හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

25 June 2014

අන්ත්‍රාවයි වෙඩිතියන පොලිස්කාරයෝ ඉදිරියෙන්


1
   මෙවැනි ලිපියක් ලියන්නට සිදුවීම සතුටක් නෙවෙයි කණගාටුවක්. මමත් ආරක්ෂක අංශයක හිටපු සාමාජිකයකු නිසා, තවත් ආරක්ෂක අංශයක් ගැන මෙහෙම ලියන්නටවීම ගැන මට කණගාටුයි. නමුත් මේවා නොලියාම බැහැ. ඒ නිසයි ලියන්නේ. පොලීසිය කියන්නේ වැදගත්, ගෞරවණීය, අභිමානවත්, සේවයක්. එය රැකියාවක් නොවේ. පොලීසියක් පවත්වාගෙන යාම අපි පොලීසියට බනිනවා වගේ ලේසි වැඩක් නොවේ. පොලිස් සේවාව සෑමවිටම එහි බලධරයන්ගේ පරිපාලනයත් කළමනාකරණයත් විසින්, නොකඩවාම අධීක්ෂණයේ තබාගතයුතු, බරපතල වගකීමක්. මහජනතාවට ඇත්තටම සේවයක් සිදුවන පොලීසියක් ලැබෙන්නේ එවිටයි.  

   නමුත් ඉතා අවාසනාවන්ත ලෙස, අපේ රටේ පොලිස් සේවය පිළිබඳව එන්න එන්නම අහන්නට දකින්නට ලැබෙන්නේ, සතුටුදායක දේවල් නොව ඉතා අසතුටුදායක, අවාසනාවන්ත සිදුවීම්. අත්අඩංගුවට ගන්නා සැකකරුවන් පොලීසිය තුලදී මියයාම, තවත් සැකකරුවන් ආයුධ සඟවා ඇති තැන් පෙන්වාදීමට ගොස් සඟවා ඇති ආයුධ වලින් පොලීසියට පහරදීමට උත්සාහ කිරීමේදී පොලිස් වෙඩි පහරින් මියයාම යන අවාසනාවන්ත සිදුවීම් මාලාවට අලුතෙන්ම එකතුවූ ජවනිකාව තමයි මෑතක සිට පොලිස් රාලහාමිලාට (මේ රාලහාමි කියන වචනය වෙනුවට වෙන වචනයක් දාගන්න පොලීසිය කැමති නැද්ද?  'වල් අලි' - 'වන අලි' කළා වගේ) ලබාදුන් රිවෝල්වර භයානක ලෙස පත්තුවෙන්නට පටන්ගැනීම.

  ඊයේ පෙරේදා පස්යාල ප්‍රදේශයේදී පුද්ගලයකු මෙසේ පොලිස් වෙඩි පහරින් මියගියා. වෙඩිල්ල එල්ල කොට තිබුනේ මරණකරුට ඉතා ආසන්නව සිට. මරණකරු එවෙලේ නිරායුධව සිට තිබෙන්නේ, පොලීසිය කියනවා මරණකරු පැමිණි මෝටර් බයිසිකලය පොලිස් රාලහාමිලාව යටකරගෙන යන්න හැදුවලු. මෝටර් බයිසිකල් පදින ඕනෙම කෙනෙක් දන්නවා, මිනිසකු තියා බල්ලෙකු වුනත් හරියට බයිසිකලයේ වැදුනොත් බයිසිකලය පෙරලෙන බව. නැත්නම් සමබරතාව ගිලිහී, මොහොතකට හෝ කකුල බිම තබන්නට වෙන බව. මොටෝ ක්‍රොස් පදින ආකාරයට රාළහාමිලාගේ ඔලුවට උඩින් බයිසිකලය පන්නන්නත් බැහැ. රාලහාමිලාට තිබුනා අහකට පැනලා බයිසිකලයේ ටයර් වලට වෙඩි තියන්න. බයිසිකල් කාරයාගේ කකුලකට වෙඩි තියන්න, උරහිසකට වෙඩි තියන්න, එහෙම නොකළේ ඇයි?

   අද තවත් සිදුවීමක් වාර්තා වෙලා තිබුණා දිවුලපිටිය ප්‍රදේශයෙන්. ඒ ගැන වීඩියෝ වාර්තාවක් මා දුටුවා සිරස රූපවාහිනියේ. එහිදී එක රාලහාමි කෙනෙක් තම රිවෝල්වරය පුද්ගලයකුට එල්ල කරන බව පෙනෙනවා, පාරේ එක පැත්තක සිට. පාරේ අනික් පැත්තේ එක පුද්ගලයකු සෙමින් ගමන්කරනු දකින්න ලැබුණා. මියගියේ ඒ පුද්ගලයාදැයි මා දන්නේ නැහැ. මේ වෙලාවේ පාරේ වාහන තිබුණා. රාලහාමිගේ ඉලක්කය වැරදුනානම්  අර වාහනයක ගමන් කල කෙනෙකු මියයන්නට හෝ තුවාල වන්නට ඉඩ තිබුනා 100%ක් ම.


   මෙහෙම වෙන්නේ ඇයි? මෙන්න ඒ ගැන මගේ නිරීක්ෂණ සහ නිර්දේශ.


නිරීක්ෂණ.

  • පොලිස් රාළහාමිලාගේ අතට මේ රිවෝල්වර් ආවේ බොහොම මෑතකදී. රිවෝල්වර හෝ පිස්තෝල  පාවිච්චි කලේ උප පොලිස් පරීක්ෂක සහ ඊට ඉහළ නිළයන්හි නිළධාරීන්. ඔවුන්ටනම් මේ අවිය ගැන හොඳ පුහුණුවක් ලැබුණා. නමුත්, මේ තරමක් නුහුරු ආයුධය පරිහරණය ගැන නිසි පුහුණුවක් සහ උපදෙස් රාළහාමිලාට ලැබී නැති බව පෙනෙනවා. 

  • තමන් ආසා කරන ආයුධයක් ලැබුනම එයින් වැඩ අරන් බලන්න අපි කුඩා කාලේදී හරි ආසයිනේ. සමහර රාළහාමිලා මේ අවිය තියාගෙන ඉන්න විදිහ දැකලා දැනට මාස දෙකකට පෙර මට හිතුනා මෙයාලා කාක්කෙකුට හරි වෙඩි තියලා බලයි නිකම් ඉන්න ගමන් කියලා. නමුත් දෙයියනේ මෙයාලා වෙඩි තියලා තියෙන්නේ කාක්කන්ට නෙවෙයිනේ.

2
  • සමහර රාළහාමිලා, රිවෝල්වරය ගැන සමහර කරුණු දන්නේ නැහැ කියන එක, මට තහවුරු වුන අවස්ථාවක් මතකයි. දැනට මාසෙකට විතර උඩදී මම අපේ ප්‍රදේශයේ පොදු කටයුත්තක් සඳහා එක්තරා පොලිස් ස්ථානයකට ගියා. එහිදී, එහි සිටි මා දන්නා හඳුනන පොලිස් සැරයන් කෙනෙකුගෙන් මා ඇසුවා දැන් රිවෝල්වර තිබෙන නිසා ලොකු, බර, තුවක්කු උස්සාගෙන යන්න අවශ්‍ය නැහැ නේද කියා. 'අප්පේ ඔව්' ඔහු කට පුරා සිනාසෙමින් කිව්වා.  මම ඇහුවා, 'දන්නවද රිවෝල්වරයකින් වෙඩි තියපුවම තියන වැදගත්ම වාසිය මොකක්ද' කියලා. නමුත් ඒ ගැන නම් ඔහු කිසිවක් දැන සිටියේ නැහැ. (ඒ වාසිය තමයි පිස්තෝලයක මෙන් රිවෝල්වරයක උණ්ඩ වලට අදාළ හිස් කොපු, වෙඩි තියන තැන නොවැටීම. මොකද රිවොල්වරයේ තිබෙන පතරොම් සියල්ල වෙඩිතබා අවසන් වුනාට පස්සෙයි, වෙඩි තබන්නා විසින්ම ඒ හිස් කොපු එලියට ගන්නේ, නැවත පතරොම් පිරවීම සඳහා. එය ස්වයංක්‍රීයව සිදුවන්නේ නැහැ. ඒ නිසා අපරාධකරුවකුට පුළුවන් වෙඩි තබා පලායන්න, මොකකින්ද වෙඩි තැබුවේ යන්න සොයාගැනීමට තරමක් අපහසුවන ආකාරයට) මෙවැනි දැණුමක් නැතිව එවැනි අවි පරිහරණය කිරීම පාඩුවක් බව මට හැඟුණා.

  • පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා, අද දින දිවුලපිටියේ ඇතිවූ සිදුවීම අරබයා ප්‍රකාශ කළේ, මරණකරු, උල් ආයුධයකින්, පොලිස් නිළධාරීන්ට පහරදී මරාදැමීමට ඉඩ තිබුන නිසා, ඔහුට වෙඩි තැබීමට පොලිස් නිළධාරීන්ට සිදුවී ඇති බවයි. උල් ආයුධයක් අත ඇති තැනැත්තෙකු මෙල්ල කරන්නට, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට නොහැකි වුනත්, හිත හයිය තියන මැදිවියේ ගැමියන් දෙදෙනෙකුට වුනත් පුළුවන්, ගල් පාරවල් දෙක තුනකින් සහ පොලු කෙටියකින්, ඒ උල් ආයුධ කාරයා මෙල්ල කරන්න.


  • නිර්දේශ 


    • පොලීසිය හදන්න පටන්ගන්න ඕනේ ඉහළ සිට පහළටයි. ඒ නිසා පොලිස්පති වරයාට පුලුවන්නම් අවනීතියට එරෙහිව නැගීසිටින්නට, එතැන් සිට ඉදිරියට පොලීසිය ගෙනයාම මහා කජ්ජක් නෙවෙයි. 

    • පොලිස් සේවයේ පුහුණුව මූලික පුහුණුවට සීමා කර හරියන්නේ නැහැ. පොලිස් ස්ථානවල සති අන්තයෙදී පවත්වන පන්ති වලදී, අහවලුන්ගේ පෝස්ටර් ගහන්න නොදෙනු, අහවලාගේ වාහන නොඅල්ලනු,  අහවල් හෝටලය රේඩ් නොකරනු වැනි උපදෙස් දීමට වඩා, ඒ රාළහාමිලා හරක් බලන්න යැවීම යෙහෙකි. 

    • පොලිස් රාලහාමිලාට රිවෝල්වරයක් පරිහරණය කරන හැටි පුහුණු කලයුත්තේ ජීවිතයට එක වරක් නොවේ. අපේ රටේ දුප්පත්කම ගැන සලකා බැලුවොත් යටත්පිරිසෙයින් මාසයකට වරක් උණ්ඩ 10 ක් වත් ඉලක්කපතකට වෙඩි තබා තම පුහුණුව අලුත් කරගැනීමට පහසුකම් ලබාදිය යුතුය. එමෙන්ම අවිය ගැන ඉහළ තාක්ෂණික දැනුමක් දියයුතුය. 

    • ඔය දැන් පාවිච්චි කරන .38 රිවොල්වරයේ තියන පතරොම් හය ඉවර වුනොත් මොකද කරන්නේ සැකකරුට එකක්වත් නොවැදී? (1. හිටු කියලා දුවනවා පළාතෙවත් නොහිට. 2. අනේ මචං වෙඩි තිබ්බා නෙවයි නිකම්ම පත්තුවුනා කියලා සැකකරුට කියනවා. 3. උඹ මාර ලකී මචන් වරෙන් මාත් එක්ක බීඩියක් ගහන්න කියනවා. 4. යකෝ අපිට පව් නොදී පලයන්කෝ යන දිහාක කියලා දණගහලා වැඳලා කියනවා.) අමතර පතරොම් ගෙනයාමට හා විනාඩි කීපයක් ඇදීයන වෙඩි හුවමාරුවකදී නැවත පතරොම් පුරවාගැනීම විශේෂයෙන් පුහුණු කර තිබිය යුතුය.

    • ආයුධයක් තමන් අතේ නැතත්, පිහියක් වැනි ආයුධයක් අතේ ඇති තැනැත්තකු මෙල්ල කිරීම සඳහා අවශ්‍ය ආත්මාරක්ෂක සටන් ක්‍රම පොලීසියට අනිවාර්යයෙන් පුහුණු කරවිය යුතු අතර එවැනි අභ්‍යාස නිතිපතා පැවැත්විය යුතුය. (අපේ රටේ කැරලි මර්දන පොලීසිය දැන් දක්වන්නේ දුර්වල සටන් විලාසයක්. ලෝකයේ බොහොමයක් රටවල මිනිස්සු දන්නවා කැරලි මර්දන හමුදා සමග ගැටෙන හැටි. නුදුරු අනාගතයේදී ඒවා මෙහෙ අයත් ඉගෙනගනියි. එදාට මර්දනය කරන්නේ රතුපස්වලදී වගේ හමුදාව ලවා වෙඩි තැබීමෙන්ද? අපේ පොලිස් රාලහාමිලාගෙන් 1% කාටවත් ආත්මාරක්ෂක සටන් බැරි තත්වයකයි දැනට ඉන්නේ කියලා මට හිතෙනවා)

    • පොලිස් රාළහාමිලාගේ නිද්‍රාශීලීභාවය නැති කලයුතුයි. උදාසීනකම නැති කළ යුතුයි. ඔවුන්ට වගකීම් පැවරිය යුතුයි. 

    • 1police
      • නිල ඇඳුමෙන් සිටින පොලිස්කාරයා වැඳිය යුත්තේ පූජ්‍ය පක්ෂයේ අයට පමණයි. පොලිස්කාරයන්ගෙන් වැඳුම් පිදුම් බලාපොරොත්තු වන අය පූජක තනතුරකට යාම යෙහෙකි.

      3

      • අද බොහෝ පොලිස් රාළහාමිලා තම අවිය තියාගෙන ඉන්නේ හරිම විකට ස්වරූපයකින්. අවිය ගෙනයනවානම් ඒ සඳහා අවශ්‍ය අමතර පතරොම් සහ උපාංග රැගෙන යායුතුයි. තව රාළහාමිලා එක්කෙනෙක් දෙන්නෙක් උස්සගෙන ගිහින් මැරුවොත් තමයි මතක්වෙන්නේ, අඩේ..............අර පවුචස් ද, පූචස් ද, මොන හුචෑ.......ස් ද එක දාගෙන යන්න ඕනේ කියලා. ඒ නිසා, රාජකාරි සඳහා පිටත්ව යාමට පෙර, පොලිස් රාළහාමිලා නිසි පරිදි සන්නද්ධව සිටීද යන්න, වගකිවයුතු පොලිස් නිලධාරියකු විසින් සනාථ කරගත යුතුයි.


      • sri-lanka-police
  • පොලිස් නිලධාරීන් ගේ නිළ ඇඳුම ක්‍ෂේත්‍ර රාජකාරි සඳහා වෙනස් කිරීම සුදුසුය. ක්ෂේත්‍ර රාජකාරියේදී කැන්වස් බූට්ස් සහ බේස්බෝල් කැප් ආකාරයේ කැප් එකක් වඩාත් සුදුසුයි.

  කවදත් කොහෙදිත් කොතනත් සිදුවෙනවා වගේ පොලිස් පොඩ්ඩන්ගේ දුක නැතිකරන්න කවුරුවත් නැහැ. පොලිස්කාරයකුගේ හදවතට එබී බලන්න පුලුවන්නම් ඔහු ඉන්නෙත් සතුටෙන් නෙවෙයි කියලා පෙනෙනවා. 'කොස්තාපල් පුඤ්ඤසෝම' බලලා පොලිස් ලොක්කෝ හැදෙයි කියලා හිතන්න අමාරුයි. අපේ රටේ තියන දේශපාලන ක්‍රමය තුළ පොලීසිය තවදුරටත් පිරිහීම මිස දියුණුවක් ඇතිවන්නේ නැහැ. නමුත් කවුරුන් හෝ ඒ දේශපාලන විප්ලවය නොකලොත් තව කල් යනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, 'ලංකාව ගැන හොයන කොමිසම' යනුවෙන්, වෙනමම එකක් ස්ථිරව පත්කරන්න ඉඩ තියනවා. පොලීසිය ඇතුළේ අපමණ දූෂණ වංචා තිබෙන බව පොලීසියේම අය කියනවා. ඒවා එළියටත් එනවා. නමුත් ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර දකින්නට අහන්නට ලැබෙනවා බොහොම අඩුයි. පොලිස් ආඥාපනත අවශ්‍ය පරිදි සංශෝධනය කිරීම අතිශයින් ප්‍රමුඛස්ථානය ලැබිය යුතු කරුණක්. 


   පොලීසිය ගැන මහජනතාව හිතන ආකාරය වෙනස් කරන්න පටන්ගන්න ඕනේ දේශපාලකයෝ. ඔවුන් පොලීසිය අමු අමුවේ කන එක නැවත්වීම අත්‍යවශ්‍යයි.


6


   පොලීසිය තම ප්‍රවේණි දාසයන් ලෙස සිතා දේශපාලුවන් විසින් කටයුතු කිරීම නැවැත්තුවොත්, මහජනතාව පොලීසියට ලංවෙයි. පොලීසිය හරියටම අකුරටම නීතිය ඉටු කලොත්, මේ රටේ දියුණුව කොපමණ වේගවත් වනු ඇතිද යන්න නොදන්නා සේ සිටින දේශපාලුවන්, අතුගා දැමිය යුතුයි. 



5


   පොලීසිය ගැන මහජනතාව නරක විදිහට, වැරදි විදිහට හිතන්නේ බහුතර පොලිස් නිළධාරීන් පිරිසක් සාධාරණව රාජකාරිය ඉටුකරන අතර වැරදි කරන සුළුතර පිරිසක් ඉන්න නිසා කියා යමකු කියනවානම් මා එකඟ වන්නේ නැහැ. අද මුළු පොලිස් සේවයම එක්තරා ග්‍රහනයකට හසුව තිබෙනවා. ඒ නිසා පොලීසිය අචේතනිකව හා යාන්ත්‍රිකවයි ක්‍රියාකරන්නේ.පොලීසිය ගැන මහජනතාව නරක විදිහට, වැරදි විදිහට, හිතන්නේ, බහුතර පොලිස් නිළධාරීන් පිරිසක් සාධාරණව රාජකාරිය ඉටුකරන අතර, වැරදි කරන සුළුතර පිරිසක් ඉන්න නිසා කියා යමකු කියනවානම් මා එකඟ වන්නේ නැහැ. අද මුළු පොලිස් සේවයම එක්තරා ග්‍රහනයකට හසුව තිබෙනවා. ඒ නිසා පොලීසිය අචේතනිකව හා යාන්ත්‍රිකවයි ක්‍රියාකරන්නේ. ඒ හේතුව නිසාමයි අවනීතිය පිලිබඳ මහජන දෝෂාරෝපණ වැඩිවී තිබෙන්නේ. පොලිස් කාරයා අද ජෝකරයකු කර තිබෙන්නේ, දේශපාලුවන්ගේ වරදාන භුක්තිවිඳින ලොකු පොලිස්කාරයන් විසින්මයි. 


9


   හැබැයි ඉතින් මෙහෙම හිතන අයත් ඇති.


8
7

   


















     2014 ජූනි මස 25 වැනි දින 0013 පැය

74 comments :

  1. පොලොසිය ගැන කතා කරිම නීරස දෙයකි පොලොසිය ඇයන්ට මිනිස්සු එක්ක කතා කරන්න උගන්වන්න ඕන ඉස්සෙල්ලාම.කාකි ඇදුම දා ගත්තා කියලා හැමදෙම කරන්න බෑනේ,හොද නැතුවාම නෙවෙයි නරක වැඩි ..

    ReplyDelete
    Replies
    1. 'හොඳ නැතුවාම නෙවෙයි, නරක වැඩියි'

      ඒ කියමනට එකඟයි.

      Delete
  2. අර පොලිස් කාරයා වදින පින්තූරේ, උසාවි නියෝගයක් මත වැදලා සමාව ගන්න එකක්. නැතුව දුමින්ද සිල්වාට සැලුට් ගහන ජාතියේ එකක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. එහෙම වඳින්න සිදුවෙන තරමට ඒ නිලධාරියාගේ විනය පිරිහුනේ ඇයි?

      Delete
    2. ඔය සිවිල් ඇඳුමෙන් ඉන්නේ උසස් නිලධාරියෙක් පොලිසියේම. උසාවී නියෝග දෙනවාද යුනිෆෝම් එකෙන් ඉන්න කෙනෙකුට සිවිල් ඇඳුමෙන් ඉන්න කෙනෙකුට වඳින්න. කොච්චර සදාචාර සම්පන්නද.... අනිත් එක නීතියයි, වැඳිල්ලයි..ඒ දෙක කොහෙන්ද ගලපන්නේ..

      Delete
    3. ඇත්තටම අරු මමත් දන්නේ උසාවිය නියෝග කරන්නේ විවෘත අධිකරණය තුළ (at the open court) සිංහල ක්‍රමයට ආචාර කර සමාව ගන්න කියලයි. එවැනි නඩු තීන්දු මා පුවත්පත් වාර්තා වල දැක තිබෙනවා. නමුත් මෙහෙම දෙයක් දැක්කමයි. මමනම් දකින්නේ නැහැ මෙතන මානුෂිකත්වයක් තියනවා කියලා. සාධාරණත්වයක් තියනවා කියලා. වැරැද්දට දඬුවමක් වෙන්නේ නැහැ වැඳීම.

      Delete
    4. It is not true..ano...if it was so,,it should be done in the Court room....better you find the story.....that civil clad..man is a senior retired cop.

      Delete
  3. අනේ මන්දා.. පොලීසිය ගැනනම් මොනවා කියන්නවද කියලා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දැන්නම් කියන්න දෙයක් ඉතුරු වෙලා නැහැ.

      Delete
  4. ඔය ඉන්න හැටි මල්ලියි , නිවැරදි ක්‍රමය මල්ලියි දෙන්නම එක්කෙනෙක් වාගේ නේද

    ReplyDelete
    Replies
    1. උඹ දැක්කෙ ඒකද .....? හෙහ්...හෙහ්....

      Delete
    2. නිල ඇඳුමක් ඇන්දම බොහෝවිට දෙන්නා එක්කෙනා වෙලා පෙනෙනවා. මමනම් හිතන්නේ දෙන්නෙක්.

      Delete
  5. අපි මේව මෙහෙම කතා කලාට වැඩක් නැහැ විචාරක තුමණි .......
    ලංකාව සම්පුර්ණයෙන් දේශපාලන අත ගැසීම් නවත්වන්න ඕනා හැම තැනකටම .....

    ReplyDelete
    Replies
    1. මෙතැනින් හෝ කොතනින් හෝ ජනතාව තම පරමාධිපත්‍ය බලය පෙන්විය යුතුයි. මේ ඒ සඳහා කාලයයි.

      Delete
  6. කවුද අර උඩ දන ගහලා වඳින්නේ? :D

    ReplyDelete
    Replies
    1. පොලිස්කාරයෙක්, තවත් පොලිස්කාරයෙකුට.

      Delete
  7. මම දවසක් ජපානෙදි හයි ස්පීඩ් අහුවුනා වැස්ස වෙලාවක.
    පොලිස් කාරයා අමතර කුඩයකුත් අරන් මගේ කාරෙක ලඟට ඇවිත් ඔලුව පාත් කරලා ආචාර කරලා, මාව එයාගෙ කාර් එක ඇතුලට එක්ක ගිහින් දඩ කොලේ ලියල දීල ආයෙත් මාව කාරෙකට ගෙනත් ඇරල්ල ඔලුව පාත් කරල පරිස්සමෙන් යන්න කියල යන්න ගියා.
    මිනිස්සුන්ට වැදගත් විදියට සලකන එකත් ඉතාමත්ම ඉම්පෝටන්ට් කාරනයක්.
    නමුත් ඔබේ යෝජනාවල එය අඩංගු වෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. මා කතාකර තිබෙන්නේ සමස්තයයි. එහිදී එකින් එක කරුණු විශ්ලේෂණය කිරීමක් මා බලාපොරොත්තුවන්නේ නැහැ.

      Delete
  8. මම නම් හිතන්නේ මේක හොඳ ප්‍රවනතාවක්. දැන් ගහගන්න ඉස්සෙල්ලා, වලියක් ඇද ගන්න ඉස්සෙල්ලා, පොඩ්ඩක් වට පිට බලන්න ඕන, පේන තෙක් මානෙක සයිඩ් ආම් තියෙන කොස්සෙක් එහෙම ඉන්නවද කියලා. ඔය නානසාරලා උනත් ගේමක් ඇදගන්න කලින් දෙසරයක් හිතාවී. ඇයි වදේ වලියක් යයි කියා හිතලා, උන්වහන්සේට එරෙහිව අවම බලය යෙදුවොත් හෙම.

    ReplyDelete
    Replies
    1. යොදලා තිබ්බේ අවම 'බය' ඊයේ දළදා මාලිගාව ඉස්සරහපිටදී ඩී අයි ජී උන්නාන්සේ කෙනෙක්ම. නානසාරට එරෙහිව. ඔන්න උඹයි මමයි නුවර වැව රවුමේ පොඩි සොමියක් සඳහා පානයක් එහෙම කලානම් අපේ කර අඹනවා.

      Delete
    2. විචාරක තුමා... +++++++++++++++++++++++++++++

      Delete
  9. //""පොලිස්පති වරයාට පුලුවන්නම් අවනීතියට එරෙහිව නැගීසිටින්නට""// එහෙම පුළුවන් නම් ඉක්මනට ගෙදර යන්නත් පුළුවන්, මේ තියෙන ක්‍රමය යටතේ . අද වනවිට පොලිසිය ස්වාධීන නෑ, පොලිසිය ස්වාධීන කිරීමට පාලකයන්ට වුවමනාවකුත් නෑ. ස්වාධීන පොලිස් කොමිසමක් ඇති නොවන්නේ ඒ නිසයි . අවසානයේ සියල්ල තීරණය වන්නේ පාලකයන්ගේ අවංක භාවය මතයි .

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් විසඳුම තියෙන්නේ ජනතාව අතේ. ජනතාව විසින් සියල්ල උඩු යටිකුරු කලයුතුයි.

      Delete
  10. මාත් ඔය පාර ට්‍රැෆික් එකෙන් නැවැත්තුවොත් ඉස්සෙල්ලම අහන්නේ “ඔයා මට වෙඩි තියන්නෑ නේද“ කියලා

    ReplyDelete
    Replies
    1. උඹ අහන්න කලින් 'ටෝ ....න්' ගාලා දීලා ඉවරයි. මොකද එච්චර බයෙන් ඉන්නේ.

      Delete
    2. අර වෙඩි තියපු එකේ ආසන්න වීඩියෝවක් සිරසේ තිබුනා...

      Delete
    3. ඒ වුනාට අද පොලොස්...... හුටා පොලිස් පොර-කාසක තුමා කිව්වේ ඒ වීඩියෝව මේ සිද්ධිය ගැන මොකුත් කියන්න තරම් අදාළ නැහැ කියලා.

      Delete
  11. ආයුධයක් අතට දිය යුත්තේ නිසි පුහුණුවක් හා හික්මීමක් ලැබූවෛකුට පමණක් ය යන්න මගේ පිළිගැනුමයි. ලිපිය අගෙයි.

    ReplyDelete
    Replies
    1. අපි දෙන්න වගේ උන්ට...

      Delete
    2. අනේ පලයන් කෙන්ජි. මට දැනටමත් සැකයි උඹ පිස්තොලේ සවුත්තු කරගෙන ඇති කියලා. නේද නලීන්?

      @ නලීන්. ආයුධයක් අතට දෙන්න පෙර සිතා බැලියයුතු කරුණු බොහොමයි.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  12. ඔය මිනිස්සුන්ට ආයුධ දුන්නොත් අහිංසකයන්ට වෙඩි තියනවා.නොදුන්නොත් චණ්ඩි උස්සගෙන ගිහිං මරල දානවා.අනේ මන්දා විචාරක තුමා.

    ReplyDelete
    Replies
    1. එකයි හැලපෙ මම කියන්නේ මේක ඉහල සිට පහලට විසඳිය යුතු ප්‍රශ්නයක් කියලා.

      Delete
  13. අපමන දුක් කඳුලු මැද පොලිටික්කන් ගේ අමන අනකෙරීම වලට යටත්ව වුවද සමස්තයක් වශයෙන් ලන්කාවේ පොලිසිය මෙහෙමවත් රාජකාරි කිරීම ගැන මම නම් සතුටුයි..... මේ තත්වය වැඩි දියුනු කර ජනතාවට නියමාකාරයේ සේවයක් ලබාදීමට පොලිසිය උනන්දු විය යුතුයි.

    ReplyDelete
  14. Replies
    1. P.S
      පොලෝසියේ ඇතිවෙලා තියෙන් දුර්වල කං ඔලට මූලික හේතු දෙකක් තියෙනවා මට පේන හැටියට. එක, දේශපාලන අත පෙවීම්. දෙක පොලිස් රාළහාමිලාගෙ දුප්පත් කොම.

      Delete
    2. පොලිස්කාරයාගේ ඔලුව ඇතුලේ ආපහු තැන්පත් කරන්න ඕනේ 'මම පොලිස්කාරයෙක්මි' කියන හැඟීම.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  15. ඇයි මහත්තයො මුහුණ වැහැවේ , ඔය ට්‍රැපික් රාළහිමා වඳින්නේ අජන්ත මෙන්ඩිස් මැතිතුමාගේ මාමණ්ඩියාටනේ. ඒක පැහැදිලිව දාන්න එපැයි.කොයි තරම් අති උත්කර්ෂමත් අවස්ථාවක්ද පැන්ෂන් ගිහිල්ලත් වැඳුම් පිදුම් ලැබීමට වාසනාවන්ත හා බලවත් වීම ගැන. ඒ ගැන මගේ අති මේව්වා එක පිළිගන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට කියන්න අවශ්යවුනේ නිල ඇඳුම ඇඳගෙන පූජ්‍ය පක්ෂයට මිසක් වෙන අයට වඳින්න එපා කියන එකයි.

      Delete
  16. සුදීකගේ ඇවිද්ද පය බ්ලොගයේ පොලිසියේ පිස්තෝල භාවිතය ගැන මාත් ඇනෝ කොමෙන්ටුවක් පලකලා.උප පොලිස් පරීක්ෂක වරුන්ට අමතරව ප්‍රභූ ආරක්ෂක සේවයේ කොස්තාපල් වරුන්ටත් පිස්තෝල පුහුණුව දෙනවා.මගේ දැනුමේ හැටියට පැති අවි සහිතව රාජකාරියේ නිරතව සිටින ඇති බහුතර පොලිස් නිලදාරින්ට එම අවි සම්බන්දව දැනගෙන සිටිය යුතු තාක්ෂණික දැනුම සහ ආචාර ධර්ම පිලිබඳ කිසිම අවබෝදයක් නැති බව පෙනෙනවා.මෙම ගිනි අවි භාවිතය සම්බන්දව අඩුම තරමෙ දෙසතියක වත් පුහුණුවක් පොලිස් නිලදාරින්ට ලබා දෙන්නේ නම් ඉතා වැදගත් වෙනවා.ඇත්තෙන්ම පිස්තෝල වෙඩික්කරුවෙකු විසින් ඉගෙන ගතයුතු බොහොදේවල් තිබෙනවා.වෙඩි තැබීමකදී වේගවත්ව ශරීරය හැසිරවීම මෙන්ම මෙම අවි සම්බන්දව පිලිපදියයුතු ආචාර ධර්ම සහ සිරිත්විරිත් තියෙනවා.සමුරායි සටන්කරුවන් තමන්ගේ කඩුව නිකරුනේ කොපුවෙන් පිටතට අදින්නේ නැතිවා සේම පිස්තෝලද නිකරුනේ විනෝදයට අතේ තබාගෙන සිටින සිරිතක් නැහැ.ඒවගේම සාමන්‍ය රාජකාරී වලදී පිස්තෝලය ක්‍රියාකාරී තත්වයේ තබාගන්නෙත් නැහැ.අවිය භාවිතා කරන්නාගේ ආරක්ෂාවත් ඉන් සැලසෙනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔබ මෙහි සඳහන්කර ඇති කරුණු සවිස්තරව දැක්වීමට වෙනම ලිපි කීපයක් ලිවීමට තරම් කරුණු තිබෙනවා. මෙවැනි අවි භාවිත කිරීම සති දෙකක පුහුණුවකට සීමා කොට අවසන් කල නොහැකි බවයි මගේ හැඟීම. ඒ නිසයි මම කිව්වේ යටත්පිරිසෙයින් මසකට වරක්වත් උණ්ඩ 10 ක් වත් ඉලක්කපතකට වෙඩි තැබීමට අවස්ථාව දියයුතු බව. එමෙන්ම අවශ්‍ය අවම ශාරීරික යෝග්‍යතාව නැති අයගේ අතට මෙවැනි අවි දීමෙන් අනාගතයේදීත් මෙවැනි ප්‍රශ්න ඇතිවනු සිකුරුයි.

      cock & lock ක්‍රමයට පිස්තෝලයක් හෝ රිවෝල්වරයක් සූදානම්ව තබාගැනීම මුලින්ම පොලිස් විශේෂ කාර්ය බලකායට ඉගැන්නුවේ ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ පුත් රවී ජයවර්ධන මහතා. ඒ ක්‍රමය සාර්ථකයි. නමුත් ඒ පුහුණුව මසකට වරක්වත් අත්හදා බැලිය යුතුයි.පිස්තෝල හෝ රිවෝල්වර දරන පොලිස් නිලධාරීන් සිටින බොහොමයක් රටවල පොලිස් ස්ථානයේම ගෘහ අභ්‍යන්තර වෙඩිපිටි තිබෙනවා. අපේ රටේ පොලීසි 10 කට එකකවත් එහෙම හදාගන්න පුලුවන්නම් හොඳයි.

      Delete
    2. විචාරක මහත්මයා! cock & lock ක්‍රමය ප්‍රභූ ආරක්ෂකයන්ට ඉතාමත් ප්‍රයෝජනවත් ඇති.නමුත් සාමාන්‍ය රාජකාරී කටයුතු සඳහා එතරම් වැදගත් නැහැ කියලයි මට සිතෙන්නේ.මන්දයත් පිස්තෝලයක් ක්ෂණිකව වෙඩිතැබීමේ තත්වයට ගැනීමට හැකි නිසා.අනිත් අතට රළු පරළු බ්‍රවුනින් පිස්තෝලවල ආරක්‍ෂිත අගුල ඇඟිලි වලින් ක්‍රියාත්මක කරන්නත් සෑහෙන්න අමාරුයි.ඊට පහසුයි ක්ෂණිකව අවිය ඒ මොහොතේ cock කිරීම.විචාරක මහත්මයා! ඔබට හැකිනම් ගිනි අවි සම්බන්ද ආචාර ධර්ම ගැන ලිපියක් පලකරන්න.අපි හැමෝටම වැදගත් වේවි

      Delete
    3. මා හිතනවා අපි මේ සංවාදය මෙතන කිරීම සුදුසු මදි කියා. බ්‍රවුනින් පිස්තෝලයේ safety catch එක පහසුවෙන් වැටෙන ආකාරයට හදන්න පුළුවන්. රටින් එනකොට එය factory fitted තත්වයේ එන්නේ. එය අපට අවශ්‍ය පහසුවෙන් වැටෙන විදිහට සහ ආරක්ෂිතව ක්‍රියාකරන ලෙස හදන්න පුළුවන්.

      ඔබ කියන ආකාරයේ ලිපියක් සහ පිස්තෝල පරිහරණය කන ලිපියක් ලියන්නම්.

      Delete
  17. ඔය කේස් එක දිගට ඇදිලා ගියොත් ස්වාධීන කොමිසමක් පත් කරනවා ඕකට විසඳුම් ගේන්ඩ.අන්න ඒ පත් කිරීමට නියමිත කොමිසමේ අවසන් යෝජනාව මම මේ කළිංම කියන්ඩයි හදන්නේ ඕං ඈ

    -මෝටර් බයිසිකල් පදවන්නන් සඳහා වෙඩි නොවදින ඇඳුමක් අනිවාර්ය කිරීම.(එතකොට නාමල් බේබි කොම්පැණියක් දාලා වෙඩි නොවදින ඇඳුම් ගෙන්නන එක පටං ගන්නවා)

    ReplyDelete
    Replies
    1. හිහ් හී...........අම්මපා එකනම් ඇත්ත. ඔය කොමිසමේ නම හදිසියේ පත්තුවෙන පිස්තෝල පිලිබඳ කොමිසමද? :e

      Delete
  18. මීට පස්සේ පාරේ යන්න වෙන්නේ බොඩි ආමර් ඇඳගෙන ගල් තොප්පි දාගෙනයි.

    ReplyDelete
    Replies
    1. එතකොට අර .50 වගේ බර මැෂින් තුවක්කු ගෙනත් තියාගනියිද දන්නේ නෑ පාර අයිනේම හයිකරලා.

      Delete
  19. Replies
    1. ඇත්තටම ඒ කතාව අපි කාටත් සාධාරණයි නේද? අම්මලා තාත්තලා ආදර්ශවත්ව හිටියොත්නේ ළමයි වුනත් යහමගට යන්නේ.

      Delete
  20. අන්ත භයානකයි මේ වැඩේ.

    ReplyDelete
    Replies
    1. වඳුරට දැලිපිහිය දුන්නා වගේ කියලා කිව්වොත් සැර වැඩිද මන්දා.

      Delete
  21. සැහ්!! අර වැඳුම් ලබන ජූජකයගේ මූණු පොඩ්ඩ බලාගන්න තිබ්බනම්....

    මං හිතන්නෙ නෑ මේ තියෙන ක්‍රමය වෙනස වෙලා යනකල් පොලීසිය විතරක් නෙවෙයි ලංකාවෙ තියෙන වෙන කිසිම ආයතනයක් හැදෙයි ලියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝෂ්, මේ ක්‍රමය තමයි සහමුලින්ම වෙනස් කලයුතු වන්නේ. ඒ තුල මිනිසුන්ගේ මොළ සේදීමකුත් කරන්න වෙනවා.

      Delete
  22. // පොලීසිය අචේතනිකව හා යාන්ත්‍රිකවයි ක්‍රියාකරන්නේ//

    පොලීසිය අචේතනිකව ක්‍රියා කරනවා කියන එක නම් පිළිගන්න පුළුවන්. එත් යාන්ත්‍රිකයි කියන එක නම් මට පිළිගන්න අමාරුයි.ඕනෑම යන්ත්‍රයකට කරන්න ඕන යම් වැඩ කොටසක් තියෙනවා. target එකක් තියෙනව. එත් පොලීසියට target එකක් නෑ(පිස්තොලෙටත් එච්චර තමා). තමන්ගේ ජොබ් එක වත් හරියට කරගන්න බෑ.

    විචාරක ගේ විචාරය් නම් බොහොම කාලෝචිතයි.
    ඉස්සර කොටි වෙඩි තියයි කියල අපිට පාරේ බැහැල යන්න බයයි.
    දැන් පොලීසිය වෙඩි තියයි කියල පාරේ බැහැල යන්න බයයි.

    මේ විදියට ගියොත් ඉක්මනටම මේ රට ආශ්චර්ය කෙසේ වෙතත් ආසියාවේ චිකාගෝ ව වෙයි කියල තමයි කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අම්මපා යාන්ත්‍රිකයි කියන එක යන්ත්‍ර වලට කරන නිගාවක්ද මන්දා.

      දැන් තමයි කාලය මිනිසුන් විසින් මිනිස්කම සහිතව රට නැවත ගොඩනැගීම පටන්ගතයුතු.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  23. නිසි පුහුනුවක් නිරන්තර අලුත් කිරිමක් නැතුව දුන්නොත් ඉතින් වදුරට දැලිපිහිය දුන්නම තමයි

    ReplyDelete
    Replies
    1. විශේෂයෙන් අවි පුහුණුව නිතර අලුත් කරගතයුතු දැනුමක්. ඔබ දන්නවද හමුදාවේ නම් විවේකයක් ලැබුන කාලෙක/අවි සම්බන්ධ වැරැද්දක් කල අවස්ථාවක/කාලීන ක්‍රියාවක් ලෙස/ අවි පුහුණුව කරනවා.

      Delete
  24. රටක නීතිය ආරක්ශා කරන්න ඕන ආයතන මේ විදියට හැසිරෙද්දි එහි මහජනයා ගැන කිනම් කතාද?

    ReplyDelete
    Replies
    1. මහජනතාව නීතිය අතට ගන්නේ මෙවැනි දේවල් සිදුවන නිසා. අවසාන ප්‍රතිඵලය නීතිය වල් වැදීම.

      Delete
  25. කාලෝචිතයි පරිපූර්ණයි... ස්තූතියි විචාරක මහත්තයා,

    පොලිස් කාරයන්ට ටාගට් ප්‍රැක්ටිස් එකට, මාසෙකට සැරයක් කොක්කු තුන්දෙනෙක් වෙඩිතියන්න සැළැස්වීමත් හොඳ අදහසක් නේද?

    ReplyDelete
    Replies
    1. ඇගයීම ගැන ස්තුතියි.

      වෙඩිතියන්න දෙන්නේ පරණ එවුන්ටද නැත්නම් පාලම් උඩ ඉන්න එවුන්ටද?

      Delete
  26. ලිපිය නම් හරිම වැදගත් විචාරක.

    ඇත්තට ම පොලීසියේ පහළ නිලධාරීන් විසින් මෑත කාලයේ සිදු කළ අමානුෂික ක්‍රියා නිසා පොලීසියට රට පුරා ඇති පදම් බනින බව නිතර ඇහෙනවා. මේක ආරක්ෂක අංශ සම්බන්ධයෙන් ද පරිවර්ථනය වන විට පොඩි දුකක් දැනෙනවා. ඔබට එය හොදින් ම දැනෙනවා ඇති. ඒත් විචාරක මේ සිදුවීම් නම් අනුමත කරන්න බෑ. ඔබ කියනවා වගේ පූචස් (පෞච්) දාන්නැතුව ටී.56 නිතර ගෙන යන කොයි තරම් නම් පොලිස්නිලධාරීන් ඉන්නවාද? ඔවුන් නිවැරදි පුහුණුවක් තිබුණා නම් කවදාවත් මේ දේ කරන්නේ නෑ. ඉතින් මහජනතාවට මෙතරම් සමීප පොලීසියට ඔලමොට්ටල විදිහට අවි භාවිතා කරන්න දීම කොයි තරම් වරදක්ද?

    රටක හමුදාව කියන්නේ රටේ ආරක්ෂාවට ඉන්න පිරිසක්. ඔවුන් යමකට යන්නේ රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වුණාම. නමුත් පොලීසිය එහෙම නෙමෙයි. ඔවුන් නීතිය ක්‍රියාත්මක කිරීමට සහ සාමය රැකීමට. ඒ කියන්නේ නිතරම රටේ පුරවැසියන් එක්ක. ඉතින් මේ ගැන මීට වඩා හිතන්න ඕනේ නේද? ඇත්තට ම හමුදාවේ සෙබලුන් අවිය පරිහරණය කිරීමේ දී කොයිතරම් පරීක්ෂාකාරී වෙනවාද? නමුත් මොවුන්??????

    ReplyDelete
    Replies
    1. පොලීසිය කොයිතරම් මහජනතාවට සමීප වියයුතුද? නමුත් මිනිස්සු පොලිස් ස්ථානයකින් පොලිස් සහතිකයක් ලබාගැනීම වැනි කටයුත්තකට පවා ගියාම කියන්නේ සහතිකය ලියාදෙන්න කඩදාසියත් ගෙනත් දෙන්න කියලා. (හැම පොලීසියකම නෙවෙයි) අදටත් බොහෝ ප්‍රදේශවල ව්‍යාපාරික ජනතාව, සුබසාධක සංගම්, ක්‍රියාත්මකවී පොලීසියට විවිධ ද්‍රව්‍ය, කාර්යාලයීය උපකරණ පරිත්‍යාග කරනවා. නමුත් මිනිස්සු කියන්නේ කවදාවත් පොලිස් කාරයෙක් විශ්වාස කරන්න එපා කියලා. මේවා පොලීසිය නොදන්නවා නෙවෙයි. ලැජ්ජා නැතිකම සාමාන්‍යකරණය වුනාම එය ප්‍රතිපත්තිය බවට පත්වෙනවා.

      අවි ආයුධ පරිහරණයේදී තිබියයුතු විනය, අන් කවරකටත් වඩා ඉහල මට්ටමක තිබිය යුතු බව, නොදන්නා ලෙස ක්‍රියාකිරීම, අනිවාර්යයෙන්ම අපරාධයක්.

      ස්තුතියි ඔබේ දීර්ඝ අදහස් දැක්වීමට.

      Delete
  27. දිවුලපිටියේදී අමන පොලීස් නිලධාරියෙක් වෙඩි තියන ලද සිද්ධිය එක්තරා වාහනයක Accident cam එකක සටහන්ව තිබේ. ඔබ එය දුටුවාද.
    මෙන්න යොමුව.

    http://newsfirst.lk/english/2014/06/moments-fatal-shooting-police-killed-man-divulapitya-exclusive-ureporter-video/41466

    අවම බලය භාවිත කිරීම යනු, සැකකරු යොදන බලයට සමාන බලයක් යෙදවීමයි.
    වල් වැදුන, පොලීසියකින් එවැනි තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිද?

    ReplyDelete
    Replies
    1. පොලිස් මාධ්‍ය ප්‍රකාශකනම් කියන්නේ මෙම විඩියෝ සටහනට පසුවයි වෙඩි තිබ්බේ කියලා.

      තමාම ගස් බැඳගන්න සමෘද්ධි නියාවකලා ඉන්න,
      තමාම තමාට පහර දී ගන්න මේජර්ල්ලා ඉන්න,
      තමාම තමන්ට ගහ ගන්න භීක්ෂූන් සිටින,
      මට මතක නැති රෝගීන් සිටියදී,
      මෙම මිය ගිය අයත් ජීවත් වූවානම්, ඔහු බලහත්කාරයෙන් පිස්තෝලය උදුරා තමාටම වෙඩි තබා ගත් බව පැපසූවත් පුදුම නොවෙමි!

      Delete
    2. https://www.youtube.com/watch?v=gqWAzDbfxbQ

      ඔව් නිර්මලා ඔබ කියන මේ වීඩියෝව ගැන තමා මේ ලිපියේ මුලදී මමත් සඳහන් කර තිබෙන්නේ . බොහොම ස්තුතියි එයට සබැඳියාවක් ලබාදුන්නාට. මෙන්න මේ අවාසනාවන්ත කාලකන්ණි තත්වය තමයි අපි පොලිස් නිලධාරීන් තුලින් නැති කරගතයුත්තේ.

      හරියටම හරි ඔයා. ඊළඟට කියන්නේ පිස්තෝලය උදුරාගෙන තමන්ම වෙඩි තියාගත්තා කියලා. අනේ මෙව්වා අහන්ඩ දකින්ඩ අපි කොච්චර පව් කරලා ඇද්ද?

      Delete
    3. මේ වීඩියෝ එක මම මෙතනට දැම්මේ ඔයාගේ උදව්වෙන්. ඔයාටත් දාන්න තිබුනා. කරන්නේ මෙහෙමයි. වීඩියෝ එක උඩ රයිට් ක්ලික් කරන්න. get video url කියන එක ක්ලික් කරන්න. එවිට නිල්පාට තීරුවක පෙනවනවා ඒ වීඩියෝ යූ ආර් එල් එක. එයමත නැවත රයිට් ක්ලික් කරලා copy කරගෙන ඔබේ කමෙන්ට් එකට ඇවිත්, නැවත රයිට් ක්ලික් කරලා paste කරන්න.

      Delete
  28. පොලීසිය මේ තරම් විහිළුකාර තත්වයකට පත්වෙලා නැතුව ඇති දන්න කාලෙක. කවදාවත් මේ අවමානයන්ගෙන් ගැලවෙන්න බැහැ. පොලිසියට නියමිත රාජකාරිය කරගන්න නිසි උපදෙස් නැහැ. අනවශ්‍ය රාජකාරි කරන්න නම් ඕන තරම් උපදෙස්. අද පොලො මාධ්‍ය කොට්ටෝරුවාගේ රාජකාරියෙන්ම ඒක පේනවානේ.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ අරු. දැන් අපි 'ස්වාසිලන්තය' තරමට දියුණුයි කියලයි මට හිතෙන්නේ. :e

      පොලීසිය දැන් හදන්න පරක්කු වැඩියි. ඉස්සෙල්ලා r

      Delete
    2. ඉස්සෙල්ලා රට හදලා ඊට පස්සේ තමයි පොලීසිය හදන්න වෙන්නේ.

      Delete
  29. ඔය රිලාහාමිලාට නිසි පුහුනුවක් දුන්නොත් වෙඩි වැදිලා මැරෙන මිනිස්සු ගණන වැඩිවෙන එක විතරයි වෙන්නේ. ඔකුන්ගේ චන්ඩි කම් නැතිබැරි දුප්පත් පොඩි මිනිස්සුන්ට විතරයි. බී.එම් ඩබ්ලිව් ,බෙන්ස් ,වලින් බැහැල ඇවිත් ඔකුන්ගේ බෙල්ලෙන් අල්ලලා කනටත් ගහල යනකොට කලිසමේ හුජ්ජකරගෙන සීරුවෙන් ඉන්නවා තුවක්කුත් තියාගෙන. තුවක්කු දෙන්න කලින් ඕකුන්ගේ මැටි ඔලුවලට මොලේ පොඩ්ඩක් ඇතුල්කරන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. එක අතකට මේ මිනිස්සුන්ට බනින එකේ තේරුමක් නෑ කියලත් හිතෙනවා. මේ මිනිස්සු මේ තත්වයට පත්කළ මහ එවුන්ව තමා අල්ලගන්න ඕනේ.

      Delete
  30. අනගි අදහස් ගොන්නක් . :) ඔයා ටික වෙනස් කරන්න පුළුවන් නම් ලංකාව මිහිබට සුරපුරයක් වේවි . සැබෑ වෙනසක් කරන්නට කාටද පුළුවන් ? ඔබට ජය පතමි ( වෙනසක් මිනිසුන්ට ඕනි . කවුද එ ගැන මුකුත් කරන්නේ ? ඉතින් මෙවන් පොස්ටුවක් ලිවිම අප පසසන්න ඕනි

    ReplyDelete
  31. වෙනසක් කරන්න පුළුවන්. ඉහල සිට පහලට තමයි වෙනස කරන්න පටන්ගන්න ඕනේ. පොලීසිය නරක නැහැ. පොලීසිය දේසපාලුවන්ගේ ග්‍රහණයෙන් මිදුනොත් සියල්ල සාධාරණව සිදුවෙයි.

    පොලිස් කොමිසම පඹයෙක් වුනොත් වැඩක් නැහැ.

    මදෑ ඔයා මේ පරණ ලිපියක් කියවන්න අවා. බොහොම ස්තුතියි.

    ReplyDelete
  32. පොලිසිය ගැන හොඳ ලිපියක්. මේවා පොලිස් ලොක්කන්ට, දේශපාලුවන්ට සහ අදාළ බලධාරීන්ට දකින්න ලැබෙනවා නම් හොඳයි.

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }