හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

16 April 2014

අපි දැකපු කාර් (පළමුවැනි කොටස) - Vintage Cars in Our Time (Part One)


1
   මතකද මම කලකට පෙර ලිපි පෙළක් ලිව්වා, 'අපි අහපු වෑර්ලස්' කියලා. අද ලියන්න යන්නේ ඒ හා සමානවම ඒ කාලේ අපි දැකපු කාර් ගැනයි. මේ එක එක කාර් ගැන දිග විස්තර ලියන්න හැකියාව සහ මතකය තිබුණත්, සියලුම හැඳින්වීම් හැකිතරම් කෙටියෙන් කරන්න හිතුවා. අද වුනත් විවධ කාර් මෝස්‌තර ගැන උනන්දුවක් දක්වන අය සෑහෙන්න ඉන්නවා. එමෙන්ම විවිධ කාර් මෝස්‌තර රාශියක් තිබෙනවා. ඒ මෝස්‌තර ඉතා වේගයෙන් අලුත් වෙනවා. අපි කුඩා පාසල් සිසුන් හැටියට සිටි කාලේ මේ රටේ තිබුණු සීමිත කාර් වර්ග සහ මෝස්‌තර අපේ මතකයේ හොඳින් තැන්පත් වුණා. ඒ මතකය අවදි කිරීමක් තමයි මේ කරන්නේ. මා හිතනවා මේ කාර් ගැන දන්න අය ඔබ අතර ඇති. ඉතින් එවැනි අයට පුළුවන් මේ ලිපියේ අඩුපාඩු සම්පූර්ණ කරන්න. එහෙනම් පටන් ගනිමුද?

   හැබැයි මේක ලේසි වැඩක් නෙවේ. මතක් වෙන පිළිවෙලටයි මම ලියන්නේ. ඔබ අතරින්, මේ කාර් අපේ රටට ආව කාලය දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න, මොන රථයද මුලින්ම ආවේ කියලා.

   මගේ මතකයට මුලින්ම එන්නේ මොරිස් වර්ගයේ කාර්. අපි කුඩා කාලයේ වැඩිපුරම දැක්කේ මොරිස් වර්ගයේ වාහන. 1912 දී තමයි මොරිස් සමාගම එංගලන්තයේ ආරම්භ කර තිබෙන්නේ. මෙන්න මගේ මතකයේ ඇති මොරිස් රථ කීපයක්. ඊට පෙර බලන්න මොරිස් ලාංචනය කාලීනව වෙනස්වී ඇති ආකාරය.
morris logo
Morris_8_1936ඉහත ඇති මොරිස් එයිට් රථය 1936 දී නිපදවන ලද්දක්.  

  මේ රථයක්  1960 දශකයේදී කෑගල්ල ප්‍රදේශයේ තිබුණා මට මතකයි. නමුත් වඩාත් බහුලවම දකින්න ලැබුනේ මේ පහළින් තියන මොරිස් එයිට් මෝස්තරයයි. 
Morris_8_Series_E
මෙය මොරිස් එයිට් 'ඊ' මෝස්තරයේ රථයක්

   මොරිස් වර්ගයේ කාර් අතරින් ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය වුණේ මොරිස් මයිනර්, මොරිස් මයිනර් ටුවරර්, සහ මොරිස් 1000 යන මෝස්තරයි. ඒ මෝස්තර පහත දක්වනවා. මොරිස් මයිනර් රථය විශේෂයෙන්ම පාවිච්චි කළේ රියදුරන් පුහුණු කිරීමට සහ කුළී ගමන් යාමට. 
Morris_Minor_MM
800px-1949_Morris_Minor_Convertible_-_Flickr_-_The_Car_Spy_(8)
800px-Morris_Minor_1000_green_woody_l
  මේ ඉහත දක්වා තිබෙන මොරිස් මයිනර් 1000 රථයේ විශේෂත්වයක් තියනවා. ඒ තමයි එහි පෙනෙන අර කහ පාට පටි වැනි කොටස් සම්පූර්ණයෙන්ම ලීයෙන් සකසා තිබීම. මේ රථය, මුල් කාලයේදී, තේ වතුවල අධිකාරි වරුන් විසින් පාවිච්චි කරනු ලැබුවා.

  ඒ කාලයේ වාහන පැදවීමේදී බොහෝවිට පාවිච්චි කලේ හස්ත සංඥා බව ඔබ දන්නවා ඇති. නමුත් ඒ කාලයේ සමහර වාහන වල අපූරු ක්‍රමයකට වමට හැරවීම සහ දකුණට හැරවීම පෙන්වන ගැජට්ටුවක් තිබුණා. එය ක්‍රියා කරවුයේ රථයේ සුක්කානම අසළ සවිකර තිබු ණු යාන්ත්‍රික ස්විචයකින්. ඒ ස්විච් එක දැන් වාහනවල තිබෙන වයිපර් ස්විච් එක වගේ. මේ පහත දක්වන්නේ ඒ සංඥා උපකරණයයි. මෙයට කිව්වේ signal hand කියලා. මෙහි ඇතුලේ කුඩා විදුලි බුබුලක්ද දැල්වුනා. 

6a00d83452989a69e2017615215cab970c-800wi
  
  මොරිස් සමාගමේ වාහන තව බොහොමයක් තියනවා. ඒ සමාගම ගැන විතරක් කතාකරන්න එක ලිපියක් මදිවෙයි. ඒ නිසා කෙටියෙන් කරුණු දක්වනවා. මොරිස් ඔක්ස්ෆර්ඩ් නමින් හැඳින්වෙන වාහන මෝස්‌තර අවම වශයෙන් දෙකක් මට මතකයි. මේ මුලින්ම දක්වන මොරිස් ඔක්ස්ෆර්ඩ් රථය එතරම් ජනප්‍රිය වුණේ නැහැ. 

1200px-Morris_Oxford_MO_Saloon

  නමුත් මොරිස් ඔක්ස්ෆර්ඩ් රථයේ මෙන්න මේ මෝස්තරය අතිශයින් ජනප්‍රියයි. මා අසා තිබෙනවා මේ මෝස්තරය යාපනය ප්‍රදේශයේ විශේෂයෙන් ජනප්‍රියයි කියා. එමෙන්ම මා දැක තිබනවා යාපනය නගරයේ මේ වර්ගයේ රථ සෑහෙන සංඛ්‍යාවක්. 

1280px-Morris_Oxford_Series_V_as_in_early_Pinifarina_1489cc_mfd_1959
  

  මොරිස් සමාගමට අනුබද්ධිතව 1924 දී ඇරඹුණු එම්.ජී. සමාගම විසින් ආසන දෙකේ වේගවත් වාහන නිපදවීම ඇරඹුනා. MG යන අකුරු දෙකෙන් කියවුනේ, Morris Garages යන්නයි. මෙම MG වාහන ලොව පුරා අතිශයින් ජනප්‍රිය වුණා. එහි මෝස්‌තර දෙකක් පමණක් පෙන්වන්නම්. මුලින්ම තිබෙන්නේ MG ලාංඡනය එදා සහ අද දැක්වෙන ආකාරයයි.


22481-mg-logo
1200px-MG_TF_1954_FrontWP
800px-1961_MG_A_Twin_Cam.1
  
  මේ ඉහත දක්වා ඇති කොළපාට MG රථය සුදු, රතු, වැනි පාට වලින්ද තිබුණා. ඒ කාලේ මේ කාරයක අයිතිකරුවකු වීම අද හමර් රථයක් හිමිකරුවකු වීම වගෙයි.

  මොරිස් කාර් ගැන තවත් දිග විස්තර ලියන්න හැකිවුණත් මා හිතනවා ඉක්මනින්ම තවත් වාහන වර්ගයක් කරා යාම සුදුසුයි කියා. මීළඟට මා ඔබව රැගෙන යන්නේ ඔස්ටින් වර්ගයේ වාහන වෙතයි. මොරිස් වාහන තරම්ම ලංකාවේ පනමක් නොව ලෝකයේම ජනප්‍රියවූ වාහන පෙළක් ඔස්ටින් සමාගමෙන් නිපදවුනා. ඔස්ටින් සමාගමේ ඉතිහාසය 1905 තරම් ඈත අතීතයට දිවටනවා. මා මෙහිදී ඔබවෙත පෙන්වන්නේ ලංකාවේදී බහුලව දකින්නට ලැබුණු මෝස්‌තර කීපයක් පමණයි. ඒ ඒ කාර් මෝස්තරය අදාළ පින්තූරයේම සඳහන් කර තිබෙනවා. මුලින්ම තිබෙන්නේ ඔස්ටින් ලාංඡනය, විවිධ කාල වකවානු වලදී වෙනස්වී ඇති ආකාරයයි. 


austin_logo
1
OLYMPUS DIGITAL CAMERA
Austin A35 van
  
  ඔස්ටින් කාර් අතරින් බොහොම ජනප්‍රිය, මහේශාඛ්‍ය කාර් එකක් වුණේ ඔස්ටින් ඒ 55 කේම්බ්‍රිජ් රථයයි. මට මතකයි මගේ ලොකු අක්කා 1968 වසරේදී මනමාලියකවී ගමන්ගත්තේ මේ රථයකින් බව. ඒ කාලයේ, මට මතක හැටියට, 'පුංචි බබා' චිත්‍රපටියේ හෝ වෙනත් චිත්‍රපටියක, මේ වර්ගයේ රථයක්, මංගල රථය ලෙස යොදාගත් ජවනිකාවක් තිබුණා. එහිදී, එක පින්තූරයක් තිබෙනවා, රථයේ පසුපස වම් පැත්තේ දොර වීදුරුවෙන්, මංගල යුවල පෙනෙන ආකාරය දැක්වෙන ලෙස ගත් එකක්. මම හිතන්නේ, ඒ පින්තූරයේ ඉන්නේ, ජෝ අබේවික්‍රම සහ මාලනී ෆොන්සේකා. ඒ පින්තූරය බොහෝවිට, අපේ ජ්‍යොෂ්ඨ සිනමා නළු, ටෝනි රණසිංහගේ සොයුරු රැලෙක්ස් රණසිංහ විසින් ගත් එකක් බවයි මතක. කෙසේ හෝ ඒ කාලයේ සෑම විවාහ මංගල්‍යයකදීම මේ ආකාරයට පින්තූරයක් ගත්තා. මගේ ලොකු අක්කාගේ විවාහ මංගල ඡායාරූප අතරත් එවැන්නක් තියනවා. ඉහත දැක්වෙන මොරිස් ඔක්ස්ෆර්ඩ් රථයත්, මේ පහත දැක්වෙන ඔස්ටින් කේම්බ්‍රිජ් රථයත් සංසන්දනය කර බලන්න. 

1200px-Austin_A55_mkII_Cambridge_1959_front
  
  ඉහත දක්වා ඇති බොහොමයක් කාර් මෝස්‌තර වල Mark I, Mark II, ආදී වශයෙන් තවත් මෝස්‌තර තිබුණත්, ඒ සියල්ල මෙහි දක්වන්නේ නැත්තේ, ලිපිය ඉතා දීර්ඝ එකක් වීම වලක්වා ගන්නටයි. මගේ පරමාර්ථය, මේවා ඔබට පෙන්වාදීම සහ සමහර අයගේ මතකය අලුත් කිරීමයි. ඊළඟ කොටසේදී තවත් මෝටර් රථ වර්ග ගැන කතා කරමු.


my-signature-for-blog[1]2014 අප්‍රේල් මස 15 දින 2341 පැය

91 comments :

  1. නියමයි...ගොඩක් වටිනා ලිපියක්. වාහන ගැන ලියනවනම් හැමදාම වුනත් ලිය ලිය ඉන්න පුළුවන් තරම් විස්තර තියෙනවා. මේ ලිපියත් ඒ වගේ විස්තර පෙළක ආරම්බය වෙඉද දන්නේ නෑ. එහෙම වෙනවනම් තමා මමනම් කැමති.

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ මේ ලිපිය එතරම් ජනප්‍රිය නොවෙයි කියලයි. පුළුවන් තරම් විස්තර ඉදිරියේදී දෙන්නම්.

      Delete
    2. වාහන පමණක් නොව ඉස්සර කාලෙ ඕනෑම දෙයක් ගෑන ලියවෙන ලිපි රසවත් ( අරූ සහ රවි ගේ ලිපි වගෙ )

      Delete
    3. හෙහ් හෙහ්...........ඉස්සර කාලේ කතා තියනවා අනේ ගොඩක්. කොහොමද ලියන්නේ? ඔයා වගේ පොඩි බබාලා නරක් වෙනවා එව්වා කියවලා. :e

      Delete
    4. ලියල බලන්නකෝ. සමහර විට වයස ගෑන රීඈසෙස්මන්ට් එකකුත් කරන පුලුවන් වෙයි එතකොට

      Delete
    5. මාත් නං පුදුම ආස විෂයක් !!! ලියන්ඩ දිගටම.. නොකා නොබී හරි බැලුවහැකි.. අපේ තව හෙන්‍රි අයියා ආවම අංග සම්පූර්ණයි..ඔබා මාමාත් හිටියනම් , . . . !!!!!

      Delete
  2. මටත් මේ දවස්වල හොඳටම රථගාය. :) එහෙට දුවනවා මෙහෙට දුවනවා. තාම එකක් සෙට් උනේ නෑනෙ. :(

    //…එහි පෙනෙන අර කහ පාට පටි වැනි කොටස් සම්පූර්ණයෙන්ම ලීයෙන් සකසා තිබීම// විශේෂ හේතුවක් තියෙනවද මෙහෙම කරන්න..

    …මෙතන නම් ලස්සන කාර් එකක්වත් තිබුනෙ නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. මම කිව්වනේ ආයෙත් අපේ පැත්තේ එන්න කියලා රථ ගාය හොඳ කරලා දෙන්න. ඊයේ සෙන්නා සහ පවුල ආවා මාව බලලා යන්න. ඒ වෙලාවේ ඇමතුමක් දුන්නත් ඔයා උත්තර දුන්නේ නැහැ.

      මමනම් දන්නේ නැහැ අර විදිහට ලීයෙන් කොටස් හැදුවේ ඇයි කියලා. හොයා බලා පිළිතුරක් දෙන්නම්.

      කාර්වල ලස්සනට ප්‍රමුඛත්වය දෙන්න එපා. (කාර් නෙවෙයි 'වෙන ඒවාටත්' එහෙම තමයි) :e

      Delete
    2. @හරී,

      දෙන්නෙකුට විතරක් යන්ට පුලුවන් එකක් ගන්ට මෙයා...එතකොට ඔය දෙන්නට තනියම ගිය හැකිනේ. හදිසියකට ඔහේ ආපු වෙලාවක ඉතින් අපිටත් ගිය හැකිනේ.... :D

      Delete
    3. හුටා.......ඒ ඇමතුම අමතක වුනානේ. සමාව භාජනයකට දමනු යෙහෙකි.

      Delete
    4. @ wichaaraka,
      දැන්නම් ඇවිදලා ඇවිදලා මට එපා වෙලා. පට්ට හොරුනෙ අප්පා ඉන්නෙ. අද උදේ වාහන තුනකට කෝල් කලාම කියනවා මම පාවිච්චි කරන වාහනේ අරගෙන මෙච්චර කල් අරවා මේවා කතා ගොඩායි. සේල් එකකින්ද ඇහුවමත් නෑලු. හැබැයි තුන්දෙනාම කියන්නෙ එකම ගෙදරකට යන පාර. මම කිව්ව හන්දියට ගිහින් නොම්බර තුනටම කෝල් කරලා කිව්වා මම එනවා කියලා. උන්ට වැඩේ ගැස්සුන බව තේරිලා කියනවා. "මල්ලි මම පොඩියට කාර් ගෙනත් ගෙදර විකුනනවාලු." හොර යක්කු. එකක් බලන්න එක්කන් ගිය බාස් කාරයාම හොරෙන් වෙන එකෙකුට විකුනලා. :r
      …අර කුරුණෑගල බලපු එකත් මට කිව්ව ගානට වඩා එකක් වැඩියෙන් විකුණලා තියෙන්නෙ. ගෙදරින් කිව්වා එච්චර සල්ලි හිරකරන්න එපා කියලා. ඒකයි අතඇරියේ. දැන් මරුටියක් බලන්නෙ.

      …කෝල් එකක් ඇවිත් තියෙන බව දැක්කා. එවලෙ මම හිටියෙ වෙන කොහෙහරි. පස්සෙ ගන්නම් හිතුවට අමතක උනානෙ.

      …@පොඩ්ඩි,
      …හපොයි. ගෙදර උන්දලා මාව මරායි.. පස්දෙනෙකුට යන්ඩ පුළුවන් එකක් ඕනා කියලායි කියන්නෙ..

      Delete
    5. බ්ලොග් දෙකක් කිරීමේ අඩුපාඩුවක් දැක්කා. කමෙන්ට් බාගෙට බාගයක් මිස් වෙනවනෙ.

      Delete
    6. හර්‍ර ලීස් එකක් දාලා හරි බ්‍රෑන්ඩ් නිව් එකකට ගියොත් කොහොමද ? මරුටිනම් මම අනුමත කරන්නෑ... ඉන්දියන් වාහන ආරක්ෂාව අතින් ෆේල්ලු...

      Delete
    7. //බ්ලොග් දෙකක් කිරීමේ අඩුපාඩුවක් දැක්කා. කමෙන්ට් බාගෙට බාගයක් මිස් වෙනවනෙ.//

      අනේ ඔව් විචාරක...එකක් අයින් කලා නම් හොඳයි වගේ. අපිට අනෙක් එකේ කමෙන්ට් ටික මිස්වෙනවත් එක්ක.

      Delete
    8. ඉන්දියන් නම් මමත් අනුමත කරන්නෙ නෑ .. දැන් වාහන මාකට් එක අම්බනකටම බැහැල නිසා ජපන් එකකටම යන එක හොඳයි.. විට්ස් ,වියොස්, එෆ් බී 15 වගේ හෙන අඩුවට තියනවා.පොඩ්ඩක් හදිස්සි නැතුව හෙව්වොත් හොයාගත්තහැකි !!

      Delete
    9. @ සෙන්නා,පත්තර මල්ලි,
      මමත් ඔය මතේම තමයි හිටියෙ .. ඉන්දියන් කබල් එපා කියලා කොහොමහරි 15කට අඩුවෙන් ජපන් එකක් ගන්නවා කියලා ට්‍රයි කළේ.. මාස කීපයක් බලලා කිරි කිරි කරීනා එකක් හම්බුනා 15.5කට ඒත් ලීස් දැම්මාම ඒකට මාසෙකට 40ක්වත් ගෙවන්න වෙනවා.. තව පෙට්‍රල් ගහන්න රෙපෙයාර් වැඩත් කරන්න වෙනවනෙ.. ගෙදර රන් කරන්නෙත් මම නිසාත් ඉස්සරහට තව තව වැඩ තියෙන නිසාත් ඒ වගේ ගානකට යන්න අමාරුයි.. ඒක නිසා හිත හදාගෙන ඒක අත \ඇරියා..

      …ඒත් වාහනයක් නැතුව බෑ.. ඒක හින්දා මරුටියක් අරන් අවුරුදු 2ක් පදින්නයි කල්පනාව..

      …මරුටියේ වාසි.
      …පෙට්‍රල් කිරීම බොහෝම හොඳයි.. හොඳටම එන්ජිම ටියුන් කලොත් ඈත යද්දි 20ක්වත් දිව්වැකි ලීටරයෙන්..
      …අමතර කොටස් හරිම ලාභයි..
      …පොඩි නිසා එලවීම පහසුයි..

      ……මරුටියේ අවාසි.
      …ආරක්ෂාව මදි.. ඒක නිසා පරිස්සමින් එලවන්න ඕනෙ..
      …පිළිගැනීම අඩුයි..
      …ඉක්මණින් දිරනවා..

      …බ්‍රෑන්ඩ් නිව් නම් බැරියෝ..

      Delete
    10. ඔය කියන මරුටි එකට කීයක් විතර යයිද හරී ? අවුරුදු දෙකෙන් පස්සේ කීයකට වික්කෑකිද ? හරී දැකලා තියනවද මරුටිය වගේම පොඩි මෑලේෂියන් වාහනයක් තියනවා PERODUA VIVA කියලා. ( http://www.perodua.com.my/ourcars/viva/overview/intro ) ඒක හුඟ දෙනෙක් රෙකමන්ඩ් කරනවා. තෙල් වැඩ කරනවත් හොඳ ඇති, ටිකක් හොයලා බලන්න. අමාරුවෙන් හරි බ්‍රෑන්ඩ් නිව් එකකට ගියොත් තියන වාසිය කාලයක් යනකම් රෙපයාර් කතන්දරේ මතු නොවෙන එක. හැබැයි ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක ගැනත් බලන්න ඕනා තමා..

      Delete
    11. මචං මරුටියෙ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක සෑහෙන්න අඩුයි..ගත්ත ගානට දීගන්න පුලුවන් උනොත් ලොකූ දෙයක්..සිල්වර් /නිල් කලර් මාකට් එකත් අඩුයි..
      ඒ පාඩුව එක්ක බලද්දි අවු 5 ට වාරීකය අඩුවෙන් ගෙවන්න ලීස් කරලා අතේ තියන ගාන දීල මාකට් ජපං කාරෙකං ගං..ඊට පස්සෙ අවුරුද්දක් පැදලා ෆිනෑන්ස් එකත් එක්කම විකුනපං ගන්න එකාට හරවලා..ඊළඟට වෙන එකකට පලයං ඔය මරුටි අවුරුදු දෙක තුන තියාගන්න හිතන්න නං එපා දෙන්න ගියාම තේරෙයි..

      Delete
    12. සෙන්නා කියන්නේ විවා එලයිට් එකද ???

      Delete
    13. පත්තරේ, ඔව්........

      Delete
    14. @ senna,
      මරුටි සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක මෙහෙමයි.
      …2004ට වඩා පරණ එකක් උපරිම 8ත් 9ත් අතර වෙනවා.
      ……2005 2006 එව්වා යන්නේ 9යි ගණන් වලට..
      …ඊට මෙහා නම් 10 පනිනවා.. විකුනද්දි හොඳටම පාවිච්චි කරොත්. (ගෙවෙන ගෙවෙන එව්වා දැම්මොත් ) ගත්තු ගානට එකක් විතර අඩුවෙන් දෙන්න පුළුවන් කියලා හිතනවා.. ඒක නම් හරියටම දන්නෙ නෑ..

      …අම්මෝ PERODUA VIVA Elite eka 17න් එහානෙ.. PERODUA kelisa කියලා එකක් නම් තියෙනවා 13කට විතර යන.. ඒකත් මරුටිය තරම්ම ඇති.. හැබැයි මාකට් කාර් එකක්..

      …@පත්තර මල්ලි,
      …ඒක ඇත්ත. ඒ නිසා තමා එකක් ගන්න බලුවෙ.. හැබැයි හොඳට පාවිච්චි කරපු එකක් අරන් හොඳටම පාවිච්චි කරොත් නම් කෙඳිරි නොගා දුන්නැකි.. හොඳට පාවිච්චි කරපු මරුටි හොයන්න හරිම අමාරුයි.. ඒකයි කේස් එක.. ඔව්.. මම දන්න තරමින් රතු, කළු, මෙරූන්, ඩාර්ක් බ්ලු තමයි මාර්කට්. ගෝල්ඩ්, සිල්වර්, කැරිබියන් බ්ලූ මාකට් නෑ..

      …ඔහොම කරන්න නම් අර කරීනා එක ගන්නවා.. ඔහොම කියන්න එපෝ දුක හිතෙයි.. ඒක නම් අපරාදෙ හිතෙනවා..

      Delete
    15. හරී, සෙකන්ඩ් හෑන්ඩ් එකකට යනවනම් හොඳට හොයලා ගන්න. නැත්නම් වහ කෑවා වගේ තමා..සේසතම වාහනේ හද හද ඉන්න යොදවන්න වෙයි... අර කතාවකුත් තියෙන්නෙ, එකෙක් දියුණු වෙනවා බලන් ඉන්න බැරිවෙච්ච යාලුවො කට්ටියක් ඌට අරගෙන දුන්නලු කබල් වාහනයක්.. අන්තිමට ඌ වාහනේ හදලම නට්ටං වුනාලු...

      Delete
    16. හරී අයියේ.. මං කරපු නිසා මගේ අත්දැකීමෙන් මේ කියන්නේ.මං කරේ මේක‍යි. කරීන එක වටිනවනම් ගෙනෙං අතේ තියන ගානට ඉතුරුව ලීස් කරලා කාලය වැඩියෙං වාරිකේ අඩුවෙන්.. හොඳට කන්ඩිශන් කරලා ටීවී රිවස් කැම‍රා හෙඩ්සෙට් මොනිටර් ..එලාම්..හයි කරලා පිරිසිදුව තියාගත්තම දුවද්දි ඇවිත් ඉල්ලනවා.. ගියාට වැඩිය 1 ක් තියලා කියපං.. අරං යනවා හරියට පොරට සෙට් නං.. ෆිනෑන්ස් එක හරෝලම දෙන්න ගෙවාගෙන යන්න..
      ඊළඟට පොඩ්ඩක් අඩිය උඩට තියලා විට්ස් වගේ ගෙනෙං.. ඒකම කරපං .. දෙන්න පුලුහං ඒව බලල ගෙනෙං.. ඔය අතරෙ ෆිනෑන්ස් එක දන්නෙම නැතුව ගෙවෙනවා බං.. පොඩ්ඩක් මහන්සි වෙයං !!!

      Delete
    17. පොහ් ................පත්තර මල්ලියා නියම කාර් බිස්නස් කාරයෙක් වගේ.

      @ හරී, අරක මේක හොයමින් ඇද ඇද ඉන්නනම් එපා. මරුටි එකක් වුනත් කමක් නැහැ ලෙඩ නැත්නම් ගන්න.

      @ පොඩ්ඩි. බ්ලොග් දෙකෙන් එකක් නවත්තන්න තීරණය කළා. මෙන්න මෙහෙමයි කරන්නේ. රුපියල් දෙකේ කාසියක් අරන් උඩ දානවා. රුපියල් දෙක කියන වචන තියන පැත්ත උඩට හැරුනොත්, බ්ලොග් දෙකෙන් එකක් නවත්තන්නේ නැහැ. රාජ්‍ය ලාංඡනය තියන පැත්ත උඩට හැරුනොත්, ඒත් බ්ලොග් දෙකෙන් එකක් නවත්තන්නේ නැහැ. කාසියේ දාරය මත කාසිය කෙළින් හිටියොත් බ්ලොග් දෙකම නවත්තනවා. :e

      Delete
    18. අනේ නෑ සෑර්..!! අපිට කොයින්දෑ නිල රථ

      Delete
    19. @senna,
      ඒකනෙ මේ මාස ගානක් තිස්සෙ හොයන්නේ.. හැමෝම කියන්නෙ කලබල වෙන්න එපා කියලා.. දැන් නම් එපාවෙලා තියෙන්නෙ..

      …@පත්තර මල්ලී,
      …මටත් ගොඩක් අය ඔය ක්‍රමය කිව්වා.. ඒත් අත ගහන්න බයයි බං.. ඔහොම එකින් එකට පනින්න ගිහිල්ලා කුණකට මාට්ටු උනොත්..

      …@විචාරක,
      …මටත් හිතෙනවා ඕන රෙද්දක් කියලා එකක් ගන්න.. දැන් හැමෝම වගේ බිස්නස් එකටමයි වාහන දෙන්න හදන්නෙ.. ඉස්සර ඔය ලොකු ලොකු මහත්තුරු අලුත් එකකට යන්න ඕන උනාම තියෙන එක අඩුවට ලාභෙට දීලා දැම්මලු.. ඒත් අද හැමෝම බලන්නෙ ගානක් තියන් විකුණන්නලු..

      Delete
  3. Morris Garages එකේ රතුපාට වාහනේ ලස්සනයි. ටිකක් මොරිස් එයිට් එක විදිහට පේන කාර් එකක චිත්‍රයක් තියනව මං ලඟ. 1936 ඇඳපු එකක්. ඒකෙ lx 411 කියල අංකයකුත් තියනව. :) ඒ දවස් වල මෙහෙ ත් (බදුලු කොළඹ පාරෙ ත්) ඕවා ධාවනය වෙන්න ඇති.

    අගනා විස්තරයක් !

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දන අපි පුංචි කාලේ ජපන් වාහන ගත්තේ නැහැ කවුරුවත්. ඒ කාලේ එදිනෙදා කතාවට වුනත් කිව්වේ 'නිකම් ජපන් බඩු වගේ කිසි වටිනාකමක් නැහැ' කියලා. නමුත් ජපනා ඒ කියමන උඩු යටිකුරු කළා. අපි පුංචි කාලේ පාරවල් පිරිලා තිබුණේ බටහිර රටවල කාර් (ඉන්ග්ලිෂ් කාර් කියලා කිව්වේ) වලින්. මේ වාහන ලංකාව පුරාම දකින්න ලැබුණා.

      Delete
    2. මට මතකයි ඉස්සර අපිට උගන්නපු නැශනල් අඳින ගුරුවරු කිව්වෙත් සුද්දගෙ බඩු තමයි හොඳ කියලා. BMW, Benz එහෙම හොඳට වර්ණනා කළා. ජපනගෙ යකඩ ගොඩවල් වලට අහුවෙන්න එපා කියලත් කිව්වා.
      …ලංකාවෙ දැන් නම් ඔය ජාතියෙ වාහනවල සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක අඩුයි. මොකද අමතර කොටස් ගණන් වැඩිනෙ අනෙක් ජාති වලට සාපේක්ෂව..

      Delete
    3. බටහිර රටවල මේ සමාගම් වල අදටත් මේ වාහන නවීන මෝස්‌තර වලින් නිපදවනවා. ඒවා අපේ රටට එච්චර නොඑන්නේ අපේ ප්‍රවනතාව ජපන්,කොරියන්,ඉන්දියන් වාහන වලට හැරිලා තියන නිසයි. නැත්නම් අද වුනත් BMW, Benz, Audi, Land Rover, වගේ බටහිර රටවල වාහන එක්ක ජපන් වාහන වලට හැරෙන්නවත් බැහැ.

      Delete
  4. මට මතක විදියට බෝයගනේ කෑම්ප් එක පාරෙ ඉන්න කව්රු හරි තාම හොද තත්වයේ පරණ ජාතායක කාර් එකක් යූස් කරනව... ඒත් මම ඒකෙ නම නං දන්නෙ නෑ... දැං කාලෙ ඔය වගේ පරණ කාර් වලින් රේස් තියන එකත් විලාසාතාවක් නේද

    ReplyDelete
    Replies
    1. කුරුණෑගල එවැනි පරණ කාර් සෑහෙන ප්‍රමාණයක් තියනවා. බොහොමයක් ඒවා මංගල උත්සව සඳහා කුලියට දෙනවා.

      Delete
  5. අපේ ලොකු අත්තට හරි කාර් පිස්සුවක් තිබුණා කියලා අත්තම්මා කියනවා අහලා තියෙනවා...කාලෙන් කාලෙට අලුතෙන් එන කාර් ජාතිය ගන්නවලු. අම්මා නම් කීවේ අත්තම්මාව තියාගත්ත එකත් ලොකු දෙයක් කියලා හී හී...

    ඒ පිස්සුවද කොහෙද මටත් තියෙනවා...

    හොඳ විස්තරයක් විචාරක...!!! මනමාලු ජෝඩු මේවායේ යන කොට මිනිස්සු වැඩිය බලන්නේ කාර් දිහාද දන්නේ නෑ නේද? :D

    ReplyDelete
    Replies
    1. හිහ් හී........ කොහොමද ලොකු අත්තා අලුත් කාර් එකක් ගන්න ගන්න වතාවට අත්තම්මාවත් මාරුකරානම්. හරි හරි අපි බලමුකෝ මිනිබිරීත් කාලෙන් කාලෙට තමන්ගේ 'කාර් එක' මාරු කරයිද කියලා. මනමාල ජෝඩු මෙව්වයේ යනකොට මිනිස්සු බලන්නේ කොයි වෙලාවේ කඩා වැටෙයිද කියලා.

      Delete
    2. මාතලන්ගෙ සීයනම් බක් ෆියට් එකක් විතරයිලු පැද්දෙ.
      මෙයාගෙ සීය හැම එකක්ම පැදලා. හුහ්

      Delete
    3. ඇනෝ මචං.. අයින් කරපු මොඩරේශන් ආයෙ දම්මන්ඩ එපා රත්තරනේ ..

      Delete
  6. හුඟක් වටින විස්තර ටිකක්... signal hand එක ක්‍රියා කරවන එක නම් කරදර ඇති නේද ?

    ඉතුරු විස්තරත් ඉක්මනින්ම ලියන්න..

    ReplyDelete
    Replies
    1. නැහැ තුෂානි, signal hand එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. නමුත් මේ වාහනවලින් බොහොමයක, power steering, hydraulic brake, වගේ දේවල් තිබුණේ නැහැ.

      Delete
  7. මම නම් වාහනයක් ගන්න අදහස අතෑරලා දාලා ඉන්නේ.. ඉඩමක් අරගෙන ගෙයක් හදන්ඩයි ඉන්නේ...මරු වාහන ටික.. සමහර එව්වා මම මෙහේ පාරවල් වලදිත් දැකලා තියෙනවා. මොඩිෆයි කරපු ඒවා වෙන්ටෑ.

    ReplyDelete
    Replies
    1. ඔක්කොටම ඉස්සරවෙලා තමන්ට කියලා ඉන්න හිටින්න තැනක් හදාගන්න එක තමයි වැදගත්. ඊට පස්සේ වාහනයක් ගැන හිතන්න.

      මෙහි දක්වා ඇති වාහන වලින් සමහරක් නවීකරණය කරලා ලංකාවෙත් දුවනවා.

      Delete
  8. මට නම් රථ ගාය හොඳටම තියනවා.. අපූරු විස්තරයක්..කොච්චර කල් හරි කමක් නෑ දිගටම ලියන්ඩ..සුභ පතනවා ¡

    ReplyDelete
    Replies
    1. පත්තර මල්ලි දන්නවද හමුදාවේ සමහර ලොක්කන්ට තියන රෝග දෙකක් තමයි 'රථ ගාය' සහ ටෙලිෆෝනියාව. රථ ගාය කියන්නේ කොච්චර හොඳ නිළ වාහනයක් දුන්නත් තවත් ඒවා හොයනවා. තමන්ගේ වාහනය තියාගෙන වෙනත් කනිෂ්ඨ නිලධාරීන්ගේ වාහනත් පාවිච්චි කරනවා. අනික් ලෙඩේ තමයි ටෙලිෆෝනියාව. අම්මෝ............ඒක හැදුනම දවස පුරාම රාජකාරි දුරකථනයෙන් පුද්ගලික වැඩ කරනවා.

      Delete
    2. තියනවා තියනවා සැරටම ..මට අත්දැකීමුත් තියනවා :D මගෙ යාලුවෙක්ගේ වාහනයක් සම්බන්ධව .. කිව්වට සමා වෙන්ඩ ඌ දිවුරුවා වම් පැත්ත ලයිට් කනුවක හප්පනවාමයි ඔෆිසර් එක්ක කියලා !!! වාහනේ පස්සෙ හදාගන්නවලු :D
      වාහන බ්‍රෝකර්ලා අතර මතයක් තියනව නේද කුරුනෑගල පැත්තේ වාහන හොඳයි කියලා..මං අහලා තියනවා..මං හිතන්නේ කරදිය හුළඟ අඩු නිසා නේද ???

      Delete
    3. අප්පොච්චියේ කුරුණෑගල වාහන සේල් වලට මිනිස්සු එන්නේ බේකරි වලින් පාන් ගෙනියන්න එනවා වගේ පෝලිමේ.

      Delete
    4. @පත්තර මල්ලි,
      …හැබැයි කුරුණෑගල සේල් වලට කට්ටිය ලංකාවෙ හතරවටින්ම වාහන ගෙනත් දාගෙන තමයි කුරුනෑගල කියලා විකුණන්නේ.. ඒක නිසා කොහේ කිව්වත් වාහනේ හොඳින් බලන්න ඕනෙ..
      …කුරුණෑගල පැත්තෙයි කොළඹ පැත්තෙයි මෝස්තරය අනුව වාහනවල ඉල්ලුමේ පොඩි වෙනසක් තියෙනව.

      …ඒ පැත්තෙ වාහන අමතර කොටස් වගේම හැදුම් කුලීත් බොහෝම අඩුයිලු නේද?

      Delete
    5. ඔව් හරී අ‍යියෙ එකනම් ඇත්ත..ඕපන් පේපර් තියාගෙන දුවල දුවල ෆස්ට් ඕනර් සෙකන්ඩ් ඕනර් ලේඩි ඩොක්ටර් කෙනෙක් යූස් කරේ කියල අමූතුම බයිල ගහනව..අම්මේ පාට්ස් නම් නාන්ඩ තියනවා..මං හිතන්නෙ සිල්ව එකේ එහෙම නැති එකක් නෑ !!

      Delete
    6. @පත්තර මල්ලි,
      …ගෑණු අය පැද්දා කියන එක හොඳයි කියලා කිව්වට මට නම් හිතෙන්නෙ අනිත් පැත්ත.. ඒගොල්ලො තෙල්, වතුර බලලාම එලවනවා ඇද්ද? එන්ජිමේ සද්ද බද්ද ආපු ගමන් මොකද කියලා බලනවා ඇද්ද ? මම නම් හිතන්නෙ නෑ..

      Delete
    7. ඒක නං හරි.. ගියර් දානවා මං දැකලා තියනවා අම්මේ ගියර් වීල් හි‍ර වෙනවා කර කරාස් ගාල..දුකේ බෑ බං ඇංජිමට දෙන වදේ දැක්කම :D

      Delete
    8. උඹලා දෙන්නම ගෑණු ඩ්‍රයිවර් කෙනෙක්ගෙන් කන්න ලඟයි.

      Delete
    9. මොකක්ද කීවේ? අපි මේ අප්පච්චිගේ ඔඩොක්කුවේ ඉඳන් කාර් එලවලා ගස් දිගේ ගිය අයලු හරිද? අපි මාසෙකට සැරයක් කාර් එක සර්විස් කරනවා...ඔය තෙල්, වතුර ප්‍රශ්න අපිට එන්නේ නෑලු...අපිට අමතක උණත් කට්ටිය ඇවිත් කාර් එක ගෙනිහින් ඔක්කොම කරලා ගෙදරට ගේනවලු. :D

      @හරී,

      හපොයි මරුටි එපා...ඒක හොඳයි පොඩි ලමයින්ට...:)

      Delete
    10. // අපි මාසෙකට සැරයක් කාර් එක සර්විස් කරනවා// :e

      කට්ටිය??

      Delete
  9. මේකත් වෑර්ලස් ලිපිය වගේම බොහොම රසවත්..

    මගෙත් මුල්ම කාර් අත්දැකීම මොරිස් රථයක් වෙන්න ඕනා. අපේ ගෙවල් ගාව තිබුන කුලී රථයක් ඒක. මහ සද්දන්තයි. ඉස්සරහා සීට් දෙකත් එකටම වගේ තිබුනේ..

    මේ ලිපිය ක්‍රමිකව විකාශනය වෙමින් වර්තමානයේ කාර් වලට එනකම්ම ගෙනෙයි කියලා බලාපොරොත්තු වෙනවා..

    ReplyDelete
    Replies
    1. මම හිතාගෙන හිටියේ අපේ කාලයෙන් නවත්තන්දයි 1980 දශකයට විතර ගෙනත් නවත්තමු නේද?

      Delete
  10. මොඩරේශන් අයින් කරලා වගේ නේද ? ඒක හොඳා.. පබ්ලිශ් කරපු ගමන් තමන්ගේ කමෙන්ට් එක දකින්න ලැබෙනවා තරම් තවත් දෙයක් කමෙන්ට් කරුවෙකුට ඇති කියලා මම හිතන්නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් අපි බලමු කවුරුත් සදාචාරය රකිමින් අදහස් දක්වයිද කිලා.

      Delete
  11. හොඳ මාතෘකාවක්.
    ඔය වාහන දැං වාහන වගේ ලේසියෙන් පාලනය කරන්න (ක්ලච්, බ්රේක්) බැරි එක තමයි අවුල.

    ReplyDelete
    Replies
    1. ක්ලච්, බ්‍රේක් වලටත් වඩා අමාරු පවර් ස්ටියරින් සහ සමහරවිට හයිඩ්‍රොලික් බ්‍රේක් නැති එක. රිවස් එකත් අමාරුයි.

      Delete
  12. මට පරණ ලොරි ඩ්‍රයිව‍ර් කෙනෙක් එක්ක නිවීහැනහිල්ලේ කතාබහ කරන්න වාසනාව ලැබුනා මනුස්සයගෙ 1210 ලොරියටම ගොඩවෙලා..
    ඒ මිනිස්සුන්ගේ අත්දැකීම් සහ ලොරි කල්චර් එක අමුතුම ලෝකයක්.. මට ඩිංගක එලවන්ඩත් දුන්නා..පුහ්.උරහිස් දෙකටයි කකුල් දෙකටයි පුදුම අමාරුවක්.. ජීවිත කාලෙම ඕක කරකවන මිනිස්සු හවසට පොඩ්ඩක් අනුමත වෙන එක සාධාරණයි .. පව් !!!!

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ඇත්තටම ලොරියක් එලවනවා කියන බරක් දැනෙන්නේ ඒ වගේ එකක් එලවද්දී, පව් ඒ මිනිස්සු, අර තඩි ගියර් බොක්ස් එක එක්ක ඉස්සර අපේ තාත්තා ඔට්ටු වෙනවා මන් දැකලා තියෙනවා එයා ලොරියක වැඩ කරන කාලේ.

      Delete
    2. මොනාද බං මට ඒ ස්ටීරියන් වීල් එක කපන්න ගිහින් ඇඬුනා.. ඒ ලෝඩ් එක නැතුව..හාල් ලෝඩ් එකක් එහෙම ගහල යද්දි කොහොම ඇද්ද ..අම්මෝ.. පව් බං උඹලගෙ තාත්තත් ..
      ඒව එලවන්නෙ ඇඟේ හයියෙන්..

      Delete
    3. ලොරි ගැන කියනකොට මට මතක්වෙන්නේ අපේ කාලේ තිබුණා ඩොජ් කියලා ලොරි වර්ගයක්. මහා විසාලයි. ඒ කාලේ මහත කාන්තාවන්ටත් 'ඩොජ් එක' කිව්වා. ඒ ලොරියක් එලවන්න නම් මම හිතන්නේ අලින්ගේ මස් කන්න වෙනවා.
      [im]http://www.old-dodge-trucks.co.uk/dodge_images/vk1.jpg [/im]

      Delete
    4. යුද්ධ ටැංකියක් වගේ?

      Delete
  13. ස්තුති ලිපියට, ඒ වගේම අර සිගනල් එක දාන විදියනම් නියමයි, මන් අදමයි ඒක දැක්කේ. ආයුධ පාඩම වගේ මේකත් මට ඉන්ට්‍රස්ට්

    ReplyDelete
    Replies
    1. මම හිතුවා ඔය සිග්නල් ක්‍රමය බොහෝ දෙනෙක් දන්නේ නැතුව ඇති කියලා. තවත් එවැනි දේ මතක්වෙන ආකාරයට ලියන්නම්.

      Delete
  14. පරණ කාර් වලටනම් මමත් කැමති.. පාරේ යද්දී එකක් දැක්කොත් අනිවා හොදට බලනවමයි.. අපේ ලොක්කා ලගත් පරන ෆියට් කාර් එකක් තිබ්බා.. කොහෙද මේ මෝඩයා ඒක වික්කනේ..

    ReplyDelete
    Replies
    1. ෆියට් කියන්නේ අදත් තිබෙන ඉතා හොඳ කාර් වර්ගයක්. ඉතාලි නිෂ්පාදනයක්. බොහෝ දෙනෙක් පරණ කාර් ආසාවට ළඟ තබාගත්තත් නඩත්තුව අපහසු නිසා විකුණා දමනවා.

      Delete
  15. විචාරක.......මම වාහන ප්‍රේමියෙක් නොවුනත් මේ ලිපිය රසවින්ඳේ මොරිස් මයිනර් නිසා. ඒ කාලේ හම්බන්තොට හිටියා මගේ යාළුවෙක් ලර්නින් ස්කූල් එකක් තිබුනා. ඔක්කොම මයිනර්. පොර කොළඹ ඇවිත් මයිනර් අරන් යනවා. මමයි එයයි ඕකෙම හම්බන්තොට යනවා. එහේ හිටියා මයිනර්ම රෙපයාර් කරන වයසක බාස් කෙනෙක් මයිනා කියලා. ගෝලයාට කිව්වේ ගිරවා කියලා...උගේ තොර තෝංචියක් නැති කියවිල්ල නිසා.

    මොරිස් මයිනර් එංගලන්තේනම් හරි ආදරෙන් රැකබලා ගන්නවා. ඒ වෙනුවෙන් ගොඩාක් ක්ලබ්ස් එහෙම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අරු, මොරිස් මයිනර් රථය ලංකාවේ ජන ජීවිතයට බොහොම සමීපයි.

      ඉස්සර කෑගල්ලේ හිටියා මොරිස් මයිනර් වැඩකාර බාස් කෙනෙක්. උපතින්ම ඔහුට කථනාබාධයක් තිබුණා. (cleft pallet) මෙයා දවසක් තව ඩ්‍රයිවර් කෙනෙක් එක්ක වාහනයක් බලන්න ගිහින්. වාහනේ රිවස් කරද්දී මෙයා 'රයිට් රයිට්' කියලා කෑ ගැහුවා රියදුරාට ඇහෙන්ඩ. නමුත් එතන කුඹුරේ වල් නෙලමින් හිටිය කාන්තාවන් පිරිසකට ඇහුනේ 'නයෙක් නයෙක්' කියනවා. ඒගොල්ලෝ පණ කඩාගෙන දිව්වලු.

      එංගලන්තේ පැරණි වාහන ක්ලබ් අදටත් තියනවා.

      Delete
  16. superb!!! ගොඩක් වටිනවා මේ තොරතුරු. පරණ කාර්! මම ආසම මාතෘකාවක්. ලිපියෙ දෙවනි කොටසත් ඉක්මනටම ගේන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රතිචාරයට. දෙවැනි කොටස සැකසෙමින් පවතින අතර මේ දිනවල මා අතිශයින් කාර්ය බහුලයි. හැකි ඉක්මනින් දෙවැනි කොටස දෙන්නම්.

      Delete
  17. රසවත් මාතෘකාවක්. signal hand එක තියෙන මොරිස් මයිනර් එකක් නම් මගේ යාලුවෙක් ගාව තිබුනා. මොරිස් මයිනර් 1000 කියන රුපයේ තියෙන්නේ මොරිස් මයිනර් වැගන් එකක්. සාමාන්‍ය මොඩල් එකෙනුත් මොරිස් මයිනර් 1000 තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීම ගැන

      Delete
  18. මටත් හොඳටම පිස්සුවක් තියන මාතෘකාවක් නිසා බලලා මොනව හරි ලියන්න හිතුවා.වැ‍රැද්දක් පෙන්නුවට මල පනින එකක් නෑ නේද? මොරිස් 8 එකක් අපේ ගමේ වෙද මහත්තයෙක් ගාව තිබුනා මතකයි.මයිනර් 1000 එකක ෆොටෝ එකක් දාන්න .ඔතන තියන එක ට්‍රැවලර් .අපි පොඩි කාලෙ කොලඹ තිබුන වැඩි හරියක් ටැක්සි මයිනර් 1000 වහලෙ කහපාට කලු කාර්.ඔස්ටින් කාර් ගැන කියද්දි බේබි ඔස්ටින් එක මග හැරිලා ගිහින්. Model name Austin 7.ලංකාවෙ තිබුන බොහොම ජනප්‍රිය එකක්.මගෙ යාලුවෙකුගෙ තාත්තට බේබි ඔස්ටින් දෙකක් තිබුනා අන්තිම ඒවා පරන යකඩ වලට දුන්නා.දැන් තිබුනනම්. Austin Healy කීපයක් තිබුනා මතකයි .Austin A 40 Farina මගහැරිලා. ලංකාවෙ හැමතැනම තිබුනා.ඉස්සර කාර් වල චෙසිය කාර් කොම්පැනියෙ හදල බොඩිය හදන්න Coach Builder කෙනෙකුට දෙනවා.එකම කාර් එකට වෙනස් බොඩි තිබුනා ඒ නිසා. පස්සෙ කාලෙ කාර්වල ඩිසයින් කරන සමාගම් වෙනම ආවා.මේ Farina එකටත් ඒ නම ආවෙ එහෙමයි. මේක බොඩි හැඩය ඩිසයින් කලේ "Pininfarinaa කියන ප්‍රසිද්ධ ඉතාලි සමාගම.ඒ නමේ අන්තිම කොටසින් තමයි Farina කෑල්ල ආවෙ.හැමෝටම මතක ඇති මුල්ම Volkswagen Golf කාර් එක .එකත් Pininfarinaa ඩිසයින් එකක්.

    ඔය Signal Hand එකට Trafficator කියලත් කියනව.පරනFord,Vw වාගෙ කාර් වලත් තිබුනා. මගෙ කැමතිම කාර් එක Vw Beetle.

    ReplyDelete
    Replies
    1. පොහ්.................බොහොම වටින දැනුම් සමුදායක්. බොහොම ස්තුතියි මාව නිවැරදි කිරීම ගැන. ඊළඟ කොටසේදී ඔය කියන මෝස්‌තර වල පින්තූර හොයාගන්න පුලුවන්නම් දාන්නම්.

      Delete
    2. මං දැකලා තියනවා ඔස්ටින් කේම්බ්‍රිජ් එකේ විදුලි පහන් හෙඩ් ඩිම් කරන්න කකුලට නේද තියෙන්න්නේ ????

      Delete
    3. පත්තර මල්ලි

      පරන වාහන හැම එකකම වගෙ තිබුනෙ Foot operate dim swicht එකක්.බස් වල තවම තියනවනෙ.පරනම රෝල්ස් රොයිස් වල තියනව ලීවර් ක්‍රමයකින් හෙඩ් ලයිට් දෙක පහතට හරවන්න.

      Delete
    4. බොහෝම ස්තූතියි දැනුවත් කි‍රීමට ඔබතුමාට..මම දැනගෙන හිටියෙ නෑ ප‍රණ වාහන ඔක්කොම එහෙමයි කියල..ලීවර ක්‍රමයකින් පහතට ලයිට් හරවපු වාහනත් තිබුන කියල දැනගත්තෙත් ඔබෙන්..

      Delete
    5. අපි හතේ අටේ පන්තිවල ඉගෙනගන්න කාලේ අපේ ගෙවල් වලට විදුලිය තිබුණේ නැහැ. ඒ කාලේ මට යාලුවෙක් දුන්නා ඔය පරණ වාහනයක ඩිප් ස්විච් එකක්. මම ටෝච් බැටරි වලින් ක්‍රියා කරන ටෝච් බල්බ් පරිපථයක් හදලා ඒකට ටෝච් බල්බ් තුන ගානේ සෙට් දෙකක් අමුනලා එකක් ඉස්තොප්පුවෙයි එකක් සාලෙයි හයි කරලා මාරුවෙන් මාරුවට පත්තු කරලා පෙන්නුවම අපේ අක්කලා පුදුම වුණා.
      [im]http://mgaguru.com/mgtech/electric/pics/dipsw8.jpg[/im]
      ඉහත පින්තූරයේ ක්ලච් පෙඩල් එකට වම් පැත්තෙන් තියෙන්නේ ඩිප් ස්විච් එක. පහලින් දක්වනවා ඒ ස්විච් එක වෙනම.
      [im]http://www.kingswoodcountry.com.au/assets/alt_1/NDS70.jpg[/im]

      Delete
    6. ඔන්නඔන්න ලොකු මහත්තයාම භාෂාව වරද්දලා.Dip Switch නෙමෙයි Dim/Dimmer Switch වෙන්න ඕන.

      Delete
    7. මෙතනින් ගිහින් බලන්න.

      http://en.wikipedia.org/wiki/DIP_switch

      dip switch කියන ඉංග්‍රීසි යෙදුම මට ඉගැන්නේවේ 1960 දශකයේ මගේ ඉංග්‍රීසි ගුරුවරයා. එතුමා බුදු වේවා!

      ඩිප් කරනවා කියන්නේ ආලෝක කදම්බය එක වරම පහතට යොමු කරනවා (ගිල්ලවනවා - dip) කියන එකයි. dimmer switch තියෙන්නේ වේදිකා ආලෝක කරණයේදී ආලෝකය අඩුවැඩි කරගන්නයි.

      Delete
    8. මෙන්න මෙතන තියනවා ඉංග්‍රීසි භාෂාවේ අදාළ යෙදුම

      http://english.stackexchange.com/questions/12038/explain-the-choice-of-the-verb-dip-in-dip-your-light

      තවත් විස්තර මෙතනින් බලන්න.

      http://www.ebay.co.uk/bhp/floor-dip-switch

      Delete
  19. Austin 12/4 (Twelve Four) කියල ලොකු කාර් එකක්තිබුනා. මම 1978 ලයිශන් එක ගන්න ටෙස්ට් එකට ගියෙ ඒ කාර් එකක.මොකද All Private Cars කියන ලයිශන් එක ගන්න ලොකු කාර් එකකින් (බර වැඩි) ටෙස්ට් එක කරන්න ඕනෑ.කාර් එක ලර්නර් කෙනෙක්ගෙ.නොම්බරය කිව්වහම Examiner ඇහැව්වා ඔය ලමයට ඕක එලවන්න පුලුවන්ද කියල?

    ReplyDelete
    Replies
    1. අම්මෝ, 1978 දි ලයිසන් ගත්තානම් බොහොම පළපුරුදු කාරෙයෙක් නේ. මම ගත්තේ 1990 දි. හැබැයි වාහන එලවන්න පටන්ගත්තේ 1984 දි. ඔබ කියන කාර් එකේ පින්තූරයක් හොයා පලකරන්න බලන්නම්.

      Delete
  20. ඔයා දැකපු කාර් වැඩි හරියක් අපි නොදැකපු කාර් නේ .. විචාරක "පත්තරයගෙයි" "සෙන්නගෙයි" කොමෙන්ට් ටික එකතු කරලා වෙනම පොස්ට් එකක් දාමුද ?

    ReplyDelete
    Replies
    1. උන් දෙන්නා තව මොනවා ලියයිද දන්නේ නෑ මේ ලිපියේ ඉතුරු කොටස්වල. ඔක්කොම එකතුවෙනකල් බලමු.

      Delete
    2. මගෙත් අසම විශයක්.. ලියන්ඩ විචාරක තුමා වැඩක් ගනීනෙ කවුරුහරි..අපි ඉන්නවා දිගටම.

      Delete
  21. FIAT, akuru hathara, Fabrika Italiana Automobili Torino.kiyanaekai.Obata hamuwunoth voxhall victori car ekaka photo ekak damanna balanna.1970-80 kaalaye sancharaka viyaparayee eewa thibuna.

    ReplyDelete
  22. අයියෝ මේව කියල අපිට නිකං පිස්සු වගේ. එත් ඉතිං හොද පොස්ට් එකක්. හිහි හිහ්

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }