හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ
Showing posts with label කලාව සහ සාහිත්‍යය. Show all posts
Showing posts with label කලාව සහ සාහිත්‍යය. Show all posts

17 October 2016

ගෙදර මහ පොතක් ඇත - එකක්වත් මතක නැත

   හෙහ් හෙහ් හෙහ්, අහලා තියනවද ඔය මාතෘකාවේ සඳහන් කියමන? අපි ඉස්කෝලේ යන කාලේදී, සමහර ගුරුවරු, ඔය කියමන කියනවා මා අසා තිබෙනවා. මේ කියමනේ සරල තේරුම වන්නේ, තමන් පණ්ඩිතයකු කියා පෙන්වීමට උත්සාහ කලත්, පාණ්ඩිත්‍ය භාවය, අවශ්‍ය අවස්ථාවේදී දැක්විය නොහැකි පුද්ගලයෝ ද සිටිති, කියන එකයි. සමහරු තමන් පොත් ගුල්ලන් බව පෙන්නුවත්, එදිනෙදා කතාබහේදී, ලේඛනයේදී, ඒ පොත්පත් වලින් ලද දැනුමක්, හැකියාවක්, කථිකත්වයක්, ලේඛන හැකියාවක් ඇතිබවක්, පෙනෙන්නේ නැහැ. නිකම් අල්මාරිවල පොත් ගොඩගහගෙන සිටින පිරිසකුත් ඉන්නවා.  ඒ පොත් වලින්, තමන්ට හෝ අනුන්ට වැඩක් නැති බවත්, ඔවුන් දන්නවා. මේ චූර්ණිකාව මුලින්ම කිව්වේ, අද, මා ඔබ සමග, පොත් ගැන කතාකරන්න යන නිසයි.   

   මෙවර කොළඹ පොත් සල්පිල බලන්න නම් මා ගියේ නැහැ. කම්මැලියි, පොලේ එළවලු ගන්නවා වගේ තෙරපි තෙරපි, පොත් ගන්න. පොතක් තෝරන්න පුළුවන්, බොහොම විවේකීව. ඒ නිසයි නොගියේ. අපේ දෝණියන්දෑලා දෙන්නම ගියා. මගෙන් ඇහුවා, මොනවද ඕනේ කියා. මා කිව්වේ, අපේ දොස්තර මහත්තයාගේ අලුත් පොත් දෙක තියනවා නම් ගන්න කියලා. නමුත් අවාසනාවකට, ඒ පොත් දෙක, එම ප්‍රදර්ශනය පැවැත්වුණු කාලසීමාවේදී මුද්‍රණයෙන් පිටවුනේ නැහැ. 

  මෙන්න මට මෙවර ප්‍රදර්ශනයෙන්  අපේ දුවලා දෙන්නා විසින් තෑගි කළ පොත්.






   මැජික් බයිසිකලය කියන්නේ, අපූරු පරිවර්තන කෘතියක්. ලෝකප්‍රකට ළමා කතා නිර්මාතෘ වරියක වන, ඊනිඩ් බ්ලයිටන් ගේ රසවත් කථා මාලාවක් මේ ග්‍රන්ථයට ඇතුලත්ව තිබෙනවා. 

   ප්‍රබුද්ධ කාව්‍ය ග්‍රන්ථය ගැන මා ඔබ සමග වැඩිදුර කතාකරන්න අදහස් කරන්නේ නැහැ. ඔබ අතරින් බොහෝ දෙනා, මහගම සේකර ශූරීන් ගැන දන්නා නිසා. මේ පොත මා අත තිබී අතුරුදන් වුවක්. නැවත මගේ පුස්තකාලයට එකතු කරගැනීමට ලැබීම සතුටක්. 

   සුනාමි ව්‍යසනයේදී සයුරට බිලිවී අතුරුදන් වූ, මහා පඬි රුවනක් වූ, මීගොඩ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේගේ කෘති, කවදත්, ධර්ම විනය පැහැදිළි කිරීමෙහි ලා, අනුපමේය සේවයක් ඉටු කරයි. මෙහි දක්වා ඇති ග්‍රන්ථය ගැන, පසු කලෙක කථා කිරීමට ඉඩ තබමි.  

   දැන් මා බලාපොරොත්තුවන්නේ මේ ලිපිය ලිවීමේ මූලික පරමාර්ථය වන මහා පුස්තකය ගැන ඔබ සමග කථා කරන්නයි. 

මුලින්ම බලන්න පොතේ පෙනුම දැක්වෙන පින්තූර කීපයක්. 











   මෙන්න පොතේ මිළ. හැබැයි, පොත් ප්‍රදර්ශණයේදී, මේ පොතට, රු 800 ක වට්ටමක් ලැබී තිබෙනවා. මුදල්මය වටිනාකම නොව, දැනුම සම්බන්ධ වටිනාකම අතින්, අමිල ග්‍රන්ථයක් වන මෙය, මට ලබාදුන්, මගේ ලොකු දුවට, පින්සිදුවේවා කියා ප්‍රාර්ථනය කරනවා. 



   පොත කිලෝ ග්‍රෑම් පහකට වඩා බරයි. ඒ නිසා, අතේ තියාගෙන කියවන්න බැහැ. මේසයක් මත තබාගන්න සිදුවෙනවා. 


  මේ මහා ග්‍රන්ථයේ සම්පාදක ආචාර්ය, හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා ගැන ඔබ අතරින් බොහෝ දෙනෙකු හොඳින් දන්නවා ඇතැයි සිතනවා. මටනම් එතුමා මතක තියෙන්නේ 1971 ජවිපෙ කැරැල්ලේ විත්ති පක්ෂයේ අධිනීතීඥ වරයා ලෙසයි. එමෙන්ම එතුමා 'සිංහලයේ මහා සම්මත භූමිපුත්‍ර පක්‍ෂය' නමින් දේශපාලන පක්ෂකුත් නිර්මාණය කළා.




   ශබ්ද කෝෂයේ සංඥාපනයෙන් කොටසකුත් කියවා බලමු. 



   ශබ්ද කෝෂයකින් අපට ඇති ප්‍රයෝජන අපමණ බව ඔබ හොඳින්ම දන්නවා. සිංහල අපේ සැලකියයුතු පිරිසකගේ වාග්කෝෂය ඉතා දුර්වල බව, අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඉංග්‍රීසි භාෂාවෙන් අහුලාගත් කෑලි සහ සිංහලටත් නැති, ඉංගිරිසියටත් නැති, විකාරරූපී වදන් අද්‍යතන සමාජයේ පාසල් සිසුන් පවා භාවිත කරනු ඇසීම කණගාටුවට කරුණක්. 

   මේ බලන්න, අද බහුලව භාවිත කෙරෙන වදන් දෙකක් වන, එළ සහ පට්ට යන වචන, වර්තමාන භාවිතයේ  යෙදෙන්නේ, අර්ථ විරහිතව බව, මේ ශබ්දකෝෂයෙන් පැහැදිළි වෙනවා. 




   දැන් ඔබම සිතා බලන්න, ඔබ පට්ට කියා භාවිත කලාම එහි දඩබ්බරයා, වැඩකට නැති පුද්ගලයා, නීචයා, යන තේරුම් ද තියනවා. 

   එළ යන වචනය පාවිච්චි කලාම, ගවයා, එළුවා, බිහිරා, එළාපන්, දමාපන්, යන අර්ථය තිබෙනවා.

  සමහරු, බ්ලොග් අඩවි වල පලකරන කමෙන්ට්ස් වලදී මේ වචන  පාවිච්චි කරනවා. හොඳයි නේද? 

   ශබ්ද කෝෂයක් කියවීමෙන් ඔබේ වාග්මාලාව දියුණු වෙනවා. මේ දිනවල මා, දවසකට මේ ශබ්ද කෝෂයෙන් පිටු එකක් හෝ දෙකක් කියවනවා. එසේ කියවන අතර, එම පිටුවේ ඇති වචන වලින්, මා දන්නා වචන සහ නොදන්නා වචන කොපමණ තිබේද යන්න සලකා බලනවා. 

   ඇත්තෙන්ම නොදන්නා වචන සෑහෙන්න තියනවා. ඒ ඒ වචනය, විවිධාර්ථ නැගෙන පරිදි යෙදිය හැකි ආකාරය, සැලකිල්ලට ගන්නවා. ලොකු සතුටක් දැනෙනවා, විවිධ වචන අලුතෙන් ඉගෙන ගත්තම. මා හිතනවා, එයින් මගේ බ්ලොග් ලිවීමට, සෑහෙන ආධාරයක් ලැබෙයි කියා. 

   අපි බලමු පිටුවක දෙකක කොටස් කීපයක්. 









   අපේ රටේ විවිධ ප්‍රදේශ වලදී විවිධ නම් වලින් හඳුන්වන ශාකයක් තමයි, ග්ලිරිසීඩියා ශාකය. මේ ශාකය, ගිනිසීරියා, වැටහිර, ලාඩප්පා, වැට මාර, ඇල්බීසියා, කණ්ඩිමුරුංගා, වැනි නම් වලටත් හිමිකම් කියනවා. 



   මේ ශබ්ද කෝෂයෙන්, මේ ශාකයට කියන තවත් නම් දෙකක් හමුවුණා. කොංඩමරංගා සහ මකුලතා. 




  කොකං කරනවා, කොකං ගානවා කියන වචන මීට කලින් අහලා තියනවද? කොකං කරනවා කියන වචනය නම් මා අසා තිබුණා.

   ව්‍යක්ත භාෂාවට අදාළ නොවන, එහෙත් එදිනෙදා සමාජයේ (විශේෂයෙන්ම පහල ස්ථර වල) භාවිත කෙරෙන වචන, මේ ශබ්දකෝෂයේ දක්වා තිබෙනවා. 











   සමහර වචන සඳහා දක්වා ඇති අර්ථය, නොගැලපේ හෝ ප්‍රමාණවත් නොවේ, කියා සිතෙන අවස්ථා තිබෙනවා.  මෙන්න උදාහරණ.



   බ්ලැක් මාර්කට් යන්න එලෙසම යොදා, බ්ලැන්කට් යන වචනයට, බ්ලැන්කේට්ටු කියා යෙදීමේ, නොගැලපීමක් තියන බවක් පෙනෙනවා. එහෙනම්, බ්ලැක් මාර්කට්ටු වියයුතුයි. 

   බ්ලේඩ් තල, බෝඩ් ලෑල්ල, වැනි වචන නොගැලපීම් සහිත බව, බෝහොවිට කියවෙනවා. එමෙන්ම මෙහි කියන්නේ, රැවුල් බෑම සඳහා ගන්නා, වානෙන් තැනූ තල යනුවෙන් පමණයි. නමුත්, බ්ලේඩ් යන වචනය, ලෝහ නොවන ද්‍රව්‍යයකින් නිමවා ඇති, සියුම් කැපුම් දාරයකටත් කියන්න පුළුවන්. edge යන අර්ථයද ඇතුළත්ව. 

  බ්ලොක් ගැන කිව්වාට, මේ ශබ්දකෝෂයේ, 'බ්ලොග්' යන වචනය නම් නැහැ. 

  බ්ලෝ ලාම්පුව, ධමනි ලාම්පුව වන්නේ කෙසේද යන්න, මට ගැටළුවක්. 





   උරපටි නැති බ්‍රසියර් දැන් තිබෙන නිසා, උරපටි යන යෙදුම ඉවත් කරන්නට සිදුවෙනවා.

   බ්‍රේක් යන්න මෙවලමක් කියා හැඳින්වීම වැරදියි කියා හිතෙනවා. මෙවලමක් කිව්වේ, device යන අර්ථයෙන් විය හැකියි. නමුත්, වාහනයක තිබෙන්නේ බ්‍රේක් පද්ධතියක් system නේද? බ්‍රේක් පෙඩල් එක මෙවලමක්ද? අනෙක් අතට Brake සහ Break යන දෙකම මෙතන විස්තර කලානම් හොඳයි.

   අසභ්‍ය යයි සම්මත කරගෙන ඇති සමහර වදන්, තවදුරටත් එසේම තබාගතයුතුද යන්න සිතා බැලිය යුතුයි. 



   කුණුහරප හෙවත් අසභ්‍ය වචන ගැන, මේ ශබ්දකෝෂයේ දක්වා තිබීම, එවැනි වදන් ගැන පර්යේෂණ කරන අයට ප්‍රයෝජනවත් වනු ඇති. 



  කුණුහරප වශයෙන්ම නොසැලකුණත්, අව්‍යක්ත වදන් ලෙස සැලකෙන වචනද ඇතුලත්ව තිබීම, වාග්මාලා පිළිබඳ කරුනු සෙවීමේදී වැදගත් වෙනවා. 





   ගැහැණියට තමයි සියලු අපහාස. පිරිමියා සුදනා. 

   ඔබේ බිරිඳ සූතිකාවක් ද? නැත්නම් ඔබේ නිවසේ ඉන්නවාද සූතිකාවක්? 




   ෆ අක්ෂරයෙන් ඇරඹෙන වචන සෑහෙන ගණනක් ඇතුළු කර තිබීම, මේ ශබ්දකෝෂයේ විශේෂ ලක්ෂණයක් ලෙස මා දකිනවා. 




   දැන් මේ ලිපිය කියවලා **න්, නිකම් ඉන්නවා එහෙම නෙවෙයි **න්. රුපියල් 4000 ක් ගියාට කමක් නෑ **න්, පොත අරගෙන **න්, කියවනවා හොඳයි **න්. පොතේ පිටු 2023 ක් තියනවා **න්.


2016 ඔක්තෝබර් මස 17 වැනි දින 2302 පැය 

18 September 2016

ගීතයෙන් ගීතය

   නෑ නෑ, ඒ අර සින්දු කියන තරගේ නේ. මේක එහෙම දෙයක් නෙවෙයි. මේක මගේ මතකය අවදි කිරීමක්. පැරණි ගීත සහ ගායක ගායිකාවන් හඳුන්වා දෙමින්, මීට පෙර මා ඉදිරිපත් කල ලිපිය මතකයි නේද? මේ දිනවල, සිංහල බ්ලොග් ලෝකය පුරා, ගීත සාහිත්‍යයට විශේෂ තැනක් දෙන ලිපි, නිතර ලියවෙනවා. ඇත්තටම, පැරණි සිංහල ගීත සාහිත්‍යය ගැන, මගේ මතකය යලිත් අවදිවුණේ,  පැරණි හින්දි ගීත සොයමින්, යූ ටියුබ් එකේ සැරිසරණ අවස්ථාවකයි. හින්දි සංගීතය තුලින්, සිංහල සංගීතය පෝෂණය වූ බව, ඔබ බොහෝ දෙනෙකු දන්නවා.

    මුල් කාලයේදී, හින්දි ගීත තනු වලට සිංහල ගීත නිර්මාණය කිරීම, බහුලව සිදුවුනත්, පසු කාලීනව, එහි වටිනාකමක් නැති බව අවබෝධ වූ නිසා, ස්වතන්ත්‍ර ගීත නිර්මාණය කෙරෙහි, දේශීය සංගීතඥයන් යොමුවුණ අතර, 1960 දශකයෙන් ඇරඹුණු, ස්වතන්ත්‍ර ගීත නිර්මාණය නිසා, හින්දි තනු කොපි කිරීම අතහැරී ගියා. එයට තවත් හේතුවක් වුනේ, එවැනි ගීත දැඩි ලෙස විවේචනයට ලක්වීමයි. 

   කෙසේ වෙතත් සමහර කොපි ගීත, අද දක්වාම ජනප්‍රියත්වයෙන් නම් ඉහලින් තිබෙනවා. ඔබෙන් බොහෝ දෙනෙකුගේ මතකයේ නැති, එවැනි ගීත කීපයක් හඳුන්වා දෙන්නයි, අද මා උත්සාහ කරන්නේ. මේ ගීත ඉදිරිපත් කරන්නේ, ඒ ඒ වර්ෂය අදාළ කරගෙන නෙවෙයි. මගේ මතකයට නැගෙන ආකාරයටයි. 

   'මං පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කේ අදයිනෙ ඔයා' නමැති ගීතය සැබවින්ම අතිශයින් ජනප්‍රියවූ ගීතයක්. මෙහි මුල් ගායකයාගේ නම හෙන්රි පෙරේරා වගේ තමයි මතක. මේ ගීතය, පසු කාලයක, ආර්.මුත්තුසාමි සංගීතඥයාගේ පුත්, මොහාන් රාජ් ගායනා කල බවත් මතකයි. මා මෙහි දක්වන්නේ, සිංහල සංගීතවේදියකු වන වික්ටර් විජයන්ත විසින්, එම ගීතය ගායනා කල අවස්ථාවක්.

   මෙතැන් සිට ඉදිරියට දක්වන සෑම වීඩියෝවක්ම, සම්පූර්ණයෙන් නැරඹීමට අවශ්‍ය නැහැ, ඔබේ අන්තර්ජාල දත්ත කෝටාව සීමිත නම්. පළමුවැනි විනාඩි එකහමාර පමණ නැරඹුවාම ඇති.  හඬ ඇසුවත් ඇති.

මං පොඩි කාලේ. 


   මේ ගීතයේ තනුව, 1957 වර්ෂයේ තිරගතවූ, 'තුම්සා නහින් දේඛා' නමැති හින්දි චිත්‍රපටියේ ගීතයකින් ලබාගත් එකක්. මේ තියෙන්නේ එම ගීතය. 




   මොහිදීන් බෙග් සමග ජී.එස්.බී.රානි පෙරේරා ගායනය කරන, 'පෙම් පහන නිවී' නමැති ගීතය, නිතර ගුවන්විදුලියෙන් ප්‍රචාරයවූ ගීයක්. විශේෂයෙන්, ප්‍රේමයේ විරහව අත්විඳින තරුණ තරුණියන් අතර නිතර කියවුන, පෙම්පත් වල ලියවුන, ගීතයක්.

(අපේ කාලේ තිබුණේ එස්.එම්.එස්. ලව් නෙවෙයි. ප්‍රේම සාහිත්‍යයක්. පෙම්පත් කියන්නේ,එක්තරා ආකාරයක සාහිත්‍ය නිර්මාණ)



   මේ ගීතයේ තනුව ලබාගෙන තිබෙන්නේ, 1953 වර්ෂයේ තිරගතවූ, 'ආ' නමැති හින්දි චිත්‍රපටියෙන්. මේ තියෙන්නේ එම ගීතය. 






   ජී.එස්.බී.රානි පෙරේරා විසින් ගායනා කල, 'බැඳි ආදරයට මාගේ පිටුපා යාවිද වෙන්වී' යන ගීතය, අතිශයින් ජනප්‍රිය ගුවන්විදුලි ගීතයක්. එම ගීතය පහත දක්වනවා.  



   මේ ගීතයේ තනුව ලබාගෙන තිබෙන්නේ 1965 වර්ෂයේ තිරගතවූ 'අර්සු' නමැති හින්දි චිත්‍රපටියෙන්. මේ තිබෙන්නේ එම ගීතය. 




   එච්.ආර්.ජෝතිපාල ගායනය කල, 'මේ ජීවනයේ මුළු සංසාරේ' නමැති ගීතයට, වරක් ජනප්‍රිය සම්මානයක්ද ලැබුනා. මේ තිබෙන්නේ එම ගීතය.


   මේ ගීතයේ තනුව ලබාගෙන තිබෙන්නේ, 1972 වර්ෂයේ තිරගතවූ, 'ප්‍යාර් කා ඝර්' නමැති හින්දි චිත්‍රපටියෙන්. මේ තිබෙන්නේ ඒ ගීතය. 





   මිල්ටන් පෙරේරා ගායනය කල, 'කල්‍යාණියෙ ඔබ නෑසූ කතාවක් කියන්නම්' නමැති ගීතය, අපේ කාලයේ පෙම්වතුන් අමන්දානන්දයට පත් කළ, ඔවුන්ගේ හද පතුළටම කිඳා බැසගත් ගීතයක්. මේ තිබෙන්නේ එම ගීතය. 


   මේ ගීතයේ තනුවත්, ඉහත සඳහන් අර්සු චිත්‍රපටියේම එන ගීතයකින් ලබාගෙන තිබෙන්නේ. මේ තියෙන්නේ එම මුල් ගීතයයි. අර්සු චිත්‍රපටිය, ලංකාවේදී, ප්‍රදර්ශන වාර්තා බිඳහෙළු චිත්‍රපටියක්.




   1968 වර්ෂයේ තිරගතවූ, අක්ක නගෝ' නමැති සිංහල චිත්‍රපටියේ, ලතා වල්පොල ගායනා කල, 'ගලනා සීත ජලේ' නමැති ගීය, අතිශයින් ජනප්‍රිය ගීයක්. මේ තිබෙන්නේ එම ගීතයයි.   




   මේ ගීතයේ තනුව උපුටාගෙන තිබෙන්නේ, 1960 වර්ෂයේ තිරගතවූ, 'ජිස් දේශ් මෛන් ගංගා බෙහ්තී හෛ' නමැති, හින්දි චිත්‍රපටියෙන්. මේ තිබෙන්නේ එම මුල් ගීතයයි. 




   1965 වර්ෂයේ තිරගතවූ, 'සත පණහ' සිංහල චිත්‍රපටියේ, සුජාතා අත්තනායක ගායනය කළ, 'මල්සරාට ප්‍රේම ලෝකෙ මාලිගා තනා' නමැති ගීතය, එකල ඉතා ජනප්‍රිය වුණා. මේ තිබෙන්නේ ඒ ගීතයයි. 



   මේ ගීතයේ තනුව ලබාගෙන තිබෙන්නේ, 1961 වර්ෂයේ තිරගතවූ, 'සසුරාල්' නමැති හින්දි චිත්‍රපටියේ එන ගීතයකින්. මේ තිබෙන්නේ එම හින්දි ගීතයයි.  



   
   මේ ලිපියෙන් කියවෙන්නේ, කලකට ඉහතදී  අහපු ගීත වුනත්, මෑත කාලේ අහපු ගීතයක් ගැනත් කියන්න හිතුනා. මෑත යුගයේදී, හින්දි ගී තනුවක් අනුකරණය කරමින් ගයන ලද සිංහල ගීතයක් තමයි, චම්පා කල්හාරි ගායනා කරන, 'මල්යායේ  සමනල්ලු' නමැති ගීතය. 



   මේ ගීතයේ තනුව ලබාගෙන තිබෙන්නේ, 1954 වර්ෂයේ තිරගතවූ, 'ටැක්සි ඩ්‍රයිවර්' නමැති හින්දි චිත්‍රපටියෙන්. මේ එම ගීතයයි. බලන්න, මේ ජවනිකාවේ පෙනී සිටින නිළියගේ මුහුණ, අද ජනප්‍රිය හින්දි නිලියක් වන, ඓශ්වර්යා රායි ගේ මුහුණට බොහෝදුරට සමානයි නේද කියා. මේ නිළියගේ නම ශීලා රමානි.



   සමහර අවස්ථා වලදී, ප්‍රවීනයන් පවා, දැන හෝ නොදැන, අනුකරණ තනු සහිත ගීත ගායනා කර තිබෙනවා. මේ ඒ සඳහා උදාහරණ. 

   'පෙම්බර මධු' චිත්‍රපටියේ එන, 'පෙම්බර මධු මගේ' නමැති ගීතය හින්දි/උර්දු චිත්‍රපටියක එන ගීතයක තනුවක් අනුකරණය කිරීමක්.



   මේ තියෙන්නේ මුල් ගීතය 'චිරාග් කහාන් රෝෂනී කහාන්' නමැති චිත්‍රපටියෙන්.



   නන්දා මාලනීටත් වැරදුනාද? 

   නන්දා මාලනී ගයන, 'ඔබ අපෙයි ශ්‍රී ලංකා' නමැති ගීතය, ඔබ අසා ඇති බවට සැකයක් නැහැ.

 

   එම තනුවටම ගැයුණු, උර්දු ගීතයක් තමා මේ තියෙන්නේ. මේ ගීත දෙකෙන්, මුලින් නිර්මාණය වූයේ කොයි ගීතයද යන්න මට ගැටළුවක්.




    මෙවැනි ගීත සිය ගණනක් මතකයේ තිබුණත්, ඒ සියල්ල මෙහි දැක්වීම අවශ්‍ය නැති බවයි, මගේ හැඟීම. මේ ගීත ඉදිරිපත් කිරීමෙන් අදහස් කළේ, අපේ ගායක ගායිකාවන් පහත් කොට දැක්වීමක් නොව, අතීතයේදී, ඉන්දීය සංගීතය, අපේ සංගීතයට කොතරම් විශාල බලපෑමක් කලේද යන්න පැහැදිළි කිරීමටයි. මේ හා සම්බන්ධ තවත් අතිරේක තොරතුරු, ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නට තරම් කරුණුත්, මා මතකයේ තිබෙනවා. අනාගතයේදී, එම කරුණු ඔබවෙත ගෙන එන්නට සිතා සිටිනවා. 


2016 සැප්තැම්බර් මස 10 වැනි දින 2324 පැය 

12 September 2016

හරියට නොපැදපු 'මෝටර් බයිසිකල්'

   මම අද මෝටර් බයිසිකල් චිත්‍රපටිය නැරඹුවෙමි. චිත්‍රපටිය නරඹා, ආපසු නිවස වෙත වාහනය පදවන අතර, මා, මගේ බිරිඳ සහ, දියණියන් අතර ඇතිවූ සංවාදයද පදනම් කරගනිමින්, ඊට අමතරව තනිවම සිතමින් ආ කරුණු ද සලකා බලමින්, රාත්‍රී ආහාරයෙන් පසු, හරි බරි ගැසී පරිගණකය වෙත වාඩිවුණේ, සිනමා විචාරයක් කෙසේ වෙතත්,  මගේ සිතුවිළි අකුරු කරන්නටය. 

   මේ ලියන්නේ, අවංකවම මේ චිත්‍රපටිය ගැන මගේ හිතේ ඇතිවුණු අදහස් ය. ඒ අදහස් සමග ඔබ එකඟවීම මට අවශ්‍ය නැත. මා බලන්නේ මගේ දෘෂ්ටි කෝණයෙනි. මගේ දෘෂ්ටි කෝණයෙන් බලන්නට ඔබ බැඳී නැති අතර, මම ද ඔබේ දෘෂ්ටි කෝණයෙන් හෝ එසේ නැතහොත්, මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂ වරයාගේ දෘෂ්ටි කෝණයෙන් බලන්නට බැඳී නැත්තෙමි. අප සියලුදෙනා ස්වාධීන පුද්ගලයන් බැවින්, ස්වාධීනව අදහස් දැක්වීමේ අයිතිය, මම මෙහිදී භුක්ති විඳින්නෙමි. 

   මේ චිත්‍රපටිය නරඹන්නට පෙර, අජිත් පැරකුම් ජයසිංහ විසින් මෙම චිත්‍රපටිය පිළිබඳව ඉදිරිපත් කරන ලද ලිපිය කියවා තිබුනෙමි. කෙසේ වෙතත්, ඒ ලිපිය කියවා, මා මෙම චිත්‍රපටිය ගැන සිතා සිටි අදහස්, සම්පූර්ණයෙන්ම වෙනස් වූ බව, මුලින්ම කිවයුතුයි. එය, අජිත් පැරකුම්ගේ වරදක් නොවේ. ඔහු ලියන්නේ, ඔහුගේ දෘෂ්ටි කෝණයෙනි. ඒ සඳහා පූර්ණ නිදහස හා අයිතිය ඔහුට ඇත. 

  මගේ මතකයේ හැටියට, චිත්‍රපටියක් යනු කුමක්ද යන්න තේරුම් ගතහැකි ආකාරයට, මා චිත්‍රපටි නැරඹීම ආරම්භ කලේ, 1960 දශකයේ අග භාගයේදීය. මගේ සිනමා ගුරුවරයා වූයේ, සැබෑ ජීවිතයේදී ද ගුරුවරයකු සහ පුවත්පත් චිත්‍ර ශිල්පියකු වූ, මගේ බාප්පාගේ පුතාවන, විරාජිත් මහේන්ද්‍ර ආර්යසිංහ ය. ඔහු මට, සිංහල , ඉංග්‍රීසි, හින්දි, චිත්‍රපටි රාශියක් නැරඹීමේ අවස්ථාව සලසා දුන් අතර, එසේ නැරඹීමෙන් පසු, ඒ චිත්‍රපටි ගැන, මා සමග සාකච්ඡා කරමින්, යම්කිසි විචාරයක යෙදීමටත්, එකල පුවත්පත්වල පළවුණ සිනමා විචාරයන් කියවීම සඳහා, මා පෙළඹවීමටත්, ක්‍රියාකළේය. 

   මේ වනවිට මා, යටත් පිරිසෙයින්, චිත්‍රපටි 500 ක් පමණ නරඹා ඇතැයි සිතමි. සිනමාහල් වලදී ද, වීඩියෝ කැසට් මගින් ද, ඩීවීඩී තැටි වලින් ද, අන්තර්ජාලයෙන් බාගත කරගැනීමෙන් ද, සිංහල, ඉංග්‍රීසි, හින්දි සහ සමහර වෙනත් භාෂා වලින් නිපදවා ඇති චිත්‍රපටි ද, නරඹා ඇත්තෙමි.

   මෙතෙක් මා චිත්‍රපටියකදී අසා ඇති, අතිශයින් කර්ණ කඨෝර, අවිනීත, අසංවර, ජුගුප්සාජනක, බෑඟිරි ගෑමක් අසා ඇත්නම්, එය මේ 'මෝටර් බයිසිකල්' චිත්‍රපටියේ, 'ඊනියා පසුබිම් ගීත' ලෙස ඔබා ඇති, විප්‍රකාරයන් බව ඉඳුරාම ප්‍රකාශ කරමි. මේවා ගීත නම්, මහ පාර අයිනේ,  පදික වේදිකාවේ සිඟා කමින්, ජපන් මැන්ඩලීනයකින්, 'අඩු කුලේ කියාලා අසරණයා' ගීතය, යන්තමින් වයන යාචකයා, මහා ගාන්ධර්වයෙකැයි, මම නොබියව කියමි. මුළු චිත්‍රපටිය පුරාම පැතිරී තිබුණු, මේ අප්‍රසන්න බව, අමාරුවෙන් ඉවසා සිටියෙමි. 

   මෙහිදී අධ්‍යක්‍ෂ වරයාට එක් දෙයක් කීමට කැමැත්තෙමි. රැඩිකල් සංගීතය කියා දෙයක්, අද්‍යතන සමාජය විසින් සම්මත කරගෙන තිබෙන්නට පුළුවන්. එය සම්මතයක් විනා, සම්ප්‍රදායක් හෝ, යම් මූලධර්ම මත පිහිටි දෙයක් නොවේ. 'ඒක තමා ඕයි  එව්වට රැඩිකල් කියන්නේ' කියා, අධ්‍යක්‍ෂවරයා කියන්නේ නම්, ඒ රැඩිකල් කම මටනම්, සුනඛයකුගේ පශ්චාද් භාගයේ බැඳී මීයක් හා සමානයැයි කියමි. 

   මුල මැද අග සහිත කතා හෙවත්, 'ඔන්න එකෝමත් එක රටක' කියා පටන්ගෙන, 'ඉක්බිති සියල්ලෝ සතුටින් ජීවත් වූහ' යනුවෙන් අවසන් කරන චිත්‍රපටි, දැන් යල් පැනගොස් ඇති බවත්, ප්‍රේක්ෂකයාගේ මනස තුළ යම් කම්පනයක් ඇතිකොට, ඒ ඔස්සේ, ඔහුද චිත්‍රපටියේ පාත්‍ර වර්ගයාගේ සමාජයේ සාමාජිකයකු ලෙස සිතන්නට පොළඹවන චිත්‍රපටි, වර්තමාන ලෝකයේ සිනමා නිර්මාණවල පදනම වී ඇති බවත්, එය එසේම වියයුතු බවත්, මම පිලිගනිමි. 'රෂොමොන්' වැනි චිත්‍රපටියක ඇති එකී සුවිශේෂී ලක්‍ෂණය, සිනමාව, කොතරම් ප්‍රබල ලෙස, මානව චර්යාවන් විග්‍රහ කිරීමේ මාධ්‍යයක් ලෙස භාවිත කළහැකිද යන්නට, එක් උදාහරණයක් පමණි. 

   නවක සිනමාවේදීන්, නවමං ඔස්සේ ගමන් කිරීම, සතුටට කරුණකි. එහෙත්, එකී නවමං, සිනමානුරූපී වන්නේද නැද්ද යන්න පිළිබඳව, සැලකියයුතු තරම් බරපතළ මට්ටමෙන් සිතා බැලීමට ද, අධ්‍යක්‍ෂ වරුන් උත්සුක වියයුතුය.

   මෝටර් බයිසිකල් චිත්‍රපටියේ ප්‍රධාන නළුවා, මීට පෙර මම කිසිදු චිත්‍රපටි/ටෙලි නාට්‍ය/ නිර්මානයක දැක නැත්තෙමි. එබැවින්, මට ඔහු නවක නළුවෙකි. සමනලී ෆොන්සේකා නමැති නිළිය, මා මුල්වරට දුටුවේ, ටෙලි නාට්‍යයකිනි. එහිදී ඇයට පැවරී තිබුණේ, බොළඳ තරුණියකගේ චරිතයකි. එහිදී ඇය, සෑහෙන තරම් සාධාරණයක්, එම චරිතයට ඉෂ්ඨ කළාය.  

   මෝටර් බයිසිකල් චිත්‍රපටියේ දී, මේ නළු නිලි යුවල, අධ්‍යක්‍ෂවරයා විසින් කියාදුන් අභ්‍යාස, (drill) අකුරටම කර පෙන්වනු විනා, කිසිදු රංගන වින්‍යාසයක්, ප්‍රතිභාවක්, නොපෙන්වයි. මට මතක්වුනේ, 'හෝ ගානා පොකුණ' චිත්‍රපටියේ ප්‍රධාන නිළිය වූ, අනසුයා සුබසිංහ ය. (නම හරිද මන්දා) හෝ ගානා පොකුණේ ඇය දැක්වූ රංගන ප්‍රතිභාව, ප්‍රවීණයන්ට පවා අභියෝගාත්මක බව, මගේ අදහසයි. මෝටර් බයිසිකල් නළු නිළි යුවල, අධ්‍යක්‍ෂ වරයාගේ සෘෂි භාෂිතයෙන් එකදු මිලි මීටරයක්වත් වෙනස් වී, ස්වාධීනව යමක් කිරීමට උත්සාහ නොකිරීම නිසා, ඔවුන් සතු යම් රංගන කුසලතාවක් ඇත්නම්, එය මොටවී ගොස් ඇත්තේ ඉතා අවාසනාවන්ත ලෙසටය. 

   වීණා ජයකොඩි, නෙතලී නානායක්කාර, දෙදෙනා අධ්‍යක්‍ෂ වරයා විසින් පාවිච්චි කරන්නේ නිකම් සක්ක ගල් දෙකක් ලෙස පමණි. වීණා ජයකොඩි, ඇගේ මව වූ රෝහිනී ජයකොඩි මෙන්ම, ජනප්‍රිය නිළියක මිස දක්‍ෂ නිලියක් නොවේ. අම්මා සහ, පියා නැති පුතා අතර සම්බන්ධය, මීට වඩා තීව්‍ර ලෙස දැක්වූවානම්, කතාවේ ගැඹුරක් ඇතිකළ හැකිව තිබුන නමුත්, කණගාටුදායක ලෙස එය චිත්‍රපටියෙන් ගිලිහී ඇත. 

   කුමාර තිරිමාදුරට රඟපෑමට චිත්‍රපටි හෝ ටෙලිනාට්‍ය නැත්නම්, ත්‍රිරෝද රථයක් පදවා ජීවිකාව ගැටගසාගනීම යෙහෙකි. 

   අනෙකුත් සුළු චරිත සඳහා ගෙන තිබෙන නවක නළු නිලියන්, ඉදිරියේදී, රංගනය ගැඹුරින් හදාරනු ඇතැයි සිතමි. ඔවුන් ගැන දැන්මම යමක් කීමට, මම ඉක්මන් නොවෙමි. 

   මහේන්ද්‍ර පෙරේරා, හැමදාම, මේ චිත්‍රපටියේ දැක්වෙන ආකාරයේ චරිත වලට කොටු නොවී සිටින්නට උත්සාහ කරනවානම් හොඳයි. ප්‍රධාන නළුවා, මහේන්ද්‍ර පෙරේරාගෙන් බයිසිකලය මිලදීගන්නා අවස්ථාවේදී, මහේන්ද්‍ර පෙරේරාගේ ප්‍රතිභාව ඉදිරියේ, ප්‍රධාන නළුවා දැඩි පසුබෑමකට ලක්වෙයි. 

   ට්‍රැෆික් පොලිස් විහිළු, පාක් එකේ ලව් කරන විහිළු, අද්‍යතන තරුණ පරපුරේ ගැටළු විග්‍රහ කිරීමක් ලෙස, මම නොදකිමි. යටත්පිරිසෙයින්, පෞද්ගලික අංශයේ රැකියා ස්ථානයක, මෙවැනි තරුණයන් සූරාකෑමට ලක්වන හැටි, ඔවුන් බලාපොරොත්තුවන සංගීත ලෝකය තුළ ඇත්තේ ද, නවකයන්ගේ හැකියාව විකුණාගෙන කෑමක් බව පෙන්වාදෙන අවස්ථා නිරූපනයක් ඇතිකලානම්, මීට වඩා අර්ථවත් ලෙස, මේ පරපුර, 'විහින්ම පැන නැසීයන' ඛේදවාචකයේ මහත නිරූපණය කරන්නට ඉඩ තිබුනි.

   චිත්‍රපටියක් වේගයෙන් ගලායාම පමණක්, එහි සාර්ථකත්වයට හේතු නොවේ. සංස්කරණ ශිල්පියා, රූප ඡේදනය කරන සමහර අවස්ථා, නිකම් කතුරෙන් කපා ඇලවීමක් වැනිය. පෙම්වතුන් යුවල මෝටර් බයිසිකලයේ යන අවස්ථා කීපයකදී, ඒ දුර්වලත්වය දකින්නට ලැබුණි. ආලෝක කරණයේදී සෑහෙන තරම් සාර්ථක බවක් දුටුවෙමි. 

   අවසාන ජවනිකාවේදී,  ප්‍රධාන නළුවා, රාත්‍රියේ පාර දිගේ ඇවිද එන අවස්ථාවේදී, පාරේ විදුලිපහන් කණු වලින් ආලෝකය පතිත වන ආකාරය, සාර්ථකව සකසා නැත. නළුවාට සමාන්තරව ගෙනයන ආලෝක කදම්බය, දැඩි කෘත්‍රිම බවක් පෙන්වයි. හිසට ඉහලින් මාරුවන (අඩුවී වැඩිවන) ආලෝක ධාරාවක් යෙදවූයේ නම් වඩාත් උචිතයි. 

   වෙඩි හඬ ඉදිරිපත් කිරීම අතිශයෙන් අසාර්ථකය. පිස්තෝල වෙඩිල්ලක හඬ, බටහිර චිත්‍රපටියකින් අසා, ඒ අනුව හඬ මුසුකලානම් වඩාත් උචිතයි. මෙතන ඇහෙන්නේ ගල්බෝර හඬකි. 

   මේ අධ්‍යක්‍ෂවරයා, අද්‍යතන තරුණ පරපුරවෙනුවෙන් හඬක් නගන්නට දරන ලද උත්සාහය ප්‍රශංසනීයය. ඒ සඳහා ඔහු යම් අධ්‍යයනයක් කර ඇති බවත්, යම් වෙහෙසක් දරා ඇති බවත් පෙනීයයි. කෙසේ වෙතත්, අද්‍යතන තාරුණ්‍යයේ සැබෑ ගැටළු ප්‍රාමාණික ගැඹුරකින් නිරූපණය කරන්නට 'මෝටර් බයිසිකල්' චිත්‍රපටිය 100%ක් සමත් නොවුනද, සමාජයේ අවධානය දිනාගැනීමට සමත් නිර්මාණයක් ලෙස මෙම චිත්‍රපටිය හැඳින්විය හැකිය. 

මේ අධ්‍යක්‍ෂවරයා,  තවදුරටත් සිනමාව හදාරනු ඇතැයි අපේක්ෂා කරමි. 

2016 සැප්තැම්බර් මස 11 වැනි දින 2345 පැය   

05 September 2016

වඩු කිරිල්ලිගෙ කතාව

වඩු කිරිල්ලිගෙ කතාව අහලා නැද්ද? අහපු අයත් ඇති, නොඅහපු අයත් ඇති. අහපු අයගේ මතකය අලුත් වෙන්නත්, නොඅහපු අයගේ රසවින්දනය සඳහාත්, විශේෂයෙන්ම අපේ දරුවන්ට කියාදීම සඳහාත්, මේ කතාව මෙහෙම සටහන් කරන්නේ, කුඩා කාලයේදී මට මේ කතාව කියාදුන්, මගේ අම්මා බුදුවේවා! කියන ප්‍රාර්ථනයත් සමගයි.

මගේ අම්මා ගුරු දෙගුරු කියන දෙවර්ගයටම අයත් වෙනවා. අම්මා නිවසේදී මට දෙගුරුන් ගෙන් එක්කෙනෙකු වූ අතර, පාසලේ පහල බාලාංශ පන්ති වලදී, මගේ පන්ති භාර ගුරුතුමිය වුණා.

ඒ කාලේ අදවගේ රූපවාහිනී කාටූන් තිබුණේ නැති නිසා, අම්මලා, කිරි අම්මලා, ආච්චිලා, සීයලා, කිරි අත්තලා, කියාදුන් මෙවැනි කතා වලින්, ඉතා අගනා චිත්තරූප, දරුවන්ගේ මනසේ වර්ධනය වූ අතර, ඔවුන්ගේ චින්තනය මෙන්ම චර්යාව වෙනස් කරන්නත්, එයින් යහපත් බලපෑම් ඇතිවුණා.

හොඳයි, මෙන්න මේකයි කතාව. හෝව්! කතාව කියන්න කලින් තවත් එක දෙයක් කියන්න තියනවා. කතාව අහන ගමන් හූමිටි තියන්න ඕනේ. එහෙමයි ඒ කාලේ අපේ වැඩිහිටියෝ, මේ කතා අපිට කියලා දුන්නේ.

ඔන්න එකෝමත් එක රටක වඩු කිරිල්ලියක් හිටියා. මේ වඩු කිරිල්ලී ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ගල ඇතුළට ගියා. වඩු කිරිල්ලී දුකෙන් කෑගහමින්, උදව්වට කෙනෙක් හෙව්වා, බිත්තරය ගල ඇතුලෙන් එලියට ගන්න. වඩු කිරිල්ලී ගියා ගල් වඩුවෙක් ළඟට, ගිහින් මෙහෙම කිව්වා.



‘අනේ ගල් වඩුවෝ, ගල් වඩුවෝ, මම ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා, අනේ ඒක අරන් දීපන් ගල් වඩුවෝ..........’ කියලා.

ගල් වඩුවා වඩු කිරිල්ලිට කිව්වා ‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ කියලා.

වඩු කිරිල්ලී කිව්වා, ‘අනේ දුප්පත් මට අටු කොයින්ද පුටු කොයින්ද, තට්ටු හතක බුලත් කොයින්ද’ කියලා.

ගල් වඩුවා කිව්වා, ‘එහෙනං මට බෑ, මට බෑ,’ කියලා.

ඉතිං වඩු කිරිල්ලී අඬ අඬා යන්න පටන්ගත්තා. යනකොට යනකොට, ඌරෙක් හම්බවුණා. වඩු කිරිල්ලී ඒ ඌරට කිව්වා,



‘අනේ ඌරෝ ඌරෝ, මම ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා, ඒක අරන් දෙන්න බෑ කිව්ව ගල් වඩුවාගේ, හේනේ තියන අල බතල ඔක්කොම කාලා දාපන් ඌරෝ............’ කියලා.

ඌරා වඩු කිරිල්ලිට කිව්වා, ‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ කියලා.

වඩු කිරිල්ලී කිව්වා, ‘අනේ දුප්පත් මට අටු කොයින්ද පුටු කොයින්ද, තට්ටු හතක බුලත් කොයින්ද’ කියලා.

ඌරා කිව්වා, ‘එහෙනං මට බෑ, මට බෑ,’ කියලා.

ඉතිං වඩු කිරිල්ලී අඬ අඬා යන්න පටන්ගත්තා. යනකොට යනකොට, ගිනිගොඩක් හම්බවුණා. වඩු කිරිල්ලී ඒ ගිනිගොඩට කිව්වා,

‘අනේ ගින්දරේ ගින්දරේ, මම ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා, ඒක අරන් දෙන්න බෑ කිව්ව ගල් වඩුවාගේ, හේනේ තියන අල බතල ඔක්කොම කාලා දාන්ඩ බෑ කිව්ව ඌරව, පුච්චලා දාපන් ගින්දරේ............’ කියලා.

ගිනිගොඩ වඩු කිරිල්ලිට කිව්වා, ‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ කියලා.

වඩු කිරිල්ලී කිව්වා, ‘අනේ දුප්පත් මට අටු කොයින්ද පුටු කොයින්ද, තට්ටු හතක බුලත් කොයින්ද’ කියලා.

ගිනිගොඩ කිව්වා, ‘එහෙනං මට බෑ, මට බෑ,’ කියලා.

ඉතිං වඩු කිරිල්ලී අඬ අඬා යන්න පටන්ගත්තා. යනකොට යනකොට, වතුර වලක් හම්බවුණා. වඩු කිරිල්ලී ඒ වතුර වලට කිව්වා,

‘අනේ වතුරේ වතුරේ, මම ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා, ඒක අරන් දෙන්න බෑ කිව්ව ගල් වඩුවාගේ, හේනේ තියන අල බතල ඔක්කොම කාලා දාන්ඩ බෑ කිව්ව ඌරව, පුච්චලා දාන්ඩ බෑ කිව්ව ගිනිගොඩ, නිවලා දාපන් වතුරේ............’ කියලා.

වතුර වල වඩු කිරිල්ලිට කිව්වා, ‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ කියලා.

වඩු කිරිල්ලී කිව්වා, ‘අනේ දුප්පත් මට අටු කොයින්ද පුටු කොයින්ද, තට්ටු හතක බුලත් කොයින්ද’ කියලා.

වතුර වල කිව්වා, ‘එහෙනං මට බෑ, මට බෑ,’ කියලා.

ඉතිං වඩු කිරිල්ලී අඬ අඬා යන්න පටන්ගත්තා. යනකොට යනකොට, අලියෙක් හම්බවුණා. වඩු කිරිල්ලී ඒ අලියට කිව්වා,



‘අනේ අලියෝ අලියෝ, මම ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා, ඒක අරන් දෙන්න බෑ කිව්ව ගල් වඩුවාගේ, හේනේ තියන අල බතල ඔක්කොම කාලා දාන්ඩ බෑ කිව්ව ඌරව, පුච්චලා දාන්ඩ බෑ කිව්ව ගිනිගොඩ, නිවලා දාන්ඩ බෑ කිව්ව වතුර වල බීලා දාපන් අලියෝ............’ කියලා.

අලියා වඩු කිරිල්ලිට කිව්වා, ‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ කියලා.

වඩු කිරිල්ලී කිව්වා, ‘අනේ දුප්පත් මට අටු කොයින්ද පුටු කොයින්ද, තට්ටු හතක බුලත් කොයින්ද’ කියලා.

අලියා කිව්වා, ‘එහෙනං මට බෑ, මට බෑ,’ කියලා.


ඉතිං වඩු කිරිල්ලී අඬ අඬා යන්න පටන්ගත්තා. යනකොට යනකොට, කටුස්සෙක් හම්බවුණා. වඩු කිරිල්ලී ඒ කටුස්සට කිව්වා,

‘අනේ කටුස්සෝ කටුස්සෝ, මම ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා, ඒක අරන් දෙන්න බෑ කිව්ව ගල් වඩුවාගේ, හේනේ තියන අල බතල ඔක්කොම කාලා දාන්ඩ බෑ කිව්ව ඌරව, පුච්චලා දාන්ඩ බෑ කිව්ව ගිනිගොඩ, නිවලා දාන්ඩ බෑ කිව්ව වතුර වල, බීලා දාන්ඩ බෑ කිව්ව අලියාගේ, හොඬේ අස්සට රිංගපන් කටුස්සෝ............’ කියලා.



කටුස්සා කිව්වා, ‘හරි හරි මං ඒ වැඩේ කරන්නං’ කියලා.  

ඔන්න කටුස්සා දුවගෙන දුවගෙන ගියා අලියගෙ හොඬේ අස්සට රිංගන්ඩ,

අලියා බයවෙලා දුවගෙන දුවගෙන ගියා වතුර වල බීලා දාන්ඩ,

වතුර වල බයවෙලා ගලාගෙන ගලාගෙන ගියා ගිනිගොඩ නිවලා දාන්ඩ,

ගිනිගොඩ බයවෙලා ඇවිලීගෙන ඇවිලීගෙන ගියා ඌරව පුච්චලා දාන්ඩ,

ඌරා බයවෙලා දුවගෙන දුවගෙන ගියා ගල් වඩුවගෙ හේනේ තියන අල බතල කාලා දාන්ඩ,

ගල් වඩුවා බයවෙලා දුවගෙන දුවගෙන ගිහින්, ගල පලලා, වඩු කිරිල්ලිගෙ බිත්තරේ අරන් දුන්නා.

වඩු කිරිල්ලී කටුස්සට පින් දීලා, බිත්තරෙත් අරන්, සතුටෙන් ගෙදර ගියා.




මේ කතාවේ ආදර්ශය කුමක්ද කියා, ඔබ කියනවානම් හොඳයි. 


2016 සැප්තැම්බර් මස 5 වැනි දින 0938 පැය 

22 August 2016

මේගොල්ලන්ව හඳුනනවාද?

   මදෑ කොළා. ඉයන් ගොයියා බට කැලේට ගිනි තිබ්බා. දැන් ඒක ඇවිලෙනවා පට පට ගාලා බට පුපුරමින්, සිංහල බ්ලොග් අහස ඒකාලෝක කරමින්. අම්මපා මේ මනුස්සයට මොකක්හරි සම්මානයක් දෙන්න වටිනවා මේ ගිනි තැබිල්ලට. නෑ මං කියන්නේ, ඔය විදිහේ සුන්දර ගිනි තැබිලි හැමදෙනාටම කරන්න බැහැ. ඒකටත් උපතින් ගෙනා දක්ෂකම් තියෙන්න ඕනේ. අපි දන්නේ ඉතිං අමු කැලෑ ගිනිතියන්න නේ. මම හිතන්නේ, මේ අවුරුද්ද ඉවරවෙනතුරු, මේ සොළොස් මහා ගීත වන්දනාව තියෙයි. 

   ඒ අල්ලපනල්ලේ, මගේ මතකය කඩාගෙන බිඳගෙන දුවන්න පටන්ගත්තේ නැතෑ අතීතයට. එහෙම ගිහින් ගිහින්, 'අපි චුච්චි බබා කාලේ ලේදියෝ එකෙන් තින්දු ආපු' කාලෙටම ගියා. ඒ කාලේ හිටිය ගායක ගායිකාවන් බොහොමයක් ගැන මතකයට ආවත්, ඒ ඔක්කොම ගැන කියන්ඩ ගියොත් මේ වගේ ලිපි හතරක් පහක්වත් ලියන්ඩ වෙන නිසා, කීපනෙක් ගැන විතරක් ලියන්ඩ හිතාගත්තා. මේ ඉතා කෙටි ලිපිය ඒ තිදෙනා ගැන කරන සරල හැඳින්වීමක්. 

සී.ඩී.ෆොන්සේකා 
   මේ ගායකයා, 1960 දශකයේ සිට, අපේ සිත තදින් පැහැරගත් ගායකයකු බව, නොකියා බැහැ. එමෙන්ම ඔහු අද අප අතර නැතත්, ඔහුගේ අමරණීය හඬ අපේ මතකයේ තිබෙනවා. ඉතා පුදුමාකාර ලෙස ඔහුගේ හඬේ තිබුණු තරුණ බව ඔහු ගීත ලොවින් සමුගන්නාතුරු ම පැවතුනා. 60 - 70 දශකවල සංගීත සංදර්ශන වල ඔහු අනිවාර්යයෙන් ගීත තුන හතරක් ගායනා කළා. ඒ ගීත සියල්ල තරුණ හදවත් ඇමතූ ගීත. එමෙන්ම ඒ ගීතවල රිද්මය නිසාම ඉක්මනින් ජනප්‍රිය වුවා පමණක් නොව, රසිකයන්ගේ මතකයේද හොඳින් තැන්පත් වුණා. ඔහුගේ ගීත තුනක් පහත දක්වනවා. 











කාන්ති වක්වැල්ල 

   කාන්ති වක්වැල්ල කියන්නේ, ගායිකාවක් නෙවෙයි ගායකයෙක්. ඔහු අමුතුම හඬකින් සහ අමුතුම ශෛලියකින් ගායනා ඉදිරිපත් කළා. ඔහුගේ හඬේ යම් ශෝකී බවක් ගැබ්වී තිබුණා. නමුත් ඒ ගීත තුළ සැඟවුණු අමුතුම මිහිරකුත් තිබුණා.  ඔහුගේ ගීත එකතුවක් සොයාගැනීම තරමක් අපහසුයි. 












   මේ ගීතයේ mp3 පිටපතක් පමණයි තිබුණේ. මා එයට ඔහුගේ පින්තූරය එක්කර, මේ ගීතය සැකසුවා. මේ ගීතයේ විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි, ඒ කාලයේ සිදුවූ සත්‍ය සිද්ධියක්, එනම් ප්‍රේම වියෝවක් පදනම් කරගෙනයි, මේ ගීය ලියවී තිබෙන්නේ. පෙම්වතියත් ගායිකාවක්. ඊට වඩා තොරතුරු කියන්නට මා අකමැතිවන්නේ, ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන නිසා.


ස්වර්ණා අබේරත්න 

   ඇය ගායිකාවක් ලෙස බොහෝ දෙනා හඳුනාගත්තේ, පැරණි සිංහල චිත්‍රපටියක් වන 'සුභද්‍රා' චිත්‍රපටියේ ඇය විසින් ඉදිරිපත් කල පසුබිම් ගායනයක් නිසයි. ඒ ගීතය පහතින් දක්වනවා. මේ ගීතයත් බොහොම අමාරුවෙන් හොයාගෙන ඇගේ ඡායාරූපයකුත් හොයාගෙන, මෙලෙස සකසා ඉදිරිපත් කරන්නේ. 




   මේ ගීතය, බොහොම ජනප්‍රිය ගීතයක් වුණා. විශේෂයෙන් විවාහක කාන්තාවන් අතර, ඒ කාලයේදී අතිශයින් ජනප්‍රිය ගීතයක් මෙය. නමුත්, මේ ගීතයේ තනුව නම්, පැරණි හින්දි චිත්‍රපටියකින් ගත් එකක්. මේ තියෙන්නේ මුල් හින්දි ගීතය. ටිකක් අහලා බලන්න. 




   ස්වර්ණා අබේරත්නගේ තවත් ගීත ඔබට මෙතනින් අහන්න පුළුවන්. එමෙන්ම ඇය ගැන විස්තරයක් මෙතනින් කියවන්න පුළුවන්.


ලතා දිසානායක 

   මේ ගායිකාව එදා ජනප්‍රියත්වයේ ඉහලටම පැමිණි ගායිකාවක්. ඇය නැති සංගීත සංදර්ශනයක් ඒ කාලේ තිබුණේ නැහැ. ගායිකාවක් වගේම ඈ රූමතියක්. මා දන්නා තරමින් අද ඇය විදේශගතව යි ඉන්නේ. එදා ඇගේ ජනප්‍රිය ගීත තුනක් පහත ඉදිරිපත් කරනවා. එදා ඇගේ හඬ, ගුවන්විදුලිය, සංදර්ශන වේදිකාව පුරා, පැතිරී තිබුණා.









ලතා දිසානායක ගැන කෙටි විස්තරයක් ඔබට මෙතනින් කියවන්න පුළුවන්. හොඳයි. එහෙනම් අදට සමුගන්නේ, අවකාශ ලැබෙන පරිදි තවත් මෙවැනි ලිපියක් ලිවීමේ අදහස ද ඇතිවයි.

2016 අගෝස්තු මස 22 වැනි දින 0736 පැය 
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }