන් මා ඔබ සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ, යුද අපරාධ කියන්නේ මොනවාද කියන කාරණය ගැනයි.

පළමුවෙන්ම එක දෙයක් කිවයුතුයි. ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවලට සුදු හුණු ගාන්නවත්, දංගෙඩියට දක්කන්නවත් මගේ කිසිදු අභිලාශයක් නැහැ. 

   ශ්‍රී ලංකා හමුදාවලට එරෙහි යුද අපරාධ චෝදනා තිබේනම්, ශ්‍රී ලංකා රජය මගින් පත්කරණ මණ්ඩලයක් මගින්, ඒ පිළිබඳව කරුණු විභාග කළයුතුයි. එම වාර්තාව ලෝකයට දැනගැනීමට හැකිවන ලෙස, ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කළයුතුයි. වරදකරුවන් සිටීනම්,

  • ත්‍රිවිධ හමුදා පාලනය වන අණපනත්,
  • ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය,
  • ශ්‍රී ලංකා ජනරජය විසින්,එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට අදාළව අත්සන් කර ඇති ප්‍රඥප්ති,
  • ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව,
   සළකා බලා, ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතුයි. එහෙත්, කිසිවිටකත්, කිසිවකුත්, ජාත්‍යන්තර අධිකරණ වෙත යොමු නොකළයුතුයි. එසේ නොකොට, සාධාරණව ඉදිරිකටයුතු කිරීමට, අවශ්‍ය තරම් ප්‍රතිපාදන, අපේ නීති පද්ධතිය තුළ තිබෙනවා.

   මා නැවතත් අවධාරණය කරන්නේ, සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළහැකි චෝදනා තිබේනම් පමණයි, මේ ක්‍රියාමාර්ග වලට එළඹිය යුත්තේ. නිකම් පුහු උද්ඝෝෂණ වලට බිය වියයුතු නැහැ. ඔය කියන විදේශීය සම්බාධක පැනවීමේ තර්ජන ඔක්කොම පුහු ඒවා. 


යුද අපරාධ නිර්වචනය 

   යම්කිසි රටක් තුළ ඇතිවන අභ්‍යන්තර සන්නද්ධ අරගලයකදී/සටනකදී හෝ, රටවල් දෙකක් හෝ ඊට වැඩි ගණනක් අතර සිදුවන සංග්‍රාමයකදී හෝ, ජාත්‍යන්තර මානුෂවාදී නීතියට පටහැනිව, සතුරු පක්ෂයට හෝ සතුරු පක්ෂයට හිතවත්, සන්නද්ධ නොවන පිරිස් වලට එරෙහිව, යම්කිසි හමුදාවක් විසින් කරනු ලබන සෑම ක්‍රියාවක්ම, යුද අපරාධයක් වන්නේය. 


  හොඳට මතක තියාගන්න, සතුරු පක්‍ෂය සමග මුහුණට මුහුණ ලා සටන් කිරීම, සැඟවී සිට පහර දීම, සතුරු කඳවුරු තුළට හොරෙන් ඇතුළුවී පහරදීම සහ, කඩාකප්පල්කාරී/විනාශකාරී ක්‍රියා සිදුකිරීම, සතුරු කඳවුරු වෙත ගුවනින් බෝම්බ හෙළීම, සතුරු නෞකා වලට පහරදී විනාශ කිරීම, වැනි කෙළින්ම සටනට සම්බන්ධ ක්‍රියා, යුද අපරාධ ගණයට වැටෙන්නේ නැහැ.  


එහෙනම් මොනවද යුද අපරාධ? 

   අන්තර්ජාතික සංග්‍රාමික නීති යටතේ, යුද හමුදාවන් දෙකක් අතර පවා, සටනේදී නොකළයුතු දෑ පිළිබඳව, ප්‍රඥප්ති පනවා තිබෙනවා. මෙන්න එයින් මේ වෙලාවේ මතක්වන දේවල්.
  • ජල මූලාශ්‍ර වලට වස විස මුසු කිරීම.


  • සතුරු පක්ෂයේ යුද සිරකරුවන්ට (ප්‍රශ්න කිරීම වැනි කටයුතු වලදී) අමානුෂික වදදීම, සාධාරණ නඩු විභාගයකින් තොරව දඬුවම් දීම.

  • ඔවුන්ව මියයාමට ඉඩහැර නොසළකා සිටීම.

  • මරණය සිදුවියහැකි අන්තරායදායක ක්‍රියාවල යෙදවීම.

  • අත්අඩංගුවට ගත්පසු ඝාතනය කිරීම.
ආදිය ප්‍රධාන තැනක් ගන්නවා.


වෙනත් යුද අපරාධත් තියනවද?

   ඔව්, ඇත්තටම යුද අපරාධ හැටියට සැලකෙන ක්‍රියාවන් බොහොමයක් මගින් සැලසෙන්නේ, යුද්ධයට  කෙළින්ම සම්බන්ධ නොවන අයගේ ආරක්ෂාවයි. යුද්ධයක් සිදුවියයුත්තේ, සන්නද්ධ කණ්ඩායම් (පුහුණු හෝ නුපුහුණු, එහෙත් සොල්දාදුවා/සටන්කරුවා Soldier/Combatant යන වර්ගීකරණයට ඇතුළත් කළහැකි අය) අතර පමණයි. එයට සාමාන්‍ය ජනතාව මැදිහත් කරගැනීම යුද අපරාධයක්.

   අපි බලමු, විශේෂයන්, සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව සඳහා පනවා ඇති ප්‍රඥප්ති මගින්, යුද අපරාධ ලෙස සැළකෙන කරුණු.

  • සාධාරණ හේතුවකින් තොරව, මරාදැමීම, හිරිහැර කිරීම හෝ නොසළකා හැරීම, සිය ගම්බිම් හෝ අනුන්ට බලපෑමක් නොවන පරිදි දැනට රැඳී සිටින ප්‍රදේශ වලින්, වහල් සේවයේ හෝ කම්කරු සේවයේ යෙදීමට සිදුවන, නැතහොත් බලහත්කාරයෙන් යොදවන,  සරණාගත කඳවුරු වෙත පිටුවහල් කිරීම.

  • යුද සිරකරුවන් සේ සළකා අත්අඩංගුවට ගන්නා සාමාන්‍ය ජනතාවට හිරිහැර කිරීම, අකාරුණික ලෙස සැළකීම, මරාදැමීම.

  • සතුරු පක්ෂයට එහිව කෙරෙන සංග්‍රාමික කටයුතු සඳහා බලහත්කාරයෙන් යොදවාගැනීම.

  • සාමාන්‍ය ජනතාව, ප්‍රාණ ඇපකරුවන් ලෙස අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් මරාදැමීම.

  • යුද අපරාධ වලට සම්බන්ධයැයි සැළකෙන, සන්නද්ධ සාමාජිකයන්ගේ කලත්‍රයා හෝ, පවුලේ සාමාජිකයන්, ළඟම ඥාතීන්, සාධාරණ නඩුවිභාගයකට ලක්කිරීමෙන් තොරව, සිර දඬුවම්/මරණ දඬුවමට යටත් කිරීම.  

  • සංග්‍රාමික ඉලක්ක වශයෙන්, කිසිදු වැදගත්කමක් හෝ අවශ්‍යතාවක් හෝ නැති, නගර, ගම්මාන, ආගමික සිද්ධස්ථාන, පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන, ආදිය වෙත ප්‍රහාර එල්ල කොට වනසා දැමීම.

  • ස්ත්‍රී දුෂණය, ළමා අපචාර, ලිංගික වහල් සේවයේ යොදවා ගැනීම, බලහත්කාරයෙන් ගැබ් ගැන්වීම.

  • සාමාන්‍ය ජනතාව සිටින බව දැන දැනත්, ඔවුන්ට අනතුරු/ජීවිත හානි ඇතිවියහැකි ආකාරයට, යුද ප්‍රහාර එල්ල කිරීම. රසායනික අවි ප්‍රහාර එල්ල කිරීම.

  • සතුරු පක්ෂයෙන් ගැලවී සිටීම/සතුරා රැවටීම සඳහා, රැවටීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ සාමාන්‍ය ජනතාව පළිහක් ලෙස පාවිච්චි කිරීම.

  • සාමාන්‍ය ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන, ආහාර/ජලය ලබාගැනීම වැලැක්වීම හෝ කඩාකප්පල් කිරීම.

මොනවද ඉතින් මේ අපරාධ කිරීම වළක්වාගන්න තියන නීතිරීති?

 මෙවැනි අසාධාරණ ක්‍රියා වළක්වා ගැනීමට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතුකර තිබෙන්නේ අද ඊයේ නෙවෙයි. 14 වැනි සියවසේදී පවා, ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණයක් රෝම අධිරාජ්‍යයේදී පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදී තිබෙනවා. එයින් පෙනෙන්නේ එතරම් ඈත අතීතයේදී පවා යුද අපරාධ  පිළිබඳව දැඩි අවධානයක් තිබුණ බව සහ ඒවා වැළක්වීමේ නීති තිබුණ බවයි. 16 වැනි ශතවර්ෂයේ සිට 18 වැනි ශතවර්ෂය දක්වා වූ කාලය තුළ මහා බ්‍රිතාන්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය යුද අපරාධ වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

   කෙසේ වෙතත්, යුද අපරාධ වලට එරෙහි, ලෝක ව්‍යාප්ත ප්‍රඥප්ති පළමුවරට ප්‍රකාශයට පත්වුණේ, 1864 දී ජිනීවා නුවරදී එළිදැක්වුණු, ජිනීවා සම්මුතියයි. එතැන්සිට ජිනීවා නුවර මධ්‍යස්ථානය කරගනිමින් තවත් යුද අපරාධ වැළක්වීමේ ගිවිසුම් රාශියක් ගොඩනැගී තිබෙනවා. 

Geneva Convention 1864

   1899 සහ 1907 යන වර්ෂ වලදී නෙදර්ලන්තයේ හේග් නුවරදී පවත්වන්නට යෙදුන යුද අපරාධ පිලිබඳ සමුළු දෙකෙන් පසුවද, යුද අපරාධ වලට එරෙහි සම්මුති ගොඩනගාගෙන තිබෙනවා. දෙවැනි ලෝක යුද්ධයේදී සිදුවූ යුද අපරාධ වල බරපතළකම වටහාගත් රටවල් බොහොමයක්, ජිනීවා නුවරට රැස්වී, තව දුරටත් යුද අපරාධ සිදුවීම වලක්වාගැනීම සඳහා විවිධ ප්‍රඥප්ති සකසනු ලැබුවා.

   කෙසේ වෙතත්, 1977 සිට 2005 දක්වාවූ කාලය තුළ, ජාත්‍යන්තර මානුෂවාදී නීතිය යන නිර්වචනය යටතේ, නව ප්‍රඥප්ති රැසක් බිහිවීම මත, තම සිතැඟි පරිදි යුද්ධයකදී ක්‍රියා කිරීමේ දුර්දාන්ත ප්‍රතිපත්තියෙන් වැළකෙන්නට, එතෙක් කල් තම අභිමතය පරිදි ක්‍රියාකළ බොහොමයක් රටවලට සිදුවුණා. එහෙත් ලෝකයේ සමහර රටවල්, එම ප්‍රඥප්ති වලට අත්සන් තබා නැහැ. 

   මේ හැර ජාත්‍යන්තර රතු කුරුස සංගමය මගින්ද සංග්‍රාමයේදී පිළිපැදිය යුතු මානුෂවාදී නීති පිලිබඳ ප්‍රකාශන, ලෝකය පුරා විවිධ භාෂා රාශියකින් නිකුත්කර ඇති අතර, විවිධ ගැටුම් පවතින රටවලට ගොස්, සටනට සම්බන්ධ සෑම පක්‍ෂයකටම දේශන පවත්වා, මානුෂවාදී නීතිය පිලිබඳ දැනුමක් ලබාදෙනවා. පසුගිය යුද සමයේදී, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවටත්, LTTE සංවිධානයටත්, ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය විසින්, යුද බිමට ආසන්න ප්‍රදේශවලට ගොස්, මෙවැනි දේශන පැවැත්වුවා. 


ඉතින් මේ නීති පිළිපදිමින් සටන් කරන්නේ නැත්තේ ඇයි? 

   මෙහෙම කිව්වට මාත් එක්ක තරහ වෙන්න නම් එපා. මේ ටික කියන්නේ, යුද බිමේදී ලැබූ අද්දැකීම් පදනම් කරගෙනයි. මාව විශ්වාස නැත්නම්, ඔබට හැකියාවක් ඇත්නම්, ලෝකයේ වෙනත් රටක යුද්ධයේ යෙදී සිටි කෙනෙකුගෙන් අහන්න. මෙන්න මේකයි මට කියන්න තියෙන්නේ. 


   මේ ඔක්කොම නීති හැමවිටම රකිමින් සටන් කරන්න බැහැ. එහෙම කරන්න ගියොත් අපි පරාදයි. 


   සාමාන්‍ය මිනිහෙකුට සීරීම් තුවාලයක්වත් ඇති නොවන යුද්ධ, ලෝක ඉතිහාසයේ තිබුනෙත් නැහැ, අනාගතයේදී තිබෙන්නේත් නැහැ. අපිට පුළුවන් වෙන්නේ, හානිය අඩුකරගැනීමට පමණයි. එහෙම නෑ කියලා කියන කෙනෙක් ඉන්නවානම්, ඔහු වහාම මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි....... එපමණකි.

2015 සැප්තැම්බර් මස 14 වැනි දින 0001 පැය

මූලාශ්‍ර:- 
  • https://en.wikipedia.org/wiki/War_crime
  • https://en.wikipedia.org/wiki/List_of_war_crimes
  • http://www.crimesofwar.org/a-z-guide/military-necessity/
  • http://www.crimesofwar.org/a-z-guide/legitimate-military-targets/
  • http://www.crimesofwar.org/a-z-guide/legitimate-military-targets/
  • http://www.crimesofwar.org/a-z-guide/military-objectives/
  • https://www.icrc.org/ihl/WebART/470-750065
  • http://www.icc-cpi.int/en_menus/icc/about%20the%20court/frequently%20asked%20questions/Pages/13.aspx

42 comments :

  1. දැන් ඔය ඔවා ගැන බෙරිහන් දෙන උදවිය ඔය ඔක්කොම දේවල් දනගෙනද ඔය උඩ පනින්නේ ?

    ReplyDelete
    Replies
    1. දන්නා අයට වඩා නොදන්නා අය වැඩියි. රැල්ලට යමින් බොරු සද්දේ දානවා විතරයි.

      Delete
  2. Godak dewal denagaththa Mr.Wichaaraka.. Thanks. Paw wede mahinda mahaththayata hitan. :)

    ReplyDelete
    Replies
    1. ඇගයීම ගැන ස්තුතියි.

      ඇත්තෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය දිනන්න සැහෙන දායකත්වයක් දැරුවා. නමුත්, එයින් පසු කාලයේදී එතුමාගේ දුර්දාන්ත පාලනය ජනතාව විසින් ජනවාරි 8 වැනිදා ප්‍රතික්ෂේප කෙරුවා.

      Delete
  3. ඉතාම වැදගත් තොරතුරු රාශියක් පිළිබඳ නිරවුල්ව දැනගන්ට ලැබෙනවා විචාරකතුමාට ගොඩක් ස්තුතියි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගුණසිංහ මහත්මයා.

      Delete
  4. අයිසිස් කාරයොයි එල්ටීටීඊ කාරයොයි මට පේන්නෙ අර ලැයිස්තුව චෙක් ලිස්ට් එකක් හදාගෙන ඒවම කරනවාද/කලාද කොහෙද?
    හැමදාම වගේ තොරතුරු ටික හරිම වැදගත්. ස්තූතියි විචාරකතුමා!

    ReplyDelete
    Replies
    1. ත්‍රස්තවාදීන් යනු කොහොමටත් අපරාධකාරයින්. නීතිගත ආණ්ඩු ඒ අපරාධ කිරීම තමයි මෙතැන ඇති අවනඩුව.

      Delete
    2. @ මධු

      මුස්ලිම් අන්තවාදය, ත්‍රස්තවාදී ස්වරූපයෙන් ක්‍රියාකිරීම අද ලෝකයටම තර්ජනයක්වී තිබෙනවා. එය නොපමාව මර්දනය නොකලොත් තුන්වැනි ලෝක යුද්ධයක් ඇතිවිය හැකියි.

      @ රසික

      නමුත් LTTE කාරයන් කියන්නේ තමන් විමුක්තිකාමීන් කියලා. ශ්‍රී ලංකා ආණ්ඩුව දේශපාලන සිරකරුවන් තියාගෙන ඉන්නවා කියලා.

      Delete
  5. බලාගෙන ගියාම අපි නෙමෙයි වුන් තමයි යුධ අපරාද කරලා තියෙන්නෙ..
    ත්‍රස්තවදි කාන්ඩායමකට එරෙහිව යුධ අපාරාධ නඩු පවරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ත්‍රස්තවාදීන් යනු කොහොමටත් අපරාධකාරයින්. නීතිගත ආණ්ඩු ඒ අපරාධ කිරීම තමයි මෙතැන ඇති අවනඩුව.

      Delete
    2. යුධ අපරාධ ඇතිවීම වළක්වාගැනීමයි අවශ්‍ය.ප්‍රචන්ඩත්වයෙන් විසදුම් සොයන ජේවීපී එල්ටීටීඊ වගෙ බලවේග ලත් තැන ලොප් කළ යුතුයි. විප්ලව වෙනම රාජ්‍ය ගැන දේශනා කරන එවුන් අල්ලගෙන කහඹිලිය දාන්න ඕන.මොකද ඒ අය තමයි කාටවත් කරදරයක් නැතිව තමන්ගෙ රස්සාව කරගෙන ඉන්න හමුදාවල පරපීඩාකාමුකයන්ව කුලප්පු කරන්නෙ.
      යුධ අපරාධයකදී කිසිම පාර්ශ්වයකට සම්බන්ධ නැති කෙනෙක් මොන පාර්ශ්වයෙන් මැරුවත් ඒක දරුණුම අපරාධයක් ලෙස හෙළා දැකිය යුතුයි.

      Delete
    3. රසිකයියන්ඩි/ මධ්‍යස්ථ
      අපි හිතමු මේ ත්‍රස්තවාදි කන්ඩායමක් යුද්ධය දිනලා නිත්‍යානුකුල ආංඩුවක් පිහිටෙව්වා කියලා එතකොට?

      Delete
    4. @ මෙන්ඩා.

      ලෝකයේ ඕනෑම නීත්‍යානුකූල රාජ්‍යයක් ත්රතවාදී කණ්ඩායම් වලට එරෙහිව ක්‍රියා කරනවිට වෙනත් රටවල් ඒ ත්‍රස්තවාදීන් 'විමුක්තිකාමීන්' ලෙස හඳුන්වන කැත පුරුද්දක් තියනවා. එවිට ඒ ත්‍රස්තවාදීන්ට අනුකම්පාව සහ පිළිගැනීමක් ලැබෙනවා. LTTE එකට වුනෙත් ඒකයි. ත්‍රස්තවාදී කණ්ඩායමක් යටත් කරගත් පසු ඔවුන්ට එරෙහිව සාධාරණය අහ යුක්ති සහගතව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.

      @ මධ්‍යස්ථ මතධාරියා

      හොඳම දේ එවැනි අදහස් පතුරවන්නන් ඉතා සංවිධානාත්මකව මතවාදීව පරාජයට පත්කිරීම සහ ඔවුන්ගේ අදහස් බිඳ වැටෙන පාලන තන්ත්‍රයක් පවත්වා ගැනීමයි.

      @ මෙන්ඩා.

      එදා මාඕසේතුං ලා, ෆිඩෙල් කස්ත්‍රෝ ලා, චේ ගුවේරලා, සටන් කරනවිට, ඔවුන් ත්‍රස්තවාදියෝ කියලා හැඳින්වුවා. නමුත් සටනින් දිනලා පාලන බලය ගත්තට පස්සේ ඔවුන් නීත්‍යානුකූල රාජ්‍ය නායකයන් වුනා.

      Delete
  6. වටිනා ලිපියක්. ඇත්තටම අපට යුද්ධයක සජීවී අත්දැකීම් තිබෙන්නෙ 89 යුගයෙ. උතුරෙ යුද්ධයෙ අපේ පළාත්වල මෙහෙයුම් සිදුවුනේ නැහැ. එම කැරැල්ල මර්ධනය කළ ආකාරය දෙස බලන විට එහි ඔය කියන යුධ අපරාධ සිදුවූ බව සහතිකයි. මුළු මර්ධන ක්‍රියාවලියම යුධ අපරාධයක්. හමුදාවෙන් ගෙවල් වලට පැන තරුණයන් පැහැරගෙන ගොස් මරා දැමීමනෙ සිදුවුනේ. මට හිතුන දෙයක් තමා කැරැල්ලක් මර්ධනය කරන්න මීට වඩා විද්‍යාත්මක ක්‍රමයක් නැද්ද කියන එක.

    ඇත්තටම 87/89 ජේවී පී කැරැල්ල මර්ධනය කළ යුතුයි.එදා ජේවීපී එකෙන් කළේ ජනතවාව ත්‍රාසයට පත්කර සිය විරුද්ධවාදීන් සමූලඝාතනය කිරීම.ඔවුන් දිනුවානම් කාලාන්තරයක් පවතින මහා භීෂනයක් හා කාලකන්නි රටක් බිහිවෙනවා.මර්ඪ්ෂනය කිරීම විශිෂ්ටයි.නමුත් ක්‍රමය වැරදියි.

    එහිදී දෙපැත්තටම නැති සාමාන්‍ය ජනතාවට අවම පීඩනයක් වන ලෙස මෙන්න මෙහෙම කරන්න තිබුනා නේද.

    සැකකරුවන් අත් අඩංගුවට ගැනීම.

    ඔවුන්ගෙන් තොරතුරු ලබා ගැනීම

    ඔවුන්ට එරෙහිව සාක්ෂි සපයා ගැනීම

    පුනරුත්ථාපනය කළ හැකි අය හදුනා ගැනීම ( පුහු වීරකම නිසා පිකටින් වැනි දේ කළ අහිංසකයන් )

    අපරාධකරුවන් වෙන් කිරීම ( මෙහිදී රටේ පැවති විශේෂ තත්වයන් යටතේ බස් එකක් ගිනි තැබීමද මරණ දඩුවම දිය හැකි තත්වයක් ලෙස සැළකිය හැක. ජේ ආර් 88 දී මීට සමාන විධිවිධාන හදුන්වා දුන් බවද මට මතකය.එහෙත් ජේ ආර් හා ලලිත් ඇතුලත්මුදලි ආරක්ෂක ක්‍රියාවලියෙන් බැහැර වීමෙන් රට අන්ත ම්ලේච්ඡ අලුගෝසු යුගයකට අවතීර්ණ විය )

    විශේෂ අධිකරන මගින් මෙම අපරාධ කරුවන් වරදකරුවන් කර ඔවුන් මරනයට පත් කිරීම.( මෙම අධිකරන ඉතා කාර්යක්ෂ්ම විය යුතුය. දිනපතා නඩු අසමින් විශේෂ ආරක්ෂාව යටතේ සිදුවිය යුතුය. මෙහිදී සුළු අපරාධ කළැ හෝ ඒවාට හවුල් වූ සමහරුන්ට රජයේ සාක්ෂිකාරයන් විය හැක/ ගෝනි බිල්ලන් නොවේ ).

    ඉහත සඳහන් කළේ අප ඇසූ දුටු දකුණේ තත්වයයි. උතුරේ ත්‍රස්තවාදයද මෙවැනි ශිෂ්ට ක්‍රම මගින් මර්ධනය කළා නම් එල් ටී ටී ඊ වැනි සංවිධාන බිහි නොවන බව මට සිතේ.

    උතුරේ ත්‍රස්තවාදය මේ තරම් වර්ධනය වීමට හමුදාවද වගකිව යුතු බව මට සිතේ.80 දශකයේ උතුර නැගෙනහිර සිටි හමුදාව කළ දේවල් නිසා තරුණයන් දෙමළ සන්නද්ධ සංවිධාන සමග එක්වීම වැඩි විය. බිම් බෝම්බයක් පිපුරුන විට හමුදාව මුලු ගමම වනසයි.
    එසේම නන්දසේන රතනපාල මහතාගේ පොතක තිබුනා එක් හමුදා නිළදාරියෙක් අල්ලාගන්න දෙමළ තරුණ තරුණියන්ගෙ රහස් ප්‍රදේශයට පෙට්‍රල් දමා ගිනිතබන බවත් එය ඔහුගේ විනෝදාංශය බවත්. මේව අහන අයත් කොටින්ට එකතුවෙනවානෙ.

    හමුදාව නම් වූ ආයතනයේ ඇති ගෝත්‍රික සොබාවය මීට හේතුවෙනවා නේද. ගෝත්‍රික යන්නෙන් අදහස කළේ අධි කණ්ඩායම් හැඟීමයි. මෙය ලෝකයේ ඕනෑම හමුදාවකට පොදුයි.මෙම හැඟීම ඕනෑම වෘත්තියකට තිබෙන නමුත් සන්නද්ධ පිරිසකට මෙම හැඟීම ආ විට භයානකයි.තමන්ගෙන් පරිබාහිර වූ අය තමන්ට වඩා පහත් ඒ නිසා විනාශ කළාට කම් නැති බවත් මෙවිට හැඟෙනවා.මට සිතෙන්නෙ යුධ අපරාධ සිදුවන්නෙ මෙම හැඟීම නිසා බවයි.

    අප මෙම විශය අධ්‍යනය කළ යුත්තේ යළි එවැනි දේවල් සිදුවීම වළක්වා ගැනීමටය.

    ReplyDelete
    Replies
    1. පිස්සු කතා කරන්න එපා.

      එදා 1988/89 කාලේ අපේ සිංහල හමුදාව සිංහල අය එක්ක කරපු චූටී චූටි සෙල්ලං එතනින්ම නතර කළා. උතුරේ වෙනත් ජනවර්ගයක අය එක්ක ඒ ක්‍රීඩා කරන්න හීනෙකින්වත් හිතුවේ නැ!

      Delete
    2. ඇලෙක්ස් ඩිලාජ්September 14, 2015 at 3:06 PM

      //අනික තමා මර්ධනයට අවශ්‍ය තරම් බලය ආරම්බයේදී නොයෙදීම.පසුව බලය යෙදීම ත්‍රස්තවාදය ශක්තිමත් වීමට හේතුවෙනව.ඊට පස්සෙ සුනාමියක් වගෙ බලයක් යොදන්න වෙනව නැතිකරල දාන්න. ///

      අපෝ නැහැ - උතුරේ දෙමළ සන්නන්ධ කැරැල්ල මූලික අවස්ථාවේ තිබියදී ජේ ආර් ජයවර්ධන හයමාසෙකින් ඕක මුලිනුපුටා දාන්න තමන්ගේ මස්සිනා වන බ්‍රිගේඩියර් තිස්ස "බුල්" වීරතුංගව යාපනයට යැව්ව - ඒ මහතාට දුන්නේ හමුදාපතිට උඩින් තමාට පමණක් වගකියන බලතල - ඉතින් වීරතුංග හයමාසෙකට පස්සේ නල්ලූර්වල පූජාවකුත් තියල දැන් ත්‍රස්තවාදය ඉවරයි කීව - හැබැයි පොඩි අවුලකට තිබුනේ ඒ මහත්තය‍ගේ " තද ක්‍රියාකරකම්" නිසා ත්‍රස්තවාදීන් තවත් වැඩිවීමයි - මේ ගැන විචාරක මහත්මයා දන්නවා ද දන්නෙ නෑ - මම හිතන්නේ මේ ඒ මහත්මයා හමුදාවට බැදීමට පෙර කාලය විය යුතුයි

      Delete
    3. @ මධ්‍යස්ථ මතධාරියා

      ඇත්තෙන්ම 1971 වනතුරු අපේ ත්‍රිවිධ හමුදාව සටන් අද්දැකීම් ලබා තිබුනේ නැහැ. (දෙවැනි ලෝක යුද්ධ සමයේ අත්දැකීම් තිබුණ අය, ඒ කාලේ හමුදාවේ හිටියේ නැහැ) 1971 දී තමයි දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ලංකාවේදී සන්නද්ධ රථ, කාලතුවක්කු, සහ හෙලිකොප්ටර් පාවිච්චි කළේ. 1971 දී මුලින්ම හමුදාව තැතිගැන්මකට ලක්වුනා ජේවීපී ප්‍රහාර ඉදිරියේ. එයින් ලද අද්දැකීම් තමයි 1988 - 89 කාලයේදී වැදගත් වුණේ. 1971 න් පසුව තමයි හමුදාව, 'හරියට කඩේ ඇරලා, ගනුදෙනු කරන විදිහ' පුහුනුවුණේ.

      ත්‍රස්තවාදී සමයක මුල් අවුරුද්ද හෝ දෙක තමයි ඉතා තීරණාත්මක. ඒ කාලය තුළ, ත්‍රස්තවාදීන් ජයග්‍රහණ වැඩිපුර ලබාගත්තොත්, ඔවුන් විමුක්තිකාමීන් බවට පත්ව ලෝක අවධානයද දිනාගන්නවා. නමුත් මුලින්ම දැඩි මර්දනයක් දියත් කළොත්, නිකම්ම යට යනවා. මතක තියාගන්න යට යනවා විතරයි. සම්පූර්ණ මර්දනය වෙනමම සොයාබලමින් කළයුතුයි. අන්න එතැනදී තමයි පුනරුත්ථාපනයට බහින්න ඕනේ.

      මෙතෙක් මේ රටේ මා දුටු විශිෂ්ඨතම ආරක්‍ෂක විශේෂඥයා ලලිත් ඇතුලත්මුදලි මහතායි. ඔහු ඒ විෂයය ගැන අධ්‍යාපනයක් ලැබුවෙක්.

      ගෝත්‍රික ස්වභාවය අපේ ගමෙත් ඔබේ ගමෙත් තියනවා නේද? කවුරුහරි එකෙක් ගමේ පාරේදී, කඩේ ළඟදී, ගමේ ගෑණු ළමයෙකුගේ පස්ස පැත්ත මිරිකුවොත්, ගමම එකතුවෙලා අරූට වැඩේ දෙනවනේ. හමුදාවක් සාර්ථකව පවත්වාගෙන යන්න නම් එක අණක් යටතේ තිබිය යුතුයි. ඒ අනුව ක්‍රියා කිරීම එක අතකට ගෝත්‍රයක් මෙන් ක්‍රියාකිරීමක් ලෙස කෙනෙකු දකින්නට පුළුවන්. අවාසනාවකට මෙන් අපේ රටේ හමුදාවලට සොල්දාදුවන් ලෙස බැඳෙන්නේ අධ්‍යාපනය අතින් ඉහලට නොගිය අය.

      @ රසික

      ඔබ සිංහල හමුදාව කියන්නේ කුමන වර්ගවාදී හැඟීමෙන්දැයි නොතේරේ. 88 - 89 කාලයේ දෙමළ සහ මුස්ලිම් සොල්දාදුවන්, ඉහළ නිළධාරීන්, ත්‍රිවිධ හමුදාවේ සිටියා. LTTE යුද්ධය පැවති කාලයේත් හිටියා.

      @ ඇලෙක්ස්

      ඔබගේ කමෙන්ට් එකට අදාළ තැන දී පිළිතුරු දෙන්නම්.

      Delete
  7. කෙතරම් යුධ අපරාධ කළත් ජපානයට සහ ජර්මනියට දෙවන ලෝක යුද්ධයෙන් දිනන්නට බැරිවුණා. එනිසායි ඒ යුධ හමුදා නායකයින්ට විරුද්ධව යුධ අපරාධ සඳහා නඩු අසා දඬුවම් දුන්නේ.

    ලංකාවේ තිබුණු සිවිල් කලබලවලදී අපරාධ කළ අය දිනූ නිසා තමයි ඒ අපරාධ වසා දමන්නට හැකි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ කලබල වලදි වුනේ වඩා දරුණුම අපරාධකරුවන් ජය ගැනීම . ජේවීපී අපරාධ වැහුවෙ ලොව කිසිම රටක පෙර නොවූ විරූ දරුණු අපරාධ රැල්ලකින්. අහිංසකයො 20 ක් මරන කොට එක ත්‍රස්තවාදියෙක් මළොත් මෙහෙයුම සාර්ථකයි කියන එක හමුදාවෙ ආදර්ශ පාඨය වුනේ.එක් හමුදා ආඥාපතිවරයෙක් නැගෙනහිරදි කීව සෙබල ජීවිතය දිගුකළ හැක්කේ මැරීමෙනුයි කියා .ඔහුත් රන්ජන් සේම සියළුම ප්‍රශ්න වලට විසදුම මැරීම ලෙස දුටු අලුගෝසුවෙක්.

      එදා ජර්මන් හමුදාවෙ සිටි අයික්මාන් , රොඩොල්ෆ් හෙස් , ජෝෂෙප් මෙන්ගෙල වගෙ චරිත ගැන කියවනකොට මට ඒ අය ගැන පුදුමයක් ඇතිවුනා. ඒත් ලංකා හමුදාවෙත් ඒ අයට දෙවැණි නොවන අය 89 කාලෙ හිටිය. ඔවුන්ගෙ වධකාගාර නාසි වධකාගාරවලට දෙවැනි නෑ.ඒවගෙ මියගිය අය ගැන බටහිරට රුදාවක් නැති නිසා ඒව කාලයේ වැලිතලාවෙන් වැහිල ගියා.වඩා දරුණු අපරාධකරු නිතරම නිවැරදිය යන සිද්ධාන්තය මත ඒක විසදුනා.


      මේ විදියට වඩා දරුණු අපරාධකරු ජයගැනීම කියන කාරනේ උඩ ඔහුගෙ අපරාධ යට යනවා. දෙවැනි ලෝක යුද්දෙදි සතුරු පාර්ශ්ව කළ අපරාධ ගැණ කතා කළැත් හිරෝෂිමාවට පරමාණු බෝම්බ දැමීම වගෙ මිත්‍ර පාර්ශ්ව වලින් කළ අපරාධ ගැන කතා කරන්නෙ නෑ. එතනත් තියෙන්නෙ වඩා ශක්තිමත් අපරාධකරුගෙ නීතිය නේද
      ලංකාවට යුධ අපරාධ චෝදනා එන්නෙ ලංකාව ශක්තිමත් අපරාධකරුවෙක් නොවීම නිසා නේද

      Delete
    2. @ රසික.

      උතුරු කොරියාවේ, චීනයේ, රුසියාවේ අදත් වෙන්නේ ඒ ටිකම තමා. සර්ව සාධාරණය පොත්වල තියන කාරණයක් පමණයි.

      @ මධ්‍යස්ථ මතධාරියා

      ත්‍රස්තවාදය මර්දනය කිරීමේ මූලික පියවර 'ප්‍රතිත්‍රස්තවාදය' කියලා තමයි මුළු ලෝකය පුරාම හමුදා පුහුණුවේදී උගන්වන්නේ. ඉතින් මොකද එතනින් එහාට වෙන්නේ කියලා දන්නවනේ.

      ලංකාවට යුද අපරාධ චෝදනා එන්නේ, සිංහල ජාතියට වඩා සංඛ්‍යාත්මකව අති විශාල දෙමළ ජාතියට ලොව පුරා ඇති සබඳතා මගින් ලැබෙන තල්ලුවෙන්.

      Delete
  8. මේ කොමෙන්ටුව නම් ටොපික් එකට අදාල නැතිව ඇති. ඒත් විචාරකතුමා හමුදාව ගැන හසල දැනුමක් ඇති ඊටත් වඩා ප්‍රගතිශීලී පුද්ගලයෙක් ගෙ ලිපියක් තමා මෙයට හොඳම වේදිකාව කියල මට හිතෙනවා.උතුරේ හා දකුනේ ත්‍රස්තවාදය නියපොත්තෙන් නොකැඩීම නේද මහා ඛේදවාචක වලින් කෙළවර වුනේ.

    උතුරේ මෙන්ම දකුනේදීත් ත්‍රස්ත මර්ධනයෙදි වැරදි දෙකක් කළා.
    කවදාවත් ත්‍රස්තවාදියෙක් නිදහස් කරන්න හොද නෑ. සාමය ඇතිවෙනකම් සිර කර තැබිය යුතුයි.උතුරේ නමගිය සියළුම ත්‍රස්තනායකයන් නිදහසේ හොරා පොලිස් සෙල්ලම් කළ අය.ත්‍රස්තවාදය කියන්නෙ බෝවෙන රෝගයක්.1971 දි හිරකරපු විජේවීරල නිදහස් කරල වුන විනාශය බලන්න.

    අනික තමා මර්ධනයට අවශ්‍ය තරම් බලය ආරම්බයේදී නොයෙදීම.පසුව බලය යෙදීම ත්‍රස්තවාදය ශක්තිමත් වීමට හේතුවෙනව.ඊට පස්සෙ සුනාමියක් වගෙ බලයක් යොදන්න වෙනව නැතිකරල දාන්න. 89 දි දකුනෙත් 2009 දි උතුරෙත් වුනේ ඒකයි.

    මෙය අප නිරීක්ෂනය කළා 88 වසරෙදි දකුණෙ. 88 කියනෙ ජේවීපී එක රට පාලනය කළ වසර.මර්ධනය ප්‍රමානවත් වුනානම් ජේවීපී එකට අලුත් සාමාජිකයන් එකතුවෙන්නෙ නෑ. 88 දි පුංචි ආණ්ඩුව ගෙනගිය නිසා ගම්වල ඉන්න් පුහුවීරයො ඉස්කෝල කොල්ලො ජේවීපී වෙලා ආන්ඩුවට කොන්ට්‍රෝල් නැතිව ගියා.

    උතුරෙත් වුනේ මේකමයි. කොල්ලො ඉන්දියාවට ට්‍රේනින් වලට යනකොටම අල්ලගත්තනම් නියපොත්තෙන්ම කඩන්න තිබුන. දකුනෙත් රහසිගතව දේශපාලන කදවුරු පන්ති පහ වගෙ ඒව කරනකොටම අල්ලගෙන දෙකතුනක් දුන්නනම් කොල්ලො බය වෙනව. එහෙම කළේ නෑ.ඔඩු දුවනකම් හිටිය. ඊට පස්සෙ මරන්ඩම සිද්ධ වුනා. මරන්න මරන්න ත්‍රස්තවාදය ෆෝම් වුනා.උතුරෙ නම් ගෙදර ඉන්න බයටත් එල් ටී ටී ඊ එකට එකතුවුනා. අන්තිමට ලොකු විනාශයකින් කෙළවර වුනේ.

    උතුරෙ හා දකුණෙ සිදුවීම් පාඩමකට අරන් ආයෙ නාඩගමක් නටන්න කවුරුහරි ආවොත් බූවල්ල අතට ගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඇලෙක්ස් ඩිලාජ්September 14, 2015 at 3:08 PM

      //අනික තමා මර්ධනයට අවශ්‍ය තරම් බලය ආරම්බයේදී නොයෙදීම.පසුව බලය යෙදීම ත්‍රස්තවාදය ශක්තිමත් වීමට හේතුවෙනව.ඊට පස්සෙ සුනාමියක් වගෙ බලයක් යොදන්න වෙනව නැතිකරල දාන්න. ///

      අපෝ නැහැ - උතුරේ දෙමළ සන්නන්ධ කැරැල්ල මූලික අවස්ථාවේ තිබියදී ජේ ආර් ජයවර්ධන හයමාසෙකින් ඕක මුලිනුපුටා දාන්න තමන්ගේ මස්සිනා වන බ්‍රිගේඩියර් තිස්ස "බුල්" වීරතුංගව යාපනයට යැව්ව - ඒ මහතාට දුන්නේ හමුදාපතිට උඩින් තමාට පමණක් වගකියන බලතල - ඉතින් වීරතුංග හයමාසෙකට පස්සේ නල්ලූර්වල පූජාවකුත් තියල දැන් ත්‍රස්තවාදය ඉවරයි කීව - හැබැයි පොඩි අවුලකට තිබුනේ ඒ මහත්තය‍ගේ " තද ක්‍රියාකරකම්" නිසා ත්‍රස්තවාදීන් තවත් වැඩිවීමයි - මේ ගැන විචාරක මහත්මයා දන්නවා ද දන්නෙ නෑ - මම හිතන්නේ මේ ඒ මහත්මයා හමුදාවට බැදීමට පෙර කාලය විය යුතුයි

      (කලින් කොමෙන්ටුව වැ‍ටුනේ වැරදි තැනක -) 

      Delete
    2. රසිකයියාගේ සහ මධ්‍යස්ථ ගේ මේ පිලිබද දැනුම එල ද බ්‍රා
      හොද සංවාදයක්

      Delete
    3. @ මධ්‍යස්ථ මතධාරියා

      මා හට, යුද කටයුතු පිලිබඳ, සතුටුදායක දැනුමක් විනා, හසල දැනුමක් නැති බව, අවංකව ප්‍රකාශ කරනවා. මා ඔබේ ඉහත කමෙන්ට් එකකට පිළිතුරු දුන්නාක් මෙන් මෙහිදීද මුලින්ම කිවයුත්තේ 1971 දී තමයි අපේ ත්‍රිවිද හමුදා සටනකට මුහුණ දුන්නේ. ඇත්තෙන්ම එදාත් (19710 1988 - 89 කාලයේදීත් රාජ්‍ය පාලකයන් මේ සටන් භූමිකාව හරියට තේරුම් ගත්තේ නැහැ කියලයි මා හිතන්නේ. 71 දී අසංවිධානාත්මකව හැසිරුනා. 88 -89 කාලයේදී නීතිය හමුදා අතට දුන්නා. මේ දෙකම වැරදියි.

      උතුරේ තත්වය අධ්‍යයනය කරන්න නිසි යාන්ත්‍රණයක් (රාජ්‍ය තාන්ත්‍රික / සන්නද්ධ) තිබුනේ නැහැ කියන එකයි මගේ මතය. අදත් උතුරේ වෙන දේවල් දැනගන්නේ හමුදා බුද්ධි අංශ මගින් ඔඅමනයි. රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමෝපාය බොහොම පහල මට්ටමක තියෙන්නේ.

      තවත් වරක් සන්නද්ධ අරගලයක් ඇතිවුනොත් ලෝකයේ බොහොමයක් රටවල් ඒ අරගලයට සහය දෙයි. ඒ නිසා ඒ තත්වය ඇතිකර නොගැනීමට සෑම රජයක්ම වගබලාගත යුතුයි.

      @ ඇලෙක්ස්

      ඔබ මීට පෙර මේ අඩවියට පැමිණ නැතිදෝ කියා හිතෙනවා. බොහොම සාදරයෙන් ඔබව පිලිගන්නවා.

      මා යුද හමුදාවට බඳුන 1981 වසරේදී තමයි ජෙනරල් වීරතුංග හමුදාපති වුණේ. ඇත්තෙන්ම ඔහු ගත් යම් යම් හමුදාමය ක්‍රියාමාර්ග කනගායුදායක ලෙස අසාර්ථක වුනා.

      හමුදාවේ වෙඩිතැබීම් පුහුණුවේදී ඉලක්ක පත්‍රයේ හරි මැද අති කුඩා රවුම හඳුන්වන්නේ 'බුල් කියලා. ඒ වගේමයි හමුදා සාමාජිකයකු වැරැද්දක් කලාමත් කියන්නේ, 'අන්න අර මිනිහා බුල් එකක් ගැහුවා' කියලා. ඔය නම එතුමාට පටබැඳුනේ ඒ අසාර්ථක පරිපාලනය නිසා.

      https://en.wikipedia.org/wiki/Tissa_Weeratunga

      https://www.colombotelegraph.com/index.php/the-army-the-operation-in-jaffna-july-1979/

      Delete
    4. ඔය බුල් වීරතුංග වගේ කස්ටිය 'බුල්' ගහන්නේ නැත්තේ ෆයරින් රේන්ජ් එකේදී විතරයි.. හැක හැක.. මේ ගැන හොඳ විස්තරයක් 'ගෝටාභය ගේ යුද්ධය' පොතේ තියෙනවා. පොත ලියපු අරමුණ මොකක් උනත් 'ගෝටාභය ගේ යුද්ධය' හා කරන්නගොඩ ගේ 'අධිෂ්ටානය' ඇතුලේ ගොඩක් විස්තර තියෙනවා..

      Delete
    5. @ කල්‍යාණ

      අර පොත් දෙකම කියවලා නැහැ. හොයාගෙන බලන්න ඕනේ. ඇත්තටම ජෙනරල් වීරතුංග තම අභිමතයට අනුව පමණක් ක්‍රියාකරන්න යාම නිසා තමයි අනාගත්තේ.

      Delete
  9. විචාරක අංකල්ට අවවාදයක්
    රසික සූරිආරච්චි කියන ගොබිලගේ පෝස්ට්වල කමෙන්ට් කරද්දි වාදෙට යන්න එපා. තමන්ගේ එකට කමෙන්ට් කරන්න එන එකාව පිචං කරන එක තමා උගේ ලොජික් එක. අංකල්ගේ කමෙන්ට් එකට ඇනෝ කමෙන්ට් දාල තියෙන්නේ වෙන කවුරුවත් නෙමේ රසික කියන ගොබිලමයි. උගේ පරණ ඇරියස් ගන්නේ මේ විදියට. එහෙම ඌම ඔහේව පිචන් කළ දවසට තමා ඌ ඔහේගේ පෝස්ට් එකේ ඇවිත් පොඩි දර්ශනයක් දාන්නෙත්. මේකගේ මේ නොසන්ඩාල පජාත ක්‍රියා පිලිවෙත පරණ බ්ලොග් කාරයෝ දන්නවා. දරුණු හිනමානයේ ලක්ෂණයක් මේක. එදා ඉදන්ම මූට ඒ හිනමානය තියනවා.

    ReplyDelete
    Replies
    1. මේ ඇනෝ කියන එක ඇත්ත. විචා අංකල්ව කොටු කරගෙන ගහන්න බලනවා ඔය රසිකයාගෙ සයිට් එකේ. එකෙක් ඉන්නවා විචා අන්කල්ට ගුණයෝ කියලා කියන. ඌ එන්නේ රසිකයාගේ සයිට් එකට විතරයි. මෙතන හොරයක් තියනවා. ඔය බල්ලන්ගේ සයිට් වලට විචා අංකල් යන්නේ නැත්නම් අප්සෙට් එකක් නෑ.

      Delete
  10. ඉතාමත් වටිනා කරුණු කාරණා ටිකක් විචාරක තුමා මේ ලිපියෙන් ඔබ ඉදිරිපත් කරලා තියෙන්නේ. බලමුකෝ දැන් එළියට ඒවිනේ අපට එරෙහි බරපතල යුද අපරාධ චෝදනා ටික. මේ එන්න තියන එකේ හැටියට අපි විතරමයිද මන්දා යුද අපරාධ කරල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින්. හෙළුවෙන් ඉන්න පිට රටවල් අමුඩේ ගහගෙන ඉන්න අපිට ඇඟිල්ල දික්කරලා කියනවා අපි හෙළුවෙන්ලු. අනේ අනේ නන්නානේ

      Delete
  11. වටිනා කරුණු රැසක් දැනගත්තා...

    ReplyDelete
  12. කාලෙක ඉඳන් වැඩිපුරම ඇහෙන වචන සෙට් එකක් උනත් හරි හැටි විස්තරයක් කවුරුවත් කියන්නෙ නැති එකයි ඔතන තියෙන අවුල. හොඳම සෙල්ලම කියන්නෙ ඔය නීති රීති හදපු රටවලම උන් ඕව කඩ කරන ගමන් ලංකාව වගේ රටවල් වලට ඇඟිල්ල දික් කරන එක.

    ReplyDelete
    Replies
    1. අපේ රටෙත් ඔය යුද අපරාධ යුද අපරාධ කියලා කෑගහන උන්නැහේලාගෙන් සමහරු නිකං ඔය රැල්ලට කෑගහනවා මිසක් ඇත්ත දන්නේ නැහැ. සමහරු හිතන්නේ අපි LTTE සංවිධානය පරාජය කිරීමත් යුද අපරාධයක් කියලා.

      බොහොමයලක් අපිට ඇඟිල්ල දික්කරණ රටවල් වල අතීතය කුණු ගඳ ගහනවා.

      Delete
  13. කාලෝචිත හොඳ ලිපියක්.....

    ඇත්තටම යුද්ධය කියන්නෙ දේශපාලනයේ නිර්මිතයක්. කුමන හෝ හේතු පදනම් කරගෙන ලංකාවේ යුද්ධයක් ඇති වුනා. එක පැත්තකින් රජයේ හමුදා. අනෙක් පැත්තෙන් එල් ටී ටී ඊ සංවිධානය. මේකෙන් නොසෑහෙන්න ශ්‍රී ලාංකික අපි හැමෝම බැට කෑවා. යුද්ධය විසින් අපේ රටට කරන ලද ආර්ථික හානිය ගැන කෙටියෙන් මෙහෙම කියන්නම්.

    සැබවින්ම, රටේ කලබලකාරී තත්වයක් හා යුද්ධයක් ඇති නොවුණ නම්, 1960-2005 කාලය තුළ ශ‍්‍රී ලංකාවට 9.62% ක සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයක් අත් කර ගැනීමට ඉඩ තිබුණු බව සඳහන් වෙනවා. (මූලාශ්‍රය- පිටුව 21, http://goo.gl/Uu0lIa )

    ඒ වගේම, 1983 ඉඳලා 2008 දක්වා ශ‍්‍රී ලංකාවේ හමුදාමය කටයුතු සඳහා වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් ප‍්‍රතිශතයක් ලෙස 1.6% ඉඳලා 3.5‍% දක්වා වැඩි වෙලා තියෙනවා. (මූලාශ්‍රය- http://www.uq.edu.au/economics/abstract/453.pdf)

    මීට අමතරව, යුද්ධය නිසා මිය ගිය ගණන අති විශාලයි. අහිමි වී ගිය ජාතික ධනය අතිවිශාලයි. එල් ටී ටී ඊ එක බෙදුම්වාදය සහ ත්‍රස්තවාදය අත්නොහරින තත්වයක් තුළ සහ රජය විසිනුත් ඔවුන්ගේ ඉල්ලීම් නොදෙන තත්වයක් තුළ තවදුරටත් මේ දශක ගණනක යුද්ධය ඉදිරියට පවත්වා ගත යුතු නැති තැනට පැමිණ තිබුණා. ඒ හුදෙක් සමස්ත ශ්‍රී ලංකාව වෙනුවෙන්. ඊට හමුදාමය වශයෙන් දේශපාලනමය වශයෙන් නිසි නායකත්වයක් ලැබුණා. ඒ විදිහට ජනඝාතක-දේපළ නසන-ආර්ථිකය හින්දන යුද්ධය අවසන් කෙරුණා. එහි ප්‍රතිලාභ මේ ඔබ අප ඇතුළු හැමටම විශේෂයෙන්ම උතුරේ දෙමළ ජනතාවට ලැබුණා.

    එල් ටී ටී ඊ එක මායිම් ගම්මානවලට රාත්‍රියට පැනලා අම්මගෙන් උදුරගෙන කිරි සප්පයො බිත්තියෙ ගහලා මරපු ඒ අතීතය වළදාපු එකට හමුදාවට ස්තුති කළ යුතුයි. හැබැයි හමුදාව පිළිබඳව සමස්තයක් විදිහට උතුරේ ජනතාව තුළ තිබෙන්නෙ ආක්‍රමණකාරී පිරිසක්ය කියන හැඟීමක් නම් එය පහකළ යුතුව තිබෙනවා.

    ගෙවුනු යුද්දෙදි හමුදාව අතින් යම් වරදක් වෙලා තිබෙනව නම්, එය නිසි ලෙස ආමන්ත්‍රණය කළ යුතුව තිබෙනවා. ඉන් පැනයන්න හැකියාවක් නැහැ. චැනල් ෆෝ වාර්තාමය චිත්‍රපටයේ එන දර්ශන (ඒකපාර්ශවික වුනත්) හමුදාවෙම අය විසින් ජංගම දුරකතනවලින් පටිගත කර ඇති බව පේනවා. මේ පිළිබඳව යම් වැරදි කරන ලද අය සිටී නම්, එය විනිශ්චය කළ යුතු බවයි මගේ හැඟීම.

    යුද අපරාධ ගැන චෝදනා කරන පාර්ශව-විශේෂයෙන්ම දෙමළ සංවිධාන එම චෝදනා ඉදිරිපත් කරන්නෙ හුදෙක් වෙනම් රාජ්‍යයක් පිළිබඳව තිබූ සිහින බොඳව ගිය නිසා නම් සහ ශ්‍රී ලංකාව වැට්ටවීමේ අදහසින් නම් ඉන් වන සෙතක් නෑ. ඊට වඩා ඵලදායකයි ඔවුන් උතුරෙ දෙමළ මිනිසුන්ගෙ ජීවන තත්වය වැඩි දියුණු කරගන්න උදව් කරන එක. සැබවින්ම ජාත්‍යන්තර සංවිධාන වුනත් කළ යුත්තෙ එයයි.

    නමුත් ජාත්‍යන්තර සංවිධානවල හැසිරීම පිළිබඳ මට ප්‍රශ්නයක් තිබෙනවා. බෙදනවා නම් ලොකු පොඩි භේදයක් නැතුව එකම හැන්දෙන් බෙදන්න ඕන. බලවත් යැයි කියනු ලබන රටවල් විසින් කරන ලද සහ ඇතැම් විට තවමත් කරනු ලබන ඔය කියන මානුෂවාදී නීතින්ට පටහැනි යුදමය ක්‍රියාකාරකම් ගැන ප්‍රශ්න නොකරන්නෙ කුමක් නිසා ද?

    " සාමාන්‍ය මිනිහෙකුට සීරීම් තුවාලයක්වත් ඇති නොවන යුද්ධ, ලෝක ඉතිහාසයේ තිබුනෙත් නැහැ, අනාගතයේදී තිබෙන්නේත් නැහැ. අපිට පුළුවන් වෙන්නේ, හානිය අඩුකරගැනීමට පමණයි. එහෙම නෑ කියලා කියන කෙනෙක් ඉන්නවානම්, ඔහු වහාම මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි....... එපමණකි."

    මෙන්න මේ කාරණේ ශ්‍රී ලංකාවටත් පොදුයි. යුද ගැටුම්වලට මැදිවෙලා මියයෑම් සම්බන්ධයෙන් කළ හැකි දෙයක් නෑ කියලයි මගේ අදහස. ඒත් හමුදාව විසින් චේතනාන්විතව කරන ලද යම් ක්‍රියාවන් තිබෙනව නම් එයට විනිශ්චයක් දෙන්න සිදු වේවි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ මේ හරවත් දීර්ඝ අදහස් දැක්වීම ගම. මේ පිළිතුර ලියන අවස්ථාව වනවිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් තීරණය කර තිබෙනවා විදේශීය සහ දේශීය ඒකාබද්ධ ක්‍රියාවලියක් මගින් පරීක්‍ෂණයක් පවත්වන්න. ඒ වගේම ඒ පරීක්‍ෂණය මගින් අපේ හමුදා මෙන්ම LTTE සංවිධානයේ ක්‍රියා කලාපයද සොයා බලනවා. එම පරීක්‍ෂණය ඉක්මනින් ආරම්භ කරනවානම් හොඳයි.

      Delete
  14. යුධ අපරාධ 100% ක් නැති යුද්ධ මේ ලෝකෙ කරන්න බැරි බව ඇත්ත. නමුත් චෝදනා එල්ල වන විට ඒ ගැන පරීක්ෂණ පවත්වා, නිර්දේශ ක්‍රියාත්මක කිරීම ත්, චූදිතයන් වැරදිකරුවන් බව ඔප්පු වනවානම් දඬුවම් කිරීමත්, නිවැරදි කරුවන් නම් නිදෝස් කිරීමත් තමයි ක්‍රමය. නැතුව, අපි යුධ අපරාධ කළේ නැත, ඒ ගැන පරීක්ෂණ කරන්නෙත් නැත, අපේ ස්වෛරී භාවයට තර්ජනයකි, ජාත්‍යන්තර අත පෙවීම් වලට අපි එරෙහිය, අධිරාජ්‍යවාදය ය... ආදී වශයෙන් කෑගැසීමෙන් වෙන්නේ, අපේ වරදකාරී බව සහ ප්‍රාථමික බව හෙළි වීමයි.

    ReplyDelete
    Replies
    1. යුද්ධය ආරම්භ කළ කාලයේදීම ගන්නට තිබුණු පියවර නොගැනීමේ ප්‍රතිඵලය තමයි මේ ලැබී තිබෙන්නේ. දැන්වත් ප්‍රමාද නොවී අවශ්‍ය ඉදිරි කටයුතු කලයුතුයි.

      Delete
  15. ලිපියයි කොමෙන්ට් ටිකයි ඔක්කොම කියෙව්වම ඇඩ්මිරල් වී.කේ. මල්හෝත්‍රා ගේ IHL& HR කෝස් එක කරපු විදිය මතක් උනා. අපරාදේ මේකට ඉතිහාසයේ ෆේමස් යුද අපරාද කතා කීපයකුත් එකතු කරන්න තිබ්බනම් අගෙයි. මගේ ගාව මල්හෝත්‍රා දීපු cd එහෙම තියෙනවා.. විස්තර එක්කම.. එත් මෙතනට කොහොමද එකතු කරන්නේ කියල අයිඩියා එකක් නෑ.. ඔක්කොටම කලින් පත්තර වාර්තාකාරයෝ ටිකට මේ ගැන ලෙක්චර් එකක් කරලා හිටියනම් වැරදි තොරතුරු ලියන එක අඩුවෙයි..

    ReplyDelete
    Replies
    1. ඇලෙක්ස් ඩිලාජ්September 17, 2015 at 12:26 PM

      යුද්ධ අපරාධ සම්බන්ධයෙන් දෙවන ලෝක යුද්ධයෙන් පසු ( කොරියන් යුද්ධ සමයේද බෙහෙවින් සිදුවුනත්  ) ඉතාම ප්‍රසිද්ධ සිදුවීම තමයි මායි ලායි සංහාරය - වියෙට්කොං / උතුරු වියට්නාම් භටයන්ගේ කුප්‍රකට ටෙට් ප්‍රහාරයෙන් පසු ඇමරිකන් හමුදා ඛණ්ඩයක් මායි ලායි නම් ගම් පියසේ වියට්නාම් සාමාන්‍ය වැසියන් මැරීම, වද හිංසා කිරීම . කාන්තාවන් දූෂණයට ලක්කිරීම

      මේ සිද්ධියේ ඡායාරූප එම භට ඛන්ඩය සමඟ සිටි නිලධාරියෙක් ලබා ගත්තා - ඇමරිකන් මාධ්‍ය මඟින් (මතක විදිහට සීමෝර් හර්ෂ් කියන මාධ්‍යවේදියා) මේ ඡායාරූප සමඟ සිද්ධිය ප්‍රසිද්ධ කරයි - යුද්ධ විරෝදී ඇමරිකන් ජනතාව විසින් තම හමුදා භටයන් baby killers ලෙස හැඳින්වීමට මුල්වුනේ මේ සිදුවීමයි . (ඒත් මීට වඩා බරපතල සංහාරයක් උතුරු වියට්නාමට දැමූ ඇමරිකන් බෝම්බ වලින් සිදුවුනා)
      මායි ලායි හි භට ඛන්ඩයට අණ දුන් ලුතිනන් කැලී හට ඉතාම සුළු දඩුවමක් පමණයි ලැබුනේ -මේක cause celebre එකක් වුනා -
      හැබැයි පසුකාලයේ නම් සාමාන්‍යයෙන් පැහැදිලි සාක්ෂී ඇති අවස්ථාවලදී ඇමරිකන් භටයන්ට යුද්ධ අපරාධ සඳහා බරපතල දඪුවම් දීපු අවස්ථා තිබෙනවා - ඒ කියන්නේ 21 වන සියවසේ

      Delete
    2. @ කල්‍යාණ

      මේ ලිපිය කොටස් දෙකකට ලියන්න හදලා ආපහු මෙහෙම කෙටි කළේ. යුද අපරාධ උදාහරණ සඳහා වීඩියෝ තියනවා. දැම්මත් බලන අය අඩුයි, ඩේටා සීමාවන් නිසා. අර CD එකේ දත්ත සටහන්, පින්තූට still images හැටියට අරගෙන සංස්කරණය කරලා කමෙන්ට් ඒකට එකතු කරන්න පුළුවන්. හැබැයි ටිකක් කාලය සහ ශ්‍රමය වැයවෙන වැඩක්.

      ජනමාධ්‍ය වාර්තාකරුවන් සාධාරණය නොදන්නවා නෙවෙයි. ඔවුන්ව මෙහෙයවන මාධ්‍ය මුදලාලිලා තමයි මාධ්‍ය ගණිකා වෘත්තියේ යොදවන්නේ.

      @ ඇලෙක්ස්

      ඇත්තටම දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව තමා යුද අපරාධ ගැන ලෝකයේ අවධානය යොමුවුණේ. තමන්ගේ යුද අපරාධ වහගෙන ඉන්න සමහර රටවල් අපිට විතරක් ඇඟිල්ල දික්කරනවා.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }