හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

01 November 2016

ගිනි බිඳිල්ලේ අතීතය

   'ගිනි බිඳිනවා' යන යෙදුම,  වර්තමානයේදී නම්, අපේ සමාජයේ එතරම් භාවිත වන්නේ නැහැ. නමුත්, පැරණි සාම්ප්‍රදායික කෘෂිකර්මය සහ සුළු පරිමාණයෙන් දඩයම පැවති සමයේදී නම්, මේ යෙදුම ඒ සමාජය තුළ බහුලව අහන්නට ලැබුනා. 'ගිනි බිඳිනවා' යනුවෙන් අදහස් කළේ, වෙඩි තබනවා යන්න  බව, ඔබ අසා ඇතුවාට සැකයක් නැහැ. මතකයි නේද ඒ සමාජයට අදාලව අර ගමරාල ගිනි බිඳපු කතාව? මතක නැහැ. හොඳයි. බොහෝ දෙනෙක් දන්න කතාවක් වුනත් කෙටියෙන් නැවත කියන්නම්. 

   ඔන්න එක ඈත ගමක, ගමරාළ කෙනෙක් හිටියා. එයාට හොඳ ගම හාමිනේ කෙනෙකුත් හිටියා. ගමරාල දක්‍ෂ ගොවියෙක්. මතකනේ අර හේතුහාමි. අන්න ඒ වගේ දක්‍ෂ ගොවියෙක්.  

   ඔන්න එක දවසක් මහ රෑ, හේනේ ගිනි මැලයේ එළියෙන්, ගමරාලට යන්තමට පෙනෙනවා, ඌරෙක් ඇවිත් බතල පාත්තියට ඔට්ටුවෙන හැටි. ගමරාළ හෙමිහිට ගත්තා, තමන්ගේ බේත් තුවක්කුව අතට.   ගමටම බෙදන්න ඌරුමාලු සපයාගන්න පුළුවන්, මේ තඩි ඌරව එළාගත්තොත් කියලා, ගමරාළට හිතුනා.   වම් අතින් බැට්ටිය අල්ලාගෙන, දකුණතින් තුවක්කුව උරහිසට තද කරගත්තා. ගමරාළ හෙමිහිට ගම හාමිනේට කිව්වා, 'යෝදියේ, ඔය ගිනිපේල්ලක් අරං මේ කණේ තියපං' කියලා. නිදි මරගාතේ නැගිටපු ගම හාමිනේ, එක පාරටම ඇහුවා 'මක්කැයි කිව්වේ' කියලා. 'ෂ්............සද්ද කොරන්න එපා යෝදියේ, ඔය ගිනිපේල්ලක් අරං මේ කණේ තියපං' කියලා ගමරාළ  ආයෙත් රහසින් කිව්වා.  

    ගම හාමිනේ කිව්ව, 'හනේ මම කොහොමද එහෙම කරන්නේ' කියලා. 'බොට ඒකෙන් වැඩක් නෑ කිව්ව දේ කොරපන්' කියලා ගමරාළ පහත් හඬින් ගෙරෙව්වා. ගම හාමිනේ ගිනිපේල්ලක් අරං, ගමරාළගේ කණේ තිබ්බා. කණ පිච්චෙන එක ඉවසාගෙන, ඌරුමාලු රසය මතක් කරගනිමින්, ගමරාළ නැවතත් හෙමින් ගෙරෙව්වා, 'ඔය කණේ නෙවෙයි යකෝ' කියලා. ගම හාමිනේ වහාම ගිනිපේල්ල තිබ්බා, ගමරාළගේ අනිත් කණේ. ගමරාළගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියා. 'ඔය කණේ නෙවෙයි ^%$#@*, මෙන්න මේ තුවක්කු කණේ තියපන්' කියලා, අහල ගම් හතකට ඇහෙන්න කෑගහලා කිව්වා. අනේ...... ඒ සද්දෙට ඌරා පැනලා දිව්වා. 

   ඔන්න ඕකයි කතාව. 

   දැන් මේ කතාවේ එන බැට්ටිය දන්නවද? ඒ කාලේ අපේ ගම්වල අය, ටෝච් එක හඳුන්වන්න, බැට්ටිය කියන නම භාවිත කළා. ඒ වගේම තමයි, මොකක්ද බේත් තුවක්කුව කියන්නේ? බේත් තුවක්කුව කිව්වේ, තුවක්කු බටය ඇතුළට, වෙඩි බෙහෙත් සහ මූනිස්සම කැට (සමහරවිට මේ සඳහා ගැල්වනයිස්ඩ් බාල්දි කොකු, කෑලිවලට කපා දානවා) දමා, අච්චුක් කූර නමැති ලී කූරෙන් කොටා තදකර, තුවක්කු බටයේ පසුපස කෙලවර පිහිටි, නිපල/නිපුල නමින් හැඳින්වෙන ස්ථානයට ගිනිතබා, වෙඩි තැබිය හැකි තුවක්කුවටයි.

   හොඳයි, මේ විස්තරය ඔබවෙත ඉදිරිපත් කළේ, ඈත අතීතයේදී, තුවක්කුව බිහිවීම සහ, එහි මූලික අවස්ථා වලදී භාවිත වුනු තුවක්කු, නිපදවා තිබුණු තාක්‍ෂණය කෙබඳුද යන්න, ඔබ සමග සාකච්ඡා කිරීමටයි.  ඒ ඒ තුවක්කු වර්ගය පත්තු කිරීම සඳහා යොදාගත් තාක්ෂනය අනුව තමයි, මේ වර්ගීකරණය කර තිබෙන්නේ. 

   ගිනි අවියක් - Firearm එහෙමත් නැත්නම් තුවක්කුවක් - Gun යන්න, මානව සමාජයට ඇතුළුවූයේ, 13 වැනි සියවසේදී පමණ යන්න තමා, වර්තමාන පිළිගැනීම වන්නේ. ලෝහ නලයකට වෙඩිබෙහෙත් දමා, එම වෙඩිබෙහෙත් ක්‍ෂණිකව ගිනිගැනීමට සැලැස්වීමෙන් උපදින අධික පීඩනය ආධාරයෙන්, යම්කිසි ප්‍රක්ෂිප්තයක්, වේගයෙන් ඉදිරියට මුදාහැරීමේ හැකියාව ඇති උපකරණය තමයි, තුවක්කුව හෝ ගිනි අවිය ලෙස නම් කෙරුණේ. එය මෙන්න මෙවැනි නිපැයුමක්. පහත සජීවීකරණ රූපය බලන්න.




   මේ රූපයෙන් පැහැදිලි වෙනවා, ලෝහ නලයක් ලී මිටකට සවිකර ඇති බව. මෙහි නොපෙන්වන්නේ, ලෝහ නලයේ අගින්, වෙඩි බෙහෙත් සහ උණ්ඩය පිරවීම පමණයි. රූපයේ  Burning Wick යනු, දැල්වෙමින් පවතින තිරයක්. මෙය හොඳින් අඹරාගත් හණ ලණුවකට ගිනි තබා, එය සෙමින් දැල්වෙමින් පවතින ආකාරයට සකසාගැනීමක්. Touch Hole යනු, තුවක්කු බටයේ පසුපස කෙළවරේ පිහිටි කුඩා සිදුරක්. (අර අපි උණවෙඩි වලදී හදනවා වගේ) ඒ සිදුරට, අර තිරය තබා, ඇතුලේ ඇති වෙඩි බෙහෙත් දැල්වීමෙන් තමා, අවිය ක්‍රියාත්මක කරවන්නේ. උණ්ඩය පිටවන ආකාරයත් මෙහි දැක්වෙනවා. 

   13 වැනි ශතවර්ෂයේ අග භාගයට අයත් මේ නිපැයුම, එකල හැඳින්වුණේ, handgonne යන අමුතු වචනයකින්. එහි තේරුම Hand Cannon යන්නයි. 

   මේ තමා, ඉතා ප්‍රාථමික ගිනි අවි සංකල්පය.  පහත දැක්වෙන රූපයෙන්, මේ සංකල්පය ගැන, ඔබේ අවබෝධය පුළුල් වෙනවා ඇති. මෙය, ක්‍රි.ව. 1400 සමයට අයත්. 




   වර්තමාන ලෝකයේ පාවිච්චි වන, සමහරවිට නවීන පරිගණක තාක්‍ෂණයෙන් පාලනය වන, ඉතා නිවැරදි ක්‍රියාකාරිත්වයකින් යුත් ගිනි අවි දක්වා, මේ සංකල්පය විකාශනයවීම, ඉතා සිත්ගන්නා සුළු කථාවක්. 

   මා උත්සාහ කරන්නේ, එම දීර්ඝ විස්තරය, හැකිතරම් සංක්‍ෂිප්ත කොට, එහි මූලික අවධිය වර්තමානයට සම්බන්ධවන අවස්ථාව දක්වා විස්තරය, ඔබවෙත ගෙන ඒමටයි.

හොඳයි, හැමදාමත් අර විදිහට, යකඩ බටයට අතින් ගින්දර තබා 'වෙඩි තැබීම' වඩාත් දියුණු කර නොගත්තොත්, 'යුද්දේ පරාදයි' කියා මිනිසාට සිතුනා. ඒ නිසා මෙය වැඩිදියුණු කරන්නට පියවරගත්තා. ඒ අනුව තුවක්කු බටය මත තිබුණු සිදුර එහි පැත්තකින් සිටින සේ සැකසුවා. තුවක්කුව පත්තුවීමට අවශ්‍ය ගිනිබලය ලබාදීම සඳහා නව උපක්‍රමයක් යෙදුවා. 

   ඒ තමයි Flash Pan නමැති ක්‍රමය. කුඩා භාජනයක් වැනි ආවරණයක් තුළට දැම්මා, තුවක්කුව ඇතුළේ තියන වෙඩි බෙහෙත් පත්තුවීම සඳහා, මූලික ගිනිබලය ලබාදෙන වෙඩි බෙහෙත් කොටස. ඒ නිසා වෙඩිබෙහෙත් හැලෙන්නේ නැතිව, වැස්සට පින්නට තෙමෙන්නේ නැතිව, පාවිච්චි කරන්නට පුළුවන් වුණා. වෙඩි තැබීම පෙරට වඩා ඉක්මනින් කරන්න පුළුවන් වුණා. පහත සජීවීකරණය බලන්න. පත්තු වෙනතුරු ඉවසන්න. මේවා පරණ තුවක්කු.





   ඉතිං හිනාවෙන්න එපා. ඔබට පුදුම හිතෙයි මා ඊළඟට කියන කාරනාව ගැන දැනගත්තම. මොකක්ද දන්නවද? මේ උපක්‍රමය තමා වර්තමාන ගිනි අවි සංකල්පය සඳහා යොදාගත් වැදගත්ම සංකල්පය. මේ සංකල්පය ඔස්සේ, ඊළඟට නිපදවුණු ගිනි අවි සහ, ඒවායේ ක්‍රියාකාරිත්වය ඊළඟට බලමු. 

Matchlock Method 

   මැච්ලොක් කියන වචනෙට, තනි සිංහල වචනයක් දෙන්නට නම් අපහසුයි. මේ තමයි,  ගිනි බිඳිල්ල තරමක් දුරට ඉදිරියට ගෙන ආ ක්‍රමය. 15 වැනි සියවසේ මැද භාගයේ සොයාගත් මේ ක්‍රමය, 17 වැනි සියවස දක්වා භාවිතයට ගැනුණා. රොබින්සන් කෘසෝ කතාවෙත්, මේ වගේ තුවක්කුවක් ගැන කියවෙනවා. මෙන්න ඒ තුවක්කුවේ න්‍යාය සජීවීකරණයකින්.




       මා හිතනවා, මේ සජීවීකරණය ඔබට එක්වරම තේරුම් ගන්න අපහසුවෙයි කියා. හොඳයි, මම විස්තර කරන්නම්. ඔබේ වම් අත පැත්තේ තමයි තුවක්කු බටයේ කෙළවර තියෙන්නේ කියා සිතන්න. දකුණු අත පැත්තේ තියෙන්නේ තුවක්කුවේ මිට. Burning Wick කියන්නේ නිතර දැල්වෙමින් පවතින, ලණු කෑල්ලක් වැනි තිරය බව ඔබ දන්නවා. 

   Flash Pan  එක ඇතුලේ තමයි තියෙන්නේ තුවක්කු බටයේ තිබෙන වෙඩිබෙහෙත් පත්තුවීම සඳහා මූලික ගිනිබලය දෙන වෙඩිබෙහෙත් ටික. එය පිටටට හැලීම, තෙමීම, සුළඟින් ගසාගෙන යාම, වලක්වන්න තමා Flash Pan Cover නමින් ආවරණයක් තිබෙන්නේ. 

   බලන්න වෙඩි තැබීමට පෙර එය ඉවතට කරකවනවා. ඉන්පසු විවෘත වන Flash Pan එක මතට එනවා දැල්වෙන තිරය. එයින් අර වෙඩි බෙහෙත් ගිනිගන්නවා. දැන් තේරුනා නේද? පොඩි වීඩියෝ එකක් බලමු. එතකොට තවත් පැහැදිලි වෙනවා. 






   අමතක කරන්න එපා. පෘතුගීසීන් අපේ රටට මුලින්ම පැමිණි කාලයේ, ඔවුන් සතුව,  මේ වර්ගයේ තුවක්කු තිබෙන්නට ඇති. 

Wheellock Method 


   මුලින්ම බලමු, මොකක්ද 'වීල් ලොක්' තුවක්කුවක තිබෙන තාක්‍ෂණය කියා. බලන්න පහත සජීවී කරණය. 




   මේ ක්‍රමය 1517 දී, ජර්මනියේදී සොයාගත් බවයි මූලාශ්‍රවල සඳහන් වෙන්නේ. කොහොමද මෙය ක්‍රියාත්මක වෙන්නේ? මේ තුවක්කුවේ තියනවා ප්‍රහාරක යාන්ත්‍රණයක්. එය හඳුන්වන්නේ Striker Arm යනුවෙන්. ඔබට පෙනෙනවා ඇති සජීවීකරණයේ ආරම්භක අවස්ථාවේ එය පසුපසට ඇද තිබෙන්නේ. එහි තිබෙනවා කළු පැහැති උලක් වැනි දෙයක්. ඒ තිබෙන්නේ Pyrite යනුවෙන් හැඳින්වෙන ඛනිජ වර්ගයක්. මෙම ඛනිජ වර්ගය රළු මතුපිටක ඇතිල්ලුනාම, එයින් ගිනි පුපුරු උපදිනවා. බලන්න මේ තුවක්කුවෙත් තියනවා, Flash Pan Cover එකක්. එය විවෘත වුනාම Flash Pan එකේ තිබෙන වෙඩිබෙහෙත් නිරාවරණය වෙනවා. 

   තුවක්කුවේ කොකා මිරිකුවාම, Striker Arm එක Flash Pan එක ළඟට පහත් වෙනවා. එවිටම Striker Wheel එක කරකැවෙනවා. එහි රළු මතුපිටෙහි, Striker Arm එකේ තියන Pyrite ගල ඇතිල්ලීම නිසා, ගිනි පුපුරු විහිදෙනවා. ඒවායින්, Flash Pan  එකේ තියන වෙඩිබෙහෙත් ගිනිගැනීමෙන්, තුවක්කුව පත්තුවෙනවා. මැච්ලොක් තුවක්කුවේ වගේ, ගිනි ඇවිලෙන තුරු බලාඉන්න ඕනේ නැහැ. මේ බලන්න වීඩියෝව.








 Snaphaunce Method

   ඊළඟට ලෝකයට බිහිවූ තුවක්කු යාන්ත්‍රනය හැඳින්වුණේ ස්නැෆෝන්ස් යනුවෙන්. මෙය ක්‍රි.ව. 1570 දී ජර්මනියේදී වැඩිදියුණු කල ක්‍රමයක්. පහත දැක්වෙන්නේ අදාළ සජීවීකරණයයි. 




   මෙහිදී Pyrite ගලක් වෙනුවට, ගිනි ගලක් යොදාගෙන ඇති අතර, ගිනිගල පහතට නැවී, ගිනිපුපුරු ඇතිකිරීම සඳහා නිමවා ඇති මතුපිටෙහි ඇතිල්ලීයාම යන සියල්ල, යාන්ත්‍රිකව සිදුවන ආකාරයට සකසා තිබෙනවා. පහත දැක්වෙන වීඩියෝවෙන්, ඔබේ දැනුම තවත් පුළුල්වනු ඇති.








Flintlock Method

   ෆ්ලින්ට්ලොක් ක්‍රමය, 1612 දී ,ප්‍රංශයේදී නිර්මාණය කෙරුණු තුවක්කු  යාන්ත්‍රණ ක්‍රමයක්. මුලින්ම බලමු සජීවීකරණය.






   මේ ක්‍රමය ස්නැෆෝන්ස් ක්‍රමයට වඩා සරලයි. කාර්යක්ෂමයි. ඒ නිසා මේ ක්‍රමය 17 වැනි සියවස දක්වා ප්‍රචලිතව තිබුණා. බ්‍රවුන් බෙස් නමින් නිපදවුණු ෆ්ලින්ලොක් තුවක්කු වර්ගය අතිශයින් කාර්යක්ෂම තුවක්කුවක් ලෙස පිළිගැනුණා. දක්‍ෂ වෙඩික්කරුවකුට, මේ ක්‍රමය යටතේ, විනාඩියකට උණ්ඩ තුනක් පමණ වෙඩි තියන්නට හැකියාව ලැබුණා. මෙහිදී, ගිනිගල සහ එය ඇතිල්ලෙන යාන්ත්‍රණය, වඩා වේගවත්ව ක්‍රියාත්මක වුණා. පහත වීඩියෝවෙන් ඔබට ඒ බව පැහැදිළි වනු ඇති. 








Percussion Cap Method 

   මේ ක්‍රමය, 1805 දී, බ්‍රිතාන්‍යයේදී වැඩි දියුණු කරන ලද්දක්. මෙහිදී, තුවක්කු බටයට, තුවක්කු කටෙන් වෙඩිබෙහෙත් සහ මූනිස්සම් ඇතුළු කර වෙඩිතබන ක්‍රමය හෙවත්,  muzzle Loading ක්‍රමයේ වඩාත්ම දියුණු අවස්ථාව ලෙස, Percussion cap මේ ක්‍රමය අද්විතීය ස්ථානයක් ලබාගත්තා. මේ ක්‍රමයේදී, පිටතට පෙනෙන ගිනිගලක් හෝ, Flash Pan  එකක් නැහැ. ඒ වෙනුවට, තුවක්කු බටය තුළට කෙලින්ම ගිනිබලය ලබාදෙන යාන්ත්‍රණයක්, මේ තුවක්කුවේ තිබෙනවා. මෙන්න සජීවීකරණය.




   ඔබ කුඩා දරුවකු කාලේ, 'කැප් තුවක්කු' නමැති සෙල්ලම් තුවක්කු පාවිච්චි කර ඇති. එහි තිබෙන කැප් වලට පහර වැදුනම පත්තුවෙනවා. ඇත්තෙන්ම මේ තුවක්කුවේ තිබෙන්නේත්, ඒ ක්‍රමයමයි. ප්‍රහාරයේ පීඩනයෙන් තමා, මේ තුවක්කු කැප් එක පුපුරා, තුවක්කු බටයේ ඇති වෙඩිබෙහෙත් එකවරම ගිනිගැනීමට අවශ්‍ය ගිනි බලය ලබාදෙන්නේ.  මේ බලන්න වීඩියෝව.





   හොඳයි, මේ තමයි ඉතා ඈත අතීතයේ සිට තුවක්කුව යන ආයුධය වැඩිදියුණු මුල් පියවර තැබූ ආකාරය. හොඳින් මතකතබාගන්න, මේ තුවක්කු වර්ගීකරණය කර තිබෙන්නේ ඒවායේ යාන්ත්‍රණය අනුවයි. වෙනත් නිර්ණායක යටතේ තුවක්කු විවිධ වර්ගීකරණ රාශියකට ඇතුලු කරන්න පුළුවන්. 

   18 වනි සියවදේ මුල් භාගයේදී  සොයාගත්, පතරොම් දමා වෙඩි තබියහැකි තුවක්කුව හෙවත් පතරොම් තුවක්කුව මිනිසාගේ අතට ලැබෙනතුරු ලොව හෙල්ලුවේ ඉහත සඳහන් යාන්ත්‍රණ වලට යට් තුවක්කු වලින්.

   තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. 

2016 නොවැම්බර් මස 01 වැනි දින 2327 පැය   

54 comments :

  1. නියමයි ...
    ඒ කාලෙ බයිනේත්තුව දිගට තිබ්බෙ ඔට වෙඩි බේත් පුරෝන අතරෙ ලඟට එන උංට අනින්න වෙන්ඩෑ නේ ..??

    ReplyDelete
    Replies
    1. ඒකෙන් අඹ ගෙඩියක් කපල කාල ,අඹ ඇටේ වෙඩිබේත් කොට කොටා ඉන්න එකාගෙ කටේ ඔබල ඌව බයිනෙත්තුවෙන් ඇනල මරණව. පැහැදිලිද පුතාට.

      Delete
    2. ඇටඹ වගේනං නං අවුලක් නෑ. කර්තකොලොම්බං වගේනං ඌ මැරෙන්නෙ ඇටේ හිරවෙලා :D

      Delete
    3. @ ඇනෝපිලිස් - නෑ නෑ, බයිනේත්තුවෙන් තමයි සොල්දාදුවෝ දත් හෑරුවේ.

      @ කම්මල - ඊට පස්සේ ඒ මැරිච්ච එකාගේ *%$# කපලා අරන් මූනිස්සම් බෝල වෙනුවට තුවක්කු බටේට දාලා කොටනවා.

      @ පත්තරේ - හිරවෙන්නෑ. තුවක්කු සුද්ද කරන තෙල් ගාලා තමයි ඔය ඇට වැඩේ පටන්ගන්නේ.

      Delete
  2. ඔබතුමා විස්තර කරන ප්‍රාථමික ගණයේ පුරාණ තුවක්කුවක් දැනුත් උග්ගල් අලුත්නුවර දේවාලයේ පාවිච්චි වෙනවා. අර කතාවත් ඉතාකුඩා අවදියේ මා අසා තියනවා. එහි ගමරාල වෙනුවට හිටියෙ "පාත්ත මුදලාලි" කියන චරිතයක්. "පාත්ත මුදලාලි" යනුවෙන් ව්‍යවහාර කළේ පාතරටින් සංක්‍රමණය වී මේ ප්‍රදේශයේ බින්න කසාද කරගත් අයෙකුට බව පැවසෙනවා
    පාත්ත මුදලාලි තුවක්කු කණ ගැන දැන සිටියාට එයාග බිරින්දෑ හෙවත් මුදලාලිමහගෙ මනුස්ස කණ මිස වෙන කණක් ගැන අසා නොතිබූ නිසාලු මෙහෙම අබග්ගයක් වුනාය කියන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔය ඇත්තමද ගුණසිංහ මහත්තයෝ? අම්මපා එහෙම තුවක්කුවක් තියනවානම්, අද එය මිල කරන්න බැහැ. ඔය තුවක්කුව මට බලන්න අවස්ථාවක් ලැබුණොත්, බොහොම වැදගත් ලිපියක් ලියන්න පුළුවන් වෙයි. බලමුකෝ, ඔබතුමා ආපහු ගමරට බලා සැපත් වුනාම.

      හෙහ් හෙහ්, බලනකොට තුවක්කු කණේ කතාව, විවිධ ස්වරූපයෙන් තියනවා වගේ.

      Delete
  3. මටත් ඔය වාගේම කණේ සීන් එකක් උනා හැබැයි ගිනි බිදින්න ගිහිල්ලා නොවෙයි. මුල් කාලේ ජර්මන් කාරයෝද තුවක්කු නිපදවන්න ගත්තේ? නව නිපැයුම් රාශියක් කල චින්නුන් තුවක්කු නිපදවිම් කලේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඇයි රෙදි මැද මැද ඉන්න ගමන් කෝල් එකක් ආවම, ෆෝන් එක කියලා ඉස්තිරික්කේ කණේ තියාගත්තද? :D

      චීන්නු වෙඩි බෙහෙත් හොයාගත්තා, කුඩා කාලතුවක්කුත් හැදුවා, නමුත් යාන්ත්‍රික කොටස් සහිත අත් තුවක්කු නිපදවුනේ බටහිර ලෝකයේ.

      Delete
  4. ඉතා වැදගත් විස්තරයක් විචා. ස්තුතියි. අදටත් බෝර තුවක්කු වලින් වෙඩි තියන ඈත පළාත් වල උදවිය එකම කොපුව නැවත නැවතත් පුරවා තමයි පාවිච්චි කරන්නේ. මූල ද්‍රව්‍ය සොයා ගැනීමත් ඉතාම පහසුයි. ඒ වගේම යාන්ත්‍රණයට අවශ්‍ය ගිනි බලය දීම සඳහා ඉතාම සාර්ථකව කැප් රෝල් තමයි භාවිතා කරන්නේ :)

    ReplyDelete
    Replies
    1. ඇගයීම ගැන ස්තුතියි දිලීප.

      ඔව් මේ තුවක්කු යාන්ත්‍රණය තවමත් නොනැසී පවතිනවා, ඉතා සුළු මට්ටමෙන්. අපි පුංචි කාලෙත් ඔය කැප් නැවත පුරවා සැකසීම තිබුණා.

      Delete
  5. lock Methods ටික නම් මරු. ඇත්තටම උඩ කතාවේ 'කණ' කියන්නේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. එතෙන්දි කණ කියන්නේ, තුවක්කුව පත්තුවීම සඳහා ගිනි බලය ලබාදෙන ස්ථානය. එතනට ගින්දර තියන ඕනේ, තුවක්කුව පත්තුවෙන්න නම්. මේ ලිපියෙදි flash pan යනුවෙන් හඳුන්වන්නේ ඒ කොටසයි.

      Delete
  6. ක්ලැසික්!
    සජීවිකරණ වැඩෙත් කලේ විචාද?

    එක බුවෙක් කොටන තුවක්කුවකින් ඌරෙකුට ගිනි බින්දලු. එකවරම මිය නොගිය ඌරා, අනිත් පැත්ත හැරිල වෙඩිතියපු බුවා කම්බස් කරන්න හිතාගෙන වේගයෙන් දුවගෙන එනවලු. අරූ බැලුව, නගින්න ගහකුත් නෑ ඌර එක්ක දුවන්නත් බෑ, අනිවා මැරෙන්න තමයි වෙන්නෙ. අන්තිම මොහොතේ හිතුනලු සොයංවින්දන පාරක් දාන්න කියල. :-)
    ඔන්න බුවා ඇස්දෙක පියාගෙන වැ‍ඩේ කරද්දි(උරෙක් තමන්ගෙ පැත්තට එද්දි 'තුවක්කුව' කෙලින් කරගන්න පුළුවන්ද කියන එක වෙනම කතාවක්) උර දැක්කලු මේ සීන් එක.
    "මූ මට එකසැරයක් ගිනි බිඳල, ආයෙ තුවක්කුව කොටන්නෙ ගේම ඉවර කරන්නම තමයි" කියල හිතපු ඌර අනිත් පැත්ත හැරිල දුවල පන බේරගත්තලු.

    ReplyDelete
    Replies
    1. යකෝ මේක කියවලා හිනාවෙනකොට, අපේ උන්දෑ කියනවා, වැඩිකල් නොගිහින් අංගොඩ ගෙනියන්න වෙයිලු. මම කිව්වා, අංගොඩ නැතත් මුල්ලේරියාව වුනත් කමක් නෑ කියලා.

      නෑ නෑ සජීවීකරණය මූලාශ්‍රයකින් හොයාගත්තු ඒවා. බොහොම පැහැදිලිව තියන නිසා තෝරාගත්තා.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  7. Replies
    1. වෙඩි බෙහෙත් දාලා කොටනකොට පිපිරීමක් සිද්දවෙන්න හැකියාවක් නැද්ද? මම අහලා තියෙනවා වෙඩි හදනකොට පිපිරීම් වෙලා අතපය නැතිවෙච්චි මිනිස්සු ගැන කතා.

      තුවක්කුවට වෙඩි බේත් කෙටුවට පස්සෙ තුවක්කුව පහතට හරවන්න බෑ නේද? අනික දාන මූනිස්සම් කොහේද රැඳිලා තියෙන්නෙ.

      Delete
    2. වෙඩි බෙහෙත් දාලා කෙටීමෙදී අනතුරු සිදුවෙලා තියනවා සෑහෙන්න. ඒක කලාවක්. කෙටීම සඳහා දිය යුතු පීඩනය, වෙඩිබෙහෙත්වල වැලි කැට නොතිබෙන ආකාරයට සකසාගෙන තිබීම. යොදන වෙඩි බෙහෙත් ප්‍රමාණය වැනි කරුණු, ඒ සඳහා බලපානවා.

      වෙඩිල්ල හරි ගානට තදවෙන්න කොටලා තියනවානම්, තුවක්කුව පහතට හරවන්න පුළුවන්. නමුත් තුවක්කු කණේ ගහලා තියන කැප් එක වැටෙන්න පුළුවන් නිසා, වැඩිය එහෙමෙහෙ කරන්නේ නැහැ.

      Delete
  8. අපිත් ඉස්සර රතිඤ්ඤායක් පත්තු වෙද්දි ඇණ කෑලි, බයිසිකල් බෝල විසිවෙන ප්‍රාථමික තත්වයේ තුවක්කු හදල කුකුල්ලු මරන්න ට්‍රයි එකක් දුන්න , දෙන්නෙක් විතර මරාගත්ත අනික් සතුරො වෙඩිකාගෙන පලා ගියා. උන වෙඩිල්ල , කිරිල්ල තුවක්කුව, බට ලී වතුර තුවක්කුව , රතිඤ්ඤා තුවක්කුව හදපු අපිට කලින් මේ වගේ පෝස්ට් හම්බ උනානම් මෙලහට කාලතුවක්කුවක් හදාගෙන

    ReplyDelete
    Replies
    1. හම්මේ මුන් වගේ පව් කාරයෝ. අපිනම් කැටපෝල්, බට තුවක්කු, පාවිච්චි කලේ පොඩි කුරුල්ලෝ මරන්න. කුකුල්ලු මැරුවම ඊට වැඩිය පව් වැඩියි නේද?

      හොඳ වෙලාවට මම ඒ කාලේ මෙව්වා ලිව්වේ නැත්තේ. නැත්නම් උඹලා මේ රටම අල්ලගන්නවා.

      Delete
  9. මුල සිට සරලව.. පැහැදිලිව..
    ජයවේවා..!!

    ReplyDelete
  10. පැරණි දිග ස්ටෑන්ඩ් එකක් සහිත තුවක්කුවල ( මස්කට් ) පින්තූරයකුත් දාන්න

    https://www.google.fi/search?q=musket+with+stand&biw=1366&bih=620&site=webhp&tbm=isch&tbo=u&source=univ&sa=X&ved=0ahUKEwiw1JOV4YnQAhUHgI8KHRC5A_YQsAQIIw

    කැන්ඩියන් ග්‍රාස් හොපර් ගන් එක ගැන ලියනවද ?

    ReplyDelete
    Replies
    1. මේ මෑතක් වනතුරු බ්ලොගර් බ්ලොග් වල කමෙන්ට් වලට පින්තූර සහ වීඩියෝ දැමීමේ පහසුකම තිබුණා. නමුත් දැන් එක ගූගල් සමාගම විසින් අවලංගු කර ඇති නිසා මෙතන පින්තූරයක් දැමීමට නොහැකිවීම ගැන කණගාටු වෙනවා. නමුත්, මගේ වර්ඩ්ප්‍රෙස් අඩවියෙන් අප්ලෝඩ් කළා පින්තූරයක්. පහත ලින්ක් එකෙන් බලන්න.

      https://jangun.files.wordpress.com/2016/11/musket-with-stand.jpg

      කැන්ඩියන් ග්‍රාස්හොපර් ගැන, මම,

      මෙන්න මෙතන ලියා තිබෙනවා

      Delete
  11. මුවන්පැලැස්සේ කදිරලා, උක්කුබණ්ඩලා, ආරච්චිලා මතක්වුනා බේත් තුවක්කුව නිසා...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මුවන්පැලැස්ස රේඩියෝ එකෙන් අහද්දී කොච්චර සතුටක් දැනුනද.

      Delete
    2. එච්චර අතීතයට යන්න ඕනේ නැහැ අරූ, මටනම් මගේ හිතවත්තු කීප දෙනෙක් ඉන්න වීරවිලට යන්න විතරයි ඕනේ බෙහෙත් තුවක්කු බලන්න...
      ඉලක්කයක් කවදාවත් වරදින්නේ නැති හොඳ දඩයක්කාරයෝ දෙන්නෙක් ඉන්නවා, අයියල මල්ලිලා. හැබැයි උන් දෙන්නම මස් කන්නේ නැහැ...

      Delete
    3. ලොකු පුතා.....නිර්මාංශක වුනේ ඇයි කියලා වැදි නායකයා කිව්වා සිරස ලක්ෂපතියට ඇවිල්ලා. ඒ කතාවත් තුවක්කුවකට සම්බන්දයි.

      Delete
  12. කෛා් අනික ඉක්මනට දාන්ඩ

    ReplyDelete
    Replies
    1. අනික කිව්වේ.......................?

      Delete
  13. තුවක්කු ගැන නම් දන්නෙම නැති තරම්.... ඒකෙත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙයි නේ....

    ReplyDelete
    Replies
    1. තුවක්කු ගැන ඉගෙනගතයුත්තේ වෙඩි තැබීමේ අරමුණෙන් නෙවෙයි. මෙහි සඳහන් වෙන්නේ අවි පරිනාමය ගැන තොරතුරු.

      Delete
  14. තුවක්කු ගැන නම් දන්නෙම නැති තරම්.... ඒකෙත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙයි නේ....

    ReplyDelete
  15. නියමයි....හුඟක් දේවල් දැනගත්තා ස්තුති සැර්....තව ලිපියක් එනකන් බලාගෙන ඉන්න‍ෙ...

    ReplyDelete
    Replies
    1. හොඳයි. ටිකක් හති ඇරලා ලියන්නම්.

      Delete
    2. Ok..සැර්....සුභ උදෑසනක් වෙවා තුමනි....

      Delete
  16. අර සජීවිකරන පින්තුර ටිකත් එක්කම ලියවිල්ල ගිය නිසා අපිට තේරුම් ගන්න තවත් ලේසි. එක පාරක් වෙඩි තියලා ආයෙ ලෝඩ් කරද්දී වෙන්න ඕන දේ වෙලා ඉවරයි ඒ කාලේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ සජීවීකරණ වලින් වචන දහස් ගණනකින් කියන්න බැරිදේ කියවෙනවා.

      ඉතිං ඒ කාලේ සතුරා අතේ තිබුනෙත් ඔය තුවක්කුමනේ. ඒ නිසා දෙපැත්ත සමානයි. දැන් වගේම තමයි.

      Delete
  17. "විචාරක මාමෙ විචාරක මාමෙ"

    "කියහං පුතේ."

    "ඔය ජාතියෙ ගල් කටස් එව්වා ඕන හැටියෙ තියෙන තැනක් මං දැක්කා"

    "කොහෙද කොළුවො ඒ."

    "නුවර කටුගෙයි"

    "ඒ කොහෙද බං ඒ"

    "ඇයි අර දළදා මාලිගාව පිටිපස්සෙ තියෙන්නෙ"

    "හැබෑට"

    "කුඹුරු උදැල්ලෙ මිටක් සයිස්සෙකේ ඉඳං පිහිය මිටක් සයිස් එව්ව වෙනකං තියෙනවා"

    "වෙනිං කොහෙවත් නැද්ද කොලුවො ඒ ජාතියෙ එව්ව"

    "ඕන්නැං හදෝල දෙතෑකි"

    "ඒ කොහෙංද"

    "ලංකාවෙ ඕන තැනක තියෙන කම්මලකිං හැදෙයියැකි"

    "මොනවෑ ඕනැ ඒකට"

    "මයිනරේක සුක්කානං පොල්ලක් ඕනැ ඒ වැඩේට."

    "කොහෙංද බං මයිනර සුක්කානං පොලු හොයන්නෙ"

    "අර කාර් පිස්සුව (www.carpissuwa.blogspot.com) හැදිච්ච අයිය ගාව තියෙනව මයිනරයක්"

    "උඹ ඒ ගමන මෙතන මට හොර තුවක්කුත් හදෝගන්න උගන්නන්න එනවද"

    "නෑ මේ මං නිකං කිව්වෙ"

    "ආං උඹලෑ ආච්චම්මද කොහෙද එනව බැටලියක් එළිය කොරගෙන. බෝව හොයාගෙන එනව වෙන්නැති. පලෙයං විගහට. නැත්තං උන්දැ උඹෙ කන මිරිකයි"

    "මයිනරේක බටෙයක් තියෙනව දිහාවක. ගෙනැත් දෙන්නෙයි. අඩුගානට"

    "තොගෙ මයිනර බටෙත් ඇරං පළ මයෙං මොකුන්නාහ. ඔය බඩවැටිය දිගේ නොයා නියර දිගේ පලෙයං. මං ඔය බඩවැටියෙ කඳං දෙකක් බැඳල ඇති ඌරොන්ට. මයියොක්ක පැලහැටි දෙක බේරගන්න හැටියක් නෑ නැහ්නං."

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්, මරු අදහස. ඔය පෘතුගීසි ලන්දේසි තුවක්කු තියනවා මහනුවර රජවීදියේ තියන හමුදා කඳවුරේත් ප්‍රදර්ශනයට තියලා. නමුත් ඒවා බලන්න ලැබෙන්නේ හමුදාවේ අයට පමණයි.

      මං පුංචි කාලේ කෑගල්ලේ කීප දෙනෙක් අතේ තිබුණා ඔය කැප් තුවක්කු. බඳින තුවක්කු නම් හරියට තිබුණා. කැප් තුවක්කුවට වෙඩිල්ල කොටන හැටි කීප වතාවක් දැකලා තියනවා. ඒ වගේම කඳන් බඳින හැටිත් දැකලා තියනවා කන්තලේ පැත්තේදී. අම්මපා ඒ කාලේ ඔය LTTE කාරයෝ එන පාරවල් වල කඳන් බඳින්නයි තිබුණේ කෙලවෙලාම යන්න.

      ඔය මයිනර් බටේ තමයි එහෙනං ඒ කාලෙත් පාවිච්චි කරන්න ඇත්තේ. ඒ කාලේ මයිනර් ඕනේ තරම් තිබුණනේ.

      බොහොම ස්තුතියි සුරංග මේ දීර්ඝ කොමෙන්ටුවට.

      Delete
  18. ඔය ගිනි අවුලන්න එක එක ඒවා පාවිච්චිකරපු වෙලාවේ ගෑණුකෙනෙක්ගේ කටක්, අඩුමගානේ දතක්වත් හයිකලානම්....

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ, මෙන්න කටුස්සා පැනලා. කොහෙද බොල හිටියේ?

      ගෑණු කෙනෙක්ගේ කට හයිකරානම් කාලතුවක්කු වුනත් පත්තු කරන්න තිබුණා.

      Delete
  19. හැක්... ඔය පාන්තිර කෑලි දාල පත්තු කරගෙන වෙඩි තියන එකේ අර කටුස්ස කිවුව වගේ ලංකාවෙ ගෑනු දෙතුන්දෙනෙක් යැවුවනං තුවක්කු පැට්ටරියක්ම ගිනි අවුලවන්න තිබ්බ.

    මෙනව උනත් නියම විස්තරේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න. මෙන්ඩා ලියලා කපන්න ඇත්තේ මෙන්න මේකයි. බ්‍රසියර් ෆැක්ටරියක කෙල්ලෝ ටිකක් යැව්වනම්, කාලතුවක්කුවක් වුනත් ගලවා ගහහෙන එනවා...........

      Delete
  20. ස්තූතියි විචා...බොහොම අපූරු විස්තරයක්...:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රවී. මේ තොරතුරු කාගේත් සාමාන්‍ය දැනුම සඳහායි.

      Delete
  21. විචා පුහුණුවට ගියහම
    දෙරි ගහපිය අඩා.........
    ගිනි පිබපිය අඩා.....
    ගිනි කඩපිය අඩා......
    කියලා තමයි අණ දීලා තියෙන්නේ


    එල පොස්ටුව

    ReplyDelete
    Replies
    1. ඔක්කොම කතාව මෙහෙමයි මෙන්ඩෝ.

      හමුදා පුහුණුවේදී පුහුණුවේදී ඉංග්‍රීසියෙන් අණදීම අතහැරියේ, අපි නිදහස ලබා ටික කාලෙකට පස්සේ. ඊටපස්සේ අණදීම් සියල්ල සිංහලෙන් සිදුවුනේ.

      මෙන්න පුහුණුව සඳහා වෙඩිතැබීමේදී සිංහලෙන් අණදෙන ආකාරය.

      "පතරොම් පුරවනු" (පුහුණුවන්නා, තුවක්කුවට, පතරොම් සහිත මැගසින් එකක් සවිකළ යුතුයි)

      "ඉලක්ක පත ඉදිරියෙන්" (දැන්, පුහුණුවන්නා ඉලක්කපත දෙස බලා, තුවක්කුවේ දුර සැකැස්ම සීරුමාරු කළයුතුයි)

      "තමන්ගේ කාලය අනුව, ඉදිරියේ ඇති ඉලක්කපතට, උණ්ඩ පහක් වෙඩිතබනු" (වෙඩි තැබීම තමන්ට අවශ්‍ය පරිදි වෙලාව ගෙන කළහැකියි. හැබැයි පැය ගාණක් ඉන්න බැහැ. වෙඩි දෙකක් අතර තත්පර දහයක් විතර විවේකයක්.)

      දැන් ඔන්න එක සාජන් කෙනෙක්, මේ විදිහට අණ දෙමින්, වෙඩි තැබීම කරවනවා, ආධුනිකයන් පිරිසකට. එකෙක් ඉන්නවා, මොකුත් කරන්නේ නැහැ, බිම දිගාවෙලා වෙඩි තියන ඉරියව්වේ ඉන්නවා විතරයි. සාජන්ට මල් වත්තක්ම පැන්නා.

      උඹට සිංහල තේරෙන්නේ නැද්ද කියා ඇහුවා. කොල්ලා සද්ද නෑ. උඹේ ගම කොහෙද කියලා සාජන් ඇහුවා. කොල්ලා ගමේ නම කිව්වා. හරි හරි මට තේරුනා කියපු සාජන්, මෙන්න මෙහෙම අණදුන්නා. "අඩා, ඉස්සරැහින් තියන ආං අරකට ගිනි පිඹ" කිව්වා විතරයි කොල්ලා දිඩි දිඩි ගාලා වෙඩි තියන්න පටන්ගත්තා.

      මේක ඇත්ත කතාවක්.

      පෝස්ට් එක ඇගයීම ගැන ස්තුතියි.

      Delete
  22. රටපටලවල, විචාරක තුමා කොහොමහරි කට්ටියට ආයුද භාවිතය ගැනත් , ඉගැන්නුව නේද 😂😂😂

    ReplyDelete
  23. ගිනි අවිය නිපදවු යේ කවුරුන්ද

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }