හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

01 February 2016

මාධ්‍යවේදියා ! මේ කවුද මොනවද කරන්නේ?


Reporter
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍ය සහ මාධ්‍යවේදීන් පිළිබඳව අදහස් දැක්වීමෙන් පසු, ඒ පිළිබඳව විවිධ අදහස්, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වලත්, සමාජ ජාල වෙබ් අඩවි වලත්, පළවන්නට පටන්ගෙන තිබෙනවා. මාධ්‍ය පිළිබඳව, දේශපාලනඥයන් සිය අප්‍රසාදය පලකිරීම, අපේ රටට පමණක් සීමාවූ තත්වයක් හෝ අද ඊයේ සිදුවන දෙයක් හෝ නොවෙයි. ලෝකය පුරාම, මේ තත්වය අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. මාධ්‍ය සහ දේශපාලනඥයන් මෙසේ ගැටෙන්නේ ඇයි? මාධ්‍ය සමග ගැටෙන්නේ දේශපාලනඥයන් පමණද? මෙම ලිපියෙන් මා අදහස් කරන්නේ, මේ සම්බන්ධව, පසුගිය වසර 40 ක පමණ කාලයක් තුළ, මා ලබා ඇති අත්දැකීම් ඇසුරෙන්, ඔබ සමග සංවාදයක යෙදෙන්නයි.

   මුලින්ම මගේ සිත ඇදීයන්නේ, අප පාසල් යන කාලයේ, මේ මාධ්‍යවේදීන් පිලිබඳ මතකය වෙතයි. අප පාසල් දරුවන් ලෙස ගතකළ කාලයේ, මාධ්‍ය ලෙස අප දැනසිටියේ, පුවත්පත් සහ ගුවන්විදුලිය පමණයි. නමුත්, ඒවා හැඳින්වීමට, මාධ්‍ය යන වචනය යෙදුනේ නැහැ. අප දන්නා විදිහට, පත්තරවල සිටියේ, පත්තර වාර්තාකාරයෝ සහ පත්තර කර්තෘවරු. ගුවන්විදුලියේ සිටියේ, නිවේදකවරු. (වැඩසටහන් නිෂ්පාදකයන්, තාක්ෂණ ශිල්පීන් ගැන අපි කිසිවක් දැනසිටියේ නැහැ) පුවත්පත් වාර්තාකරුවන් දැක්කෙත් බොහොම කලාතුරකින්. ඔවුන්ට වාර්තා කරන්න දේවල් අපේ ගම්වල තිබුනේ නැහැ. මැතිවරණය හෙවත් අපි දන්නා චන්ද කාලෙට, දේශපාලන රැස්වීම් තියද්දී, ඒවා වාර්තාකරමින් පින්තූර ගන්න, පොත්වවල සටහන් ලියාගන්න කීපදෙනෙක් දැක, ඒ ගැන වැඩිහිටියන්ගෙන් අහලා බැලුවම කිව්වේ, ඒ පත්තර වාර්තාකාරයෝ කියලයි. ජනමාධ්‍ය Mass Media කියන වචනය පවා, පෘථුල ලෙස අපේ සමාජයේ භාවිතයට ආවේ, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඔස්සේ බවයි මගේ හැඟීම.

Prof.Sunanda Mahendra   මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර වැනි විද්වතුන් විසින්, පුවත්පත් වලට ලියන ලද ලිපි, ගුවන්විදුලියේ ඉදිරිපත් කළ සාකච්ඡා ආදියෙන් තමයි, අපි මේ ජනමාධ්‍ය කියන්නේ මොකක්ද කියා, අවබෝධය පුළුල් කරගත්තේ. ජනමාධ්‍ය යනු, මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් බවත්, ඒ ඔස්සේ, ඉතා පුළුල් සමාජ කාර්ය භාරයක් සිදුවන බවත් දැනගත්තේ, මෙවැනි විද්වතුන් විසින්, සමාජය දැනුම්වත් කළ, විවිධ වැඩසටහන් මගිනුයි. කෙසේ වෙතත්, අප සාමාන්‍ය පෙළ පාසල් දරුවන් කාලයේ, ජනමාධ්‍ය පිලිබඳ විශ්ව විද්‍යාල පාඨමාලා නොතිබුන අතර, උසස් පෙළ සිසුන් කාලයේ, ඒ පිළිබඳ යම් යම් ඉහළ අධ්‍යයන අවස්ථා තිබුණා. කෙසේ වෙතත්, 1980 දශකයේ අග භාගය වනතුරු, ජනමාධ්‍ය පිලිබඳ උපාධිධරයන් සැළකියයුතු ප්‍රමාණයක්, අපේ රටේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය තුළ නොසිටි බවයි, මට හිතෙන්නේ.

   ජනමාධ්‍ය යන්න, වඩාත් අර්ථවත් වන්නට හේතුවූ ප්‍රධාන කාරනාව, අන් කවරක්වත් නොව, තොරතුරු තාක්‍ෂණය දියුණුවීම බව, අවිවාදිතයි.
එහි ප්‍රතිඵලයක් වශයෙන්;
  • පරිගණකගත පිටු සැකසුම් සහ පරිගණක මගින් පාලනය වන වඩාත් දියුණු, වඩාත් උසස් තත්වයේ මුද්‍රණ ක්‍රම නිසා, පුවත්පත්/සඟරා/වාර ප්‍රකාශන/ ආදියට නව පණක් ලැබුණි.

  • FM තාක්‍ෂණය ලැබීම නිසා, තාක්ෂණික අතින් වඩාත් උසස් තත්වයේ විකාශන හැකියාවක් ලැබීම හේතුවෙන්, ගුවන්විදුලියට නව පණක් ලැබුණි.

  • අප මෙතෙක් දැක නොතිබුණු, එහෙත් කියවා/අසා තිබුණු රූපවාහිණී මාධ්‍යය ලැබීමෙන්, මහජනතාව ඒ මාධ්‍යය සමග දැඩි බැඳීමක් ඇතිකරගත් අතර, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් වූ බැවින්, මහජනතාවගේ වැඩි විශ්වසනීයත්වයට පත්වීමට, රූපවාහිනියට හැකිවිය.
   1977 න් පසු, විවෘත ආර්ථිකය මෙරටට පැමිණීමත් සමග, ජනමාධ්‍ය, වෙළඳ භාණ්ඩයක් වශයෙන්, සමාජයේ ඉල්ලුමට පාත්‍රවීමත් සමග, පුවත් සහ තොරතුරු විකිණීමේ කර්මාන්තය, මහා පරිමාණයෙන් වැඩෙන්නට පටන් ගත් බව නොරහසක්. මේ කාලයේදී, වල් පත්තර, මල් පත්තර, ආදී මෙකී නොකී දෑ අහන්නට ලැබුණු අතර, පෞද්ගලික ගුවන්විදුලි/රූපවාහිණී නාලිකා ආරම්භවීමත් සමග, මේ මහා කර්මාන්තය, ජනසමාජය ගිලගන්නා දැවැන්ත බලවේගයක් බවට පත්විය. 'මාධ්‍යවේදියා' යන වචනය, සමාජය තුළ පැළපදියම් වූයේ, මෙහි ප්‍රතිඵලයක් වශයෙනි.

   වර්තමානයේදී මාධ්‍ය අපගේ ජීවිතයට බද්ධවී තිබෙන්නේ, එදිනෙදා ගන්නා ආහාරයක් තරම් සමීපවය. අද, පාසලක පහළ පන්තිවල පවා, 'මාධ්‍ය කව' දැකිය හැකිය. මාධ්‍යවේදියාගේ කාර්යභාරය කුමක්ද යන්න කාලීනව සාකච්ඡා කෙරෙන, (තළුමරමින්, අර හක්කෙන් මේ හක්කට මාරු කරමින් සාරය උරාබොන) මාතෘකාවක් බවට පත්ව තිබෙන්නේ, වර්තමාන මාධ්‍ය කලාව, එදිනෙදා ජනජීවිතය කෙරෙහි, දැඩි බලපෑමක් එල්ල කරන බැවිනි. වර්තමාන මාධ්‍ය මගින්, සමාජ කතිකාවත් සඳහා යොමු නොකරන මාතෘකාවක් නොමැති තරම්ය.

   එදිනෙදා සිදුවීම් වලට අමතරව, ඉතා පෘථුල වශයෙන් දේශපාලන සිදුවීම්, ඊට අමතරව ජ්‍යොතිෂය, ඉවුම් පිහුම්, ගෘහ අලංකරණය, විලාසිතා, විවාහය, ලිංගිකත්වය, වෛද්‍යෝපදේශ, වාස්තු විද්‍යාව, ආදී ජනජීවිතයේ සෑම අංගයක්ම ආවරණය වන පරිදි, මාධ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. ව්‍යාපාරික ප්‍රජාව විසින්, තම ප්‍රචාරණ කටයුතු සඳහා කෙරෙන මාධ්‍ය භාවිතය, පාඨකයාට/ප්‍රේක්ෂකයාට හිරිහැරයක් වන තරම් ඉහල මට්ටමකට පැමිණ තිබේ.

   මාධ්‍ය තරගය අපේ රටට පැමිණියේද, පෞද්ගලික ගුවන්විදුලි/රූපවාහිණී නාලිකා බිහිවීමෙන් පසුව බව පැහැදිළි වෙයි. සියල්ලට මුල් වන්නේ මෙම මාධ්‍ය තරගය බවට, හොඳම නිදසුනක් වන්නේ, පසුගිය කාලයේදී, විවිධ මාධ්‍ය ආයතන අතර, සීතල යුද්ධ ස්වභාවයෙන් මෙන්ම, එළිපිටම සිදුවූ ගැටුම්/අපහාස/උපහාස/මඩ ගැසීම්/ හේතුවෙනි.

   අපේ රටේ දේශපාලනය සහ මාධ්‍ය අතර සම්බන්ධයට සෑහෙන ඉතිහාසයක් තිබේ. මාධ්‍ය මර්දනයටද එවැනිම ඉතිහාසයක් තිබේ. අගමැතිණි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ කාලයේදී එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (දවස නිවස) මුද්‍රා තැබීම, මාධ්‍ය මර්දනයේ අතීත සිදුවීමකි. 1977 න් පසු, මාධ්‍ය මර්දනය දැඩිව ක්‍රියාත්මක වූ බව අපි දනිමු. විධායක ජනාධිපති තනතුර ඇතිවීමෙන් පසු පත්වූ ජනාධිපති වරුන් අතරින්, මාධ්‍ය මර්දනයට හවුල් නොවූයේ, ඩී.බී.විජේතුංග ජනාධිපතිතුමා පමණකැයි සිතමි. එමෙන්ම වත්මන් ජනාධිපතිවරයා මාධ්‍ය මර්දනය කරන බවක් පෙනෙන්නට නැත.

   මෙතැන්සිට මා මාධ්‍යවේදීන් පිළිබඳව මට ඇති පෞද්ගලික අත්දැකීම් කීපයක් සඳහන් කරන අතර, එයින් මා අදහස් කරන්නේ, සෑම මාධ්‍යවේදියාම මේ හා සමානයයි කීම නොවේ. මාධ්‍ය පිළිබඳව ඇති විශ්වාසය සහ සදාචාරාත්මක බව කෙළෙසන්නන් නිසා, සමස්ත මාධ්‍ය කලාවම ගර්හාවට ලක්වෙයි. පසුගිය යුද සමයේදී, උතුරු නැගෙනහිර සංග්‍රාම භූමියේ තොරතුරු වාර්තා කිරීමට පැමිණි, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවේදීන් ගෙන් අති මහත් බහුතරයක්, සංග්‍රාමික කටයුතු වාර්තා කිරීම war correspondence පිළිබඳව, මෙලෝ හසරක් නොදන්නවුන් බව පැහැදිලිවම පෙනුනි. රාජ්‍ය මාධ්‍ය ඇතුළු, කිසිදු මාධ්‍ය ආයතනයක්, තම මාධ්‍යවේදීන්ට, මේ සඳහා දේශීය සහ විශේෂයෙන් විදෙශීය වශයෙන් කිසිදු පුහුණුවක් ලබාදුන් බවක් මගේ දැනීමේ හැටියට නැත. මේ හේතුවෙන්, විදේශීය ප්‍රවෘත්ති ආයතන, අපේ රටේ මාධ්‍ය ආයතන ගැන විශ්වාසය නොතැබීමෙන්, LTTE සංවිධානයට වාසිවන ආකාරයේ ප්‍රවෘත්ති, ජාත්‍යන්තර වශයෙන් පලවිය.

මෙහි තවත් ප්‍රතිඵල වූයේ;
  • ත්‍රිවිධ හමුදාවේ අපි කියන ඕනෙම දෙයක්, ඒ විදිහටම ඉදිරිපත් කරන මාධ්‍ය ගිරා පෝතක පිරිසක් ඇතිවීම.

  • එක් එක් ප්‍රතිරූප පිම්බීම, සඳහා මහජන මුදල් වැයකරමින්, මාධ්‍ය සංදර්ශන පැවැත්වීම.

  • දෙවැනි මට්ටමේ හමුදා ප්‍රධානීන් තුළ ද, ප්‍රතිරූපය පුම්බාගැනීමේ අභිලාශයක් ඇතිවීම හේතුවෙන්, ඒ ඒ හමුදා ප්‍රධානීන්, (යුද හමුදාවේ සේනාංකාධිපති වරුන්, බලසේනාධිපති වරුන්, ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ ඒ හා සමාන නිළධාරීන්) තමන්ව පුම්බන මාධ්‍ය කණ්ඩායම් තබාගැනීම.

  • සමහර මාධ්‍යවේදීන්, ත්‍රිවිධ හමුදාවේ සමහර ඉහළ නිලධාරීන්ව, තම පන්ති සගයන්ගේ මට්ටමෙන් ඇසුරු කිරීම නිසා, ත්‍රිවිධ හමුදාවේම සමහර මාණ්ඩලික නිලධාරීන්ට, එම මාධ්‍යවේදීන්ගේ අතවැසියන් ලෙස ක්‍රියා කිරීමට සිදුවීම.

  • මා පෞද්ගලිකව හොඳින් දන්නා හඳුනන එක්තරා මාධ්‍යවේදියකු, එක්තරා හමුදාපති කෙනෙකුට කොතරම් සමීපව සිටියේදයත්, අපට, එම මාධ්‍යවේදියා සිටින තැන, කට පරිස්සම් කරගැනීම පිළිබඳව ඉතා සැළකිල්ලෙන් කටයුතු කිරීමට සිදුවිය. අපිට වාතයක් ගියත්, ඒ 'මාධ්‍යවේදියා' එම සිද්ධිය, සමහරවිට අර හමුදා ප්‍රධානියාගේ පෞද්ගලික නිවස්නය වෙත ගොස්, වහාම වාර්තා කිරීමට පුරුදුවී සිටියේය.

  • යුද සමයේදී උතුරු නැගෙනහිර හමුදා කඳවුරු වලට පැමිණි සමහර මාධ්‍යවේදීන්, ඉහළ නිළධාරීන්ට කෙසේ වෙතත්, අපටනම් මහා හිසරදයක් විය. හමුදාවෙන් කන්න බොන්න හුරුවූ සමහර අය, තමන්ගේ සේවය ඇගයීමක් වශයෙන් හමුදා කඳවුරු වලින් ඔවුන්ට අහාර සහ නවාතැන් දෙන බව අමතක කර, පහළ මට්ටමේ අපේ නිලධාරීන්ට 'ජාති දාන්නට' පවා පෙළඹුණි. ඕනෙවට වඩා වැඩිනම්, ඒවා අඩුකරනහැටි අපි දන්නා බව ඔවුන්ට කියාදීමට සිදුවිය. හමුදාවේ නිළධාරි නිවස්න වල ඔවුන්ට නවාතැන් දීමෙන් මහා හිරිහැර ඇතිවිය. තමන්ට ලබාදුන් කාමරයේ නොසිට, උඩුකය නොවසා, සරම පිටින් එළියේ ඇවිදීම, නිළධාරීන්ගේ භෝජන ශාලාවේදී, ආහාර ගන්නා අවස්ථාවේදී, මේසයකට නිසි පරිදි වාඩිවී, මහත්වරුන් මෙන් ආහාර නොගෙන, මුළු භෝජන ශාලාවටම ඇසෙන පරිදි මහ හඬින් කතාකිරීම, හමුදාවේ සුළු සේවකයන් තමන්ගේද සේවකයන් යයි සිතීම හා ඔවුන්ට අවමන් කිරීම, බැණවදීම, තමන්ට දරාගත නොහැකි තරම් මත්පැන් පානයකොට, බලු පදමට පත්ව විකාර කිරීම, සෑම නිළධාරියකුටම මචං කියා ඇමතිය හැකියැයි සිතීම. (අපි සෑමවිටම ඔවුන්ට මිස්ටර් කියා ආමන්ත්‍රණය කළෙමු) කඳවුරකට ඇතුළුවීමට/පිටවීමට නොහැකි අවස්ථා වලදී, ඇතුළුවීමට සහ පිටවීමට උත්සාහ කිරීම සහ ආරක්ෂක හේතු නිසා එයට අවසර නොදුන්විට, ඉහළ පෙළේ දේශපාලනඥයන්ට දුරකථන ඇමතුම් ලබාදී, අපට බලපෑම් කිරීම, උදාහරණ කීපයකි.   

  • සති අන්ත ඉංග්‍රීසි පුවත්පතකට ආරක්ෂක තොරතුරු ලිපියක් ලියූ මහා මාධ්‍යවේදියකු, වරක් මගෙන් රට කුණුහරප අහගත්තේ, වන්නි ආරක්ෂකසේනා මූලස්ථානයේදී, එවකට යුද හමුදාපති වරායව සිටි, ජෙනරල් ශ්‍රීලාල් වීරසූරිය විසින් ප්‍රධානත්වය ඉසිලු, හමුදා සාකච්ඡාවක දී, කතාකලේ මොනවාද යන්න, මගෙන් හාර හාරා අසන්නට යාම නිසාය. මේ සඳහා ඔහු, මුලින්ම මට තෑගිබෝග දෙන්නට උත්සහ කල අතර, ඒවා ආපසු හරවා යැවීමෙන්, මම අල්ලසෙන් බේරුනෙමි.

   අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මාධ්‍ය මර්දනයක් දියත් කලාද? මාධ්‍ය වලට අභියෝග කරන්නට කිසිවකුටත් නොහැකි යයි මාධ්‍ය සංවිධාන කියයි. ඔවුන් එසේ කියන්නේ කුමන පදනමක සිට ද? මාධ්‍ය මගින් වක්‍රාකාරයෙන් රටේ අධිකරණය, නීතිපති, පවා විවේචනය කරන්නේනම්, මාධ්‍යවල ක්‍රියාකලාපය පිලිබඳ විවේචන එල්ල කිරීමට කිසිවකුටත් අයිතියක් නැතිද? පවතින සෑම රජයකටම, පක්ෂපාතී වන්දිභට්ට මාධ්‍ය ආයතන සහ, සෑමවිටම විරුද්ධවන මාධ්‍ය ආයතන මෙන්ම, බොහෝදුරට මධ්‍යස්ත මාධ්‍ය ආයතන, කාලීනව තම ප්‍රතිපත්ති වෙනස්කරන මාධ්‍ය ආයතන, තිබෙන බව අපි දනිමු. රටේ ජනාධිපතිවරයාව, හරකා, බල්ලා, බූරුවා, වැනි වචන වලින් අපහාසයට ලක්කරන්නට, කාටූන් අඳින්නට, මාධ්‍ය වලට නිදහස ඇත්නම්, සමහර මාධ්‍යවේදීන්ගේ සදාචාරාත්මක නොවන, යටිකූට්ටු, විරුද්ධවාදී දේශපාලකයන්ගේ කාලසටහන් ක්‍රියාත්මක කෙරෙන, චර්යාවන් විවෙචනය කිරීමය අයිතිය ඇත්තේ කාටද? මේ ගැන ඔබේ අදහස් සමග අපි සංවාදයක යෙදෙමු.

   FM නාලිකාවල සිටින නිවේදක නිවේදිකාවන් යයි කියාගන්නා, බාල බොළඳ සිඟිත්තන් සිඟිත්තියන්, බහුකාර්ය තමෝපකාර = තමන්ටම උපකාර කරගන්න නරි නාටක චරිත, මේ ලිපිය ලිවීමේදී සිතාමතාම අමතක කළේ, ඔවුන් පිළිබඳව සාකච්ඡා කිරීම කිසිදු ඵලයක් නැති බැවිනි.

2016 පෙබරවාරි මස 01 වැනි දින 0904 පැය

25 January 2016

හයිබ්‍රිඩ් යුද්දේ




   හයිබ්‍රිඩ් කාර් ගැනිල්ලත් එක අතකට යුද්ධයක් තමා. මේ සැරේ අයවැයෙන් හයිබ්‍රිඩ් කාර් මිළ වැඩිවුණා කියලා, ජනතාව මැසිවිලි නගනවා. අනේ අම්මේ........ අපි ඔව්වා දන්නේ නෑ. මේ ලිපිය ලියන්නේ හයිබ්‍රිඩ් කාර් ගැන කතාකරන්න නෙවෙයි. හයිබ්‍රිඩ් යුද්දේ ගැන කියන්නයි. මොනවා........? හයිබ්‍රිඩ් යුද්දේ කියලත් යුද්ධයක් තියනවද? මොනවද අනේ අද කාලේ හයිබ්‍රිඩ් ක්‍රමයට නැත්තේ. හයිබ්‍රිඩ් මිනිස්සුත් බිහිවෙන කාලේ, යුද්දෙත් හයිබ්‍රිඩ් වුනාම මොකද වෙන්නේ? හොඳයි, එහෙනම් කතාකරමුද හයිබ්‍රිඩ් යුද්දේ ගැන. නෑ නෑ බොරු කතාවක් නෙවෙයි. බොරු කියන්නේ ආයේ චන්දෙ ඉල්ලන්නයැ. ඇත්තටම හයිබ්‍රිඩ් යුද්දේ කියලා දෙයක් තියනවා. ඔන්න අහගන්නකො විස්තරේ. මෙය තරමක් ගැඹුරු, එමෙන්ම කෙටි ලිපියක් බවත්, සඳහන් කරන්නට කැමතියි. 

   හයිබ්‍රිඩ් යුද්දේ කියන්නේ, සාම්ප්‍රදායික සංග්‍රාමික මූලෝපාය, අසම්මත සහ අවස්ථානුකූලව සකසාගත් උපක්‍රම මෙන්ම, සයිබර් සංග්‍රාමික ක්‍රියා පදනම් කරගත් යුද්ධෝපායයක්.

   පරිගණක ක්‍රීඩා කරන අයනම් සයිබර් යුද්ධ කරලා ඇති. සයිබර් යුද්ධයක් කියන්නේ, සතුරු පාර්ශ්වයේ පරිගණක පද්ධති වල රහස් පද බිඳදමමින්, ඒ පද්ධති වලට ඇතුළුවී, ඒවා අවුල් කිරීම, අඩපණ කිරීම සහ/හෝ සම්පූර්ණයෙන් විනාශකිරීම බව, ඔබ දන්නවා ඇති. අපේ රටේ පැවති ඊලාම් යුද්ධයේදී, හයිබ්‍රිඩ් යුද්ධයේ දී ක්‍රියාකරන ආකාරයට සමාන ආකාරයෙන් කටයුතු කළ අවස්ථා තිබුණා. නමුත් බොහොම සුළු පරිමාණයෙන්. ඇත්තවශයෙන්ම වැඩිපුර ක්‍රියාත්මක වුනේ ප්‍රති ත්‍රස්තවාදී යුද්ධෝපක්‍රමයි.

   අපි හයිබ්‍රිඩ් යුද්ධය කළේ මෙහෙමයි. උදාහරණයක් වශයෙන්, සාමාන්‍ය සාම්ප්‍රදායික යුද්ධයකදී (Conventional Warfare) වගේ, සතුරාට දැනෙන්න, යුද්ධ භූමියේ, යුද ටැංකි, කාලතුවක්කු, මල්ටිබැරල් රොකට්, ස්ථානගත කරනවා. නියමුවන් සහිත/රහිත ගුවන් යානා, මගින් ඔත්තු බලනවා, නාවික ප්‍රහාරක යාත්‍රා, සතුරු ප්‍රදේශ ආසන්න මුහුදේ, මුර සංචාරවල යොදවනවා.

   අපි හිතමු මුලතිව් ප්‍රදේශය ආශ්‍රිතව මෙහෙම කරනවා කියා. එවිට සතුරා හිතන්නේ, අපි මුලතිව් අල්ලන්න එනවා කියලයි. සතුරා, තම උපරිම ශක්තිය මුලතිව් බේරාගැනීමට යොදවන අතරේ, අපි කමාන්ඩෝ හෝ විශේෂ බලකායේ කුඩා කණ්ඩායම් සතුරු ප්‍රදේශයට රිංගවා, සතුරා බලාපොරොත්තු නොවන, විනාශකාරී ප්‍රහාර එල්ලකොට ආපසු එනවා. ඊට පස්සේ කාලතුවක්කු, මල්ටි බැරල්, ගුවන් ප්‍රහාර වලින් ගහනවා. මේ අතරේ සයිබර් වැඩත් කරනවා. අපිට තිබෙනවා ලෝකයේ ඉතාම නවීන ගුවන්විදුලි උපකරණ. මේ උපකරණ මගින්, සතුරු පණිවිඩ වලට සවන්දෙන අතරම, එම සතුරු පණිවිඩ හුවමාරු යන්ත්‍ර තිබෙන්නේ, භූමියේ කොතනකද යන්න සොයාගැනීමත් කළා. ස්ථාන කීපයක සිට, අපේ සවන්දීමේ ගුවන්විදුලි යන්ත්‍ර යොදවා, ඒ ඒ යන්ත්‍රයට සතුරු පණිවිඩය එන දිසාව, එම යන්ත්‍රයේ පෙන්වන ආකාරයට සිතියමක ජ්‍යාමිතික රේඛා අඳිනවා. අපේ සවන්දීමේ යන්ත්‍ර ඇති ස්ථාන, සිතියමේ ලකුණු කරගෙනයි එහෙම කරන්නේ. අර සියලුම ජ්‍යාමිතික රේඛා, එකිනෙක කැපීයන ලක්ෂ්‍යයේ තමයි, සතුරු ගුවන්විදුලි යන්ත්‍රය තිබෙන්නේ. අපිට අවශ්‍යනම්, කාලතුවක්කු, මල්ටිබැරල්, ගුවන් ප්‍රහාර යොදවා ඒ ස්ථානය විනාශ කරනවා.

   සතුරු ගුවන්විදුලි යන්ත්‍රයෙන් කතාකරන දේ අපට වැදගත් වෙනවා. සතුරාගේ ඉදිරි කටයුතු, සතුරාගේ නායකයන්ගේ ගමන් බිමන්, සතුරු කඳවුරු ඇති ස්ථාන, අවි ආයුධ ගබඩා ඇති ස්ථාන, ආදී විවිධ තොරතුරු සොයාගතහැකි ආකාරයේ පණිවිඩ නම්, එකවර පහර නොදී, අපට අවශ්‍ය තොරතුරු හැකිතරම් ලබාගන්නාතෙක්, අහගෙන ඉන්නවා. ලබාගන්නා තොරතුරු පටිගත කොට, රහසිගතව ඉහල මූලස්ථාන වෙත ලබාදෙනවා. අපේ ක්‍රියාන්විතයක් සිදුවන අතරතුර, සතුරු ගුවන්විදුලි පණිවිඩ අවුල් (jam) කරනවා. ඒ සඳහා විශේෂ ගුවන්විදුලි යන්ත්‍ර තිබෙනවා. 









   හයිබ්‍රිඩ් යුද්ධය සමහර අවස්ථා වලදී තේරුම්ගත නොහැකිතරම් සංකීර්ණයි. උදාහරණයක් වශයෙන්, එය, හෞතිකව එල්ලවන විවිධාකාරයේ ප්‍රහාරයන් සමග, රටක් තුළ හෝ රටින් පිටත සිටින විවිධ දේශපාලන, ත්‍රස්තවාදී, බෙදුම්වාදී බලවේග මගින්, හයිබ්‍රිඩ් යුද්ධයට මැදිවී සිටින ජන සමාජයන්හි, චින්තනය, චර්යාව, වෙනස්කිරීම සඳහා, විවිධ ප්‍රචාරණ වැඩ පිළිවෙල, උද්ඝෝෂණ, වැඩවර්ජන, පෝස්ටර් ඇලවීම, පෙළපාලි යාම, සිවිල් නීති කැඩීම, වැනි නොයෙක් මුහුණුවරින් ක්‍රියාත්මක වියහැකියි.  

   එක්සත් ජාතීන්ගේ සංවිධානය, පවා පිලිගන්නවා හයිබ්‍රිඩ් යුද්ධය වරින්වර මුහුණුවර වෙනස්වන, වරින්වර උපක්‍රම වෙනස්වන, වරින්වර අරමුණු වෙනස්වන, සංකීර්ණ සංග්‍රාමික තත්වයක් බව.

   මැදපෙරදිග රටවල් ඊශ්‍රායලය සමග ඇතිකරගෙන තිබෙන ගැටුම්, අළුයට ගිනි පුපුරු මෙන් තිබෙන අතර, හිස්බුල්ලා වැනි සංවිධාන එළිපිටම ඊශ්‍රායලය සමග ගැටෙනවා. නමුත් හිස්බුල්ලා වැනි සංවිධාන, වෙනත් රටවල් විසින් නටවන රූකඩ පමණයි. ඇත්ත සතුරන් කවුදැයි එකවර හඳුනාගන්නට නොහැකිවීමත්, හයිබ්‍රිඩ් යුද්ධයේ විශේෂත්වයක්. හයිබ්‍රිඩ් සංග්‍රාමික තත්වයන්ට පැටලෙන ලෝකයේ සමහර රටවල්, කුමක් කළයුතුයි සිතාගත නොහැකිව, මානුෂවාදී නීති උල්ලංඝනය වන ආකාරයටද ක්‍රියාකිරීමට ඉඩ තිබෙනවා.

   හයිබ්‍රිඩ් යුද උපක්‍රම මගින්, ක්‍ෂණික ප්‍රතිඵල ලබාගැනීමට හැකිවීමත් විශේෂත්වයක්. උදාහරණයක් වශයෙන්, ඇමරිකා එක්සත් ජනපදය විසින්, අන්තවාදී මුස්ලිම් සංවිධාන ක්‍රියාත්මකව පවතින මැද පෙරදිග රටවල, ත්‍රස්තවාදී නායකයන්ගේ පණිවිඩ හුවමාරු සංඥා ග්‍රහණය කරගෙන සැක කටයුතු ස්ථාන වෙත, ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, මුස්ලිම් අන්තවාදී නායකයන්, ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර වලින් කතාකිරීම නවත්වා දැමුනු අතර,  දිවාකාලයේ එළිමහනට පැමිණීමද අත්හැර දමන ලදී.

   මෙතෙක් අත්හදා බලා නැති, නවීනතම සහ වඩාත් දරුණු යුද්ධායුධ වර්ග අත්හදා බැලීමටත්, හයිබ්‍රිඩ් යුද්ධ යොදාගන්නවා. මෙහිදී විවිධ රසායනික අවි මෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් තහනම් කොට තිබෙන, සමූල ඝාතක අවි වර්ග පවා එළියට එන්නට පුළුවන්.

   යම්කිසි රටක තිබෙන සාමකාමී තත්වය කඩාකප්පල් කොට, ඒ රටතුළ සිවිල් යුද තත්වයන් ආරම්භ කිරීමෙන්, තම දේශපාලන අරමුණු ඉටුකරගැනීමටත්, හයිබ්‍රිඩ් යුද උපක්‍රම යොදාගත හැකියි. මෙවැනි කටයුතු සඳහා යම් රටක, අභ්‍යන්තරව හෝ බාහිරව සරණාගත තත්වයට පත් මහජනතාව, පහසුවෙන් පොළඹවා ගතහැකියි. විශාල ප්‍රචාරණ යාන්ත්‍රණයන් උපයෝගී කරගනිමින්, සත්‍යය වසන් කොට මහජන චින්තනය වෙනස් කිරීමට ක්‍රියාකිරීම ද, හයිබ්‍රිඩ් යුද්ධයේදී දකින්නට ලැබෙනවා. 

2016 ජනවාරි මස 25 වැනි දින 2220 පැය

18 January 2016

යළිත් හිස ඔසවන තුවක්කු සංස්කෘතියට මොකද කරන්නේ?

no-guns
 මෑත කාලයේදී, අපේ රටේ, ගිනි අවි වලින් කෙරෙන මිනීමැරුම් සහ අපරාධවල යම්කිසි වැඩිවීමක් නිරීක්ෂණය වෙනවා. බැංකු, ඉන්ධනහල්, සුපිරි වෙළඳසල් මංකොල්ලකෑම වගේම, මිනීමැරුම් සෑහෙන සංඛ්‍යාවක් සිදුවී තිබෙනවා. මේ තත්වය ආශ්‍රිතව ඉතා හොඳ විග්‍රහයක්, ප්‍රවීණ හමුදා නිලධාරියකු මෙන්ම, හමුදා කටයුතු පිලිබඳ පුවත්පත් ලිපි රචකයකු වන, කර්නල් සුසන්ත සෙනෙවිරත්න විසින්, රූපවාහිනී ප්‍රවෘත්ති විකාශනයකදී ඉදිරිපත් කළා. එහිදී ඔහු සඳහන් කළ ඉතා වැදගත් තොරතුරු සහ, මේ තත්වය සම්බන්ධ මගේ නිරීක්‍ෂණයන්ද පදනම් කරගනිමින්, මේ ලිපිය ඔබවෙත ගෙන එනවා.


The Gun

   අපේ රටේ තුවක්කු සංස්කෘතියට දිගු ඉතිහාසයක් තිබෙනවා. පළමුවරට, අපේ රටේ දී, ගිනි අවියකින් කළ මිනීමැරුමක් පිලිබඳ, ආන්දෝලනාත්මක සිද්ධිය වන්නේ, අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමේ සිද්ධියයි. මෙයින් පෙනෙන්නේ, 1950 දශකයේදී වුවද, සුළු පරිමාණයෙන් හෝ, සැඟවුණ ගිනි අවි මේ රටේ තිබුන බවයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, ධනවත් බලවත් පුද්ගලයන් අත, බලපත්‍ර සහිතව හෝ රහිතව,  ගිනිඅවි තිබුණා. වතු අධිකාරී වැනි වෘත්තීන්හි නිරත අයට, ගිනි අවි පරිහරණය සඳහා බලපත්‍ර ලැබුණා.

   දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව, අපේ රටේ, මහා පරිමාණයෙන් ගිනි අවි හරඹ සිදුවුණේ, 1971 කැරැල්ලේදී බව අපි දන්නවා. ඒ කැරැල්ල ආරම්භවීමට ආසන්න වකවානුවේදී, විවිධ පුද්ගලයන් සහ ආයතන සතුව තිබුණු, බලපත්‍ර සහිත ගිනි අවි වලින්, සැළකියයුතු ප්‍රමාණයක්, ජවිපෙ විසින් පැහැරගනු ලැබුවා. ඒ හැර, රජයේ නියෝග පරිදි, ග්‍රාමසේවා නිළධාරීන් සහ පොලීසිය එක්ව, බලපත්‍රලාභීන් සතු ගිනි අවි, පොලීසිය වෙත භාරගත්තා, ආරක්ෂාව සඳහා. නමුත්, එම ගිනි අවි වලින් සෑහෙන ප්‍රමාණයකට සිදුවූ දෙය, පසු කාලයේදී සොයාගන්නට නොහැකි වුණා. මගේ පියා සතුව තිබුණු, බලපත්‍රය සහිත බෝර් 12 තුවක්කුවට ද, පොලීසියට භාරදීමෙන් පසු, එම ඉරණම ම අත්වුණා. එය ආපසු ඉල්ලා සිටීමේදී, විවිධ ප්‍රශ්න පැනනැගී අප්‍රසන්න තත්වයකට පත් මගේ පියා, අවසානයේදී, තුවක්කුව ආපසු ඉල්ලීමේ අදහස අතහැර දැම්මා. එලෙස, ලංකාවේම තුවක්කු කීයක් ආපසු නොදෙන්නට ඇද්ද? ඒ තුවක්කු අද ඇත්තේ කොහේද? 

   ද්‍රවිඩ සන්නද්ධ සංවිධාන, උතුරු නැගෙනහිර පළාත්වල හිස එසවීමත් සමග, රාජ්‍ය ආයතන, තිවිධ හමුදාව සහ පොලීසිය සතු ගිනි අවි පැහැරගැනීම වැඩිවුණා. ඒ අතරම ඔවුන්, පිටරටින් හොරෙන් අවි ගෙන ඒමද බහුලව සිදුවුණා. 1988 - 89 ජවිපෙ දෙවැනි කැරැල්ලේදී ද, ඔවුන් අතට සෑහෙන අවි සංඛ්‍යාවක් පත්වුණා.  අපේ රටට මහත් ව්‍යසනයක් ගෙනදිය හැකි බවට පැහැදිළිවම පෙනීයන, තුවක්කු සංස්කෘතියක් මේ රටේ ඇතිවීම සඳහා කෙළින්ම බලපාන, සැඟවී තිබෙන අවි අති විශාල ගණනක් එකතුවුණේ, 1983 - 2009 දක්වා කාලය තුළ, මේ රටේ පැවති සංග්‍රාමික තත්වයයි. මේ කාලය තුළ අපේ රටේ ගිනි අවි නීතිය සහ ගිනි අවි විනය අන්තයටම පිරිහුණ බවයි, මා හිතන්නේ.

   LTTE ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදිමින්, ගම්බිම් ආරක්‍ෂා කරගැනීමේ පරමාර්ථයෙන් පිහිටුවන ලද, එවකට ග්‍රාමාරක්‍ෂක සේවය වශයෙන් හැඳින්වුන සන්නද්ධ සේවයේ අයට, රජයෙන් ලබාදී තිබුණු තුවක්කු, සෑමවිටම තිබුණේ ඔවුන් අතේමයි. රාජකාරියෙන් මිදුන පසුත්, යළි රාජකාරියට යනතුරු, කුඹුරට, හේනට, කඩේට, මරණෙට, මඟුලට ගියෙත්, අවිය දරාගෙනමයි. එක නිවසකින් සාමාජිකයන් කීප දෙනෙකු, ග්‍රාමාරක්‍ෂක සේවයට බැඳී සිටියේ නම්, ඒ හා සමාන අවි ප්‍රමාණයක්, ඒ නිවසේ තිබුණා. මෙයින්, සමහර අවස්ථා වලදී, පවුල් ආරවුල් විසඳීම, ගැටවර වියේ දරුවන්, අවි පරිහරණයට ගොස් අනතුරු සිදුකරගැනීම, අනවසර සතුන් දඩයම, (දඩමස් විකිණීමට පමණක් නොව, ලොකු මහත්වරුන්ගේ/දේසපාලුවන්ගේ සාද සඳහා මස් සැපයීම)  පමණක් නොව, අවි අතුරුදහන් වූ අවස්ථා ද තිබුණා. මෙම සේවය පිහිටුවීමේ පරමාර්ථය හොඳ එකක් වුණත්, එහි අනිටු ඵල විපාකත් සෑහෙන්න තිබුණා. 

   1988 - 89 කාලයේදී, මේ රටේ ඇතිවූ භීෂණකාරී තත්වය නිසා, දේශපාලනඥයන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්ට පෞද්ගලික අවි මෙන්ම, ඔවුන්ගේ ආරක්ෂාවට සිටි අයටද, අවි නිකුත් කළා. මේ අවි වලින් සැළකිය යුතු ප්‍රමාණයක්, පසුකාලීනව අතුරුදහන් වුණා. එමෙන්ම, මේ තත්වය යටතේ, සමහර දේශපාලනඥයන්, යුද්ධ කටයුතු සඳහා පමණක් පාවිච්චි කරන අවි, පිටරටින් ගෙන්වා ගත්තා. ඒ සඳහා අවසර ලැබුනේ කෙසේද? එම දේශපාලනඥයන්, දේශපාලනයෙන් ඉවත්වීමෙන් පසු, එම අවි වලට සිදුවුයේ කුමක්ද? යන්න අබිරහසක්.

   අද ජීවතුන් අතර නැති, ඌව පළාතේ සිටි කුප්‍රකට දේශපාලනඥයකු, ඔහු පිටරටින් ගෙන්වාගත්, එකවර පතරොම් 200 ක් යෙදිය හැකි, ඇමරිකාවේ නිෂ්පාදිත, එවකට ශ්‍රීලංකා ත්‍රිවිධ හමුදාවේ වත් නොතිබුණු මැෂින් තුවක්කුවක්, බොහොම උජාරුවෙන් මට පෙන්නුවා.  මේ පිළිබඳව මා, එවකට ඒ පළාතේ සිටි ජ්‍යොෂ්ඨ හමුදා නිලධාරියකුට වාර්තා කළත්, පලක් වුනේ නැහැ. මේ අවිය සහ මේ ආකාරයටම ගෙන්වාගන්නට ඇතැයි සිතිය හැකි තවත් අවි සෑහෙන ප්‍රමාණයක්, අද ඇත්තේ කොහේද? මේ අකාරයටම, දේශපාලන බලපුළුවන්කාරකම මත අදත් කොපමණ අවි ගෙන්වනවා ඇද්ද? එම අවියට සමාන අවියක පින්තූරයක්, පහත දක්වනවා. 


Twin Mag

   සිතා බලන්න, 1988 - 89 කාලයේදී මෙවැනි අවියකින්, මේ දේශපාලුවා කරන්නට හැදුවේ කුමක්ද?

   ඊලාම් යුද්ධය පැවති අවධියේදී, ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට, එවකට ග්‍රාමාරක්ෂක සේවයට, අයත් අවි සෑහෙන ප්‍රමාණයක්, ත්‍රස්තවාදී ප්‍රහාර වලින් අහිමි වුණා. එමෙන්ම, ත්‍රස්තවාදීන් වෙත, ත්‍රිවිධ හමුදාව විසින් එල්ල කළ ප්‍රහාර වලින්, ඔවුන්ගේ අවි සැහෙන ප්‍රමාණයක් අල්ලා ගන්නට හැකිවුණා. 1988 - 89 කාලයේදී, ජවිපෙ සතුව තිබී අල්ලාගත් අවි සමහරක්, ආගිය අතක් නැති බවට කතා පැතිරුණා. තිත්ත ඇත්තක් වන්නේ, අල්ලාගන්නා ලද අවි වලින් කීපයක් හෝ යටිමඩි ගසාගෙන, පසුව ඒවා පාතාලයට විකිණීම සහ, තවත් සමහරක් තමන්ගේ පරිහරණය සඳහා සඟවාගත් බවයි.

   මෙවැනි ක්‍රියා කරන්නට, ඒ කාලේ, ආරක්ෂක හමුදාවන්ට සහ පොලීසියට, ඕනෑතරම් ඉඩකඩ තිබුණා. ඊලාම් යුද්ධය පවතිද්දී, අවි පරිහරණය පිළිබඳ විනය, සෑහෙන්න පහත වැටුණා. අවිවල ආරක්ෂාව බොහෝදුරට හීන වුණා. භටපිරිස් ඌනතාවය, ගබඩා පහසුකම් හොඳ තත්වයේ නොතිබීම, නිතර පරීක්ෂාකර බලා, සෑම අවියක්ම නිරුපද්‍රිතව තිබෙන බවට තහවුරු කිරීමේ හමුදා පිළිවෙත, සමහර අවස්ථාවලදී ප්‍රයෝගිකව ක්‍රියාත්මක නොකොට, පොත්පත් වල යොදන සටහන් වලට පමණක් සීමාවීම, වැනි හේතු නිසා, අවි අස්ථානගතවීම් සිදුවුණා.

   1998 වර්ෂයේදී, උතුරු සටන් පෙරමුණ බිඳවැටීම නිසා පසුපසට පැමිණි, ත්‍රිවිධ හමුදාවේ සමහර  භටපිරිස්, විවිධ හේතු නිසා, තම අවි හැරදමා පැමිණියා. මෙයින් සමහර අවි, LTTE ත්‍රස්තවාදීන් හැර, වෙනත් පුද්ගලයන් අතටද පත්වන්නට ඇතැයි, සෑහෙන විශ්වාසයකින් යුතුව උපකල්පනය කළහැකියි. සිදුවුයේ කුමක්ද යන්න සොයාගත නොහැකි අවි, සෑහෙන ප්‍රමාණයක්, ත්‍රිවිධ හමුදාවේම වාර්තා වල ඇතැයි මා සිතනවා. පාතාලය වෙත අවි සැපයීමේ ජාවාරම් සිදුවන බවට, දූෂමාන ආරංචි, ඒ කාලේ සෑහෙන්න පැතිරී තිබුණා.

   අනවසරයෙන් අවි රැගෙන ගිය හමුදා සාමාජිකයන් සෑහෙන ගණනක්, මාර්ග බාධක වලදී අල්ලාගනු ලැබුණා. එලෙස හසු නොවූ අය කොපමණ ඉන්නට ඇද්ද? උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිට ප්‍රධාන නගර සහ හමුදා/පොලිස් මාර්ග බාධක ස්ථාන සහ මුරපොළ මගහැර, දිවයිනේ දකුණු පළාත්වලට යාහැකි වනගත අතුරු මාර්ග තිබුණා. එම මාර්ග ඔස්සේ, කෙබඳු දේවල් ප්‍රවාහනය කරන්නට ඇද්දැයි සිතාගත නොහැකියි. 

   මේ විස්තරය තවත් දීර්ඝව ඉදිරියට කරගෙන යා හැකි නමුත්, මා එය මෙතනින් නවත්වා, ගිනි අවි පාලනය සහ තුවක්කු සංස්කෘතියක් ඇති නොවීම සඳහා, මා යෝජනා කරන පියවර, පහත දක්වනවා.

  • යුද්ධය අවසන්වීමෙන් පසු, අවි සම්බන්ධ ගණනය කිරීම්, නැවත සලකා බැලීමක් කළයුතුයි. ඒ සඳහා, පහත දැක්වෙන කරුණු පදනම් කරගත යුතුයි.

  • LTTE සංවිධානය සතුව කොපමණ අවි සංඛ්‍යාවක් තිබෙන්නට ඇද්ද, එයින් කොපමණක් අල්ලා ගත්තාද, කොපමණක් හානියට පත්වන්නට ඇද්ද, අපෙන් අල්ලාගත් අවි කොපමණ සංඛ්‍යාවක්, LTTE ය සතුව තිබෙන්නට ඇද්ද, එම අවි වල අනුක්‍රමික අංක මගින්, ඒවා අපේ අවි බව තහවුරු වුණාද? (අපේ හමුදා වෙනුවෙන් ගෙන්වූ සියලුම අවි සම්බන්ධ අංක, ත්‍රිවිධ හමුදාව සතුව තිබෙනවා) අපේ නොවන අවි (LTTE ය සතු) අවි කොපමණක් යුද්ධයෙන් පසු හමුවුනාද, LTTE ය පාවිච්චි කළ අවි, යුද්ධය පැරදීගෙන එද්දී, මතු පාවිච්චිය සඳහා වලදමා හෝ  මුහුද යට සඟවා හෝ ඇතැයි සිතෙන, තොරතුරු ලැබුණ සෑම තැනක්ම, නිසැකවම පරීක්ෂා කළාද?  සෑහෙන අවි ප්‍රමාණයක් මෙලෙස සොයාගත් නමුත්, එසේ සොයාගත් අවි ප්‍රමාණය ගැන සෑහීමකට පත්විය නොහැකි බවයි, මගේ අදහස. 



   රූපය මත ක්ලික් කර, විශාල කර බලන්න. ඉහත දැක්වෙන්නේ, පිළිගත් අවි නිෂ්පාදකයකු විසින්, විවෘත වෙළඳපොලට ඉදිරිපත්කරන අවියක සඳහන් තොරතුරුයි. නමුත්, මෙහි සඳහන් සෑම තොරතුරක්ම, සෑම පිළිගත් අවි නිෂ්පාදකයකු විසින්ම, සඳහන් කරන්නේ නැහැ. එහෙත්, අවියේ අනුක්‍රමික අංකය සහ නිෂ්පාදකයා හඳුනා ගැනීමේ වචන හෝ සංකේත, අනිවාර්යයෙන් යොදනවා.

   එමෙන්ම ඒවා විකිණීමේදී, එම අවි නිෂ්පාදකයන් වාර්තා තබාගන්නවා, කොයි කාලයේදී කාටද මේ අවි විකිණුවේ කියා. එසේ කිරීම නීතියක්. හොර අවි වෙළෙඳුන් පමණයි, එසේ නොකරන්නේ. මේ නිසා, යම් අවියක අනන්‍යතාව ගැන ගැටළුවක් ඇත්නම්, එම අවියේ ඇති අංක සහ සලකුණු, එම අවිය නිෂ්පාදනය කරන්නට ඇතැයි සිතන රටට යවා තහවුරු කරගත හැකියි, කවදා කාටද එම අවිය විකිණුවේ කියා.

   දැනට පොලීසිය විසින් විවිධ අවස්ථා වලදී අත්අඩංගුවට ගන්නා අවි, දැඩි පරීක්ෂාවකට ලක්කර, ඒවායේ අනන්‍යතාව තහවුරු කරගත යුතුයි. ඒවා ත්‍රිවිධ හමුදාවට, පොලීසියට, බන්ධනාගාර දෙපාර්තමේන්තුවට හෝ අවි පරිහරණය කරන වෙනත් රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ ආයතනයකට අයත්දැයි සොයාබලා, එවැනි අංශයකට අයත්නම්, එම අවිය නැතිවීම පිලිබඳ අදාළ අංශ වෙතින්, මෙතෙක් කල් ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිළි කරගත යුතුයි. ක්‍රියාමාර්ග ගෙන නැතිනම්, එයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගතයුතුයි.

  • ආරක්ෂක කමුදා කඳවුරු වල ඇති අවි, කුළී ගෙවීමේ පදනම මත, පාතාල කල්ලි, මංකොල්ල කණ්ඩායම් (මංකොල්ලකන මුදල්/ස්වර්ණාභරණ/වැනි දේ වලින් කොටසක් දීමේ පොරොන්දුව මත) වෙත දෙන බවට තොරතුරු ඇති අතර, යටත්පිරිසෙයින් එක් වතාවක් හෝ මෙවැනි සිද්ධියක්, අගනුවරට ආසන්න කඳවුරකින්, අතටම හසුවුණා.  අදත් මේ තත්වය සම්පූර්ණයෙන් නැවතී ඇතැයි සහතිකයක් දියහැකිද?

  • ආරක්ෂක හමුදා සතු අවි/පතරොම්/බෝම්බ/අනෙකුත් වෙඩි ද්‍රව්‍ය/ පිළිබඳව සතියට වතාවක් වත් පරීක්ෂාකොට, මසකට වතාවක්වත්, ඉහළ මූලස්ථාන වෙත වාර්තා සපයනවා. අඩුපාඩු/අස්ථානගතවීම්/අක්‍රමිකතා/ වාර්තා වුවහොත්, නීත්‍යානුකූල පියවර ගන්නවා. නමුත්, ඉතා සියුම් ලෙස, අක්‍රමිකතා සිදුවීමට ඉඩ තිබෙනවා. තම අවිය නැතිකරගත් සොල්දාදුවකු, ඒ බව කඳවුරට වාර්තා නොකොට, රාජකාරියෙන් මිදී සිටින තම සගයකුගෙන් අවියක් ඉල්ලාගෙන මුර රාජකාරියේ යෙදුනු අවස්ථාවක් වරක් හසුවුණා. අත්බෝම්බයක් ගෙදර ගෙනයමින් සිටි සොල්දාදුවකු, එම බෝම්බය හදිසියෙන්ම අනුරාධපුර දුම්රිය ස්ථානයේදී පුපුරායාම නිසා ආබාධිත තත්වයට පත්වුණා. ඔහුව අපකීර්ති සහගත ලෙස හමුදාවෙන් ඉවත්කළා. ඒ එක සිද්ධියක් හෝ දෙකක් පමණයි. එවැනි සිද්ධි අදත් සිදුවනවාදැයි, ඉතා විමසිල්ලෙන් සිටිය යුතුයි. 

  • ත්‍රිවිධ හමුදාවෙන් සහ පොලීසියෙන්, බන්ධනාගාර ආරක්ෂක, සිවිල් ආරක්ෂක බලකායෙන් සහ, අවි පරිහරණය කරණ, වනජීවී, වනසංරක්‍ෂණ, වැනි දෙපාර්තමේන්තු වලින් විශ්‍රාම ගොස් සිටින, සියලුම සාමාජිකයන්ගේ තරාතිරම නොබලා, ඔවුන්ගේ නිවෙස් සහ ගෙවතු පරිශ්‍ර, දැඩි ලෙස, හදිසි පරීක්‍ෂාවකට ලක්කළ යුතුයි.

  • ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය, සහ අවි පරිහරණය කරන අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික ආරක්ෂා සේවාවන්හි, අවි සම්බන්ධ ලේඛන සහ, දැනට සැබැවින්ම ඇති අවි/පතරොම්/බෝම්බ/වෙඩි ද්‍රව්‍ය/ ගැන, ඉතා පුළුල් සමීක්ෂණයක් කිරීම සඳහා, පූර්ණ බලැති (ඒ සඳහා තාක්‍ෂණික සහ පරිපාලන/විගණන දැනුම සහිත) විශේෂ මණ්ඩල පත්කොට, එමගින් සත්‍ය තත්වය රජයේ අවධානයට ලක්කොට, සුදුසු පියවර නොපමාව ගතයුතුයි.

  • හොර අවි තිබෙන්නේ කා ළඟද යන ප්‍රශනය පොලීසියෙන් ඇහුවොත්, ඇත්තටම පොලීසිය දන්නවා, සෑහෙන තරම් හොර අවි තියෙන්නේ කා ළඟදැයි කියන්නට. නමුත් බොහෝවිට, නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ තත්වය මත, පොලීසිය නිරුත්තරවීම/ගොලුවීම/සිදුවෙනවා. මේ තත්වය නැතිකිරීම පිණිස, මේ රටේ පුරවැසි සංවිධාන එකමුතුවී, යම් ක්‍රියාමාර්ගයක් ගතයුතුයි. බෞද්ධ භික්ෂුන් යයි කියාගන්නා සමහර අය අත ද, ගිනි අවි ඇති බව, ප්‍රසිද්ධ රහසකි.

  • LTTE සංවිධානය වෙතින් අල්ලාගත් අවි/තවදුරටත් පරිහරණය කළ නොහැකි තත්වයට පත්වී ඇති අවි/තවදුරටත් පරිහරණය කිරීමට අනවශ්‍ය, යල් පැනගිය මෝස්‌තර වලට අයත් අවි/ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නියෝජිතයන් මෙන්ම, මහේස්ත්‍රාත් වරයකුගේ අධීක්‍ෂණය යටතේ, යකඩ වලට උණුකිරීම කළ යුතුයි.

  • ඉන්දියාවේ නිෂ්පාදිත, අලුත්ම මෝටර් බයිසිකල්, ජපන් බෝට්ටු එන්ජින්, සහ වෙනත් විවිධ වෙළඳ භාණ්ඩ, ලංකාවේ උතුරු සහ වයඹදිග වෙරළ තීරයට, හොරබඩු ලෙස ගෙන ඒම ප්‍රසිද්ධ රහසක්. මේ ආකාරයට අවි ආයුධ පවා එන්නට ඉඩ තිබෙනවා. පිටරටින් මෙරටට අවි ආයුධ ගෙන ඒමට හැකිවෙතැයි උපකල්පනය කරන, සෑම මාර්ගයක්ම වැසීමට, විශේෂ වැඩපිළිවෙලක් යෙදිය යුතුයි.

  • අපරාධකරුවන් අත තිබී හසුවන T 56 අවි බොහොමයක්, T 56 Mark I සහ  Mark II යන වර්ග දෙකට අයත් බව පෙනෙනවා. මෙයින්, Mark I වර්ගය, දැනට කලකට ඉහතදී, හමුදා පාවිච්චියෙන් ඉවත් කරනු ලැබුණා. එයට හේතු දෙකක් තිබුණා. එකක්, මේ අවියේ බට් හෙවත් පසුපස මිට කොටස, සම්පූර්ණයෙන් ලෝහයෙන් නිමවා, අවශ්‍ය අවස්ථාවක ඉදිරියට නැවිය හැකි ආකාරයට සකසා තිබෙන්නේ. නමුත් කල් යනවිට, මේ කොටස බුරුල්වී සෙලවෙන තත්වයට පත්වෙනවා. එය මහා කරදරයක්. දෙවැනි හේතුව එවැනි අවියක් රැගෙන, රහසිගතව යුදබිමේ යන්න බැහැ. අර කොටසෙන් 'කච කච' ගා ශබ්දයක් එනවා, හෙලවෙන විට. ඒ නිසා සොල්දාදුවන් මෙය, 'T 56 කචල් බට් මොඩල්' යනුවෙන් හැඳින්වුවා. නමුත් අපරාධ කරුවන්ට  T 56 Mark I සහ  Mark II යන අවි මෝස්‌තර දෙකම ආශිර්වාදයක්, වාසියක්. එයට හේතුව, මේ මෝස්‌තර දෙකේම මිට නැවිය හැකි නිසා, පහසුවෙන් ගමන් බෑගයක සඟවාගෙන යා හැකි වීමත්, අවශ්‍යවිට ක්‍ෂණිකව එළියට ගෙන හෝ, බෑගය තුළට අත දමා අවිය අල්ලාගෙන, වෙඩි තැබීමට හැකිවීමත් නිසයි. එම අවි මෝස්‌තර දෙක පහත දක්වනවා.














   ඉහත දක්වා ඇති තුවක්කු මෝස්‌තර දෙක, අත්‍යවශ්‍ය අවි නොවේ. ඒ නිසා, මේ මෝස්‌තර දෙක භාවිතයෙන් ඉවත් කොට, නැවිය නොහැකි, ස්ථිර මිට සහිත මෝස්තරය පමණක්, ත්‍රිවිධ හමුදාවේ භාවිතයට ගැනීම සුදුසු බව පෙනීයනවා.


   මේ මෝස්තරය පහසුවෙන් සඟවාගෙන යන්නට බැහැ, එහි දිග නිසා.

  • දැනට ලංකාව තුළ නිකුත්කර තිබෙන සෑම පෞද්ගලික ගිනි අවි බලපත්‍රයක්ම, ඉතා දැඩිව නැවත සලකා බලා, අත්‍යවශ්‍ය යයි පැහැදිළිව තහවුරු වන ගිනි අවි බලපත්‍ර පමණක් ලබාදී, සෙසු සියල්ල අවලංගු කළයුතුයි. විශේෂයෙන්ම, දේශපාලනඥයන්ට දී තිබෙන ගිනි අවි, වහාම ආපසු ලබාගත යුතුයි. නව බලපත්‍ර ලබාදීම අත්හිටුවිය යුතුයි. පසුගිය රජයයන් සමයේ, දේශපාලකයන්ට ලබාදුන් ගිනි අවි සෑහෙන ප්‍රමාණයක්, ඔවුන් දේශපාලනයෙන් ඉවත් වූ පසුවද, ආපසු ලබාදී නැහැ. මේ ගැන දැඩි ක්‍රියාමාර්ග ගතයුතුයි. 


   ඔබටත් මේ ගැන කියන්නට බොහෝ දේ ඇති. ඔබේ අදහස් ද  එකතු කරමින්, අපි සංවාදයක යෙදෙමු. 

2016 ජනවාරි මස 16 වැනි දින 2352 පැය

11 January 2016

රටක් වනසන්නේ මෙහෙමයි

Spy
තරහ ගන්න එපා මේ මාතෘකාව කියවලා, අලුත් අවුරුද්දක් පටන්ගත්ත ගමන්, යන්තම් යහපාලනේට අවුරුද්දක් පිරිච්චි ගමන්, රටක් වනසන හැටි කියලා දෙනවා කියලා. මොකද, අද ලෝකය පුරාම එක එක රටවල්, තමන්ට සතුරු වෙනත් රටවල් වැනසීමට ක්‍රියාකරනවා. ඒ අතර සමහර රටවල පාලකයන්, දේශපාලනික වශයෙන් රටවල් වනසනවා. විරුද්ධ පක්ෂ, සමහර රටවල් වනසනවා. මේ කරුණු නොලියාම බැහැ කියලා හිතුන නිසයි ලියන්නේ. අර උතුරු කොරියාවේ උන්නැහේ, ඊයේ පෙරේදා ටෙස්ට් එක පාස්වෙච්චි හින්දා, ඊළඟ ටෙස්ට් එක, කාගේ ඔලුවට අතාරියි ද දන්නේ නැහැ. මේ කතාව කියවන්න කලින්, අපි දන්නා පරණ කියමන් කීපයක් මතක් කරගම්මුද?

   දිය රෙද්දෙන් බෙල්ල කපනවා,

   හීන් නූලෙන් වැඩේ කරනවා,

   දිය යටින් ගින්දර ගෙනියනවා,

   මේ කියමන් වලින් දෙන පොදු අර්ථය මොකක්ද? පිටතට හොඳ මූණක් පෙන්වමින්, අනුන්ගේ විනාශයට කටයුතු කරනවා කියන එක නේද? යුද්ධයේදීත් මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙනවා. මීට කලකට ඉහතදී මා ඔබට කියාදුන්නා ඔලුවෙන් ගැහීමක් ගැන. මේ කියන්නට යන දේත් ඊට සම්බන්ධයි. මේ ලිපියෙන් ඔබට කියාදෙන්නේ, සංග්‍රාමික භූමිකාව තුළ, සතුරු පාර්ශ්වය විනාශ කිරීම, ඔවුන්ගේ අභිමතාර්ථ සහ අරමුණු කඩාකප්පල් කිරීම, ඔවුන්ව වැනසීම, සඳහා භාවිත කරන විවිධ උපක්‍රම පිළිබඳවයි. මෙහි ඇති මානුෂික හෝ අමානුෂික බව සෙවීම නෙවෙයි, ලිපියේ අරමුණ. 'මෙන්න මෙවැනි දේ සිදුවනවා' කියා පෙන්වාදීම පමණයි, මා කරන්නේ.

   ඔත්තු සේවා මගින් ලබාගන්නා තොරතුරු ඔස්සේ තමයි, මෙවැනි රහසිගත ක්‍රියාන්විත සිදුකරන්නේ. මෙවැනි ක්‍රියාන්විත වලදී, මානව හිමිකම් කඩවීම් සිදුවන්නට, බොහෝදුරට ඉඩ තිබෙනවා. නමුත්, මානව හිමිකම් ගැන, තමන්ගේ වාලධිය ඉහළට ඔසවාගෙන තප්පු ලන රටවල්, ලෝකයට හොරෙන්, මෙවැනි රහස්‍ය ක්‍රියාන්විත, මහා පරිමාණයෙන් සිදුකරනවා.

  • කැළඹීම් ඇතිකිරීම සහ බියගැන්වීම:-
Displaced     මේ ක්‍රමයේදී තමන්ගේ සතුරු පක්ෂය සිටින ප්‍රදේශයට හෝ රටට හොරෙන්ම රිංගවන හෝ විවිධ වේශයෙන් යවන අපි පිරිස්, අපිට සතුරු ප්‍රදේශයේ හෝ රටේ සිටින ජනතාවට හැකිතරම් බොරු කියා (ඇත්ත මෙන් කියා) ඔවුන් තුළ මානසික වශයෙන් පසුබෑමක්/අදහස් වෙනස් කිරීමක්/බිඳවීමක්/ සිදුකරනවා, ඒ රටේ හෝ ප්‍රදේශයේ ජීවත්වීම භයානකයි, පාලකයන් ඔවුන් ගැන බලන්නේ නැහැ, ඒ අතරේ කොයි මොහොතක හෝ සතුරු ප්‍රහාර එල්ලවීම නිසා ජීවිත හානි සිදුවිය හැකියි, එමනිසා වහාම මේ ප්‍රදේශය අතහැර පලායාම තමයි සුදුසු, ආදී වශයෙන්. මේ මගින්, රටක ජනගහන අසමතුලිතතාවයක් ගොඩනැගිය හැකියි. පාලක පක්ෂයට විරුද්ධ පිරිසක් බිහිකරගත හැකියි. ඔවුන්ව අපේ වාසියට යොදාගත හැකියි. ඔවුන් ඉවත්වූ පසු අපට සතුරු පක්ෂයේ ඉලක්ක වෙත මානව හිමිකම් කඩ නොකර ප්‍රහාර එල්ල කල හැකියි.
  • ගුවන් හමුදා කඳවුරු/සිවිල් ගුවන් තොටුපළ වැනසීම:-
Katunayaka   සතුරු පක්‍ෂයේ ප්‍රහාරක ගුවන්යානා නවතා ඇති ස්ථාන සහ සිවිල් ගුවන් තොටුපළ සොයාගෙන, රහසිගතව එම ස්ථානවලට ඇතුළුවී, ප්‍රහාර එල්ලකොට ගුවන් යානා වැනසීම. මේ අද්දැකීම අපේ රට අත්විඳ ඇති නිසා විස්තර කරන්න යන්නේ නැහැ. හමුදාමය වශයෙන් සහ රටේ ආර්ථිකයට, කීර්තිනාමයට, ආරක්ෂා සහිත බවට, අතිවිශාල හානියක් සිදුවනවා මෙවැනි ප්‍රහාර වලින්.





  • තාක්ෂණික ඔත්තු බැලීම:- හරිම භයානක දෙයක්. ලෝකයේ රටවල් බොහොමයක් මේ වැඩේ කරනවා. ඔත්තු බලන චන්ද්‍රිකා මගින්, ඩ්‍රොන් යානා මගින්, ඔත්තු බැලීමෙන් වැදගත් තොරතුරු ලැබෙන නමුත්, සතුරාගේ විද්‍යාගාර/පර්යේෂණාගාර වල සිදුවන්නේ කුමක්ද යන්න පැහැදිලිව දැනගන්නට බහ. ඒ සඳහා කරන්නේ අපේ ඉත්තන් (mole) සතුරු පක්ෂයේ රටක තිබෙන විද්‍යාගාර/පර්යේෂණාගාර වලට රිංගවීමයි. (plant) වෙනත් රටක විද්‍යාඥයකු, උසස් අධ්‍යාපනය ලබන්නකු, එහෙම බැරිනම් වැසිකිලි පිරිසිදු කරන්නෙකු හැටියට හෝ එවැනි ඉත්තන් රිංගවනවා. සතුරාගේ යුද තාක්‍ෂණය හොරකම් කරගතහොත්, ඉතා පහසුවෙන් සතුරාට පහර දීමටත්, ඔහුගේ අනාගත සංග්‍රාමික වැඩපිළිවෙල අවුල් කරන්නත් පුළුවන් වෙනවා.


  •    සමහරවිට මේ සඳහා 'පැණි හැලි' යොදාගන්නවා. ඔන්න පහළින් තියනවා, ඒ වගේ පැණි හැලියක කතාවක්.  

    espionage

    • සතුරාට අයත් වැදගත් ගොඩනැගිලි සහ වෙනත් ඉදිකිරීම්, බෝම්බ/මිසයිල් ප්‍රහාර මගින් වනසා දැමීම :- සංග්‍රාමික කටයුතු වෙනුවෙන්ම, දීර්ඝ කාලයක් වෙහෙසී විශේෂයෙන් ඉදිකර තිබෙන, එමෙන්ම විනාශ වුවහොත් නැවත ගොඩනැගීමට නොහැකි/අපහසු/දුෂ්කර/ පර්යේෂණාගාර ගොඩනැගිලි, යුද ගුවන් යානා කම්හල්, නාවික මධ්‍යස්ථාන, රේඩාර් මධ්‍යස්ථාන, මිසයිල් මධ්‍යස්ථාන, ආදිය වැනසීමෙන්, සංග්‍රාමික හැකියාව අතින් සතුරා දුර්වල කිරීමයි, මෙහිදී කෙරෙන්නේ. මේ හැර, මහා ජලාශ වල වේලි පුපුරවා හැරීම, මේ ගණයටම වැටෙන ක්‍රියාවක්.

    • සතුරු ඔත්තුකරුවන් නොමගයැවීම සහ වැනසීම:- සතුරු පක්ෂයක ඔත්තුකරුවන්, අපේ පාලන ප්‍රදේශයට හෝ අපේ රටට පැමිණ, ඔත්තු බැලීමේ කාර්යයේ යෙදී සිටින බව පැහැදිළිව තහවුරු වුණොත්, ඔවුන්ට බොරු තොරතුරු දී නොමග යැවීම හෝ, රහසිගතව ඔවුන්ව විනාශකිරීම සිදුකරනවා.
    • සතුරාගේ ධන සංචිත වැනසීම:-  ඉදිරි සංග්‍රාමික කටයුතු සඳහා රැස්කර ඇතැයි සිතන, (ඔත්තු සේවා මගින් තහවුරු කරන) මධ්‍යම බැංකු, රත්රන් සහ එවැනි වටිනා සම්පත් ඇති සුරක්ෂිතාගාර වෙත, බෝම්බ/ මිසයිල්/ගුවන්/ ප්‍රහාර එල්ලකොට වැනසීමෙන්, සතුරු පක්ෂයේ මූල්‍ය ශක්තිය අඩපණ කිරීම.

    Police

    • ආහාර සංචිත වැනසීම:- විස්තර කරන්න අවශ්‍ය නැහැනේ. සතුරු පාර්ශවයක් විසින් ප්‍රයෝජනයට ගැනීම සඳහා තැන්පත් කර තිබෙන ආහාර ගබඩා වැනසීම, අස්වැන්න නෙලාගැනීමට පෙර, ආහාර බෝග වගාවන් විනාශ කිරීම, ආදිය තමා මෙහිදී සිදුවන්නේ.
    • සතුරාගේ සමූල ඝාතක අවි වැනසීම:- මානුෂවාදී හැඟීම් නැති ලෝකයේ සමහර රටවල්, සමූල ඝාතක අවි නිපදවමින්, ඒවා ගබඩා කරගනිමින්, ලෝකයට තර්ජනයක් බවට පත්වෙනවා. සතුරු පාර්ශවයට අයත් එවැනි අවි, ක්‍ෂණිකව පාවිච්චි කළ නොහැකි තත්වයට පත්කිරීම හෝ සම්පූර්ණයෙන් වැනසීම මගින්, අපේ පාර්ශවයට වැඩි වාසි අත්කරගැනීම තමයි මෙහිදී සිදුකෙරෙන්නේ.  
    • ජීවවිද්‍යාත්මක ත්‍රස්තවාදී ක්‍රියා:- මෙය ඉතා අමානුෂික, ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙසයි සැළකෙන්නේ. මෙහිදී සිදුකරන්නේ, සතුරු පක්ෂයට අයත් රටට/ප්‍රදේශයට/ විවිධාකාරයේ භයානක රසායනික ද්‍රව්‍ය මුදාහැර, පරිසරය හැකිතරම් වනසා, ඒ රටේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ මහජනතාව හැකිතරම් විශාල ප්‍රමාණයක්, සමහරවිට කිසිදිනක සුවකළ නොහැකි රෝගවලට ලක්වීමට ඉඩ හැරීමයි. ඇමරිකා එක්සත් ජනපදය විසින්, වියට්නාම් යුද්ධයේදී, ඒජන්ට් ඔරේන්ජ් නමැති විෂ රසායනිකය වියට්නාමයට මුදාහැරීමෙන්, අදටත් බලපවත්වන පාරිසරික ගැටළු ඇතිවී තිබෙනවා.

    • ඛනිජ තෙල් සංචිත වැනසීම:- සංග්‍රාමික කටයුතු සඳහා පමණක් නොව, රටක සාමාන්‍ය කටයුතු සඳහාද ඛනිජ තෙල් අවශ්‍යවන බව, අමුතුවෙන් කිවයුතු නැහැ. තමන්ට සතුරු රටක තිබෙන එවැනි තෙල් සංචිත වැනසීම, තෙල් නිෂ්පාදනය ඇණහිටින තත්වයට පත්කිරීම මගින්, ඒ රටේ සංග්‍රාමික ශක්තිය පහල දැමීමට හැකිවෙනවා. මැදපෙරදිග රටවල පසුගිය කාලයේදී ඇතිවුණු සටන් වලදී මේ තත්වය දකින්නට ලැබුණා.
       මේ ලිපිය කියවීමෙන් පසු, ඔබට යම් දුරකට පැහැදිළිවෙනවා ඇති, සංග්‍රාමයකදී, මානුෂික ක්‍රියා මෙන්ම අමානුෂික ක්‍රියා ද සිදුවන බව. හමුදා කටයුතු ගැන, මේ අඩවියේ ලියවුනු ලිපි කීපයකදීම මා සඳහන් කර ඇති, යුද්ධය ආරම්භ කරන්නේ හෝ අවසාන කරන්නේ, සොල්දාදුවා නොව, රටක පාලකයා/පාලකයන් කියා. ඒ නිසා, 'සොල්දාදුවා අමානුෂික පුද්ගලයෙකි' කියා උපකල්පනය නොකරන මෙන්, මා ඔබෙන් කාරුණිකව ඉල්ලාසිටිනවා. 

       තවත් මෙවැනි ලිපි කීපයක් සංස්කරණය වෙමින් පවතිනවා. ඉදිරියේදී ඔබ වෙත ඒ ලිපි ඉදිරිපත් කරන්නම්.

    2016 ජනවාරි මස 11 වැනි දින 1304 පැය 
    .emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }