හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

15 December 2015

සිව්මංසල - At the cross roads



















       හ්ම්..............සිව්මංසලකට ආවම මොකද කරන්නේ................?

   මොනව කරන්නද, පාර දන්නවා නම් නිවැරදි පාර තෝරාගෙන යන එකයි තියෙන්නේ.

   හොඳයි නොදන්නවානම්.........?

   ඒත් ඉතින් කරන්න දේවල් කොච්චර තියනවද. කාගෙන් හරි පාර අහගන්න පුළුවන්, ඒ හන්දියේ තියන නාමපුවරු කියවලා බලන්න පුළුවන්, වාහන වල බෝඩ් කියවලා අදහසක් ගන්න පුළුවන්.

   අහන්න කෙනෙක් නැත්නම්, පාලු හන්දියක් නම්, වාහන යන්නේ නැත්නම්, මොකද කරන්නේ...........?

   එහෙනම් තමන්ගේ බුද්ධිය තමා පිහිටට තියෙන්නේ.

   ඔව්, මමත් හිතන්නේ එහෙම තමා. මමත් දැන් එක්තරා සිව්මංසලකට ඇවිල්ලා ඉන්නේ. කෙළින්ම ඉස්සරහට යනවද, වමට හැරිලා යනවද, දකුණට හැරිලා යනවද, එහෙමත් නැත්නම් ආපහු හැරිලා යනවද කියන එක, තීරණය කරන්න වෙලා තියෙන්නේ.

   කොයි මනුස්සයාටත් ඔහොම කාලයක් එනවා. නමුත් ඉතිං මිනිහෙකුට මොළයක් කියලා එකක් තියෙන්නේ, ඔන්න ඔයවගේ වෙලාවක පාවිච්චි කරන්න තමා.

    ඒක ඇත්ත. දැන් ඔන්න මටත් ඒ වගේ අවස්ථාවක් ඇවිල්ලා තියනවා.

   මොකක්ද ඉතිං ඔය අවස්ථාව?

   හෙහ් හෙහ්..........., මේ.........කිව්වම මොකද, මම මේ බ්ලොග් ලිවිල්ල පටන් අරං, අදට අවුරුදු හතරක් වෙනවා. ඉතිං මං මේක දකින්නේ, මම සිව්මංසලකට ආවා වගේ.

   ඒ කොහොමද?

   ඒ කියන්නේ මට යන්න පාරවල් හතරක් තියනවා.

   ආයේ මොනවද පාරවල් හතරක්. යනවනේ කෙලින්ම ඉස්සරහට.

   නෑ ඉතිං එහෙමමත් නෙවෙයි. මේ වගේ අවස්ථාවක ටිකක් හිතන්න ඕනේ නේ.

   හොඳයි ඉතින් මොනවද දැන් හිතන්නේ.

   මෙන්න මෙහෙමයි මට හිතෙන්නේ. එක්කෝ මම දැන් ලියන විදිහටම හමුදා තොරතුරු සහ, හමුදාවේ නොවන මාතෘකාත් ලියමින්, දිගටම ඉස්සරහට යන්න ඕනේ. එහෙම නැත්නම්, මේ හතරමං හන්දියෙන් දකුණට හැරිලා, හමුදා තොරතුරු විතරක් ලියමින් යන්න ඕනේ. එහෙමත් නැත්නම්, හමුදා තොරතුරු අතෑරලා, සාමාන්‍ය තොරතුරු ගැන විතරක් ලියන්න, මේ සිව්මංසලෙන් වමට හැරිලා යන්න ඕනේ. ඒ ගමන් තුනම නොයනවානම්, මම ආපහු හැරෙන්න ඕනේ. ඒ කියන්නේ බ්ලොග් ලිවීම නවත්තන්න ඕනේ. ඔන්න ඕකටයි සිව්මංසල කිව්වේ.

   හොඳයි, ඒ උපකල්පිත සංවාදය පැත්තක තියලා, කෙළින්ම මගේ හැඟීම් කියාගෙන යන්නම්. මීට කළින් මගේ අඩවියේ වර්ෂ පූර්ණ ලිපිවලත්, මා කියා තිබනවා, බොහොම අහම්බෙන් තමයි මා බ්ලොග් ලිවීමට පෙළඹුනේ කියා. අදටත් මා බොහෝවිට සිතනවා, ඇත්තටම මා මේ වැඩේට පෙළඹුනේ කොහොමද කියා. පසුගිය වසර හතර තුළ, මා ලැබූ අත්දැකීම් සියල්ල විග්‍රහ කරන්නට, උත්සාහ කරන්නේ නැහැ. නමුත් තෝරාගත් වැදගත් කරුණු කීපයක් සඳහන් කරනවා.

  • දැනට, මා මගේ බ්ලොග් අඩවි දෙක සම්බන්ධව මෙන්ම, වෙනත් බොහෝ ජනප්‍රිය සිංහල බ්ලොග් අඩවි ඇසුරෙන් ද, අත්විඳ ඇති ආකාරයට, බ්ලොග් අඩවියක ජනප්‍රියත්වය බොහෝදුරට පවතින්නේ, අවුරුදු 5 ක් පමණ කාලයක්. ඉන්පසු ඒ බ්ලොග් අඩවියේ නවමු බව අඩුවී, යම්කිසි සාමාන්‍යකරණයකට පත්වෙනවා.

  • බ්ලොග් අඩවි ජනප්‍රියත්වයෙන් අඩුවීමට බලපාන ප්‍රධාන සාධක වන්නේ, කුමක් හෝ ලියා ඉදිරිපත්කිරීම නිසායි. බ්ලොග් කියවන බොහෝදෙනා, පළමුව බලාපොරොත්තු වන්නේ, විනෝදයයි. දෙවනුවයි දැනුම කෙරෙහි අවධානයක් යොමුවන්නේ. විනෝදය සැපයීම පහසුයි කියා සිතුවාට, ඇත්තටම දැනුම සැපයීමට වඩා 'නියම විනෝදය' සැපයීම අමාරුයි. 'සම්ඵප්‍රලාප යනු විනෝදය නොවෙයි' කියා, සමහර බ්ලොග් රචකයන් තේරුම් අරගෙන නැතුවා වගේ. මා දන්නා සම්ඵප්‍රලාප කථා ප්‍රමාණය, එක් දිනක්, මා පොතක ලියා බැලුවා, මාතෘකා වශයෙන්. දෙසිය එකොළහක් තිබුනා. නමුත් එයින් බහුතරය, මගේ තක්සේරුවට අනුව, සම්ඵප්‍රලාප ගණයට වැටෙන නිසා, බ්ලොග් අඩවියක ලියන්නට වටින්නේ නැහැ. 

  • හැකිතරම් වැඩි ලිපිගණනක්, ඉතා කෙටිකලකින් ලිවීම, ඉතා පරෙස්සමෙන් කලයුතු දෙයක්. එහිදී සිදුවියහැකි බරපතලම හානිය, එම ලිපිවල ගුණාත්මක භාවය අඩුවීමයි. ප්‍රතිඵලය, අඩවියේ ජනප්‍රියත්වය අඩුවීමයි. 

  • සමහර බ්ලොග් අඩවි වලින්, ඉතා කණගාටුදායක ලෙස සහ අත්තනෝමතික මුග්ධ චින්තනය මත, සිංහල භාෂාවට දැඩිලෙස හානි පැමිණෙනවා. නණළල භේදය ගැන අප එතරම් තැකිය යුතු නැහැ. ගොනා තන කයි කියන වාක්‍යයේ, තන යන වචනයෙහි න යන්න, අනිවාර්යයෙන් මූර්ධජ වියයුතුය යන්න, අද මුග්ධ අදහසක්. ගොණුන් පියයුරු කන්නේ නැති බව, ඕනෑම ගොනෙක් දන්නවා. වාක්‍යයේ යෙදුමේ අරමුණ ගැන සිතුවාම, ගොනා කන්නේ කුමන තන ද යන්න, පැහැදිළි වෙනවා. නමුත් හැකි සෑම තැනම, නිවැරදි අක්ෂරය යෙදීමට උත්සාහ ගැනීම වැදගත්. නමුත් සඤ්ඤක අකුරු එසේ අපේ හිතුමතයට වෙනස් කරන්න බැහැ. සමහරු නුඹ යන්නට නුබ යනුවෙන්ද, හොඳ යන්නට හොද යනුවෙන්ද, සඳ යන්නට සද යනුවෙන්ද, යොදනවා. නමුත් ඔවුන් නොසළකා හරින්නේ, බරපතල වැරැද්දක්. නුබ යනු අහසයි, සද යනු ශබ්දයයි, විශේෂයෙන් කවි ලිවීමේදී, මෙලෙස විකෘති අර්ථ මතුවීම් සිදුවන බව, බොහෝදෙනා සිතන්නේ නැහැ. ඒ වගේමයි මහාප්‍රාණ අකුරු. සමාජ අසාධාරනකම්, මානව හිමිකම් කඩවීම් වෙනුවෙන් දැනට ලියවෙන බ්ලොග් අඩවි දෙකක, ඉතා බරපතළ ලෙස මහාප්‍රාණ අකුරු 'ඝාතනය' කරමින් ලියනවා. ඝාතනය කියා ලියන්න සිදුවූවිට, ඔවුන් ලියන්නේ, 'ගාතනය' (ගා තනය කියා වැරදීමකින් ලියවුණොත්, තනය ගාපන් කියන තේරුම) කියායි. ඛ, ඝ, භ, ඵ, ථ, ධ, ඪ, ඨ, ඡ, වැනි අකුරු, යතුරු ලියනය කරන්න නොදන්නවාදැයි, සැකයක් ඇතිවන අවස්ථා ද තිබෙනවා. 'මම ඒ විදිහට ටයිප් කරන්න දන්නේ නැහැ' යන්න, පිළිගත නොහැකි කරුණක්. ඇයි නිවැරදිව ටයිප් කරන්න ඉගෙන ගන්නේ නැත්තේ? ඇයි එසේ ඉගෙන ගන්නාතුරු, වැරදි දේ නොලියා ඉන්නේ නැත්තේ? 

  • රචකයාගේ පෞද්ගලිකත්වය හුවා දක්වන ලිපි කියවන්නටත්, සෑහෙන තරම් පාඨකයන් සංඛ්‍යාවක් කැමති නැහැ. 

  • ලිපිවලට ප්‍රතිචාර දැක්වීමේදී, පුදුමාකාර දේවල් සිදුවෙනවා. සමහර රචකයන්, 'අද මට අපාන වාතයක් ගියා' කියා ලියා තිබුණත්, 'හානේ......ඒක තමා, මගේ කොම්පියුටරයේ ස්පීකර් වලින් සුවඳ ආවා' කියා ආවඩන පිරිසක් ඉන්නවා. නමුත්, මෙවැනි සම්ඵප්‍රලාප නොලියන්නැයි, යම් පාඨකයකු ප්‍රතිචාර දැක්වුවහොත්, අර මහානුභාවසම්පන්න රචකයාගේ අනුගාමික වර්ගයා, අවි අමෝරාගන්නවා, 'නුඹ අපගේ දාර්ශණිකයානන් වහන්සේට අපහාස කළෙහිය, අපි නුඹ තලන්නෙමුය, මරන්නනෙමුය, අනේක විධ විචිත්‍ර වධ බන්ධනයට ලක්කරන්නෙමුය, තා අපගේ උත්තමයාණන් වහන්සේට වඩා දන්නේවී ද' කියා. මෙහිදී පැහැදිළිවම කිවයුත්තේ, අනුගාමිකයන් සහිත දාර්ශනිකයකු වීමට, මා අපේක්ෂා නොකරන බවත්, එවැනි අපාන වාත කථා, මා කිසිදින නොලියන බවත් ය. (මතකනේ පොඩි එකෙක් කිව්වා, 'තද්දුලුවෝ එලිවැල්ලෙන් ඉකේ ඉකේ' කියලා)  

  • බ්ලොග් රචකයන් සැළකියයුතු පිරිසකගේ, සාධනීය ලක්‍ෂණයක් ලෙස මා දකින්නේ, කිසිදිනක, තම අඩවියේ ලිපියකට ප්‍රතිචාර නොදක්වන රචකයන්ගේ බ්ලොග් අඩවි, තම බ්ලොග් ලැයිස්තුවට ඇතුලත්කර තිබීම සහ, ඔවුන්ගේ අඩවියට ගොස් ප්‍රතිචාර දැක්වීමයි. මමද එම යහගුණය ඉගෙන ගත්තේ, දීර්ඝකාලීනව බ්ලොග් කියවීම තුළිනි. අද ද ඒ ප්‍රතිපත්තිය පවත්වාගෙන යමි. නමුත් මට ගෝචර නොවන දෑ බොහෝ අඩවිවල පළවන ලිපිවල තිබේ. නිහඬව ආපසු හැරී ඒම මිස, අදහස් දැක්වීමට හෝ විවේචනයට නොයමි.

  • හැකිතරම් සරල බසින් බ්ලොග් ලිවියයුතුය යන්න අවිවාදයෙන් යුක්තව මම පිළිගනිමි. නමුත්, එහි සීමාව කොතනද කියා අවබෝධ කරගැනීම වැදගත් ය. මේ අඩවි කියවන පාසල් සිසුන් ද සිටින බව, අමතක නොකළ යුතු ය. මාධ්‍ය වල දැක්වෙන දේ සියල්ල, පරම සත්‍යයයැයි සිතා, විමසා බැලීමකින් තොරව ආදර්ශයට ගන්නා සෑහෙන පිරිසක්, පාසල් සිසුන් අතර සිටිති. අප ලියන දෑ, ඔවුන්ගේ මනස වනසන්නේ නම්, අපි කවරහු ද ?

  • ලිවීමට තරම් දෙයක් සොයාගැනීමට අපහසුය යන්න, බ්ලොග් රචකයන් නිතර නගන මැසිවිල්ලක් ලෙස පෙනීයනවා. මෙන්න විසඳුම. ලියන්න පුළුවන් වෙන්නේ, කියවීම සහ ඇහුම්කන්දීම වැඩිදියුණු කරගත් තරමටයි. ඒ දෙක දියුණු නැත්නම්, ලියන්න යමක් සිතේ තැන්පත් වන්නේ නැහැ. බොහෝවිට මා උත්සාහ කරන්නේ, සතියකට එක ලිපියක් ලියන්නයි. මා සිතනවා, ලිපි දෙකක් සතියකට ලිවීමත්, අනවශ්‍යයි කියා. පාඨකයාට නිවී සැනසිල්ලේ කියවන්නට දෙයක් දීමයි සුදුසු. සමහර පාඨකයන්, මගේ ලිපි කීප විටක් කියවූ බවට ප්‍රතිචාර දැක්වූවිට, මා සිතන්නේ, 'එසේනම්, මා ලිපි පළකිරීමේ වේගය වැඩිකළයුතු නැහැ' යනුවෙන්.

  • නිර්නාමිකයෝ:- දැනට සෑහෙන කාලයක සිට, මා නිර්නාමිකයන් ගැන තොරතුරු ගවේෂණයක් කරනවා. මේ සඳහා මා යොදාගත්තේ, හමුදා බුද්ධි තොරතුරු සෙවීම සඳහා, යොදාගන්නා ක්‍රමවේදය ඇසුරෙන් සකස් කරගත් ක්‍රමවේදයක්. තවමත් මෙය අවසන් කර නැති නිසා, සීමිත විස්තරයක් කරන්නම්. අපි බොහෝ දෙනෙක් දන්නවා, නිර්නාමිකයන් ලෙස එන්නේ, අඟහරු ලෝකෙන් ආව අය නෙවෙයි, ඉන් සෑහෙන පිරිසක්, බ්ලොග් රචකයන්ම බව. මා, ඔවුන්ගේ චර්යා රටාව ගැනයි, ගැඹුරින් අධ්‍යයනයක් කරමින්, දත්ත ගබඩාවක් සකසමින් ඉන්නේ. මගේ දත්ත සැසඳීමෙන් පසු, විශ්මයට පත්වන තොරතුරු උපකල්පනය කරගන්න පුළුවන් වුණා. සමහර 'යහළුවන්' තව දුරටත් යහළුවන් ලෙස තබාගැනීමට කැමති නිසාත්, (ඔවුන් කවුදැයි මා දන්නා බව ඇඟවෙන ප්‍රති පිළිතුරු මා දී ඇති නිසා, ඔවුන්ගේ එම අසම්මත චර්යාව පාලනය කරගනු ඇතැයි සිතනවා) මා මගේ අඩවි දෙකේ, නිර්නාමික අදහස් දැක්වීම වාරණය කළා. එපමණක් නෙවෙයි. කිසිදු විෂයයක් පිළිබඳව හරවත් සංවාදයක යෙදෙන්නට හැකියාවක්, දැනුමක් හෝ උගත්කමක් නැති, එදාවේල ක්‍රමයට ජීවත්වන කීපදෙනෙක්, තමන්ගේ පහත් ජන්ම ලක්‍ෂණ ප්‍රදර්ශනය කරමින්, ප්‍රස්තුතයට අදාළ නොවන කමෙන්ට් දැමීමත්, මේ වාරණයට තවත් හේතුවක් වුනා. මා ඒ ගැන ඉතා සතුටුවනවා. අද මෙහි අදහස් දක්වන්නේ, ඇත්තටම බ්ලොග් කියවීමේ හරය වටහාගත් අයයි. දැන් අර නිර්නාමිකයන් පිරිස, ඔවුන්ගේ ඒ පහත් ජන්ම ලක්‍ෂණ පෙන්වන්නේ, මා වෙනත් අඩවිවල දක්වන අදහස් වලට, ඔවුන්ගේ වසුරු හෙළීමෙන්. 

  • මගේ ලිපි කොපිකිරීම තවමත් සිදුවෙනවා. නිර්ලජ්ජි පුඟුලන් එසේ කරන්නේ, තමන් පුස්සන් බව, ලෝකයාට ප්‍රදර්ශනය කරමින් බව, බ්ලොග් කියවන බොහෝ දෙනා දන්නවා. ඔවුන්ගේ මනෝව්‍යාධීන් කෙරෙහි, අනුකම්පා කරනවා.

  • ඉදිරියේදී ලිවියයුතුයයි මා සිතා සිටින මාතෘකා රාශියක් තිබෙනවා. හමුදා තොරතුරු යනු, කිසිදා නොසිඳෙන උල්පතක් වැනියි. නමුත්, හමුදා තොරතුරු පමණක් නොලියා, සමබරව වෙනත් මාතෘකා ද ලියන්නට, මා අධිෂ්ඨාන කරගෙන ඉන්නවා. මේ සියල්ල කෙරෙන්නේ, එදා සිට අද දක්වා මා නන් අයුරින් දිරිමත් කරන, ඔබ සියලු දෙනාගේ ආශිර්වාදය නිසයි. එදා මා බ්ලොග් ලියන්නට පටන්ගත් අවධියේ සිටි, සමහර බ්ලොග් රචකයන් මෙන්ම, බ්ලොග් නොලියුවත්, නිරන්තරයෙන් අදහස් දැක්වූ අයගෙන් සමහරෙකුත්, අද බ්ලොග් ලෝකයෙන් වෙන්වී ගිහින්. එය ලෝකස්වභාවය බව නිහඬව මෙනෙහි කරනවා.

  • මේ වනවිට, මගේ වර්ඩ්ප්‍රෙස් අඩවියට, අමුත්තන් පැමිණීම ලක්ෂ තුන ඉක්මවා තිබෙනවා.


Screenshot (88)


  • 2013 දී ආරම්භ කළ, මගේ බ්ලොගර් අඩවියට, අමුත්තන් පැමිණීම, ලක්ෂ එකහමාර ඉක්මවා තිබෙනවා. 



Screenshot (89)


  •    මේ සියල්ල මා සළකන්නේ, ඔබ සියලු දෙනා මා වෙත දැක්වූ කරුණාවන්ත භාවය ලෙසයි. එමෙන්ම, මගේ ලිපි වලට, ඔබ යම් ඇල්මක් දක්වා ඇති බවද, කියවීමට වටින යමක් ඒ ලිපිතුළ ඇති බවද, පසක් කරගන්නවා. ඒ පිළිබඳව නිහතමානීව සතුටු වෙනවා.

  • ඔබ සැමගේ දිරිගැන්වීම් ලැබෙනතුරු, සුහද බව තිබෙන තුරු, මා සිත ගත සවිය රැඳෙනතුරු, ලියන්නෙමි ඔබ වෙනුවෙන්. නැවතත් ඔබ සැමට ස්තුතියි.
2015 දෙසැම්බර් මස 13 වැනි දින 2327 පැය 

13 December 2015

මෙන්න බොලේ ශපිරෝටත් ................මං එපාලු දැන්!

Hate is not the solution
මේ කෙටි ලිපිය ලියන්නේ දැඩි සිත්වේදනාවක් සහිතවයි. අරුණි ශපිරෝගෙන් බ්ලොග් අඩවිය කාලයක් තිස්සේ මා කියවන්නේ යම් දැනුමක් එයින් ලබාගන්නටයි. ඉතා ගැඹුරු මෙන්ම විවාදාත්මක කරුණු ඇතුළත් ලිපි අරුණි ශපිරෝ අතින් ලියවෙනවා. පසුගිය කාලයේදී එම අඩවියේ මා පළකළ සමහර අදහස් වලට, ඇය මට පිළිතුරු දී තිබුනේ සියුම් උපහාසයක්ද සහිතවයි. ඇය ලියන සමහර කරුණු, මට නොතේරෙන නිසා වන්නට ඇති එහෙම කරන්න ඇත්තේ. ඒ නිසා, පසුගිය කාලයේ මා එම අඩවියේ කමෙන්ට් දැමීමෙන් වැළකී සිටියා. ඊයේ පෙරේදා, ඇය ඩ්‍රොන් යානා ගැන ලිපියක් ලියා තිබුණා. මා ඊයේ ඒ පිළිබඳව එහි කමෙන්ට් එකක් දැමුවත්, එය පලවී තිබුනේ නැහැ. මට යම් සැකයක් ඇතිවුණා, තාක්‍ෂණික දෝෂයක්ද නැත්නම් හිතාමතා කපා දැමුවාද කියා. මේ නිසා අද මම යළිත් එම අදහස් දක්වා, කමෙන්ට් එකක් දැමුවා. ඉන්පසු එහි තිර රූපයක්ද ගත්තා. ඉතා කණගාටුදායක ලෙස, එයද කපා දමා තිබුණා.

   පහත දැක්වෙන රූප මත ක්ලික් කර, විශාලනය කර බැලිය හැකියි. 

Screenshot (85)


Screenshot (84)


Screenshot (86)

  • මෙයින් ඇය බලාපොරොත්තු වන්නේ කුමක්ද?
  • ඇයගේ ලිපියෙහි අඩංගු කරුණු සමග මගේ අදහස් නොගැලපෙන්නේ නම්, ඒ බව මගේ කමෙන්ට් එකට පිළිතුරු වශයෙන් නොකියන්නේ ඇයි? 
  • ඇයගේ මේ කමෙන්ට් ප්‍රතිපත්තිය කොතරම් දුරට සාධාරණද? 
  • ඇයට මා කිසිදු අවස්ථාවක අන්තර්ජාලය ඔස්සේ හෝ පෞද්ගලිකව හෝ අපහාස කර, පහර ගසා නැත්තෙමි. 
  • ඇය ලියන ලිපි වලින් 99% කට පමණ කිසිදු පාඨක අදහස් දැක්වීමක් නොලැබෙන බව මෑත කාලයේ මා විසින් නිරීක්ෂණය කර තිබෙනවා. එයට හේතුව වන්නේත් ඇය පාඨකයන් කෙරෙහි දක්වන මේ දරදඬු ප්‍රතිපත්තියද?
  • සදාචාරය, සමානාත්මතාව, සමාජ ආකල්ප සංවර්ධනය, වැනි විවිධ විෂයයන් අළලා ලිපි ලියන ඇයට, මේ ආකාරයෙන් කටයුතු කළහැකිනම්, ඇය ලෝකයාට පෙන්වන්නේ, බොරු වෙස් මුහුණක් නොවේද? 
   ඇය, අදදින මා ඇයගේ අඩවියේ පළකළ මගේ කමෙන්ට් එක, ඇයගේ අඩවියේ පළකොට, එයට පිළිතුරක් දෙනතුරු, ඇය විසින්, මේ ලිපිය පිළිබඳව දක්වන අදහස්, වාරණය කරනු ලැබේ.


2015 දෙසැම්බර් මස 13 වැනි දින 1139 පැය

07 December 2015

කවුද ආමි එකේ ඉන්න ගණන්කාරයෝ?

Soldier
හෙහ් හෙහ්.........., ආමි එකේ ඉන්නේ ඉතින් ගණන්කාරයෝ නේන්නං. එහෙම නැත්තං ඔය යුද්දේ දිනයියැ. ඔය පේන්නැද්ද පාරේ යනකොටත් බොහොම ගණන් විදිහට නේ යන්නේ. අර, පොලීසියේ ලොකු මහත්තයෙක්, එක වතාවක් මාධ්‍ය සාකච්ඡාවකට ඇවිත් කිව්වා, 'චණ්ඩි හැටියට ඉන්න පුළුවන් අපිට විතරයි. අපි තමා ලයිසන් චණ්ඩි' කියලා. එව්වගේ ඇත්ත නැත්ත මං දන්නේ නැහැ. හැබැයි ආමි එකේ කෝප්‍රල් සහ ඊට ඉහළ නිළයන්හි ඉන්න අය ඔක්කොම ගණන්කාරයෝ කියලා නම් දන්නවා.

   'ඒ කියන්නේ ඊට පහළින් ඉන්න සාමාන්‍ය සොල්දාදුවෝ නිකං බයගුල්ලෝ?'

   'නෑ නෑ, ඒගොල්ලොත් කෝප්‍රල්ලා වෙනකල් බය නැතුව ඉන්නවා ගණන්කාරයෙක් වෙන්න'

   'ගණන්කාරයෙක් වෙන්න බැරිවුණොත්?'

   'බැරිවුණොත් ඉතින් පැන්ෂන් යනතුරුම නිකම්ම නිකං සොල්දාදුවා තමා'

  'හුහ්, තමුසෙලා එහෙනං කොප්‍රල්ලා හදන්නේ මිනිස්සුන්ට ගණන් දාන්න ඈ?'

  'ඔන්න ඔන්න පීල්ල පැන්නා. මම කිව්වද මිනිස්සුන්ට ගණන් දාන්නයි මේගොල්ලන්ව හදන්නේ කියලා? හරි හරි, ඔහොම අහගෙන ඉන්නකෝ. මෙන්න මේකයි කතන්දරේ. මෙතන ගණන්කාරයෝ කිව්වේ, ගණිතය කරවන්නෝ කියන අදහසින් මිසක්, අර ඔයාලා අපි දන්නා ගණන්කාරයෝ හෙවත් චණ්ඩි කියන අදහසින් නෙවෙයි. හොඳයි, අපි අද ඉතා කෙටියෙන් කතාකරමු, යුද හමුදා ගිණුම්කරණය ගැන කරුණු ටිකක්.

  'මොනවා?.... යුද්ධ හමුදාවේ ගිණුම් වැඩත් තියනවද?'

  'ඇයි හිතුවද යුද්ධ හමුදාව පවත්වාගෙන යන්නේ, රාජ්‍ය කළමනාකරණ සේවයෙන් කියලා? යුද්ධ හමුදාවේ ජීවිත හානි සඳහා ලබාදෙන වන්දි ගෙවීම් වගේම, යුද්ධයේදී නැතිවන සියලුම හමුදා දේපළ පවා, ගිනුම්කරණයකට ලක්වෙනවා. මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. අපි කෙටියෙන් සරලව ඒ ගැන බලමු'

   හමුදා කඳවුරක තියන අවි ආයුධ, අනෙකුත් සියලුම උපකරණ, වාහන, ගොඩනැගිලි, ඇතුළු සියල්ලම පිළිබඳව, කාලීන වාර්තා, ඉහළ මූලස්ථාන වලට යවන්න ඕනේ. ඒ වගේම ඒවා පරීක්ෂා කිරීමට වාර්ෂික සමීක්ෂණ මණ්ඩල හමුදාව විසින්ම පත්කරනවා. මෙහිදී, අලුත්වැඩියා කොට භාවිත කළහැකි, පාවිච්චියෙන් ඉවත දැමිය යුතු, විනාශ කළයුතු, වෙන්දේසි කළයුතු, වශයෙන් බඩුබාහිරාදිය වර්ග කරනවා. අවි ආයුධ අලුත්වැඩියා කොට පාවිච්චියට ගත නොහැකිනම්, මධ්‍යම අවි ගබඩාවට යවනවා. ඒවා කාලීනව විනාශකර දමනු ලබනවා. ඒ එක පැත්තක්. නමුත් ගිණුම්කරණය ඊට වඩා ගැඹුරෙන් යනවා.

   සෑම හමුදා බලඇණියක් Battalion විසින් අනිවාර්යයෙන්ම පවත්වාගෙන යායුතු ගිණුම් තිබෙනවා. එයින් ප්‍රධානතම ගිණුම වන්නේ, රෙජිමේන්තු ආයතන සභාපති ගිණුමයි = රෙ.ආ.ස. President Regimental Institute Account = P.R.I. මේ ගිණුම නිසිපරිදි පවත්වාගෙන යාමේ වගකීම පැවරෙන්නේ, ඒකකයේ අණදෙන නිළධාරි වරයාටයි. ගිණුම් ලිපිකරුවන් කොපමණ හිටියත්, ගිණුමේ නිරවද්‍යතාව සහ හමුදා රෙගුලාසි වලට අනුව පවත්වාගෙන යාමේ වගකීමෙන් මිදෙන්නට, අණදෙන නිළධාරි වරයාට බැහැ.

   මේ ගිණුම් කටයුතු කරන ලිපිකරුවන් කවුද? ඔවුන් හමුදා සොල්දාදුවෝ. කොහොමද ඔවුන් ගිණුම්කරණය දන්නේ? සෙබළකු කෝප්‍රල් නිළයට උසස් වන්නට නම්, හමුදා ගිණුම්කරණ විෂයයෙන් සමත්විය යුතුයි. ඒ විෂය ඔවුන්ට කාලීනව උගන්වනවා. ආන්න ගණන්කාර කෝප්‍රල්ලා හැදෙන හැටි. ඒ ආකාරයටම කෝප්‍රල් සිට සැරයන් දක්වා උසස් කිරීමේදීත්, හමුදා ගිණුම්කරණ විෂයය සමත් වන්නට ඕනේ. දැන් පේනවා නේද 'ආමි කාරයා' කියන මිනිහා ඇතුළේ, විවිධ හැකියා රාශියක් තියන බව?

   එතකොට ඔක්කොම කෝප්‍රල්ලා, සාජන්ලා, සාජන් මේජර්ලා,  ගිණුම් වැඩ මිස්සක් යුද්දේ කරන්නේ නැද්ද? පිස්සුද? උසස් කිරීමේ විභාගයේදී ගිණුම්කරණය සමත් වුනාට, ඒ ඔක්කොමලා 'ගිණුම් වැඩකාරයෝ' නෙවෙයි. ගිණුම්කරණයේ දක්ෂකම් ඇති ටිකදෙනෙක් තමා, ඒ වැඩ සඳහා යොදවන්නේ. අනික් ඔක්කොමලා යුද්දෙට යනවා. සමහරු යුද්දේ කරන ගමන් ගිණුම් වඩාත් කරනවා. බෝ........රු. බොරු නෙවෙයි ඇත්ත. දවල් වරුවේ බලඇණි මූලස්ථාන කාර්යාලයේ ලිපිකරු රාජකාරියේ යෙදුන කෙනෙක්, රාත්‍රී කාලයේ ආරක්ෂක මුර රාජකාරියට වැටෙන්න පුළුවන්. බැහැ කියන්න බැහැ. ඒ තමයි හමුදාවේ හැටි. දවල් කාලයේ පරිපාලන කටයුතුවල යෙදුන නිළධාරියකුට, රාත්‍රී කාලයේ, භටපිරිසක් සමග, රැකසිට පහරදීමකට යන්න සිදුවන්න පුළුවන්. හමුදාව දුකයි සුදෝ.

   (ඔන්න ඕකයි මල්කාන්ති පුලුකුනාවේ තත්වේ කියන කතාව අහලා ඇති නේද? අහලා නෑ? කෙටියෙන් කියන්නම්. ගොඩක් කෑලි අඩුකරලා. නැගෙනහිර පළාතේ, පුළුකුනාව ප්‍රදේශයේ, ක්‍රියාන්විත රාජකාරියට යන්නට සිදුවුණ සොල්දාදුවෙක්, තම පෙම්වතිය වන මල්කාන්තිට, සෙනෙහෙකොලයක් ලියනවා. මේ සෙබලාට, පුළුකුනාව ප්‍රදේශය අල්ලන්නේ නැහැ. ඒ නිසා ඔහු අතින්, අර සෙනෙහෙකොලයේ වැඩිපුර ලියවෙන්නේ, පෙම් සිතුවිලි නෙවෙයි, පුලුකුනාවේ දුෂ්කරත්වය.

   හැමදාම උදේට සැමන් හොදියි පානුයි, ඔන්න ඕකයි මල්කාන්ති පුලුකුනාවේ තත්වේ, වතුර ලුණුරහයි, ඔන්න ඕකයි මල්කාන්ති පුලුකුනාවේ තත්වේ. නාන්න වතුර නැහැ, ඔන්න ඕකයි මල්කාන්ති පුලුකුනාවේ තත්වේ. එහෙම තමයි ලියලා තියෙන්නේ. මේ සොල්දාදුවා මුර රාජකාරියේ ඉන්න ගමන් තමයි, ලිපිය ලියමින් ඉඳලා තියෙන්නේ. මුර පරීක්ෂාවේ ආපු සාජන්, මේ වැඩේ දැක්කා. සෙබළාට තරවටු කොට උදුරගත්තා අර කොළේ. ඔන්න ඔය උදුරාගැනිල්ල නිසා, ඔන්න ඕකයි තත්වේ කතාව හමුදාව පුරාම පැතිරුණා) 

   යුද්ද කාලේ, ගිණුම් පොත්පත් සටන් භූමියට ගෙනිහින්, ඉඩ ලැබෙන පරිදි ගහක් යට තියාගෙන හෝ සකස්කරපු අවස්ථා මෙපමණයි කියන්න බැහැ. ඔය මොනවා කිව්වත්, ගිණුම් වැඩ හරියට තියෙන්නත් ඕනේ. යුද්දේ කරන්නත් ඕනේ. දෙපැත්තම සමබර වෙන්න ඕනේ. අණදෙන නිලධාරි වරුන් එක පැත්තකින් යුද්ධයට අණදෙන අතරේ, දුව පැන යන එන ගමන් ගිණුම් පරීක්ෂා කිරීමත් කළා. ඔබට හිතාගන්න පුලුවන්ද මේවා මෙහෙම වුණා කියලා. නමුත් මා කියන්නේ සම්පූර්ණ ඇත්ත. යුද්ධය කියලා ගිණුම් වැඩ නොකර ඉන්න කිසිම නිදහසක් නැහැ හමුදා රෙගුලාසි අනුව. 

   එතකොට කෝප්‍රල්ලා සාජන්ලා විතරනේ ගිණුම් වැඩ දන්නේ. නෑ නෑ. නිළධාරියකු, කැඩෙට් නිළධාරියකු වශයෙන් පුහුණුව ලබන කාලයේදීම, ගිණුම්කරණය උගන්වනවා. කාලීනව පත්කරන ගිණුම් පරීක්ෂණ මණ්ඩලයක, සභාපති හැටියට පත්කරන්නේ නිළධාරියෙක්. සෙසු සාමාජිකයන් හැටියට සාජන් මේජර්, සාජන්, වැනි නිළයන්හි අය පත්කරන්න පුළුවන්.

   ඉතින් ඔය රෙආස ගිණුමෙන් මොනවද කරන්නේ? ඇත්තටම රෙආස ගිණුම තරමක් සංකීර්ණයි. සෑම හමුදා කඳවුරකම පාහේ, මුදල් පරිහරණයට සම්බන්ධ වන විවිධ ආයතන තිබෙනවා. ඒ එක් එක් ආයතනය, උප ගිණුමක් සේ සළකා, ඒ සම්බන්ධ ප්‍රධාන ගිණුම ලෙස ක්‍රියාකරන්නේ, රෙආස ගිණුමයි. රෙආස ගිණුම බැංකුවක් මෙන් ක්‍රියා කරනවා. උප ගිණුම් වලට අයත් ආයතන වලට, රෙආස ගිණුමෙන් මුදල් ගන්නත්, තමන් උපයන ආදායම්, රෙආස ගිණුමේ තැන්පත් කරන්නත් පුළුවන්.

මොනවද ඔය උප ගිණුම්? ඔව් අපි කීපයක් පමණක් අරන් බලමු, මොනවද ඒවා කියලා.

සෙසුනිළ භෝජනාගාර ගිණුම (Men's Club):- සාමාන්‍ය සොල්දාදුවන්ට වෙන්කළ භෝජනාගාරය, සහ අවන්හල. (අවන්හල කිව්වට මත්පැන් නැහැ, ටොපියේ සිට විවිධ දේ, මිලදී ගන්න පුළුවන්. අත්පිට මුදලට පමණයි) මුදල් අයකර ලබාදෙන බිලියඩ් වැනි ක්‍රීඩා පහසුකම් තිබෙන්නට පුළුවන්. ඉතින් මේවා මුදල් පරිහරණය කරන කාර්යයන් නිසා ගිණුම් කළයුතුයි.

කොනොනි භෝජනාගාරය (Corporals Club):-  කෝප්‍රල් සහ ලාන්ස් කෝප්‍රල් නිළයේ අයවලුන් සඳහා පහසුකම් සැපයීම. ඉහත පරිදි වෙනම උප ගිණුමක් ලෙස සළකනවා.

බලලත් නිලධාරීන්ගේ සහ සැරයන් වරුන්ගේ නිවස්නය Warrant Officers and Sergeants Mess:- ඉහත වර්ග දෙකට වඩා වරප්‍රසාද ලැබෙනවා. වෙනම මුළුතැන්ගේ පහසුකම් ලබාගත හැකියි. බීමහලක් පවත්වාගෙන යාහැකියි. අත්පිට මුදලට පමණයි.

බැරැක්ක හානි අරමුදල:- නොසැළකිල්ලෙන් බැරැක්ක වලට සහ එහි තුළ ඇති උපකරණ වලට සිදුවන හානි සඳහා අයකරගැනීම්.
ඉඳුල් ආහාර ගිණුම:- ඉඳුල් ආහාර යනු, ඉවත දමන කෑම, ඌරු කොටු, පොහොර, වැනි දේකට විකුණා ලබන ආදායම.  ටොන් ගණනක් එක දිනකට එකතුවෙන්න බැහැ. කෑම ඉවත දැමීම වරදක්. පස්සේ කතාකරමු වෙනම ලිපියකින්.
  
අවි පුහුණු අරමුදල:- පුහුණුවීම් සඳහා වෙඩි තැබීම් කරන්නේ කෘත්‍රිමව සාදන පස් කන්දකට. වෙඩි උණ්ඩ ඉලක්කපතේ වැදී හෝ නොවැදී ගොස්, අන්තිමට වදින්නේ මේ පස් කන්දට. කාලීනව එය හාරා, එම උණ්ඩ ලබාගෙන, ඒවා ඊයම් කැබලි ලෙස විකුණන්නට පුළුවන්.

හොඳයි, මේ රෙආස ගිණුම හැර වෙනත් ගිණුම් තියනවද. ඔව්. වෙනත් ස්වාධීන ගිණුම් තියනවා. එකක් තමයි,

නිළධාරි නිවස්න ගිණුම Officers Mess Account:- නිළධාරි නිවස්නයක ස්වභාවය ගැනත්, පස්සේ වෙනම ලිපියක් ලියන්නම්.  නිලධාරි නිවස්න ගිණුම ස්වාධීන ගිණුමක්. එය රෙආසට සම්බන්ධයක් නැහැ. හමුදාවේ නිළධාරීන්ට භෝජනාගාර පහසුකම් ලැබෙන්නේ, අනෙකුත් සියලුම නිළයන්ට ලැබෙනවාට වඩා වෙනස් ක්‍රමයකට. ඒ නිසා වෙනම ගිණුමක් පවත්වාගෙන යනවා. එහි වගකීම දරන්න වන්නේ, බලඇණියක නම් දෙවැනි (උප) අණදෙන නිළධාරි වරයායි. ඔහු, නිළධාරි නිවස්න කමිටුවේ සභාපති, President Mess Committee = PMC යනුවෙන් හැඳින්වෙනවා.
  
අක්මුදල් ගිණුම Imprest Account:- මේ ගිණුම කෙළින්ම සම්බන්ධ වන්නේ නිලධාරීන් හැර සෙසු සියලුම අයවලුන්ගේ වැටුප් සහ දීමනා ගෙවීමටයි. වෙන කිසිම ගනුදෙනුවක් කළ නොහැකියි. භාණ්ඩාගාරයෙන් නිකුත්කරන මුදල් නිසා, ඉඳුරාම රජයට වගකිව යුතුයි. මේ ගිණුම පරීක්ෂා කරන්නට, විගණකාධිපති දෙපාර්තමේන්තු නියෝජිතයන්ට බලය තිබෙනවා. ඔවුන් ඒ සඳහා පැමිණි වහාම කරන්නේ, මුදල් සේප්පුව මුද්‍රා තබා, යතුරු අතට ගැනීමයි. ගිණුම පරීක්ෂා කිරීමෙන් පසු, අත ඉතිරි මුදල, ගිණුමේ සඳහන් ශේෂයට වඩා සතයක් වත් අඩු හෝ වැඩි වන්නට බැහැ. මේ වනවිට, යුද හමුදා වැටුප් ගෙවීම, පරිගණක ජාලගතකර, කෙළින්ම සෙබළුන්ගේ බැංකු ගිණුම් වෙත බැරවන ආකාරයට සකසා ඇති බැවින්, මේ කාර්යය වඩාත් පහසුවී තිබෙනවා.

   අක්මුදල් ගිණුම හැර, ඉහත සඳහන් අනෙක් ගිණුම් සෑම මාස හතරකට (කාර්තුවකට) වරක්, ගිණුම් පරීක්‍ෂණයකට භාජනය කොට, එම ගිණුම් පරීක්ෂණ වාර්තාව, අණදෙන නිලධාරිගේ අත්සනින් යුතුව, ඉහළ මූලස්ථානය වෙත ඉදිරිපත් කළයුතු වෙනවා. අවසාන කාර්තුවේදී, ගිණුම් පරීක්‍ෂණය සිදුකරන්නේ, වෙනත් කඳවුරකින් එවනු ලබන මණ්ඩලයකින්. එහිදී, අක්‍රමිකතා, අඩුපාඩු, හමුදා රෙගුලාසි වලට පටහැනි ක්‍රියා, නිරීක්ෂණය වුවහොත්, අණදෙන නිළධාරි ඊට වගකිවයුතු වෙනවා.

   මේ ගිණුම් වලට කෙළින්ම සම්බන්ධ නැති, සිවිල් ගණකාධිකාරී වරයකු සහ කාර්ය මණ්ඩලයක්, යුදහමුදාවට තිබෙනවා. එහි සිටින්නේ රජයේ සේවකයන්. ඔවුන්ට හමුදාව සමග සම්බන්ධයක් නැහැ. ඔවුන් කරන්නේ හමුදාව, පිටස්තර ආයතන සමග කරන ගණුදෙනු සම්බන්ධව ක්‍රියා කිරීමයි. 

   ඉතා සංකීර්ණ කරුණු සම්භාරයක්, හැකිතරම් සරලව කීමටයි උත්සාහ ගත්තේ. ඔබට ඇතිවන ගැටළු විමසන්නේ නම්, තවත් පැහැදිළි කිරීම් කළහැකියි. 

2015 දෙසැම්බර් මස 06 වැනි දින 2252 පැය 

30 November 2015

හමුදා කෙතේ කළමනාකරණය (දෙවැනි කොටස)

එහෙනං තමුන්නාන්සේලා හමුදා කෙතටත් බැස්සා ඈ? හොඳයි හොඳයි, ඔය කොයි කෙතටත් බැහැලා බැලුවම, නවමු අත්දැකීම් ලැබෙනවා. ඒ වගේමයි, ඒ ඒ කෙතේ හැටි සොබාව, බොහොම හොඳින් තේරුම් යනවා. පහුගිය ලිපියෙන් කිව්ව දේවල්, බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වීම ගැන සතුටුවන ගමන්, ඔන්න අද අපි මේ ලිපි මාලාවේ දෙවැනි කොටස, මෙන්න මේ විදිහට ආරම්භ කරනවා.

   එකක් මතක තියාගන්න. මේ විෂයය, ලිපි දෙකකින් අවසන් කරන්න බැරි, මහා කරුණු සම්භාරයක් තියන විෂයයක්. නමුත්, බ්ලොග් ලෝකයේදී, අපි මේවා ලියන්නේ, මෙන්න මෙහෙම දේවල් තියනවා කියලා හඳුන්වා දෙන්න පමණයි. ඒ නිසා, ඉතා සීමිත විස්තර ප්‍රමාණයක් පමණයි, ඇතුළත් කරන්නේ.    පසුගිය ලිපියේදී මා කිව්වා මතක ඇති, හමුදා ක්‍ෂේත්‍රයේ කළමනාකරණය administration in the field නිසිපරිදි සිදු නොවුණොත්, යුදබිමේ සිටින සෙබළා අමාරුවේ වැටෙන බවත්, එයින්ම යුද්ධය පරදින බවත්.

   හමුදා කටයුතු වලදී, මේ ක්‍ෂේත්‍ර කළමනාකරණය සමග තවත් විෂයයක් ඒකාබද්ධ වෙනවා. එය හඳුන්වන්නේ 'භටකාර්ය සම්පාදනය' යනුවෙන්. සාමාන්‍ය ව්‍යවහාරයේදී Logistics නමැති වචනය හමුදා කටයුතු වලදී හඳුන්වන්නේ භටකාර්ය සම්පාදනය යනුවෙන්.

   සාමාන්‍ය ව්‍යවහාරයේදී ලොජිස්ටික්ස් කියන්නේ, යම්කිසි පාරිභෝගික භාණ්ඩයක්, එම භාණ්ඩය නිපදවන ස්ථානයේ සිට, පාරිභෝගිකයා අතට පත්වන තුරු කෙරෙන, ප්‍රවාහනය/හුවමාරුව/ගණුදෙනුව/දාම ක්‍රියාව/ කියලා කියන්න පුළුවන් නේද?


   යුද්ධයේදී, මේ ක්‍රියාදාමය, ඉතා සංකීර්ණ, වගකීම් බහුල, යුද පිටියේ සිටින සෙබළ ජීවිත පිලිබඳ තීරණය කෙරෙන, යුද පිටියෙන් පිටත කෙරෙන තවත් මහා යුද්ධයක්, කිව්වට වැරද්දක් නැහැ. ඒ තරමට එය බරපතළයි. දැන් අපි දන්නවා රටේ පාලන කටයුතු සඳහා එක් එක් අමාත්‍යංශ පිහිටුවා තිබෙන බව. යුද හමුදාවේත්, ඒ ඒ විෂයයන් සඳහා අධ්‍යක්ෂ මණ්ඩල පිහිටුවා තිබෙනවා. මේ වෙලාවේ මතකයට එන ඒවා කීපයක් සඳහන් කරනවා. 

  • ක්‍රියාන්විත අධ්‍යක්ෂ මණ්ඩලය - Directorate of Operations 
  • පාබල හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය - Directorate of Infantry
  • පිරිස් පාලන අධ්‍යක්ෂ මණ්ඩලය - directorate of Personnel Administration
  • සැපයුම් සහ ප්‍රවාහන අධ්‍යක්ෂ මණ්ඩලය - Directorate of Supply & Transport
  • වෛද්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය - Directorate of Army Medical Services 
  • භට නිවාස සම්පාදන අධ්‍යක්ෂ මණ්ඩලය - Directorate of Army Quartering 
  • ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලය - Directorate of Engineer Services 
  • යුද්ධෝපකරණ සේවා අධ්‍යක්ෂ මණ්ඩලය - Directorate of Army Ordnance Services
  • වැටුප් සහ ලේඛන අධ්‍යක්‍ෂ මණ්ඩලය - Directorate of Pay and Records 
   තවත් තියනවා. දැනට ඔය මදෑ. දැන් මුලින්ම පෙනෙනවා නේද, යුද හමුදාව කොයි තරම් සංකීර්ණද කියලා. මීට පෙර මම ඔබට කියලා දුන්නා, යුද හමුදාවක් සංවිධානය වී ඇති ආකාරය. එතනදී නොකියවුණු, යුදහමුදා ආයතන ගැන, මේ ලිපියේදී කියවෙනවා. ඒ නිසයි මා කිව්වේ, යුදහමුදාව ඉතා සංකීර්ණ සංවිධානයක් බව.

   අමාත්‍යාංශයක් භාරව ඇමති කෙනෙක් ඉන්නවා වගේ, මේ අධ්‍යක්‍ෂ මණ්ඩලයක ප්‍රධානියා වන්නේ, මේජර් ජෙනරල්  වරයෙක්. (ඔන්න දැන් පේනවා නේද, හමුදාවට මෙච්චර මේජර් ජෙනරල් ලා අවශ්‍ය මොකද කියලා) සුදුසු මේජර් ජෙනරල් කෙනෙක් නැත්නම්, බ්‍රිගේඩියර් වරයකු පත්කරනවා, කාර්ය නියුක්ත පත්වීමක් ලෙස.

   හොඳයි දැන් කොහොමද මේ කළමනාකරණ/පරිපාලන සහ භටකාර්ය සම්පාදන යුද්දේ Admin & Logistic Procedure සිද්දවෙන්නේ. ඔන්න හොඳට අහගන්න. හමුදාවේ තියන කාර්ය මණ්ඩල ප්‍රධාන වශයෙන් වර්ගීකරණ තුනකට වැටෙනවා. ඒ මෙන්න මෙහෙමයි.

1 ප්‍රධාන කාර්ය මණ්ඩල රාජකාරි  = 'ප්‍ර මාණ්ඩලික'
  General Staff duties = 'G Staff'

2 පාලන කාර්ය මණ්ඩල රාජකාරි = 'පා මාණ්ඩලික'
  Administrative Staff duties = 'A Staff'

3 උපකරණ පාලක මණ්ඩල රාජකාරි = 'උ මාණ්ඩලික'
   Quartermaster Staff duties = 'Q Staff'

   මේ රාජකාරි සඳහා නිළධාරීන් පත්කරන්නේ, ජ්‍යොෂ්ඨතා අනුපිළිවෙල අනුවයි. ඒ කියන්නේ, ඉහත අංක එකේ මාණ්ඩලික රාජකාරි වලට පත්කරන නිළධාරියකුට සමාන නිළයක නිළධාරියකු, අංක දෙක හෝ තුන මාණ්ඩලික රාජකාරි සඳහා පත්කරන්නේ නම්, ඔහු අංක එක මාණ්ඩලික නිළධාරියාට වඩා කණිෂ්ඨ අයකු වනවා, හැකි සෑමවිටම. එමෙන්ම අංක එකේ මාණ්ඩලික රාජකාරි වලට අයත් වන්නේ, ක්‍රියාන්විත රාජකාරි නිසා, එම මාණ්ඩලික රාජකාරි සඳහා පත්කරන්නේ, සටන්කාරී රෙජිමේන්තුවලට අයත් නිළධාරීන්. අංක දෙක සහ තුන සඳහා පත්කරන්නේ, සටන්කාරී නොවන සහ ආධාරක සේනා වශයෙන් සැළකෙන රෙජිමේන්තු වලට අයත් නිළධාරීන්. නිත්‍ය හමුදාවේ නිළධාරීන්/සෙබළුන් මෙන්ම, ස්වේච්ඡා හමුදාවට අයත් නිළධාරීන්/සෙබළුන් ද, 'ප්‍ර මාණ්ඩලික' රාජකාරි හැර, 'පා' සහ 'උ' රාජකාරි සඳහා යොදවනවා. 

   සටන් කරන්නේ කවුද, නොකරන්නේ කවුද කියලා, මීට කලින් කියලා දුන්නා මතකද. දැන් හිතන්න එපා, පරිපාලන වැඩවලට දාන්නේ, වැඩබැරි ටාසන්ලා කියලා. එහෙම එකක් නැහැ. පරිපාලන සහ භටකාර්ය සම්පාදනය වෙනුවෙන්ම සැකසුන, රෙජිමේන්තු සහ අධ්‍යක්ෂ මණ්ඩලවල ඉන්නේ, ඒ පිළිබඳ විශේෂඥයන්. ඔවුන්, නිසි වෙලාවට, නිසි පියවර ගන්නා නිසා තමයි, සෙබළා බයනැතුව යුද්ද කරන්නේ. 

   හෑ..........ඒ කියන්නේ, යුද්ද කරන්න මණ්ඩල එකයි. පරිපාලන වැඩ වලට මණ්ඩල දෙකයි. අම්මපා ඔහොම කොහොමද යුද්ද කරන්නේ?

   ඔව් ඒක එහෙම තමා මහත්තයෝ. රොකට් එකක් හඳට යවන්න, කොච්චර ලොකු පිරිසක් මහපොළොවේ ඉඳලා වෙහෙසෙනවද? නමුත් අන්තිමට රොකට් එකේ නැගලා යන්නේ, එක්කෙනයි දෙන්නයිනේ.

   හෙහ් හෙහ්.......රොකට් යවන්න එහෙම වැඩ කලාට, යුද්දෙදි එහෙම වෙන්නේ නැහැ. ඇත්තටම වැඩි හමුදා පිරිසක් ඉන්නේ යුදබිමේ. මේ පරිපාලන කටයුතු වලට ඉන්නේ, ඊට වඩා බොහොම අඩු පිරිසක්.

   'ඉතින් මේ පිරිසත් යුද්දෙට යවන්න පුළුවන් නේ'.

   ඔක්කොමලා යවන්න බැහැ. මේ අයගෙන් සමහරු වෛද්‍ය/ඉංජිනේරු/නීතීඥ/ගණකාධිකාරී/විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු/ වැනි වෘත්තීන් පිළිබඳ, විශේෂඥ දැනුමක් තියන අය. ඒ වගේම, පාබල හමුදාවල ඉන්න අයට වගේ, සටන් කිරීමේ විශේෂ පුහුණුවක්, ඔවුන්ගෙන් බහුතරයකට ලැබී නැහැ. ඉතින්, ඔවුන් යුදපිටියට යවා, මරණයට පත්වුනොත්, අපට හොඳ වෘත්තිකයන් අහිමි වෙනවා.

   හැබැයි මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. මේක මගේ පෞද්ගලික අදහසක්. අනිවාර්ය හමුදා නීතිය යටතේ හෝ ස්වේච්ඡාවෙන් හෝ මේ වෘත්තීන් වලට අදාළ අය හමුදාවට බඳවාගන්න පුළුවන් නම්, ඔවුන්ව මේ පරිපාලන කටයුතු වලට පමණක් යොදවා, ඒ තැන්වල ඉන්න වෘත්තීය සෙබළුන් ඉවතට ගෙන, ඔවුන්ට සටන්කාරී පුහුණුවක් දී, යුද්ධයට සහභාගි කරගන්න පුළුවන්, දෙවැනි පෙළක් ලෙස. (යුදබිමේ පසුපස ආරක්ෂාව, යුද්ධය නැති ප්‍රදේශවල කඳවුරු ආරක්‍ෂාව, විදුලිබලාගාර, රූපවාහිනී/ගුවන්විදුලි මධ්‍යස්ථාන ආරක්‍ෂාව වැනි දේට යොදවන්න පුළුවන්. ඉතා සුළු පරිමාණයෙන්, එහෙම කළ අවස්ථා තිබෙනවා, පසුගිය යුද සමයේ)

   මොකද හිතන්නේ ඒ ගැන? හොඳයි, හිතෙන දේ කියන්නකෝ. අපි යමු ඉස්සරහට.

   යුද හමුදාවේ සියලු කටයුතු කෙරෙන්නේ, යම් යම් න්‍යායන් හෝ පිළිවෙත් පදනම් කරගෙන බව, මේ අඩවියේ පළවන ලිපි කියවන ඔබ හොඳින් දන්නවා. ඉතින්, මේ යුද හමුදා ක්ෂේත්‍ර පරිපාලනය සහ භටකාර්ය සම්පාදන ක්‍රියාවලිය සිදුවෙන්නෙත්, එවැනි න්‍යායාත්මක කරුණු හෙවත්, මූලධර්ම පදනම් කරගෙනයි. මෙන්න මේවා තමයි ඒ කරුණු.

අ. ඉදිරි දැක්ම - Foresight

ආ. අරපිරිමැස්ම - Economy

ඇ. නම්‍යශීලී භාවය - Flexibility

ඈ. සරල භාවය - Simplicity

ඉ. සහයෝගීතාවය - Cooperation 

   දිග විස්තරයක් කෙටියෙන් කියනවානම් මෙහෙමයි. යුද්ධයක් ඇති කාලයක වුනත්, නැති කාලයක වුනත් ඉස්සරහට මොනවා වෙයිද කියන එක ගැන කල්පනාවෙන් ඉඳලා අවශ්‍ය පියවර ගන්න ඕනේ. හමුදාවට ලැබෙන සම්පත් හැමදාම මහා විශාල පරිමාණයෙන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සම්පත් අරපිරිමැස්මෙන් යොදාගත යුතුයි. යුදභූමි කළමනාකරණය, නම්‍යශීලී ප්‍රතිපත්ති අනුව ක්‍රියාත්මක වියයුතුයි. සෙබලා අපහසුතාවයට පත්වන ආකාරයේ දැඩි ප්‍රතිපත්ති නොවිය යුතුයි. සැළසුම් සහ ක්‍රියා පිළිවෙත්, සරල වියයුතුයි. ඒ සඳහා මහා පරිමාන සම්පත් වැයවීම් සිදු නොවිය යුතුයි. (කොළඹ ඉඳලා යාපනේට සෙබළුන් 100 ක් යවන්න, එයාර්බස් ගුවන් යානයක් අවශ්‍ය නැහැ) යුදබිමේ තිබෙන විවිධ මූලස්ථාන සහ කඳවුරු සමග සහයෝගයෙන්, තම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළයුතුයි.

   මේ පරිපාලන කටයුතු සියල්ල පාලනය කරන ප්‍රධාන මූලස්ථානයක්, යුද බිමට ඉතා ඈතින් තියනවා. එය හඳුන්වන්නේ යුද භූමිකා මූලස්ථානය වශයෙන්. Theatre Headquarters (බෝඩ් ගහන්නේ නැහැ. හමුදාවේ දැනගතයුතු අය විතරයි දන්නේ) එහි සිට තමයි පරිපාලන යුද්දේ කරන්නේ.

   ඒ මොකද එයාලා යුධ භූමිය ලඟට එන්න බයද?

   බයක් නැහැ. නමුත් එයාලවත් යුද භූමිය ලඟට ගෙනත්, සතුරු ප්‍රහාරයකට ලක්වුනොත් අර යුදබිමේ ඉන්න සොල්දාදුවාට නේද පාඩුවෙන්නේ. ඒ නිසයි ඒවා යුදබිමෙන් ඈත්කර තබන්නේ.

   පරිපාලන සහ භටකාර්ය සම්පාදන කටයුතු සඳහා, යුද භූමිය කොටස් වලට බෙදාගන්නවා. මේවා කළාප zones වශයෙන් නම් කරනවා. පොඩි රූප සටහනකින් පෙන්වන්නම්.  

Zones

   නිකං ග්‍රීක් වගේද? වගේ තමා. මෙන්න මේකයි මේ කියන්නේ. ඔබේ වම් අත පැත්තේ සීමාවේ තියෙන්නේ, යුදබිම කියලා හිතන්න. දැන් එහි සිට දකුණු අත පැත්තට කි.මී. 100 ක් පමණ ප්‍රදේශයේ, විවිධ සැපයුම් ස්ථාන හදාගන්නවා, ඒ ඒ අවශ්‍යතා සඳහා. මේවායේ සැපයුම්, පැය 24 පුරාම සිද්ධ වෙනවා, අවශ්‍යතාව පරිදි. අවි ආයුධ, පතරොම් බෝම්බ, කෑමබීම, ඉන්ධන, වගේ දේවල්. මේ කළාපය, ඉදිරි සංග්‍රාමික කළාපය කියලා හඳුන්වනවා. දැන් ඉතින් වැරදි අවබෝධයක් ගන්න එපා, පොළොවේ ඉරි ඇඳලා, මේ දුර හරියටම ලකුණු කරලා තියනවා කියලා. මේවා සම්මතයන් පමණයි. පළමුවැනි කළාපය පළල වැඩියි. එහි ඒ තරම් කඳවුරු රාශියක් තියනවා. අනේ එව්වා කියන්න බැහැ. එව්වා රහස්. 

   දෙවැනි කළාපයේ, ඒ කියන්නේ, පසුපස සංග්‍රාමික කළාපයේ, ඊළඟට අවශ්‍යවන තොග ගබඩාකොට තබනවා. සාමාන්‍යයෙන් පැය 24 පුරා සැපයීමක් සිදුවන්නේ නැහැ. ඉස්සරහා තොග අඩුවෙනකොට යවනවා. පසුපසින්ම ඉන්නේ අර සංග්‍රාමික භූමිකා මූලස්ථානය. ඔවුන් ප්‍රතිපත්ති තීරණ අනුව, සංග්‍රාමෝපකරණ ආනයනය, පාලනය, බෙදාහැරීම, සහ අනෙකුත් පරිපාලනමය කටයුතු කරනවා. මේ කලේ හැඳින්වීමක් පමණයි.

   මේ කළාප තුළ ඇති විවිධ හමුදා කඳවුරු, ඒවා මගින් කෙරෙන දේ,  ආදිය හරිම සංකීර්ණයි. එමෙන්ම ඒවා, හමුදාවේ නොවන අය විසින් දැනගත යුතු නොවන, restricted තොරතුරු හැටියටයි සැළකෙන්නේ. ඔබ මොහොතකටවත් සිතුවාද, මේතරම් සංකීර්ණ පාලන ක්‍රියාදාමයක්, යුද්ධය සඳහා අවශ්‍ය බව. ඒ නිසයි මා නිතරම කියන්නේ, හමුදාවේ ක්‍රියා විවේචනය කරන අය නොදන්නා කරුණු රාශියක්, එහි අභ්‍යන්තරයේ සැඟවී ඇති බව. ඒ නිසයි, ඔය බොහෝ විවේචන වලදී, හමුදාව නිහඬව කරබාගෙන ඉන්නේ. හමුදාවට වෙලාවක් නැහැ (පුරුදුත් නැහැ) වාදවිවාද වලට පැටලෙන්න. හමුදාව තියෙන්නේ, හමුදා ක්‍රියා සඳහා පමණයි. වාද විවාද කිරීම හමුදා කාර්යයක් නොවෙයි. 

   මේ හා සමාන තවත් ලිපි කීපයක්, ඉදිරියේදී බලාපොරොත්තුවන්න. 

2015 නොවැම්බර් මස 29 වැනි දින 2342 පැය 
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }