ඉතින් ඔහේලා දන්නවැයි මගේ පඩිය කීයකින් වැඩිවුනාද කියලා, උන්නැහේ මේ අද කරපු අවයව පෙන්නීමෙන්?……….. නෑ නෑ අයවැය ඉදිරිපත් කිරීමෙන්?
22 November 2013
මගේ පඩි වැඩි කළාට එතුමාට නිවන් සැප ලැබේවා!
19 November 2013
බිහිසුණු සිහිනයක අතරමංව – Shell Shock to Palali Syndrome
වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් රචිත
මනෝවිද්‍යාව හා සමාජ විද්‍යාව පදනම් කරගත්
ග්‍රන්ථයක් පිළිබඳව
කෙරෙන හැඳින්වීමකි.
මේ බ්ලොග් අඩවිය කියවන ඔබට, වෛද්‍ය රුවන් එම් ජයතුංග දැන් අමුත්තකු නොවෙයි. ඔහුගේ කෘති සම්බන්ධවත්, ඔහුගේ සාහිත්‍යමය නිර්මාණ පිළිබඳවත්, ලිපි ගණනාවක් මේ අඩවියේ මීට පෙර පළකර ඇති බැවින්, මා නැවත නැවතත් ඔබට ඔහුව හඳුන්වාදෙන්නට යන්නේ නැහැ.
සංග්‍රාමයකදී අසීමාන්තිකව සිදුවන, බෝම්බ/කාලතුවක්කු/යුද ටැංකි/බිම් බෝම්බ/මර උගුල්/මෝටාර් වෙඩි/ ප්‍රහාර වලට නිරාවරණයවී, තුවාල ලබා හෝ නොලබා දිවි රැකගන්නා සෙබළුන්ගේ මානසිකත්වය, බරපතළ ලෙස වෙනස්වීම් වලට භාජනය වන බවත්, එය Shell Shock යනුවෙන් හඳුන්වන බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔහු තුළ ඇතිවන මානසික අසමතුලිතතාව හේතුකොටගෙන, ඔහු, උන්මත්තක/අපරාධකාරී/සමාජ විරෝධී/ පුද්ගලයකුගේ තත්වයට පත්විය හැකි බවත්, මනෝවිද්‍යාඥයන් විසින් සාධක සහිතව පෙන්වාදී තිබෙන්නේ පළමුවැනි ලෝක සංග්‍රාම අවධියේ සිටයි. මෙම මනෝ ව්‍යාධී තත්වය, සෙබළුන්ට පමණක් නොව, සෙබළුන්ගේ පවුල්වල අයටත් ඇතිවියහැකි බව සොයාගෙන තිබෙනවා.
තම පුතා/පියා/සහෝදරයා/දුව/අම්මා/සමීප ඥාතියා/ දීර්ඝ කාලය යුද්ධයේ යෙදීසිටීම නිසා කුමන මොහොතක හෝ ඔහු/ඇය මියයාමට ඉඩ ඇති බවට සිත තුළ ඇතිවන කම්පනය හෝ ඇත්තටම එසේ මියයාම හෝ ආබාධිත තත්වයට පත්වීම නිසා ඇතිවන දුක සහ කම්පනය හේතුවෙන්ද, සුනාමි/සුළි සුළං/ගංවතුර/නායයෑම්/ වැනි ස්වභාවික විපත් වලට ලක්වීමෙන් තම පවුලේ අයගේ ජීවිත/ළඟම ඥාතීන්ගේ ජීවිත නැතිවීම සියැසින් දැකීමේ ප්‍රතිඵලයක් වශයෙන් පවා මෙවැනි මනෝ ව්‍යාධී තත්වයන් ඇතිවිය හැකි බවද මනෝවිද්‍යාඥයන් පෙන්වාදෙනවා. මේ තත්වය හඳුන්වන්නේ,
Post Traumatic Stress Disorder = PTSD
යනුවෙන්. මේ මානසික ව්‍යාධී තත්වය නිසා පුද්ගලයකු තුල ඇතිවන මානසික වෙනස්වීම් ඉතා බරපතළයි. ඔහුට හොඳ නරක/සදාචාරය/එදිනෙදා කටයුතුවලදී අවශ්‍ය තාර්කිකව සහ සංසන්දනාත්මකව සිතීමේ හැකියාව/ අහිමිව යනවා. සමහරවිට මෙය පිටතට පෙනෙන අතර සමහරවිට නොපෙනෙන්නටත් ඉඩ තිබෙනවා. මේ නිසයි මනෝවිද්‍යාඥයන් කියන්නේ මේ සෑම දෙනාම සායනික ප්‍රතිකාර/ප්‍රතිකර්ම සඳහා යොමු කිරීම් අතිශයින් වැදගත්වන බවත්, නොඑසේනම් සිදුවන්නේ සියදිවි නසාගැනීම්/අපචාර/අනෙකුත් සමාජ විරෝධී ක්‍රියා වර්ධනයවී බරපතල සමාජ ගැටළු ඇතිවියහැකි බවත්.
වෛද්‍ය රුවන් එම් ජයතුංග තම මනෝවිද්‍යා ග්‍රන්ථය සම්බන්ධව සකසා ඇති කෙටි වීඩියෝවක් ඔබවෙත ගෙන එන්නට මා අදහස් කළා. මෙය හඳුන්වා තිබෙන්නේ Shell Shock to palali Syndrome යනුවෙන්. ඊලාම් යුද්ධයේදී යාපනය අර්ධද්වීපය පුරා සිටි සියළුම සෙබළුන් බාහිර ලෝකය සමග සම්බන්ධ කළ මර්මස්ථානය වූයේ පලාලි ගුවන්තොටුපොලයි. නිවාඩු යන/එන සෙබළුන් ප්‍රවාහනය, ආහාර සහ ඖෂධ සැපයුම්, අවි ආයුධ සහ පතරොම් සැපයීම, වෛද්‍ය සේවා ලබාදීම, තුවාල ලත් සෙබළුන් හදිසි ප්‍රතිකාර සඳහා කොළඹට හෝ අනුරාධපුරයට රැගෙනයාම, සෙබල මළසිරුරු කොළඹට ප්‍රවාහනය කිරීම, ආදී සේවා ගණනාවක් සඳහා තිබුණු එකම මධ්‍යස්ථානය වූයේ පලාලි ගුවන්තොටුපොළයි.
ඒ කාලයේ මා කන්කසන්තුරේ ප්‍රදේශයේ සේවයේ යෙදී සිටියදී ලද අත්දැකීම් අපමණයි. සමහරවිට මාස හතරකට පහකට පමණ පසු දින පහක පමණ නිවාඩුවක් ලබා (ලංකාවේ කොහේ හිටියත් අනිවාර්යයෙන්ම පලාලි සිට රත්මලාන ගුවන් තොටුපොල දක්වා යායුතුයි. ඉන්පසු පාරේ බස් එකකින් ගෙදර යන්නේ. සමහර අයට ගෙදරට ළඟාවෙන්න දින දෙකකට ආසන්න කාලයක් වැය වෙනවා) පලාලි ගුවන් තොටුපොළට එන්න හදවිට හෝ ගුවන්තොටුපොළට ගියාට පස්සේ දැනගන්න ලැබෙනවා අද ගුවන්යානා එන්නේ නැහැ කියලා. ගුවන් තොටුපොළට එන්නේ භට පිරිස් යොදවා මාර්ග දෙපස ආරක්ෂක මුර යොදවලයි. එය ඉවත් කලපසු ආපසු යන්න බැහැ. ගුවන්තොටුපොළේ ඉඳලා පහුවදා උදේ ආරක්ෂක මුරය යෙදුවම ආපහු කඳවුරට යනවා.
සමහර දවස්වලට කියනවා අද එළවලු මස් මාළු කිසිවක් ලැබෙන්නේ නැහැ ගුවන් යානා එන්නේ නැති නිසා කියලා. අපි නිකම් බත් තම්බාගෙන ලුණු ඉහලා කනවා. බත් එක්ක කන්න යාපනයේ ගෙවතු වලින් මුරුන්ගාකොල කඩා ගන්නවා. ඒ ප්‍රදේශයම ජනශූන්‍යව පැවතුනේ. වරක් මා බඩගින්නේ ඉන්නහැටි බලන්න බැරි සොල්දාදුවෙක් පැපොල් ගකට නැග්ගා පැසුණු පැපොල් ගෙඩියක් කඩා බත්කන්න මාළුවක් උයන්න. ඔහු පැපොල් ගසේ සිටියදී, එල්.ටී.ටී.ඊ. ස්නයිපර් ප්‍රහාරයකට ලක්වී මියගියා. හොඳයි දැන් අපි වෛද්‍ය යයතුංග වෙත යොමුවෙමු. ඔහු විසින් කර තිබෙන හැඳින්වීම කියවා, ඉන්පසු වීඩියෝව නැරඹීමෙන් ඔබට පුළුල් අවබෝධයක් ලැබෙනු ඇති.
Shell Shock to Palali Syndrome
වෛද්‍ය ජයතුංග විසින් රචිත PTSD Sri Lankan Experience නමැති ග්‍රන්ථය ඇසුරෙන් සැකසු තවත් වීඩියෝවක් පහත දක්වනවා.
මනෝවෛද්‍ය විශේෂඥ නීල් ප්‍රනාන්දු මහතා සහ වෛද්‍ය රුවන් ජයතුංග එක්ව ශ්‍රී ලංකා යුදහමුදා සෙබළුන් තුළ ඇතිවන පශ්චාත් යුද මානසික ආතතිය ගැන දක්වන ලද අදහස් සහිත මෙන්න මේ ලිපියත් කියවන ලෙස මා ඔබට ඇරයුම් කරන්නට කැමතියි.
2013 නොවැම්බර් මස 19 දින 0849 පැය
13 November 2013
ඇඳුම් මැදිල්ල තමයි එපාවෙන වැඩේ - Ironing Your Cloth
දිනපතා අඳින ඇඳුම් ස්ත්‍රික්කයකින් මැදගැනීම, සමහර අයටනම් එපාම කරුපු වැඩක්. අද කාලයේ තිබෙන බොහොමයක් ඇඳුම්, මදින්නේ නැතිව අඳින්නත් පුළුවන්. නමුත් එවැනි ඇඳුම් අතරින්, පිරිමි අය අඳින කමිස සහ කලිසම් වලින් බොහොමයක්, නොමැද ඇන්දොත්, අවලස්සන පෙණුමක් එන බවත් රහසක් නෙවෙයි. 'අනේ ඔන්න ඔහේ ඕනේ එ(පු)කක් කවුරු බලන්නද කවුරු දකින්නද' කියලා අඳින අයත් ඉන්නවා. නමුත් කාර්යාල සේවයේ යෙදෙන අයට එහෙම ආවට ගියාට ඇඳුම් අඳින්න බැහැනේ. මැදිවිය පසුවූ බොහෝ දෙනෙක් ඇඳුම් ගැන එතරම් සැළකිලිමත් වෙන්නේ නැහැ. නමුත් දිනපතා ටයි එකක් අඳින/අඳින්නේ නැති එහෙත් තම බාහිර පෙනුම රැකියාව කෙරෙහි බලපාන ආකාරයේ රැකියාවක යෙදෙන අයටනම්, වයස කුමක් වුනත් ඇඳුමේ පෙණුම වැදගත් වෙනවා. සමහර වෘත්තීන්හි යෙදීසිටින අය, රැකියා ස්ථානයට ඇඳගෙන එන කලිසම් කමිස දැක්කම 'අනේ අනිච්චං' කියවෙන අවස්ථාත් තියනවා. මොකද ඒ අය දුප්පත් අය නෙවෙයි. නොසැළකිල්ල හෝ කම්මැලිකම නිසයි ඔවුන් අපිළිවෙලට ඇඳුම් අඳින්නේ. විශේෂයෙන්ම පිරිමි ගුරුවරුන් බොහොම කල්පනාකාරී වියයුතුයි සිසු දරුවන් ඉදිරියේ අඳින ඇඳුම්වල පෙණුම ගැන. ඇඳුමෙන් මිනිහෙක් මනින්නෑ කියලා කවුරු කොහොම කිව්වත්, යම් පුද්ගලයකුගේ පෞරුෂත්වය කෙරෙහි ඔහුගේ/ඇයගේ ඇඳුමෙන් කිසියම් බලපෑමක් එල්ල වෙනවා. (පින්තූරය ගත්තේ මෙතනින්)
මහත්වරුන්ගේ කමිසයක් සහ දිග කලිසමක් කඩිනමින් සහ නිවැරදිව මැදගන්නේ කොහොමද යන්න කියාදෙන මෙන්, මට ඉල්ලීම් ආවේ, දැනට සෑහෙන කලකට ඉහතදී මා ලියන ලද, සපත්තු පොලිෂ් කිරීම පිළිබඳ ලිපිය සහ ඉන පටියක් පැළඳීම ගැන ලියන ලද ලිපිය පළකිරීමෙන් පසුවයි. නමුත් අද තමයි ඒ ඉල්ලීම ඉටු කරන්න පුළුවන් වුනේ. ප්‍රමාදය ගැන මගේ කණගාටුව ප්‍රකාශ කරනවා.
රාජ්‍ය අංශයේත් පෞද්ගලික අංශයේත් බොහොමයක් ආයතනවල කාර්ය මණ්ඩලයේ ඇඳුම පිළිබඳව විශේෂ උපදෙස් අද කාලයේ ලැබෙනවා. මෙතනදී නෝනලාට නම් එච්චර කරදරයක් නැහැ. සාරි අඳින්න කියලා නියෝග කලත් ඒවා මැදලා අඳින ඇඳුම් වර්ගයක් නොවන නිසා, (වොයිල් වැනි සාරි මදින අයත් ඉන්නවා) ප්‍රශ්නයක් නැහැ. (කලකට ඉහත මා දැන සිටි පාසල් ගුරුවරියක් සිටියා සාරි 600 ක් හිමි. සාමාන්‍යයෙන් අහන්න දකින්න අමාරු දෙයක්. ඇය සතුව දොර තුනේ අල්මාරි තුනක් තිබුණාලු මේ සාරි තබන්න. ඇය කිසිවිටක එක සාරිය දෙවරක් අඳිනු දැක නැති බව ඒ ගුරුමණ්ඩලයේ සිටි ගුරුවරියන් මා සමග කියා තිබෙනවා. (ඒගොල්ලෝ කිව්වනම් ඇත්තම තමයි. මොකද එයාලා එච්චරම හොඳ 'උනන්දුවීලා' නේ. :D)
නෝනලා මෙහෙම කරද්දී, මහත්තයලා තමයි අමාරුවේ වැටෙන්නේ, දිනපතා රාජකාරිය සඳහා අඳින කමිස කලිසම් මදින්න ගියාම. දැන් කාලේ තියන විදුලි ස්ත්‍රික්ක ක්‍රියාත්මක කලාම, විදුලි මීටරය කැරකෙන්නේ විදුලි පංකාවක් වගේ. මීටරයේ වීදුරු ආවරණය නැත්නම් විදුලි පංකාවක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් :D :D නෝනලා කෑගහනවා කරන්ට් එක යනවා වැඩියි කියලා. ඒ වගේම තමයි වැඩට යන්න පිටත් වුනාට පස්සේ, ආයේ මතක්වෙනවා ස්ත්‍රික්කය නිවා දැමුවාද නැද්ද කියලා. සංසාරේ එපා වෙන්නේ ඒ වෙලාවට. ඒ වගේමයි දැන් තියන සමහර රෙදි. පොඩ්ඩක් උෂ්ණත්වය වැඩියෙන් තියලා මැද්දොත් රෙද්ද උණුවෙලා ඇකිළිලා යනවා. අද කාලේ හොඳ කමිසයක කලිසමක මිල ඇහුවම අමුඩ ගහගෙන වැඩට යන්න හිතෙනවා. :D :D
හොඳයි දැන් බහිමුකො මාතෘකාවට. හැබෑටම මොකද මේ ඇඳුම් මැදිල්ල මේ තරම් මහා පුරස්නයක් වෙලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් මහත්වරුනි, තමුන්නාන්සේලාගේ කම්මැලිකොමත් ටිකක් විතර (සමහරවිට හුඟක් විතර) බලපානවා ඔය ඇඳුම් මැදිල්ල මහා අවුලක් වීමට. හොඳයි ඔන්න අපි පටන්ගන්නයි යන්නේ ඇඳුම් මැදිල්ල. මොනවද සම්පූර්ණ කරගතයුතු ප්‍රධාන කරුණු. ප්‍රධානම කරුණ ඉතිං මදින්න ඇඳුම් තියෙන්නේ එපායැ. ඒ කෙහෙම්මල් නෙවෙයි ඇඳුම් නැත්නම් රෙද්දද මදින්නේ. :D අම්මපා රෙද්දත් මදිනවා නේන්නම්. හරි මෙන්න මේකයි රෙදි මැදීම සඳහා ඔබෙන් සමහර ඇය විවිධ ආකාරයේ මතුපිටවල් පාවිච්චි කරනවා. නමුත් නිර්දේශිත හොඳම ක්‍රමය තමයි රෙදි මැදීමේ මේසයක් Ironing Table පාවිච්චි කිරීම. ගන්නකොට නිකම් ගින්දර වගේ මේසයක් ගන්න ඈ.
ඉතිං ඔය කොහෙද බලන්නේ. මම කිව්වේ රෙදි මදින මේසය ගැන. හරියන්නෑ වැඩේ. මේ මේසේ අතෑරලා වෙන එකක් බලමු. ඇත්තටම මේ ඉහත රූපයේ තිබෙන ආකාරයේ රෙදි මදින මේස ඉතා අඩුමිලට ගන්න තියනවා. නමුත් එයින් බොහොමයක් කල්පැවතීම අතින් ඉතා දුර්වලයි. එමෙන්ම රෙදි මදිනවිට මේසය එහා මෙහා පැද්දෙනවානම් එය එතරම් සුදුසු නැහැ. දුර්වල යකඩ පයිප්ප රාමුවක් මත, යන්තම් අටවන ලද ලෑල්ලක් සහිත එවැනි මේස, කිසිදු වැදගැම්මක් නැහැ. මේ පහත තියන පින්තූරයේ තියනවා හොද මේසයක්. නමුත් ඇත්තම කියනවනම් සමහරු කරන්නේ ගෙදර ටයිල් පොලොව මත ඝන රෙද්දක් එලා ඒ මත තබාගෙන ඇඳුම් මැදීමයි. මෙහිදී අධික ලෙස උෂ්ණත්වය අපතේ යනවා. ඔබ සාමාන්‍ය මේසයක් මත තබා ඇඳුම් මදින්නේනම් මෙන්න මේ වැඩේ කර බලන්න. ඔබ දන්නවා නේද, ඇසුරුම් සඳහා ගන්න ඝන ඊයම් කොළ විශේෂයක් තිබෙනවා, එක පැත්තක් ඊයම් කොලය, අනික් පැත්ත දුඹුරු පාට තරමක් ඝන කඩදාසි. අන්න ඒ කොලයක් අරගෙන කඩදාසිය පැත්ත යටටත් ඊයම් කොලය පැත්ත උඩටත් සිටින සේ, එය මේසය මත එලා, ඉන්පසු තරමක් ඝන කපු රෙදි දෙකක් ඊයම් කොලය මත එලා, ඇඳුම් මැදීම කරන්න. එවිට උෂ්ණත්වය අපතේ යාම බොහෝ දුරට අවම වෙනවා. විදුලි බිල අඩුවෙනවා.
ඊළඟට සළකා බලන්න ඕනේ, ඔබ පාවිච්චි කරන ස්ත්‍රික්කය මොනවගේ එකක්ද කියන කරුණ.මම කලින් සඳහන් කළ ආකාරයට, අපි කුඩා කාලයේදී තිබුන ඝන කපු රෙදි බොහොමයක් ඉතා අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙනවා. නමුත් වර්තමානයේදී කෘතීම කෙඳි මිශ්‍ර ඇඳුම් තමයි බහුලව තිබෙන්නේ. ඒ නිසා ඒ ඒ රෙද්දට අවශ්‍ය උෂ්ණත්වය කුමක්ද කියා සෑම නිමි ඇඳුමකම පාහේ සංකේතයකින් දක්වනවා. ඔබ බොහෝ දෙනෙක් එය දන්නවා. නැවත මතක් කිරීමක් ලෙස සඳහන් කරන්නම්. අපි බලමු සාමාන්‍යයෙන් සෑම ඇඳුමකම පාහේ තියන ලේබලයක්.
දැන් ඉතින් මේ ටික බලලා හාපෝ............මේ මොන මගුලක්ද කියලා මේ පහල තියන පින්තූර වගේ වෙන්න එපා :D මේවා මහා විශාල සංකීර්ණ තොරතුරු නෙවෙයි.
හොඳයි. ඔන්න මෙතැන් සිට මම පින්තූර වලින්ම පියවරෙන් පියවර විස්තර කරනවා කොහොමද කමිසයක් සහ කලිසමක් මදින්නේ කියන එක. අපි මුලින්ම බලමු කොහොමද කමිසයක් මදින්නේ කියන එක. සමහරවිට ඔබ දීර්ඝ කාලයක් පුරුදුවී සිටින වෙනත් ක්‍රම ඇති. නමුත් මම කියන්නේ මම හමුදාවෙන් ඉගෙනගත් ක්‍රමයයි. මටනම් මේ ක්‍රමය හරි පහසුයි.
කමිස මැදීම පිලිබඳ වීඩියෝ යූ ටියුබ් එකේ තියනවා. නමුත් මම ඒවා මෙතනට නොදාන්නේ ඔබේ කාලය ඉතිරි කරන්නයි. අපි ඉක්මනින්ම යමු නේද කලිසමක් මදගන්න. උඩ කෑල්ල මැදලා යට කෑල්ල නොමැද අඳින්න බැහැනේ. එහෙම වුනොත් මෙන්න මෙහෙම කරගන්න තමයි වෙන්නේ. :D :D
කලිසම මැදීමනම් කමිසය මැදීම තරම් සංකීර්ණ නැහැ. නමුත් කලිසමේ ඉදිරිපස තිබෙන ප්ලීට්ස් නිවැරදිව මැදගැනීමට නම් හොඳින් පැතලිව තබා ප්ලීට් එකේ නියමිත දිග පමණක් මැදිය යුතුයි. මෙන්න ඒ පිලිබඳ පින්තූර.
මීට වඩා විස්තර කලයුතු දේ ඇතත් ලිපිය දිග වැඩිවන නිසා මෙතෙකින් අවසන් කරනවා. ප්‍රශ්න අසා තවත් කරුණු තහවුරු කරගන්න පුළුවන් නේ? ලිපිය දිගයි වගේ පෙනුනත් ඇත්තටම වචන 1000 කට ටිකක් වැඩියෙන් තියෙන්නේ.
සියළුම පින්තූර Google Images වෙතිනි
2013 නොවැම්බර් මස 12 වැනි දින 2336 පැය
11 November 2013
වෛද්‍ය ජයතුංගගෙන් සටහනක්
මෙම බ්ලොග් අඩවිය අත්හදාබැලීමක් බව කාරුණිකව සලකන්න
කාලයේ වැළිතලාවට යටවී ගිය ලේඛකයෙකු ගැන කෙටි සටහනක්
ජොනී ශ්‍රී වර්ණසිංහ ගැන වර්තමාන පාඨකයන් අසා ඇත්තේද යැයි මට සැකයක් තිබේ. ජොනී ශ්‍රී වර්ණසිංහ යන නම යොදා ගූගල් සෙවුමක් කල විට ලැබුනේ කුරුණෑගල ජොනී පිලිබඳ විස්තර මිස මේ ලේඛකයා ගැන නොවේ. ඒ නිසා රණ බළලුව නම් ලමා කථාව ලියූ ජොනී ශ්‍රී වර්ණසිංහ ලේඛකයා පාඨකයන් ගේ මතකයෙන් සදහටම ඈත් වී යාමට පෙර ඔහු ගැන කෙටි සටහනක් ලිවීම සුදුසු බව සිතේ.
රණ බළලුව පොත මා කියවූයේ ඉතා කුඩා කාලයේදීය. ඒ වන විට මා දෙකේ පන්තියේ ඉගෙනුම ලැබුවා විය හැකිය. කුඩා ලමයෙකු සහ පිට ග්‍රහලෝකයෙකින් පැමිණි අපූරු පූසෙකු පිලිබඳ ඒ කථාව ලමා සිත් චමත්කාරයට පත් කලේය.ජොනී ශ්‍රී වර්ණසිංහ රණ බළලුව පොත ලියූ කාලයේ ET චිත්‍රපටය නිර්මාණය කල ස්ටීවන් ස්පිල්ට්බර්ග් උසස් පාඨශාලා සිසුවෙකු වන්නට ඇති.
රණ බළලුව පොත ලියූ ජොනී ශ්‍රී වර්ණසිංහ මගේ පියාගේ මිතුරෙකු විය. නමුත් ජොනී හෝ වැඩිහිටියන් කිසිවෙකු රණ බළලුව ගැන අප ඉදිරියේ කථා නොකලේය. රණ බළලුව පොත ලිව්වේ ජොනී අන්කල් බව මා දැනගත්තේ බොහෝ කාලයකට පසුවය. ඒ වන විට (1982) ජොනී ශ්‍රී වර්ණසිංහ හෝටල් කර්මාන්තයට අවතීර්ණව තිබුනි. ඔහුගේ බිරිඳ වුයේද ප්‍රන්ස කාන්තාවකි. ඉංග්‍රීසියෙන් සහ ප්‍රන්ස භාශා වලින් නිතර කථා කල ජොනී අන්කල් මා කුඩා කාලයේ එනම් 1974 කාලයේ පමණ ආශාවෙන් කියවූ රණ බළලුව පොත ලියූ ලේඛකයා බව අහම්බයෙන් දැන ගත් විට මට විශාල විශ්මයක් දැනුනි. ඉංග්‍රීසියෙන් සහ ප්‍රන්ස භාශාවෙන් ඉතා චතුරව කථා කරන මේ පුද්ගලයා ලමා මනසට ගෝචර වන පරිදි කදිම සිංහල වචන යොදා ගනිමින් රණ බළලුව පොත ලියූ බව අදහා ගැනීමටවත් නොහැකි විය.
සමකාලීන ලේඛකයන් ගෙන් සහ විචාරකයන් ගෙන් දිරිමත් කිරීමක් නොලැබූ ජොනී ශ්‍රී වර්ණසිංහ පොත් ලිවීම අත් හලේය. තවද ජොනී ශ්‍රී වර්ණසිංහ ජනතා ලේඛක සංගමයේ ලේඛකයෙකු නොවූ නිසා ලේඛකයන් මත අණසක පතුරවා සිටි බලධාරීන් ද ඔහුව ගාම්භීර ලේඛකයෙකු ලෙස සැලකුවේ නැත. සිංහල ළමා සාහිත්‍යයේ දිදුලන මිණි කැටයක් වූ රණ බළලුව ගැන ජොනී අන්කල් කථා කරනවා මා අසා නැත. 1984 පමණ කාලයේ රණ බළලුව පොත ගැන මම පියා මාර්ගයෙන් ජොනී අන්කල් ගෙන් විමසුවෙමි. ඔහු දුන්නේ ඉතා උදාසීන පිලිතුරකි. අපේ කාලයේ දහසක් ලමුන් චමත්කාර ලෝකයකට ගෙන ගිය රණ බළලුව පොත ගැන එහි නිර්මාතෘ තුල තිබුනේ මිශ්‍ර හැඟීම් ය.
ජොනී ශ්‍රී වර්ණසිංහ තවමත් ජීවතුන් අතර සිටිනවා යැයි මම නොසිතමි. ඔහු ප්‍රන්සයේදි අප්‍රකටව මිය යන්නට ඇත. නමුත් රණ බළලුව පොත කියවූ දහසකුත් පාඨකයන් තුල ජොනී ශ්‍රී වර්ණසිංහ මැවූ චමත්කාරය තවමත් පවතී.ඒ නිසා මේ පොත යළි මුද්‍රණය කොට වර්තමාන ලමා පරපුරටද රණ බළලුව කියවීමට ඉඩ සැලසීමට යමෙක් උත්සහයක් ගන්නේ නම් මැනවි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
Subscribe to:
Posts
(
Atom
)