හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

30 November 2016

තුවක්කුවෙන් වෙඩි තියන්න පතරොම් ඕනේ...................... ඒ පතරොම් දාන්න හොඳ බටයක් ඕනේ.................

  ඒ විතරක් නෙවෙයි අනේ, වෙඩි තියන්න දක්‍ෂ මිනිහෙකුත් ඕනේ. ඈ? මක්කිව්වා? මාතෘකාව සින්දුවක් ගැනද කියලා නේද ඇහුවේ? නෑ නෑ සින්දුවක් ගැන නෙවෙයි. නමුත් ඉතින් සින්දුවක් ඇසුරෙන් තමා මාතෘකාව දැම්මේ. අද කාලේ සින්දු, බයිලා, නැතුව මොකුත් කරන්න බැහැ නේ. බලන්න ඔය රූපවාහිනියේ, ගුවන්විදුලියේ යන දැන්වීම් කන්දරාවේ, කොච්චර සින්දු කෑලි තියනවද. ඒ නිසා, බ්ලොග් ලිපියක මාතෘකාවටත් සින්දු කෑල්ලක් දැම්මම මොකද නේද? 

  මේ මාතෘකාව දැම්මේ, මෙන්න මේ ගීතය ඇසුරෙන්. අහලා බලන්නකෝ. 


   කෙළ මලියක් වුනා. මේ ලිපිය ලිය ලියා ඉන්දැද්දී, බ්ලොග් රයිෆලයේ ට්‍රිගර් එක වැරදීමකින් මිරිකිලා, මිස්ෆයර් එකක් වැදුනා. දැන් ඔක්කොමලා අහන්න පටන්ගනියි, මේ මොකද මාතෘකාවක් විතරක් පල කරලා තියෙන්නේ කියලා. මක්කා කොරන්නද, කාටත් ඔහොම දේවල් වෙනවා. 

   හොඳයි, ආපහු යමුකෝ කතාවට. අද මම ඔබ සමග සාකච්ඡා කරන්නේ, ගිනි අවියක් නිවැරදිව භාවිත කරන්නේ කොහොමද කියන එකයි. මීට පෙර කීප වතාවක්ම, මා මගේ ලිපිවල සඳහන් කර ඇති එක්තරා කරුණක්, මෙතනදී යළි සිහිපත් කරන්න කැමතියි. 

   ඔබ අතරින් සෑහෙන පිරිසක්, පරිගණක ක්‍රීඩා වල නියැලෙනවා. සමහරු කියනවා, 'මම අහවල් තුවක්කුවෙන් සුපිරියට වෙඩි තියනවා' කියලා. නමුත් මතක තබාගන්න. ඔබ ඒ දක්‍ෂතාව දක්වන්නේ පරිගණක ක්‍රීඩාවකදී විනා, ඇත්තම තුවක්කුවෙන් නොවෙයි. ඔබ අතිදක්‍ෂ ලෙස පරිගණක ක්‍රීඩාවෙදී පාවිච්චි කරන තුවක්කුව, ඔබ අතට දී, වෙඩි තියන්නැයි කිව්වොත්, ඔබ, මරණීය අනතුරු පවා කරගන්නට ඉඩ තිබෙනවා. බලපත්‍ර අවශ්‍ය නැති වායු රයිෆලයක් සොයාගෙන ඉලක්කපතකට වෙඩි තබා බලන්න,  (ඒවා වෙඩි නෙවෙයි, තනි මූනිස්සමකින් (pellet) එල්ල කරන ප්‍රහාරයක්) ඔබේ ඉලක්කය වරදින හැටි. පරිගණක ක්‍රීඩාවට වඩා, ප්‍රායෝගික තත්වය බොහොම වෙනස්.

   හොඳයි, තුවක්කුවකින් සාර්ථක වෙඩි තැබීමක් කරන්න නම්, මොනවද සම්පූර්ණ වියයුතු කරුණු? අන්න ඒක තමයි මාතෘකාව අර විදිහට දැම්මේ. අර සින්දුව අහන්න කිව්වේ. අපි බලමු මොනවද ප්‍රධාන මූලධර්ම කියලා.

1. තමන් පාවිච්චි කරන තුවක්කුව ගැන, හොඳ පුහුණුවක් සහ ප්‍රායෝගික අත්දැකීමක්, අවබෝධයක්, ඇති පුද්ගලයකු සිටිය යුතුයි. 

2. මනා ක්‍රියාකාරීත්වයෙන් යුත් තුවක්කුවක් තිබිය යුතුයි.

3. ඒ තුවක්කුවට හරියටම ගැලපෙන, තුවක්කුවේ යාන්ත්‍රනය ආධාරයෙන් උපරිම ප්‍රතිඵල ලබාදෙන, පතරොම් තිබිය යුතුයි.

   ඔන්න ප්‍රධාන මූලධර්ම තුන. දැන් බලමු ඒ ගැන ටිකක් සවිස්තරව.

1. වෙඩිතබන්නා 


   ගිනි අවියක් පාවිච්චි කරන පුද්ගලයකු තුළ තිබිය යුතු ප්‍රධානතම ගුණාංගය තමයි, විනය. ගිනි අවි පරිහරණය පිළිබඳ විනය. අවියෙන් ප්‍රයෝජන ගතයුත්තේ ඇත්තවශයෙන්ම අවශ්‍යතාවක් ඇත්නම් පමණයි. නිකම් සරාගොයියා වගේ තුවක්කු වනන්නේ, ගිනි අවි විනය නැති උදවියයි. සමහර ආරක්‍ෂක අංශ සාමාජිකයන් පවා, සරාගොයියා වගේ තුවක්කු ගෙනයාම ශෝචනීයයි, භයානකයි, වහාම පාලනය කලයුතුයි. අනුන්ට වගේම තමන්ටත් අනතුරු වෙන්න පුළුවන්. මේ බලන්න, බලලා මට බනින්න, සංවේදී පින්තූර දැම්මා කියලා.  



   හදිසියකදී තුවක්කුව ක්‍ෂණයකින් අතට ගන්න පුළුවන් ඉරියව්වකින් ගෙනයායුතුයි. පය පැකිලී බිම වැටීමෙන්, බලාපොරොත්තු රහිතව තුවක්කුව පත්තුවීම, තමන්ට හෝ වෙනත් කෙනෙකුට වෙඩි වැදීම, තුවක්කුවට හානිවීම, සිදුවිය හැකියි. මේ බලන්න, සරාගොයියා වගේ යනහැටි. මේ ඉරියව් වැරදියි. 


   මෙහෙමයි තුවක්කුවක් ගෙනයන නිවැරදි ඉරියව්. මීට අමතරව පිටේ එල්ලගෙන යන්නත් පුළුවන්. 



2. තුවක්කුව 

  මුලින් සඳහන් කලානේ, දෙවැනි මූලධර්මය තමයි හොඳ තුවක්කුවක් වීම කියන එක කියලා. හැබෑටම මොකක්දහොන්ද තුවක්කුවක් කියන්නේ. භයානක හෝ අලංකාර පෙනුමක් තිබීම? පෙනුම කන්ඩයැ. වැඩ නේ ඕනේ. ඒ නිසා තුවක්කුවේ මනා ක්‍රියාකාරිත්වයයි වැදගත්. මනා ක්‍රියාකාරීත්වයෙන් තුවක්කුව පවත්වාගෙන යනවිට එහි පෙනුමත් හොඳයි.  


   තුවක්කුවක මනා ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යන්නට නම් තුවක්කුවේ ප්‍රධාන කොටස් තුනක් අනිවාර්යයෙන්ම හොඳින් ක්‍රියාකළ යුතුයි. 

ඒ තමයි;

1. පතරොම් ඇතුළු කිරීම, පත්තු කිරීම හිස් පතරොම් කොපු පිට කිරීම යන කොටස් වලට අදාළ යාන්ත්‍රණය. පතරොම් ගැබෙහි (Magazine) ඇති පතරොම්, කිසිදු හිරවීමකින් තොරව තුවක්කුවේ බැරලයේ මුල කොටසේ පිහිටි චේම්බරය වෙත යොමු කිරීම, එම පතරොම, තුවක්කු බටයේ මධ්‍ය ලක්ෂ්‍යය වෙත නිවැරදිව යොමුකර, පතරොම පත්තුවනතුරු නොසෙල්වී තබාගැනීම, මේ යාන්ත්‍රණයට අයත්. අපි බලමු පැරණි .303 රයිෆලයක ප්‍රධාන යාන්ත්‍රණය.



2. ඇදකුද නැති, අවහිරතා නැති, හොඳ පන්නරයක් සහිත, උසස් තත්වයේ ලෝහයෙන් නිමවූ, තුවක්කු බටයක් තිබීම. තුවක්කු බටයට ඇස තබා ආලෝකයට අල්ලා බැලූවිට එහි ඇතුලත පිරිසිදුව තිබිය යුතුයි. මලකඩ හෝ වෙනත් අපද්‍රව්‍ය ඇත්නම් එය පාවිච්චියට සුදුසු නැහැ.



   අද වනවිට තුවක්කු බටය නිකම් තියන්නේ නැහැ. නවීන දෘෂ්ටි උපකරණ මගින්, වෙඩි තැබීමේ හැකියාව වැඩිදියුණු කර තිබෙනවා. මේ ඒ ගැන උදාහරණ කීපයක්. 


  මෙවැනි දෘෂ්ටි උපකරණ වලින් ඉලක්කය දෙස බැලූවිට, ඒ ඒ දෘෂ්ටි උපකරණය අනුව, ඉලක්කය හසුකරගැනීමට ආධාර වන නිර්දේශක, මෙන්න මේ වගෙයි.



3. තුවක්කුව නොගැස්සෙන සේ, වෙඩි තබන්නාට අපහසුවක් ඇති නොවන සේ, අල්ලාගත හැකි, උරහිසට හේත්තු කරගත හැකි, මිටක් තිබීම. ඒ ඒ තුවක්කුවෙන් ගන්නා ප්‍රයෝජනය අනුව තුවක්කු මිට සැකසෙනවා.






තුවක්කු මිටේ, උරහිසට හෙත්තුවන ස්ථානය, කාලීනව වෙනස්වී ඇති ආකාරය,


අවශ්‍යතාව අනුව, සීරුමාරු කළහැකි මිටක් සහිත, නවීන තුවක්කු.






තුවක්කුවෙන් වෙඩිතියන්න පතරොම් ඕනේ.......

   හරි හරි මේ දෙඤ්ඤා. ඒ ඒ අවශ්‍යතාව අනුව, ඒ ඒ තුවක්කුවේ ස්වභාවය අනුව, විවිධ හැඩයේ, විවිධ වර්ගයේ, පතරොම් නිෂ්පාදනය වෙනවා. 


පතරොම ඇතුලේ මොනවද තියෙන්නේ? 

  ඔය ඉස්සරහින් තියන උල වගේ කෑල්ල තමයි වෙඩි තියපුවාම ගිහින් ඉලක්කයේ වදින්නේ. ඒක ඇතුලේ ඊයම් පුරවලා තියෙන්නේ. ඒ ඊයම් උනුවෙලා ද්‍රව ස්වභාවයට පත්වෙනවා වෙඩි තිබ්බම. ඉතින් ඉලක්කය පුච්චාගෙන යන්න පුළුවන් ඒ ඊයම් වලින්. ඒකනේ වෙඩිල්ල වැදුන පැත්තට වඩා වෙඩිල්ල පිටවුණ පැත්තේ සිදුර විශාල වෙන්නේ. 

   අර කොපුව ඇතුලේ වෙඩි බෙහෙත් පුරවලා තියෙන්නේ. ඒවා ක්‍ෂණිකව ගිනි ඇවිලෙනසුළුයි. විවිධ වර්ගයේ වෙඩිබෙහෙත් තියනවා.  ස්ඵටික ස්වභාවයෙන් තියෙන්නේ. මේ බලන්න.



පතරොම පත්තුවෙන්නේ කොහොමද? 

  පතරොමේ පිටිපස්සේ තියනවා කැප් එක කියලා කොටසක්. තුවක්කුව ඇතුලෙදි, එතනට වේගයෙන් වදිනවා ඇණයක්. ඒ වේගෙට, කැප් එක ඇතුලේ තියන වෙඩි බෙහෙත් පත්තුවෙනවා. ඒ ගින්දරෙන්, කොපුව ඇතුලේ තියන වෙඩිබෙහෙත් එකවරම ඇවිලිලා, මහා පීඩනයක් දෙනවා. ඒ පීඩනයට, පතරොමේ අර උල කෑල්ල ගැලවෙලා, තුවක්කු බටෙන් එලියට විදිනවා. 


හරියට වෙඩිල්ලක් තියන්නේ කොහොමද?

 නිවැරදිව ඉලක්කයක් ගන්න නම්, ඉලක්කය, තුවක්කුවේ බටය, වෙඩි තබන්නාගේ ඇස, සමපාතව පිහිටන්න ඕනේ. ඒ වගේම, වෙඩිල්ල තියන්න කලින්, හුස්ම පාලනය කරන්න ඕනේ. එක්කෝ, හුස්ම ඉහලට ඇද නවත්වා, පාලනයේ තියාගන්න ඕනේ. නැත්නම්, හුස්ම පහත හෙලා, පාලනයේ තියාගන්න ඕනේ. හැබැයි යුද්දෙදි හැමවිටම මෙහෙම කරන්න අමාරුයි. මෙහෙම කරන්නේ, වෙඩි තැබීම් පුහුණුවේදී සහ වෙඩි තැබීමේ තරග වලදී. 


අදට ඇති නේද? ආයෙත් තුවක්කු ගැන කතා කරමුකෝ ඉදිරියේදී.

2016 දෙසැම්බර් මස 01 වැනි දින 0017 පැය.

69 comments :

  1. ලිපිය අති විශිෂ්ට විදිහට සැලසුම් වී තියනවා විචාරක තුමා ඇඟ හිරි වට්ටන සේයාවක් වුනත් එය එතනට අවශ්‍යම එකක් වී තිබෙනවා. පතරොම හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව පැහැදිලිව ඉගෙන ගන්න මට අවස්ථාව ලැබුණෙ දැන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගුණසිංහ මහත්මයා. ඔබතුමාගේ ලිපියක් දෙකක් නුදුරේදී පලවෙයි කියා බලාපොරොත්තුවෙන් ඉන්නවා.

      Delete
  2. //
    තුවක්කුවෙන් වෙඩි තියන්න පතරොම් ඕනේ......................
    ඒ පතරොම් දාන්න හොඳ බටයක් ඕනේ.................
    //
    බටයක්ද ? බටයෙක්ද ?
    බටයෙක් කිව්වෙ මේ හමුදා බටයෙක් ගැන

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් තැනට ගැලපෙනවා නම් ඒ වචනේ වුනත් නරක නැහැ. :D

      Delete
    2. ඉස්කෝලෙ කාලෙ ශිෂ්‍ය භටයන්ව ශිෂ්ණ බටයො කියල අවුස්සපු හැටි මතක් වුනා ;-)

      Delete
    3. විරුද්ධ පැත්තේ අයට කියන නම දන්නවද? ශිෂ්නශාන්ති.

      Delete
  3. බලපත්‍ර අවශ්‍ය නැති වායු රයිෆලයක් අපේ වාහනයක ගෙනියන්න බැරිද?
    තොම්සන්ලගේ වෙබ් අඩවියේ පෙන්නන නවීන වායු තුවක්කු පිස්තෝල අපිට ලංකාවේ ගන්න බැරිද ?
    එහම එකක් වාහෙනක දාගෙන යනකොට හමුදාවට හරි පොලිසියට හරි පුලුවන්ද අපිව අත්අඩංගුවට ගන්න

    ReplyDelete
    Replies
    1. බලපත්‍ර නැතුව තියා ගන්න බැහැ,
      හැබැයි අපි කඩෙන් ගනිද්දී තොම්සන් හෝ කවුරුහරි අපිට දෙන බිල සහ එයාලගේ බලපතේ කොපිය බලපතක් විදිහට පොලිසිය පිළිගන්නවා...
      හැබැයි එතැනදී බලපත්‍රය විදිහට එයාලටත් තියෙන්නේ "ආනයන බලපත්‍රයක්..."
      ඒකෙ කොපියකුත් මිළදී ගන්න කෙනාට ලැබෙන බව තමයි මම අහල තියෙන්නේ...

      ඒ ඇරෙන්න වාර්ෂිකව හෝ යම්කිසි කාලයකට අළුත් කලයුතු ගිනිඅවි සඳහා අවශ්‍ය ගණයේ බලපත් අවශ්‍ය නැති බව තමයි මම දන්නේ...

      හැබැයි අපි වායු රයිෆලය වාහනයක රැගෙන යනවනම් නීතියක් තියෙනවා ඒක ලෝඩ් කරගෙන යන්න බැහැ කියලා...
      වායු පිස්තෝල ළඟ තබා ගැනීම අපි වගේ උන්ට නීත්‍යානුකුල නැති බවක් මම අහල තියෙනවා...

      Delete
    2. "තෝමස්"
      .22 පෙලට්ස් ගෙන්වීමට ප්‍රශ්නයක් තියනවා.
      .177 නම් පුලුවන්

      Delete
    3. @ මෙන්ඩා.

      දැනට ලංකාවේ විකිණීමට තිබෙන වායු රයිෆල් වලින් සමහර ඒවාට බලපත්‍රයක් අවශ්‍ය නැහැ. සමහර ඒවාට අවශ්‍යයි. වායු පිස්තෝල පෞද්ගලිකව තියාගන්නට බැහැ. ඒවා පහසුවෙන් සඟවාගෙන ගොස්, වායු පිස්තෝල බව නොදන්නා අය රවටා, බයට පත්කර, මංකොල්ලකෑම් වනි දේ කළහැකි නිසා. ඒවා ලබාදෙන්නේ, ලියාපදිංචි ක්‍රීඩා සමාජ (Rifle Clubs) වලට පමණයි. වායු රයිෆලයක් වාහනයක ගෙනයාම පිළිබඳව නීතිය කුමක්ද යන්න අවිනිශ්චිතයි. ඒ ඒ පොලිස් නිලධාරියාගේ අභිමතය අනුවයි ක්‍රියාකරන්නේ.

      @ ලොකුපුතා.

      ඔබ වායු රයිෆලයක් පාවිච්චි කරනවා නේද? එය බලපත්‍රලාභී එකක්ද නිදහස් එකක්ද? වාහනයක ගෙනයාම ගැන ඔබ දන්නා කරුණු තවත් පැහැදිලි කරනවානම් හොඳයි.

      @ Pra Jay.

      .22 ටිකක් ලොකු කැලිබරයක්. ඒවා සීමා කරලා ඇති, ආනයනික වියදම් නිසා.

      Delete
    4. ///ඔබ වායු රයිෆලයක් පාවිච්චි කරනවා නේද? එය බලපත්‍රලාභී එකක්ද නිදහස් එකක්ද? වාහනයක ගෙනයාම ගැන ඔබ දන්නා කරුණු තවත් පැහැදිලි කරනවානම් හොඳයි. ///

      මම මේක ඇමරිකාවේ ඉඳල යාළුවෙකුට කියල ගෙන්න ගත්තා, නීතිය ගැන කිසිත් නොදැන...
      පස්සේ පුදුමාකාර කට්ටක් අනුභව කරලා නිසි අවසර සියල්ල ලැබුණු පසු (පොලිස්, හමුදා සහ සහකාර ආරක්ෂක ලේකම් තුමියකගේ අවසර) ඒ සියල්ලට අමතරව "ආනයන බලපත්‍රය" ක් පවා මගේ නමට අරගෙන ඩියුටි එහෙමත් ගෙවලා තමයි ඒක එළියට ගත්තේ...
      ආමි එකේ නිලධාරි මහත්මයෙක් ඇතුළු තුන් කට්ටුවක් මට එන්න කියල ප්‍රශ්න අටෝරාසියකුත් ඇහුවා ආරක්ෂක අමාත්‍යංශය ඇතුලෙදි...
      ඒ කාපු කට්ට මතක් වෙනකොටත් එපා වෙනවා...

      හැබැයි මොක උනත් දැන් මගේ ගාව ඒ ලියුම් සහ ආනයන බලපත්‍රය මගෙ නමටම තියෙනවා, මම රයිෆලය සමග ඒ ටිකත් යන යන තැන ගෙනියනවා...

      වාහනයක ගෙනියද්දි තමන් සතු බිල්පත ඇතුළු ලියවිලි (සාමාන්‍යයෙන් වායු රයිෆලයක් මිළදී ගැනීමට ඔබ සුදුසුකම් සපුරා ඇති බවට ග්‍රාමසේවා නිලධාරී ලියු ලිපියක් ඕනේ නියමිත විදිහටනම්, ඒකෙ කොපියක් ළඟ තියෙන එකත් හොඳයි) රැගෙන යාම වැදගත්, ඒ වගේම තහනම් එකම දේ ලෝඩ් කරලා ගෙනියන එක පමණක් බවයි වායු රයිෆල් පුහුණු කරුවෙක් මා සමග පැවසුවේ...

      Delete
    5. @ ලොකු පුතා

      ස්තුතියි ඔබේ කරුණු පැහැදිලි කිරීම ගැන. මේ ගැන උනන්දුවක් දක්වන අයට වැදගත්වන කරුණු රැසක් තියනවා.

      Delete
  4. ඉස්සරනම් පත්තරේ මල්ලි මේ වගේ ලිපියකදී ඉවනයට වෙඩි තියන්න එකක් ඉල්ලනවා
    උන් දෙන්නගේ වලියක් නැති කෙමෙන්ට්
    පතුරන් නැති තුවක්කුවක් වගේ

    ReplyDelete
    Replies
    1. පත්තරේ නම් ඉඳහිටලාවත් කමෙන්ට් දානවා. ඉවාන්ගේ නිහඬබව ගැන කණගාටුයි.

      Delete
  5. මට හොදවයින් එකක් අරන් තියහන් මේ සැරේ සම්මාන උළලේදී අර දෙමල නයන්න ට වෙඩි තියන්න

    ReplyDelete
    Replies
    1. ඕකට සීනි දාලා වෙඩි තියහං කූඹි කාලා මැරෙන්න

      Delete
    2. னයා ට වෙඩි තියල බටේ වරද්දගන්න එපා. හැක්..

      Delete
    3. @ මෙන්ඩා. ඕකට වෙඩි තියන්න ඕනේ නැහැ. පොල්පිත්තක් හොඳටම ඇති.

      Delete
  6. ++++++++++++++++++++++++++++++++++=

    ReplyDelete
  7. අති විශිෂ්ඨ ලිපියක්. තුවක්කුවක් අරන් වෙඩි තියාගෙන තියාගෙන යන්න හිතෙනවා

    ReplyDelete
    Replies
    1. අපුච්චේ එහෙම වෙඩි තියන්න හිතන්නවත් එපා. අපේ රටේ තියනවා රයිෆල් සමාජ. බලන්න ඒ එකකට බැඳෙන්න පුලුවන්ද කියලා.

      ඇගයීම ගැන ස්තුතියි.

      Delete
    2. ///අපේ රටේ තියනවා රයිෆල් සමාජ. බලන්න ඒ එකකට බැඳෙන්න පුලුවන්ද කියලා. ///
      ඒවා බුදල්, සමහර ඒවායේ ඉන්න එකෙක් මළොත් තමයි අලුතෙන් ඇතුලට ගන්නේ...
      එයිට හොඳයි බට තුවක්කුවකින් කිරිල්ල ගෙඩි වෙඩි තියනවා...

      Delete
    3. ඇත්තටම අපේ රටේ රයිෆල් සමාජ කියන්නේ වෙනම කුලයක්ද කියලා හිතෙනවා. ඉස්සර හිටියා වතු අධිකාරි වරුන් කීපදෙනෙක් ස්වේච්ඡා හමුදාවට බැඳිලා. උන් හිතන්නේ ෆයරින් ටීම් පුහුණු කරන්න දන්නේ උන් විතරයි කියලා. දැන්නම් එකෙක්වත් නැහැ.

      රයිෆල් සමාජ පටන්ගන්න ත්‍රිවිධ හමුදාවට ඉතා පහසුවෙන් පුළුවන්. එයින් මහජනතාව සහ හමුදා අතර සුහදතාවයකුත් වර්ධනය වෙනවා. සැඟවුණු දක්ෂතා සහිත අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එලියට එනවා. ඔවුන්ව කැමතිනම් හමුදාවට බඳවාගන්නත් පුළුවන්. කොහෙද ඉතින් අපි කිව්වට අහනවයැ.

      Delete
    4. ඔය ඉලක්කෙට වෙඩි තියන තරඟ වලට ගමේ එකෙකුට කවදාවත් යන්න ලැබෙන්නේ නැහැ, හැමදාම එකම කුලයක උන් ටිකක් අතරේ විතරයි ඕවා තියෙන්නේ...

      Delete
  8. නිතර පාවිච්චි නොකරන තුවක්කු බට තමයි ඔය හරියට එල්ලය ගන්න කලින් මිස් ෆයර් වෙන්නේ.

    එහෙම කියලා තැතන තැන නොතැන නොබලා වෙඩි තියන්න ගියාම තුවක්කු බටේ රෙපයාර් කරන්නත් වෙනවා.

    අනිත් අතට, වෙඩි නොතියාම හිටියාම, තුවක්කු බටේ මලකඩ කන්නත් ඉඩ තියෙනවා!

    ReplyDelete
    Replies
    1. තමන්ගේ පෞද්ගලික අත්දැකීම් තුලින් කල ප්‍රකාශයක් ලෙස බාරගන්නවා.

      Delete
  9. අන්නේකයි... තුවක්කුබට නිතර පිරිසිදු කරලා, සර්විස් කරලා තියාගන්න ඕනෑ....

    ReplyDelete
    Replies
    1. හප්පෝ..........හමුදා පුහුණුවේදී ඔය වැඩේ එපාවෙනකල් කරලා තියනවා.

      Delete
  10. අර නිවැරදියි කියල තියන පින්තූර තුනේ දෙපැත්තෙ දෙක නිවැරදිද? පත්තු වුනොත් වදින්න පුළුවන්නෙ කාටහරි?

    ReplyDelete
    Replies
    1. හොඳට බලන්න රාජ්, ට්‍රිගර් එකට ඇඟිල්ල තියාගෙන නෙවෙයි යන්නේ. හැබැයි මෙහෙම දියක් තියනවා. හදිස්සියට මෝල්ගහත් පත්තුවෙනවා කියනවනේ. ඒ නිසා පතරොම් දැමූ තුවක්කුවක් රැගෙන යාමේදී සෑමවිටම සලකිලිනත් වියයුතුයි. නවීන තුවක්කු වල ආරක්‍ෂක විධිවිධාන බොහොම ඉහලයි.

      Delete
  11. මලු, මලු. ඔය කතා කරන්නේ දිග තුවක්කු ගැන නේ :). පිස්තෝල වල එහෙම බටේ ඇතුලේ හීනියට මළ තියෙනවනම් හමුදාවේදී මොකද කරන්නේ?

    ReplyDelete
    Replies
    1. එතකොට එව්වා පරීක්ෂා කරන අයගේ මල පනිනවා. අපිට මළපහ වෙනවා. :D

      Delete
  12. උඩම තියෙන තුවක්කු හයෙන් යටම එකයි, ඊට පස්සේ මිට සීරු මාරු කරන්න පුළුවන් කියපු තුවක්කු දෙකෙන් උඩ එකයි (ක්‍රීම් වගේ පාට එක) නියමයි අප්පා...

    මට තාම හරියට ඇජස්ට් වෙන්න බැරි වෙච්ච එකක් තමා ස්කෝප් එකෙන් නිවැරදි එල්ලය ගන්න එක...
    මම කරන්නේ ස්කෝප් එක ගලවල දාල Front & Rear Optic වලින් ගේම ගොඩ දාගන්න එක...
    මේ එයාර් වල මිසක්කා ෆයර් වල නොවන බව කරුණාවෙන් සළකන්න...

    ReplyDelete
    Replies
    1. මට අවස්ථාව ලබුනා අපේ හමුදාවේ ස්නයිපර් තුවක්කු සහ විශේෂ බලකායේ සමහර තුවක්කු පරිහරණය කර බලන්න. ඔය සයිට් එකට ඇස හුරුකරගැනීම ඔබ කියනවා වගේම අමාරු දෙයක්. අපි හුරුවෙලා ඉන්නේ සාමාන්‍ය වෙඩි තැබීම් වලට. නමුත් සියුම් වෙඩිතැබීම් සඳහා ටෙලස්කොපික් සයිට් ගැන වෙනම ඉගෙනගන්න වෙනවා. ඇත්තම කියනවානම් මහා එපා කරපු වැඩක්.

      Delete
    2. ///ඇත්තම කියනවානම් මහා එපා කරපු වැඩක්.///

      මටත් එහෙම තමයි හිතුනේ... :(

      Delete
    3. හෙහ් හෙහ්, ඒ වුනාට ඔය සයිට් එකක මිල ඇහුවම බොක්ක රත්වෙනවා.

      Delete
  13. හොඳ විස්තරයක්. දැං ඉතිං තුවක්කුවක් හොයාගන්නම වෙනව. මටත් මේ කොමෙන්ට් කාරයො එකෙක් දෙන්නෙකුට ගේමක් දෙන්න තියෙනව.

    විචා අංකල් එහෙනං (තුවක්කු) බටේ හොඳට පොලිෂ් කරල එහෙම තියාගෙන ඉන්නව ඇත්තෙ නෙහ්..

    ReplyDelete
    Replies
    1. උඹට ඉතින් අර බට තුවක්කුව තියනවනේ. ඒකට කිරිල්ල ගෙඩි දාලා වෙඩි තියපන්.

      අපේ තුවක්කු? හඃ........ පතරොම් දාන පරක්කුවට වැඩ හරිද?

      Delete
  14. නියමය් සෑර් ආසම ලිපියක්... සර් topic එකත් මරැ ඉතින්..හාද..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉරේෂ්. ඔව් ඉතින් හාදවී ඉම්මු. :D

      Delete
  15. රන්ටැබේ ගිහින් මාත් වෙඩි තිබ්බා පොඩි රය්ෆල් එකකින් ...හැබැයි එකක්වත් වැදුන්නෑ... ඒ නිසා හාෙවා් පනන්නත් උනා..හාද....

    ReplyDelete
    Replies
    1. එකපාරක් මම තියලා තියෙන්නෙ එහාපැත්තෙ එකාගෙ ටාර්ගට් එකට. උගෙ උණ්ඩ 5න් හිල් 9ක් හැදිලා තිබුනා.

      Delete
    2. අපිත් ශිෂ්‍යභටයන් කාලේ ඔය අත්දැකීම ලැබුවා. හැබැයි උපදේශකයන්ගෙන්, රයිෆල් පිරිසිදු කරන ක්ලීනින් රොඩ් එකෙන්, පස්ස පැත්ත රත්වෙන්න ගුටිත් කෑවා.

      Delete
    3. අප්පේ අපිත් කෑවා but එකෙන් කොන්ද පැලෙන්න...

      Delete
  16. අර උල මොට්ට උන්ඩෙන් තිබ්බම රිදෙනව වැඩිද ? 😀

    ReplyDelete
    Replies
    1. අප්පේ ඔව්. රිදෙනවා විතරක් නෙවෙයි ඒක වදින්නේ බරට. සිදුවන විනාශය බොහොම වැඩියි.

      Delete
  17. ටික දවසකින් පස්ට පෝස්ටුවක්.කාලෙක ඉදලා බ්ලොග් එක බලනව කොමෙන්ට් කරන්න තමයි බැරි උනේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරිඳු. ඉඳලා හිටලාවත් හිතෙන දේ ලියන්න.

      Delete
    2. කොමෙන්ට් දාන්න බැරි උනාට අනිවාර්යයෙන් බලනව.කොමෙන්ට් දාන්න අමාරු පෝන් එකෙන් opera mini වලින් එන්නෙ ඒකයි.තරහක් නෑනෙ

      Delete
    3. පෝස්ට් එක ගැනත් ප්‍රශ්නයක් අහන්නම්.දෘෂ්ටි උපකරණ ලංකාවේ හමුදාව පාවිච්චි කරන්නැද්ද.ඔබ දාල තියන උපකරණ වලට වඩා https://media.midwayusa.com/productimages/880x660/Primary/527/527418.jpg මේවගෙන් ඉලක්කය ගැනීම පහසු ද.

      Delete
    4. නෑ නෑ කිසිම තරහක් නැහැ තරිඳු.

      ලංකාවේ ත්‍රිවිධ හමුදාවම, විශේෂ ප්‍රහාරක කටයුතු සඳහා, දෘෂ්ටි උපකරණ පාවිච්චි කරනවා. ස්නයිපර් කටයුතු වලදී, විශේෂ බලකාය සහ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ ක්‍රියාන්විත වලදී, දෘෂ්ටි උපකරණ පාවිච්චි කරනවා. ඇත්තෙන්ම එය සංකීර්ණ විෂයයක්. ඔබ පෙන්වා ඇති ආකාරයේ ඒවා, අනික් එව්වාට වඩා හොඳයි කියන්න බැහැ. ඒ ඒ අවශ්‍යතාව අනුව ගැලපෙන විවිධ මෝස්‌තර තියනවා.

      Delete
  18. වටිනා විස්තරයක් විචාරකතුමා ....බොහෝ දේවල් දැනගත්තා...මටත් ආසාවක් තියනවා වෙඩි තැබීම ඉගන ගන්න...

    බොහොම ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. කොහොමද පොකුරු? හුඟ කාලෙකින් නේද? මටත් ඒ පැත්තේ එන්න බැරිවුණා.

      ඇගයීම ගැන ස්තුතියි.

      Delete
  19. චිත්‍රපටි ඩෙලිඩ්‍රාමා ආදියේ ට්‍රිගර් ගාර්ඩ් එක ඇතුලට ඇඟිල්ල දාගෙන ට්‍රිගර් එකට ඇඟිල්ල තියාගෙන දුවනවා, පනිනවා, ගහනවා. පුදුම කන්ට්‍රෝල් එකක් නේද ඇත්තෙ?

    ReplyDelete
    Replies
    1. ඒ වගේමයි කවදාවත් ඒගොල්ලන්ගේ පතරොම් ඉවර වෙන්නේ නැහැ කොච්චර වෙඩි තිබ්බත් :D

      ට්‍රිගර් එකේ ඇඟිල්ල තියාගෙන දුවන්න පුළුවන් පිස්තෝල තියනවා. මිරිකුනත් පත්තු වෙන්නේ නැහැ. අපේ විශේෂ බලකායත් ඒවා පාවිච්චි කරනවා. එහි තියෙන්නේ double safety ක්‍රමයක්.

      Delete
  20. ක්ෂේත්‍රයේදී උණ්ඩ පිරවූ ගිනි අවියක් රැගෙන යන ආකාරය පිළිබඳව ගිණි අවි භාවිතය පුහුණු කිරීමේදී උගන්වන මුත්...පසුකාලීනව සමහර ගිණි අවි භාවිතා කරන්නන් තමන්ට ආවේනික ක්‍රම භාවිතා කරන බව පෙනෙයි.. විශේෂ කාර්ය බලකායේ පුරාවෘත්ත නිර්මාණය වී ඇති නිලධාරියෙකු තම ගිනි අවිය රැගෙන ගියේ විචාරක මහතා පවසන සරා ගොය්යා ඉරියවුවෙනි.හදිසි අවස්ථාවක දී සම්මත සුදානම් ඉරියවුවෙන් ගිනි අවි රැගෙන යන්නන්ට වඩා වේගයෙන් ඔහු තම අවිය වෙඩි තැබීමේ ඉරියවුවට ගනියි...පුහුණු පාසලේදී වෙඩි පුහුණුවේදී ඔහුගේ මේ අමුතු ඉරියවුව ගැන පැහැදිලි කරන අතර පුහුණු උපදේශකයන් ආධුනිකයන්ට පවසන්නේ අදාළ "සරා ගොයියා" ඉරියවුව ඒ මහතාට 100% ගැලපෙනවා වුවත් අනෙක් අය සම්මත ඉරියවු භාවිතා කල යුතු බවයි..

    ReplyDelete
    Replies
    1. එහෙම අය ඉන්නවා. තමන්ට හුරුවූ ක්‍රම පාවිච්චි කරන අය. බොහෝවිට ඒ ක්‍රම වරදින්නෙත් නැහැ. නමුත් පුහුණුවේදී කියලාදෙන්නේ සම්මත ක්‍රමයයි.

      Delete
  21. හම්මෝ මටත් වෙඩි තියාගෙන, තියාගෙන යන්න හිතෙනවා.

    ඇයි දන්නේ නෑ මේ හැටි අපිට වෙඩි තියන්න උගන්නන හදන්නේ?

    මේ ඔබතුමා වෙඩි තියන්න උගන්නනවද?:D

    ReplyDelete
    Replies
    1. හම්මෝ.............එහෙම හිතුනට වෙඩිතියන්න නම් එපා. මොනවයින් මොනවා වෙයිද කියන්න බැහැනේ.

      වෙඩිතියන්න උගන්නන්නේ අද ඊයේ ඉඳලා නෙවෙයි. 1980 දශකයේ සිට ප්‍රායෝගිකව ඉගැන්නුවා. දැනට අවුරුදු පහකට පමණ පෙර සිට බ්ලොග් එකෙන් උගන්නනවා.

      මේ තියෙන්නේ මුල්ම කාලයේ ඉගැන්වූ බ්ලොග් පාඩමක්

      Delete
  22. මමත් ඉස්කෝලෙ රයිෆල් ෂූටින්, ෆෙන්සිං තමා කරන්නේ... අපේ අම්මා නිතරම කියන දෙයක් තමා ඕවා කරලා යුද්දෙට යන්නද කල්පනාව කියලා...

    ReplyDelete
    Replies
    1. රයිෆල් සමාජයකට බැඳී ක්‍රීඩාවක් ලෙස ඉලක්කයට වෙඩිතැබීම ඉගෙනගැනීමේ කිසිදු වරදක් නැහැ. නමුත් සමහර අය හිතනවා, එය යුද මානසිකත්වය කියා. ඔබේ මව ඔබට තිබෙන ආදරය නිසා, සමහරවිට හිතේ බයක්/අකමැත්තක් ඇති, ඔබ හමුදාවට බැඳෙයි කියා.

      Delete
  23. බට තුවක්කුවෙනුයි, සෙල්ලම් තුවක්කෙනුයි තමයී අපේ වැඩ

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, එහෙමවත් අත්දැකීමක් තියන එක කොච්චර හොඳද? අද ඉන්න කුඩා ළමයින්ට, එහෙමවත් අත්දැකීමක් නැහැ.

      Delete
  24. ///////තුවක්කුවෙන් වෙඩි තියන්න පතරොම් ඕනේ...................... ඒ පතරොම් දාන්න හොඳ බටයක් ඕනේ.///////////
    "බටේ පරිස්සම් කරගන්න හැටි" කියලා ලිපියක් ලියන්නේ නැද්ද මචං.

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්, හමුදාවේදී කඩු සරඹ ඉගෙනගන්නකොට උපදේශකයන් අපිට කියන්නේ, ඔය කඩුව කොපුවට දාගන්න කියලා නෙවෙයි. කඩුව බටේ දාගන්න කියලා.

      දැන්නම් පරිස්සම් කොරන්න දෙයක් නෑ මචෝ.

      Delete
    2. කඩුව බටේ දාගන්න පුලුවන් නම් අනිත් ඒවා ප්‍රශ්න නෙමේ විචා :D

      Delete
  25. Yuddeta yaddi soldier kenekta magazine kiyak denawada?

    ReplyDelete
  26. මට ඕන ලස්සන පොඩි වායු පිස්තෝලයක් ගන්න. කොහෙන්ද ගන්න පුළුවන්? කියක් වගේ වෙයිද?

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }