හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

23 March 2016

අපි නොදන්න පෙළපාලි (තුන්වැනි කොටස)

Military Parade
යුද හමුදාවේ පැවැත්වෙන විවිධ පෙළපාලි ගැන ලියවෙන මේ ලිපි මාලාවේ, පළමුවැනි කොටසෙන් සහ දෙවැනි කොටසෙන්, ඔබේ දැනුමට සෑහෙන කරුණු ප්‍රමාණයක් එක්වූ බව, ඔබෙන් ලද ප්‍රතිචාර වලින් පැහැදිලි වුන අතර, ඒ ගැන මා සතුටු වෙනවා. හමුදාවක්, පෙළපාලිවල යෙදෙනවා දකින්න, එදත් අදත් මහජනතාව කැමතියි.

   ඔබ දන්නවා ඇති, වර්තමානයේදී, අපේ රටේ නිදහස් දින පෙළපාලිය, සජීවීව රූපවාහිනියෙන් ප්‍රචාරය කරනවිට, ත්‍රිවිධ හමුදා නිලධාරීන් යොදවා, පසුබිම් කථනයක් ලෙස, නරඹන්නන්ට පැහැදිලි කිරීමක් ලබාදෙනවා, ඒ ඒ හමුදාවේ කුමන කොටස්ද, මේ අවස්ථාවේදී පෙළපාලියේ ගමන් කරන්නේ යන්න. නමුත් මෙවැනි ලිපියකින් එවැනි දීර්ඝ විස්තරයක් කිරීම තේරුමක් නැති වැඩක්. මා උත්සාහ කරන්නේ, සීමිත පිරිසකට පමණක් දකින්න ලැබෙන හෝ සාමාන්‍ය ජනතාවට දකින්න නොලැබෙන පෙළපාලි පිළිබඳව, ඔබව දැනුවත් කරන්නයි.  

අද මුලින්ම බලමු, හමුදා පුහුණුව ලැබූවන්, (නිළධාරීන් සහ/හෝ සෙසු නිළයන්) විසිරයාමේ පෙළපාලියක් පැවැත්වෙන ආකාරය.  Passing out Parade = PoP) මෙවැනි පෙලපාලියක සාමාන්‍ය පිළිවෙත මෙයයි.

1. පෙළපාලියේ උප අණදෙන නිළධාරියා විසින්, පෙළපාලිය, පෙළපාලි භූමිය (Parade Ground) වෙත රැගෙන ඒම. තූර්ය වාදක කණ්ඩායමද මේ සමගම එනවා.

   (ඔබ දන්නවාද ඕනෑම හමුදා කඳවුරක, පෙළපාලි පැවැත්වීම සඳහා වෙන්කර තිබෙන භූමිය, ගෞරවාන්විත ස්ථානයක් ලෙසයි සැළකෙන්නේ. කිසිවකුටත් එහි නිකරුනේ රැඳී සිටින්නට බැහැ, අවශ්‍යතාවකින් තොරව, එය හරහා ගමන් කරන්නට බැහැ, නිල ඇඳුමෙන් හෝ ශාරීරික අභ්‍යාස ඇඳුමෙන් සැරසී නැත්නම්, කොහොමවත් එය හරහා ගමන් කරන්නට බැහැ, එය හරහා නිකම් ගමන් කරන්නට බැහැ, හමුදාවේ ක්‍රමයට ගමනේ යෙදිය යුතුයි. (march) පෙළපාලි භූමිය අවට වාඩිවී කතාබහේ යෙදී ඉන්න බැහැ, ගස් වැනි දේ වලට හේත්තුවී ඉන්නට බැහැ, පෙළපාලි භූමිය තුළ අනවශ්‍ය උසුළු විසුළු කිරීම, නිසි පිළිවෙතට අනුව හැඳ පැළඳ නොසිටිමින් පෙළපාලි භූමියට ඇතුළුවීම, පෙළපාලි භූමිය තුළ දුම්බීම, බුලත්විට කෑම, කෙළ ගැසීම, සපුරා තහනම්. ඒවා බරපතල දඬුවම් ලැබියහැකි වැරදි ලෙසයි සැළකෙන්නේ.)

2. පෙළපාලිය පෙළ සැදීම. මෙහිදී සරඹ උපදේශක වරුන් විසින් පෙළපාලිය නිවැරදිව පෙළගස්වනවා.

3. පෙළපාලියේ දෙවැනි අණදෙන්නා එක අවස්ථාවකදී, 'පෙළපාලිය පසෙක අවි' යන විධානය දෙනවා. එයින් කියවෙන්නේ, 'පෙළපාලි අණදෙන නිලධාරි තුමනි, ඔබට පෙළපාලිය බාරදීමට මා සූදානම්' කියන එකයි. මෙහිදී පෙළපාලි අණදෙන්නා පෙළපාලි භූමියට පැමිණ තමන්ට පිටුපා පෙළපාලියට මුහුණ ලා සිටහෙන සිටින පෙළපාලියේ දෙවැනි අණදෙන නිලධාරියාට මීටර් දෙක තුනක් පසුපසින් නවතිනවා.

4. පෙළපාලි අණදෙන නිලධාරියා පැමිණ නවතින හඬ,  පෙළපාලි දෙවැනි අණදෙන නිලධාරියාට ඇසෙනවා. (දැන්නම් දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ පෙළපාලි අණදෙන්නා එන්නේ අශ්වයකු පිට) ඔහු, 'පෙළපාලිය නොසැලෙන්' යන විධානය දී, ආපසු හැරී, පෙළපාලි අණදෙන්නා වෙත පැමිණ, ආචාර කර, මෙසේ වාර්තා කරනවා. සුභ උදෑසනක් වේවා තුමනි, නිලධාරීන්.....දෙනෙකුගෙන්ද, කැඩෙට් නිලධාරින්....දෙනෙකුගෙන්ද, කැඩෙට් නිලධාරිණියන්.....දෙනෙකුගෙන්ද, ජ්‍යොෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්....දෙනෙකුගෙන්ද, සමන්විත පෙළපාලියේ, සියල්ල සම්පූර්ණයි නිවැරදියි, පෙළපාලිය ඔබතුමාට භාරයි තුමනි' මෙසේ වාර්තා කර ඔහු නැවතත් පෙළපාලි අණදෙන්නා වෙත ආචාර කර ආපසු හැරී, පෙළපාලියේ පසුපස කෙලවරට ගොස් නවතිනවා.

(මෙහිදී පෙළපාලියේ දෙවැනි අණදෙන නිලධාරි, පෙළපාලි අණදෙන නිලධාරිට ආචාර කරන්නේ, තම අසිපතෙන්. නමුත්, පෙළපාලි අණදෙන නිලධාරි ආචාර කරන්නේ, සාමාන්‍ය ක්‍රමයට salute කිරීමෙන්. කවදාවත්, තමන්ට වඩා පහළ නිළයක කෙනෙකුට, අසිපතෙන් ආචාර කරන්නේ නැහැ)

5. දැන්, පෙළපාලි අණදෙන නිළධාරියා, තම අසිපත, නියමිත ක්‍රමයට, (drill) කොපුවෙන් එළියට ගන්නවා. ඉන්පසු ඔහු, පෙළපාලිය සීරුවෙන් අවි යන විධානය දී, ආපසු හැරී, සූදානමෙන් සිටිනවා. (මේ සියල්ල කෙරෙන්නේ, පෙළපාලියට අදාළ ප්‍රධාන අමුත්තාගේ පැමිණීම සමග, කාල සම්බන්ධීකරණය සහිතවයි. පෙළපාලිය, නිකරුනේ, දිගු වේලාවක්, අව්වේ, පෙළපාලි භූමියේ තබාගන්නේ නැහැ. වැස්සොත්? වැස්සොත් ඉතින් 'නෝ පෙළපාලි' තමයි. කවදාවත්, වැස්සේ පෙළපාලියක් තියන්නේ නැහැ. වැසි කාලය ගැන හොඳින් හදාරා තමයි, පෙළපාලි දින වෙන්කරගන්නේ)



6. පෙළපාලි අණදෙන්නා, 'පෙළපාලිය පහසුවෙන් සිටින්' යන විධානය දී, හොඳින් කන්දීගෙන ඉන්නවා. ප්‍රධාන අමුත්තා කදවුරු මුරහල අසළට පැමිණ කඳවුරු මුරය පරීක්ෂාකරන ආකාරය ඇසෙන තුරු. කඳවුරු මුරපතු ප්‍රධාන මුත්තාට මුරය වාර්තා කිරීම පිණිස 'මුරය උත්තමාචාර අවි' යන විධානය දුන් වහාම පෙළපාලි අණදෙන්නා 'පෙළපාලිය සීරුවෙන් සිටින්' යන විධානය දෙනවා. (උත්තමාචාර අවි පිරිනමන අවස්ථාවේදී සියලුදෙනා සීරුවෙන් සිටගත යුතුයි. සාමාන්‍ය අමුත්තන්ට පවා උපදෙස් ලැබෙනවා, ඒ අවස්ථාවේදී, තමන් සිටින අසුනෙන් නැගී සිටින ලෙස)

7. ප්‍රධාන අමුත්තා, පීඨිකාව වෙත පැමිණෙන්නට ප්‍රථම, 'පෙළපාලිය පසෙක අවි' යන විධානය පෙළපාලියට දෙනවා. අමුත්තා පීඨිකාවට පැමිණි පසු මුලින්ම උත්තමාචාරයක් පුදකරනවා. ඉන්පසු, පෙළපාලි අණදෙන්නා පෙළපාලිය වාර්තා කරනවා. එකම එක වෙනසක් සහිතව. කියන පුලුවන්ද වෙනස? දෙවැනි අණදෙන නිලධාරියා, පෙළපාලි අණදෙන නිලධාරියාට වාර්තා කලාට වඩා, එක නිලධාරියෙක් දැන් වැඩියි. ඒ තමයි පෙළපාලි අණදෙන්නා. ඒ අනුව, එක නිලධාරියකු වැඩිකොට තමයි, අමුත්තාට පෙළපාලියේ සිටින සංඛ්‍යාව වාර්තා කරන්නේ.

502029778

8. දැන්, නවක නිලධාරීන්ට අසිපත ප්‍රදානය කිරීමේ අවස්ථාව එළඹෙනවා. ප්‍රධාන අමුත්තා අතින් තමයි එය පිරිනැමෙන්නේ.



9. ප්‍රධාන මුත්තා පෙළපාලිය පරීක්ෂා කිරීම ඉන් අනතුරුව සිදුකෙරෙනවා. 



10. ඉන් අනතුරුව, පෙළපාලිය, සාමාන්‍ය ගමනින් සහ සෙමෙන් ගමනෙන්, වට දෙකක් ගමන් කරනවා. එසේ ගමන් කරන අතර, ප්‍රධාන අමුත්තා සිටින පීඨිකාව ඉදිරිපිටින් යද්දී, අමුත්තාට ආචාර කරනවා. එවැනි පැරණි පෙළපාලියක, විනාඩියක් පමණක් දිවෙන වීඩියෝවක් මෙතන තිබෙනවා. 




11. ඉන් අනතුරුව පුහුණුවේදී විශේෂ දක්ෂතා දැක්වූවන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීම ප්‍රධාන අමුත්තා අතින් සිදුවෙනවා. ත්‍යාග ප්‍රදානයෙන් පසු අමුත්තා, උපරිම වශයෙන් විනාඩි 5 කට පමණ සීමාවන කථාවක් පවත්වනවා. එම කථාව අවසානයේදී නැවතත් උත්තමාචාරයක් ලබාදී, පෙළපාලිය ඉතා හැඟීම් බර තාලයකට තූර්ය වාදනයක් පැවැත්වෙද්දී විසිර යනවා.



   ලෝකයේ සෑම රටකම පාහේ පැවැත්වෙන, ජාතික උත්සව වලදී, හමුදා පෙළපාලි පැවැත්වෙන බව, ඔබ දන්නවා. අපේ රටේ තිබෙන, එවැනි ප්‍රධානතම පෙළපාලිය වන්නේ, නිදහස් දින පෙළපාලියයි. ඕනෑම රටක් තම ජාතික දින පෙළපාලියේදී හමුදා ශක්තිය විදහා පෑමත් සිරිතක්, සම්ප්‍රදායක්. මේ සඳහා කාලීනව ස්ථාවර නියෝග පැනවෙනවා.

   අද ලෝකයේ සෑම රටකම පාහේ ජාතික දිනය, විදේශ රාජ්‍ය නායකයන් පිළිගැනීම වැනි අවස්ථා වෙනුවෙන්, ඉදිරිපත් කෙරෙන පෙළපාලි වලදී, විවිධ ආරක්ෂක පියවර රැසක් ගන්නවා. එයින් එකක් තමා, එවැනි පෙළපාලියක සොල්දාදුවන් අතේ තිබෙන තුවක්කු, වෙඩිතැබිය නොහැකි තත්වයට පත්කිරීම. කොහොමද එහෙම කරන්නේ? හරිම සරලයි. එහිදී කරන්නේ, තුවක්කුවක තිබෙන පතරොමක් පත්තුවීමට අවශ්‍ය ප්‍රහාරය ලබාදෙන කොටස ඉවත් කිරීමයි. ඒ කියන්නේ, තුවක්කුවේ පිස්ටන් කොටසේ පසුපස තිබෙන, බෝල්ට් එක ඉවත් කිරීමයි.





   මෙහෙම කරලා විතරක් මදි. පෙළපාලිය පවත්වන හමුදා අංශයේ අණදෙන නිලධාරි විසින්, පෙළපාලිය පැවැත්වීමට පෙර,  ලිඛිත සහතිකයක්, අදාළ උසස් මූලස්ථානයට, (හමුදා මූලස්ථානයට/ආරක්ෂක සේනා මූලස්ථානයට/සේනාංක මූලස්ථානයට/බලසේනා මූලස්ථානයට) දෙන්නට ඕනේ, පෙළපාලියේ ගෙනියන සියලුම අවි, ආරක්‍ෂිත තත්වයට පත්කර ඇති බවට.

   එමෙන්ම පෙළපාලියේ ගෙනයන RPG, බර මැෂින් තුවක්කු, මල්ටි බැරල් රොකට් ලෝන්චර්, කාලතුවක්කු, යුද ටැංකි, මිසයිල්, ආදී සියලුම බර අවි ද, මෙලෙසම වෙඩි තැබිය නොහැකි තත්වයෙන් තමයි රැගෙන යන්නේ. නාවික ප්‍රහාරක යාත්‍රා, ප්‍රහාරක ගුවන් යානා, හෙලිකොප්ටර් ද, ඒ ආකාරයෙන්ම තමයි ගමන් කරන්නේ.

   සාමාන්‍යයෙන්, යුද ටැංකියක්, මෙවැනි පෙළපාලියක ගමන් කිරීමේදී, ප්‍රධාන ආරාධිත අමුත්තාට ආචාර කරන්නේ, යුද ටැංකියේ ප්‍රධාන තුවක්කුව අමුත්තා දෙසට හරවා, එය පොලොව දෙසට පහත් කිරීමෙන්. නමුත් දැන් එහෙම කරන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ, පෙළපාලිය යන පැත්තටම ප්‍රධාන තුවක්කුව හරවා තබාගෙන, ප්‍රධාන අමුත්තා සිටින පීඨිකාව අසලට පැමිණෙනවිට, පොලොව දෙසට පහත් කිරීමයි. 



   මෙසේ කරන්නේ ඇයි? මෙතරම් ආරක්ෂක පියවර රැසක්, මෙවැනි පෙළපාලියකදී ගන්නේ ඇයි? එයට සම්බන්ධ එක්තරා විශේෂ සිදුවීමක් තිබෙනවා. ඒ තමයි, ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට, මෙවැනි පෙළපාලියක් අතරතුරදී, පෙළපාලිය පැවැත්වූ රටේම රාජ්‍ය නායකයා, පෙළපාලියේ ගමන්කළ භට පිරිසක් විසින්ම ඝාතනය කිරීම. ඒ රාජ්‍ය නායකයා තමයි, ඊජිප්තු ජනාධිපති අන්වර් සදාත්. ඒ සිද්ධිය දැක්වෙන, මේ වීඩියෝවත් බලන්න.





   ලෝකයේ සමහර රටවල්, තමන්ගේ ත්‍රිවිධ හමුදාවන්හි අනන්‍යතාව කැපී පෙනීම සඳහා, විවිධාකාරයේ නිල ඇඳුම් මෙන්ම, හමුදා සරඹ විධි පවා වෙනස් ආකාරයෙන් සිදුකරනවා. සාමාන්‍යයෙන්, බොහොමයක් බටහිර රටවල් මෙන්ම, ආසියානු රටවල් සෑහෙන ගණනක්, අදත් අනුගමනය කරන්නේ, බ්‍රිතාන්‍ය හෝ ඇමරිකානු සම්ප්‍රදායේ හමුදා සරඹ විධි. 

   නමුත්, විශේෂයෙන් කොමියුනිස්ට් රටවල්, තම හමුදාවන්හි අනන්‍යතාව පවත්වාගැනීම සඳහා විශේෂ වූ හමුදා ගමන් විලාශයක් යොදාගන්නවා. මෙය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ Goose Step March (තාරා ගමන?) යනුවෙන්. මෙහිදී, තම පාද ඉදිරියට එසවෙන ආකාරයේ ගමන් විලාශයක් තමයි අනුගමනය කරන්නේ. 





යම්කිසි සීමාවක් සහිතව මෙලෙස ගමන් කිරීමේදී අලංකාර බවක් තිබෙනවා.



නමුත් අර උතුරු කොරියාවේ මොළය නොමේරූ උන්නැහේට, අලුත් සරඹ විධි ඕනෑ වෙලා තියන බව පෙනෙනවා. මේ බලන්නකෝ උතුරු කොරියන් වැඩ.  



ඔය ඉහළින් තියන පින්තූර දෙක කමක් නෑ කියමුකෝ. එතකොට මේ පහළ තියන එව්වා මෙව්වා කොහොමද? 



නිකං ලෝකේ හිනස්සන විහිලු නේද මෙව්වා? අනේ අපිට ඔය තේ උඩිච්චියන්ගේ කකුල් එපා. අපිට අපේ කකුල් හොඳා.


හ්ම්.............අදට මේ ඇති නේද? ඊළඟ ලිපියෙන් තවත් පෙළපාලි බලමු. 


2016 මාර්තු මස 23 වැනි දින 0056 පැය

53 comments :

  1. නිදහස් දවසෙ බැරි වෙලාවත් වැස්සොත් මක්කයි කරන්නෙ ? පෙළපාලිය නවත්වනෝද ?

    ReplyDelete
    Replies
    1. අපේ රටේ නිදහස් උත්සවය තියන පෙබරවාරි මාසයේ, සාමාන්‍යයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියලි කාලගුණයක් ඇතිවීම, වාසියක්.

      නිදහස් දින පෙළපාලිය පටන්ගත්තට පස්සේ වැස්සොත් නවත්තන්නේ නැහැ. දිගටම කරගෙන යනවා. නමුත් ප්‍රධාන අමුත්තා වන ජනාධිපති තුමාට පුළුවන්, පෙළපාලිය නවත්වන්න කියා නියෝග කරන්න.

      Delete
  2. පෙළපාලිය පැවැත්වූ රටේම රාජ්‍ය නායකයා, පෙළපාලියේ ගමන්කළ භට පිරිසක් විසින්ම ඝාතනය කිරීම. ඒ රාජ්‍ය නායකයා තමයි, ඊජිප්තු ජනාධිපති අන්වර් සදාත්. ///// thanks for the rare video

    ReplyDelete
    Replies
    1. ඔව් මෙය දුර්ලභ වීඩියෝවක්. ඒ වගේම ලෝක ඉතිහාසයේ නින්දිතම ක්‍රියාවක්.

      ස්තුතියි ඔබට.

      Delete
  3. විචෝ, බොහොම වටිනවා විස්තරේ නම්.
    දැන් තමයි කලින් පොස්ට් දෙකත් කියෙව්වේ.

    මෙ සමහර එව්වා නම් මැරෙනකන් බලාගන්න හම්බවෙන්නේ නැති දේවල් නිසා වටිනාකම කියලා නිම අකරන්න බෑ...

    ජයවේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඇත්තටම මෙයින් සමහර පෙළපාලි සාමාන්‍ය ජනතාවට දකින්න ලැබෙන්නේ බොහොම සීමිතව. සමහර ඒවා කොහොමවත් දකින්න ලැබෙන්නේ නැහැ. මේ ගැන උනන්දුවන අයගේ දැනුම වර්ධනය කරන්නයි මම ලියන්නේ.

      Delete
  4. අර තොරණ යටින් යනකොට නං නිකං මොකදෝ මොකදෝ වෙනවා. ඒකටම හරියන මියුසික් එකකුත් දෙනවා ඒ වෙලාවට. :-)

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය ලියන වෙලාවෙත් ඒ හැඟීම මට ආවා. ඒක වචන වලින් කියන්න බැරි අමුතුම හැඟීමක්. අර වාදනයට කියන නමක් තියනවා. මට එක මතක නැහැ. ඒ නම දන්නවානම් කියන්න මම මෙතනට දාන්නම්.

      බොහොම ස්තුතියි ඔබට.

      Delete
    2. තොරන යටින් යනකොට ප්ලේ කරන්නෙ Auld Lang Syne
      https://youtu.be/rv6v1zdBQBw

      Delete
    3. අනේක වාරයක් ස්තුතියි. ලොකුම උදව්වක් කලේ. මේ වාදනයේ නම "Auld Lang Syne' කලින් මතක්වුනා නම්, දාන්න තිබුනා. දැන් නැවත එකතුකිරීමක් කරන්නම්.

      Delete
  5. Replies
    1. මොකෝ පස්සෙ එන්නෙ.. ඇයි අණදෙන නිළධාරිතුමිය දැන් එන්ට අවසර දුන්නෙ නැද්ද? :-P

      Delete
    2. ඔහොම තමයි බූරා, අලුත් තාත්තලාට වැඩ වැඩ වැඩ.

      Delete
    3. අණදෙන නිළධාරිතුමිය කිවුවද දන්නෑ "මොන බ්ලොග් ද ඕයි. ගිහිල්ලා බබාගෙ රෙදි ටික හෝදලා දානවා" කියලා.. :-D

      Delete
  6. ඔක්කොමත් හරි.... සියරට දේ සිරි සැපදේ.. අන්න ඒකයි..
    හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අන්න උඹට තේරුනා ඇත්ත. ඒක තමයි යථාර්ථය.

      Delete
  7. කොටස් තුනම එකපාර කියෙව්වේ අද. විස්තරාත්මක වැදගත් සටහනක්. ස්තුතියි විචාරක! බලනකොට උතුරු කොරියාවේ පෙළපාලිය විතරයි වගේ හොඳ :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇගයීම ගැන. උතුරු කොරියාවේ කිසිම දෙයක් හොඳ නැහැ. මේ සෙබලියන් පුහුණු කරවන්නේ අමානුෂික වද දීලා. ඒ සිනහව හිනාවෙයන් කියලා අණදීමෙන් කරවන හිනාවක් විනා අව්‍යාජ හිනාවක් නෙවෙයි. මේවා කියවලා බලන්න.

      http://www.mirror.co.uk/news/world-news/inside-north-korea-video-photos-1826234

      http://www.theguardian.com/world/2015/sep/11/north-korea-army-life-defector-question

      Delete
    2. මේවා බලද්දි පොඩ්ඩක් තාර බර එහෙම ඇරලයි ගන්ට ඕන විචා.. නිවුස් එන්නෙ බටහිර පැත්තට පොඩ්ඩක් ඇලවෙලා නෙවැ.. මෙයාලා අපි ගැනත් ඔහොම කතා තමා කිවුවෙ ඒ දවස්සොල.. රට ඇතුළෙ ඉන්න මනුස්සයො තමා ඇත්ත තත්ත්වෙ දන්නෙ.. :-D

      Delete
    3. උතුරු කොරියාව අවට ලෝකයට විවෘත වුනානම් මේවගේ විවේචන එන්නේ නැහැ. උතුරු කොරියාව මේවා ප්‍රතික්‍ෂේප කරන්නෙත් නැහැ.

      Delete
    4. බූරා +1

      නැතුව නැතුව ඒ දවස්වල විචාරාක මහතැන්ලව එහෙම හැඳින්නුවේ මිනී කන්නෝ කියලනේ...මටනම් හිතෙන්නෙම උතුරු කොරියාවේ ඔය කියන තරම් අලකලංචියක් නැ කියලයි...අපි හැමදේම බටහිර කෝදුවෙන් මනින්න යන හින්දා අපිට සමහර තැන් ඇදෙට පේන්නේ...

      Delete
  8. ස්තූතියි විචා විස්තර ගොඩක් දැනගත්තා. ඔබගේ මහන්සියට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මට ලොකු සතුටක්. ඔබට බොහොම ස්තුතියි.

      Delete
  9. ඇත්තට ම විචා මේ දැනුම යුද හමුදාවේ පුහුණු වෙන අයට ඉතා වැදගත් වේවි.... මේ අඩවිය ඔවුන්ට හදුන්වා දීමක් එහෙම කරලා තියෙනවාද?????

    ReplyDelete
    Replies
    1. විශේෂ හඳුන්වාදීමක් කරලා නැහැ. නමුත් මට ඊ මේල් ලැබී තිබෙනවා පුහුණුවන නිලධාරීන් මේ අඩවිය කියවන බව.

      Delete
  10. ඔහේ එපා කියුවට අරව චෝයි

    ReplyDelete
    Replies
    1. මම හිතුවා උඹ ඔහොම කියයි කියලා. නරකයා.

      Delete
  11. විචා දැනුම තිබුනත් මේ වගේ දෙයක් තව කෙනුකුට තේරුම් ගන්න පුලුවන් විදිහට ලියන ඒක හැමෝටම කරන්න බැහැ. ඒ අතින් උබගේ මේ හැකියවනම් ඉරිසියා හිතෙනවා. සමහර ඇනෝලා උබත් එක්ක එල්ලෙනේ ඉර්සියාවට වෙන්න ඇති ඒ අතින් උබ නොම්බර එක.
    කවදා හරි මරියක් කකා නෙස්කපේ එකක් බිබී උබගේ මේ හැකියාව .........හුටා.....අනේ උබ මගේ ආවුසත් අරගෙන මේ වගේ ලිපි ලියපන් මචෝ

    ReplyDelete
    Replies
    1. ඇනෝලාට මලබද්ධය හැදුනේ, මම මේ අඩවියේ ඇනෝ වහපු දවසේ ඉඳලා. පාරේ තියන හැම බෝක්කුවකටම, පඳුරකටම, ලයිට් කනුවකටම, කකුල උස්සන ජාතියේ එවුන්, මෙතනට ඇවිත් මගේ මාතෘකාවට කොහෙත්ම අදාළ නොවෙන විකාර ලියන නිසයි, ඇනෝ වැහුවේ. එදා ඉඳලා උන් මම වෙනත් සයිට්වල දාන කමෙන්ට් වලට යටින්, මළපහ කරලා යනවා. මම ඉතින් පුළුවන් වෙලාවට බෑක්, බෑක්, ගාගෙන දුවන්න පුකට පයින් එකක් දෙනවා. ප්‍රධාන වශයෙන් දෙන්නයි ඉන්නේ. එකෙක් රට. අනික් එකා ඒ රට එකාගේ වසුරු ලෙවකන ලංකාවේ එකෙක්. උන්ට වෙලා තියෙන්නේ, උන්ගේ පුහු බව වහගන්න බැරිවීමයි. බලමුකෝ අනාගතේදී, මම දැනට අවුරුදු දෙකක් තිස්සේ එකතු කරගෙන යන ano data base එකෙන් වැඩක් ගන්න.

      ඇගයීම ගැන ස්තුතියි.

      Delete
    2. කවුද හැබෑටම මේ විචාරකගේ blood pressure වැඩි කරන හාදයෝ දෙන්නා. ඇත්තටම දන්නවා නම් අපිටත් දැනගන්න එක්ක කියමුකෝ බලන්න :)

      අර මෙන්ඩා උඩින් කියල තියෙන දේ නම් ඇත්ත. මෙතන තියෙන්නේ කුහකකම සහ ඉරිසියාව. බල්ලෝ කකුල ඉස්සුවට ලයිට් කණුව පෙරලෙන්නේ නැහැනේද? වැස්සක් ආවම ඔක්කොම හේදිලා යනවානේ. ඒ නිසා අයෙත් ඇනෝ අරිමුද? සුනඛ අයිතීන් සුරකිමු :)

      Delete
  12. උතුරු කොරියාවෙ එවුන් විතරයි නියම සරඹ කරන්නෙ. ඕවයැයින් දහයක් විතර ඔය විදිහට ඉස්සරහට යැවුවනම් සතුරො ලගට ගිහින් කතා කරල යටත් කරගන්න තිබුන.
    විචා , අපේ ඉස්කෝලෙත් පෙරඩ් ග්‍රවුන්ඩ් එකක් තිබ්බ , ඉස්සර තිබ්බ ද සොයිස සම්මානය ජූනියර්, සීනියර් කැඩෙට් දෙගොල්ලොම ගත්ත එකම අවස්ථාව නිසා දුන්න දෙයක්ලු , අපි පොඩි එවුන් කාලෙත් කැඩෙට්ල හරියට එතන පරිස්සම් කලා, හැබැයි ජීවිතේට එතන පෙරඩ් එකක් තියනවනම් දැකල නෑ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, අම්මපා අපේ හමුදාවේත් ඔය ජාතියේ එව්වා ටිකක් හැදුවානම් ප්‍රභාකරන්වත් වශීකරගෙන පයින්ම කොළඹ එක්ක එන්න තිබුණා. හැක්. :e

      පෙරෙඩ් කලත් නොකලත්, පෙරෙඩ් ග්‍රවුන්ඩ් කියලා නම් කලාට පස්සේ, ඒක එක්තරා ආකාරයක ශුද්ධ භූමියක්.

      Delete
  13. විචා..බොහොම ස්තූතියි...බොහොම වෙහෙසවෙලා ලියපු රසවත් විස්තරයක්…

    / මෙය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ Goose Step March (තාරා ගමන?) යනුවෙන්. /

    Goose කියල කියන්නෙ පාත්තයට නේද? එතකොට ඒක පාත්ත ගමනද?

    / මේ බලන්නකෝ උතුරු කොරියන් වැඩ.  /

    ඔය උතුරු කොරියන් හමුදාවට කෙල්ලො ගන්නකොට ඉස්සෙල්ලාම එවුංගෙ උකුල් ඇටේට කකුලෙ ඇටේ හයිවෙන ජොයින්ට් එක ගලවල එතනට රබර් ජොයින්ට් එකක් දානව.එහෙම කරන්නෙ එතන නෝමලි තියෙන්නෙ කුහර-හෝල සන්ධියක්. ඒකෙං ඔහොම වැඩ දාන්ට බෑ

    ReplyDelete
    Replies
    1. ඒක ඔක්කොටම හපන් නිව්ස් එක. ඒ වගෙම ඒක කොහොමවත් විශ්වාස කරන්නත් බෑ

      Delete
    2. ඇගයීම ගැන ස්තුතියි රවී. ඔව් පාත්ත ගමන තමයි සුදුසු වචනේ. හැබැයි අපේ හමුදාවේ නම්, 'මොකද යකෝ පාත්තයා වගේ මාච් කරන්නේ' කියලා අහන්නේ, ඉතින් උපදේශකලාගේ රතු ඉර පැන්නමයි.

      රවී කියා තිබෙන උකුල් ඇටය වෙනස් කිරීමේ කතාව ජාලය පුරා හෙව්වත් හම්බවුනේ නැහැ. තව විස්තර ටිකක් කියන්න පුලුවන්ද?

      Delete
    3. අනේ අම්මප විචාරකත් මේ රවීගේ කෙබරවලට අහුවෙන හැටි :)

      Delete
    4. අම්මපා උදය, රවියා අතේ පත්තුවෙන දේවල් ගහන, අතපත්තු කෙනෙක් කියලා දැන් නේ මතක් වුනේ.

      Delete
    5. විචා,

      අපෙ අම්මගෙ වාසගම අතපත්තු..හෙහ්,හෙහ්,

      උතුරු කොරියාවෙ කලින් ලොක්ක වෙලා හිටපු කිම් ජොං ඉල්ගෙ කාලෙ තමයි ආතල්. ඒ මනුස්සය ඉපදෙන කොට ඩබල් දේදුන්නක් අහසෙ පායල තිබ්බලු. ඒ වගේම විසේස තාරකාවකුත් පෑව්වලු. ඒ ඔක්කොමත් හරි හොඳම එක තමයි ඒ යකා කවදාවත් රෙන්නෙ හුජ්ජ කරන්නෙත් නැතිලු...:)

      Delete
    6. " ඒ යකා කවදාවත් රෙන්නෙ හුජ්ජ කරන්නෙත් නැතිලු...:) " එතන ලින්ක් එක තියනව හොඳේ? ඒක පේන්නෙ නෑ...:)

      Delete
    7. හැක් මම කිව්වේ අතපත්තු කෙනෙක් කියලා නිකමටයැ.

      අම්මපා අර මනුස්සයාගේ අහවල් ඉස්තාන මහලද තිබුනේ?

      ඔය ලින්ක් පේන්නැති ලෙඩේ මේ ලඟදි ආවේ. වෙලාවකට පේනවා. වෙලාවකට නෑ.

      Delete
    8. රවි කියල තියෙන්නෙ පට්ටපල් බොරුවක්. මම හොයල බැලුව.
      ඒක නෙමෙයි රවි මාර ඇත්ත කතාවක් කියල තියනවා.ඒ රෙන හුජ්ජ කරන්නෙ නැති එක. අපටත් රෙන්නෙ හුජ්ජකරන්නෙ නැති පාලකයෙක් හිටියනම් කියල හිතෙනවා.

      Delete
    9. // රවී කියා තිබෙන උකුල් ඇටය වෙනස් කිරීමේ කතාව ජාලය පුරා හෙව්වත් හම්බවුනේ නැහැ. //

      හෙහ් හෙහ් විචාරක තුමා ගිලලා නේද කොක්ක කොලබොක්කටම යනකම්... හෙහ් හෙහ්

      Delete
    10. අහුවෙන්නැතෑ ඕකා මට කවදා හරි. අම්මපා ඕකගේ උකුල් ඇට ගලවලා හයිකරනවා පරණ මයිනර් කාර් එකක බෝල් ජොයින්ට්.

      Delete
  14. කොරියන්කාරය සූරය. මමනම් ඒකෙ නිර්මානශීලීත්වයක් දකිනව. ඒක නුහුරු වගෙ පේන්නෙ හුරු නැති නිසා. පෙරෙඩ් ගැන දන්නෙ නැති කෙනෙක් නෝමල් ආමි පෙරෙඩ් එකත් විකාරයක් ලෙස දකින්න ඉඩ තියනව.

    ReplyDelete
    Replies
    1. ස්වාධීන මතයක් දැරීමේ ඔබේ අයිතියට ගරුකරනවා.

      නමුත් ලෝකයේ වෙනත් කිසිම හමුදාවක් තම හමුදාවන්ගේ කාන්තා සෙබළියන්ගේ යට ඇඳුම හෙවත් අඩ නිරුවත ප්‍රදර්ශනය වන ආකාරයෙන් මෙලෙස අභ්‍යාස කරවන්නේ නැහැ. මේ කිසිසේත් ලෝක සම්මත හමුදා චර්යා අනුව අගය කළහැකි දෙයක් නොවේ. උතුරු කොරියාවේ හමුදාව පුහුණු කරවන්නේ ඉතා අමානුෂික ක්‍රමවේදයන් අනුවයි.

      මමනම් මේවගේ විකාර ප්‍රදර්ශන සහ සාමාන්‍ය හමුදා පෙරෙට්ටුවක් අතර වෙනස හොඳින්ම දන්නවා.

      Delete
    2. ස්වාධීන මතයක් නෙමෙයි අනේ. ඒ පොටෝ දැකල මට හිනාව නවත්තගන්න බැරි උනා. ඔය කොමෙන්ට් එක දැම්මෙ ආතල් එකට .කට්ටිය මොකද කියන්නෙ බලන්නත් එක්ක. හා හා හා

      Delete
  15. හරිම අපූරුයි පලවෙනි කොටස් දෙක වගේම. හුඟක් දේවල් ඉගෙන ගත්තා. දිගටම ලියන්න අපි එනවා බලන්න. ඔබට ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රියන්ති. ආයේ ආවම කවියක් එහෙම ලියලා යන්න.

      Delete
  16. අගෙයි සීයේ..

    වැල පොටෝ අයින් කරනු!!!

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. චීෆ් ජස්ටිස්

      අපිට දැන් ඉතුරුවෙලා තියෙන්නේ වැල විතරයි යකෝ.

      Delete
  17. කලින් කොටස් දෙක වගේම මේ කොටසත් නොදන්නා හුඟක් දේවල් ඉගෙනගත්ත..

    බැරිද දන්නේ නැහැ නේද අර ඊජිප්තු සෙට් එක ගෙන්නලා අපේ පාර්ලිමේන්තුව ඉස්සරහින් බර අවි පෙළපාලියක් යවන්න..

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }