හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

27 September 2014

දඩයක්කාරයා සහ ධවල හස්ථියා - වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ කෙටිකතාවක්

Elephant River
  වනයේ සැරිසරන ධවල ඇතෙකු පිලිබඳ ප්‍රලාපය දඩයක්කාරයාගේ කණටද වැටුණු නමුත්, ඔහු එය මායිමකටවත් ගත්තේ නැත. දඩයක්කාරයා වනයේ සෑම අස්සක් මුල්ලක් නෑර කරක් ගසා තිබේ. අලින් සිටින ගල්තලායාය, බෙරලියවැව, ආදී පෙදෙස් ඔහු හොඳින් දනියි. වනයේ සිටින අලි ඇතුන් පවා ඔහු දන්නේය. අලි රංචුවේ නායකයා සද්ධන්ත ගෝමර ඇතෙකි. කන් කබරයා තනිව වනයේ සැරිසරන්නෙකි. සමහරක් විට ඔහුට තුන්පත් රෑන් හමුවි තිබේ. එහෙත් ධවල ඇතෙකු මේ හිමයේ සිටිනවා කීම සිතා ගැනීමටවත් අපහසුය.

වනයේ සැරිසරන ධවල ඇතෙකු පිලිබඳ කටකතාව මුලින්ම ගම්මානයේ පැතුරුනේ බෙරලියවැවට දිය නෑමට ගිය ඉතිරියක මගිනි. සාමාන්‍යයෙන් ගම්මු දිය නෑවේ සහ බීමට වතුර ගත්තේ, ගම්මානයට නොදුරු කොලොන් වැවෙනි. කිඹුලන්ගෙන් පවා ගහන බෙරලියවැවට දිය නෑමට යාමට, ගම්මු බිය ගත්තෝය. එහෙත් බෙරලියවැවේ වතුර සිහිල් මෙන්ම පිරිසුදුය. එම නිසා ඉඳහිට ගම්මු කාන්ඩ ගැසී බෙරලියවැවට දිය නෑමට ගියහ. එහෙත් ඔවුන් කිඹුලන් පිලිබඳව නිතරම සුපරීක්‍ෂාකාරී වූහ. දඩයක්කාරයා නම් සතියකට දෙකකට වරක් රාත්‍රියට බෙරලියවැවට යයි. ඔහු වැව අසල කුඹුක් ගසකට නැග වැවට දිය බීමට එන ගෝනෙකු, මුවෙකු හෝ වල් ඌරෙකු එළාගනියි.

   ධවල හස්ථියා පිලිබඳ ප්‍රලාපය පමණක් නොව, ඉතිරිය බෙරලියවැවට දිය නෑමට ගිය හේතුවද, ගම්මුන් ගේ කතාබහට ලක්වූහ. මේ තරුණ ගම්බද ගැහැණිය විවාහකය. පුරුෂයා යාබද ගමක තල හේනක් කෙටීමට ගිය අවස්ථාවක් බලා, ඇය සොර සැමියා මුණ ගැසීම සඳහා දවස් භාගයක් පමණ පයින් මහ කැළය හරහා බෙරලියවැවට ගියාය. ඇය පිටත් වූයේ හිරු පෑයීමටත් පෙර අළුයම් කාලයේය. ගෙදර සදාගත් අග්ගලා මල්ලක් අතැතිව සොර සැමියා සොයා ගිය ඇය, දහවල් කාලයේදී බෙරලිය වැවට ලඟා වූවාය. ඇය එනතෙක් පෙම්වතා බෙරලිය වැව මහා නුගය අසල අලසව වැතිර සිටියේය.

   එදින උෂ්ණාධික දිනයකි. ඔවුන් දෙදෙනා සතුටින් දිය නෑහ. අණතුරුව අග්ගලා මල්ල ලිහා දිවා ආහාරය ගත්හ. පෙම්වතා ඇයට පළතුරු පැසක් ගෙනවිත් තිබුණි. පැසේ දිව පිනා යන රසැති පළතුරු තිබිණි. දිවා ආහාරයෙන් පසු දෙදෙනා මහා නුගය යට තණකොල බිස්සේ වැතිරී ලෝකාස්වාද රතියේ යෙදුනහ. ඉර අවරට ගියද ඔවුන් ගේ ආශාවන් ඌන නොවුයේය. ඔවුන් පැය ගණනාවක් එකිනෙකා සමග තදින් වෙලී දෛහික ආශාවන් සංතර්පණය කර ගැනීමේ වෑයමක යෙදුනහ.

   පෙම්වතුන් දෙදෙනාගේ කායික මානසික ඒකාග්‍රතාව කැඩී ගියේ නොසිතූ ලෙසිනි. මහා කුංචනාදයක් සමග, පොළව හෙල්ලී යන බවක් ඔවුනට දැනුනි. නිරුවතින් බිම වැතිරී සිටි මිනිසා හා ගැහැණිය අසළින්, මහා වෘක්‍ෂයක් මෙන් උසැති සද්ධන්ත ධවල ඇතෙකු ගමන් කළේය. සඳ එළියට හස්ථියාගේ සුදු පැහැති නිකලැල් චර්මයද විශාල රන් පැහැති දළ දෙකද හොඳින් දැක ගැනීමට හැකි විය.

   ධවල ඇතා දැකීමෙන් දෙදෙනා බිය ගත් හ. මිනිසා එක් පසකට දිවූ අතර නිරුවත් ගැහැණිය තවත් පසකට දිව ගියාය. මේ නයින් දෙදෙනා මහා වනයේ අතරමං වූහ. බොහෝ වේලාවක් වනයේ ඒ මේ අත දිව යමින් පෙම්වතාගේ නම කියමින් කෑ ගැසූ ඇය, මධ්‍යම රාත්‍රිය වෙත්ම බියෙන් තැති ගත්තාය. අවසානයේදී පෙම්වතා ගැන අමතක කල ගැහැණිය, යළි ගම්මානයට යාම සඳහා අසීරුවෙන් පාර සොයා ගත්තාය.

   ඇය ගමට එන විට පසුදින දහවල්වී තිබුණි. ගම්මානය පෙනෙන තෙක් මානයට පැමිණි ඇය මහ හඞින් හූවක් තියා විසඥ වූවාය.අසල හේනක සිටි පිරිසක් ඇයගේ හූව අසා තැතිගත් විලසින් දිව ආහ. අතපය සීරී හරිහැටි සිහියක් නොමැතිව නිරුවතින් සිටි ගැහැනියව ගමේ යකැදුරා ලඟට වත්තම් කරගෙන යන ලදි. වරු දෙකකට පසු ඇයට සිහිය එන ලදින්, ඉතිරිය, පෙම්වතා ගැන කරුණු සඟවා, ධවල ඇතා පිළිබඳව කතාව ගම්මුන්ට කීවාය.

   ධවල ඇතා පිලිබඳ පුවත් ඇසූ ගම්මු, මුලින් විස්මයටත් පසුව කුතුහලයටත් පත් වූහ. ගමේ හැඩි දැඩි තරුණයන් පිරිසක් පසුදින ධවල ඇතා සොයනු වස් බෙරලියවැවට ගියහ. පුරා දින තුනක් පුරා මහ වනය පීරා සොයා බැලුවද, ධවල ඇතෙකුගේ සෙවනැල්ලක්වත් පවා දැකීමට ඔවුන් අපොහොසත් වූහ. මේ නිසා අධෛර්ය වූ කණ්ඩායමේ කොටසක්, මේ පුවත ගැහැණිය විසින් කියූ බොරුවක් බවට තර්ක කලහ. සමහරෙක්, ගැහැණිය දැක ඇත්තේ මහසෝන් පිල්ලියක් බව කීහ. අවසානයේදී කණ්ඩායමේ ඒකමතික තීරණය අනුව, ඔවුන් අසාර්ථක වූ කර්තව්‍යය අත් හැර දමා, යළි ගම්මානය කරා ආහ.

   සති කීපයක් ගත විය. ගම්මුන්ට ධවල ඇතා පිලිබඳ ප්‍රලාපය අමතක විය. ගැහැණිය, සොර සැමියා නොමැති වීමේ සාංකාව සඟවා, යළි පැමිණි සැමියා පිළිගෙන ඔහුට උවටැන් කළාය. එහෙත්, සොර සැමියා මෙන්ම ධවල හස්ථියා පිලිබඳ මතකය, ඇයට අමතක කරනු නොහැකි විය.

පෝයවල් දෙකක් ගත විය. දිනක් ගැමියෙක් මීයක් කෙටීම සඳහා බෙරලියවැව ආසන්නයට ගියේය. ඔහු මාර ගසකට නැග මීය කොටන විට පොලව හෙල්ලී ගියේය. මාර ගසද කුණාටුවකට අසු වූ තණපතක් මෙන් දෙපසට වැනෙන්නට විය. ගැමියා මාර ගස තදින් බදාගත් නමුත් මී පැණි පුරවා ඉණට ගැටගසා තිබූ ලබු කැටය බිමට වැටුනි. බිමට වැටුණු ලබු කැටය දෙස බැලූ ගැමියා ගේ නෙත් අදහා ගත නොහැකි විය. මාර ගස යටින් පර්වතයක් සේ උසැති ධවල ඇතෙක් ගමන් කරමින් සිටියේය. විශ්මයටත් බියටත් පත් වූ ගැමියා, මාර ගසේ ඉහළටම බඩ ගෑවේය.

   සවස් වන තෙක් මාරගසේ අත්තක් උඩ ඉඳි ගැමියා හොඳින් වටපිට බලා ගසින් බැස්සේය. ඉක්බිති ලබු කැටයද අමතක කොට ගම්මනයට දිව ගියේය. ඔහුගේ බස් ඇසූ ගම්මු, යළිත් වරක් විස්මයටත් ආකූලතාවටත් පත් වූහ. එදිනම කණ්ඩායමක්, හුළු අතු පන්දම් බැඳගෙන ධවල ඇතා සොයා වනගත වූහ. පුරා දෙදිනක් ඔවුන් වනයේ කරක් ගැසූ නමුත් ධවල ඇතා පිලිබඳව හෝඩුවාවක්වත් සොයා ගැනීමට නොහැකිව හිස් අතින් යළි පැමිණියහ.

   ධවල ඇතා පිළිබඳව කතිකාව ලැව් ගින්නක් සේ පැතිරෙද්දී, ගමේ විදානේ, දඩයක්කාරයා සොයා පැමිණියේය. විදානේ ධවල ඇතා ගැන බොහෝ දේවල් කියූ නමුත්, දඩයක්කාරයා ඒවාට කන් දුන්නේ උදාසීන බවකිනි. ධවල ඇතෙකු වන සාවියේ නොමැති බව, දඩයක්කාරයා පුන පුනා විදානේට කී නමුදු, ඉන් පලක් නොවීය. කෙසේ හෝ ධවල ඇතා අල්ලා ගතහොත් උගේ දළ හොඳ මිළකට විකිණිය හැකි බව විදානේ දඩයක්කාරයාට කීවේය. එහෙත් දඩයක්කාරයා කිසිවක් කීවේ නැත.

   දඩයක්කාරයාගේ උදාසීන බවින් කෝපයට පත් වූ විදානේ, මිනිසුන් පස් දෙනෙකුට පයිණ්ඩ යවා, ඔවුන් ගෙන්වාගෙන, ධවල ඇතා අල්ලා ගැනීමට මද්දක් ගැසීමට සූදානම් විය. ඔවුහු ඉතා ශක්තිමත් කඹ යොදා, මද්දක් සකස් කළහ. අනතුරුව මද්ද බෙරලියවැව අසළ අලිමංකඩ අටවා, තෙදිනක් සැඟවී බලා සිටියහ. නමුත් ඔවුන් දුටු ධවල ඇතෙක් නම් නැත. එහෙත් පරාජය භාර ගැනීමට අකමැතිවූ විදානේ, තවත් රැයක් පිරිස රඳවා ගත්තේය. අවසානයේදී මද්දත් රැගෙන ඔවුන් හිස් අතින් ගම්මානයට පැමිනියහ.

   ධවල ඇතා පිලිබඳ කතාව දඩයක්කාරයා කිසිසේත්ම විස්වාස නොකළේය. දඩයක්කාරයාගෙන් වසන් වී ධවල ඇතෙකුට වනයේ සිටිය නොහැක. ඒ නිසා ගම්මානයේ පැතිර යන කථා බහ දඩයක්කාරයා මායිම් නොකලේය.

   දිනක් සඳ ඇති රැයක, බෙරලියවැවට පැමිනි වල් ඌරෙකු දඩයක්කාරයාගේ තුවක්කුවට ගොදුරු විය. හොඳින් බෙහෙත් කොටා තිබූ වෙඩිල්ල සැහැසි වල් ඌරා විනාඩි කීපයකින් නිසළ කලේය. වල් ඌරා මිය ගිය බව සහතික කරගත් දඩයක්කාරයා, වල් ඌරා මස් කිරීමට ලෑස්ති විය. මුලින්ම හුළු අත්තකින් වල් ඌරා ගේ මවිල් පුලුස්සා දැමූ දඩයක්කරු, මුවැති පිහියකින් සතාගේ උදර කුහරය විවෘත කොට, අතුණුබහන් බඩවැල් ඉවත් කළේය. ඉක්බිති මස් තීරු තීරු කපා ගසක එල්ලීය. වල් ඌරා ගේ එක් ගාතයක්, ගිණිමැලයේ ලා පළහා ගත්තේය.

බඩගින්න බොහෝ සෙයින් තිබූ නිසා, දඩයක්කාරයා ගින්නෙන් පළහන ලද වල් ඌරු මස් අනුභව කළේය. ආහාරයෙන් පසු ලබු කැටයෙන් දිය පානය කල දඩයක්කාරයා, නිසලව තණ බිස්සේ වැතිර සිටියේය. විඩාව නිසා ඔහුදේ දෑස් පියවිනි.

   පොළව හෙල්ලී යන සෙයක් දැනුන නිසා, දඩයක්කාරයා එකවරම ඇස් ඇරීය. ඔහු දුටුවේ උසැති ධවල ඇතෙකි. ඉතා තේජමාන්විතව ගමන් ගත් හස්ථියා, ගාම්භීර ස්වරයකින් කුංචනාද කළේය. දඩයක්කාරයාගේ අත සෙමින් තුවක්කුව කරා ගියේය. එසැනින්ම, තුවක්කුවට වෙඩිල්ලක් කෙටීමට අමතක වූ බව ඔහුට වැටහිණි. තුවක්කුවේ වෙඩිල්ලක් තිබ්බේ නම්, දැන් කදිම ඉලක්කයකි. ඇතුගේ සුවිසල් කන් පෙත්ත යටින් තිබෙන මාරක නිලයට වෙඩි පහරක් යැවීමට හැකි වූයේ නම්, උගේ සුවිසල් දළ දෙක දඩයක්කරුවාගේය. තම අතපසු වීම ගැන සිතින් දෝශාරෝපණය කළ දඩයක්කරු, වහ වහා තුවක්කුවට වෙඩිල්ලක් කෙටීය. ඒ අතරවාරයේ ධවල හස්ථියා වේවැල් පඳුරු අතරින් නොපෙනී ගියේය.

   වෙඩිල්ල කොටා ගත් දඩයක්කරු ඇතා හඹා ගියේය. හොඳින් සඳ පායා තිබීම නිසා, බෝහෝ දුර දැකීමට හැකිවූ එම රාත්‍රියේ, ධවල ඇතා පෙනෙන්නට නොසිටීම අරුමයකි. ඔහු අළුයම තෙක් ධවල ඇතා සෙව්වේය. ගෝමර ඇතා , කන් කබරයා , හොඞ කෙටියා, ගම් පාළුවා යනාදී හස්ථීන් රැසක් දුටු නමුදු, ධවල ඇතා දකින්නට නොසිටියේය. ධවල ඇතා, පොළව විසින් ගිල ගත්තාක් මෙන් විය.

   අවසානයේදී, ධවල ඇතා සෙවීම අත් හැර දැමූ දඩයක්කරු, ගම්මානය කරා ගියේය. ඔහුට පෙරදා රාත්‍රියේ කළ දඩයමද අමතක විය. එය දිවියෙක් විසින් භුක්ති විඳින ලදි.

ගම්මානයට ගිය දඩයම්කරු, කෙලින්ම ගියේ විදානේගේ පැළටය. විදානේ මහත් අභිරුචියෙන් දඩයම්කරුට සවන් දුන්නේය. ධවල ඇතා පිලිබඳ පුවත තව දුරටත් හිතළුවක් නොවේ. එය සත්‍යයකි.

   පසුදින දඩයක්කරු , විදානේ සහ ගම්මුන් සත් දෙනෙකු, සතියකට අවශ්‍ය කළමනා ගෙන වන වැදුනි. ධවල හස්ථියාගේ දළ රැගෙන මිස, හිස් අතින් නොයෙමි යැයි ඔවුන් ගිවිස ගත්හ.

ඔවුන් කණ්ඩායම් කීපයකට බෙදී සැඟවී සිටියහ. එක් කන්ඩායමක් බෙරලියවැව ඉස්මත්තේද, තවත් කන්ඩායමක් වේවැල් ගාල අසලද, තව කන්ඩායමක් වැව් පිට්ටනිය අසල යනාදී වශයෙන් රැඳී සූදානම්ව සිටියහ. මුවන් , ගෝනුන් , ඌරන්, ඔවුන් ගේ දෙනෙත් ඉදිරියෙන් ගියද කිසිවෙකු තුවක්කුවක් පත්තු කලේ නැත. ඔවුන් ගේ අපේක්ෂාව වූයේ ධවල හස්ථියාය.

   රැයවල් තුනක් ගත විය. ධවල ඇතාගේ හෝඩුවාවක්වත් නොමැත. නමුත් පිරිස පසුබට නොවූහ. ඔවුන් මාරුවෙන් මාරුවට රැකවල් දා ධවල ඇතා එනතෙක් බලා සිටියහ. එක් දිනක් රාත්රිඳයේ වේවැල් ගාල පොඩි කරන ශබ්දයක් ඇසුනි . දඩයක්කරුවා තුවක්කුව ගෙන වේවැල් ගාල දෙසට දිව ගියේය. පිරිසද ඔහු පසුපස දිවූහ. ඔවුන් දුටුවේ හොඞ කෙටියා නම් අලියාය.

   සත් වන දිනය වන විට විදානේ සහ දඩයක්කරුවා හැරුණු කොට අනෙක් ගැමියන් ආපසු ගමට යා යුතු බව කීහ. එහෙත් විදානේ තව තෙදිනක් ඔවුන්ව රඳවා ගත්තේය. එහෙත් එම තෙදින අවසන් වන විට පිරිසෙන් හතර දෙනෙක් විදානේගේ නෝක්කඩු මධ්‍යයේ ගමට ගියෝය. ඉතිරි තිදෙනා පසුදින උදයේ අතුරුදහන්වී සිටි අතර ඔවුන් තම බඩු බාහිරාදියද අත් හැර දමා පළා ගොස් තිබුණි.

   අවසානයේදී ඉතිරි වූයේ දඩයක්කරුවා සහ විදානේ පමණි. වනගත ජීවිතය නොපුරුදු විදානේ කෙරෙන් දිස් වූයේ විඩාබර පෙනුමකි. එහෙත් ඔහුගේ උනන්දුවේ අඩුවක් නම් නොවීය.

   ඔවුන් තවත් සතියක් ධවල ඇතා සොයමින් වනයේ කරක් ගැසූහ. එහෙත් ඔවුන් ගේ වෑයම නිරර්ථක විය. බලාපොරොත්තු සුන් වූ විදානේ ගසක් මුල අළසව වැතිර සිටියේය. ඔහුට කැලෑ උණ සෑදී තිබේ. විදානේ වරින් වර වෙව්ලුවේය. ඔහු දෙදිනකින් ආහාරයක් ගත්තේ නැත. අවසන් වරට ආහාරයට ගත් පුළුස්සන ලද අල ගෙඩියෙන් කොටහක් ඔහු වමනය කලේය. දඩයක්කරුවා විදානේ රැගෙන ගම්මානයට යාමට තැත් කලද විදානේ එයට එක හෙලා විරුද්ධ විය. කෙසේ හෝ තව දින කීපයක් රැඳී ධවල ඇතා සොයාගත යුතුයි විදානේ තර්ක කලේ දඩයක්කරුවා නිහඞ කරවමිනි.

   එදින රාත්‍රියේ විදානේට තවත් අසාධ්‍ය විය. ඔහු ගිණිමැලය අසළ වැතිරී සිටියේය. උණ රෝගය නිසා විදානේගේ ශරීරය ගැස්සුණි. ඔහුට උසුලා ගත නොහැකි දිය තිබහක් වරින් වර දැනුනු හෙයින්, ලබු කැට වල තිබූ වතුර අහවර වන තෙක් පානය කළේය. ඔහුට තවත් දිය අවශ්‍ය විය. දිය අහවර වීම නිසා, දඩයක්කරුවා හිස් ලබු කැට ගෙන වැවට ගියේය. ඒ සමගම ශීත සුලං සමග පොද වැස්සක් ආරම්භ විය. ශීත නිසා විදානේ ගිණිමැලයට තවත් කිට්ටු වූයේය.

දිය ගෙන ඒමට වැවට ගිය දඩයක්කරුවා තවමත් නොමැත. ගිණිමැලය නිවී යාමට ආසන්න නිසා එයට දර කොටයක් දැමිය යුතුය. එහෙත් දර කොටය එසවීමට පමණක් නොව, නැගිටීමට පවා විදානේට ශරීර ශක්තියක් දැන් නැත. ඔහු අසරණව නිවී යාමට ආසන්න ගිණිමැලය දෙස බලා සිටියේය.

   තමා වැතිරී සිටින තණ බිස්ස දෙදරුම් කන බව විදානේට හැඟී ගියේය. ඔහු අසීරුවෙන් ඇස් ඇරියේය. විදානේට තම දෙනෙත් අදහා ගත නොහැකි විය. ඔහුගේ දෙපා අසලින් ධවල හස්ථිරාජයා ගමන් කරමින් සිටියේය. උගේ රන් පැහැති දෙදළ දිලිසුනේය.

   විදානේ තුවක්කුව අතට ගැනීමට තැත් කල නමුත්, ශරීර ශක්තියෙන් දුර්වලව ගිය ඔහුට එය කළ නොහැකි කාර්යයක් විය. විදානේ මුලු වැර යොදා දඩයක්කාරයාට කෑ ගෑසූ නමුත්, ඔහුගේ උගුරින් පිට වූයේ දුබල හඞකි. ඔහුට කළ හැකි වූයේ තමන් ගේ දෑස් ඉදිරියෙන් තේජාන්විතව ගමන් කරන ධවල ඇතා දෙස බලා සිටීම පමණි.

   දඩයක්කාරයා දිය රැගෙන එන විට විදානේ අසිහියෙන් පොළව පහුරුගාමින් සිටියේය. වහාම විදානේව කරට ගත් දඩයක්කාරයා ගම්මානය කරා යාම ඇරඹීය. විදානේ දුබල අත් වලින් දඩයක්කරුගේ උරපතු වලට පහර දෙමින් ධවල ඇතා පසුපස හඹා යා යුතු බව නොකඩවා කීවේය. එහෙත් දඩයක්කරුවා විදානේගේ කීම ගණනකටවත් ගත්තේ නැත.

   ඒ අඳුරු රාත්රිමයේ ගල් මුල් වල හැපෙමින් විදානේව කරගසාගත් දඩයක්කරුවාට ගම්මානයට ඒමට බොහෝ වේලා ගත විය. වැස්ස නිසා ඔවුන් තෙත බරිත වූහ. වෙහෙස නිසා දඩයක්කරුවාගේ ගමන සෙමෙන් සිදු වූවද ඔහු විදානේව කරින් බිම තිබ්බේ නැත. ඒ අතර විදානේ හුස්ම ගත්තේ ඉතා සෙමෙනි. ඔහුගේ දැඟලීම ක්‍රම ක්‍රමයෙන් අඩුවී ගියේය.

   අළුයමට ආසන්න වෙත්ම, දඩයක්කරුවාට ගම්මානයට ළඟා වීමට හැකි විය. ගම්මානයට පය ගැසූ පැයේදීම, එකවරම ගැස්මකට ලක් වූ විදානේ ගේ සිරුර, නිසල විය. දඩයක්කරුවා දිගටම ගමන් කළේය. ඔහුට විදානේගේ සිරුරේ උණුසුම අඩුවී යනවා දැණුනි. එහෙත් ඔහු විදානේගේ සිරුර බිම තැබුවේ නැත. විදානේගේ සීතල සිරුර කර තබාගත් දඩයක්කරුවා ගමේ වෙදරාළගේ පැල් කොටය වෙත ගියේය.

වෛද්‍ය රුවන් එම් ජයතුංග


my-signature-for-blog[1]   2014 සැප්තැම්බර් මස 15 වැනි දින 2313 පැය

21 September 2014

අපේ ආදි පාද හමුව - Meeting of Antiques and Old Crocks

53
   හඃ හඃ හා...............ඔන්න කාලෙකට පස්සේ, අපේ ආදි පාද හෙවත්, පරණ කකුල් සෑහෙන ගණනක් මුණගැහුනා. හැබැයි ආදි පාදලා වගේම, අදත් හමුදා සේවයේ ඉන්න පාදලාත්, සෑහෙන ගණනක් සහභාගිවුණා, මේ හමුවට. බොහොම සුහදව සතුට, දුක, සිනහව, කඳුල, සහිතව ගෙවුණු දිනයක් ලෙස, නම් කරන්න පුළුවන්.

   කවුරුහරි කියනවනම්, මේවා දැන් ඇන්ටීක් බඩු කියලා, ඔව් ඇත්තටම ඇන්ටීක් බඩු. හැබැයි වටිනාකම කියන්න බැහැ. කල් ඉකුත්වීමක් නැහැ. මොකද බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් තමයි, ලෝකයේ සෑම රටකම පාහේ, විශ්‍රාමික හමුදා නිළධාරීන්, උපදේශකයන් වශයෙන් කටයුතු කරන බව. විශේෂයෙන්, යුද උපක්‍රම පිලිබඳ උපදේශනයේදී, පළපුරුදු, විශ්‍රාමික හමුදා නිලධාරීන් කියන්නේ, ඉතා අගනා සම්පතක්.

සමහර අතිශයින් වැදගත් ඓතිහාසික සිදුවීම් පිලිබඳව, හමුදාවේ තිබෙන වාර්තාවල ඇතුළත් කරුණු,  තවදුරටත් තහවුරු කරගැනීමේ අවශ්‍යතාවක් මතුවුණොත්, ලෝකයේ බොහොමයක් රටවල්, විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ සහාය පතනවා. ඔබ දැක ඇති, බීබීසී, ඩිස්කවරි, වැනි ජාත්‍යන්තර රූපවාහිණී නාලිකාවල ඉදිරිපත් කෙරෙන, සමහර යුද වාර්තා චිත්‍රපටි වල, විශ්‍රාමික හමුදා සොල්දාදුවන් පවා අදහස් දක්වනවා. ඉතින්, සමහර අය හිතන පරිදි, විශ්‍රාමික හමුදා සාමාජිකයන් කියන්නේ, නිකම්ම නිකම් අතහැර දැමිය හැකි පිරිසක් නොවේ.

   එමෙන්ම මෙය හමුදාවට පමණක් සීමා වන්නේත් නැහැ. ඕනෑම වෘත්තියක, විශේෂඥ පළපුරුද්ද සහිත පුද්ගලයකු, විශ්‍රාම ගියත්, ඔහුගේ දැණුම විශ්‍රාම යන්නේ නැති නිසා, ඔවුන් සම්පත් දායකයන් ලෙස යොදවාගැනීම, ඉතා ප්‍රඥාගෝචරයි.

   අපේ මේ හමුවට සහභාගිවූ බොහෝදෙනෙක්, මගෙන් ඉල්ලා සිටියා, මේ හමුවේදී ලබාගත් ඡායාරූප, අන්තර්ජාලයේ පලකරන ලෙස, ඔවුන්ට එය සිහිවටනයක් වන නිසා. මේ ලිපිය ලියන්නේ, ඒ ඉල්ලීම් ඉටුකරදීමට මෙන්ම, ඔබ සමගත් ඒ අවස්ථාව පිළිබඳව, තොරතුරු හුවමාරු කරගන්නයි. හැබැයි එක දෙයක් කියන්න ඕනෙ. මේ පින්තූර එකක්වත්, මා විසින් ගන්නා ලද ඒවා නෙවෙයි. මම එදා කැමරාව ගෙනගියේ නැහැ. මේ පින්තූර, මගේ සහෝදර නිළධාරීන් විසින් ලබාගෙන, මා වෙත ලබාදුන් ඒවා. මෙතන ඉඳලා කතාව, හැකිතරම් ඒ පින්තූර වලින් ගෙනයන්නම්. ඉස්සරවෙලාම අපේ කඳවුරේ පින්තූර ටිකක් බලමුද?

   මේ ලිපියේ ඇති සෑම පින්තූරයක්ම, ක්ලික් කර, විශාල කර, බලන්න පුලුවන්. 

1

   මීට පෙරත් මා ඔබට කියා තිබෙනවා, අපේ කඳවුර ගැන. නිළ ඇඳුමෙන් සිටි කාලේ යන මාතෘකාවෙන්, මා ලිපි කීපයක් ඔබවෙත ඉදිරිපත් කර තිබෙනවා. මේ ස්ථානයේ හමුදා කඳවුර පිහිටුවා තිබෙන්නේ 1969 දී. ඊට පෙර, බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙය, උඩරට කඳුකරයේ තේ වතු පාලනය කළ, බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ දරුවන්ට පමණක් සීමාවූ පාසලක් ලෙසයි, පවත්වාගෙන ගොස් ඇත්තේ.

   මෙය හඳුන්වා තිබෙන්නේ 'හිල් ස්කූල් - Hill School' යනුවෙන්. අදටත්, හිල් ස්කූල්, නුවරඑළිය, කියා යවන ලිපියක්, නොවරදවාම කඳවුරට ලැබෙනවා. බලන්න මේ පින්තූරයේ ඇති ගොඩනැගිල්ල, පාසල් ගොඩනැගිල්ලක් බව, හොඳින්ම පෙනෙනවා. එදා විදුහල්පතිගේ කාර්යාලය, අද අණදෙන නිළධාරීගේ කාර්යාලය බවට පත්ව තිබෙනවා. දැන්නම් මේ ගොඩනැගිලි බොහොමයක්, විශාල වෙනස්වීම් රාශියකට ලක්ව තිබෙන අතර, තවමත් අළුත් ඉදිකිරීම් සිදුවෙනවා. ආරක්ෂක හේතු නිසා, කඳවුරේ ඇතුළත සියළුම ගොඩනැගිලි, මෙහි දක්වන්නට බැහැ.

  1990 දශකය පමණ වනතුරු, අතීතයේදී මේ පාසලේ උගත්, සුදු ජාතිකයන්ගෙන් සමහරෙකු, සංචාරකයන් ලෙස ලංකාවට පැමිණි අවස්ථාවල, ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලබා, මෙහි පැමිණුනා. ඔවුන්ගෙන් සමහරකු, කඳවුර ඇතුළත ඇවිදිමින්, අපි නොදන්නා ඉතිහාසය පවා, ඉතා සතුටෙන් කියාදුන්නා. 'මේ මගේ පන්තිය තිබුණ තැන' කියා හඬාවැටුණ ගැහැණු පිරිමි දෙපක්ෂයම සිටියා. 

   ඔවුන් ගෙනා රසකැවිලි, ඔවුන්ගේම අතින්, අපේ සොල්දාදුවන්ට කැවූ අවස්ථා තිබුණා. අපේ සොල්දාදුවන් සමග, සිහිවටන ඡායාරූප ගැනීමටත්, ඔවුන් අමතක කළේ නැහැ.  වරක් එසේ පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයකු, තමා බ්‍රිතාන්‍ය හමුදාවේ හිටපු ජෙනරල් වරයකු බව ප්‍රකාශ කළේ, කඳවුරේ ගේට්ටුවෙන් පිටතට යන අවස්ථාවේදී, අපව ඉතා ඉහළින් අගය කරමින්. එහෙත්, අද කාලයේ ඔවුන් එන්නේ නැත්තේ ඇයි? මටනම් හිතෙන්නේ, එළෙස පැමිණෙන්නට කිසිවෙකුත්, අද ජීවතුන් අතර නැති වියහැකි බවයි. 

2

   ඉහත ඡායාරූපයෙන් පෙනෙන්නේ, අපේ කඳවුරේ උද්‍යානයේ කොටසක් සහ ඈතින් පෙනෙන නුවරඑළියේ ග්‍රෙගරි වැවයි. ඔබට පෙනෙනවා ඇති, පොල්ගස් වැනි ගස් වර්ගයක්. ඒ පෙනෙන්නේ, මුහුදු මට්ටමෙන් අඩි 5000 කට වඩා උස් බිම්වල පමණක් දකින්නට ලැබෙන, අධි ආරක්‍ෂිත ශාඛයක් වන, යෝධ මීවන ශාක කීපයක්. මේ ශාක මේ ප්‍රදේශය තුළ වුවත්, තැනකින් තැනකට ගෙනයන්න බැහැ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසර නැතිව. 

   මේ ශාක අතීතයේ සිටම කඳවුරේ තිබෙන ඒවා. මේ ශාක වර්ගයේ, උද්භිද විද්‍යාත්මක නම දන්නා කෙනෙකු ඇත්නම්, කරුණාකර එය සඳහන් කරන මෙන්, කාරුණිකව ඉල්ලනවා. මේ පින්තූරයේ පෙනෙන තණපිටිය නඩත්තු කිරීම, සෑහෙන වෙහෙසකර වැඩක්. මේ තණකොළ වර්ගය මිළ අධිකයි. නඩත්තුව සඳහා විශේෂ දැණුමක් අවශ්‍යයි. තණපිටිය වටා රෝස මල් පාත්ති තිබෙනවා. පැරණි ඡායාරූප දෙකක් පෙන්වන්නම්, ඒ රෝසමල් පාත්ති වල.

18
ඔබේ වම් අත පැත්තේ සිට දෙවැනියට ඉන්නේ, ගරු මමතුමා (මල් බැලුවා විතරයි, මල් කැඩුවේ නැහැ. මේ පින්තූරය ගන්න කාලේ, 1980 ගණන්වල මුල, මල් කඩන්න ජංගම දුරකථන කියා දෙයක් තිබුණේ නැහැ)


My Daughters in Rose Guarden
මගේ පැට්ටියො දෙන්න පුංචි කාලේ කඳවුරේ රෝසමල් පාත්ති අසළ
(මේ පින්තූරයනම් මම ගත්ත එකක්)


   මේ උද්‍යානය, සෑම වසරකම, නුවරඑළිය වසන්ත සමයේදී පැවැත්වෙන, හොඳම උද්‍යානය තේරීමේ තරගයෙන්, වාර ගණනාවකදීම ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.

   පහත දැක්වෙන පින්තූරවල තිබෙන පඳුරු, විවිධ රූප, හැඩතල, ආකාරයට කපා සකස්කර තිබෙන්නේ, අපේ සොල්දාදුවකු විසින්. සොල්දාදුවාගේ හිත තුළත්, කලාව පිහිටා තියනවා. නමුත් සමහරු හිතන්නේ, සොල්දාදුවා කියන්නේ, නිකම්ම නිකම් දරදඬු හිතක් සහිත, මෙවලමක් පමණයි කියලා. 

3


5
සකස් කෙරෙමින් පවතින සිංහ රූපයක් 


6


4


7
වර්තමාන අණදෙන නිලධාරි, පැමිණ සිටි සියළුදෙනාව ආදරයෙන් පිළිගත්තා.


මේ සුහද හමුව පැවැත්වීමේ අරමුණ වුණේ, විශ්‍රාමික නිළධාරීන් සහ දැනට සේවයේ යේදී සිටින නිළධාරීන්ද එක්ව,
'නිළධාරී සංසදයක් - Officers Association' පිහිටුවා ගැනීමයි.
8
ප්‍රධාන සංවිධායක සභාව අමතමින්.........


9


10


11


විවිධ කරුණු රාශියක්, දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය කෙරුණා.
12


මේ පහළ ඡායාරූපයේ මැද ඉන්නේ, අද අපේ බලඇණියේ ඉන්න, ලාබාලතම, තරුණ නිළධාරීන්.
13


තේ ටිකක් නොබී දිගටම සාකච්ඡා කරන්න අමාරුයිනේ. තේ බොන්න, එදා පැමිණ සිටි නිළධාරි පවුල්වල සාමාජිකයනුත් එකතුවුණා.
14


15


සභාවේ වැඩ අවසන් කරලා, පිරිස ටිකක් එළියට බැස්සා. (පහළ ඡායාරූප) ඔන්න ඉතිං පරණ කල්ලි ආයෙත් එකතුවෙලා, පරණ කතන්දර කියන්න පටන්ගත්තා.
16


17


18


19


බළඇණියේ වර්තමාන රෙජිමේන්තු සැරයන් මේජර් (RSM) තමා, මේ පහළ ඡායාරූපයේ ඉන්නේ. ඔහුගේ දකුණු අතේ, කළුපාට ඔරලෝසුවක් වගේ පෙනෙන්නේ, ඔහුගේ නිළ ලාංඡනයයි. රෙජිමේන්තු සැරයන් මේජර් ගැන, මා මීට පෙර ඔබට කියාදී තිබෙනවා.  ඔහු තමයි, බළඇණියක ඉන්න, ජ්‍යොෂ්ඨතම සොල්දාදුවා.
20

සෑම නිළධාරියකුම, රෙජිමේන්තු සැරයන් මේජර් සමග, වචනයක් දෙකක් කතාකරන්න අමතක කරන්නේ නැහැ. මෙතන ඉන්න විශ්‍රාමික නිළධාරීන්ගෙන් සමහරෙකු, සේවයේ යෙදී සිටියදී, මේ රෙජිමේන්තු සැරයන් මේජර් හිටියේ, සාමාන්‍ය සොල්දාදුවකු (Private) ලෙසයි. ඉතින්, අද ඔහුගේ උසස්වීම දැක, මේ සියළු දෙනා, ඔහුට සුබ පතනවා. ඔහුට එය විශාල ගෞරවයක්. සමහරු ඔහු සමග සිහිවටන ඡායාරූප පවා ගන්නේ, එදා, තමන්ගේ ගෝලයකු ලෙස හිටිය පොඩි කොල්ලා, අද RSM වෙලා ඉන්න එක, ලොකු සතුටක් නිසයි.

22


23


24


අම්මෝ...........පුදුම දුකක් විඳලා, ඇදගෙන ඇවිත් වාඩි කරවලා සමූහ ඡායාරූපයක් ගත්තා. 
25


අපේ බළඇණියේ ඉතිහාසය දැක්වෙන, DVD Slide Show එකක්, මම හදාගෙන ගියා. ඒක ප්‍රදර්ශනය කළ අවස්ථාවයි මේ. 
25a


ඊට පස්සේ?..............ඊට පස්සේ බලනකොට, මෙන්න ඔක්කොගෙම අතේ, පුංචි පුංචි වීදුරුවල, අර 'ඔරෙන්ජම් බාරලි' ද මොනවද එව්වා දාගෙන ඉන්නවා. 
26


අපුච්චේ...............අර මොනවැයි අර ලෑලි කාමරේ වගේ එක ඇතුළේ පෙනෙන්නේ? 
27


28


මේ පහළ පින්තූරයේ තියෙන්නේ, අපේ බළඇණියේ සංගීත කණ්ඩායම. මේ කණ්ඩායම හඳුන්වන්නේ, 'The Camouflage' යන නමින්. මෙයාලා නැතුව ඔරෙන්ජම් බාර්ලි බොන්න බැහැ කිව්වනේ අපේ කට්ටිය. මේ ගීතය ගායනය කරන්නේ, විශ්‍රාමික, මුස්ලිම් ජාතික, කපිතන් වරයෙක්. වයස අවුරුදු 70 ට වැඩියි. ඔහු, හරූන් ලන්ත්‍රාගේ ගීත කීපයක්, ඉතා මිහිරි ලෙස ගායනා කළා. 
29



මේ පහළ පින්තූරයේ ඉන්නෙත් අපේ හොඳම ගායකයෙක්. මම මෙයා ගැන ලිපියක් මීට කලින් ලියලා තියනවා
30


31


32


33
34


36
අන්තිමට මේ තසිම් ටිකත් කාලා දායිද මන්දා 


37



ඔන්න බ්ලොග් කාරයොත් සින්දු කියනවා. හනේ හනේ වීදුරුව නම් අතින් බිම තියන්නේ නෑ වගේ.
38


39


මොකද අනේ හිටගෙන පානය කරන්නේ ඉඳගන්න පුටු නැද්ද? නැහැ නැහැ. මේ අනුගමනය කරන්නේ හමුදා සම්ප්‍රදාය.  පානය කරන්නේ හිටගෙන. ඒකට හේතු කීපයක් තියනවා. පළමුවැනි සහ වැදගත්ම එක තමයි, හිටගෙන ඉන්නකොට, තමන්ට තමන්ගේ සීමාව දැනෙන්න පටන් ගන්නවා. අන්න එතැනදී එක්කෝ නවත්වන්න ඕනෙ, නැත්නම් 'කරන්ට් එක ඩිස්චාජ් කරගන්න' ඕනෙ මොනවහරි කරලා.  මොකද, නිළධාරියකු මහත්මයකු ලෙස හැසිරෙන්න ඕනෙ. මෙතන නෝනලාත් ඉන්නවා. ඒ අයගේ ගෞරවයත් රකින්න ඕනෙ. බලන්න කවුරුවත් මෙතන දුම් බොන්නේ නැහැ. දුම්බීමට අවශ්‍ය නම්, පැරණි ක්‍රමය වුණේ, එතන ඉන්න නෝනලාගෙන් අහනවා, මැතිනියනි, මා මෙහි දුම්බොනවාට ඔබේ විරුද්ධත්වයක් තිබේද කියා. කවුරුවත් ඉතිං විරුද්ධයි නොකියා ඉවසාගෙන ඉන්නවා. නමුත්, දැන් අපි දන්නවනේ අක්‍රිය දුම්පානය ගැන. ඒ නිසා, අර ගොන් ප්‍රශ්නය අහන්නේ නැතුව, මෙතනින් එළියට ගිහින් දුම් බීලා එනවා.  ඒ වගේම තමයි හිටගෙන එකතැන ඉන්නේ නැහැ. සෙමෙන් ඇවිදිමින්, හැම දෙනාම එක්කම (කාන්තා පක්ෂයත් ඇතුළුව) වචනයක් දෙකක් කතාකර, තමන්ගේ සමාජශීලී භාවයත් පෙන්වනවා. හැබැයි, කාන්තාවට කතා කිරීමේදී විනීතව සංවරව ඉන්න ඕනෙ.

40


41
සංගීත කණ්ඩායම නැතුවද සින්දු කියන්නේ.........


44


45


46
නෝනලා සහ දරුවෝ අරවගේ හිටවලා තියන්නේ නැහැ. ඒගොල්ලෝ වෙනම තැනක නිදහසේ අපේ පරණ සිහිවටන ඇල්බම් එහෙම බලමින් හිටියා. වරින්වර කවුරු හෝ නිලධාරියකු ගිහින් ඒ අය ගැන බැලුවා. ඒ තමයි සම්ප්‍රදාය. 


50
'සර්.....'
'ඈ.....'
'සර් බීලද'
'ඇයි?'
'නෑ සර් බීලද කියන්නකො' 
'නෑ යකෝ....'
'එහෙනං ඔය කොහෙද බලන්නෙ?'
'කොහෙද?'
'ඔය සර්ටයි මටයි එහාපැත්තෙ'


51

පොඩියට වගේ නැටුම් සංදර්ශනයකුත් ගියා. නමුත් එතකොටම කිව්වා, වෙලාව හවස 5.45 යි, දැන්වත් දවල්ට කමුද කියලා. ඈත පළාත්වලින් ආව අය යන්නත් ඕනෙ නිසා, ඒ 'දවල් ආහාරයෙන්' පස්සේ,  යන්තම් රෑ හතට විතර, කඳවුරෙන් එළියට එන්න පුළුවන් වුණා.


විශේෂ ස්තුතිය: ඡායාරූප ලබාදුන් කපිතන් ටී. එම්. කරුණාරත්නට සහ කපිතන් චන්න සිල්වාට 



my-signature-for-blog[1]   2014 සැප්තැම්බර් මස 21 වැනි දින 1153 පැය 
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }