හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

07 July 2016

අපිට ගැහුවා - අපිත් ගැහුවා (දෙවැනි කොටස)

   මම කියන්න පටන් අරන් තිබුනේ, ඊලාම් යුද්ධය පැවති කාලයේදී, අපේ හමුදාවෙන් පවත්වාගෙන ගිය, ඉදිරි ආරක්ෂක ප්‍රදේශ වලට, LTTE ත්‍රස්තවාදී පහර දුන් ආකාරයයි. ලිපියේ පළමුවැනි කොටස මෙතනින් බලන්න. අද කොටසෙන් තවදුරටත් කතාකරන්නේ, මේ තර්ජනය ජයගැනීමට, අපි ක්‍රියාකළ ආකාරය ගැනයි. පළමුවැනි කොටසේදී, ඔබට වැටහෙන්න ඇති, අපි කොයි තරම් ආධුනික ආකාරයකටද, යුද්ධයට මුහුණ දුන්නේ කියා.

   මේ යන්තම් අවුරුදු 16 - 18 ඇටිකිච්චෝ ඇවිල්ලා, අපේ කොල්ලන්ගේ බෙලි කපාගෙන යනවා නම්, එතන මොකක්හරි ලොකු වැරදීමක් තිබෙන බව පැහදිලිවම පෙනුණා. මෙතැනදී, LTTE කාරයෝ වැඩකලේ, හොඳින් පුහුණුවුණු, එක්තරා අභ්‍යාසයක් (DRILL) එකකට අනුවයි. ඒ මෙන්න මෙහෙම. 

1. වැනි පියවර:- රෑ වෙනකොට බඩගාගෙන අපේ ආරක්ෂක තීරය අසලට පැමිණීම.

2. වැනි පියවර:- එකවරම මහා වෙඩි ප්‍රහාරයක් අපේ බංකර කීපයක් ඉලක්ක කරගෙන එල්ල කිරීම.

3. වැනි පියවර:- කුඩා පිරිසක් බඩගාගෙන ඇවිත් බංකර් අතරින්  රිංගා පසුපසින් ප්‍රහාරයක් එල්ල කිරීම.

4. වැනි පියවර:- උපරිම හානියක් සිදුකර ආපසු යාම. 

   දැන් අපි මොකද කරන්න ඕනේ? ඇත්තටම අපි යුද න්‍යාය අනුව කළහැකි උපරිමය කරන්න ඕනේ. ඒ ඒ ආරක්ෂක ප්‍රදේශයේ තත්වය අනුව, වෙන වෙනම සැලසුම් හදන්න ඕනේ. (මතකයි නේද සැලැස්මක් හදලා ගහන හැටිනමුත්, ආරක්ෂක ප්‍රදේශයක් පවත්වා ගැනීමේ මූලධර්ම, හමුදා පොතේ පැහැදිලිව පෙන්වාදී තිබෙනවා. ඒ මූලධර්ම, එදාටත්, අදටත්, ලෝකයේ ඕනෑම ආරක්ෂක ප්‍රදෙශයකටත්, එක හා සමානව ගැළපෙනවා. ඒවා අනුගමනය නොකිරීමෙන් තමයි, අනිටු විපාක ලැබෙන්නේ. 

   ඔන්න අපි කල්පනා කළා, බංකර් අතරින් අරුන් රිංගන්නේ, කිසිම බාධකයක් නැති නිසානේ. ඒ නිසා, බංකර් ඔක්කොම එකට යාවෙන විදිහට, සෑම බංකර් දෙකක් අතරම, පස් බැම්මක් ගහන්න ඕනේ කියලා. එතකොට, රිංගන්න එන එකා, අනිවාර්යයෙන් අර පස් බැම්මට උඩින් පනින්න ඕනේ. 'වරකො පනින්න, දෙන්නං තොපිට කෑලි හැලෙන්න' කියලා, අපි ලැස්ති වුණා. අපි, මේ පහල රූපයේ පෙනෙන විදිහට, බංකර් අතරට පස් බැම්මක් ගැහුවා. 


   අම්මේ........ මේ උතුරු පළාතේ තියන පස්, මහා වනචර පස් ජාතියක් පින්වත්නි. බැම්ම ඉක්මනින් බහිනවා. වැස්ස කාලෙට නිකම්ම දියවෙනවා. අලුවා වගේ.  ඔය අපේ පැතිවල තියන, අර හොඳට තදවෙන, රතු පස් වගේ නෙවෙයි. කිසි කමකට නෑ. ආයේ ආයේ හදලා ඉවරයක් නෑ. පේන්නැද්ද ඔය පින්තූරෙන්ම. හරියන්නෑ, අරුන් පරණ සෙල්ලමට ම එන්ඩ පටන්ගත්තා. හෙහ්, එව්වා කොහෙද. හමුදා පොතේ තියනවා තව වැඩ ගොඩක්. 

   දැන් මෙහෙම එක පෙළට බංකර් තිබුනම, දෙකක් අතරින් රිංගපු ගමන්, අපේ පාලන ප්‍රදේශය ඇතුළටම එන්ඩ පුළුවන්. එහෙම ඇවිත්, අපේ කෑම්ප් වලට රිංගලා, අපේ නිළ ඇඳුම් වලට සමාන නිළ ඇඳුම් ඇඳගෙන, කෑම්ප් එක ගැන ඔත්තු බලලා, මහ කුස්සියේ පෝලිමට ගිහින් බතුත් කාලා , ආපු ක්‍රමයටම ආපහු ගියා කියලා කතාවකුත් තිබුණා. 

   දැන් මොකෑ කරන්නේ. මෙන්න කරපු වැඩේ. බංකර් ගැහුවා සිග් සැග් ක්‍රමයට. ඒ වගේම බැම්ම 'දෙබැම්ම' කළා. දැන් බැම්ම මහා යුද අගලක් වුණා. පනින එකා මේ අගලට පැනලා ආයෙත් ඇතුලට පනින්න ඕනේ අපේ පැත්තට ඇතුළු වෙන්න නම්. අගලේ අපේ කට්ටිය ඉන්නවා. දැන් මෙන්න මෙහෙම තියෙන්නේ. 





   ඔන්න අරුන්ට වැඩේ ටිකක් අමාරු වුණා. පනින්න එන එවුන් අපෙන් කෑවා. මේ අගලේ වාසිය තමයි, ඉදිරි භූමියට නොපෙනී, ඒක දිගේ  බංකර් අතරේ ගමන් කරන්නට අපට හැකිවීම. නමුත් මේ ක්‍රමය දිගුකල් පැවතුනේ නැහැ. අරුන් අලුත් වැඩක් පටන්ගත්තා. ඒ තමයි විශාල පිරිසක් යොදවා බංකර් දෙකකට හෝ තුනකට පහර එල්ල කර, ඇතුලට කඩාපැන, පෙර පරිදිම මහා විනාශයක් කිරීම. සමහර අවස්ථා වලදී, ඔවුන් අපේ ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර පවා රැගෙන ගියා. ඒවායින් අපිව අමතා, අපහාසාත්මක කතා කියන්නට පටන්ගත්තා. 

   මේ ක්‍රමය නිසා ඔන්න අපේ අය ටිකක් බයවුනා. සමහර තැන්වල රෑට බංකර් අතහැර පසුපස භූමියට වී, වෘත්තාකාර හැඩයකට භටපිරිස් යොදාගෙන ඉන්නත්, සමහරු ක්‍රියාකර තිබුණා. ප්‍රමාණවත් තරම් භටපිරිස් නොමැතිවීමත් එයට හේතුවුණා. යුද්ධය ආරම්භ වුන කාලයේ එක් බංකරයකට සෙබළුන් 5 - 6 ක් පමණ හිටියත් පසුව එය 2 - 3 ක් දක්වා පහත වැටුණු අවස්ථා තිබුණා. 

   සෑම බංකරයකටම භටපිරිස් යොදවන්නට නොසිටි නිසා, බංකර් පේලියේ අතරින් පතර, සමහර බංකර්, රාත්‍රී කාලයේදී අතහැර දමන්නටත්, රාත්‍රී කාලයට උපරිම භට පිරිසක් අවශ්‍ය නිසා, දිවා කාලයේදී, බංකර් තුන හතරකට එකක් පමණක්, සෙබළුන් යොදවා තබන්නටත් සිදුවුණා. දැන් ඉතිං මෙහෙම බලා ඉඳලා බැහැ. මොකද කරන්නේ. අපොයි තවත් වැඩ තියනවා. පොතේ මොනවා තිබුනත්, අපේ කට්ටිය, තැත් වරද න්‍යාය ඔස්සේ නොයෙක් දේ කළා. වවුනියාව වැනි ප්‍රදේශවල, ඉදිරි ආරක්ෂක ප්‍රදේශය ආසන්නයේම විදුලි බලය තිබුන නිසා, බංකර් පේලියට ඉදිරියෙන්, විදුලි පහන් සවිකරගන්නට අපේ අය ක්‍රියා කළා. නමුත් එය සෑමවිටම සාර්ථක වුණේ නැහැ. විදුලි පහන් වලට, සතුරු වෙඩි ප්‍රහාර එල්ලවුණා.   

   මේ විදිහට ලයිට් දාගෙන යුද්ධ කරන්න බැහැ. ලයිට් දාන්නේ ස්ථිරව පිහිටුවා තිබෙන හමුදා කඳවුරු වලට පමණයි. මේ නිසා, යුද න්‍යායට අනුව ක්‍රියා කිරීම හැර, වෙනත් විකල්පයක් නැති බව කාලීනව වටහාගන්නට පුලුවන් වුණා. 

   අපිට තේරුණා මුන් මේ උන්ගේ මහා එකාගේ ගෙදර යනවා වගේ එන්නේ, ඉදිරි භූමියේ බාධක මොකුත් නැති නිසා කියලා. එහෙනං හිටුකෝ කියලා, දැම්මා බාධක. මොනවද දැම්මේ. මුල් කාලයේදී, දුප්පත් අපිට කටු කම්බි සහ කොන්සර්ටිනා වයර් විතරයි ලැබුණේ. ඒවායින් දැම්මා බාධක. මෙන්න මේ වගේ. 


   ඉදිරි භූමියේ තියන පොඩි ගස් කපලා, ඒ කණුවල, අපිළිවෙලට කටු කම්බි පැටලුවා. බිම ඉඳලා අඟල් හතරක් පහක් උසක සිට, අඩි තුනක් හතරක් විතර උසට සිටින විදිහට. ඊළඟට දැම්මා කොන්සර්ටිනා කම්බි, මෙන්න මේ විදිහට.




   'දැන් වරෙල්ලකෝ පුලුවන්නම්, ගෙරි සුනඛ ධේනුවගේ පුත්‍රයෝ' කියලා, අපි බය නැතුව හිටියා. මෙන්න බොලේ, මුන් මේ වැටවල් පුපුරවන්න ක්‍රමයක් හොයාගත්තනේ. ඒකට කියන්නේ 'බැංගලෝර් ටෝර්පිඩෝ' කියලා. ඇත්තටම බැංගලෝර් ටෝර්පිඩෝ කියන්නේ, සෑහෙන්න දියුණු යුද්ධායුධයක්. නමුත්, කොටින්ට ඒවා හොයාගන්න බැරිවුණු නිසා, උන් හැදුවා මෙන්න මෙහෙම. ඒ කියන්නේ දිග පී.වී.සී. බටයකට හෝ ගැල්වනයිස් බටයකට වෙඩි බෙහෙත් පුරවනවා. ඒකට ඩෙටනේටර් එකක් හයිකරනවා. ඕක ගෙනත් අපේ වැටට යටින් රිංගවලා පුපුරවනවා. වැට උඩුකුරුඤ්ඤං. 



   මෙන්න බැංගලෝර් ටොර්පිඩෝ පරණ එකක් සහ අලුත් එකක්.





   ඉතිං මොකේදැයි දන් වළඳන්නේ? හරි හරි ඉන්ඩකො පොඩ්ඩක්. පොතේ වැඩ තවම ඉවර නෑ. හෙහ් හෙහ්, මේක ජාතක පොත වගේ දිගයි. ඊළඟට අපි කලේ වියට්නාම් කාරයා කොපි කිරීම. දන්නවනේ වියට්නාම් උගුල් කියන එව්වා. ආයේ බඩු ෂුවර්.  අහුවෙච්චි එකා මෙන්න මෙහෙම නවතින්නේ


   ඒ කියන්නේ ඉදිරි භූමියේ ඉතා තියුණු ලී උල් හිටෙව්වා. මේ උගුල වියට්නාම් යුද්ධයේදී ඇමරිකානු හමුදාවට එරෙහිව යොදාගත් එකක්. මේ තියෙන්නේ.


   හැබැයි ඉතිං මේ වගේ නෙවෙයි, මුළු ඉදිරි භූමියේම, එකිනෙකට අඟල් හයක් විතර පරතරය තියලා, හිටෙව්වේ. මේ උලක් අඟල් 8 - 10 ක් විතර උසයි. ඒ වගේම වැරනියා කෝටු, වලින් අඩි හතරක් විතර උස, වැටවල් කීපයක් ගැහුවා. වැරනියා කෝටු වැට අස්සෙන්, බැංගලෝර් ටෝපිඩෝ රිංගවන්න බැහැ. කෝටු එකකට එකක් අතර පරතරය, අඟලකටත් වඩා අඩුයි. 

   රෑට ඔව්වා කපන්න හදනවානම්, අපට ඇහෙනවා. මොකද දන්නවද? වැටේ හිස් ටින් එල්ලලා තියනවා හැමතැනම. එව්වා හෙලවුනොත්, (සතෙක් වැදිලා වුනත්) අපි වෙඩි දෙකතුනක් තියනවා. ඒ විදිහට වැට කපන්න ආව එවුන් සෑහෙන ගණනක්, උඩුකුරුඤ්ඤං කරවන්ඩ අපිට පුළුවන් වුණා. ඒ වගේම අර උල් වල පැටලිලා වැටිලා, උල් ඇනිලා සමහර එවුන් මැරුණා. වේදනාව නිසා රෑ තිස්සේ කෑගහලා මැරිච්ච එවුන් හිටියා. ඉතිං අපිට ඒ වෙලාවට එතැනට යන්න බැහැ. අපෙත් උල් ඇනෙනවා. මොකද උන් අපිට කිරි පොවලා යන්න ආවා නෙවෙයිනේ. (තරහ ගන්න එපා මහත්වරුනි. මේ යුද්ධයයි. යුද්ධයේදී අනුකම්පාව බොහොම අඩුයි) 

   කොටියා දැනගත්තා අපි ලේසියෙන් යුද්දේ අතාරින්නෙ නැහැ කියලා. ඒ වගේමයි අපිත් දැනගෙන හිටියා කොටියත් ලේසියෙන් යුද්දේ අතාරින්නෙ නැහැ කියලා. ඊළඟට මොකද වුණේ? දැන් කොටියට හොඳ පණිවිඩ හුවමාරු උපකරණ, මෝටාර්, RPG, ටොම්බා තුවක්කු, සැහැල්ලු මැෂින් තුවක්කුඅපිට වගේ නිල ඇඳුම්, බූට්ස් එහෙම තියන කාලේ. ඕවා පාවිච්චි කරලා කිසිම අනුකම්පාවක් නැතුව අපිට වැඩේ දෙන්ඩ පටන්ගත්තා. අපිට සෑහෙන විනාශයක් වුණා. 

   හිතුවද අපි බයවුණා කියලා. නෑ පින්වත්නි. පොත පොත පොත........., පොත තමයි පිහිට. අනේ අම්මේ........ ඔය හමුදා පොත, පන්සීය පනස් ජාතක පොත වගේ දුම් අල්ලලා, වන්දනා කරන්න ඕනේ. ඔය පොත නිසා තමයි, ඔය තරමින් හරි අපි බේරුණේ. 

   හෙහ් හෙහ්, ලබන පාරනම් අම්මපා, මේකේ දෙකින් එකක් තීන්දු වෙන්ඩ, ඔක්කොම කියනවා. එතකල් පොඩ්ඩක් ඉවසලා ඉම්මු. 

2016 ජූලි මස 06 වැනි දින 2316 පැය 

04 July 2016

අපිට ගැහුවා - අපිත් ගැහුවා (පළමුවැනි කොටස)

   ඌ මට ගහනවා මට ඌ ගහනවා වගේ කතාවක් කියලද හිතුවේ? නෑ නෑ, මේක ඊට වඩා බොහොම භයානක කතාවක්. මට නම්, මැරෙනතුරු  මතකයෙන් නොගිලිහෙන කතාවක්. ඒ තමයි, ඊලාම් යුද්ධයේදී බංකර් ආශ්‍රිතව කෙරුණු සටන්. 

   බංකර් යුද්දෙට යන්න කලින්, ඔබට පොඩි න්‍යායාත්මක දැනුමක් දෙන්න වෙනවා. එහෙම නැතුව මේ කතාව ඉදිරියට ගෙනියන්න අමාරුයි. 

   ඔබ දන්නවනේ යුද්ධයකදී සතුරාට පහරදීම සඳහා, යුද හමුදාවක්, සතුරා සිටින ස්ථාන සොයා භූමියේ ගමන් කරන බව. යුද න්‍යායේදී මෙය හඳුන්වන්නේ, ඉදිරියට යාම හෙවත් Advance කියලයි. ඉදිරියට ගිහින්, සතුරා මුණගැහුනම, සටන් කරනවා කියලා, අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒ අවස්ථාව හඳුන්වන්නේ, ප්‍රහාරය හෙවත් Attack කියලයි. 

   අපි හිතමු, සතුරාට පහරදී, යම් භූමි ප්‍රදේශයක් අපි අල්ලාගත්තා කියා. දැන්, මේ භූමියේ සිට කලයුතු වැඩේ තමයි, ඊළඟ සටන්කාරී පියවර සඳහා  සූදානම් වීම හෙවත්, සටනේදී අපිට සිදුවූ හානි තක්සේරු කර, අඩුපාඩු සම්පූර්ණ කරගැනීම ඇතුළු සියලු ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීම. එය හඳුන්වන්නේ Reorganise  කියලයි. 

   ප්‍රතිසංවිධාන කටයුතු සතුරාගේ, ප්‍රති ප්‍රහාර මධ්‍යයේ කරන්නට බැහැ. ඒ සඳහා අපි ආරක්ෂාකාරීව සටන් බිමේ රැඳී සිටිය යුතුයි. මේ විදිහට යුදබිමේ යම් ප්‍රදේශයක් අල්ලාගෙන අපේ පාලනය යටතේ පවත්වාගැනීම හඳුන්වන්නේ ආරක්‍ෂාව හෙවත් Defence යනුවෙන්. වෙනත් විදිහකින් කියනවානම් යුද්ධයකදී පියවර හතරක් ඔස්සේ තමයි ක්‍රියාකරන්නේ. මේ ගැන මම මීට පෙරත් ඔබට කියාදී තිබෙනවා. අද ලිපියෙන් මේ ආරක්‍ෂාව Defence ගැන වෙනත් මානයකින් බැලීමයි කෙරෙන්නේ.  

   ඇත්තෙන්ම ආරක්‍ෂාව යන්න යුද පුහුණුවේදී විශේෂ වැදගත්කමක් සහිත විෂයයක්. ආරක්‍ෂාව කියන්නේ කටුකම්බි වැටවල්, මාර්ග බාධක, සැර විදුලි පහන්, හැම වෙලාවේම සූදානම්ව සිටින සොල්දාදුවන්, බරඅවි, විතරක් නෙවෙයි. ඊට වඩා සියුම් මූලධර්ම ඔස්සේ තමයි, ආරක්‍ෂක ප්‍රදේශයක් පවත්වාගෙන යන්නේ. යුද බිමක තමන්ගේ පාලනය යටතේ තියන ඉදිරි සීමාව හඳුන්වන්නේ, 'ඉදිරි ආරක්ෂක ප්‍රදේශය Forward Defended Locality = FDL' යනුවෙන්. 

   යුද්ධය විද්‍යාවකට වඩා කලාවක්. Art of War කියලා තමයි, යුද පුහුණුවේදී කියන්නේ. සියුම්ව සිතාබලා ගතයුතු පියවර බොහොමයි. සමහරවිට, එක සෙනෙවියෙක්, සොල්දාදුවන් 1000 ක් යොදවා පරාජය වන සටනක්, තවත් සෙනෙවියකු විසින්, සොල්දාදුවන් 100 ක් යොදවා ජයගන්න පුලුවන්. 'සිංහයකු විසින් අණදෙන ඔටු හමුදාවකට, ඔටුවකු විසින් අණදෙන සිංහ හමුදාවක් පරාජය කලහැකියි' කියා කියමනක්, හමුදාවේ තියනවා. 

   මේ ලිපියෙන් මම ආරක්‍ෂාව නමැති ගැඹුරු විෂයය විස්තර කරන්නට බලාපොරොත්තුවන්නේ නැහැ. එය වෙනම ලිපියකින් හෝ දෙකකින් පසුව විස්තර කරන්නම්. 

   ඊලාම් යුද්ධයේ මුල් අවධි වලදී LTTE ත්‍රස්තවාදීන්, අපේ හමුදාවේ බංකර් වලට පහරදී මහා විනාශයන් කල බව ඔබ දන්නවා ඇති. සමහර ප්‍රහාර කොතරම් දරුණු වූවාදැයි කිවහොත්, බංකර්වල සිටි අපේ සෙබළුන්ගේ බෙල්ල කපා, හිස රැගෙන ගිය අවස්ථා තිබුණා. මුල් අවධියේදී, අත්දැකීම් අඩුකම, අපේ අවාසියට හිටියා. ඒ කාලයේ, ත්‍රස්තවාදීන් අපට පහර දුන් එක ක්‍රමයක්, පහත රූපයෙන්, මා ඔබට විස්තර කරනවා. 


   මේ රූපයේ, කළු පැහැති කොටු වලින් පෙන්වන්නේ, යුද බිමේ අපි සකසා තිබුණු බංකර් පේලියකින් බංකර් හතරක්. මෙම බංකර් දෙකක් අතර පරතරය මීටර් 50 ක් පමණ වුණා. රූපයේ තිබෙන, ඉදිරි ආරක්‍ෂක පෙදෙස කියන අකුරු පේලිය සහිත පැත්තට මුහුණ ලා තමයි, බංකර් වල සොල්දාදුවන් ඉන්නේ. මේ බංකර් පේලියට මීටර් 100 ක් පමණ හෝ ඊටත් වඩා පසුපසින් තමයි, අණ දෙන්නන්ගේ බංකර් සකසා තිබුණේ. ඉදිරි ආරක්ෂක පෙදෙස කියන භූමියේ එතරම් බාධක (බිම් බෝම්බ/ක්ලේමෝ බෝම්බ/ට්‍රිප් ෆ්ලෙයාර්ස්/ජම්පිං මයින්ස්) යොදවා තිබුනේ නැහැ. කොන්සර්ටිනා වයර් හෝ කටුකම්බි පමණයි තිබුණේ. 


 අනික් එක, ඒ කාලේ අපි බංකර් ගැහීමේ විශේෂඥයන් වෙලා හිටියේ නැහැ. මෙන්න මේ රූපයේ පෙන්නනවා වගේ, යන්තම් වැලි ගෝනි, ටකරං, පස්, දාලා අටවාගත්තා. අද්දැකීම් ලැබෙන්න ලැබෙන්න, ඒ කියන්නේ, අපිට වන හානිය, මරණ, තුවාල, වැඩිවෙන්න වැඩි වෙන්න තමයි, කොහොමද ඒ තත්වයට මුහුණ දෙන්නේ කියලා ඉගෙනගත්තේ. ඒ කාලේ සොල්දාදුවෝ, තමන්ගේ සබ්බ සකල මනාවම, ඔය බංකර් වලට ගෙනිහින් තියාගෙන හිටියා. ඉතිං බෙල්ල කපාගෙන යන ගමන්, අර සොල්දාදුවන්ගේ බෑග්වල තිබුණු පඩි සල්ලි ටිකටත් කෙළලා යන්න, LTTE කාරයන්ට පුළුවන් වුණා. ඔය හේතුව වගේම, නිවාඩු යන සොල්දාදුවෝ, අනුරාධපුරය සහ කොළඹ යන නගර වලදී, ගණිකාවන්ට, බීමට, මුදල් වියදම් කර, අතේ සතේ නැතුව ගෙදර යාම වළක්වාගන්න, වැටුප, තම කලත්‍රයා සමග ආරම්භ කරන හවුල් ගිණුමකට බැර කරන්න, හමුදා මූලස්ථානය විසින් ක්‍රියාකළා.  

   හොඳයි, ආයෙත් බලමු අර ඉහත රූපය. ඒ කාලේ LTTE කාරයෝ කලේ, රෑට එකවර ඔය බංකර් පේළියක තියන බංකර් හතරක් පහක් ඉලක්ක කරගනිමින්, මහා වෙඩි වරුසාවක් එවීමයි. එම වෙඩි එල්ල වෙන්නේ, බංකරයේ වහල මට්ටමට ටිකක් පාතින්. වෙන වචන වලින් කියනවා නම්, උන්ගේ එක පිරිසකට බිම දිගේ බඩගාගෙන බංකර් ළඟට යන්න තරම් ඉඩ තියලා, ඊට ඉහලින් තමයි අනික් පිරිස වෙඩි තියන්නේ. 

   1 ඉලක්කම් වලින් පෙන්නේන්නේ අන්න ඒ කොටසයි. ප්‍රහාරයේ පළමුවැනි පියවර තමයි ඒ. 

  අංක 2 මගින් පෙන්වන්නේ  අර බඩගාගෙන එන එවුන්, බංකර් අතරෙන් රිංගීමයි. අපේ අයගේ අවධානය යොමුවෙන්නේ වෙඩි තියන එවුන් ගැන විතරයි. මුන් වෙඩි තියන්නේ නැතුවයි බඩගාගෙන එන්නේ. 

   3 වැනි පියවරේදී, මුන් අපේ බංකර් වල පිටිපස්සෙන් ඇවිත්, උන්ට පස්ස හරවා, ඉදිරි භූමියේ සිට වෙඩි තියන එවුන් එක්ක සටන් කරන සොල්දාදුවන්ට, ළඟටම ගිහින් වෙඩි තියනවා. බෙලි කපාගන්නවා, සල්ලි අරගන්නවා, ගෙනියන්ඩ පුළුවන් හැම දෙයක්ම අරන් යනවා.

   4 වැනි පියවරේදී ඔවුන් කෑගහලා කියනවා, ඉදිරි භූමියේ සිට වෙඩි තියන එවුන්ට, 'වැඩේ හරි, වෙඩි තියන එක නවත්තපල්ලා' කියලා. ඊට පස්සේ මුන් ආපහු දුවලා යනවා. කොහොමද වැඩේ? 

   හොඳයි, ඉතිං කොහොමද මේ තත්වය අපි ජයගත්තේ? එය ඉතා වෙහෙසකර, දුක්බර, අද්දැකීම් සමුදායක්. අදම කිව්වොත් කිසි ගතියක් නැහැ නේද? ඊ ළඟ කොටසෙන් කියන්නම්? තරහ ගියාද? එහෙනම් ඔන්න ඔය තදවීම අඩුවෙන්නත් එක්ක, බලන්නකෝ මම ඉරිදා ලියපු ලිපිය.

2016 ජූලි මස 04 වැනි දින 0014 පැය 

03 July 2016

Oh Dear, It's relaxing Sunday......eh?

   The wives of four presidents and prime ministers are talking together about how to say “penis” in their languages.

The wife of Tony Blair says that in England people call it a gentleman, because it stands up when women are entering.

The wife of Boris Yeltsin says that in Russia you call it a patriot, because you never know if it will hit you on the front or on the back side.

The wife of Chirac says that in France you call it a curtain, because it goes down after the act.

The wife of Clinton says that in the United States you call it a rumor, because it goes from mouth to mouth.

...........................................................................................................

   A modern Islamic couple preparing for a religious wedding meet with their Mullah for counseling.

The Mullah asks if they have any last questions before they leave. The man says, “We realize it’s tradition in Islam for men to dance with men, and women to dance with women. But, at our wedding reception, we’d like your permission to dance together.”

“Absolutely not,” says the Mullah. “It’s immoral. Men and women always dance separately.”

“So, after the ceremony I can’t even dance with my own wife?”

“No,” answers the Mullah. “It’s forbidden in Islam.”

“Well, OK,” says the man. “What about sex? Can we finally have sex?”

“Of course!” replies the Mullah. “Allah ho Akbar! Sex is OK within a marriage to have children!”

“What about different positions?” asks the Man.

“Allah ho Akbar! No problem,” says the Mullah.

“Woman on top?” the man asks.

“Sure,” says the Mullah. “Allah ho Akbar. Go for it!”

“Doggy style?”

“Sure! Allah ho Akbar!”

“On the kitchen table?”

“Yes, yes! Allah ho Akbar!”

“Can I do it with all my four wives together on rubber sheets with a bottle of hot oil, a couple of vibrators, leather harnesses, a bucket of honey and a porno video?”

“You may, indeed. Allah ho Akbar!”

“Can we do it standing up?”

“No,” says the Mullah.

“Why not?” asks the man.

“Because that could lead to dancing.”

...........................................................................................................


   When the gynecologist confirmed her suspicion that she was pregnant, Celeste got a little scared.

“It’ll be my first baby,” she confessed with a blush, “and actually, I don’t know the first thing about how babies are delivered.”

“Don’t worry about a thing,” reassured the doctor. “It’s really not all that different from how the baby got started in the first place.”

Startled, Celeste exclaimed, “You mean twice around the park with my legs hanging out of the cab?”

...........................................................................................................


"I used to eat a lot better when Ronald Reagan was president."

"Ah . . . so you think times were better back them?"

"No. I had my own teeth!"

...........................................................................................................

An elderly Irish woman goes to confession. She says to the priest, "Father, forgive me for I have sinned. I've had sexual relations with a handsome young man."

"But, Mrs. O'Reilly," blurts out the startled priest, "You're over eighty years old! When did this happen?"

The woman replies, "Sixty-two years ago this week, but I love to talk about it!"

28 June 2016

ලෝක යුද ඉතිහාසයෙන් (පළමුවැනි කොටස)

   මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට අද දක්වා, ලෝකයේ කොතැනක හෝ යුද්ධයක් පැවතීම, අරුමයක් නොවෙයි. එමෙන්ම, මානව ශිෂ්ටාචාරය මේ මිහිමත පවතින තුරු, යුද්ධයද පවතිනු ඇති බව, විද්වත් මතයක්. යුද්ධය ඇතිකරන්නෙත් මිනිසායි. සාමය ඇති කරන්නේත් මිනිසායි. මිනිස් චිත්ත සන්තානය තුළ, යුද මතය තිබෙනතුරු, ලෝකයේ කොහේ හෝ කොනක යුද්ධයක් පවතිනු ඇති. සාමය ඇති කිරීම කෙසේ වෙතත්, මතුපිටින් පෙනෙන සාමයට යටින්, ලෝකයේ බොහොමයක් රටවල්, තම යුද ශක්තිය වර්ධනය කරගැනීම සඳහා ක්‍රියාකරමින් සිටින බවත්, නොරහසක්. 

   මේ අතර, අපේ රටට අතිරික්ත යුද අවි සහ උපකරණ, එම අවි සහ උපකරණ ලබාගත් රටවලටම, ආපසු විකුණා දැමීමේ අදහසක් තිබෙන බව, කොස්ගම යුදහමුදා පුපුරන ද්‍රව්‍ය ගබඩාව පිපිරීමේ සිද්ධියෙන් පසු, ජනමාධ්‍ය ඔස්සේ කියවුනා ඔබට මතක ඇති. මොකද ඒ ගැන හිතෙන්නේ? යුද වාර්තා, එදත් අදත්, විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනාගන්නා තොරතුරු සමුදායක් බව, ඔබ කවුරුත් දන්නවා ඇති. අද මා, එවැනි වාර්තා කීපයකින් උපුටාගත් පින්තූර සහ විස්තර තමයි, ඔබ වෙත මෙසේ රැගෙන එන්නේ. 

   මෙම ලිපියට අදාළ කරුණු සහ පින්තූර උපුටාගත්තේ, HISTORY OF WAR සඟරා වලින් බව, සඳහන් කරන්නට කැමතියි. පින්තූර පෙන්වමින් විස්තරත් දෙන්නම්. 


   වර්ෂ 1941 දී ගත් ඉහත ඡායාරූපයෙන් පෙන්වන්නේ, හිමෙන් වැසී ගිය භූමියක, යුද හමුදා උපදේශක වරුන්ගේ යටතේ, හමුදා පුහුණුව ලබන, රුසියානු පාසල් සිසුන් පිරිසක්. ඔවුන් මෙහි පාවිච්චි කරන සෑම අවියක්ම, ඇත්ත අවියක ලී අනුරුවක් විනා, ඇත්ත අවි නොවෙයි. 1941 වනවිට, ජර්මානු හමුදාවේ තර්ජනය, ඉතා දැඩිව රුසියාවට දැනුනා. තම ත්‍රිවිධ හමුදාවේ භටපිරිස් ප්‍රමාණවත් නොවන නිසා, මෙලෙස, පාසල් සිසුන් පවා, යුද්ධයට සූදානම් කෙරුණා. අද නම් මෙය, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති යටතේ තහනම් ක්‍රියාවක්. 


   සටනට උපන් අගමැති. දෙවැනි ලෝක සංග්‍රාම සමයේ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය පදවිය දැරූ, ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල්, බ්‍රිතාන්‍යයේ සෑන්ඩ්හර්ස්ට් හමුදා විද්‍යාපීඨයේ උපාධිධරයකු වන අතර, ලුතිතන් කර්නල් නිලයේ නිලධාරියකුද විය. එබැවින්, ඔහු සටන් පෙරමුණට ගිය අවස්ථා බොහෝය. ග්‍රීක දූපත් වලට, විශේෂ පුහුණු නාවික යාත්‍රා බලගණයක් යැවූ ඔහු, මේ සිටින්නේ, එම බලගණය පරීක්‍ෂා කරමින්. චර්චිල්ගේ කටේ තියන සුරුට්ටුව, ඔහුගේ අනන්‍යතාවේ ලක්ෂණයක් ලෙස, ලෝක ප්‍රසිද්ධයි. 



   දෙවැනි ලෝක සංග්‍රාම සමයේ ආරම්භ කෙරුණු, බ්‍රිතාන්‍ය විශේය නාවික යාත්‍රා බලගණය, Special Boats Squadron = SBS (අද අපේ රටෙත් තියනවා)  ඉතා රහසිගතව පවත්වාගෙන ගිය, ඉතා සාර්ථක සහ අති ප්‍රබල හමුදා ඒකකයක් වුණා. සතුරා විශ්මයට පත්කරමින්, මාරාන්තික ප්‍රහාර එල්ල කරමින්, උතුරු අප්‍රිකානු වෙරළ ආශ්‍රිතව තම ආධිපත්‍යය ගොඩනගා ගන්නට, ඔවුන් සමත් වුණා. 1944 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රී වරයකු, මේ ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරමින්, සතුරු යාත්‍රාවලට පැන, ඔවුන්ගේ බෙල්ල කපා මරා දමන, ම්ලේච්ඡ සටන් කරුවන් පිරිසක්, බ්‍රිතාන්‍ය ධජය යටතේ, මධ්‍යධරණී මුහුදු ප්‍රදේශයේ ඉන්නවාද? කියා විමසීය. එයට පිළිතුරු දුන්, බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්, අපේ රට වෙනුවෙන්, යුද රහස් රැකගන්නට, තමුන්නාන්සේ සහාය නොදෙන්නේ නම්, මම, හෙට තමුන්නාන්සේව එම නාවික කණ්ඩායම වෙත යවනවා, යනුවෙන් ප්‍රකාශ කළා. 


   දෙවැනි ලෝක සංග්‍රාම සමයේ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව වෙනුවෙන් අති විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ, යූ එස් එස් ෆ්‍රෑන්ක්ලින්, ගුවන්යානා හාරක යුද නෞකාව, 1945 මාර්තු මාසයේදී ජපන් ගුවන් හමුදාවේ ප්‍රහාරයකට ලක්ව, අර්ධ වශයෙන් ගිලීගිය අවස්ථාව. 800 ක් පමණ වූ නැවේ කාර්ය මණ්ඩලය, ඉතා අසරණව නැව් තට්ටුව මතට වී බලාසිටින්නේ, තමන් බේරා ගන්නා තුරුයි. 


   කටකාර මෙන්ම හැඩකාර, එමෙන්ම යකඩ ගැහැණිය යයි විරුදාවලි ලත්, බ්‍රිතාන්‍ය අගමැතිනි, මාග්‍රට් තැචර්, සිය සැමියා වන ඩෙනිස් තැචර් (පසුබිමේ) සමග, මේ යුද ගුවන් යානයකට ගොඩවී සිටින්නේ, ඇය අගමැතිනියව සිටි සමයේ, 1982 දී, බ්‍රිතාන්‍ය යුද ගුවන් යානා කම්හලක, නිරීක්ෂණ චාරිකාවක යෙදුන අවස්ථාවකයි. ෆෝල්ක්ලන්ත යුද්ධයේදී, ඇය ඉතා නිර්භීතව ක්‍රියාකල ආකාරය, 'යකඩ ගැහැණිය' යන විරුදාවලියට හොඳින් ගැලපුණා. 

   බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්, ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩි රූස්වෙල්ට්, රුසියානු අගමැති ජෝසෆ් ස්ටාලින්,  මෙසේ කැමරාවට හසුවූයේ, දෙවැනි ලෝක සංග්‍රාමයේ අවසන් භාගයේදී, 1945 වර්ෂයේදී, ක්‍රිමියානු අර්ධ ද්වීපයේ යාල්ටා ප්‍රදේශයේදී පවත්වන ලද, සුප්‍රසිද්ධ 'යාල්ටා සම්මන්ත්‍රණය' සඳහා පැමිණි අවස්ථාවේදීයි. 


  ජර්මනියේ බැවේරියා ප්‍රාන්තයේ පිහිටුවා තිබුණු, 'ඩකාවූ සිර කඳවුරේ' සිටි, යුදෙව් වැසියන් 32000 කට අධික පිරිසක්, ජර්මානු SS භටයන් අතින් ඝාතනයට ලක්වූ අතර, 1945 අප්‍රේල් මස 29 වැනි දින, ඇමරිකානු යුද හමුදාව විසින් මෙම කඳවුර ජර්මානු ග්‍රහණයෙන් මුදාගන්නා ලදී. මෙහිදී එම කඳවුරේ සිටි SS භටයන් පැනයාමට තැත්කළ අවස්ථාවේදී, ඇමරිකානු හමුදාවේ ප්‍රහාරයට ලක්වූ අයුරු. 

   අදට ඇති නේද? මීට වඩා සංවේදී තොරතුරු ඇතුළත්, මෙවැනි ලිපි කීපයක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න. 

2016 ජූනි මස 28 වැනි දින 0046 පැය 

22 June 2016

ගෙදරදි කළහැකි පොඩි පොඩි වැඩ කිඩ

   හප්පා..........මේ දවස්වල, ඔන්න ආයෙත්, එකසිය ගානට ජාලය පුරා කරක් ගහන්ඩ පටන් ගත්තා, පරණ යුද තොරතුරු ටිකක් හොයන්න. ඒ අල්ල පනල්ලේ දැක්ක දෙයක් තමයි, අද මෙහෙම බෙදා හදාගන්න හිතුවේ. හැබෑටම තමුන්නැහෙලා ගෙදර නිකං (ඇඳුම් ඇඳගෙන නිකං හිටං) ඉන්න වෙලාවට, ඔය පොඩි පොඩි කරුමාන්ත වැඩ කොරන්නේ නැද්ද? වයසක උන්දෑ වුනාට මොකෑ, මමනං ඔය, කියත, මිටිය, නියන (ඔව් හැම එකක්ම) පාවිච්චි කොරලා, පොඩි පොඩි කරුමාන්ත කොරනවා. තමන්ගේ ගෙදර පොරෝජනේට කියලා, නිකං මේ බංකු කෑල්ලක්, කොලොම්බුවක්, වගේ දෙයක් හදාගත්තාම දැනෙන චිත්තප්පිරීතිය, කියලා නිමකොරන්ඩ බෑ ඕං. ඔන්න මම පහලින් දානවා පින්තූර ටිකක්. බලන්ඩකෝ හිටං. බලලා කියන්ඩකෝ හිටං, මොකෑ හිතෙන්නේ කියලා.  


   බලන්ඩකෝ හිටං. ඔයවගේ පොඩි රාක්ක කෑල්ලක්, කුස්සියේ හරි, කාමරේක හරි හදාගන්ඩ පුලුවන්නං, කොච්චර පොරෝජං වෙනවද? 


   දඟකාර පැටවු දෙතුන් දෙනෙක් ඉන්න ගෙදරකට, උන්ගේ අඩුම කුඩුම තියාගන්න, මෙන්න මෙව්වාගේ එකක් හදලා දෙන්ඩ පුලුවන්නං හොඳයි නේද? ඔන්න හදන හැටි ගැන අදහසක් ගන්ඩ, පහල තියන පින්තූරේ බලන්ඩ.



   සපත්තු තියන්නයි, සපත්තු රාක්කය උඩ වාඩිවෙලා සපත්තු දාන්නයි, දෙකම කොරාගන්න මෙන්න බඩුවක්, හදන හැටිත් එක්කම.




පහලින් තියනවා, චූටි රාක්ක කෑලි කීපයක්. ඒවා සෑහෙන්න පොරෝජං වෙන බව පේනවා.










   මේක නම් ගෙදරදී හදන්න අමාරු වෙයි. නමුත්, වඩුවැඩ දන්නා කෙනෙකුට, එතරම් අමාරු දෙයක් නෙවෙයි. බිත්තියට ගිල්ලවූ රාක්කයක්. 



   අද කාලේ, ගෙදරක තියන දහසකුත් එකක් වැඩ රාජකාරි අස්සේ, ගෙදර නෝනා වුනත්, කියතක්, මිටියක්, ඉස්කුරුප්පු නියනක්, පාවිච්චි කරන හැටි දැන සිටීම වැදගත්. 





   ලෑලි කෑලි ටිකක් පුරුද්දන හැටි ඉගෙන ගැනීම, මහා ලොකු කජ්ජක් නෙවෙයි. ටිකක් කල්පනා කලාම, අදහස හිතට එනවා. තමන්ම හදාගත්තාම, කොච්චර සතුටක්ද? 













   මේ පහත තියන බහුකාර්ය කැබිනට්ටුව සහිත මේසය හදන්නත් ටිකක් දැනුම ඕනේ. ඔන්න හදන විදිහත් දානවා. 




   මේ මේසය නම්, හදන්න එච්චර අමාරු නැහැ.




මේස විතරක් හදලා මදිනේ. ඔන්න ලස්සණ පුටුවකුත් තියනවා. මේ පුටුව හැදීම, හිතන තරම් අමාරු නැහැ.





ඉතිං මොකද හිතෙන්නේ. විවේක වෙලාවල් තියන විටක, මෙවැනි දෙයක් කරන්න උත්සාහ කර බලන්න.

2016 ජූනි මස 21 වැනි දින 2243 පැය 


12 June 2016

ඇය සංජීවනී නම් වූවාය

   සංජීවනී අපේ පවුලට (ඇත්තටම අපේ ලොකු අක්කාගේ පවුලට) බැඳෙන්නේ, 1990 දශකයේදී බවයි මගේ මතකය. ඇය අපේ ලොකු අක්කාගේ, දෙවැනි පුතාගේ බිරිඳ ලෙසයි, අපේ පවුලට බැඳුනේ. කෙල්ලෝ කොල්ලෝ යාලුවීම, කසාද බැඳීම, කිසිදු අරුමයක් නෙවෙයි නේ. ඒ වගේම තමයි, අපේ ලොකු අක්කාගේ පුතුන් තුන් දෙනාගෙන්, දෙවැනි පුතා සමග පෙමින් බැඳුණු,  රූපිකා සංජීවනී ද අල්විස්, ඔහු සමග විවාහ වුණේ, මුල් කාලයේදී, ඇගේ පවුලෙන් මෙන්ම අපේ ලොකු අක්කාගේ පවුලෙන්ද, සාම්ප්‍රදායිකව එල්ලවන බාධක සහ විරෝධතා, සාර්ථකව ජය ගනිමිනි. 

   සංජීවනී, ඉතා කෙටි කලකින්, අපේ ලොකු අක්කාගේ දියණියක් හා සමානව කටයුතු කරන්නට වීම, ඉතා විශ්මයජනක විය. අපේ ලොකු අක්කාට දියණියන් නැති නිසා, මේ ලේලිය, ඒ අඩුව මනාව පුරවන බව, අප සැමට මනාව පසක් විය. 

   සංජීවනී සතුව, ඉහත ආත්මයකින් ගෙනා, අපූරු මිනිස්කම් රාශියක් විය. එයින් ඉතාම අගනා වටිනා, මිනිස් ගුණ ධර්මය වූයේ, ඇය සතු ඉතා ඉහල මට්ටමේ සමාජානුයෝගයයි. සංජීවනී සමග විනාඩි 5 ක් කතා කරන ඕනෑම පුද්ගලයකු, ඇය සමග හිතවත් වන්නේ, ඈ සතුව යම් අද්භූත බලවේගයක් තිබුණ නිසායයි, වරෙක මට සිතේ. එමෙන්ම, එක් වරක් හමුවූ පුද්ගලයකු, නැවත හමුවූ විට, මම ඔයාව අහවල් අවස්ථාවේ දී හමුවුනා මතකද  කියා අසන්නට තරම්, හොඳ මතකයක් ඇයට තිබුණි. 

   රූපිකා සංජීවනී, ඇගේ නමට ගැලපෙන ලෙස රූපිකාවක් වූවාය. මේ සමග තිබෙන්නේ, මා ඉතා අපහසුවෙන් සොයාගත් ඇගේ පින්තූරයකි. නමුත් මෙහි දක්වෙනවාට වඩා, ඇත්ත වශයෙන්ම, ඇය රූපිකාවක් වූවාය. කිසිදු අවස්ථාවක, ඇගෙන්, තරහව නැමති දුර්ගුණය දකින්නට නොලැබීම, මා පුදුමයට පත්කළේය. ඇගේ සැමියා විවිධ දුෂ්කර අවස්ථාවන්ට පත්ව, රැකියාව පවා අහිමිවීමේ තත්වයට පත්ව, අසරණව ගිය අවස්ථාවන්හිදී, ඇය පෙන්වන ලද චිත්ත ධෛර්යය, විශ්වාස කල නොහැකි තරම් ඉහළ තත්වයක විය.  

   සංජීවනී, සෑමවිටම නොයෙක් විලාසිතාවන්ගෙන් සැරසෙන නමුත්, එය විකාරයක් නොව අලංකාරයක්ම විය. ඈ සතුව තිබුණු, වයසට වඩා බෙහෙවින් අඩු පෙනුම, ඈ ලද ජන්ම දායාදයක් යයි සිතමි. ඇත්තෙන්ම ඇය දෙදරු මවක්ට වුවද,  පාසල් නිල ඇඳුම ඇන්දුවානම්, පාසල් දැරියක මෙන් පෙනෙනු නොඅනුමානය. 

  සංජීවනී දක්ෂ ගායිකාවක වූවාය. ඇගේ සැමියාගේ බාල සොහොයුරාගේ විවාහ මංගල්‍යයේදී, ඇය, යුද හමුදා තූර්ය වාදක කණ්ඩායම සමග ගීත ගණනාවක් ගායනා කල අතර, ඇගේ ගායන හැකියාව, එම තූර්ය වාදක මණ්ඩලයේ විශේෂ ඇගයීමට ලක්විය. 

   මා හමුවන සෑම අවස්ථාවකම, 'මාමේ' කියා, ළදැරියක මෙන් අතේ එල්ලී කතාකිරීමට' සංජීවනී පුරුදුව සිටියාය. සැබවින්ම ඇය අපේ පවුලට බැඳුණු ඩයනා කුමරියක් බව මම කියමි.

  හෘද අකර්මණ්‍යතාවක් සහ පෙනහළු ආසාදනයක් හේතුවෙන්, 41 හැවිරිදි සංජීවනී, පසුගිය ජූනි 8 වැනිදා අභාවප්‍රාප්ත වූවාය. ලංකාවේදී ලබාදියහැකි ඉහලම වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන්නත්, (පිටරටකට ගෙනියන්නට, ඇගේ පවුලේ ඥාතීන් සූදානම් වුවත්, වෛද්‍ය උපදේශය වූයේ ඇයව නොසොල්වන ලෙසයි)  නොසිතූ ලෙස ඇය අප හැරගියාය. එය සංජීවනීගේ පවුලටත්, අපේ පවුලටත් දැරිය නොහැකි වේදනාවකි. සංජීවනීගේ දෙමව්පියන්, ඇගේ සැමියා, පුතණුවන් දෙදෙනා, සුසාන භූමියේදී හඬා වැටුණු අවස්ථාවේ දී, මගේ පපුවේ ගිනි ගුලියක් පත්තුවෙන බවත්, උගුරේ ගිනියම් යකඩ බෝලයක් රැඳී තිබෙන බවත් මට දැණුනි. 

   සංජීවනී යන නමේ තේරුම, ජීවත්වන්නිය කියන එක නේද? නමුත්, මේ සංජීවනී, මෙතරම් ඉක්මනින් ජීවිතය හැරදා යාම, ලෝක ස්වභාවය පිලිබඳව, යලිත් සිතා බලන්නට ලැබුණු අවස්ථාවක් ලෙස, මම දකිමි.

  සංජීවනීගේ සැමියා සහ දරු දෙදෙනා රැකබලාගැනීම, අපේ පවුල්වල යුතුකම බව නොකිවමනාය. එය එලෙසින්ම ඉටුවන බව සහතිකය. නමුත්, බිරිඳ නැති අඩුව ඒ සැමියාටත්, අම්මා නැති අඩුව ඒ දරු දෙදෙනාටත් දැනෙන එක වැලැක්වීම, හිතන තරම් පහසු නොවේ. 

  සංජීවනී, ඉන්න තැනක සිට, ඔබේ සැමියාවත් දරු දෙදෙනාවත් බලාගන්න. අපිට පුළුවන් හැම දෙයක්ම අපි කරනවා. 

  තමන්ගේ සැමියා මියගොස්, තුන් මසක් පිරෙන්නටත් කලින්, දියණියන් නැති තමන්ට දියණියකවූ, එමෙන්ම තම දෙවැනි පුතාගේ බිරිඳ, මෙසේ අකල් මරණයකට ගොදුරුවීම, මගේ ලොකු අක්කා දරාගන්නේ කෙලෙසකද යන්න, මට සිතාගත නොහැකිය. ඇගේ සෞඛ්‍ය තත්වයද, එතරම් යහපත් නොවීම, මා සිත තුළ දැඩි කම්පනයක් ඇති කරයි. 

  පසුගිය වසර 10 ක පමණ කාලය තුළ, අපේ පවුල්වලට අයත් අවමංගල්‍ය උත්සව සෑහෙන ගණනාවකට, මට සහභාගී වීමට සිදුවූ අතර, එයින් වැඩි ගණනකදී, අවමංගල්‍ය සභාව මෙහෙයවීමේ වගකීම, මා පිට පැටවුණි. මගේ අවමංගල්‍ය සභාව මෙහෙයවන්නේ කවුද කියා, මා එදා අක්කාගේ පුතාලාගෙන් විමසූවිට, ඔවුන් මා බදාගෙන හඬා වැටුනා මිස, පිළිතුරක් නොදුන්නෝය. 

2016 ජූනි මස 12 වැනි දින 2210 පැය 

   
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }