ඉස්කෝලේ ගිය කාලේදී නම්, වාර්ෂික ක්‍රීඩා උත්සවයේ ගමනාචාර පෙළපාලිය සඳහාවත්, ඩ්‍රිල් කරලා ඇති නේද තමුන්නාන්සේලා? හැබෑටම එහෙමවත් වම දකුණ ගහපු නැති අයත් ඉන්නවානේ මං අහන්නේ. බොහොමයක් පාසල්වල සමහර ළමයි, හැම දෙයක්ම කරනවා. පාසලේ තියන බොහොමයක් සමිති සමාගම් වල සාමාජිකත්වය දරනවා, බාලදක්ෂ, ශිෂ්‍යභට ව්‍යාපාරවල යෙදෙනවා, ක්‍රීඩා වලටත් යනවා. හැබැයි ඔය මොකවත් නොකරන, ශරීර හොරුත් ඉන්නවා. හැබැයි ඒ වගේ අයට, ජීවිතයට මූණ දෙන්න අමාරුවෙනවා, සමාජානුයෝගය අඩු නිසා. මෙන්න මේ ටික මුලින්ම කිව්වේ, හමුදාවේ ඩ්‍රිල් කෙරිල්ල ගැන, අද යමක් කතාකරන්න අදහස් කරන නිසා. ඉස්කෝලවල වගේ නෙවෙයිනේ, හමුදාවේ ඩ්‍රිල් කෙරිල්ල ටිකක් ඇඟට වදින්න ලැබෙන බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.
ඒ මදිවට අද අපේ රටේ අවුරුද්දකට සෑහෙන පෙළපාලි ගණනක් තියනවානේ. මැයි පෙළපාලි, වර්ජන පෙළපාලි, ඉල්ලීම් පෙළපාලි, විරෝධතා පෙළපාලි, තව කීයක් ජාතිද. අර අමුඩ පෙළපාලි යෑම මීට පස්සේ කරන්නේ නැතිලු නේද? පව් අප්පා අමුඩ කට්ටිය.
හමුදාවට අලුතෙන් සෙබලියන් බඳවා ගත්තම, මුලදී ඒගොල්ලෝ හිතන්නේ, අර ඉස්කෝලෙදි කළා වගේ, 'වාම් දාක් වාම් - වාම් දාක් වාම්' කියලා, නැලවිල්ලේ ගමන් කරන්නයි. නමුත්, සරඹ උපදේශක වරියන් විසින් ඔවුන්ව නිවැරදි කරනවා. (සරඹ උපදේශකවරු කියන්නේ, 'මොනවද ළමයි යනවකෝ 'චෙස්' (chest) ෆෝවඩ් දාලා, පුක් බෑක් දාලා' කියලයි) ඒ කියන්නේ, පපුව ඉදිරියට දමා, කඳ තරමක් පසුපසට බර කර යන්න කියන එකයි. ඔබ සෑහෙන්න දැක ඇති, හමුදාවේ විවිධ පෙළපාලි. නමුත් ඔබට දකින්නට නොලැබෙන, එහෙමත් නැත්නම්, ඉතා කලාතුරකින් පමණක් දකින්නට ලැබෙන පෙළපාලි, හමුදා කඳවුරු තුළ පැවැත්වෙනවා.
(නෑ නෑ එව්වා ඉතින් පෙළපාලි නෙවෙයිනේ. ඔය ටිකක් ලොකු සාදයක් තිබ්බම වෙන වෙන පෙළපාලිත් යනවා) මෙහෙම, අතනින් මෙතනින් මේ කතාව කියන්න බැහැ. ඒ නිසා, පිළිවෙලකට පටන්ගෙන කතාව කියන්නම්.
මොකක්ද හමුදා පෙළපාලියක් කියන්නේ?
හමුදා පෙළපාලියක් කියන එක මෙන්න මෙහෙම නිර්වචනය කරන්න පුළුවන්.
යම්කිසි හමුදා සොල්දාදුවන් පිරිසක් (සමූහයක්) එකිනෙකාට ආසන්නව විවිධ හැඩතල අනුව (close formation) ගමන් කරමින්/නැවතී සිටිමින්, ප්‍රදර්ශනය කරන්නාවූ සංදර්ශනාත්මක අභ්‍යාසය, පෙළපාලියයි.
අද අපි දකින පෙළපාලි, මෑත යුගයට අනුගත වන පරිදි සකසාගත් ඒවායි. නමුත් හමුදා පෙළපාලිය කියන්නේ, ඈත අතීතයේදී පැවති යුද හමුදා, සටන් බිමට පිවිසීමේදී අනුගමනය කළ, සාම්ප්‍රදායික හමුදා පිළිවෙතයි. මේ පහත පින්තූරයේ තිබෙන්නේ, හුණුගල් පුවරු කැටයමක්. ලෝක ඉතිහාසයේ, මිළ කල නොහැකි පුරාවස්තුවක්. ඉරාකයෙන් මේ පුරාවස්තුව හොයාගත්තේ, මෙසපොතේමියානු යුගයේ, යුද ජයග්‍රහණයක් ස්මරණය කරන්න සැකසු, ශිලා ස්තම්භයකින්. අද මෙය පැරීසියේ කෞතුකාගාරයක සුරක්ෂිතව තිබෙනවා. බලන්න මෙහි පැහැදිළිව පෙනෙනවා, පලිහ වලින් ආවරණය ගෙන, සොල්දාදුවන් පිරිසක්, ඝණයක හැඩය සකසාගෙන, ගමන් කරන හැටි. මේ යන්නේ කෙළින්ම යුද භූමියට.
මෙහෙම ලංවෙලා යනකොට, ආරක්ෂාව හොඳයි. හිතටත් හයියක් තියනවා. අපි සාමාන්‍ය ජීවිතයේදීත් එහෙම නේද ක්‍රියාකරන්නේ? නමුත් අද කාලේ, මේ විදිහට ගුලි ගැහිලා යුද බිමේ ගියොත්, එක මැෂින් තුවක්කු/මෝටාර්/රොකට්/කාලතුවක්කු/ගුවන් ප්‍රහාරයක්/ මගින්, විශාල පිරිසක් වනසන්න පුළුවන්. ඒ නිසා අද කාලයේදී මෙය, ජාතික, සංග්‍රාමික, විශේෂ උත්සව අවස්ථා වෙනුවෙන්, සංදර්ශනාත්මක සහ හමුදා අභිමානය, විනයවත් බව, අණදීම සහ අණ පිළිපැදීමේ කාර්යක්ෂම බව, හමුදා ශක්තිය, නිරූපණය, කෙරෙන අභ්‍යාසයක් පමණක් වන අතර, එවැනි පෙළපාලි පවත්වන්නේ, සාමය පවතින කාලයක හෝ යුද මෙන් ඈත්ව පිහිටි ප්‍රදේශවල පමණයි.
මීළඟට මා බලාපොරොත්තු වෙනවා, හමුදාවේ පැවැත්වෙන පෙලපාලි කීපයක් ගැන ඔබට හැඳින්වීමක් කරන්න.
කඳවුරු මුර පරීක්‍ෂාව - Guard Turnout
නිළ වශයෙන්, ප්‍රථම වරට, යම්කිසි කඳවුරකට පැමිණෙන උසස් නිළධාරියකුට හෝ, කඳවුරේ පැවැත්වෙන උත්සවයක්, පෙළපාලියක් වෙනුවෙන්, ප්‍රධාන අමුත්තා ලෙස සහභාගිවන නිළධාරියා වෙනුවෙන්, යම් රෙජිමේන්තුවක/බලඇණියක සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන උත්සවයට පැමිණෙන, එම රෙජිමේන්තුවේ/බලඇණියේ අණදෙන නිලධාරියාට, සහ අවශ්‍ය යයි සිතෙන වෙනත් වැදගත් අවස්ථා වලදී මේ පෙළපාලිය පිරිනමන්න පුළුවන්. මේ පෙළපාලියට අණදෙන්නේ, කඳවුරු මුරයේ මුරපති (සාමාන්‍යයෙන් සැරයන් නිලයේ කෙනෙක්) විසින්.
(හරි හරි, කඳවුරු මුරය කියන්නේ, යම්කිසි කඳවුරක ආරක්ෂාව සඳහා, වරින්වර සොල්දාදුවන් මාරුවෙමින්, පැය 24 පුරා පවත්වාගෙන යන, ආරක්ෂක මුරයයි. පෙළපාලියට එක්වන්නේ, එම අවස්ථාවේ මුරයෙන් නිදහස්ව සිටින සොල්දාදුවන් හතර දෙනෙක්, බියුගල් නලාකරු, සහ මුරපති)
අර උසස් නිලධාරියා කඳවුරු ගේට්ටුවෙන් ඇතුළුවන විටම, කඳවුරේ ප්‍රධාන නිළධාරියා විසින්, ආචාර කර පිළිගන්නවා.
මේ වනවිට පෙළපාලිය, කඳවුරේ මුරහල guard room ඉදිරිපිට, පෙළපාලිය පැවැත්වීමට වෙන්කර තිබෙන ස්ථානයේ, පෙළ සදා සීරුවෙන් ඉන්නවා. මුරපති විසින්, කල්තබා, 'මුරය.......පෙළ සදන්' යන අණ දීම අනුව තමයි, නියමිත ස්ථානයට අනුපිළිවෙලින් ගමන්කර, පෙළ සදන්නේ. පෙළපාලිය පිළිගන්න නිලධාරියා, තමන්ට මුහුණලා සිටින පෙළපාලියේ හරි මැදට පැමිණ, පෙළපාලිය දෙසට හැරී නවතිනවා. පෙළපාලිය අණදෙන්නා සිටින්නේත් එම පේලියේ හරි මැද. එවිට පෙළපාලි අණදෙන්නා මුලින්ම, 'කඳවුරු මුරය, පසෙක............ අවි' කියන නියෝගය දෙනවා. එවිට පෙළපාලිය ඉන්නේ මෙහෙමයි.
බලන්න මේ අයගේ අවිය ඔසවා, සිරුරේ දකුණු පැත්තේ සිටින ලෙස අල්ලාගෙන ඉන්නවා. ඒ තමයි, 'පසෙක අවි' ඉරියව්ව. ඊ ලඟට මුරපති, 'කඳවුරු මුරය උත්තමාචාර අවි' කියන නියෝගය දෙනවා. එවිට මුරය, තම අවියෙන්, උත්තමාචාරය පුද කරනවා. ආචාරය පිළිගන්නා නිලධාරියා ද ආචාර කරනවා. බියුගල් නලාකරු, එම පෙළපාලියට අදාළ (හමුදාවෙන් සම්මත) වාදනය ඉදිරිපත් කරනවා. මෙන්න ඒ වාදනය. තත්පර 15 යි යන්නේ. ඒ නිසා අහන්න.
බියුගල් වාදනය අවසන් කල පසුව, නැවතත්, 'පසෙක අවි' කියන අණ වචනය, මුරපති දෙනවා. එතෙක් අර නිලධාරියාද, ආචාර කරගෙන ඉන්නවා.
ඊළඟට මුරපති අඩියක් පෙරට එනවා. පැමිණ, බට් සෙලියුට් කියන ක්‍රමයට ආචාර කර, (තුවක්කුව පසෙක අවි ඉරියව්වේ තිබියදී, වම් අතේ අත්ලෙන්, තුවක්කුවේ බට් එකේ ඉදිරි පැත්තට තට්ටුවක් දී ආචාර කිරීම තමයි, බට් සෙලියුට් එක කියන්නේ. පින්තූරයක් හොයාගන්න නැත) මෙන්න මෙහෙම මුරය වාර්තා කරනවා.
'සුබ උදෑසනක් වේවා තුමනි, (මේ පෙළපාලිය තියන්නේ උදේ වරුවේ පමණයි සාමාන්‍යයෙන්) සෙබල අංක .......වන මම, (අංකය, නිළය, නම, කියනවා) ............රෙජිමේන්තුවේ (මේ පෙළපාලිය පැවැත්වෙන කඳවුරේ නම) කඳවුරු ආරක්‍ෂක මුරයේ අණදෙන්නා වෙමි. මුරයේ සියල්ල සම්පූර්ණයි, නිවැරදියි, ඔබතුමාගේ පරීක්‍ෂාවට සූදානම් තුමනි' මෙසේ වාර්තා කර ඔහු ආපසු පියවරක් පසුපසට ගෙන පේළියට එක්වනවා. ඊළඟට මේ පෙළපාලිය පිළිගන්නා අර නිලධාරියා, එක පෙළට සිටගෙන සිටින, බියුගල්කරු, මුරපති, මුරසෙබළුන් සහිත පේළිය, තම වම් අත පැත්තෙන් පටන් ගෙන, දකුණු අත පැත්ත දක්වා, ගමනේ යෙදෙමින්, පරීක්‍ෂා කරනවා.
එය අවසාන වෙනවා විනාඩියකින් පමණ. නිලධාරියා, ආපසු තමන් සිටිය ස්ථානයට පැමිණ, (පේලියේ හරි මැදට ඉදිරියෙන්) සිටගන්නවා. ඉන්පසු එම නිලධාරියා, මුරපතිට කියනවා, පෙළපාලිය හොඳයි/සතුටුදායකයි කියලා. (කවදාවත් නරකයි කියන්නේ නැහැ. එහෙම කියන තත්වයෙන් ඉදිරිපත් කරන්නෙත් නැහැ)
එවිට මුරපති යලිත් අණදෙනවා, 'මුර සෙබළ නොසැලෙන්, සෙස්සන් මුරගෙට.......යා,' යනුවෙන්. අර පේළියේ අන්තිමට ඉන්න සෙබලා, එහෙමම සීරුවෙන් සිටිද්දී, අනික් සියලු දෙනා දකුණට හැරෙනවා. 'ඇලේ අවි' කියන ඉරියව්වට තම අවිය ගන්නවා. මේ පින්තූරයේ තියෙන්නේ ඒ ඉරියව්ව. ඒ හා සමානවම, අර නිලධාරියාත් දකුණට හැරෙනවා. නිලධාරියා ආචාර කර එතනින් පිටවෙනවා. මුර සෙබලා හැර සියලු දෙනා, දෙගුණයක් ගමන් වේගයෙන් (double up) මුරහලට යනවා.
ඔන්න ඕකට තමයි, කඳවුරු මුර පරීක්ෂාව කියන්නේ. මෙය ඉතා කලාතුරකින් තමයි, සාමාන්‍ය මහජනතාවට දකින්නට ලැබෙන්නේ. මීට පස්සේ, මේ වගේ දෙයක් දැක්කොත්, පරීක්ෂාවෙන් බලන්න, එතන සිදුවන දේ. තවත් කොටසකින් හමුවෙමු.
2016 මාර්තු මස 10 වැනි දින 0022 පැය
ඔතන මුරපති කියන්නේ ඒ වෙලාවේ අණ දෙන්නාටද?
ReplyDeletehttp://nelumyaya.com/?p=5326
ඔව්, සාමාන්‍යයෙන් එදින මුරපති තමයි මෙය කලයුත්තේ. නමුත්, පෙළපාලිය අභිමානවත්ව පැවැත්වීම සඳහා, හොඳ අණදීමේ හැකියාවක් සහිත, සැරයන්/මාණ්ඩලික සැරයන් වරයකු සහ, එදින මුරයේ නොයෙදෙන, හොඳ පෙනුමෙන් යුත් සෙබළුන් යොදාගන්නවා.
Deleteස්තුතියි අජිත්.
//හොඳ පෙනුමෙන් යුත් සෙබළුන්//:D
Deleteඔව් හරී, නිකං ඔහේ වැනෙන අය දාන්නේ නැහැ මේ වගේ වැඩකට. මොකද ඒ කඳවුරේම අභිමානය ඉවරයි මොකක් හරි ජරා විදිහට කලොත්.
Delete//හොඳ පෙනුමෙන් යුත් සෙබළුන්/
Deleteහා හා
නොදන්න දේවල් හුඟක් ඉගෙන ගත්තා. ඔබට තුති. ජය පතමි.
ReplyDeleteඇගයීම ගැන ස්තුතියි.
Deleteහුඟ දවසකින් ඔබේ අඩවිය පැත්තේ එන්න බැරිවුණා. මේ දවස්වල ලාබෙට බෝවෙන කැස්සෙන් අඩුවක් නැතුව පීඩා විඳිනවා. ඒ නිසා පරිගණකයේ එල්ලිලා ඉන්න කාලයත් සීමිත වෙලා.
අගනා විස්තරයක් , මේ ගැන තව හොයන්න අවශ්‍ය නෑ ,මේක කියෙව්වම
ReplyDeleteස්තුතියි ඉවාන්. හැකිතරම් කෙටියෙන් ලියන්න හිතුවත්, ටිකක් දික්ගැහුණා.
Deleteඉස්සර hand to hand යුද්ධ කරනකොටත් ලයින් එක හරියට තියා ගැනීම බොහෝ අවස්ථාවල අත්‍යවශ්‍යයි නේද? Saxon shield wall, Greek hoplites, Roman (various formations), Pikemen, cavalry charges, 1400 ගණන්වලින් පස්සෙ තුවක්කු එක්ක වුනත්, 1860 ගණන්වල ඇමරිකන් සිවිල් යුද්ධෙදි වෙඩිකාගෙන (සමහරවෙලාවට කාලතුවක්කු ප්‍රහාරයටත් මූනදීලා) බයිනේත්තු සහිත සින්ගල් ශොට් මස්කට් හරි රයිෆල්හරි අරගෙන එක ලයින් එකට යන්න සෑහෙන නිර්භීතකමක් තියෙන්නෙ ඕනෙ නේ. පලවෙනි ලෝක යුද්දෙදිත් එක ලයින් එකෙන් චාර්ජ් කලා. නිර්භීතවගේම wasteful in human lives. පස්සෙ ටැක්ටික්ස් වෙනස්වුනා නේද?
ReplyDeleteඒ කාලේ යුද්ධ මුවිවලින් දැක්කාම පිස්සු හැදෙනවා මිනිස් විනාශය දැකලා. දැන් යුද්ධවලින් නම් බහුතර විනාශය වෙන්නේ ගොඩනැගිලිවලට නේ!
Deleteබොහොම ස්තුතියි Pra Jay සහ රසිකොලොජිස්ට්.
Deleteමෙන්න මේ වගේ සංවාද ඇතිකරගැනීම සඳහා තමයි මා ඇත්තටම බ්ලොග් ලිපි ලියන්නේ. නමුත් අවාසනාවකට වගේ, ඇනෝ කමෙන්ට්ස් වලට ඉඩ දුන්නොත්, මේලෝක දැනුමක්/බුද්ධියක්/හැදිච්චකමක් නැති අපතයන් රිංගනවා.
යුද්ධය කියන්නේ මිනිසුන් දෙපිලකට හෝ පිල් කීපයකට බෙදී ගහ මරා ගන්න එකටනේ. ඒකෙ කිසි සුන්දරත්වයක් නැහැ. දරුණු බව විතරයි තියෙන්නේ. නමුත් විවිධ ආගම් වලට අදාළ වෘතාන්ත, ඓතිහාසික කතා වල, යුද්ධයට වීරත්වයක් ආරෝපණය කර තිබෙනවා. අදටත් එහි එතරම් වෙනසක් නැහැ. ප්‍රභාකරන් ලංකාවම යටත් කරගත්තානම්, ඔහු යුද වීරයෙක් වෙනවා. ජෙන්ඝිස්ඛාන් ගේ සිට, සරත් ෆොන්සේකා/ගෝඨාභය/මහින්ද/ ආදී සියල්ලන්ම යුද වීරයන් සේ සැලකෙනවා. ඩයස්පෝරාවට ප්‍රභාකරන් තවමත් වීරයෙක්.
යුද්ධයට අකමැතිම කවුද කියා ඇසුවොත්, ඊට දියහැකි පරම සත්‍ය වූත්, අවංක වූත්, උත්තරය වන්නේ යුද්ධයට අකමැතිම කෙනා යුද සෙබලා යන්නයි. යුද්ධයේ කුරිරු බව, යුද සෙබලා තරම්, වෙන කවුරුවත් අත්විඳින්නේ නැහැ. එයින් සිදුවන කායික හානි, මානසික පීඩනය, යුද්ධයෙන් පසු පණපිටින් ඉතුරුවන සෙබළුන්ගෙන් විද්‍යමාන වෙනවා.
ක්‍රිස්තු පූර්ව යුගයේදී සහ මාධ්‍ය කාලීන යුගයේදීත්, මුහුණට මුහුණ ලා සටන් කිරීමට සිදුවුනේ, එවකට වෙනත් විකල්ප නොමැතිවූ නිසා. එබැවින්, එඩිතර පුද්ගලයන් නොබියව සටනට ගියා. නමුත් බියසුල්ලන් කියා පිරිසක්, එදත් අදත් ඉන්නවා. යුද හමුදා පනතේ පවා වගන්තියක් තිබෙනවා, තුවාල ලැබුවන් දෙවැනි පෙලට (පසුපස ප්‍රදේශයට) ගෙනයාමේ ව්‍යාජයෙන්, සටනින් පලා යන්නන්ට එරෙහිව ක්‍රියා කරන බව. පසුගිය ඊළාම් යුද්ධයේදීත් එවැනි දෑ සිදුවුනා.
ගිනි අවි නිපදවීම දියුණු වීමත් සමගම, දුර සිට ඉලක්කවලට පහරදීමට ඇති හැකියාව වර්ධනය වීමත් සමග, සංග්‍රාමෝපක්‍රම විශාල වශයෙන් වෙනස්වුණා. අද, විශාල පිරිසක් සුළු වෙලාවකින් මරා දැමීමට තරම් කාර්යක්‍ෂම, එහෙත් එක අතකින් බලනවිට තිරශ්චීන, නවීන අවි තිබෙනවා.
අනාගත යුද්ද්ද සිදුවන්නේ රෝබෝ තාක්‍ෂණය සහ දුරස්ථ පාලක ක්‍රම මගින්.
ඔබ දෙදෙනාටම නැවතත් ස්තුතියි.
පෙළපාලිය පරීක්ෂා කරන්නේ විචාද?
ReplyDeleteකට්ටිය එකතුවෙලා ඔය පැත්තේ ඇවිත් උත්තමාචාරයක් දක්වලා යන්ට ඕනි. :P
මටත් පෙන්නේ ඒ වගේ.
Deleteඅනේ උත්තමාචාර දක්වන්න එනකොට, ඔය පැත්තෙන්, අවශ්‍ය අඩුම කුඩුම ඔක්කොම ඇන්න එන්න හොඳේ :e
'මොකද අඩිය හරියට ගහන්න බැරි...ජනවාරි පෙබරවාරි වෙලාද' කතාව අහලා ඇති නේද? අපේ අර ප්‍රසිද්ධ DI ??
ReplyDeleteබෝලේ නේද බඩුව? එක අතකට ඒ වගේ මිනිස්සු දැන් නැති එක ලොකු අඩුවක්.
Deleteමොකද ඹය කොරගහන්නේ,
ReplyDeleteමං අණකරනවා උඹට කොරගහන්න එපා කියාලා...
..........
කියපං සිංදුවක්,
යුද්දෙට මං ගියා..
ගෑනි ගෙදර තියා..
මගේ යාළුවෝ මං එනතුරු,
උන්දැ බලාගයි නිරතරු..
(හුණුවටයේ කථාව)
අගේ ඇති විස්තරයක්
ජ ය වේව ා!!!
හැක්, ඒ කාලේ, නැන්දම්මා ගෙදර මුරයේ මුරපති වශයෙන් තියලා තමා, බය නැතුව යුද්දෙට ගියේ.
Deleteස්තුතියි ඇගයීමට.
සතරදෙනෙක් සෙන්පතියෝ මගට වැදී යුදට ගියෝ
Deleteයුද්දෙට ගිය ඔලුගෙඩියෝ උන්ගේ හැටි කියාපියෝ
උන්ගේ හැටි කියාපියෝ..
පළවෙනියට බියක් හිතේ දෙවැනියාට හති වැටෙතේ
තුන්වැනියා මග මැරෙතේ අන්තිමයා පැන දුවතේ
අන්තිමයා පැන දුවතේ..
පස්වැනියෙක් මග එන්නේ ඔහු නෑ යුද්දෙට යන්නේ
ඉර හඳ තරු පායන්නේ ඌටලු බොල බලපන්නේ
ඌටලු බොල බලපන්නේ......
(හුණුවටයේ කථාව)
මේවා කවදාවත් පරණ වෙන්නේ නැති සින්දු නේද සින්දුවෝ. මානෙල් ජයසේන නමැති ඒ අග්‍රගන්‍ය නිළියගේ කටහඬ දැනුත් ඇහෙනවා ඇහෙනවා වගේ.
Deleteස්තුතියි සින්දුවෝ.
1. //අද අපි දකින පෙළපාලි, මෑත යුගයට අනුගත වන පරිදි සකසාගත් ඒවායි. නමුත් හමුදා පෙළපාලිය කියන්නේ, ඈත අතීතයේදී පැවති යුද හමුදා, සටන් බිමට පිවිසීමේදී අනුගමනය කළ, සාම්ප්‍රදායික හමුදා පිළිවෙතයි// දැනුයි තේරුනේ.
ReplyDelete2. කඳවුරු මුරයට කඳවුරේ ඉන්න හැම සෙබලෙක්ම නිලධාරියෙක්ම කවදාම හෝ සම්බන්ධ වෙන්න ඕනෙද? නැත්නම් ඒ සඳහාම වෙන්වූ වෙනම භට පිරිසක් ඉන්නවාද?
3.// ඊළඟට මේ පෙළපාලිය පිළිගන්නා අර නිලධාරියා, එක පෙළට සිටගෙන සිටින, බියුගල්කරු, මුරපති, මුරසෙබළුන් සහිත පේළිය, තම වම් අත පැත්තෙන් පටන් ගෙන, දකුණු අත පැත්ත දක්වා, ගමනේ යෙදෙමින්, පරීක්‍ෂා කරනවා.//මොනවද පරීක්ෂා කරන්නෙ? හමුදා නිලධාරියෙක් නම් සෙබළුන්ගේ ඉරියව් ඇඳුම් පැළඳුම් පරීක්ෂා කරනවා කියමුකො. ඒත් සාමාන්‍ය මනුස්සයෙකුට පෙළපාලිය පිරිනමද්දි මොනවා පරීක්ෂා කරන්නද? ඒ වගේ ඔහේ ඇවිදගෙන යන කෙනෙකුට පෙළපාලියක් පිරිනැමීම සුදුසුද?
4.
1. නිකම් හිතලා බලන්න, ඒ කාලේ කොහොම තියෙන්න ඇද්ද, සතුරා හමුවනතුරු මාච් කරගෙන යනකොට.
Delete2. හමුදා පොතේ තියෙන්නේ, එදින කඳවුරු මුරයේ මුරපති සහ සෙබළුන් හතර දෙනෙක් සමග බියුගල්කරු කියලා. නමුත්, කඳවුරු මුරයේ ඉන්න අයව ගන්න ගියාම කරදරයි නේ. ඒ නිසා වෙනම පිරිසක් අරන්, දින දෙකක් විතර පුහුණු කරලා තමයි, පෙළපාලිය දෙන්නේ.
3. සාමාන්‍ය මනුස්සයෙක් කිව්වේ රාජ්‍ය නායකයෙක් හෝ එවැනි වෙනත් ප්‍රභූ කෙනෙක්ද? එයාලට මේ පෙළපාලිය දෙන්නේ නැහැ. එයාලට දෙන්නේ සම්මාන මුරය Guard of Honour කියන පෙළපාලියයි. ඒක ගැන ඉදිරියේදී කියන්නම්. එයාට පුළුවන් පෙළපාලිය පරීක්ෂා කරන ගමන් නැවතිලා, පෙළපාලියේ ඉන්න සෙබළකුගෙන් අහන්න, ඔබේ නම කුමක්ද, ඔබේ රෙජිමේන්තුව කුමක්ද, ඔබේ සේවා කාලය කුමක්ද, ඔබ මේ පදක්කම දිනුවේ කුමන හේතුවක් නිසාද, වැනි දෙයක්. (සුහද බව දැක්වීම සඳහා) රාජ්‍ය නායකයන්ට හෝ සම්මත/පිළිගත් ප්‍රභූ වරයකුට සම්මාන මුරයක් දීම, ලෝකයේ සෑම රටකම කෙරෙන චාරිත්‍රයක්.
4. ඉලක්කම් නොදා ප්‍රශ්න අසනු. මම ප්‍රශ්නයක් අසමි. දැන් මාස කීයද?
අනේ හැබැට මෙහෙම වැඩිහිටියෝ
Deleteවැඩිහිටියෙක් නිසා නේන්නම් යකෝ ඇහුවේ. ආයෙ පොඩි එවුන් දන්නවෑ ඔව්වා අහන්න.
Delete2. මම ඇහුවේ මුර පෙළපාලිය නෙමෙයි කඳවුර මුර කරන රාජකාරිය ගැනයි.
Delete3.සම්මාන මුරය ගැන තමයි මම ඇහුවෙ. මට මතකයි ඒ කාලෙ ඉස්කෝලෙ සම්මාන මුර දෙනකොට එන ආරාධිත අමුත්තා ඔහේ ඇවිදගෙන යනවා. මට හිතුනෙ එයාට කියලා සම්මාන මුරය පරීක්ෂා කරවන එක තේරුමක් නෑ කියලා. මට යාන්තමට මතකයක් තියෙනවා ඔය මුර පෙළපාලියක් අපි කළාද කොහෙද ක්‍රීඩා උත්සවයට ආපු ආරාධිත අමුත්තෙකුට.
4. දැන් නිදාගන්ඩ නෑ. හුචෑස් හුචෑස් ගානවා.
කඳවුරේ ඉන්න සෑම නිලධාරියකුටම පහත දැක්වෙන විදිහට, කඳවුරේ ආරක්ෂාව සහ පරිපාලනයට අදාලව රාජකාරි ලැබෙනවා. දවසේ කාර්ය භාර ජ්‍යොෂ්ඨ නිළධාරි (මේජර්/ලුති කර්නල්/කර්නල්) යුද හමුදා මූලස්ථානයේ නම් මේජර් ජෙනරල් කෙකෙන් සහ බ්‍රිගේඩියර් කෙනෙකුත් යොදවනවා. බලඇණි මූලස්ථානයක නම්, කපිතන් සහ ඊට පහල නිලයේ නිලධාරීන්, දවසේ කාර්යභාර නිලධාරි Duty Officer ලෙස යෙදවෙනවා. සාජන් මේජර් වරයකු හෝ මාණ්ඩලික සැරයන් වරයකු යොදවනවා, දවසේ කාර්ය භාර ජ්‍යොෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි හැටියට. සැරයන් හෝ කෝප්‍රල් නිලයේ කෙනෙක් යොදවනවා මුරපති හැටියට, ලාන්ස් කෝප්‍රල් සහ සාමාන්‍ය සෙබල නිලයේ අය යොදවනවා, මුර සෙබළුන් ලෙස. රෙජිමේන්තු සැරයන් මේජර් විසින්, සැරයන් මේජර් සිට පහලට සියලු දෙනාගේ රාජකාරි ලේඛනය Duty Roster සකසනවා කඳවුරේ සිටින සියලුම අයවලුන් මාරුවෙන් මාරුවට ඇතුලත්වන පරිදි. නිලධාරීන් රාජකාරියේ යෙදවීමේ ලේඛනය පවත්වාගෙන යන්නේ බලඇණියක විධායක අධිකාරි Adjutant විසින්. ඒ අනුව කඳවුරක ඉන්න සියලුදෙනාම මුර රාජකාරියට සම්බන්ධ වෙනවා.
Deleteහඃ හඃ, කාටද තාත්තේ ආඩම්බර? ඇයි ඉතින් පොඩි පොස්ට් එකක් හරි අඩුගානේ කවි දෙකතුනක් හරි ලියන්නේ නැත්තේ?
අඩෝව් අටමා........ඔන්න හරියගේ වැඩ.
අපි වීදි නාට්‍යයක් කළා 1998 දි. මං චරිත කීපයක් කළා. එයිං පළවෙනි එක රජතුමාගෙ සික්‍යුරිටි ඔෆිසර්. නම පච්ච සිරා. මං ඕකෙදි තුවක්කුවෙන් ආචාර කළා රජාට. අපේ හිටපු කැඩෙට් සාජන් කෙනෙක්ගෙන් අහගත්තෙ.
ReplyDeleteහැක්, ඇත්ත තුවක්කුවක් උනානම් උඹ රජාවත් මරලා, ප්‍රේක්‍ෂකයන්ටත් තුවාල කරලා තමයි නවතින්නේ.
Deleteමං ඒක කළේ පොල්පිත්තකිං... හෙහ් හෙහ්...
Deleteහිහ් හී..........පොල්පිති සිකියුරිටි ගාඩ් :e
Deleteපට්ට.. ඔන්න ඔය වෙලාවටනේ මටත් නේවි රුටීන් එක ගැන එහෙම ලියන්න හිතෙන්නේ.. මේ පින්තුර විස්තර ටික පට්ට වටිනවා. අලුත් රෙක්රුට් ලටවත් මෙච්චර පැහැදිලිව කියලා දෙනවද මංදා..
ReplyDeleteඅ බිග් සැලියුට් සර්!
රුටීන් බැරිනම් ට්‍රේනිං කාලේ පනිෂ්මන්ට් එකට රූටන් ගියහැටිවත් ලියපන්කො. අම්මපා උඹවගේ කම්මැලියෙක්.
Deleteඅර වතුර ප්‍රොජෙක්ට් එකනම් මහා පුන්‍යකර්මයක් ඈ.
ස්තුතියි.
ඒකනේ ලියමුකෝ
Deleteමුරපති බියුගල් කරු ලඟම ඉන්නෙ නැතුව එකක් එහා පැත්තෙ ඉන්නෙ ඇයි? අන්තිම සෙබලා වැඩේ ඉවර උනාම යන්නෙ නැත්තෙ ඇයි? සංග්‍රාමික වැදගත් කමක් නැති මේ වගේ දේවල් තාම උගන්නන්නෙ ඇයි?
ReplyDeleteමුරපති පේලියේ හරිමැද ඉන්නේ, පෙළපාලිය පිළිගන්න නිලධාරියා පැමිණ, පේලියේ හරිමැද නැවතුනාම, මුහුණට මුහුණ ලා සිට, පෙළපාලිය වාර්තා කිරීමටයි. අන්තිම සෙබලා තමයි, ඒ වෙලාවේ ඒ ස්ථානයේ සිටින මුරසේබලා ලෙස සැලකෙන්නේ (කඳවුරේ මුරහල අසල සිටින මුරසෙබලා) ඉතින්, පෙළපාලිය අවසන් වුනත්, ඔහු තම රාජකාරියේ යෙදෙනවා.
Deleteමෙහි තිබෙන්නේ, සංග්‍රාමික warfare වැදගත්කමක් නෙවෙයි. හමුදා සම්ප්‍රදාය හා පිළිවෙත military traditions & customs නොකඩවා පවත්වා ගැනීමක්. මෙය කරන්නේ අපේ රටේ විතරක් නොවේ. හමුදාවක් තියන සෑම රටකම කෙරෙනවා.
ඇත්තට ම අලුත් දැනුමක් ලැබුවා..... හොද සටහනක්.....
ReplyDeleteබොහොම ස්තුතියි කුරුටු.
Deleteඩ්‍රිල් හරියට තියෙනවා කියන්නෙ ඒ සෙට් එක හොඳටම හැදෙනවා කියන එක.බයාදු,නාහෙට අහ්න්නෙ නැති,පිස්සු,අධ්‍යාපනික.. මේ වගේ එක එක කැටගරි වලින් ඉන්න අය ඔක්කොම එකට හැඳි ගෑවිලා ටීම් එකක් විදිහට එකට වැඩක් කොරන්න පුරුදු වෙනවා ඩ්‍රිල් එකකින්..දාඩිය දාල,අව්වෙ පිච්චිලා උනාට ලැබෙන ප්‍රයෝජනය නම් ලොකුයි.ලෙසන් උනත් ඔක්කොම සෙට් වෙලා පාඩම් කරලා ටීම් එකක් විදිහට වැඩ කරනවා.පොඩි කෝටුවක්,පනිශ්මන්ට් ටිකක් නැතුවමත් නෙමෙයි.. හෙහ් හෙහ්... (පාසල් කාලය සිහි කරමින්.)
ReplyDeleteජයවේවා..!!
හරියටම හරි. හමුදාවක සිටින සෑම කෙනාටම සරඹ උගන්වන්නේ, සරඹ කරවන්නේ, පළමුව, එක අණක් යටතේ ක්‍රියා කිරීමට හැඩගැස්වීම, දෙවනුව, විනය පවත්වාගැනීමට පුරුදු පුහුණු කිරීම, තුන්වෙනුව, සාමූහිකව ක්‍රියාකිරීමට අවශ්‍ය මානසික ඒකාග්‍රතාවය ලබාදීම.
Deleteපොඩි පොඩි දඬුවම් නැති පාසල් ජීවිතේ මොන තරම් නීරසද?
විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා සමග මම වසර හතරක් වැඩ කර තිබේ. එතුමා තුලද හාස්‍යය දැකීමේ හා ප්‍රකාශ කිරීමේ හැකියාව තිබේ. වරක් යුද හමුදා රෝහලේ සායනයකට බියුගල් පිඹින සොල්දාදුවෙකු ආවේය. ඔහුගේ රාජකාරිය උදෑසන සහ රාත්‍රී ධජ ඔසවන සහ බාන විට බියුගල් පිඹීමයි. බියුගල් පිඹින විට බඩේ පීඩනය වැඩිවී තම අණ්ඩ කෝෂ ඉදිමේ බියක් තියනවා යැයි ඔහු කීවේය.
ReplyDeleteමෙම බියුගල් පිඹින්නා අණ්ඩයෙකු බවත් වරක් ප්‍රමාදවී නැගිටීම නිසා ඔහු නිල අැඳුම නොඇඳ යන්තම් මුහුනේ කබ පිසදා සොල්දාදු නිවස්නයේ ජනේලයක් තුලින් බියුගලය එලියට දමා පිඹ තිබෙන බව රෙජිමේන්තු සාජන් මේජර් අප සමග කීවේය. මෙය ඇසීමෙන් අප දෙදෙනාටම සිනහව නවතා ගැනීමට නොහැකි විය.
බොහොම ස්තුතියි ඔබට, මෙතනටම ගැලපෙන, මේ කතාව මතක් කර දුන්නාට. මේ සිද්ධියට සම්බන්ධ රෙජිමේන්තුව පවා මා දන්නා නමුත්, එය මෙතන ලිවීම සුදුසු මදි. ඔය වගේ අන්ඩපාලලා සෑහෙන්න ඉන්නවා.
Deleteඒ වගේම කරන තවත් පහසු කපටි වැඩක් තමයි, ඒ කාලේ යුද්ධය නිසා එක දවසේ හමුදා අවමංගල්‍ය දෙක තුනක් කරන්න වුනාම, බියුගල් එක වෙනුවට, ඒ අවමගුල් පෙළපාලියට සහභාගිවන හමුදා තූර්ය වාදක කණ්ඩායමේ, ට්‍රම්පට්කරු යොදවා, අදාළ බියුගල් වාදනය (last post) ඉදිරිපත් කිරීම.
ඇත්තෙන්ම බියුගල් එක දීර්ඝ වෙලාවක් පිඹීම තරමක් වෙහෙසකරයි.
අපි කැඩෙට් කරන කාලෙ සමහර එවුන් රෑට නිදාගන්නෙ සම්පූර්ණ ඇඳුම ඇඳලා.
Deleteඅපි උදෙන්ම නැගිටලා ඇඟපත හෝදගෙන ලෑස්තිවෙලා යද්දි, උන් පරක්කුවෙලා නැගිටලා මූණෙ වතුර ටිකක් ගාගෙන පෝලිමට ගිහිල්ලත් ඉවරයි.
අපොයි ඔය වැඩේ පාසල් ශිෂ්‍ය භටයෝ ඒ කාලෙත් කළා. P.T. Kit එක ඇඳගෙන සපත්තු විතරක් නොදා බුදියගන්නවා. හරිම ඇම්ඩන්ලා තමයි.
Deleteතව ප්‍රශ්නයක්.
ReplyDeleteහමුදා පුහුණු කාලය අවසන් වූ පසුවත් හමුදා සාමාජිකයින් දිනපතා සරඹ පුහුණුවීම්වල ව්‍යායාම වල යෙදීම අනිවාර්යයිද? මග හරින්න පුළුවන්ද? (යුධ භූමියක නෙමෙයි සාමාන්‍ය කඳවුරකදී)
යුධ භූමිය අසල පිහිටි කඳවුරු වල සරඹ පුහුණුවීම් නැද්ද? ස්නයිපර්ලගෙන් බේරෙන්නත් ඕනනෙ.
අහන්න අනේ ඔන්න ඔහොම ප්‍රශ්න.
Deleteහමුදාවේ සියලුම සාමාජිකයන් සාමාන්‍යයෙන් බදා දිනයේදී පුහුණුවීම් වල යෙදිය යුතුයි. මෙහිදී පුහුණුවීම් කියනේ සරඹ කිරීමයි squad drill. එහෙම කිරීමෙන් මගහරින්න නොහැකිය. එය ස්ථාවර නියෝග යටතේ ක්‍රියාත්මක වෙයි. අත්‍යවශ්‍ය රාජකාරි වල යෙදී සිටින, අසනීපයෙන් සිටින, අය හැර අනෙක් සියලු දෙනා පැමිණිය යුතුයි.
යුද භූමිය අසල කිව්වට කඳවුරක් පිහිටුවන්නේ යටත්පිරිසෙයින් සටන් පෙරමුණට කිලෝමීටර් කීපයක් පසුපසින්. ඒ නිසා ස්නයිපර්ලාගෙන් තර්ජනයක් නැත. නමුත් පුහුණු කටයුතු පැවැත්වෙනවා. එහිදී වැඩිපුර දෙන්නේ සරඹ නොව සංග්‍රාමික පුහුණුවයි.
පෙලපාලි ගැන සෑහෙන විස්තරයක් දැන ගත්තා... ස්තුතියි
ReplyDeleteඔබේ දැනුමට යමක් එකතුවුනා නම් මට ගොඩක් සතුටුයි.
Deleteඇත්තටම පාසල් හැරයන සියල්ලන්ටම නියමිත කාලයක් ඔය වගේ වෙහෙසකර හමුදා පුහුණුවක් දුන්නනම් අපේ රටේ තරුණ පරම්පරාව විනයක් ඇතුව වෙහෙසිලා වැඩ කරන්න පුරුදු වෙයි කියල මට හිතෙනවා.. දැන් හුඟ දෙනෙක් උත්සහ කරන්නේ මහන්සි නොවී උපයන්න..
ReplyDeleteආදී කාලේ ශක්තිවන්තයා යුද්දය දිනුවට දැන් කාලේ යුද්දය දිනන්නේ වැඩියෙන්ම කපටි වෙච්චි පාර්ශවය කියලයි මම හිතන්නේ.. විචාරක මොකද කියන්නේ ඒ ගැන..
අග ඉඳන් මුලට උත්තර දෙන්නද? ආදී කාලෙත් කපටියා තමා යුද්දේ දිණුවේ. (බුද්ධිමතා, දුර දක්නා නුවණ ඇති තැනැත්තා, යුද්ධෝපායයේ දක්‍ෂයා කියලත් කියන්න පුළුවන්) මහෞෂධ පණ්ඩිතයන්ගේ සිට සුන් සු දක්වා ඔක්කොම ඒ ගණයට වැටෙනවා. හැබැයි අද තියන වෙනස ඔත්තු බැලීම අතින් නින්දිත තත්වයට පත්ව තිබීමයි.
Deleteයම්කිසි රටක දියුණුවට මහජනතාවගේ කාර්යක්ෂම බව තදින්ම බලපානවනේ. අපේ රටේ වැඩ කළහැකි සියලුදෙනාටම, දෛනික කටයුතු, වඩාත් විධිමත්ව පවත්වාගෙන යා හැකි ආකාරය අවබෝධ කරදීම සඳහා, අවි පුහුණුවකින් හා දැඩි කායික පුහුණුවකින් තොර, සාර්ථක වැඩසටහන් දියත් කරන්න පුළුවන්.
//හැබැයි අද තියන වෙනස ඔත්තු බැලීම අතින් නින්දිත තත්වයට පත්ව තිබීමයි. //
Deleteමේ කියන්නේ පාවාදීම් වගේ දේවල් ගැනද .. ???
පාවාදීම් නෙවෙයි. රටවල් වලට ආධාර දෙන මුවාවෙන්, තානාපති සබඳතා මගින්, ව්‍යාපාරිකයන් ලෙස රටවලට ඇතුළුවී ක්‍රියාකරන අය මගින්, ඔත්තු බැලීම.
Deleteබොහොම ස්තුති ඊලග කොටස එනතුරු මගබලමින්
ReplyDeleteහොඳයි, දැනට සංස්කරණය වෙමින් පවතී.
DeleteThis comment has been removed by the author.
ReplyDeletehttp://apeahasa.blogspot.com/2011/02/blog-post_10.html
Deleteමේ වගේ එව්වා කියෝපුවහම ආයේ කැඩෙට් කරන්න තිබ්බනම් කියලා තමයි හිතෙන්නේ!
ReplyDeleteකට්ටියක් වරෙල්ලා දවසක අපේ ගෙදර. උදේ වරුවේ කැඩෙටින්, හවස් වරුවේ................?
Delete