හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

20 December 2013

බුදු අම්මෝ...... මෙන්න පෑනෙන් වෙඩි තියනවෝ.........! The Pen Pistol


  -pen-pistol-පෑන කියන උපකරණය තිබෙන්නේ ලියන්න මිසක් වෙඩි තියන්න නෙවෙයි කියලා ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. හැබැයි එක්තරා කියමනක් තිබෙනවා 'පෑන කඩුවට වඩා බලවත්' කියලා. එයින් අදහස් කරන්නේ, අවි ආයුධ රැගෙන සටන් කිරීමට මිනිසා යොමු කිරීමට වඩා, බලවත් විනාශයනක් කරා යාමට, පෑනෙන් ලියන අදහස් මගින්, මිනිස් සිත තුළ හැඟීම් ඇති කළහැකියි කියන එකයි. ඒක අදටත් එහෙමම සිද්ධවෙනවානේ. සමහරෙකුට ජනමාධ්‍ය තවත් සමහරෙකුට ජඩ මාධ්‍ය වෙනවා. පෑනෙන් නොලිව්වත් බ්ලොග් ලිවීමත් ලේඛන කලාවක්නේ.
  බ්ලොග් ලිවීමෙනුත් මිනීමැරෙන වැඩ කරන්න පුළුවන් නේද? හොඳයි, මේ කඩුවක් වගේ කියලා කියන පෑන, පිස්තෝලයක් කරගත්තොත් මොකද වෙන්නේ? බොහොම භයානකයි නේද? හොඳයි, මම අද ඔබට කියලා දෙන්න යන්නේ පෑනෙන් වෙඩි තියනහැටි. මොනවා? ..........ඔව් ආයේ දෙකක් නෑ, මම අද කියලාදෙනවා පෑනෙන් වෙඩි තියන හැටි. හොඳයි, එහෙනම් පටන්ගම්මුද කතාව.
  ලෝකයේ අනෙක් සතුන්ට වඩා උසස් මනසක් (මන+උස් = මිනිස්) තියන මිනිසා, තම වර්ගයාගේ සැනසීම මෙන්ම වැනසීම වෙනුවෙන්ද එකසේ ක්‍රියාකරනවා. විවිධ ආගම් කතුවරුන්, ජන නායකයන්, සමාජ සේවකයන්, එසේ මානවහිතවාදීව ක්‍රියාකරන අතර, තවත් පිරිසක් වෙහෙසෙන්නේ, මිනිසා වනසන, විවිධ යුද්ධායුධ නිපදවීමටත්, ඒවා පාවිච්චි කිරීම සඳහා මිනිසා පොළඹවා, එමගින් ධනය රැස්කිරීමටත්.
  යුද්ධය කියන හැඟීම ඇතිවෙන්නෙත්, සාමය කියන හැඟීම ඇතිවෙන්නෙත්, මිනිස් සිතතුළමයි. මිනිසා ඈත අතීතයේ සිටම, ආයුධ පරිහරණය කලබව අපි දන්නාවනේ. පොළොවෙන් අහුලාගත් ගල් කැටයකින් සතුරාට දමා ගැසීමෙන්, ආයුධ පාවිච්චිය ඇරඹු මිනිසා, අද පාවිච්චිකරණ ආයුධ මොනවගේද කියලා අපිට හිතාගන්නවත් බැරිතරම් පුදුමයි. පහසුවෙන් සඟවාගෙන යාහැකි ආයුධ තමයි කවදත් ජනප්‍රිය වෙන්නේ. හමුදා කටයුතු වලදී පාවිච්චි කරන ආයුධ මෙන් නොව, එදිනෙදා සමාජයේ මිනිසුන් අතර ගැවසීමෙදී ක්ෂිනිකව පාවිච්චි කළහැකිවීම, පහසුවෙන් ප්‍රවාහනය කළහැකිවීම. හඳුනාගැනීමට නොහැකි ස්වරූපයකින් තිබීම, වැනි සාධක නිසාමයි කුඩා ප්‍රමාණයේ ආයුධ වඩාත් ජනප්‍රියවී තිබෙන්නේ. පෑනක් ලෙස පෙනෙන පිස්තෝල පමණක් නොවෙයි, ජංගම දුරකතනයක් ලෙස පෙනෙන පිස්තෝල මෙන්ම, කැමරාවක් ලෙස පෙනෙන පිස්තෝලත් අද නිපදවා තිබෙනවා. ලෝකප්‍රකට සිනමා අධ්‍යක්‍ෂ, ජේම්ස් කැමරන් විසින්, 1994 දී අධ්‍යක්ෂණය කළ, 'True Lies' චිත්‍රපටියේදී, වීඩියෝ කැමරාවකට සවිකළ පිස්තෝලයකින් වෙඩි තබා, ත්‍රස්තවාදී නායකයකු මරණ හැටි පෙන්වනවා. 
  පෑනක් මෙන් පෙනෙන පිස්තෝලයක් නිපදවීම කෙරෙහි, මිනිසාගේ අවධානය යොමුවී තිබෙන්නේ, අද ඊයේ නොවෙයි. 1950 දශකයේදී පවා, ඒ ගැන සැලසුම් සකස්කර තිබෙනවා. මේ බලන්න ඒ සැළැස්ම.
original_fountain-pen-pistol-framed-print
  මෙයින් පෙනෙනවා නේද මෙවැනි අවියකට විශාල ඉල්ලුමක් තිබෙන බව. රහසිගතව, පුද්ගලයකුට ආසන්නවී, ඔහුව ඝාතනය කිරීම සඳහා, මෙවැනි අවියක් බොහොම ප්‍රයෝජනවත් වෙනවා. සාමාන්‍යයෙන්, යුද හමුදාවක් මෙවැනි අවි පාවිච්චි කරන්නේ නැහැ. එයට හේතුව, මෙවැනි අවියකින් වෙඩි තැබීම සඳහා, සතුරාට මීටර් දෙකක්වත් ලඟින් ඉන්නට සිදුවීමයි. සමහරවිට, මෙවැනි අවි ලෝකයේ ප්‍රබල ඔත්තු සේවා සාමාජිකයන්ට නිකුත්කර ඇති.
  ලංකාවෙනම් මා දන්නා තරමින්, මෙවැනි අවි, ජාතික ඔත්තුසේවය පාවිච්චි කරන්නේ නැහැ. විශේෂ ක්‍රියාන්විත වල යෙදෙන, ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකාය, කමාන්ඩෝ රෙජිමේන්තුව හෝ පොලිස් විශේෂ කාර්ය බලකාය, මෙවැනි අවි පාවිච්චි කරන බවක්, මම අසා/දැක නැහැ. නමුත් මෙවැනි අවි, කීපවරක් ලංකාවේ පොලීසියට අසුවූ අවස්ථා, මම අසා/දැක තිබෙනවා. මේ පහළ පින්තූරයෙන් දක්වා තිබෙන්නේ, මගේ අවධානයට ලක්වූ, එහි ආසන්නතම සිදුවීම. මේ ලිපිය ලියන්නට මට සිතුනෙත්, මේ පුවත්පත් වාර්තාව කියවීමෙන් අනතුරුවයි. 
Screenshot (4)
  පෑන් පිස්තෝලයක් කියන්නේ පෑනක් ද පිස්තෝලයක් ද? ඇත්තටම පෑන් පිස්තෝලයක් කියන්නේ පිස්තෝලයක් වැනි අවස්ථානුකූලව වැඩිදියුණු කළ, වෙඩි තැබීමක් කළහැකි, උපකරණයක්. (improvised firing device)  ඒ කියන්නේ නෛතික වශයෙන් සලකා බලනවිට ගිනි අවියක්. (fire arm)  ලෝකයේ කිසිම රටක, මෙවැනි අවි සඳහා ඉඩදෙන්නේ නැහැ. එයට හේතුව, මෙය එතරම්ම භයානක, හානිකර, අවියක් නිසයි. ලෝකයේ විවිධ රටවල නිපදවා ඇති පෑන් පිස්තෝල කීපයක පින්තූර, මීළඟට මම ඔබට පෙන්වන්නම්. 
Pen Gun
00-pistol-pen-gun
homemadezipgun
images
  දැන් පෙනෙනවා නේද මේ අවිය භයානකයි කියලා. ළඟටම ඇවිත් 'ටොක්' ගානතුරු කවුරුවත් දන්නේ නැහැ. ඔන්න මම පහළින් දානවා පොඩි වීඩියෝවක් මේ අවියෙන් වෙඩි තියන හැටි පෙන්වන.  බයිට් ඉවරවෙන එක පැත්තක තියලා, ටිකක් බලන්න මේවා. මෙහෙ විතරයි මෙව්වා මෙහෙම පෙන්නන්නේ.



මේ වගේ පින්තූර සියගණනක්, අන්තර්ජාලය තුළ මට දකින්න ලැබුනත්, ලිපිය දික්ගැස්සෙන නිසා ඒවා ඇතුළත් කරන්නේ නැහැ. ඔව් ඔව්, මම දන්නවා මම දන්නවා, ඔය ප්‍රශ්නේ ඊළඟට අහන බව. කොහොමද මේ පිස්තෝලයක් හදන්නේ. හරි හරි කියලා දෙන්නම්. හැබැයි පුතෝ, නොදන්නා මගුල් කරන්ඩ ගිහින්, ශරීරයේ වටිනා අවයව කැඩිලා බිම වැටුනා කියන්ඩ එහෙම එපා. ආයේ මම එහෙම නැහැ මොනවා හරි කරගෙන, අර එක කිඹුලෙකුට උනා වගේ, ‘ඤව් ඤව්’ ගාලා කතා කරන්ඩ වුනොත්.
  පෑන් පිස්තෝල හදන්න පාවිච්චි කරන උපකරණය අපේ රටේනම් නිකුත් කරන්නේ ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය වැනි ආරක්ෂක අංශ වලට පමණයි. නමුත් ලෝකයේ බොහෝ රටවල, කඳු නැගීම, දුෂ්කර ප්‍රදේශ ගවේෂණය, වනයේ සංචාරය, වැනි ත්‍රාසජනක ක්‍රියාවල නිරතවන අයට විවෘත වෙළඳපොලෙන් මේ උපකරණය මිළදීගන්න පුළුවන්. (එයට හේතුව ඒ රටවල බොහෝ දෙනා මෙයින් නිසි ප්‍රයෝජනය ගන්නවා හැර, පිස්සු කෙළින්න යන්නේ නැති නිසා)
  මේ උපකරණයට සිංහලෙන් නමක් මම අහලා නැහැ. ඒ නිසා, ‘පෞද්ගලික ආපදා සහ අනතුරු අඟවනය’ කියලා නමක් මම හැදුවා. ඉංග්‍රීසියෙන් කියන්නේ Signal kits personnel distress කියලා. මගේ පරිවර්තනයට වඩා අර්ථවත් පරිවර්තනයක්, මා ඔබෙන් බලාපොරොත්තු වෙනවා. ලංකාවේ ආරක්ෂක හමුදා වෙත නිකුත් කරන්නේ, දකුණු කොරියාවේ නිෂ්පාදිත උපකරණයක්. මේක ලස්සන කැන්වස් මල්ලක දාලා තියෙන්නේ. අපි ජංගම දුරකථනය දාගෙන යන පවුච් එක වගේ, මේ පවුච් එකත් නිළ ඇඳුමේ බඳපටියේ පැළඳගන්න පුළුවන්. 
1
  ලෙහන්න තියන මල්ල ඔබලා බලන්නේ මොකටද? ලෙහලම බලමු. ඔන්න මම මල්ල ලිහනවා. හා……එන්ඩේ, එන්ඩේ, හැමදාම නෑ, හැම තැනම නෑ අද විතරයි අද විතරයි. :D
2
  පේනවා නේද මල්ල ඇතුලේ තියන බඩු ගොඩ? මේ මල්ලේ නියම විදිහට නම් සුදු, කොළ, රතු, යන පාටවලින් කෑලි 3 බැගින් තියෙන්න ඕනේ. මෙතන කෑලි තුනක් අඩුවෙන් තියෙන්නේ ඒවා පාවිච්චි කරලා නිසයි. මොකටද එහෙම පාට තුනක්? අපිට පුළුවන් කලින් සම්මතයක් ඇතිකරගන්න සුදු පාට එකක් ගැහුවොත් ඒකෙ තේරුම මේකයි, රතුපාටනම් මේකයි, කොළපාට නම මේකයි කියලා. එළියට අරගෙන බලමු මොනවද මේවායින් කරන්න පුළුවන් කියලා.
3
ෆ්ලෙයාර් එකක් කියන්නේ පුංචි ගිනි බෝලයක් අහසට යවන්න පුළුවන් පතරොමක් වගේ එකක්.
ෂූටර් කියන්නේ ඒ ෆ්ලෙයාර් එක පත්තු කිරීම සඳහා ප්‍රයෝජනයට ගන්නා උපකරණය.
4
  ඉතින් මේක මොකටද පාවිච්චි කරන්නේ? අර මම කලින් කිව්වා වගේ, අනතුරක් ආපදාවක් ඇඟවීමට තමයි පාවිච්චි කරන්නේ. හිතන්නකෝ ඔයා කැලේ අතරමං වුනා කියලා. ඔයා ළඟ ජී.පී.එස්. උපකරණයක් නැහැ, හරියටම තැන කියන්න. ඔයා දුරකථන/ගුවන්විදුලි පණිවිඩයක් දුන්නා කියලා හිතන්න, මම අතරමං වුනා කියලා. ඔයා බේරගන්න එන පිරිස කියනවා ආපහු ඔයාට, හරි, අපි දැන් ඔයා කියපු පැත්තට ලං වෙලා ඉන්නේ, ඔයා ඉන්න තැන පෙන්නන්න ෆ්ලෙයාර් එකක් ගහන්න කියලා. ඔන්න දැන් තමයි වෙලාව මේ උපකරණයෙන් වැඩ ගන්න.
5
  ෆ්ලෙයාර් එකක් දවල් වුනත් රෑ වුනත් අහසට විදින්න පුළුවන්. මහ දවල් වුනත් මෙයින් පිටවෙන ආලෝක ගුලිය (පුංජය) කි.මී. 2 ක් විතර ඈතට පෙනෙනවා. රෑටනම් කි.මී. 10 ක් විතර ඈතට පෙනෙනවා. (මීදුම, වර්ෂාව, වලාකුළු, ගස්කොලන්, කඳු, වැනි බාධක නැත්නම්) ෆොස්පරස් වැනි වෙඩි බෙහෙත් වර්ගයක් තමයි පත්තුවෙන්නේ. අඩි 150 ක් පමණ ඉහළට යන මේ ආලෝක ගුලිය, කාලගුණ තත්වය අනුව, තත්පර 4 ත් 12 ත් අතර කාලයක් දැල්වී පවතිනවා. උපරිම කාලය දැල්වෙන්නේ, සුළං රහිත වියලි කාලගුණයක් තිබුණොත්. මමතුමා නම් මෙව්වා පාවිච්චි කරලා තියෙන්නේ, පුහුණුවේදී පමණයි. යුද්දෙදි මේවා පාවිච්චි කරන්න අවස්ථාවක් ලැබුනේ නැහැ. හමුදාවේ එළිමහන් රාත්‍රී සාද වලදී ජොලියට නම් ගහලා තියනවා.  හැබැයි මතකතියාගන්න, ෆ්ලෙයාර් එකට බාධාවන ගොඩනැගිලි, ගස්වල අතු, විදුලි කම්බි, වැනි මොකුත් නැති තැනක ඉඳලයි විදින්න ඕනේ. නැත්නම් ඈතට පෙනෙන්නේ නැහැනේ. ඒ වගේම ඔබ ඉන්න තැන වටේ තියන ගොඩනැගිලි, ගස්, කඳු වැනි බාධක ආසන්නයේම තියනවානම්, ඔබට සිදුවෙනවා ඉන්න තැන වෙනස් කරන්න හෝ ඒ උස් ගොඩනැගිල්ලකට/ගහකට/කන්දකට නගින්න. 
6
  ඉතිං ඔය ෆ්ලෙයාර් එක පත්තු වෙන්නේ කොහොමද? ගිනි බෝලය ඉහළට යන්නේ කොහොමද? මේකයි වෙන්නේ. සාමාන්‍ය පතරොමක වගේ, (මේ, ඔන්න ඉතිං දැන් අහන්න එපා පතරොම් ගැන. එව්වා මතක නැතිකරාද? මතක නැතිනම් ආයෙත් ගිහිං බලලා එනවා හොඳයි) මේ ෆ්ලෙයාර් එකෙත් කැප් එකක් තියනවා. ෂූටර් එකේ තියනවා ඒ කැප් එකට වදින ෆයරිං පින් එකක්. එය වැදීමෙන් කැප් එක පත්තුවෙලා දෙන ගිනි බලයෙන්, ෆ්ලෙයාර් එක ඇතුලේ තියන වෙඩිබෙහෙත් ගිනිගන්නවා. ඉන් අධික පීඩනයක් ඇතිකරනවා. අර පාට වෙඩිල්ලත් ගිනි ඇවිලෙනවා. අධික පීඩනය නිසා, ගිනි බෝලය, ෆ්ලෙයාර් එකේ උඩ පැත්තේ තියන, ඉතා තුනී ඇලුමිනියම් ආවරණය කඩාගෙන, අහසට පනිනවා.
10
7
8
9
  ඉතිං මේ විස්තරෙන් කිව්වේ මේක පත්තු කොරන හැටි විතරයිනේ. අපිට ඕනේ ඒක නෙවෙයි. කොහොමද මේකෙන් පිස්තෝලයක් හදන්නේ කියන එක. හරි හරි ළමයා. ඉස්සරවෙලා මේ උපකරණයේ කතන්දරේ නොකියා, එක සැරේම කිව්වනම්, ෆ්ලෙයාර්ස් ෂූටර් එකක් ගන්න. ඒක වැඩි දියුණු කරන්න. ඊට පස්සේ පතරොමක් දාලා වෙඩිතියන්න කියලා, ඔයාට තේරෙනවද? නැහැනේ. ඉතින් දැන් අහගන්න පෑන් පිස්තෝලය හදන හැටි. දැන් මේ උපකරණය හොඳින් නිරීක්ෂණය කරන්න. මේ උපකරණයේ තියනවා;
  • 1. පිස්තෝලයක බැරල් එක හෙවත් බටය හා සමාන බටයක්.
  • 2. පිස්තෝලයක හෝ තුවක්කුවක මෙන් පතරොමක් පත්තු කිරීම සඳහා අවශ්‍ය පීඩනය දෙන ෆයරිං පින් එකක්.
  • 3. එම ෆයරිං පින් එක සමග ඈඳුණු ට්‍රිගර් (කොකා) යාන්ත්‍රණයක්.
  ඉතිං හත් ඉලව්වේ මේකට පතරොමක් ඔබාගන්න ක්‍රමයක් හදාගත්තනම්, දෙන්ඩ පුළුවන්නේ අහවල් එක ටෝං ගාලා කුඩුවෙන්ඩ. හා……..ඔන්න දැන් තේරෙනවද රඟේ? ඒ නිසා තමයි මේ උපකරණය බොහොම භයානක වෙන්නේ. වැරදි පුද්ගලයකුගේ අතට ගියොත්.
452514_sub2
  පතරොම ඇතුළු කිරීම සඳහා යාන්ත්‍රණය සකස් කරන්නේ කොහොමද කියන එක නම් කියන්න බැහැ. නුවණැත්තෝ සිතත්වා. මම එහෙම කියන්නේ මේ උපකරණ සමහර හමුදා සාමාජිකයන් අතේ තවමත් තිබෙන නිසා. මොකද මෙය තුවක්කුවක් මෙන් ආපසු බාරදියයුතු ගිනි අවියක් නෙවෙයි. ෆ්ලෙයාර්ස් ඉවරනම් ෂූටර් එක විසි කරලා, අළුත් කිට් එකක් ගබඩාවෙන් ලබාගන්නවා. ඒ නිසා මෙව්වා රටපුරා සෑහෙන්න තිබෙන්න පුළුවන්. නිකං මොකටද පනින රිලවුන්ට ඉනිමං බඳින්නේ? මෙය පිස්තෝලයක් බවට පරිවර්තනය කරගැනීමෙන් පසු, මිලිමීටර් 9 පිස්තෝල පතරොමක් යෙදිය හැකි ආකාරයට සැකසිය හැකි අතර, අති දක්ෂ වෙඩික්කරුවකුට මීටර් 4 – 5 අතර දුරක සිට, පුද්ගලයකු ඝාතනය කරන්න පුළුවන්. මීටර් 2 ක් ලඟට එන්න පුළුවන්නම් පහසුවෙන් ඉලක්කය ගත හැකියි.
 මීට පෙර මා ඔබ සමග ලිපි ගණනාවකින් සාකච්ඡා කර තිබෙනවා විවිධාකාරයේ තුවක්කු ගැන.  ඒ සෑම තුවක්කුවකටම අදාළ ගතිලක්ෂණ (characteristics) මා  ඔබට එහිදී පෙන්වාදී තිබෙනවා. නමුත් මෙය, ලෝකයේ කොහෙවත් සම්මත ගිනි අවියක් නොවන නිසා, මෙයට අදාළ ගතිලක්ෂණ දැක්විය නොහැකියි. මේ ආකාරයට සැකසු අවියක්, මමත් දැක තිබෙන්නේ එකම එක වරක් පමණයි. ඒ, පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අවියක්. එය නිරීක්‍ෂණය කිරීමෙන් තමා, මෙය සාදා ඇති ආකාරය මමත් දැනගත්තේ.
  මේ අවියේ ඇති වාසි අවාසි මොනවාද?
  වාසි:-
  • පහසුවෙන් සඟවාගෙන යන්න පුළුවන්.
  • අතේ තියාගෙන සිටිද්දීත්, නොදන්නා කෙනෙකු හිතන්නේ පෑනක් කියලා.
  • ක්‍ෂණිකව අතට ගෙන වෙඩි තැබිය හැකියි.
  • ශබ්දය අවමයි. ඒ නිසා ගොඩනැගිල්ලක් තුළදී වුණත් පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. සයිලන්සරයක් සවිකළ හැකිනම් වඩාත් භයානකයි.
  • නාගරික පරිසරයක ශබ්දය (වාහන, සංගීතය, වෙනත් එවැනි දෛනික හඬ) වැඩි නිසා මේ අවිය ඒ හඬ තුළ නොඇසීයන්න පුළුවන්වීම වාසියක්.
අවාසි:-
  • වරකට එක පතරොමයි දාන්න පුළුවන්. ඒ නිසා සෑමවිටම පළමුවැනි පතරොමෙන්ම ඉලක්කය සපුරාගත යුතුයි. දෙවැනි පතරොමක් පාවිච්චි කරන්න අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්.
  • අමතර පතරොම් ගෙනයාම අනතුරුදායකයි. මේ උපකරණය පෑනක් වගේ පෙනෙන්න සාක්කුවේ ගහගෙන යන්න පුළුවන්. මගදී පරීක්ෂා කිරීම් වලදී පවා අවධානයට ලක්වෙනවා අඩුයි. නමුත් තමන් සන්තකයේ පතරොම් තිබිලා අහුවුනොත් ඉවරයි නේද?
  • කල්පැවතීම ගැන සහතික වන්නට බැහැ. මේ උපකරණය සාදා තිබෙන්නේ කෙටි කලක් පාවිච්චි කර ඉවත දැමීම සඳහායි. ඒ වගේම මෙය ඉක්මනින් මළකඩ කනවා.
  • මෙයට කොහෙවත් අමතර කොටස් නැහැ. ඒ නිසා අලුත්වැඩියා කරන්න බැහැ.
  ඔන්න ඉතින් තවත් තුවක්කු කතාවක් අපි මේ විදිහට අවසන් කරනවා. මා ඔබට මේවා කියාදෙන්නේ එදිනෙදා දැනුම දියුණු කරගන්නට මිසක්, මේවා අත්හදා බලන්නට නොවන බව අවධාරණය කරනවා.
  ‘අසමි දකිමි සොයමි’ දිය සළකුණ සහිත ඡායාරූප හැර, අනෙකුත් සියලුම ඡායාරූප සහ තොරතුරු ලබාගත්තේ, පහත දැක්වෙන මූලාශ්‍ර වලින්.
මූලාශ්‍ර;
my-signature-for-blog[1]
2013 දෙසැම්බර් මස 20 වැනි දින 0859 පැය

15 December 2013

අවුරුදු දෙකයි, පියවර දෙසීයයි, ලක්ෂ එකහමාරයි! - Oh! Dear..... Two years have gone eh!.......

 walking_alone_on_long_road-other-e1343172538576-226x226පුද්ගලයකුගේ හෝ ආයතනයක ප්‍රගතිය පිළිබඳව මනින්න කොපමණ මිණුම් දඬු තිබෙනවාද? ඒ හැම මිණුම් දණ්ඩකටම වඩා හොඳම මිණුම් දණ්ඩ වන්නේ, ඒ පුද්ගලයා හෝ ආයතනය සතු මානව සබඳතා කියලයි, මටනම් හිතෙන්නේ. මා හිතුවේ, විශ්‍රාම දිවිය ඇරඹු පසු, මගේ මානව සබඳතා බොහොමයක් ගිලිහීයනු ඇති කියායි. මොන බොරුද. අදත් යුද හමුදාවේ බොහෝ දෙනෙක්, නොකඩවා මා සමග මිත්‍ර සබඳතාව පවත්වාගෙන යනවා. මා හොඳින් ඉන්නවාදැයි අමතන දුරකථන ඇමතුම් දෙක තුනක්වත්, එක සතියකට ලැබෙනවා. හමුදා කඳවුරුවල තිබෙන උත්සව වලට නිරතුරු ආරාධනා ලැබුනත්, ඒ සියල්ල පිළිනොගන්නේ, සෞඛ්‍ය තත්වය ගැන සිතා බලා. "මට මහළු වයසේ - බැරිය වෙණ ගායනා පෙරසේ" කියන්නේ නිකමටයැ. ලබන අවුරුද්දේ පෙබරවාරි මාසයේදී මම හැටවන වියට පාතබන්න සූදානමින් ඉන්නවා, ඒ අල්ලපනල්ලේ මොකුත් අතුරු ආන්තරාවක් සිදු නොවුනොත්.
  2011 දෙසැම්බර් 15 වැනිදා පටන්ගත් මේ වැඩේට, එහෙනම් අවුරුදු දෙකක් ගතවුනා ඈ. අනේ මන්දා, මටනම් හිතෙන්නේ ඊයේ පෙරේදා වගේ. මොනවද ඉතින් නිදාගන්න ගියාම මොකක්හරි කාරණයක් ඔළුවට එනවා. පහුවදා උදේම පොඩි කෙටුම්පතක් ලියනවා. (දැනට අවසන් නොකළ කෙටුම්පත් අටක් තියනවා) ඔන්න ඔහොමයි මේ ලියවිල්ල දිගට දිගට ඇදීයන්නේ. හැබැයි ලියන්න නම් දේවල් තව මහා ගොඩක් ඔළුවේ තියනවා. බලමුකෝ,  ඉඩ ලැබෙන විදිහට ලියමු. මම මොහොතකට ඔබේ අවධානය යොමු කරන්න කැමතියි, මගේ පළමුවැනි වර්ෂ පූර්ණ ලිපියට. වෙලාවක් තියනවනම් මෙතනින් ගිහින් බලන්නකෝ. 
  එදා මම ඔබට කිව්වා මම කොහොමද බ්ලොග් ලිවීමට පෙළඹුනේ කියලා. අම්මපා දැන්නම් අබිං කෑවා වගේ තමයි. මොනවාහරි නොලියා ඉන්නම බැහැ. ඒ වගේම බ්ලොග් නොකියවා ඉන්නත් බැහැ. බ්ලොග් ලියන කෙනෙකුගෙන් ඇහුවොත් ඇයි ලියන්නේ කියලා, නොයෙකුත් පිළිතුරු ලැබෙන්න පුළුවන්. අපි කාටවත් මේ සමාජයේ තනිවී ඉන්නට බැහැ. අපේ චිත්තාවේග පිට නොකර ඉන්නට බැහැ. අනෙකුත් සෑම ලේඛන සහ ප්‍රකාශන මාධ්‍යවල යෙදෙන්නන් කරන්නේත් එයමයි. ඉතින් බ්ලොග් ලියන අපිත්, අනෙකුත් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වලට වඩා පෞද්ගලිකත්වය විදහා දක්වමින්, චිත්තාවේග පිටකරමින් ලියන එකයි කරන්නේ කියලයි මමනම් හිතන්නේ.  
  අපේ උන්දැට පෙන්නන්න බැරි වැඩක් තමයි මම කොම්පියුටර් කොටන එක. මෙන්න උදාහරණයක්.
මම පණ කඩාගෙන මගේ සිතුවිලි පරිගණකයේ ලියමින් ඉන්නවා...........
අපේ උන්දැ මගේ ළඟට එනවා............ (මම හරිම අකමැතියි මම බ්ලොග් ලිපි ලියන වෙලාවට කවුරුහරි මට බාධා කරනවානම්. මොකද අර සිතුවිලි සහ හිතෙන් හදාගත් සැළැස්ම අවුල් වෙනවා)
අපේ උන්දැ:- "මොනවද දවල්ට උයන්නේ"............
මම:- "මොනවද තියෙන්නේ"........... 
අපේ උන්දැ:- "ඕනේ දෙයක් තියනවා".........
මම:- "එහෙනම් ඔය හැම්, බේකන්, චිකන්, බීෆ්, මට්න්, ඔක්කොම හදන්ඩකෝ"......
අපේ උන්දැ:- "අනේ මේ, විකාර කරන්නේ නැතුව කියනවද මොනවද උයන්නේ කියලා. ඔය මගුල බදාගත්තම ඔයාට මෙලෝ සිහිය නෑ." ............
මම:- "හරි ඔයා ගිහින් බත් එක උයන්ඩ පටන්ගන්ඩකො මම ටක් ගාලා එනවා"........(නමුත් එය කවදාවත් වෙන්නේ නැත. මේකේ එල්ලිලා ඉන්නකොට ඔරලෝසුව කැරකෙන්නේ විදුලි පංකාවක වේගයෙන්දැයි සිතෙන්නේ, ටිකක් වෙලා ලියා නවත්වා වෙලාව බැලූවිටය. සමහර දිනවර රාත්‍රී එක පසුවී ඇති බව දැක්කාම, වහාම මේ මගුල නිවා දමා, හමුදා පුහුණුවට පින්සිද්ද වෙන්න, ගෙදර කිසිදු ලයිට් එකක් නොදමා, හොර පූසා වගේ, සද්ද නැතුව ගිහින් ඉතා සෙමෙන් ඇඳේ වැතිරෙමි. ඊට පෙර, හඬ නොනැගෙන ලෙස රාත්‍රී විදුලි බුබුල නිවමි. මොන පිස්සුද, අපේ උන්දෑ තප්පරයෙන් ඇහැරී, 'බලන්ඩ වෙලාව කීයද කියලා. හැබෑටම ඔයාට හිතෙන්නේ නැද්ද ඔයා ඔයවැඩේට ඇබ්බැහි වෙලා කියලා ඈ' කියා අසනවිට, මම දෙතොල් තදකර ගනිමි. සතියකට දින දෙකක් හෝ තුනක් විතරයි මම කුස්සියේ වැඩට සහාය වෙන්නේ........කවදා කාපු ටකරං ද?....... ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ කිව්වලුනේ ....හමුදාවේ අතට පයට සියල්ල තියාගෙන ඉඳලා, පැන්සොන් ගත්තම තමයි රඟේ තේරෙන්නේ)
  සමහර දවස්වල කන්න ගියාම මම ටිකක් අකමැති දේත් තිබේ. "මේ මොනවද" කියා ඇසුවොත්, "ඇයි මම අහනකොට ඔයාමනේ හා කිව්වේ" යන පිළිතුර ලැබෙයි. මම ගොළුවෙමි. බ්ලොග් කෙළිය නිසා, ඇය, "මොනවද උයන්නේ" කියන ප්‍රශ්නය ඇහුවම, බේරෙන්නට මොකක් හෝ කියා ඇතිබව පසක්වන්නේ, කෑම කන විටදී ය. මම රෑට බත් කන්නට අකමැතිය. ඒ හමුදාවේ පුරුද්දය. ඒ වගේම, නූඩ්ල්ස් වගේ දේවල් කන්න මට 'ආයුධ සැට් එක' ඕනෑය. එව්වා මේසෙට තියලා නොතිබ්බොත් මම කරන්නේ බුකවාගෙන ඉඳීමය. එවිට ටක් ගාලා එව්වා ලැබේ.
හැබැයි අපේ ඇත්තී අතින් හැදෙන දිව්‍ය භෝජන ගැන ආයේ කියන්ඩ දෙයක් නැතිය. මට තිබෙන්නේ බැට් කිරීම පමණි. රසට උයන්න පිහන්න පුළුවන් බිරිඳක් ලැබීමත්, මිනිහෙකුගේ පූර්ව කුසළ කර්ම පලදීමක් කියලයි මට හිතෙන්නේ. 
hippo2BM_468x312
නමුත් ඇගේ මූණ ටිකක් හරි මදිය. මම කුස්සියට ආවේ නැති නිසාය. අපේ ගෙදර ඉන්නේ අපි දෙන්නා පමණි.
Wife quarrels with her husband in the kitchen
(නාකි ලව් එක නැගලා යන්නේ ඔන්න ඔහොම වෙලාවටය)
portrait-senior-old-couple-lost-love-8816400
  ලොකු දුව ගෙදර එන්නේ සති අන්තයට පමණි. චූටි දුව මාස කීපයකට වරකි. දැන්නම් "වෙද ඉස්කෝලේ" අන්තිම විභාගයත් ඉවර වෙන්න ආසන්නයි. බලමුකෝ ඊට පස්සෙවත් මේ ළමයා ටික දවසකටවත් ගෙදර එයිද කියලා. 

  අපේ ගෙදර ඉන්න පූසා සහ බල්ලා (බැල්ලී) පුදුම වාසනාවන්තයෝය. අපි දෙන්නාගේ තනියට ඉන්න උන් දෙන්නා, දැන් පවුලේ සාමාජිකයන් වගේය. උන්ට වෙනම කෑම උයන්න අවශ්‍යයි. "සැබී" අපේ සුරතල් බැල්ලී,  කන දේවල් අපේ පූසා "මිෂිකා" කන්නේ නැත. ඉතින් පොළට ගියාම, මාළු කඩේට ගියාම, උන්ට වෙන වෙනම දේවල් ගන්න ඕනෑය. මට පවු කියා හිතෙන්නේ, මම කොම්පියුටර් කොටන අතරේ, අපේ ඇත්තී, මේ දෙන්නා එක්ක කතා කරමින් කුස්සියේ වැඩ කරන එකටය. ඒ වගේ වෙලාවට මම කොම්පියුටරය නිවා නොදමාම කුස්සියට ගොස් ටිකවෙලාවක් හිඳිමි. 
DSC00483aaaDSC00667a
ඇත්තටම උන් දෙන්නාත් කතා නොකරනවා විතරය. උන්ගේ හැඟීම් දැන් අපට හොඳින් දැනේ. මේ කියන්නේ මොකක්ද කියා අපට පහසුවෙන් වැටහේ. සැබීට හොරෙන් අපේ ගෙදර ගේට්ටුවට අත තියන්නටවත් කාටවත් බැරිය. සමහර වෙලාවට ඌ බුරනවිට අපට පුදුම හිතෙන්නේ ඒ මොහොතේම කවුරුන් හෝ අපේ ගේට්ටුව අසල සිට අපට කතාකරනු ඇසීමෙනි.  මිෂිකා ගෙවල් ගානේ රස්තියාදුවේ ගියත්, සැබී කවදාවත් ගෙදරින් එළියට යන්නේ නැත. අපේ දුවලා දෙන්නා ගෙදර ආවාම, උන්ට ඊට වඩා දෙයක් නැත. උන්ට රජ සැළකිලි ලැබෙන්නේ එවිටය. මුන් දෙන්නා දවසපුරා දකින්නට නැත්නම්, අපි දෙන්නාටම පාළුව තවත් තදින් දැනෙනු ඇත. ජීවිතේ හැටි ඔහොම තමයි. හැමදාම පවුලේ හැම දෙනාම එකට බදාගෙන ජීවත්වෙන්න ලැබෙන්නේ නැත. ජීවිතය කියන්නේ එක්වීම් සහ වෙන්වීම් ගොඩක් නේද? එය අවබෝධ කරනොගත්තොත් පිස්සු හැදෙනවා.
  මම බ්ලොග් ලියන්නට පටන්ගත්තේ, වර්ඩ්ප්‍රෙස් ක්‍රමයට බව, මේ අඩවිය කියවන ඔබෙන් බොහෝ දෙනෙකු දන්නවා. මුල් කාලයේදී මගේ බ්ලොග් කෙළියට ගුරුහරුකම් දුන්නේ හීනලන්තයේ හරී. සෑහෙන කලක් තිස්සේ වර්ඩ්ප්‍රෙස් ක්‍රමයට හුරුවී සිටි නිසා, මට එය පහසුයි. බ්ලොගර් මෙන් නොව එහි සියළු දේ තිබෙන්නේද සිංහලෙන්. මේ බලන්න. 
Screenshot_2013-12-9 20.40.34
  වම් පැත්තේ කළුපාට තීරුවේ තිබෙන සුදු අකුරු සහ දකුණු පැත්තේ සුදුපාට තීරුවේ තිබෙන කළු අකුරුද කියවා බලන්න. සියළු සැකසුම් සඳහා උපදෙස් 99%ක් තිබෙන්නේ සිංහලෙන්. එමෙන්ම වර්ඩ්ප්‍රෙස් වලදී ලැබෙන කමෙන්ට්ස්, සංස්කරණය කරන්න පුළුවන්. සමහරවිට අනවශ්‍ය දේ ලියලා තිබුනොත්, ඒ කොටස් ඉවත්කර, කමෙන්ට් එක පළකරන්නට හෝ අකුරු/වචන වැරදියට ටයිප් කර තිබුනොත්, ඒවා පවා නිවැරදිව යළි ටයිප් කර පළකරන්න පුළුවන්. කමෙන්ට්ස් වලට එතනදීම පිළිතුරු ලියන්නට හැකිවීමත් පහසුවක්.  පහත දැක්වෙන්නේ ප්‍රතිචාර පිටුවකින් කොටසක්.
Screenshot_2013-12-9 21.36.13
  ඒ වගේම, බ්ලොගර් පාලකයන්, විසින් කාලීනව පොඩි පොඩි සම්මාන දෙනවා. මේ පහත දක්වන්නේ ලිපි 25, 50, 100, ආදියටත්, පළමුවැනි වර්ෂ පූර්ණයටත්, කියවන්නන් විසින් තරු ලකුණු ලබාදීම පිළිබඳවත්, මගේ අඩවියේ තත්ත්ව තොරතුරු (statistics) පිටුවේ, මාවෙත පිරිනමා ඇති සම්මානයි. තවත් තොරතුරු මෙතනින් සහ මෙතනින් බලන්න පුළුවන්. Untitled 1
  සාමාන්‍යයෙන් මා ලියන ලිපියක් එක දිනකදී 200 ක පමණ පිරිසක් කියවනවා. ඊට වඩා අතිශයින් වැඩි පාඨක පිරිසක් කියවන සිංහල බ්ලොග් අඩවි ඇති බව, මා දන්නවා. නමුත් මට ලැබෙන පාඨක ප්‍රතිචාර ප්‍රමාණය ගැන, මා අතිශයින් තෘප්තිමත් වෙනවා. මා විශ්වාස කරන්නේ, මා ලියන දේවල යම් හරයක් ඇති නිසා, ඒ ප්‍රේක්ෂක අවධානය මේ අඩවිය වෙත යොමුවන බවයි. යුද හමුදාව සහ විවිධ අවි ආයුධ සම්බන්ධ තොරතුරු, මෙතරම් ආකර්ෂණයක් ඇතිකරනු ඇතැයි මා මුලදී සිතුවේ නැහැ. නමුත් මා බලවත් විමතියට පත් කරමින්, සෑහෙන පාඨක පිරිසක් මේ අඩවියට පැමිණෙනවා. මෙතෙක් මා ලියන ලද ලිපි වලින්, අදටත් නොකඩවා වැඩිම පිරිසක් කියවන ලිපිය ලෙස, දත්ත වාර්තාවේ සටහන් වන්නේ, "රිවෝල්වරය පිස්තෝලය මොකක්ද වෙනසයනුවෙන්, මා ලියන ලද ලිපියටයි.
Screenshot (3)
  හුදු ජනප්‍රියත්වය ලබාගැනීම උදෙසා, හරසුන්, අසභ්‍ය, අශ්ලීල, දේ ලිවීම, මට තරම් නොවන බව, මා බ්ලොග් ලිවීම අරඹා, ඉතා කෙටි කලකින් වටහාගත්තා. බොහෝ දෙනෙකුට සිතන්නටවත් අපහසු, එවැනි කරුණු කන්දරාවක් මතකයේ ඇතත්, ඒ සියල්ල සදාකාලයටම සඟවන්නට මා තීරණය කළා. ඒවා ලිව්වානම්, අද මගේ අඩවිය දිනකට 200ක් නොව 2000ක් බලනු ඇති. එහෙත් ඒ මට්ටමට වැටෙන්නට මට ඇවැසි නැත. සමහර අඩවිවල, මා දන්නා එවැනි කතාවල, කටින් කට ගොස් ශේෂවූ කොටස්, තමන්ගේ නිර්මාණයක් මෙන් ලියා තිබෙනු දකින මට, අනුකම්පාවක් සමග සිනහ පහළවන්නේ, එහි මුල් කතාව ඒ රචකයා දන්නේනම්, කෙළෙස ලියයිද කියා සිතීමෙනි.  අසභ්‍ය දෑ නොලියා සිටීමේ තීරණය ගන්නට තවත් හේතුවක් වුනේ, මගේ මිත්‍රයකු සමග මේ ගැන සාකච්ඡා කරද්දීය. 'හොඳයි, කවදාහරි කොහොම හරි, ඔයාගේ දරුවෙක් දැනගත්තොත්, මේවා ලියන්නේ ඔයා කියලා, එදාට ඔයා මොකද කරන්නේ?' යනුවෙන් ඒ මගේ මිතුරා විමසන ලද පැනය, මට මහත් මගපෙන්වීමක් වුනා. ලියන අය ලියන්න. ඒ ගැන විරුද්ධවීමට හෝ නැවැත්වීමට, බලයක් හෝ අයිතියක්, මට කිසිසේත් නැත්තේමය.  
  ඉතින් මේ විදිහට ලියමින් යන මම, මේ ඊයේ පෙරේදා ලිපි 200ක් ලියා සම්පූර්ණ කළා. වෛද්‍ය ජයතුංග ගේ කාව්‍ය නිර්මාණ ගැන ලියන ලද ලිපියත් සමගයි ලිපි 200 සම්පූර්ණ වුණේ. ඒ සමගම මතක්වුණා, හෙට අනිද්දා ද්විවර්ෂ පූර්ණය එළඹෙනවා නොවේදැයි කියා. ඒ නිසා ඒ නිමිති දෙකම එක්කර මේ ලිපිය ලියන්නට හිතුවා. 'අවුරුදු දෙකයි පියවර දෙසීයයි' කිව්වේ ඒ නිසයි. එතකොට ලක්ෂ එකහමාර? ඒ තමයි කාරුණික, ආදරණීය, ඔබ සැමදෙනා. අද මේ මොහොත වනවිට මේ අඩවිය වෙත පැමිණි පාඨක සංඛ්‍යාව 166,250 ක්. ඒ ධනය මා ලැබුවේ, ඔබේ ආදරයෙන්, හා සහයෝගයෙන් බව, ඔබ සැමවෙත, කෘතවේදීව, ශීර්ෂ ප්‍රණාමය පුදකරමින් ප්‍රකාශකර සිටිනවා.
  පාටියක් දාන්න වටිනවා නේද? දැන් මොන පාටිද අනේ මේ නාකි මට. ඔන්න පරණ පාටියක පින්තූරයක්. මේක බලලා හිතෙන් ඒ පාටියට ආපහු ගියාම ඇති. 
img058
  හැමදාම හංගගෙන ඉන්න මගේ මූණ පෙන්නන්නත් හිතුවා. ආය මොකටද හැමදාම හැංගෙන්නේ. ඔන්න එහෙනම් බලාගන්නකෝ ඔය පාටිය තිබුන කාලෙම ගත්ත පින්තූරයක් තමා මේකත්.
img060
  පසුගිය දිනවල මට අපහසුතා දෙකකට මුහුණ දෙන්න සිදුවුණා. පළමුවැන්න මම එතරම් ගණන්ගන්නේ නැහැ. ඒ තමයි, විවිධ රටවලින් මගේ වර්ඩ්ප්‍රෙස් අඩවිය වෙත පැමිණෙන අමුත්තන්ගේ, රටවලට අයත් ධජය පෙන්වන දර්ශකය, හදිසියේ ක්‍රියාවිරහිත වීම. එහි ඒ වනවිට රටවල් 95 ක ධජ සටහන්ව තිබුණා. එය නැවත ක්‍රියාත්මක කළමුත්, කලින් සටහන් වූ සියල්ල මැකීගොස් තිබුණා. මේ වනවිට නැවතත් රටවල් කීපයකින් අමුත්තන් පැමිණ තිබෙනබව එහි සටහන් වෙනවා.
  දෙවැන්න නම් බරපතළයි. මට වළක්වාගත නොහැකි තාක්ෂණික දෝෂයක් නිසා, වර්ඩ්ප්‍රෙස් අඩවියේ ලිපිවලට ලැබෙන පාඨක ප්‍රතිචාර ලිවීමට ඇති කවුළුව, වැසීගියා. සති තුනක් පමණ පැවති මේ තත්වය, මා තුළ බලවත් සිත්වේදනාවක් ජනිත කළා. 'ළිඳට වැටුණු මිනිහා ළිං කටෙන්ම ගොඩ එන්නේ ඕනේ' කියලා කියමනක් තියනවනේ.  ඒ නිසා මම www.wordpress.com අඩවියේ අස්සක් මුල්ලක් නෑර සොයා බැලුවා. අවසානයේ අද තමයි විසඳුම ලැබුණේ. අනාගතයේදී මේ අර්බුදයට යම්කිසි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් රචකයකු මුහුණ දුන්නොත්, මෙන්න විසඳුම. මේ සඳහා මග පෙන්වීමක් කර තිබුණු පොඩ්ඩිටත් ස්තුතිවන්ත වෙනවා. 
  1. Go to the Posts -> All Posts screen in your blog dashboard.
  2. Select the posts you would like to modify or check the box next to “Title” column at the top to select all posts on that page.
  3. Select Edit from the Bulk Actions drop down menu.
  4. Click the Apply button.
  5. Change the options for Comments and Pings to Allow or Do not allow.
  6. Click the Update button.
  7. Repeat with your Pages.
   සෑහෙන කලක සිට මට පාඨකයන් වෙතින් දැනුම්දීම් ලැබුණා, වර්ඩ්ප්‍රෙස් අඩවියේ ප්‍රතිචාර දැක්වීම ඉතා අපහසු බවත්, සමහරවිට අඩවියට ඇතුළුවීම පවා අපහසු බවත්. බොහෝ දෙනා කිව්වේ, බ්ලොගර් අඩවියක් පටන්ගන්නා ලෙසයි. මේ ගැන සිතමින් දෙගිඩියාවෙන් සිටින කාලයේදී තමයි වර්ඩ්ප්‍රෙස් සහ බ්ලොගර් දෙකෙන්ම වැඩ කරන හෙන්රිගේ ඩෙනිම ගැන මගේ අවධානය යොමුවුණේ. කලක් තිස්සේ එය අධ්‍යයනය කිරීමෙන් පසු, 'බ්ලොගර් ගඟට' පනිම්දෝ නොපනිම්දෝ කියා සිතමින් සිටිනවිට, මාව ඒ ගඟට තල්ලු කළේ, අටම්පහුරේ අටමාය. ලක්මාල්, පසුගිය මාස දෙකතුන තුළ, බ්ලොගර් කෙළිය ගැන මට දුන් අවවාද සහ උපදෙස් නොවන්නට, මට බ්ලොගර් අඩවියක් පටන්ගන්නට ලැබෙන්නේ නැත. ඇත්තටම මගේ බ්ලොගර් අඩවියේ ඔය තියන වැඩකෑලි ගොඩක් කියලා දුන්නේ ලක්මාල්ය.  
  සමහර දිනවල දුරකථනයෙන් සම්බන්ධවී, පැයගණන් මා ලවා මගේ බ්ලොගර් අඩවියේ වෙනස්කම් කරවමින්, එය ගොඩදාගන්නට අවශ්‍ය සියළු ගුරුහරුකම්, කිසිදු ගුරුමුෂ්ටියකින් තොරව ලබාදුන්, ලක්මාල් කන්දෙවිදානේ ට, මගේ විශේෂ ගෞරවය පුදකරන්නට මෙය අවස්ථාව කරගන්නට කැමතියි. 

  මේ වැකිය වර්ඩ්ප්‍රෙස් අඩවිය බලන අයට පමණයි. මා, මෙයට සමගාමී බ්ලොගර් අඩවියක් ආරම්භ කළබව, ඔබෙන් සමහරකු තවමත් දන්නේ නැති නිසා, එහි ලිපිනය මේ සමග දක්වනවා. http://wicharaka.blogspot.com 

  පාඨක සබඳතා වැඩිදියුණු කරගැනීම සඳහා, මූණු පොතට මෙන්ම Google +, Twitter, Linkedin, වෙත, සම්බන්ධවන ලෙස, සමහර පාඨකයන් ඉල්ලාසිටි නිසා, දැන් ඒ සියල්ල වෙත සම්බන්ධවී සිටිනවා. ඉදිරි කාලයේදී විවිධ මාතෘකා රැසක් ඔබවෙත ගෙන එන්නට, මා සැළසුම්කර තිබෙනවා. හමුදාව සම්බන්ධ වැදගත් ලිපි ඒ කෙටුම්පත් අතර තිබෙනවා. 
  සාමාන්‍යයෙන් මා ලියන ලිපියකට, මාධ්‍ය රූප රාශියක් අවශ්‍ය වෙනවා. වීඩියෝ දර්ශන අවශ්‍ය වෙන අවස්ථාත් බොහොමයි. ඒ නිසා මා ලියන්නේ සෙමින්. ලිපියක මාධ්‍ය රූප සංස්කරණයත් තරමක වෙහෙසකර කාර්යයක්. කෙසේවෙතත්, ඔබේ දැණුමට යමක් එක්කරණ, තවත් දෑ බොහොමයක්, ඔබවෙත ගෙන ඒමේ අභිලාශය පෙරදැරි කරගනිමින්, මෙතෙක් විවිධාකාරයෙන් මට මගපෙන්වූ, සියලු ජ්‍යොෂ්ඨ බ්ලොග් කරුවන් වෙත ප්‍රණාමය පුදකරමින්, පාඨක ඔබ සැමදෙනා වෙත ද, මගේ භක්ත්‍යාදර පූර්වක ප්‍රණාමය පුද කරමින්, ලිපිය අවසන් කරනවා. 
my-signature-for-blog[1]
 2013 දෙසැම්බර් මස 14 දින 2149 පැය

10 December 2013

මටත් ලැබුණානේ පරණ පත්තර ටිකක්

පැරණි පුවත්පත් ඇසුරෙන් වරින් වර බ්ලොග් ලිපි පලවෙනවා. අපේ බ්ලොග් රචකයන් කීප දෙනෙකුම එවැනි පැරණි පුවත්පත් වල පලවී තිබුණු විවිධ තොරතුරු ඇසුරෙන් ලිපි ලියා තිබුණා. ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධ අපේ කාමරේ සිරා නොවැ. මේ ඊයේ පෙරේදා මටත් අපේ ගෙදර පරණ පොත් පෙට්ටියක තිබිලා පත්තර කෑලි ටිකක් ලැබුණා. ඔන්න ඔබටත් බලන්න මම ඒවා පහත දක්වනවා. 
  මේ දවස්වල අපේ රටේ කැසිනෝ කෙළිය ඇරඹීමේ මහා විවාදය ඕසෙටම නැගලා යනවානේ. අපේ අමුණුගම ගොයියා නෙව මේ දවස්වල එකසිය ගානට අර ජේමිස් පැකර් සුද්දාගේ ගොම්පස් අල්ලන්නේ. සංචාරක කර්මාන්තය ගැන 1983 දී දිනමිණේ තිබුන කතුවැකියක් මේ. දැනුත් දිනමිණ ඉන්නේ මේ ප්‍රතිපත්තියෙමද කියලා හොයලා බලන්න වටිනවා. 
img096 - Copy (2)
img096 - Copy (4)
චැඃ ..........කරුමෙට මේක පල කොරලා තියෙන්නේ අප්‍රේල් පළමුවැනිදාවක ය. ඒ නිසා මේ තියෙන්නේ ඒකාලේ අප්‍රේල් 1 විහිළුවක් කියලා දිනමිණ කාරයා දැන් කියන්න බැරි නැත.
  ඊළඟට ලැබුන පත්තර කෑල්ලේ තිබුනේ අද බොහොම අභාවයට ගොස් තිබෙන අත් යන්ත්‍ර පේෂ කර්මාන්තය ගැන සටහනක්. කාන්තාව සහ පේෂකර්මාන්තය අතර තිබෙන්නේ සදා නොසැළෙන බැඳීමක් නේ. විජය රජුට ලංකාවේදී මුලින්ම මුණගසුනෙත් පෙහෙකම් ලියක්නේ. අපි කුඩා කාලයේදී බොහෝ ගම්වල අත්යන්ත්‍ර මගින් රෙදි විවීම පැවතුනා. ඒවා රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වුණා. රජයේ පෙහෙකම්හල වැනි ගැඹුරු නාම පද එන්නට කලින්, අපේ ගැමියෝ මේවා හැඳින්වූවේ, "වියන ඉස්කෝලේ" නමින්. ඒවා භාර ගුරුවරිය "වියන ඉස්කෝලේ හාමිනේ " කියලයි හැඳින්වුණේ. ඒ කාලේ හිටිය තරුණියන් මේවාට ගියේ රෙද්ද හැට්ටේ ඇඳලා බවත් මට මතකයි. 1960 දශකයේදී අද වගේ ඇඟලුම් කම්හල් තිබුණේවත් එවැනි දෙයක් ගැන අපි අහලාවත් තිබුණේවත් නැහැ. මේ ගැමි තරුණියන්ව අදවගේ "ගාමන්ට් කෙල්ලෝ" වැනි අපහාසාත්මක යෙදුම් වලට ලක්වුණේත් නැහැ.
img106 - Copy (2)
img101 - Copy (2)
ඒ කාලේ රු 15000 ක් කියන්නේ අද ලක්ෂ 10 ක් වගේ. නමුත් අවංකව ඉදිකිරීම් කළා අද වගේ කොමිස් ගැහිලි නැති නිසා.
img101 - Copy (3)
img101 - Copy (4)
img102 - Copy (3)
img102 - Copy (4)
මේ තරුණියන්ගෙන් බොහොමයක් අද අත්තම්මලා වෙලා ඇති. තවත් අය ජීවතුන් අතර නැතුවත් ඇති. බලන්න ඔබ දන්නා කියන අයත් මේ පින්තූරවල ඉන්නවාද කියා.
මෙතනින් එහා තිබෙන දේවල් ගැන මම මොකුත් කියන්නේ නැහැ. ඔබට හිතෙන දේවල් ඔබම කියන්න. 
img105
img101 - Copy (5)
img086
img089
img095
මෙතැනදී නම් මොකුත් නොකියා බැහැ. රු 170/- ට සාරි තිබුන කාලේ සාමාන්‍ය පුද්ගලයකුගේ මාසික වැටුප රු 350 - 400 වගේ තිබුණේ.
මේ පහළින් තියන නම් හොඳද බලන්න. සමහර නම් කියවන්න ගියාම දිව උළුක් වනවා.
img106 - Copy (4) - Copy
img106 - Copy (6)
කාන්තාවන්ගේ ඇඳුම් ගැන කවදත් සමාජයේ අවධානය යොමුවෙනවානේ. මෙන්න ඒ කාලේ ලිපියකින් කොටසක්.
img110
ඒ කාලේ අදවගේ 119 අංකය හෝ ජංගම දුරකථන හෝ නොතිබුන නිසාත්, ගෘහස්ථ දුරකථන එතරම් නොතිබුන නිසාත්, එක්තරා බෝඩින් කාරයින් පිරිසක්, අනුන්ට කරදරයක් වී තිබෙන්නේ මෙහෙමයි.
img111
ත්‍රිරෝද රථයට අපි නම් කීයක් කියනවද? මෙන්න ඉංග්‍රීසි වචනය ඒ ආකාරයෙන්ම සිංහලයට ගෙන ඇති ආකාරය.
img085
තවත් පරණ පත්තර ටිකක් ලැබේවායි කියන ප්‍රාර්ථනයත් සමග ලිපිය අවසන් කරනවා. 
my-signature-for-blog[1]2013 දෙසැම්බර් මස 10 දින 0844 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }