හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ
Showing posts with label සමාජ විද්‍යා ලිපි. Show all posts
Showing posts with label සමාජ විද්‍යා ලිපි. Show all posts

06 May 2015

ඕයි සනත් නන්දසිරී......... බුද්ධාගම කන්න එපා!

Sanath Nandasiri
 සනත් නන්දසිරි කියන්නේ, කිසි කමකට නැති මිනිහෙක්. 1960 දශකයේ ඇවිලුණු ගිනිදැල් කියලා, (ලව් එක බ්රේක් නම් ගිනිතියාගනින් කියලා නේද ඒ සිංදුවෙන් කියන්නේ?) මහා ගිනි විජ්ජුම්බර ගීතයක් කියාගෙන, මේ මිනිහා යන්තම් ගීත ලෝකයට ආවා. ඊට පස්සේ මිනිහා, බොහොම අමාරුවෙන්, ඔය එක එක්කෙනාට වැඳ වැඳ, යන්තම් සින්දු කිව්වා. අපි හරිම අප්පිරියාවෙන් එව්වා ඇහුවේ. අදත් ඉතින් අහන්ඩ එව්වා නැති නිසා අහනවා.

   ඒ මදිවට මේ මිනිහට, මහාචාර්ය පට්ටමකුත් දුන්නනේ, විශ්ව විද්‍යාලේ. මිනිහා ඉන්දියාවට ගිහින්, පගාවක් දීලා, 'සංගීත් නිපුන්' කියලා උපාධියක් සල්ලි වලට අරං ආවා. ඔව්වා පෙන්නලා තමයි, මේ අපි ඔහෙලා ඔක්කොමව රවට්ටගෙන ඉන්නේ. මෙයාගේ නෝනා, කතෝලික පවුලකට නේද අයිති. ඒක වෙන්ඩෑ මේ මිනිහා මුළු බුද්ද සෑසනේම කාලා දාන්ඩ හදන්නේ.

   මේ යකා, අපේ සාමනේර හාමුදුරුවරු ගැන, මහා අලුගුත්තේරු සිංදුවක් කියලා තියනවා. බල්ලොවත් අහන්නේ නෑ ඒ සින්දුව. මිනිහා ඕක රේඩියෝ චැනල් වල පොරචාරය කොරගන්නේ, ඒ චැනල් වලට, මිනිහගෙ අතින් සල්ලි ගෙවලා. අර, 'බෝ මළුවේ මල් සුවඳට මුසුවී' කියලා සිංදුවක් තියෙන්නේ. අන්න ඒක.

   මේ සිංදුව කොච්චර භයානක, අපහාසාත්මක, අශ්ලීල, අර ලීල, මේ ලීල, ද කියලා විස්තර කරලා, ධර්ම නිධාන නමැති අඩවියේ දීලා තිබුණා, නන්දසිරි ගොයියට බඩ යන්ඩ. මෙන්න ධර්ම නිධාන අඩවියේ, අදාළ ලිපියේ, තිර රූපයක්.


Screenshot (4)

   ලිපිය කියෙව්වට පස්සේ මටත් ඉතිං නානාප්පරකාර දේවල් හිතුණා. අනේ කොච්චර වුනත්, නන්දසිරි ගොයියා හොඳ එකා නේද කියලා හිතුණා. මාත් ඉතිං ඔය හිතට ආව දේවල් ටිකක් ලිව්වා. මේ තියෙන්නේ ලියලා පළ කොරපු කොමෙන්ටුව. 

Screenshot (10)

     ඔන්න ඉතිං කොමෙන්ටුව කොටලා මම ගියා මගේ වෙනත් වැඩකට. ඇවිල්ලා බැලුවා, මොකද අර අඩවියෙන්, මගේ කොමෙන්ටුවට දෙන උත්තරේ කියලා. හුටා.......! මගේ කොමෙන්ටුව නැහැනේ. ඒක ගෙඩිය පිටින් කපා දාලා.

   පොහ්...........මම හිතන්නේ සනත් නන්දසිරි කියන්නේ ගීත ත්‍රස්තවාදියෙක් වෙන්ඩ ඇති. ඒ නිසයි පාඨකයන්ටවත් එයා ගැන කියන්ඩ දෙන්නේ නැත්තේ.

   හැබෑටම මොකද මේ ගැන ඔය ඇත්තෝ හිතන්නේ?


2015 මැයි මස 05 වැනි දින 1857 පැය

05 April 2015

ආදිවාසී සෙල්ලමේ කෙළවර කොතනද?............... Who are the Aborigines of Sri Lanka?

DSC01308
 ආදිවාසී යන වර්ගීකරණයට වැටෙන ජන කොට්ටාශ, සෑම මහාද්වීපයකම දක්නට ලැබෙනවා. ලෝකයේ බොහෝ රටවල, ආදීවාසීන් ලෙස හඳුන්වන ජන ගෝත්‍ර ජීවත්වෙනවා. ලංකාවේ ආදිවාසීන් ලෙස සැළකෙන්නේ, 'වැදි' නමැති ජන ගෝත්‍රයයි. මේ ලිපිය ලියන්නට හේතුවුනේ, පසුගිය දිනක, මා මහියංගනය ප්‍රදේශයේ කළ සංචාරයකදී, දඹානේ ජීවත්වන, ආදිවාසී ජනතාව බලන්නටද ගිය නිසයි. සාමාන්‍යයෙන් වන්දනා සහ/හෝ විනෝද චාරිකා වල යෙදෙන බොහෝදෙනා, දඹානේ ආදිවාසීන් බලන්නට යාම සිරිතක්.

   පසුගිය වසරේ නොවැම්බර් මාසයේ මට, ආදි පාද හමුවකට, (මතකනේ මීට කළින් ආදි පාද හමුව) රන්ටැඹේ ප්‍රදේශයේ පිහිටි ජාතික ශිෂ්‍යභට බලකායේ පුහුණු මධ්‍යස්ථානයට යන්නට සිදුවුණා. මගේ හමුදා සේවා කාලය තුළ මා කවදාවත් මේ ස්ථානයට ගිහින් නැහැ. හේතුව, මෙය ඉඳුරාම යුද හමුදාවට සම්බන්ධ ස්ථානයක් නොවන නිසා. මට ලැබුණු විශේෂ ආරාධනයක් නිසයි ගියේ. ආදි පාද හමුව ගැන වෙනම ලිපියක් ලියන්නම්. මේ කඳවුරේ දින දෙකක් ඉතා විනෝද ජනක ලෙස ගෙවීගියා. ඒ හමුවේ එක් ඉසව්වක් වුයේ, මහියංගනය සහ දඹාන යන ප්‍රදේශවල චාරිකාවක යෙදීමයි. ඒ අවස්ථාවේදී මා ලද අද්දැකීම් කීපයක් තමා, මේ සටහන තැබීමට නිමිති කරගත්තේ.

   අපේ කණ්ඩායමේ, විශ්‍රාමික හමුදා නිළධාරීන් 30 ක් පමණ සිටියා. අපි රැගත් බස් රථය, මහියංගනය - පදියතලාව ප්‍රධාන මාර්ගයෙන්, දඹානට යන අතුරු මාර්ගයට හරවනවිටම, උඩුකය නිරුවත්, සරමක් දෙකට නවා ඇඳගත්, (වළාපොට ගහලා) වයස අවුරුදු 14 - 15 පමණ, කොලුගැටයෙක්, බස් රථය නවත්වන ලෙස සංඥා කළා. බසය පැදවුවේ, ඒ ප්‍රදේශය හුරු හමුදා රියදුරෙක්. ඔහු නිළ ඇඳුමෙන් හිටියේ. නිළ ඇඳුමෙන් සිටි තවත් හමුදා සොල්දාදුවකු, අපේ ආරක්ෂාවට ගමන් කළා. ඔහුත් මේ ප්‍රදේශය දන්නවා. ඒ සොල්දාදුවා එකවරම රියදුරාට කිව්වා,

   'අපෙනුත් ගරන්න තමා හදන්නේ. නවත්තන්න එපා කෝප්‍රල්' කියලා.

   මම ඒ සොල්දාදුවාගෙන් ඇහුවා,

   'ඇයි එහෙම කිව්වේ' කියා.

   'සර්, මේ ගොල්ලෝ ඕනෙම වාහනයක් ආවම, පාර පෙන්නන්න කියලා ඒකට නගිනවා. ඒකට ගාස්තුවක් අයකරනවා. එතන ඉඳලා එක එක දේවල් පෙන්නලා, විකුණලා, කීයක් හරි ඉල්ලන එක තමා වැඩේ' කියා, ඔහු උත්තර දුන්නා.

   ඒ සමගම ඔහු මට පෙන්නුවා, ඒ කොලුගැටයා, වේගයෙන් දුවගොස්, ඒ අසළ කුඩා කඩයකට මුවාවී, තම සරමට යටින් ඇඳ සිටි කොට කලිසමේ සාක්කුවකින් ගත් ජංගම දුරකථනයකින්, ඇමතුමක් ගන්නා හැටි.

   'ඔය කරන්නේ සර්, අර්ලි වෝනිං දෙන එක' අර සොල්දාදුවා කිව්වා.

   (හමුදා භාෂාවෙන් අර්ලි වෝනිං Early Warning දෙනවා කියන්නේ, ඉතා නුදුරේදී යම් සිදුවීමක්/සතුරු ප්‍රහාරයක්/සතුරාගේ යම් ක්‍රියාකාරකමක්/වැදගත් පුද්ගලයකුගේ පැමිණීමක්/අනපේක්ෂිත කරදරයක්/ හෝ එවැනි යමක් සිදුවියහැකි බවට, කල්තබා දැනුම්දීම හෝ අනතුරු ඇඟවීමයි) 

   'ඉතින් මෙයා කාටද අර්ලි වෝනිං දෙන්නේ' කියා මම ඇහුවා.

   'දඹානේ ඉන්න මෙයාගේ කට්ටියට තමා කියන්නේ, ඔන්න බස් එකක් එනවා ලෑස්තිවෙලා හිටපල්ලා කියලා' යනුවෙන් පිළිතුරු ලැබුණා.

   අපි දඹාන මහා විද්‍යාලය අසළට යනවාත් සමගම, උඩුකය නිරුවත්, පිරිමි කීපදෙනෙක්ම උත්සාහ ගත්තා, බස්රථයට නගින්න, නමුත් අපේ ආරක්ෂාවට හිටිය සොල්දාදුවා, ඔවුන්ව වැළැක්වුවා.

   'පාර පෙන්නන්න හැදුවේ, අපිවත් අරන් යන්න' ආදී වශයෙන්, ඔවූන් කෑ ගහනවා ඇහුණා.

   ඔන්න ඉතිං අපි දඹානට ගියා කියමුකෝ. එතනදී මුලින්ම හමුවන්නේ කුඩා වෙළඳපොළක්. පරිසරය රැකීම ගැන, මේ වැදි ජනතාව කොපමණ දේ අපට කිව්වත්, මේ වෙළඳපොළ කාලීනව අලුත්වැඩියා කරන්නට, සෑහෙන ගස් ප්‍රමාණයක් කපන්න වෙන බව, පැහැදිළිවම පෙනුණි. මෙහි තිබෙනවා, වැදි ජනතාවගේ අත්කම් නිර්මාණ, මී පැණි, ආදී මෙකී නොකී දෑ.

   මේ මීපැණි ගැන කියනවානම්, මගේ දැනීමේ හැටියට, ඒවා පිරිසිදු මී පැණි නොවේ. අපද්‍රව්‍ය බහුලය, අසුරා තැබීම දුර්වල නිසා, තවත් අපද්‍රව්‍ය මිශ්‍රවීමට ඉඩතිබේ. මී පැණි දමා තිබෙන විශාල භාජනවල, මී වද කැබලි බලෙන් ඔබා ඇත්තේ, ඒවා නියම මී පැණි බව පාරිභෝගිකයාට ඒත්තු ගැන්වීමට විය හැකිය. බෝතල්වල තිබෙන මී පැණි පරීක්ෂා කිරීමට ක්‍රමයක් නැත. බොහෝදෙනා, ඒවා හොඳ මී පැණි කියා රැවටීම වැළැක්විය නොහැකිය. එතනදී ඒවා කියන්න ගොස්, ගුටිකන්න බැරිය. නමුත් මම එක දෙයක් කළෙමි. ඒ මී පැණි ගන්න උත්සාහ කළ, අපේ නඩයේ කීපදෙනෙකුටම, අකමැත්තෙන් වුවද, අර මිනිස්සුන්ට තේරෙයිදෝ යන සැකයද සහිතව, සුද්දාගේ බාසාවෙන් කරුණු කියා, ඒ මිනිසුන්ගේ බඩට ගහන්නට මට සිදුවිය. 

   (මී පැණි බහුළ ප්‍රදේශයක ඉපදුණු, එක්තරා සොල්දාදුවෙක්, නියම මී පැණි හඳුනාගන්නා හැටි, යුද්දෙට ගිය කාලෙදි මට කියාදී තිබුණා. ඒ අනුව මම වරක්, ආණමඩුව ප්‍රදේශයෙන් මිළදීගත් මී පැණි, නියම මී පැණි බව, ඔහු පරීක්ෂාකර සනාථ කළා) 

   එමෙන්ම, කළුවර ලීයෙන් සෑදු බව කියමින් පෙන්වන විවිධ නිර්මාණ, කළුමැදිරිය හෝ වෙනත් ලීයකින් නිමවා, සාර්ථකව කළු කළ ඒවා බව, ඉතා පැහැදිළිය. ඒවා කළුවර ලී නොවන බවත්, නිර්මාණයේ මිළ මා ගෙවන අතර, ඉන්පසු එය දෙකට කඩා, හරස්කඩ පෙන්විය හැකිදැයි මා ඇසු පැණයට, එක් පුද්ගලයකු කෝපයට පත්ව, මොනවාදෝ මුමුණමින්, (මගේ දෙමව්පියන් මතක් කරන්න ඇති) එතනින් ඉවත්ව ගියා. 

   කී කිරිඳි ඇට, කම්බි යොදා අමුණා, කර ඇති නිර්මාණ, ශක්තිමත් නොවන අතර, කියන මිළ ගණන් අසාධාරණ බව එකවරම පෙනීයයි.


DSC01302


  ආදිවාසීන්ගේ ඉතිහාසය දැක්වෙන කෞතුකාගාරය ද නරඹන්නට අපිට හැකිවුණා. ඒ සඳහා ඉතා සාධාරණ මුදලකට ටිකට් පත් විකිණුනා. කෞතුකාගාරය තුළ ඡායාරූප ගැනීම තහනම් බව, දැන්වීමක් මගින් ප්‍රදර්ශනය කර තිබුණත්, ඒ අවස්ථාවේ, කෞතුකාගාරය නැරඹීමට, විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි  සියළු දෙනාම පාහේ, තම ජංගම දුරකථන වලින්, සිත්සේ ඡායාරූප ගන්නා බව පෙනීගියා. එය වළක්වන්නට කිසිවෙකුත් කෞතුකාගාරය තුළ සිටියේ නැහැ. 

   මේ කෞතුකාගාරයේ ටිකට් කවුන්ටරය කිසිදු තේරුමක් නැතිව ලී කෝටු යොදා සකසා තිබුණා. ඔවුන් එයින් අදහස් කරන්නේ වනයේ පෙණුම ලබාගන්නට නම්, එය කිසිසේත් එතනට උචිත නැහැ. ඒ කෝටු උඩ ඔවුන්ගේ පොත්පත් සහ ගණක යන්ත්‍රය තබාගැනීමට වෙහෙසක් දරන්නට සිදුවුණා. එලෙස වනගත පෙණුමක් දෙන්නේ නම්, ටිකට් නිකුත් කරන අයද, වැදි ජනතාවගේ ඇඳුමකින් සැරසීම වඩාත් සුදුසුයි. මේ ලී රාමුව වසරකට වරක්වත් අලුත්වැඩියා කරන්නට සිදුවන බව නොඅනුමානයි. ඒ සඳහා ලී කපන්නේ කොහෙන්ද? බලය දෙන්නේ කවුද?


DSC01304

    ආදිවාසී නායක ඌරුවරිගේ වන්නනියැලැත්තෝ හමුවීමට ඉඩක් ලැබේයැයි සිතා සිටි නමුත්, එතුමා තම කෘෂිකාර්මික කටයුතු ගැන සොයාබැලීමට  බැහැරට ගොස් ඇතිබව දැනගන්ට ලැබුණා.


Vedda_Chief_Uruwarige_Wannila_Aththo

  ආදිවාසීන්ටම උරුමවූ ආකාරයක වෛද්‍යකර්මයේ යෙදෙන ආදිවාසී සාමාජිකයකුගෙන්, තම විවිධ රෝග සඳහා ප්‍රතිකාර/ප්‍රතිකර්ම ලබාගැනීමට, පැමිණසිටි සෑහෙන පිරිසක් උත්සුක වුණා.

DSC_1852

   අපි ආපසු එන්නට හැරෙන විටම ආදිවාසී දරුවෙක් අප වෙත පැමිණ පාසල් පොත් ගැනීමට ආධාරයක් කරන ලෙස ඉල්ලුවා. පාසල් යන අය සෑහෙන පිරිසක් ඉන්න බවද දැනගන්නට ලැබුණා. මේ දරුවා සමග අපි කෙටි පිළිසඳරක යෙදුණා. මේ දරුවා කිව්වා, ඔහුට නම් දෙකක් ඇති බවත්, පාසලට කියන්න එක් නමක් බවත් ගමේදී (වරිගයේදී) කියන්නේ තවත් නමක් බවත්. අපි ඔහුට සැළකිය යුතු මුදලකින් ආධාර කළා. ඔහු අපට ආදිවාසී ජන ගීයක් ගායනා කර පෙන්වූවා. මා එය මගේ කැමරාවේ සටහන් කරගත්තා. 



   අනේ මේ වීඩියෝවේ, අර ගීතය කියන දරුවා අසළ ඉන්නේ, අරයා නේද මෙයා නේද කියලා නම් අහන්න එපා.

   මේ හැර විවිධ දේ විකුණන මෙන්ම, මුදල් ඉල්ලන අය කීපදෙනෙක්ද දකින්නට ලැබුණා. සියල්ල අවසානයේදී මා සිතට නැගුන දේ, ඔබ සමග සාකච්ඡා කිරීමේ අරමුණින් පහත දක්වනවා. 

  • මේ අය ආදිවාසීන් යන වර්ගීකරණයට වැටෙන්නේ කෙසේද? ආදී වාසීන් යනු, යම්කිසි රාජ්‍යයක/භූමි ප්‍රදේශයක/ මහාද්වීපයක/ වර්තමානයේ ප්‍රධාන ජාතිය ලෙස පිළිගන්නා ජන කොට්ඨාශය, පිටතින් පැමිණ එහි ස්ථිරව පදිංචිවීමට පෙර, එම ප්‍රදේශයේ, ආදි කාලයේ සිටම තම නිජබිම ලෙස පදිංචිව සිටි ජනතාවයි. 'වැදි' යනුවෙන් ජන කොට්ඨාශයක්, විජයාගමනය සිදුවන විට තිබුනේ නැහැ. වැදි පරපුර ඇතිවුණේ, කුවේණියගේ දරුවන් දෙදෙනාගෙන් බවයි, ජනප්‍රවාදයේ පැවතෙන්නේ. නමුත් මේ ලිපිය ලියන්නට පෙර, මූලාශ්‍ර වශයෙන් මා කියවා බැලූ ලිපි එකකින්වත්, ඒ කරුණු සනාථ නොවූ අතර, වැදි ජනතාවද ආසියානු රටකින් මෙහි සංක්‍රමණය වූ බව පිළිගතහැකි සාධක තිබෙනවා.
  • ගල් වැද්දන්, ගම් වැද්දන්, ආදී වශයෙන් සඳහන් ජන කොට්ටාශ කිසිවක්, අද ඒ මුල් ස්වරූපයෙන් අපේ රටේ නැති බව, අප දන්නවා. ඕනෑම රටක ඇති, කොතරම් සැඟවී පවතින කුඩා ජන සංස්කෘතීන් පවා, කාලීන වෙනස්කම් වලට ලක්වීම නොවැලැක්විය හැකියි. 
  • අපේ රටේ වැදි ජනතාව පිළිබඳව ගවේෂණය කල විද්වතුන් විසින් වාර්තා කර තිබෙන කරුණු පිළිබඳව සළකා බැලීමේදී, අද අප දකින්නේ, ඉතා සීඝ්‍ර ලෙස, සිංහල ජාතියේ සංස්කෘතික ලක්ෂණ වලට අනුගත වෙමින් පවතින, එහෙත් තවමත් තමන් ආදිවාසීන් යයි කියාගන්නා, ජන කොට්ඨාශයක් බව පෙනෙයි. 
  • අතීතයේදී ගල් වැද්දන් (ගල්කුළු සහිත ප්‍රදේශවලට සීමාවී ගල් ගුහාවල ජීවත් වූ වැදි පරපුර) අද කිසිසේත් දකින්නට නොලැබෙන අතර ගම් වැද්දන් යනුවෙන් හැඳින්වුන (වනයේ ජීවත්වුණ) වැදි පරපුර අද ඉතා සීඝ්‍රයෙන් ලාංකික සාමාන්‍ය සමාජය සමග මුසුවෙමින් පවතී.
  • මොවුන් දෙබිඩි ජීවිතයක් ගතකරන බවට ඉතා පැහැදිලි සාක්ෂි තිබේ. එනම් ඔවුන් තම වත්කමේ ප්‍රමාණයට නවීන තාක්ෂණික මෙවලම්ද සහිතව සාමාන්‍ය ජීවිතයක් ගතකරන අතර, තමන්ට විශේෂ අනන්‍යතාවක් ලබාගැනීමට සහ අයිතිවාසිකම් දිනාගැනීමට පමණක්, ආදීවාසී යන වර්ගීකරණයට වැටෙන්නට උත්සාහ කරයි.
  • මෑතකදී මා සමග පිළිසඳරක යෙදුන බ්ලොග් රචකයකු, දැනට දශක දෙකකට පමණ පෙර, මෙම ජනතාව සම්බන්ධ සිය අත්දැකීමක් පවසමින්, ඔහු ඇතුළු පිරිසක් සමග, ඒ ප්‍රදේශයේම වෙනත් මෙවැනි ජන කොටසක් පෙන්වීමට ගිය ආදිවාසී පුද්ගලයකු, අර අනෙක් ජනකොටස IRC Buggers යනුවෙන් හඳුන්වා ඇත. මෙවැනි යෙදුමක් භාවිත කරන්නට නම්, එක්කෝ ඔහු ඉංග්‍රීසි භාෂාවේ යෙදුම් ගැන අවබෝධයක් ලබා තිබිය යුතුය. නැතහොත්, වර්තමාන ලාංකික සමාජය සමග ගැටීමෙන්, ඉංග්‍රීසි වචන මුසු භාෂා ස්වරූපයට හැඩගැසී ඇත.
  • ආදිවාසී නායකයා හට පසුගිය රජයෙන් පිකප් ට්‍රක් රථයක්, (ලංකාවේ සමාජ ව්‍යවහාරය අනුව ඩබල් කැබ් එකක්) ලබාදීමට කටයුතු යොදා තිබුණු අතර, ආදිවාසී නායකයා ඊට කැමැත්ත පළකර ඇත. නමුත් පැරණි වැදි සංස්කෘතිය අනුව නම්, ඔවුන් ගොන් කරත්තයක්වත් පාවිච්චි කරන්නේ නැත.  
  • මේ පිරිස තවදුරත් ආදිවාසී යන සුවිශේෂී වර්ගීකරණයක තැබීමෙන් පළක් නැත. ඔවුන්ට තම අභිමතය පරිදි රටේ සාමාන්‍ය සමාජ ප්‍රවාහයට අනුගත වන්නට හෝ තම නිජබිම් ලෙස සැළකෙන ප්‍රදේශවල, රටේ පොදු නීතියට යටත්ව තම පාරම්පරික සිරිත් අනුගමය කරමින් විසීමට නිදහස තිබිය යුතුය.
  • සංචාරකයන් වෙනුවෙන්, තම අතීත ඇවතුම් පැවතුම් පෙන්වාදීමට සුදුසු ආදර්ශ ගම්මානයක්, රාජ්‍ය අනුග්‍රහයෙන් සකසා දියයුතු අතර, එය, මේ පරපුරේ, අද සිටින අයගේ ස්වභාවය නොව, මීට සියවසකට පමණ පෙර ජීවත්වූ, මෙම ජනවර්ගයේ ස්වභාවය බව, සංචාරකයන්ට පැහැදිළි කරදිය යුතුය. මේ පිරිස සංචාරකයන්ගෙන් සිඟාකෑම වැළක්විය යුතු අතර, ඔවුන්ගේ පාරම්පරික දක්ෂතා අර ආදර්ශ ගම්මානය තුළදී ප්‍රදර්ශනය කර, මුදල් උපයාගැනීමට අවස්ථාව ලබාදිය යුතුය.
  • මේ පරපුරේ වර්තමාන තරුණ කොටස්, අධ්‍යාපනය වෙත උනන්දු කරවිය යුතු අතර, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වහාම වැඩිදියුණු කළයුතුය.  
   මා හිතනවා, ඔබටත් මේ ගැන කියන්න බොහෝ දේ ඇති. ඒ නිසා, ඔබට ඉඩදී, මෙතෙකින් මගේ අදහස් දැක්වීම නිම කරනවා. 
2015 අප්‍රේල් මස 05 දින 2208 පැය

29 March 2015

ගස් ගල් වඳිමින්......... අපි යනවා..........!

23306
 මේ සටහන බලාපොරොත්තු රහිතව ලියවෙන්නක්. නමුත් මේ සඳහා පාදක වුන විවිධ කරුණු හිතේ කොනක තිබුනේ කාලයක සිටයි. අද එය එක්වරම එළියට පනින සිදුවීමක් වුණා. පුද්ගල නිදහස අනුව ඕනෑම පුද්ගලයකුට තමන් කැමති ආගමක්, භක්තියක්, විශ්වාසයක්, දර්ශණයක්, අනුගමනය කරන්නට, අදහන්නට, පිළිපදින්නට, දේශනා කරන්නට, පතුරවන්නට, ඇති නිදහස අභියෝගයකින් තොරයි.


   නමුත් සමහර පුද්ගලයන්ගේ ආගමික ක්‍රියාකළාපය, තවත් කෙනෙකුගේ පෞද්ගලික නිදහස කෙරෙහි බලපෑමක් එල්ල කරන්නේ නම්, ඒ පිළිබඳව පුළුල්ව කරුණු විමසා බැලීමට සිදුවෙනවා.

අද උදේ, අපේ පුංචි ජනාවාසයේ, (මෙය ගමක් කියන්නට බැහැ. ඉඩම් වෙන්දේසි ආයතනකින් මිලදීගත් ඉඩම් කට්ටිවල, නිවාස තනාගෙන පදිංචිවී සිටින පිරිසක් ඉන්නේ) එක්තරා කළබගෑනියක් සිදුවුණා. උදේ 9.00 ට පමණ, මට අසල්වැසියකුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. මෙන්න පණිවිඩය.

'..........' මහත්තයා, හරි වැඩක් වෙන්න යනවා, අර '...........' අයියලාගේ ගේ ළඟ ඉඩමේ තියන මහා නුග ගහ කපන්න යනවා, ඒ ඉඩමේ අයිතිකාරයා. බලන්න හරි අපරාධයක් වෙන්න යන්නේ. ඔතන හරි හාස්කම් ඇති තැනක්. අපේ '............' අයියට හොඳටම කේන්ති ගිහින්, පොලීසියටත් කිව්වා. මහත්තයා ඕඅයිසී මහත්තයට කෝල් එකක් දුන්නනම්, ටක් ගාලා එයි. අනේ මහත්තයා එන්නකෝ මේ සිද්දිය වෙන තැනට'

   මෙන්න මම දුන්න උත්තරේ.

'ඉතිං ඒක පුද්ගලික ඉඩමක්නේ. ඒ ගහ කපන්න එයාට අයිතියක් තියනවනේ. අපිට කිසිම බලයක් නැහැ ඒකට විරුද්ධවෙන්න'

   අරයා ආපහු කියනවා,

'අනේ මහත්තයා, එහෙම කියලා කොහොමද? මුළු ගමම එකතු කරගම්මු කියලා '.........' අයියා කියනවා. මහත්තයා විනාඩියකට එන්නකෝ. මහත්තයානේ සමිතියේ ලේකම්'

   අනේ අනේ නන්නානේ. අපේ ජනාවාසයේ තිබෙන සුබසාධක සංගමයේ ලේකම් මමය. නමුත් මේ සිද්ධියට එය ගාවාගන්නට මට බලයක් නැති බව, මේ අයට තේරෙන්නේ නැත. කමක් නැහැ, බලමුකෝ මොන මගුලක්ද කියලා, හිතාගත් මම, එතනට යන්න සූදානම් වනවිටම, මෝටර් බයිසිකල් දෙකක් අපේ ගේට්ටුව ළඟට ඇවිත්, මාව වඩම්මාගෙන යන්න. සමහර පොදු වැඩ වලදී, මම 'වලිසිංහ' කෙනෙක් බව දන්නා අය, අපේ ජනාවාසයේ ඉඳීමේ කරුමය ඔන්න ඕකයි.

   ඔන්න ඉතිං ගියා කියමුකෝ සිද්ධිය වෙන තැනට. දෙපාර්ශවයම (ගහ කපන පාර්ශ්වය සහ එයට විරුද්ධ පාර්ශ්වය) මාව දුක්ගන්නාරාළ කෙනෙක් කරගත්තේ නැතෑ.

   ඉඩම අයිති පාර්ශ්වය කියන්නේ, මේ ඉඩමේ ගෙයක් සෑදීමට අවශ්‍ය බවත්, එහිදී ගේට්ටුව ඉදිකිරීමට තීරණය කර තිබෙන්නේ, නුග ගහ තිබෙන තැනින් බවත්, ඒ නිසා ගස කැපීමට අවශ්‍ය බවත්ය.

   එයට විරුද්ධ පාර්ශ්වය කියන්නේ, මෙය හාස්කම් ඇති නුග ගහක් බවත්, මෙතන විශාල සුදු නාගයෙක් සිටින බවත්, (මා නම් කවදාවත් දැකලා නැත) මෙම ගසේ පඬුරු ගැටගසා මිනිසුන් බාරහාර වන බවත්ය. (පඬුරු වශයෙන්, රෙදි පටිවල ගැටගැසූ කාසි, ගසේ කරු මුල්වල තිබෙනු එවෙලේ මම දැක්කෙමි)

   'හ්ම්.............ඔපරේෂන් ප්ලෑන් එකක් හදන්න වෙයි වගේ' මට සිතුනි.

   කථාව අස්සේ, කරුණු කීපයක් මගේ නිරීක්ෂණාක්ෂියට යොමුවිය. ගසේ සෑහෙන කොටසක්, ඉඩමේ මායිමට පිටතින්ද පිහිටා තිබේ. ගස අලංකාර එකකි. හොඳ සෙවණක් ද දෙයි. මේ බලන්න මා ඇන්ද දළ සටහන.

Screenshot (7)

   ගසේ කඳ කොපමණ මහතදැයි කිවහොත්, එය පාරේ කොටසක්ද ගිලගෙන ඇත. අතුරු පාරක් නිසා, වාහන ගමනාගමනයට බාධාවක් නැත. දැන් ඉතිං රැවුළයි කැඳයි දෙකම බේරගන්න ඕනේ. මහදැනමුත්තා පාට් එක කරන්න වීම ගැන ලැජ්ජාවේ බැරිය. අපේ පාර්ශ්වය කපන්නත් බැරිය. ඉඩම අයිතිකාරයාට ගෙම්බර් දාන්නත් බැරිය. පොඩි 'ටිරිකිස් පාරක්' දාලා බලන්න හිතුවෙමි. මම ඉඩම අයිතිකාරයාට මෙහෙම කිව්වෙමි.  

'මහත්තයා, මේ ඉඩම මගේ නම් කවදාවත් මම මේ ගහ කපන්නේ නැහැ. නිකම් හිතලා බලන්න, මේ ගහ පසුබිමේ ගෙයක් හැදුවම, ඒ ගෙට ලස්සණ පෙණුමක් එනවා, හොඳ හෙවණක් ලැබෙනවා, අනික මේ ඉඩමේ දියසීරාවටත් මේ ගහේ බලපෑමක් ඇති. මහත්තයට පේනවනේ, ගහේ කඳෙන් සෑහෙන කොටසක්, ඉඩමේ මායිමට පිටින් තියනවා කියලා. ඒ නිසා කෝකටත්, ගහ කපන්න කළින්, ප්‍රාදේශීය සභාවට ගිහින් කියන්න. මහත්තයාගේම හොඳටයි මම මෙහෙම කියන්නේ'

  අනේ ඒ මනුස්සයා ඒක පිළිගත් බවක් පෙන්නුවේ නෑ. එයා කිව්වා, 'මහත්තයා, මම මහත්තයලත් එක්ක කිසිම ප්‍රශ්නයක් ඇතිකරගන්න කැමති නැහැ. මමත් මේ ඉඩම වාස්තු බලන එක්කෙනෙකුට පෙන්නුවම තමයි කිව්වේ, මේ ගහ කපන්න කියලා, මම ගහ කපලා මුල ගලවනවා. පාරට හානිවුනොත්, මගේ වියදමෙන් ඒ ඔක්කොම හදනවා. මම පාර නොහැදුවොත්, මහත්තයලා පොලීසි යන්න' 

   ඇත්තටම ඔහුගේ අදහස සාධාරණ බව පෙනෙනවා. මොනම ආකාරයකින්වත් ඔහුට අභියෝග කරන්න අපට බැහැ.

   ඉතිං මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු. දැන් මේ මහානුභාව සම්පන්න නුග වෘක්‍ෂ රාජයා සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු වන, අර '.........' අයියාව පසෙකට කැඳවාගත් මම, ඔහුට කරුණු පැහැදිළි කළෙමි.

'දැන් ඔයාට පේනවනේ, මේ ඉඩම අයිති එක්කෙනාට සම්පූර්ණ නිදහස තියනවා ගහ කපන්න. අනික, පාරට හානිවුනොත්, එයා එයාගේ වියදමෙන් ඒකත් හදනවා කියනවා. ඉතිං අපි මේ වැඩේ අතාරිමු'

'අනේ බෑ බෑ මහත්තයා, මේ මුළු වත්තම පැරණි රාජධානියක්, සූනියම් දේවතාවුන් වහන්සේගේ බැල්ම මේ මුළු වත්තටම තියනවා, අපි අපේ ගෙවල්වල උදේ හවස පිරිත් දාලා තියෙන්නේ, කාලි මෑණියන්ගේ බැල්මත් තියනවා, ඔය සුදු නයා, කෙම්මුර දවස්වල මේ ගහ යට ඉන්නවා, මෙතන පඬුරු ගැටගහපු අයට කවදාවත් වැරදිලා නැහැ' 

(කළින් කියන්න අමතකවුණා. මේ පැත්තේ කපටි අම්මණ්ඩිලා දෙන්නෙක්, දේවාල දෙකක් අටවාගෙන, මෝඩ අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි ගරනවා)

ඔන්න මගේ ග්‍රහචාරයේ හොඳකමට මේ වෙලාවේ පොලීසිය ආවා. 'මෙතෙක් කථාව' අහපු පොලීසියේ ඕඅයිසී මට ඇහැක් ගැහුවා. මමත් ඇහෙන්ම උත්තර දුන්නා. ඕඅයිසී මෙහෙම කිව්වා, ඉඩම අයිතිකාරයට.

'පාරට හානියක් වුනොත් ඒක හදනවා කියලා කට වචනයෙන් කියලා බැහැ. ඒ නිසා ඔයා ප්‍රාදේශීය සභාවට ගිහින් කියලා, අනුමැතියක් ගන්න. අනික, ප්‍රශ්න ඇතිකරගන්න එපා. ඔයා අනාගතේදී මෙහෙ පදිංචියට එනවනේ. එතකොට ප්‍රදේශවාසීන් එක්ක සමගියෙන් ඉන්න ඕනෙනේ' කියලා.

කැඳවුම්කරු පාර්ශවයට කිව්වා,

'ඔයාලා මේ ගහට ගෞරව කරන එක ඇත්ත, නමුත් නීතියෙන් නම් ඉඩක් නැහැ, ගහ කපන එක වළක්වන්න' කියලා.

කැඳවුම්කාර පාර්ශ්වයේ නායකයා හොඳ සල්ලි කාරයෙක්. ඔහු වහාම නිර්භීත පියරක් ගත්තා. ඔහු කිව්වා,

'හොඳයි, මම ලෑස්තියි මේ ඉඩම සල්ලි වලට ගන්න' කියලා.

අනේ................ ඉඩම අයිතිකාරයා එකඟ වුණා. ප්‍රශ්නය විසඳුණා. ඉක්බිති සියල්ලෝ සතුටින් විසිරගියහ.

වැඩි දුරක් නැති නිසා, මම පයින්ම ගෙදර ආවා. ඒ එන මොහොතේ මට සිතුනේ මේවායි.

  • මේ සිද්ධියට අදාලව එතනට පැමිණි සියළුදෙනා සිංහල බෞද්ධ අයයි. නමුත් ඔවුන්ගෙන් බහුතරය, තිස්තුන් කෝටියක් දෙවිවරුන්ට අමතරව, විවිධ දෙවි වරුන් රාශියක්ද අදහන බව පෙනෙනවා.
  • මෙලෙස මේ රටේ තිබෙන සෑම නුග ගහකම අනුහස් තිබේද? අපේ ප්‍රදේශයේ ඇති මේ ගසේ අනුහස් ඇතිබව, ප්‍රත්‍යක්‍ෂ ඥානයෙන් අවබෝධ කර ඇත්තේ කවුද?
  • සුදු නයෙකු ඇත්නම්, ඌ ජාන විකෘතියක් නිසා සුදුපාට වූ බව, උසස් අධ්‍යාපනය ලබන මේ අයගේ දරුවන් වත්, තම දෙමව්පියන්ට පැහැදිළි කර නොදෙන්නේ ඇයි?
  • අර ඉඩම මිළදීගැනීමට ඉදිරිපත්වූ '..........' අයියාගේ පුතා, ඉංජිනේරු අංශයෙන්, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබයි. ඉතා පුදුමාකාර දෙයක් වන්නේ ඒ දරුවාද ඇතුළුව, ඒ පවුලම දැඩි ලෙස විවිධ දෙවිවරුන් ඇදහීම කිරීමයි.
  • බහුල ලෙස මෙවැනි ආගමික වල්මත්වීමක් දැකගන්නට තිබෙන්නේ, බෞද්ධයන් අතරයි. ඒ කුමන හේතුවක් නිසාද? 
  • ගස් ගල් වන්දනාව අපේ ජාන තුළම සැඟවී තිබෙන්නක්ද? 
  • තමන්ගේ ඇදහීම වෙනුවෙන් අර ඉඩම අයිති මනුස්සයාගේ මානව හිමිකම් කඩකිරීමට උත්සාහ කිරීම අසාධාරණ බව නොතේරෙන්නේ ඇයි?
  • අනාගතයේදී අර ඉඩමේ දේවාලයක් හැදෙනු ඇති. අර '...........' අයියාත් අනාගතයේදී දෙවි කෙනෙක් වී, ඒ නුග ගහට අධිගෘහිතවී, මේ ප්‍රදේශය ආරක්‍ෂා කරමින්, වැඩවදාරනු ඇති.
මොකද හිතෙන්නේ?


2015 මාර්තු මස 29 වැනි දින 0006 පැය

17 March 2015

අතින් කාලා හරක් බලන ලෝකයේ ප්‍රථම ෆීල්ඩ් මාර්ෂල්

මතක ඇති නේද අපි මෑතකදී කතාකළා, ලංකාවේ ප්‍රථම වරට පිහිටුවන්න යන ෆීල්ඩ් මාර්ෂල් තනතුර ගැන. ඔන්න දැන් ඒක පිහිටුවන්න තමා යන්නේ. හැබැයි අලුත් ෆීල්ඩ් මාර්ෂල් උන්නැහේට, අතින් කාලා හරක් බලන්න වෙලා. බලන්නකෝ ඔය පහලින් තියන ප්‍රවෘත්තිය.

Screenshot (2)

  පොඃ....................කාටද ආඩම්බර? ෆොන්සේකා උන්නැහෙටමනේ ආඩම්බර. මොකෑ ඔන්න ඉතිං අපි හමුදාවේ ඉන්දැද්දිං නං, සල්ලි වලට ගත්තේ, ඔය ලාග්ගෝ එහෙම තමා. නිළ ලාංඡන දුන්නේ හමුදාවෙන්. පැන්සොන් යනකොට, එව්වා ආපහු බාරදෙන්න ගියාම කිව්වා, 'අනේ එව්වා ඔහෙම තියාගන්න සිහිවටන හැටියට' කියලා. නමුත් දැන් මුන්නැහෙට පුළුවන් බය නැතුව කට ඇරලා කියන්ඩ, 'අඩ්ඩෝව්........ මෙව්වා කවුරුවත් දුන්න එව්වා නෙවෙයි, මමම හදවලා ගහගත්ත එව්වා හරිය? එකෙක් එන්නෑ අත තියන්න එහෙම හරිය? අත තිබ්බොත් උගේ ....................................තමයි නවතින්නේ හරිය? කියලා.

   අනික් වැඩේ නිළ ලාංඡන රත්තරනින් නිම කොරන්න ඕනළු. හුට්ට බටා. ඔන්න ෆොන්සේකා ලොක්කා කරගත්ත ගොන්කම දැන් තමයි තේරෙන්නේ. අර අහිංසක මහින්ද මහත්තයාට මේ පාර වැඩ කරානම්, අර LTTE රත්තරං වලින් හන්ගගත්ත  අල්ලගත්ත එව්වයින් කිලෝ දහයක් උනත් දෙනවනෙ. නිළ ලාංඡන විතරක් නෙවෙයි, අනික් යුනිපොං එව්වා, කඩුකස්තාන, බූස් සපත්තු, තොප්පි තෝට්ටං, අරවා මෙව්වා , ඕන්නං ලාග්ගෙක් වුනත්, සත්තලනෙන්ම හදා ගනිං මගේ සත්තලනේ.............. කියලා.

   දැන් ඉතිං කාලා වරෙන්කො. මොකෑ ආයෙ සිරා මාමා ළඟ රත්තරං තියා, ඇට බෝලයක්වත් තියන එකක්යැ.

   නාකද මේ වියදම දරන්න බැයිද කියලා.......... දුමී, ජොනී, සජී, වගේ කෙනෙක්ගෙන් අහලා බැලුවොත්. ඒ කියන්නේ අනුග්ගරාහකත්වය දීලා ඇඩ් එකක් වුනත් ෆොන්සේකා උන්නැහේගේ නිළ ඇඳුමේ ගහන්න පුළුවන්නේ. ගොයබාතා ලඟත් සමහරවිට තවම ඇති පෙට්ටගමේ ඉතුරු වෙච්චා. හ්ම්...................... 


2015 මාර්තු මස 17 වැනි දින 1331 පැය

28 December 2014

හෝ........කොමළ දයාසිරී....!


75111024734-dayasiri
   අපේ දයාසිරි ගොයියා හදිස්සියේම ලියුං කරදහියක් එවා තිබුණා, මේ ඊයේ පෙරේදා. මේ ලියුම පළාතේ ඉන්න ඔක්කොම විශ්‍රාමික රණවිරුවන්ට ලියපු එකක් බවයි පෙනෙන්නේ.


  හම්මේ................දයාසිරි ගොයියට මාර වියදමක් යන්න ඇති, මුළු පළාතටම මේ ලියුං කරදහිය යවන්න. මොකෑ ආයෙ පළාත් සබාවේ සල්ලි වලින් නෙවෙයිනේ තැපැල් ගාස්තු ගෙවන්නේ. තනිකරම තමන්ගේ පොකැට්ටුවෙන් නේ. 

   අධිනීතීඥ නිසා නඩු බලවනවා හම්බවෙනවා ඇති ඕසෙට. ඒ සල්ලි වලින් වෙන්ඩැ මේ තැපැල් ගාස්තු ගෙවන්නේ. නැත්තං පළාත් සබාවේ සල්ලි මැතිවරණ ප්‍රචාරේට වියදං කොරා කියලා, අර ලස්සන දත් සැට් එකකින් යුක්තව නිතර හිනාවෙන, අපේ මැතිවරණ කොමසාරිස්තුමා ඇවිත්, දයාසිරි ගොයියව කුදලාගෙන යනවා සිකුරුයි. එයත් එක්ක සෙල්ලං නෑ. දයාසිරි දන්න, අර මැයි දින පෙළපාලියේදී පෙන්නපු, බල්ටි නැටුම්, රිලා නැටුම්, වලින් එදාට ගැලවෙන්න බෑ. මෙන්න බලාගන්නකෝ ලියුං කරදහිය.

AAA

   මේක කියවපු ගමන් මට එකපාරටම මතක්වුණේ පරණ සින්දුවක්. අපි ලාබාල දරුවන් කාලේ චිත්‍රපටියක ගීතයක්. චිත්‍රපටිය 'රම්‍යලතා'. තිරගත වෙලා තියෙන්නේ 1956 දී. පොඩ්ඩක් අහලා බලන්නකො මේ ගීතය. ටිකක් අහලා සින්දුව මතක් කරගන්නකො.




ඔන්න ඉතිං මමත් පදමාලාවක් ලිව්වා මේ තනුවටම. කියවලා බලන්නකො.

   හෝ......දයාසිරී - හෝ.........කොමළ දයාසිරී 
   කමකට නැතිවෙවී - කුරුණෑගලට වී - පිස්සෙකු වාගෙයි
   හෝ..........බොළඳ දයාසිරී
   අරෙහෙට පැන්නේ - මෙහාට පැන්නේ// - කරන වැඩක්    ඇත්තෙම      නැත්තේ - යෝදයෝ
   තවමත් සිහින ලෝකයේ අනේ
   බල්ටි නැටුම් රිලා නැටුම් දැම්මෙ හෝ ගගා //
   රටටම ණයක් වී - වයඹට දුකක් වී - විහිලු නම් එපා
   හෝ........කොමළ දයාසිරී

15 October 2014

ලයිසන් ඉන්ෂුවරන්ස් නැතුවම ආශ්චර්යයට යමු

1
   අපේ රට දැන් ආශ්චර්යයට ලංවෙලා නේද ඉන්නේ? මමනම් හිතන්නේ, නෙළුම් කුළුණ හදලා ඉවර වුන ගමන්, අපිට පුළුවන් ඒක උඩට නැගලා, අපේ රටේ ආශ්චර්යය බලලා, බිමට පනින්න. එකම පුරස්නේ වෙන්නේ, මාමා ළඟදි ගණන් වැඩි කරපු එව්වා වලින් තමයි, දෙකක් දාගෙන යන්න වෙන්නේ. ඒ දුකම මදෑ කුළුණෙන් බිමට පනින්න.

   අපි දැන් ආශ්චර්යය කරා යන ගමන වේගවත් කරලා තියෙන්නේ පුදුමාකාර විදිහට. හැබැයි මේ ගමන යන්නේ ලයිසන් සහ ඉන්ෂුවරන්ස් නැතුව වීම නම් එක අතකට භයානකයි. තවත් අතකින් පුදුමාකාරයි. තවත් පැත්තකින් බලනකොට විකාරයි.

   ඔබ දැකලා ඇති මේ දිනවල රජයේ සේවකයන්ට ඉතා අඩු මිලට බෝටර් බයිසිකල් සහ ස්කූටර් ලබාදෙනවා. රු 210000/- ක් පමණ වටිනා මෝටර් බයිසිකලයක් රජයේ සේවයේ ක්‍ෂේත්‍ර රාජකාරිවල සිටින මහත්වරුන්ට දෙන්නේ රු 50000/- කට. ඒ සඳහා ණයකුත් රජයෙන්ම දෙනවා. ඒ ආකාරයටම නෝනලාට දෙනවා රු 180000/- පමණ වටිනා ස්කූටරයක් රු 45000/- කට. ඇත්තටම අගය කලයුතු හොඳ දෙයක්. කීයෙන් කීදෙනාටද ෆිනෑන්ස් කරලා හෝ බයිසිකලයක් ගන්න පුළුවන්.

2
   
නමුත් පුරස්නේ මෙන්න මේකයි. මෙව්වා පාරේ දුවන්නේ අමුතුම කෙරමෙකට. ඒ කියන්නේ මෙව්වට පාරේ දුවන්න ලැයිසොං කඩදාසි හෝ ඉන්සුවර් කඩදාසි නැහැ. මාස තුනකට පස්සෙලු එව්වා ලැබෙන්නේ. ඉතිං හත්ඉලව්වේ ඒ අල්ලපනල්ලේ මොකුත් ඇස්සිඩන්ට් එකක් හැප්පුනොත් කොයි වෙසමුනියද වග කියන්නේ? 

   නෑ නෑ, ඔන්න ඔතනදි තමයි, 'ඈස් චර්යාව' එළියට එන්නේ. මෙන්න මෙහෙමයි කෙරමේ. මාස තුනක් යනතුරු දිස්තිරික්කුවෙන් පිට යාම තහනං. පාරේ යනකොට, පොලෝසියේ මහත්තුරු විසිල් ගහලා, අතදාලා, පාරට පැනලා, නවත්තලා අල්ලගත්තොත් බෙල්ල මුලිම්ම, මොකෑ වෙන්නේ. හෙහ් හෙහ්...... එව්වා කොහෙද, එව්වට තියනවා මේ බයිසිකල් වල, 'ඈස් චර්යා ඉස්ටිකර්' කියලා ඉස්ටිකෙරයක් ගහලා. මේ තියෙන්නේ.

3
   කොහොමද මාමගේ මොළේ? ඇඟ පුරාම නේ?  ඔය ඉස්ටිකෙරේ ඉස්සරහ පැත්තේ වගේම පස්ස පැත්තෙත් ගහලා තියනවා. බයිසිකලේ යකෝ බයිසිකලේ, ආයේ ඔව්වා පදින නෝනලාගේ පස්ස පැත්තේ ඉස්ටිකර් ගහන්න පුලුවනෑ. පොලොසියෙන් අල්ලපු ගමං කොරන්න තියෙන්නේ මෙච්චරයි. මෙන්න මෙහෙම කියන එකයි. මේ........... රාලහාමී..............ඔය පිත්තල බොත්තං ටිකයි කාකි කෝට් බෑයයි ගලවගන්න ඕනෙද? දැනගන්නවා මම මේ යන්නේ ඈස් චර්යාවට. මෙව්වට ලැයිසොං කඩදාසි, ඉන්සුවර් කඩදාසි, නැතුවට අපේ මාමගේ ඉස්ටිකෙරේ තියනවා හරිය? නිකං බොරු පාට් දාලා අමාරුවේ වැටෙන්න එපා. මේක මේ රටේ නීතිය බල්ලට දැමීමක් කියලා හිතෙනවානං ඔය පාරේ ඉන්න බල්ලෙකුට බැටැං පොල්ලෙන් ගහනවා හිතේ කේන්තියයි, අම්මපා නීතිය රකින අපිට වෙච්චි දේ කියලා දැනෙන ලැජ්ජාවයි යනතුරු. හරිද.................ඕං අපි ගියා.

   ඔන්න ඕකයි විසඳුම. මෙව්වා සෑහෙන ගණනක් දැනටම ඇස්සිඩන්ට් හප්පගෙන. පොලෝසිය කරන්නේ ශේප් න්‍යාය දැමීම පමණයි. නෝනලාට හම්බවෙච්චි බයිසිකල් මහත්තයා හැන්දෑවට දෙකක් දාලා පැදලා, (ඇයි යකෝ නෝනගේ බයිසිකෙලේ මහත්තයා නැතුව අල්ලපු ගෙදර එකා පදින්නයැ) ඇස්සිඩන්ට් වෙලා පොලොසියට ආවමනම් ටිකක් ලෙඩේ අදිනවලු, නෝනා මොකටද මහත්තයට දෙන්න ගියේ කියලා. (එපා එපා එහෙම හිතෙන එව්වා මෙතන කියන්න එපා) 

   කුරුණෑගල දිස්තිරික්කුවේ එක ගෙදරක, බයිසිකල් දහයක් තියනවා. අම්මා, තාත්තා, දුව, පුතා, බෑණා, ලේලි, යන අයට හම්බවෙච්චා. ඒ ගෙදර කලින් බයිසිකල් හතරක් තිබුණා. දැන් නිකං බයිසිකල් 'පෙදර්සෙනාගාරයක්' වගේ ඕං. අම්මපා අපිත් ඉස්ටිකර් එකක් හදාගම්මුකෝ 'කිරිජ්ජපල්ල උගසට තිබ්බත් අපි මාමට' කියලා. එතකොට ඒ ඉස්ටිකරේ ගහගෙන ලැයිසොං කඩදාසි හෝ ඉන්සුවර් කඩදාසි නැතුව අපිටත් පදින්න බැරියැ අම්බානක. (බයිසිකල් බයිසිකල්) එතකොටනේ ඈස් චරියාවට යාමේ ආඩම්බරේ දැනෙන්නේ මාමට.
4
   තරහ අවසර. 'කරන්න දෙයක් නෑ මම ප්ලෑන් කරලා වැඩේ දෙනවා' ලිපියේ දෙවැනි කොටස, හෙට අනිද්දම දෙන්නම්.


my-signature-for-blog[1]   2014 ඔක්තෝබර් මස 15 වැනි දින 0914 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }