හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

23 November 2015

හමුදා කෙතේ කළමනාකරණය (පළමුවැනි කොටස)


z_p14-Army1   හමුදා කෙත කිව්වේ...............? හමුදාවට අයිති කුඹුරකුත් තියනවද?

  ඔව්, සමහර අවස්ථා වලදී තිබිලා තියනවා. දැන්නම් තියනවාද කියලා දන්නේ නැහැ. හමුදාවට අයිති ගොවිපොළවල් පරිපාලනය කරන්නේ, ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායෙන්. දැනටත් එවැනි ගොවිපොළ කීපයක් තියනවා. මේවා පරිපාලනය සඳහා කෘෂිකර්මය පිලිබඳ දැනුමක් සහ පුහුණුවක් ඇති නිළධාරීන්, යොදවා සිටිනවා. (එවැනි දැනුමක් ඇති අය නිළධාරීන් ලෙස බඳවාගන්නවා අවශ්‍යතාවය පරිදි)

   හැබැයි එයින් අදහස් කරන්නේ, පොදුසේවා බලකාය කරන්නේ, කෘෂිකාර්මික කටයුතු පමණක් යයි, වැරදි අවබෝධයක් ගන්න එපා. එම බලකාය, ප්‍රධාන වශයෙන් කරන්නේ, සමස්ත යුද හමුදාවේම, පෞද්ගලික ලිපිගොණු පවත්වාගෙන යාම, සමස්ත යුද හමුදාවේම වැටුප් සැකසීම, පිරිස් පාලන සහ විනය කටයුතුවලට සහාය දීම, යුදහමුදා තූර්ය වාදක කණ්ඩායම, සංස්කෘතික නැටුම් කණ්ඩායම් පවත්වාගෙන යාම, යුද හමුදා බියුගල් නලා කරුවන් පුහුණු කිරීම සහ අවශ්‍යවන පරිදි විවිධ හමුදා උත්සව සහ පෙළපාලි සඳහා අදාළ සේවය ලබාදීම වැනි රාජකාරියි.

  මෙතනදී මම හමුදා කෙත කිව්වේ, පොදුවේ 'හමුදා ක්‍ෂේත්‍රය' කියන අදහසින්. අද මා ඔබ සමග කතාකරන්නට යන්නේ, තරමක් ගැඹුරු, සාමාන්‍ය ජනතාව කිසිවිටකත් නොදන්නා, හමුදා පරිපාලනය පිලිබඳ කරුණු කීපයක්, ඉතා සරලව සහ කෙටියෙන්.

   හමුදා මාතෘකා ඉවරවෙලා නිසයි, මම දැන් වෙන වෙන මාතෘකා වලින් ලිපි ලියන්නේ කියලා හිතුනද? එහෙම නෑ අනේ. මගේ හිතේ තියන හමුදා මාතෘකා, මම මැරෙනතුරු වත් ලියලා ඉවර කරන්න බැරිවෙයි. නවීන තුවක්කු ගොඩක විස්තර හොයාගෙන තියනවා. වෙලාවක බලමුකෝ.

   හමුදාව කියන්නේ, වෙඩි තියපන් කිව්වම වෙඩි තියන, මරපන් කිව්වම මරණ, කිසිදු හිතක් පපුවක් නැති, මැරීම හැර වෙනත් කිසිවක් නොදන්නා පිරිසක් යයි, මේ 21 වැනි සියවසේදීත් සිතා සිටින උන්නැහේලා වෙත, අපගේ අනුකම්පාව, මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. 

   මේ විෂයය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ, 'Administration in The Field' යනුවෙන්. 'යුද බිමේ කළමනාකරණය'  කියලා සිංහලෙන් කියන්න පුළුවන්. මෙය ගැඹුරු විෂයයක් මෙන්ම, විශේෂඥ පුහුණුවක් ලැබියයුතු විෂයයක්. මේ විෂයයට අදාළව විදේශීය පුහුණු පාඨමාලා වලට පවා, අපේ හමුදා නිළධාරීන් යොමු කරවනවා. 

   යුද පිටියක කළමනාකරණය සහ පරිපාලනය හරියට නොවුනොත්, සෙබළා අසරණ වෙනවා, අතරමං වෙනවා, යුද්දේ පරදිනවා. යුද්ධයට ගියාම සෙබළාට අත්‍යවශ්‍යම දේවල් මොනවද?

   අඛණ්ඩ පතරොම් සැපයුමක් තියෙන්න ඕනේ. වෙඩිතැබීමේ ක්‍රියාව, දීර්ඝව, නොකඩවා, කරගෙන යන්න වෙන අවස්ථා බොහොමයි. ඒ වෙලාවට පතරොම් සැපයුම අඩාල වුනොත්, කපෝතියි.

   පිටේ තියන මල්ලට දාගෙන ඉන්න, වියළි ආහාර සළාක පැකට් වල තියන දේවල්, කන්න පුළුවන් තත්වයේ හොඳ ආහාර වියයුතුයි. එම සලාක ඉවරවෙන්න කලින් අලුත් සැපයුම් ලැබිය යුතුයි.

   සටනේදී පුදුම වතුර තිබහක් එනවා. වතුර ඉතා පරිස්සමෙන් පාවිච්චි කළත්, වතුර හොයාගන්න අමාරුනම්, වතුර සැපයුමක් (සොල්දාදුවන් වතුර ගෙනියන ඇලුමිනියම් බෝතල් නැවත පුරවා දීමක්වත්) තිබිය යුතුයි.

   ප්‍රථමාධාර සහ හදිසි අවස්ථා ආධාර සෑමවිටම සක්‍රියව තිබිය යුතුයි. තවත් දේවල් තිබුනත් මේ තමයි අත්‍යවශ්‍යම දේවල්. මේවා නිසිපරිදි කළමනාකරණය ඉතා සැලකිල්ලෙන් හා දැඩි සංවිධානාත්මක බවකින් යුක්තව කළයුතුයි. ඒ සඳහා තමයි ක්‍ෂේත්‍ර පරිපාලනය පුහුණු කරන්නේ. 

   මා ඔබට මීට පෙරදී ද කීප වතාවක් කියා ඇති, ශ්‍රී ලංකා යුද හමුදාවේ, (පොදුවේ ලෝකයේ බොහෝ යුද හමුදාවල) නිළධාරීන් විසින්, අනිවාර්යයෙන් සමත්විය යුතු විභාග දෙකක් තිබෙන බව. ඒ තමයි, ලුතිතන් නිළයේ සිට කපිතන් නිළයට උසස් කිරීමේ විභාගය සහ, කපිතන් නිළයේ සිට මේජර් නිළය දක්වා උසස් කිරීමේ විභාගය. වෙනත් විභාග නැහැ. ඉන්පසු උසස්වීම් ලැබෙන්නේ, ජ්‍යොෂ්ඨත්වය/කුසළතාවය/දක්ෂතාවය අනුවයි.

   මෙම විභාගය, න්‍යායික සහ ප්‍රායෝගික වශයෙන්, කොටස් දෙකකින් පැවැත්වෙනවා. ඇත්තටම හොඳ සූදානමක් නැත්නම්, බොහොම අමාරු විභාග දෙකක්. (ඈ, ඔව් ඔව්, ටැබා හෙවත් ඥානපටි ගහනවා, හෙමින් කතා කරමින් ආධාර ලබාගන්නවා. සමහර විභාග පරීක්‍ෂක වරු, ඒ කාලේ පොඩි අනුකම්පාවක් කළා, සමහරු, යුද භූමියේ සිටිමින්, පොතක් පතක් අල්ලන්නවත් වෙලාවක් නැතුව ඉඳලා, කෙළින්ම විභාගෙට ආව අය නිසා)

   යුද න්‍යාය, පරිපාලනය, යුද හමුදා නීතිය, කාලීන තොරතුරු (current affairs) යන ප්‍රශ්න පත්‍ර හතරට අමතරව, යුද න්‍යාය යටතේ, ප්‍රායෝගික පරීක්‍ෂණයකට මුහුණ දෙන්න සිදුවෙනවා. භූමියේ තෝරාගත් යම්කිසි ස්ථානයකට ඔබව ගෙනගොස්, ඔබට ලබාදෙන ලිඛිත විස්තරයක් අනුව, තනියම යුද සැලැස්මක් සකසා, සිතියමක් ඇඳ, එම භූමියේ අදාළ තැන් පෙන්වමින්, එය පරීක්ෂණ මණ්ඩලය වෙත විස්තර කළයුතු වෙනවා. එම මණ්ඩලයේ සිටින, ජ්‍යොෂ්ඨ/පළපුරුදු නිළධාරීන් නගන ප්‍රති තර්ක වලට, සාර්ථක පිළිතුරු දෙන්නට වෙනවා. ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් නිවැරදිව පාවිච්චි කරමින්, පණිවිඩ හුවමාරුවේ යෙදෙන්නට වෙනවා. පරීක්‍ෂණයට මුහුණ දුන් අය, ඊළඟට පරීක්‍ෂණයට මුහුණ දීමට සිටින අයව මුණගැහෙන්නට නොහැකිවන ආකාරයට, වෙන් කරනවා. මේ ප්‍රායෝගික පරීක්‍ෂණයේදී නම්, කිසිම අනුකම්පාවක් නැහැ. උත්තර වැරදි නම් අසමත් කරනවා.

   මම පෙන්වන්නම්, 1993 දී, මම මේ ප්‍රයෝගික පරීක්‍ෂණයට මුහුණ දුන්න ආකාරය. මේ පරීක්‍ෂණය තිබුණේ, මහනුවර - යාපනය A 9 මාර්ගයේ, තිරප්පනේ ප්‍රදේශය ආශ්‍රිතව. කපිතන් සිට මේජර් දක්වා උසස් කිරීමේ පරීක්‍ෂණයට අදාළවයි මේ ප්‍රායෝගික පරීක්ෂණය තිබුණේ. තිරප්පනේ ප්‍රදේශයේ තියනවා, තරමක් විශාල ගල් කන්දක පිහිටි, පැරණි විහාරස්ථානයක්. එම විහාරස්ථානයේ නම, තලගුරු රජමහා විහාරය. මෙන්න මේ විහාරස්ථානය අසළ කන්දේ එක්තරා තැනක, හමුදා කඳවුරක් ඇතැයි උපකල්පනය කරමින් තමා, මෙම අභ්‍යාසයේ යෙදෙන්නේ.

   මට ලබාදුන් සංග්‍රාමික තොරතුරු පත්‍රිකාවේ, (narrative) විස්තර කර තිබුණා, LTTE සාමාජිකයන් 20 ක පමණ පිරිසක්, දැනට අප සිටින ස්ථානයේ සිට කිලෝමීටර් කීපයක් ඈතින් වනගතව පිහිටි  නිවසකට පැමිණෙන බවත්, T 56, ක්ලේමෝ බෝම්බ, බෝම්බ විදින පිස්තෝල, RPG, GPMG, වැනි අවි වලින් සන්නද්ධව යම්කිසි විනාශකාරී ක්‍රියාවක යෙදීම සඳහා, අහවල් දින, අහවල් වෙලාවට, පැමිණෙන බවත්, ඔවුන් පැය 48 ක පමණ කාලයක්, එහි රැඳී සිටීමට ඉඩ ඇති බවට, ඔත්තු කරුවකු මගින් තොරතුරු ලැබී ඇති බවත්, මට භාරදෙන කාර්යය (mission) වන්නේ, ඔවුන් සියලුදෙනා වනසා දැමීම බවත්, ඒ සඳහා මට එම LTTE සාමාජිකයන් සතු අවි වලට සමාන, ඊට වඩා අවි ප්‍රමාණයක් සහිත, 75 ක පමණ හමුදා භට පිරිසක් ලබාදෙන බවත්, මීට අමතරව, අසළ පිහිටි, ගල්කුලම ප්‍රදේශයේ, යුද ටැංකි තුනක් සූදානමින් රඳවා ඇති බවත්, ඒවා මට අවශ්‍ය පරිදි යොදාගතහැකි බවත්, ඊටත් අමතරව, සාලියපුර යුද හමුදා කඳවුරේ සිට, මා ඉල්ලාසිටින ඕනෑම අවස්ථාවක, අපේ යුද හමුදාව සතු විශාලතම කාලතුවක්කුව වන, මිලි මීටර් 130 කාලතුවක්කු වෙඩි සහාය දෙන බවත්, ඒ අනුව සිතාබලා, පැයක පමණ කාලයක් තුළ, මගේ ප්‍රහාරක සැළැස්ම හදා පෙන්වන ලෙසත්.  මෙන්න ඒ විස්තරේ මම පින්තූරෙකට නැගුවා. 

Screenshot (19)

   අප්පොච්චිගෙ පප්පේ............ඉතිං මොකෑ කොරන්නේ. මීට වඩා හොඳයි, මාව කාලතුවක්කුවකට දාලා වෙඩි තිබ්බනම්, යන ලෝකෙකට යන්ඩ. පොහ්...........දැන් ඉතිං හදපියකෝ මයිනා වගේ ඉඳගෙන සැළැස්මක්. එව්වා කොහෙද මාත් එක්ක. මම විභාගෙට ආවේ පාස්වෙනවා කියලා දැඩි අධිෂ්ඨානයකින්. නිළ ඇඳුමේ පිටේ තිබුණු මල්ලෙන් ගත්තා, වතුර බෝතලේ. බිව්වා උගුරු දෙකක්. ඇයි අප්පේ, තොලකට වේලිලා ගියා අර විස්තරේට. අර විස්තරේ නැවත අතට අරන් කියවන ගමන්, වැදගත් කරුණු ලකුණු කරගත්තා වෙනම කොලේක. හැදුවා සැළැස්ම මෙන්න මේ විදිහට.

Screenshot (19a)

   හොඳයි, දැන් මම මේ සටහන විස්තර කරන්නම්, ඉතා කෙටියෙන්. මුලින්ම කියන්න තියෙන්නේ, ගූගල් සිතියම මත මා ඇඳ තිබෙන දේවල්, පරිමාණය අනුව ගැලපීමක් කර නැහැ. විස්තර කිරීම සඳහා ඇන්දා පමණයි. 

   මම මෙහිදී යොදාගන්නේ, Block & Assault නමැති යුද න්‍යායයි. ඒ කියන්නේ එක පැත්තකින් සතුරාට පහරදෙන අතර, එම ප්‍රහාරයේදී, සතුරා පැනයනු ඇතැයි සිතන ප්‍රදේශයේ, තවත් හමුදා කණ්ඩායමක් යොදවනවා, පැනයන සතුරාව සමූලඝාතනය කරන්න. බලන්න මම මගේ භට පිරිස Assault සහ Block වශයෙන් කොටස් දෙකකට වෙනකොට තිබෙනවා. හැකිතරම් කැලෑව පාවිච්චි කරමින්, සැඟවෙමින් පයින්ම ඉලක්කය වෙත ගමන් කරනවා. (ලිපිය දිග වැඩිවන නිසා, ඒ ඒ පියවර අනුව කාලය, ගෙනයන අවි, ප්‍රහාරය ආරම්භ කරන වෙලාව වැනි දීර්ඝ විස්තරයක්, නොකියා අතහරිනවා මෙතනදී)  මේ ප්‍රහාරය එල්ල කරන්නේ රාත්‍රී කාලයේදීයි.

   බලන්න, මම Assault පිරිස ස්ථානගත කරතිබෙන්නේ L අකුරේ හැඩයට. ඒ කියන්නේ, ප්‍රහාරය දෙපැත්තකින් එල්ල වෙනවා. සතුරා පැනයනවා නම්, බොහෝදුරට උත්සාහ කරන්නේ, Block එකට පසුපසින් ඇති පාරට යන්නයි. මම, Block එක, ආසන්න වශයෙන් අඩ කවයක ආකාරයට යොදවා තිබෙන්නේ, පැනයන සතුරන්, ඒ මකර කටට ඇතුළු කරවා ගන්නයි. මෙතනදී මම Assault එක සඳහා 50 ක් පමණ පිරිසකුත්, Block එක සඳහා 25 ක් පමණ පිරිසකුත්, යොදාගන්නවා. (අනේ......... තරහ ගන්න එපා. මේ කියන්නේ යුද්ධ කරන හැටි. ඉතින් මරණ හැටි කියන්න වෙනවා)  

   කහපාට කුඩා ඊතල වලින් පෙන්වන්නේ, ප්‍රහාරය එල්ල කරන දිශාවයි. දැන් ඔබ කවුරුහරි කියන්න පුළුවන්, 'ඉතින් Assault පිරිසයි, Block පිරිසයි වෙඩිතියාගන්න ඒවා, ඒගොල්ලන්ටම වදිනවනේ' කියලා. අන්න ඒ නිසා තමයි මම මුලින්ම කිව්වේ, මේ සිතියම පරිමාණයකට සකසා නැහැ කියලා. ප්‍රායෝගිකව ඒ කණ්ඩායම් දෙක ඉන්නේ එකිනෙකාට මීටර් 800 ක් විතර ඈතින්. ආරම්භක ස්ථානයේ පිටත්වී ක්‍රියාන්විතය අවසන් කොට, සතුරාගෙන් අත්පත් කරගත් දේවල් ඇත්නම් ඒවාත් රැගෙන, අපේ මියගිය/තුවාල ලද අයවළුන්වද රැගෙන, අවසානය යනුවෙන් සඳහන් ස්ථානයටයි යන්නේ.

   ගිය පාරේ ආපහු නොඑන්න හැමවිටම උත්සාහ කරනවානම් හොඳයි. සතුරන් අපි නොදන්නා පිරිස් යොදවා තිබෙන්නත් පුළුවන්. බලන්න අවසානය කියන තැන පාරේ හන්දියක් තියනවා. අපි එතනට රහස් නමක් දෙනවා, මෙවැනි ක්‍රියාන්විතයකදී, අපි හිතමු ඒ නම 'කොල්ලුපිටිය' කියලා. ක්‍රියාන්විතය ඉවර කරලා කෙලින්ම ඇවිත් අර පාරට ගොඩ වෙන්නේ නැහැ. ඒ අසල කැලයේ හැංගිලා ඉඳගෙන රේඩියෝ එකෙන් කියනවා, 'අපි කොල්ලුපිටියට ආවා, අපිට අහන්න සිංදුවක් දාන්න' කියලා. මොකක්ද මේ සින්දුවක් දාන්න කියන්නේ? ඒකත් ක්‍රියාන්විතයට කලින් යොදාගන්නා, රහස් යෙදුමක්. ඒ කියන්නේ, අපිට එන්න වාහන, අර හන්දියට එවන්න කියලා. කොහොමද ටිකිරි මොළේ?  ඇයි මෙහෙම රහස් වචන පාවිච්චි කරන්නේ? අපි ළඟ කොච්චර හොඳ පණිවිඩ හුවමාරු උපකරණ තිබුණත්, අපි සෑමවිටම හිතන්නේ, සතුරා අපේ පණිවිඩ හුවමාරු වලට ඇහුම්කන් දෙනවා කියලයි.

   කෝ දැන් අර විස්තරයේ තිබුන කාලතුවක්කු සහ යුද්ධ ටැංකි පාවිච්චි කරලා නැහැනේ? මොකද ඒ? අනේ අනේ, මාව අන්නවන්ඩ නේ එව්වා දෙන්ඩ හැදුවේ. එව්වට අහුවෙනවද මම? දැන් මගේ අරමුණ මොකක්ද? 20 ක් විතර ඉන්න සතුරු කණ්ඩායම, එකෙක් නෑර සහමුලින් විනාශ කිරීම. මම යුද්ධ ටැංකි තුන අරන් යනවා කියලා හිතමු. මොකද වෙන්නේ? යුද්ධ ටැංකිවල සද්දේ ඇහුන ගමන්, උන් කැලයේ විසිරෙනවා. RPG තියාගෙන රැකගෙන ඉන්නවා, යුද්ධ ටැංකි ලඟට එනකල්. ඉඳලා දීලා අදිනවා RPG වලින්, ටැංකි තුනම උඩුකුරුඤ්ඤං වෙන්ඩ, අර 'ලේ බොන්නා' කියලා තිබුණා වගේ.  මෙන්න මෙතන තියනවා, තත්පර 56 ක් විතරක් යන වීඩියෝ එකක්. බලන්ඩකෝ ටැංකියකට RPG පාරක් වැදුනම වෙන දේ.



   සනීපයි නේද? අර මට දෙනවා කිව්වා යුද්ධ ටැංකි, අර අපිව ආපහු අරන් යන්න එන වාහනවල ආරක්ෂාවට එව්වා නම් හොඳයි.

   එතකොට කාලතුවක්කු? හරි, මිලිමීටර් 130 කාලතුවක්කුවෙන් එවන බෝම්බයක් වැදුනොත්, මීටර් 150 ක විෂ්කම්බයක් තුළ තිබෙන දේවල්, විනාශ වෙනවා. ඉතිං දෙයියනේ, කොයි සැක්කරයාටද පුළුවන්, පළවෙනි වෙඩිල්ලම උන්ගේ ඔලුවට යවන්න. වැරදුනොත් මොකෑ වෙන්නේ? අරුන් පැනලා යනවා. භයානක සතුරු කණ්ඩායමක් විනාශ කරන්න තිබුණු, දුර්ලභ අවස්ථාවක් මගහැරෙනවා. ඔන්න ඔය කරුණු ටික කියලා, මම පරීක්‍ෂණ මණ්ඩලේට කිව්වා, 'අනෙ අම්මෝ මට එව්වා එපා, පරිස්සං කොරලා තියාගන්ඩ' කියලා. මම පරීක්‍ෂණයෙන් සමත්වුණා.

   පසුගිය කාලයේ යුද්ධය පවතිද්දී, මේ විභාගවලින් සෑහෙන දෙනෙක් අසමත් වුණා. නමුත් දෙවැනි අවස්ථාවේදී ඔවුන් සමත්වුනා. ඒ වෙනුවෙන් වෙනම පුහුණු පාඨමාලා, හමුදාව විසින්ම පවත්වනු ලැබුවා. (අපොස සාමාන්‍ය පෙළ/උසස් පෙළ වගේ, මේ විභාගයේදීත්, අසමත්වන විෂයයන් සඳහා ඊළඟ වසරේදී පෙනීසිටින්න ඉඩ දෙනවා. නමුත්, නිළධාරියකුට, ලුතිතන් නිළයේ සිටිය හැකි උපරිම වයස් සීමාව, අවුරුදු 45 යි. ඊට පෙර, කපිතන් දක්වා උසස් කිරීමේ පරීක්‍ෂණය සහ/හෝ වාර්ෂික ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වන්නට නොහැකි වුණොත්, ඔහුට/ඇයට හමුදාවෙන් ඉවත්වන්න සිදුවෙනවා. ඒ විදිහටම, විභාගය සමත් නොවී/ ශාරීරික යෝග්‍යතාව සමත් නොවී, කපිතන් නිළයේ සිටිය හැක්කේ, අවුරුදු 50 දක්වා පමණයි) හමුදාව දුකයි සුදෝ. 

   ඉතින් මේ විභාග දෙකේදීම, Admin in the Field ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න සිදුවෙනවා. මේ සඳහා අදාළ පෙළපොත්, යුද හමුදාව විසින්, නිළධාරීන් වෙත නොමිළේ නිකුත් කරනවා. ඒවා පාවිච්චි කර, සුරක්ෂිතව නැවත බාරදිය යුතුයි. නැතිවුනොත්, විනයානුකූලව ක්‍රියා කරනවා. එම පොත්, පරිපාලනයට අදාළව පමණක් නොව, සංග්‍රාමික උපක්‍රම, අවි පරිහරණය, වැනි සියලුම අංශ සඳහා, සකසා තිබෙනවා. ඒ සෑම විෂයයකින්ම ප්‍රශ්න පත්‍ර ලැබෙනවා විභාගයේදී. එම පෙළ පොත්, යුද හමුදා රහස්‍ය ලේඛන හැටියටයි සැලකෙන්නේ. එබැවින්, මේ ලිපිය ලිවීමේදී, මට ඔබවෙත නිරාවරණය කරන්න ලැබෙන්නේ, සීමිත කරුණු ප්‍රමාණයක් පමණයි. 

   දෙයියනේ................ වචන 1600 ත් පැනලා. දැන් මම මොකද්ද කියන්න අවේ, අන්තිමට මොකද්ද කියලා තියෙන්නේ? හරියන්නෑ මේ වැඩේ. මටත් මේ ලෙඩේ බෝවුනේ, හැලපතුමාගෙන් සහ රවීතුමාගෙන් කියලයි මට හිතෙන්නේ. හරි හරි, ඊළඟ කොටසේදී නියමෙට බහිමු, කෙතේ පාලනේට.

2015 නොවැම්බර් මස 23 වැනි දින 0012 පැය



94 comments :

  1. හැලපස්ටයිල් වේගෙන ආවට කාරි නෑ මාමේ මේ නොදත් දේ කියවනකොට අපි නිලධාරින් ගැන ඔහුන්ගේ වැඩ කටයුතු ගැන දන්නේ බොහොම චුටී දේවල්නේ කියලා හිතෙනවා....
    ඉස්සර තාත්තා පොලිස් සේවයේ ඉද්දී වෙච්ච දේවල් කියනකොට මං ඒවා අහන් හිටියේ හරි උනන්දුවෙන්.... මේ ලිපිය කියවද්දී තාත්තා කිව්ව සමහර කතා මතක් උනා...

    ඊ ලගය ලිපිය කියවනකම් නොඉවසිලිමත් මේ විස්තර ලිවීම පිළිබද මගේ උත්තමාචාරය!!

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය මහජනතාව විසින් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නොදකින පැති රාශියක් තියනවා. උදාහරණයක් වශයෙන් පොලිස් නිලධාරීන් වෙනුවෙන් සතියකට වරක් පැවැත්වෙන උපදෙස් පන්ති දක්වන්න පුළුවන්. (එහෙම දෙයක් තියනවද කියලා සමහරු දන්නේ නැහැ) එහිදී බොහෝවිට කියන්නේ මහජනතාවගේ ආරක්ෂාව ගැනයි. නමුත් බොහෝදෙනා පොලීසිය දෙස බලන්නේ වපර ඇසකින් යන්න පිළිගත් සත්‍යයක්.

      ඊළඟ කොටස සැකසෙමින් පවතිනවා.

      Delete
  2. කොයි වැඩේ ගැන වුනත් කරන හැටි උපදෙස් දෙන්න, කලාට පස්සෙ වැරදි හොයන්න ලේසියි. සැලසුමක් හදලා ඒක කරන එක තමා අමාරු. පරණ පුරුදු රහට උයලා තියෙනවා අදත්.
    අනේ අම්මේ! අර ටැංකිය ප්ලාස්ටිෂෙල් ද කොහෙද. ඒ වීඩියෝ කලෙක්ෂන් එකේම ලෝඩ් වෙනවා ටෝ මිසයිල් ෂොට් එකකුත්. ඇපත් නෑ.
    මේ පාළු නිවසේ වික්‍රමය ගැන විචාරකතුමා මීට කලින් දවසක් ලීවා වගේත් යාංතං මතකයි.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ තිබුන යුද්ධය නිසා එක්තරා 'යුද විශේෂඥයන' පිරිසක් බිහිවුණා. මේ අය තමන්ගේ 'විශේෂඥ දැනුම' ලබාගත්තේ විවිධ ජනමාධ්‍ය ඔස්සේ පළවුණ වාර්තා සහ දේශපාලක උන්නැහේලා ගහන බයිලා අහගෙන ඉඳලා. නමුත් කවදාවත් ත්‍රිවිධ හමුදාව ඒවාට උත්තර දෙන්න ආවේ නැහැ. මොකද ඔවුන්ට ඔව්වාට පැටලෙන්න වෙලාවක් නැහැ යුද්ධ කරන්න තියන නිසා.

      අතන තිබුණු වීඩියෝ වලින් කෙටිම එක තමයි තෝරාගත්තේ, බොහෝ දෙනෙකුට දත්ත සීමාව නිසා දිග වීඩියෝ බලන්න අවස්ථාවක් නැති නිසා.

      ඔව් මම කලිනුත් ඔය අභ්‍යාසය ගැන කියලා තියනවා.

      Delete
  3. Thank you Mr.Vichaaraka. Danne nethi godak dewal denagaththa.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මට සතුටුයි ඔබේ දැනුම පුළුල්වීම පිළිබඳව.

      Delete
  4. දිග බ්ලොග් ලිපියක්. මේක යුද බිමේ කළමනාකරණය නෙවෙයිද කෙතේ කළමනාකරණයට වඩා

    ReplyDelete
    Replies
    1. යුද බිමේ කළමනාකරණය තමයි හරි. administration in the field කියන එකේ ෆීල්ඩ් කියන වචනය ඇසුරෙන් කෙත කියලා ලිව්වේ, විනෝදයට සහ අවධානය ගන්න.

      Delete
  5. //පිටේ තියන මල්ලට දාගෙන ඉන්න, වියළි ආහාර සළාක පැකට් වල තියන දේවල්, කන්න පුළුවන් තත්වයේ හොඳ ආහාර වියයුතුයි. එම සලාක ඉවරවෙන්න කලින් අලුත් සැපයුම් ලැබිය යුතුයි. සටනේදී පුදුම වතුර තිබහක් එනවා. වතුර ඉතා පරිස්සමෙන් පාවිච්චි කළත්, වතුර හොයාගන්න අමාරුනම්, වතුර සැපයුමක් (සොල්දාදුවන් වතුර ගෙනියන ඇලුමිනියම් බෝතල් නැවත පුරවා දීමක්වත්) තිබිය යුතුයි.//

    මේ ආහාරවලට ලැබෙන්නේ මොනවාද? ඔය මල්ල ගොඩක් බර එකක්ද? සටන් කරද්දී එය කරදරයක් වෙන්නේ නැද්ද?

    //තනියම යුද සැලැස්මක් සකසා, සිතියමක් ඇඳ, එම භූමියේ අදාළ තැන් පෙන්වමින්, එය පරීක්ෂණ මණ්ඩලය වෙත විස්තර කළයුතු වෙනවා.//


    සිතියමක් ඇඳීම සඳහා පුහුණුවක් කලින් ලැබෙනවද?

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ල ගොඩක් බරයි. හැබැයි ඉතින් අපේ රටේ නම් ඉස්කෝලේ යන කාලී ඉඳලම මල්ල උස්සගෙන යන්න පුරුදුවෙනවනේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ.

      [im#]https://jangun.files.wordpress.com/2015/11/walking-to-school-unicef-backpack.jpg[/im]

      යුද්දෙදි ගෙනියන මල්ලේ කෑම විතරක් නෙවෙයි තියෙන්නේ. ඇඳුම්, බිමට එලන කැන්වස් රෙද්ද, කූඩාරමක් මෙන් සකසාගතහැකි කැන්වස්/ටාපොලීන් රෙද්ද, කෑම කන්න පාවිච්චී කරන භාජනය හෙවත් මෙස්ටින් එක, සොල්දාදු වතුර බෝතලය, පොඩි පොඩි ආයුධ, සබන්, දත් බුරුසුව, රේසරය, නැති දෙයක් නෑ.

      [im#]https://jangun.files.wordpress.com/2015/11/flashbang-holster.jpg[/im]

      මෙන්න මල්ලේ ප්‍රමාණය

      [im#]https://jangun.files.wordpress.com/2015/11/sla2.jpg[/im]

      මෙන්න මේ වගේ කෑම ජාති න්තමයි තියෙන්නේ. මෙයින් සමහරක් බත් පැකට් රසායනික ප්‍රතික්‍රියාවකින් රත්වෙනවා එම පැකට් එකේ ඇතුළු කවරය සහ පිට කවරය අතරට වතුර දාපුවාම.

      [im#]https://jangun.files.wordpress.com/2015/11/ration-pack.jpg[/im]

      සිතියම් කියවීම, නිර්මාණය කිරීම පිළිබඳව ඉතා ඉහළ පුහුණුවක් දෙනවා.

      Delete
    2. කන්න පුළුවන් දේවල් තියෙන්න ඕනේ කිව්වේ මේකයි. සාමාන්‍යයෙන් ඔය පැකට්වල තියන සමහර දේවල් වල මෙලෝ රහක් නෑ.

      සෙබළෙකුට දින 3 ක් පමණයි පැකට් සලාක සැපයිය යුත්තේ සාමාන්‍ය ක්‍රමය යටතේ. ඉන්පසු අනිවාර්යයෙන් උයපු කෑම දෙන්න ඕනේ. නමුත් LRRP වැනි ක්‍රියාන්විත සඳහා යන අයට දෙන විශේෂ අධිපෝෂණ චොක්ලට් වර්ගයක් තියනවා. එක චොක්ලට් කෑල්ලක තියනවා, සම්පූර්ණ ආහාර වේලක ශක්තිය.

      Delete
    3. රෑශන්ස් කියන්නෙ මෙව්වටද විචාරකතුමා එතකොට. පරක්කු වෙලා ඇවිත් හාරවුස්සනවා කියල තරහ ගන්ට එපා...

      Delete
    4. ඔව් සජ්ජා, රැෂන් පැකට් වල තියන දේවල් තමා මේ.

      Delete
  6. ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායෙන්. දැනටත් එවැනි ගොවිපොළ කීපයක් තියනවා./////////////////// මෙවැනි සාර්ථක ගොවිපලක් මම දැක්කා දියතලාවේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, දියතලාව, ඇඹිලිපිටිය, වැල්ලවාය, කන්දකාඩු, වැනි ස්ථානවල තියනවා.

      Delete
  7. මෙන්න ලිපි
    එල ද බ්‍රා
    අද දවස අතුලත මේක තව තුන් පාරක්වත් කියවනවා

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයාටත් ඉන්නවද වටකරලා පහර දිය යුතු හතුරෙක්

      Delete
    2. කැමා, පරිස්සං වෙලා හිටු.

      Delete
    3. ස්තුතියි මෙන්ඩෝ. අම්මපා කාටහරි වැඩක් දෙන්නද ලිපිය කීපවරක් කියවන්නේ?

      Delete
  8. අලි විචා මාමේ දිගටම ලියන්න මටත් ඉන්නවා හතුරෙක් රාජගිරිය පැත්තේ වට කරලා පහර දෙන්න ආයෙත් පැනලා යන්නත් බැරි වෙන්න

    ReplyDelete
    Replies
    1. මං දෙන්නං බ්ලොක් එක මැස්සෙකුට රිංගන්ඩ බැරිවෙන්න.. ඕ යේස්

      Delete
    2. හිතේ ඇති රාජගිරියට ඇවිත් යහතින් යන්න , කාම පැයත් නැති කරගන්න හදන්නේ ඔය

      Delete
    3. මැලේටයි පත්තර මල්ලිටයි “කාම පැයක්“ දෙනවද බං ඌන් වැඩ කරන තැන්වල..මමත් බෝසාට යෝඡනාවක් දාන්න ඔනේ..

      Delete
    4. බොට දීල තියෙන්නෙ කාම සතියක්ම. වැඩ ගන්න දන්නැති එකට බොසා මක් කරන්නද?

      Delete
    5. ඩ්‍රැකී ++++++++++++++++++++++++++++

      Delete
    6. ඈ බං මැලේ, උඹට මාව පේන්නේ අලියෙක් වගේද?

      චඃ අපේ කාලේ තිබුනේ නැහැනේ ඔය කාම පැය. තිබුණ නම් කාම යුද්දයක් තමා කරන්න වෙන්නේ.

      Delete
  9. ඔබතුමාගෙ ප්ලෑන කියෙව්වහම මතක් උනේ, ඩෙල්ටා ෆෝස් ගේම් එක. ඒකෙ අපට දෙන මිෂන් විස්තරත් ඔය වගේ තමා. ඉන්ෆිල් එකෙන් ඇතුල් වෙලා, කියන කියන වේ පොයින්ට් වලට ගිහිං, මිෂන් එක ඉවර කරලා, එක්සිට් එකට එද්දි, බ්ලැක් විඩෝ චොපර් එක එනවා අපිව අරං යන්න...

    ඉස්තූතියි උඩුකුරුඤ්ඤම මතක් කොළාට ඈ...

    ReplyDelete
    Replies
    1. ඔයවගේ ගේම් හදලා තියෙන්නේ හමුදා අභ්‍යාස පදනම් කරගෙන. ඒ නිසා ඉස්සර වෙලාම අරවගේ විස්තරයක් දෙනවා. ඒක හදලා තියෙන්නේ 99% විතර හමුදාවේ ක්‍රමයට.

      හෙහ් හෙහ්, අරක කියවලා කී දෙනෙක් උඩුකුරුඤ්ඤං වුණාද?

      Delete
    2. /හෙහ් හෙහ්, අරක කියවලා කී දෙනෙක් උඩුකුරුඤ්ඤං වුණාද?/

      හරියටම ගාණක් කියන්න අමාරුයි. තාම කකුල් ගණං කරනවා...

      Delete
  10. එළ! හමුදාවල පිරිස් කළමණාකරණය ගැනත් ඔබ තුමාට වෙලාව තියෙනවනම් ලියන්න..

    අද උදේ කෑම මෙසේදී මේ වගේ පොඩි කතාවක් උනා.. මමත් අපේ ලොක්කා ත් (වරලත් ඉංජිනේරුවෙක්- ඔහුගේ බැචෙක් තමයි නාවික හමුදාවේ සිවිල් ඉංජිනේරු අංශයේ දෙවෙනියා) සහ අපේ ඇඩ්මින් මැනේජර්.. පොලිසියේ විශ්‍රාමික SP වරයෙක්.. ලොක්කාගේ විග්‍රහයේ හැටියට හමුදා වල හා පොලිසියේ පහල සාමාජිකයින් ඉහල නිලධාරීන් අතින් පිඩාවට පත් වෙනවා.. මොකද ඔහු දැක තිබෙන පරිදි අර ඉහල නිලධාරියට කියන කියන විදියට කෑම උයල දෙන්න, බොන වෙලාවට කියන කියන විදියට බයිට් හදල දෙන්න, අරක්කු, බයිට් ළඟටම ගෙනත් දෙන්න කෑම කෑවම අත සෝදන කෝප්පේ ලඟට දෙන්න, පිඟාන සෝදන්න, ඇඳුම් යන් කරන්න, සපත්තු පොලිෂ් කරන්න රෑ කීය උනත් 'කොල්ලෝ' ඕනේ තරම් ඉන්නවා.. ඒක හරහා ඔහු අනුමාන කරනවා ඒ නිලධාරියා අතින් පහල ශ්‍රේණි වල 'කොල්ලන්' පීඩාවට පත්වෙන බව.. මේක මෙහෙම නෙවෙයි කියන්න මට සැහෙන්න කරුණු කියන්න උනා.. ඒ විතරක් නෙවෙයි මොනයම් හරි ආකාරයකින් අනවශ්‍ය පීඩනයක් එල්ල උනොත් ඒ ගැන ක්‍රියා කරන්න තියෙන විදි ගැන කියන්න හමුදාවල 'divisional system' එක ගැන, chain of command සහ grievances සම්භන්දව කටයුතු කරන විදිය, එතනිනුත් අසාධාරණයක් උනොත් redress of grievances ක්‍රම ගැන දීර්ග ලෙස විස්තර කරන්න සිද්ද උනා. අවසානයේදී ඔහු පිළිගත්තා පෞද්ගලික හෝ රජයේ වෙනත් සේවාවක නැති තරම් ඒ සම්භන්දව නීති හා රෙගුලාසි හමුදාවල තියෙන බව.. මන් අත්දැකීමෙන් දන්නා දෙයක් තමයි පෞද්ගලික අංශයේ තරම් හමුදාවල සේවකයින්ට ඉහල ස්ථර වල නිලධාරීන්ගෙන් බලපෑම් එන්නේ නැති බව.. පෞද්ගලික අංශයේදී හිතුමතේට වැටුපට බලපෑම් කරන්න පුළුවන් උනාට ඔබ තුමා දන්නවා හමුදා සේවකයෙකුට 'pay cut' එකක් දෙන්න කොච්චර ලොකු ප්‍රොසිඩියර් එකක් තියෙනවද කියලා.. අනිත් එක කොච්චර අවස්ථා තියෙනවද අපි නිලධාරීන් විදියට කොල්ලෝ කොච්චර වැරදි කරත් 'පඩියට කෙළින්නේ' නැතුව ගොඩ දාල දෙන.. මේ වගේ එහෙම එහෙම 'හුරතල්' නෑ..
    ඔබ තුමාට වෙලා තියෙන විදියට මේ ගැනත් ටිකක් ලියන්න.. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන් .ඒත් ඔය දේවල් ප්‍රායෝගිකව සිද්ධ වෙනවද . මං දැක්ක සයිබරයෙ කොහෙහරි මියගිය සොල්දාදුවෙකුගෙ දිනපොතක සටහනක්. මේ සොල්දාදුවට නිළධාරී (අණ දෙන ) තුමා පුදුම පීඩාවක් කරල තියෙන්නෙ. මට හිතුනෙ මේ සොල්දාදුවත් කොහෙ හරි දුප්පත් පවුල කොල්ලෙක් වෙන්න ඇති නේද ඇයි මේ වගෙ මනුස්සයෙකුට වද දෙන්නෙ කියල.

      ඇත්ත හමුදාව තුල වෙන කිසිම තැනක නැති පටිපාටියක් තියනව. ඒත් ප්‍රායෝගිකව ඔය කිසිම දෙයක් පොතේ හැටියට කරන්න බෑ. නීති විරෝධී නියෝග ගනිමු. එහෙම නියෝගයක් දුන්නම ඒක ප්‍රතික්ෂේප කරන්න සොල්දාදුවට බෑ. ප්‍රතික්ෂේප කළොත් ඊට පස්සෙ කෙලින්ම පෝරියල් එක. ඊට පස්සෙ ඔපරේශන් එකකදි දන්නෙම නැතිව වෙඩිකාල ඉදියි.
      ඔය කියපුවට අමතරව සමලිංගික ප්‍රශ්නත් කෝටියයිලු නේද

      වරදවා ගන්න එපා. මම කතා කරන්නෙ හමුදාවෙ කාර්යභාරය අවතක්සේරු කරල එන් ජී ඕ මනසකින් නෙමෙයි. මම හැමදාම හමුදාව පැත්තෙ හිටපු කෙනෙක්. මෙව්වට උබ තරහ ගන්නෙ නැති බව දන්න නිසයි මෙහෙමවත් කිව්වෙ.

      Delete
    2. කෝ මේ විචාරක උත්තමය..

      //ඒත් ඔය දේවල් ප්‍රායෝගිකව සිද්ධ වෙනවද// අනිවාර්යෙන්ම වෙනවා.. මොනම නිලධාරියෙකුටවත් හිතු මතේ නටන්න පුළුවන් තැනක් නෙවෙයි හමුදාව.. වාර්තා නොවෙන සිදුවීම් කිහිපයක් නිසා ඔය කියුව වගේ එකක් දෙකක් ඇති.. ඒත් වාර්තා වෙන කිසිම සිදුවීමක් ලේසියෙන් පරීක්ෂණයකට යටත් නොකර තියන්නේ නෑ..
      මෙහෙම එකක් තියෙනවා.. යුද්දේ තියෙන කාලේදී එහෙම ගොඩක් වෙලාවට එකම 'ටීම්' එකක් විදියට තමයි වැඩ කරන්නේ.. 'මයි මෑන්' ල ඉන්නවා ගොඩක් වෙලාවට.. එහෙම තැනකට අලුතෙන් එකෙක් ආවහම ටිකක් ඒ ක්‍රමය හුරු වෙනකම් ආගන්තුක බවක් දැනෙනවා.. එක එකාගේ පරිපාලන විදි කොහොමත් වෙනස් නේ.. සමහරු කුනුහරුපයක් කියල තමයි තමන්ගේ හොඳම ගෝලයට කතා කරන්නෙත්.. සමහරු වැරද්දක් දැක්ක තැන හෙවිල්ලක් බැලිල්ලක් නෑ දෙකක් දෙනවා.. හැබැයි තමන්ගේ එවුන් වෙනුවෙන් පන උනත් දෙන්ඩ ගොඩක් වෙලාවට උන් ලෑස්තියි.. සමහර වෙලාවල් තියෙනවා ඔය සිස්ටම් එකට හුරු උනාම කිසිම ප්‍රශ්නයක් එතනින් පිටට ගෙනියන්නේ නැතුව ගොඩ දාගන්න අවස්ථාවල්.. ඒක හොඳයි කියන්න බෑ.. ඒත් ෆිට් වෙච්චි උන්ට ඒ වගේ ඔෆිසර්ස් ලා කියන්නේ දෙයියන් බුදුන් වගේ,, තමන්ගේ පවුල් වල ප්‍රශ්ණ පවා කියන්නේ අන්තිමට OC ට.. මේක දිගට විස්තර කරන්න ඕනි එකක්.. ඔය තත්ත්වේ යුද හමුදාවේ ටිකක් වැඩියි මන් හිතන්නේ.. නාවික හමුදාවේ නම් ගොඩක් දුරට නීතියටම වැඩ වෙනවා..

      Delete
    3. බොහොම ස්තුතියි කල්‍යාණ දිග කමෙන්ට් දෙකටම. ඉදිරියේදී, personnel administration, military law, logistics, ගැන ලියන්න හිතාගෙන ඉන්නවා. මීට කලින් ඔයා මතක් කල rules of engagement තවම ලියන්න බැරිවීම ගැන කණගාටු වෙනවා.

      ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ ඔවුන්ගේ බඩියන් සම්බන්ධ වැරදි අර්ථ නිරූපන ඇතිවෙන්නට, ඒ දෙපක්ෂයේ සමහර ක්‍රියාකාරකම් හේතුවෙලා තියනවා. නමුත් එලෙස හමුදාව අපකීර්තියට ලක්වන ආකාරයට ක්‍රියා කරන්නේ 10% කටත් අඩු පිරිසක්. ඒ වුනාට ඒ තොරතුරු වලට තටු ලැබිලා පියාඹනවා බොහොම වේගෙන්.

      මගේ එක බඩියෙක් හිටියා ජයවර්ධන කියලා. හරිම ඇම්ඩෙක් මිනිහා. මට එක නිල ඇඳුමක් අඳින්න දෙන්නේ එක දවසයි. උදේට ඔෆිස් යන්න ප්‍රමාද වෙනවා මුගේ විච්චූරණ වැඩ නිසා. 'මගෙන් ගුටිකන්නැතුව විජහට යුනිෆෝම් එක දීපන්' කිව්වත්, කිසිම දවසක නියපිටින් පහරක් ගහලා නැහැ. ඇත්තටම බඩියා කැමතියි තමන්ගේ නිලධාරියා ලස්සනට අන්දලා ඉන්නවා දකින්න. නමුත් මගේ නිවස්නය අසලින් යනකෙනෙකු හිතන්න ඉඩ තියනවා, මා ඔහුට පහර දෙන බව.

      මා නිවාඩු එනවිට ඔහුත් එනවා. ගෙදර ආවගමන් මේකා අපේ උන්දැව බැලන්ස් කරනවා. 'මැඩම්, ඔන්න මැඩම් සර් ආයෙත් වැඩිපුර බොනවා. මටනං කරන්න දෙයක් නෑ' කියලා මූ මම ඉන්න තැනම කියනවා. 'හිටපිය තෝ මරන්න' කියලා මම මගේ ආරක්ෂක මුරයේ එකෙක්ගේ තුවක්කුව අතට ගන්නවා. අපේ උන්දෑ මට වරු ගාණක් බනිනවා. මූමයි හැන්දෑවට අහන්නේ 'සර් මෙස් එකෙන් මොකුත් ගෙනත් ඕනෙද' කියලා. මූමයි කුස්සියට ගිහින් බයිට් හදවාගෙන එන්නේ.

      නිවාඩු ඉවරවෙලා යන දවසට මූ අපේ උන්දෑ වටේ කැරකෙනවා මැඩම් කඩේ යන්න තියනවා නේද? කෝ දෙන්නකෝ සල්ලි මම ගිහින් අරන් එන්නම් කියලා මූ කාර් එකේ රියදුරු සෙබලාටත් අණදීගෙන කඩේ යන්න හදනවා. මම අහනවා 'එතකොට තොගේ අප්පච්චිද බොල මගේ බඩී වැඩටික කරන්නේ' කියලා. අපේ උන්දැ පැනලා කියනවා 'අනේ මේ ළමයට දවස් දෙකක නිවාඩුවක් ඉල්ලනවා එයාගේ ගෙදර මොනවද හදිසි වැඩක් තියනවා' කියලා. මේකා කලින්ම අපේ උන්දැව අල්ලාගෙන. මම කෑ ගහනවා 'නැගපිය කපටියා වාහනේට ආපහු යන්න' කියලා. මූ කොහොමහරි අපේ උන්දැ මාර්ගයෙන් දවස් දෙකක නිවාඩුවක් අනුමත කරගන්නවා.

      ජයවර්ධනත් අද මා වගේම විශ්‍රාම ගිහින්. (සැරයන් නිලයට උසස්වෙලා) අදටත් ඔහු සිංහල අවුරුද්දට අපේ ගෙදර එනවා. ඒ වගේ සෙබළුන් දහස් ගණනක් අපේ හමුදාවේ ඉන්නවා. ඔවුන් දාසයන් නොවෙයි. අවබෝධයෙන් සහ හිතවත්ව, පක්ෂපාතීව ක්‍රියාකරන සෙබළුන්.

      මේ සියල්ල අමානුෂික දේවල්ද යුද හමුදා සමාජය තුල සිදුවන රසවත් සාමාන්‍ය දේවල්ද කියා දන්නේ හමුදාවේ අය පමණයි.

      මම කවදාවත් මගේ යට ඇඳුම්, බැනියම් සහ මේස්, හෝදන්න සෙබළුන්ට දෙන්නේ නැහැ. ඔවුන්ගෙන් එවැනි වැඩ ගන්නා නිලධාරීන්ට මා තදින් අවවාද කර තිබෙනවා. එවැනි නිළධාරියකු බලසේනාධිපතිගේ විනය ශාලාවට ඉදිරිපත් කළා එක වරක්. යුද හමුදාවේදී තමන්ට ලැබෙන සීමිත වරප්‍රසාද අවභාවිත කරන අය නිසා තමයි ප්‍රශ්න ඇතිවන්නේ.

      බොහෝ දෙනෙකු හිතන්නේ නිලධාරීන්ට එරෙහිව උසස් මූලස්ථාන වෙත අභියාචනා ඉදිරිපත් කරන සෙබළුන් හිරිහැරයට ලක්වෙනවා කියලයි. සෙබළුන් බොහෝදෙනෙකු තුළ වැරදි අවබෝධ ඇතිවන්නේ, උසස්වීම ලබාගැනීමට තරම් වාසනාවක් නොලද වෙනත් සෙබළුන් barrack lawyers ලෙස කටයුතු කිරීමයි.

      Delete
    4. @ මධ්‍යස්ථ මතධාරියා.

      සෑම රටකම පාහේ යුද්ධ කාලයක් අවසන් වූවාට පසුව හමුදාවට වෛර කරන නිළධාරීන්/සොල්දාදුවන් පිරිසක් බිහිවෙනවා. මේ අය ගැන වෛද්‍ය ජයතුංග දීර්ඝව දක්වා ඇති කරුණු කියවා බලන ලෙස කාරුණිකව ඉල්ලනවා. මේ ආකාරයට යම් යම් සිත්වේදනා වලට පත්වූ සමහරුන්ගේ අම්බලම වන්නේ සයිබරයයි. මක්නිසාදයත්, සයිබරය වේගයෙන් දුවන්නෙත්, උණුසුම්, සංවේදී, විවාදාත්මක, කාමුක, විවිධ සමාජ අපචාර සහ අපරාධ පදනම් කරගත් තොරතුරු බහුල වූ තරමටයි.

      මෙන්න ඇත්ත කරුණු.

      සිද්ධිය:- තමන්ට නිවාඩු දෙන්නේ සමලිංගිකව හැසිරීමට එකඟ වන්නේ නම් පමණයි කියා සෙබළෙකුට බලපෑම් කළ සැරයන් වරයකුව එම සෙබලා විසින් කඳවුර තුලදීම වෙඩි තබා මරා දැම්මා.

      නිරීක්ෂණ:- සෙබළුන්ව යටත්පිරිසෙයින් මසකට වරක්වත් පෞද්ගලිකව (එතන සිටිය යුත්තේ සෙබලා සහ නිළධාරියා පමණයි) සම්මුඛ පරීක්ෂණයකට භාජනය කොට විශේෂයෙන් ඔවුන් කිසියම් මානසික පීඩාවකින් පෙලෙන්නේද යන්න සොයාබලා වෙනම ලේඛනයක ඒ තොරතුරු රහස්‍ය භාවය සුරකිමින් වාර්තා කර ගැනීමටත්, සුදුසු පිළියම් සඳහා එවැනි සෙබළුන් යොමු කිරීමටත් උපදෙස් දී තිබෙනවා. එලෙස නොකිරීමේ ප්‍රතිඵලයක් තමයි මේ.

      සිද්ධිය:-
      මා එක්තරා කඳවුරක, කඳවුරු සේනාවිධායක Camp Commandant ලෙස සේවය කරද්දී, එක් දිනක් සවස 3 ට පමණ, අභ්‍යන්තර දුරකථන පද්ධතියෙන්, intercom මට ඇමතුමක් ආවා. ඇමතුම දුන් කෙනා 'සර් 12 බංකරේට ගිහින් බලන්න මොකද වෙන්නේ' කියා, ඇමතුම විසන්ධි කළා. 12 බංකරයේ ඒ වෙලාවට ඉන්නේ කාන්තා සෙබලියන් බව මා දන්නවා. මා කාන්තා සෙබලියන් භාර නිලධාරිනියත්, රෙජිමේන්තු සැරයන් මේජර් වරයාත් කැඳවාගෙන, 12 බංකරය අසලට ගියාම දැක්කේ, ඒ තුළ සෙබළකු සහ සෙබළියක සංසර්ගයේ යෙදෙන ආකාරයයි. මගේ දුවගේ වයසේ සිටි නිලධාරිනියට කලන්තේ හැදුනා. මම වහාම යුද හමුදා පොලීසිය ගෙන්වා, ඔවුන්ව බාරදී බලසේනාධිපති වෙත සිද්ධිය වාර්තා කළා. හමුදා පරීක්‍ෂණයේදී එම සෙබලා කිව්වා සෙබළියව විවාහ කරගන්නා බව. නමුත් ඔවුන් දෙදෙනාවම යුද හමුදාවෙන් අස්කළා.

      නිරීක්ෂණ:- ඔවුන්ට දුන් දඬුවම අසාධාරණද? තමන් ඒ සෙබලියව විවාහ කරගන්නා බවට පොරොන්දු වීමෙන් පසුවත් ඔවුන්ව අස්කලේ ඇයි? හමුදා කඳවුරක කිසිදු හේතුවක් මත සංසර්ගයේ යෙදෙන්නට ඒ දෙදෙනාටම අවසරයක් නැහැ. (හොරෙන් එහෙම වෙනවා ඇති අනන්තවත්) සංසර්ගයේ යෙදීම ඔවුන්ගේ පෞද්ගලික කාර්යයක්. නමුත් ඒ සඳහා ඔවුන් පාවිච්චි කලේ හමුදා කඳවුරේ බංකරයක්. ඒ අවස්ථාවේදී ඔවුන් කඳවුරු මුරය ගැන නොසලකා ක්‍රියාකර තිබෙනවා. එයින් කඳවුරු ආරක්ෂාවට තර්ජනයක් ඇතිවූ බව පැහැදිලිවම ඔප්පු වෙනවා. එවැනි අය හමුදා සේවයට සුදුසු නැහැ.

      සෙබළුන්ට දේශන පවත්වා කියාදෙනවා පෞද්ගලික ප්‍රශ්න තිබේනම්, රහසිගතව හෝ කියන්න. නිලධාරියාගේ නමට ලියා එවන්න නිර්නාමිකව හෝ කියා. එයින් ඉතා හොඳින් ප්‍රයෝජන ගන්නා පිරිසක් මෙන්ම හැමදාම නොමග යන සුළු පිරිසක්ද ඉන්නවා.

      Delete
    5. // සිටි නිලධාරිනියට කලන්තේ හැදුනා. //
      විචාරක කිවුවෙ නැද්ද මේ නිලධාරිනියට '' මීට පස්සෙ ආටි ගන් තියන පැත්තෙ යන්න එපා , මැරෙයි '' කියල. සංසාරේ යුද්දෙකට අහු උනානම් මෙයා .

      Delete
    6. අම්මපා කම්මලේ මේ දෙපාරක් ගැහිල්ල තවම නවත්තගන්න බරිවුනාද? ඔන්න මම එකක් කපලා දැම්මා.

      නෑ නෑ, මෙහෙමයි, නිකම් හිතලා බලන්න හමුදාවේ අවුරුදු දෙක තුනක් විතර ගතකරලා තියන, තරුණ නිලධාරිනියකට, ප්‍රිමි නිලධාරීන් දෙදෙනෙකු ඉදිරියේදී හදිසියෙන් දකින්න ලැබෙනවා අමු නිරුවතින් සංසර්ගයේ යෙදෙන සෙබලෙක් සහ සෙබළියක්. මේ තරුණ නිලධාරිනිය කොච්චර් ලොකු කම්පනයකට පත්වෙන්න ඇද්ද? ඒ සෙබළිය තමන්ගේ යටතේ ඉන්න සෙබළියක් නිසා ඇතිවූ ලැජ්ජාව කොපමණද? කියලා.

      ඒ කඳවුරට LTTE කාලතුවක්කු ප්‍රහාරයක් එල්ලවුණ දවසේ, මේ නිලධාරිනිය සහ ඇගේ සෙබලියෝ, අපේ කාලතුවක්කු වලට අවශ්‍ය උණ්ඩ කරෙන් ඇදලා දුන්නා, සතුරු කාලතුවක්කු වෙඩි පතිත වෙමින් තිබියදී. එහෙම බය නැති අය ඒගොල්ලෝ. නමුත් අරවගේ සිද්ධියකදී ඇතිවූ ලැජ්ජාව නිසයි එහෙම වුනේ.

      Delete
    7. ප්‍රිමි නෙවෙයි පිරිමි

      Delete
  11. හෆ්ෆා.. හැබැයි අර කාලතුවක්කු ගැන ලියනකොටම මට නම් හිතුනා කාලතුවක්කු දාන්න ගියොත් නම් වැඩේ ඇනෙනවා කියලා. අන්තිමේ මම හරි එහෙනම්..
    ඔය මිෂන් ප්ලැන් එක හරියට කරේ නැත්තම් සතුරා අපිට පහරදීමේ අවධානමකුත් තියනවා නේද?

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කද වැඩේ. ටිකක් හිතලා බලන්න ඕනේ මොකක්ද කරන්න ඕනේ හොඳම දේ කියලා. දුන්න පලියට හැම එකෙන්ම ගහන්න ගියොත් වැඩේ වකූර් වෙනවා.

      කොයි තරම් හොඳින් ප්ලෑන් කලත්, තමන්ට තුවාලයක්වත් නොවී ගහන්න, ලෝකයේ කිසිම හමුදාවකට බැහැ. සතුරා එතනට වෙලා ඉන්නේ, පිටින් හොඳ ගාඩ් එකක් දාගෙන. ඒ නිසා, අපි එතනට ලංවෙන්න කලින්, සතුරා අපිට ගහන්න ඉඩ තියනවා. ඒ නිසා, මා මෙහි විස්තර කර නැති, විවිධ උපක්‍රම යොදාගන්න වෙනවා.

      Delete
  12. මේ මාමේ ඔයැයිගේ මොලේ අර අවුලට වෙච්චි අවුල ඇති වෙන්න කලින් බේත් ටිකක් ගත්ත නං හොදා.. හැක්. නෑ නෑ ඒකට කාරි නෑ. බෝස සතුටෙන් කකුල් පද්ද පද්ද කියවන්න ලැබෙන මේ වගේ දේවල් බෝම රහයි.. හැබෑට එක පාරින් විඡාගේ පාස් උනේ කෝමෙයි ජරාව දුන්න නේ.. දුන්න නේ.. හැක්.. ජය වේවා විචා..

    ReplyDelete
    Replies
    1. කකුල් පද්ද පද්ද නෙවෙයි අද්ද අද්ද යන්න දෙන්නේ උඹට :e

      ජරාව තියා ජරාව කියන වචනේ ඇහුනත් එලවනවා හමුදාවෙන්.

      Delete
  13. හරිම වටින ලිපියක්.
    ගොවිපොලවල්වලට නම් කිසිම කරදරයක් නැතිව ශ්‍රමය සොයාගන්න පුළුවන් නිසා ඉතාම සාර්ථක ඇති. දැන් තියන ලොකුම ප්‍රශ්නයක්නෙ ශ්‍රමය.
    යුද්ධය කියන්නෙ විද්‍යාවක් බව මේව කියවනකොට පැහැදිලි වෙනව.වඩා විද්‍යාත්මක වන පාර්ශ්වය දිනනවා.
    රහස් භාෂා නම් හරිම රසවත්.

    ReplyDelete
    Replies
    1. ගොවිපොළ වලට ශ්‍රමය ලැබෙන්නේ සෙබළුන්ගෙන් වීම සාමාන්‍ය දෙයක්. මක්නිසාද එම බලඇණියට පවරා තිබෙන සාමාන්‍ය රාජකාරියක් ලෙසයි එය සැලකෙන්නේ.

      යුද න්‍යායේදී කියන්නේ 'art of war යුද කලාව' කියලයි. එය අවබෝධ කරගන්න තරමක් අපහසු සියුම් කලාවක්.

      යුද්ද කාලේ හොඳ හොඳ වචන දාල රහස් සංකේත හදාගෙන තිබුණා.

      Delete
  14. එතකොට ෆීල්ඩ් මාෂල් කියන්නේ වෙල් විදානේ කියපු එක හරි නේ :P

    Reply
    දේශපාලනය සම්බන්ධ ප්‍රශ්නයක් බැවින් පිළිතුරු නොදෙමි .මීට විචාරක ;)

    ReplyDelete
    Replies
    1. එහෙම කියපු විදානේ පගා විදානේ කෙනෙක් කියලා වෙල් විදානේ කිව්වනේ.

      ඇර විදානේ ඇර ඕකට. ආවා මෙතන විදානේ හොයන්න.

      Delete
  15. සොල්දාදුව කියන්නෙ පරිපූර්න මනුෂ්‍යයෙක්. මම ඒ ලෙවල් කරන කාලෙ වුන දෙයක් මේක. මම ගියා යාළුවෙකුගෙ ගෙදර .ඔහුගෙ අයිය ආමි එකේ. යාළුව ගෙදර නොසිටි නිසා එතන තිබුන පොතක් අතට ගත්ත.ඒක යාළුවගෙ අයියගෙ පොතක්. මම පුදුමෙන් පුදුමයට පත්වුනා. මං හිතුවෙ හමුදාව කියන්නෙ ඔහේ වෙඩි තියාගෙන යන පිරිසක් කියල. ලොකු සී ආර් පොතක ගැඹුරු විශය කරුණු මහ ගොඩක් තිබුනා. සාමාන්‍ය සොල්දාදුවෙක් කියන්නෙත් හදාරන කෙනෙක්. හමුදාව කියන්නෙ විශ්ව විද්‍යාලයක්.

    ReplyDelete
    Replies
    1. ඔබ දන්නවා ඇති, ගුරුවරුන් විසින් පාසලේ තම විෂයයට අදාලව පාඩම් සටහන් සකස් කරන ආකාරය. ඒ ආකාරයටම් පාඩම් සටහන් සකස්කරනවා හමුදා පුහුණු කටයුතු සඳහා. මේවා ගැන අහලාවත් නැති අය හිතන්නේ සොල්දාදුවකු සතියෙන් දෙකෙන් හදන්න පුළුවන් කියලා. සොල්දාදුවා පරිපූර්ණ සොල්දාදුවකු වෙන්න වසර තුනක්වත් යනවා.

      Delete
  16. යුද්දෙට නොගියට මටත් යුද්ධ ටැංකියි , කාල තුවක්කුයි පාවිච්චි කරන්ඩ බෑ කියල හිතුන.
    ඇත්තටම විචාරක ආටියක් නිවැරදිම ස්ථානයට ඉලක්ක කරන්න බැරිද උදාහරනෙකට වර්ග මීටර් 10 ක් ඇතුලත.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ...........ඔය කලතුඅක්කු යුද්ද ටැංකි පාවිච්චි කලානම් ලෝක යුද්දයක් ඇතිවෙනවා. ඇයි ඔයා ගහන ඒවා වදින්නේ අල්ලපු රටට.

      කාලතුවක්කු උණ්ඩයක් අන්තිම මීටර් 10 ට ඉලක්ක කරන්න පුළුවන්. ඒ සඳහා මිනුම් උපකරණ තියනවා. නමත්, සුළං වේගය, සුළං හමන දිශාව, ආර්ද්‍රතාව, වායුගෝලයේ පීඩනය, වැනි විවිධ හේතු නිසා, ඉලක්කය වෙනස්වෙන්න පුළුවන්.

      Delete
  17. හරි ආශාවෙන් එක හුස්මට කියවගෙන ගියා.මේ වගේ තොරතුරු අපිට දැනගන්න කියවන්න ලැබෙන්නේ කම්යගෙනුයි ඔබෙනුයි...

    ත්‍රස්තවාදීන්ටත් මෙවනි පුහුණු ලබා දීමක් සිදුකරනවා නේද.ඔවුන් ඒ සඳහා යුධ විශේෂඥයන් සම්බන්ධ කරගන්නවද ?

    ReplyDelete
    Replies
    1. /ත්‍රස්තවාදීන්ටත් මෙවනි පුහුණු ලබා දීමක් සිදුකරනවා නේද.ඔවුන් ඒ සඳහා යුධ විශේෂඥයන් සම්බන්ධ කරගන්නවද ?/

      මං මැදට පැනල උත්තර දෙන එක හරිද මන්දා..

      මං දන්න විදියටනං හමුදාවෙන් ත්‍රස්ත්‍රවාදදීන්ට එහෙම පුහුණුවක් ලබාදෙන් නෑ...

      Delete
    2. ස්තුතියි ඇගයීම ගැන.

      ඔව්, ලෝකය පුරාම ඉන්න ත්‍රස්තවාදීන්, යුද විශේශඥයන් (යුද හමුදාවල සේවය කොට විශ්‍රාම ගත් අයවලුන්) කුලී හේවායන් ලෙස පාවිච්චි කරනවා.

      @විදානේ

      හමුදාවෙන් දෙන්නේ නෑ. ත්‍රස්තවාදියෝ ලෝකේ වටේ ඇවිදලා විශේෂඥයෝ/කුලී හේවායෝ හොයාගන්නවා.

      Delete
  18. යමක් ඉගෙන ගත්තා. ස්තූතියි විචාරක. මෙන්ඩගෙ ගිණි බිඳපිය අඩා !! එක මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      මෙන්ඩෝ මෙන්න උඹටත් සම්මානයක් හම්බවෙලා.

      Delete
  19. පොඩි දෙයක් ඒකතු කරන්නද????? පොදු සේවා බලකායෙන් වැටුප් හැදීමට සහ ගණකාධිකාරීවරුන්, නීතීඥයින්, පර්යේෂණ නිලධාරීන්, වගේ ම යුද්ධ හමුදාවට අවශ්‍ය කතිකාචාර්යවරුන් පවා සපයනු ලබනවා... ඒ නිසා යුද්ධ හමුදාවේ තියෙන වෘත්තීමය නිලධාරීන් රැසක් ඉන්නා තැනක් තමයි පොදු සේවා බලකාය.... මං හිතන්නේ ඔබතුමා මා සමග ඒකග වේවි.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඒ එකතුකිරීමට.

      Delete
  20. දැං හරි.. ඔහොම සෙට් වෙලා යනකොට ස්'ප්‍රයිස් ලොස්ට් වෙලා ටෙරා අපිටත් සම්බුව දෙන්න යන්නෙ.මොකද ප්ලෑන් එක ලීක් වෙලා වෙන්න පුලුවන්.ඒ වගේ වෙලාවක ප්ලෑන් බී තියෙනවාද? කොහොමද ඒකට චේන්ජ් වෙන්නෙ ඉන්න 75ත් එක්ක..?
    (ආශයි අප්පා මෙව්ව කියවන්න.මේ ගමන් අපේ කොල්ලො දීපු සුපිරි ගේමක් දෙකක් එහෙම අතරින් පතර ලියන්න හිතෙන්නෙම නැද්ද හැබෑට?)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ ප්‍රශ්නය ඇසීම ගැන. මම සෑමවිටම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න අහයි කියලා.

      ත්‍රස්තවාදියා බබෙක් නෙවෙයිනේ. ඌ අර ගේ ඇතුලට වෙලා බුදියන්නේ නෑ. දවල්ට එකෙක් දෙන්නෙක්, රෑට හත අටක්, එළියේ රැකගෙන ඉන්නවා, උගේ සතුරා එයි කියලා බලාපොරොත්තුවෙන තැන්වල. ඉතින් අපිට ප්ලෑන් බී නෙවෙයි සී ඩී දක්වා තියෙන්න ඕනේ. නමුත් මේක quick mission එකක්. ගොඩක් ලොකුවට කරන්නේ නැහැ. අර බ්ලොක් එක හරියට දාගත්තොත් බඩුම තමයි.

      Delete
  21. දන්නේ නැති දේවල් ටිකක් දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මගේ උත්සාහය සාර්ථකයි එහෙනම්.

      Delete
  22. කොටි විසිපහට ගහන්ට ආමි හැත්තැ පහක් දෙන එක ටිකක් වැඩියි වගේ නේද? හරියට අර ප්‍රභාකරන්ගෙ ඩ්‍රයිවරුයි තව දෙන්නෙකුයි මරන්න හමුදාවෙ දාහක් ගියා වගේ...

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්නයක්. යුද න්‍යාය අනුව සෑමවිටම සතුරා මෙන් තුන් ගුණයක් යෙදවීම කරනවා. අනවශ්‍ය විදිහට විශාල භටපිරිසක් යෙදෙව්වොත් අසාර්ථක වීමට ඇති ඉඩකඩ බොහොම වැඩියි.

      Delete
  23. නියම විස්තරයක් විචා.
    යුද්ධ ටැංකි භාවතා කිරීමනං කොහොමත් ඔය වගේ දේකට ගැලපෙන්නෙ නෑ. ඒ තියා සාමාන්‍ය වාහනයක්වත්. හොඳම දේ පයින් යන එක තමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න.

      පාබල හමුදාව ඉන්නේ පයින් ගිහින් යුද්ධ කරන්න තමයි. නමුත් අනිවාර්යයෙන් කාලතුවක්කු, යුද්ධ ටැංකි පාවිච්චි කරන්න සිදුවන අවස්ථා තියනවා.

      Delete
  24. විචාරක,
    ෆීල්ඩ් කියන එකට කෙත කියන වචනෙ හැමතිස්සෙම ගැලපෙන්නෙ නෑ නේද?
    උදා. Battlefield, Field Guns, Cricket field, Fielder,

    ReplyDelete
    Replies
    1. P.S.
      දැන් කෘෂි අධ්‍යක්ෂකකෙනෙකුත් ඉන්නව නේද? Director - Agriculture

      Delete
    2. සමහර ඉංග්‍රීසි වචන අපි තවමත් පාවිච්චි කරන්නේ වැරදියට. public කියන වචනය මහජන හෝ පොදු යන ලෙස නොයොදා ප්‍රසිද්ධ කියා යෙදීම උදාහරණයක්.

      මුලින්ම ඉගෙන ගත්තේ paddy field කියන එක නිසාද දන්නේ නැහැ මෙහෙම යොදන්නේ. නමුත් ක්‍ෂේත්‍රය = මිශ්‍ර සිංහල, කෙත = ශුද්ධ සිංහල, කියන වචන තුලින් ඒ ඒ අවස්ථාවට සුදුසු අර්ථය ලැබෙනවා.

      Delete
  25. මම 2003 දී මාස හයක් තිරප්පනේ නතරවෙලා හිටියා. එකම එක දවසයි තලගුරු රජමහා විහාරයට යන්න ලැබුනේ...
    විස්තරය ගොඩක් සිත් ගත්තා...

    ReplyDelete
    Replies
    1. මටත් මතකයි ඒ විහාරය ඉතා දර්ශනීය එකක් බව.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  26. //ඇයි මෙහෙම රහස් වචන පාවිච්චි කරන්නේ
    මේවා අහගෙන ඉඳලා කියන්නේ මොනවාදැයි කියල උන් තේරුම් ගත්තු (code break) කරපු වෙලාවල් තියනවද?
    එහෙම කන්න වෙලා දැනගත්තම මොකද කරන්නේ?
    මෙහෙම වචන පාවිච්චි කරන එක අහගෙන ඉන්න එක මාරයි. ඉඳිආප්පයි සන්ලයිටුයිවගේ.

    ReplyDelete
    Replies
    1. රහස් වචන පාවිච්චි කිරීම පළමුවැනි ලෝක යුද සමයේ පටන්, අද දක්වාම කෙරෙනවා. ඒ වගේම code break කිරීමත් ඒ වගේම සිදුකෙරෙනවා. ඒ සඳහා යුද හමුදාවන්හි විශේෂ අංශ පිහිටුවා තිබෙනවා. පහුගිය යුද්දෙදි අපිත් LTTE එකත් code break කිරීම කළා.

      කෝඩ් බ්රේක් වෙලා කියලා දැනගත්තම ඒ සියල්ල අවලංගු කරලා අලුත් කෝඩ් ෂීට් හදනවා.

      Delete
    2. බූරා මේක කියවලා බලන්න. තව විස්තර අවශ්‍යනම් අහන්න.

      http://wicharaka.blogspot.com/2012/06/blog-post_22.html

      Delete
    3. ඇයි විචා, මම ඔය ලිපිය වර්ඩ්ප්‍රෙස් එකේ කියෙවුවනෙ. අර කමෙන්ට් එකකුත් දාලා තියෙන්නෙ.. :-)

      ඒක නෙවෙයි විචා, සයිට් එකේ යටටම ගිහින් බැලුවහම ටෙම්ප්ලේට් එකේ HTML ටැග්ස් වගයක් පෙන්නනවා.. දැන් සෑහෙන කාලෙක ඉඳන් ඔය ටික එහෙම්මමයි.. අද බැලුවහම ඒකට තවත් ටිකක් එකතුවෙලා.. ටෙම්ප්ලේට් එකේ තිබුන මොනාහරි gadgets මැකුවද ළඟකදි?

      Delete
    4. මම එකම නමින් වර්ඩ්ප්‍රෙස් සහ බ්ලොගර් වලින් අඩවි දෙකක් පවත්වාගෙන යනවා.

      http://jangun.wordpres.com

      http://wicharka.blogspot.com

      මම ඊයේ පෙරේදා බ්ලොගර් ටෙම්ප්ලේට් එකේ තිබුන emotion faces දාන html codes මැකුවා. ඒවා අනවශ්‍ය යයි හිතුන නිසා. ඒවා මැකී ගියත්, අවශ්‍ය කෙනෙකුට : සමග අදාළ අකුර යෙදීමෙන් ඒවා යොදන්න පුළුවන්, කමෙන්ට්ස් වලට. ටෙම්ප්ලේට් එකේ පහල වෙලා තියන වෙනස දැක්කේ, ඔබ කිව්වට පස්සෙයි. එයින් මට දැනටනම් කරදරයක් නැහැ. ඒවා මකාදාන ක්‍රමයක් කියලා දෙන්න පුලුවන්ද?

      Delete
    5. මම එකම නමින් වර්ඩ්ප්‍රෙස් සහ බ්ලොගර් වලින් අඩවි දෙකක් පවත්වාගෙන යනවා.

      http://jangun.wordpres.com

      http://wicharka.blogspot.com

      මම ඊයේ පෙරේදා බ්ලොගර් ටෙම්ප්ලේට් එකේ තිබුන emotion faces දාන html codes මැකුවා. ඒවා අනවශ්‍ය යයි හිතුන නිසා. ඒවා මැකී ගියත්, අවශ්‍ය කෙනෙකුට : සමග අදාළ අකුර යෙදීමෙන් ඒවා යොදන්න පුළුවන්, කමෙන්ට්ස් වලට. ටෙම්ප්ලේට් එකේ පහල වෙලා තියන වෙනස දැක්කේ, ඔබ කිව්වට පස්සෙයි. එයින් මට දැනටනම් කරදරයක් නැහැ. ඒවා මකාදාන ක්‍රමයක් කියලා දෙන්න පුලුවන්ද?

      Delete
    6. යටින්ම තියෙන්නෙ CSS (Cascading Style Sheet) coding වගයක්. මේවා භාවිත වෙන්නෙ template එකේ formating හදන්ටයි.

      ඊට උඩින් තියෙන්නෙ Google API එකෙන් දෙන pageviews වලට සම්බන්‍ධ chart එකක්. එතන URL එක පෙන්නුවට ඒක නියමිත විදියට chart එකක් විදියට පරිවර්තනය වෙන්නෙ නැහැ. ඒ gadget එක අයින් කරලා ආයෙමත් ඇතුළු කලොත් හරියන්ට පුළුවන්.

      බ්ලොගර් dashboard එකට ගිහිල්ලා, වම් පැත්තෙ menu එකෙන් template තෝරලා, ඊටපස්සෙ දකුණු පැත්තෙ තියෙන Edit HTML button එක එබුවොත් template එකේ HTML වෙනස් කරන්ට යන්ට පුළුවන්. ඒ වුනත් ඒ ගැන හොඳටම දැනගෙන මිසක් ඒකට අතගහන එක භයානකයි. සයිට් එකම අවුල් යන්ට පුළුවන් format එකට කෙලවෙලා.

      Delete
    7. එහෙනං ඔන්න ඔහේ දැන් තියන විදිහට තිබුනාවේ . දැනට කරදරයක් නැහැනේ. මොකක්හරි ප්‍රශ්නයක් ආවොත් බලමු.

      Delete
  27. ඩුසුම් ඩුසුම් ඩෝංංං දඩා ං බඩාං....

    මගේ මේ පෑලෑන විචාරක මහත්තයලගේ ගෙදර වටකරල පහර දීලා... හික් හ්ක් හ්ි්....

    - මනරම් විස්තරයක් අෑ...


    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. අ ඩ් ඩො ව්....................එවනවා කෲස් මිසයිල් එකක්.

      හුටා..............මිසයිල් ගැනත් ලියන්න පුළුවන් වෙලාවක. මොකෑ කියන්නේ?

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  28. නොදන්නා දේවල් ගොඩක් ඉගෙනගත්ත ඔන්න..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මගේ උත්සාහය සාර්ථක බවයි පෙනෙන්නේ.

      Delete
  29. හෙක් හෙක් විචා අංකල්ව අන්දන්න බැහැනේ ලේසියෙන්, එක තමා මමත් බලන් හිටියේ කෝ මේ බර අවි වැඩේට දාගෙන නැත්තේ ඇයි කියලා, යුද්ධ ටැංකිය ආර් පී ජී එකක් ඉස්සරහ සම්පුර්ණයෙන්ම අසාර්ථක උපකරණයක් වෙනවනේ මේ විදියට බැලුවොත්, ආමඩ් පෙල්ට් එකේ මෙල්ටින්ග් පොයින්ට් එකට වැඩිය හීට් එකක් ආර් පී ජී එකේ තියෙන හින්දා ආමඩ් පෙලේට් එක හිල් කරන යනවා කියන්නේ ඇත්තද? හරියටම දන්නේ නැහැ, යුද්ද කතා ෆිල්ම් නම් තමා බලන්නේ, විචා අන්කල් බලලා තියෙනවද මේ කතා සෙට් එක?

    1. white tiger (2012) මේ කතාව රුසියාව හා ජර්මනිය අතර යුද්ද ටැංකි බලගන ගැන කතාවක්, මේකේ ඉන්න රුසියන් යද්ද ටැංකි සෙබලෙක් තමන්ගේ ටැංකිය ඇතුලේ 90% විතර පිච්චිලත් ජීවිතේ බේරෙනවා, පස්සේ මෙයාව ඇතුලත් කරනවා විශේෂ බලගනයකට. මෙයාට මාර හැකියාවක් තියෙන්නේ සතුරාගේ සැලසුම් සතුරා ඉන්න තැන පුරෝකථනය කරන්න. නියම කතාවක්.

    2. war hose (2011) මේක නම් යුද්දෙට මදි වෙච්ච අස්සයෙක් ගැන කතාවක්, හරිම ලස්සනයි.

    3. the monuments men (2014) මේක මේ නාසීන් යුරෝපේ ආක්‍රමණය කරමින් ලොව විශිෂ්ට කළා කෘති කොල්ල කෑම හා විනාශ කරන එක වලක්වන්න හදපු බලකායක් ගැන.

    4. fury (2014) මේකත් ටැංකි කතාවක්

    5. battle of the pacific (2011) මේකත් ලස්සන කතාවක් ජපානය හා ඇමෙරිකාව අතර යුද්දයක

    රත් මන් බලපු ලස්සනම කතා දෙක

    flyboys කියලා ප්‍රංශ ගුවන් හමුදා වට බැඳෙන ඇමෙරිකානු තරුනයෙකුයි ප්‍රංශ යුවතියකයි ගැන
    Stalingrad (2013) කියන්න වචන නැහැ

    අන්තිමේ කමෙන්ට් එක ෆිල්ම් ටිකක් උනා, කමක් නැහැ, අපි නොදන්නා දේ කියල දෙනවට විචා අන්කල්ට ස්තුතියි, මට නම් ඉතින් දැන් කරන්න වෙලා තියෙන්නේ කෙතේ කළමණාකරණය නෙවෙයි ජල කළමනාකරණය. :D, එකෙත් මාරු අත්දැකීම් තියෙනවා, හිමීට පස්සේ කියලා දාන්නම්කො.

    ReplyDelete
    Replies
    1. සොමියාගේ කටහ්වට පොඩි එකතුවක්. Stalingrad (2013) කියන්නේ මම කැමතිම ෆිල්ම් එකක. ඒ හා සමාන කතාවක් තමා " ඉදි ස්මත්‍රී " රුසියානු භාෂාවෙන් " එන්න බලන්න " කියන ෆිල්ම් එක. ඉංග්‍රීසි එක "කම් ඇන්ඩ් සී " http://www.imdb.com/title/tt0091251/?ref_=nv_sr_1

      Delete
    2. RPG විතරක් නෙවේ man portable (කරේ තියාගෙන ගිහින් ගහන) රොකට් විදිනයන් ගොඩක් තියනවා, යුද්ධ ටැංකි වලට ගහන්න හදපුවා. අද කාලයේ යුද්ධ ටැංකි සටනට යන්නේ, චන්ද්‍රිකා පින්තූර ආධාරය සහ ගුවන් ආරක්ෂාව සහිතවයි. යුද ටැංකිවල ඉදිරිපස සහ දෙපැත්තේ හැඩය වෙනස්කර තිබෙනවා, RPG වැදුනම ලිස්සලා යන්න. නමුත් RPG වලට යොදන HEAT = High Explosive Anti Tank උණ්ඩ වලින් බේරීම බොහොම අමාරුයි.

      battle of Pacific හැර අනෙක් ඔක්කොම චිත්‍රපටි මගේ ළඟ තියනවා. මේ චිත්‍රපටි බොහොමයක් නිර්මාණය කර තිබෙන්නේ යුද න්‍යාය පැහැදිලිවන ආකාරයට. යුද හමුදාවේ කෙනෙකු සමග සාකච්ඡා කරමින් මේ චිත්‍රපටි නරඹන්නට හැකිනම් ඔබ විශ්මයට අත්වන තොරතුරු ඒ චිත්‍රපටිවල තිබෙනවා. උදාහරණයක් වශයෙන් යුද ටැංකියක් භූමියේ ගමන් කිරීමේදී අනුගමය කරන පිළිවෙත්, සතුරාට පහරදීම සඳහා ටැංකිය ස්ථානගත කිරීමේ උපක්‍රමික ක්‍රමවේදයන්, ඉලක්ක ගැනීමේ ක්‍රම, වගේ හරිම සිත්ගන්නා සුළු දේවල් තියනවා.

      flyboys චිත්‍රපටියෙන් අපේ තරුණ සිතුවිලි ආයෙත් ඉස්මතු වෙනවා. :e

      Delete
    3. අජිත් කියල තියන චිත්‍රපටිය බාගත්තොත් හොඳයි වගේ.

      Delete
    4. මේකට තව එකක් එකතු කරන්න ඕන. Band Of Brothers මිනි සීරීස් එක... මම බලපු ලස්සනම ටීවී සීරීස් එක. කොටස් 10යි.

      Delete
    5. සජ්ජා, බැරිද ලින්ක් එකක් දෙන්න කරුණාකරලා.

      Delete
  30. නියමයි. ආසාවෙන් කියෙව්වා ඈ. මේ විභාගෙ කතාව කලිනුත් කියවලා තියෙනවා වගේ මතකයි...........

    ReplyDelete
    Replies
    1. විභාග කතාව කලින් කියලා තියනවා. හැබැයි මේ තරම් සවිස්තරව නෙවෙයි.

      ඇගයීම ගැන බොහොම ස්තුතියි.

      Delete
  31. විචාරක තුමා. මම ගොඩක් පරක්කු වෙලා නමුත් ලිපිය සහ කොමෙන්ටු කියවීමෙන් ලොකු අවබෝධයක් ලබාගත්තා මේ සම්බන්ධව... දිගටම ලියමු.. ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. පරක්කුවීමක් නැහැනේ සජ්ජා. කවුරුත් බ්ලොග් බලන්නේ තමන්ට පුළු පුළුවන් වෙලාවට. කොයි වේලාවකදී හෝ කියවා අදහසක් දැක්වීම තමයි මටනම් වැදගත්.

      බොහොම ස්තුතියි ඇගයීම ගැන. ඊළඟ කොටස හෙට දෙන්නම්.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }