හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

12 September 2016

හරියට නොපැදපු 'මෝටර් බයිසිකල්'

   මම අද මෝටර් බයිසිකල් චිත්‍රපටිය නැරඹුවෙමි. චිත්‍රපටිය නරඹා, ආපසු නිවස වෙත වාහනය පදවන අතර, මා, මගේ බිරිඳ සහ, දියණියන් අතර ඇතිවූ සංවාදයද පදනම් කරගනිමින්, ඊට අමතරව තනිවම සිතමින් ආ කරුණු ද සලකා බලමින්, රාත්‍රී ආහාරයෙන් පසු, හරි බරි ගැසී පරිගණකය වෙත වාඩිවුණේ, සිනමා විචාරයක් කෙසේ වෙතත්,  මගේ සිතුවිළි අකුරු කරන්නටය. 

   මේ ලියන්නේ, අවංකවම මේ චිත්‍රපටිය ගැන මගේ හිතේ ඇතිවුණු අදහස් ය. ඒ අදහස් සමග ඔබ එකඟවීම මට අවශ්‍ය නැත. මා බලන්නේ මගේ දෘෂ්ටි කෝණයෙනි. මගේ දෘෂ්ටි කෝණයෙන් බලන්නට ඔබ බැඳී නැති අතර, මම ද ඔබේ දෘෂ්ටි කෝණයෙන් හෝ එසේ නැතහොත්, මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂ වරයාගේ දෘෂ්ටි කෝණයෙන් බලන්නට බැඳී නැත්තෙමි. අප සියලුදෙනා ස්වාධීන පුද්ගලයන් බැවින්, ස්වාධීනව අදහස් දැක්වීමේ අයිතිය, මම මෙහිදී භුක්ති විඳින්නෙමි. 

   මේ චිත්‍රපටිය නරඹන්නට පෙර, අජිත් පැරකුම් ජයසිංහ විසින් මෙම චිත්‍රපටිය පිළිබඳව ඉදිරිපත් කරන ලද ලිපිය කියවා තිබුනෙමි. කෙසේ වෙතත්, ඒ ලිපිය කියවා, මා මෙම චිත්‍රපටිය ගැන සිතා සිටි අදහස්, සම්පූර්ණයෙන්ම වෙනස් වූ බව, මුලින්ම කිවයුතුයි. එය, අජිත් පැරකුම්ගේ වරදක් නොවේ. ඔහු ලියන්නේ, ඔහුගේ දෘෂ්ටි කෝණයෙනි. ඒ සඳහා පූර්ණ නිදහස හා අයිතිය ඔහුට ඇත. 

  මගේ මතකයේ හැටියට, චිත්‍රපටියක් යනු කුමක්ද යන්න තේරුම් ගතහැකි ආකාරයට, මා චිත්‍රපටි නැරඹීම ආරම්භ කලේ, 1960 දශකයේ අග භාගයේදීය. මගේ සිනමා ගුරුවරයා වූයේ, සැබෑ ජීවිතයේදී ද ගුරුවරයකු සහ පුවත්පත් චිත්‍ර ශිල්පියකු වූ, මගේ බාප්පාගේ පුතාවන, විරාජිත් මහේන්ද්‍ර ආර්යසිංහ ය. ඔහු මට, සිංහල , ඉංග්‍රීසි, හින්දි, චිත්‍රපටි රාශියක් නැරඹීමේ අවස්ථාව සලසා දුන් අතර, එසේ නැරඹීමෙන් පසු, ඒ චිත්‍රපටි ගැන, මා සමග සාකච්ඡා කරමින්, යම්කිසි විචාරයක යෙදීමටත්, එකල පුවත්පත්වල පළවුණ සිනමා විචාරයන් කියවීම සඳහා, මා පෙළඹවීමටත්, ක්‍රියාකළේය. 

   මේ වනවිට මා, යටත් පිරිසෙයින්, චිත්‍රපටි 500 ක් පමණ නරඹා ඇතැයි සිතමි. සිනමාහල් වලදී ද, වීඩියෝ කැසට් මගින් ද, ඩීවීඩී තැටි වලින් ද, අන්තර්ජාලයෙන් බාගත කරගැනීමෙන් ද, සිංහල, ඉංග්‍රීසි, හින්දි සහ සමහර වෙනත් භාෂා වලින් නිපදවා ඇති චිත්‍රපටි ද, නරඹා ඇත්තෙමි.

   මෙතෙක් මා චිත්‍රපටියකදී අසා ඇති, අතිශයින් කර්ණ කඨෝර, අවිනීත, අසංවර, ජුගුප්සාජනක, බෑඟිරි ගෑමක් අසා ඇත්නම්, එය මේ 'මෝටර් බයිසිකල්' චිත්‍රපටියේ, 'ඊනියා පසුබිම් ගීත' ලෙස ඔබා ඇති, විප්‍රකාරයන් බව ඉඳුරාම ප්‍රකාශ කරමි. මේවා ගීත නම්, මහ පාර අයිනේ,  පදික වේදිකාවේ සිඟා කමින්, ජපන් මැන්ඩලීනයකින්, 'අඩු කුලේ කියාලා අසරණයා' ගීතය, යන්තමින් වයන යාචකයා, මහා ගාන්ධර්වයෙකැයි, මම නොබියව කියමි. මුළු චිත්‍රපටිය පුරාම පැතිරී තිබුණු, මේ අප්‍රසන්න බව, අමාරුවෙන් ඉවසා සිටියෙමි. 

   මෙහිදී අධ්‍යක්‍ෂ වරයාට එක් දෙයක් කීමට කැමැත්තෙමි. රැඩිකල් සංගීතය කියා දෙයක්, අද්‍යතන සමාජය විසින් සම්මත කරගෙන තිබෙන්නට පුළුවන්. එය සම්මතයක් විනා, සම්ප්‍රදායක් හෝ, යම් මූලධර්ම මත පිහිටි දෙයක් නොවේ. 'ඒක තමා ඕයි  එව්වට රැඩිකල් කියන්නේ' කියා, අධ්‍යක්‍ෂවරයා කියන්නේ නම්, ඒ රැඩිකල් කම මටනම්, සුනඛයකුගේ පශ්චාද් භාගයේ බැඳී මීයක් හා සමානයැයි කියමි. 

   මුල මැද අග සහිත කතා හෙවත්, 'ඔන්න එකෝමත් එක රටක' කියා පටන්ගෙන, 'ඉක්බිති සියල්ලෝ සතුටින් ජීවත් වූහ' යනුවෙන් අවසන් කරන චිත්‍රපටි, දැන් යල් පැනගොස් ඇති බවත්, ප්‍රේක්ෂකයාගේ මනස තුළ යම් කම්පනයක් ඇතිකොට, ඒ ඔස්සේ, ඔහුද චිත්‍රපටියේ පාත්‍ර වර්ගයාගේ සමාජයේ සාමාජිකයකු ලෙස සිතන්නට පොළඹවන චිත්‍රපටි, වර්තමාන ලෝකයේ සිනමා නිර්මාණවල පදනම වී ඇති බවත්, එය එසේම වියයුතු බවත්, මම පිලිගනිමි. 'රෂොමොන්' වැනි චිත්‍රපටියක ඇති එකී සුවිශේෂී ලක්‍ෂණය, සිනමාව, කොතරම් ප්‍රබල ලෙස, මානව චර්යාවන් විග්‍රහ කිරීමේ මාධ්‍යයක් ලෙස භාවිත කළහැකිද යන්නට, එක් උදාහරණයක් පමණි. 

   නවක සිනමාවේදීන්, නවමං ඔස්සේ ගමන් කිරීම, සතුටට කරුණකි. එහෙත්, එකී නවමං, සිනමානුරූපී වන්නේද නැද්ද යන්න පිළිබඳව, සැලකියයුතු තරම් බරපතළ මට්ටමෙන් සිතා බැලීමට ද, අධ්‍යක්‍ෂ වරුන් උත්සුක වියයුතුය.

   මෝටර් බයිසිකල් චිත්‍රපටියේ ප්‍රධාන නළුවා, මීට පෙර මම කිසිදු චිත්‍රපටි/ටෙලි නාට්‍ය/ නිර්මානයක දැක නැත්තෙමි. එබැවින්, මට ඔහු නවක නළුවෙකි. සමනලී ෆොන්සේකා නමැති නිළිය, මා මුල්වරට දුටුවේ, ටෙලි නාට්‍යයකිනි. එහිදී ඇයට පැවරී තිබුණේ, බොළඳ තරුණියකගේ චරිතයකි. එහිදී ඇය, සෑහෙන තරම් සාධාරණයක්, එම චරිතයට ඉෂ්ඨ කළාය.  

   මෝටර් බයිසිකල් චිත්‍රපටියේ දී, මේ නළු නිලි යුවල, අධ්‍යක්‍ෂවරයා විසින් කියාදුන් අභ්‍යාස, (drill) අකුරටම කර පෙන්වනු විනා, කිසිදු රංගන වින්‍යාසයක්, ප්‍රතිභාවක්, නොපෙන්වයි. මට මතක්වුනේ, 'හෝ ගානා පොකුණ' චිත්‍රපටියේ ප්‍රධාන නිළිය වූ, අනසුයා සුබසිංහ ය. (නම හරිද මන්දා) හෝ ගානා පොකුණේ ඇය දැක්වූ රංගන ප්‍රතිභාව, ප්‍රවීණයන්ට පවා අභියෝගාත්මක බව, මගේ අදහසයි. මෝටර් බයිසිකල් නළු නිළි යුවල, අධ්‍යක්‍ෂ වරයාගේ සෘෂි භාෂිතයෙන් එකදු මිලි මීටරයක්වත් වෙනස් වී, ස්වාධීනව යමක් කිරීමට උත්සාහ නොකිරීම නිසා, ඔවුන් සතු යම් රංගන කුසලතාවක් ඇත්නම්, එය මොටවී ගොස් ඇත්තේ ඉතා අවාසනාවන්ත ලෙසටය. 

   වීණා ජයකොඩි, නෙතලී නානායක්කාර, දෙදෙනා අධ්‍යක්‍ෂ වරයා විසින් පාවිච්චි කරන්නේ නිකම් සක්ක ගල් දෙකක් ලෙස පමණි. වීණා ජයකොඩි, ඇගේ මව වූ රෝහිනී ජයකොඩි මෙන්ම, ජනප්‍රිය නිළියක මිස දක්‍ෂ නිලියක් නොවේ. අම්මා සහ, පියා නැති පුතා අතර සම්බන්ධය, මීට වඩා තීව්‍ර ලෙස දැක්වූවානම්, කතාවේ ගැඹුරක් ඇතිකළ හැකිව තිබුන නමුත්, කණගාටුදායක ලෙස එය චිත්‍රපටියෙන් ගිලිහී ඇත. 

   කුමාර තිරිමාදුරට රඟපෑමට චිත්‍රපටි හෝ ටෙලිනාට්‍ය නැත්නම්, ත්‍රිරෝද රථයක් පදවා ජීවිකාව ගැටගසාගනීම යෙහෙකි. 

   අනෙකුත් සුළු චරිත සඳහා ගෙන තිබෙන නවක නළු නිලියන්, ඉදිරියේදී, රංගනය ගැඹුරින් හදාරනු ඇතැයි සිතමි. ඔවුන් ගැන දැන්මම යමක් කීමට, මම ඉක්මන් නොවෙමි. 

   මහේන්ද්‍ර පෙරේරා, හැමදාම, මේ චිත්‍රපටියේ දැක්වෙන ආකාරයේ චරිත වලට කොටු නොවී සිටින්නට උත්සාහ කරනවානම් හොඳයි. ප්‍රධාන නළුවා, මහේන්ද්‍ර පෙරේරාගෙන් බයිසිකලය මිලදීගන්නා අවස්ථාවේදී, මහේන්ද්‍ර පෙරේරාගේ ප්‍රතිභාව ඉදිරියේ, ප්‍රධාන නළුවා දැඩි පසුබෑමකට ලක්වෙයි. 

   ට්‍රැෆික් පොලිස් විහිළු, පාක් එකේ ලව් කරන විහිළු, අද්‍යතන තරුණ පරපුරේ ගැටළු විග්‍රහ කිරීමක් ලෙස, මම නොදකිමි. යටත්පිරිසෙයින්, පෞද්ගලික අංශයේ රැකියා ස්ථානයක, මෙවැනි තරුණයන් සූරාකෑමට ලක්වන හැටි, ඔවුන් බලාපොරොත්තුවන සංගීත ලෝකය තුළ ඇත්තේ ද, නවකයන්ගේ හැකියාව විකුණාගෙන කෑමක් බව පෙන්වාදෙන අවස්ථා නිරූපනයක් ඇතිකලානම්, මීට වඩා අර්ථවත් ලෙස, මේ පරපුර, 'විහින්ම පැන නැසීයන' ඛේදවාචකයේ මහත නිරූපණය කරන්නට ඉඩ තිබුනි.

   චිත්‍රපටියක් වේගයෙන් ගලායාම පමණක්, එහි සාර්ථකත්වයට හේතු නොවේ. සංස්කරණ ශිල්පියා, රූප ඡේදනය කරන සමහර අවස්ථා, නිකම් කතුරෙන් කපා ඇලවීමක් වැනිය. පෙම්වතුන් යුවල මෝටර් බයිසිකලයේ යන අවස්ථා කීපයකදී, ඒ දුර්වලත්වය දකින්නට ලැබුණි. ආලෝක කරණයේදී සෑහෙන තරම් සාර්ථක බවක් දුටුවෙමි. 

   අවසාන ජවනිකාවේදී,  ප්‍රධාන නළුවා, රාත්‍රියේ පාර දිගේ ඇවිද එන අවස්ථාවේදී, පාරේ විදුලිපහන් කණු වලින් ආලෝකය පතිත වන ආකාරය, සාර්ථකව සකසා නැත. නළුවාට සමාන්තරව ගෙනයන ආලෝක කදම්බය, දැඩි කෘත්‍රිම බවක් පෙන්වයි. හිසට ඉහලින් මාරුවන (අඩුවී වැඩිවන) ආලෝක ධාරාවක් යෙදවූයේ නම් වඩාත් උචිතයි. 

   වෙඩි හඬ ඉදිරිපත් කිරීම අතිශයෙන් අසාර්ථකය. පිස්තෝල වෙඩිල්ලක හඬ, බටහිර චිත්‍රපටියකින් අසා, ඒ අනුව හඬ මුසුකලානම් වඩාත් උචිතයි. මෙතන ඇහෙන්නේ ගල්බෝර හඬකි. 

   මේ අධ්‍යක්‍ෂවරයා, අද්‍යතන තරුණ පරපුරවෙනුවෙන් හඬක් නගන්නට දරන ලද උත්සාහය ප්‍රශංසනීයය. ඒ සඳහා ඔහු යම් අධ්‍යයනයක් කර ඇති බවත්, යම් වෙහෙසක් දරා ඇති බවත් පෙනීයයි. කෙසේ වෙතත්, අද්‍යතන තාරුණ්‍යයේ සැබෑ ගැටළු ප්‍රාමාණික ගැඹුරකින් නිරූපණය කරන්නට 'මෝටර් බයිසිකල්' චිත්‍රපටිය 100%ක් සමත් නොවුනද, සමාජයේ අවධානය දිනාගැනීමට සමත් නිර්මාණයක් ලෙස මෙම චිත්‍රපටිය හැඳින්විය හැකිය. 

මේ අධ්‍යක්‍ෂවරයා,  තවදුරටත් සිනමාව හදාරනු ඇතැයි අපේක්ෂා කරමි. 

2016 සැප්තැම්බර් මස 11 වැනි දින 2345 පැය   

75 comments :

  1. නියමයි විචා මාමේ. මම ට්‍රේලර් එක බලල නැති උනත් ඔබේ මේ විචාරය මට ට්‍රේලර් එක පෙන්නුව වගේ. සමහරක් අයට මෙහෙම කියන්නත් පුළුවන්. "නිෂ්පාදක අද්‍යෂක ආදුනික නිසා අවස්ථාවක් දෙමු" කියල. නැහැ එහෙම දෙන්ට ඕනි නැහැ කියන මතයේ මම ඉන්නෙ. මොකද ඉන්ස්ටන්ට් නුඩ්ල්ස් වගේ ෆිල්ම් එකක් හදල ප්‍රේක්ෂකයාගේ මුදල රසය හුරගෙන කෑමක් කියල මට හිතෙන්නේ. බොහෝ රටවල ෆිල්ම් එකක් කරන්ට කලින් ලොකුවට හරි පොඩියට හරි අද්‍යනයක් කරල කාලය අරගෙන තමයි හදන්නෙ. ඉන්දියාවේ උනත් එහෙමයි.

    රැඩිකල් කියන වචනේ ලංකාවේ තේරුම කියල සමහරක් හිතන් ඉන්නෙ ඕනෑම ජරාවකට මලජරාවක් දාල කුනුහබ්බයක් කිව්වහම රැඩිකල් කියල. මටනම් හිතෙන්නේ සොරි කියල තමයි.

    කොහොමත් ඔබේ මෙන්න මේ ටික ඉහලින්ම අගය කරනවා.

    "මේ ලියන්නේ, අවංකවම මේ චිත්‍රපටිය ගැන මගේ හිතේ ඇතිවුණු අදහස් ය. ඒ අදහස් සමග ඔබ එකඟවීම මට අවශ්‍ය නැත. මා බලන්නේ මගේ දෘෂ්ටි කෝණයෙනි. මගේ දෘෂ්ටි කෝණයෙන් බලන්නට ඔබ බැඳී නැති අතර, මම ද ඔබේ දෘෂ්ටි කෝණයෙන් හෝ එසේ නැතහොත්, මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂ වරයාගේ දෘෂ්ටි කෝණයෙන් බලන්නට බැඳී නැත්තෙමි. අප සියලුදෙනා ස්වාධීන පුද්ගලයන් බැවින්, ස්වාධීනව අදහස් දැක්වීමේ අයිතිය, මම මෙහිදී භුක්ති විඳින්නෙමි."

    ඉහත ඔබ දක්වා ඇති දෙයින් සමාජයේ ජිවත් වීමටත් ගත හැකි දෙයක් ඇත. බොහෝ දෙනෙකුට කරුමෙට හෝ එය නොතේරේ.

    ඉස්තුතියි විචා මාමේ.. 👊🏽

    ReplyDelete
    Replies
    1. මම මේ චිත්‍රපටිය විවේචනය කළ පමණින් ඔබ ඒ හා එකඟ වෙන්න එපා, තවම චිත්‍රපටිය බැලුවේ නැත්නම්.

      //රැඩිකල් කියන වචනේ ලංකාවේ තේරුම කියල සමහරක් හිතන් ඉන්නෙ ඕනෑම ජරාවකට මලජරාවක් දාල කුනුහබ්බයක් කිව්වහම රැඩිකල් කියල. මටනම් හිතෙන්නේ සොරි කියල තමයි//

      ඉතාම හොඳින් යථාර්ථය ප්‍රකාශ කිරීමක්. හැන්දෑවට අඩ්ඩක් ගහලා, සරමත් එක පැත්තකින් උස්සගෙන, කුනුහරපත් සින්දුත් දෙකම ඇතුලත්ව, තම සිතේ ඇති ආවේග පිටකරමින් යන මිනිහෙක් කොපමණ රැඩිකල් ද?

      Delete
  2. මමනං තාම ඕකෙ එක සින්දුවක් යූ ටියුබ් එකෙන් බලල තියෙනව විතරයි.

    මොනව උනත් තරුණ පරම්පරාවට හරවත් යමක් දෙන්නැතුව උං‍ගෙ මොළ තවත් බොළඳ කරන්න යනවනං ඒක බරපතල වරදක්.

    ReplyDelete
    Replies
    1. බොළඳ බව පෙන්වීම තුලිනුත් සංවාදයක් ගොඩනගන්න පුළුවන්. නමුත් මෙතන තියෙන්නේ සැලැස්මක් නැතිකම.

      Delete
  3. //මේ පරපුර, 'විහින්ම පැන නැසීයන' ඛේදවාචකයේ// හීනමානය, හීන ආත්මවිශ්වාසය නිසාම ඇතිවන ස්වයං පාලනයේ බිඳවැටීම සහ අසීමාන්තික ආශාව තෘප්තකර ගැනීම උදෙසා තමන් දැනුවත්වම සූරාකෑමට ඉඩ දී විහින්ම පැන නැසී යන්න බවයි මගේ අදහස.....

    චිත්‍රපටය පිළිබඳ අදහස් දැක්වීමට ස්තූතියි. බැලීමට තිබූ අදහස අත්හැර දමමි. :)

    ReplyDelete
    Replies
    1. එපා එපා, මේ ලිපිය කියවා තීරණය කරන්න එපා, මේ චිත්‍රපටිය නොබලා ඉන්නවා කියා. සමහරවිට චිත්‍රපටිය බැලුවට පස්සේ, ඔබ මා සමග එකඟ නොවන්නට ඉඩ තියනවා. හැකිනම් චිත්‍රපටිය බලා, තව කොමෙන්ට් එකක් මෙතනටම දාන්න.

      Delete
  4. චිත්‍රපටය තවම නරඹා නැති නිසා කිසිවක් කීමට නොහැක. කෙසේවෙතත් අදහස් දැක්වීමට ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ඔව්, වඩාත් සුදුසු, චිත්‍රපටිය බලා අදහස් දැක්වීමයි.

      Delete
  5. වෙනස්ම විදිහේ අදහස් දැක්වීමක්... ෆිල්ම් එක බලල නැති නිසා ඒ ගැන මුකුත් කියන්න වෙන්නෙ නෑ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බලපන්කො. කුරුණෑගල ඉම්පීරියල් එකේ තියෙන්නේ. දැන් ඩිජිටල් නිසා ගුණාත්මක බව හොඳයි.

      Delete
  6. ලියවිල්ල අපුරුයි,ජයවිලාල්ව මතක් වෙනවා
    //චිත්‍රපටි 500 ක් පමණ නරඹා ඇතැයි සිතමි
    විචා,බලන්න රැක්මන් කරන සිත්තරපටි ටිකක් කියනවද

    ReplyDelete
    Replies
    1. අම්මෝ සිරෝ, ජයවිලාල්ගේ පයේ දූවිල්ලක් වෙන්න තරම්වත් අපි වටින්නේ නැහැ. නමුත් ජයවිලාල්ගේ සිනමා විචාර ගොඩක් කියවලා, ඉගෙනගත් දේ බොහොමයි.

      ඇත්තටම මම කියන්නේ, අහුවෙන චිත්‍රපටි ඔක්කොම බලන්න. ඔහොම බලාගෙන බලාගෙන යනකොට, චිත්‍රපටි තෝරාගැනීමේ හැකියාව අපේ මනසේ වර්ධනය වෙනවා.

      Delete
    2. //බලාගෙන බලාගෙන යනකොට
      ම්ම් පොත් කියවනවා වගේ, එකම කොස්ස රජෝ අවංකව චිත්‍රපටි බලන්න ඇති නිදහස් කාලය.

      Delete
    3. ඔව්, අපි ඔක්කොම ඉන්නේ තරගයක. විශේෂයෙන් වේදිකා නාට්‍ය බොහොමයක් මගහැරීම ගැන දුකයි.

      Delete
  7. තාම බැළුවේ නැති කිසා මක්ක වත් නොකියමි...මහා ලොකුවට බලන්නට හිතං ගිය සැමීගේ කතාව නිසා මං සුද්දගෙන් ඇති තරං චාටර් වින්දෙමි.එබැවින් හොරෙන් සීඩී එකක් ගෙනැවිත් බලමි

    ReplyDelete
    Replies
    1. බැලුවට පස්සේ, 'අනේ මේ ටිකට් එකට ගිය සල්ලි වලින්, බල්ලන්ට ආප්ප අරන් දුන්නනම් හොඳයි' කියලා හිතෙන චිත්‍රපටි සෑහෙන ගණනක්, මමත් බලලා තියනවා. නමුත්, චිත්‍රපටි විශාල සංඛ්‍යාවක් බැලුවම, අපිට සිනමා කලාව ගැන යම් පරිචයක් ඇතිවෙනවා. ඒ වගේමයි, සිනමා විචාර කියවීමත් හරිම වැදගත්.

      Delete
  8. ෆිල්ම් බලන කාලයක් නෙමෙයි මේක...
    ඒ තරම් මඤ්ඤං කාලයක් ලබල තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් බලන කාලයක් නෙමෙයි මේක... x2

      Delete
    2. හිහ් හිහ්, ඔව් ඉතිං රූපවාහිනී ප්‍රවෘත්ති බැලුවම, නොයෙක් ආකාරයේ ෆිල්ම් බලන්න පුළුවන්. ආයේ මොකටද සල්ලි දීලා බලන්නේ.

      Delete
  9. විචා......උඹේම දෘශ්ඨි කෝණයෙන් ලිවීම අගය කරන්නෙමි. මම ෆිල්ම් එක නරඹා නැත. නමුත් දසුන් පතිරන, සමන්මලී සහ ක්ශේත්‍රයේ ඉතාමත් අගනා රංගන හැකියාවන් ඇති නවකයෝ බොහෝය. මම දසුන්ගේ ටෙලි නාට්‍යය, කෙටි චිත්‍රපට බොහෝ නරඹා ඇත්තෙමි. මොහු මහේන්ද්‍ර පෙරේරාගේ මුල් ගෝලයෙකි. තවමත් ඒ ඇසුරේ යැයි සිතමි. සමනලී ගැන කියන්නට ඇත්තේද එයයි. මෙවැනි අය බෝහෝය. ඒ එක එකා ගැන ලියන්නට බොහෝ දේ ඇත.

    මචං විචා.....මේ වගේ පරපුරක් රස විඳින්න පුලුවන් මේ ටෙලි නාට්ටි ඇතුලේ... උදා.....ඒලෙවල් ඉවරයි, හුස්ම සහ ඔක්සිජන්, සිල්ලර කාසි, බොහිමියානුවා,ගොලු තාත්තා,මද්දහන, විභාග ෆේල් වගේ එව්වා. ශෝට් ෆිල්ම්ස් නම් බොහෝමයක් තියෙනවා. මේවා මිනිස්සු බලන්නේ නැත්තේ මොන කරුමයකටද මන්දා...මම ඉතාමත් කැමති මාතෘකාවක් සහ හොඳ සංවාදයකට ඉඩ ඇරගන්න බලමු.

    ReplyDelete
    Replies
    1. විචා....ඔය ටෙලි නාට්‍ය සෙට් එකට...කොළඹ අපි ආවා..නාට්ටියත් දාගනින්.

      Delete
    2. අරුණ. මම මේ දැන් බලන්ට ගත්ත විබාගේ ෆේල්. දැන් බලන්නෙ 4වෙනි එපිසොඩ් එක. තෑන්ක්ස් හොඳේ. පට්ට ඩ්‍රාම එක. 👍🏽

      Delete
    3. බොහොම ස්තුතියි අරු. කමෙන්ට් එකකින් හරි උඹව ඇසුරු කිරීමත් සතුටක්.

      මෙහෙමයි මචං, උඹත් මමත්, අපි හැමෝමත් ජීවිතේ හැමදෙයක්ම දිහා බලන්නේ සංසන්දනාත්මකවනේ. ඒ මිනිස් ගතිය. ඒකේ වරදක් නැහැ.

      දසුන් සහ සමනලී (උඹ සමන්මලී කියලා ලිව්වේ සමනළීට නේද) සංසන්දනාත්මකව බලන විට, තවම ඉතා කුඩා අංකුර ලෙසයි මම දකින්නේ. අංග චලනය, වචන උච්ඡාරණය, මුහුණෙන් භාවමය හැඟීම් ප්‍රකාශනය කියන ප්‍රධාන අංග තුනෙන්ම මටනම් මේ දෙන්නා අන්තිම දුර්වලයි.

      නිකම්ම නිකම් වේදිකා මත නටන නිලියක් වෙලා හිටිය හිමාලි සිරිවර්ධන 'සඳගලතැන්න' වැනි ටෙලි නාට්‍යයක් තුලින් දැක්වූ ප්‍රතිභාව අපූරුයි. එමෙන්ම ඒ නාට්‍යයේ රඟපෑ ප්‍රදීප් ධර්මදාස උපරිම රංගන වින්‍යාසයක් ප්‍රදර්ශනය කළා.

      දසුන්ගේ අලි බොකුටු කොන්ඩේ, ඔහුහේ මුහුණ පුංචි කර පෙන්වනවා. ඒ මදිවට ඔහු තවම නිසි පරිචයක් ලබා නැති නිසාදෝ, අනවශ්‍ය ලෙස වටපිට බලනවා.

      සමනලීගේ මුහුණේ මස්පිඩු විශාල වැඩියි. ඒ නිසා ඇයට සියුම් හැඟීම් ප්‍රකාශ කිරීමට බාධාවක් ඇතිවනවා.

      රූපවාහිනියේ යද්දී නම් ටෙලිනාට්‍ය බලන්නේ නැහැ. වෙළඳ දැන්වීම් නිසා එපාවෙනවා බැලිල්ල. හොයාගෙන/බාගත කරගෙන බලලා විචාරයක් කරන්නම්.

      Delete
    4. මම නිර්මාණයකදි වඩාත් රස විඳින්නේ රඟපෑම් කියන කොටස. ඕනෑම ගොබ්බ ප්‍රඩක්ශන් එකක වුනත් හොඳ රංගන ශිල්පීන්ගෙ වැඩ දකින්න පුලුවන්. දසුන්ලා ඉතාම නිදහස්ව චරිත තුල ජීවත්වීමට ගන්නා උත්සාහය මට නම් රස විඳීමට කිසිම බාධාවක් නොවේ. දසුන්ට සමහරක් වචන හසුරුවීමේ අපහසුතාවයක් තියෙනවා. එය රංගනයට අඩුපාඩුවක් නොවේ. තටම තටම රඟපාන බව ප්‍රෙක්ශකයාට පෙන්වමින් සාම්ප්‍රදායික නාඩගම් ශිල්පීන්ගෙන් එහා ගිය නිදහස් රංගනයක මේ නව පරපුර තම කටයුත්ත කරගෙන යන්න උත්සාහ කරනවා. විචා... මෙන්න මේ කියනා නව පරපුරේ ශිල්පීන් දෙස අවධානයෙන් ඉන්න.
      හිමාලි සයුරංගි
      සමනලී ෆොන්සෙකා
      සුලෝචනා වීරසිංහ
      සමාධි ලක්සිරි
      නදී පේලිආරච්චි
      ප්‍රියංකා සමරවීර
      නන්දනි අතුකෝරල
      ශලිනි තාරකා
      උමාලි තිලකරත්න
      ගංගා බංඩාරනායක ආදී වශයෙන් තව බොහෝ අය.

      ප්‍රියන්ත සිරිකුමාර
      රොශාන් රවීන්ද්‍ර
      සම්පත් ජයවීර
      දසුන් පතිරන
      එරංග ජීවන්ත
      කළණ ගුණසෙකර
      ජගත් මණුවර්ණ
      ජයන්ත මුතුතන්ත්‍රි
      ධර්මප්‍රිය ඩයස්
      බිමල් ජයකොඩි
      සරත් කොතලාවල
      ජෙහාන් ශ්‍රීකන්ත්
      දර්ශන් ධර්මරාජ්
      දිමුතු චින්තක
      මධුර ප්‍රභාශ්වර
      ගාමිනි ජයරත්න
      හේමන්ත ඊරියගම
      සජිත අනුත්තර
      ආදී වශයෙන් දිග ලිස්ට් එකක්. මට මේ සියල්ලක් දෙනා පිලිබඳ වෙන් වෙන්ව ගත හැකි විවිධවු රංගන හැකියාවන් පේනවා. ඒ මම රඟපෑම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනා නිසා වෙන්න ඇති. මොවුන් හැබෑ දක්ශයෝ...අනාගතය තමයි මේ.

      Delete
    5. ආනන්ද කුමාර උන්නැහේ කියලා තවත් අලුත් කෙනෙක් ඉන්නවා. ඔහුත් ඉතා දක්ෂ ශිල්පියෙක් වෙන බව පේනවා.

      Delete
    6. විචා කියන ලෙස මමත් හිමාලි සිරිවර්ධනගේ රංගනයන් කෙරෙහිත් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒ වගෙම තමයි අනුරුද්ධිකා පාදුක්ක සහ තවත් දක්ෂ නළුවෙක් මතුවෙමින් ඉන්නවා කුමාර රත්නායක කියලා. ඔහු දක්ෂ අධ්‍යක්ෂක වරයෙක් බවත් මට හිතෙනවා.

      Delete
    7. පොඩි නිවැරදි කිරීමක්.....නන්දනී අතුකෝරාළ නොව ප්‍රසාදනී අතපත්තු විය යුතුය.

      Delete
    8. සුපිරියි අරු. උඹේ මේ කරුණු දැක්වීම මේ ලිපියට ආලෝකයක් දුන්නා. අද ඉන්න පරපුරේ ඉන්නවා අති දක්ෂණය. නමුත් සමහර අධ්‍යක්‍ෂවරුන් ඔවුන්ව හරිහැටි හඳුනාගෙන නැහැ. එහෙම නැත්නම් නොගැලපෙන චරිත ලබාදෙනවා. මේ ලැයිස්තුවේ ඉන්නවා අනාගතයෙදි ජාත්‍යන්තර තලයට ගියහැකි අය.

      Delete
    9. අරු යියා

      තුමිඳු දොඩම්තැන්න
      රොශාන් රවීන්ද්‍ර

      Delete
    10. ඔව් ඔව් ඉවාන් මේ ලිස්ට් එක දිගයි. රොශාන් ඉහලින්ම ඉන්නවා. චාමික හත්තලවත්ත, උද්දික ප්‍රේමරත්න අමතක වුනා, ඒ වගේම තමයි ඉංග්‍රීසි වේදිකාවෙන් ආපු ශ්‍යාම් ප්‍රනාන්දු, බිම්සරා ප්‍රේමරත්න වගේ අය, තරුනයෙක්ම නොවුනත් දයාදේව එදිරිසිංහ මගේ ලෝකයේ පොරවල්.

      Delete
  10. අඩුම තරමෙන් සිතින් වත් තරුණ නොවුණොත් මේ වගේ තාරුණ්‍යය තේමා කරගත් චිත්‍රපටයක් රස විඳින්න බෑ. අනෙක දසුන් හා සමනලී කියන්නෙ නිර්මාණ ගණනාවක රඟපෑ දක්ෂ යෞවන රංගන ශිල්පීන්. ඒ බව වත් නොදන්නව කියන්නෙ ඔබ අසාධාරණ විවේචනයක් කරනව කියන එකයි.
    මෑත භාගයේ මා ඉහළින්ම රසවිඳි "ඇගේ ඇස අග" චිත්‍රපටයෙන් පසු තිරයට ආ හොඳ චිත්‍රපටයක්, "මෝටර් බයිසිකල් . මෙය නැරඹිය යුතුමයි කියන එකයි මගේ නිර්දේශය.

    ReplyDelete
  11. අඩුම තරමෙන් සිතින් වත් තරුණ නොවුණොත් මේ වගේ තාරුණ්‍යය තේමා කරගත් චිත්‍රපටයක් රස විඳින්න බෑ. අනෙක දසුන් හා සමනලී කියන්නෙ නිර්මාණ ගණනාවක රඟපෑ දක්ෂ යෞවන රංගන ශිල්පීන්. ඒ බව වත් නොදන්නව කියන්නෙ ඔබ අසාධාරණ විවේචනයක් කරනව කියන එකයි.
    මෑත භාගයේ මා ඉහළින්ම රසවිඳි "ඇගේ ඇස අග" චිත්‍රපටයෙන් පසු තිරයට ආ හොඳ චිත්‍රපටයක්, "මෝටර් බයිසිකල් . මෙය නැරඹිය යුතුමයි කියන එකයි මගේ නිර්දේශය.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් අගය කරමි. ස්වාධීන අදහස් ඉදිරිපත් කිරීමට ඔබට ඇති අයිතියට ගෞරව කරමි.

      සිතින් තරුණවීම මට අදත් එතරම් අරුමයක් නොවේ. මා අදත් රසවිඳින දේශීය විදේශීය සිනමා, නාට්‍ය, නිර්මාණ බොහොමයකදී, මගේ තාරුණ්‍යය ඉස්මතු වෙනවා.

      වෙන එකක් තියා, පාරේ තොටේ යනවිට දකින, සුන්දර පෙම් යුවලක් දැකීමෙන් පවා, මා සතුටක් ලබන අතර, සිතෙන් ඔවුන්ට ආශිර්වාද කරනවා. හැබැයි බ්ලවුස් එක, හෝ කලිසම අස්සට අතදාගෙන පාක් එකේ ඉන්නේ නැති, ප්‍රසිද්ධියේ කටවල් කාගන්නේ නැති, අයට.

      සිය පෙම්වතාගේ උරහිස මත නිකට තබාගෙන පෙම්බස් දොඩන පෙම්වතියක් දැකීම අදත් මට මහත් සතුටක්. අත්වැල් අල්ලා ඇවිදයන පෙම් යුවලක් දැකීමත් සතුටක්.

      නමුත්, තම පෙම්වතියව කාමරයකට උස්සාගෙන ගිහින් ඇයව කෙලෙසීම නම් අගය කරන්නේ නැහැ. කතාකරන්න තැනක් නැත්නම් කාමරයකට යාම වරදක් නොවේ. එසේ යන්නේ ලිංගික කාර්යයම අරමුණු කරගෙන නම්, ඒ දෙදෙනාම වල්මත් වූ, අඥාන, අයවලුන් පමණයි.

      මේ චිත්‍රපටියේ ප්‍රධාන නළුවා යටත්පිරිසෙයින් තම පෙම්වතියගේ මුහුණ ඉඹින්නවත් දන්නේ නැහැ. ඔහු කාමරයට ගියගමන් කරන්නේ, හාවෙකු අල්ලාගත් පිඹුරකු වගේ ඇගේ ඇඟ උඩ නැග, අවලම් විදිහට මුහුණ බලෙන් ඉඹීමයි.

      අපිනම් තරුණ කාලේ ඊට වඩා බොහොම දක්ෂයි. 'අනේ මගේ මූණ ඉඹින්නකො' කියා පෙම්වතිය ලවා කියවාගන්න තරමට, ඇගේ භාවයන් කම්පනය කිරීමට අපිට හැකිවුණා. එතනයි ඇත්තම ප්‍රේමය තිබෙන්නේ. එහෙම නැතුව මේ වගේ අශ්ලීල හැසිරීමක නෙවෙයි.

      රංගන ශිල්පියකුගේ රඟපෑම විවේචනය කරන්නට ඔවුන් පිළිබඳව පූර්ව දැණුමක් තිබියයුතුයි ඔබ කියන අදහස මම අවඥාවෙන් බැහැර කරමි. ලෝකයේ සිටින අතිශ්‍රේෂ්ඨ නළුවකු වුවද, එක චිත්‍රපටියක දක්වන රංගනය දුර්වල විය හැකිය. එය විවේචනයට ලක්විය හැකිය. නිර්දය විවේචනයට ලක්විය හැකිය. එබැවින් මගේ ස්ථාවරයේ මම තවමත් සිටිමි.

      මේ චිත්‍රපටිය බලන්න එපා කියා, මා මෙම ලිපියේ කොතනකවත් ප්‍රකාශ කර නැත්තෙමි. චිත්‍රපටිය බලන්න කියා ඔබ කරන නිර්දේශය, ඔබේ අයිතියක් බව පිලිගනිමි.

      Delete
  12. එහෙමද? මම මේ ලඟදි දැක්කා රසික ජනතාව බලලා පුදුම වෙලා අපිටත් කොහොම හරි බලන්න කියලා සතු‍ටු කඳුලු වගුරමින් කියන එයාලා දැනට එක දිගට පස් හය වතාවක් බැලුවාකියලා පස් කන චිත්‍රපටියක් ගැන පොඩි ක්ලිප් එකක්. ටිකකින් පෙන්නුවා ඒකෙ කෑලි බෑලි ටිකක්. බුදු අම්මෝ! ආ වෙනදට සිංහල චිත්‍රපටි කියලා පෙන්නන ජරාවමයි. මම කල්පනා කලේ අනේ අපේ මිනිස්සුන්ගෙ රස වින්දනේ කියලා

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඩූඩ්, මම මේ ලිපිය ලිවීමෙන් අදහස් කලේ මේ චිත්‍රපටිය බලන්න එපා කියන එක නෙවෙයි. මම මේ චිත්‍රපටිය දකින්නේ මෙන්න මේ විදිහටයි කියන එක ප්‍රකාශ කිරීමයි.

      රැඩිකල් කියන සීනි ආලේපනය දවටා, අද්‍යතන පරපුර වෙත පටවන්නේ, ගංජා මතයෙන් ගහන, ගායනය කරන නෙවෙයි ගහන, සම්ඵප්‍රලාප නම්, විලාප, තප්පුලෑම් නම්, කාටත් දෙයියන්ගේ පිහිටයි, අබ සරණයි.

      Delete
  13. මම ඕක බලන්න කියලා හිටියේ. ඒත් ඕක පෙන්වන හෝල් එක අජපල්.. ඉතින් බලන්න යන අදහස අත් ඇරියා... චිත්‍රපටි හැදුවට මදි ඒවා පෙන්නන්න හොඳ හෝල් තියෙන්නත් ඕනා.EAP හෝල් ටිකනම් මසුරන්. පිරියක් ඇතුව බලන්න පුලුවන්..

    මේක හැබැයි හුඟ දෙනෙක් රෙකමන්ඩ් කරපු ෆිල්ම් එකක්..

    මම සෙනසුරාදා youtube එකෙන් බැලුවා "ඇඩ්‍රස් නෑ". ඒකට ඒ නම අපූරුවට ගැලපෙනවා... එතකොට ඊයේ බැලුවා Sri Lankan holiwood movie එකක්... A common man. චද්‍රන් රත්නම් ගේ ෆිල්ම් එකක්... ඒකනම් මරු...

    ReplyDelete
    Replies
    1. මාර කෙළියක්නේ. හෝල් එක නරකයි කියලා පිචෑර්ස් එක නොබලා ඉන්න එපා. පොඩි අය ගෙදර තියලා යන්නකෝ නව යුවල වගේ කොළඹ හොඳ හෝල් එකක බැල්කනියට. අයිස්කිරිං එහෙම කකා බලලා එන්නකෝ.

      මේ චිත්‍රපටිය බලන්න කියා, කර ඇති නිර්දේශ වලට, මම විරුද්ධ වෙන්නේ නැහැ සෙන්නා. ඇත්තෙන්ම මේ චිත්‍රපටිය මට පෙනෙන හැටි තමයි ලිව්වේ.

      ඇයි හරී ඒක හොඳ නැද්ද? මගේ ළඟ DVD එක තියනවා.

      Delete
    2. මම බලපු සවුත්තුම එකක්.

      Delete
  14. ඔව් මගෙත් අදහස බලන්නෙ නැතුව කියන්න බෑ විචා මාමෙ....කොහොමත් නොමේරු මදය මේරු අයට ඉවසන්න බෑ නොවැ...ඒ කෙසේ මුත් ඔබේ විචාරය ගැන කවරනම් කතාවක්ද යන්න මේ නොමේරු මනසට දැනේ

    ReplyDelete
    Replies
    1. මනස මේරුවේ අව්වට වැස්සට නෙවෙයිනේ. තවමත් හිතෙන යන්න පුළුවන් නොමේරූ වයසට. තාරුණ්‍යය අතිශයින් සුන්දරයි, සැහැල්ලුයි, වේගවත්, සරලයි, වගකීම් විරහිතයි.

      නමුත් තාරුණ්‍යය යනු, සැලකියයුතු පිරිසක්, බුධිමත්ව සහ සැලසුමක් ඇතිව වින්දනය කරන, යලි නොලැබෙන කාලයක්.

      Delete
  15. ඕකෙ නිල පූර්ව ප්‍රචාරක පටය නම් බැලුව. නොම්මර එකේ සිංදුවක් නම් තියනව ඒකෙ..හෙහ්...අර සන්නස්ගල ලියපු එකක්..

    ඔන්න ඉර පායනවා කියල කවුද යටි ගිරියෙං කෑගහනව. ඊට පස්සෙ දිග නිහැඬියාවක්..මම හිතුවෙ සිංදුව එච්චරයි කියල. ඔන්න එක පාරටම හීනෙං වත් නොහිතුව විදිහට අර මල බද්දය හැදිල තටමන්නෙ දත්මිටිකාගෙන..අන්න ඇරපු අතක් නෑ ඒ විදිහටම කවුද මරහඬ තියනව අපිට නෙවෙයි කියල..අර කලිං ඉර පායනවයි කියල බෙරිහං දීපු ගායකයමද නැත්තං වෙනිං කවුරුහරිද කියල හරියටම කියන්න නම් ටිකක් අමාරුයි...හෙහ්..හෙහ්...

    ReplyDelete
    Replies
    1. අනේ රවී, චිත්‍රපටිය පටන්ගත්ත ගමන්, එක පාරටම, හෝල් එකේ ස්පීකර් පුපුරනවා වගේ ආපු ඒ විලාපය, මගේ ඇඟ හිරිවැට්ටුවා. එතන ඉඳලා ඒ කෑගැහිලි, විලාප, උඩුබුරලෑම්, අමතක කරලා, තිරේ දිහා බලාගෙන හිටියේ.

      Delete
  16. පැරා ගේ විචාරය නම් කියෙව්වා. චිත්‍රපටය නම් කවදා නරඹන්න වෙයිද කියන්න බෑ. විචාරක ගේ අකමැත්ත සමහරවිට පරම්පරා වෙනස නිසා විය හැකියි. විශේෂයෙන් ම සංගීතය ගැන කියා ඇති දේ.

    ReplyDelete
  17. ටේ‍ර්ලරය නැරඹුවා.
    https://www.youtube.com/watch?v=2qC_v41AmsY

    වීනා ජයකොඩි නාකි වෙලා. හැබැයි සමනලී නම් මීට වසර දහයකට පෙර සිනුවර රූපගත කළ ටෙලියේ හිටියාට වඩා තරුණයි නේ!

    අන්න ජැක්සන් ඇන්තනි කියනවා මේ මූවි එක සංසන්දනය කළ හැක්කේ ධර්මසේන පතිරාජ ගේ අහස්ගව්ව සමග කියලා!
    https://www.youtube.com/watch?v=-h-e_rNN7SQ

    ReplyDelete
  18. ඉර පායනවා ගීතය.
    https://www.youtube.com/watch?v=JMoQqT6kHAc

    මේ වෙනස් සංගීතයක් නේ විචාරක. සින්දුවේම කියනවා වගේ බකමූණා ගේ පරපුරේ එකක්. ලක්‍ෂ්මීකාන්ත් ෆයාරිලාල් හෝ එච් ඩී බර්මන්ලා ගේ නොවෙයි.

    ReplyDelete
    Replies
    1. කිසිසේත්ම පරම්පරා වෙනස නිසා ඇතිවූ අකමැත්තක් මෙහි නැත. දීර්ඝ කාලයක්, විවිධ ආකෘතියේ, විවිධ භාෂා වලින් නිර්මිත, විවිධ රටාවේ චිත්‍රපටි රාශියක් නරඹා ඇත්තෙමි. නමුත්, රැඩිකල් කියා, කොහෙද යන කසිකබල් ක්‍රම, අපේ පරපුරේ ඔලුවට රින්ගවන්න හදන මෙවනි විසුළු පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරමි.

      වීණා ජයකොඩි මටත් වඩා නාකියි. නමුත් ඇයට මීටවඩා හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න තිබුණා, හොඳ අධ්‍යක්‍ෂවරයකු ඇයව මෙහෙයවූවා නම්.

      කලා මුදලාලිලාගේ අදහස් පිලි නොගනිමි.

      ඉරපායනවා යනු, ගීතයක් ලෙස පිලි නොගනිමි. එය හුදු විලාපයකි, තප්පුලෑමැකී, බැඟිරි ගෑමකි, උඩුබුරලෑමැකී.

      ලක්‍ෂමීකාන්ත් ප්‍යාරෙලාල් (ෆයාරිලාල් නෙවෙයි), එස්.ඩී. බර්මන් (එච්.ඩී. නෙවෙයි, සචින් දෙව් බර්මන්) වැනි සංගීතඥයන්, හින්දුස්ථාන් රාගධාරී සංගීතයේ කෙල පැමිණි අයයි. ඔවුන්ගේ නිර්මාණ, අදත් ලෝකය පුරා සම්භාවනාවට පත්වෙනවා. නමුත් මේ වගේ පසික්කාට්ටු කෑගහිලි, මහලොකු නිර්මාණ කියා හිතන්නේ, ගංජා මතයෙන් වල්මත්වූ මනසක් ඇති අය පමණයි. මෙය බකමූණා ගේ පරපුරේ නෙවෙයි ගද්‍රභයා ගේ පරපුරේ එකක් වියයුතුයි.

      Delete
  19. අපිට ඕවා බලන්න ලැබෙන්නේ නෑ නොව

    ReplyDelete
    Replies
    1. අනාගතයේදී ජාලයෙන් බාගත කරගෙන බලන්න පුළුවන් වෙයි කියා හිතනවා.

      Delete
  20. සිංහල ෆිල්ම් වැඩිය බැලෙන්නේ නෑ ( රිදී චැනල් එකේ හැර ).
    ෆිල්ම් හෝල් එකක බලපු හොඳම එක "මචං", නරකම එක "කුස පබා"

    ReplyDelete
    Replies
    1. රිදී චැනල් එකේ සතියකට එකක් විතර යනවා සතුටුදායකයි කිවහැකි චිත්‍රපටි.

      මචං චිත්‍රපටිය ඇත්ත කතාවක් නිසා බොහොම ආකර්ශනීයයි.

      කුස පබා නොබැලුවෙමි.

      Delete
  21. ඔන්න ඕක තමා රසවින්දනය කියන්නෙ මාමෙ. කිසිසේත්ම සමපාත වෙන්න ඕන නෑ වෙන කෙනෙක්ගෙ අදහස් එක්ක. හැම දෙයක්ම සාපේක්ෂයි.

    ReplyDelete
    Replies
    1. අතේ රේඛාවගේ !

      Delete
    2. හරියට හරි ඉවාන්. ඒක තමයි මම ලිපියේ මුලදීම කිව්වේ, මේ මම දකින විදිහ කියලා.

      PRA, අල්ලේ රේඛා, විහිදා ශාඛා, කියලා තියනවා, හින්දි කොපි සින්දුවක්.

      Delete
  22. මොනව නැතත් වෙඩි හඬ අසාර්ථකයි කියන එකට එකඟ වෙන්න පුළුවන් :-)

    ReplyDelete
    Replies
    1. මැදෑ ඒකටවත් එකඟ වුණා. :D

      Delete
  23. මේ විචාරය අළුත් එකක් නෙමෙයි. මම ආසයි ඔහෙත් එක්ක ගිය අනික් පිරිසගෙ විචාර පොඩ්ඩක් දැම්මා නම්.

    ReplyDelete
    Replies
    1. අනික් අයගේ විචාර,

      ලොකු දුව:- අපරාදේ ටිකට් වලට ගිය රු 1500.

      පොඩි දුව :- අපිට කොහේ හරි ඇවිදින්න යන්න තිබුණා.

      බෑණා:- නිහඬයි. (එච්චරටම තදවෙලා ද කොහෙද)

      අපේ උන්දැ :- අපරාදේ කියන්න බෑ අනාගතේදී අර ඉංග්‍රීසි චිත්‍රපටි වලට වඩා හොඳට කරලා පෙන්නයි කාමරේ ඇතුලේ කරන දේවල්.

      Delete
    2. //"බෑණා:- නිහඬයි. (එච්චරටම තදවෙලා ද කොහෙද) "//

      ඔව් මම වැඩිය කතා කරන්න ගියේ නෑ ඉතිං ;-)

      Delete
    3. //"බෑණා:- නිහඬයි. (එච්චරටම තදවෙලා ද කොහෙද) "//

      ඔව් මම වැඩිය කතා කරන්න ගියේ නෑ ඉතිං ;-)

      Delete
    4. හැක් හැක්. අපරාදේ කියන්න බෑ අපේ දුව බෑණාව ගානට හදාගෙන තියනවා වගේ. මිනිහා කට අරින්නේ බත් කන්න විතරයි. අම්මපා මූ දොස්තරෙක්ද කියලා හිතෙනවා මට වෙලාවකට.

      Delete
  24. Artist: Manoj Fernando
    Lyrics: Upul Shantha Sannasgala
    Melody :Ajith Kumarasiri
    'අඩු කුලේ කියාලා අසරණයා' ගීතය, යන්තමින් වයන යාචකයා, මහා ගාන්ධර්වයෙකැයි, මම නොබියව කියමි..


    obvious!

    ReplyDelete
    Replies
    1. මේ කට්ටිය, ඔය මම කියන ගාන්ධර්වයාගෙන් ඉගෙනගන්න යැව්වොත් හොඳයි නේද?

      Delete
    2. මෙය ගීතයක් නෙවෙයි. වාක්‍යයක් හඬ නගා කියවීමක්. මේ අයට මහබැංකුවේ වාර්ෂික වාර්තාව දුන්නටත් ඔය විදිහට කියවයි.

      Delete
    3. Wicha,

      අපිට තුනේ පන්තියෙ වගෙ තිබ්බ හඬනඟා කියවීම කියල පරිච්ඡේදයක්. ඒකෙදි කලේ පොතක පිටුවක් ශබ්ද නඟා කියවීම. ඔය කට්ටියම එකතුවෙලා උඩ දාන ගීතයෙ ගායකයා (???) කරන්නෙත් ඒකම තමයි.

      සිංදුවෙ(???) විස්තරේ මෙහෙම උනානම් හරියටම හරි….:)

      බෑඟිරි ගැසීම: Manoj Fernando
      වාක්‍ය රචනාව: Upul Shantha Sannasgala

      Delete
    4. Ravi is missing the most important point, which is melody :D

      jst perform a search on ajith kumarasiri on youtube and listen :D :D

      Delete
    5. Lone Elephant,

      No buddy I didn't miss it. That's why I didn't say anything about Ajith Kumarasiri's music.But I sincerely believe that a Song is a Tripod with Music, Lyrics & Singing playing equally important parts.So obviously when 2 legs of the tripod fails miserably......heh,heh

      Delete
  25. movie එක බලලා ඇවිල්ලම තමයි ඉතිං මොනා හරි ලියන්ඩ වෙන්නේ.....

    ReplyDelete
  26. විචාරයට ස්තූතියි. කොහොමින් හරි බලන්න ඕන කියන ලිස්ට් එකේ තියෙන ෆිල්ම් එකක්.

    ReplyDelete
  27. ඇගයීම ගැන ස්තුතියි.

    චිත්‍රපටිය බලන්න. මොකද, මා දකින ආකාරයට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකින් ඔබ මේ චිත්‍රපටිය දකින්නට ඉඩ තිබෙනවා.

    ReplyDelete
  28. විචාරය සෑහෙන්න තදබල එකක් විචා . තරිඳු හා අජිත් හොඳයි වගේ ලියල තිබ්බේ. බලන්නේ නැතුව මුකුත් කියනන් අමාරුයි. හැබැයි විචා බලන් දෘෂ්ටි කෝණය අර සින්දු ගැන දැක්කහම හිතෙන්නේ විචා අලුතින් එන ට්‍රෙන්ඩ් වලට එපමණ කැමැත්තක් දක්වන්නේ නැහැ කියල. මම වැරදිද මන්ද? හැබැයි අලුතින් එන හැම දෙයක්ම හොඳයි කියල නෙමේ මම කියන්නේ.

    ReplyDelete
    Replies
    1. අලුතෙන් එන ගායක ගායිකාවන්ටත් පැරණි ගායක ගායිකාවන්ටත්, සංගීතඥයන්ට සහ ගේය පදරචකයන්ටත්, මම කැමති වෙන්නේ, පහත දැක්වෙන පදනමේ ඉඳගෙන. මොනදේ කිව්වත් කලත්, එහි අපේ ගතියක් තියෙන්නේ ඕනේ. මෑත කාලයේ නිපදවුණු ජනප්‍රිය චිත්‍රපටි බොහොමයක, තාරුණ්‍යය ඉහවහා ගිය ගීත ඕනෙතරම් තිබුණා. ඒ සියල්ල අපේකම යන පදනමේ ඉඳගෙනයි නිර්මාණය වී තිබුණේ.

      කොහෙන් හෝ ඇහිඳගත්, විකාරරූපී ශෛලියක්, බලෙන් අපේ ඔලුවට ඔබ්බවන්න බැහැ. සිංහල භාෂාව, සිංහල සාහිත්‍යය වගේම, පොදුවේ අපේ සංකෘතික මුල් දිවගොස් ඇත්තේ කොතනද, අන්න එතන සිට තමයි, නිර්මාණ කලයුත්තේ. එහිදී බටහිර සංගීතයට බර නිර්මාණ කිරීමට බාධාවක් නැහැ. එහෙම කරපු ලොකුම ලොක්කා තමයි, ප්‍රේමසිරි කේමදාස.

      උපුල් ශාන්ත සන්නස්ගල, හොඳ සිංහල දැනුමැත්තෙක් බව අවිවාදිතයි. නමුත් භාෂා ඥානය පමණක් සෑහෙන්නේ නැහැ, ගීත රචනයට. ප්‍රේමකීර්ති ද අල්විස්, භාෂා විශාරදයකු නොවෙයි. නමුත් දේශීය පොදු ජනතාවගේ හදගැස්ම හඳුනන ගීත රචකයෙක්.

      මේ චිත්‍රපටියේ එන ගීතයක ඇති,'අම්මගෙ මාලේ උගස් කඩේ' කියනවාට වඩා හොඳයි, 'අම්මගෙ ආදරේ උගස් කඩේ' කියලා ලිව්වනම්/කිව්වනම්. එතන තමයි භාවමය හැඟීම් කුලුගන්වන්නේ.

      සාහිත්‍යය/භාෂාව/සංගීතය එකට බැඳෙන්නට නම් පෙරදිග, බටහිර සංගීත සම්මිශ්‍රණ ගැනත් ප්‍රාමාණික අවබෝධයක් තිබෙන්නට ඕනේ.

      පාසල්වලින් භාෂාව සහ සාහිත්‍යය විසිවී යාම, දරුවන් භාෂාව සහ සාහිත්‍යය අනෙකුත් පාසල් විෂයයන් හා සමාන තත්වයේ ලා සැලකීම, කියවීම සහ ඇහුම්කන්දීම දුර්වල අඩියකට පත්වීම, කුණු රසය දෙන ඉන්දියානු, සහ බටහිර ගංජා සින්දු බලෙන් ජනප්‍රිය කරවා, එයින් තරුණ පරපුරේ වින්දනය මොට කරවා, ඒ ගංජා වින්දනය විකුණා සල්ලි හොයන කාලකන්ණින් පිරිසක් බිහිවීම ඉතා කණගාටුදායකයි. බටහිර සම්භාව්‍ය සංගීතය කියා දෙයක් ඇතිබව, මොවුන් අහලාවත් නැතුව ඇති.

      Delete
  29. සිනමා පටය නොලබා කිසිවක් කියන්නට බැරි උනත්, ඔබේ අදහස් ටික නම් අපුරුවට පෙළ ගස්වලා තියනවා...අර ගීතයේ නම් කිසිම ගත යුත්තක් නැහැ...ඔබ කියනවා වගේ රැඩිකල් කරන්නට ගොස් රසය වනසා දැමීමක් කරලා තියනවා වගේ පෙනෙනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇගයීම ගැන. මේ වගේ ඝෝෂා සහ කෑගැසීම්, සංගීතය ලෙස සලකන්නේ, යම්කිසි මනෝ විකෘතියක් ඇති අය පමණයි කියලයි, මම හිතන්නේ.

      චිත්‍රපටිය බලා ඔබේ තවත් අදහස් කියන්න.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }