කටපුංචලාගේ ලොකු අයියලා ගැන ලියවෙන මේ ලිපි මාලාවේ පළමුවැනි කොටස ඔබ කියවන්නට ඇතැයි මා සිතනවා. සමහරු කියා තිබුණා එය කෙටි වැඩියි කියා. හරි, දිගටනේ ඕනේ. දෙන්නම් දිගට. හැබැයි ඊළඟට කියන්න එපා දිග වැඩියි කියලා. ඇත්තටම සිදුවුණේ මේ ලිපිය කොටස් දෙකකට කඩන්න තරම් කොට වැඩියි, එක කොටසකින් අවසන් කරන්නට තරම් දිග වැඩියි, යන හැඟීමේ මා දෝලනය වීමයි. ඔන්න අදනම් කොච්චර දිග වුනත් ඔක්කොම කියනවා. මුලින්ම එක ඉල්ලීමක් ඉටු කරන්න කැමතියි. පසුගිය කොටසේදී මා සඳහන් කල සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුවේ ගති ලක්‍ෂණ = Characteristics පැහැදිළි කරදෙන මෙන් කර තිබුන ඉල්ලීම පහත ඉටු කරනවා. (පින්තූරය ගත්තේ මෙතනින් )
මුලින්ම කියන්නම් පසුගිය ලිපියේ සඳහන් කල .303 සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුව = LMG එක ගැන.
- වර්ගීකරණය : සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුව Light Machine Gun = LMG
- නිෂ්පාදිත රට : මුල්ම මෝස්තරය චෙකොස්ලෝවේකියාව. වැඩි දියුණු කල මෝස්තරය බ්‍රිතාන්‍යය
- සේවා කාලය : 1938 සිට 2006 දක්වා
- අවියේ බර (මෝස්තරය අනුව) : කි.ග්‍රෑම් 10.35 සිට 11.25 දක්වා
- අවියේ දිග : මීටර් 1.15
- යොදන පතරොම් වර්ගය : බ්‍රිතාන්‍ය .303 පතරොම, නේටෝ කාණ්ඩයේ 7.62 x 51 පතරොම
- වෙඩි තැබීමේ වේගය : විනාඩියකට උණ්ඩ 500 - 520 අතර
- තුවක්කුවෙන් උණ්ඩ පිටවීමේ වේගය (Muzzle Velocity) : තත්පරයකට මීටර් 743.7
- සඵල වෙඩි දුර (අනිවාර්යයෙන්ම ඉලක්කයක් සපුරා ගතහැකි උපරිම දුර - Effective Range) : මීටර් 550
- උණ්ඩයක් සාර්ථකව යොමු කළහැකි උපරිම දුර (Maximum range) : මීටර් 1691.61
පසුගිය ලිපියෙන් කිව්ව ඊළඟ තුවක්කුව තමයි චීනයේ නිෂ්පාදිත 7.62 සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුව. පහත දක්වන්නේ ඒ ගැන විස්තරයයි. මේ තුවක්කුවට යොදවන්නේ T 56 ප්‍රහාරක රයිෆලයට යොදන 7.62 x 39 වර්ගයේ පතරොමමයි. ඒ නිසා මේ තුවක්කුව T 56 LMG කියා හඳුන්වන්නට අපේ හමුදාවේ අය පුරුදුවී සිටිනවා.
- වර්ගීකරණය : සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුව LMG
- නිෂ්පාදිත රට : මේ තුවක්කුව රුසියානු ජාතික Vasily Degtyaryov විසින් 1943 - 44 කාලයේදී සැලසුම්කර සෝවියට් රුසියාවේදී නිපදවන ලද්දේ 1945 දී ය. ඉන්පසු එහි විවිධ මෝස්‌තර නිපදවින. වර්තමානයේදී ශ්‍රී ලංකා යුද හමුදාව පාවිච්චි කරන්නේ 1960 දශකයට පසු චීනයේ නිෂ්පාදිත මෝස්තරයයි.
- අවියේ බර (පතරොම් රහිතව) : කි ග්‍රෑම් 7.43
- අවියේ දිග : මීටර් 1.037
- පතරොම් වර්ගය : මි මී 7.76 x 39
- විනාඩියකට වෙඩි තැබිය හැකි උණ්ඩ ගණන : 650 - 750 අතර
- තුවක්කුවෙන් උණ්ඩ පිටවීමේ වේගය (muzzle Velocity) : තත්පරයකට මීටර් 735
- සඵල වෙඩි දුර : අවම මීටර් 100 සිට උපරිම මීටර් 1000 දක්වා
- උණ්ඩයක් සාර්ථකව යොමු කළහැකි උපරිම දුර (Maximum range) : මීටර් 1700 ක් පමණ
මේ අවියේ තවත් එක මෝස්තරයක් තියනවා. නමුත් එය එතරම් ජනප්‍රිය නැහැ. මා හිතනවා එසේ වීමට බලපෑ ප්‍රධාන හේතුව වන්නේ ඉහත දැක්වෙන LMG එකට පතරොම් 100 ක ඩ්‍රම් මැගසින් එකක් යෙදිය හැකි වුනත් මේ තුවක්කුවට යෙදිය හැක්කේ පතරොම් 75 ක ඩ්‍රම් මැගසින් එකක් වීමයි. මේ මැෂින් තුවක්කුව T 81 ප්‍රහාරක රයිෆලය ආශ්‍රිතව නිපදවා ඇති නිසා මෙය T 81 LMG කියා හඳුන්වනවා.
තවත් LMG දෙකක් විතරක් පෙන්නලා LMG ගැන කතාව අවසන් කරන්නයි හදන්නේ මොකද MPMG, GPMG, HMG, කියලා තව ලොක්කො ගොඩක් ඉන්නවා. තව කොටස් හැටහුටහමාරක් ලියන්න වෙයිද මන්දා ඒ ඔක්කොම ගැන කියන්න. කමක් නැද්ද? 1970 - 80 දශක වල ජනප්‍රියව තිබුණු එහෙත් දැන් ක්‍රමක්‍රමයෙන් භාවිතයෙන් ඉවත්වෙමින් පවතින LMG එකක් ඊළඟට පෙනන්නම්. ඒ තමයි FN MINIMI නමැති තුවක්කුව. ඔන්න පහලින් තියනවා.
1975 වසරේදී බෙල්ජියමේ නිෂ්පාදිත මේ තුවක්කුව අද බහුලවම පාවිච්චි කරන්නේ බෙල්ජියම අවට පිහිටි බටහිර යුරෝපීය රටවල්. අපේ හමුදාවේත් මේ තුවක්කුව තියනවා. නමුත් දැන් භාවිතය අඩුයි. මෙහි අලුත් මෝස්‌තර පවා වැඩියෙන්ම පාවිච්චි කරන්නේ බටහිර රටවල් සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල්. මේ තුවක්කුවේ තාක්ෂණික විස්තර කෙටියෙන් දක්වනවා.
නිෂ්පාදිත රට : බෙල්ජියම
මුලින්ම නිපදවුවේ : 1975 දී
තුවක්කුවේ බර : කි ග්‍රෑම් 6.85
තුවක්කුවේ දිග : මීටර් 1.040
පතරොම් වර්ගය : පැරණි මෝස්තරය 5.56 x 45 නව මෝස්තරය 7.62 x 51
වෙඩි තැබීමේ වේගය : විනාඩියකට උණ්ඩ 700 - 800 අතර
සඵල වෙඩි දුර : මීටර් 300 - 1000
පතරොම් යෙදීම : උණ්ඩ 200 වැලක් සහිත මැගසිනයක් මගින්
ලෝකෙට ලොක්කා ඇමරිකාව මොකක්ද පාවිච්චි කරන LMG එක? කීපයක් තියනවා. බහුලවම පාවිච්චි කරන එක මෝස්තරයක් විතරක් පෙන්වන්නම්. ඒ තමයි M 249 LMG එක. ඇත්තම කියනවානම් මේ තුවක්කුව අර ඉහත දැක්වූ Minimi එකේ, ඉතා දක්ෂ ලෙස වැඩි දියුණු කල මෝස්තරයක්. 1980 දශකයේදී තමයි හදලා තියෙන්නේ. ඉතා සියුම් ක්‍රියාකාරිත්වයකින් යුත් මේ තුවක්කුවේ මිල බදු රහිතව බැලුවත් රුපියල් ලක්ෂ 5.5 ක් පමණ වෙනවා.
බර කි.ග්‍රෑම් 7.2 යි, දිග මීටර් 1.02, විනාඩියකට උණ්ඩ 800 ක් විතර වෙඩි තියන්න පුළුවන්, 5.56 x 45 පතරොම් යොදන්නේ වැලක් සහිත මැගසින් එකකින්. සඵල වෙඩි දුර මීටර් 700 යි, උණ්ඩයක් යන උපරිම දුර මීටර් 3600 යි.
ඊළඟ කරුණු වලට යන්න කලින්, Ayilas A විසින් විමසා තිබුණු, ඉතා අගනා පැනයකට අදාළ, කරුණු පැහැදිළි කිරීමක් ඉදිරිපත් කිරීම සුදුසු බව පෙනීගියා. ඔහු අසා තිබුණු ප්‍රශ්නය මේකයි. මේ ලිපියෙන් කතාකරන්නේ මැෂින් තුවක්කු ගැන. ඒවා පූර්ණ ස්වයංක්‍රීයයි කියලා කියවෙනවා. T 56 කියන්නෙත් පූර්ණ ස්වයංක්‍රීය අවියක් full automatic ඉතින් ඒවා මැෂින් තුවක්කු නෙවෙයිද?
මෙන්න පිළිතුර. T 56 කියන්නේ පූර්ණ ස්වයංක්‍රීය තුවක්කුවක් කියන එක ගැන වාදයක් නැහැ. ඒක ඇත්තයි. නමුත් ඒ වගේ අවියක් එක සෙබළකුගේ තනි පාවිච්චිය සඳහා නිකුත් කරන පෞද්ගලික අවියක් personnel weapon ලෙසයි සැලකෙන්නේ. නමුත් මැෂින් තුවක්කු කියන ඒවා, කුඩා සෙබල කණ්ඩායමක සිට, බලඇණියක් තරම් විශාල සෙබල පිරිසකගේ ආරක්‍ෂාව සහ, යුද බිමේදී අවශ්‍ය ආධාරක වෙඩි බලය support or covering fire දීම සඳහා යොදාගන්නා, ආධාරක අවි support weapon ලෙසයි සැලකෙන්නේ. ඒවා තනි සෙබළකුට ක්‍රියාකරවන්න අමාරුයි. අවම වශයෙන් දෙදෙනකුවත් අවශ්‍යයි. ඒ නිසා තනි සෙබළකුට නිකුත් කරන්නෙත් නැහැ.
ඉතින් මොකක්ද මේ සැහැල්ලු යාන්ත්‍රික තුවක්කු වලින් ගන්න ප්‍රයෝජනේ? යුද්දෙදි මේවා යොදවන්නේ කොහොමද?
හොඳයි, ඒ විස්තර කෙටියෙන් කියනවානම් මෙන්න මෙහෙමයි. සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුවක් කියන්නේ, හමුදාවක තියෙන කුඩාම ඒකකය වන, සෙබළ පෙළක - section තිබෙන ආධාරක අවියයි. section support weapon ඔන්න ඉතින් ආයෙත් අමතක කරලනේ සෙබළ පෙළක් කියන්නේ මොකක්ද කියන එක. ඉතින් කොහොමද මේ පන්තිය කරන්නේ? යනවා යනවා, දුවලා ගිහින් බලාගෙන එනවා හමුදාවේ ඒ ඒ සංවිධාන ව්‍යුහයන් මොනවද කියන එක. මේ ලිපියේ ඉදිරි කොටස් තේරුම් ගන්න ඒ දැණුම නැතුව බැහැ.
සෙබළ පෙළක ඉන්න ලාන්ස් කෝප්‍රල් Lance Corporal අතේ තමයි LMG එක තියෙන්නේ. ඔහුගේ ආධාරයට තවත් සෙබළකු ඉන්නවා. සෙබළ පෙළ යුද බිමේ ඉදිරියට යද්දී, ඔවුන්ගේ ආරක්‍ෂාව සඳහා ආවරණ වෙඩි (විශාල කෝණයක් ආවරණය වන පරිදි හෝ කිසියම් තැනකින් එල්ල වන සතුරු වෙඩි මැඩපැවැත්වීම සඳහා හෝ එල්ල කරන ප්‍රබල වෙඩි මුරය) සැපයීම සඳහා තමයි LMG එක යොදවන්නේ. හමුදා සිතියමක LMG එකක් ලකුණු කරන සංකේතයක් තියනවා. ඒ මොකටද? පස්සේ කතාකරමු වෙන ලිපියකින්. මෙන්න ඒ සංකේතය.
මෙය නිල් පාටින් ලකුණු කර තිබුනොත්, එය අපේ එකක්. රතුපාටින් නම්, සතුරාගේ එකක්. මේ ළකුණ සහ සිතියමේ ඇති ඊතල ලකුණු මාරු වෙන්නේ නැහැ. හමුදා සිතියමක ඊතල ලකුණු කරන්නේ මීට වඩා වෙනස් හැඩයකින්.
හොඳයි, අද ලිපිය අවසන් කරන්න කලින් මේ පූර්ණ ස්වයංක්‍රීය full automatic කියන එක තව ටිකක් විස්තර කරලා දෙන්නම්. පූර්ණ ස්වයංක්‍රීය කරණය ක්‍රම දෙක තුනකින් සිද්ධ වෙනවා. ඔන්න එක ක්‍රමයක් කියලා දෙන්නම්. අපි කවුරුත් දන්නා T 56 තුවක්කුවෙන්ම කියන්නම්කො. කොහොමද එක පිට එක වෙඩි පිටවෙන්නේ කියලා. ඔබට පුදුම හිතෙයි ඒ යාන්ත්‍රනය දැක්කම. තුවක්කුවක් ඇතුලේ පතරොමක් පත්තු වුනාම විශාල වායු පීඩනයක් ඇතිවෙනවා. ඒ පීඩනය ආධාරයෙන් තුවක්කුවේ යාන්ත්‍රණයේ කොටසක් ක්‍රියාකරවන්න පුළුවන්.
මේ විදිහට වායු පීඩනයෙන් ස්වයංක්‍රීය කරණය හඳුන්වන්නේ gas operated automatic gun කියලයි. T 56 තුවක්කුව ඇතුලේ තියනවා වායුවෙන් සිසිල්වන පිස්ටනයක්. මේ පිස්ටනය පළමුවරට ඉදිරියට යැවීම සඳහා බලය දෙන්නේ තුවක්කුව කොක් කිරීමෙන් හෙවත් කොකින් හැඬලය පසුපසට ඇදීමෙන්. ඊට පස්සේ එය පසුපසට එන්නේ පතරොම පත්තුවී දෙන වායු පීඩනයෙන්. උණ්ඩ ඉවර වෙනතුරු එය ස්වයංක්‍රීයව සිදුවෙනවා. නැවත මැගසින් එකක් සවිකලොත් ආයෙත් කොක් කරන්න ඕනේ. පහත තිබෙන සටහන සහ වීඩියෝව බලා ප්‍රශ්න ඇත්නම් අහන්න.